Wednesday, 30 September 2020

පිතර්බුර්ගයේ රුසියානු සින්දුවක්

අර්බට්ස්කායා වීදියේ නොයෙකුත් වීදි නාට්‍ය කණ්ඩායම්, සංගීතඥයන් ගේ  රංගනයන් මම නිතර දුටුවෙමි (එම මාවත  රුසියානු භාෂාවෙන් උලිට්සා අර්බාත්  ලෙස හැඳින්වේ). එම වීදි නිර්මාණ හා රඟපෑම්, ගායනා ය රුසියාව අලුත් දෙයක් නොවේ. 
 ඒ දිනවල යහළු වී සිටි රුසියානු පෙම්වතියගේ නිවෙස තිබුනේ අර්බාත් විදියේ ඉහල කොනේ මෙර්ස්ලකොව්ස්කයා විදියේ නිසා අප දෙදෙනා  නිතර අර්බාත් විදියේ  කෝපි කඩ වලට වී මේ ගැයුම් වැයුම් ඇසුවෙමු.

සියවස් ගණනාවක් පුරා වීදි කලාකරුවන් රුසියාව පුරා රඟ දැක්වීය. ශාන්ත පීටර්ස්බර්ග් හි බොහෝ විට ඔවුන් නිව්ස්කි ප්‍රොස්පෙක්ට්, මාළිගා චතුරශ්‍රය (ඩිවර්ට්සෝවි ප්ලොෂාඩ් - Дворцовая площадь) සහ ගොස්ටිනි ඩෝවර් (ආගන්තුක දොර -гостиный гостиный) හි රඟ දැක්වීය. සෝවියට් දේශයේ කලාව හා සාහිත්‍ය කාණ්ඩ දෙකක් තිබුණි. එකක් සමාජ සත්තා  යථාර්ථවාදය (soviet realism ) උත්කර්ෂයට නැංවූම  අතර අනෙක එයින් පිටත බොහෝ දුරට රාජ්‍ය බලපෑමෙන්  සැඟවී ජනප්‍රිය විය. එය  ආකෘති විරෝධී කලාවක්  ලෙස හැඳින්වවුනු අතර ස්ටාලින්ගේ මරණයෙන් පසු කාලයේ සිට  පෙරෙස්ට්‍රොයිකා යුගය දක්වා වර්ධනය විය. ඒ 1953 සිට 1986 දක්වාය.  එය "භූගත කලාව" ලෙසද හැඳින්විණි. පෙරෙස්ට්‍රොයිකාව  ආරම්භ වීමෙන්   පසු මෙම කලාකරුවන්ගෙන් බොහෝ දෙනෙක් ජනප්‍රිය සංස්කෘතියට අවතීර්ණ වූ අතර සෝවියට් සමාජ සත්තා යථාර්ථවාදයේ බලපෑම කෙමෙන්  රුසියානු කලාවට  අමතක වී ගියේය.



Thursday, 24 September 2020

එංගලන්තයේ වැව් බැඳී රාජ්‍යය හෙවත් ලේක් දිස්ත්‍රික්කය රැක ගත් හැටි


පහුගිය දවස් වල ලේක් දිස්ත්‍රික්කය ගැන ලිපි තුනක්ම ලීව. ඔය අපි නිවාඩුවට එහෙ ගිය තුන් වෙනි පාර. ඒ අතරම එංගලන්තයේ ඉන්න අනිත් යාලුවෝ වගේම පීක් දිස්ත්‍රික්කයට, කෝන්වෝල් වලට, වේල්සයට , සහ ස්කොට්ලන්තයටත් අපි ගිහින් තියනවා. හුඟක් වෙලාවට  අපි වැඩිය කැමති කඳු නගින්න. වෙරළ ආසන්නයේ කැරවෑන් වලත් ඉඳලා තියනවා නිවාඩුවට.
සාමාන්‍යයෙන් වසර දහයක විතර ඉඳන් මම පින්තූර ෆේස්බුක් එකට  දානකොට, මම දැක හඳුනාගත් යහළුවෝ හා නෑදෑයෝ 200-300 කට පේන්න විතරයි දාන්නේ.  මම හුඟක් වෙලාවට  පබ්ලික්  දාන්නේ නැහැ. අවුරුද්දකට දෙකකට  කලින් නම් කොහොමටත් දැම්මේ නැහැ. තට්ටයගේ කොලම බ්ලොග් පෝස්ට් ලියන මල්ලි හැමදාම අහන ප්‍රශ්නයක් තමා "අයියේ ඇයි මේක ෂෙයාර් කරන්න බැරි කියල". පබ්ලික් දාන්නේ නැති නිසා. ළමයි පොඩි කාලේ මම පබ්ලික් පින්තූර දාලම නැහැ. මොකද ෆේස්බුක් කියන්නේ ජෝර්ජ් ඕවෙල් ලිව්ව 1984 පොතේ බිග් බ්‍රදර් ඉන්න තැන.   නමුත් මේ පාර මම පින්තූර සහ ලිපි හැමෝම එක්ක බෙදා ගත්ත. ඒකට හේතුව තමා මේ ලියන්නේ.

එකක් තමා සොබා දහමේ සුන්දරත්වය හැමෝම එක්ක බෙදා ගන්න එක. තව යාළුවෝ එවැනි  ඡායාරූප බෙදාගෙන තියනවා පේනවා. මම ඇත්තටම කැමතියි ඒවා බලන්න.
මම මේ කරන්න  හදන්නේ ලේක් දිස්ත්‍රික්කයේ සුන්දරත්වය බේරා ගත්තේ කවුද කියල මතක් කරන්න. ෆේස්බුක් කියල දෙයක් නොතිබුන කාලෙක . දහස් ගණන් ෆේස්බුක් පෝස්ට් වල වනාන්තර විනාශය ගැන කියවෙනවා. මුකුත් වෙන්නේ නැහැ නේද.
ඔක්ටෙවියා හිල්



නමුත් එංගලන්තයේ එක ගැහැනියක් මේ රටේ වනාන්තර සහ පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන දේවල් බේරා ගත්ත. ඒ කොහොමද? ඉංග්‍රීසියෙන් කියවගන්න කැමති අයට මෙතනින්  එහාට ලින්ක් එකෙන් කියවන්න පුළුවන් වෙයි අන්තර්ජාලයේ. ඒකට කම්මැලි අයටයි  මේ ලියන්නේ මෙතැන ඉඳන්. පලමුවෙනියට කියන්න ඕනේ ඔක්ටේවියා හිල් ගැන.

එයා ඉපදිලා තියෙන්නේ 1838. එංගලන්තයේ කාර්මික විප්ලවය ඇරඹිලා අවසන් වෙන කාලේ.  මෙයා සාමාජිය ප්‍රතිසංස්කරණ වලට තමා ඉස්සෙල්ලාම ප්‍රසිද්ධ වුනේ. මුලින්ම  කියමු එයාගේ සීයා දොස්තර තෝමස් සවුත්වුඩ් ස්මිත් ගැන.  සීයා එංගලන්තයේ ජනතා සෞඛ්‍යය  පිලිබඳ ප්‍රතිසංස්කරණ  සඳහා ජීවිතය කැප කල කෙනෙක්. ඒ වගේම අඩු ආදායම් ලාභීන්ට සහ වැඩකරන මිනිසුන්ට හොඳ තත්වයේ නිවාස ලබා දීමට සටන් කළ කෙනෙක්.  එතකොට ඔක්ටේවියාට ඒ බලපෑමට අමතරව  සමාජවාදියෙකු වන රොබට් ඔවෙන් ගේ අදහස් නුත් බලපාල තියනවා ඒ කාලේ.  රොබට් ඔවෙන් යුතෝපියානු සමාජවාදය කියන අදහස් සමූහයේ පුරෝගාමියෙක්. 

එතකොට මේ අපේ ඔක්ටේවියා පටන් ගන්නවා සමාජයේ හරිහැටි නිවාස නැති දුප්පත් අයට අඩු ගන්නට කුලියට නිවාස  ලබාදීමේ ව්‍යාපාරයක්. මේ කාලේ එංගලන්තයේ වැඩි හරියක් මිනිස්සු ජිවත් වුනේ මුඩුක්කු (slum) වල. කිසිම සනීපාරක්ෂක ක්‍රමයක් නැතිව. ලෙඩ රෝග වලට ගොදුරු වෙවි.  එයාලා වෙනුවෙන් ඔක්ටේවියා ගෙවල් මිලදී ගන්නවා. උදව් කරන්නේ ප්‍රසිද්ධ කළා විචාරකයෙක් සහ රැඩිකල් දාර්ශනිකයෙක් වුන  ජෝන් රස්කින්.  
දැන් කෝවිඩ් 19 ට එලියට එන්න එපා කියුවට ලන්ඩන් වල තට්ටු ගෙවල් වල මිනිස්සු පාක් වල පිරුන. ඒවා වල ඕන තරම් ඉඩ තියෙනවානේ. ගේ ඇතුලටම වෙලා හිටියම මිනිසුන්ට විශාදිය පවා හැදෙනව.
 
ඉතින්මේ  ඔක්ටේවියා  හිල් නිවාස  3000 විතර කලමනාකරණය කළා. එයට තේරුණා මේ නාගරික කම්කරු ප්‍රජාවට එලියට බැහැල ඇවිදින්න ඕනේ, හිරු එලිය විඳින්න ඕනේ, පිරිසිදු  වාතාශ්‍රය ඕනේ කියල, සොබා දහමේ ඇවිදින මිනිසා සන්සුන් වෙනවා කියල තේරුනා. 

ඔන්න ඔක්ටේවියා හිල් තව දෙන්නෙක් එක්ක එකතු වෙලා බ්‍රිතාන්‍යයේ නැෂනල් ට්‍රස්ට් (ජාතික පදනම) කියන චැරිටි එක නැත්නම්  පුණ්‍යායතනය පිහිටුවනවා. ඒ අනිත් දෙන්න තමා කැනොන් (පල්ලියේ කැනොන් දේවගැති වරයෙක්)  හාඩ්වික් ඩ්‍රමොන්ඩ් රොන්ස්ලි සහ ශ්‍රීමත් රොබට් හන්ටර්. හාඩ්වික් රොන්ස්ලි  ඇන්ග්ලිකන් දේවගැති තුමෙක් වගේම හොඳ කවියෙක්, සොබාදහම රැක ගන්නට කටයුතු කරපු පරිසරවේදියෙක්. ලේක් දිස්ත්‍රික්කයේ ආරක්ෂකයා වශයෙනුත් ඔහුව හැඳින්වෙනවා. 
 
එතකොට මේ පදනම පිහිටුවීමේ වටිනා අදහස රොබට් හන්ටර් ගේ. එසේම මෙතන නීතිමය පැත්ත ගැන කටයුතු කරන්න මොළය යෙදෙව්වේ ඔහු.  මෙයා පටන් ගත්ත නීතිඥ සමාගමක්  පොදු ඉඩම් අල්ලා  ගැනීමේ හා සංවර්ධනය සඳහා  යොදා ගැනීමේ ව්‍යාපාර වලට එරෙහිව සටන් කරන්න.  ඒ කාලය වනවිට හාඩ්වික් පටන් අරන් තිබුන ලේක් දිස්ත්‍රික්කය හෙවත් එංගලන්තයේ වැව් බැඳී රාජ්‍යය සංරක්ෂණය කිරීමේ සංවිධානය කියල එකක්.

හරිම තුන්දෙනා තමා එකතු වුනේ. පටන් ගත්තේ 1895 ජනවාරි 12. මේ සුසංයෝගය යාලුවන්ගේ සල්ලිත් එකතු කරලා ගත්ත පලමු රාජ්‍ය නිවාසය සහ වත්ත තමා අල්ෆ්රිස්ටන් ක්ලජි හවුස් (පුජකයන් ගේ නිවස සහ  වත්ත) පවුම් දහයකට. අද දවසේ පවුම් හයසීයක් නැත්නම් රුපියල් එක්  ලක්ෂ  හතලිස් දාහක්. එපමණ විශාල නැති පරණ ගෙයක් සහ පොඩි වත්තක්.  මුලදී දිළිඳු ජනතාවට අඩු මිලට ඉන්න දීලා දැන් අමුත්තන්ට ඇවිත් බලන්න පුළුවන් තැනක්  කරල. 

ඊට පස්සේ 1899 දී එයාලගේ ප්‍රධාන ආයෝජනය කරනවා  විකන් ෆෙන් කියන විශාල මුතුරාජවෙල වගේ රක්ෂිතය රැක ගන්න. ඒ තමා බ්‍රිතානයේ පරණම ස්වභාවික රක්ෂිතය. හෙක්ටයාර් 254.5 හෙවත්  අක්කර 629ක්.  ගොවිපළක්, සත්ව හා පැළෑටි සංරක්ෂණය වෙන ස්වභාවික වෙරළ තීරයක්  (fenland), ගොහොරු බිමක් සහ බට පඳුරු සහිත භුමියක් මෙයට අයිතියි.  මේවා අරගන්නේ යාළුවො එකතු කරලා  දෙන සල්ලි වලින්. මේ වනවිට මේ ව්‍යාපාරයට බොහෝ අය එකතු වෙනවා සහයෝගය දෙනවා.

රජයක් පත් වන්නේ රටක් සංවර්ධනය කරන්න. පාරවල් හැදීම, රේල් පාරවල් හැදීම, නගර සංවර්ධනය රජයක් විසින් කරන දේවල්. ඒවා නවත්වන්න අමාරුයි. එංගලන්තයේ කාර්මික විප්ලවයෙන් පස්සේ නාගරීකරණය අති වේගවත් වුනා.
 නමුත් ඔබ මුදලට අරන් ඔබ විසින්ම රැක බලා ගන්නව නම් රජයකට ඇඟිලි ගහන්න බැහැ. ඔවුන් ඇඟිලි ගහන්න එන්නෙත් නැහැ, රොබට් හන්ටර් වටහා ගත්තේ ඒක.

1900 දී අයර්ලන්තයේ මෙම පදනමේ ශාඛාවට කන්ටක් කියන  බලකොටුව ලැබෙනවා. මේ වෙනකොට තමන්ට කියල දරු මල්ලෝ නැති ධනවත් මහලු අය අන්තිම කැමති පත්‍ර මගින් ඉඩකඩම් මේ ව්‍යාපාරයට ලියල දෙනව. ඔව් එහෙම  මිනිස්සු මේ රටවල ඉන්නවා.

තවත් හැරවුම් ලක්ෂයක් තමයි ලේක් දිස්ත්‍රික්කයේ, අපිත් ඊයේ පෙරේදා ඇවිදින්න ගිය බ්‍රන්ඩල්හෝ උද්‍යානය මිලට ගත්ත එක. ඒක ඩර්වෙන්ට් වෝටර් කියන පැත්තේ තියෙන්නේ. මේක බේරගන්න ඔවුන් නඩු දැම්ම. මුදල් එකතු කළා මහජනතාව  ගෙන්. වික්ටෝරිය රැජිනගේ දුව ලුසියා විතරක් නෙමේ මිඩ්ලන්ඩ් වල කර්මාන්ත ශාලාවල කම්කරුවෝ පවා   සල්ලි එකතු කරල දුන්න. අද මිනිසුන්ට ඇවිදින්න පුළුවන්වෙලා තියෙන ලස්සන උද්‍යානය සහ ජලාශ සංඛ්‍යාව  බේරා ගත්තේ එහෙම.
 
රොබට් හන්ටර් 1907 දී පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරගත්ත. නැෂනල් ට්‍රස්ට් (ජාතික පදනම) ට ජනතාව ගේ සුභ සිද්ධිය උදෙසා ජාතියේ වැදගත් පුරා විද්‍යාත්මක ස්ථාන සහ වනාන්තර ඇතුළු දේපල රැක බලා ගැනීමේ අයිතිය පැවරිය යුතුය කියල.

ඔහු මිය ගියාට පස්සේදීත්  1923  ග්‍රේට්ගේබල්  කියන කඳු පේළිය සහිත කොටස  නැෂනල් ට්‍රස්ට් එකට ප්‍රදානය කරනවා. ඒ ගොල්ලන්ගේ සාමජිකයන් වුන කඳු හා පර්වත තරණය කරන්නන් ගේ සංගමය තමා එය  මිලදී අරගෙන පරිත්‍යාග කරන්නේ. හෙක්ටයාර් 750ක් එතනම. ඊයේ පෙරේද අපි ඇවිදින්න ගිය තැන ස්කෆෙල් තියෙන්නෙත් එතනම තමයි.


තවත් එක්කෙනෙක් ගැන මතක් කරලම ලිවිම නවත්වනවා. ඒ තමා හෙලන්  බියට්‍රික්ස්  පොටර් මහත්මිය . පීටර් රැබිට් කියන කතාව ලීවේ එයා . කර්තෘවරියක් වගේම 
පරිසර වේදිනියක් . එයා 1905 දී  හිල් ටොප් කියන 17 ශත වර්ෂයේ හදපු ගොවිපළ සහ නිවස මිලදී ගන්නවා. 1943 දී එයා  මියයන කොට එයාගේ මුළු දේපල ඔක්කොම නැෂනල් ට්‍රස්ට් එකට දෙනවා. ලේක් දිස්ත්‍රික්කයේ ජාතික  උද්‍යාන කියන කොටස හැදෙන්නේ එහෙම. මේ  පාර එන්න කලින් ඒකත් බලලම තමා ආවේ.

ඉතින් අද වෙනකොට ට්‍රස්ට් එකේ සාමාජිකයෝ මිලියන 5.6 ක් ඉන්නව. ඒ ගොල්ලන්ගේ සාමාජික මුදල් ලැබෙනවා.  ස්වාධින උදව් කාරයන් 65000 ක් ඉන්නවා. රැකියාව  කරනවා 14000ක්. යුරෝපයේ විශාලතම පරිසරය සංරක්ෂණය කිරීමේ පදනම තමා මේ.  හෙක්ටෙයාර් 250,000 ක් හෙවත් අක්කර ලක්ෂ හයකට වැඩි ගොවිබිම්, වන රක්‍ෂිතයන් ප්‍රමාණයක් ආරක්ෂා කරනවා. හැතැප්ම 780 කවෙරළ තීරයක්  අයත් කරගෙන රකිනවා. පන්සියකට  වැඩිය පරණ ඓතිහාසික දේපල රැකගෙන තිබෙනවා. ඒ හැම තැනකටම මහජනතාව ට  යන්න පුළුවන්.
 
හරිත පක්ෂය  කියල දේශපාලන  පක්ෂයක්  හැදිලා ලෝකයේ  පරිසරය, දේශගුණය   බේරා ගැනීමට සටන් වදිනවා නේ.  තරමක හොඳ වැඩක් වුනත් දේශපාලනික ක්‍රියාධරයන් පරිසරවේදීන් හැටියට පෙනී හිටලා වැඩ කරනකොට, මට හුඟක් දුරට පෙනිච්ච දෙයක් තමයි එයාලගේ ඒ වෑයම තමන් අයිති  දේශපාලන පක්ෂයට සම්බන්ධ කරලයි  තියෙන්නේ කියල. සමහර විට ඒ දේශපාලන  පක්ෂයම බලයට ආවොත් අර සටන් කරපුවා මතකත් නැහැ. ඒ වගේම බලයේ ඉන්න රජය එතකොට ස්වභාවිකවම විරුද්ධ වෙනවා. අරගොල්ලන්ට විරුද්ධ වෙන්න ඕනේ නිසා. එයාලගේ අනුගාගමිකයන්ටත් සිද්ධ වෙනවා ඒ ස්ථාවරයම ගන්න. අකමැත්තෙන් වුනත්. 

 ඒ වගේම ෆේස්බුක් පෝස්ට් දහස්  ගණන් හුවමාරු වුනා කියල කෙරෙන දේකුත් නැහැ, සෑඩ්   (කණගාටුයි) කියල ලකුණක් දාල මාරුවෙන එක විතරයි නේ අපි කරන්නේ. ෆේස්බුක් එකේ තිබ්බ නම් ඔක්ටෙවියා හිල්, හඩ්වික්  හා හන්ටර් එක්ක "හායි අනේ, බලන්න මේ කැළෑ කපන හැටි" කිය කියා ෂෙයාර් කරලා ඊළඟ පෝස්ට් එකට යයි, හොඳ වෙලාවට තිබිබේ නැත්තේ. එහෙම වුනා නම් අපි ඊයේ පෙරේදා  ඇවිද්ද ලස්සන තැන්  අද නැහැ.

ෆේස්බුක් පෝස්ට් දාන ඔක්කොම රුපියල් 1000 ගානේ දහසක් දෙනා රුපියල් දස ලක්ෂයක් එකතු කලොත් ලුණුගල වගේ ලස්සන ගම් බේරා  ගන්න පුළුවන්. ලංකාගම ඉඩම් මිලදී ගත්ත නම් ඒ වගේ පදනමකට ඒවා ඉබේම රැකෙනවා.  ඔක්ටේවියා ල මුලින්ම කළේ මිනිසුන්ට උදව් කරන එක. ඒ මිනිසුන් වෙනුවෙන්ම  තමා ඒ අය වන ගහණය බේරා ගන්න කටයුතු කළේ. ඒ එංගලන්තයේ ඒ කාලේ සිට අද දක්වා මිනිසුන්ට තේරුණේ ඒක.

ලේක් දිස්ත්‍රික්කයේ බැඳපු වැව වල් නැත කියා  ඇනෝ මහතෙකු කියන නිසා මේක  දැම්මේ. තල්මියර් වැව වික්ටෝරියානු යුගයේ හදපු එකක්. මෙතැන යොමුව. අපි මෙතනට ගියා පළමු දවසෙම වගේ. 
Thirlmere lake KEswick




මුල් ලිපි:
 


 

Monday, 21 September 2020

ස්කෆෙල් පයික් කඳු තරණය

අගෝස්තු තෙවැනි සතියේ ලේක් දිස්ත්‍රික්කයේ ගමන් 

කෝවිඩ් අභියෝගය - ග්‍රේට් ලැන්ඩෙල් කඳු තරණය   -ලැන්ඩෙල් පයික් සහ පවේ ආර්ක්  

ලේක් දිස්ත්‍රික්කයේ උසම දිය ඇල්ල ස්කේල් ෆෝස් 
scafell pike map

Scafell Pike route



මෙම වසර සඳහා අපගේ අවසන් කඳු හරහා ඇවිදීමේ ගමන  වූයේ ස්කැෆෙල් පයික් වෙත  අගෝස්තු 29 වන දින කළ ගමනය. ඒ  ලැන්ග්ඩේල් පයික්හි ඇවිදීමෙන් පසුව සහ විල් (ලේක් දිස්ත්‍රික්කය)  දිස්ත්‍රික්කයේ උසම දිය ඇල්ල වන ස්කේල් ෆෝස්  නැරඹීමෙන් පසුවය. අපේ වැඩිමහල් දියණිය වන ශනායා  සිය විශ්ව විද්‍යාල අයදුම්පත් පිරවීමටත් ,  ඇගේ විලාසිතා ව්‍යාපාරයේ වැඩ කටයුතු කිරීමත්  සඳහා දුම්රියෙන් පිටත් වූවාය.  ඇය දුම්රියට හැරලවා අප නැවත නවාතැන කරා  පැමිණියේ මදක් කණගාටුවෙනි. එංගලන්තයේ උසම කන්ද තරණය කිරීමට ඉතිරිව ඇත්තේ අප තිදෙනෙකු පමණි. ස්කැෆෙල් පයික්හි උස මීටර් 978 කි. එය අඩි 3209 ක් පමණ වන අතර එය එතරම් ඉහළ මට්ටමක නොපෙනුනත්, කඳු මුදුනට දිගු ගමනක් යාම අවතක්සේරු කළ නොහැකි බව ගමනේ මුල් හරියේදීම අපට පසක් වුණි. 







මේ කඳු මුදුනට නැගීමට   පැය 3 ක් හා බැසීමට ඊට සමාන කාලයක් ගත වන බව සංචාරක මාර්ගෝපදේශක පොත් පින්චවල් වල සටහන්ව තිබුණි. ඒ කෙලින්ම ස්කෆෙල් පයික් තරණය කර ඒ පැත්තෙන්ම බැස්සොත් පමණි.  නමුත් මගේ බිරිඳ  ඉනෙස් සහ අපේ බාල දියණිය ෂකිරාට තරමක් වෙනස් අදහසක් තිබූ අතර එය මට හෙළි කළේ අවසාන දිනයේ දී මා මවිත කරන්නටය.  වොස්ඩේල් සිට ස්කැෆල් දක්වා ගොස් ඒමට සාමාන්‍යයෙන්  කිලෝමීටර් 9 ක් පමණ වේ, නමුත් ෂකිරාට අවශ්‍ය වූයේ වඩා වැඩි දුරක් ගමන් කර ස්කැෆල් පයික්හි අනෙක් පැත්තෙන් බැසීමටය. මින් අදහස් වන්නේ එම කඳු යායේ නැගීමට තවත් කඳු දෙකක් ඇති බවය - මේ නිසා ගමනේ මුළු දිග කිලෝමීටර් 11 කට මදක් වැඩි වේ. මේ කඳු දෙක නම් මුහුදු මට්ටමේ සිට මීටර් 931 උස   (අඩි  3055) බ්‍රෝඩ් ක්‍රැග් සහ මීටර් 910 (අඩි 2955) උස ග්‍රේට් එන්ඩ් ය.  (සිතියම් බලන්න) 

අපි වස්ඩෙල් වෙතට යනවිට, රථගාල ඒ වන විටත් පිරී තිබුණි. වාසනාවකට අපට නැග්ම පටන් ගැනෙනා උද්‍යානයේ ගේට්ටුව අසල රථය ගාල් කිරීමට ස්ථානයක් හමු විය. කෙසේ වෙතත් අප පිටුපස බොහෝ මෝටර් රථ තිබූ අතර ඔවුන් සියල්ලන්ටම කණගාටුදායක ලෙස ආපසු හැරී යාමට සිදුවුනේ රථ ගාල් කරීමට කිසිම ඉඩක් නොතිබූ බැවිනි.

අපි කඳු නැගීම ආරම්භ කරන විට, අප සමඟ වෙනත් කඳු නගින්නන් වැඩිපුර දෙනෙක් සිටියේ නැත. මෙය  ඔබට පින්තූර වලින් ද දැකිය හැකිය. නමුත් නැග්ම අරඹා පැය භාගයක් පමණ වන  විට අප කළ වැරැද්ද තේරුම්  ගත්තෙමු.  මේ වන විටත් බොහෝ දෙනෙක් කඳු මුදුනට ආසන්නයටම නැග සිටියහ. කොවිඩ් -19 වෛරසය නිසා මිනිසුන් පොකුරු වලට හසුවීම වළක්වා ගැනීමට මාර්ගය පටුව තිබූ   සෑම අවස්ථාවකම අප එක්කෝ නගින හෝ බසින අයට මග ඉඩදී මාර්ගයෙන් ඉවත් වූයෙමු.  නමුත් සමහරු කෝවිඩ් 19 වසංගතයක් නොමැති ආකාරයෙන් කටයුතු කරන බව අපි දුටුවෙමු. මේ නිසාම සමහර විට අපට සාමාන්‍ය මාර්ගයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමට සිදුවුනි. මිනිසුන් ඉහළට හෝ පහළට කණ්ඩායම් වශයෙන් ගමන් කළහ.  ඒ අවස්ථාවේදී අපට හැරී  ආපසු යා හැකි තත්වයක් ද  නොතිබුණි.






මේ ඉහළ සිට පහලට එන කණ්ඩායම් දුටුවිට මට ශ්‍රී පාද නැග්ම සිහිපත් විය. "වැඳලා බහින මේ නඩේට සුමන් සමන් දෙවි පිහිටයි " කියා ඉහළට යන අය හඬ නගති. "වඳින්න යන මේ නඩේට සුමන් සමන් දෙවි පිහිටයි " කියා බහින අය කියති.  ලංකාවේ පවතී මේ සුහදත්වය මනරම්ය. හැබැයි කෝවිඩ් තර්ජනය තිබුනත් සමහරු එකිනෙකාට ආචාර සමාචාර කර ගත්හ. අපට මාර්ගය  කියා දීමට , සිනහවකින් සංග්‍රහ කිරීමට කිහිප දෙනෙක්ම උත්සුක වුනි. 

අපි කඳු මුදුනට ළඟා වන විට දුටුවේ මුදුනේ ඇති වර්ග මීටර හතරත් හයත් අතර කුඩා චතුරශ්‍රාකාර ඉඩ ප්‍රමාණය තුල  බොහෝ අය සිටි අතර නවත්ත අපට සිතුනේ ඔවුන් කිසිවෙකුටත්  කෝවිඩ් 19 වසංගතයක් තිබෙන වගක් වත් මතකයේ නොතිබෙන බවයි. නොඑසේ නම් ඔවුන් එසේ හැසිරුනි. එසේම ඒ කුඩා මිටර දෙකේ ඉතිරි කොටස නැගීමට බොහෝ අය පෝලිමේ සිටියහ. අප එතනට නොගොස් එය වටේ ඇති මාර්ගයේ ගියෙමු. එනිසා අප තිදෙනාම මීටර් 978  ක්ම තරණය නොකෙලෙමු. ඒ අනුව අප නැග්ගේ  මීටර් 976 ක් පමණි.

පුද්ගලයන් 6 දෙනෙකුගේ පමණක් එකතු වීමට අවසර දෙන ජනයා පාලනය කිරීමේ ප්‍රතිපත්තියක් ප්‍රකාශයට  පත් කිරීමට එක්සත් රාජධානියේ රජයට සිදුවූයේ මිනිසුන්ගේ මේ හැසිරීම නිසා විය යුතුය. බොහෝ දෙනා කෝවිඩ් 19 බේරීම සඳහා පනවා තිබෙන මීටර  දෙකේ  'ආරක්ෂිත දුර' නොසලකා හැර කටයුතු කරන බැවිනි.


ඉතින්, අපි ස්කැෆෙල් පයික් වල තරමක් බෑවුම් සහිත හා විශාල ගල් වලින් පිරි තිබුණු මග තරණය කර ඉහළට ලඟා වුනෙමු. අයර්ලන්ත මුහුදේ සිට හමන තද සීතල සුළඟ දරා ගැනීමට අපහසු බව අපට ඉක්මනින්ම වැටහුණි. කාරුණික හදවත් ඇති කඳු නගින්නන් පැතලි ගල් එකතු කොට තැනූ කුඩා ගුහාවක් වන්නක් තුළ අපි වාඩි වුණෙමු. කඳු මුදුන වටා එවැනි ව්‍යුහයන තුන හතරක් ම විය. නමුත් ඒවායේ සිටියද සිතල සුළං මග හරිම අපහසු විය. මම ශීතලට වෙව්ලමින් සිටියදී ඉනෙස් අවධාරනය කරමින් සිටියේ අපි ඉක්මනින් නැවතත් ගමන් ඇරඹිය යුතු බවයි. නමුත් ෂකිරා නිවසේ රූපවාහිනිය ඉදිරිපිට වාඩි වී සිටින්නාක් මෙන් ඇගේ සැන්ඩ්විචය සෙමෙන් කෑමට කාලය ගත්තාය. තරුණ ළමයෙකු වූ ඇයට ඉතා ඉක්මණින් ඉහළට හා පහළට නැගීමට හැකිවූ ගමනේ හැමවිටම පමාව සිදු වූයේ මම සෙමින් ඇවිදින නිසාය. මම මගේ දණහිස ගැන නිතර කනස්සල්ලට පත්ව සිටියෙමි. ගමන් ඉක්මන් කළ වහාම දණහිස රිදුම් දෙන්නට පටන් ගැනීම එයට හේතුවයි. කඳු බැසිමේදී මෙය වඩාත් උග්‍ර අතට හැරුණි.

ස්කෆෙල්අ පයික් කඳු මුදුනේ අනිත් පැත්තෙන් බ්‍රෝඩ් ක්‍රැග් දෙසට කන්දේ මීටර දෙසීයක් පමණ බැස ඉන්පසු නැවතත් බ්‍රෝඩ් ක්‍රැග් කන්ද නැගීම දුෂ්කර හා දැඩි වෙහෙසකර කාර්යයක් විය. මට ලේක් දිස්ත්‍රිකයේ දී හමුවුණු ඉංග්‍රීසි ජාතිකයකු මේ පැත්තේ ගැන අවවාදයක් කලේ එයවඩා බෑවුම් සහිත නිසා පරිස්සම්වන ලෙසය. ඔහු තව දුරත් පැවසුවේ කඳු මුදුනේ අනෙක් පැත්තේ මීට වසර කිහිපයකට පෙර මරණ කිහිපයක්ද සිදුවූ බවයි. බැස යන මාර්ගය වැරදියට වටහාගෙන කඳු මුදුනේ වඩාත් කඳු බෑවුමක කෙළවරට ගොස් එතනින් ඇදවැටී මියගිය කඳු නගින්නන් දෙතුන් දෙනෙකු ගැන ඔහු පැවසිය. . අපි බ්‍රෝඩ් ක්‍රැග් දෙසට යන විට ඉනෙස් ලිස්සා වැටෙනු මම දුටුවෙමි. මට ඇයට උදව් කිරීමට ක්‍රමයක් තිබුණේ නැත. මම අඩි කිහිපයක් ම පිටු පසින් ලිස්ස නොයා කන්ද බැසීමට පොරබදමින් සිටියෙමි . කාන්තාවන් දෙදෙනෙක් උදව් සඳහා ඇය දෙසට දිව ගියහ. නමුත් ඉනෙස් ඉක්මනින් ම නැඟිට ගත්තාය. බ්‍රෝඩ් පර්වතයට නැගීම දුෂ්කර වූ නමුත් එහි මුදුනට ගිය පසු එය පුදුම සහගත දර්ශනයක් විය.

එයට හේතුවවූයේ ස්වාභාවිකවම නිර්මාණය වූ විශාල ගල් පවුර කඳු නගින්නන්ට අයර්ලන්ත මුහුදෙන් එන සීතල සුළඟින් ආරක්ෂා වීමට කඩඉම් ආවරණයක් සපයා දීම නිසාය. ආදී හතළිහක් පමණ වූ ගල් බිත්තියේ එක පැත්තක් කෙනෙකුට විවේක ගත හැකි අතර අවට පරිසරයේ සුන්දරත්වය නිදහසේ භුක්ති විඳීමටදහැකිය. මට එතන ටික වේලාවක් එහි රැඳී සිටීමට අවශ්‍ය වූ නමුත් ඉතා සුළු පිරිසක් පමණක් මෙම මාර්ගයේ ගමන් කරමින් සිටි නිසා ඉනෙස්ට නැවතත් ඉක්මනින් ගමන ආරම්භ කරීමට අවශ්‍ය විය. එසේම ඒ කඳුකර මුදුන හරහා නිසි මාර්ගයක් නොතිබුණි. කඳුකරයේ මුදුනේ ඇති විශාල ගල් කුට්ටි හරහා ඒවායින් පනිමින් ගමන් කළ යුතු විය. පය ලිස්සුවෙත් කකුල කඩා ගැනීමට වන හෙයින් මම ඉතා සීරුවෙන් ගමන් කලෙමි. ගමන් කළාටත් වඩා වුයේ ගලින් ගලට පැනීමකි. මුහුදු මට්ටමේ සිට මීටර 910 උස ග්‍රේට් එන්ඩ් දක්වා ගිය අපි එතැනට දකුණට හැරී වඩා පහසුවෙන් ඒ කොටස බැස ගත්තෙමු. ගමනේ අවසාන කොටස සඳහා වමට හැරුණු විට පහළ නිම්නයේ 'ස්පින්කින් ටෑම්' නම් සුන්දර විල දැකගත හැකි විය.

විල අසල සිට පහළට පැමිණීම එතරම් අපහසු නොවූ නමුත් එය ඉතා දිගු හා වෙහෙසකාරී ගමනක් විය . නමුත් අවසානයේදී, පැය අටකට නවයකට පසු හමාර වූ ගමන් තුල සාර්ථකව අවසන් කළ කඳු නැග්ම සිතේ ජනිත කළේ බලවත් ප්‍රීතියකි.

පහලට බසින විට සැන්දෑ යාමය එළඹ තිබුණි. බැස යන හිරු අවට අහස රත් පැහැයෙන් සරසා තිබුණි. එය කැමරාවේ සටහන්ව තිබුනේ මෙසේය.






Wednesday, 16 September 2020

ධර්මසිරි බණ්ඩාරනායක




වම් ඉවුරේ තුන්වැන්නා  කියල ධර්මසිරි බණ්ඩාරනායකයන් ගේ චරිතාපදානයක් පළවෙලා තිබෙනවා දැක්ක. චින්තන ධර්මදාස ලියල තිබෙන ලිපියකුත් කියෙව්වා. එයා ලියල තිබ්බ මෙහෙම..//මගේ ජීවිතේ හොල්ලපු චිත්රපටි දෙකක් ධර්මසිරි තෑගි කරලා තියෙනවා. එකක් හංස විලක්. අනික තුන්වෙනි යාමය// ඒකට එකඟයි. ඊටත් පස්සේ චින්තන කියනවා "මිනිස්සු කිසිදු ලාබයක් නොලබා රටේ සංස්කෘතික ඉතිහාසය වෙනස් කරන්න වෙන මහන්සිය ගැන අපි නිකමට තැන්ක් යූ වත් කියන ජාතියක් නෙමෙයි. " මම නම් දන්නේ නැහැ ඒක. හුඟක් කලාකාරයෝ දේශපාලනයට සම්බන්ධ වෙනකොට මිනිසුන් ගේ ලැදියාව ඉබේම බෙදෙනවා. එනිසා මම හිතන්නේ අපි , ඒ සාහිත්‍ය රස විඳින අය වශයෙන් ඒ කලාකරුවන්ගේ ප්‍රතිභාව ගැන, ඔවුන්ගේ නිර්මාණ ගැන සතුටු වෙන්න ඕනේ කියල වෙනසක් නැතිව. ඔවුන් මොන දේශපාලන කඳවුරේද කියන එක අදාළ කර ගන්න අවශ්‍ය නැහැ. ධර්මසිරි බණ්ඩාරනායක වගේම ජැක්සන් ඇන්තනි ටත් ඒක අදාලයි.


අපි ලංකාවේදී පවුලේ ඔක්කොම එක්ක පවුලක් වශයෙන් අන්තිමට ගිහින් බලපු චිත්‍රපටය "තුන්වෙනි යාමය". ඒ 1983 දී. ඒ චිත්‍රපටය එහෙම එකක් නොවුනත් ඒ කාලේ මම පලමු වරට උසස් පෙළ ලියනවා. ගෙදර දරුවෝ හතර දෙනාම ලොකු නිසා අවුලක් වුනේ නැහැ. තාත්තා චිත්‍රපටය ගැන නිහඬව හිටියා පස්සේ . අම්මට වැඩිය තේරුනේ නැහැ. "අපරාදේ ඒ ගෑනු මනුස්සා එල්ලුනේ කීව". මේ අපි ඒ දවස් වල හොරෙන් වගේ බ්ලු ලැගුන්, ලේඩි චැටලි , කොනන් ද බාබේරියන් වගේ ෆිල්ම්ස් බලන කාලේ . රියෝ එකේ ඇඩම්ස් ට විතරක් ඔන්ලි චිත්‍රපටත් බැලුවේ නැහැයි කියන්න අමාරුයි.

ඉතින්, ඒනිසා "තුන්වෙනි යාමය" හැරවුම් ලක්ෂයක් වුනා මටනම් සංගීතයත් එක්කම.
ධර්මසිරි බණ්ඩාරනායක කියන්නෙම එතකොටත් මහා දැවැන්තයෙක් අපට. හංස විලක් කරලා තිබුනේ එතකොටත් මහිතේ. ඒ වගේම ධර්මසිරි බණ්ඩාරනායක කියන නළුවා "වීර පුරන් අප්පු" සහ "පළගැටියෝ" චිත්‍රපට වල රඟපාල ඒ වෙනකොටත්.

ඒ කාලයට පස්සේ ඒකාධිපති, මකරාක්ෂයා සහ ධවල භිෂණය කියන නාට්‍ය ආවා වම් ඉවුරට. ඉතින් මේ වගේ සිනමාවේ සහ නාට්‍ය කලාවේ දැවැන්තයෙක්, සහ අපූරු ප්‍රතිභාවක් තියන සුන්දර චරිතයක් මට හම්බ වෙන්න ලැබුන 2016 දී අහම්බෙන් වගේ.

මගේ පළමු පොත "කොළඹ ගමයා " බ්ලොග් අඩවියේ තීරු ලිපි ටිකක් "පොල්කට්ටෙන් එපිටට " කියල පල කරලා පොත එලි දක්වන්න තැනක් හොයමින් හිටිය. චූල (චූලානන්ද සමරනායක) කිව්වා, "අජිත් ඔහොම ඉන්න මම ධර්මසිරි අයියා ගෙන් අහන්නම්. එයාට ත්‍රිකොන් කියල තැනක් තියනවා. " කියල. මට හරියටම මතක නැහැ චූල "අයිය" කිව්වද ධර්මසිරි බණ්ඩාරනායක කීවද කියල නම්. කොහොම හරි මේ ධර්මසිරි බණ්ඩාරනායක මහත්මයා කැමති වෙලා තිබුන. මම ඉතින් ගෙවන්න ඇහුව. සල්ලි ඕනේ නැහැ ඇවිල්ල පොතේ ලෝන්ච් එක කරන්න කීව.

මම චූල එක්ක ගිහින් හමුවුනා ඊට කලින් දවසේ. මේ හෙළ සිනමාවේ දැවැන්තයෙක් හැටියට හිතේ මැවී තිබුන චරිතය නිසා පොඩි චකිතයකුත් තිබ්බ. බොහොම නිහතමානී මහා පොලොවට ලංව ඉන්න සුන්දර මනුෂ්‍යයෙක් මට හමුවුනේ. අවුරුදු ගාණක් දන්නා කියන විධිහට කතා කළා මාත් එක්ක.

මම තවම දන්නේ නැහැ එතුමාට "තුන්වෙනි යාමය " චිත්‍රපටය ඩිජිටල්කරණය කරන්න අවශ්‍ය මුළු මුදලම ලැබුනද කියල. මිනිස්සු අර චින්තන ධර්මදාස කියපු විධියට තෑන්ක් යූ කියන්න ඕනේ නම් කරන්න තිබ්බේ ඒ චිත්‍රපටය බේරා ගන්න එක.


පොත එළි දක්වපු දවසෙත් ධර්මසිරි බණ්ඩාරනායක මහත්මය හිමින් සීරුවේ පිටි පස්සට ඇවිත් වාඩිවෙලා රැස්වීම ඉවර වෙනකන්ම හිටිය. වැඩිපුරම ඇවිල්ල හිටියේ බ්ලොග් යාලුවෝ සෙට් එක. කට්ටියට මතක ත් ඇති. මම හිතන්නේ සැර පානයක් තියනවා දකින්නත් ඇති. චූලා නම් ෆැන්ටා බෝතලයක්ම බිල වෙරි වෙලා හිටියා.
ඕගොල්ලන්ට ඕන වෙලාවක් ගන්න කියල ධර්මසිරි බණ්ඩාරනායක ගියා.







ඒ තමයි මගේ මතකය. අර බලපු චිත්‍රපට හා නාට්‍ය වලට අමතරව.
ඉතින් ඔහු ගැන පොතක් ලියපු එක සාධාරණයි, කාලෝචිතයි.

දීර්ඝායු වේවා ධර්මසිරි බණ්ඩාරනායක මහතාණෙනි.

Friday, 11 September 2020

වසදීම , ගෑස් ප්‍රශ්නය , විභාග ප්‍රශ්න


යාලුවෝ තරහ වෙන දේවල් ලියන්නේ නැහැ කියල හිතුවත් සමහර දේවල් නොලිය බැරිවෙන අවස්ථා තියනවා.
පලමුවෙනි අදහසට  යුක්රේන් හා  ජෝර්ජියා  හිටිය  යාලුවෝ තරහ නොවේ කියල හිතනවා. 

මුලදීම බ්‍රිතාන්‍යයේ සහ ඇමෙරිකා  එක්සත් ජනපදයේ පුවත්පත්වල රුසියාව කෝවිඩ් එන්නත ගැන විස්තර හොරකම් කළා කියල පුවත් පල කෙරුණා. ඒ ලියපු එවුන් දැනගෙන හිටිය රුසියාව  එන්නත නිපදවීම ආසන්නයේ කියල. ඒ නිසාම  එන්නත් හොරකම් කරපු කතාව මම  නම් පිලි ගත්තේ නැහැ. තමන්ගේ ලැජ්ජාව වහ ගන්න රුසියාවට සෙකන්ඩ් නොවී හිටීමේ ප්‍රතිපත්තියට ඇරපු පචයක් කියල මම හිතන්නේ.

දෙවෙනි එක - ඇලෙක්සෙයි නවාල්නි , රුසියාවේ විපක්ෂ නායක හැටියට ඉන්න දේශපාලකයා. එයාට වස දීල කියල මුලින්ම  ප්‍රවෘත්තිය ගියා  වස කියල ඔප්පු කරන්න මත්තෙන්. දැන් පූටින් ට මෙයාව මරන්න  ඕනේ නම් ඕනේ තරම් ක්‍රම තියනවා. නමුත් ප්‍රසිද්ධියේ වස දීල , ඊට පස්සේ සුවපත් කරන්න හෙලිකොප්ටරේකින් මොස්කව්  ගෙනල්ල, ඊට පස්සේ ජර්මන් රජයේ ඉල්ලීමකින් ජර්මනියටත් යවනවා. එහෙදි ඔප්පු වෙනවා  තිබ්බේ නොවිචෝක් කියල. ඒ කියන්නේ අර එංගලන්තයේ. ඒක ආවේ රුසියාවෙන් මද  නැත්නම් වෙන පරණ  සෝවියට් රිපබ්ලික් වලත් ඕක තියෙන්න විධිහක්  නැත්ද?

දැන් ඇත්තටම රුසියානු ඔත්තු සේවා ඕක කළානම් ඇයි බෙහෙත් කරන්න මොස්කව් ගේන්නේ , ඇයි ජර්මනි යවන්නේ සුව කරන්න . 
දැන් අඩියක්  පිටිපස්සට අරගෙන මෙන්නේ මේ ප්‍රවෘත්තියත් කියවන්න.

රුසියාව සහ ජර්මනිය අතරේ නොර්ඩ් ස්ට්‍රීම් කියල ප්‍රොජෙක්ට්  එකක් ක්‍රියාත්මක වෙනවා.  මේකෙන් රුසියාවෙන් කෙලින්ම  ජර්මනියේ අවශ්‍යතා සඳහා අවශ්‍ය ගෑස්‌ සහ තෙල් සපයනවා. හැබැයි පොඩි කතාවක් තියනවා මේක යටින්. මේ ගෑස් ලයින් එක බෝල්ටික් මුහුද හරහා එන්නේ උක්රයිනය බයිපාස් කරගෙන.

මතකද  පහුගිය කාලේ උක්රයිනය ගෑස් සල්ලි ගෙවන්නේ නැතිව  හෙන වලියක් ගියා. රුසියාව ගෑස් නවත්වල යුරෝපෙට ගෑස් අඩුවෙලා. යාන්තම්  ඇමෙරිකාවයි අරයයි මෙයයි එකතු වෙලා වාරිකව  සල්ලි ගෙවන්න කියල උක්රයිනයට බල කරලා ප්‍රශ්නේ  විසඳ ගත්ත. නෝර්ඩ් ස්ට්‍රීම් ආවහම රුසියාවට ඕනනම් උක්රයිනයට වැඳගෙන ඉන්න  ඕනේ නැහැ යුරෝපෙට ගෑස් යවන්න. ඒ වගේම යුරෝපයේ අනිත් රටවලට දෙන්න ඕනෙත් නැහැ ගෑස්. ඒ අයගේ "ගෑස්" බහිනවා ඔය වැඩෙන් . ජර්මනිය සහ රුසියාව යුරෝපයේ ගෑස් බලවතුන් වෙනවා. තුර්කියේ සහ සවුදි අරාබියේ තත්වයටත්  ලොකු පහරක්.

දැන් ඔය වස දීමේ සිද්ධිය නිසා සෑහෙන බල කිරීමක් යනවා ඇන්ජෙලා මර්කල් ට ප්‍රොජෙක්ට් එක නවත්වන්න.

කවුද ඇත්තටම වස දුන්නේ ?

රුසීයාවම වෙන්න පුළුවන් කියන එකම සාධකය එන්නේ බෙලොරුසියාව පැත්තෙන්. කාටහරි තර්ක කරන්න පුළුවන් බෙලොරුසියා වගේ උද්ඝෝෂණ නොවෙන්න පුටින් අනතුරු හැඟවීමක් හැටියට මේක කළා කියල. 

දෙවෙනි එක තමයි පසුගියදා එංගලන්තයේ ඇතිවුන විභාග  ප්‍රශ්නය. කෝවිඩ් 19 වසන්ගතය නිසා විභාග කල් දැම්ම.අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ කරන ළමයින්ට ප්‍රතිපල දෙන්න  විධිහක් නැහැ. ඒකෙදි කොන්සවේටිව් රජය ඇල්ගොරිත්ම් එකක් හැදුව. මුලින් කීවේ ළමයින් කරපු කඩයිම් විභාග සහ ගුරුවරුන් දෙන ඉදිරි ලකුණු (predictable grades එකතු කරලා ඇවරේජ් එක දෙනව කියල. පස්සේ කලේ ඉන්න හොඳම ළමයින් ගේ  ලකුණුයි, ඉගෙනීම සවුත්තුම ළමයින්ගේ ලකුණුයි එකතු කරලා පන්තියේ ඉන්න ළමුන් සංඛ්‍යාවෙන් බෙදල ඒක හැමෝටම දෙන එක. අසාධාරණය තේරෙනවා  නේද?  ඒකෙන් වුනේ රජයේ පාසල් වල හොඳ ලකුණු  තිබ්බ ළමයින්ගේ ලකුණු අඩුවෙච්ච එක. ධනවත් පෞද්ගලික පාසල් වල පන්ති වල  ළමයි ප්‍රමාණය අඩුයි. එනිසා මේක බලපාන්නේ අඩුවෙන්. රජයේ පාසල් වල හැමෝම එක මට්ටමේ නැහැ. ඔවුන්ට බලපාන්නේ වැඩියෙන්. 

මම ඕක ගැන ෆේස්බුක්  එකේ ලිව්වා. පෙත්සමකට අත්සන් ගන්න යැව්වා හැමෝටම.
සමහරු කෝල් කරල ඇහැව්වා ළමයි දෙන්න කොහොමද? මම කිව්ව එක්කෙනෙක් හරි කොහොමත්, අනික් එක්කෙනා උසස් පෙළ ලබන අවුරුද්දේ කරන්නේ. එනිසා මට පෞද්ගලිකව  ප්‍රශ්නයක් නැහැ . ඒක  හින්ද නෙමේ  මේ කෑ  ගහන්නේ අසාධාරණ  නිසා කියල. 
මම නිරීක්ෂණ කරපු දෙයක් තමා ලන්ඩන් වල "වමේ" ගොඩක් කට්ටිය ඉන්නවා. ගොඩක් අය අපේ යාලුවෝ තමා.  ලංකාවේ අධ්‍යාපනයේ හෝ විශ්ව විද්‍යාලවල  මොනම  ප්‍රශ්නෙකට වුනත් බුකිය දෙවනත් කරණ කට්ටිය.  කිසි කෙනෙක් මේ ගැන වචනයක් කතා කලේ  නැහැ. පෙත්සම් ගැනවත්.
එතකොට එංගලන්තේ වුන අසාධාරණය එංගලන්තේ ජිවත්වන ඒ අයට ප්‍රශ්නයක් නොවුනේ කොහොමද?  ප්‍රශ්න කියල සලකන්නේ ලංකාවේ  ඒවා විතරද? 

අන්තිම එක රුසියාවේ වෛද්‍ය විද්‍යාල කිහිපයක් ලංකාවේ වෛද්‍ය  සංගමේ අනුමත  ලිස්ට් එකෙන් අයින් කරපු එක.  1991 සෝවියට් දේශය වැටුනයින්  පස්සේ සමහර ජාවාරම් කාරයෝ අපොස උසස් පෙළ අසමතුන් වෛද්‍ය විද්‍යාව හදාරන්න යැව්වා කියන කතාව මම අහල තියනවා. ලංකාවේ  හොර සහතික හදාගෙන.  එදා කළත් ඒක වැරදියි.තවම එහෙම  කරනවානම් ඒක තවත් වැරදියි. වෛද්‍ය සංගමයේ චෝදනාවක් තියනවා නම් එහෙම,  ඒක ගැන පරීක්ෂණයක් කරන්න. උසුස් පෙළ අසමතුන්  එහෙම යැව්වහම ඒකෙන් අමාරුවෙන් උසස් පෙළ කරන සිසුන්ට අසාධාරණයක් වෙන්නේ. එහෙම කරන ජාවාරම් කාරයන්ව අල්ලල හිරේ දාන්න ඕනේ. ඔවුන්ට ලයිසන් එකක් තිබෙනවානම් ඒවා කැන්සල් කරන්න ඕනේ.

මොකද අප ඉගෙන ගත්ත මොස්කව්  විදුලිබල හා බලශක්ති විශ්ව විද්‍යාලය වගේ ඒවා යේ ඉගෙන ගන්න කොපමන අමාරුද කියල අපි දන්නවා.  මම එක පාරක් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ ලේකම් වෙලා හිටි කාලේ සිලබස් අරගෙන ගිහින් පෙන්නුවා ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සංගමයට. (ඔවුන් හරිම ආඩම්බරයි. මට අඩුම ගානේ ඉඳ ගන්න කියලවත් කීවේ නැහැ 😀) අපේ සිලබස් වල සමහර කෝස් වලට ලංකාවේ විශ්ව විද්‍යාල වල උගන්වනවාට වඩා තියරි සහ ප්‍රයෝගික ලැබ් හෙම තිබුන. (අපේ විශ්ව විද්‍යාලයේ  අපේම තාප විදුලි බලාගරයකුත් තිබුන).  නමුත් මිනිසුන් ගේ ආචීර්ණ කල්පික අදහස් ඉවත් කරන්න අමාරුයි.

එක්කෙනෙක් මට කීවා ඔයාලගේ අඩු සුදුසුකම් තියෙන අය එනවා. ඒ ලෙවල් නොකරපු අය එනව. මම කීව ඔයාලට ඒවා පරික්ෂා කරන්න පුළුවන් සම්මුඛ පරික්ෂනයකදී. දිස්ත්‍රික් බේසිස් නිසා අසාධාරණයට ලක්වුණ අයත් රුසියාවේ ඉගෙන ගන්න බව අමතක කරන්න එපා කියල.
තව කෙනෙක් කීව සෝවියට් රුසියාවේ තාක්ෂනය හරි සවුත්තුයි ලු නේද? බටහිර වගේ  
නෙමේ කියලනේ කියන්නේ.
මම කීව  ඉතින් ලංකාව බටහිර නෙමේනේ තියෙන්නේ. ජර්මනිය නැත්නම් ඔයාලට ජර්මන් ටෙක් එකත් වත්  නැහැ. අමතක කරන්න එපා රුසියාව තමයි ඉස්සෙල්ලාම මිනිහෙක් අභ්‍යවකාශයට යැව්වේ කියල. ඒත් තාක්ෂනය තමයි. ඊට පස්සේ මම එතනින් ආව. ඒ 1987 දී. හැබයි එංගලන්තේ රුසියාව ඉවර කරපු උපාධිධාරයෝ අනන්ත ඉන්නව, සෞඛ්‍ය ය සේවයේ හා වෙනත් බොහෝ තැන්වල. 

මම රැකියාව කරන්නේ පරිගණක ඉංජිනේරුවෙක් වශයෙන්. (ව්‍යාපාර දත්ත විශ්ලේෂක ). මගේ ප්‍රථම සෝවියට් උපාධියට ෆොර්ට්‍රන් IV භාෂාව ඉගෙන ගන්න වුනා අවසන් අවුරුද්දේ. ඊට පස්සේ එංගලන්තේ සවුත් බෑන්ක් විශ්ව විද්‍යාලේ පරිගණක විෂයන් සම්බන්ධ උපාධියක් කළා.  උපාධි නිබන්ධනයේ සුපර්වයිසර් හැටියට හිටියේ ලෙනින්ග්‍රඩ් (සෙන්ට් පීටස්බර්ග් ) නගරයේ විශ්ව  විද්‍යාල වල උගන්වපු මහාචාර්ය ලරිසා ෆ්රද්කින්. එයා  විශ්‍රාම ගියේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන්.

  2012 ක්වීන්ස් මේරි විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාව     (astrophysics ) ඉගෙන ගන්නකොට ප්‍රධාන දේශන දෙකකට ආවේ රුසියානු මහාචාර්යවරු. එක අයෙක් ඩොක්ටර් ඇලෙක්සැන්ඩර් පොල්නරියෙව් .  දැන් බ්‍රිතාන්‍යයේ විශ්ව විද්‍යාලවල උගන්වන්න ඒ දවස්වල අපට උගන්නපු හෝ සමකාලීනව ඉගෙනගත්ත අය.  ඔන්න ඔහොමයි වෙන්නේ.




Thursday, 10 September 2020

ලේක් දිස්ත්‍රික්කයේ උසම දිය ඇල්ල ස්කේල් ෆෝස්





මා සිතන ආකාරයට නොයෙකුත් වනපෙත් බේරා ගැනීමට හෝ සොබා දහම රැකීමට දහස් ගණන් ෆේස්බුක් පෝස්ට් දැමීමෙන් කිසිදු පලක් නැත. ඒ වෙනුවට කළ යුත්තේ මිනිසුන්ට සොබා දහමේ සුන්දරත්වය පෙන්වීම පමණි. සොබා දහමේ සුන්දරත්වය දන්නා , එය විඳින තැනැත්තා හා  ඒ සමග සහජීවනයෙන් ජිවත්වන තැනැත්තා  එය විනාශ කරන්නට කටයුතු නොකරයි.   

අපි අගෝස්තු 27 වන දින කොකර්මූත් හි පිහිටි ස්කේල් ෆෝස්  දිය ඇල්ල නැරඹීමට ගියෙමු. මේ නමේ  ෆෝස් හෙවත් "බලය" යන යෙදුම පැමිණ ඇත්තේ  නොර්ස් භාෂාවේ දිය ඇල්ලට භාවිතා කරන වචනයෙනි 
මෙය  අඩි 170 ක් පමණ උස (මීටර 51.8 ක් පමණ) වන අතර එය ආරම්භ වන්නේ ස්කේල් බෙක් ඇළෙන් ය. එය ඇති ගමන් මාර්ගයේ හැතැප්ම 4 ක පමණ දුරක් ඇවිදීමට අපට පැය දෙක  හමාරක් ක් පමණ ගත වුනි.
එය දුටු මට  ශ්‍රී ලංකාවේ දුන්හිඳ  දිය ඇල්ල නැරඹීමට කුඩා කාලයේ  ගිය බව  මතකයට නැගුණි. හැත්තෑ ගණන්වල පළමු වරට ගිය ඒ ගමන  මදක් දුෂ්කර එකක් විය.  දෙවන වතාවට දුන්හිඳ බැලීමට ගියේ 2000 දීය.  ඒ ගමන් මාර්ගය වඩා පහසුය. දුන්හිඳ වෙතින් එන ජල පහරේ බලය එදා  මා විස්මිත කළේය. 
සැබෑ ස්කේල් ෆෝස් එක ඇත්තටම ඇත්තේ දුන්හිඳ , නයගරා, වික්ටෝරියා වැනි දිය ඇලි වලය.දුන්හිඳ ස්කෙල් ෆෝස් එකට වඩා  මීටර් 10 පමණ  උසය.
  ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල මීටර් 260 ක් උස බඹරකන්ද වන අතර එය මේ දිය ඇල්ලට  වඩා 5 ගුණයකින් උසය. බඹරකන්ද දිය ඇල්ල  මුලින්ම සොයා ගත්තේද හැත්තෑ ගණන් වල යයි සිතමි. එයට හේතුව එවකට අප ලුණුගල සිටියදී මගේ පියා පැමිණ කී දෙයක් හේතුවෙනි. භූ විද්‍යාඥ කණ්ඩායමකට ආරක්ෂාව දීමට හා පාර කියා දීමට  ගිය පිරිස අතරේ පැත්තකින්  සිටි ඔහුටද එය බැලීමට යාමට අවස්ථාවක් උදාවී තිබුණි.  එය දියලුමට වඩා උස හා පළලින් යුතු දිය ඇල්ලක් බවත් වැසි කාලයට අති භයානක ලෙස අවට ගස් කොළන් වලටත් උඩින් දියකඳ  ඇද හැලෙන බවත් ඔහු පැවසූ බව මට මතකය.
එසේම  මට මතක විධිහට ලංකාවේ උසම දිය ඇල්ල ලෙස අප දැන  සිටියේ දියලුමයි. බඹර  කන්ද උසින් ලෝකයේ 299 වෙනි ස්ථානයට ඇති දිය ඇල්ලයි.

ෆේස්බුක් බිත්ති වල  නිතර නිතර  චීන ජාතිකයන් අසීරු කඳු තරණය කරමින් තමන් සිටින ගං  වලින් නගරයට එන පින්තුර හා වීඩියෝ හුවමාරු වේ. නමුත් අපට ඉදිරියෙන් ගිය චීන ජාතික  පවුලක් මදක් දුර ගොස් මඩ හා වතුර පිරි මාර්ගයේ අසිරිය දැක ආපසු හැරී ගියහ.

අපට මුලදී මග වැරදුනු මුත් පසුව බැටළුවන් කඳු නගින මාවතක් සොයා කන්ද උඩට නගින්නට පටන් ගත්තෙමු. ඇල්ල නරඹා ආපසු එන සුදු ජාතික තරුණියක  සමග සිටි දකුණු ආසියාතිකයෙකු ඈත සිටම අත වනමින් අපට මග පෙන්වීය.   

ස්කේල් ෆෝස්  ඇල්ල අසලදී අප රැගෙන ගිය සැන්ඩ්විච් කා හවස් වනවිට නැවත පල්ලම් බැස්සෙමු. දරුවන් දෙදෙනා දිය අල්ල දැකීමෙන් ලැබූ ප්‍රීතිය දැකීමෙන් මගේ මහන්සියද අතුරුදහන් විය. 

මට වඩාත් සිත් ගත්  කරුණ නම් ගමනේදී හමුවුණු සියලු දෙනාම  පාහේ කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් ඈත් වී ගමන් කළද ආචාර සමාචාර කිරීමට උත්සුක වීමයි.  දෙතුන් විටෙකදීම අප හා කතාවට  එක්වීමටද ඔවුහු  උනන්දු වූහ.
මේ ස්කේල් ෆෝස් දිය ඇල්ල දක්වා ඇති ගමන් මාර්ගය ඉතා දර්ශනීය එකකි. අවට  කඳු සහ නිම්නය පහළ විල චමත්කාර චිත්‍රයක් සිතේ මැවීමට සමත් වේ.  නන්දා  මාලනී මහත්මිය ගයන ගලන ගඟකි ජිවිතේ ගීතයේ මතක් වුනේ ඇයිද යන්න නොදනිමි. සමහරවිට පහල නිම්නයට  ගලා යන ගඟ නිසා විය හැකිය.