Wednesday, 16 September 2020

ධර්මසිරි බණ්ඩාරනායක




වම් ඉවුරේ තුන්වැන්නා  කියල ධර්මසිරි බණ්ඩාරනායකයන් ගේ චරිතාපදානයක් පළවෙලා තිබෙනවා දැක්ක. චින්තන ධර්මදාස ලියල තිබෙන ලිපියකුත් කියෙව්වා. එයා ලියල තිබ්බ මෙහෙම..//මගේ ජීවිතේ හොල්ලපු චිත්රපටි දෙකක් ධර්මසිරි තෑගි කරලා තියෙනවා. එකක් හංස විලක්. අනික තුන්වෙනි යාමය// ඒකට එකඟයි. ඊටත් පස්සේ චින්තන කියනවා "මිනිස්සු කිසිදු ලාබයක් නොලබා රටේ සංස්කෘතික ඉතිහාසය වෙනස් කරන්න වෙන මහන්සිය ගැන අපි නිකමට තැන්ක් යූ වත් කියන ජාතියක් නෙමෙයි. " මම නම් දන්නේ නැහැ ඒක. හුඟක් කලාකාරයෝ දේශපාලනයට සම්බන්ධ වෙනකොට මිනිසුන් ගේ ලැදියාව ඉබේම බෙදෙනවා. එනිසා මම හිතන්නේ අපි , ඒ සාහිත්‍ය රස විඳින අය වශයෙන් ඒ කලාකරුවන්ගේ ප්‍රතිභාව ගැන, ඔවුන්ගේ නිර්මාණ ගැන සතුටු වෙන්න ඕනේ කියල වෙනසක් නැතිව. ඔවුන් මොන දේශපාලන කඳවුරේද කියන එක අදාළ කර ගන්න අවශ්‍ය නැහැ. ධර්මසිරි බණ්ඩාරනායක වගේම ජැක්සන් ඇන්තනි ටත් ඒක අදාලයි.


අපි ලංකාවේදී පවුලේ ඔක්කොම එක්ක පවුලක් වශයෙන් අන්තිමට ගිහින් බලපු චිත්‍රපටය "තුන්වෙනි යාමය". ඒ 1983 දී. ඒ චිත්‍රපටය එහෙම එකක් නොවුනත් ඒ කාලේ මම පලමු වරට උසස් පෙළ ලියනවා. ගෙදර දරුවෝ හතර දෙනාම ලොකු නිසා අවුලක් වුනේ නැහැ. තාත්තා චිත්‍රපටය ගැන නිහඬව හිටියා පස්සේ . අම්මට වැඩිය තේරුනේ නැහැ. "අපරාදේ ඒ ගෑනු මනුස්සා එල්ලුනේ කීව". මේ අපි ඒ දවස් වල හොරෙන් වගේ බ්ලු ලැගුන්, ලේඩි චැටලි , කොනන් ද බාබේරියන් වගේ ෆිල්ම්ස් බලන කාලේ . රියෝ එකේ ඇඩම්ස් ට විතරක් ඔන්ලි චිත්‍රපටත් බැලුවේ නැහැයි කියන්න අමාරුයි.

ඉතින්, ඒනිසා "තුන්වෙනි යාමය" හැරවුම් ලක්ෂයක් වුනා මටනම් සංගීතයත් එක්කම.
ධර්මසිරි බණ්ඩාරනායක කියන්නෙම එතකොටත් මහා දැවැන්තයෙක් අපට. හංස විලක් කරලා තිබුනේ එතකොටත් මහිතේ. ඒ වගේම ධර්මසිරි බණ්ඩාරනායක කියන නළුවා "වීර පුරන් අප්පු" සහ "පළගැටියෝ" චිත්‍රපට වල රඟපාල ඒ වෙනකොටත්.

ඒ කාලයට පස්සේ ඒකාධිපති, මකරාක්ෂයා සහ ධවල භිෂණය කියන නාට්‍ය ආවා වම් ඉවුරට. ඉතින් මේ වගේ සිනමාවේ සහ නාට්‍ය කලාවේ දැවැන්තයෙක්, සහ අපූරු ප්‍රතිභාවක් තියන සුන්දර චරිතයක් මට හම්බ වෙන්න ලැබුන 2016 දී අහම්බෙන් වගේ.

මගේ පළමු පොත "කොළඹ ගමයා " බ්ලොග් අඩවියේ තීරු ලිපි ටිකක් "පොල්කට්ටෙන් එපිටට " කියල පල කරලා පොත එලි දක්වන්න තැනක් හොයමින් හිටිය. චූල (චූලානන්ද සමරනායක) කිව්වා, "අජිත් ඔහොම ඉන්න මම ධර්මසිරි අයියා ගෙන් අහන්නම්. එයාට ත්‍රිකොන් කියල තැනක් තියනවා. " කියල. මට හරියටම මතක නැහැ චූල "අයිය" කිව්වද ධර්මසිරි බණ්ඩාරනායක කීවද කියල නම්. කොහොම හරි මේ ධර්මසිරි බණ්ඩාරනායක මහත්මයා කැමති වෙලා තිබුන. මම ඉතින් ගෙවන්න ඇහුව. සල්ලි ඕනේ නැහැ ඇවිල්ල පොතේ ලෝන්ච් එක කරන්න කීව.

මම චූල එක්ක ගිහින් හමුවුනා ඊට කලින් දවසේ. මේ හෙළ සිනමාවේ දැවැන්තයෙක් හැටියට හිතේ මැවී තිබුන චරිතය නිසා පොඩි චකිතයකුත් තිබ්බ. බොහොම නිහතමානී මහා පොලොවට ලංව ඉන්න සුන්දර මනුෂ්‍යයෙක් මට හමුවුනේ. අවුරුදු ගාණක් දන්නා කියන විධිහට කතා කළා මාත් එක්ක.

මම තවම දන්නේ නැහැ එතුමාට "තුන්වෙනි යාමය " චිත්‍රපටය ඩිජිටල්කරණය කරන්න අවශ්‍ය මුළු මුදලම ලැබුනද කියල. මිනිස්සු අර චින්තන ධර්මදාස කියපු විධියට තෑන්ක් යූ කියන්න ඕනේ නම් කරන්න තිබ්බේ ඒ චිත්‍රපටය බේරා ගන්න එක.


පොත එළි දක්වපු දවසෙත් ධර්මසිරි බණ්ඩාරනායක මහත්මය හිමින් සීරුවේ පිටි පස්සට ඇවිත් වාඩිවෙලා රැස්වීම ඉවර වෙනකන්ම හිටිය. වැඩිපුරම ඇවිල්ල හිටියේ බ්ලොග් යාලුවෝ සෙට් එක. කට්ටියට මතක ත් ඇති. මම හිතන්නේ සැර පානයක් තියනවා දකින්නත් ඇති. චූලා නම් ෆැන්ටා බෝතලයක්ම බිල වෙරි වෙලා හිටියා.
ඕගොල්ලන්ට ඕන වෙලාවක් ගන්න කියල ධර්මසිරි බණ්ඩාරනායක ගියා.







ඒ තමයි මගේ මතකය. අර බලපු චිත්‍රපට හා නාට්‍ය වලට අමතරව.
ඉතින් ඔහු ගැන පොතක් ලියපු එක සාධාරණයි, කාලෝචිතයි.

දීර්ඝායු වේවා ධර්මසිරි බණ්ඩාරනායක මහතාණෙනි.

Friday, 11 September 2020

වසදීම , ගෑස් ප්‍රශ්නය , විභාග ප්‍රශ්න


යාලුවෝ තරහ වෙන දේවල් ලියන්නේ නැහැ කියල හිතුවත් සමහර දේවල් නොලිය බැරිවෙන අවස්ථා තියනවා.
පලමුවෙනි අදහසට  යුක්රේන් හා  ජෝර්ජියා  හිටිය  යාලුවෝ තරහ නොවේ කියල හිතනවා. 

මුලදීම බ්‍රිතාන්‍යයේ සහ ඇමෙරිකා  එක්සත් ජනපදයේ පුවත්පත්වල රුසියාව කෝවිඩ් එන්නත ගැන විස්තර හොරකම් කළා කියල පුවත් පල කෙරුණා. ඒ ලියපු එවුන් දැනගෙන හිටිය රුසියාව  එන්නත නිපදවීම ආසන්නයේ කියල. ඒ නිසාම  එන්නත් හොරකම් කරපු කතාව මම  නම් පිලි ගත්තේ නැහැ. තමන්ගේ ලැජ්ජාව වහ ගන්න රුසියාවට සෙකන්ඩ් නොවී හිටීමේ ප්‍රතිපත්තියට ඇරපු පචයක් කියල මම හිතන්නේ.

දෙවෙනි එක - ඇලෙක්සෙයි නවාල්නි , රුසියාවේ විපක්ෂ නායක හැටියට ඉන්න දේශපාලකයා. එයාට වස දීල කියල මුලින්ම  ප්‍රවෘත්තිය ගියා  වස කියල ඔප්පු කරන්න මත්තෙන්. දැන් පූටින් ට මෙයාව මරන්න  ඕනේ නම් ඕනේ තරම් ක්‍රම තියනවා. නමුත් ප්‍රසිද්ධියේ වස දීල , ඊට පස්සේ සුවපත් කරන්න හෙලිකොප්ටරේකින් මොස්කව්  ගෙනල්ල, ඊට පස්සේ ජර්මන් රජයේ ඉල්ලීමකින් ජර්මනියටත් යවනවා. එහෙදි ඔප්පු වෙනවා  තිබ්බේ නොවිචෝක් කියල. ඒ කියන්නේ අර එංගලන්තයේ. ඒක ආවේ රුසියාවෙන් මද  නැත්නම් වෙන පරණ  සෝවියට් රිපබ්ලික් වලත් ඕක තියෙන්න විධිහක්  නැත්ද?

දැන් ඇත්තටම රුසියානු ඔත්තු සේවා ඕක කළානම් ඇයි බෙහෙත් කරන්න මොස්කව් ගේන්නේ , ඇයි ජර්මනි යවන්නේ සුව කරන්න . 
දැන් අඩියක්  පිටිපස්සට අරගෙන මෙන්නේ මේ ප්‍රවෘත්තියත් කියවන්න.

රුසියාව සහ ජර්මනිය අතරේ නොර්ඩ් ස්ට්‍රීම් කියල ප්‍රොජෙක්ට්  එකක් ක්‍රියාත්මක වෙනවා.  මේකෙන් රුසියාවෙන් කෙලින්ම  ජර්මනියේ අවශ්‍යතා සඳහා අවශ්‍ය ගෑස්‌ සහ තෙල් සපයනවා. හැබැයි පොඩි කතාවක් තියනවා මේක යටින්. මේ ගෑස් ලයින් එක බෝල්ටික් මුහුද හරහා එන්නේ උක්රයිනය බයිපාස් කරගෙන.

මතකද  පහුගිය කාලේ උක්රයිනය ගෑස් සල්ලි ගෙවන්නේ නැතිව  හෙන වලියක් ගියා. රුසියාව ගෑස් නවත්වල යුරෝපෙට ගෑස් අඩුවෙලා. යාන්තම්  ඇමෙරිකාවයි අරයයි මෙයයි එකතු වෙලා වාරිකව  සල්ලි ගෙවන්න කියල උක්රයිනයට බල කරලා ප්‍රශ්නේ  විසඳ ගත්ත. නෝර්ඩ් ස්ට්‍රීම් ආවහම රුසියාවට ඕනනම් උක්රයිනයට වැඳගෙන ඉන්න  ඕනේ නැහැ යුරෝපෙට ගෑස් යවන්න. ඒ වගේම යුරෝපයේ අනිත් රටවලට දෙන්න ඕනෙත් නැහැ ගෑස්. ඒ අයගේ "ගෑස්" බහිනවා ඔය වැඩෙන් . ජර්මනිය සහ රුසියාව යුරෝපයේ ගෑස් බලවතුන් වෙනවා. තුර්කියේ සහ සවුදි අරාබියේ තත්වයටත්  ලොකු පහරක්.

දැන් ඔය වස දීමේ සිද්ධිය නිසා සෑහෙන බල කිරීමක් යනවා ඇන්ජෙලා මර්කල් ට ප්‍රොජෙක්ට් එක නවත්වන්න.

කවුද ඇත්තටම වස දුන්නේ ?

රුසීයාවම වෙන්න පුළුවන් කියන එකම සාධකය එන්නේ බෙලොරුසියාව පැත්තෙන්. කාටහරි තර්ක කරන්න පුළුවන් බෙලොරුසියා වගේ උද්ඝෝෂණ නොවෙන්න පුටින් අනතුරු හැඟවීමක් හැටියට මේක කළා කියල. 

දෙවෙනි එක තමයි පසුගියදා එංගලන්තයේ ඇතිවුන විභාග  ප්‍රශ්නය. කෝවිඩ් 19 වසන්ගතය නිසා විභාග කල් දැම්ම.අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ කරන ළමයින්ට ප්‍රතිපල දෙන්න  විධිහක් නැහැ. ඒකෙදි කොන්සවේටිව් රජය ඇල්ගොරිත්ම් එකක් හැදුව. මුලින් කීවේ ළමයින් කරපු කඩයිම් විභාග සහ ගුරුවරුන් දෙන ඉදිරි ලකුණු (predictable grades එකතු කරලා ඇවරේජ් එක දෙනව කියල. පස්සේ කලේ ඉන්න හොඳම ළමයින් ගේ  ලකුණුයි, ඉගෙනීම සවුත්තුම ළමයින්ගේ ලකුණුයි එකතු කරලා පන්තියේ ඉන්න ළමුන් සංඛ්‍යාවෙන් බෙදල ඒක හැමෝටම දෙන එක. අසාධාරණය තේරෙනවා  නේද?  ඒකෙන් වුනේ රජයේ පාසල් වල හොඳ ලකුණු  තිබ්බ ළමයින්ගේ ලකුණු අඩුවෙච්ච එක. ධනවත් පෞද්ගලික පාසල් වල පන්ති වල  ළමයි ප්‍රමාණය අඩුයි. එනිසා මේක බලපාන්නේ අඩුවෙන්. රජයේ පාසල් වල හැමෝම එක මට්ටමේ නැහැ. ඔවුන්ට බලපාන්නේ වැඩියෙන්. 

මම ඕක ගැන ෆේස්බුක්  එකේ ලිව්වා. පෙත්සමකට අත්සන් ගන්න යැව්වා හැමෝටම.
සමහරු කෝල් කරල ඇහැව්වා ළමයි දෙන්න කොහොමද? මම කිව්ව එක්කෙනෙක් හරි කොහොමත්, අනික් එක්කෙනා උසස් පෙළ ලබන අවුරුද්දේ කරන්නේ. එනිසා මට පෞද්ගලිකව  ප්‍රශ්නයක් නැහැ . ඒක  හින්ද නෙමේ  මේ කෑ  ගහන්නේ අසාධාරණ  නිසා කියල. 
මම නිරීක්ෂණ කරපු දෙයක් තමා ලන්ඩන් වල "වමේ" ගොඩක් කට්ටිය ඉන්නවා. ගොඩක් අය අපේ යාලුවෝ තමා.  ලංකාවේ අධ්‍යාපනයේ හෝ විශ්ව විද්‍යාලවල  මොනම  ප්‍රශ්නෙකට වුනත් බුකිය දෙවනත් කරණ කට්ටිය.  කිසි කෙනෙක් මේ ගැන වචනයක් කතා කලේ  නැහැ. පෙත්සම් ගැනවත්.
එතකොට එංගලන්තේ වුන අසාධාරණය එංගලන්තේ ජිවත්වන ඒ අයට ප්‍රශ්නයක් නොවුනේ කොහොමද?  ප්‍රශ්න කියල සලකන්නේ ලංකාවේ  ඒවා විතරද? 

අන්තිම එක රුසියාවේ වෛද්‍ය විද්‍යාල කිහිපයක් ලංකාවේ වෛද්‍ය  සංගමේ අනුමත  ලිස්ට් එකෙන් අයින් කරපු එක.  1991 සෝවියට් දේශය වැටුනයින්  පස්සේ සමහර ජාවාරම් කාරයෝ අපොස උසස් පෙළ අසමතුන් වෛද්‍ය විද්‍යාව හදාරන්න යැව්වා කියන කතාව මම අහල තියනවා. ලංකාවේ  හොර සහතික හදාගෙන.  එදා කළත් ඒක වැරදියි.තවම එහෙම  කරනවානම් ඒක තවත් වැරදියි. වෛද්‍ය සංගමයේ චෝදනාවක් තියනවා නම් එහෙම,  ඒක ගැන පරීක්ෂණයක් කරන්න. උසුස් පෙළ අසමතුන්  එහෙම යැව්වහම ඒකෙන් අමාරුවෙන් උසස් පෙළ කරන සිසුන්ට අසාධාරණයක් වෙන්නේ. එහෙම කරන ජාවාරම් කාරයන්ව අල්ලල හිරේ දාන්න ඕනේ. ඔවුන්ට ලයිසන් එකක් තිබෙනවානම් ඒවා කැන්සල් කරන්න ඕනේ.

මොකද අප ඉගෙන ගත්ත මොස්කව්  විදුලිබල හා බලශක්ති විශ්ව විද්‍යාලය වගේ ඒවා යේ ඉගෙන ගන්න කොපමන අමාරුද කියල අපි දන්නවා.  මම එක පාරක් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ ලේකම් වෙලා හිටි කාලේ සිලබස් අරගෙන ගිහින් පෙන්නුවා ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සංගමයට. (ඔවුන් හරිම ආඩම්බරයි. මට අඩුම ගානේ ඉඳ ගන්න කියලවත් කීවේ නැහැ 😀) අපේ සිලබස් වල සමහර කෝස් වලට ලංකාවේ විශ්ව විද්‍යාල වල උගන්වනවාට වඩා තියරි සහ ප්‍රයෝගික ලැබ් හෙම තිබුන. (අපේ විශ්ව විද්‍යාලයේ  අපේම තාප විදුලි බලාගරයකුත් තිබුන).  නමුත් මිනිසුන් ගේ ආචීර්ණ කල්පික අදහස් ඉවත් කරන්න අමාරුයි.

එක්කෙනෙක් මට කීවා ඔයාලගේ අඩු සුදුසුකම් තියෙන අය එනවා. ඒ ලෙවල් නොකරපු අය එනව. මම කීව ඔයාලට ඒවා පරික්ෂා කරන්න පුළුවන් සම්මුඛ පරික්ෂනයකදී. දිස්ත්‍රික් බේසිස් නිසා අසාධාරණයට ලක්වුණ අයත් රුසියාවේ ඉගෙන ගන්න බව අමතක කරන්න එපා කියල.
තව කෙනෙක් කීව සෝවියට් රුසියාවේ තාක්ෂනය හරි සවුත්තුයි ලු නේද? බටහිර වගේ  
නෙමේ කියලනේ කියන්නේ.
මම කීව  ඉතින් ලංකාව බටහිර නෙමේනේ තියෙන්නේ. ජර්මනිය නැත්නම් ඔයාලට ජර්මන් ටෙක් එකත් වත්  නැහැ. අමතක කරන්න එපා රුසියාව තමයි ඉස්සෙල්ලාම මිනිහෙක් අභ්‍යවකාශයට යැව්වේ කියල. ඒත් තාක්ෂනය තමයි. ඊට පස්සේ මම එතනින් ආව. ඒ 1987 දී. හැබයි එංගලන්තේ රුසියාව ඉවර කරපු උපාධිධාරයෝ අනන්ත ඉන්නව, සෞඛ්‍ය ය සේවයේ හා වෙනත් බොහෝ තැන්වල. 

මම රැකියාව කරන්නේ පරිගණක ඉංජිනේරුවෙක් වශයෙන්. (ව්‍යාපාර දත්ත විශ්ලේෂක ). මගේ ප්‍රථම සෝවියට් උපාධියට ෆොර්ට්‍රන් IV භාෂාව ඉගෙන ගන්න වුනා අවසන් අවුරුද්දේ. ඊට පස්සේ එංගලන්තේ සවුත් බෑන්ක් විශ්ව විද්‍යාලේ පරිගණක විෂයන් සම්බන්ධ උපාධියක් කළා.  උපාධි නිබන්ධනයේ සුපර්වයිසර් හැටියට හිටියේ ලෙනින්ග්‍රඩ් (සෙන්ට් පීටස්බර්ග් ) නගරයේ විශ්ව  විද්‍යාල වල උගන්වපු මහාචාර්ය ලරිසා ෆ්රද්කින්. එයා  විශ්‍රාම ගියේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන්.

  2012 ක්වීන්ස් මේරි විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාව     (astrophysics ) ඉගෙන ගන්නකොට ප්‍රධාන දේශන දෙකකට ආවේ රුසියානු මහාචාර්යවරු. එක අයෙක් ඩොක්ටර් ඇලෙක්සැන්ඩර් පොල්නරියෙව් .  දැන් බ්‍රිතාන්‍යයේ විශ්ව විද්‍යාලවල උගන්වන්න ඒ දවස්වල අපට උගන්නපු හෝ සමකාලීනව ඉගෙනගත්ත අය.  ඔන්න ඔහොමයි වෙන්නේ.




Thursday, 10 September 2020

ලේක් දිස්ත්‍රික්කයේ උසම දිය ඇල්ල ස්කේල් ෆෝස්





මා සිතන ආකාරයට නොයෙකුත් වනපෙත් බේරා ගැනීමට හෝ සොබා දහම රැකීමට දහස් ගණන් ෆේස්බුක් පෝස්ට් දැමීමෙන් කිසිදු පලක් නැත. ඒ වෙනුවට කළ යුත්තේ මිනිසුන්ට සොබා දහමේ සුන්දරත්වය පෙන්වීම පමණි. සොබා දහමේ සුන්දරත්වය දන්නා , එය විඳින තැනැත්තා හා  ඒ සමග සහජීවනයෙන් ජිවත්වන තැනැත්තා  එය විනාශ කරන්නට කටයුතු නොකරයි.   

අපි අගෝස්තු 27 වන දින කොකර්මූත් හි පිහිටි ස්කේල් ෆෝස්  දිය ඇල්ල නැරඹීමට ගියෙමු. මේ නමේ  ෆෝස් හෙවත් "බලය" යන යෙදුම පැමිණ ඇත්තේ  නොර්ස් භාෂාවේ දිය ඇල්ලට භාවිතා කරන වචනයෙනි 
මෙය  අඩි 170 ක් පමණ උස (මීටර 51.8 ක් පමණ) වන අතර එය ආරම්භ වන්නේ ස්කේල් බෙක් ඇළෙන් ය. එය ඇති ගමන් මාර්ගයේ හැතැප්ම 4 ක පමණ දුරක් ඇවිදීමට අපට පැය දෙක  හමාරක් ක් පමණ ගත වුනි.
එය දුටු මට  ශ්‍රී ලංකාවේ දුන්හිඳ  දිය ඇල්ල නැරඹීමට කුඩා කාලයේ  ගිය බව  මතකයට නැගුණි. හැත්තෑ ගණන්වල පළමු වරට ගිය ඒ ගමන  මදක් දුෂ්කර එකක් විය.  දෙවන වතාවට දුන්හිඳ බැලීමට ගියේ 2000 දීය.  ඒ ගමන් මාර්ගය වඩා පහසුය. දුන්හිඳ වෙතින් එන ජල පහරේ බලය එදා  මා විස්මිත කළේය. 
සැබෑ ස්කේල් ෆෝස් එක ඇත්තටම ඇත්තේ දුන්හිඳ , නයගරා, වික්ටෝරියා වැනි දිය ඇලි වලය.දුන්හිඳ ස්කෙල් ෆෝස් එකට වඩා  මීටර් 10 පමණ  උසය.
  ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල මීටර් 260 ක් උස බඹරකන්ද වන අතර එය මේ දිය ඇල්ලට  වඩා 5 ගුණයකින් උසය. බඹරකන්ද දිය ඇල්ල  මුලින්ම සොයා ගත්තේද හැත්තෑ ගණන් වල යයි සිතමි. එයට හේතුව එවකට අප ලුණුගල සිටියදී මගේ පියා පැමිණ කී දෙයක් හේතුවෙනි. භූ විද්‍යාඥ කණ්ඩායමකට ආරක්ෂාව දීමට හා පාර කියා දීමට  ගිය පිරිස අතරේ පැත්තකින්  සිටි ඔහුටද එය බැලීමට යාමට අවස්ථාවක් උදාවී තිබුණි.  එය දියලුමට වඩා උස හා පළලින් යුතු දිය ඇල්ලක් බවත් වැසි කාලයට අති භයානක ලෙස අවට ගස් කොළන් වලටත් උඩින් දියකඳ  ඇද හැලෙන බවත් ඔහු පැවසූ බව මට මතකය.
එසේම  මට මතක විධිහට ලංකාවේ උසම දිය ඇල්ල ලෙස අප දැන  සිටියේ දියලුමයි. බඹර  කන්ද උසින් ලෝකයේ 299 වෙනි ස්ථානයට ඇති දිය ඇල්ලයි.

ෆේස්බුක් බිත්ති වල  නිතර නිතර  චීන ජාතිකයන් අසීරු කඳු තරණය කරමින් තමන් සිටින ගං  වලින් නගරයට එන පින්තුර හා වීඩියෝ හුවමාරු වේ. නමුත් අපට ඉදිරියෙන් ගිය චීන ජාතික  පවුලක් මදක් දුර ගොස් මඩ හා වතුර පිරි මාර්ගයේ අසිරිය දැක ආපසු හැරී ගියහ.

අපට මුලදී මග වැරදුනු මුත් පසුව බැටළුවන් කඳු නගින මාවතක් සොයා කන්ද උඩට නගින්නට පටන් ගත්තෙමු. ඇල්ල නරඹා ආපසු එන සුදු ජාතික තරුණියක  සමග සිටි දකුණු ආසියාතිකයෙකු ඈත සිටම අත වනමින් අපට මග පෙන්වීය.   

ස්කේල් ෆෝස්  ඇල්ල අසලදී අප රැගෙන ගිය සැන්ඩ්විච් කා හවස් වනවිට නැවත පල්ලම් බැස්සෙමු. දරුවන් දෙදෙනා දිය අල්ල දැකීමෙන් ලැබූ ප්‍රීතිය දැකීමෙන් මගේ මහන්සියද අතුරුදහන් විය. 

මට වඩාත් සිත් ගත්  කරුණ නම් ගමනේදී හමුවුණු සියලු දෙනාම  පාහේ කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් ඈත් වී ගමන් කළද ආචාර සමාචාර කිරීමට උත්සුක වීමයි.  දෙතුන් විටෙකදීම අප හා කතාවට  එක්වීමටද ඔවුහු  උනන්දු වූහ.
මේ ස්කේල් ෆෝස් දිය ඇල්ල දක්වා ඇති ගමන් මාර්ගය ඉතා දර්ශනීය එකකි. අවට  කඳු සහ නිම්නය පහළ විල චමත්කාර චිත්‍රයක් සිතේ මැවීමට සමත් වේ.  නන්දා  මාලනී මහත්මිය ගයන ගලන ගඟකි ජිවිතේ ගීතයේ මතක් වුනේ ඇයිද යන්න නොදනිමි. සමහරවිට පහල නිම්නයට  ගලා යන ගඟ නිසා විය හැකිය. 




























Sunday, 6 September 2020

කෝවිඩ් අභියෝගය - ග්‍රේට් ලැන්ඩෙල් කඳු තරණය -ලැන්ඩෙල් පයික් සහ පවේ ආර්ක්



පසු ගිය ලිපියේ  සඳහන් කරපු අත් දැකීමෙන් පස්සේ අගෝස්තු 26 බදාදා මමත් බිරිඳත් දියණියන් දෙදෙනාත් අපේ මුල්ම කඳු තරණයට  ලැහැස්ති වුනා. 
අපේ අභියෝහය වුනේ ග්‍රේට් ලැන්ඩෙල්.

මේ ගමනට කඳු මුදුන් කිහිපයක් අහුවෙනවා. පවේ ආර්ක් , හැරිසන්  ස්ටික්ල්, තෝන් ක්‍රැග් සහ පික්ල් ඔෆ් ස්ටික්ල් කියන ඒවා.    ඒ වගේම පවේ ආර්ක් කියන කොටසට ගියහම මුදුනේ  ඉතා දර්ශනීය ස්වභාවික වැවක් තිබෙනවා.




මේ කඳු එතරම් උස ඒවා නොවේ. ලැන්ඩෙල් පයික් එක මීටර් 736  (අඩි 2415) පමණ වෙන්නේ.  පවේ ආර්ක්  , හැරිසන් ස්ටිකල් පහු කරලා පහත තැනිතලාවට බහින්න පැය පහක් හයක් පමණ යනවා. මුළු දුර කිලෝ මීටර 12ක්. මේ දොලහේ දී මීටර සීයේ , මීටර 150 පමණ ඉතා තද බෑවුම් කිහිපයක් හමු වෙනවා. මේවායේ උඩට නගින්න ටිකක් අමාරුයි. මහගිරි දඹට වඩා අමාරුයි කියලයි මම හිතන්නේ. මොකද වැටක් හෙම නැති නිසා. 



මේ ගමන පුරාවට පියකරු දොළ පහරක්  ගලාගෙන එනවා පහලට. මේ දොළ පහරේ එක තැනක එය පසු කරන්න ඕනේ ලොකු ගල් ගොඩවල් උඩින් පැන ගෙන ගිහින්, . එතැන වතුර  තදින් පහලට වැටෙන තැනක්. පය ලිස්සුවොත් පහලට වැටෙනවා.




උඩ තිබෙන වැවෙන් තමා  මේ දොළ පටන් ගන්නේ. 

අපට සම්පුර්නයෙන්ම වගේ පැය හයහමාරක් ගියා මොකද මම ටිකක් හිමින් පහලට බැස්සේ. 
හැබැයි කඳු මුදුනේ සිට ඉතා දර්ශනීය ලෙස පහල තිබෙන මිටියාවත පෙනෙනවා. 








Friday, 4 September 2020

සිංහරාජය , හිටපු ජනාධිපති සහ ලංකාගම මායිම


සිංහරාජය ගැන  කතා කල බොහෝ අය නොදන්නා කාරණාවක් වගේ මේක.හෙරිටේජ් සයිට් එකක් වශයෙන් නම් කරන්න 1988 යුනෙස්කෝව සමග ගිවිසුම ගහද්දි  , සිංහරාජයට අයත් වනාන්තර  ප්‍රමාණය හෙක්ටෙයාර් 8864 (අක්කර 21903). කුරුඳු වගාව නිසා ගාල්ල පැත්තෙන් තර්ජනයක් එල්ල වෙලා තිබුනේ. එතකොට  ලොකු ගෙවල් /හෝටල් හදන කට්ටිය ලී ගන්න නිසා හොරෙන් ලී කැපීම කරන එක නවත්වන්න වෙලා තිබුනේ. ඉතින් ගිය යහපාලන ආණ්ඩුව (ඔව් ඒක  තමයි ) ඕක හෙක්ටයාර් 36000 දක්වා වැඩිකළා අවට වනාන්තර පවා අරගෙන. (මුළු අක්කර ගණන  88960) . හැබයි  ඕක වසර 2000 ඉඳන් එන ප්ලෑන් එකක්. ඕකට අත්සන් කලේ හැමෝම බුකියේ බනින හිනාවෙන මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා. ඔව් එයා තමයි.


දැන් මේ අලුතෙන් එකතුවෙන වනාන්තර පැති මෙන්න  මේවා.අයගම, දෙල්ගොඩ, දෙල්ලෑව, දෙල්මිල්ල-යටගම්පිටිය, දියදාව, කොබහදුකන්ද, හඳපනැල්ල, ගොන්ගල හා පරාගල . එතකොට ඔය පරාගල  කියන හරිය ලංකාගම , නෙළුව දෙකම පහු කරලා  පහලට වෙන්නදතියෙන්නේ? දන්න කෙනක් ඉන්නවද? ගූගල් මැප් එකේ තිබෙන්නේ  එහෙම.එහෙම නම්   ඔය අළුත් මායිමට තමා කපන පාර අහුවෙන්නේ නේද ?
 අනික ලංකාගම විතරක් නෙමේ ගොඩක් ගම්  ඔය මායිමට අහුවෙනාවා නේද?
 
ලංකාගම අහුවෙලා තියෙන්නේ  ඔය වැඩිකරපු කොටසට නම්  ඒ මිනිස්සුන්ට බැනල වැඩකුත් නැහැ. හිටපු ජනාධිපතිට බැනල වැඩකුත් නැහැ. මුළු ලෝකයාම ගැන හිතල එතුමා ගත්ත විශිෂ්ඨ පියවරක් නේ ඒක .
මම නම් දැක්කේ නැහැ එක පරිසරවේදියෙක් වත් හොඳයි කියනව ඔය වැඩේට ඒ දවස්වල. 

මේ ලිපියේ සුරන්ජන් ප්‍රනාන්දු කියල බොටනිස්ට් කෙනෙක් කියනව මෙහෙම.

//Suranjan said villagers living close to Sinharaja need a sustainable management plan that would support the conservation aim of creating corridors to link the forests, to prevent fragmentation.// 

මම මගේ ලිපියේ කිව්වෙත් ඕක. සම්පුර්නයෙන්ම වැඩිවන කොටස පවත්වාගෙන යන්නේ කොහොමද කියන එකට ප්ලෑන් එකක් අවශ්‍යයි. මිනිසුනුත් ඒවල  ජිවත් වෙන්න ඕනේ.ඒවලට  යන පාරවල් නුත් හොඳට  හැදෙන්න ඕනේ. සිංහරාජය පැත්තට ලොකු කම්බිවැටක් වත් ගහන්න ලී හොරුන්ට යන්න බැරිවෙන්න. වනජීවී එකෙන් මුරකරු  රස්සා දුන්නත් කමක් නැහැ.   
මට තියෙන  ප්‍රශ්නේ ඔය හදනවයි කියන හෝටලේ තියෙන්නේ මොන හරියේද කියන එක විතරයි. .මායිමක නම් ඉතින් කියන්න දෙයක් නැහැ.. මායිමේ නෙමේනම්  සිංහරාජය ඇතුලේ නම් තමා ප්‍රශ්නය.  ඒ මැප් එක මම තවම දැක්කේ නැහැ. රවින්ද්‍ර කාරියවසම් කියන විධිහටත්  පාරම නෙමෙයි ප්‍රශ්නේ. පාර හැදුවට මට නම් කමක් නැහැ. වෙනත් ව්‍යාපාරයක් තියන්වාද  ඒ  පිටුපස කියන එක. ඒක කොහොමද සිංහරාජයට බලපාන්නේ 
කියන එක. 
මැප් ගත්තේ ගූගල් එකෙන්.

මෙන්න ලිපිය ලියල තියෙන්නේ මාලක රොඩ්රිගෝ මහතා 2019 දෙසැම්බර් 17. 
ගිට්හබ් 

Wednesday, 2 September 2020

ගම කෑ ලුණුගල හා ලේක් දිස්ත්‍රික්කය සමග ලංකාගම


පහුගිය සතියේ මම, බිරිඳ සහ දරු දෙදෙනා ලේක් දිස්ත්‍රික්කයේ සංචාරයක යෙදුන. කඳු නගින්නට කැමති නිසා අපි සමහර වෙලාවට  ජර්මනියේ තුරින්ගියා වනයට හෝ , ලේක් දිස්ත්‍රික්කය. පීක් දිස්ත්‍රික්කය යන පැතිවලට වසරකට දෙකකට වරක් හෝ යනවා. මේ දිනවල කොවිඩ් වසංගතය නිසා පමා වී වුනත් නැවත යන්න ලැබුනේ අගෝස්තු අග සතියේ. 
අපි තරණය කර කඳු දෙක ගැන විස්තර ඊළඟ ලිපියෙන් කියන්නම්.



මම කියන්න යන්නේ බ්‍රිතාන්‍යය සහ යුරෝපයේ අනිත් රටවල ගම්මාන හා සුළු නගර අවට පරිසරය රකින ආකාරය ගැන. මේවා ඇත්තටම කරන්නේ ඒ පැතිවල ජිවත් වන මිනිස්සු. ප්‍රාදේශීය පාලනය සමග එකතු වෙලා. මේකෙන් අදහස් වෙන්නේ නැහැ ඒවා දියුණු නැති, මිනිසුන්ට වැඩක් පලක්  කර ගන්න බැරි පාරවල් නැති ගම් කියල. හොඳට පාරවල් හදල අවශ්‍ය කරන සැප පහසුකම් දීල ඒ වගේම ගමේ පැරණි ශ්‍රී විභූතියක් තිබ්බ නම් ඒකත්  රැකගෙන, ගමේ ලස්සන රැකගෙන ජිවත් වෙන්නේ. ඉතින් අපි සංචාර වලට යනකොට ඒ තැන්වල පින්තූර ගන්න කැමතියි. උඩ තියෙන්නේ අපි නැවතුන තෝන්වෙයිට් හි  පින්තුරය කිහිපයක් හා කුඩා නගරයක ලස්සන රැකගෙන තිබෙන හැටි. ඒ අය තමන්ගේ නිවාස  අසල කොපමණ පිළිවෙලකට ලස්සනට තබාගෙන තියනවද?

මගේ  "ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ" නවකතාවේ සෝවියට් කතාවට සමාන්තරව යන  ශ්‍රී ලංකාවේ කතාවකුත් තිබෙන බව කියැවූ අය දන්නවා  ඇති. හතලිස් හතර වන පරිච්ඡේදයේ මුල හරියේ කියැවෙන්නේ  ලුණුගල ග්‍රාමය ගැන "ලුණුගල මැදින් ගලනා ගඟ මනහරය" කියල.  හැබැයි මම ලුණුගල ගියා පොත ලියන්න කලින් තව පාරක් බලන්න. අපි  2016 රුසියාවට ගියෙත් ඒ නිසාමයි. ලුණුගල නගරයේ  අවට තිබුණ ලස්සන දැන්  නැහැ.

ඒ විනාශය පටන් ගත්තේ 1975 අග විතර කුඹුකන් ඔය දෙපැත්තේ මැණික් හම්බ වෙලා මැණික් හොයන්න වලවල් හාරන්න ගත්තට පස්සේ. පස්සේ පැවති  රජයන් ඔක්කොගෙන්ම පැලැස්තර පාරවල් හැදිලා. යුඇන්පී , ශ්‍රී ලංකා කියල වෙනසක් නැහැ. මම යනකොටත් බිබිල පැත්තට පාර හදනවා තවම. අධ්‍යාපන අධ්‍යක්ෂක වරයෙකු වන සි බී වනසිංහ මහත්මය එයාගේ ෆේස්බුක් වෝලයේ  පින්තූර දෙකක් දාල තිබ්බ ලුණුගල නගර මධ්‍යය වැස්ස වැහැල  මඩ  වෙලා. අවුරුදු පහක් තිස්සේ එහෙමලු. පහල තිබෙන්නේ ඒ පින්තූරේ .

මට අර නවකතාවේ ලිව්ව ටික ආපහු අකුලා ගන්න හිතුන. පස්සේ ඒත් කල්පනා කරා ඒ මම ඒ කාලේ දැකපු ගම/නගරය  මිසක් දැන් තියෙන එක නෙමේ  කියල. කුඹුකන් ඔය දෙපැත්ත පාලම ගාව විනාශ කරලා තියන හැටි දක්කම් ඇත්තටම දුක හිතුනා. විද්‍යාලයට යන පාර දෙපත්තෙත් ගොඩක් ගෙවල් හැදිලා.


ප්‍රශ්නේ මේකයි. ලංකාවේ හුඟක් අය ගෙවතු වගාව හරියට කරන්නේ නැහැ. කරන අය ඉන්නවා. බ්ලොග් ලියන නලින් දිල්රුක්ෂ වගේ අය. එයාගේ යූටියුබ් නාලිකාවට ගිහින් බලන්න. දැන් කොවිඩ් ප්‍රශ්නය නිසා  හුඟක් අය වගා කරන්න පටන් අරන්. ඒත් මම දුටුව දේ තමයි තමන්ගේ ගෙවත්ත වත් අවට පරිසරය වත් හරියට තියා ගන්නේ නැති කම. මේක ඕන ගමක , ඕන සුළු නගරයක දකින්න තියන තත්වයක්.

හුඟක් අය ප්‍රංශයේ, බ්‍රිතාන්‍යයේ වගේ රටවල හොඳ පාරවල්, හොඳ නිවාස  තියාගෙන සිංහ රාජය බේරා  ගන්න ලංකාගමට බනින එක මට තේරෙනවා අඩුයි. ඒ අයගේ ලංකාවේ ගෙවල් වල තත්වය කොහොමද මම දන්නේ නැහැ. ඒ සමහරු  ලංකාවට සල්ලි යවල හදපු  මහා පතාක ගෙවල් වලට ලී , වැලි කොහෙන්ද ගත්තේ කියල දන්නවද? අර තනමල් විල නාටකයේ කොල්ලෝ ගාණක් හොයා ගන්න වැලි ගොඩ දාල ගහන ගේම ගැන හිතුවොත් ? ඔය තත්ව දෙකක් නේද?

ලංකාගමට පාරක් විතරක් නෙමේ බලන්න ඕනේ පාර හදන ගමන් වෙන පැත්තකින් වනය ඒ හා සමාන කොටසකින් වර්ධනය කරන එක ගැන. ගමේ සුන්දරත්වය රැක ගන්න විධිහට පරිසර වේදීන් , රජය හා ගමේ මිනිස්සු එක්වෙලා ප්ලෑන් එකක් ගහන එක. 
ඕක ලංකාගම විතරක් නෙමේ මුළු ලංකාවේම වෙන්න  ඕන දෙයක්. ලුණුගල වගේ ලස්සන පරිසරයවල් තියෙන ගම් , නගර බේරාගෙන සංවර්ධනය කරන්නේ කොහොමද කියල ජාතික වැඩ පිළිවෙලක් පරිසරවේදීන් , විද්‍යාඥයන්  හා රජය එක්ව හදන්න ඕනේ. 
බ්‍රිතාන්‍යයේ, ජර්මනියේ  ස්ථානවල සුන්දරත්වය රැකගෙන තියෙන්නේ එහෙම., ඒවායේ උනත් සියයට සියක් හරි ගිහිල්ල නැහැ තමයි. නමුත් ලේක් දිස්ත්‍රික්කයට හෙම ගියහම තේරෙනවා කොපමණ  ලස්සනද කියල.

මේ පාරවල් හැදිල්ල, ඉස්සෝ වගාව ආදිය කරලා  රස්සා දෙන ගමන් වෙනත් පැති  වලින් හරි වන ගහණය  වැඩි කරන්න ඕනේ. ගෙවල් වල වතු ලස්සනට තියා ගන්න හැටි මිනිසුන්ට කියා දෙන්න ඕනේ. දෙතුන් පැත්තේම  පණ්ඩිතයන්ට ඒදන්ඩේ යන්න උගන්වන්න ඕනේ.


මේක අතුරු කතාවක්.

ගිය අඟහරුවාදා අපි ගියේ ලේක් දිස්ත්‍රික්කයේ කෙස්වික් අසල තර්ල්මියර් කියන වැව බලන්න. වැව හදලා තියෙනෙන් වික්ටෝරියානු යුගයේ. ඒ දවස් වල නැගීගෙන ආපු  කර්මාන්ත සංවර්ධන වල උදව්වට . වැව වටේ ගිහින් අපහු මහා පාරට දාන්න යද්දී දැක්කේ පාර අඩි  එකහමාරක් විතර වෙන්න යට වෙලා. ඊට කලින් අඩි කාලක ප්‍රමාණයක් යට වෙලා තිබුන තැනක් පහු කරන ආවත් මෙතනින් යන්න බැහැ . මගේ කාරෙකේ යට කොටස ගොඩක් පහතින් තියෙන්නේ. පිටි පස්සෙන් 4x4 ටැංකියක් ආවත් එයත් හරවාගෙන ගියා ආපහු. මට හිතුනේ බ්ලොග් ලියන රංගන  කණ්ඩම්බි ගේ වාහනයට නම් මෙතනින් යන්න පුළුවන් වෙයි කියල. අපි ආපහු  හරවාගෙන ආපු පාරේම ගියා  තව පැය තුන් කාලක් විතර. හොඳටම වැස්ස. පාරට වතුර දානවා. මහා පාරට දැම්මම තමා වෙන රියදුරු මහතෙක් කීවේ ඒ පාරේ යන එක හොඳ නැහැ මේ දවස් වල . නාය යාම් වුනා ගිය අවුරුද්දේ කියල. එතකොට තමා අපට තේරුනේ පාරේ නැවතිලා බලන තැන් (view points) වහල තිබ්බේ ඇයි කියල. යන්තන් බේරුනා,