Friday 9 October 2015

කුලී හමුදාව, මිනීමරු හමුදාව , සුදු හමුදාව හා රතු හමුදාව

යුදෙව් සිර කඳවුරක් මුදා ගනිද්දී 
මිට අවුරුදු 33 කට පමණ පෙර මා දන්නා දෙමළ/සිංහල   ජාතික ධිවරයන් දෙදෙනෙකු  මන්නාරමේ සිටියහ. මා  එසේ කීවේ ඔවුන් මිශ්‍ර විවාහ වලින් උපන් අය නිසාය.  රාජුගේ පියා දෙමළ ජාතිකයෙකු වූ අතර මව සිංහල/දෙමළ මිශ්‍ර විවාහයකින් උපන් තැනැත්තියක වූවාය. ඔහුට  දෙමළ භාෂාව චතුර ලෙසද  සිංහල තරමක් දුරටද කතා කළ හැකි විය. ඔහුගේ යහළුවා වන විජේට සිංහල හා දෙමල හොඳින් කතා කල හැකි වූ අතර ඔහුගේ පියා  සිංහලද මව දෙමළද විය. ඔවුන් මෙන්ම තවත් ඇතැම් මන්නාරමේ  ධීවරයන්ද ඩයිනමයිට් දමා ඈත මුහුදේ මාළු මැරුණු පසු ඒවා දුම්රියේ පටවා  කොළඹ ගෙනවිත් විකුණා හොඳ ආදායමක් ලැබුහ.  මට මතක විධිහට මා ඩයිනමයිට් දමා මාළු ඇල්ලීමේ ආදීනව කියා දුන්නද ඔවුන් ට එය එතරම් තේරුනේ නැත. ජිවත් වීමට වෙන විධිහක් ඔවුන් නොදත්හ.  මේ දිනවල යාපනයේ යන්තම් කලබල පැවතියත් මන්නාරම සාමකාමී ප්‍රදේශයක් විය.

කොළඹ පැමිණෙන ඔවුහු ලැබුණු මුදල් වියදම් වනතුරු දෙමළ, හින්දි හා ඉංග්‍රීසි චිත්‍රපට නැරඹීම මෙන්ම හොඳ ආපනශාලා වලින් ආහාර ගැනීමද  කළහ. හොඳ නිවසක් සාදා ගැනීම, නිවසකට බඩු  භාණ්ඩ ගැනීම හෝ පොතක් පතක් කියවීම වැනි දේ ගැන කිසිම උනන්දුවක් නොදැක් වූ ඔවුන් කොළඹ  පැමිණි විට බොක්සින් තරඟ හා ෆපාපන්දු තරංග නැරඹීම විනෝදාංශයක් කර ගත්හ. ඔවුහු උද්යෝගිමත්ව දිරි දුන්නේ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම් වලටය. මේවා බලන්නට දෙමටගොඩ, කොම්පඤඤ විදිය ආදී පෙදෙස් වලින් පැමිණි දෙමල හා  මුස්ලිම් ක්‍රීඩා ලෝලීන් ද වඩා  සහය දුන්නේ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමටය. ඔවුන්ට මේ සිංහල භට කණ්ඩායමක් කියා හැඟීමක් නොතිබුණි. ඒ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමක්ම විය. මේ හමුදාව සිංහල යුද හමුදාව ලෙස දෙමළ මාධ්‍ය නම් කලේ පසු කලෙකය.

රාජු මෙන්ම විජේද අකමැති හමුදාවක් එකල තිබිණි. ඒ පොලිස් හමුදාවයි. එයට හේතු ලෙස ඔවුන්  කිවේ මෙවැනි කතාවකි. ඔවුන්ගේ ගමේ (මන්නාරම) පාරේ එනවිට කුලීනයන් එත් නම් අයින්වී ඉඩ දිය යුතුය. පොලිසිය එන්නේ නම් නගරයේ කාණුවට බැසිය යුතුය. ගමේ නම් පාරෙන් සම්පුර්ණයෙන්ම ඉවත් විය යුතුය. එසේ නොකරන විට ඊළඟ  දිනයේ  ඩයිනමයිට් තිබීමේ වරදට අල්ලා  ගෙන ජීප් රථයේ දමා  පහර දී එලියට දමති. නමුත් ඩයිනමයිට්  දමා අල්ලා ගන්නා මාළු වලින් කොටසක් හෝ ඉන් ලබන ආදායමින් කොටසක් නියමිත පොලිස් නිලධරයන්ට, ග්‍රාම සේවකට සහ තවත් වැදගත් අයටද දිය යුතුය.  රාජු මෙහිදී වඩාත් බැට කෑ අයෙකි. එක රාජන් (ඔහු සාජන් ට කිවේ රාජන් කියායි) මහත්තයෙක් ඔහු දුටු  තැනදී කම්මුලට ගසයි. ඔහු එයට හේතුව නොදනී.

පසු කලෙක යුද්ධය දරුණු වෙත්දී රැකියා විරහිත වුනු (ඩයිනමයිට් දමා මසුන් ඇල්ලීමට  නොහැකිය. නාවික හමුදාව මුර යොදා තිබුණි) ඔවුන් ගෙන්, රාජු දෙමල සටන් කාමී කණ්ඩායමකට බැඳෙද්දී විජේ සිංහල තරුණියක විවාහ කරගෙන කුරුණෑගල පැත්තේ පදිංචි විය. රාජු  හමුදාවේ හෝ වෙනත් සටන්කාමී කණ්ඩායමක වෙඩි පහරකට ගොදුරුවී මිය ගිය බව විජේ මගේ සොයුරාට හමුවුණු විටෙකදී  කියා තිබිණි. විජේ දෙමළ පෙදෙසකින් ආ  නිසා කුරුණෑගල දී කිසියම් හිංසාවන් වගයකට ද ගොදුරු වී තිබුණි.

හමුදාව පිළිබඳව දෙමල ජනතාව අප්‍රසාදය මුලින්ම  පල කලේ බ්‍රිගේඩියර් වීරතුංග මහතා ගේ සමයේ බව රාජු හා විජේ මෙන්ම තවත් කීප දෙනෙක්ම මට පැවසුහ. එක හේතුවක් නම් දෙමල සංවිධාන වල බැඳී සිටියයි හරියටම නොදැන වුවත්  දෙමළ තරුණයන් පිරිස් වශයෙන් ගෙන මුහුදු වෙරළේදී  වෙඩි තබා මරා දමන ලද නිසා යයි කියති. මට මෙය ඔප්පු කරන්නට සාධක නැත.

කුලී හමුදාව ?

කුලී හමුදාවක් කියා ලංකාවේ ඇතැම් අය  නම් කරන්නේ පඩියට රැකියාව කරන සොල්දාදුවන් සහිත හමුදාවකටය. එසේ බලන විට ශ්‍රී ලංකාවේ, ඇමෙරිකාවේ, එංගලන්තයේ, ජපානයේ, ඉන්දියාවේ හා වෙනත් යුරෝපීය රටවල සෑම හමුදාවක්ම  (යුද හමුදා, නාවික, ගුවන් හා පොලිස්) කුලී හමුදාවන් ය. ඔවුන් සියල්ලෝම රැකියාවක් ලෙස හමුදා සේවයට බැඳී ඇති බැවිනි.

මා  දන්නා පරිදි බහුතරයක් බ්‍රිතාන්‍යයන්  කුලී හමුදාවක් කියා බ්‍රිතාන්‍ය හමුදාවට අපහාස කරන්නේ නැත. ඒ වෙනුවට දකුණේ මෙන්ම වමේ නායකයන්ද ඔවුහු රට වෙනුවෙන් පළමුවන සහ දෙවන ලෝක යුද්ධ වලදී දිවි පිදූ බව සිහිපත් කරති. ඉන්දියාව, ඇමෙරිකා එක්සත් ජනපදය වැනි රටවලද එය එසේය. ඇමෙරිකානු හමුදාවට බොහෝ චෝදනා තිබේ. ඒ ඇමෙරිකානු විදේශ හා දේශපාලන ප්‍රතිපත්තීන් නිසාය . බොහෝ වාමාංශික කොටස් ඔවුන්ගේ කටයුතු ගැන  චෝදනා කරති. නමුත් පඩියට රැකියාව කරන හමුදාවක් වුවද ඔවුන් ජීවිතය පුජා කරන්නේ තමන්ගේ රටේ දේශපාලන හා හර පද්ධතීන් වෙනුවෙනි. ඇමෙරිකානුවන් ගෙන් බොහොමයක් රජයට විනා  හමුදා භටයන්ට චෝදනා කරන්නේ නැත.

රුසියාවේ හමුදාවට අනිවාර්ය සේවය ඇතුලත්ය. එනම් සෑම වැසියෙක්ම අවම වශයෙන් අවුරුදු දෙකක් හමුදා සේවයේ යෙදීම අනිවාර්යය.  ඒ නිසා ඒ අය  කුලී හමුදා භටයන් නොවේ. (අර තර්කයට අනුව) නමුත් පුර්ණ කාලීන  හමුදා සේවයේ යෙදී සිටින සොල්දාදුවන් හා නිලධරයන් ගෙවීමක් ලබති. නැත්නම් ඔවුන් අඹුදරුවන් රක්ෂා කරමින් ජිවත් වන්නේ කෙසේද? පඩි ලබා සේවය කරන සොල්දාදුවන් කුලී හේවායන් ලෙස සලකා  නිග්‍රහ කරන රුසියානුවෙක් නැත.

 රුසියානු හමුදා චෙචේනියාවේ වැසියන්ගේ මානව හිමිකම් උල්ලංඝණය කල බවට චෝදනා තිබේ. මෙයට වැරැද්ද පැටවිය යුත්තේ ඔවුන් චෙචේනියාවේ යුද්ධයට මෙහෙයවූ පූටින්ට  සහ රුසියානු රජයටයි. සොල්දාදුවා වැරදි කරුවෙකු වන්නේ තමන් ගේ අණට එපිටින් ක්‍රියා කරමින් අහිංසක චෙචේන්  වැසියන් විනෝදයට වධ හිංසා පමුණුවා හෝ නිරපරාදේ ඝාතනය කලොත් පමණි. එවැනි කීප දෙනෙකු රුසියානු රජය අත් අඩංගුවට ගත්  බවට වාර්තා තිබේ.

කියුබානු හා ජර්මානු නීතිය අනුව අනිවාර්ය යුධ සේවයක් තිබේ. ඉන්පසු සිවිල්  රැකියාවකට ගිය හැකිය. කියුබාවේ පුර්ණකාලීන (විප්ලවකාරී ) හමුදාවට පඩි ගෙවනු ලැබේ. නමුත් ඔවුන් ඒ කාර්යය කරන්නේ රට වෙනුවෙන් බව කියුබානුවන්ගේ පිලි ගැනීමයි.

මිනීමරු හමුදාව 

ශ්‍රී ලංකා හමුදාවන්ට මිනීමරු හමුදාවක්  ලෙස නම් කරමින්  "අලුත් පරපුර" නමැති කණ්ඩායමක් අගෞරව කරන බව යහළුවෙක්  කණගාටුවෙන් මෙන් පැවසීය. සොයා බැලීමේදී මා දන්නා හඳුනන අයද  මේ "පරපුරේ" සිටින බව දැන  ගතිමි.  මා  සිතන විධිහට ඔවුන් මේ නාමය භාවිතා කරන්නේ වාර්ගික යුද්ධයේ අවසන් සමයේ සිදුවූ සිවිල් වැසියන් ගේ ඝාතන  සැළකිල්ලට ගෙන  මෙන්ම 87-89 කාලයේ සිදුවූ මිනීමැරීම් ගැන අවධාරණය යොමු කරමින් බව දැන  ගතිමි.

ජවිපෙ කැරැල්ල සමයේ ඝාතනය කිරීම් බොහොමයක් සිදු කලේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට සම්බන්ධ අවිගත් කණ්ඩායම්,  ස්වාධින ශිෂ්‍ය සංගමයට හා ඇතැම් වාමාංශික පක්ෂ වලට සම්බන්ධ අවි ගත් කණ්ඩායම්, පොලිසියේ හා හමුදාවේ  තෝරාගත් කණ්ඩායම් විසිනි. ඒ ජවිපෙ, වාමාංශික පක්ෂ හා රජයේ දේශපාලන බලපෑමෙනි. ත්‍රිවිධ හමුදාවේ මේ හා සම්බන්ධ කණ්ඩායම් වලට චෝදනා  කරනු විනා මුළු හමුදා  තුනටම චෝදනා එල්ල කිරීම තේරුමක් නැති දෙයකි.

පළමුවෙන් ම විමසිය යුත්තේ හමුදාවකට ආයුධ  නිකුත් කරන්නේ කුමකටද යන්නය. ආයුධ දී  තිබෙන්න උඩ පැන පැන  සෙල්ලම් කිරීමට හෝ උත්තමාචාර වල ගෙන යාමට නොවේ. මිනිසුන් මැරීමටය.  එසේ ආයුධ  සපයා තිබෙන්නේ නිත්‍යානුකූලව ය.  ඒ  බාහිර තර්ජනයකින් රටක් රැකීමට හෝ රජයක් විසින් අවශ්‍ය යයි සිතන අවස්ථාවල කැරලි මැඩ පැවැත්වීමට මෙන්ම නීතිය පවත්වා ගෙන යාමටය. නිලධාරී නියෝගයකින් එම ආයුධ වලින් කරන වෙඩි තැබීමක් මිනීමැරීමක් වන්නේ එම නියෝගයට  නිත්‍යානුකුල භාවයක් නොමැති නම් පමණකි.  නිලධාරීන් නියෝගයක් දෙන්නේ තමන්ට ඉහල නිලධාරියෙක් හෝ ජෙනරාල්වරයෙක්  (ලංකාවේ මේජර්  ජෙනරල් හා බ්‍රිගේඩියර් නිලයන් ) කරන නියෝගයකට අනුවය. එසේ අවසරයක් නොමැති තැන ඔවුන් සිවිල් වැසියන් මරා දමත් නම් එය මිනි මැරීමකි. ජෙනරාල් වරුන්ට (ලංකාවේ මේජර්  ජෙනරල් හා බ්‍රිගේඩියර් නිලයන් ) හා අනිකුත් උසස් නිලයන්ට අවශ්‍ය නියෝගය ලබා දෙන්නේ දේශපාලන නායකත්වයයි. එනම් රාජ්‍ය නායකයා, පාර්ලිමේන්තුව සහ ආරක්ෂාවට අදාළ අමාත්‍යවරුන්ය. ඉතින් සිවිල් වැසියන් මරා දැමීමක් සිදු වුනි නම් මිනීමරු නාමය රජය විසින් භාර ගත යුතුය. ඒ සඳහා පවත්වන ඕනෑම අධිකරණ කටයුත්තකදී තමන් ගේ නියෝගය සාධාරණිකරනය කරන්නට වන්නේ රාජ්‍ය නායකත්වයටය.

හමුදානායකයන් හෝ භටයන්  වරදකරුවන් වන්නේ ඔවුන් එම නියෝගයන්ට එපිටින් ගොස් මිනි මැරුවොත් පමණය. වාර්ගික යුද්ධයේදී එසේ සිදුවුවා  නම් එසේ අණ  ඉක්මවා කටයුතු කල නිලධාරීන්ට දඬුවම් කිරීම සාධාරණය. නමුත් යුද්ධයට සම්බන්ධ වූ සියලුම හමුදාවන්ට මිනීමරු ලේබලයක් ඇලවීම මුග්ධ කමකි. හේතුව මුළු හමුදාවක් පිහිටුවා ඇත්තේත් ඔවුන්ට ආයුධ ලබාදී ඇත්තේත් ජනතාව චන්දය දී පත් කල රජයක් රැකීම වෙනුවෙන් නිසාය.

ද්‍රවිඩ ඊලාම් විමුක්ති කොටි සංවිධානය ආයුධ ගත්තේ තමන් නියෝජනය කල ජනතාවට වූ අසාධාරණ වලට සටන් වදින්නටය. එය දේශපාලන හේතුවක් මත කල දෙයක් නිසා හමුදාවන් සමග සටන් කල ඔවුන්ට මිනීමරු හමුදාවක් කියා නම් කල නොහැකිය. නමුත් ඔවුන් නීතිය (පවතින)  ඉක්මවා යමින් දෙමළ සහ සිංහල සිවිල් වැසියන් ඝාතනය කළහ.  එතැනදී ඔවුන් ආයුධ  භාවිතා කලේ නීතිය ඉක්මවා මිනී  මරන්නටය. එයට ඔවුන්ගේ නායකයන් වගකිව යුතු වේ. රජයේ දේශපාලන නායකයන් මෙන්ම කොටි  සංවිධානයේ නායකයන්ද මෙවැනි චෝදනාවන්ට පිළිතුරු දිය යුතුවේ.

පොලිසියේ නිලධාරියෙකු විසින් වරක් මට පැවසුයේ  තම අසල්වැසියෙක් සුළු හොරකමකට පොලිසියට අසුවුව හොත් බොහෝ අය පොලිසියට පැමිණ "රාළහාමි දෙකක් අනින්න " යනුවෙන් පවසන බවයි. හොරකමට ලක්වූ තැනැත්තා කඩ හිමියෙක් හෝටල් හිමියෙක් වැනි අයෙක් නම්, අල්ලා ගත්  එකාට  "දෙකක් ඇනීම " සඳහා පොලිස් නිලධාරීන්ට අරක්කු, හොඳ ආපනශාලා වකින් ආහාර රැගෙන දීම , වෙනත්  තෑගී ලබා  දීම වැනි දේ කිරීමට පවා ඔවුන් පෙළඹේ. ඔහුගේ මතයට අනුව  ජනතාව ගෙන් කොටසක්ද පොලිසියේ වැරදි හැසිරීමට අනුබල දෙති. පොලිසියේ මේ හැසිරීම් වලට වග කිව යුතු අනිත් කොටස නම් දේශපාලකයන්ය.  ඔවුන්ද නීති විරෝධී ලෙස හැසිරීමට පොලිසියට බල කරන බැවිනි.

සුදු හමුදාව සහ රතු හමුදාව

මිට කලින් ලිවූ බ්ලොග් ලිපියක ට්‍රොට්ස්කි යටතේ සෝවියට්  රතු හමුදා ජෙනරාල් ඇන්ටන් ඩෙනිකින් ගේ සුදු හමුදා (white army - දක්ෂිණ රුසියානු හමුදාව ) උක්රයිනයේ දී පරාජය කළ  බව ලීවෙමි.  අද්මිරාල් කොල්චාක් ගේ හමුදාව සයිබිරියාවේදී සෝවියට් රතු හමුදාව අතින් පරාජය විය. ඇමෙරිකන්, බ්‍රිතාන්‍ය, ප්‍රංශ, ඉතාලි, ජපන්, පෝලන්ත  ආධාර ලැබූ සුදු හමුදාවන් රතු හමුදාවට පක්ෂ ගොවින් සහ සාමාන්‍ය  වැසියන් මරා  දැමු අතර රතු හමුදාවන් ඔවුන්ට එරෙහි වූ සාමාන්‍ය  වැසියන් මරා දැමුහ. මේ යුද්ධයෙන් මියගිය ගණන  මිලියන් 7 - 12 අතර වේ. ඉන් වැඩි ප්‍රමාණයක් සාමාන්‍ය සිවිල් වැසියන්ය. සෝවියට් රතු හමුදාව හා සුදු හමුදාව මිනීමරු හමුදා විය යුතුය. මේ දෙපාර්ශවයම තම හමුදාවන්ට  එසේ කියා ගත් තැනක් නැත.

දෙවන ලෝක යුද්ධය 

දෙවන ලෝක යුද්ධයේ දී ජර්මානු නාසි එස්එස් භටයන් කරන ලද දරුණු ක්‍රියා ඉතා ප්‍රසිද්ධය. ඔවුන් නැගෙනහිර යුරෝපයේ හා රුසියාවේදී දරුණු ලෙස සිවිල් වැසියන් ඝාතනය කල අතර ස්ත්‍රී දුෂණය අවියක් ලෙස භාවිතා කළහ.  නාසි පක්ෂයේ හා එස්එස් හමුදාවේ බලපෑමෙන් වූ යුදෙව්වන්ටද දුන් වධ බන්ධන සහ  ඝාතන බොහෝ ඉතිහාසඥයන් විසින් ලියා පල කර තිබේ. ජර්මානු යුධ නිලධාරීන්ට දෙවන ලෝක යුද්ධය මෙහෙයවීම පිළිබඳ නියුරම්බර්ග් යුධ අධිකරණයේ නඩු පැවරුණි. බොහොමයක් ඒවා යුද්ධය  මෙහෙයවීම හා යුදෙව් ඝාතන පිලිබඳ චෝදනා වූ අතර සෝවියට් දේශයේ හා සමහර නැගෙනහිර යුරෝපිය රටවල සිදුවූ ඝාතන හා ස්ත්‍රී දුෂණයන් සැලකිල්ලට නොගැනිණි.  ජපාන හමුදා ද මෙයට නොදෙවැනි ලෙස සිර කරුවන් ඝාතන, ස්ත්‍රී දුෂණ කළහ.

දෙවන ලෝක යුද්ධය නිම වන අවධියේ දචෞ (Dachau) වධ කඳවුරේ හි යුදෙව් සිරකරුවන් හා මිනී  දැක කෝපයට පත්  ඇමෙරිකානු හමුදා  යටත් වූ ජර්මන් සොල්දාදුවන් සියල්ල ඝාතනය කරන ලදී. මෙය යුද අපරාධයක්  ලෙස සැලකුනද ඇමෙරිකානු සොල්දාදුවන් ට දඬුවම් නොකරන ලදී. ඇමෙරිකන් හමුදා ජෙනරාල් ජෝජ් පැටන් සොල්දාදුවන්ට සමාව දී ඇමෙරිකාව බලා යැවීය.

අවුරුදු පහක් තිස්සේ දරුණු යුදයක සිර වී සිටි සෝවියට් රතු හමුදා ස්ටාලින්ග්‍රාඩ් ජයග්‍රහණයෙන් පසු ජර්මනිය දක්වා ගමන් කල ජයග්‍රාහී ගමන පිලිබඳ ඉතිහාස කතාවේ සඳහන් නොකරන කරුණක් නම් රතු හමුදා අතින් දුෂණය වූ මිලියන් එකක් පමණ කාන්තාවන් ගැනය. ඒ ගමනේදී ඔවුන් හංගේරියාව, බල්ගේරියාව, පෝලන්තය ආදී රටවල් පසු කර පැමිණි අතර ඒ හැම තැනදීමත් හා ජර්මනියේ දීත් ඔවුන් විසින් ස්ත්‍රීන් බොහෝ ගණනක් දුෂණය කරන ලදී. මරා දැමුණු සංඛ්‍යාවක් ද තිබුණු අතර  එසේ මිනි මැරුමක් වූ විටදී පමණක් අදාල සොල්දාදුවා සිරගත කරන ලදී. ස්ත්‍රී දුෂණ යුදයකදී සිදුවන සාමාන්‍ය දෙයක් ලෙස සෝවියට් ජෙනරාල්වරු සිතූ  බව පෙනේ.

හමුදා සම්බන්ධ ඉතිහාසවේදියෙකු වන ස්ටාලින්ග්‍රාරඩ් , බර්ලින් නමැති කෘති වල කර්තෘ ඇන්තනි බිවර් මෙසේ කීය.
"අතීතයේ මා යන්තමින් මෙන් ඇදහූ අදහසක් වූයේ සෑම පිරිමියෙක්ම යම්තාක් දුරට දුෂකයෙක් (ස්ත්‍රී) වන්නේය යන්නයි. මගේ අවසන් නිගමනය වන්නේ හමුදා විනයක්  නැත්නම්, හැම පිරිමියෙක් අතම ආයුධයක් ඇත්නම්, අවුරුදු දෙක තුනක දීර්ඝ යුද්ධයකින් ඔවුන් අමානුෂික වී ඇත්නම් එවැනි සෑම පිරිමියෙක්ම ස්ත්‍රී දුෂකයෙක් වන්නට අවකාශ ඇත යන්නයි."

ඔහු මෙසේ කිවේ දහස් ගණනක් යුද්ධය සම්බන්ධ  සෝවියට් ලිපි ලේඛන  හැදෑරීමෙන් පසුවයි. ඇමෙරිකානු හා බ්‍රිතාන්‍ය හමුදා තමන් මුදා ගත්  පෙදෙස් වල එසේ ස්ත්‍රී දුෂණ කල බවට සාක්ෂි නැත.  එසේම කිව යුත්තේ ජර්මානු හමුදා හෝ එස් එස් භටයන් ඇමෙරිකානුවන්ට හෝ බ්‍රිතාන්‍ය ජාතිකයන්ට විරුද්ධව සෝවියට් වැසියන්ට තරම් අමානුෂික ලෙස සැලකුවේද නැත යන්නය.

මිනීමරු හමුදා නොවේ නම් යුධ අපරාධ අධිකරණයක් අවශ්‍යද? 

හමුදාවකට ආයුධ සපයන්නේ මිනි මැරීමට මිස සෙල්ලම් කිරීමට නොවන බව මම කලින් පැවසුවෙමි. එසේ කියන්නන් (අලුත් පරපුර වැනි ) තමන් ගේ රජයක් පත් කර ගත්විට ඔවුන්ගේ එම රජයේ ආරක්ෂාව සඳහාද හමුදාවක් පිහිටුවීම අත්‍යාවශ්‍ය  වනු ඇත. එසේ පිහිටුවන රජයකට ආයුධ සැපයීමද අත්‍යවශ්‍ය වනු ඇත. සතුරු ආක්‍රමණයකදී ඒවා භාවිතා වනු ඇත . එනම් සතුරා මරා  දැමීමට සිදු වනු ඇත.

සෝවියට් දේශයේ සිටියදී කියවූ පොතක හෝ ලිපියක තිබුනේ හමුදාවක්  යනු මනෝ මූලික ප්‍රපංචයක් වන අතර එය නිෂ්පාදන සබඳතා මත රඳා පවතින ශ්‍රමිකයන් කණ්ඩායමක් නොවන බවයි.  ඓතිහාසික භෞතිකවාදයේදී සමාජ පරිණාමය දයලෙක්තික භෞතිකවාදය ආශ්‍රිතව විග්‍රහ කරන විට හමුදාවක පරිණාමයක් ගැන නොකියවේ. හමුදාවක් ඇති කර ගැනීමට,  ඒ සඳහා අවශ්‍ය ධනය හා ද්‍රව්‍ය (ආයුධ, රථ වාහන, භුමිය සහ මිනිසුන්) ඇත්නම් ඕනෑම බලවත් කෙනෙකුට කල හැකිය. වැඩවසම් සමයේ ප්‍රාදේශීය හමුදා පැවතියේ මේ අනුවය. මේ අනුව බලන විට  හමුදාවක කාර්යභාරය නිර්ණය කරන්නේ එය පිහිටුවා ගත් බලවත් තැනැත්තා හෝ රාජ්‍යයයි.
ශ්‍රී ලංකා හමුදාවේ උදව්වෙන් ...


යුධ අපරාධ අධිකරණයක් අවශ්‍ය වන්නේ හමුදාවක් තම නියෝග පැහැර  හරිමින් ස්වාධීනව ක්‍රියා කරන්නේ නම්ය. හමුදාවක් සාමාන්‍ය නීතියට එරෙහිව නියෝග පිළිපැද්දා  නම් එවිට නියෝගය දුන් අධිකාරිත්වයට එරෙහිව සිවිල් නීතිය ක්‍රියාත්මක කල යුතුය. යුද තත්වයකදී සාමාන්‍ය නීතිය වෙනස් කම් සහිතව ක්‍රියාත්මක වේ. (ත්‍රස්ත විරෝධී මර්දන පනත්, වෙනත් යුද නීති  වැනි) . යුධ අපරාධ අධිකරණයක දී එවන් තත්වයන් සලකා බලනු ලැබේ.

පහත සඳහන් වීඩියෝ දෙක බලන්න. මේවායේ  එල්ල කරන චෝදනා විභාග කල යුත්තේ ඇයිදැයි ඔබට වැටහෙනු ඇත. මුළු හමුදාවක් ම  අපහාසයට පත් නොකර ශ්‍රී ලංකාවට එය කල හැකිය.

https://vimeo.com/138026018



මෙහිදී මින් සමහර සාක්ෂි කරුවන් ශ්‍රී ලංකාවට පැමිණීමට දක්වන බිය සාධාරණ විය හැකිය. ඔවුන්ට අවශ්‍ය රැකවරණය දීමට නොහැකි නම් ඔවුන් සිටින රටේ සිට සාක්ෂි ගත හැකිය. නීතිය ඉක්මවා කටයුතු කල හෝ ස්ත්‍රී දුෂණ කල හමුදා නිලධාරීන්ට දඬුවම් පැමිණවීම තුලින් බොහෝවිට විනයගරුක හමුදාවල විනය හා නම රැක  ගත හැකිය.
ජිනීවා සමුළුවෙන් එම අවස්ථාව  ශ්‍රී ලංකාවට ලබා දී තිබේ. ශ්‍රී ලංකාවේ  සැබෑ සංහිදියාවක් ඇති කිරීමට අවශ්‍ය නම් 1980 සිට සිදුවූ සියලුම රජයේ හා සන්නද්ධ කණ්ඩායම් වල ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධ විමර්ශනයක් කර වරදකරුවන්ට දඬුවම් ලබා දිය යුතුය. එසේම වින්දිතයන් හා වරදකරුවන් මුණ ගස්වා සන්හිදියාවකට මුල පිරිය හැකිය. දකුණු අප්‍රිකාවේ හා රුවන්ඩාවේ මෙය සාර්ථක ලෙස අත්හදා  බලා ඇත.


මුලාශ්‍ර:
1. http://www.telegraph.co.uk/news/worldnews/europe/russia/1382565/Red-Army-troops-raped-even-Russian-women-as-they-freed-them-from-camps.html

2. http://www.dailymail.co.uk/news/article-3067988/Let-s-Nazi-dogs-Enraged-horrors-Dachau-concentration-camp-arriving-liberate-WWII-prisoners-American-soldiers-executed-50-Germans-cold-blood-reveals-new-book.html

3. https://vimeo.com/138026018





33 comments:

  1. මගේ අදහස් කීපයක් මෙසේයි.

    අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව, ආරක්‍ෂක අමාත්‍යවරයා, ජනාධිපතිවරයා නොවන්නේ නම්, ඔහුට, ත්‍රිවිධ හමුදාවට කෙලින්ම නියෝග නිකුත්කළ නොහැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව, සේනාධිනායක Commander in Chief වන්නේ, විධායක ජනාධිපති වරයාය. ආරක්‍ෂක ලේකම්ට නියෝග නිකුත් කිරීමේ කිසිදු බලයක් නැත. ඔහු කරන්නේ, සේනාධිනායකයාගේ නියෝග ක්‍රියාත්මක කිරීම පමණි. එබැවින්, ජනාධිපති වරයා විසින් නිකුත් නියෝගයක් නොකළ අවස්ථාවක, ජනාධිපති නොවන ආරක්‍ෂක ඇමතිවරයාට සහ, අමාත්‍යංශ ලේකම් වරයකු වන ආරක්‍ෂක ලේකම් වරයාට, ස්වාධීන නියෝග නිකුත් කිරීමට බලයක් නැති අතර, එවැනි නියෝග ප්‍රතික්ෂේප කිරීමට ත්‍රිවිධ හමුදාපති වරුන්ට අයිතියක් ඇත.

    ජෙනරල් යන්න වෙනුවට, මේජර් ජෙනරල් යන්න යෙදුවොත් වඩාත් හොඳයි. ජෙනරල් නිලයේ ඉන්නේ සාමාන්‍යයෙන් ඒකාබද්ධ මෙහෙයුම් ආඥාපති ය. Chief of Defence Staff = CDS ඔහුටද ඉඳුරාම ත්‍රිවිධ හමුදාවට නියෝග නිකුත් කිරීමට බලයක් නැත. මේජර් ජෙනරල් වරයකු යනු හමුදා සේනාංකයක Division අධිපති වරයාය. ඔහුටද, තමන්ගේ අභිමතය පරිදි, යුද්ධයේ යෙදීමය නොහැකි අතර තම යුද සැලසුම්, හමුදා මූලස්තානයෙන් අනුමත කරගත යුතුය.

    මේ වීඩියෝ වල ඇත්ත සහ බොරු දෙකම තිබේ. නොපමාව පරීක්‍ෂණයක් කොට ඇත්ත හෙළිකරගත යුතුය.

    ReplyDelete
    Replies
    1. ඔබේ අගනා කොමෙන්ටුවට ස්තුතියි විචාරක මහතා. මෙහි දෙවන කොටසේ කුමන තැනද මේජර් ජෙනරාල් වශයෙන් ලිවිය යුත්තේ. රතු හමුදා ඩිවිෂන් මෙහෙය වුයේ ජෙනරාල්වරු. ජර්මන් ඩිවිෂන් නුත් එහෙමයි. උදාහරණ වශයන් ජෙනරාල් ශුකොව් , ජර්මන් ජෙනරාල් වොන් පවුලස් ආදීන් . ලංකාවේ මෙහෙයුම් ගැන මම සඳහන් කර නැහැ. ඔබ හරි එතන. ලංකාවේ හමුදා රෑන්ක්ස් ගැන මට වඩා ඔබ හුඟක් දන්නා බව පිලි ගන්නවා.

      Delete
    2. නැහැ නැහැ අජිත් දැන් ආයේ මොකුත් වෙනස් කරන්න එපා. ඔබ ජාත්‍යන්තර තලය සිතේ තබාගනිමින් ලංකාවේ තත්වය ගැන ලිව්වා. මා තනිකරම ලංකාවේ මට්ටමෙන් අදහස් කිව්වා. එපමණයි වෙලා තියෙන්නේ. ඒ නිසයි මා කිව්වේ ජෙනරල් වෙනුවට මේජර් ජෙනරල් කියා යෙදුවොත් වඩාත් හොඳයි කියා. එහෙම නොයෙදුවත් ලිපියේ සමස්තයාර්ථයට එයින් බරපතළ හානියක් වන්නේ නැහැ.

      Delete
    3. එවන් තැනක මෙසේ දැම්මා. (ලංකාවේ මේජර් ජෙනරල් හා බ්‍රිගේඩියර් නිලයන් )

      Delete
  2. ලිපිය ඉතාම වැදගත් අජිත් තව තවත් සිතන්නට අපව යොමු කරනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. මම වෙනත් මානයකින් මේ දිහා බලන්න පුලුවන්ද කියල බැලුවේ දෙපැත්තම අවබෝධ කරගෙන. .

      Delete
  3. ශ්‍රී ලංකාවේ සැබෑ සංහිදියාවක් ඇති කිරීමට අවශ්‍ය නම් 1980 සිට සිදුවූ සියලුම රජයේ හා සන්නද්ධ කණ්ඩායම් වල ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධ විමර්ශනයක් කර වරදකරුවන්ට දඬුවම් ලබා දිය යුතුය.

    ReplyDelete
    Replies
    1. ඔබ එකඟ වීම ගැන සතුටුයි.

      Delete
  4. රාජු වත් විජේ වත් බොහෝවිට අපේ ලොකු අයියා අඳුනනවා ඇති.. ඔය කියන කාලෙම එයා කෝච්චියේ තලෙමන්නරම් ගිහින් කරවල තොග ගෙනත් බදුල්ලේ බිස්නස් කරා.. :)
    මම තලෙයි මන්නාරමට යන කාලේ වෙනකොට ඒ මගේ හිතේ ඇඳිලා තිබ්බ පින්තුරේ එහෙම්පිටින්ම වෙනස් වෙලා :/
    යුද අපරාධ හා වීරක්‍රියා දෙක වෙනස් වෙන්නේ බොහොම සියුම් රේඛාවකින්.. හිතා මතා කරන පහරදීම්, බියවැද්දීම්, සොරකම්, මිනීමැරුම් හා ලිංගික හිංසන ආදියටනම් දැඩි දඬුවම් දිය යුතුයි කියන ස්ථාවරයේ මං ඉන්නේ.. මගේ පුද්ගලික අත්දැකීම් වලට අනුව ඔයාකාරයේ හිතා මතා කල 'යුධ අපරාධ' වැඩි හරියක් උනේ සහයක කණ්ඩායම් වලින් හැබෑ යුද්ධය හෙවත් අවි ගැටුම් නොමැති අවස්ථාවල හෝ අවසන් වූ පසුයි. යුධ භුමියෙන් මෙපිටත් තව බොහෝ අපරාධ වූ බවද අමතක කල යුතු නෑ.. කිවයුතු දේ බොහොමයි.. සංවේදී සටහනක්.. විශේෂයෙන්ම මුල හරිය.. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ඔය කරවල ගෙනියන කට්ටිය ගැන දැනන් හිටිය. නම් මතක නැහැ.

      Delete
  5. ..//ද්‍රවිඩ ඊලාම් විමුක්ති කොටි සංවිධානය ආයුධ ගත්තේ තමන් නියෝජනය කල ජනතාවට වූ අසාධාරණ වලට සටන් වදින්නටය. //..

    ඒවක සිටි පාලකයන්ගේ මේ සදහා වගකිව යුතුයි නේද?.ඔවුන්ගේ යම් යම් ක්‍රියාකාරකම් නිසා මෙම ප්‍රශ්න තවත් වැඩිවුනා.වාර්ගික අර්බුද,ඇතිකරලා දේශපාලන වාසි ලබාගන්න කටයුතු කරපු පිරිස් නිසා විශාල හානියක් රටට සිද්ධ වුනා.

    ReplyDelete
  6. දිග වැඩි උනත් කියෙව්වා...

    මම නම් කැමති ගැලවීමේ හමුදාවට...

    හමුදාව කියන නම් ඇතුලෙම තියෙනවා මහා භයංකර තත්වයක්...

    ReplyDelete
    Replies
    1. පුදුමයි මාතලන් මේ වගේ එකක් කියවනං ආපු එක. හමුදාවක් නොමැතිව රටක් ගෙනි යන්න පුළුවන් ස්විට්සර්ලන්තය වගේ

      Delete
    2. කියන්නකෝ අජිත් අයියා ඒ ගැනත් විස්තර ටිකක්.මම අහලා තියෙන විදියට තාමත් "ජපානයට"සන්නද්ධ හමුදාවක් තියා ගන්ට බැහැ.රටේ නිතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා පිහිටුවන ලද ඒකකයක් පමණයි "ලු"තියෙන්නේ.

      Delete
    3. ඒ කතාව ටිකක වෙන්න වැරදියි. ජපානයට හමුදාවක් තිය ගන්න පුළුවන්. ඔවුන්ට හමුදාව පිටරට deploy කරන්න බැහැ . ඔවුන්ට ස්වයං ආරක්ෂාව සඳහා හමුදාවක් තිබෙනවා. එම හමුදාවට ලෝකයේ 10 වන තැන තමා ආරක්ෂක වියදම. ලෝකයේ තාක්ෂණික මෙවලම් අතින් ඉතා දියුණු හමුදාවක්. ඒ නිසා හමුදාවේ පිරිස අඩුයි. අනික ඇමෙරිකන් බේස් තියන නිසා හා ඇමෙරිකානු නාවික හමුදාව රට වටේම ඉන්න නිසා ලොකු හමුදාවක් හා නාවික හමුදාවක් අවශ්‍ය නැහැ.

      Delete
  7. අළුත් පරපුර පටන්ගත්ත කාලෙ මටත් හිතුණෙ වෙනස් අදහස් තියෙන, මිනිස්සුන්ගෙ ආකල්පවල පොඩි හරි වෙනසක් කරන්න පුළුවන්, රැඩිකල් කණ්ඩායමක් කියල. හැබැයි පස්සෙ තේරුණා ඒකෙ සමහර අය ඕනවට වඩා දරුණු රැඩිකල් අන්තවාදයක ඉන්න අය කියල. ඕනම දේක අන්තවාදය කොහෙත්ම හොඳ නෑ මං හිතන විදියට.

    පැහැදිලිවම එකඟයි, සුළුතරයක් කරන වැරදිවලට බහුතරයට ඇඟිල්ල දික්කරන එක මෝඩකම. වැරැද්ද කරපු අයව හොයාගෙන නිසි දඬුවම් දෙන එකයි කරන්න ඕන.

    වැඩේ කියන්නෙ අජිත් අයියෙ, මම පෙරේදා ලියපු පෝස්ට් එකකටත් හිට්ලර්, එස්එස්, ගෙස්ටාපෝ, යුදෙව්වො කෙලින්ම සම්බන්ධයි. හොඳ වෙලාවට ඒක තව සතියකින් දෙකකින් පබ්ලිෂ් කරන්නෙ නැත්තන් මම කොපි කළා වෙනව. :D

    ReplyDelete
    Replies
    1. එකඟ වීම ගැන ස්තුතියි. සමහර වෙලාවට රැඩිකල් වෙන්න ඕනේ නිසාම අපුරු තර්ක ගේන අයත් ඉන්නවා.
      ඔය කොපි කරනවා කියල මම නම් හිතන්නේ නැහැ. වැඩියෙන් කතා කරන තරමට ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න තරමට හොඳයි.

      Delete
  8. " ප්‍රා " මිනීමරු නේද?

    ReplyDelete
    Replies
    1. ඒකනේ මං බය වුනේ ප්‍රා ජේ කිව්වම

      Delete
  9. රතු / සුදු හමුදා අතර යුද්ධයේ මට දේ කරපු කාර්‍යභාරය. ඒ කාලය ගැන රුසියන් ලේඛකයෙක් ලියපු පොත් 3-4 කින් වන සීරීස් එකක් තියනව. මං දෙකක් කියවල තියනව, කතෘ මතක නෑ. සුදු හමුදාව දිනන්න ලඟට ආව නේද?

    ReplyDelete
    Replies
    1. මුලදී සුදු හමුදාව දිනන්න ආව තමයි. නමුත් ට්‍රොට්ස්කි යටතේ රතු හමුදා හොඳින් පෙළ ගැසුන. අනික සුදු හමුදාවේ නිලධාරීන් රතු හමුදාවට බැඳුනා.

      Delete
  10. සමාවෙන්න, ඉහත කොමෙන්ටුවේ " මට fascinatingම දේ armoured trains "ලෙස වියයුතුයි

    ReplyDelete
  11. මමත් එකඟයි.ඉතිහාසයේ වැරදි ටික හදා ගන්නේ නැතුව.ඉදිරියට සංහිදියාවක් ගොඩ නගා ගන්ට බැහැ.

    ReplyDelete
    Replies
    1. අඩුම ගනනේ හැමෝම එකතු වෙලා නේද?

      Delete
  12. උඹට කියන්න අපි කීප දෙනෙක් 2002 සෑම කාලෙ ජොලියට මන්නාරම් ගියා.අපිව ගෙනිච්චෙ කොළඹ පදිංචි ඒ පැත්තෙ කොල්ලෙක්.දවසක් කරුවල වැටෙද්දී ඌ යාලුවෙක් බලන්න කියල අපිත් එක්ක ගියෙ ඒ කිට්ටුව තිබ්බ ගමකට.අපි යද්දී යාළුවා තියා ගමේ පිරිමි කිසි කෙනෙක් නෑ.පොලිසියෙන් එනව කියල කැලේ පැනල.මිනිස්සු ටික එකතු කරගන්න පයක් විතර ගියා .ඒ කාලෙ තිබ්බ තත්ත්වය ඔන්න ඔහොමයි.

    ReplyDelete
    Replies
    1. 2002 එහෙම නම් අර රාජුල හම්බ වෙන කාලේ 80 ගණන් වල කොහොම වෙන්න ඇතිද?

      Delete
  13. බස් එකේ යද්දි කියෙව්වෙ. රට වෙනුවෙන් මෙහෙම පෙනී හිටීම හරිම වටිනවා අජියයියෙ. නිරායුධ ජනතාවට ආයුධ බලයෙන් වධ හිංසා කිරීම ගැන විචාරකත් විග්‍රහයක් කරලා තිබ්බා. මාත් ඒ ගැන ඇතුලත් කමෙන්ටු පෝස්ටුවක් දැම්මා.

    ReplyDelete
    Replies
    1. මං කියෙව්වා ඒ ඔක්කොම.

      Delete
  14. අජිත් අයියේ ඔබේ ලිපිවල තියෙන දැනුම අපිට හරි වැදගත්.... ඔබේ අත්දැකීම් සහ දැනුම හරි අගේට බ්ලොගයෙන් බෙදලා දෙනවා... ජයවේවා

    ReplyDelete
    Replies
    1. කුරුටු මල්ලි මම නම් මේවා ලියන්නේ අනිත් අය මා සමග වාදයට සංවාදයට එයි කියල හිතා ගෙන . දැනුමත් ලැබෙනවා නම් හොඳයි. ස්තුතියි.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .