අගෝස්තු තෙවැනි සතියේ ලේක් දිස්ත්‍රික්කයේ ගමන්
කෝවිඩ් අභියෝගය - ග්‍රේට් ලැන්ඩෙල් කඳු තරණය -ලැන්ඩෙල් පයික් සහ පවේ ආර්ක්
ලේක් දිස්ත්‍රික්කයේ උසම දිය ඇල්ල ස්කේල් ෆෝස්මෙම වසර සඳහා අපගේ අවසන් කඳු හරහා ඇවිදීමේ ගමන වූයේ ස්කැෆෙල් පයික් වෙත අගෝස්තු 29 වන දින කළ ගමනය. ඒ ලැන්ග්ඩේල් පයික්හි ඇවිදීමෙන් පසුව සහ විල් (ලේක් දිස්ත්‍රික්කය) දිස්ත්‍රික්කයේ උසම දිය ඇල්ල වන ස්කේල් ෆෝස් නැරඹීමෙන් පසුවය. අපේ වැඩිමහල් දියණිය වන ශනායා සිය විශ්ව විද්‍යාල අයදුම්පත් පිරවීමටත් , ඇගේ විලාසිතා ව්‍යාපාරයේ වැඩ කටයුතු කිරීමත් සඳහා දුම්රියෙන් පිටත් වූවාය. ඇය දුම්රියට හැරලවා අප නැවත නවාතැන කරා පැමිණියේ මදක් කණගාටුවෙනි. එංගලන්තයේ උසම කන්ද තරණය කිරීමට ඉතිරිව ඇත්තේ අප තිදෙනෙකු පමණි. ස්කැෆෙල් පයික්හි උස මීටර් 978 කි. එය අඩි 3209 ක් පමණ වන අතර එය එතරම් ඉහළ මට්ටමක නොපෙනුනත්, කඳු මුදුනට දිගු ගමනක් යාම අවතක්සේරු කළ නොහැකි බව ගමනේ මුල් හරියේදීම අපට පසක් වුණි.
මේ කඳු මුදුනට නැගීමට පැය 3 ක් හා බැසීමට ඊට සමාන කාලයක් ගත වන බව සංචාරක මාර්ගෝපදේශක පොත් පින්චවල් වල සටහන්ව තිබුණි. ඒ කෙලින්ම ස්කෆෙල් පයික් තරණය කර ඒ පැත්තෙන්ම බැස්සොත් පමණි. නමුත් මගේ බිරිඳ ඉනෙස් සහ අපේ බාල දියණිය ෂකිරාට තරමක් වෙනස් අදහසක් තිබූ අතර එය මට හෙළි කළේ අවසාන දිනයේ දී මා මවිත කරන්නටය. වොස්ඩේල් සිට ස්කැෆල් දක්වා ගොස් ඒමට සාමාන්‍යයෙන් කිලෝමීටර් 9 ක් පමණ වේ, නමුත් ෂකිරාට අවශ්‍ය වූයේ වඩා වැඩි දුරක් ගමන් කර ස්කැෆල් පයික්හි අනෙක් පැත්තෙන් බැසීමටය. මින් අදහස් වන්නේ එම කඳු යායේ නැගීමට තවත් කඳු දෙකක් ඇති බවය - මේ නිසා ගමනේ මුළු දිග කිලෝමීටර් 11 කට මදක් වැඩි වේ. මේ කඳු දෙක නම් මුහුදු මට්ටමේ සිට මීටර් 931 උස (අඩි 3055) බ්‍රෝඩ් ක්‍රැග් සහ මීටර් 910 (අඩි 2955) උස ග්‍රේට් එන්ඩ් ය. (සිතියම් බලන්න)
අපි වස්ඩෙල් වෙතට යනවිට, රථගාල ඒ වන විටත් පිරී තිබුණි. වාසනාවකට අපට නැග්ම පටන් ගැනෙනා උද්‍යානයේ ගේට්ටුව අසල රථය ගාල් කිරීමට ස්ථානයක් හමු විය. කෙසේ වෙතත් අප පිටුපස බොහෝ මෝටර් රථ තිබූ අතර ඔවුන් සියල්ලන්ටම කණගාටුදායක ලෙස ආපසු හැරී යාමට සිදුවුනේ රථ ගාල් කරීමට කිසිම ඉඩක් නොතිබූ බැවිනි.
අපි කඳු නැගීම ආරම්භ කරන විට, අප සමඟ වෙනත් කඳු නගින්නන් වැඩිපුර දෙනෙක් සිටියේ නැත. මෙය ඔබට පින්තූර වලින් ද දැකිය හැකිය. නමුත් නැග්ම අරඹා පැය භාගයක් පමණ වන විට අප කළ වැරැද්ද තේරුම් ගත්තෙමු. මේ වන විටත් බොහෝ දෙනෙක් කඳු මුදුනට ආසන්නයටම නැග සිටියහ. කොවිඩ් -19 වෛරසය නිසා මිනිසුන් පොකුරු වලට හසුවීම වළක්වා ගැනීමට මාර්ගය පටුව තිබූ සෑම අවස්ථාවකම අප එක්කෝ නගින හෝ බසින අයට මග ඉඩදී මාර්ගයෙන් ඉවත් වූයෙමු. නමුත් සමහරු කෝවිඩ් 19 වසංගතයක් නොමැති ආකාරයෙන් කටයුතු කරන බව අපි දුටුවෙමු. මේ නිසාම සමහර විට අපට සාමාන්‍ය මාර්ගයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමට සිදුවුනි. මිනිසුන් ඉහළට හෝ පහළට කණ්ඩායම් වශයෙන් ගමන් කළහ. ඒ අවස්ථාවේදී අපට හැරී ආපසු යා හැකි තත්වයක් ද නොතිබුණි.
මේ ඉහළ සිට පහලට එන කණ්ඩායම් දුටුවිට මට ශ්‍රී පාද නැග්ම සිහිපත් විය. "වැඳලා බහින මේ නඩේට සුමන් සමන් දෙවි පිහිටයි " කියා ඉහළට යන අය හඬ නගති. "වඳින්න යන මේ නඩේට සුමන් සමන් දෙවි පිහිටයි " කියා බහින අය කියති. ලංකාවේ පවතී මේ සුහදත්වය මනරම්ය. හැබැයි කෝවිඩ් තර්ජනය තිබුනත් සමහරු එකිනෙකාට ආචාර සමාචාර කර ගත්හ. අපට මාර්ගය කියා දීමට , සිනහවකින් සංග්‍රහ කිරීමට කිහිප දෙනෙක්ම උත්සුක වුනි.
අපි කඳු මුදුනට ළඟා වන විට දුටුවේ මුදුනේ ඇති වර්ග මීටර හතරත් හයත් අතර කුඩා චතුරශ්රාකාර ඉඩ ප්‍රමාණය තුල බොහෝ අය සිටි අතර නවත්ත අපට සිතුනේ ඔවුන් කිසිවෙකුටත් කෝවිඩ් 19 වසංගතයක් තිබෙන වගක් වත් මතකයේ නොතිබෙන බවයි. නොඑසේ නම් ඔවුන් එසේ හැසිරුනි. එසේම ඒ කුඩා මිටර දෙකේ ඉතිරි කොටස නැගීමට බොහෝ අය පෝලිමේ සිටියහ. අප එතනට නොගොස් එය වටේ ඇති මාර්ගයේ ගියෙමු. එනිසා අප තිදෙනාම මීටර් 978 ක්ම තරණය නොකෙලෙමු. ඒ අනුව අප නැග්ගේ මීටර් 976 ක් පමණි.
පුද්ගලයන් 6 දෙනෙකුගේ පමණක් එකතු වීමට අවසර දෙන ජනයා පාලනය කිරීමේ ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත් කිරීමට එක්සත් රාජධානියේ රජයට සිදුවූයේ මිනිසුන්ගේ මේ හැසිරීම නිසා විය යුතුය. බොහෝ දෙනා කෝවිඩ් 19 බේරීම සඳහා පනවා තිබෙන මීටර දෙකේ 'ආරක්ෂිත දුර' නොසලකා හැර කටයුතු කරන බැවිනි.