යුගෝස්ලාවියාවේ අර්ථ ක්‍රමය ගැන හෙම දන්නවද කියල අහපු කොමෙන්ටුවක් තිබුනා. එතකොට මට මතක් වුනේ මා අනූ ගණන්වල දැන සිටි ළාබාල යුගොස්ලාවියන් තරුණියන් තිදෙනෙකු ගැන. මම අනූ ගණන්වල කාමර එකසිය ගාණක් තිබුන ලන්ඩනයේ හෝටලයක කළමණාකාර තනතුරක වැඩ කලා. මුලදී ඒක සංචාරක හෝටලයක් වුනත් පස්සේ පස්සේ දේශපාලන (හෝ ආර්ථික) අනාථයන් වයි අර ගත්තේ. මේකට හේතුව සංචාරකයන් ගන්න නොයකුත් දැන්වීම් දාන්න ඕනේ. ඒජන්සි වලට ගෙවන්න ඕනේ. නමුත් අනාථයන්ගේ කාමර කුලිය ආණ්ඩුවෙන් ගෙවනවා. අනික බ්‍රිතාන්‍යයේ රැඳී සිටීමේ වීසා ලබනකන් අනාථභාවය ඉල්ලපු අයට ඉන්න වෙනවා ටිකක් දිග කාලයක් හෝටලයේ නැවතිලා. ඉතින් මේක හෝටලයට ස්ථිර ආදායමක්.
අර යුවතියන් තුන් දෙනාත් එකටම හිටපු නිසා මම එකම කාමරයකට දැම්මා. තුන් දෙනාම හරිම ලස්සනයි. මාත් එක්කත් හොඳට කතා බස් කරනවා දැක්ක තැන. ඔය තුන්දෙනාට හෝටලේ ඇතුලෙත් පිටතත් කොල්ලොත් හරියට බැලුම් හෙලනවා. වැඩිපුරම බොස්නියා වල මුස්ලිම් කට්ටිය තමා හිටියේ. ඒ දවස් වල ජාතිවාදී සර්බියානුවන්, බොස්නියන් හා ක්‍රෝශියන් වරු සමග යුද වැදුණු කාලය මේ.
ඔන්න එක දවසක් හෙන රණ්ඩුවක් එළියේ. හෝටලේ සිකියුරිටි හිටිය ඊජිප්තු ජාතිකයා මට ඇවිත් කිව්වා අර ගෑනු ළමයින්ට ප්‍රශ්නයක් ඇතිවෙලා කියල. එළියේ පුංචි යුද්ධයක් වගේ. අර තරුණියන් සමග හිතවත්ව හිටි ඉංග්‍රීසි ජාතික තරුණයන්ට හෝටලේම බොස්නියන් කොල්ලෝ කට්ටියක් ගහන්න හදනවා.
මම මැදිහත්වෙලා පොලිසියට කතා කරනවා, උන්ව හෝටලෙන් එලියට දානවා හෙම කියල තර්ජනය කරලා ඉංග්‍රීසි තරුණයන්ව බේරලා යැව්වා. මම කෙල්ලන්ගෙන් ඇහුව මොකද වුනේ කියලා. බොස්නියන් මුස්ලිම් කොල්ලෝ තර්ජනය කලාලු උන්ගේ කෙල්ලෝ එක්ක යාලු වෙන්න එන්න එපා හෙම කියල. සර්බියන් කෙල්ල මැදිහත් වුනහම එයටත් තර්ජනය කරලා අපේ කෙල්ලව නරක් කරන්නේ උඹ තමා කියල. පස්සේ මම බොස්නියන් කොල්ලන්ට පොඩි තර්ජනයක් දැම්මා උඹලගේ රටේ ජාතිවාදය මෙතනට අරන් එන්න එපා කියල. මෙතැනදී මම ඇහුව ඒගොල්ල මොන රටවලින්ද කියල. එතකොට දැන ගන්නට ලැබුනේ එක තරුණියක් සර්බියාවේ ක්‍රිස්ටියන් ඔර්තොදොක්ස් ආගමේ (අද්රියානා කියමු නම). දෙවැනි යුවතිය බොස්නියාවේ මුස්ලිම් යුවතියක් (අයිඩා කියමු නම). තුන් වැන්නිය ක්‍රෝෂියාවේ කතෝලික යුවතියක්, වෙරේනා කියමුකෝ නම . මට එක පාරටම ඇහුනා, උඹල මරාගන්න ඕනේ එවුන් එක කාමරේ ඉන්න කොහොමද කියල. මුස්ලිම් තරුණිය අඬන්න පටන් ගත්ත. ක්‍රෝෂියන් කෙල්ල වෙරේනා
ගේ
ඇස් වලත් කඳුළු. ඇය කාමරයට දුව ගියා මොනවාද අරන් එන්න. සර්බියන් කෙල්ල අද්රියානා ත්
ඇස් වල කඳුළු පුරෝගෙන හෝටලේ කුස්සියට ගිහින් තේ හදා ගෙන ආවා ඔක්කොටම බොන්න. වෙරේනා
ඇල්බම් පොදියක් අරන් ආව.
ඇල්බම් වල තිබ්බේ තුන්දෙනාම සරාජිවෝ වල විශ්ව විද්‍යාලේ ඉගෙන ගත්ත හැටි. බොස්නියන් මුස්ලිම් අයිඩා ගේ ගෙදර වත්තේ තේ බිව හැටි. කට්ටිය සයිකල් සවාරි ගිය හැකි. මේවා දැකල මම ඔවුන් ගෙන් ඇහුව යුගෝස්ලාවියාවේ ජීවිතය ගැන. ඔවුන් හැමෝටම හොඳ ගෙවල් තිබුන (පින්තුර වල හැටියට). ඒවායේ තත්වය බටහිර යුරෝපියානු තත්වයටම වගේ උසස්. වාහන තිබුන හැම ගෙදරකම. නමුත් වාහන හොඳ ජපන් වාහන නෙමේ. ඉතාම ටිකක් ජර්මන් වාහන හා ඉතාලියානු වාහන තිබුන. වැදගත්ම දේ තමා 1990 ගණන්වල
යුගෝස්ලාවියාව බෙදී එකිනෙකා අතර යුද වැදීමට කලින් ඔවුන් හොඳ ජිවිතයක් ගත කල බව.
1970 දශකය අවසන් වනතුරු යුගෝස්ලාවියාවේ තිබ්බේ හොඳ කාලයක්. ලංකාවේ 70-77 ආණ්ඩුවත් ටිකක් මිශ්‍ර ආර්ථික ක්‍රමයක් හදන්න හැදුවත් වංචා දුෂණ නිසා හරි ගියේ නැහැ. අනික පෝලිම් යුගය මතකනේ. සෝවියට් දේශයේ බලපෑමෙන් යුගෝස්ලාවියාව ඉවත්වී හිටියත් එහි කොමියුනිස්ට් පක්ෂයක් තිබුන.ජෝසප් ටිටෝ තමයි ඒකාධිපති පාලකයෙක් වගේ හිටියේ. නමුත් ඔහු දැඩි පාලකයෙක්ම නොවෙයි. ඔහුගේ වඩාත් හොඳම අත්හදා බැලීම තමා ආශ්‍රිත ශ්‍රමය නමැති ක්‍රමය. (партнер труда හෙවත් පර්ත්නොයිර් ත්රුදා ) මෙහිදී කලේ කම්හලක වැඩ කරන කම්කරුවන්ට සහ ඉහල නිලධාරීන්ටත් ඉන්ජිනේරුවන්ටත් එහි කොටස් අයිතිය පැවරීම. වැඩියෙන් වැඩ කරන කට්ටියට වැඩියෙන් කොටස් ලැබෙනවා. අද්රියානා ගේ තාත්තත් ඉංජිනේරුවෙක්. ඔහුටත් තමන්ගේ කම්හලේ කොටස් අයිතිව තිබුන. අනිත් දෙදෙනාගේම මව් පියන් ගුරුවරු. ඔවුන්ගේ වැටුප එතරම් ඉහල නොවුනත් ඉන්ජිනේරුවෙකුගේ හෝ දොස්තර කෙනෙකුගේ වැටුපට වඩා වැඩි වෙනසක් තිබුනේ නැහැ. මේ තත්වය මත ඔවුන් ජිවන තත්වය ඉහල මට්ටමක තිබුන.
ගොවියන්ගේ තත්වය වුනේත් මිශ්‍ර ක්‍රමයකට වගා කටයුතු කිරීම. එනම් සුළු ගොවීන්ට තමන්ගේ වගා කිරීම කරගෙන යන්නට ඉඩ තිබු අතර තමන්ගේ කැමැත්තෙන් රජයේ ගොවිපලවලට එකතු වීමට ඉඩ කඩ තිබුනා. ඊට අමතරව පෞද්ගලික පොළක් නොහොත් සුළු ගොවීන්ට හෝ තමන්ගේ ගෙදර වත්තේ බව බෝග හදන අයට පවා විකුණ ගන්න හැම නගරයකම වගේ පොළක් තිබුන. හැබැයි තමන්ම තමා විකුනන්න ඕනේ.
මීට අමතරව ඕනෑම කෙනෙකුට සුළු ව්‍යාපාර අරඹන්න පුළුවන්. තමන් සමාජයට, කම්හලකට හෝ ගොවිපලකට අවශ්‍ය දෙයක් නිෂ්පාදනය කරන්න දන්නවා නම් සුළු ව්‍යාපාරයක් , සුළු කර්මාන්තයක් අරඹන්න පුළුවන්. ඒ සඳහා හතර දෙනෙක් වෙනකම් වැඩට ගන්න පුවන්. හුඟක් වෙලාවට හතර දෙනාම යහළුවෝ හෝ අසල්වාසීන්. ඔවුන් සමග කතා කරලා ලාභය ශ්‍රමයට සරිලන පරිදි බෙදා ගන්න ඕනේ. ව්‍යාපාරය පටන් ගත් කෙනාට තමයි වැඩි පඩිය ලැබෙන්නේ. එයටම බදු ක්‍රමයත් වෙනස් ලෙස හරි ගස්සල තිබුන.
ටිටෝ ගේ මරණය සිදුවුනේ 1980දී. ෆෙඩරල් යුගෝස්ලාවියාව කොන්ෆෙදරේෂණයක් විය යුතුයි කියන අදහස ආවේ මේ කාලේ. සමුහාණ්ඩුවේ රටවල් (republics) වල (සර්බියාව, මොන්ටෙනෙග්‍රෝ , ස්ලවේනියාව, බොස්නියා සහ හර්සගොවිනාව , ක්‍රෝෂියාව, මැසිඩෝනියාව) නායකයෝ එකිනෙකා අවුරුද්ද බැගින් නායකත්ව මණ්ඩලයට පත් වුනා. නමුත් මේ කාලේදී යුගෝස්ලාවියාව ඩොලර් මිලියන් 16,000 පමණ ණයවී තිබුනා . වැඩියෙන්ම මුදල් ආවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන්. මුලදී ණය මුදල් ලැබුනේ යුරෝපයේ නිපදවන සුඛෝපභෝගී බඩු ගන්න. එනම් බෙන්ස්, BMW වගේ වාහන ජර්මනියෙන්, ප්‍රංශයෙන් සුවඳ විලවුන් හා ඉහල පන්නයේ නිමි ඇඳුම් ඉතාලියෙන්, මෙන්න මේ වගේ. මිට අමතරව බ්‍රිතාන්‍ය, ඇමෙරිකාව , ජපානය වැනි රටවලින් යුගොස්ලවියානු කම්හල් දියුණු කිරීමට අවශ්‍ය උපකරණ අමතර කොටස්. නමුත් පසුව ණය ලැබුනේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි සහිතව. ආශ්‍රිත ශ්‍රමය නමැති ක්‍රමය නැති කිරීම,
ව්‍යාපාර වලට තමන්ට අවශ්‍ය සංඛ්‍යාවක් බඳවා ගැනීමට ඉඩ දීම හා අයිතිකරු විසින් පඩි නඩි තීරණය කිරීම. රටේ ශ්‍රම අතිරික්තයක් ඇති කිරීම. ඒ කියන්නේ ආණ්ඩුවේ "වැඩි" සේවකයන් අස් කිරීම වැනි කොන්දේසින්.
මෙහිදී (මේ නිසාමත්) 80 මැද හරිය වනවිට ලක්ෂ අටක පමණ රැකියා විරහිතයන් සංඛ්‍යාවක් බිහිවී තිබුනා. මෙතැනදී ජර්මනිය ප්‍රමුඛ යුරෝපා සංගමය යුගොස්ලාවියානු රටවල් වලට වෙන වෙනම බලපෑම් කලා යුරෝපා සංගමයට එකතු වෙන ලෙස. හිට්ලර්ගේ නාසි යුද සමයේ (දෙවන ලෝක යුද්ධය ) නාසින්ට වැඩිපුරම උදව් කලේ ක්‍රෝෂියන් වරු හා බොස්නියන් වරු (තුර්කින් සමග). ඔවුන් නැවත හිස ඔසවන්නට වුනා . ජර්මනියේ දඬුවම් නොලබා බේරුණු නාසිවාදීන් හා ව්‍යාපාර මේ සඳහා සක්‍රිය දායකත්වයක් දැරුවා කියා කියනවා. කෙසේ හෝ 1980 අග භාගය වනවිට තම තමන් පාලනය කල කොමියුනිස්ට් පක්ෂ මාර්ගයෙන්ම මෙම රටවල් ස්වයං නිර්ණන අයිතිය ක්‍රියාත්මක කරවීමට ඉල්ලුවා. ප්‍රශ්නයක් නැතුවම ඉවත්වන්නට පුළුවන් වුනේ මොන්ටෙනේග්රෝවට හා ස්ලවේනියාවට පමණයි. ඊට හේතුව මේ රටවල සිටි ජාතිය, සජාතීය (හෙවත් homogeneous හෝ සමජාතීය) වීමයි. ස්ලවේනියන්වරු හා ස්ලාව් වරුන් වන සර්බියන් වරුන් හා වැඩි වෙනෙසක් නැති ජාතියක් වුන අතර මොන්ටෙනෙග්‍රෝ වරුන්ගේ රටේ සිටියේද ඔවුන් පමණයි. (හන්ගේරියන් වරුන් ඉතාමත් සුළුතරයක් සහිතව). එනිසා මේ සජාතීය රටවලට වෙන්වීම ප්‍රශ්නයක් වුනේ නැහැ . නමුත් සර්බියානුන් වැඩිපුර සිටි ක්‍රෝෂියාවේ සහ බොස්නියා - හර්ට්සගොවේනියාවේ වල සර්බ වරු සුළු ජාතියක් වන්නට කැමති වුනේ නැහැ. මේවා multicultural හෙවත් බහු සංස්කෘතික රටවල්. මෙහි ක්‍රෝෂියන් වරු හා බොස්නියක් ලා සර්බියන් වරුන් දෙවන ලෝක යුද්ධයෙන් පසු පදිංචි වුනු ආක්‍රමණිකයන් යයි කියා (මෙහිදී සර්බවරුන් ප්‍රමුඛව නාසිවාදයෙන් රටවල් ගලවා ගත් බව ඉතා පහසුවෙන් අමතක කරමින්) ඔවුන් එලවන්නට හා මරා දමන්නට, ගෙවල් ගිනි තියන්නට පටන් ගත්තා. (සමජාතීය වීම සඳහා - අප දන්නා රටකත් මේ පිළිවෙතම මෙසේ එක්තරා සුළු ජාතික අවිගත් කණ්ඩායමක් මගින් ක්‍රියාත්මක කල අතර ඇතැම් වමේ පක්ෂ ස්වයං නිර්ණන කතාවේදී මෙය වුවමනාවෙන්ම කතා කිරීමෙන් මග හරිති.)
ක්‍රෝෂියාවේ සර්බවරුන් හා මුස්ලිම් වරුන්ට එරෙහිවත් බොස්නියාවේ සර්බියන්, මුස්ලිම් බොස්නියන් හා ක්‍රෝෂියන් වරු අතරත් සටන් පණ නැගුනා. අවාසනාවකට ජාතිවාදය තදින් ඇවිස්සු පක්ෂයක් සර්බියාවේ බලයට පත්වූ අතර ඔවුන් සර්බියන් වරු බේරා ගැනීමට යයි කියා අර රටවල් ආක්‍රමණය කර මිනිසුන් බොහොමයක් මරා දැමුණ, ම්ලේච්ච ජාතිවාදී යුද්ධයක් ක්‍රියාත්මක කලා. ඉන්පසු අමෙරිකා එක්සත් ජනපදය හා නැටෝව මැදිහත්වී සර්බියාවට බෝම්බ දමා තත්වය පාලනය කරමින් ඉතිරි රටවල් බෙදා දැමුවා.
අර තරුණියන් තිදෙනා එංගලන්තයේ සරණාධාර පතා ආවේ එලෙසයි. අර සිද්ධියෙන් පසු ඔවුන් හැඬුවේ තමන්ට අහිමි වුනු, ඔවුන් ජාතින් වශයෙන් නොබෙදී සිටි ඒ සුන්දර අතීතය වෙනුවෙනුයි.
පසු වදන: ඉහත පින්තුරයෙන් දැක්වෙන්නේ සර්බියන් පෙම්වතා හා ඔහුගේ ක්‍රෝෂියන් පෙම්වතිය සිප ගන්නා ආකාරයයි. වැඩිහිටි ක්‍රෝෂියන් ජාතිවාදී කාන්තාවක් සර්බ පෙම්වතාගේ අත අල්ලාගෙන සිටින ක්‍රෝෂියන් පෙම්වතියට දෝෂාරෝපනය කරනවා. මෙය අසා පෙම්වතිය ඕනෑ කමින්ම හැමෝම ඉදිරිපිට පෙම්වතාව සිපගන්නවා.
http://www.huffingtonpost.com/2013/03/10/croatian-girl-kisses-serb_n_2839945.html
දැන් නැවතත් සර්බියන් හා ක්‍රෝෂියන් වරු සමගියෙන් සිටින බවක් පේනවා.ක්‍රෝෂියාව, ස්ලවේනියාව ස්වයං නිර්ණය ලැබීමෙන් පසු යුරෝපා සංගමයට එකතුවුණු අතර ඔවුන් සර්බියාවට යුරෝපා සංගමයට ඇතුලත් වෙන්න උදව් කරනවා.
- අජිත්