Thursday, 29 October 2015

පහේ පන්තියේදී

මම ලුණුගල සුන්දර පරිසරයක තුබුණු මාධ්‍ය මහා විද්‍යාලයක ඉගෙන ගත් අවධියේ  ගුරුවරයෙක් විසින් අහිංසක ළමයෙකුට දැඩි ලෙස වේවැල් පහර දුන් ආකාරය පැවසුවේ මේ බ්ලොග් ලිපියෙනි. (ලිපිය) අපේ පන්ති භාර ගුරුතුමියයි තුනේ පන්තියේදී අනුරාධපුරය ගැන මා ලියූ රචනාවක් ඉතාමත් අගය කර  පන්තියටම ඇසෙන්නට කියවන ලෙස කීවාය. මා පටන් ගත්තේ "අපේ පෞරාණික ශ්‍රී විභූතිය විදහා පෙන්වන " වැනි වචන පෙළකිනි. ගුරුතුමිය "ඔය වචන ටික හොයා ගත්තේ කොහෙන්ද?" යයි පසුව විමසුවාය. අප නිතර ගිය එක්තරා නිවසක නවයුගය, ශ්‍රී සඟරාව වැනි පත්තර සඟරා බොහොමයක් තිබුණි.මට මතක විධිහට අති විශාල වත්තක් මැද ගොඩ නැගු සුවිසල් සුන්දර එම නිවාසය වටේ පැෂන් වගාවක් සහිත වතු යායක්ද තිබුණි. මෙම වත්තේ ම එක කෙළවරක නෑමට හැකි ශීතල ජලයෙන් පිරි දිය පිහිල්ලකි. ඒ නිවසේ තිබු පත්තර සඟරා හැකි විට කියවූ මා වචන සොරා ගත්තේ ඒවායිනි. ඒ මම ඩීමන් ආනන්දගේ පොත් වගයක් ලැබී කියවූ කාලයද විය.

ඉතින් නවයුගය මිහිර  වැනි පත්තර  වලට අමතරව ලන්දේසි කතාව, සඳ කුමරිය, විදියේ බණ්ඩාර ආදී  චිත්‍ර කතා මෙන්ම "නොගැලපෙන රෝදේ" වැනි සෝවියට් ළමා කතාද බහුලව කියවූ කාලයකි මෙය. පාසැල අවසන් වූ පසු මගේ හිත මිතුරු මිතුරු සෝමේ  සමග පරණ ටයර් සුදු වැලි පාරේ කන්ද උඩ සිට පහල දොළට  යවන, පොඩි කැලෑවල් තුලට වැදී හිඹුටු, මාදන්, ජම්බු ආදිය රස විඳින, පහළ කුඹුක්කන් ඔයේ පැන නාන සුන්දර අතීතයක් විය එය. (මේ කියන සෝමේ හෙවත්  සෝමතිලක  සිටියේ කුඹුරු යායට දකුණු පැත්තට වෙන්නට තිබූ නිවසකය. ඔහුත් ඉහත ගුරුවරයා බැට  දුන් ජනතාපුර විසූ දරුවාත් එක අයෙකු නොව  දෙදෙනෙකි.)

මේ සියල්ල අවසන් වුයේ සොයුරිය ශිෂ්‍යත්වයෙන් කොළඹ විශාඛා විද්‍යාලයට තේරුණු පසුවය.  අපි සියල්ල පදිංචියට කොළඹ පැමිණියෙමු.කොළඹ පැමිණි අලුතම එක දිනෙක නිල් සහ කහ පැහැති ටී ෂර්ට් දෙකක් ඇඳගත් මමත් මල්ලීත් පිටියේ සෙල්ලම් කළෙමු. එතැනට පැමිණි සම වයසේ පිරිමි ළමුන් කීප දෙනෙකු අපෙන් ඇසුවේ "ඕගොල්ලෝ රෝයල් ද" කියාය. මට එය තේරුනේ නැත.  අපට උපහාසයට මෙන් සිනාසුනු ඔවුන් වෙනත් ළමුන් දෙදෙනෙකු පෙන්වා "මේ ගොල්ලෝ රෝයල් ඒ ගොල්ලන්ට තමා නිල් කහ අඳින්න පුළුවන්" යයි පැවසීය. එසේ කියූ එකා යන්නේ මහානාමෙ ට බවද උජාරුවෙන් පැවසීය. වහා නිවසට පැමිණි අපි මේ ටී ෂර්ට් මෙහෙ අඳින්න තහනම් කියා මව පුදුමයෙන් බලා සිටිද්දීම ගලවා වීසි කෙරුවෙමු.

කොළඹ දී ළමයෙකුට විදුහලක් සෙවීම ඉතා අමාරුයි දෙයකි. බැරිම තැන පියා විසින් මාත් මල්ලීත් දැමුවේ කොල්ලුපිටියේ විදුහලකටය. එය පහේ පන්තිය දක්වා පමණක් වූ ප්‍රාථමිකයක් විය.මේ විදුහල අතීතයේදී පාලනය වූයේ ඒ ළඟම තිබු පල්ලියෙනි. එයට යාබදව එහිම කාන්තා විදුහලත් තිබුණි.  මේ පල්ලිය 1887 පිහිටවූ ඇන්ග්ලිකන් දේවස්ථානයකි. පෞරාණික වූ එය ගලින් නෙලා බදාම කළ අගනා  නිර්මාණයක් බව පෙනුනි. මේ දේවස්ථානය එහි දේවගැති තැන මිනීමැරුමකට අසුවූ නිසා පසු කලෙක කුප්‍රසිද්ධ වුවකි.

රසික, ඉකොනයා සහ රවී පෙන්වා දුන් පරිදි 1961 සි සිරිමා ආණ්ඩුව විසින් කන්‍යාරාම හා පල්ලි වලින් මෙහෙයවුණු විදුහල් සියල්ල "නිදහස්" අධ්‍යාපනයේ නාමයෙන් රජයට පවරා ලදී. ඇය උගත් සෙන්ට් බ්‍රිජට් හා සමහර පල්ලි වලින් පාලනය වුන කොළඹ උසස් යයි සැලකෙන විදුහල් කීපයක් හැරෙන්නට රජයට පවරා ගත් අනිකුත් විදුහල් වල පරිපාලනය හා අධ්‍යාපනය මූල්‍ය ප්‍රතිපාදන නොමැති කමින් ඉතා පහලට වැටුණි. මේ විදුහල් දෙකටද සිදු වුනේ එයමය.මේ විදුහල් වලට ආවේ ඒ ළඟ බේරේ වැව අසල පැල්පත් වල ජිවත් වූ ළමයි සහ කොල්ලුපිටියේ ඩුප්ලිකේෂන් පාරත් පොලිසියත් අතර වැඩි වත්කම් නැති නිවෙස් වල ළමයින්ය. මේ කාලයේ බේරේ  වැවේ පැල්පත් පිහිටි ප්‍රදේශය කොරියාව ලෙස හැඳින්විණි.

මේ විදුහලට ගිය අළුත "ඇයි අනේ ඔය කොරියාවේ ඉස්කෝලේ නැතුව වෙන ඒවා තිබුනේ නැත්ද" යයි කඳුළු පිරි නෙතින් මව පියා ගෙන් විමසුවා මට මතකය. පියා පැවසුවේ "ඕක තමා ලැබෙන්න පුළුවන් හොඳම එක කාගෙවත් පස්සේ යන්නේ නැතුව. (අධ්‍යපන කාර්යාලයේ දන්නා අයෙකු සිටියත්). ඉගෙන ගත්තොත් හොඳ ඉස්කෝලයක් ලැබෙයි." යන්න පමණි.

 පහේ පන්තියට ගිය අළුත මා සමග කතාවට වැටී මුලින්ම යහළු වුයේ උදය නමැති සිසුවෙකි. පන්ති භාර ගුරුතුමිය ගුරුතුමිය පමණක් මුළු දවසටම සිංහල හා තවත් කුමක් දෝ ඉගැන්වූ පසු ඔහේ කතා කර කර ඉඳීම හෝ දැඟලීම මිස වෙන කල යුතු යමක් නැත. මෙහෙම වෙලාවක උදය හා මා අතරවූ කතාබසක් මෙසේය.
"ඔයා දන්නවද මම ඉන්නේ මේ ළඟ"
 "හා"
 "ඔයාට කෙල්ලෙක් ඉන්නවද"
 "නැහැ"
"අයියෝ මට නම් ඉන්නවා. රෝසි. ජම්බේ වගේ. මම ඊයෙත්  අහවල් දේ කළා"
යයි පැවසීය. ලුණුගල මධ්‍ය මහා විද්‍යාලයෙන් පැමිණි මට මේ කිසිවක් නොතේරේ.
 "උඹට තේරෙන්නේ නෑ නේද මැට්ට" ඔයා යනුවෙන් ඇමතීම ඉවරය. ඌ අනිත් එවුන්ටත් කියා මට හිනාවෙයි. ගුණසේන කියා එකෙක් මා ළඟ පැමිණ ඉඳ ගනී.
"ඔයා ගණන් එන්න එපා. ඔය උදය මහා එපා කරපු එකෙක්. ඌ හොරෙන් ගන්ජත් බොනවලු රෝසි එක්ක. රෝසි ට අවුරුදු දාසයයි. ඒකි මහා අම්මන්ඩියක්."
මේ දරුවන් අකාලයේ වැඩි විය පැමිණියවුන් බව මට තේරුනේ පසු කාලයකය. ඔවුන්ට පහේ පන්තියෙන් එහාට යාමට පාසලක් සෙවීම අමාරුය. බොහෝ අය අවුරුදු දෙක තුන අසමත් වෙමින් පහේ පන්තියේම ලැග සිටිති. උදය මේ අනුව අවුරුදු 13 පමණද ගුණසේන අවුරුදු දාහතරක පමණද වූ මට වඩා වැඩිවියේ වූ ළමයින් විය. මගේ වයසේ ළමුන් සිටියේ තවත් කීප දෙනෙකි. නමුත් ඔවුන් ද මට වඩා ඇට්ටර වුනු අයයි.

දින දෙකකට පමණ පසු ගණිත ගුරුතුමා පන්තියට පැමිණියේය. ඔහු පළල් උරහිස් සහිත කැරලි ගැසුණු විශාල කොණ්ඩයක් ඇති උස මහත පෙනුමින් බියකරු අයෙකි. මහත වේවැලක් සමග ඔහු එන විටම දැඩි නිහඬතාවයක් පන්ති සියල්ල පුරාම පැතිර ගියේය. තට්ටු හතරක ගොඩ නැගිල්ලක් වූ මෙහි උඩම තට්ටුවේ පන්ති දෙක තුනක් තිබුණි. අපේ පන්තිය කවදත් හසුරුවා ගැනීමට නොහැකි පන්ති භාර ගුරුතුමිය ගේ මුහුණේ අපුරු උපහාසාත්මක සිනාවක් රැඳෙනු මම යන්තම් දුටුවෙමි. සිනාවට හේතුව සැනෙකින්ම පසක් වූයේ පිට රත් කරමින් වැදුන පහරකිනි. ගණිත ගුරුතුමා මුළු පන්තියටම පිට හරහා ගහගෙන ගහගෙන ගියේය. පහරට අත ඉස්සු අයට දෙකක් වැදුනි. ගුණසේන, උදය වැන්නවුන්ට තුන හතර වැදුනි. මුළු පන්තියම අල්පෙනෙත්තක් වැටුනත් ඇසෙන තරමට නිහඬය. ඔහු ඉන්පසු ඉතිරි ගුරුවරුන් හා කතාවට නික්ම ගියේය. ඔහු විදුහලේ සිටින බව මුළු විදුහලම දන්නා සෙයකි. මුළු විදුහලම නිහඬය. ගුරුතුමියන් ඔහුගේ පැමිණීම ප්‍රිය කරන සෙයක් දැනුනි. ඔහුගේ පහර දීම් වලින් තමන්ගේ කීම් අසන්නේ නැති සිසුන් පීඬා විදින බව දැනීමෙන් ඇතිවූ සතුටකි එය. ජර්මන් බසින් මෙයට ශඩෙන්ෆ්රෞද (schadenfreude) කියා හඳුන්වනු ලැබේ.

 උදය නැවත මගේ උදව්වට පැමිණියේය.
"ඕක තමයි ගණන්, ඉතිහාසේ හෙම උගන්වන්නේ. ආපු ගමන් ගහනවා. යනකොට හිතුනොත් ආයි ගහනවා.
" "පොඩි පන්ති වලටත් ගහනවද? "
"හතරේ එවුන්ටත් ගහනවා.මූ මහෙස්ත්‍රාත් කෙනෙක්. අපේ ඉස්කෝලෙට එන්නේ සමහර දවස් වලට විතරයි. මහේස්ත්‍රාත් වැඩේ බාගෙට. මේක භාගෙට. ටීචර් ලා නැති නිසා එන්නේ."

සෑහෙන වෙලාවක් කඩේ දමාගෙන සිටි ගණිත ගුරුවරයා නැවත පැමිණියේය. මම පිට හරි බරි ගසා ගෙන සුදානම් වුනෙමි. මට දැන් මොහු එපාවී හමාරය. අර ලුණුගල විදුහලේ සිදුවීමෙන් පසු මට ගහන ගුරුවරුන් එපාවී තිබුණි. ඒ වෙලේ ඔහු ගණන් කීපයක් බෝඩ් ලෑල්ලේ ලියා ඒවා හදන්නට නියම කර නැවතත් කොහේදෝ ගියේය. ඒ ඔහුගේ ගජ මිතුරකු වන විදුහල්පති සමග කතා කරන්නට බවත් ඔහු පැය භාගෙකින් නැවත එන බවත් උදය ගාම්භීර පුර්වකව දැනුම් දුන්නේය. මේවා හැමදාම වෙන දේවල් විය යුතුය. කජු කනවාක් මෙන් ඉතා පහසුවෙන් ගණන් ටික සාදා නිම කර මම බලා සිටියෙමි. මා ගණන් සෑදූ බව දැනගත් උදය මගෙන් ඒවා කොපි කර ගත්තේය. සැනෙකින් මුළු පන්තිය  වටාම  මගේ රූල් පොතත් මගෙන් කොපි කර ගත් අනිත් ගණන් පොතුත් ගියේය. මා  දැන් සිටියේ හොඳටම භය වෙලාය. අම්බානක ගුටි කන්නට නියමිතය. ගුරුවරයා පන්තියට පැමිණියේය. කළු ලෑල්ලේ ගණන් ටික සාදා පෙන්වන්නට සැරසුණු ඔහු මගේ පොත දිග හැර තිබෙනු දුටුවේය. බියෙන් සලිත වී සිටි මා අසලට පැමිණි ඔහු ගණන් ටික බලා ලොකු හරියක් දැම්මේය. ඉන්පසු ඊළඟ පොත් ටික බලාගෙන ගිය ඔහු පළමුවන පේළියේ "සියල්ලෝම" ගණන් ටික සාදා තිබෙනු පසක් කර ගත්තේය. ඉන්පසු මට ගණන් ටික හදන හැටි පන්තියට පෙන්වන ලෙස නියම කල ඔහු ඊළඟ පන්තියේ සිටි පන්ති භාර ගුරුතුමිය අසලට ගියේය. මා පෙන්වමින් ඔවුන් මොනවාදෝ කතා කරනු දුටිමි.

 දෙවන දිනයේද පැමිණි ඔහු ගණන් ටිකක් දී මට ඒවා පන්තියට හදන හැටි කියා දෙන ලෙස නියම කර සුපුරුදු සතුටු සාමීචියට ගියේය. සුපුරුදු ලෙස ගුටි කන්නට බලා සිටි ළමුන් විමතියෙන් මා දෙස බැලුවා මිස කිසිවෙක් කිසිවක් කිවේ නැත. ගුණසේන පමණක් පැමිණ මගේ පිටට තට්ටුවක් දැම්මේය. ටික දිනකට පසු ගණිත ගුරුවරයා නැවත පාසලට පැමිණියේය. මෙදින ඔහු අත ප්‍රශ්න පත්තර බණ්ඩලයක් තිබිණි. ඔහු ඒවා මට දී වෙනත් හිස් පන්තියක මා වාඩි කරවා ඒවා කරන්නට මට අණ කළේය.
"ඕවා කරලා ශිෂ්‍යත්වෙන් පාස්වෙන්න බලන්න. ඔයා ට මෙතන අනාගතයක් නැහැ." ඔහු කීවේය. එයින් පසු නිතර මට කරන්නට ප්‍රශ්න පත්‍ර ගෙනවිත් දුන් ඔහු නැවත ළමයින්ට ගැසුවේ නැත. ගැසුවා නම් එසේ කළේ අපට නොපෙනෙන්නට විදුහල්පති තුමා ගේ කාමරයේදී ඉතා අකීකරු ශිෂ්‍යයෙකුට හෝ අනිත් ගුරුවරුන් ගේ කීමට පමණි. විදුහල්පතිවරයා ළමුන්ට වැඩිය පහර නොදෙන ළමුන්ට කෑ ගසන්නට ඉඩ දී සිටි නිහඬ අයෙකු වීමද මෙයට එක හේතුවක් වන්නට ඇත.

ශිෂ්‍යත්ව විභාගයේ පළමු කොටසින් මුළු පාසලෙන් ම සමත් වී තිබුනේ මා පමණි. මේ වන විට ගණිත ගුරුවරයා ගේ ගැහිල්ල නතර කළ ශිෂ්‍යයා ලෙස මට සෑහෙන පිළි ගැනීමක් තිබුණි. විදුහලේ ත්‍රිපෝෂ බිස්කට් හයක් දෙන අතර එය බෙදීමට භාර දී තිබුනේද මටය. මම ගුණසේන හා තව කීප දෙනෙකුත් සමග එය කලෙමි. බඩගින්නේ වැඩිපුර සිටින මේ ළමයින් බිස්කට් ටික එනතුරු බලා සිටින බව මට පසුව අවබෝධ විනි.

මේ පාසලේ අඹරල්ලා ගෙඩි එකට ගසා වඩා හොඳින් එය කුඩු කල තැනැත්තාට ගෙඩි දෙකම අයිති වන ලෙස කරන සෙල්ලමක් තිබිණි. මේ දඩබ්බර ළමයි "අඹරැල්ල සෙල්ලමේ " විනිශ්චය කරු ලෙස යොදා ගත්තේද කොට පුංචි එකෙකු වූ මාවය. ඒ වන විට ඔවුන්ගේ මතයට අනුව මම එයට සුදුස්සෙකු වී සිටියෙමි. ඒ සෙල්ලමේ නිතරම දිනුවේ ඈෂ්ලිය. ඈෂ්ලි නිතරම කිව්වේ ඔහු පියා පැමිණි පසු ඔස්ට්‍රේලියාවට යන බවය. බර්ගර් ළමයෙකු වූ ඔහුගේ සුදු පැහැපත් මව තව දරුවෙකුද සමග පැමිණ ඔහු පාසල අවසන් වූ පසු රැගෙන යනු මම කීප වරක් දුටිමි.

උදයගේ ප්‍රවෘත්තිය ඉක්මනින් ලැබුණි. ඈෂ්ලි ගේ පියා ඔස්ට්‍රේලියාවට ගියේ ඔහුගේ මව අතහැර නියම "කෑල්ලක්" සමග බවත් ඔහු නැවත කිසිදා නොඑන බවත් උදය පැවසීය. ඈෂ්ලි අඹරල්ලා සෙල්ලම නිතර දිනන්නේ ඔහුට දවල් කෑම නොලැබෙන නිසා බවද ඔහු කීය. සමහර විට ඈෂ්ලි දිනු අඹරැල්ල බිස්කට් වලට මාරු කරනු මා දැක තිබේ. ඒ මව සමග එන නංගීට දෙන්නය. බොහෝ සිසුන් බිස්කට් වලට ඔට්ටු අල්ලනු සහ බිස්කට් සීට්ටු දමනු මා දැක තිබේ. ඒ ගෙදර ගොස් පාසල් නොඑන නංගිලා මල්ලිලාට දී ඔවුන්ගේ කුස ගිනි නිවීමටය.

ශිෂ්‍යත්ව විභාගයේ දෙවන කොටසින් මා සමත් වූ බව දැන ගන්නා විට ගණිත ගුරුතුමා පාසලෙන් නික්ම ගොස් තිබුණි. ඔහු නැවත ගුරු වෘත්තියට නොපැමිණ මහේස්ත්‍රාත් වරයෙකු ලෙස කටයුතු කරන බව පමණක් පන්ති භාර ගුරුතුමිය කීවාය. මට ඔහුට ස්තුති කිරීමට පවා නොහැකි විණි. එම විදුහලේ පසුගිය අවුරුදු ගණනටම  ශිෂ්‍යත්වයෙන් සමත්ව සිටියේ මා පමණක් බව විදුහල්පති මගේ පියා සමග පැවසීය.

 මට ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වීමෙන් පසු ලැබී තිබුනේ ආනන්දයයි. ඒ වන විට ආනන්දයේ 6 වසර ඇතුලත් වීමේ විභාගයෙන් ද සමත්ව මම ආනන්දයට ඇතුලත් වී සිටියෙමි. ඒ දිනවල එහි පිහිනුම් තටාකය සාදන කාලය නිසා අලුත් සිසුන්ගෙන් ඒ සඳහාද මුදලක් අය කරන ලද බව මට මතකය. රාජකීය විද්‍යාලයේ ඇතුල් වීමේ විභාගයෙන් ද මා සමත් බවට ලිපියක් ලැබුණි. එක්තරා හිතවත් පිරිසක ගේ තදබල කීමට මගේ පියා මා ආනන්දයෙන් අස් කර රාජකීය විදුහලට ඇතුලත් කළේය. ආනන්දය මරදානේ තිබීම, බස් දෙකකින් යාමට තිබීම ආදී නොයෙක් හේතු ඔහු කි නමුදු මම ඒ ගැන දුක් වුනේ කර්නල් ඕල්කොට් මුලික වී ආරම්භ කල විදුහල් ගැන මා ඒ වන විට කියවා තිබු බැවිනි.

 රාජකීය විද්‍යාලයේ මුල් දින අවුලක් නැතිව ගෙවී ගියේය. මම ක්‍රිකට් පුහුණුවට යාමට පටන් ගතිමි. පසුව ප්‍රසිද්ධ වූ ක්‍රීඩකයන් කිහිපයක් ම කනිෂ්ඨ කණඩායමේ සිටියහ. අපි බෝල අහුලන්නට පුරුදු වුන කණ්ඩායමේ සිටියෙමු. එක දිනක් කටයා නමින් හඳුන්වන නියෝජ්‍ය විදුහල්පති තුමා එතනට පැමිණියේය. ඔහු ක්‍රිකට් පුහුණු වන තැන පිටියට නිතර පැමිණෙන බව සිසුන් කීවත් ඒ මා ඔහු දුටු පළමු දිනයයි. ඔහු මාවත් තවත් සිසුන් දෙදෙනෙකුත් ලඟට කැඳවීය. කිසිවක් නොකියාම තුන් දෙනාගේම කම්මුලට තද පාරවල් තුනක් එල්ල විය. ඉන්පසු තවත් කීප දෙනෙකුට කතා කල ඔහු නික්ම ගියේය. මගේ ක්‍රිකට් පුහුණුව එතැනින්ම නිම විය. ඉන් අවුරුදු ගණනක් යන තුරු එනම් නමය පන්තිය වන තුරු මම පාසලින් පසු නතර වීමට සිදුවන කිසිම බාහිර ක්‍රියාකාර කමකට නොගියෙමි.

 ගුරුවරු හෝ දෙමාපියන් ඉතාමත්ම තීරණාත්මක මොහොතක හේතුවකට මිස ළමුන්ට පහරක් නොගැසිය යුතුය යන ස්ථාවරයේ මම අදත් සිටිමි. ඔවුන් ගැසූ නිසාම තමන් හරි වැරැද්ද ඉගෙන දියුණු වුණා යයි කියන සහෝදර සිසුන් එසේ පැවසීමෙන් ම තම දෙමාපියන්ට කරන්නේ නිගරුවක් බව මගේ හැඟීමයි. නැවත සිසුන්ට පහර නොදී රැකියාවෙන් ඉවත්ව ගිය ගණිත ගුරුතුමා අදත් දැඩි ගෞරවාදරයකින් යුතුව සිහි කරමි.


Sunday, 18 October 2015

චන්ද්‍රසේඛර් ගේ සීමාව

චන්ද්‍රසේඛර් ගේ සීමාව කියල කියන්නේ මම හුඟක් කැමති "සීමාවක්". ඒකෙ  තියෙන ගණිතය ටිකක් තේරුම් ගන්න අමාරු විය හැකි නිසා (භෞතික විද්‍යාව කරලා නැත්නම්) ගණිතමය  කොටස් අත හැරලා කතාව කියන්න බලමු. සුබ්‍රමානියම් චන්ද්‍රසේඛර්  ඉපදුනේ 1910 ඔක්තෝබර් 19 දා බ්‍රිතාන්‍ය ඉන්දියාවේ ලාහෝර් නගරයේ. 

ඔහුට සහෝදරියන් තිදෙනෙක් සහ සහෝදරයන් හය දෙනෙක් සිටියා. ඔහුගේ සීයා ශ්‍රීමත්  (බ්‍රිතාන්‍ය  නයිට් ධූරයක් )  චන්ද්‍රසේඛර රාමන්. රාමන් ඉන්දියානු භෞතික විද්‍යාඥයෙක්. ඔහුට නොබෙල් ත්‍යාගය ලැබුණා 1930 දී. ආලෝක තරංග විනිවිද පෙනෙන ද්‍රව්‍යයක් අතරින් ගමන් කරද්දී  (traverse) ඉන් වෙනතට (deflect -අපගමනය වන )  විහිදී යන ආලෝක තරංග වල තරංග ආයාමය  (wavelength) වෙනස් අගයක් ගන්නා  බව සොයා ගත්තේ ඔහුයි.  එයට කියන්නේ රාමන් ස්කැටරින් කියායි. ඔහුගේ පියා  එහෙම නැත්නම් අපේ චන්ද්‍රසේඛර් ගේ මුත්තා (සීයා ගේ පියා) භෞතික විද්‍යාව  හා ගණිතය ඉගැන්වූ විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක්. ඉතින් අපේ චන්ද්‍රසේඛර් නුත් ඒ පැත්තටම හැරුන. 

ඔවුන් ද්‍රවිඩ පවුලක්. මව ඔහුට දෙමළ  භාෂාව ඉගැන්වූ අතර පියා ගණිතය සහ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූවා. ඒ කියන්නේ මුල් කාලයේ ඉගෙනුම කලේ නිවසේදී. පසුව පුද්ගලික ගුරුවරයෙකු ගෙන් ඉගෙන ගෙන 1921 දී  ට්‍රිප්ලිකන්  හින්දු උසස් විදුහලට ඇතුල් වුණා. එය අවසන් කල ඔහු  මදුරාසි විශ්ව විද්‍යාලයේ ප්‍රසිඩන්සි කොලේජ් නමැති උසස් අධ්‍යාපන පීඨයේ උසස් අධ්‍යාපනය නිම කලා . ඔහු හැදෑරුවේ ගණිතය, භෞතික විද්‍යාව , රසායන විද්‍යාව හා සංස්කෘත භාෂාව. ඔහු එහි විවාද කණ්ඩායමේ ද සාමාජිකයෙක් වූවා. එම විද්‍යාලයේදී ඔහු "කොම්ප්ටන් ස්කැටරින් හා නව ගණිතමය දත්ත" නමින් විද්‍යාත්මක පර්යේෂණ ලිපියක් පළ කලා. 

කොම්ප්ටන් ස්කැටරින් කියන්නේ ආරෝපිත අංශුවක්  මගින් අනම්‍ය ෆෝටෝනයක මග වෙනස් කිරීම නැත්නම් විසිරුවා හැරීම. සොයා ගත්තේ ආතර් හොලි කොම්ප්ටන් විසින්  (1927 නොබෙල් ත්‍යාගය). ඉතින් ඒ කාලයේම කල සොයා ගැනීමක් ගැන පර්යේෂණාත්මක ලිපියක් ලිවිමෙන්ම ඔහු පෙන්නුම් කලා භෞතික විද්‍යාව හා ගණිතය පිලිබඳ ඔහුගේ දැනුම.

ඔහු මැවිසුරුපති උපාධිය ගත්තේ 1930 දී. ඉන්පසු ඉන්දීය රජයේ ශිෂ්‍යත්වකින් එංගලන්තයට පැමිණි චන්ද්‍රසේඛර් කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ට්‍රිනිටි කොලේජ්හි ඉගෙනුම ලැබුවා. ශිෂ්‍යත්වය සඳහා නැවේ  පැමිණෙත්දී ඔහු තාරකා  පරිණාමය ගැන හදාරමින් සහ ඒ පිළිබඳව සිතමින් පැමිණියා.  ගැඹුරු මුහුදේ සිට තාරකා  නිරීක්ෂණය කරමින් පැමිණි ඔහු,  සමහර තාරකා  වල ඉරණම දරුණු බවත් ඇතැම් තාරකා ගුරුත්වාකර්ෂණය බිඳවැටීම (gravitational collapse ) නිසා පිපිරී මිය යන බව හා කළු කුහර වැනි දෙය බිහි වෙන බවත් තමන් යොදාගත් ගණිතමය ක්‍රම වලින් නිගමනය කළා. 

 සුදු වාමන තාරකාවක (white dwarf star) උපරිම ස්කන්ධය කෙතෙක්ද යන්න මුලින්ම පර්යේෂණ පත්‍රිකාවක සඳහන් කලේ විල්හෙල්ම් ඇන්ඩර්සන් හා ඊ  සී  ස්ටෝනර් විසින්  වුවත් එය මුලින්ම ඔවුන්ගෙන් ස්වාධීනව ගණිතමය වශයෙන් සොයා ගත්තේ සුබ්‍රමනියම් චන්ද්‍රසේඛර්.  එවකට සිටි තාරක විද්‍යාඥයන් එය පිළිගත්තේ නැහැ. එයට හේතුව එවැනි උපරිමයක් තිබීමට නම් කළු කුහර (black holes ) තිබීම අනිවාර්ය හෙයින්. එවැන්නක් තිබේ යයි එදා විශ්වාස කලේත් නැහැ .

එදවස රාජකීය තාරකා  විද්‍යා සංගමයේ එවකට සභාපතිව විසු සර් ආතර් එඩින්ටන් සුබ්‍රමනියම් චන්ද්‍රසේඛර් ව සත පහකට මායිම් නොකළා  පමණක් නොව සුබ්‍රමනියම් බොරු කාරයෙකු බවටද චෝදනා කළා. සුබ්‍රමනියම් එඩින්ටන් ඔහුට විරුද්ධව ක්‍රියා කරන්නේ සුදු හමේ අහංකාරය නිසා බවට විශ්වාස කළා මෙන්ම  සුබ්‍රමනියම් ඉන්දියානුවෙකු වීමද එඩින්ටන්  ට ප්‍රශ්නයක් විනි යයි ඔහු විශ්වාස  කළා.  එඩින්ටන් 1935 දී සුබ්‍රමනියම් චන්ද්‍රසේඛර් ව ප්‍රසිද්ධියේ පහත් කර දරුණු විවේචනයක් කළා . ඔවුන් අතර විරසකය  කෙතරම් දැඩි වීද යත් සුබ්‍රමනියම් චන්ද්‍රසේඛර් ඇමෙරිකා  එක්සත් ජනපදය බලා  ගියේ මේ නිසා යයි පැවසෙනවා. එඩින්ටන් කළු කුහර පිලිබඳ විශ්වාස කලේ නැති අතර භෞතික විද්‍යාවේ  සොයා ගැනීමට ඇති සියල්ල සොයා ගෙන ඇති යයි ප්‍රසිද්ධියේ කියා සිටි අහංකාර පරවශ පුද්ගලයෙකු ලෙසද ඔහුගේ සමකාලීනයන් හඳුන්වාදී තිබෙනවා.

 කෙසේ වුවද අයින්ස්ටයින් ගේ සාපේක්ෂතාවාදය 1919 සුර්යග්‍රහණය පැවති  අවස්ථාවේදී ඔප්පු කිරීම පිලිබඳව එඩින්ටන් ඉතා ප්‍රසිද්ධ වුණා. එඩින්ටන් පසුව රාජකීය තාරකා  විද්‍යාඥයා වශයෙන් ද සේවය කළා. මේ නිසා එඩින්ටන් ට විරුද්ධව සුබ්‍රමනියම් ගේ පැත්ත  ගැනීමට කිසිවෙක් සිටියේ නැහැ. මේ හේතුව නිසාම සාපේක්ෂතා වාදය හා ක්වන්ටම් භෞතිකය  ගැන ඉගෙනීම තව වසර දහයක් වත් පස්සට ගියා  කියලත් කියන්න පුළුවන්.

ආතර්  මිලර් විසින් ලියු සුබ්‍රමනියම් චන්ද්‍රසේඛර් ගේ චරිතාපදානයේ "Empire of the Stars: Obsession, Friendship, and Betrayal in the Quest for Black Holes" මේ පිළිබඳව ඉතාමත් සිත් ගන්නා  ලෙසින් විස්තර කර තිබෙනවා. හැකිනම් කියවන්න.

අයින්ස්ටයින් ගේ සාපේක්ෂතා  වාදය හා ක්වන්ටම් භෞතිකය ඇසුරෙන් සුබ්‍රමනියම් චන්ද්‍රසේඛර් පෙන්නුම් කළා මෙහෙම දෙයක්.  ඉලෙක්ට්‍රොන වියෝජනය (ඩිජෙනරේට්) වීමෙන් ඇතිවන වායුව නිසා නොනැසී පවතින  සුදු වාමන  තාරකාවක  ස්කන්ධය අපගේ හිරුගේ ස්කන්ධය වගේ 1.44 ක ප්‍රමාණයට වඩා වැඩි නම් එය ස්ථායී ව තිබෙන්නේ නැති බව. හැබැයි එහි තාප-න්‍යෂ්ටික ඉන්ධන සම්පුර්ණයෙන් නිම වී නැත්නම් මේ උපරිම ස්කන්ධය මීට වඩා ටිකක් වැඩි වෙන්න පුළුවන්. සැබවින්ම පවතින  සුදු වාමන  තාරකා වල ස්කන්ධය ගණනය කිරීමේදී ඒවා චන්ද්‍රසේඛර් සීමාවට වඩා අඩු බව සොයා ගෙන තිබෙනවා. තමන්ගේ න්‍යෂ්ටික ඉන්ධන දැවී ගොස්  ජිවිත කාලය අවසන් වීමේදී තාරකා වල ස්කන්ධය චන්ද්‍රසේඛර් සීමාවට වඩා වැඩි නම් ඒවා නියුට්‍රෝන් තාරකා  හෝ කළු කුහර බවට පත් වෙන බවත් සාක්ෂි සහිතව සොයා ගෙන තිබෙනවා.  අපගේ ඉර සාමාන්‍ය  සුලභව පවතින තාරකාවක්. නමුත් මුළු මහත් විශ්වයේ අපේ ඉර වගේ 1.44 ක බරක් තිබ්බොත් සුදු වාමන  තාරකාවක් වෙනවා යයි සොයා ගැනීමම මටනම්  විශ්මය දනවන්නක්.

ජර්මනියේ ගොටින්ගන්හි  න්‍යායික භෞතික විද්‍යා සරසවියේ මැක්ස්  බොර්න්  සමග වැඩ කල චන්ද්‍රසේඛර් සති හතරක කාලයකට 1937 දී රුසියාවට පැමිණුනා.  ලෙව්  දවිදවිච් ලන්දෞ නමැති ප්‍රසිද්ධ ක්වන්ටම් භෞතික විද්‍යාඥයකු සමගද වැඩ කටයුතු කල ඔහු 1937 දී ලලිතා  දොරේසාමි සමග විවාහ වුනා.  මෝර්ටන් ඩි හල්  සම්භාවනීය අභ්‍යවකාශ හා භෞතික විද්‍යාව මහාචාර්ය වරයෙකු ලෙස චිකාගෝ සරසවියේ කටයුතු කල චන්ද්‍රසේඛර් අස්ට්‍රෝපිසිකල් ජර්නල් හි ප්‍රධාන කර්තෘ බවටද පත් වුණා .

ඔහු විශ්‍රාම ගියේ 1980 වසරේදී. දිගටම අධ්‍යනය කරමින් 1983 දී කළු කුහර පිලිබඳ ගණිතමය ප්‍රමේයයන් නමින් පර්යේෂණයක් පල කල ඔහු 1983 දී නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබුවා. ඔහු 1995 අගෝස්තු 21 දා මිය ගියා.  එඩින්ටන් ගේ ඉරිසියාවට යට නොවුණු මේ මහා ප්‍රාඥයා ලැබුණු රිදුම් හමුවේ පරාජය භාර  ගත්තේ නැහැ.  අවසාන සිනහව අයත් වුයේ ඔහුටයි.

මූලාශ්‍ර :

තාරක පරිණාමය ගැන කියවන්න -මන්දකිනියෙන් ඔබ්බට බ්ලොගය   : http://beyond-the-galaxy.blogspot.co.uk/2015/02/StellarEvolution.html
මැවිසුරුපති - රසික සුරියආරච්චි ගෙන් උපුටා ගත් වචනයකි
Stellar Evolution and Nucleosynthesis Sean G Ryan and Andrew J Norton http://www.notablebiographies.com/knowledge/C__V__Raman.html





Wednesday, 14 October 2015

නෙළුම් යාය බිනර මස ත්‍යාගය

බිනර (සැප්තැම්බර්) මස ත්‍යාගය තෝරා ගැනීමට ඉතාමත් අපහසු කරුණක් වුන බව කිව යුතුයි. දේශකයා  විසින් අම්මා  කියා ලස්සන කවි පෙළක් නිර්මාණය කරලා තිබුන. උපේක්ෂා  ගේ බ්ලොගයේ ඉතාම සුන්දර කෙටි කතාවක්  (කවදාද ඒ වැහි වහින්නේ නොදනිමි) මාස දෙකක් තිස්සේ ඇදී යනවා. ඒක  නම්  තවම ඉවර නැහැ.  නිදහස් සිතුවිලි බ්ලොගයේ පටන් ගත්තොත් දිගටම නොනවත්වා කියවන්න හිතෙන පරිවර්තනයක් යනවා.  වෙලාවක් තියෙනවා නම් ගිහින් බලන්න. අනිකුත් බ්ලොග් වලත් ඉතාමත් හොඳ නිර්මාණ රාශියක් පලවෙන බව කිව යුතුයි.


අපි හිතුව පසුගිය මාසය සඳහා මේ කවි පෙළ  තෝරා ගන්නට.  එම කවි පෙළ තිබෙන්නේ මෙතන.
http://madhumadhavi135.blogspot.co.uk/2015/09/blog-post_8.html

අපි කවුරුත් දන්නා මධු මාධවී රස සරණියේ. අපි හැමෝම කියවෙලා හිනා වෙන උපහාසාත්මක කොමෙන්ටු  පල කරමින් හොඳ සුහදතාවයකින් වඩා බර නැති සාකච්චා යන මේ බ්ලොගයේ මෙවැනි සවේදී කවි පෙලකුත් පල වුනා. අවස්ථා දෙකක් සංසන්දනය කරමින් විවාදයට තුඩු දෙන මාතෘකාවක් සාකච්චා කරන කවි පෙළක්. පටන් ගන්නේ මෙහෙමයි.


එදා...

අපිනම් හැඬුවෙමු....
මුළු හදවතින්ම
තෙත් නොවූවත් දෑස
තෙත් බැවින් හදවත


ඒ සිඟිති සිරුරට
දැනුන කිසිදා නොදැනුණු
ගිනියම් ඊයමක රිදුමන්
අපේ සිතටත් දැණුනි

ඒ වගේම මේ බ්ලොගයේ තව දුරටත් උපහාසය සහ විනෝදය පිරි කවි පෙළවල් ලියවෙනවා. මධු මාධවී තවත් බ්ලොගයකුත් පටන් ගෙන තිබෙනවා. මට පෙනෙන හැටි  කියා පළවෙන්නේ එම බ්ලොගයේ යන ජීවන් අත්දැකීම් ටිකක්. ඉතින් අපි  හිතනවා  නෙළුම්  යායේ  බිනර මස ත්‍යාගය හිමි වන්නේ එම අඩවියට කියා.

එසේම කෙටි දැන්වීමකුත් කරන්න කැමතියි. වැඩ අධික කම නිසා මාතලන් සහ කල්‍යාණ මිත්‍ර (සුමිත්) බ්ලොග් සංසදයේ ඉදිරි වැඩ කටයුතු සඳහා සහභාගී වෙන්නේ නැහැ. ලබන අවුරුද්දේ මැදින්  මස  පැවැත් වෙන  සම්මාන  උලෙළ සංවිධානය කිරීමට උදව් කරන බව දන්වා  තිබෙනවා. මේ සඳහා  බ්ලොග් සංසදයේ සභාපති හා ලේකම් මෙන්ම කාරක සභාවක් ලෙස කටයුතු කිරීමට කැමති බ්ලොග් කරුවන්ට ආරාධනා කරන්න කැමතියි. මේවා වැටුපක් ලැබෙන තනතුරු නම් නොවේ. එකතුවී සම්මාන උළෙල සංවිධානය කිරිමට මෙන්ම අනෙකුත් වැඩ කීපයක් සඳහා කිසියම් සංවිධානයක් අවශ්‍ය වීම නිසා තමා  මේ ආයාචනය කරන්නේ. කැමති අය මේ ලිපිනයට දන්වන්න.

editor@nelumyaya.com
editor@lankanewsweb.con

ඉහත නම් සඳහන් කල බ්ලොග් සහ මධු මාධවී බ්ලොගය 2016 සම්මාන උළෙල සඳහා නිර්දේශ කර තිබෙන බවද දන්වමු. 

Friday, 9 October 2015

කුලී හමුදාව, මිනීමරු හමුදාව , සුදු හමුදාව හා රතු හමුදාව

යුදෙව් සිර කඳවුරක් මුදා ගනිද්දී 
මිට අවුරුදු 33 කට පමණ පෙර මා දන්නා දෙමළ/සිංහල   ජාතික ධිවරයන් දෙදෙනෙකු  මන්නාරමේ සිටියහ. මා  එසේ කීවේ ඔවුන් මිශ්‍ර විවාහ වලින් උපන් අය නිසාය.  රාජුගේ පියා දෙමළ ජාතිකයෙකු වූ අතර මව සිංහල/දෙමළ මිශ්‍ර විවාහයකින් උපන් තැනැත්තියක වූවාය. ඔහුට  දෙමළ භාෂාව චතුර ලෙසද  සිංහල තරමක් දුරටද කතා කළ හැකි විය. ඔහුගේ යහළුවා වන විජේට සිංහල හා දෙමල හොඳින් කතා කල හැකි වූ අතර ඔහුගේ පියා  සිංහලද මව දෙමළද විය. ඔවුන් මෙන්ම තවත් ඇතැම් මන්නාරමේ  ධීවරයන්ද ඩයිනමයිට් දමා ඈත මුහුදේ මාළු මැරුණු පසු ඒවා දුම්රියේ පටවා  කොළඹ ගෙනවිත් විකුණා හොඳ ආදායමක් ලැබුහ.  මට මතක විධිහට මා ඩයිනමයිට් දමා මාළු ඇල්ලීමේ ආදීනව කියා දුන්නද ඔවුන් ට එය එතරම් තේරුනේ නැත. ජිවත් වීමට වෙන විධිහක් ඔවුන් නොදත්හ.  මේ දිනවල යාපනයේ යන්තම් කලබල පැවතියත් මන්නාරම සාමකාමී ප්‍රදේශයක් විය.

කොළඹ පැමිණෙන ඔවුහු ලැබුණු මුදල් වියදම් වනතුරු දෙමළ, හින්දි හා ඉංග්‍රීසි චිත්‍රපට නැරඹීම මෙන්ම හොඳ ආපනශාලා වලින් ආහාර ගැනීමද  කළහ. හොඳ නිවසක් සාදා ගැනීම, නිවසකට බඩු  භාණ්ඩ ගැනීම හෝ පොතක් පතක් කියවීම වැනි දේ ගැන කිසිම උනන්දුවක් නොදැක් වූ ඔවුන් කොළඹ  පැමිණි විට බොක්සින් තරඟ හා ෆපාපන්දු තරංග නැරඹීම විනෝදාංශයක් කර ගත්හ. ඔවුහු උද්යෝගිමත්ව දිරි දුන්නේ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම් වලටය. මේවා බලන්නට දෙමටගොඩ, කොම්පඤඤ විදිය ආදී පෙදෙස් වලින් පැමිණි දෙමල හා  මුස්ලිම් ක්‍රීඩා ලෝලීන් ද වඩා  සහය දුන්නේ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමටය. ඔවුන්ට මේ සිංහල භට කණ්ඩායමක් කියා හැඟීමක් නොතිබුණි. ඒ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමක්ම විය. මේ හමුදාව සිංහල යුද හමුදාව ලෙස දෙමළ මාධ්‍ය නම් කලේ පසු කලෙකය.

රාජු මෙන්ම විජේද අකමැති හමුදාවක් එකල තිබිණි. ඒ පොලිස් හමුදාවයි. එයට හේතු ලෙස ඔවුන්  කිවේ මෙවැනි කතාවකි. ඔවුන්ගේ ගමේ (මන්නාරම) පාරේ එනවිට කුලීනයන් එත් නම් අයින්වී ඉඩ දිය යුතුය. පොලිසිය එන්නේ නම් නගරයේ කාණුවට බැසිය යුතුය. ගමේ නම් පාරෙන් සම්පුර්ණයෙන්ම ඉවත් විය යුතුය. එසේ නොකරන විට ඊළඟ  දිනයේ  ඩයිනමයිට් තිබීමේ වරදට අල්ලා  ගෙන ජීප් රථයේ දමා  පහර දී එලියට දමති. නමුත් ඩයිනමයිට්  දමා අල්ලා ගන්නා මාළු වලින් කොටසක් හෝ ඉන් ලබන ආදායමින් කොටසක් නියමිත පොලිස් නිලධරයන්ට, ග්‍රාම සේවකට සහ තවත් වැදගත් අයටද දිය යුතුය.  රාජු මෙහිදී වඩාත් බැට කෑ අයෙකි. එක රාජන් (ඔහු සාජන් ට කිවේ රාජන් කියායි) මහත්තයෙක් ඔහු දුටු  තැනදී කම්මුලට ගසයි. ඔහු එයට හේතුව නොදනී.

පසු කලෙක යුද්ධය දරුණු වෙත්දී රැකියා විරහිත වුනු (ඩයිනමයිට් දමා මසුන් ඇල්ලීමට  නොහැකිය. නාවික හමුදාව මුර යොදා තිබුණි) ඔවුන් ගෙන්, රාජු දෙමල සටන් කාමී කණ්ඩායමකට බැඳෙද්දී විජේ සිංහල තරුණියක විවාහ කරගෙන කුරුණෑගල පැත්තේ පදිංචි විය. රාජු  හමුදාවේ හෝ වෙනත් සටන්කාමී කණ්ඩායමක වෙඩි පහරකට ගොදුරුවී මිය ගිය බව විජේ මගේ සොයුරාට හමුවුණු විටෙකදී  කියා තිබිණි. විජේ දෙමළ පෙදෙසකින් ආ  නිසා කුරුණෑගල දී කිසියම් හිංසාවන් වගයකට ද ගොදුරු වී තිබුණි.

හමුදාව පිළිබඳව දෙමල ජනතාව අප්‍රසාදය මුලින්ම  පල කලේ බ්‍රිගේඩියර් වීරතුංග මහතා ගේ සමයේ බව රාජු හා විජේ මෙන්ම තවත් කීප දෙනෙක්ම මට පැවසුහ. එක හේතුවක් නම් දෙමල සංවිධාන වල බැඳී සිටියයි හරියටම නොදැන වුවත්  දෙමළ තරුණයන් පිරිස් වශයෙන් ගෙන මුහුදු වෙරළේදී  වෙඩි තබා මරා දමන ලද නිසා යයි කියති. මට මෙය ඔප්පු කරන්නට සාධක නැත.

කුලී හමුදාව ?

කුලී හමුදාවක් කියා ලංකාවේ ඇතැම් අය  නම් කරන්නේ පඩියට රැකියාව කරන සොල්දාදුවන් සහිත හමුදාවකටය. එසේ බලන විට ශ්‍රී ලංකාවේ, ඇමෙරිකාවේ, එංගලන්තයේ, ජපානයේ, ඉන්දියාවේ හා වෙනත් යුරෝපීය රටවල සෑම හමුදාවක්ම  (යුද හමුදා, නාවික, ගුවන් හා පොලිස්) කුලී හමුදාවන් ය. ඔවුන් සියල්ලෝම රැකියාවක් ලෙස හමුදා සේවයට බැඳී ඇති බැවිනි.

මා  දන්නා පරිදි බහුතරයක් බ්‍රිතාන්‍යයන්  කුලී හමුදාවක් කියා බ්‍රිතාන්‍ය හමුදාවට අපහාස කරන්නේ නැත. ඒ වෙනුවට දකුණේ මෙන්ම වමේ නායකයන්ද ඔවුහු රට වෙනුවෙන් පළමුවන සහ දෙවන ලෝක යුද්ධ වලදී දිවි පිදූ බව සිහිපත් කරති. ඉන්දියාව, ඇමෙරිකා එක්සත් ජනපදය වැනි රටවලද එය එසේය. ඇමෙරිකානු හමුදාවට බොහෝ චෝදනා තිබේ. ඒ ඇමෙරිකානු විදේශ හා දේශපාලන ප්‍රතිපත්තීන් නිසාය . බොහෝ වාමාංශික කොටස් ඔවුන්ගේ කටයුතු ගැන  චෝදනා කරති. නමුත් පඩියට රැකියාව කරන හමුදාවක් වුවද ඔවුන් ජීවිතය පුජා කරන්නේ තමන්ගේ රටේ දේශපාලන හා හර පද්ධතීන් වෙනුවෙනි. ඇමෙරිකානුවන් ගෙන් බොහොමයක් රජයට විනා  හමුදා භටයන්ට චෝදනා කරන්නේ නැත.

රුසියාවේ හමුදාවට අනිවාර්ය සේවය ඇතුලත්ය. එනම් සෑම වැසියෙක්ම අවම වශයෙන් අවුරුදු දෙකක් හමුදා සේවයේ යෙදීම අනිවාර්යය.  ඒ නිසා ඒ අය  කුලී හමුදා භටයන් නොවේ. (අර තර්කයට අනුව) නමුත් පුර්ණ කාලීන  හමුදා සේවයේ යෙදී සිටින සොල්දාදුවන් හා නිලධරයන් ගෙවීමක් ලබති. නැත්නම් ඔවුන් අඹුදරුවන් රක්ෂා කරමින් ජිවත් වන්නේ කෙසේද? පඩි ලබා සේවය කරන සොල්දාදුවන් කුලී හේවායන් ලෙස සලකා  නිග්‍රහ කරන රුසියානුවෙක් නැත.

 රුසියානු හමුදා චෙචේනියාවේ වැසියන්ගේ මානව හිමිකම් උල්ලංඝණය කල බවට චෝදනා තිබේ. මෙයට වැරැද්ද පැටවිය යුත්තේ ඔවුන් චෙචේනියාවේ යුද්ධයට මෙහෙයවූ පූටින්ට  සහ රුසියානු රජයටයි. සොල්දාදුවා වැරදි කරුවෙකු වන්නේ තමන් ගේ අණට එපිටින් ක්‍රියා කරමින් අහිංසක චෙචේන්  වැසියන් විනෝදයට වධ හිංසා පමුණුවා හෝ නිරපරාදේ ඝාතනය කලොත් පමණි. එවැනි කීප දෙනෙකු රුසියානු රජය අත් අඩංගුවට ගත්  බවට වාර්තා තිබේ.

කියුබානු හා ජර්මානු නීතිය අනුව අනිවාර්ය යුධ සේවයක් තිබේ. ඉන්පසු සිවිල්  රැකියාවකට ගිය හැකිය. කියුබාවේ පුර්ණකාලීන (විප්ලවකාරී ) හමුදාවට පඩි ගෙවනු ලැබේ. නමුත් ඔවුන් ඒ කාර්යය කරන්නේ රට වෙනුවෙන් බව කියුබානුවන්ගේ පිලි ගැනීමයි.

මිනීමරු හමුදාව 

ශ්‍රී ලංකා හමුදාවන්ට මිනීමරු හමුදාවක්  ලෙස නම් කරමින්  "අලුත් පරපුර" නමැති කණ්ඩායමක් අගෞරව කරන බව යහළුවෙක්  කණගාටුවෙන් මෙන් පැවසීය. සොයා බැලීමේදී මා දන්නා හඳුනන අයද  මේ "පරපුරේ" සිටින බව දැන  ගතිමි.  මා  සිතන විධිහට ඔවුන් මේ නාමය භාවිතා කරන්නේ වාර්ගික යුද්ධයේ අවසන් සමයේ සිදුවූ සිවිල් වැසියන් ගේ ඝාතන  සැළකිල්ලට ගෙන  මෙන්ම 87-89 කාලයේ සිදුවූ මිනීමැරීම් ගැන අවධාරණය යොමු කරමින් බව දැන  ගතිමි.

ජවිපෙ කැරැල්ල සමයේ ඝාතනය කිරීම් බොහොමයක් සිදු කලේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට සම්බන්ධ අවිගත් කණ්ඩායම්,  ස්වාධින ශිෂ්‍ය සංගමයට හා ඇතැම් වාමාංශික පක්ෂ වලට සම්බන්ධ අවි ගත් කණ්ඩායම්, පොලිසියේ හා හමුදාවේ  තෝරාගත් කණ්ඩායම් විසිනි. ඒ ජවිපෙ, වාමාංශික පක්ෂ හා රජයේ දේශපාලන බලපෑමෙනි. ත්‍රිවිධ හමුදාවේ මේ හා සම්බන්ධ කණ්ඩායම් වලට චෝදනා  කරනු විනා මුළු හමුදා  තුනටම චෝදනා එල්ල කිරීම තේරුමක් නැති දෙයකි.

පළමුවෙන් ම විමසිය යුත්තේ හමුදාවකට ආයුධ  නිකුත් කරන්නේ කුමකටද යන්නය. ආයුධ දී  තිබෙන්න උඩ පැන පැන  සෙල්ලම් කිරීමට හෝ උත්තමාචාර වල ගෙන යාමට නොවේ. මිනිසුන් මැරීමටය.  එසේ ආයුධ  සපයා තිබෙන්නේ නිත්‍යානුකූලව ය.  ඒ  බාහිර තර්ජනයකින් රටක් රැකීමට හෝ රජයක් විසින් අවශ්‍ය යයි සිතන අවස්ථාවල කැරලි මැඩ පැවැත්වීමට මෙන්ම නීතිය පවත්වා ගෙන යාමටය. නිලධාරී නියෝගයකින් එම ආයුධ වලින් කරන වෙඩි තැබීමක් මිනීමැරීමක් වන්නේ එම නියෝගයට  නිත්‍යානුකුල භාවයක් නොමැති නම් පමණකි.  නිලධාරීන් නියෝගයක් දෙන්නේ තමන්ට ඉහල නිලධාරියෙක් හෝ ජෙනරාල්වරයෙක්  (ලංකාවේ මේජර්  ජෙනරල් හා බ්‍රිගේඩියර් නිලයන් ) කරන නියෝගයකට අනුවය. එසේ අවසරයක් නොමැති තැන ඔවුන් සිවිල් වැසියන් මරා දමත් නම් එය මිනි මැරීමකි. ජෙනරාල් වරුන්ට (ලංකාවේ මේජර්  ජෙනරල් හා බ්‍රිගේඩියර් නිලයන් ) හා අනිකුත් උසස් නිලයන්ට අවශ්‍ය නියෝගය ලබා දෙන්නේ දේශපාලන නායකත්වයයි. එනම් රාජ්‍ය නායකයා, පාර්ලිමේන්තුව සහ ආරක්ෂාවට අදාළ අමාත්‍යවරුන්ය. ඉතින් සිවිල් වැසියන් මරා දැමීමක් සිදු වුනි නම් මිනීමරු නාමය රජය විසින් භාර ගත යුතුය. ඒ සඳහා පවත්වන ඕනෑම අධිකරණ කටයුත්තකදී තමන් ගේ නියෝගය සාධාරණිකරනය කරන්නට වන්නේ රාජ්‍ය නායකත්වයටය.

හමුදානායකයන් හෝ භටයන්  වරදකරුවන් වන්නේ ඔවුන් එම නියෝගයන්ට එපිටින් ගොස් මිනි මැරුවොත් පමණය. වාර්ගික යුද්ධයේදී එසේ සිදුවුවා  නම් එසේ අණ  ඉක්මවා කටයුතු කල නිලධාරීන්ට දඬුවම් කිරීම සාධාරණය. නමුත් යුද්ධයට සම්බන්ධ වූ සියලුම හමුදාවන්ට මිනීමරු ලේබලයක් ඇලවීම මුග්ධ කමකි. හේතුව මුළු හමුදාවක් පිහිටුවා ඇත්තේත් ඔවුන්ට ආයුධ ලබාදී ඇත්තේත් ජනතාව චන්දය දී පත් කල රජයක් රැකීම වෙනුවෙන් නිසාය.

ද්‍රවිඩ ඊලාම් විමුක්ති කොටි සංවිධානය ආයුධ ගත්තේ තමන් නියෝජනය කල ජනතාවට වූ අසාධාරණ වලට සටන් වදින්නටය. එය දේශපාලන හේතුවක් මත කල දෙයක් නිසා හමුදාවන් සමග සටන් කල ඔවුන්ට මිනීමරු හමුදාවක් කියා නම් කල නොහැකිය. නමුත් ඔවුන් නීතිය (පවතින)  ඉක්මවා යමින් දෙමළ සහ සිංහල සිවිල් වැසියන් ඝාතනය කළහ.  එතැනදී ඔවුන් ආයුධ  භාවිතා කලේ නීතිය ඉක්මවා මිනී  මරන්නටය. එයට ඔවුන්ගේ නායකයන් වගකිව යුතු වේ. රජයේ දේශපාලන නායකයන් මෙන්ම කොටි  සංවිධානයේ නායකයන්ද මෙවැනි චෝදනාවන්ට පිළිතුරු දිය යුතුවේ.

පොලිසියේ නිලධාරියෙකු විසින් වරක් මට පැවසුයේ  තම අසල්වැසියෙක් සුළු හොරකමකට පොලිසියට අසුවුව හොත් බොහෝ අය පොලිසියට පැමිණ "රාළහාමි දෙකක් අනින්න " යනුවෙන් පවසන බවයි. හොරකමට ලක්වූ තැනැත්තා කඩ හිමියෙක් හෝටල් හිමියෙක් වැනි අයෙක් නම්, අල්ලා ගත්  එකාට  "දෙකක් ඇනීම " සඳහා පොලිස් නිලධාරීන්ට අරක්කු, හොඳ ආපනශාලා වකින් ආහාර රැගෙන දීම , වෙනත්  තෑගී ලබා  දීම වැනි දේ කිරීමට පවා ඔවුන් පෙළඹේ. ඔහුගේ මතයට අනුව  ජනතාව ගෙන් කොටසක්ද පොලිසියේ වැරදි හැසිරීමට අනුබල දෙති. පොලිසියේ මේ හැසිරීම් වලට වග කිව යුතු අනිත් කොටස නම් දේශපාලකයන්ය.  ඔවුන්ද නීති විරෝධී ලෙස හැසිරීමට පොලිසියට බල කරන බැවිනි.

සුදු හමුදාව සහ රතු හමුදාව

මිට කලින් ලිවූ බ්ලොග් ලිපියක ට්‍රොට්ස්කි යටතේ සෝවියට්  රතු හමුදා ජෙනරාල් ඇන්ටන් ඩෙනිකින් ගේ සුදු හමුදා (white army - දක්ෂිණ රුසියානු හමුදාව ) උක්රයිනයේ දී පරාජය කළ  බව ලීවෙමි.  අද්මිරාල් කොල්චාක් ගේ හමුදාව සයිබිරියාවේදී සෝවියට් රතු හමුදාව අතින් පරාජය විය. ඇමෙරිකන්, බ්‍රිතාන්‍ය, ප්‍රංශ, ඉතාලි, ජපන්, පෝලන්ත  ආධාර ලැබූ සුදු හමුදාවන් රතු හමුදාවට පක්ෂ ගොවින් සහ සාමාන්‍ය  වැසියන් මරා  දැමු අතර රතු හමුදාවන් ඔවුන්ට එරෙහි වූ සාමාන්‍ය  වැසියන් මරා දැමුහ. මේ යුද්ධයෙන් මියගිය ගණන  මිලියන් 7 - 12 අතර වේ. ඉන් වැඩි ප්‍රමාණයක් සාමාන්‍ය සිවිල් වැසියන්ය. සෝවියට් රතු හමුදාව හා සුදු හමුදාව මිනීමරු හමුදා විය යුතුය. මේ දෙපාර්ශවයම තම හමුදාවන්ට  එසේ කියා ගත් තැනක් නැත.

දෙවන ලෝක යුද්ධය 

දෙවන ලෝක යුද්ධයේ දී ජර්මානු නාසි එස්එස් භටයන් කරන ලද දරුණු ක්‍රියා ඉතා ප්‍රසිද්ධය. ඔවුන් නැගෙනහිර යුරෝපයේ හා රුසියාවේදී දරුණු ලෙස සිවිල් වැසියන් ඝාතනය කල අතර ස්ත්‍රී දුෂණය අවියක් ලෙස භාවිතා කළහ.  නාසි පක්ෂයේ හා එස්එස් හමුදාවේ බලපෑමෙන් වූ යුදෙව්වන්ටද දුන් වධ බන්ධන සහ  ඝාතන බොහෝ ඉතිහාසඥයන් විසින් ලියා පල කර තිබේ. ජර්මානු යුධ නිලධාරීන්ට දෙවන ලෝක යුද්ධය මෙහෙයවීම පිළිබඳ නියුරම්බර්ග් යුධ අධිකරණයේ නඩු පැවරුණි. බොහොමයක් ඒවා යුද්ධය  මෙහෙයවීම හා යුදෙව් ඝාතන පිලිබඳ චෝදනා වූ අතර සෝවියට් දේශයේ හා සමහර නැගෙනහිර යුරෝපිය රටවල සිදුවූ ඝාතන හා ස්ත්‍රී දුෂණයන් සැලකිල්ලට නොගැනිණි.  ජපාන හමුදා ද මෙයට නොදෙවැනි ලෙස සිර කරුවන් ඝාතන, ස්ත්‍රී දුෂණ කළහ.

දෙවන ලෝක යුද්ධය නිම වන අවධියේ දචෞ (Dachau) වධ කඳවුරේ හි යුදෙව් සිරකරුවන් හා මිනී  දැක කෝපයට පත්  ඇමෙරිකානු හමුදා  යටත් වූ ජර්මන් සොල්දාදුවන් සියල්ල ඝාතනය කරන ලදී. මෙය යුද අපරාධයක්  ලෙස සැලකුනද ඇමෙරිකානු සොල්දාදුවන් ට දඬුවම් නොකරන ලදී. ඇමෙරිකන් හමුදා ජෙනරාල් ජෝජ් පැටන් සොල්දාදුවන්ට සමාව දී ඇමෙරිකාව බලා යැවීය.

අවුරුදු පහක් තිස්සේ දරුණු යුදයක සිර වී සිටි සෝවියට් රතු හමුදා ස්ටාලින්ග්‍රාඩ් ජයග්‍රහණයෙන් පසු ජර්මනිය දක්වා ගමන් කල ජයග්‍රාහී ගමන පිලිබඳ ඉතිහාස කතාවේ සඳහන් නොකරන කරුණක් නම් රතු හමුදා අතින් දුෂණය වූ මිලියන් එකක් පමණ කාන්තාවන් ගැනය. ඒ ගමනේදී ඔවුන් හංගේරියාව, බල්ගේරියාව, පෝලන්තය ආදී රටවල් පසු කර පැමිණි අතර ඒ හැම තැනදීමත් හා ජර්මනියේ දීත් ඔවුන් විසින් ස්ත්‍රීන් බොහෝ ගණනක් දුෂණය කරන ලදී. මරා දැමුණු සංඛ්‍යාවක් ද තිබුණු අතර  එසේ මිනි මැරුමක් වූ විටදී පමණක් අදාල සොල්දාදුවා සිරගත කරන ලදී. ස්ත්‍රී දුෂණ යුදයකදී සිදුවන සාමාන්‍ය දෙයක් ලෙස සෝවියට් ජෙනරාල්වරු සිතූ  බව පෙනේ.

හමුදා සම්බන්ධ ඉතිහාසවේදියෙකු වන ස්ටාලින්ග්‍රාරඩ් , බර්ලින් නමැති කෘති වල කර්තෘ ඇන්තනි බිවර් මෙසේ කීය.
"අතීතයේ මා යන්තමින් මෙන් ඇදහූ අදහසක් වූයේ සෑම පිරිමියෙක්ම යම්තාක් දුරට දුෂකයෙක් (ස්ත්‍රී) වන්නේය යන්නයි. මගේ අවසන් නිගමනය වන්නේ හමුදා විනයක්  නැත්නම්, හැම පිරිමියෙක් අතම ආයුධයක් ඇත්නම්, අවුරුදු දෙක තුනක දීර්ඝ යුද්ධයකින් ඔවුන් අමානුෂික වී ඇත්නම් එවැනි සෑම පිරිමියෙක්ම ස්ත්‍රී දුෂකයෙක් වන්නට අවකාශ ඇත යන්නයි."

ඔහු මෙසේ කිවේ දහස් ගණනක් යුද්ධය සම්බන්ධ  සෝවියට් ලිපි ලේඛන  හැදෑරීමෙන් පසුවයි. ඇමෙරිකානු හා බ්‍රිතාන්‍ය හමුදා තමන් මුදා ගත්  පෙදෙස් වල එසේ ස්ත්‍රී දුෂණ කල බවට සාක්ෂි නැත.  එසේම කිව යුත්තේ ජර්මානු හමුදා හෝ එස් එස් භටයන් ඇමෙරිකානුවන්ට හෝ බ්‍රිතාන්‍ය ජාතිකයන්ට විරුද්ධව සෝවියට් වැසියන්ට තරම් අමානුෂික ලෙස සැලකුවේද නැත යන්නය.

මිනීමරු හමුදා නොවේ නම් යුධ අපරාධ අධිකරණයක් අවශ්‍යද? 

හමුදාවකට ආයුධ සපයන්නේ මිනි මැරීමට මිස සෙල්ලම් කිරීමට නොවන බව මම කලින් පැවසුවෙමි. එසේ කියන්නන් (අලුත් පරපුර වැනි ) තමන් ගේ රජයක් පත් කර ගත්විට ඔවුන්ගේ එම රජයේ ආරක්ෂාව සඳහාද හමුදාවක් පිහිටුවීම අත්‍යාවශ්‍ය  වනු ඇත. එසේ පිහිටුවන රජයකට ආයුධ සැපයීමද අත්‍යවශ්‍ය වනු ඇත. සතුරු ආක්‍රමණයකදී ඒවා භාවිතා වනු ඇත . එනම් සතුරා මරා  දැමීමට සිදු වනු ඇත.

සෝවියට් දේශයේ සිටියදී කියවූ පොතක හෝ ලිපියක තිබුනේ හමුදාවක්  යනු මනෝ මූලික ප්‍රපංචයක් වන අතර එය නිෂ්පාදන සබඳතා මත රඳා පවතින ශ්‍රමිකයන් කණ්ඩායමක් නොවන බවයි.  ඓතිහාසික භෞතිකවාදයේදී සමාජ පරිණාමය දයලෙක්තික භෞතිකවාදය ආශ්‍රිතව විග්‍රහ කරන විට හමුදාවක පරිණාමයක් ගැන නොකියවේ. හමුදාවක් ඇති කර ගැනීමට,  ඒ සඳහා අවශ්‍ය ධනය හා ද්‍රව්‍ය (ආයුධ, රථ වාහන, භුමිය සහ මිනිසුන්) ඇත්නම් ඕනෑම බලවත් කෙනෙකුට කල හැකිය. වැඩවසම් සමයේ ප්‍රාදේශීය හමුදා පැවතියේ මේ අනුවය. මේ අනුව බලන විට  හමුදාවක කාර්යභාරය නිර්ණය කරන්නේ එය පිහිටුවා ගත් බලවත් තැනැත්තා හෝ රාජ්‍යයයි.
ශ්‍රී ලංකා හමුදාවේ උදව්වෙන් ...


යුධ අපරාධ අධිකරණයක් අවශ්‍ය වන්නේ හමුදාවක් තම නියෝග පැහැර  හරිමින් ස්වාධීනව ක්‍රියා කරන්නේ නම්ය. හමුදාවක් සාමාන්‍ය නීතියට එරෙහිව නියෝග පිළිපැද්දා  නම් එවිට නියෝගය දුන් අධිකාරිත්වයට එරෙහිව සිවිල් නීතිය ක්‍රියාත්මක කල යුතුය. යුද තත්වයකදී සාමාන්‍ය නීතිය වෙනස් කම් සහිතව ක්‍රියාත්මක වේ. (ත්‍රස්ත විරෝධී මර්දන පනත්, වෙනත් යුද නීති  වැනි) . යුධ අපරාධ අධිකරණයක දී එවන් තත්වයන් සලකා බලනු ලැබේ.

පහත සඳහන් වීඩියෝ දෙක බලන්න. මේවායේ  එල්ල කරන චෝදනා විභාග කල යුත්තේ ඇයිදැයි ඔබට වැටහෙනු ඇත. මුළු හමුදාවක් ම  අපහාසයට පත් නොකර ශ්‍රී ලංකාවට එය කල හැකිය.

https://vimeo.com/138026018



මෙහිදී මින් සමහර සාක්ෂි කරුවන් ශ්‍රී ලංකාවට පැමිණීමට දක්වන බිය සාධාරණ විය හැකිය. ඔවුන්ට අවශ්‍ය රැකවරණය දීමට නොහැකි නම් ඔවුන් සිටින රටේ සිට සාක්ෂි ගත හැකිය. නීතිය ඉක්මවා කටයුතු කල හෝ ස්ත්‍රී දුෂණ කල හමුදා නිලධාරීන්ට දඬුවම් පැමිණවීම තුලින් බොහෝවිට විනයගරුක හමුදාවල විනය හා නම රැක  ගත හැකිය.
ජිනීවා සමුළුවෙන් එම අවස්ථාව  ශ්‍රී ලංකාවට ලබා දී තිබේ. ශ්‍රී ලංකාවේ  සැබෑ සංහිදියාවක් ඇති කිරීමට අවශ්‍ය නම් 1980 සිට සිදුවූ සියලුම රජයේ හා සන්නද්ධ කණ්ඩායම් වල ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධ විමර්ශනයක් කර වරදකරුවන්ට දඬුවම් ලබා දිය යුතුය. එසේම වින්දිතයන් හා වරදකරුවන් මුණ ගස්වා සන්හිදියාවකට මුල පිරිය හැකිය. දකුණු අප්‍රිකාවේ හා රුවන්ඩාවේ මෙය සාර්ථක ලෙස අත්හදා  බලා ඇත.


මුලාශ්‍ර:
1. http://www.telegraph.co.uk/news/worldnews/europe/russia/1382565/Red-Army-troops-raped-even-Russian-women-as-they-freed-them-from-camps.html

2. http://www.dailymail.co.uk/news/article-3067988/Let-s-Nazi-dogs-Enraged-horrors-Dachau-concentration-camp-arriving-liberate-WWII-prisoners-American-soldiers-executed-50-Germans-cold-blood-reveals-new-book.html

3. https://vimeo.com/138026018





Wednesday, 30 September 2015

**** ගියේ හන්දියේ

මේ ලඟදි එක්තරා ඇනෝ කෙනෙක්   පෝස්ට් කළ  බොහොම දරුණු අපහාසයකට පිළිතුරු දීමෙන් පසු හා බේබි කෙනෙකු සමග එල්ලෙන්නට යෑමෙන් වලි කාරයෙකු ලෙස හංවඩුවක්  ලැබීමට ඔන්න මෙන්න කියා තිබුණු නිසා තත්තේ පැහැදිලි කිරීමට සුප්‍රසිද්ධ බ්ලොගාල දෙතුන් දෙනෙකුට ඊමේලයක් හෙවත් ඊතලයක් (හරිද?) විද්දෙමිය. ඉන්පසු  වසරේ මහා බ්ලොග්කරු යයි විරුදාවලි ලත් මාතලන් ගොයියා   උත්තරයක් හැරෙන තැපෑලෙන් එව්වේය.
//කෙනෙක්ගේ පෞද්ගලිකත්වය ඇදලා ගන්නේ තර්ක කරන්න බැරි උනාම.. ඒ කියන්නේ උඹ කියලා හරි ලියලා හරි තියෙන දේ බොරු කියලා අනෙක් හරකට ඔප්පු කර ගන්න බෑ.. ඌත් දන්නවා ඇත්ත කියලා.. ඒත් කොරන්න දෙයක් නැති උනාම..// මාතලන් කියන්නේ ආයි කියන එක කෙලින්ම කියන එකානේ. ඒ කියන්නේ බොලව්  ඇදල  ගන්නවා  පවුල ගැන හරි,   ඇඟේ  ඇදයක් හරි, තට්ටේ හරි .....ඕන්න  ඔහොම.

ඕකේ  වැඩේ කියන්නේ ආයිබොවන්ලා  ඔන්න මං අර අපට විප්ලවේ ගේන්න ගිය පක්සෙන්  (ගොඩක් තියනවා ඒවා නම්, මන් කිව්වේ අපේ මේ හන්දියා හෙම නිකන් යමින් ගමං සප්  එක දෙන එක ), කඩාගෙන ගිය එකක් තියෙන්නේ අර පෙරෙට්ටෝ කියල ආදරේට හඳුන්වන්නේ. ටිල්වින් අයියා  නම් කියන්නේ කුරුට්ටෝ කියල. ටිල්වින් අයියා  ගොඩක් උස කෙනෙක් හින්දා ආදරේට තමා එහෙම කියන්නේ හිටන්.   ඒ කට්ටියක් එක්ක ගියා නොවැ චාරිකාවක්. ඕන් එකෙක් කියනවා උන්ට කතා කියල දෙන්නලු. යකෝ මේ බ්ලොග් එකතු කරන්න  ආවේ අනුන් ලියන කතා කියවන්න කට්ටියක් හදන්න.  ඒවා කියවන්නේ නැතුව මුන් මට කියනවා හොල්මන් කතා කියන්නලු. මේ දයලේක්තික පොරවල් වුනාම මොන හොල්මන් කතාද? මුන්ට පොඩ්ඩක් චූන්  වුණාම කියනවා ඇත්තේ හොල්මන් කතා වෙන්න ඇති. දහදාහ ගත්තට පස්සේ පට්ට හොල්මන් වෙච්චි  සෙට් එකක් නේ.  අනික් වෙලාවට කියන්නේ සමාජවාදී කතා වෙන්න ඇති. ඉතින් තරහ
ගිහින්  මාත් එක්ක නෙළුම් කොකා කියල නමක් පට බැඳලා . ඒ මදිවට අර හැංගිලා ඉන්න එක්කෙනා ගැන මතක්  කළා  කියල මෙන්න මම කොටාලු. ඒක  නම් කිව්වේ සාර මැරයා. කොහෙද පොඩි විවේචනයක් වත් අල්ලන්නේ නැහැනේ මේ ගොල්ලන්ට? උත්තර දෙන්න බැරි වුණාම අපහාස කොරපල්ලාකො.

හැබැයි මට තේරුම් ගන්න බැරි අර අහවල් පක්සේට කෝචෝක් කරනවානේ බුකියේ හිටන් කට්ටිය? ඔය කියන විප්ලවවාදී පක්සේ හැම පාරම වගේ තුනට එන්නේ චන්ද වලින්. මේ පාර  හතරට වැටිලා ටී එන් ඒ එකට පිටි පස්සේ. මේ ගොල්ල කියනවා ඒ ගොල්ලට චන්ද මදිලු? හූ  හූ  හාර ලක්සේලු ගත්තේ? කෝ කිව්ව ඒවා , කෝ විස්සක් තිහක් ආසන  කෝ කියල කට්ටිය ෆේස්බුකියේ හිනා වෙනවා, කෝචොක් දානවා. මං බැලුව මේ වැඩේ මොකක්ද බොලේ කියල.  මේ ගොල්ලන්ගේ පොරට හම්බ වුනේ දහ දාහයි ජනාධිපති කමට ඉල්ලන්න ගිහින්.  පහුගිය මැතිවරනෙං සමහර ආසන  වල බොබසේ ටත් අඩුයි. (ඒකනම්  අපේ චන්ද දායකයන්ගේ බුද්දිමත් කම. මේක වගේද බොබසේ). බොබාල රට ජාතිය වෙනුවෙන් නේ කඩේ යන්නේ. මට හිතා ගන්න බැරි දහදාහ හම්බ වෙච්ච වුන් ගෙඩි පිටින් ලක්ෂ පහ ලං කරපු උන්ට හිනා වෙනවා. ලක්ෂ 48 ගත්ත වුන් ලක්ෂ 52 කට හිනා  වෙනවා. ලංකාවේ ගණන් කරන්නේ වැඩිම එකේ ඉඳන් අඩු එකට වෙන්ට ඇති නේද?

ඉතින් මේ හන්දියා ගැන නේ කියන්න ගියේ? හන්දියත් අර ලංකාවේ ඉන්න සැට්  එක වගේ  අර එංගලන්තේ ඉන්න විසාර්ඩ්  ඔෆ් ඔස් (wizard of oZ) කෙනෙක් නූල්  අදින කොට උඩට පනින බිමට වැටෙන  එකෙක් කියල මට වැටහිලා ඉවරයි. නැත්නම් මූට ඔය ලියන්න මතක් වෙන්නේ කොහොමද? මොළේ  සෛල තියෙන එකක්යැ.

ඔන්න පහුගිය දවසක ආවේ නැතෑ අපේ පැත්තේ පාටියකට (ඇයි හැලපයලට මාතලන්ලට විතරද පාටි දාන්න පුළුවන්.) දඩයම් මස් හේමත්  තිබ්බ කියමුකෝ. පොර කිව්වා මන් දැන් බියර් විතරයි බොන්නේ.  මාත්  කිව්වා හා ඉතින් බීපන් කියල. ටැංකිය පුරවනවා ටොයිලට් යනවා. ඊට පස්සේ ඔන්න අන්තිම කෝච්චියේ යන්න ඕනේ  කිව්වා.  මම බිව්ව්වට පස්සේ වාහනයක ස්ටියරින් එකකට අත නොතියන එකෙක් නිසා සෝවාන් වෙච්ච යාලුවෙකුට කිව්වා ඔන්න ඔහේ හන්දියව  කෝච්චි හන්දියට දාල එමු කියල.  දාල අපි එතන ඉන්න බැලුවා. මූ  කොහේ යයිද දන්නේ නැහැනේ. මූටත් අපිව අරහන්. මන් පොඩි එකෙක්ය යකෝ පලයව් ගෙදර කිව්ව. බැනුන් අහ අහ ඉන්නේ මොකටද කියල අපිත්  ආව. මෙන්න ඇවිල්ල විනාඩි පහකින් කෝල් එකක් එනවා.  අජිය ලංකාවේ කඩෙන් ගත්ත දඩමස් ටිකයි පලතුරු ටිකයි  දාල ඇවිල්ලනේ . අපි ටක් ගාල අරන් ගියා. ඇයි පරක්කු වෙලා ගෙදර ගියහම බිරින්දෑව ෂේප්  කර ගන්නත් මොකක් හරි තියෙන්න එපැයි. කෝච්චියට විනාඩි පහක් තියල අපි එතන. මූ ආයි කියනවා "දැන් ගෙනල්ල දුන්නනේ ගෙදර පලයන්." අපිත් ආව.
මෙන්න උදේ කෝල් එකක් එනවා.
හන්දියා - "අජියා මාර වැඩේනේ උනේ. කෝච්චිය ආවේ නැහැ නේ "
මම - "ආ  ඇත්තද ඇයි  ඉතින් ආයි ආවේ නැත්තේ මෙහෙ. කෝල් එකක් දුන්න නම් අපි එනවනේ එක්කන් යන්න"
හන්දියා - "කරදර කරන්නේ මොකටද බං  කියල හිටිය. ඊට පස්සේ ආපු  එක මගට විතරයි ගියේ."
(මූ  හොඳ එකා ඒ අතින්. ගෙදර ගිහින් අර අහිංසක වයිෆ් ට ඇණේ වෙන එක තමා කරන්නේ වැඩි පුරම)
මම  - "ඉතින්"
හන්දියා  -" ඉතින් මම ටැක්සියක් අරන් ගියා පවුම් හැත්තෑවක් දීල."
මම - "මොලේ කොහෙද බන් තිබ්බේ අපේ ගෙදර දාල ගියා ද ? ඇයි තොට මක් වෙනවද අපේ ගෙදර ආවහම. "
හන්දියා - "මචන් වයිපරෙත් බලන් ඉන්නවනේ බං "
මම " උඹ උදේ හතරට ගෙදර එනකන්. ඕක සුන්දර වැඩි වුනහම වෙන ප්‍රශ්නයක් බං. කරදර කරන්න ඕනේ නැහැ කියල රැගක් කන එක. "

ඉතින් මොලේ ගෙවල් වල දාල නැත්නම් කෝච්චියේ දාල යන නිසාද කියල ඇහුවම මූට උත්තර දෙන්න බැරි වුණාම කොට ලෝටස් කියල නමක් දාල මට මෙන්න මෙතන. . න්‍යායවාදී බංකොලොත්කමනේ සහෝදරයා. නැත්ද මං අහන්නේ.

ඒ  මදිවට මේ විසාර්ඩ්  ඔෆ් ඔස් මං ගැන දූෂමාන ආරංචි පතුරවනවා.  ඔය පබ්  යනවට වැඩිය මට වෙන වැඩ නැත්ද? මේ මේකෙ ලියල තියෙන විධිහට මමලු පෙරට්ටන්ගේ ලන්ඩන් වල න්‍යායාචරියා. මොන පිස්සුද? පබ් මැනේජර් කිසිම සාධාරණ හේතුවක් නැතුව නේ මේ නිගමනය කරලා තියෙන්නේ. පෙරට්ටන්ගේ ලන්ඩන් වල න්‍යායාචරියා මේ වලි සේන...ක කියල පොරක්.  පොඩි බොත්තමක් ඔබන්න තියෙන්නේ  (නැත්නං  පොඩි වචනයක් කියන්න විතරයි තියෙන්නේ පන්ති අරගලය වගේ) කෙලින්ම ටේප් එක දැම්ම වගේ. පංති  අරගලය,  සමාජවාදී සටනේ නියමුවෝ, නිර්ධන පන්තියේ එකම නියෝජිතයා, ධනවාදයේ අහවල් එක, නිවැරදි ස්ථාවරය වගේ වචන සෙට් එකක් ගලාගෙන එනවා. අමතක වෙනවා නම් රීවයින් කරන්න විතරයි තියෙන්නේ.

අනික මම 89 ජෙප්පෝ නියෝජනය කරන සෙට් එකේලු. කොහෙන් වල්ගේ පාග ගෙනද මන්ද මේකා. යකෝ මම 89 හිටියේ සෝවියට් දේශය කියන රටේ.  අර 87 පිටකොටුවේ දේශ ප්‍රේමි කට්ටියක් සෙට් වෙලා බස් ගිනි තියන වෙලාවේ මම මගේ සෙනිත් (සෝවියට් කැමරාවක්) කැමරාවත් අරගෙන ෆොටෝ ගහනවා නිවාඩුවට ඇවිල්ල. පස්සේ කට්ටිය  බස් ගිනි තියන කොටත්  ෆොටෝ දෙකක් තුනක් ගැහුවා. එතකොට දේශප්‍රේමී කට්ටියක් ගර්ජනාවක් දැම්මා  පත්තරේකින්ද කියල. මම කිව්වා විශ්ව විද්යාලෙක ඉගෙන ගන්න  කෙනෙක් කියල. පස්සේ නිකමට ඇහුව බුවෙක් ගෙන් "මේක වැරදි වැඩක් නේද ජනතාවගේ දේවල් නේ. ගිනි තිබ්බම ඔයගොල්ලටම නේ කරදරේ වෙලාවට බස් එකක් නැතුව." පොර කියපි "පිස්සුද මේවා ප්‍රතිගාමී ආණ්ඩුවේ බස්. ආණ්ඩුවට  දන්නන්න ඕනේ". ඔවුන් ගේ දේශ ප්‍රේමය කෙරේ පතල මහා කරුණාවෙන් මමත් වැඩිය කතාවක් නැතිව හැරිලා ආව. නිකන් ගුටි කන්නේ මොකටද? පස්සේ මේ පත්තරෙක් දැක්ක චම්පික රණවකත් නිරීක්ෂක යෙකු වශයෙන් එතන හිටියලු. ඒ කියන්නේ බස් ගිනි තියන තැන්  වල ශේප් එකේ හිටියම ඇමති කෙනෙකුත් වෙන්න පුළුවන්. ඉතින් දැන් බලන්නොකො ඒ මහත්තය ඉන්න තැන. කාටද  ආඩම්බර.

ඒ අස්සේ තව කතාවක් ඇහුවා පබ් එකකදී. ඒත්  87 කතාවක් මයි. අර විජිත ගුණරත්න කියන නාට්‍ය අධ්‍යක්ෂක  හම්බ වුනානේ. දැන් ස්වීඩන් පැනල අවුරුදු විසි ගානක්. සිරා  නාට්ටිය පොරක්.  "සුභ සාධක", "යුද පිටියේ සවාරිය" කියල හෙම නාට්‍ය කරලා පොත් 14 විතර පරිවර්තනය කරලා දැහැමෙන් සෙමෙන් ස්වීඩනයට වෙලා ඉන්නවා. අපේ සරා  මල්ලිට සම්මුඛ සාකච්චාවකුත් දීල මෙන්න.  මෙයා  තමා 1987 අර "සාක්කි " කියන නාට්ටිය කරලා තියෙන්නේ. දොඩම්පේ මුදලාලි සාක්කි ගත්තට පස්සේ අර හතරවන තට්ටුවෙන් ඉබේ වැටිච්ච කතාව. ඕක පනස් පාරක් විතර පෙන්නුවට පස්සේ කැළණි හන්දියේදී වෙඩි  තිබ්බ පොරට. හොඳ වෙලාවට බයිසිකලේට වැදිලා බේරිලා බිමට වැටුනම ආණ්ඩුවේ පොලිසියෙන්ම ඉස්පිරිතාලෙට ගෙනිහින්. ප්‍රේමේ ගේ කට්ටියක් කලා  කියල තමයි සැකේ තියෙන්නේ.
 එයා ස්වීඩන් ගියා. මම නිවාඩු  ඉවර වෙලා සෝවියට් ගියා අපහු. ඒ යනකොට ජෙප්පන් ගෙන් සුළු ධනේශ්වර ප්‍රතිසංස්කරණ වාදියෙක්  කියල නම්බු නාමෙකුත් ලබා ගත්තා  ඔන්න.

දැන් ජෙප්පන්ට හිතැති රොබෝ හන්දියා  හෙවත් මිස්ටර් අවුල්නාදයි විසාර්ඩ් ඔෆ් ඔස් හෙවත් දොන් කොර්ලියෝනේ  හිතන්නේ මං පෙරෙට්ටෙක් කියලා. පෙරෙට්ටෝ හිතන්නේ මම දීප්තිගාමී කියල.  දීප්ති සෙට් එක  හිතන්නේ මං පශ්චාත් නුතන මොකෙක්ද එකෙක් කියලා.  මං හිතන්නේ මං .................................................මට හොඳටම අවුල් ........දහම් සිරිසේන ට කියල යූඑන් එකට වත් පැන ගන්න බලන්න  ඕනේ. පොර අඳුරනවා ඇතිනේ කට්ටිය දැන්. ඉස්සරහට 10% ගන්නේ දහම් සිරා ද කොමිනිකේසන් එකේ සිරා ද කියල දන්න  කෙනෙක් කියනවද? පොඩි බිස්නස් එකක් පටන් ගන්න අදහසක් තියෙනව. යුඑං යන පවුලේ කට්ටිය ස්පොන්සර් කරන්න.



ඇහ් තව පොඩ්ඩෙන් අමතක වුණා. මට සුද්දෙක් යුටියුබ් වීඩියෝවක් එව්වා. මේ ස්ටන්ස්ටෙඩ් ඉඳන් කෙන්ට් පැත්තට යන කෝච්චියක කොන්ඩේ සුදු බඩ රවුම් පොරක් හැමදාම එකම සින්දුවක්  කියා කියා යනවලු. පොරට නම් කිසි දෙයක් තේරෙන්නේ නැතිලු.  මට තේරෙනවද කියල අහනවා. වීඩියෝවේ ලින්ක් එක නම් දාන්න බැහැ. සින්දුව නම් මේ වගේ.

හන්දියේ ඒ ඒ චූ  ගියේ
චූ ගියේ ඒ ඒ හන්දියේ
මට මතක,  මට චූ ගිය හන්දිය,  චූ ගිය අ අ හන්දිය


අඩියක් දමන්නම් ටන නම් ටනානා
බයිටක් කවන්නම් ටන නම් ටනානා
කසියා දමාලා මික්ස් කරලා දෙන්නම්
අනේ ....

හන්දියේ ඒ ඒ චූ  ගියේ
චූ ගියේ ඒ ඒ හන්දියේ
මට මතක,  මට චූ ගිය හන්දිය,  චූ ගිය අ අ හන්දිය

දෙල්කන්දෙන් බහින්නම් ටන නම් ටනානා
වැනි වැනීම යන්නම්  ටන නම් ටනානා
මදි හරියට කෝක් දමා කරකවලා දෙන්නම්

අනේ ....එඑඑ

හන්දියේ ඒ ඒ චූ  ගියේ
චූ ගියේ ඒ ඒ හන්දියේ
මට මතක,  මට චූ ගිය හන්දිය,  චූ ගිය අ අ හන්දිය


පින්තුරය:  ෆ්‍රාන්ස් කෆ්කා  කෞතුකාගාරය ඉදිරිපිට දෙදෙනෙක් චෙක් ජනරජයේ සිතියමට චූ කරති. ( An image of maturity about nationhood?)

Friday, 25 September 2015

පරමාණුවක ප්‍රමාණය



මම හුඟක් කාලෙකට කලින්  කියවපු පොතක් තමා බිල් බ්‍රයිසන් ගේ "A short history of nearly everything" කියන පොත. මෙහි එක තැනක මෙන්න මෙහෙම  තිබෙනවා.  මේ අපි දන්නා දේවල් හැබැයි.

පරමාණුවක් ඉතා කුඩායි කියල අපි දන්නවා. මිලි මීටරයක් කියන්නේ මේ - ඉර වගේ භාගයක්. මේක දාහකට බෙදුවාම තමා මයික්‍රෝන්  කියන්නේ. තනි සෛලයේ පැරමිසියම් එකක් මයික්‍රෝන් දෙකක් දිගයි.
මයික්‍රෝන්  සෛලයක් 
වතුර බින්දුවක තිබෙන පැරමිසියම් සෛලයක් ඔබට පියවි ඇසින් දකින්නට වුවමනා  නම් එය මීටර 12ක් පමණ විශාල කරන්න ඕනෑ . එම වතුර බින්දුවේම පරමාණුවක් දකින්න නම් එය කිලෝමීටර 24 දික් කරන්න ඕනෑ. පරමාණුවක් මිලි මිටරය මිලියන් දහයකට බෙදූ විට ඉන් එකක් තරම්. පරමාණුවක් සමග  මිලිමිටරයක් සංසන්දනය කිරීම හරියට ඉතා තුනී පත්තර කොලයක ඝනකම ඇමෙරිකාවේ එම්පයර් ස්ටේට් ගොඩ නැගිල්ලේ උසට සංසන්දනය  කිරීමක්.

පරමාණුවේ න්‍යෂ්ටිය සංයුක්ත වන්නේ නියුට්‍රෝන හා ප්‍රෝටෝන  වලින් බව අපි දන්නවා. මේ න්‍යෂ්ටිය ඉතාමත් කුඩායි කියාත් අප දන්නවා. ඒ කියන්නේ මුලු පරමාණුවේ පරිමාවෙන් බිලියනයකින් එකක්. දැන් මේකයි පැරමිසියම් සෛලයයි සංසන්දනය කරන්න  කොපමණ අමාරුද කියා වැටහෙනවා ඇති. ඉතාමත් දැඩි හා ඝන න්‍යෂ්ටිය මුළු පරමාණුවේම බර හා අතිවිශාල ශක්තියක් (energy) දරා  සිටිනවා.  අපි පරමාණුව විශාල පන්සලක දාන ශාලාවක්  හෝ පල්ලියක් තරම් විශාල කළොත් එහි න්‍යෂ්ටිය මැස්සෙකුගේ  තරම් ඉඩ ප්‍රමාණයක් තමා ගන්නේ. නමුත් මේ කුඩා මැස්සා පල්ලිය හෝ පන්සල මෙන් දහස් ගුණයක් බරයි.

මට කිවීමට අවශ්‍ය දේ තිබෙන්නේ  මෙතැනයි. එනම් පරමාණුවක් තුල අති විශාල අවකාශයක් තිබෙන බව. එහි න්‍යෂ්ටියේ සිට ඉලෙක්ට්‍රෝන්  වලාකුළ දක්වා ඇති හිඩස එනම්  මුළු පරමාණුවේ පරිධිය හා න්‍යෂ්ටිය අතර අවකාශය ගැන කල්පනා කල හොත් අප අවටත් ඇති දෘඪතර බව මායාවක් (illusion) බව වැටහෙනු ඇත.
(සත්තාව පිලිබඳ ප්‍රශ්නය - ontology) එනම් අප දකින දේ සහ  ඒ කියන්නේ කිසියම් ද්‍රව්‍ය දෙකක් එකට එකතු වන විට හෝ ගැටීමේදී (බිලියර්ඩ් බෝල දෙකක් හෝ කැරම්  ඉත්තන් දෙකක් ගැටීම ගැන කල්පනා කරන්න ) මේ දෙක එකිනෙකට ඇත්තටම වදින්නේ නැත.  සිදු වන්නේ ද්‍රව්‍ය දෙකේ (බිලියඩ් බෝල හෝ ඉත්තන් දෙකේ )  සෘණ ආරෝපිත ක්ෂේත්‍ර එකිනෙක විකර්ෂණය (repel ) කිරීමයි.

අප පුටුවක හිඳ  ගන්නා  විට අප ඇත්තටම හිඳ  ගන්නේ නැත. වන්නේ අප පුටුව උඩ පාවීමකි.  අප පාවෙන්නේ එක අන්ග්ස්ට්‍රොම් (angstrom) එකක උසකිනි. (හෙවත් මිලියන් සීයකට බෙදූ  සෙන්ටිමීටරයකින් එක කොටසකිනි). මෙය ඉතා කුඩා අගයක් නිසා අප පුටුව උඩ  පාවෙන ගතියක් අපට දැනෙන්නේ නැත.

(ඔබ ඔබේ පෙම්වතා හෝ  පෙම්වතිය වැළඳ ගන්නා විට ඔබ  ඔහු හෝ ඇය සැබවින් ම ස්පර්ශ කරන්නේද , නැතහොත් දෙදෙනාගේ සෘණ ආරෝපිත ක්ෂේත්‍රයන් එකිනෙකා ප්‍රතික්ෂේප කරන්නේද?)

මා මෙය උපුටා දැක්වුයේ අප දකින දේ හා සැබෑව අතර වෙනසක් ඇති බව කීමටයි. අප මෙය හොදින් දනිමු. හේගල් ගේ දයලෙක්තිකය ඉදිරිපත් කරන විට විශ්වයේ උපත මෙන්ම මුලද්‍රව්‍ය  ගැන ඇති දැනුම ඉතා සීමා සහිත එකකි. මාක්ස් එන්ගල්ස්ට ස්වභාව ධර්මයේ දයලෙක්තිකය ලියන්නට කීවේ ඇයි ? එම සටහන් වලත් බොහොමයක් වැරදි කරුණු (උදා: විශ්වය ගැන) තිබේ. ඒ කාලයේ මන්දාකිණිය විශ්වය ලෙස සැලකිණි.

මම අංශු ක්ෂය වීම හා ඇති වීම, න්‍යෂ්ටික සහවාදය  (particle  decay and nuclear synthesis ) එකට දයලෙක්තිකය අදාල කලේ එහි සමානත්වයක්  දුටු නිසයි. නමුත් මේ පිළිබඳව මගේ අදහස දක්වා ලියන ලිපියට තව මාසයක් වත් ගත වේවි. අර පොත කියවා  නිම කරන තුරු.

(සමිත රත්නායක අහල පහලක  ඉන්නවා නම්)
සමිත රත්නායක ජිජැක් කතාවට  විසන්යෝජනයක් ලිපියට පහත දැක්වෙන කොමෙන්ටුව දමා තිබුණා.

// හෙගල් ගේ දයලික්තකය ගැන මා දන්න දේ තමයි.හෙගල් ට අනුව දයලික්ත්කය ත්‍රිත්ව ආකෘතියෙන් ප්‍රකාශ කල නොහැකමෙහි සහවාදය නොමග යවන සුළු යෙදූමකි.හෙගල් ට අනුව අවසන් සහවාදයකට පැම්නිය නොහැක.ඔනම සහවාදයක් තුල කලින් අවදියේ සංගටක මෙන්ම ඒවා ඉක්මවා යන ගුනාංගද අඩංගුය.දයලික්තකය ඉදිරියට තල්ලුකරන්නේ ප්‍රතිවිරෝධතා හරහාය.අතිරේකයන් හරහාය.මේ අනුව සහ වාදයක් ඇති තැනක දයලික්තිකයක් නැත.දයලික්තිකයට රූපික සූත්‍රයක් නැත.ප්‍රතිවිරෝධතා ඉක්මවා යන රූපික ක්‍රමයක් එක් සහවාදයකට ගත හැකිවිදියක් නැත.දයලික්තිකය විධික්‍රමයකට හෝ ආකෘතික ව්‍යුහයකට කොට කර නොහැකමෙහි සෑබෑ රූපය නීශේදනය විනා ත්‍රිත්ව රූපික ව්‍යුහයක් නොවේ,හැමවිටම ඉඩ දෙන්නේ අසම්පූර්නත්වයටය,පරිපූර්න ත්‍රිත්ව රූපයකට ඉඩ නොදෙයි.මෙය සියලු රූපකායන් ඉක්මවා යන අතර වෙනත් අතිරේක කරනයක් ඉල්ලා සිටී.

ඊළගට බලමු හෙගල් විසින්ම මල් පොහොට්ටුවේ මලක් වීමේ කතාව දයලික්තකයට කොහමද අදාලකරගත්තේ කියලා.මෙතන්දි හෙගල් කතා කරන දේ සහ විද්‍යාවේ කතා කරන දේ දෙකක්.විද්‍යාවේ අර්තයෙන් මේ ක්‍රියාවලිය ගැන කතා කරනවා නම් ඒකට කියන්න පුලුවන් බව වාදය(ඔන්ටික්).නමුත් හෙගල් කතා කරන්නේ මෙහි ඇති සත්වාදයයි.හෙගල් කතා කරන්නේ ස්භවධර්මයේ මේ දේවල් ගැන අධ්‍යනය කරද්දි චින්තනයේ වෙනස් වන්නේ කොහමදයි කියාය.ඔහු කතාකරේ මෙහි ඇති ontology එක සම්බන්දයෙන්ය.එමෙන්ම මෙය ඔහු එක් එක් අවස්ථාව ලෙසින් ගත නොහැකි බව පෙන්නුවා.(මලේ කතාවට අදාලව ).මේ ඇසුරෙනුයි මම ස්භවධර්මයට අදාලව දයලික්තය යෙදීමට විරුද්ද වුනේ.ඉතින් අපට particle decay එකකට දයලික්තක්යට දාන්න පුලුවන්ද කියන ප්‍රශ්නය තියෙනවා//

//මවිසින් එදා දුන් පිළිතුර වූයේ :

හෙගලියන් දයලෙක්තිකය එය බව මම පිලි ගන්නවා. නමුත් දයලේක්තික භෞතික වාදය හා ඓතිහාසික භෞතික වාදය සම්බන්ධ පසු සංවාද වලදී ස්වභාව ධර්මය හා විද්‍යාව දයලෙක්තිකය ඇසුරෙන් පැහැදිලි කර ගත හැකිබවට පිළිගැනීමක් තිබෙනවා. පරණ මාක්ස්වාදීන් හා පරණ වාමාංශිකයන් ඔබ කියන සිමාවේ සිට ක්වන්ටම් භෞතිකය ඉදිරියට එනවිට ඇතිවන ඔන්ටෝලොජිකල් ප්‍රශ්නයට පිළිතුර සොයා ගත නොහැකිව ආසියානු ආගම් දෙසට හැරුන. හෝ හැරෙනවා. (උදා: ජී අයි ඩී ධර්මසේකර , සෝමවංශ අමරසිංහ )
http://www.thenorthstar.info/?p=3783
මෙන්න මේ ලින්ක් එකේ පොතක් තිබෙනවා. http://m.friendfeed-media.com/2ea002becccc8cc99691a12b53cc7bcdf766b04b
The Dimensions of Hegel's dialectic. එහි Ontology and Dialectic in Hegel’s Thought කියා හොඳ ලිපියක් තිබෙනවා. මම හිතනවා මෙහිදී අපි එකඟ නොවී සිටීමට එකඟ වෙමු. මගේ ඊළඟ  ලිපියට පසු ලිපියක් ලියනවා ක්වන්ටම් භෞතිකයේ නවතම සොයා ගැනීම ගැන. එතැනදී මෙය තව දුරටත් සාකච්චා කරමු. මේ පිළිබඳව තව ටිකක් නිදහසේ කියවීමක් හා සිතීමක් අවශ්‍ය වෙනවා මට. දැනට ඒ වෙලාව නැහැ.//

මේ යොමුවේ http://www.thenorthstar.info/?p=3783 මා අවධාරණය කරන්නේ මේ කොටසයි: (හෙලේනා  ශීහන් සමග සාකච්චාව)
මාක්ස් එංගල්ස් ට සොබා දහමේ දයලෙක්තිකය ලියන්නට කිව්වේ ඇයි යන ප්‍රශ්නය හා එංගල්ස් කොතෙක් දුරට එය කලාද කියන එක. අනික තමා ඩාවින්ට  හා ඩාවින්වාදයට  (පරිණාමවාදය)  මාක්ස් හා එංගල්ස් කොතරම් සමීපව සිටියාද  කියන එක.
අපි හෙගල්වාදය අත් හරින්න ඕනේ මෙතන තමයි.

ප්‍රශ්නය: Engels also wrote extensively on science, particularly in his manuscript Dialectics of Nature, unfinished and unpublished during his lifetime. What is it about this document, and Engels more generally, that has been so controversial in the history of Marxism’s relation to science?

HS: There is a tension in Marxist philosophy between its roots in the history of philosophy and its commitment to empirical knowledge. For the best Marxist thinkers, certainly for Marx and Engels themselves, it has been a creative interaction. However, some of those pulling toward German idealist philosophy, particularly that of Kant and Hegel, have brought into Marxism a hostility to the natural sciences, influenced by the Methodenstreit, an antagonistic conceptualization of the humanities versus the sciences, which has played out in various forms over the decades.

The critique of positivism has been bloated to an anti-science stance. The tendency of some to counterpose a humanistic Marx to a positivist Engels is not supported by historical evidence, as I have demonstrated at some length in my book.


මේ පිළිබඳව වඩා හොඳ පිළිතුරක් දීම සඳහා ලිපියක් පටන් ගත්තත් මගේ දැනීම යම් ප්‍රමාණයකින් මදි බව වැටහුණු නිසා මම එය අත් හැරලා පොතක් මිලදී ගත්තා කියවන්න මම ලියන්න හිතන් ඉන්න දේට අදාළව . පොතේ නම "The Quantum Universe: Everything that can happen does happen" - by Prof. Brian Cox and Jeff Forshaw" තවම කියවල ඉවර නැහැ.  ලිපිය ලියන්න වෙන්නේ පොත  කියවල ඉවර වෙලයි.  මේ පෝස්ටුව ලියන්නේ  ඉහත කොමෙන්ටුවට පිළිතුරක් ලිවිම ගැන අමතක වී නැත කියන්නයි.

ස්තුතියි.
මුලාශ්‍ර: A short history of nearly everything - Bill Bryson
http://www.thenorthstar.info/?p=3783

Monday, 21 September 2015

මුස්ලිම් වෙළෙඳාම හා සිංහල වෙළඳාම


මනාගේ පින්තාරුව හා තවත් බ්ලොග් කරුවන් කිහිප දෙනෙකුම පසුගිය මාසවල ලියු බ්ලොග් ලිපි කිහිපයක් දැක ලිවීමට සිතා  සිටි මේ ලිපිය රයිගමයා එක දිගට විවේකයක් නැතිව ලියන ලිපි මාලාව දැක ලැබූ උද්දාමයෙන් ලියන්නට සිතා  ගතිමි. මෙය සිදුවුයේ ම ශ්‍රී ලංකාවට නිවාඩුවට පැමිණි කාලයකය. වරක් මගේ සොහොයුරා  සමග කිසියම් වැඩකට කොළඹ ගොස්  රෑ  පමාවී ඔහුගේ නිවස වෙත පැමිණෙමින්  සිටියෙමු. ඔහුගේ  නිවසේ ගෑස් සිලින්ඩරයක් අවසන් වී තිබු නිසා ඒ වෙනුවට වෙනත් එකක් රැගෙන යාමට ඔහු හිස් සිලින්ඩරයද රැගෙන ආවේය.  බොහෝ පමාවී තිබුණු අතර රාත්‍රිය දක්වා විවෘතව තිබෙන කඩ කිහිපයක්  ඇති බව පැවසූ ඔහු නිවසට  ආසන්න නගරයේ එක්තරා සිංහල ජාතිකයෙකු ගේ වෙළඳ සලක්  අසල වෑන් රථය නැවැත්වීය.

මගේ සොහොයුරා කොළඹ කොටුවේ පිපිරුණු එල්ටීටීඊ සියදිවි නසාගන්නා බෝම්බ කරුවෙකු ගේ ප්‍රහාරයකදී තුවාල ලැබ කකුලක් බිඳී යාම නිසා  කකුලේ  වානේ (යකඩ) කූරක් දමා  ඇති අයෙකි.  ඒ නිසා ඔහු ඇවිදින්නේ කිහිලි කරුවක ආධාරයෙනි. ඔහු සෙමෙන් වාහනයෙන් බැස කිහිලි කරුවේ  ආධාරයෙන් වාහනයේ මැද  දොරටුවට එන විට මම වහාම බැස  සිලින්ඩරය ගත්තෙමි. අප එය රැගෙන වෙළඳ සල ඉදිරියට ගොස්   බලා  සිටියෙමු.  කඩයේ මුදලාලි කවුදෝ ගැහැණියක සමග බර කතාවකය. ඔහු අපේ පැත්ත බැලූ මුත් අර  "නෝනා " සමග කතාව  නතර කලේ නැත. "නෝනා ද " කතා කලේ මහත් උජාරු ස්වරූපයකිනි. කඩයේ සේවකයෙකු ද සිටි මුත් ඔහු වෙනත් "බර" වැඩක්ය. කඩ හිමියා  මේ වැදගත් කතාව කරන කාන්තාව කවුද යයි මම සහෝදරයා ගෙන් විමසීමි. ඇය  ප්‍රාදේශීය සභාවක වැඩකරන ටිකක් වෙන්නට  ඔලුව උදුම්මාගෙන සිටින තැනැත්තියක බව සහෝදරයා පැවසුවේය. ඉවසීමෙන් විනාඩි පහකටත් වඩා  බලා  සිටි පසු, මොන කෙහෙල්මලකටද මෙතන ඉන්නේ වෙන කඩ නැත්දැයි මම සහෝදරයා ගෙන් ගෙන් විමසීමි. මේ වෙලාවේ ඇරලා තිබෙන්නේ මුස්ලිම් කඩයක් විතරයි කී ඔහු තමන් මුස්ලිම් කඩ වලට නොයන බවද කිවේය. මෙතන බඩු  ගන්නට ඇවිත් මුන්ගේ ආඩම්බර බලනවාට වඩා  මුස්ලිම් කඩයට යමු යයි මම කීවෙමි.

අකමැත්තෙන් වුවද සොයුරා සිලින්ඩරය නැවත පටවාගෙන රථය හරවා ගත්තේය. මුස්ලිම් කඩයේ මුදලාලි ද කඩය වසන්නට ළඟ බැවින් දෙතුන් දෙනෙකු සමග කතා කරමින්,  කවුන්ටරය අස්  කරමින්ද උන්නේය. වාහනය නතර කල සැනින් සිනාමුසු මුහුණින් ඔහු එදෙස බැලිය.  සොහොයුරා  රථයෙන් බැස  ගෑස්  සිලින්ඩර් තියෙනවා දැයි ඇසීය. වහාම සේවකයෙකුට කතා කළ  ඔහු සිලින්ඩරයක්  රැගෙන එන ලෙස දැන්විය. සේවකයා වහා පැමිණ රථයෙන් අපේ හිස් සිලින්ඩරය රැගෙන කඩයේ තබා අලුත් එකක් රථයට පැටවීය.
අප‍ට එය ඔසවා  ගෙන ගොස් කඩය ඉදිරිපිට බලා  සිටීමට සිදු නොවිණි. සේවකයා ඉන්පසු සොයුරා  ගෙන් මුදල් රැගෙන මුදලාලිට දී ඉතිරිය ද ගෙනත් දුන්නේය. මුදලාලි  අප නික්ම යනවිට අප හොඳින් දන්නා අඳුනන කෙනෙකු පරිද්දෙන් අතද  වැනීය. සියල්ලටම ගතවුයේ විනාඩි කීපයකි. ඒ පාරිභෝගිකයාට සළකන වෙළඳාම යි.

සිංහල වෙළෙන්දා  වෙළඳම් කරන්නේ තමන් කඩය ගෙනි යන්නේ පාරිභෝගිකයාගේ ලාභයෙන් නොවන ආකාරයටය. මෙවැනිම ආඩම්බර කමක්  මා දුටුවේ සෝවියට් දේශයේ වෙළඳ සල් වලය.

සෝවියට් දේශයේ වෙළඳ සල්වල බොහෝ දේවල් මිල ඉතා අඩුය. ඒ නිසා භාණ්ඩයක්  හෝ දෙකක් ගන්නවා වෙනුවට කීපයක් ම මිලදී ගැනීම බොහෝ අයගේ සිරිතය. මේ නිසා කෘතීම භාණ්ඩ හිඟයන්ද එහි නිතර ඇති වුනි. වෙළඳ සල් අයිති රජයට නිසා ඒවයේ වැඩ කරන අයද  රජයේ සේවකයන්ය.  රජය කියන්නේ ජනතාව කියා කොතෙකුත් කීවද සැබෑ  ලෝකයේදී එය එසේ නොවේ. සැබෑ ලෝකයේ රජය ජනතාවගේ නියෝජිතයා ම නොවේ. සෝවියට් දේශයේ ජනතාවට රජය තමන් ගේ යයි කියා තිබුනද ඔවුන් සිතුවේ රජය යනු කොමියුනිස්ට්  පක්ෂය හා රාජ්‍ය නිලධාරීන් බවයි.  සාමාන්‍ය වෙළඳ සල් හා විශාල සුපර් මාර්කට් වල සේවකයන් සිතුවේ තමන් රජයේ සේවකයන් මිස ජනතාවගේ   සේවකයන් නොවන බවයි. ජනතාවට හොඳ සේවයක් සැපයුවා කියා ලැබෙන දෙයක් නැත. ඒ නිසා තියෙන ටික හොරකම් කිරීමටත් ඉතිරිය යහළුවන්ට දීමටත් ඔවුන් පෙළඹුණි.

කෝබින් සමහර විට ජයග්‍රහණය කලොත් මේ වැනි තත්වයක් ඇති වේ යයි  බොහෝ දක්ෂිණාංශික පුවත් පත් බිය පල කරනු ලබයි. කෝබින් දැනට එවැනි දෙයක් කරන්නේ යයි කියා නැත. දුම්රිය සේවය එංගලන්තයේ අතිශය අසාර්ථක නිසා එය යුරෝපීය ක්‍රමයට සාමුහික අයිතියට ගෙන එම පිළිබඳව පමණක් ඔහු කතා කරන බැවින් ඉහත ප්‍රශ්නය ගැන ඔහුට අවබෝධයක් ඇති බව සිතිය හැකිය. කෙසේ වතුදු එංගලන්තය වැනි පාරිභෝගිකයාට සලකන වෙළඳ සල් හා සේවා තිබෙන රටක සියල්ල  රාජ්‍යයට අයිති කර ගැනීමට කෝබින් නොයනු ඇත යන්න මගේ විශ්වාසයයි. එසේම එංගලන්තයේ හෝ යුරෝපයේ වෙනත් රටවල රාජ්‍ය ආයතන වල සේවකයන් (නගර කවුන්සිල් හැර - මෙය වෙනම කතාවකි) තමන් ගේ සේවය ලබාගෙන එන ජනයා ට හොඳින් සලකති.

තමන් මේවායේ අයිතිකරුවන් බව ජනතාවට ඇති දැනුම මෙයට හේතුව යයි සිතමි.
උපුටා ගත්තේ ෆේස්බුක් හි එස්එල් බුවා ප්‍රෝෆයිලයෙනි.

මත්තල ගුවන් තොටුපලට ගිය වියදම ඉදිරියට දරන්නේද ඒ ණයට පොලිය ගෙවන්නේද ශ්‍රී ලංකාවේ ජනතාවය. ඒ ගුවන් තොටුපල ශක්‍යතාවය පිලිබඳ වර්තාවකදී  උපයෝගිතාව අතින් ඉතාම හොඳ තැනක් බවට සඳහන් වූ බව  මිතුරෙකු පැවසිය. ඔහුට අනුව මාගම්පුර වරාය ද එවැනිම වැදගත් මර්මස්ථානයක පිහිටා  තිබේ.  නමුත් මේ දෙකම  ආර්ථික වශයෙන් ලාභ ගෙන දෙන ඉදි කිරීම් නොවේ. මොන සමාජක්‍රමය යටතේ වේවා පලප්‍රයෝජනයක් නැත්නම් එය කුමට ඉදි කලේද යන ප්‍රශ්නය මතුවේ.  අවුරුද්දට වරක්  දෙවරක් ගුවන් යානයක් පැමිණි විට එයත් ප්‍රවෘත්තියක් බව ෆේස්බුක් හි ඇති උපහාස පින්තුරයක සඳහන් විය.  මේ සඳහා ණයට  ගත්  මුදල් රාජපක්ෂ මහතා හෝ ඒ රජයේ ඇමතිවරුන් විසින් ගෙවන්නේ නැත.  ඔහුගේ නම ඒවාට යෙදිය යුත්තේද ඔහු ගේ රජයකින් නොව ඉන්පසු එන වෙනත් රජයකින් හා ජනතාව ගේ අනුමැතියෙන් ඔහු ගේ සේවය අගැයීමට පමණය.

මහින්දෝදය විද්‍යාගාර හා අධි වේගී පාරවල් ගැන කිව යුත්තේද මේ ටිකමය. මහින්ද රජ සමයේ ඉදි කලේ රජු ගේ භාණ්ඩාගාරයේ ගොඩ කරගෙන තිබූ   මුදලින්  නොව රටවැසියාගේ බදු හා ආදායම් උකසට තබා ණයට ගත්   මුදල් වලිනි.  යෝජනාව දේශපාලකයෙකු ගෙන් විය හැකිය. ජනතාව ඔවුන් පත් කලේද එයටමය. ඒ නිසා ඒවායේ අයිති කරුවන්ද ඔවුන්ය. මෛත්‍රී උදාව , වික්‍රමසිංහ පුර වැනි ඉදිකිරීම් ඉදිරියට පැමිණේදැයි නොදනිමි.

මෑතකදී විවෘත කරන ලද අධිවේගී මාර්ගයේ පීත්ත පටියක් කාන්තාවන් දෙදෙනෙකු විසින් බලෙන් කපා  තිබුණි. හරියටම හරිය. අමාත්‍ය කිරිඇල්ල ඔහුගේ මුදලින් ඒවා හැදුවේ නැත.  ප්‍රශ්නය නම් මේ කාන්තාවන්  දෙදෙනා එය බැර  කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට වීමය. ඒ මදිවට ප්‍රසන්න රණතුංග ඒ දෙදෙනා බැලීමට ද ගොස් (ගියා ද දන්නේ නැත )   ඇත. ඔවුන් කල ක්‍රියාව අගය කිරීමටය. ඔව්,  ඔවුන් ජනතාවට අයිති දෙයක් ලෙස ජනතාවගේ නාමයෙන් පීත්ත  පටිය කැපුවා නම් ප්‍රශ්නයක් නැත. ප්‍රසන්න රණතුංග යන්නේ ඔවුන් මහින්ද වෙනුවෙන් හෝ ඔහු වෙනුවෙන් එය කළ  නිසා ස්තුති කරන්නටය. දැන් ප්‍රසන්න හිතන් ඉන්නේ මේ එයාගේ බුදලයෙන් හැදූ  එකක් කියාද? ඔහුගේ පියා  වන රෙජි රණතුංග වත් එහෙම මුදලක් භාණ්ඩාගාරයට ප්‍රදානය කල කියාවත් අපි දන්නේ නැත.

මා සිතන්නේ මේ සෑම විවෘත කිරිමකම දැක්වෙන "අහවලා විසින් ජනතා අයිතියට  පවරන ලදී" වෙනුවට  "ජනතාව ගෙවා සෑදූ අධිවේගී මාර්ගය ජනතාව විසින්  අහවලාට කියා විවෘත  කර ගන්නා  ලදී " යනුවෙන්  වෙනස් කල යුතු බවයි. ජනතාවට අයිති දෙයක් ජනතාවට නැවතත් පවරන්නේ කුමටද?

දැන් නැවතත් ලාභ පාඩු වෙළඳාමට යමු. මේ පැත්තේ ඇති දෙමළ  කඩයේ අය ඉතා හොඳය . වල්  ඌරු මසක්, මුව මසක් ගෙන ආ  විගස අපට දුරකතනයෙන් කතා කර දන්වති. ගිය විට සිංහලෙන් කතා කිරීමට යත්න දරති.  (මට නම් එහි වැදගත් කමක් නොපෙනේ. නමුත් ඒ ඔවුන් ගේ කැමැත්තය) හොඳ  සැළකිල්ලක් දක්වති. ඒ නිසා මම එතනට යාමට කැමතිය. පහත වරකා  කෑල්ල එහි විකිණීමට  තිබුනේ පවුම් 4.50 කට හෙවත් රුපියල් 990 කටය.. (දැන් ඇති  අනුපාතයට අනුව )  හොඳින් බැලූ  විට එය වරකා ගෙඩියෙන් 1/16  කි.  ඒ අනුව මුළු වරකා ගෙඩිය පවුම් 72කි (රුපියන් 15400කි) . ප්‍රවාහන වියදම් වශයෙන්  පවුම් දහයක් හා බදු සඳහා පවුම් 2 කක්  අයින් කලොත් ලාභය පවුම් 50-60 වේ.  අපි අර 1/16 කෑල්ල  රැගෙන සතුටු වෙමු.

දැන් කල්පනා කර බලමු සෝවියට් දේශයේ කඩ ගැන. ලාභයක් නැති නිසා භාණ්ඩ වල මිල අඩුය. සේවිකාවන් අපට  හොඳින් සලකන්නේ යාප්පුවෙන් යමක් විකුණන්නේ නැත.  නමුත් මිලදී ගත හැකි නිසා අපි පෙරේත කමට එකම වර්ගයේ භාණ්ඩ කීපයක් රැගෙන් ගොඩ ගසා  ගත්තෙමු. නැත්නම් සේවික සේවිකාවන්  ඒවා සඟවා (අර ආණ්ඩුවේ සමුපකාර  මෙන්) පස්ස දොරෙන් වීකුණුහ .

සෝවියට් දේශයේ වැරැද්ද වුයේ මිනිසුන් රජය තමන්ට පිටතින් ඇති දෙයක් බව සැලකීමයි. මාක්ස් කි අහෝසි වී යන රාජ්‍යය වෙනුවට සෝවියට් රජය බලසම්පන්න එකක්  විය. (නැතහොත් අප එසේ සිතා සිටියෙමු) එය ඇද  වැටුනේ ගිණිකුරු  වලින් සෑදූ  මාලිගයක් වැටෙන ආකාරයටය.  ඇද වැටී ගොඩ  නැගුනේ මිල අධික භාණ්ඩ ඇති, ඩොලර් මිලියන් ගණන්  වත් පොහොසත්කම් ඇති රුසියානුන් සිටින අර්ධ ඒකාධිකාරී  රාජ්‍යයක් ය.  වැඩි ගණන් දී තත්වයෙන් උසස් භාණ්ඩ ගැනීමට එහි වැසියන් කැමතිය.

මේ අප කැමති ජිවන රටාවයි. 

Thursday, 17 September 2015

සම්බන්ධන් අනුර සුසංයෝගය හෙවත් යහවිජ්ජාව


මම ටී එන් ඒ එකට විපක්ෂ නායක කම නොදිය යුත්තේ මන්ද කීමට හේතු කීපයක් ම ලිව්වෙමි. ඉන් එක හේතුවක් වූයේ 1977 න්  පසු සිදුවූ සිදුවීම් පෙළය. එම ලිපිය මෙතන තිබේ.  මේ ලිපියට අනතුරුව සම්බන්ධන් මහතාට විපක්ෂ නායක පදවිය ලැබීම සිදුවිය යුතු සාධාරණ දෙයක් හැටියට බොහෝ දෙන තර්ක කරන ලිපි පළවිනි. ඉන් සමහරක් සාධාරණ තර්ක  ඉදිරිපත් කර තිබේ.  අශාන් වීරසිංහ විකල්ප වෙබ් අඩවියේ ලියන ලද මේ ලිපිය එවැන්නකි.  එහි මෙසේ කියා තිබේ.
""මේ පාර්ලිමේන්තුවේ දැනට තිබෙන බරපතලම හා ඉක්මන්ම විසඳුමක් අපේක්ෂා කරන අර්බුදය විපක්ෂ නායකයා පත් කිරීමයි.ඒ සඳහා විවිධ නම් යෝජනා වී ඇති නමුත් ඒ හැමෙකාම පාහේ දුෂ්ට මහින්ද රෙජීමය යටතේ හිතේ හැටියට හොරා කෑ, නැතහොත් කටවාචාලකමින් පාර්ලිමේන්තුවට සහ පොදුවේ දේශපාලනය නමැති භාරදූර කාර්යයට නිගා දුන්, හාල්පාරුවන්ය."
එසේම  ඔහු මෙසේ අවධාරණය කරයි.

"එනම්, විපක්ෂ නායකකම සිංහලයා අතම රඳවා ගැනීමට ඇති දැඩි අවශ්‍යතාවයයි. මේ කාරණයම වඩා සුවිශේෂ කොට කියන්නේ නම්, විපක්ෂ නායකකම දෙමළෙකුට යාමට ඇති බියයි. ‘මහින්ද ජාතිවාදියෙක් දෙමළ මිනිස්සු පව්, අපෝ අපි නම් එහෙම නෑ’ කියන ඇතැම් පුරවැසියන්ගේ මානසික වපසරිය තුළ පවා මේ භීතිකාව පැතීරී නැතිද?"

මගේ බ්ලොග් අඩවියේ ඉහත ලිපියේ මා  පල කරන තර්කයට ඔහු ගේ ලිපියේ  පිළිතුරක්  නැත.  එනම් ජාතිවාදී වේවා හෝ නොවේවා ආණ්ඩුවට චන්දය දුන් පිරිස මෙන්ම තව ලක්ෂ 47 වෙනත් පක්ෂයකට හෝ පක්ෂ වලට චන්දය  දුන් බවත් දෙමළ  ජාතිය පමණක් නියෝජනය කරන ටී එන් ඒ එකට ලැබුනේ චන්ද පන් ලක්ෂයකට ආසන්න  සංඛ්‍යාවක්  පමණක් බවත්ය. ඔවුන්ට ආසන  16 ලැබීම චන්ද ක්‍රමයේ විකෘතියකි.

කරුණාකර මෙය වරදවා වටහා නොගන්න. දෙමළ  හෝ මුස්ලිම් ජාතිකයෙකු ලංකාවේ ජනාධිපති හෝ අගමැති වීම ගැන මගේ කිසිම විරුද්ධත්වයක් නැත. එසේම දෙමළ  ජාතිකයෙකු විපක්ෂ නායක වීම පිළිබඳවද කිසිම විරුද්ධත්වයක්  නැත.  නමුත් ටීඑන්ඒ නමැති දෙමළ  ජාතිය නියෝජනය කරන පක්ෂයෙන් හෝ සිහල උරුමය නමැති සිංහල ජාතිය නියෝජනය කරන පක්ෂයෙන් හෝ මුස්ලිම් කොංග්‍රසයෙන් කෙනෙකු විපක්ෂ නායක වන්නේ නම් ඔවුන් නියෝජනය කරන සුළුතරය විපක්ෂය වීම වැළැක්විය නොහැකිය.  සිංහල උරුමයේ මනමේන්ද්‍ර මහතා විපක්ෂ නායක වුවහොත් ඔහුට "අපි තමා  මේ රටේ විපක්ෂය. සිංහල ජාතිය මේ ආණ්ඩුවට සම්පූර්ණයෙන් විරුද්ධයි කියා කීමට හැකියාව තිබේ."

මෙහිදී සිදුවූ සාධනීය කරුණු දෙකින් එකක් නම්  සම්බන්ධන් මහතා විපක්ෂ නායක පදවියට පත් වූ පසු තමන් සිංහල ජනතාවත් නියෝජනය කරන්නේ යයි කියා  ඒ මහතා  කල නිහතමානී ප්‍රකාශයි . එසේම ජවිපෙ  අනුර කුමාර මහතා ට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කම ලබා දීමද  සාධනීය දෙයකි.

අශාන්ගේ මුල් කියමනට නම්  පිළිතුරක් රජයෙන් ලැබී තිබේ. සම්බන්ධන් "තෝරාගෙන " ප්‍රගතිශීලින් මුලා  කල රජය අර අශාන්  හාල්පාරුවන් යැයි  නම් කරන සමහරුන්  ඇමතිවරුන් ලෙස රජයට බඳවා ගෙන තිබේ.

මෙහිදී 2005 වසරේ අග භාගයේ සිදුවූ  කතා බහක් මගේ මතකයට නැගේ. මෙය බීබීසී සිංහල සේවයේ එවකට සිටි කලමනාකර මහතා සහ එම  සේවයේම රැකියාව කල ජන මාධ්‍යවේදී මිතුරකු සමග අපේ මිතුරෙකුගේ හෝටලයක පැවති  සාදයකදී ඇතිවූ සංවාදයකි. එම සංවාදයේදී ඔවුන් දෙදෙනාම වාද කලේ එල්ටීටීඊ සංවිධානය කොතරම් බල සම්පන්නද යන්නය. ඔවුන් රටෙන් තුනෙන් එකක් පාලනය කරන බවද තමන්ගේම හමුදාවක් ඇති බවද ඔවුන් පරාජය කිරීම කල නොහැකි බවද ඔවුහු කිහ. මෙයට එකඟ නොවුණු මා කිවේ එල්ටීටීඊ සංවිධානය තමන් ගැන අධිතක්සේරුවකින් සිටින බවත් ප්‍රමාණයෙන් විශාල ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වලට ඔවුන් අවශ්‍ය නම් පරාජය කල හැකි බවත්ය.

මෙහිදී ඔවුන් පැවසුවේ මා  ජාතිවාදී ස්ථාවරයක් ගන්නා  බවයි. මේ කතාව කියන්නේ ජාතිවාදීන් බවත් දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීම  වලක්වන්නට කරන කතාවක්  බවත් ඔවුහු කීහ.
තවත් කීප දෙනෙකුද එකතුවුන මේ සංවාදයේදී ජවිපෙ අවසන් කැරැල්ලට සිදුවූ දේ මතක් කර දුන් මා  පැවසුයේ,  හමුදාවට අවස්ථාවක් දුනහොත් එවැනිම දරුණු ආකාරයකින් පවා මේ යුද්ධය  නිමවිය හැකි බැවින් එල්ටීටීඊ සංවිධානය අඩියක් පසු පසට රැගෙන අවම වශයෙන්   තමන් නියෝජනය කරන  මිනිසුන් ගැනවත් සිතා  සාකච්චා මේසයට පැමිණ වෙනම රටක් නොව ඊට වඩා  අඩු ස්ථාවරයකට  එළැඹීම වඩා  හොඳ බවයි. ඔවුහු අප සමග එකඟ නොවූ අතර අප ජවිපෙට සම්බන්ධ ජාතිවාදීන් බවට චෝදනා කළහ.

2009 යුද්ධය අවසන් වන අවස්ථාවේ මම ඉහත සිදුවීම එම මිතුරාට මතක් කර දුන් අතර සොල්හෙයිම්  බාලසිංහම් ට කියා බැණ වැදුනා යැයි  කී  කථාව  ඔහු පැවසුවේ එවිටය. (මගේ මුල් ලිප්යේ සඳහන් කල) .

දැන් යුධ අපරාධ ගැන මතක් කරන වේලේ  වෙනත් දමිල සගයෙකුගේ වෙබ් අඩවියක මා පැවසූ කරුණ වුයේ ප්‍රභාකරන් ගේ අධි තක්සේරුව විශ්වාස කරමින් ඔහු විවේචනය නොකර එල්ටීටීඊ සංවිධානයේ ස්ථාවරය ට  සහයෝගය දුන් බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු හා ද්‍රවිඩ සංසදයේ අයගේ දෑත් වලද මියගිය දෙමළ ජනතාවගේ ලේ තැවරී ඇති බවයි.  ඒ ඔවුන් අඩුමගනනේ කිලිනොච්චියන් පසුව වත් සමාදානයකට එළඹෙන්නට  ප්‍රභාකරන්ට බල නොකළ නිසාය.  කිලිනොච්චිය ඇද වැටීමට කලින් ඒ කුඩා නගරය සඳහා සටන ස්ටාලින්ග්‍රාඩ් නගරයේ වූවා වැනි සටන් වලට සමාන කරමින් ඔවුන් කියූ වගඩාඩම්බර කථා වලට සිනා සීමත් ශෝක වීමත් හැර වෙන යමක් අපට කළ  නොහැකි විය.
පෙරටුගාමී පක්ෂයේ දීප්ති කුමාර ගුණරත්න මහතා මෙන්ම නව සම සමාජයේ ආචාර්ය වික්‍රමබාහු මහතා වැනි අයගේ ස්ථාවරය  එනම් එල්ටීටීඊ සංවිධානය විමුක්ති සංවිධානයක් ලෙස ගෙන සහය  දිය යුතුය යන්නට මට එකඟ වීමට නොහැක්කේ මේ නිසාය.  ඒ සිංහල රජය තරමට ම එල්ටීටීඊ සංවිධානයද නරුම වූ නිසාය. එංගලන්තයේ කප්පම් ගැනීමේ සිට, ක්‍රෙඩි කාර්ඩ් වංචා, මත  ද්‍රව්‍ය විකිණීම හා දෙමල නොවන තරුණියන් ගණිකා වෘත්තියේ යෙදවීමත් ඔවුහු අනුදත්හ. විප්ලවවාදී සංවිධාන  එවන් දේ වල යෙදෙන්නේ නැත.

මේ සිද්ධිය ගැන මගේ තවත් මිතුරකු පැවසුයේ මේ බ්‍රිතාන්‍ය හා කැනඩා මන්ත්‍රීවරු මෙන්ම ෆ්‍රැන්සිස් හැරිසන් ආදීනුත් එවැනි  ස්ථාවරයන්  ගත්තේ මුදල් හා චන්ද වලට  බවයි. එය ඔවුන් ගේ ජිවන මාර්ගයක් විය. අදටත් එය එසේමය.

විකල්ප සඟරාවේ පලවූ මේ ලිපියේ සිටම වාමාංශික යයි කියා ගන්නා මහත්වරු  තර්ක කරන්නේ සම්බන්ධන් ට විපක්ෂ නායක ධුරය දීම නිවැරදි බවයි. මෙහි ඇත්තේ සීනි  තැවරූ  කසාය  ගුලියක් බව ඔවුන් සඟවයි. එයට විරුද්ධව ලියන ඕනෑම කෙනෙක් ජාතිවාදී ගොන්නට හෝ "ජවිපෙ" නරුම ගොන්නට දැමීමට ඔවුහු මැලි නොවෙති.

විපක්ෂ නායකයා යනු ඊළඟ  ආණ්ඩුවේ නායකයාය.  ශ්‍රීලනිප ජාතිවාදී 47ට විකල්ප කණඩායමක්  ලෙස, විපක්ෂය ලෙස පිලි අරගෙන විපක්ෂ නායක පදවිය දුන්නා  නම් ඔවුන් ව සාකච්චාවට ගෙන නැවත නැවතත් පැරදවීමට හැකියාව තිබුණි.  ශ්‍රීලනිපය දෙකඩ වීමට ඉඩ හල යුතුව තිබුණි. ජනවාරි 8 මයිත්‍රී ට සහයෝගය දුන් ටීඑන්ඒ සම්බන්ධන් මෙතනට දැමූ  විට එය මග හැරී  යන අතර විපක්ෂ නායක ලෙස දෙමල ජනතාව වෙනුවෙන් පමණක් හෝ පෙනී සිටීමේ අවස්ථාව සම්බන්ධන් ගෙන් මග හැරී යයි.  එහෙමත් නැත්නම් විපක්ෂයේ සිට ඔහු දෙමල ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කරන යෝජනා වලට විරුද්ධ වීමටද රජයට අවකාශය සැලසේ.

කවුරුන් හෝ අර විරුද්ධ මන්ත්‍රීන් 47 දෙනාට විපක්ෂ නායක පදවිය දීම නුසුදුයි කියනවා නම් පසුගිය ආණ්ඩුවේ සිටි "හොරුන්ය " යන සම්මාන නාමය ලබා ගත් උදවියට ඇමතිකම් දීමෙන් කර ඇත්තේ කුමක්ද  යන ප්‍රශ්නය මතු වේ.

කොටින්ම  මේ කර ඇත්තේ හොර වැඩකි. විපක්ෂයේ සහයෝගය ඇතුව ප්‍රශ්නය නැවතත් යටපත් කර දැමීමේ උත්සාහයකි. වම යයි කියා ගන්න අය  මේ උපක්‍රමයට මුලින්ම ගොදුරු වී ඇති අතර දෙමළ   සන්ධානය පසුව ගොදුරු වනු ඇත. දෙමල ප්‍රශ්නය විසඳුමක් නැතුව තවත් දිග් ගැස්සෙනු ඇති අතර වෙනත් තරුණ සංවිධානයක් එම හිඩැස පිරවීමට එනු ඇත .

ෆේස්බුක් යහළුවකු වන ආචාර්ය සුරේන් රාඝවන් මෙසේ ලියා  තිබේ:

//"දෙමලිච්චන්ගේ ලෝකය ( or the World of Sambandan and Seven Sisters)
දෙමළාට දෙමළ වීම නිසාම ඇති ප්‍රශ්නය කුමක්දැයි?
මහා අදුරු නලින් සිල්වා තැනූ  තර්කයඅද බහුතරයේ ජාතිකවාදීන්ට ව්‍යූහාත්මක බුද්ධිමය පදනමක් සපයා ඇත . මා විසින් වරින් වර අසා ඇතිත්, සම්බන්දන්ගේ පත්වීමට විරුද්ධ සමයේ යලිත් ගොඩ නැගු ප්‍රතිතාර්කික පැණය නම් :
සිංහලයාට සිංහල වීම නිසාම ඇති බිය කුමක්ද? යන්නයි.
මෙය හුදෙක් ව්‍යූහාත්මක දේශපානයට පමණක් නොව 
සමස්ථ සිංහල සමාජ/දේශපාලන/සංකෘතික සවින්ඥානයටම කිඳා බැස ඇත්තේ  දෙමළා The Paradigmatic Ontological yet ( PostBuddhist) Subaltern other ...... යන මනස තුලය.
(In critical theory and postcolonialism, subaltern refers to the populations that are socially, politically and geographically outside of the hegemonic power structure of the colony and of the colonial homeland. - wikipedia )
කදිම අත්දෙකීමක් විය :
මම දුර කතනයෙන් කොළොඹ මා අතිශියෙන් ආදරය කරනා 
(ලිබෙරල්වාදී) මිතුරෙක් ඇමතුවෙමි. මහා කුරුළු නාදයක් පසුපසින් අසින මම ඒ හඬ නගන්නේ බට්ටිච්චන්ද මලිතන්දදැයි ඇසුවෙමි 
එවිට ඔහු එකවරම " අම්මේ අර කෑ ගහන්නේ දෙමලිට්ච්චෝ නේද යි විමසීය"
ජාතිකවාදය/ජාතිවාදය සොඳුරු මිනිසුන්  පවා අන්ධ කර ඇතිබව වැටහුනේ (මා පෙන්වා දුන්) පසු ඔහු එය 'හිතා මතා' නොකළ බව මට කී නිසාය. මම පිළිගනිමි. අපි හිතා මතා මහජාතිකයන් නොවෙමු.
ජාතිවාදය බොහෝ දුරට අවින්ඥානාක සවින්ඥනයයි.
අපි තවත් බොහෝ යන්නට ඇතිබව මට සිහින් රිදුමක් සමගින් මතක් විය.  "//

සිංහලයාට සිංහලයා  වීම බියක් සපයන්නේ මිලියන් අනූවක් දෙමල ජනතාව ජිවත් වන තමිල්නාඩුවක් ඇති නිසාත් එහි පාලකයන් චන්ද හා වෙනත් දේ බලාපොරොත්තුවෙන් ලංකාවේ දමිල ප්‍රශ්නය ඔද්දල් කරන නිසාත්ය.  ඉන්දියාවට ටිඑන් ඒ  නායකයන් දිවයාම පසුපසින් සිංහලයා ගේ බියද ඇදීයයි. රඝාවන්  මහතාට කියන්නට තිබෙන්නේ  ජාතිවාදී නොවන අප වැනි කොටස් සිටින  බවත් දෙමළ ජනතාව ගේ ප්‍රශ්නය විපක්ෂ නායක පදවියකින් නොවිසඳෙන බවත්ය. හේතුව මේ විපක්ෂ නායකයා ලංකාවේ ඊළඟ පාලකයා නොවන නිසාය. අනිත් රටවල නම් චන්දය දිනුව විපක්ෂ නායකයා ඊළඟ  අගමැතිය.  මේ වෙන්නේ රාඝවන් වැනි අයද නොදනුවත්වම එක්  වී සිටින තවත් රඟ පෑමකි.

ඉතිහාසය නැවත පුනරාවර්තනය වීමට නියමිතය. 





Tuesday, 15 September 2015

කණගාටුදායක වාර්තාකරණයක්

ශ්‍රී ලංකාවේ දැරියක අපචාරයකට ලක් කර මරා  දැමීමක් ගැන ප්‍රවෘත්ති කීපයක්  පලවී තිබේ. එසේම ෆේස්බුක් , ට්විටර් ආදී සමාජ ජාලා  අඩවි වලද බ්ලොග් වලද මේ සිද්ධිය ගැන නොයෙකුත් වාර්තා මෙන්ම අදහස් ද පළවේ. ප්‍රථමයෙන්ම මේ අහිංසක දැරිය ගේ අවාසනාවන්ත ඉරණම පිලිබඳ සම්පුර්ණ කණගාටුව මෙන්ම ශෝකයද ඥාතීන් ට පළ කරමි.
මේ සාහසික අපරාධය කළ  තැනැත්තා  ද හැකි ඉක්මනින් අත් අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි වේයැයි උදක්ම බලා පොරොත්තු වෙමි.

කෙසේ වුවද මේ මරණය පිලිබඳ වාර්තාකරණය ඉතාමත් ජුගුප්සා  ජනක ලෙස පහත් ආකාරයෙන් කෙරෙනේ බවද නිරීක්ෂණය කලෙමි. ගොසිප් ලංකා හා තවත් වෙබ් අඩවියක දැරිය මිය ගිය තැන ඇල ඉවුරේ පින්තූරයක් දැරියගේ මුහුණ පමණක් ආවරණය කර පල  කර තිබේ. මෙවැනි පින්තුර පල කිරීමෙන් මොවුන් බලා  පොරොත්තු වන්නේ කුමක්ද?

එසේම එම ගොසිප් අඩවියේම එම දියණියගේ වෙනත් ඡායාරුපයක් වෙබ් අඩවිය සැකකාරයෙකු යයි සිතන පියාගේ (කුඩා ප්‍රමාණයේ මුහුණ පමණක් දියණියගේ පින්තුරයේ පහල කොටස ට වැටෙන පරිදි පල කර තිබේ. (මෙතැන) මෙහිදී දියණියගේ ඇඳුම දණහිසින් උඩට වෙන්නට ගිය පින්තුරයක් තෝරා පළ  කර ඇත.  වෙන පළ  කරන්නට පින්තුර හොයා ගන්නට බැරි වුනාද ?

පියා  සැක කාරයෙකු විය හැකිය. නමුත් පොලිසියෙන් එසේ කීවාද? එසේ නීතියෙන් කියා නැත්නම් එවැන්නක් පළ  කළ හැකිද? සමහර විට පියා  නොවිය හැකිය. එසේ වුව හොත් මේ වෙබ් අඩවි පියාගෙන් සමාව ඉල්ලනවා ද?

එසේම ළඳරු පාසලේ වෙනත් දරුවන්ගේ මුහුණුද ඇතුව තවත් පින්තුරයක් පල කර තිබේ. අර දරුවන්ටද මින් අසාධාරණයක් වන්නේ නැතිද? ඔවුන් නිරාවරණය කරන්නේ කුමටද?

මුහුණු පොතේ තත්වයද මින් අඩු නැත. ඊට අමතරව අපරාධකරුවන් එල්ලා මරා දැමීමට උද්ඝෝෂණ කරන අය න්ම ගිය  ආණ්ඩුව කාලේ පොලිසිය පාවිච්චි කල "ආයුධ පෙන්වීමට යාමේදී තමන් ම වෙඩි තබා ගන්න ක්‍රමය " වෙනුවෙන් පෙනී සිටින්නන් ද කොමෙන්ට් අතර දැකිය හැකිය.

එංගලන්තයේ සාමාන්‍යයෙන් මෙවැනි වාර්තාකරණයන් දැකිය නොහැකිය. නමුත් මා පුදුමයට පත්වුණේ වෙබ් ලෝකයේ නම රැන්දූ බව කියන ගෝඩ්  ෆාදර් කෙනෙකුද මෙවැන්නක් ලියා තිබීමය.  එංගලන්තයේ සිට පලවන මෙහි  මේ ලියා  ඇත්තේ කුමක් ද?//මරණ පරීක්ෂණ වාර්තාව අද නිකුත් වූ අතර දැරිය ************** කිරීමකින් පසු ******************. ********* ****** දැරිය*********** දැරිය  ************  ඇත. දූෂකයාගේ  ****** ****** ***** **** සීරීම් තුවාල දක්නට ඇත//

ඉතා ජුගුප්සාජනක ආකාරයෙන් දැරිය බලහත්කාරයට ලක් වූ අයුරු හා සිරුරේ සිට හමුවූ ඇතැම් වෙනත් පිරිමියෙකුගේ සිරුරින් පිටවූ ද්‍රව්‍ය ගැන විස්තරද ලියා තිබේ. මෙවැනි වෙබ් අඩවියකින් මෙවන් පහත්  වාර්තාකරණයක් බලාපොරොත්තු නොවීමි. සමහර විට මරා දැමුණේ වැඩිහිටි අයෙකු නම් තව කමක් නැත. මේ කුඩා දැරිවියකි. මේ වාර්තාකරණය ඔබ සාධාරණිකරණය කරන්නේ කෙසේද? 

Saturday, 12 September 2015

කෝබින් ගේ ජයග්‍රහණය හා වමේ වම හා දකුණේ දකුණ.


බ්‍රිතානයේ මාධ්‍ය පණ්ඩිතයින් බොහොමයක් කිවේ ජෙරෙමි කෝබින් දිනුවොත් ලේබර් හෙවත් බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය 2020 කෙසේ වෙතත්  තව අවුරුදු විස්සකටවත් දිනන්නේ නැත කියාය. ඩේවිඩ්  මිලිබෑන්ඩ් නම් බ්ලෙයාර් වාදී කම්කරු පක්ෂ රජයේ හිටපු  විදේශ ඇමති කම්කරු පක්ෂ නායකත්ව තරඟයෙන් ඔහු ගේ සහෝදරයාට පැරදීම ගැනද ඔවුන් කිවේ මෙයයි.

එඩ් මිලිබෑන්ඩ් බොහොමයක් දේශපාලන පණ්ඩිතයන් කියූ ආකාරයෙන්ම පරාජය වූ බව සත්‍යයකි. නමුත් ඔහු පැරදුනේ මාධ්‍ය පණ්ඩිතයන් කී බ්ලෙයාර් වාදී  නොවීම නිසා නොවේ.  ටෝනි  බ්ලෙයාර් යනු වාමාංශික පක්ෂයකින් බලයට පැමිණි  දක්ෂිණාංශික නායකයෙකි. (මේ වාමාංශයේ දක්ෂිනාංශය ලිපිය  බලන්න )  එඩ් පැරදුනේ ඔහුට ම අනන්‍ය වූ වැඩ පිළිවලක් නොතිබීම නිසාය. ඔහු කිවේ බැංකු කරන වරද වල් වලට දඬුවම් දී මේ තිබෙන ක්‍රමය දුෂණයෙන් තොරව හොඳට පවත්වා ගෙන යාමක් ගැනය. සුභසාධක කැපීමේ සිට අධ්‍යාපන පහසුකම් දක්වා ඔහුගේ මධ්‍ය වාමාංශික (centre left ) ස්ථාවරය හා දක්ෂිණාංශික ටෝරි ස්ථාවරය අතර වෙනසක් තිබුනේ නැත.

මෙය හරියට ජවිපෙ ලිබරල්වාදී ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට තැත්  කලාක් වැනිය. එවැනි දෙයක් හොඳට කල හැක්කේත් නැවත මහින්ද ආගමනය  වලක්වා ගත හැක්කේත් එජාපයට ඡන්දය දීමෙන් පමණක් බව "ජනවාරි 8 " චන්දදායකයා වටහා ගත්තේය.  ජවිපෙ චන්ද පසුබෑමකට ලක් වූයේ  ඒ නිසා බව මගේ මතයයි.

 එඩ් මිලිබෑන්ඩ් පරාජය වූයේ  මේ හා සමාන ආකාරයටයි. තැචර් ගේ අති  දක්ෂිණාංශික ප්‍රතිපත්ති සමග පෑහුණු බ්ලෙයාර් ගේ ප්‍රතිපත්ති අතර බලන විට ඩේවිඩ් කැමරන්  දක්ෂිනාංශයේ වාමවාදී ලිබරල්  මෘදු නායකයෙකි.  එම ප්‍රතිපත්ති වඩා හොඳට ක්‍රියාත්මක කල හැකි ඔහු වෙනුවට නොදන්නා මිලිබෑන්ඩ් පත් කර ගන්නේ කුමට ද? ඒ නිසා එංගලන්තයේ චන්දදායකයන්  පැහැදිලි ලෙසම එඩ්ව  ප්‍රතික්ෂේප කරන ලදී.

ජෙරෙමි කෝබින් සහමුලින් ම වෙනස් කෝවක  රත් වූ යකඩයකි.  කෝබින් නායකත්ව තරඟයට  ඉදිරිපත් වූ වහාම වගේ උණුසුම් උන්මාදයක් වාමවාදී පාක්ෂිකයන් අතර පැතිරුණි. මේ දේශපාලන රැල්ල කම්කරු පක්ෂයෙන් එහාටත් පැතිරුණු අතර මෙතක් කල් කුඩා වාමාංශික පක්ෂ, පරිසර රැකීමේ ව්‍යාපෘති මෙන්ම හරිත පක්ෂය ආදී ව්‍යාපාර වල සිටි බොහෝ අය කම්කරු පක්ෂය වටා එක්  රැස්  වුහ. මේ සියල්ලන් ගේම මූලික අභිප්‍රාය වුයේ කඩා වැටී ඇති වමේ වම රැක ගැනීමයි.

උදාහරණයක් වශයෙන් මේ සංඛ්‍යාවන් දෙස බලන්න. පසුගිය චන්දයේදී කම්කරු පක්ෂයේ සාමාජිකත්වය ලක්ෂ දෙකකි. කෝබින් තරඟයට නම් දුන් සතියේ මේ ගණන ලක්ෂ තුනකට දෙසීයක් පමණ අඩු ගණනක්  දක්වා වැඩි විය.  දැන් 189,703 වන පක්ෂයට බැඳුනු සහයෝගය දෙන්නන් හා සහයෝගය ඉදිරියේදී දෙන්නට ලියා  පදිංචි වූ ගණන 121,295කි. අන්තිම පැය  විසි හතරේදී 160,000 ලියා  පදිංචි විනි.

කෝබින්මේනියාව නමින් ප්‍රසිද්ධ වූ මේ අති  මහත් උද්යෝගය ජෙරෙමි කෝබින්  වටා එක්  රැස්  වූයේ  ඇයි? කෝබින් නියෝජනය  කරන්නේ පරණ වමද? කෝබින්  තනන්නට  තැත්  කරන්නේ අසමත් වුනු සමාජවාදී රාජ්‍යයක්ද? කිසිසේත්ම නැත.

බ්ලෙයාර් ගේ කම්කරු රජය මගින් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා මුදල් අය කිරීම ආරම්භ කරන ලදී. ඒ අවුරුද්දකට පවුම් දහසක් බැගිනි. එයට හේතුව ලෙස ඔහු දැක්වුයේ විශ්ව විද්‍යාල පවත්වා ගෙන යාමට මුදල් නොමැති බවයි. අද එම මුදල වසරකට පවුම් 8000 දක්වා වැඩිවී ඇත. මෙය සහන ණයක්  ලෙස සිසුන්ට ලබා දුන්නත්  විශ්ව විද්‍යාල ඉගෙනීම අවසානයේ ලැබෙන පඩියෙන් සිසු සිසුවියන් එම මුදල ගෙවිය යුතුය. නිවසක් මෝර්ගේජ් කර ගන්නේ නම්  බැංකු ණය ද එයට එක් වේ. බොහෝ විට සිසු ණය  තිබෙනවා නම් බැංකු නිවාස  සඳහා ණය  දෙන්නට මැලි  කමක් දක්වයි.  මේ නිසා බොහෝ පහල මධ්‍යම පන්තික සිසුන් විශ්ව විද්‍යාල වලට යාමට මැලි කමක් දක්වති. අමාරුවෙන් මධ්‍යම පන්තික දරුවන් විශ්ව විද්‍යාල අධ්‍යාපනයට යන අතර ඉහළ පන්තිවල අයට  මේ ප්‍රශ්නය නැත.  කම්කරු පක්ෂයේ සාමාජිකයන් බ්ලෙයාර් ගේ මේ කාර්යය සැලකුවේ මහා පවා දීමක් ලෙසිනි. වරප්‍රසාද නැත්තන්ට ඉගෙනීමට ඇති අයිතිය අහෝසි කිරීමක් ලෙස බොහෝ දෙනා  මෙය අර්ථකථනය කළහ.

ජෙරෙමි  කෝබින් පැවසුවේ ඔහු මේ විශ්ව  විද්‍යාල අධ්‍යාපනයට මුදල් අය කිරීම නතර කර නොමිලයේ සියල්ලන්ටම අධ්‍යාපනය  සපයන බවයි. අධ්‍යාපනය හා නිදහස්  සෞඛ්‍ය සේවය සැමගේ අයිතිවාසිකමක් ලෙස ඔහු සලකයි.

කම්කරු පක්ෂ සාමාජිකයන් අනුමත  නොකරන දෙවන කරුණ නම් ඉරාකය  කරා  ගෙන ගිය විනාශ කාරී යුද්ධයයි.  සැප්තැම්බර් 11 දා ඇමෙරිකාවට පහර දුන්නේ ඉරාකයේ අනුබලයකින් නොවේ. එනිසා ඒ යුදයේදී මැරුණු හා අදත්  බෝම්බ වලින් මියයන ඉරාක ජනතාව ගේ  හා  අද අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන් අතින් මැරෙන පිරිස ගේ වගකීම ද ඔවුන් පවරන්නේ බ්ලෙයාර් හා ඔහුට සහයෝගය දුන් මන්ත්‍රීන් ගේ කර පිටයි. කෝබින්  එම යුද්ධය නීති විරෝධී ලෙස නම් කරමින් මුල සිටම විරුද්ධ වූ අයෙකි.

කෝබින් අයර්ලන්ත යුද්ධය නතර කිරීමටත් ස්වාධින අයර්ලන්තයක් උදෙසාත් මුල සිටම පෙනී සිටි කෙනෙකි. එසේම පලස්තීන ප්‍රශ්නයේ දීද හමාස් ආදී පලස්තීන කොටස් වල සහයෝගය ඇති සංවිධාන සමග සංවාදයක් ඇති කල යුතුය යන මතය දැරුවෙකි.

කෝබින්  එතරම් මුදල් වියදම් කරන්නෙකු නොවේ. ඔහුට වාහනයක් නැති අතර බයිසිකලයෙන් පාර්ලිමේන්තුවට පැමිණේ.  මධ්‍යම  පන්තික පවුලක ඉපදී හැදී වැදුණු ඔහුගේ  ළමා කාලය  ගත කල කාමර හතක් ඇති නිවස පිහිටියේ දැකුම් කළු විල්ට්ශයර්  ප්‍රදේශයේ ය. ඔහුගේ මව ගණිත ගුරුවරියකි. පියා  විදුලි ඉංජිනේරුවෙකි. පියා  සහ මව මුණ ගැසී ඇත්තේ හැට  ගණන් වල ජනරාල් ෆ්රන්කෝ ගේ ෆැසිස්ට් වාදී  පාලනයට එරෙහිව ස්පාඤ්ඤ සමුහාණ්ඩු වාදීන්ට පක්ෂව පැවැත්වුනු රැලියකදීය.  මව හා පියාගේ වාමවාදී මතයන් ඔහුට බල පෑ බව සිතිය හැකි වුවත් දෙමාපියන් ඔහුව  ඉගෙනුම සඳහා යැව්වේ  මුදල් අය  කරන පෞද්ගලික විදුහලකටය.  නමුත් ජෙරෙමි තමන්ගේ දෙවෙනි බිරිඳ ගෙන් වෙන් වුයේ ඔහුගේ පුතා රජයේ විදුහලට නොව ක්වීන් එලිසබෙත් ග්‍රමර්  විදුහලට යවන්නට ඇයට  අවශ්‍ය වූ නිසාය.  මින් පැහැදිලි වන්නේ වාමවාදීන් වූ තම දෙමාපියන්ට වඩා  ජෙරෙමි සමාජ සාධාරණත්වය  ගැන සිතු බවයි.

ඔබ යුරෝපයේ ජිවත් වන්නකු නම් ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය ආදී රටවල් දුම්රිය සේවා පවත්වා ගෙන යන්නේ රජය සතු හා මගීන්ට කොටස් හිමි සමාගම් වල ආධාරයෙන් බව දන්නවා  ඇත. මිල ඉතා අඩු මේ දුම්රිය සේවා ඉතා හොඳින්  වෙලාවට ධාවනය වෙයි. හතර දෙනෙකු ගෙන් යුතු  පවුලකට දිනකට බල පාන යුරෝ 30 ක (රුපියල් 4700 පමණ) මුදලකට ජර්මනියේ විශාලම ප්‍රාන්තය වන  බැවේරියාවේ ඕනෑම තැනකට යන්නට හැකිය. එයත් හොඳ වේගවත් දුම්රිය වලිනි.

තැචර් විසින් 1994 දී  පෞද්ගලීකරණය කරන්නට කලින් බ්‍රිතාන්‍ය දුම්රිය සේවය  වෙලාවට ගමන් කිරීම සඳහා නම් තබා ගත් දුම්රිය සේවයක් විය. කොම්පැනි වලින් පාලනය වන දුම්රිය සේවා වල වෙලාවට ගමන් කිරීම සිහිනයක් වන අතර ඒවායේ ගමනද ඉතා මිල අධිකය.  බ්‍රිතාන්‍යයේ දෙවන පන්තියේ ටිකට් පතක මිල  යුරෝපයේ පළමු පන්තියේ ටිකට් පතක් මෙන් දෙගුණයකි.  ඒ මේ සමාගම්  වලට අවශ්‍ය ලාභය පමණක් නිසාය. ලාභය බලමින් රේල් පීලි අලුත්වැඩියා නොකරන ලද බැවින් දුම්රිය අනතුරු ද සිදු වුනි.  කෝබින් මේවා නැවත ජනසතු කරන බව කියයි. ඒ සිරිමාවෝ ගේ පන්නයේ වතු රැගෙන විනාශ කල ජනසතු කිරීම් වලින් නොවේ. ජර්මනියේ පන්නයට රජයේ සහභාගිත්වයෙන් දුම්රිය මගීන්  ගේ හා අනිත් ජනතාවටද   කොටස් ලැබෙන සමාගම් පිහිටුවීම මගිනි. ඒවා පාලනයට එවැනිම මණ්ඩලයක් පත් කිරීම මගිනි. මේ ක්‍රමය ජර්මනියේ සාර්ථකව ක්‍රියාත්මක වේ.

එසේම කෝබින් ඒකාධිපති වාදී  සමාජවාදී සමාජ ක්‍රමයක් එක එල්ලේම ප්‍රතික්ෂේප කරයි. මිනිසුන් ට නිදහස නැති සමාජ ක්‍රමයක් අනවශ්‍ය බව ඔහු ගේ අදහසයි.

ඔහු තමන්  සමානාත්මතාවය අගයන බවත් මේ සියවසේ වැදගත් වන්නේ මානව සම්පත සහ පරිසරය රැක  ගැනීම මිස බ්‍රිතාන්‍ය විසින් න්‍යෂ්ටික සබ්මැරීන් නිපදවීම නොවන බවත් පවසයි.

මස් මාළු අත් හැර එළවලු  පමණක් අනුභව කරන කෝබින් ඉතා සරල ලෙස ජිවත් වන මනුෂ්‍යයෙකු බව ඔහුගේ තෙවන බිරිඳ වන මෙක්සිකන් ජාතික  ලවුරා අල්වාරෙස් පවසන්නීය.  ලවුරා අල්වාරෙස්
යනු ලතින් ඇමෙරිකාවේ ඇති, සාධාරණ පඩියක් ගෙවා සාධාරණ ලෙස පරිසරයට හානි නොකර වගා කරන කෝපි  එංගලන්තයට ආනයනය කරන සමාගමක හිමි කාරියකි.
ලවුරා අල්වාරෙස් 

චන්ද දෙලක්ෂ පනස් දහසක් ලබා කම්කරු පක්ෂයේ නායකත්වයට අද පත් වුනු ජෙරෙමි කෝබින්  පසුගිය මාස  කීපය තුල එංගලන්තයේ වාමාංශය තුල නව බලා  පොරොත්තුවක් දල්වන්නට සමත් විනි. දශක ගණනක දේශපාලන දිශාව වෙනස් කරමින් වමේ වමට නායකයෙකු ලැබී ඇත. යුරෝපය පුරා  මේ රැල්ල පැතිර යයිද? දේශපාලන හා මාධ්‍ය පණ්ඩිතයන් බොරු කරමින් ජෙරෙමි  කෝබින්  ගේ බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය බලය  ලබා ගනීද?


බීබීසි යේ ඇන්ඩ්රූ මාර් ගේ ප්‍රශ්නයකට පිළිතුරු දුන් පශ්චාත් නූතන මාක්ස්වදියෙකු වන ජෙරෙමි  කෝබින් පැවසුවේ   කාල්  මාක්ස් යනු බොහොමයක් දේ ගැන ඉතා දීර්ඝ ලෙස නිරීක්ෂණය කළ  ඉතා ආකර්ශනීය පුද්ගලයෙකු බවත් ඔහු ගෙන් අපට  බොහෝ දේවල් ඉගෙනීමට ඇති බවත්ය.

එක්සත් ජනපදයේ, බ්‍රිතාන්‍යයේ හා යුරෝපයේ බැංකු අධිපත්‍යයේ කිසියම් සලිත වීමක් දක්නට ලැබෙන අතර මේ කෝබින් රැල්ල යුරෝපය හරහා පැතිර යාම වැළැක්වීමට ඔවුන් හැකි සෑම දෙයක් ම කරනු ඇත.

වමේ වම එංගලන්තයේ නැවත උපත ලබා ඇත.

පින්තූර : බිබීසී අනුග්‍රහයෙනි.