අද උදේ කීර්ති පැස්කුවල් කියන සංගීතඥයා මෙහෙයවන සංගීත පන්තියකට යන්න හිටියේ. සින්දු කියන්න ඉගෙන ගන්න. නැත්නම් ගෙම්බා වගේ බක බක ගාන්න බැහැනේ පාටියකට ගියහම. බිරින්දෑ නම් කිව්වේ, අනේ මේ අවුරුදු පනස් හයක් වෙන්න යනව. මොන සිංදුද ඔයාට කියල. ලොකු දුව නම් කීව තාත්තා ඔන්නොහෙ යන්න ඒකට , වයස ප්‍රශ්නයක් නෙමේ තමන්ගේ හීන වලට. ප්‍රශ්නේ කියන්නේ මට එහෙම හීනයක් තිබුනෙම නැහැනේ. මේක මේ කෝවිඩ් කාලේ ඔළුවට වැටිච්ච මරාලයක්.
ඉතින් ඊයේ ටෙක්ලා ගේ ගෙදර ගිහින් එනකොට රෑ තුනයි. ඉතින් මොන සින්දු පුහුණු වීම්ද . ඒක පටන් ගන්නෙත් හෙන උදේ පාන්දරම අරුණළු වැටෙන්නත් කලින් දහයට විතර. එකොළහමාර වෙනකන්ම නිදා ගත්ත. ඒකනම් තනිකර චම්පක ගේ වැරැද්ද. ගිටාර් එක අරන් එන්න කිව්වා සින්දු කියන්න. සින්දු වලට ගිටාර් එක ගහන කොට තමයි මතක් වුනේ සිංහල සින්දුවල මැද හරිය මතක නැහැ කියල. ගිටාර් එක විසි කරලා දැම්ම චම්පිකය කැරෝකේ කියන්න ගිය නිසා.
දැන් ඔය චම්පිකය කියන්නෙත් මාර චරිතයක්. දන්නා විධිහට විමල් විරවංශ යි (අර සීගිරී නොගිය කෙනා) චම්පිකයි තමයි කළුතර තිස්ස විද්‍යාලයේ ක්‍රිකට් ටීම් එකේ ඕපනින් බැට්ස්මන් ල දෙන්නා. වීරවංශ සීගිරි නොගියට ක්‍රිකට් ගහල තියෙනවා. ඕක මොකක්ද ඉතින් කළු රන්ජිතුත් ගහල තියෙන එකේ.
ඉතින් බලන්න දෛවයේ හැටි පින්වත්නි. විරවංශ ප්‍රබල අමාත්‍ය දුරයක , මෙයා මෙහේ පාටි වල සින්දු කියනවා. ඕගොල්ලොත් හොඳ කල්‍යාණ මිත්‍රයෝ සෙට් එකක් හදා ගන්න විරවංශ ඇමතිතුමා වගේ.
එතනම නුවරින් ආපු ග**යි , කුරුණෑගලින් ආපු ආශා යි, රත්මලානෙන් ආපු ජීවනී යි බර ඕපා දූපයක. මම ඉඳ ගත්ත විතරයි කතාව වෙනස් කළා. දැන් කතා කරන්නේ හඳයි ඉරයී අතරේ දුර කොපමණද? ඔයා ක්වන්ටම් අංශු ගැන අර තිබ්බ ලිපියේ කියෙව්වද ? ආදී වශයෙන්. මට පොඩ්ඩක් හොල්මන් වුනාම ආශා කියනව
"ඔයා මේ පාටි වල කතා කරන ඒවා බ්ලොග් වල ලියන නිසා අපි දැන් කතා කරන්නත් බයයි. " කියල. ඒත් ඒ එක්කම කියනව "මම තමයි ඉස්සෙල්ලම ඔයාගේ වයිෆ් හදන පරිප්පු හොඳයි කීවේ. හැබයි ඔයා ලියල තියෙන්නේ ටෙක්ලා ගැන විතරයිලු. "
ඉතින් මේ ගැහැණු මනස ගැන විශ්ලේෂණය කරන්න ඕනේ කොහොමද?" ලැකාන් ද බුදු හාමුදුරුවෝද ඕෂෝ ද ගන්න ඕනේ? බ්ලොග් එකේ ලියන්නත් එපාලු. ඒ වුනාට ලීවේ නැතුවහමත් බනිනවා. ඒ වුනාට ඊළඟ පැයේ කට්ටිය කතා කලේ කිතුල් පිටි උයන හැටි, තල් පිටි කැඳ හදන හැටි. ආනා කියල හොද්දක් හදන හැටි. මම දැනගෙන හිටියේ මිස්ටර් ආනා ගැන විතරයි. වැඩේ නරක අතට හැරුන නිසා මං අනිත් පැත්තට හැරුනා.
මෙන්න එතනට සරෝජ් පතිරණ එකතු වුනා නේ කන්න. සාමාන්‍යයෙන් බීබීසී එකේ වැඩ කරනවා කියන්නේ අපිට වෙන බයිට් ඕනේ නැහැ. සරෝජ් තමා බයිට් එක. හැබයි ඉතින් බයිට් වශයෙන් එතැන කියැවුණු දේවල් බ්ලොග් එකක ලියන්න බැරි නිසා නිකන් ඉන්නවා.
සරෝජ් දඩ බත් පිඟානක් බෙදා ගෙන කනවා දැකල මම ඇහුවා "මචන් බතුත් තියෙනවද? නැත්නම් උඹට විතරද?" කියල. කියන්න බෑනේ ජ'නලිස්ට් ලට වෙනම සලකනවද කියල. සරෝ කිව්වා " බත් නම් දැක්ක මචං ගිහිල්ල බලපන් කියල කුස්සිය පැත්තේ. කියල. " ඩබල් එකේ ගියා කුස්සියට. මෙන්න ටෙක්ලාගෙන් ඇහුවම කියනව "ඔයාගේ වැරැද්දනේ. මම හැමදාම බත් හදනවා. එක පාරක් කුමාරට රෑ දෙකට බත් ඕනේ වුනා . එදා ඉඳන් ඕන පාටියක බත් ෂුවර් කියල. "
"ඉතින් දෙයියනේ ඔයාමනේ කීවේ ෂෝට්ඊට්ස් කන්න කියල" කීවම ටෙක්ලා කියනව. "මම ඔයාට කීවේ නැහැනේ එතැන තියෙන ඔක්කොම කන්න කියල"
කිරි අප්පට බල්ලෝ පැනපි කීවලු.
ඒ වුනාට හැබැයි බත් නොකා යන්න පුලුවන්ද? ටෙක්ලාගේ කෑම කොහොමත් රහයි.
ඇපල් උයල, පරිප්පු වලට තම්පල දාල , ලීක්ස් , කුකුල් මස්, ඇදේට කපපු තෙල් දාපු බෝංචි, අල බැදුම , මාළු බැදලා , මාළු ඇඹුල් තියල හොඳට තිබ්බ. ඉතින් මාත් පොඩ්ඩක් බඩට දාගත්ත. (හොඳ පොඩ්ඩ). ගිය සැරෙත් ටෙක්ලා ගේ ගෙදර දානයකි වෑන්ජන් දාසයක් විතර තිබ්බ. ඒ තියෙන ටික කන්නේ නැතිව මම ඇහුවනේ "කෝ පරිප්පු" කියල. බලන කොට ඒක ළිපේ අමතක වෙලා. . ටෙක්ලට ගන්න අමතක වෙලා ආශා ගෙනත් තිබ්බ.
ලුණුගලගොඩ ගමයානන්ද හාමුදුරුවෝ පවා කියල තියනවා "මිනිසුන්ට නැති දේම පෙනෙන එක ලොකු වැරැද්දක්" කියල. ගෑස් නැහැ , පොල් නෑ , ගුරුවරු නෑ, දර නෑ, පෙට්‍රල් නෑ, කිරි පිටි නෑ.
ඔය කොච්චර ගොටුකොළ, තම්පලා හෙම තියෙනවද? ඒවා පේන්නේ නෑ.
මගේ වැරැද්දත් ඉතින් නැති දෙයක්ම තමයි පේන්නේ. කවුන්සලින් වත් යන්න ඕනේ. හදා ගන්න.
ඒ මදිවට ලොකු දුවට දෙන්න කියල ටෙක්ලා බත් පාර්සල් දෙකක්ම දීල.
ඉන් එකක් අද දවල්ට කෑවා .
වෑන්ජන අටක් තිබ්බට මොනවා හරි අඩුයි වගේ.
ඔලුවේ අත ගහගෙන කල්පනා කළා.
මතක් වුනා.
කෝ යකෝ සම්බෝල?
- කොළඹ ගමයා (අජිත් )