Wednesday 28 January 2015

කේ පී සමග පොත් බෙදුවෙමු

ඒ 2010 වර්ෂයයි. කේ පී  ශ්‍රී ලංකා රජයෙන් රඳවා ගෙන සෑහෙන කළකි. ඩි  බී  එස්‌  ජෙයරාජ් මහතා තමන්ගේ වෙබ් අඩවියේ කේ පි ඇතුළු රඳවා සිටින හිටපු කොටි සාමාජිකයන් යුද්ධයෙන් අනාථ  වූ දරුවන්ට උදව් කරන බව ලියා තිබුණි. ඒ සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ උදව් ඇතුව NEDRO නම් සංවිධානයක් පිහිටුවා තිබුනු බවක් සඳහන් විනි. ජෙයරාජ් මහතා දුන් තොරතුරු අනුව  මේ දරුවන්ට උදව් කිරීමට අප තීරණය කෙළෙමු. මෙයට හේතුව යුද්ධය පැවති කාලයේ සුනාමියෙන් පසු උතුරේ හෝ නැගෙනහිර දරුවන්ට උදව් කිරීමට තැත්  කල මුත් එයට අවස්ථාවක්  නොලැබුණු හෙයිනි. ඒ අවස්ථාවේ ළමයි සඳහා වන මුදල් විමුක්ති කොටි සංවිධානය යටතේ ඇති සංවිධානයකට බැර කරන ලෙස අපට දැන්වූ  පසු අප එය ප්‍රතික්ෂේප කල හෙයිනි. එංගලන්තයේ තහනම්,  දේශපාලන වශයෙන් ත්‍රස්තවාදී යයි සැලකෙන සංවිධානයකට අනුබද්ධ ආයතනයකට අප සහයෝගය නොදක්වන බව කී  පසු ඔවුන් කිවේ උතුරේ හැම දෙයකම පාලනය ඔවුන් යටතේ පවත්නා බවයි.   
යුදයෙන් පසු සුනාමියෙන් වුවක් මෙන්ම දෙමාපියන් අහිමිවූ දරුවන් බොහොමයක් සිටින බව අපට  දැන ගන්නට ලැබුණි. ඒ නිසා NEDRO හරහා අපි ඔවුන්ට පොත්පත් , පාසැල් බෑග් යනාදිය පිරි නැමුවෙමු. පහත ඇත්තේ ඒ පින්තුරයි. NEDRO මුලිකයා  වශයෙන් කුමාරන් පත්මනාදන් (කේ පී) ද එයට සහභාගී වුනි. ඔහු එවිටත් හමුදාව යටතේ සිටි අතර මෙසේ සහභාගී වුයේ ආරක්ෂක අමාත්‍යංශයේ අවසරය සහිතව  යයි සිතමි.



මෙයින් පසු මා කලේ මා  දන්නා හඳුනන දෙමල ඩයස්පෝරාවේ යහළුවන්ට මේ ගැන කියා ළමයින් සඳහා උදව් ඉල්ලීමයි. බොහෝ අය ගත් කටටම කිවේ ඒ සල්ලි ගෝටාගේ සාක්කුවට යන බවයි. මෙය ගෝඨාභය රාජපක්ෂ මතාගේ අවසරය ඇතිව කරන දෙයක් බව පැහැදිලි මුත් මුදල් යන්නේ ළමයින්ගේ සුභ සිද්ධිය සඳහා පමණක් බව මම පැහැදිලි කලෙමි. එසේම ඒ සඳහා වගකීමද භාර ගතිමි. නමුත් කිසිවෙක් සුබසාධකයන් (sponsor) වීමට කැමති වුයේ නැත. "ඔබලාට දකුණේ බෝම්බ පුපුරන්නටත් , වෙනම රටක් හැදීමටත් මුදල් යවත හැකි වුවත්, ඔබගේ ළමුන් එංගලන්තයේ හොඳින් ඉගෙනීම ලබද්දී, ජීවිතය සතුටෙන් ගෙවද්දී, තමන්ගේ වරදකින් තොරව අසරණ වුනු  මේ ළමයින්ට  උදව් කිරීමට නොහැක්කේ මන්ද යයි "මම එක දෙමල පරිගණක ඉන්ජිනේරුවෙකුගෙන් ඇසුවෙමි. ඔහු අදටත් මා  සමග කථා  කරන්නේ නැත. 
දැන් විජිත හේරත් මහතා  ප්‍රමුඛ ජවිපෙ කේ පී ට දඬුවම් කරන්නට උසාවි නියෝගයක් ලැබීමට ගොස්ය. මා මෙහිදී කේ පී වත් කරුණාවත් නිදොස් කරන්නට කතා නොකරමි.  කරුණා කැඩුනේ රනිල් වික්‍රමසිංහ ගේ සාම ගිවිසුම් කාලයේ බවත් චන්ද්‍රිකා රජය කරුණාගේ උදව් ගැනීම ප්‍රතික්ෂේප කල බවත් සඳහන්ය. වෙරුගල් නදිය අසලදී කරුණාගේ ළමා සොල්දාදුවන් LTTE ය විසින් මරා දැමු පසු කරුණා ශ්‍රී ලංකා හමුදාවන්ට එකතුවූ බවත් ඔහු යුද්ධයේදී කිසියම් මෙහෙයක් කල බවත් හැමෝම දනිති. එදා හෙළ උරුමයට හෝ ජවිපෙට මේ ගැන ප්‍රශ්නයක් තිබ්බේ නැත. 
මේ දේශපාලන ගේම් එක තව දුරටත් ගෙන යා  යුතුද? කල යුතුව  ඇත්තේ reconciliation commission හෙවත් සංහිඳියා කොමිසමක් පිහිටුවා එයට නෛතික බලයද දී කරුණාට හෝ  කේපීට මෙන්ම අනිත් වරද කරුවන්ටද දඬුවම් ලබා දීමයි. වහාම කල යුතුව ඇත්තේඅර අහිංසක ළමයින් මෙන්ම යුද්ධයෙන් වැන්දඹුවන් බවට පත්වූ දස දහසක් පමණ කාන්තාවන් හා ඔවුන්ගේ පවුල් ගැන සොයා බැලීමයි. 

මේ ගැන හොඳ වැඩ පිළිවෙලක් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉදිරිපත් කර තිබෙණු මම දුටිමි. ඒ අතර දෙමල වැසියන්ගේ නිවාස ප්‍රශ්න, වැන්දඹුවන්ගේ ප්‍රශ්න, ඉඩම් ප්‍රශ්න විසඳීමට වැදගත් යෝජනා තිබුණි.  ඔවුන් ස්වයං නිර්ණනය ප්‍රශ්නය මෙන්ම සමාජවාදය එනතුරු බලා නොසිට ප්‍රයෝගික වැඩ පිළිවෙලක් ඉදිරිපත් කර ඇත. 
ලන්ඩනයේ පැවති  එක්තරා සම්මන්ත්‍රණයකදී LTTE යෙන් මරා දැමූ රාජිනී තිරානගමගේ සොහොයුරිය නිර්මලා රාජසිංහම් පැමිණ සිටිනු දුටුවෙමි. නිර්මලා රාජසිංහම් යනු LTTE යේ උදව්වෙන්  වැලිකඩ බන්ධනාගාරයෙන්පැන  ගිය, එහෙත්  පසුව LTTE යෙන් ඉවත්වූ අයෙකි. ස්වයං නිර්ණනය හා වෙනම රටක්  පිලිබඳ ඇගේ දැන් ස්ථාවරය  කුමක්දැයි ඇසුවෙමි. ස්වයං නිර්ණනය ගැන කතා නොකරන බවත් දැන් ඇත්තේ දෙමල වැසියන්ගේ ප්‍රශ්න  නිරාකරණය කිරීමේ අවස්ථාවක් බවත් ඇය පැවසුවාය.
ප්‍රශ්නය ඇත්තේ එතැනය. මුළු උතරු නැගෙනහිර ජනතාවම  ඊලම් වාදීන් ලෙස සලකා මෛත්‍රීට  චන්දය දුන්නේ ඊලම පිහිටවන්න යැයි  ජාතිවාදීන් කෑ ගහන රටක කේ පී ට වඩා මේ අහිංසක දෙමල දරුවන්ටත් ඔවුන්ගේ පවුල්වලටත් ඇති ප්‍රශ්න නිරාකරණය කරමින් ඔවුනුත් ලංකාවේම වැසියන් බව ඒත්තු ගැන්වීම වඩාත් ප්‍රයෝගික බව මගේ හැඟීමයි. එසේම ජෙයකුමාරිට කිසිම චෝදනාවක් නැත්නම් ඇය  නිදහස් කර ඇගේ  දරුවා ඇයට  භාරදීම සඳහා ජවිපෙට ආණ්ඩුවට බල කළ  හැකියි. 

ප.ලි. 
අපගේ චැරිටි  පදනම ෂෙයාර් ඇන්ඩ් කෙයාර් යනුවෙන් හඳුන්වන අතර අප දෙමල ළමුන්ට පමණක් නොව සිංහල  ළමුන්ටද උදව් කළෙමු. (ජාතිවාදීන්ට මෙයත් ප්‍රශ්නයක් විය හැකි නිසා)හම්බන්තොට හා මාතර මෙවැනිම ළමා කඳවුරු පවත්වා  කොළඹ  ළමා පොත් සංගමය සමග පොතපත සපත්තු ආදිය බෙදුවෙමු.  2007දී සීදුවේ  ඇති හමුදාවේ විශේෂ බලකායට කිහිලිකරු වැනි උපකරණ පරිත්‍යාග කළෙමු.
පහත ඇත්තේ අප මාතර ප්‍රදේශයේ උදව් කල ළමුන් සමුහයකි. 

-- අජිත් 

නිර්මලා රාජසිංහම් ගැන  - https://www.opendemocracy.net/authors/nirmala-rajasingam

49 comments:

  1. ඔබ වැන්නන් ගේ මෙවැනි වැඩ ඉතා අගනේය.

    රජය සම්බන්ධ තැන් හරහා අසරණයන්ට මුදල් යැවීම, එල්ටීටීඊ සංවිධානය මගින් පාලනය වන සංවිධානයකට අසරණ සරණ පිණිස ුමදල් යැවීම තරමටම අනුවන ක්‍ර්‍රියාවකි.

    එනිසා, ඔබ සඳහන් කර ඇති පුද්ගලයාට වරදක් කිව නොහැක. ඔබ ප්‍රතික්‍ෂේප කළේද ඒ පදනම මත සිටමය.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.
      මෙහිදී කරුණු කීපයක් වැදගත් වුණා.
      1. අපට LTTE සංවිධානයට අනුබද්ධ white pigeon එකට මුදල් දෙන්න බැරි එය එංගලන්තයේ තහනම් කල සංවිධානයක් නිසා.
      2. එසේම එම සංවිධානයෙන් කිවේ මුදල් දෙන්න පමණයි. මොන ලමයටද මුදල් යන්නේ කියා හෝ ඒවා පරික්ෂා කිරීමට අපට අවසරයක් නැහැ.
      ඒ නිසා කවුරුත් ඒකට කැමති වුනේ නැහැ.
      3. නමුත් NEDRO රජය මගින් පාලනය වුවක් නොවේ. රජයේ අවසරය මත පාලනය වුවක්. ශ්‍රී ලංකා රජය හා LTTE ය මෙහිදී සම කල නොහැකියි. මුදල් යවන විට නෙද්රෝ හෝ නිතිගත් භාවය සම්බන්ධ ලියමනක් අපට යවන්නට සිදුවුණා. රජයේ අවසරය මත පාලනය වන තව බොහෝ පදනම් තිබෙනවා.
      4. අපට අවශ්‍යනම් කෙනෙකු යවා වියදම් පරික්ශා කිරීමටත්, sponsor ලා හට ළමයින්ගේ නම් වලින් හඳුනා ගැනීමටත්, ඔවුන් දැකීමට ශ්‍රීලංකාවට යාමටත් හැකියාව තිබෙනේව.
      5. අර ප්‍රතික්ෂේප කරපු තැනැත්තා ඉන්පසු දෙවරක් ලංකාවටත් උතුරටත් ගියා. ශ්‍රී ලංකා රජයට ගෙවා වීසා ලබාගෙන.

      Delete
    2. පැහැදිලි කිරීමට ස්තුතියි.

      මට ප්‍රශ්ණයක් වුනේ, NEDRO හි ප්‍රධානියා KP නම් එය රජයෙන් පරිබාහිර එකක් යැයී කීමට හැකිද යන්නයි.

      ඒ සමගම KP පාලනයේ තිබුණු LTTE මුදල්වලින් ද මේ සංවිධානය මූලිකවම චැරිටි වැඩ කළේ?

      ඒ කියන්නේ ඔය ඔබ කියන හිටපු මිතුරා ගේ මුදල් ද එහි තියෙන්නට ඇති නේද?

      Delete
    3. ඉතාමත් හොඳ ප්‍රශ්නයක්.
      1. කේපී රජයේ කියන්නේ කොහොමද?
      2. රජය යටතේ ලියාපදිංචි කිරීම කියන්නේ රජයට අනුබද්ධ වීම නොවේ. හැම පදනමක්ම ශ්‍රී ලංකා රජය යටතේ ලියා පදිංචි විය යුතුයි.
      //ඒ සමගම KP පාලනයේ තිබුණු LTTE මුදල්වලින් ද මේ සංවිධානය මූලිකවම චැරිටි වැඩ කළේ? //
      මේක මම දන්නේ නැහැ. දන්නා තරමින් නැහැ. LTTE මුදල් දමන්න මෙය පාවිච්චි කලාද කියා ජවිපෙට හෝ නව රජයට සොයා බැලිය හැකියි. මේ ලිපි ලියන්නෙත් ඒ නිසා තමයි.
      //ඒ කියන්නේ ඔය ඔබ කියන හිටපු මිතුරා ගේ මුදල් ද එහි තියෙන්නට ඇති නේද?// එහෙම වෙන්නේ LTTE මුදල් එහි තිබෙනවානම්. පලවෙනි ප්‍රශ්නයට උත්තර දෙන්න පුළුවන් කමක් නැති නිසා දෙවෙනි ප්‍රශ්නයට උත්තර දෙන්නත් බැහැ. කවුරුහරි සොයා බැලිය යුතුයි. ඔබට පුලුවන්නම් උත්සාහ කරන්න.

      Delete
  2. /*...කල යුතුව ඇත්තේ reconciliation commission හෙවත් සංහිඳියා කොමිසමක් පිහිටුවා ...*/

    මෙන්න මේ වගේ එකක්ද?

    http://en.wikipedia.org/wiki/Lessons_Learnt_and_Reconciliation_Commission

    ???

    ReplyDelete
    Replies
    1. නැහැ. මම ලියා තිබෙනවා "නෛතික බලයද " දී කියා. වැරදි කරපු අයට දඬුවම් දීමට බලයකුත් මිනිසුන්ට ආරක්ෂාව සැලසීමට බලයකුත් දිය යුතුයි. නැත්නම් තේරුමක් නැහැ.

      Delete
  3. //"ඔබලාට දකුණේ බෝම්බ පුපුරන්නටත් , වෙනම රටක් හැදීමටත් මුදල් යවත හැකි වුවත්, ඔබගේ ළමුන් එංගලන්තයේ හොඳින් ඉගෙනීම ලබද්දී, ජීවිතය සතුටෙන් ගෙවද්දී, තමන්ගේ වරදකින් තොරව අසරණ වුනු මේ ළමයින්ට උදව් කිරීමට නොහැක්කේ මන්ද යයි "//
    අන්න නියම ප්‍රශ්නෙ.

    ReplyDelete
    Replies
    1. ඕක තමා මට තේරුම් ගන්න බැරිත්. දේශපාලන ව්‍යාපාරයකට උදව් කිරීම මට හිතා ගන්න පුළුවන්. නමුත් එයින් අසරණ වන ජනතාව ගැන සානුකම්පික හැඟීමක් නැතිවීම හිතා ගන්න බැහැ.

      Delete
  4. පෙරටුගාමින් හා ජෙප්පන් ජාතික ප්‍රශ්ණයේදි ධනාත්මක පැත්තක ඉන්න එක ළොකු දෙයක්.. ඊටත් වඩා වටින්නේ, රතනලා, චම්පිකලා දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ගැන කතා කිරීම. ඒ වගේම අමතක නොකළ යුතු කාරණයක් තමයි රටේ ජනතාවගෙන 50% හින්ගල කොටි කියන එකත්. අපේ යුතුකම තමයි මේ ලේ ඉල්ලා හඬන ජනතාවට නියම බෞද්ධයා කවුරුන්ද යන්න වටහා දීම.

    ඒ වගේම තව විශේෂ දෙයක් තියෙනවා. මුලින්ම කළ යුතු දෙයක් තමයි. හමුදාවේ හා පොලීසියේ අයට මේ ප්‍රශ්ණය ගැන අවභෝධයක් ලබා දීම. උතුරෙදි මා ලබපු පෞද්ගලික අත්දැකීම් අනුවයි ඒක කිව්වේ.

    ReplyDelete
  5. පලමු වරට ආවත් දිගටම එන්න තරම් වටිනවා ලිපිය
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මෙන්ඩිස් මහතාට. . මදාවි කියන්න වගේ මෙන්ඩාට

      Delete
  6. ප්‍රශ්නය ඇත්තේ අවංක භාවය පිළිඹදව බවයි මගේ හැගීම , දෙමල ඩයස්පෝරාවත් දෙමල දේශපාලකයන්වත්, සිංහල දේශපාලකයන්ටවත් ,සිංහල ජන සමාජයටවත් මේ ගැටලුව විසඳීමේ අවංක උත්සාහයක් තිබුනා යයි සිතිය නොහැක.

    ReplyDelete
    Replies
    1. දෙමල ඩයස්පෝරාවට වෙනම රටකුත් , සිංහල ඩයස්පෝරාවට හා සිංහලයන්ට සිංහල බෞද්ධ රටක් පමණකුත් අවශ්‍ය වෙනතුරු අවංක උත්සහයක් නොඑයි.

      Delete
  7. ඔබගේ මෙම සේවාව ප්‍රශංසනීයයි.මෙවැනි දේවල් වලට ආධාර කරන අයට තියන ප්‍රශ්නෙ තම මුදල් අවභාවිත වෙනවාද කියන එක
    මට නම් හිතෙන්නෙ වැඩි ප්‍රමාණයක් අවභාවිත වෙන බවයි

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන්. එංගලන්තයේ charity සල්ලි වලින් ගොඩක්ම යන්නේ administrative charges වලට. අපේ එකත් අපි දැන් නවත්තගෙන යනවා. ලංකාවට ආධාර අවශ්‍ය නැහැ කියල හුඟක් අය කියන්නේ. මධ්‍යම ආදායම් සහිත රටක්නේ දැන්.

      Delete
  8. අැත්තට ම ඔය දෙමළ ඩයස්පෝරාව කියන ඒක ඔයා දන්නවද???? ෙෆා්න් ගණුදෙනුවලින් උදව් ඉල්ලන්න තරම්......

    ReplyDelete
    Replies
    1. හා හා , ඉන්නේ ඩයස් ල එක්කනේ.

      Delete
  9. කේ.පීව නිතිය ඉදිරියට ගෙන ආ යුතුයි. එකේ තර්කයක් නැහැ.හමුදා රැකවරණය ලැබීමෙන් පසුව කේ.පි උතුරේ දරුවන් වෙනුවෙන් යම් දෙයක් කෙරුවාද ඒ දේවල් ඔහු ඇතුව හෝ නැතුව ඉදිරියට සිදු කල යුතුද වෙනවා.

    ප.ලි.
    අජිත් අයියාගේ ප.ලි.ය ඕනෙත් නැහැ මෙතනට...:)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. කේපී ඇතුළු සැම විශේෂ නීතියක් යටතේ විභාග කල යුතුයි නේද. අපරාධ යුක්ති විනිශ්චය කොමිසම වැනි. පලිය දැම්මේ ඉතින් ...............

      Delete
  10. මට තියෙන ප්‍රශෙන් යුද්දෙ අන්තිම මොහොත වෙනකල් ළමා සොල්දාදුවන් ලවා අති අමානුෂික ම්ලේච්ච සටනක් ගෙන ගියපු, ළමයින් බල්ලන් සේ මැරෙන්නෙ ඇරපු, ළමයි ඇවිදින බෝම්බ බවට පත්කල කේ.පී ලාට, ළමයි ගැන දැන් මේ ඇතිවෙලා තියෙන අමුතු අනුකම්පාව මොකද්ද කියන එකයි. ඒක පිටට පෙන්නනව වගේම සැබෑවක්ද??

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ මෙහෙමයි. අපේ බෞද්ධ දාර්ශනික පැතුම් හේරත් කියනවා වගේ කේපීට එන්න ඇති මොහොතක්. අර පරාජයක් වගේ ලොකු සිදුවීමක් වුණාම මිනිස්සුන්ට එන්නේ හැඟීමක් එන වෙලාවක්. "අනේ දෙයි හඳුරුවනේ මම මොකක්ද මේ කලේ " වගේ එකක්. මම අහපු විධිහට ගෝඨාභය මහතා ඉදිරියේ හඬපු කේපී කිවලු මට මුකුත් එපා අපි නිසා අසරණ වුන මිනිස්සුන්ට උදව් කරන්න දෙන්න කියල. ඇත්තද බොරුද කියල නම් දන්නේ නැහැ. අනික මිනිහව අධිකරණයට ඉදිරිපත් කල යුතුයි කියන මතයේ මමත් ඉන්නවා. (අන්තිම අවුරුද්දේ ප්‍රභාකරන් කේපිව අයින් කරලා පැරදෙන කොට ආයේ එන්න කියල තියෙනෙව.)

      Delete
    2. හරියට චණ්ඩාශෝක ධර්මාශෝක වෙච්ච වෙලාව වගේ. අනේ ඒක එහෙමම නම් හොඳයි. ඒත් ඉතින් මගේ ළමයි ටික බලාගෙන ඉන්නවා කිව්වට, ආයෙත් ළමයි කොටි කරනවද කවුද දන්නේ.

      Delete
    3. ඉතින් වැඩේ කේපී ගෙන් අරගෙන වෙන පදනමකට හරි එහෙම නැත්නම් ආණ්ඩුවේ ළමා ඒජන්සියකට හරි දුන්නම ඉවරයි නේ. මෙහෙම කලේ නැත්නම් ඉතින් කේපී කලේ නැතත් ඒක නැවතත් වෙයිනෙ.

      Delete
    4. ඕකනේ ඉතින් බැරි ... යන්තම් මොකක් හරි දෙයක් කතා කලොත් පට්ටන් දෙනවා .. එංගලන්තෙත් එහෙමද ? හෙහ් හෙහ් ..

      Delete
    5. අපට ඉන්න අයව අගය කරනන් එපයි. දැනුම කියන එක නිකං එන්නේ නැහැ. ඒකට වෙහෙස මහන්සි වෙන්න ඕනේ. ඉතින් ඒක අගය කරන්න ඕනේ.

      Delete
  11. //ස්වයං නිර්ණනය ගැන කතා නොකරන බවත් දැන් ඇත්තේ දෙමල වැසියන්ගේ ප්‍රශ්න නිරාකරණය කිරීමේ අවස්ථාවක් බවත් ඇය පැවසුවාය.//

    @අජිත්
    හුඟ දෙනෙකුට තේරෙන්නෙ නෑ LTTE ඩයස්පෝරාව උතුරේ හිස එසවීමට වඩාත්ම අකමැති TNA කියන එක. දැන් LTTE එකෙන් මිදිල උතුරේ බලය TNAට ලැබිල තියනව. ඔවුන් කැමති නෑ රුද්‍රකුමාර් වගේ කොටි උතුරේ ජනයා අතර වීරත්වයක් ලබනවට.
    කොහෙ හිටියත් කිසිම දේශපාලකයෙක් කැමති නෑ තමන්ගෙ බලය දියාරු කරගන්නෙ.
    TNAට ඕන උතුරේ වැසියන්ට ස්වයං පාලනයක් නෙමෙයි ඔවුන්ට ඕනැ උතුරේ බලය TNAට තියාගන්න.
    දකුණෙ සමහරුන්ට තේරෙන්නෙ නෑ උතුරෙත් දකුණෙ වගේම දේශපාලන ගේම් වෙන හැම දේටම වඩා ලොකුයි කියන එක

    ReplyDelete
    Replies
    1. රුද්‍රකුමාර නැතිවෙන්න පරාදයි උතුරු නැගෙනහිරින්. පොර අනාතයි. මේ පැත්තේ ඉන්න GTF කට්ටිය නන්නත්තාර වෙලා ඉන්නේ. වැඩේ කියන්නේ මෙහෙ ඉන්න දෙමල අය සහයෝගය දෙනවා වමේ පක්ෂ පෙරටුගාමී සමාජවාදී , ජවිපෙ, නසසප වගේ ඒවටත් ඊට වැඩිය දැන්.

      Delete
  12. අත්දැකීමෙන්ම දන්නවා කොටින්ව වඩාත්ම පිළිකෙව් කරේ ලංකාව තුල සිටි දැන උගත් දෙමළ ජනතාව.. අපි කොච්චර ගනන් හැදුවත් යුද්ධය නිසා වැඩියෙන්ම බැට කෑවෙත් දෙමළ ජනතාව. දෙමළ ජනතාවට ඕනෑ කොටින්ගෙන්, ත්‍රස්ථවාදයෙන් තොර දෙමළ පාළනයක්. ඒ සඳහා හොඳ අවස්ථාවක් දැන් උදා වෙලා තියෙනවා ටී.එන්.ඒ. එක හරහා.. අවස්ථාවෙන් ප්‍රයෝජන ගත යුතුයි. ජවිපේ හා පෙරටුගාමීන්ගේ අදහස් වලට ගරු කරනවා.

    එතකොට අජිත් අයියලාගේ චැරිටි වැඩේ නම් පංකාදුයි. ඇත්තටම උතුරේ වගේම දකුනෙත් ඉන්නවා හුඟක් උදවු අවශ්‍ය ළමයි. අපේ මස්සිනා එයාගේ ඔස්ට්‍රියන් යාලුවෝ වගයක් එක්ක ඒ කාලේ ගොඩාක් ඔය වගේ ළමයින්ට උදවු කරා. මාත් පුළු පුළුවන් විදියට උදව් කරලා තියෙනවා. කාලෙකින් නම් ඒ වගේ වැඩකට දායක වෙන්න බැරි උනා. ඒක ලොකු පිනක්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත. මම එකයි වාමාංශික පක්ෂ වලට මේ ගැන හඬ නගන්න කියන්නේ. යුද්ද වලට අපි යන්නෙත් නැහැ. charity වලින් කරන්න පුළුවන් දේ සීමිතයි . නමුත් කරන අයව අගය කල යුතුයි ඔබගේ මස්සින වගේ අයව. පිළිතුරක් එනකන්වත් ඒ මිනිස්ස්සුන්ට බලාපොරොත්තුවක් දෙන්න එපායැ .

      Delete
  13. අජිත් අයියා ඔය බලාපොරොත්තු වෙන ජාතියේ සන්හිදියාවක්නම් කවදාවත්ම මේ ලන්කාවේනම් ඇතිවෙන එකක් නෑ අජිත් අයියේ.දකුණු අප්‍රිකා මොඩලයේ යුධාදිකරණයක් ලන්කාවේ ඇතිවෙන්නේ නෑ.අපි ලෙයට ලෙය ඉල්ලන සින්හළ බෞද්ධයෝනේ......

    ReplyDelete
    Replies
    1. හෙට හිරු පායන තෙක් අනාගත ..........
      බලාපොරොත්තුව අපට තියේ ...
      කෝ මේ සින්දුවා ?
      අපි කතා කරලා බේරාගමු මල්ලි. කතා කරලා බේරගන්න බැරි දෙවල් ලෝකේ නැහැ.

      Delete
  14. කේපී ගැන ජනතා විමුක්ති පෙරමුණ ප්‍රසිද්ධියේ පැමිනිල්ලක් කරලා තියෙන නිසා
    රජය මැදිහත් වී ඒ ගැන නීතිය අකුරට ක්‍රියාත්මක කල යුතුයි. එය රටේ ජනවාර්ගික සමගියට වැදගත්
    නැත්නම් දෙමලු නරක් වෙන්න පුලුවන්. මීට සමාන දෙයක් චන්ද්‍රිකා මිස්ටර් ප්‍රභාකරන් කීමෙදිත් වුනා
    චන්ද්‍රිකා මිස්ටර් ප්‍රභාකරන් කීමට වඩා වැරැද්දක් එසේ කීවේ සමච්චලයට යැයි කීමෙන් වුනා. චන්ද්‍රිකාට තිබුනේ මිස්ටර් ප්‍රභාකරන් කියන එක දිගටම කියන්න.
    ඒ වගේම මිස්ටර් විමල් වීරවංශ,මිස්ටර් මහින්ද ,මිස්ටර් පුතා ආදී වශයෙන් හැම පිරිමියෙක්ටම මිස්ටර් කීම.
    චන්ද්‍රිකාගේ තාත්තත් ඔය වැඩේම කලා එයා කොළඹදී එකක් යාපනේදී එකක් ආදී වශයෙන් එක එක කතා කීම නිසා දෙමෙල්ලු වල් වුනා.
    දෙමලෙක් වීම මත කේපීට කිසිදු වෙනසක් නොකල යුතුයි.
    නිර්මලා රාජසිංහම් ගැන කියනවා නම් එයා ස්වයං නිර්ණනය ගැන කතා නොකරනවා කියන එකෙන් එහෙම දේකට විරුද්ධයි කියන එක නෙමෙයි.
    ඊටත් වඩා එයා දෙමල වැසියන්ගේ ප්‍රශ්න නිරාකරනය කරගැනීම ගැන කීම ගැන සලකනවානම් ඒ කියන්නේ එයාට
    සිංහල මුස්ලිම් ඇතුලු අනෙක් පුද්ගලයන්ගේ ජීවිත වල වටිනාකමක් නෑ කියන එකයි. වෙනත් විදියකට කියනවා නම් එයා අමුම අමු ජාතිවාදියෙක්.

    මම කියවා තියෙනවා "මිනී අළු සහ ඌරු මස්" නැමති සෝවියට් කෙටිකතාව. එහි ලේඛකයා කතාවට කරුණු ලබා ගෙන තිබෙන්නේ දෙවනි ලෝක යුද්ධයට සහභාගි වීමෙන් ලද අත්දැකීම් වලින්
    එම කතාවේ සිටින ජර්මන් ගැමියන් ගේ හැසිරීමත් ලංකාවේ දෙමලාගේ හැසිරීමත් අතර වෙනසක් නෑ
    අනිත් වැදගත්ම කරුණ ලංකාවෙ දෙමලෙක්ට දෙමලෙක් ලෙස පවතින්නට නම් යම් සිංහල විරෝධයක් අවශ්‍යයි
    එවැන්නක් නැතිනම් ඔවුන් ක්‍රමයෙන් සිංහල ජාතියට මිශ්‍ර වීම වලක්වන්නට බෑ. දෙමළා සමඟ කරන ඕනෑම ගනුදෙනුවකදී මේ කරුණ මතක තබාගෙන සිටීම සිංහලයන්ට ප්‍රයෝජනවත්.
    මෙතනදී සිංහලයා තම්බියා වගේ වැඩකල යුතුයි.
    උදාහරණයක් හැටියට දෙමළ ජනතාවට අධාරයක් කරනවිට එය දෙමළ පුරුෂයාට එරෙහිව දෙමළ ස්ත්‍රිය බලගැන්වෙන ආකාරයට කල හැකියි.

    ReplyDelete

  15. Ajith Dharma30 January 2015 at 09:39
    රජය ඒ ගැන ක්‍රියා කලයුතුය කියන එකේ විවාදයක් නැහැ. (කේපී ට එරෙහිව) මේ ලිපියේ අදහස කේපීට සුදු හුණු ගෑම නොවේ. කවුරුත් කතා නොකරන අහිංසක ළමුන් කට්ටියක් ගැන කතා කිරීමයි.
    නිර්මලා රාජසිංහම් ජාතිවාදී නම් ඔබත් ජාතිවාදී විය හැකියි. ඔබ සිංහල අයගේ අයිතිවාසිකම් ගැන කතා කරනවා. ඇය දෙමල අයගේ අයිතිවාසිකම් ගැන කතා කරනවා. එක්කෝ ඔබ දෙදෙනාම ජාතිවාදීන්.නැත්නම් ඔබ දෙදෙනාම තමන්ගේ ජනවර්ගය පිලිබඳ හැඟීමෙන් කතා කරන අය.
    සාමාන්‍යයෙන් පිඩනයට පත් සුළුතර ජනතාවක් එයට එරෙහිව කටයුතු කිරීම ජාතිවාදී ස්වරුපයක් ගත හැකියි. බොහෝ වාමාංශික පක්ෂ එය වැළැක්වීම සඳහා එම පීඩනයට එරෙහිව අරගල කිරීම තමන්ගේ කොට සලකනවා. නමුත් ජාතිවාදීන් එයට කැමති නැති නිසා වාමාංශය මරා දමනවා. LTTE එක මහේෂ්වරන්ගේ සිට සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකයන් දක්වා වමේ අය මරා දැමුවේ ඒ නිසයි.
    දෙමළ ස්ත්‍රිය බලගැන්වෙන ආකාරයට කරන ඕන දෙයක් හොඳයි ඔවුන්දුෂණය හෝ හිංසාවට භාජනය නොකර .

    ReplyDelete
  16. මචෝ ඔන්න ආයෙත් බ්ලොග් එක ලියන්න පටන් ගත්තා...

    ReplyDelete
  17. මෙතනට එන මුල්ම දවස.. ඇත්තටම K.P. පුනරුත්තාපන කටයුතු හරි ආකාරව සිදු කරනවානම් ඒ ගැන කිසිම ගැටළුවක් නැහැ. අනිත් ය මොනවා කිව්වත් යුද්ධයෙන් පසුව දඬුවම් කල යුතු දේවල් ඒ දවස් වලම කරලා ඉවර කරන්න තිබුන. මම හිතන හැටියට දැන් K.P.ගේ වැරදි හොයල ඒවාට දඬුවම් දෙන්න කල් ගිහිං වැඩියි. ඒ කාලේ කරන්න තිබුණු දේවල් ඒවා නිත්‍යානුකූලව. ඔහුට අයත් යයි කියන සියලුම දේපල සූරන් කාල ඇති මෙලහකටත්. ඒවායේ පල ප්‍රයෝජන මේ දුප්පත් දරුවන්ට ලබාදෙන්න තිබුණු එක වලක්වාල ඒවා ටික හොරකම් කරගෙන ඔහුව නිකන්ම නිකමෙක් විදියට වන්නියට දැම්ම වගේ දෙයක් මට නම් පේන්නේ. ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්න වගේම සුභසාධනය කරන්න අපිට වැඩියේ දන්නේ ඒ මිනිස්සු. කල යුත්ත විදියට මම නම් දකින්නේ KP ගෙන් ප්‍රශ්න කරලා ඔහුගේ වත්කම් ගිය තැන වලින් ඒවා ලබාගෙන තමුන්ගේ ජනතාවට සේවය කරන්න මේ මනුස්සය කැමති නම් මොහු ගැන සොයාබලාගෙන ඒ දේවල් වල යෙදෙන්න ඉඩ දෙන්න ඕන කියන එකයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක සාධාරණයි. මේ මිනිහ හිරේට යයි කැමැත්තෙන්ම. සයනයිඩ් කනවට වඩා එක හොඳයි කියල එයා දනනවා. නමුත් අපි අර ළමයින්ව අමතක කරන්න නරකයි. කවුරුත් ඒ ගැන කතා නොකරන නිසයි ලිව්වේ. ස්තුතියි ආවට.

      Delete
  18. KP ල ගැන කරුණලා ගැන තවත් හාර හාර පලි ගන්න එක නම් වැඩක් නෑ කියලයි මම හිතන්නේ .. ඔවුන් තවදුරටත් යුද්ධය හෝ බෙදුම්වාදය වෙනුවෙන් කටයුතු කරනවා නම් ඒ වට අදාළව ක්‍රියා කරනවා මිසක් දැන් ආයෙත් පරණ කේස් ඇදල අරන් ඒ වෛරය ඇති කරන එක තේරුමක් නෑ කියලයි මගේ අදහස ..

    කොහේ ඉඳගෙන උනත් අසරණ ළමයින් ට උදව් කිරීම නම් මාර වටින දෙයක් .. ලොකු මිනිසුන් වගේ නෙවෙයි නේ ළමයි කිසිම වරදක් නැති අහිංසකයෝ ..

    ReplyDelete
    Replies
    1. අන්ගුලිමාලටත් සමාව දුන් ශ්‍රේෂ්ට දර්ශනයකට උරුම කම් කියද්දී නේද?

      Delete
    2. අංගුලි මාලට සමාව ලැබුනේ බුදුන්ගේ නිර්දේශය මතයි එතනදී අංගුලිමාල වෙනස් වුනා
      ඒ වගේම එතනදී බුදුන් හැම අපරාධ කාරයෙක්ටම සමාව දෙන්න ක්‍රියා කලෙත් නෑ අංගුලිමාල වෙනස් කෙනෙක් නිසයි එතනට මැදිහත් වුනේ
      ඒ වගේම ජේසුත් හැම වේසා ගෑනිම බේරන්න ක්‍රියා කලේ නෑ එක ගෑණියෙක්ගෙ විශේෂත්වයක් දැක්ක නිසයි එතනට මැදිහත් වුනේ ඒ නිසා විශේෂ සිද්ධියක් සාධාරණීකරණය කිරීම වැරදියි
      කේ පී ගැන කියනවනම් තිස්ස අත්තනායකට බලපාන නීතියම කේ පීටත් බලපෑ යුතුයි නැත්නම් ඒක වර්ගවාදී ලෙස වෙනස්ව සැලකීමක්

      Delete
    3. ඉහත ලිපියේ කිසිම තැනක කේපී ට නිතිය ක්‍රියාත්මක කරන්න එපා කියල නැහැ.

      Delete
  19. යුද්දය නිසා අසරණ වුනු ළමයි සහ වන්දබුවන්ට ජාති ආගම් භේදයකින් තොරව උදව් කල යුතුයි සහ නැවත ඔවුන්ව නගාසිටවිය යුතුයි කියන එක තමා මගෙ මතය. ඒ වගේම ත්‍රස්තවාදයට උදව් කල සහ සම්බන්ධව සිටිය අයට නිසි දඬුවම් දෙන්නත් ඕන. අජිත් අයියල ඒ කරපු සමාජ සත්කාර අගය කල යුතුයි. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඔය ළමයින්ට උදව් කලේ නැත්නම් ඔවුන් නැවතත් තල්ලු වෙලා යන්නේ කොතනටද නේද?

      Delete
  20. නිතරම ආ යුතු තැනක්!

    ReplyDelete
  21. ඔව් බං මාත් උදව් කලා ඩයස්පෝරා් බුවාලා සැට් එකකටම ලංකාවේ චැරිටි වැඩ කරන්න.. නියම පොරවල්.. මං කිව්වේ නියම මහත්වරු.. එක්කෙනෙක් ඩීඑන්ඒ සම්බන්ධ ලෝකයේ ඉන්න විශ්ෂ්ටයෙක්.. ඒ අය මගදි ආපහු හැරුනා.. අපේ සිංහල මිනිස්සු එ අයගේ සල්ලි අපහරණය කලා.. උන්ට එපා උනා

    ReplyDelete
    Replies
    1. ඕක තම අන්තිමට වෙන්නේ නේද?

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .