වම් ඉවුරේ තුන්වැන්නා කියල ධර්මසිරි බණ්ඩාරනායකයන් ගේ චරිතාපදානයක් පළවෙලා තිබෙනවා දැක්ක. චින්තන ධර්මදාස ලියල තිබෙන ලිපියකුත් කියෙව්වා. එයා ලියල තිබ්බ මෙහෙම..//මගේ ජීවිතේ හොල්ලපු චිත්‍රපටි දෙකක් ධර්මසිරි තෑගි කරලා තියෙනවා. එකක් හංස විලක්. අනික තුන්වෙනි යාමය// ඒකට එකඟයි. ඊටත් පස්සේ චින්තන කියනවා "මිනිස්සු කිසිදු ලාබයක් නොලබා රටේ සංස්කෘතික ඉතිහාසය වෙනස් කරන්න වෙන මහන්සිය ගැන අපි නිකමට තැන්ක් යූ වත් කියන ජාතියක් නෙමෙයි. " මම නම් දන්නේ නැහැ ඒක. හුඟක් කලාකාරයෝ දේශපාලනයට සම්බන්ධ වෙනකොට මිනිසුන් ගේ ලැදියාව ඉබේම බෙදෙනවා. එනිසා මම හිතන්නේ අපි , ඒ සාහිත්‍ය රස විඳින අය වශයෙන් ඒ කලාකරුවන්ගේ ප්‍රතිභාව ගැන, ඔවුන්ගේ නිර්මාණ ගැන සතුටු වෙන්න ඕනේ කියල වෙනසක් නැතිව. ඔවුන් මොන දේශපාලන කඳවුරේද කියන එක අදාළ කර ගන්න අවශ්‍ය නැහැ. ධර්මසිරි බණ්ඩාරනායක වගේම ජැක්සන් ඇන්තනි ටත් ඒක අදාලයි.
අපි ලංකාවේදී පවුලේ ඔක්කොම එක්ක පවුලක් වශයෙන් අන්තිමට ගිහින් බලපු චිත්‍රපටය "තුන්වෙනි යාමය". ඒ 1983 දී. ඒ චිත්‍රපටය එහෙම එකක් නොවුනත් ඒ කාලේ මම පලමු වරට උසස් පෙළ ලියනවා. ගෙදර දරුවෝ හතර දෙනාම ලොකු නිසා අවුලක් වුනේ නැහැ. තාත්තා චිත්‍රපටය ගැන නිහඬව හිටියා පස්සේ . අම්මට වැඩිය තේරුනේ නැහැ. "අපරාදේ ඒ ගෑනු මනුස්සා එල්ලුනේ කීව". මේ අපි ඒ දවස් වල හොරෙන් වගේ බ්ලු ලැගුන්, ලේඩි චැටලි , කොනන් ද බාබේරියන් වගේ ෆිල්ම්ස් බලන කාලේ . රියෝ එකේ ඇඩම්ස් ට විතරක් ඔන්ලි චිත්‍රපටත් බැලුවේ නැහැයි කියන්න අමාරුයි.
ඉතින්, ඒනිසා "තුන්වෙනි යාමය" හැරවුම් ලක්ෂයක් වුනා මටනම් සංගීතයත් එක්කම.
ධර්මසිරි බණ්ඩාරනායක කියන්නෙම එතකොටත් මහා දැවැන්තයෙක් අපට. හංස විලක් කරලා තිබුනේ එතකොටත් මහිතේ. ඒ වගේම ධර්මසිරි බණ්ඩාරනායක කියන නළුවා "වීර පුරන් අප්පු" සහ "පළගැටියෝ" චිත්‍රපට වල රඟපාල ඒ වෙනකොටත්.
ඒ කාලයට පස්සේ ඒකාධිපති, මකරාක්ෂයා සහ ධවල භිෂණය කියන නාට්‍ය ආවා වම් ඉවුරට. ඉතින් මේ වගේ සිනමාවේ සහ නාට්‍ය කලාවේ දැවැන්තයෙක්, සහ අපූරු ප්‍රතිභාවක් තියන සුන්දර චරිතයක් මට හම්බ වෙන්න ලැබුන 2016 දී අහම්බෙන් වගේ.
මගේ පළමු පොත "කොළඹ ගමයා " බ්ලොග් අඩවියේ තීරු ලිපි ටිකක් "පොල්කට්ටෙන් එපිටට " කියල පල කරලා පොත එලි දක්වන්න තැනක් හොයමින් හිටිය. චූල (චූලානන්ද සමරනායක) කිව්වා, "අජිත් ඔහොම ඉන්න මම ධර්මසිරි අයියා ගෙන් අහන්නම්. එයාට ත්‍රිකොන් කියල තැනක් තියනවා. " කියල. මට හරියටම මතක නැහැ චූල "අයිය" කිව්වද ධර්මසිරි බණ්ඩාරනායක කීවද කියල නම්. කොහොම හරි මේ ධර්මසිරි බණ්ඩාරනායක මහත්මයා කැමති වෙලා තිබුන. මම ඉතින් ගෙවන්න ඇහුව. සල්ලි ඕනේ නැහැ ඇවිල්ල පොතේ ලෝන්ච් එක කරන්න කීව.
මම චූල එක්ක ගිහින් හමුවුනා ඊට කලින් දවසේ. මේ හෙළ සිනමාවේ දැවැන්තයෙක් හැටියට හිතේ මැවී තිබුන චරිතය නිසා පොඩි චකිතයකුත් තිබ්බ. බොහොම නිහතමානී මහා පොලොවට ලංව ඉන්න සුන්දර මනුෂ්‍යයෙක් මට හමුවුනේ. අවුරුදු ගාණක් දන්නා කියන විධිහට කතා කළා මාත් එක්ක.
මම තවම දන්නේ නැහැ එතුමාට "තුන්වෙනි යාමය " චිත්‍රපටය ඩිජිටල්කරණය කරන්න අවශ්‍ය මුළු මුදලම ලැබුනද කියල. මිනිස්සු අර චින්තන ධර්මදාස කියපු විධියට තෑන්ක් යූ කියන්න ඕනේ නම් කරන්න තිබ්බේ ඒ චිත්‍රපටය බේරා ගන්න එක.
පොත එළි දක්වපු දවසෙත් ධර්මසිරි බණ්ඩාරනායක මහත්මය හිමින් සීරුවේ පිටි පස්සට ඇවිත් වාඩිවෙලා රැස්වීම ඉවර වෙනකන්ම හිටිය. වැඩිපුරම ඇවිල්ල හිටියේ බ්ලොග් යාලුවෝ සෙට් එක. කට්ටියට මතක ත් ඇති. මම හිතන්නේ සැර පානයක් තියනවා දකින්නත් ඇති. චූලා නම් ෆැන්ටා බෝතලයක්ම බිල වෙරි වෙලා හිටියා.
ඕගොල්ලන්ට ඕන වෙලාවක් ගන්න කියල ධර්මසිරි බණ්ඩාරනායක ගියා.
ඒ තමයි මගේ මතකය. අර බලපු චිත්‍රපට හා නාට්‍ය වලට අමතරව.
ඉතින් ඔහු ගැන පොතක් ලියපු එක සාධාරණයි, කාලෝචිතයි.
දීර්ඝායු වේවා ධර්මසිරි බණ්ඩාරනායක මහතාණෙනි.