Monday 9 November 2015

නීතිය කැඩූ කුමාර් ගුණරත්නම්, නීතියට අභියෝගයක් වූ වෛද්‍ය සමරසිංහ හා අතරමං වූ යහපාලිනිස්ටලා

"අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහට අමතරව එම ධුරය සඳහා හිටපු නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත් මහතා පත්කර තිබේ." යයි ලංකාදීපයේ පළවූ පුවතක් කියවුයෙමි. වෛද්‍ය නිලංග සමරසිංහ මහතාට පසුගිය කාලයේ තිබු මරණ තර්ජන ආදිය සලකා බලන කල රජයේ ක්‍රියාව හොඳ දෙයක් ලෙස පෙනී යා හැකිය. ඒ එවැනි අන්තරායදායක රැකියාවක් සඳහා හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පත් කිරීමෙනි. නමුත් ඇත්තටම සිදු වන්නේ වෙනත් දෙයක් විය හැකිය. එනම් හොර ඖෂධ කාරයන් බේරා ගැනීම සඳහා වෛද්‍ය නිලංග සමරසිංහ ඉවත් කිරීම අත්‍යවශ්‍ය දෙයක් ලෙස ඔවුන්ගෙන් යැපෙන්නවුන් කල්පනා කරනවා විය හැකිය. ඒ නිසා යහපාලනයට චන්දය යහපාලිනිස්ටලාට දැන් වී ඇත්තේ යහපාලනයට වැද ඇති හොරුන්ගෙන් එය රැකගැනීම සඳහා සටන් කිරීමටය. රජය නිසි හේතු දැක්වීමක් නොකරන්නේ නම් වෛද්‍ය නිලංග සමරසිංහ ඉවත් කිරීම වැළැක්වීම සඳහා යහපාලනිස්ට ලා විරෝධයක් පටන් ගත යුතුය. නැත්නම් රජයේ සමහර ඇත්තන් ගිය ආණ්ඩුවේ ක්‍රියා පටිපාටියම අනුගමනය කිරීමට සැරසෙන සැරසිල්ල මුලිනුපුටා දැමීමට වෙන විධිහක් නැත.

 කුමාර් ගුණරත්නම් මහතා මට කීප විටක්ම මුණ ගැසී තිබේ. ඔහුගේ දේශනද කීප විටක්ම අසා තිබේ. සමාජවාදී පක්ෂයක නායකයකු වශයෙන් ඔහු අමුතු දෙයක් කියන්නේ නැත. එසේම සමාජවාදී රටක උගෙනුම ලබා පැමිණි මට පරණ පන්නයේ සමාජවාදය කොහොමත් දිරවන්නේද නැත.සමාජවාදයක් ඇති වෙනවා නම් ඇතිවන්නේ මිනිසුන් වඩාත් දැනුවත් වී ඇති ධනවාදයේ ඉහල අවධියකට පිවිස ඇති නිදහස් මිනිසුන් වෙසෙන රටවල මිස විකෘති ධනවාදයක් ක්‍රියාත්මක වන පසුගාමී රටවල නොවන බවට නිගමනයකට මා එළඹුණේ බොහෝ කලකට පෙරය.

 ඒ නිසා මම ධනවාදී රටක ජිවත් වෙන ගමන් අරගල කර පොලිස් පහරදීම් වලින් මිය යන්නට හෝ ඉගෙනීම් කඩා කප්පල් කරගන්නට හෝ රැකියාව නැති කරගෙන දු දරුවන්ගේ ජිවිත අඳුරේ හෙලන්නට කිසිවෙකුට දේශනා කරන්නට යන්නේ නැත. (දේශනා කරද නැත). ඒ මහතා සේ කරනවා යයි යෝජනා කරන්නේද නැත. ඔහු ඉල්ලා සිටින්නේ ධනවාදී රටක සිට නොව තමන් උපන් රටේම ජිවත්වි දේශපාලනය කරන්නටය.

 කුමාර් ගුණරත්නම් මහතා සැබවින් ම නීතිය කඩ කර තිබේ. ඒ ඕස්ට්‍රේලියානු ගමන් බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට පැමිණ වීසා අවසන් වූ පසුත් නතරවී සිටීමෙනි. මා වැනි සාමාන්‍ය පුරවැසියෙකු වීසා අවසන් වූ පසු නැවත එංගලන්තයට පැමිණිය යුතුය. එනමුත් මට එසේ නැවත නොපැමිණ, සිංහලත් දන්නා නිසා සැඟවී රැකියාවක් කිරීමට හා නිසොල්මනේ ජිවත් වීමද කළ හැකිය. ඒ කවුරුන් හෝ මගේ තරහකාරයෙක් දැන්වුවොත් මිස, ශ්‍රී ලංකාවේ පොලිසිය හෝ ආගමන විගමන නිලධාරීන් මා සොයා නොපැමිණෙන හෙයිනි. එවැනි සැඟවී ජිවත් වන අය ශ්‍රී ලංකාවේ බොහෝ සිටිති. ඒ නීති විරෝධිව වුවත් කවුරුත් ඒ ගැන දන්නේ වත් සොයන්නේ වත් නැත. එසේ වූ පලියට මම එසේ කරන්නට යන්නේද නැත.

 මා රැකියා කරන ආයතනයේ එක් ඉංග්‍රීසි ජාතික අධ්‍යක්ෂක වරයෙකුගේ මව කැනේඩියානු කාන්තාවකි. ඔහු ඉපදී ඇත්තේ එංගලන්තයේය. මව ගේ මුතුන්මිත්තන් කැනඩාවට සංක්‍රමණය වූ ඉංග්‍රීසින්ය. ඔහුගේ පියා ඉංග්‍රීසි ජාතිකයෙකි. කැනඩාවට නිවාඩුවකට යාමට ප්‍රථම ඔහු (අධ්‍යක්ෂකවරයා) කැනඩා ගමන් බලපත්‍රයක් ඉල්ලා සිටි අවස්ථාවේ එය නිකම්ම ලැබිණි. ඒ පුරවැසි භාවයද සහිතවය. ඔහුට දැන් බ්‍රිතාන්‍ය හා කැනඩා ද්විත්ව පුරවැසි භාවය තිබේ. ඔහු කැනඩාවේ ඉපදී නැතිව මව පමණක් කැනේඩියානු වීම සෑහේ. අපේ ආයතනයේ පරිගණක ඉංජිනේරුවකුට රුපියල් ලක්ෂ දෙකක් ගෙවා ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසි භාවය ගැනීමට සිදුවූ බව ඇසූ ඔහු ඉමහත් පුදුමයට පත් විය. ඔබ රටට මුදල් යවන, ඒ රටේ මව්පියන්, නෑදෑයන් වෙසෙන, ඒ රටේ ඉපදී ඇති අයෙකු වශයෙන් ශ්‍රී ලංකාව විසින් නොමිලයේම පුරවැසි භාවය නොදෙන්නේ මන්ද යයි ඔහු මගෙන් විමසීය. මා පැවසුවේ ධනවත් රටක් නොවන ශ්‍රී ලංකාව හැකි සෑම අයුරකින්ම මුදල් සොයන නිසා මේ ගාස්තුව නියම කර ඇති බවත් එය තරමක අසාධාරණ ගණනක් බවත්ය. ඒ මදිවාට පසුගිය කාලයේ ආරක්ෂක අමාත්‍යංශයේ අවසර ගැනීමට නොයෙක් දෙනා පසුපස සිඟා කෑමටද සිදුවින. දැන්නම් ඒ ප්‍රශ්නය නැතත් නැවත පුරවැසි භාවය ගැනීමට ලක්ෂ දෙකක මුදලක් දෙන්නට සිදුව ඇති අතර ඒ සඳහා කොන්දෙසිද නහුතයක් ද ඇත.

 කුමාර් ගුණරත්නම් මහතා ප්‍රමුඛ ඔහුගේ පක්ෂයට සහය දෙන අයගේ තර්කය නම් ඔහු වෙනත් නමකින් ඕස්ට්‍රේලියානු පුරවැසි කම ගත්තත් ඔහු ලංකාවේ උපන් ලංකාවේ පුරවැසියකු බවයි. එය සත්‍යයකි. රටක ඉපදී ඇති කෙනෙකු ගෙන් ඒ අයිතිය පැහැර ගන්නට නොහැකිය. හරියට තමන් උත්පත්තියෙන් ලැබූ මව හෝ පියා වෙනස් කළ නොහැකි ලෙසටමය. කැනඩාව වැනි රටවල ප්‍රතිපත්තිය මේ අනුව නිවැරදිය. මේ නිසා මට සිතෙන්නේ කුමාර් ගුණරත්නම් මහතා නිදහස් කරන ලෙසත්, ඔහුගේ පුරවැසි භාවය ලබා දෙන ලෙසත් කරන ඉල්ලීමට සහය දීමටය. ඔහුට ඇප නොදී සිර ගෙට යවන්නේ ශිෂ්‍ය උද්ඝෝෂණය නිසා විය හැකිය. ශිෂ්‍යයන්ට පහර දීමෙන් පොලිසියත් රජයත් මහත් අපකීර්තියක් ලැබූ අතර ශිෂ්‍ය ඉල්ලීමද ඉන් පසුව ඉටු කිරීමට සිදු වුනි. එය සාධාරණ ඉල්ලීමක් නම් මෙපමණ දුර දිග යන්නට නොදී රජයට එය ගොඩින් බේරා ගන්නට ඉඩ තිබුණි. දැන් පෙනෙන පරිදි මේ ලැබුන "පරාජයේ" වාඩුව ගන්නේ කුමාර් ගුණරත්නම් ගෙන් බව හැඟේ. මේ අත් අඩංගුවට ගැනීමට නීතිමය පදනමක් තිබුනත් ඔහු ඇප නොදී ඇතුලට දැමීමෙන් හා, පසුගිය රජයේ වඩා පොහොසත් බලපුළුවන්කාරකම් සහිතව සිටි අය ඇප මත එලියට දැමීමෙනුත් පෙනී යන්නේ වරප්‍රසාද අඩු අයට නීතිය වෙනත් ආකාරයකට ක්‍රියාත්මක වන බවයි.

 දේශපාලන පක්ෂ නායකයෙකුට තම දේශපාලනය නිදහසේ කර ගෙන යාමට ඉඩ දීම ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයකි. බ්‍රිතාන්‍යය , ජර්මනිය වැනි රටවල අති දක්ෂිණාංශික හා අති වාමාංශික පක්ෂවලට පවා යම් තාක් දුරට නිදහසේ දේශපාලනය කිරීමට ඉඩ දී තිබේ. (උදා : BNP, English Defence League, National Democratic Party of Germany ). මෙහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනපති ජේ ආර් ජයවර්ධන මහතා අනුගමනය නොකරනු ඇතැයි සිතමි. දෙමළ ජනතාවට එරෙහිව පැවති 1983 කෝලාහල වලින් පසු වමේ පක්ෂ තුනක් තහනම් කෙරුණු අතර ජවිපෙ තහනම ඉන් පසුව හෝ ඉවත් කෙරුනේ නැත. ඉන් සිදුවුයේ එම පක්ෂය රහසිගත ක්‍රියාකාරිත්වයකට යාමත් රැකියා විරහිත තරුණ පෙළ ඊට ආකර්ෂණය වීමත්ය. උතුරේ යුද්ධයට අමතරව දකුණේත් සිවිල් යුද්ධයකින් ශ්‍රී ලංකාව බැට කෑවේ ඉන් පසුවය. කුමාර් මහතා ලංකාවට පැමිණිවිට මා ලියු බ්ලොග් ලිපිය වුයේ "විමලේගේ පිහිටට කුමාර් කුමාර් ගේ පිහිටට විමලේ "යනුවෙනි.

මේ රජය පත් වී වසරක් ගත වීමට ප්‍රථම විමල් විරවංශ මහතාට පාස්පෝර්ට් චෝදනාවන් කිහිපයක් ම එල්ල වී තිබේ. ඒ නිසාම දෝ ඔහු උපක්‍රමශීලිව කුමාර් ගේ පැත්ත ගන්නා ලෙසක් පෙනී යයි. එනමුදු මා මගේ මුල් ලිපියේ සඳහන් කල පරිදි කුමාර් ගුණරත්නම් විමල් වීරවංශ ගේ පැත්තට ගියේ නැත. ඔහු ගෙන යන්නේ ඔහුටම අනන්‍යවූ දේශපාලනයකි. විමල් මහතාට එකතු වී ඇත්තේ බංකලොත් සෝමවංශය. කුමාර් ගුණරත්නම් ට දේශපාලනය ශ්‍රී ලංකාවේ කරන්නට ඉඩ දිය යුතුව ඇත්තේ, කොටස් තුනකට බෙදුණු එළිපිට රඟන ජවිපෙ/පෙසපේ /ජනිපෙ දේශපාලනය ලංකාවට වඩා හිතකර නිසාය.

 කොටින්ම දැන් ශ්‍රී ලංකාවේ සැඟවුණු ආරක්ෂක ඇමති කෙනකු සිටියාදැයි සිතෙන තරමට තත්වය ව්‍යාකූලය. ගෝඨාභය රාජපක්ෂ මහතා කියන්නේ ඔහු අනුර කුමාර මහතාගේ කීමට කුමාර් ගුණරත්නම් ඇල්ලු බවය. වෙබ් පුවත්පත් කීපයක් පසු ගියදා ප්‍රකාශ කලේ යහපාලන රජය අනුර කුමාරගේ කීමට කුමාර් ගුණරත්නම් ඇල්ලු බවකි. ඒ කියන්නේ අනුර කුමාර දිසානායක මහතා එතරම්ම බලවත්ය. ඔහු බලවත් ව ඇත්තේ ගිය ආණ්ඩුව මෙන්ම මේ ආණ්ඩුවද නිර්දයව විවේචනය කරන නිසාද නැත්නම් මෙවැනි රහස් ගනුදෙනුවක් පවතින නිසාද? එසේ ආණ්ඩු විවේචනය කල/කරන අයෙක් ඔය කියන අන්දමේ ගනුදෙනුවක් පවත්වා ගනීවිද?

මට නම් පෙනෙන්නේ ආණ්ඩු දෙකම අනවශ්‍ය භයක් ඇති කරගෙන තිබෙන බවකි. සැබෑ යකා කියන තරම් කළු නැත. (pun not intended). යහපාලින්ස්ටලා කුමාර් ගේ ප්‍රශ්නයේදී ආණ්ඩුවට සහය දැක්වුවත් සිසුන්ට පහර දීමේදී විරෝධය දැක්වුහ. යහපාලින්ස්ටලා මේ රජයට අන්ධානුකරණයෙන් වඳින්නට සුදනම් නැති බව පැහැදිලිය. මාරපන මහතාට ඇතිවූ විරෝධයේදී පෙරමුණ ගත්තේද යහපාලින්ස්ටාලාය. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා වෙනුවෙන්ද ඔවුන් ඉදිරිපත් විය යුතුය. අතරමන් වෙන්නට කලින් යහපාලින්ස්ටාලා දැන් කල යුතුව ඇත්තේ නැවත සංවිධානය වී නැග එන දුෂණයට හා ඥාති සංග්‍රහයට විරෝධය පාමින් ලැබූ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස රැක ගැනීමය. සෝභිත හිමියන් වෙනුවෙන් උපහාර කල යුතුව ඇත්තේද එලෙසමයි.



31 comments:

  1. යහපාලින්ස්ටාලා nice new term

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ටොයියෝ කිව්වම ඔක්කොම අයිති වෙනවා. නමුත් සමහර ටොයියෝ ඉන්නවා වැරැද්ද වුනත් අපේ ආණ්ඩුවනේ කියල කරබා ගන්න අය. ඒක තමා ගිය ආණ්ඩුවට වුනේ. දැන් අලුත් කොටසක් එනවා ආණ්ඩුවට පක්ෂයි. නමුත් වැරදි නම වැරැද්ද කෙලින්ම මුනට කියන. යහපාලිනිස්ට්.

      Delete
    2. රසික මේ කොම්පැනිය දන්නවද ​​Asia Pacific Network Information Centre
      සවුත් බ්‍රිස්බේන්

      Delete
  2. යහපාලනිස්ටාලා හෝ යහපාලනිස්ට්ලා කියමුද?

    ReplyDelete
    Replies
    1. රසික වචන දෙකම පාවිච්චි කරමු. යහපාලනිස්ටා කියල ලිව්වේ ගැන්ග්ස්ට (gangsta rap ) විධිහට, දැන් ෆෙමිනිස්ට් එහෙම නෙමේනේ කියන්නේ අලුත් ට්‍රෙන්ඩ් එකට. ෆෙමිනිස්ටා . ඒ විධිහට. යහපාලිනිස්ට් නුත් හොඳයි.
      the yahapalinist movement

      Delete
    2. මෙහෙම කේස් එකක් තියෙනවා. පාලකයින් ගෙන් පාලනය වෙන අයට කියන්නේ පාලිතයින් කියලායි. ඉතිං, යසපාලිනිස්ටා කීවාම පාලනය වෙන අය කියන තේරුම එනවා.

      Delete
    3. අපි ඔක්කොමේ කොහොමත් පාලනය වෙන අය නොවේද? මෙහෙම ගත්තොත් යහ පාලනයෙන් පාලනය වීමට බලාපොරොත්තු වෙන්නා -යහපාලිනිස්ට්

      Delete
  3. //යහපාලින්ස්ටාලා දැන් කල යුතුව ඇත්තේ නැවත සංවිධානය වී නැග එන දුෂණයට හා ඥාති සංග්‍රහයට විරෝධය පාමින් ලැබූ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස රැක ගැනීමය. සෝභිත හිමියන් වෙනුවෙන් උපහාර කල යුතුව ඇත්තේද එලෙසමයි. // ඉතාම හොඳ අදහසක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. යහපාලිනිස්ට් මුව්මන්ට් එකේ ගීත රචක පදවිය ඉයන්ට. :)

      Delete
    2. ශහ් නියම තනතුර. ජේ ආර් ගෙ කාලේ මම ඒ පැත්තට කොච්චර පක්ශ උනත් නන්දා මාලිනී ගෙ ගීතටික ඉතාමත් ඉහලින් රස වින්ඳා

      හිතන්ට නිදහස ලියන්ට කියන්ට නිදහස
      බනින්ට නිදහස ඇති රට මේ උත්තම රට
      බයිල කියා පුදදෙමු අප ස්වෛරී සිරිලක
      නිවන් දකිත්වා අපගේ ජන නායක කැල

      Delete
  4. මේ අජිත් වැඩිය සද්දෙ දාන්න එපා.. එංගලන්තෙට සුදු වෑන් එකක් එවනවා අනුරට කියලා..

    ඩීව් තිස්ස වාසූ කියන ජෝකර්ලා තුන් දෙනාගේ නව පරපුර නියෝජනය කරන්නේ විමල් සෝමේ සහ කුමාර්ලා..

    අනුරගේ කීමට පිටුවහල් කරපු එකා.. සම්පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් ආයෙත් ආවේ යහපාලනේට එන ඡන්ද කඩන්න.. උන් තනිකර බැසිල්ගෙන් යැපුනේ.. ඒවා රහසේ නෙමෙයි ප්‍රසිද්ධියේම සිද්ධ උන දේවල්.. හැබයි ගත්තේ ඡන්ද 10000 යි.

    එතකොට ගාමිනි වියන්ගොඩ කියන්නෙත් බොරු නෙමෙයි.. තනිකර ඇත්ත.. නැත්නම් ආන්ඩුවක් පත් වෙලා මාස තුන හතරකටත් කලින් උද්ඝෝෂණ කරන්න මුන්ට පිස්සුද...? මේවට බැක් කරන්නේ බයි ලීඩර්, වෙන කවුරුවත් නෙමෙයි..

    හැබයි එක දෙයක් තියෙනවා.. කුමාර් ගුණරත්නට මේ ලක් පොලොවේ ඕන දෙයක් කරන්න නිදහස තියෙන්න ඕන.. ඒක නීතී විරෝධි දෙයක් නම්.. ඌටත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන..

    ඒත් කරුමේ කියන්නේ ලංකාවේ නීතිය ගැන විශාල ප්‍රශ්ණයක් තියෙනවා.. ඒක ක්‍රියාත්මක් වෙන්නේ ආන්ඩුවලට ඕන විදියට..


    ReplyDelete
    Replies
    1. අන්න ඕකනේ ප්‍රශ්නේ මාතලන්. නීතිය සැමටම එක සමානය. දේශපාලකනයන් හා පාතාලයන් සඳහා වඩාත් සමානය.

      Delete
    2. //අනුරගේ කීමට පිටුවහල් කරපු එකා.. සම්පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් ආයෙත් ආවේ යහපාලනේට එන ඡන්ද කඩන්න.. උන් තනිකර බැසිල්ගෙන් යැපුනේ.. ඒවා රහසේ නෙමෙයි ප්‍රසිද්ධියේම සිද්ධ උන දේවල්.. හැබයි ගත්තේ ඡන්ද 10000 යි.// මේ චෝදනාවට මොනවට් තියනවාද සාක්කි වත්. මාත් ඇහුව ඔය කතාව. ඒ කාලේ ටිකක් ඇත්ත වගෙත් හිතුන. නමුත් දැන් බලන කොට ගොඩක් දේවල් ඔප්පු කර ගන්න බැරි සයිස් එකක් නේ තියෙන්නේ.

      Delete
  5. පෙරටුගාමීන් ඉන්නවද නැද්දවත් සාමාන්‍ය බහුතර ජනතාව නොදන්නා නිසා පෙලපාලි, පොලිස් පහරදීම්, අත් අඩංගුවට පත්වීම් ආදියෙන්වත් ප්‍රාදේශීය සබා චන්දෙන්කින්වත් මොකක් හරි සබාවක ආසනයක් ලබා ගන්න බලාපොරොත්තුවක් ඇති.
    ජේවීපී එකට චන්ද කැඩෙන නිසා උන්ව නැතිකරගන්නත් ඕනෙ ඒත් කෙලින්ම ඇටෑක් කරන්නත් බෑ.
    වීරවන්සට බටහිර කුමණ්ත්‍රන හිඟ නම් මොකෙක් ගැන හරි කෑ ගහල ශ්‍රීලංකා එකේ එවුන් උන්ගෙ ඒකාබද්දෙට ඇද ගන්න ඕනෙ.

    මේරටේ ජීවත් වෙන හා ජීවිකාව උපයාගන්නා නිසා ඉතින් අපිට බය, අප්පිරියාව, තරහ, කලකිරීම ආදී දේවල් දේශපාලනේ ගැන ඉඳල හිටල එනව.
    මං අජිත් වගේ පිට හිටියනම් ලංකා දේශපාලනය ගැන හිතුවාම වැඩිපුරම වෙන්නේ හිනා වෙලා මැරෙන එක.

    ඒක නෙමෙයි http://transyl2014.blogspot.com/2015/11/11.html කියෙව්වද?

    ReplyDelete
    Replies
    1. ඔව්. විජෙවිර කල කාර්ය භාරය ගැන නොයෙක් දෙනා නොයෙකුත් දේ කියනවනේ. මම කොහොමත් 1971 හා 1988-89 අරගල වලට විරුද්ධව හිටපු කෙනෙක්. මම හැම විටම ඒ ගැන කියල තියෙනවා. නමුත් තරුණයන් යුධ අතට ගන්නේ නිකම් නෙමෙයි. බලාපොරොත්තු නැති වුනහම දෙමල විමුක්ති සංවිධාන වලට වුනෙත් එකයි. ඒ නිසා සානුකම්පිතව අවබෝධයෙන් යුතුව බැලිය යුතු ප්‍රශ්නයක් මිසක් මිනීමරුවෝ කියල හංවඩු ගහල මර්දනය කරන දෙයක් නෙමේ ඒක.
      ලංකාවේ දේශපාලනය නම් හිනා යනව තමයි. අර කොල්ලෝ මිනීමරුවෝ වෙනවා. හොරු රට පාලනය කරනවා.

      Delete
    2. ප්‍රා දන්නවද පෙරටුගාමී කියල පක්ෂ දෙකක් තියෙන විත්තිය. ඇයි බන් මම ලන්ඩන් ඉඳලත් දන්නවා ඒක.

      Delete
    3. ප්‍රා දන්නවද දන්නෙ නැහැ ජවිපෙ 1989 හිංසාවෙන් මර්ධනය කරන්න 'ප්‍රා' කියල සංවිධානයකුත් මූලික වුන බව.

      Delete
    4. @ අජිත්, පෙරටුගාමීන් කියල එක සෙට් එකක් ඉන්නව කියලත් දන්නෙ මෙහෙ ටික දෙනයි මං හිතන්නෙ. දෙකක් තියනවද? කවුද දෙකෙන් වඩා පෙරටු?

      @ ඉයන්, ඒක නම් මාත් දැනගෙන හිටිය. නොහිටියත් අජිත් මට උගන්නයි. මුල් දවස්වල අජිත් මාත් එක්ක කතා කලේවත් නෑ ඕක නිසා

      Delete
    5. @ප්‍රා පෙරටුගාමී සමාජවාදී පක්ෂය - ජවිපෙන් කැඩුණු එක. කුමාර් ගුණරත්නම්, පුබුදු ජයගොඩ, සේනාධිර ගුණතිලක ආදීන් ඉන්නේ ඒකෙ. ජවිපෙ ප්‍රතිසන්ස්කරනවාදී දේශපාලනයට විරුද්ධයි වගේ පේන්නේ.
      ශ්‍රීලංකා පෙරටුගාමී පක්ෂය - නායක දීප්ති කුමාර ගුණරත්න - අනිත් අය කවුද ඉන්නේ කියල දන්නේ නැහැ. "ජිජැක් ගේ කට්ටිය."

      Delete
    6. දැන් කවුරුත් මම "ප්‍රා " කියල නොකියන් නිසා මං බැලුව කවුද මේ ප්‍රා කියල පෝස්ට් දාන්නේ කියල.

      Delete
    7. Adai danne peratu gami dekak thiyenawa kiyala. Anika latest ma post kathawa kiyewwa. Part II th ikamanata liyanta. Eth comment karanta beriyoo..

      Delete
    8. කොමෙන්ට් කරන්න බැරි ප්‍රශ්නේ මොකක්ද?

      Delete
  6. මම ධනවාදී රටක ජිවත් වෙන ගමන් අරගල කර පොලිස් පහරදීම් වලින් මිය යන්නට හෝ ඉගෙනීම් කඩා කප්පල් කරගන්නට හෝ රැකියාව නැති කරගෙන දු දරුවන්ගේ ජිවිත අඳුරේ හෙලන්නට කිසිවෙකුට දේශනා කරන්නට යන්නේ නැත. ++++++++++++++++

    ReplyDelete
    Replies
    1. ඒ ගොල්ලන්ට කැමති නම් මට ප්‍රශ්නයක් නැත. හොඳ ධනවාදී රටක ජිවත් වෙන්න අමාරුවක් නැහැ කියල ට්‍රාන්සිල්වේනිය දන්නවනේ. වැඩ කරන්න ඕනේ හැබැයි.

      Delete
  7. පෙරටුගාමින්ට ඔය කියනතරමේ බලයක් තිබෙනවාද?? එහෙම තිබෙනවා නම් ඇයි ඒ බව සාමාන්‍ය මිනිස්සුන්ට නොදැනෙන්නෙ??? එහෙම බැලුවම ජවිපය, පෙරටුගාමී කොයි එකත් කඩාකප්පල් කාරී ජිල්මාට් වැඩ වලින් බලය පෙන්නන එක නේද කරන්නෙ?

    ReplyDelete
    Replies
    1. සජ්ජා critical mass theory කියල එකක් අහල තියනවද? බොදුබල සේනාවට පෙරේගාමී සමජවාදී පක්ෂයට තරම චන්ද ලැබුන. ඔවුන්ට චන්දය දුන් අයම තමා ක්‍රියා කරිකයොත්. එතන ක්‍රියාකාරීත්වය වැඩියි. ලොකු පක්ෂවල සහයෝගය දෙන ය හිටියත් මැයි පෙළපාලිය ඇරෙන්නේ ගොඩක් අය තමන්ගේ වැඩ බලාගෙන ඉන්නේ. පොඩි පක්ෂ වල සද්දේ වැඩි ඒකයි . එවල වැඩ කරන අය වැඩ කැපවීමක් එක්ක ඉන්නේ. ඒ නිසා වෙන්න පුළුවන්. ඔයා ලංකාවේ ඉන්න නිසා මට වැඩිය ඕක පෙන්නේ ඕනෙනේ. කඩාකප්පල් කාරී කියන වැඩ හැමෝම කරනවා මම හිතන්නේ. තමන් කොයි පැත්තේද ඉන්නේ කියන එක මත සහයෝගය/විරුද්ධ තාවය තීරණය වෙන්නේ.

      Delete
    2. ක්‍රිටිකල් මාස් තියරිය කියල අහල නෑ හැබයි න්‍යශ්ඨික විඛන්ඩනය ස්වයං ආරම්භයක් ඇතිවෙන්න අවශ්‍ය විකිරනශීලි මූලදර්ම ස්කන්දයට නේද ක්‍රිටිකල් මෑස් කියන්නෙ.. ඔබ කියන දේ මට තේරෙනව.. අර පක්ශවල ඉන්නෙ කාඩර්ලා..

      Delete
    3. ඒක හරි. එතනින් තමා මේක ඇවිල්ල තියෙන්නේ.
      https://en.wikipedia.org/wiki/Critical_mass_(sociodynamics)
      කාඩර් ල ගැන තමා කියන්නේ.

      Delete
  8. //"ඒ කියන්නේ අනුර කුමාර දිසානායක මහතා එතරම්ම බලවත්ය"// ඇයි රනිල් විපක්ෂ නායක කාලේදී කිව්වේ රනිල්ගේ කීමට තම බටහිර රටවල් ජිනීවා යෝජනා ගේන්නේ කියලා, බිල්ලෙක් කොහොප්මත් ඉන්න ඕන රටක් කරනකොට

    ReplyDelete
    Replies
    1. ළමයින්ට බත් කැවීමේ පටන් දේශපාලන තීරණ ගැනීම් දක්වා බිල්ලන් පාවිච්චි කරන රටක්. අහෝ

      Delete
  9. මේ මම තව තැනක දාපු කමෙන්ටුවක්.මේක මම හිතනවා මෙතැනටත් ගැලපෙනවා කියා.

    //මම පෙරටුගාමියෙක් නොවේ.ඔවුන්ගේ දේශපාලනය ගැන මා තුල විවේචනයක් ඇත.නමුත් මේ කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගැනීම ගැන මා තුල තිබෙන්නේද විරෝධයකි.
    කුමාර් ගුණරත්නම්ගේ දේශපාලන භාවිතාව නිසා තමයි රට හැර යන්න වෙන්නේ.නැතුව සැප ගන්න කියලා නෙමේනේ ඔහු වෙනත් රටක රැකවරණය ලබන්නේ.ඔහුට මේ රටේ දේශපාලනය කිරීමට තිබෙන අයිතිය පිළිගත යුතුයි.
    මම පෙරටුගාමියෙක් නොවුනත් ඔහුට මේ රටේ දේශපාලනය කිරීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනි සිටිනවා.මේ විදියේ මෝඩ ක්‍රියාවන් තුලින් ආණ්ඩුව නා ගන්නවා වගේම කුමාර්ලාට හොඳ ප්‍රචාරයක්ද නොමිලේම ලබා දෙනවා //

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .