Monday 3 November 2014

හික් හික් සුවා

මේක ලියන්න නිමිත්ත තමා වෙන නිව්ස් අඩවියක දැක්ක පින්තුරයක්. අපේ හික් හික් සුවා  දේව මහා සහෝදරයා හෙවත් ඇමතිතුමා අධිරාජ්‍යවාදයේ මුදුන් මල්කඩ වන එක්සත් ජනපදයට ගිහින් සිටිනවා දැක්කට පස්සේ. එක්සත් ජනපදයට යන එකේ කිසි අවුලක් නැහැ. හොඳ රට. සාමාන්‍ය  මිනිස්සුත් හොඳයි. බෙහෙත් ගන්න නම් කියුබාවේ තරම් ලේසි නැහැ. පෞද්ගලික රක්ෂණයක් ඕනේ මන් හිතන්නේ. අධිරාජ්‍යවාදයේ ලකුණක් කියන දිස්නිලන්තෙටත් ගොඩ වැදුනා ඊයේ පෙරේදා . ඒ ගැන වෙනම ලියන්න ඕනේ.
මාත් මේ ඉන්නේ ධනවාදී අධිරාජ්‍යවාදී රටක. සූරාකෑම කොහොම වෙතත් මානුෂික නිදහස වගේ දේවල් අතින් මේ රටවල් සුවා  දේව ඇමතිතුමාගේ රට හෙවත් අපි උපන් රටට වඩා නම් හොඳයි. (උපන් රට බාල්දු කරනවා නෙමේ මේ).
මට තිබෙන එකම ප්‍රශ්නේ මේ සුවා  දේව වැනි මහා අධිරාජ්‍ය විරෝධියෙක්  ඔතෙන්ට ප තබන්නේ කොහොමද කියල ධනවාදී රජයක ඇමතිවරයෙක් හැටියට. බාහු විකුම් නම් ගියත් කමක් නැහැ. අනික සුවා ගේ අධිරාජ්‍ය විරෝධය  එන්නේ තමන්ට අවශ්‍ය වෙලාවට ඇමෙරිකාවට එරෙහිව විතරයි. හුඟක් වෙලාවට චන්ද කාලෙට.

මේ සිද්ධිය වුනේ 1983. එවකට හිටි ඇමෙරිකන් ගැති ජනාධිපති '83 ජුලි කලබල වලට සහය දුන්න කියල චෝදනා කරලා වාමාංශික  පක්ෂ තුනක් තහනම් කලා. ජා අවිපෙයි, සිරිලංකාවේ කොපිකැට් කොපයයි, නානාගේ සපෙයි.  හැමෝම දන්නව ගුල්ලේ ඇනවන්ශලා, මැද කොළඹ පජාප අනු සංවිධායකළ තමා චන්ද ලිස්ට් අරන් වැඩේට බැස්සේ කියලා. නමුත් ඉතින් යැංකි ඩිකී එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් නෙමේ කීප දෙනෙක්ම මරන්න නේ හැදුවේ.

සුවා ගෙයි බාහුවිකුම් ගෙයි පක්ෂේත් තහනම් කරලා සොයල දුන්නොත් මුදල් ත්‍යාගයක් දෙනවා කියල පෝස්ටරුත්  ගහල තිබුන. මමත් ඒ දවස්වල හර බර පත්තරේ හෙම ගන්නවා කොම්පඤඤ විදියේ කම්කරු කාර්යාලයෙන් එගොල්ලගේ.  ඒක  නම් වහල තිබුනේ නැහැ. අපි සමහර වෙලාවට සෙට් වෙනවා සෝවියට් සංස්කෘතික මන්දිරේ ෆිල්ම් බලන්න, පොත් ගන්න එහෙම. එහෙම වෙලේක මේ පාටියේම  බුවෙකුත් සෙට් වෙලා හිටිය. හොඳ මනුස්සය.  එක දවසක් මේ ෆූල් ටයිමර් මාව එක්කන් ගියා  තේකක් බොන්න වරෙන් කියල කොම්පඤඤ විදියේ හතරමන් හන්දියේ දුම්රියපළට යන පාරේ හෝටලෙකට. ඒකෙ නම අමරදිසිය. තවම තියෙනවද දන්නේ නැහැ.  ඉතින් ගිහිල්ල බනිසෙකුයි තේකකුයි අරගෙන ඉඳගත්ත කතාවට. සහෝදරයා  ඊට පස්සේ මට පෙන්වනවා එක මුල්ලේ මේසෙක ඉඳගෙන ඉන්න හතර දෙනෙක්ව. අර ඉන්නේ ලී.... අර ඉන්නේ කම්කරු බුවා අනිත් අර මුණ වහගෙන වගේ ඉන්න රැවුල බාපු බුවාලා කවුද දන්නවද කියල? මම නෑ  කිව්වා.   සහෝදරයා කියනවා, ඒ ඉන්නේ අපේ සුවායි බාහු විකුම්නුයි කියල. මන් ඇහුව ඉතින් හැංගිලා නේද ඉන්නේ කියලා. ඌත් කිව්වා ඔව් තමා  කියල.

දැන් 83න් අවුරුද්දක් දෙකක් ඉස්සරහට දාමු. මට අපේ නානාගේ සාපෙ සහෝදරයා හම්බවෙනවා මොස්කව් වලදී. මේකා කියනවා එදා මාව හෝටලේට අරන් ගියේ මා  ලව්වා පොලිසියට ඔත්තුව දෙන්නලු. පොරවල් වලට ඕනේ වෙලා තිබ්බේ බලෙන් පොලිසියට අහුවෙලා ප්‍රසිද්ධියක් ගන්න. පොලිසිය ගණන් ගත්තවත් නෑනේ මේගොල්ල කොහේ හිටියත්. බොරුවටයි තහනම් කලේ කියල ඒගොල්ලත් දන්නවා. මට හිතුනේ මේ වගේ මගඩි රැලක් කියල.

ඩිකියගේ ආණ්ඩුවට ඇත්තටම ඕන වෙලා තිබ්බේ වැඩි තර්ජනයක් නැති නානාගේ සපෙයි, කොපිකැට් කොපයයි ට වඩා , වීර විජේ නිසා ජනප්‍රිය වේගෙන එන ජා අවිපෙට වැඩේ දෙන්න.  වීර විජේගේ ජාතික ප්‍රතිපත්තියට අකමැති වුනත් නානාගේ සපේට බැඳෙන්න ගියෙත් නෑ මම නම්. ඒ දවස්වලත් පොඩි ඉවක් තිබ්බා.

ඔය සිද්ධිය මන් දන්නා  කොම්පඤඤ විදියේ පොලිසියේ කෙනෙකුට කිවම මිනිහ තව කතාවක් කියපි. එක පාරක් කම්කරු පෙළපාලියක යනවලු කට්ටිය. පොලිසියත් මග මාර්ග බාධක දාල ඉන්නවලු සබ්බුව දෙන්න. සුවා  දේව  බය නැතුව ඉස්සරහට ගියාලු. එතන හිටපු  පොලිසියේ ලොකු තැනට (මිනිහගේ යාළුවෙක්) කීවලු "මචං ඇතුලට ගනිං කියල" මිනිහ අකමැත්තෙන් වගේ මේ අධිනීතිඥ පොර කියන නිසාම මාංචු දාල ගත්තලු. කම්කරුවෝ කෑ ගහනවලු. පස්සේ අර ලඟදි  මැරුන නායකයාටත් දෙකක් ඇනල පොලිසිය පෙළපාලිය  විසිරුවා දැම්මලු. සුවා  දේව පොලිසිය ඇතුලට ගිය ගමන් මාංචු ගලව ගෙන අර ලොක්ක පොලිස් කැන්ටිමෙන් ගෙන්වා දුන් තේ එකකුත් බිල ගෙදර ගියාලු.

මේකේ ශෝක ජනක කතාව මේකයි. අර නානාගේ සපේ සහෝදර බුවාගේ තාත්ත හොඳ මනුස්සයෙක්. 80 වර්ජනෙන් රස්සාව නැති වෙලා ඒත් වමේ පොලිටික්ස් බාහු විකුම් එක්ක කර කර ඉඳල. 88 හරි 89 හරි මැරුම්  කෑව එක්කෝ වැරැදි මතයක හිටි කට්ටියකගෙන්. එක්කෝ ආණ්ඩුවෙන්. දැන් එන ආරංචි වල  හැටියට කවුරු කලාද කියන එකත් ප්‍රශ්නයක්නේ. නානාගේ සපේ සහෝදරයා මරණෙට ගෙදර ගියා. ඒ මනුස්සය හිත අවුල් කරගෙන ආවේ නැවත ඉගෙන ගන්න. බොනපාට්වාදය වැළඳ ගත්  නිසා ඒකත්  නැවතුනනා.  නමුත් දැනුත් රස්සා තුනක් විතර කරගෙන නානාගේ සපේට උදව් කරනවා කියල තමා ආරංචිය.  සමහර න්‍යාය පැත්තේ ප්‍රශ්න නිසා බාහු විකුම් ට අපි අකමැති වුනත්,  මන් දන්නා විධිහට අර භීෂණ කාලේ - "නොමග ගිය ඈයෝන්ට එරෙහිව අපි ආණ්ඩුවේ ආයුධ ගන්නේ  නැහැ " කියන මතයේ හිටිය කියල තමා කියන්නේ. ගරු කල යුතු ස්ථාවරයක්.

හැබැයි ඉතින් සුවා දේව ගැන ඉතින් ඔය මුකුත් කියන්න බැහැ. මුල ඉඳන්ම පජාපේ වගේ  කොම්ප්රෝදෝරු අධිරාජ්‍යවාදයට පක්ෂව හිටියනම් එකක්. හැබැයි ඒකට විරුද්ධව ඉඳල කම්කරුවන් මුල කරලා, වර්ජන කරලා සිය දිවි නසා ගත්ත වුන් මැදින්,  භීෂණ වලට මුණ දීල දිවි දුන් අය මතින් ආව ගමනක් නහින දෙහින කාලේ  අමෙරිකාවෙන් කෙළෙවර වෙන කොට හික් හික් කියල තමා හිනා වෙන්න හිතෙන්නේ. හොඳ වේලාවට අපි බේරුනේ.

මුලාශ්‍ර: පින්තුරය උපුටා ගත්තේ http://www.tfmetalsreport.com/comment/185207

11 comments:

  1. රසවත් ලිපියක්. ඔය නානා ගැන අපේ තාත්තාත් ඔය වගේ කතාකියලා තියෙනවා. නොම්බර එකේ අවස්තාවාදියෙක් බව පරණ උදවිය දන්නවා. අහිංසක කම්කරුවන්ව අන්දගෙන ඉන්නවා,
    /////////"නොමග ගිය ඈයෝන්ට එරෙහිව අපි ආණ්ඩුවේ ආයුධ ගන්නේ නැහැ " ////////////
    බාහුවිකුම් මෙහෙම තමයි කිව්වේ.

    ReplyDelete
    Replies
    1. ඔයත් ඒ කතාව අහල තියෙනවා නේද.?

      Delete
  2. පට්ටම ධනවාදියෝ ඉන්නවා නේද... උන්ටත් වඩා ධනවාදියි වාසු දේව.. අනික් උන් ගැන නම් කියන්න දන්නේ නෑ.. ඒත් මෙයාගේ පුතා මගේ යාළුවෙක්.. ඒ නිසා පෞද්ගලිකවම දන්නවා..

    ReplyDelete
  3. පට්ටම ධනවාදියෝ ඉන්නවා නේද... උන්ටත් වඩා ධනවාදියි වාසු දේව.. අනික් උන් ගැන නම් කියන්න දන්නේ නෑ.. ඒත් මෙයාගේ පුතා මගේ යාළුවෙක්.. ඒ නිසා පෞද්ගලිකවම දන්නවා..

    ReplyDelete
    Replies
    1. පුතාගේ යාළුවෙක් කියන්නේ මාතා ඉපදිලා තියෙන්නේ 67 වෙන්නැති. හේ හේ . මම නම් පෞද්ගලිකව දන්නේ නැහැ.

      Delete
    2. මම 65.. ඌ මට වඩා බාලයි.. ඒත් ඉස්කෝළේ කාළේ බොක්කක්.. අතාවුද සෙනෙවිරත්නගේ පුතා පරා මගේ පංතියේ..

      Delete
  4. මට දැන් ෆුල් හොල්මන්. මෙච්චර දවස් හිතන් හිටියේ වෙන එකෙක් ගැන. යකෝ එතකොට මාතාත් 83 බැච් එකේ මම වගේම. පරා මාත් එක්ක මොස්කව් වල බෝතලේ දාගෙන එහම හිටපු පොරක්. දැන්නම් සම්බන්ධයක් නැහැ. කෑගල්ලේ ශ්‍රීලනිප සංවිධායක වෙලා දැන් කොහෙද එම්බසියක කියල තමා ආරංචිය.

    ReplyDelete
    Replies
    1. පරා අපිත් එක්ක උන්නට ඌ අවුරුද්දක් වැඩි මල්.. මම 84.. අජිත් පතිරණලගේ බැජ් එකේ. පරා අපිත් එක්ක කොමස් ක්ලාස් එකේ උන්නා. ඌ CS1 මම CS2 . ඔය මජින්ත ජයසිංහයා මගේ පංතියේ.

      Delete
    2. පරා එතකොට මෙඩිසින් කලේ කොහොමද රුසියාවේ?මට පස්සෙයි ආවේ. ඕව තමා ඉතින් ප්‍රශ්න. මම නම් ආණ්ඩුවේ ස්කොල් එකකින් ගියේ ෆස්ට් ශයි කරලා. අජිත් ගුණතිලක හා ප්‍රදීප් ජෙගනාදන් ඔය 82 බැච් එකේ. මම සාමාන්‍ය දැනීම කණ්ඩායමේ නායකයා වෙලා හිටිය. ඒ ටීම් එකේ හිටිය අජිත් හා ප්‍රදීප්. ඔය එතකොට අපිට පස්සේ බැච් එක.

      Delete
    3. ඒවා නම් කියන්න දන්නෙ නෑ. බයෝ කරපු අජිත් දැන් නම්බර් වන් ලෝයර් කෙනෙක්..

      Delete
    4. මාතා....මම අජිත් පතිරනව නිතර රූපවාහිනියෙන් දකිනවා. ඔහු විවාහවී ඉන්නේ මගේ බිරිඳගේ පාසල් මිතුරියක් සමග.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .