Wednesday 21 September 2016

භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි - තෙවන කොටස

මුල් ලිපි:
භෞතිකවාදයෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal)  මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ  හැටි  -1

භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal)  මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ  හැටි - දෙවන   කොටස 

මෙයින් පසු මා බොහෝ විට තැත් කළේ මේ මළවුන් ගෙන්වීම සත්‍යයක්ද යන්න  සෙවීමටය. ජෝන් එඩ්වර්ඩ් නමැති ප්‍රසිද්ධ මීඩියම් හෙවත් මළවුන් ගෙන්වීමේ මාධ්‍යයක් වශයෙන් කටයුතු කරන්නාගේ "එහා ලොවට තරණය " (crossing over) නමැති රූපවාහිනී වැඩ සටහන දිගින් දිගටම නැරඹුවෙමි. එසේම එඩ්ගාර් කේසිගේ පොත් රැගෙන කියවූයෙමි. මේ පොත්වල අඩංගු දෑ ගැන "වේලය පිටුපසින් " කණ්ඩායම සමග වාද විවාද කළෙමි.  මට සැබවින්ම සිතුනේ ජෝන් එඩ්වර්ඩ් කරන්නේ මුදල් රැගෙන බොරුවක් බවය. මිනිසුන් තමන්ගේ මියගිය නෑදෑයින් සමග කතා කරන්නට අවශ්‍ය වන්නේ ඔවුන්ට නොයෙකුත් මානසික ප්‍රශ්න තිබෙන නිසා බවට වාද කලෙමි. එසේම එඩ්ගාර් කේසි ගේ බෙහෙත් වර්ග බොහොමයක් ඉන්දියාවේ ආයුර්වේදී බෙහෙත් බවත් ඔහු ආයුර්වේද පොතකින් ඒවා සොරකම් කර නොදැනුවත් අමෙරිකානුන් රැවටු බවත් මට සිතිනි.

එඩ්ගාර් කේසි බොහෝ අනාගත කියවීම් ආදිය කලේ ස්වයං මෝහනයකට ලක්වීමෙනි. "නිදා ගෙන පේන කියන්නා " ලෙස ඔහුව හැඳින්වූයේ එබැවිනි. ඔහු බයිබලය හිස තබාගෙන නිදාගත් පසු එය මුළුමනින්ම මතක තිබු බව කියවේ. ඔහු බොහෝ තෙල් නිධි ඇති ස්ථානද සොයා දී තිබේ යයි කියති. ඔහු ක්‍රිස්තියානි වූවද පුනරුත්පත්තිය දැඩි ලෙස විශ්වාස කළ අතර තමන්ගෙන් සුවය ලැබීමට හා අනාගතය දැන ගැනීම සඳහා එන්නන්ගේ පෙර ආත්ම ගැන කීමද කළේය. මෙය ඔහුගේ ක්‍රිස්තියානි ආගමට විරුද්ධ වූ නිසා ඔහුට ඇතැම් ඇමෙරිකානු ආගමික සංස්ථාවන්ගේ දැඩි විරෝධයද එල්ල විනි. මට ඔහුව පෙනුනේ ලංකාවේ සිටින පේන  කියන්නෙක් මෙනි. ලංකාවේදී ඒවා විශ්වාස නොකළ මට කේසිගේ කථා විශ්වාස කිරීමට  අපහසු විය.

මෙහිදී මට තේරුම් ගියේ ජැමි හෙවත් ලවුලන් ඇතුළු පිරිස කිසිදු පල්ලියකට  නොයන බවත් ඇතැම් අය ස්පිරිචුවලිස්ට්  (ආත්මීය) පල්ලියට යන බවත්ය.  මෙහි ශාඛාවක් එන්ෆිල්ඩ් වලද තිබුණු අතර මම එයට වරක් දෙවරක් ගියෙමි.  මේ පල්ලිය බිහිවන්නේ මරණින් මතු ආත්මයක් වශයෙන් මළවුන් සිටී යයි විශ්වාස කිරීම  හා ඔවුන් සමග කතා කිරීම ප්‍රධාන පෙළේ ක්‍රිස්තියානි ආගම් සියල්ල ප්‍රතික්ෂේප කිරීම නිසාය. මෙහි ප්‍රධානින් සියල්ල මිඩියම් හෙවත් මළවුන් සමග අදහස් හුවමාරු කරන්නන් වන අතර එයට යන වන්දනාකරුවන්ද එය විශ්වාස කරන අයම වීය. නමුත් තමන්ගේ දෙවියන් වශයෙන් ජේසුස්වහන්සේව  ඇදහීම ඔවුන් දිගටම කරගෙන යාම විශේෂත්වය විය.  ජේසූන් මරණයෙන් පසු පැමිණ කතා කල බව ඔවුන් විශ්වාස කරති.

එම පල්ලියේදී එක් මීඩියම් කෙනෙක් (හෙවත් මළවුන්ගේ මාධ්‍යය) මට කතා කර දෙදෙනෙකු මා  හමුවීමට පැමිණ සිටින බව දන්වා කිසියම් විස්තර වගයක්  කළාය. ඒවා මෙහි සඳහන් කිරීමට නොවටිනා විස්තර  ලෙස හැදින්විය හැකිය. මා  ගුර්කා (එංගලන්ත හමුදාවේ ගුර්කා භටයන්) වරයෙකු ලෙස සලකා කියන දෙයක් ලෙස පෙනී ගිය නිසා මට යටි සිතින් සිනා සෙමින් එතැනින් පැමිණියෙමි. නැවත එතනට නොගිය මා මුලු විස්තරයම අපේ "වේලයෙන්  පිටුපස " පර්යේෂණ කාණ්ඩයට පවසා දැඩි විවේචනයක් කලෙමි.

අර පළමු ලිපියේ සඳහන් කළ අමරාවතී පන්සල වැදගත් වන්නේ මෙතනය. එම අවුරුද්දේ සුපුරුදු ලෙස ලංකාවේ දානයට මූල්‍ය සහය දෙන අතරේ අමරාවතියට    දානය දීමට සැරසුනෙමි. එහි අප හැමෝමත්,  පැමිණෙන යහළුවනුත් ආහාර පිස රැගෙන එන අතර භික්ෂූන් හා ස්වායත්තව සේවය කරන අය දානය ගත් පසු ඉතිරි සියල්ලෝම එහිම සිට දහවල් දානය බෙදා ගනිති. දානය ගෙනා අයගේ නම් හා මියගිය ඥාතීන්ගේ නම් පිළිවෙලට කියවනු ලැබේ.

මම ලවුලෙන් (ජැමී) ගෙන් මේ පිළිබඳව විමසුවෙමි. එදින  දානය රැගෙන යද්දී මගේ පය බුමුතුරුණකට පැටලුනු බව කීවාය . (ඒ දිනවල අපේ නිවසේ බිම කාපට් කර තිබුණි.) මා එවිට ඇයට කිවේ එවැනි දෙයක් ඕනෑම කෙනෙකුට කිව හැකි බවත් හැම නිවසකම වාගේ කාපට් තිබෙන බවත්ය. (කාපට් වලට පය පැටලීමද මට නිතර වෙන දෙයකි.) මෙහිදී ඇයට මදක් තරහා ගිය බවද පෙනුනි.

ඉන්පසු ඇය කියනා ලෙසට මගේ පියා සමග සම්බන්ධ වූවාය. මෙහිදී පැහැදිලි කළ යුත්තේ ලවුලෙන් ඇන්ග්ලිකන් කාන්තාවක වූ නමුදු කිසිදු  දේවස්ථානයකට නොයන්නියක් බවයි. එතැන සිටි බොහෝ අය ද එසේය.  ඔවුන් බොහෝ දෙනා බෞද්ධාගම ගැන අසා නොතිබූ අතර හින්දු ආගමේ ආකාරයට කර්මය විශ්වාස කළ අය වුහ. ඉහත සඳහන්  කළ එඩ්ගාර් කේසි පන්නයේ කර්මය විශ්වාස කළ අයද විය.

මෙසේ පල්ලි නොයාමට හේතුව ඔවුන් Witch  හෙවත් මායාකාරියන් ලෙස සමාජය හංවඩු ගසන නිසා බව මට විස්තර කළහ.  අලෙක්සන්ද්රියාවේ හිපාටියා ගෙන් පටන් ගෙන යුරෝපයේ බොහෝ ගැහැණුන් පුළුස්සා මරා දැමුණු බවද කිහ.  මෙසේ යුරෝපයේ මරා දැමුණු අවසාන කාන්තාව ස්විට්සර්ලන්තයේ අන්නා ගොල්ඩි ය.
අමරාවතියේ දාන ශාලාව 

 එදින ලවුලෙන් කීවේ  මා උස ජනෙල් තිබෙන විශාල ශාලාවක සිටි බවයි.  දානයක් දෙන විහාරයක එසේ තිබිය හැකි බව මම කීවෙමි. ලවුලෙන් කීවේ ඇය ජිවිතයේ කිසි දිනෙක විහාරයකට හෝ කෝවිලකට පා තබා නොමැති අතර ඒවා කළුද සුදුද වත් නොදන්නා බවයි. මෙහිදී දානයක් යනු කුමක්දැයි ඔවුන්ට පහදා දෙන්නට සිදු විය. එතන සිටි (චැට් රූම් එකේ) බොහෝ අය මියගිය ඥාතීන් සිහිකර දානයක් දීම හොඳ ක්‍රියාවක්  ලෙස සිතූ බව ඔවුන්ගේ පණිවිඩ වලින් වැටහිණි. එසේම ඔවුන්ගේ අදහස වූයේ යාචකයන්ට දානයන් දිය යුතු බවයි.

අපේ දෙවියන් කෙළවරක  සිටින බවද ඊජිප්තු ප්‍රතිමාවක් මෙන් බවද කීවාය. මෙය ඈ නොදැනුවත්කමින් කී දෙයක්දැයි විමසීමි.

දාන ශාලාවේ පන්සලේ භාවිතයට පූජා කළ ද්‍රව්‍ය 
 ඉන්පසු ඇය කීවේ මගෙන් හුරුබුහුටි කුඩා ළදැරියක් වතුර ඉල්ලු බවයි. ඇය හැඳ සිටියේ ඩෙනිම් ජැකට්ටුවක් බවද මල් වැටුන ඇඳුමක් ඇඳ සිටි බවද තව  දුරටත් පැවසුවාය. මේ දැරිය මගේ දියණියක් නොවූවත් බොහෝ ළඟ කෙනෙකු බවද කීවාය.

මා කැමති වූවා හෝ නැති වුවත් ඇය මෙහිදී පවසන්නේ සත්‍ය බවට මට පිළිගන්නට සිදුවිය.  මා  කුඩා කාලයේ සිට හදුනන යහළුවකු ගේ ප්‍රථම දරුවා වුයේ මේ කුඩා දියණියයි.  අපේ යහළුවන් අතරින් පළමුව විවාහ වූයේ ඔහුය. යහළුවන් කණ්ඩායමේම ආදරය ලත් සුරතල් දරු පැටියා වුයේ මේ හුරුබුහුටි පොඩිත්තියයි. ඇය ජර්මනියේ පැවැත්වූ අපේ විවාහ උත්සවයටද දෙමාපියන් සමග සහභාගී වූවාය.  ඇය මගෙන් වතුර බොන්නට ඉල්ලු බව හා ඇය ඇඳ  සිටි ඇඳුම පවා නිවැරදි ලෙස කිවේ කෙසේද යන්න මට එවේලේ සිතා ගත නොහැකි විය.

අප මිතුරියක වූ කුඩා දියණිය ගේ මව මේ විස්තරයට නොපහන් බවක් දැක්වූවාය.  මා මේ පිළිබඳව මගේ මවට පැවසූ විට ඇගේ පිළිතුර විස්මය දනවන සුළු විය. ඇය මා මළවුන්ට කතාකිරීම වහාම නවතා දැමිය යුතු බව පැවසුවාය. හේතුව පන්සලේ හාමුදුරුවන් කී  දෙයකි. මේ  ගෙන්වන්නේ භූතයන් හා ප්‍රේතයන් බව ඔහු කියා ඇත.  එසේ භූත ලෝකයේ ඉපදී ඇති නිසා ගෙන්වන්නට පුළුවන් බවද කියා ඇත. මගේ මව හාමුදුරුවන්ගේ වදන් වලින් ශෝකයට පත්වූ නිසාත් ඇගේ සිත තව  දුරටත් පාරන්නට නොහැකි නිසාත්  මා එය නවතන බව පැවසුවෙමි. මගේ පියා  එවැනි ආත්මයක ඉපදී ඇති කීම මගේ සොයුරියන්ද කෝපයට පත් කරවන්නක් විය.

මේ හාමුදුරුවෝම "නයනේ" ගේ ප්‍රතිචාරයේ පැවසූ පරිදි පන්සලේ තාප්පය වටේ විදුලි ආලෝකය හා තවත් වැටක් ගැසීමට මවට යෝජනා කර තිබුණි. පියාට දිව්‍යාත්මයක් ලබා දීම එහි අරමුණ යයි කියා තිබේ.

මෙහිදී මට මතක් වන තවත් සිද්ධියක් තිබේ. පියා මියගොස් හත් දවසේ දානය මේ පන්සලට දෙන්නට කතා කරද්දී සියලුම හාමුදුරුවරු උපාධි සඳහා ඉගෙනීම් වලට යන බැවින් හා, ලොකු හාමුදුරුවන් අසනීප නිසාත් හීල් දානය  පමණක් එවන ලෙස දන්වා තිබිණි.  මගේ මව මෙයට අකමැති වුවාය. මට පසුව දැන  ගන්නට ලැබුනේ මගේ පියා  හා මව දිගටම වැඳුම් පිදුම්  කල කොළඹ පන්සලක  නායක හිමියන් ඇතුළු හිමිවරුන් පැමිණීම ගැන මේ හාමුදුරුවන් අසතුට පළ කල බවයි. එහිදී මම කියා සිටියේ පන්සලට දානය මින්පසු නොදෙන්න කියායි. මා එසේ කියූ බව දැනගත් නායක හිමි  හත් දවසේ දානය එදිනම දවාලට  සුපුරුදු ලෙස පූජා කිරීම සඳහා  කැමති වී තිබිණි.

කෙසේ හෝ මව හාමුදුරුවරුන්  කී දේ අසා,  මෙසේ පියා ගැන මළවුන් ගෙන්වන්නන් ගෙන් විමසීම  ගැන දෝෂාරෝපණය කළ පසු මා ලවුලෙන් ට මේ විස්තරය කීවෙමි. මට අවශ්‍ය වුයේ ඔවුන් මෙය කෙසේ කරන්නේද කියා දැන ගැනීමටය. ඇගේ විධි ක්‍රමය ගැන මගේ අවිශ්වාසය දත්  ඇය මෙහිදී මට උදව් කිරීමට එකඟ වුවාය. කිසිවක් තදින් සොයා බැලීමෙන් තොරව නොපිළිගැනීමේ ලක්ෂණය ගැන ඇගේ කිසියම් සුහදත්වයක් හා අවබෝධයක් තිබිණි. ඉහත එඩ්ගාර් කේසි ආදින් ගේ පොත් මිලයට ගෙන මිඩියම් කෙනෙකු වන්නට මා උත්සාහ කළේ ඉන් පසුවය.

ප.ලි.
මගේ මව දිගටම ඉහත කී පන්සලට පියා  වෙනුවෙන් පොසොන් මාසයේ දානමය පිංකම කරන අතර ඇය දෙසීයකට වැඩි සිල් ගන්නා උපාසක උපසිකාවන්ටද දානය පිරිනමන්නි මහත් බැතියෙනි. මමද වරක් එයට ලංකාවේදී සහභාගී වුනෙමි.
නායක හිමි මගේ පියා දැන් "දේව සභාවක " සිටින බව හෙවත් හොඳ තැනක සිටින බව කියා තිබේ. "එංගලන්තයේ සිටින ළමයා ද " හොඳ පින්වන්තයෙකු ලෙස උසස්වීමක් ලබා තිබේ.  "ඔබ සතුටින් නම් මමත් සතුටින්" බව මවට දැන්වූයෙමි .


ජෝන් එඩ්වර්ඩ් - http://johnedward.net/
එඩ්ගාර් කේසි -  https://www.edgarcayce.org/edgar-cayce/his-lifehttp://www.edgarcayce.org.uk/index.html
ස්පිරිචුවලිස්ට් පල්ලිය  http://beaconoflightenfield.co.uk/
අමරාවතී භාවනා මධ්‍යස්ථානය - http://www.amaravati.org/about/
මායා කාරියන් යයි පවසා මරා දැමුණු කාන්තාවෝ : https://en.wikipedia.org/wiki/List_of_people_executed_for_witchcraft

~ මතු සම්බන්ධයි
(මා තවමත් භෞතිකවාදියෙකු බව සිතමි. එහෙත් මා නොදන්නා දේවල් ගැන සෙවීම කවදාවත් අත් හැර නැත.  එනිසා පුර්ව-විනිශ්චයකින් තොරව ලිපි පෙළ කියවන්න. මේ ලිපියේ සඳහන්  ලවුලන් හෙවත් ජැමී විල්සන් හල් මගේ යෙහෙළියක වන අතර ෆේස්බුක් හි ඇගෙන් අනවශ්‍ය ප්‍රශ්න  ඇසීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිමි. මා ලියන දෙයෙහි හරි වැරැද්ද ඇයට මතක නම් ඇගෙන් ඇසීය හැකිය. මා මේ ලිපිය ලියන බවට ඇයට දන්වා තිබේ. එහෙත් මළවුන් සමග කථා කිරීමට ඇයට යෝජනා නොකරන්න. ඇය දැන් එයින්  ඉවත් වී සිටී . එයට හේතුව මේ ලිපි පෙලේම ඉදිරියේදී ලියවෙනු ඇත.)

116 comments:

  1. දන්නා අතීතය ගැන නොව නොදන්නා අනාගතය ගැන කියන්න ඔය මීඩියම්ලාට බෑ නේද?

    ගෝස්ට් මූවි එක සිහිවුණා

    ReplyDelete
    Replies
    1. අපි කරන ඕනෑම සුළු හෝ ක්‍රියාවකින් අනාගත වෙනස් වෙන්න ඉඩ තියෙනවා නම් අනාගත හරියටම කියන්නේ කොහොමද කියන ප්‍රශ්නය මතු වෙනවා නේද?

      Delete
    2. මං කියන්නේ අර අංක ලියපු පීංපොං බෝල කූඩුවක කැරකිලා උඩට මතුවෙන විදිය වගේ අනාගත දේවල්!

      ඒවාට අපේ පුද්ගලික බලපෑමක් නෑනේ!

      Delete
    3. /* එඩ්ගාර් කේසි ආදින් ගේ පොත් මිලයට ගෙන මිඩියම් කෙනෙකු වන්නට මා උත්සාහ කළේ ඉන් පසුවය. */

      මෙන්න අජිත් හොඳ ජොබ් ඔපොචුනිටි එකක්-
      කෝපරේට් ලෝකයේ අප නොදැන සිටි ස්පෙෂැලිටි එකක්.

      http://www.smh.com.au/business/banking-and-finance/sydney-psychic-advised-bby-chairman-glenn-rosewall-on-chakras-and-share-prices-20160919-grj8un.html

      Delete
    4. රසික මගේ තියන රස්සාවේ වැරැද්දක් නැහැ. මේ සියලල් ඉවර වෙනතුරු කියවන්න. දැන් මෙහෙම බලන්නකෝ. දැන් ඔය මැරුණු අයත් කාලයක් මේ ලෝකේ ජිවත් වෙච්ච් උදවියනේ. එතකොට ඒ අයට කියන්න පුළුවන් කම තිබුනද අනාගතේ හරි පිං පොං බෝල ගැන හරි. බැහැනේ. එතකොට මැරුණට පස්සේ එගොල්ලට අනාගතය කියන්න පුළුවන් වෙන්නේ කොහොමද?

      Delete
  2. මේ දිනවලබ්ලොග් අවකාශයේ වඩාත්ම සංවාදශීලි මාතෘකාව සපයන ඔබට ස්තුතියි.
    මේ ලිපි පෙල තව දුරටත් පල වනු ඇතැයි සිතමි.
    යමෙකුට මලවුන් ගෙන්විය හැකිනම් ඒ මල තැනැත්තා මිය ගිය ආකාරයටම යම් කිසි තැනක සිටිය යුතුය. එය බොහෝ දුරට ආත්මවාදී සංකල්පයකැයි මට සිතේ. එය එසේ නම් බුදු දහමට ඉඳුරාම ප්‍රතිවිරුද්ධ සංකල්පයකි. බුදු දහම තුල ආත්මීය වශයෙන් පවතින කිසිවක් (නාම හෝ රූප වශයෙන්) කිසි තැනෙක නැති බව ඉතා පැහැදිලිව දක්වා ඇත.

    මිය යන්නෙකු මරණය හා සමගම ප්‍රථිසන්ධියක් පිහිටුවා ගන්නේනම් (අතර කාලයක් නැතිවම ) ප්‍රථිසන්ධිය ලැබූ තැන තෘශ්නාවත් පිහිටුවා ගන්නා නිසා පෙර භවයෙහි බැඳීම් හැලීයා යුතුය. කෙසේ වෙතත් අර යම් යම් දේවල් කීම නම් නොවැටහෙන සුළුය.
    බුදු දහමේ කියන පරිදි මෙවන් දේවල් කිරීමේ විව්ධාකාර වූ විද්යාවන් ලෝකයේහි ඇත. එම විද්‍යාවන් උගත් පුද්ගලයින්හට ඒවා කිරීමට හැකිය.
    එසේම විදර්ෂනාවෙන මනස වැඩූ පුදගලයාටද පරචිත්ත විඤ්ඤානනය කල හැකිය. (මේ අත්දැකීම ඉතාමත් සුළුවෙන් මා අත් විඳ ඇත )

    ReplyDelete
    Replies
    1. නයනෙ හරි කියලයි හිතන්නෙ.
      මටත් තවම ගිය ආත්මෙ නෑයෙක් සිතිවිලි වලින් කතා කරල එක එක මගුල් අහල නෑ.
      කියලත් නෑ. ඔය විදියෙ මියගිය අය එක්ක ගනුදෙනු කරන අය මිසක ඉන්න එවුන් අමතන අය අහල නෑ.
      බෞද්ධයන් විශ්වාස කරනව දේව වාදියො නෑ කියනව​. අඩුම ගනනෙ මේක නිර්මානවාදී ආත්මවාදී දර්ශනයක් කියල තේරුම් ගන්නවත් බෞද්ධයන්ටත්, ඒවගේම මේක මුස්ලිම් හැර අනෙක් ආත්මවාදීන්ට හොඳ තෝතැන්නක් බව එයාලවත් තේරුම් ගන්නෙ නැති එක හරිම පුදුමයි.

      Delete
    2. මෙතනට තමා මම එන්නේ. කලින් කියල වැඩක් නැහැනේ ලිපි පෙලින්. ඕක හැමෝටම තියන තත්වයක් නෙමයි. මෙතන ආත්මය දිගටම තියනවා කියල ඒ අය කියන්නේ නැහැ. ආලෝකය දෙසට යනවා කියලනේ කියන්නේ.

      Delete
  3. ඔය වැඩේ කරන්නේ භූත ආත්ම සම්බන්ධ කරගෙන තමයි කියලයි මමත් අහල තියෙන්නේ.. ඕන නම් සල්ලි වගේ දෙයක් වුනත් එහාට මෙහාට මාරු කරන්න මේ භූතයන්ට හැකියාව තියෙනවා කියල මම අහල තියෙනවා..ඒ කියන්නේ එක් කෙනෙකුගේ සාක්කුවෙන් අරන් වෙන කෙනකුගේ සාක්කුවට දාන්න වගේ වැඩ කරන්න පුළුවන් භූතයෝ ඉන්නවා කියල. නමුත් එයාල කියන කරන දේවල් විශ්වාස කරන්න ආමාරුයි කියන එකත්, හරියට බොරු කියන බවත් මම අසා ඇත්තෙමි..

    ReplyDelete
    Replies
    1. එහම් ඒවා දැකලා නැහැ. අන්තර්ජාලයේ නම් ඕවගේ කතා තියනවා. බොරු කාරයෝ වැඩියි හැබැයි.

      Delete
  4. මමත් (චුට්ටක් විතර) ආස කරන සබ්ජෙක්ට් එකක්. බොහොම අසාවෙන් මිස් උන පොස්ට් එකත් කියෙව්ව. ඇත්තටම මට හිතෙන්නෙ ඇයි මට බැරි උනේ ලංකාවේදී නිරාගමික වෙන්ට කියල. දෙමාපිය සහෝදරිය නෑදෑ හිතවත් අයගෙ බල පෑම නිසා වෙන්ට ඇති. හැබැයි එහෙම කරගන්ට පුළුවන් උනානම් මෝඩ වැඩ ගොඩක් අඩුකරගන්ට තිබ්බ. හැබැයි අදට පොඩි පසුතැවිල්ලක් නැත්තෙමත් නැහැ මොකද ප්රුතක්ජන මිනිස්සු නිසා. මට අජිත් අයියගේ යාළුවා කිව්වා වගේ හොඳ අත්දැකීමක් තියෙනවා. හම්බ උන දවසක කියන්නම්. තව විස්තර මේ කොමෙන්ට් එකටම අමුනන්ට තිබ්බත් ෆෝන් එකෙන් කොටන එක අමාරුයි. සුභ දවසක්..!! 👊🏽

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. අර 25 තියන පොත් ප්‍රදර්ශනේට යනවද? අර කට්ටියක් කරන්නේ.

      Delete
    2. මොනවට බොරු කියනවයි අයියේ. මමනම් ජීවිතේට පොත් ප්‍රදර්ශනයකට ගිහින් නෑ 🤓 පොඩි ඉලෙක්ට්‍රොනික් පොතක් හම්බුනා. මේල් කරන්නම්. 👍🏽

      Delete
    3. ඔකේ අජිත් අයිය. එතකොට ඔයා මොකද කියන්නේ Derren Brown ගැන? සංවාදයකට යමු..

      Delete
    4. මල්ලි ඩෙරෙන් බ්‍රව්න් අනිවාර්යයෙන්ම මෙතනට ගේනවා. මේක සැලසුම් සහගතව ලියන ලිපි පෙළක්. තව යන්න ඕනේ. තවල ලිපි අඩුම ගානේ 3 ක් වත් ලියවෙනවා මේ මාතෘකාවට. ටිකක් ඉන්නවද. නැත්නම් ඔහේ කොමෙන්ට් වලින් ම කතා කරගෙන යමුද?

      Delete
    5. ඕකේ ඕකේ එහෙනම් ඉදිරි ලිපි එනකං බලා සිටිමි 👊🏽

      Delete
  5. මටනම් ඇත්තටම අවශ්‍ය ඇත්ත දැනගන්නත් එය විද්‍යාත්මක රාමුවක තේරුම් ගැනීමත්. එසේම එය තර්කානුකූල විය යුතුයි. සර්ව ව්‍යාපී සර්ව සාධාරන විය යුතුයි.ඒ කියන්නෙ ගණිතයෙ වගෙ කවුරු කලත් එකම රිසල්ට් එකක් එන්න ඕන.

    මට පෝස්ට් එකක් දාන්න කාලවේලා නැති නිසා මගේ පර්යේශන වලින් බැසගත් නිගමනය මෙහි දක්වන්නම්.
    විශ්වයේ සැබවින්ම අතීතයක් වර්තමානයක් අනාගතයක් නැත. මාළු ටැංකියක මාළුන් සේ හෝ මල්ලක ඇති ජිල්බෝල සේ විශ්වයේ සිදුවීම් පවතී. මෙම චලනයන් විවිධ රටා ලෙස විය හැක. එයට සමාන්තර විශ්ව ආකෘතිය ලෙස තේරුම් ගත හැකිය.
    මගෙ පර්යේශන අනුවත් රහස් කියා දෙයක් නැති බවත් අපේ සිතිවිලි පවා කිසියම් මට්ටමකට නිරාවරනය වූ තත්වයක් විශ්වයේ ඇති බවත් නිගමනය කරනවා.අපේ ජීවිතයේ සිදුවූ සියලු සිදුවීම් චිත්‍රපටයක් බලන අයුරින් බැලිය හැකියි. මෙය අනාගතයටද වලංගුයි.

    ඒ එසේ නම් විශ්වය ආරම්භයේදීම සියල්ල එකම පුංජයක තිබී ප්‍රසාරනය වනවා විය හැකියි. කාලය එයට අදාල නැති අතර කාලය හා දිශාව අපේ ලෝකයේ අවබෝධකර ගැනීම් විය හැකියි.
    ගුප්ත දේවල් සත්‍යබව දැන කොවුර්වාදයෙන් එපිටට ආවත් කිසිසේත්ම ආගමික රාමුවකට යන්නෙ නෑ. ඒ වෙනුවට මෙය වෙනමම විද්‍යාවක් ලෙස තේරුම් ගන්නට හා අවබෝධ කරගන්නට මා කැමතියි.ඒ වාගෙම හදාරන්නත් කැමතියි.

    අපගේ ක්‍රියාවල ප්‍රතිපල ආගම්වල කියන තරම් දරුණු නැත.ශාප වැනි දේවල් ප්‍රබල වන අතර වඩා වැදගත් මානසික ක්‍රියාකාරීත්වයයි.

    අපගේ තොරතුරු දන්නා ජීවීන් පිරිසක් ස්ථිරවම විශ්වයේ සිටිති.මෙම නිගමනය වෙනස් විය හැක.

    කෙසේ නමුත් පුනර්භවය හා සමහර මරනාසන්න අත්දැකීම් කියන අය කියන ලෙස මියගිය අය සමූහ වශයෙන් හමුවීම පරස්පර විරෝධීය.

    ReplyDelete
    Replies
    1. මට තර්කනුකුලාව තේරුම් ගණන් බරිටික තමා මම ලියන්නේ.
      //මගෙ පර්යේශන අනුවත් රහස් කියා දෙයක් නැති බවත් අපේ සිතිවිලි පවා කිසියම් මට්ටමකට නිරාවරනය වූ තත්වයක් විශ්වයේ ඇති බවත් නිගමනය කරනවා.අපේ ජීවිතයේ සිදුවූ සියලු සිදුවීම් චිත්‍රපටයක් බලන අයුරින් බැලිය හැකියි. මෙය අනාගතයටද වලංගුයි.// මේ වගේ අදහසක් මටත් කාලෙක තිබ්බා.
      //ඒ එසේ නම් විශ්වය ආරම්භයේදීම සියල්ල එකම පුංජයක තිබී ප්‍රසාරනය වනවා විය හැකියි.// මේකනේ දැන් තියන කොස්මික් මොඩල් එක.
      පුනර්භවය හෙම මම විශ්වාස කරන දේවල් නෙමේ.

      Delete
    2. සියලුම මතධාරීන් වෙත,(භෞතිකවාදීන් )
      ඔබලා ගෙනියන මෙම සංවාද අප කාටත් කාලෝචිතයි මුත් දන්නෙ නැති දෙයක් ලියවුනාම පහත් කොට පෙන්වීම බුද්ධිමත් භාවය පෙන්වන ඔබලා සමාජය ට විෂයෙ දැනුම කෙසේ ඉවසීමෙන් වමාරන්න බලාපොරොත්තුවේද?මනස දියුනු වෙන්නෙ ඉවසීම තුලින් පමණි.
      හිටියා ඔබලා වැනිම කණ්ඩායමක් ෆේස්බුකියෙ 'ලංකාෆේස්බුක්'සමාජයක් බුද්ධියට තැන යන්නෙන් ලියා,මාස 2ක් ඇතුලත මා සහ මිතුරු කැලක් ඔවුන්ගේ පිටුවෙ සාමාජිකයින් ගැන තොරතුරු සොයා යන කල අඩකටත් වැඩියෙන් ගංජ කුඩු කාමාචරයින්.ඉතින් ඔබලාව මෙයට සමාන කරනවා නොව නමුත් ඔබලා දෙන ටෝක්ස් නිසා සමජය රැඳෙන්න භිය දක්වයි(උදා;පොතක් ලියන්න වටී/තොප්පිය හරිනම් දාගන්න යනාදිය )ඒ සියලුම කොළඹ සහ අවට පලාත් වල ඉන්න අයයි.ඔබලා පවත්වාගෙන යන්නේද සමාජයට දැනුම ලබාදෙන අරමුණින් නොවෙද?

      Delete
  6. මා කලින් ලිපියේ මතය නැවත ඉදිරිපත් කරමි.
    ඔබ වැදගත් යයි නොසිතූවත් ඔබ දන්නා දෙයකින් එහා අලුත් දෙයක් කීමට ඔය මීඩියම්ලාට නොහැකිය​.
    එසේ හැකි වුනිනම් ලොව බොහෝ දේ නොසිතිය හැකිලෙස වෙනස් වනු ඇත​.
    ඉතිහාසය දිනපතා අප්ඩේට් වන විශයක් වනු ඇත​.
    තමන් දන්නා දේ මලවුන් කියන්නට පටන්ගෙන කනක් ඇහෙන්නට බැරි තත්වයක් ඇති වනු ඇත​.

    ReplyDelete
    Replies
    1. මා මුලදී එසේ සිතුවෙමි.ඊළඟ ලිපියත් කියවන්න. මෙතන මගේ ප්‍රශ්නය වුනේ ළමයා වතුර ඉල්ලීම මා කළ දෙයක් මිස මා "දන්නා" දෙයක් නොවේ.
      //තමන් දන්නා දේ මලවුන් කියන්නට පටන්ගෙන කනක් ඇහෙන්නට බැරි තත්වයක් ඇති වනු ඇත​.// ලවුලන් මේවා කීම අත හරියේ ඇයි කියල මොකද හිතන්නේ?

      Delete
  7. //"එංගලන්තයේ සිටින ළමයා ද "// - මේ කියන්නේ ඔබ ගැනද?
    // ඉන්පසු ඇය කීවේ මගෙන් හුරුබුහුටි කුඩා ළදැරියක් වතුර ඉල්ලු බවයි. // මේ දානය මොහොතේ සිද්ද වුනු දෙයක්ද. නැත්නම් මියගිය ආත්මයක් ගැනද?

    ReplyDelete
    Replies
    1. //"එංගලන්තයේ සිටින ළමයා ද "// - මේ කියන්නේ ඔබ ගැනද? - මේ අර හාමුදුරුවෝ මාව අමතන හැටි.

      දෙවන එක දානය දුන් දවසේ සිදු වූ දෙයක්. ලවුලන් මේක කිවේ කොහොමද කියන එක මට ප්‍රශ්නයක් වුණා. ඒක කිවේ මගේ පියා බවයි ඇය කියන්නේ. දානය දෙන මොහොතේ ඔහු එහි සිටි බවයි ඇය කියන්නේ.

      Delete
  8. ඉවරද , ඉවර නැනේද

    ReplyDelete
    Replies
    1. මැරිලත් ඉවර නෑ

      Delete
    2. ප්‍රා ව අහවල් ලෝකෙට යවලා බලමුද එයිද කියල?

      Delete
  9. ජෝන් එඩ්වඩ් කව්ද බං. ඌ කෙලින්ම නම කියන්නෙ නෑ නේ. ඒත් මට හම්බ වෙලා තියෙනවා සම්පූර්ණයෙන්ම නම කියන උන්. මෑතකම හම්බ උනා නියම පොරක්. පොර තනිකර වැඩේ කරන්නෙ භාවනාවෙන්. පොරගෙන් ඇහුවාම මට කියපු ඔක්කොම කිව්වෙ හාමිනාගේ අප්පුච්චා කියල. ඉස්සරහට වෙන ඒවත් කිව්වා. නෑයන්ට මිතුරන්ට කියපු ඔක්කොම හරි. මගේ බ්ලොග් ලිවිල්ල ගැනත් කිව්වා විතරක් නෙමෙයි
    කියලා කින්ඩියත් දැම්මා.

    සමහර උන් බොරු කරන එකත් ඇත්ත ඒත් මුදල් සතයක්වත් ගන්නෙ නැතිව මේ දේවල් කරන උනුත් අනන්ත ඉන්නවා.

    ඔය් බම්බාවල ඉන්දියාවෙන් ඇවිත් තමන්ටම එකක් ලියලා තියෙනවා කියලා පුස්කොල පොතක් බලාගෙන කලේ තනිකර බොරුව. උන් මාත් එක්ක ඔරොප්පුත් උනා. උන් කරන්නේ උදේ ඉන්ෆෝමේසොන් අරගෙන හඳන කියවන එක. අම්මගෙ නම තාත්තගෙ නම ඔක්කොම කටින් අල්ලගන්නෙ. හඳන පාට් එක බේසික් කියවීම.

    අපේ උන්ට සුද්දෙක් කීවොත් ඕවත් ඇත්ත. නැත්නම් පච. මරු භෞතිකවාදියෝ. කිසි දෙයක් හොයන්නෙ බලන්නෙ නෑ. භෞතිකවාදියොත් එකයි, අර ජාතියෙ උන්ට අහුවෙන උනුත් එකයි.

    ReplyDelete
    Replies
    1. නාඩි වාක්‍ය බොරු නෙමෙයි .මම අහන්න ගියා .හරියටම කිව්ව. අවුරුදු දහස් ගනනකට පෙර සිටි ඍෂීවරු පත් ඉරු ලියපු කතාව නම් පිලිගන්නෙ නෑ. හැබැයි මොනක්‍රමයකින් හරි නියම විස්තර කිව්ව.

      Delete
    2. ඔය 'නියම පොර' ඉන්නෙ කොයිබෙයි හැබෑට?

      Delete
    3. නාඩිවාක්‍ය ගැනත් කියන්නම්. පත් ඉරුවක් අරන් තාත්තගෙ නම කියල නමක් කිව්ව.නෑ කිව්ව. ඔය විදියට චන්ද්‍රසිරි ආනන්ද වගෙ නම් කීපයක්ම කිව්ව. පස්සෙ ඇහුව තාත්තගෙ නමේ මුල් අකුර. අන්තිම අකුරත් ඇහුව. ඊට පස්සෙ හරියටම නම කිව්ව. අසාමාන්‍ය අනුමානකිරීමකින් එහෙම කිව්ව කියමු. ඊලඟට අම්මගෙ නම කෙලින්ම කිව්ව.දෙමවුපියන් විශ්‍රාමික කියලත් කිව්ව. මගෙ නමත් කෙලින්ම කිව්ව.පවුලෙ විස්තරත් කිව්ව. අධ්‍යාපන සුදුසුකම් ගැනත් රැකියාව ගැනත් කිව්ව.කේන්දරේ ග්‍රහ පිහිටීම් හා නැකත ආදියත් හරියටම කිව්ව.

      හරි අපි ඍනාත්මකවම හිතමු. මේ අය සී අයි ඒ ,කේ ජී බී වගෙ තදයො කියල. ඒ අයගෙ ඒජන්ට ල හැම තැනම ඉන්නව. උදේ තොරතුරු අරන් හවසට කියනව කියල.ඒක වෙන්න බැරි දෙයක් බව වෙනම කතාවක්. මොහොතකට එහෙම හිතමු.
      මගෙන් ගත්තෙ උපන්දිනය පමනයි. හවස දෙක වෙනකොට මගෙ උප්පැන්න සහතිකය ගත්ත කියල.නමුත් උප්පැන්න සහතිකේ උපන් වෙලාව නැහැ. කොහොමද කේන්දරේ ග්‍රහපිහිටීම් කියන්නෙ.ඒකට උපන් වෙලාව දැනගන්නම ඕන.

      Delete
    4. ඇයි ප්‍රශ්ණ ඔක්කෝම අහලා ඉවර වෙලා කැසට් එක ඔන් කරන්නේ. උන් අහන ප්‍රශ්ණ තොගේට උඹ අන්දුනා කියලා උඹටම තේරෙන්නේ නෑ...

      Delete
    5. මාතෙ. සොරි සබ්ජෙක්ට් එකෙන් පිට. උබ ආයෙ කවදයි බ්ලොග් එක අප්ඩේට් කොරන්නේ.? ප්ලීස් 🤓

      Delete
    6. ජෝන් එඩ්වඩ් මට එච්චරම අල්ලන්නේ නැහැ. නිකන් හොඳ ඩේටා ඇනලිස්ට් කෙනෙකුටත් ඒවගේ දේවල් කියනන් පුළුවන්. මම දැන් බලන්නෙම නැහැ.

      Delete
    7. ඩිග්‍රිය ගත්තයින් පස්සෙ මචෝ.....

      Delete
    8. අඩේ මාතලන් උඹ ඔය ගින්දර ඩයල් එකෙන් ඇහුවේ නැතිද ලංකාව බෙදෙනවද නැතිද කියල? හරියටම දැනගත්තනම් මේ තර්ක විතර්ක ඔක්කොම අල්ලලා දාල වැඩක් බලා ගන්න තිබ්බනේ

      Delete
    9. ඒක මොකටද උගෙන් අහන්නේ. ලංකාව දැනටමත් බෙදුන රාජ්ජයක් වෙච්චි එකේ. බයියො ටොයියො. උඩරට පහතරට. ගමේ නගරේ.ආගම්. ජාති. කුලය. පාසැල්. ටැකියා. දිස්තිරික්ක. පලාත්. ගම්. දුප්පත් පොහොසත්.තා කී දාහකට බෙෆ්හිලද ඉන්නෙ.

      Delete
  10. //මෙයින් පසු මා බොහෝ විට තැත් කළේ මේ මළවුන් ගෙන්වීම සත්‍යයක්ද යන්න සෙවීමටය. //

    සෝ කොල්ඩ් මලවුන් එසේ ගෙන්වූවානම් එයින් ගම්ය වන්නේ ඒ හාදයෝ නොමලවුන් බව ය!

    ReplyDelete
    Replies
    1. මිනීමැරුම් නඩුවල වෙන සාක්කි ඕනෙ වෙන්නෙත් නෑ

      GMOA එක ස්ට්‍රයික් කලාට කමක් නෑ මලවුන් නැගිට්ටන්න පුලුවන් නම්.

      මැලවිලා ඉන්න උන් නැගිට්ටන්න සරාස්තුමාගෙ කමෙන්ට්වලට පුලුවන් වෙයි

      Delete
    2. /// මැලවිලා ඉන්න උන් නැගිට්ටන්න සරාස්තුමාගෙ කමෙන්ට්වලට පුලුවන් වෙයි ///

      මැයි පලවෙනිදාට සිරිකොත ගිහින් මැලවිලා ඉන්න ඈයෝ නැගිට්ටලා දෙනවා හිටන්!

      Delete
    3. පෙර රජ දරුවන්වත් නැගිට්ටනවද ඉඳං?

      Delete
    4. දැන් සරසෝ මේ මිඩියම් කියන පොරවල් වල තර්කයත් එකයි. අපි මැරෙන්නේ නැහැ. වෙන තැනකට යනවා විතරයි කියල. ටිකක් බුද්ධාගම හින්දු ආගම වගේ තමා.
      //මිනීමැරුම් නඩුවල වෙන සාක්කි ඕනෙ වෙන්නෙත් නෑ// ප්‍රා මම මේ ගොල්ලට ඇන්නෙව්වේ මෙතනින්. ඊළඟ ලිපිය බලපන්.

      Delete
    5. අනුලා දේවි ඔබ අනුලා දේවි

      Delete
    6. අජිත් මෙතැන ඔබේ මතයේ බරපතල වරදක් තියෙනවානේ.
      ටිකක් බුද්ධාගම හින්දු ආගම වගේ....
      ඒක එහෙම වෙන්නේ කොහොමද?
      හින්දු ආගමේ පවතින ආත්මය මෙතැනින් තව තැනකට එතැනින් තව තැනකට වශයෙනුත්, මැවුම් වාදී ආගම් වල මෙතැනින් සදා කාලික නිරයට හෝ සදාකාලික දේව සභාවට පිවිසෙනවානේ. මේ දෙකේදිම ඒ මැරුණු කෙනාමනේ.
      එතකොට මරණින් පසු පැවැත්ම කියන තත්වයේදී බුදු දහම ඊට ඉඳුරාම පටහැනියිනේ.
      බුදු දහම කිසිම තැනක කියන්නේ නැහැනේ මැරුණු පුද්ගලයාම නැවත උපත ලබනවාය කියලා.

      Delete
    7. බුදු දහමේ කිසි තැනක කියල නැහැ මැරුණු පුද්ගලයා නොවේය කියලත්. බුදු දහමේ දෙවිධියක් කියනවා. ගන්ධබ්බ අවධියකට ගිහින් ඉන්පසු නැවත උත්පත්තිය ලබනවා. ගන්ධබ්බ අවදිය දවසක් වෙන්නත් පුළුවන්. මාසයක් වෙන්නත් පුළුවන්. මහායාන බුදු දහමේ කෙලින්ම උපත ලබනවා. උපත ලබන කෙනා මමත් නෙමේ වෙන කෙනෙකුත් නෙමේ. බුදු දහමේ කියන්නේ එහමයි. ඒ කියනේ ඔය මරුන ගමන් ඔයාගේ කර්මයට වෙලාව එකතු වෙනවා, ඔයාගේ පෙර ජීවිතයත් එකතු වෙනවා. එක හෝ කියක් හරි. ඉතින් මැරුණ කෙනා ඔයත් නෙමේ. වෙන කෙනෙකුත් නෙමේ.

      Delete
    8. ඔබ කියන කාරනය හරි ඒ වගේම වැරදියි මම දකින විදියට.
      ඔව් බුදු දහම කියන්නේ නැහැ මැරුණු පුද්ගලයා නොවෙයිකියලා ඒක හරි "නච සෝ නච අඤ්ඤෝ"
      ගන්ධබ්බ අවධියක් ගැන ත්‍රිපිටකයේ සඳහන් නොවන බවක් තමයි බොහෝ දුරට ත්‍රිපිටකය හැදෑරූ අය කියන්නේ. මට පෞද්ගලිකවත් සූත්‍ර පිටකයේ මා පරිශීලනය කල සුළු ප්‍රමානය තුල එවැන්නක් හමුවී නැහැ.
      ඒත් පටිච්ච සපුප්පාදය තුල මේ ගැන කෙනෙකුට වටහා ගත හැකි සත්‍යය පැහැදිලිවම දැක්වෙනවා. පටිච්ච සමුප්පාදය අනුව පංචස්කන්ධයකින් තොරව සත්ත්වයෙක් කොහෙත්ම පවතින්න බැහැ. එතකොට ඔය කියන ගන්ධබ්බයාට පංචස්කන්ධයක් තියෙනවානම් ඒ පැහැදිලිවම වෙනත් උපතක් ලැබූ සත්ත්වයෙක් මිසක් අතර මැදි තත්වයක් නෙවෙයි. ඒක වචනාර්ථය ඉක්මවා ගිහින් බොහෝම ගැඹුරින් විග්‍රහ කල යුතු තැනක. මම ඒක ටිකක් තේරුම් ගත්තා කියලා හිතෙනවා.
      මැරුණු ගමන් සත්ත්වයාට කර්මය හා වේලාව එකතු වීම කියන සංකල්පයේ මූලය ගැන මම දන්නේ නැහැ. හැබැයි ඒක බුදු දහමට පටහැනි ඉගැන්වීමක් කියලා නම් කිව හැකියි.
      බුදු දහම අනුව සත්ත්වයෙක් සැදුම් ලබන්නේ පංචස්කන්දයකින්. ඒ කියන්නේ සත්ත්වයාව කොටස් පහකට බෙදා දක්වනවා. ඒ වගේම බුදු දහම පැහැදිලිවම කියනවා සත්ත්වයෙකුගේ මරණයේදී මුලු පංචස්කන්දයම බිඳී විසිරී යනවා කියලා.
      දැන් ඔබ කියන්නේ බුදු දහමේ දැක්මයි හින්දු දැක්මයි එකයි කියලා ද?.
      නැතිනම් සියළු දේව වාදයන්හි දැක්ම එකයි බුදු දහමේ දැක්ම වෙනයිකියලා ද?.

      Delete
    9. මම නම් කියන්නේ දැන් තියෙන්නේ බුද්ධ දර්ශනය නෙමෙයි ,,,හින්දු ,ජෙයින් ,දේව ආගමික මත ඔක්කොම එකතු වෙලා හැදුනු අච්චාරුවක් ,,,බුදු දහම ,අනිත්‍යයි දුකයි පැහැදිලිවම අනාත්මයි ,,,අනාත්ම කියන එකේ තේරුම ආත්මයක් නෑ කියන එක ,,,බුදුහාමුදුරුවෝ එක තැනක බොහොම පැහැදිලිව කියනවා මේ ශරීරය ඇතුලේ ගින්නෙන් දවන්න බැරි ,විනාස කරන්න බැරි කිසි දෙයක් නෑ මැරුනයින් පස්සේ ඉතුරු වෙන කියලා ....අනික බලන්න ඔය ගන්ධබ්බ කතාව නවීන විද්‍යාවට අනුව කියනවා දරුවෙක් පිළිසිඳ ගන්නනම් තියෙන්න ඕනි කාරනා ,,,ලිංගික එකතු වීමක් තියෙන්න ඕනි ,ස්ත්‍රියගේ සරු කාලය වෙන්න ඕනි ,ජීවි ශුක්‍රාණුවක් එකතු වෙන්න ඕනි බුදු දහමට අනුව දරුවෙක් පිළිසිඳ ගන්න ලිංගික එකතු වීමක් ,ස්ත්‍රියගේ දරු ගැබ දරුවෙක් හට ගන්න සුදුසු ආකාරයකට තියෙන්න ඕනි ,ගන්ධබ්බයෙක් එන්න ඕනි ,,,එතකොට මෙතන ගන්ධබ්බයා කියන්නේ අහසේ සැරිසරන ආත්මයකද ...නැත්තම් සජීවී ශුක්රානුවක්ද ?????

      Delete
    10. බුදු දහමේ දිගටම යන ආත්මයක් ගැන කතාවක් නැහැ. (continuous soul) ඒක මම පිලිගන්නවා. දේවවාදී ආගම් වල මරණින් මතු දිව්‍යලෝකේ යන immortal එක ගන්නේ තියෙන්නේ. ඒවා බුදු දහමට වෙනස්. මම කියන්නේ ඔතන එකයි කිව්වේ මරණින් මතු මොකක් හෝ තියනවා කියන එක. ඉතාම බේසික් තේරුමෙන්.
      අපි විද්‍යාත්මකව - ඒක තමයි බින්දුව - සීරෝ පොඉන්ට් එක - විද්‍යාවේ මරණනි මතු මුකුත් නැහැ. මැරුණා එතනිං ඉවරයි. දැන් මේ කට්ටිය කියනව. මරණය කියන්නේ කෙළවර නෙමේ. මරණයෙන් මේක ඉවර නැහැ. මම බුද්ධාගම හා හින්දු ආගම වගේ කියල. මේ පුද්ගලයා වේවා හෝ නොවේවා බුදු දහමේ මරණින් මතු ජිවිතයක් ගැන කියනවා. ඔබ නැහැ කියනවද?

      Delete
    11. මම හිතන්නේ මට වැරදුනාද දන්නේ නැහැ, එහනම් මහායාන බුදු දහමේ වෙන්න ඕනේ ගන්ධබ්බ ය ගැන කියන්නේ. මෙන්න ලින්ක් එකක්.
      ගන්ධබ්බයා බාගෙන කියවනං

      Delete
    12. ඇනෝ 5.32 හරි. මම කියවල් තියෙන්නෙත් බුදුන් වහන්සේ ඔය කාරණා තුන ගැන කිව්වා කියල. ගන්ධබ්බයෙක් සිටීම අවශ්‍යයි. //,ලිංගික එකතු වීමක් තියෙන්න ඕනි ,ස්ත්‍රියගේ සරු කාලය වෙන්න ඕනි ,ජීවි ශුක්‍රාණුවක් එකතු වෙන්න ඕනි බුදු දහමට අනුව දරුවෙක් පිළිසිඳ ගන්න ලිංගික එකතු වීමක් ,ස්ත්‍රියගේ දරු ගැබ දරුවෙක් හට ගන්න සුදුසු ආකාරයකට තියෙන්න ඕනි ,ගන්ධබ්බයෙක් එන්න ඕනි//

      Delete
    13. පත්තරමල්ලිඅයියව මතක් වුනා

      Delete
    14. Mahatanhasankhaya Sutta:මහාතන්සඛය සුත්‍රය
      http://www.accesstoinsight.org/tipitaka/mn/mn.038.than.html
      මෙහි ටිබෙනේ ලස ථෙරවාදය ගන්ධබ්බ සංකල්පය පිලි ගන්නේ නැති අතර මහායානය පිළිගනිති.
      http://santifm.org/santipada/wp-content/uploads/2010/05/RebirthandInbetweenState.pdf

      Delete
    15. ඔයාට පත්තර මල්ලි අයියා වුනේ කොහොමද?

      Delete
    16. අජිත්,
      අක් එක් අය ලියූ ලිපි නොවෙයි, ගන්දබ්බයෙකු ගැන කියැවෙන සූත්‍ර පිටකයට අයත් සූත්‍රයක් ඇත්ද? එසේනම් ඒ කුමක්ද?
      ඔබ දන්නවානම් එය නම් කරන්න. මා සතුව සම්පූර්ණ සිංහල ත්‍රිපිටකය තියෙනවා. මම එය කියවා මමත් වැරදිනම් නිවැරදි කර ගත යුතුයි.

      Delete
    17. ඔව් ගන්ධබ්බ සංකල්පය මහායාන සංකල්පයක් තමයි.
      ඒ වගේම මහායානය බොහෝ දුරට බුද්ධ භාශිතයන්ම නොවෙයි.
      ඒත් මහා යානය ධ්‍යාන භාවනා පාර්ශවයට ඉතාම බරයි එම නිසා එය හොඳ වැඩ පිළිවෙලක්. ඒත් එහි නිවැරදි නිවන් මාර්ගය ඇති බවක් පෙනෙන්නේ නැහැ.

      වෙන කිසිවක් එපා පටිච්ච සමුප්පාදය තුලින් පමණක් ඔබට ගන්ධබ්බ සංකල්පය හේතු සහිතද රහිතද කියා වටහා ගත හැකියි.

      Delete
    18. එය සුත්‍රයේ නම නේ ඔය උඩ ලියල තියෙන්නේ. Mahatanhasankhaya Sutta:මහාතන්සඛය සුත්‍රය
      //ඒ වගේම මහායානය බොහෝ දුරට බුද්ධ භාශිතයන්ම නොවෙයි. // කොහොමද දන්නේ ඒක? අභයගිරි , මහා විහාර ප්‍රශ්නය කියවල තියනවද? මහාවිහාර වර්ෂන් එක (තේරිය කියල එගොල්ලට කියන්නේ) තමා මාතලේදී සංගායන කලේ. වට්ටගාමිණී අභය කියන රජතුමා හැදුව අහයගිරි විහාරයේ ක්‍රිපූ 217 විතර මහායාන ක්‍රමය තමා තිබුනේ.
      //ඒත් මහා යානය ධ්‍යාන භාවනා පාර්ශවයට ඉතාම බරයි එම නිසා එය හොඳ වැඩ පිළිවෙලක්. ඒත් එහි නිවැරදි නිවන් මාර්ගය ඇති බවක් පෙනෙන්නේ නැහැ.// කොහොමද දන්නේ? ඔයා නිවන ලබපු කවුරුහරි දන්නවද

      Delete
    19. මෙතන අපි ගන්ධබ්බ කතාව පටන් ගත්තොත් මුලික ප්‍රශ්නය මග හැරෙනවා? බුදු දහම හා හින්දු ආගම මුලික වශයෙන් වෙනස් බව මම පිලි ගන්නවා. අමං බුදු දහම හා හින්දු දහම වගේ කියන යෙදුම යෙදුවේ දෙකේම මරණින් මතු ජීවිතය විශ්වාස කරන නිසා විතරයි. කොහොමද විශ්වාස කරන්නේ කියන එක අදාල නැහැ. දෙකේම මතු ඉපදීම තියනවා එකක් ගන්ධබ්බ අවස්ථා ව තියනෙනවා. (මහායාන)

      Delete
    20. හරි එකඟයි, අපි මාතෘකාව තුල රැඳෙමින් ඉදිරියට යමු. ඒ තුලින් අපි හැමෝටම ඉගෙන ගන්න දෙයක් තියේවි කියලා මම හිතනවා.

      Delete
    21. අජිත්,
      මජ්ජිම නිකායේ මූලපණ්ණාසකයෙහි 38 වැනි සූත්‍රය වූ මහා තණ්හාසංඛය සූත්‍රය කියැවීමට මට මග පාදා දීම ගැන ඔබට පින්.
      ඔබ නිවැරදිවම කියන පරිදි එහි ගන්ධබ්බ කියන වචනය කියැවේ.
      එහෙත් සමස්තය ගත් කල එහි කියැවෙන්නේ ඉතාම ගැඹුරු මහා ධර්ම විමර්ශනයකි. එම සූත්‍රයෙහි මූලික අරමුණම පවතිනා වූ විඤ්ඤානයක් නැති බව පැහැදිලි කිරීමයි. සූත්‍රයෙහි පදනම පටිච්ච සමුප්පාදයයි.
      මෙය කිසි සේත්ම වාදයකට කරුනු නොවේ.
      මේ සූත්‍රයට අනුව බුදුදහම ගන්ධබ්බයකු ගැන කියනවා කියා යමෙකු කියනවානම් එය හුදු නොවැටහීමමය.
      මින් මනත මම මේ කරුන ගැන වාදයකට නො එළැඹෙමි.
      නැවතත් ඔබට පින්.

      Delete
    22. ඔබ ඇසුවේ //ගන්දබ්බයෙකු ගැන කියැවෙන සූත්‍ර පිටකයට අයත් සූත්‍රයක් ඇත්ද? එසේනම් ඒ කුමක්ද?// ඔය කියන සුත්‍රයේ ගන්දබ්බයෙකු ගැන කියැවේ.
      //එම සූත්‍රයෙහි මූලික අරමුණම පවතිනා වූ විඤ්ඤානයක් නැති බව පැහැදිලි කිරීමයි.// පවතින්නාවූ විඤ්ඤානයක් තිබේ යයි කීමත් ගන්දබ්බයකු සිටියි කීමත් දෙකකි.,පවතින්නාවූ විඤ්ඤානයක් ගැන මේ කියන්නේ දිගටම ඉපදෙන එකම හින්දු ආත්මය ගැනය. එහෙම දෙයක් නැති බව කීමටය. බුදු දහම ගන්දබ්බයන් ගැන කීම හරියම සුත්‍ර කිහිපයකින් සොයා ලිවිය යුතු දෙයකි. එය මහායාන සංකල්පයක් කියන්නේ ඒ නිසාය. ඔබ අසන නිසා මෙසේ කිව්වොත් ? අන්තරභාවය වෙනුවට ඇත්තේ ගන්ධබ්බයෙක් යයි කියවේ. කුද්දක නිකායේ තිරෝ කුද්දය සුත්‍රයේ ප්‍රේතයන් ගැන කියන අතර ගන්දබ්බය යනු - outside , පිටතින් සිටින තත්වය ගැන කියවේ. දන් දෙන්නේ ඇයි යන්න එහි කියවේ. දන් ගැනීමට එන්නන් කවුද - ප්‍රේතයන් පමණක් නොවේ. හැම බෞධ්ධ්යෙක්ම පින් පමුණුවන්නේ ඇයි? මැරුණු හැමෝම ප්‍රේතයන් නිසාද? ශ්‍රී ලංකාවේ හමුදුර්වරුන්ගේ තර්කය ඔවුන් විසින් ම බිඳ දමන බවක් පෙනේ.

      Delete
    23. බෞද්ධයන් කියන ගාථාවක් තිබේ.
      එත්තවතාච අමමෙහි සම්පදන් පුන්ඥ සම්පාදන ආදී වශයෙනි.
      තෙවරක් කියන මේ ගාථාවේ පින්දෙන අය ගැන කියවේ.
      සබ්බේ සත්තා අනුමොදන්තු - සියලු සත්වයෝ
      සබ්බේ භූතා අනුමෝදන්තු - සියලු භූතයෝ
      සබ්බේ දේවා අනුමෝදන්තු - සියලු දෙවියෝ
      මේ අය කවුද?

      Delete
    24. අජිත් මෙතැන එක ප්‍රශ්නයක් නෙවෙයි ඔබ මගෙන් ප්‍රෂ්ණ වැලක්ම අහනවා. මේ ඔක්කොටම එක වර පිළිතුරු දෙන්නේ කොහොමද?
      එකක් මුලින් කිව යුතුයි. මම ආගමික කරුනු ගැන කිසි විටෙක වාද කරන්නේ නැහැ. යමක් සාකච්චා කරනවා නම් ඒ අපැහැදිලි තැනක් පැහැදිලි කර ගැනීම පිණිසම පමණයි.
      ගන්ධබ්බ කියන එක ගත්තොත් මට හිතෙන්නේ මේ එකම වචනය යොදා ගෙන විවිධ අරුත් හිත දරාගෙන වාද කිරීමක් කියලයි මේක. ගන්ධබ්බයෙක් කියල මරණින් මතු යම් පැවැත්මක් (මිය ගිය කෙනාම ) ගැන විශ්වාසයක් මහා යානයෙහි ඇති බව මා කියවා තියෙනවා. ථේරවාද ත්‍රිපිටකය කියන්නේ කෙනෙකු මරණය හා සමගම අතරක් නැතිව ප්‍රථිසන්දියක් ලබන බවයි. ඒක එහෙම නම් ඔය කියන ගන්ධබ්බයා වෙනත් භවයක වසන සත්ත්වයෙකු විය යුතුයි. එසේම සූත්‍ර දේශනා වල ගන්ධබ්බ කියන වචනයෙන් මට වැටහෙන අරුත නම් උපතක් බලා පොරොත්තු වන සත්ත්වයෙකු හෝ ප්‍රථිසන්ධි ගැනීමට සුදුසු කෙනෙකු. මරණයත් සමග පංචස්කන්ධයම විසිරී යනවානම් මේ ප්‍රථිසන්ධි ගන්නේ කුමක්දැයි පැහැදිලි නැහැ.
      එය සිතද විඤ්ඤානයද? මේ ප්‍රශ්ණයට අදටත් මා තුල උත්තර නැහැ.
      කෙසේ වෙතත් මේ විඤ්ඤානයත් ප්‍රතිසන්ධි ගැනීමත් දෙකම Matter හෝ Energy නොවෙයි එය කිසියම් virtual සංකල්පයක් කියලයි මම හිතන්නේ.

      දෙවියන් භූතයන් කියන සංකල්ප ගත හොත්. ඒවා ඇතැයි කීමට හෝ නැතැයි කීමට මට සාක්ෂි නැති නිසා මා එය ඇත කියා හෝ නැත කියා ගන්නට පෙළැඹෙන්නේ නැහැ.
      මා කිසි දිනෙක දෙවියන් වඳින්නෙකු හෝ භාර හාර වන්නෙකු නොවෙයි.

      Delete
    25. නැහැ නැහැ එකවර පිළිතුරු දෙන්න වත් මෙතන පිළිතුරු දෙන්න වත් යන්න එපා. මෙය ඔබගෙන් අහනවටත් වඩා මගේ සිතේ ඇති වන තර්කනය ප්‍රශ්න වලට පෙරළීමයි කරලා තියෙන්නේ.
      වාද කිරම හොඳ දෙයක්. තරහ ගන්නේ නැතුව කරනන් පුලුවන්නම්. ටිබෙට් පන්සල් වල ඔය වාද කරන ක්‍රමය තිබෙනවා.
      මෙතැන් ප්‍රශ්නය අපි කුම හේතුවක් නිසා මහායාන මතය හරි කියල පිළිගන්නවද කුමන හේතුවක් නිසා ථෙරවාද මතය පිලිගන්න වද කියන එක. මළවුන් ඇවිත් මීඩියම් හා එක්ක කතා කරනවා නම් මහායාන මතය පිළි ගන්න වෙනවා.
      //කෙසේ වෙතත් මේ විඤ්ඤානයත් ප්‍රතිසන්ධි ගැනීමත් දෙකම Matter හෝ Energy නොවෙ//Matter හා Energy කොන්සේප්ට් එකට ලිපි අංක හතේ දී එනවා. එතකොට කතා කරමු.

      Delete
    26. @ නයනේ - සිතුවිළි
      //මේ සූත්‍රයට අනුව බුදුදහම ගන්ධබ්බයකු ගැන කියනවා කියා යමෙකු කියනවානම් එය හුදු නොවැටහීමමය.// +++++++++++

      එම සූත්‍රයේ ගන්ධබ්බයා යනුවෙන් අදහස් කරන්නේ වෙනත් ජීවිතයකින් චුතවීම සහ මෙතැන කර්මානුරූපව විඥ්ඥාණය සහ නාමරූපයේ පහලවීමයි.

      මව් කුසේ සෑදෙන්නේ සතර මහා ධාතූන්ගෙන් සෑදුනු රූපය පමණි. විඥ්ඥාණය සහ නාමරූප කර්මානුරූපව එහි පහලවිය යුතුය. මෙම සිද්ධිය කෙටියෙන් ගන්ධබ්බයාගේ පහලවීම ලෙසින් දක්වා ඇත.

      "ගන්ධබ්බො ච පච්චුපට්ඨිතො හොති"

      පච්චුපට්ඨිතො = පහලවී බැසගනී

      Delete
  11. http://www.sciforums.com/threads/do-spirits-souls-exist.12762/

    https://en.wikipedia.org/wiki/S%C3%A9ance

    මලවුන් කතාකරන්න ගෙන්වීමට වඩා ත්‍රිල් එකක් ගන්න පුලුවන් පිල්ලි සෝzම්බි යැවීමෙන් නේද? http://skepdic.com/zombies.html

    මළවුන් ගෙන්වීමට වඩා බ්ලොගයට සරාස්තුමා ගෙන්වීම බයානකය කියල අයිවන් කියල මහත්තයෙක් කිව්වා (ඒ මහත්තයගෙ බ්ලොගය මලවුන්ගෙන් නැගිටියිද?)

    ReplyDelete
    Replies
    1. මහත්තයා මළවුන් අතර නෙමේනේ. යන්තම් බේරිලා ඉන්නේ. අනේ අහිංසකයට ඉන්න දෙන්න.

      Delete
  12. දිගටම කියවමින්....
    ජයවේවා..!!

    ReplyDelete
  13. මේකෙ කමෙන්ට් මොඩරේට්වෙලා එනකම් බල බලා ඉඳල කමෙන්ටේටර් කෙනෙක් මලා

    ReplyDelete
    Replies
    1. // මේකෙ කමෙන්ට් මොඩරේට්වෙලා එනකම් බල බලා ඉඳල කමෙන්ටේටර් කෙනෙක් මලා //

      අදාල නෑ...
      මොඩරේටර් ඇවිල්ලා මෝඩ රේට් ඒකක් දැම්මාම මැරිච්චි එකා නැගිටීවි හිටන්!

      Delete
    2. එතකොට මලගිය ප්‍රාණකාරයා කමෙන්ට් දායිද saras voodoo ගුරුන්නාන්සේ?
      මලගිය උන් ඇනෝ දැම්මොත් කොහොමද හොයා ගන්නෙ?

      Delete
    3. ඒ කියන්නේ අර මළා කොමෙන්ට් එක දාන්නෙත් ප්‍රා ද? යකෝ ලංකාවේ නීතිඥයන්ට වැඩ නැතුවට අපි පලිද? අපි නිදා ගන්නේ නැත්ද?

      Delete
    4. අර යාළුවෙක් මලා කියන කොමෙන්ට් එක දාන්නේ මැරිච්ච ඇනෝ කෙනෙක්.

      Delete
  14. //අපි නිදා ගන්නේ නැත්ද? //

    හුහ්! මැරිලා කතා කරන්න පුලුවන් නම් නිදාගෙන මොඩරේට් කරන්න බැරි මොකද?

    අනේ මංද මිනීමැරුම් නඩු නම් නැතිවෙයි අර ඉයංතුමාගෙ නීතීඤ්ඤයන්ට

    ReplyDelete
  15. කමෙන්ට් ටික කියවලා මම මලා

    ReplyDelete
    Replies
    1. දැන් ඔය වෙන කෙනෙක්ද?

      Delete
  16. දෙවැනි කොටසත් බැලුවා. ඉතිරි කොටහත් ඉක්මනට කොටන්න.

    ReplyDelete
    Replies
    1. මේ තුන් වෙනි කොටසනේ.

      Delete
    2. 4 පිලිබදව කිව්වේ.

      Delete
  17. ප්‍රථමයෙන් මම මරණෙන් පස්සේ ජිවිතයක් ගැන පිලි ගන්නේ නෑ ...මරණින් පස්සේ සියල්ල ඉවරයි ,,දරුවෙක් හිටියොත් තමාගේ යම් ලක්ෂණ ටිකක් ඒ දරුවාගේ ඉතුරු වෙනවා ඇරෙන්න වෙන දෙයක් නෑ ...එක මගේ පුද්ගලික මතය ...
    සියලු ආගම් බිහි වෙන්නේ අපි ආවේ කොහෙන්ද මරණෙන් පස්සේ යන්නේ කොහෙන්ද යන්න තේරුම් ගැනීමට නොහැකි නිසා ,ඒ පිලිබඳව ඇති බිය නිසා
    ඔය පේන කියන ඒවා ගැන නම් මගේ ඇති මතය මෙහෙමයි ...අපිට නොපෙනෙන ජීවින් ඉන්නවා ,ඔනෑ තරම් ඒ අය අපට පේන්නේ නෑ ,,උන් මිනිස්සු මැරුනාම ඉතුරු වෙන මුකුත් නෙමෙයි අපේ ඇසට අහු වෙන්නේ නැති ජීවින් ...

    පේන කියන මිනිස්සු යම් ක්‍රමයකින් මේ ජීවින් එක්ක සම්බන්ද වෙනවා අදහස් හුවමාරු කර ගන්නවා ,,අපිට ඒවා දැක්කම පුදුම හිතෙනවා ,ඒ ජිවින්ට අපේ යටි හිතේ තියෙන දේවල් දැන ගන්න පුලුවන්ද කියලා මම දන්නේ නෑ ,,මටත් මේ ගැන අත්දැකීම් තියෙනවා , හොයලා බලලාත් තියෙනවා ,,,අවසානයේ හිතෙන්නේ ඔන්න ඔහොමයි

    ReplyDelete
    Replies
    1. මම හිතන විධිහට වැඩි වෙනසක් නැහැ. නමුත් මගේ පිළිවෙතක් තියනවා සොයා බලන. අපි නොදන්නා නිසා එක දෙවියන්ට භර දීල ඉන්නවත් එක එහෙම නොවේ කියන්න වත් මම යන්නේ නැහැ. මේ මිනිසුන් ගේ කතාවත් ඇසිය යුතුයි. මම මෙතන බොරු ලියන්නේ නැහැ. මේවා ඇත්තටම සිදූවූ දේවල්. මම රිස්ක් එකක් අරන් ලිව්වේ ඒකයි. කවදාවත් ලියන් හිතුවේ නැහැ. අපි කොහොමද මේක විස්තර කර ගන්නේ, ඇත්ත හොයන්නේ කියන එකනේ වැදගත්.

      Delete
    2. අනිවාරෙන් ,, හොයලා බලන් නැතුව හේතු වාදීන් වගේ ඔක්කොම බොරු කියන පිළිවෙතක් මගෙත් නෑ ...අජිත් මහතාත් එක්ක ආරෝවට නෙමෙයි උඩින් ලිව්ව ටික ලිව්වේ ...මම ගියා නුවර පැත්තේ එක තැනකට එතන්ට ගියාම ඒ මනුස්සයා කියනවා ආපු කාරණේ හිතේ තියා ගන්න කියලා ..පස්සේ එතන පිටිපස්සේ තියෙන පුංචි කාමරේකට යනවා ගිහින් ඇවිත් අපි ගිය කාරනාව පුංචි කොල කෑල්ලක ලියලා දෙනවා ...මම පලවෙනි පාර ගිහින් දෙයක් හිතා ගන්න කියලා මේ මනුස්සයා ගියා අර කාමරේ ඇතුලට ගිහින් ඇවිත් ඇහුවා මේක ඇත්තද බලන්නද නේද ආවේ ..විශ්වාස නැත්තම් ඇයි ආවේ කියලා ???මනුස්සයා එහෙම කරේ කොහොමද කියලා මට හිතා ගන්න බෑ ...ආයේ ගියා මගේ මව නැති උන වෙලාවේ එතකොටත් ''මල ගිය ඥාතියෙක්'' කියලා පොර ලියලා දුන්නා ...එතනට යන හැමෝගෙම කාරනාව එයා හරියටම ලියලා දෙනවා ...හැබැයි එතනට ගිය ගොඩක් අය කියන විදිහට එයා කාරණේ හරියට කියනවා නමුත් ඒක ඉෂ්ට වෙන්න කියලා කරන ගුරුකම නම් බොහෝ වෙලාවට හරි යන්නේ නෑ ...විභාග .රැකියා එනම් මනම් ගොඩක් දේවල් වලට මිනිස්සු එතනට යනවා ...මේ එක අත්දැකීමක් මේ වගේ ගොඩක් තැන වලට මම ගිහින් තියෙනවා ...අපේ පරණ අත්දැකීමක් හරි හිතේ තියෙන දේ හරි හරියට කියන්න මේ මිනිස්සුන්ට හැකියාව තියෙනවා ...හැබැයි විශේෂ තත්ව යටතේ ගොඩක් මේවා කරන මිනිස්සුන්ට එයා හදා ගත්ත දේවාලෙන් එළියේ මේවා කරන්න බෑ...ඒ කියන්නේ එතනින් එලියට ආවම එයාට තියෙන උදව්ව නැති වෙනවා ,,,

      Delete
    3. නැහැ මම එහෙම හිතුවෙත් නැහැ ඔබ අරෝවට එනව කියල. අර චාර්ජ් වුනහම එන පිළිතුරු කෙටියි සැරයි නේද? (අන්තර්ජාලයේ විශේෂයෙන්ම) ඔන්න ඕක තමා ලොකු ප්‍රශ්නය. මියගිය ඉන්නවා කියමු. ජිවත්ව හිටිය කාලේ අනාගතයකියන්න බැරි අය මැරුණම කියන්නේ කොහොමද? අනික එහෙම කියන්නේ කොහොමද? අර උඩ කියන ඩෙරෙන් බ්‍රව්න් ඔය දේම කරන්නේ කොහොමද විශේෂ බලයක් නැතුව?

      Delete
  18. මමත් අනාවැකි කියනවා. අහන්න ඕන අය එන්න.
    මගේ අනාවැකි.
    1. උත්සාහ කලොත් ප්‍රාජේට සීජේ වියහැක
    2. උත්සාහ කලොත් ඉයන්ට කෝපි නොබී සිටිය හැක
    3. උත්සාහ කලොත් රවි අයියාට කෙටි පෝස්ට් ලිවිය හැක
    4. උත්සාහ කලොත් විචාරකට ඉලක්කයට වෙඩි තැබිය හැක
    5. උත්සාහ කලොත් කමියාට ගෙයක් හැදිය හැක
    6. උත්සාහ කලොත් ඇනෝපිලස් මුද්දාට ෆොටෝ ගැසිය හැක.
    7. උත්සාහ කලත් බස්සිට උස යෑමට බැරිය.
    8. උත්සාහ කලොත් සාරසට දත් ගැලවිය හැක.
    ලොව මවිත කල විශ්මිත අනාවැකි ඇසීමට පැමිනෙන්න. ජෝතිසාස්ත්‍රගඟ අයිවන්

    ReplyDelete
    Replies
    1. උත්සාහ කලොත් අයිවන්ට ඊලඟ බ්ලොග් ලිපිය ලිවිය හැක.

      Delete
    2. උත්සාහ කළොත් ඉවාන් පවුලූශාට ජ්‍යෝතිශාස්ත්‍රඥ කියා නිවැරදිව ලියා ගත හැකිවෙනු ඇත.

      Delete
    3. නිවැරදිව තමා රසික ලියල තියෙන්නෙ. බොරුනං ප්‍රාජේ නීතිකඳකඳ තුමාගෙන් අහන්න. :D

      Delete
    4. අයිවන් ගේ අනාගත වාක්‍ය හැම එකටම උත්සාහය සම්බන්දයි නේ... :(

      Delete
  19. ඊ ළඟ ලිපිය එනතෙක් බලා සිටිමි

    ReplyDelete
    Replies
    1. දැනට ලියාගෙන යනවා.

      Delete
  20. ඉවාන් , රසික, සරසා සහ ප්‍රා - මට විහිළුව තේරෙනවා. නමුත් ලවුලෙන් ඇතුළු අයට මේක විහිළුවක් නෙමේ. එතනයි ප්‍රශ්නය. ඔය පුංචි දරුවා ගැන කියපු දේ විද්‍යාත්මකව ඔප්පු කරන්න පුලුවන්නම්. කොහොමද එහෙම කිව්වේ. මට අදටත් උත්තරයක් නැහැ. මොළයේ කිසියම් ක්‍රියාවක් නිසා මේ මිනිසුන්ට එහෙම පුළුවන් වෙලා කියන එක තමා දැනට මගේ අදහස.

    ReplyDelete
    Replies
    1. අජිත් ඔබ මේක විමසන ක්‍රමය හරි කියලා මටත් හිතෙනවා
      ඇත්තටම අපි විමසන්න ඕනේ මේක කලේ කොහොමද?
      විවිධ මතයන් නෙවෙයි විමර්ශනයක් කල යුතු වෙනවා.
      ඇස් වහ කටවහ ගැනත් මගේ ලඟ මේ වගේ මහා අද්භූත අත්දැකීමක් තියෙනවා. අදටත් මට ඒක ගැන විද්‍යාත්මක පදනමක් හිතා ගන්න බැහැ. ඒකත් මම පස්සේ වෙලාවක ලියන්නම්.

      Delete
    2. පුලුවන්නම් ලියන්න. නැත්නම් එවන්න මේකටම දාන්න . ඔයාගේ නමින්.

      Delete
    3. අජිත් මම මේක ලියන්නේ මේ සිදු වීම ඔබට වැදගත් විය හැකි නිසයි,
      මේක කමෙන්ටුවක් හැටියට දාන්න දිග වැඩි වෙයි. ඒක නිසා නොදැම්මට කමක් නැහැ ඔබ කියවා බලන්න. මේක 100% සත්‍ය අත්දැකීමක්
      අසූ ගනන් වල අපි පාසැල් යන කාලේ අපෙ ගෙවල් ලඟ ඕවිටක දන්නා අයියා කෙනෙක් පිපිඤ්ඤා වැවුවා. පැල වල ගෙඩි පීදිගෙන එන කාලේ දවසක් නාකි මිනිහෙක් ඇවිත් කොටුවට කියලා තියෙනවා ආ මුලු කොටුවෙම පිඤ්ඤා දාලා තියෙන්නේ, උඹද මෙක කලේ කියලා.
      මේ සිද්ධිය වෙන කොට මගේ අයියාත් කොටුවේ හිටියලු. අර වයසක් මනුස්සයා ගමම දන්න කට වහ කාරයෙක්.
      පහුවදා උදේ බලන කොට මුළු පිපිඤ්ඤා කොටුවම සුමානෙකින් වතුර දාලා නැහැ වගේ හේබාලා ගිහින් එක වැලක් නෑරම. කොටුව අයිති කාරයන්ට අනුව මේක තනිකරම කටවහ දෝශයක්.
      ඔය අතරේ අත පය තියාගෙන ඉන්න බැරි මමයි අයියායි මේ මැලැවුනු වල් කිහිපයක කඳන් පලලා බැලුවා. කඳ එහෙන පිටින්ම මිලි මීටර දෙකක් විතර දිග සිහින් පනුවෝ තුඩු දෙනවා. හිතා ගන්න බැරු තරම් පණුවෝ ගොඩක්. කොටුවේ කිහිප තැනකින්ම අපි අහඹු ලෙස මේ පරීක්ෂනය කලා.

      අපේ නිර්දේශය වුනේ මේක කෘමි ආසාදනයක් වහාම කොටුවට කෘමිනාෂක ඉසිය යුතුයි කියන එකයි.

      ඒත් මේ ආරංචියට කොටුවට ආ කොටුව වවන කෙනාගේ මහළු පියා, කිසිවක් නොකරන ලෙස අපිට උපදෙස් දී පිටව ගියා. සවස ඔහු නැවුම් කලයකට මැතිරූ වතුර එකකුත් අරගෙන ඇවිත් දෙහි අත්තකින් මුළු කොටුවටම ඉහින ලෙස කී නිසා අපි තුන්දෙනාම එකතු වී එය හරියටම කලා.

      පසුවදා උදේ බලන විට මුලු පිපිඤ්ඤා වගාවම සිද්ධියට පෙර දින තිබුනා වාගේම අපූරුවට සප්‍රානිකව තිබුනා. මා හා මගේ සොයුරා අපේ පරීක්ෂණය නැවත කලා. පෙර දින පැලූ කඳන්ද පරීක්ෂා කලා. ඒත් එකම තැනෙක වත් එවන් වූ පණුවෙකු සොයා ගත නොහැකි වුනා.

      මෙන්න මේකයි මා කී අත්දැකීම. මෙය කෙසේ නම් විද්‍යාත්මකව පහදන්නද?
      ඒත් දැන් වගේ මේ දේ වුනා නම් අපි නිදර්ශනයක් වහාම කොටුවෙන් ඉවත් කර ගන්නවා. එදා අපිට එවන් දැනුමක් තිබුනේ නැහැ.

      Delete
    4. ඕක හිතන්නත් අමාරු සිදුවීමක්. මම අහල තියනවා ඔය වගේ දේ. නමුත් විශ්වාස කරලා නැහැ ඇත්තටම.

      Delete
    5. ඔබ කියන දේ හරි,
      මමත් අදටත් මේවැන්නක් විය හැකියැයි විශ්වාස කරන්නේ නැහැ.
      ඒත් එදා පාසැල් සිසුන් ලෙස මේක වඩා නිවැරදිව විද්‍යාත්මක පර්යේශනයක් කිරීමට අපිට නොහැකි වීම ගැන අදටත් කනගාටුයි.
      එලෙස සත්ත්වයින් පහල වීමත් නැවත අතුරුදන් වීමත් කිසි සේත්ම පිළිගත හැකි සිදු වීමක් නොවෙයි.

      Delete
  21. ලංකාවේ වෛද්‍යවරයෙක් වකුගඩු රෝගයට පරීක්‍ෂණ කලේ ප්‍රියන්තා සේනානායක කියන මීඩියම් එකක් අරගෙන​. ඒත් මගේ අදහස අනුව මේ කාන්තාව තුල delusional disorder තත්වය තියනවා

    ReplyDelete
    Replies
    1. අර පිස්සු චන්න ගැනද ඔය කියන්නේ?

      Delete
    2. ඔය delusional disorder එක ගැන රුවන් ලියලා තියනවද? පොඩ්ඩක් දාන්න ලින්ක් එක.

      Delete
    3. exactly, that could be a good pint to think about these mediums

      Delete
  22. //මට විහිළුව තේරෙනවා.//

    බුදු අම්මේ ඇති යංතං. හිස හා දෙපතුල් හීතලවෙලා හිටියෙ.
    මළවුන් කතා කරත්, නැතත්, ග්‍රහයො බලපෑවත් නැතත්, කම්මලේ අත බැලුවත් නැතත් අපිට වැඩක් නෑ, බ්ලොගර්ස්ලට විහිලු තේරෙන එක තමයි අපිට මේවාගේ තියන වැදගත් දෙය.
    අරූ හෙවත් Dawn Distilling-toddy මහතා කීප පාරක් කිව්වා ස්මයිලින් ෆේස් එකක් නොදා විහිලු තේරෙන එක ලොකු දෙයක් කියලා

    ReplyDelete
    Replies
    1. රසිකලොජි වගේ උපතේ සිට විපත දක්වා සියලු පෞද්ගලික දේ බ්ලොගේ ලියන හාදයන් ට සීයට සීයක් නොවරදින සාත්තර කියන්න සර ස තුමා ටත් හැකිය!

      විහිලුවට නෙවෙයි හොඳේ?

      Delete
    2. සරසා මේ රසිකට පහර දීමක් නොවේ නම් ඔන්න කොමෙන්ටුව තබනවා. නැත්නම් සෙන්සර් බෝඩ් එකට දාන්න වෙනවා. :)
      ප්‍රා මම බැලුව මහා සොහොන් පිල්ලිය එවන්න. කළු කුමාරයා ටත් කිව්වා. එකෙක් වත් යන්න බැහැ කිව්වා. බැරිම තැන මෝහිනී ට කිව්වම කිව්වේ , "මට බෑ ඔය කෙට්ටු හීනි හුචක්කුව ගාවට යන්න. ඇඟේ මස් කලඳක් නැහැ. අර ඉයන් වගේ හැන්ඩියෙක් නම් තව කමක් නැහැ කියල. "

      Delete
    3. අජිත්.... පලමුව ඔබ රසිකලොජි බ්ලොගයට ගොස් අහඹුව තෝරාගත් ලිපි දහයක් කියවන්න....

      ඊට පසු ඔබටත් ඔහු ගැන විශ්මිත සාත්තර කියතෑකි...

      ස ර ස තුමා මතු කොරන්නට හැදුවේ එම පොයින්ට් එකයි...

      සාත්තර කරුවන් හෝ මීඩියම් ලා පාවිච්චි කොරන්නේ ද තම වික්ටිම්ස් ලා ගැන ඔවුන් ලබා ගැන්න පෙරදැනුමයි!

      Delete
    4. විහිළුවට කිව්වත් ඔය ඇත්තක් තියනවා. අර ටිලාන් කියන ඩෙරෙන් බ්‍රව්න් කරන්නේ ඕක. නමුත් ප්‍රශ්නේ එක නෙමේ. එහෙම හොයල කරන ඒවා ඇති. අර ජෝන් එඩ්වර්ඩ් වගේ. විහිළුව අත ඇරියොත් සරසා පිළිගත්තත් නැතත මම මම කසාද බැඳලා කියලවත් ලවුලෙන්ට කියල නැහැ. ඔය දුවෙක් ඉන්න කටහ්ව කිව්වේ පළමු දවසේමයි. මම ඉංග්‍රීසිද සිංහලද කියනන් විශිහක් නැහැ. මගේ හැන්ඩ්ල් එක ඉංග්‍රීසි නමක්. අනික මට ඒ ටෙක්ස්ට් එක හොයන්න පුළුවන්. පරණ වින්ඩොව්ස් 98 හාඩ් එකක ඇති. ඕක රැගෙන මේ කොම්පියුටරේට දාල ගන්න එක වාතයක්. ඒ නිසා මම ඇත්ත කියන්නේ කියලවත් උපකල්පනය කරපන්. අනික ඔය දෙවැනි පන්සලේ කතාව කියන්න ඒ ගෑනි පන්සල් ගිය ගැනියෙක් නම් කමක් නැහැ.

      Delete
  23. //ඉවාන් , රසික, සරසා සහ ප්‍රා - මට විහිළුව තේරෙනවා. නමුත් ලවුලෙන් ඇතුළු අයට මේක විහිළුවක් නෙමේ. එතනයි ප්‍රශ්නය. ඔය පුංචි දරුවා ගැන කියපු දේ විද්‍යාත්මකව ඔප්පු කරන්න පුලුවන්නම්. කොහොමද එහෙම කිව්වේ. මට අදටත් උත්තරයක් නැහැ//

    //මට අදටත් උත්තරයක් නැහැ\\
    මම ආවෙ දැන් කේස්එක විසඳිලාද කියල අහල දැනගන්න. ඒ කියන්නෙ ‍මේ ලිපි සීරීස් එක අවසානයේ අපටත් ප්‍රශ්නයක් ඉතිරි වෙනව විතරයි?

    ReplyDelete
    Replies
    1. විද්‍යාත්මකව ඔප්පු කර ගන්න බැහැ කියල රාජ් ට තේරෙනවනේ. මට පිළිතුර ලැබුනොත් ලවුලෙන් ට දෙනවා කියන පොරොන්දුව මත තමා මම කණ්ඩායමෙන් අයින් වුනේ. නමුත් මම තව අදහස් කිහිපයක් ලියනවා. කිසියම් අදහසක් මතු කර ගැනීම සඳහා.

      Delete
  24. මේවා ගැන මගේ මතය මෙච්චරයි. දැනට නං මට පිලිගත හැකි මට්ටමේ මේ ජාතියෙ කෙනෙක් මුණගැහිල නෑ. බොහොම දුර්වල විදියට කටින් අතීතය අල්ලගන්න හදන කිහිප දෙනෙකු ගැන නං දන්නව. ඒ වගේම මේවා ගැන පිලිගන්න පුළුවන් වෙන්නෙ අපට ඉතාම විශ්වාසවන්තයෙකු කියන දේවල් තුලින් පමණයි.

    ඊට අමතරව එඩ්ගා කේසිගෙ ඉඳල පහලට බැලුවොත්, ඔවුන් එක් අයෙක්වත් නිවරදියි කියල 80%කින් වත් පිලිගන්න තරම් සාක්ෂි ලැබිල නෑ. ඒකට හේතුවක් තියනව. දේශපාලන හෝ ආගමික හෝ සංස්කෘතික හෝ එවැනි හේතූන් නිසා මිනිස්සු මේවාට ඇබ්බැහි වෙනව. ඊට පස්සෙ සිද්ධ වෙන්නෙ සමාජයේ එක පිරිසක් මේවා ප්‍රතික්ෂේප කරද්දි තවත් විශාල පිරිසක් ඒවා අනුමත කිරීම. ඉතිං සත්‍ය ස්වභාවය වැහිල යනව.

    මම කියන කාරණයට හොඳ උදාහරණයක් තමයි පහුගිය කාලයේ නලින් ද සිල්වා මහතා සම්බන්ධ නාථ දෙවියන්ගේ සිදුවීම. නලින්ට දේශපාලනයක් තියනව. ඔහුට දේශපාලන අනුගාමිකයන් විශාල පිරිසකුත් ඉන්නව. ඒ වගේ වෙලාවක වෙන අනිවාර්ය සිදුවීම තමයි තරක කලහැකි උගත් මිනිස්සු ටිකකුත් මිත්‍යාව(?) පිටුපස යාම. බලන්න නාථ විශ්වාස කරන කොච්චර උගතුන් පිරිසක් ඉන්නවද කියල? මේ කතන්දරය නලින් නෙවේ වෙන දේවාලකාරයෙක් කිව්ව නං ඔය කියන පිරිස මොනව කියයිද?

    ReplyDelete
    Replies
    1. පලක් ඇති එකම කමෙන්ටුව

      Delete
    2. රාජ් ඔය ඉහත තියෙන නාථ දෙවියන් ගැන මගේ ලිපිය කියෙව්වද? නාථ දෙවියන් ගැන මගේ අදහස එවැනි දෙයක්. දැන් මට මුණ ගැහිලා පිළිගත හැකි මට්ටමේ කෙනා වන ලවුලන් හෙවත් ජැමී ඉන්නව මගේ ෆේස්බුක් එකේ. අපි තවම කතා කරනවා. නමුත් ලවුලෙන් දන්නවා මම මේවා ප්‍රශ්න කරමින් සිටින බව. එඩ්ගාර් කේසිගේ ඒවා ඔය මම උඩ ලියල තියෙන විධිහටම මම විශ්වාස කලෙත් නැහැ. නමුත් ඔයා ඒවා කියවල තියනවද මම දන්නේ නැහැ. මම කියෙව්වා. කරන්නත් උත්සාහ කළා. මම මෙතනින් කියන්න උත්සාහ කරන්නේ මම කිසිවක් ප්‍රතික්ෂේප කරන්න කලින් ඒ සපත්තු දාගන්න බව. ආඩම්බර කමින් මම ඕව බොරු කියල ඔය මිනිස්සු එළවල දාන්න පුළුවන්. නැත්නම් පල්ලිය අතීතයේ කළ විධිහට ගිනි තියල මරන්න පුළුවන්. නැත්නම් වාමාංශික අය කියන විධිහට මාක්ස් භෞතික වාදියෙක්ය, අපි අනුගමනය කරන්නේ ඔහුය කියල හිනාවෙලා අහක බලා ගන්න පුළුවන්. නැත්නම් විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තියනවද කියල හොයා බලන්න පුළුවන්. ඔබ මොකක්ද තෝරා ගන්නේ? මේ ලෝකයේ හැම දේම දන්නා අය ඉන්නවද?

      Delete
  25. ගන්ධබ්බයන් ගැන කියන්නේ මහා ගෝවින්ද නම් සුත්‍රයේය.

    ReplyDelete
  26. සියලුම මතධාරීන් වෙත,(භෞතිකවාදීන් )
    ඔබලා ගෙනියන මෙම සංවාද අප කාටත් කාලෝචිතයි මුත් දන්නෙ නැති දෙයක් ලියවුනාම පහත් කොට පෙන්වීම බුද්ධිමත් භාවය පෙන්වන ඔබලා සමාජය ට විෂයෙ දැනුම කෙසේ ඉවසීමෙන් වමාරන්න බලාපොරොත්තුවේද?මනස දියුනු වෙන්නෙ ඉවසීම තුලින් පමණි.
    හිටියා ඔබලා වැනිම කණ්ඩායමක් ෆේස්බුකියෙ 'ලංකාෆේස්බුක්'සමාජයක් බුද්ධියට තැන යන්නෙන් ලියා,මාස 2ක් ඇතුලත මා සහ මිතුරු කැලක් ඔවුන්ගේ පිටුවෙ සාමාජිකයින් ගැන තොරතුරු සොයා යන කල අඩකටත් වැඩියෙන් ගංජ කුඩු කාමාචරයින්.ඉතින් ඔබලාව මෙයට සමාන කරනවා නොව නමුත් ඔබලා දෙන ටෝක්ස් නිසා සමජය රැඳෙන්න භිය දක්වයි(උදා;පොතක් ලියන්න වටී/තොප්පිය හරිනම් දාගන්න යනාදිය )ඒ සියලුම කොළඹ සහ අවට පලාත් වල ඉන්න අයයි.ඔබලා පවත්වාගෙන යන්නේද සමාජයට දැනුම ලබාදෙන අරමුණින් නොවෙද?

    ReplyDelete
    Replies
    1. දැන් මහත්මයෝ පලවෙනි එක තමා මෙතන කණ්ඩායමක් ඇත්තේ නැහැ. ඇත්තෙම නැහැ. ඉන්නේ බ්ලොග් කියවන්නන් පිරිසක්. අර අනිත් ලිපියේ ඔය මහත්මයාම තමා සිංහල රට වඩා ශිලාචාර යයි කියාගෙන ආවේ. ඒ වගේම මම ජාතිවාදය ගැන පොදුවේ කථා කලහම (මම සිංහල දෙමල හෝ වෙන කිසිම ජාතියක් නොදක්වා) ඒකට සිංහල ජාතිය ඇදල ගත්තෙත් ඔබයි. තොප්පිය දාගෙන තිබෙන්නේ ඔබනේ මෙතන. අපි කවුරුත් ජාතියක් ගැන කතා කලේ නැහැනේ. අපිත් ගංජා ගහන එවුන් හැටියට ගණන් ගන්න. කිසි අවුලක් නැහැ. ගංජා ගහන එවුන් කියල මම කාටවත් බනින්නේ නැති නිසා.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .