Tuesday 6 December 2016

රවී ගේ දඩ, ලංකාවේ ඩැයිවර් ලා හා බස් වර්ජන

ජේසන් බෝන් පළමු චිත්‍රපටියේ කාරය  වැරදි දිසාවෙන් ධාවනය කර පඩි පෙළකට හරවයි.
කුමන හෝ හේතුවකට ලංකාවට යන මට බස් වලට පහර දෙනවා  දකින්නට ලැබෙන්නේ ඇයිද නොදනිමි. අවසාන වතාවේදී එසේ දුටුවේ 1987 පිටකොටුවේ  ඉන්දිය සාම ගිවිසුමට එරෙහිව විරෝධතාවේ දීය. මම හදිසියේ පසුගිය සඳුදා ලංකාවට ගියේ ළඟම ඥාතියෙකු අසනීප වූ නිසාවෙනි. ඒ අතරේ රවීගේ අයවැයෙන් ඉහල දැමූ දඩ ගැන ඇතිවූ විරෝධතාවය පුවත්පත් වලින් පමණක් නොව ඇසින්ද දුටුවෙමි.  බස් වර්ජනය හේතුවෙන් අවශ්‍ය තැනට නොපැමිණි අය නිසා මගේ වැඩ කිහිපයක් ද කඩා කප්පල් විනි.

මේ නිසා මා සිතුවේ වර්ජනය ඇත්තටම සාර්ථක යයි සිතාය. ඒ අතර බස් කිහිපයකට පහර දී අලාභ හානි කිරීම, මගීන්ට මෙන්ම ත්‍රි රෝද රථවලට පහර දීම් ද වාර්තා විය.

ඉතින් නිවසේ අහල පහල සිටි වර්ජනයට සහයෝගය දැක්වූ මහින්ද වාදීන්, ගෝඨා වාදීන් , එක එක --ලේ සංවිධාන අනුගමනය කරන්නන් මෙන්ම බස් හා වෑන් හිමි යුඇන්පී කාරයන් සමගද  එකඟ වන්නට මට සිදු වුනි.

ඒ මෙසේය.

"දැන් ඔය වමෙන් ඕවර්ටේක් කරන එකට දඬුවම්  කරන්න බැහැ. නැත්නම් හරියට වෙලාවට යන්න බැහැ. උදේට වැඩට යන්න තියා හවසට ගෙදර එන්න වත් බැහැ." ඔවුහු කියති.

"වමෙන් ඕවර්ටේක් කරන එක වැරදියි නේ මේ රටේ. වෙන රටවල වුනත් එහමයි. (වමින් පදවන රටවල් දකුණෙන් ඕවර්ටේක් කළ නොහැක). අනතුරු සිදු වෙන්න පුළුවන්." මම කියමි.

"පිස්සුද මේ රටේ ඕව බැහැ. අපට වෙලාවට යන්න ඕනේ. අපි හිමින් යන්නේ මෙහේ  ඔහොම අනතුරු   වෙන්නේ නැහැ" ඔවුහු කියති.

"අනික ඔය ගෑනු ඩ්‍රයිවර්ලා පාර මැදින් ම නැත්නම් දකුණට වෙන්නම හෙමින් යන්නේ. ඉතින් කොහොමද කරන්නේ. " ඔවුහු කියති.
"පිටි පස්සෙන් ගිහිල්ල, තැනක් ආවහම  දකුණෙන් ඕවටේක් කරන්න" මම කියමි.
"මොන පිස්සුද? ඕව කරන්න  පුලුවන්ද? කොච්චර  වෙලා පිටිපස්සෙන් යන්නද? එන්ගලන්තේ වගේද මෙහෙ "  ඔවුහු කියති.

"බස් වලට ගහන එක , අලාභ හානි කරන එක වැරදියි. තමන්ගේ බදු මුදලින් ගෙව්වා තමන්ගේ දේ තමන්ම විනාශ කරලා දාන එක හරි නැහැනේ. " මම කියමි.

"ඉතින් අපේ දේවල් අපි විනාශ කළහම මොකද? ඇමතිවරු සැප විඳින්නෙත් අපෙ මුදලින්නේ. මම නම් බස් වල යන්නේ නැහැ." එකෙක් කියයි.

"ඕව අපේ නෙමේ. ආණ්ඩුවේ. ඔය ජහපාලන ආණ්ඩුවේ ඒවා කැඩුවට කමක් නැහැ." තවකෙක් කියයි.

"ඒවා ආණ්ඩුවේ නෙමේ. අපේ. " පාසැල් යන වයසේ පුංචි එකෙක් බයෙන් බයෙන් පවසයි.

"අනික, දැන් බලන්න.  ඔය අහුවෙනවා. දඩේ රුපියල් විසි පන්දහයි කියල. ට්‍රැෆික් පොලිස් කාරයෝ දැනුත්  හොර වැඩ කරන එකේ, කියයි දහදාහක් දීල යන්න කියල. විසි පහක් දෙනවට වැඩිය ලබයිනේ. "
"ඉතින් අවම දඩය 2500 නේ. " මම කියමි.

"පොලිස් කාරයෝ දාහක් අරන් යන්න දෙයි. එච්චරයි. ඔය රවී කරූ කියන විධිහට ආණ්ඩුවට ආදායම ලැබෙන්නේ නැහැ. පොලිස්  කාරයෝ තමා පෝසත්  වෙන්නේ." ඔවුහු කියති.

අන්තිමේදී මම එකඟ වීමි. රවියා  හත් පොලේ ගාගෙනම ඇණ ගෙනය.  මෙහෙම ගියොත් ආණ්ඩුව රැකේද යන්න වත් සැක සහිතය.

"ගෝඨාභය  හිටියනම් ඔහොම වෙන්නේ නැහැ " නැගී එන රැල්ලේ ගෝඨා වාදියෙකු කිවේය.

" ඒ කියන්නේ ස්ට්‍රයික් කරන්න දෙන්නේ නැහැ කියන එකද. කට්ටිය බයටම ස්ට්‍රයික් නොකර ඉඳි කියලද? දඩ ගහන්නනේ නැහැ කියලද? ඒක  වෙන්න බැහැ . මොකද අධිවේගේ හොඳ දඩ ටිකක් තියෙන්නේ. ඒවා ගෙව්වේ යස අගේට." මම ඇසුවෙමි.

"ගෝඨා හිටියනම් මොන ස්ට්‍රයික් වත් නැහැ." ඔහු නැවතත් කිවේය.

ස්ට්‍රයික් එකට පක්ෂව මෙපමණ වේලා කතා කල අය කට පියා ගෙනය.

මගේ ළඟ ඥාතියා වෙනුවෙන් දින කිහිපයක් ගත කල නිසා ප්‍රා ජේ සමග ඇන්ටිවෙනම් මුමන්ට් එකේ දේශකයා , ඕනයා , ප්‍රසන්නයා එකතු වුනු සාදයට යාමටද  නොහැකි විය.  කටුනායක ගුවන් තොටට එන ගමනේදී  සෝවියට් දේශයට කෝචෝක් කර  නිමවන ලාභ ඇමරිකන් චිත්‍රපටයක රහස් ඔත්තු කාර වීරයා මෙන් අනුලා විද්‍යාලය අසලදී  මා රැගෙන ගිය කාරය නවත්වාගෙන, ට්‍රැෆික් පොලිස් ලාට  හොරෙන් කාරය නවතා  බලා ගෙන සිටි   ප්‍රාජේ ගෙන් පාර්සලයක්ද ලබා ගතිමි. ඉතාම රහසින් චන්දීම ට  දෙන්නට කියා දුන් වටිනා  තේ කොළ පැකට් එකක් සහ රහස් කිරි ටොෆි වගයක් එහි තිබුණි. කිරි ටොෆි රස නිසා ඒවා කෑවේ අපිය.
මේ කාරයේ යන්නේ සුප්‍රසිද්ධ නළු ජේසන් බෝන් විය හැකිය.
හිටපු ජනපති මහින්ද මහත්මයාට ස්තුති කරමින් ගැලනිගම සිට කොට්ටාවට කරදරයක් නැතුව වාහන නැති අධි වේගයේ පැමිණුනෙමු.  ඒත් ගැලනිගමට දමද්දී අපව වමට තල්ලු කරමින් (හාර්ඩ් ශෝල්ඩර් එකට හෙවත් වමේ මන් තීරුවට - මෙහි රථ ධාවන  තහනම්ය) කාරයක් ඉගිලී ගියේය.  බලන් සිටි පොලිසියේ මහත්වරුනට වගේ වගක් වත් නැත.

මේ කටුනායකට යන ගමන පැය  දෙකක පමණ කාලයක් ගති. මමත් වාහනය පැදවූ මල්ලිත් සෙල්ලමට මෙන් මාර්ග නීති කඩ කිරීම් ගණනය කළෙමු.

වමෙන් ඉස්සර කිරීම්  පහලවක් පමණ ගණනය කිරීමෙන් පසු වැඩේ නැවැත්වූයෙමු.   අනිත් වාහනයේ වද්දන්නට ඔන්න මෙන්න තියා වාහන හසුරුවා ගත් අය  ඉන් හතර දෙනෙක් පමණ විය.

ඉන්පසු තවත් අමුතු  දර්ශනයක් දුටුවෙමි. ජේසන් බෝන්  "බෝන්  අයිඩෙන්ටිටි " චිත්‍රපටියේ මෙන්ම ලඟදි පෙන්වූ අවසන් චිත්‍රපටියේද පාරේ වාහන එන දිසාවට මුහණලා දක්ෂ ලෙස රිය හසුරුවමින් රථය පදවන දර්ශන ඇත. ඒ සිනමාවේය. නමුත් මේවා හැබැහින් ශ්‍රී ලංකාවේ දැකිය හැකිය.  නුගේගොඩ අනුලා විද්‍යාලය පසුකර මදක් ඉදිරියට ගිය පසු දකුණට හරවන්නට මගක් තිබෙන අතර මංතීරු දෙකක් හෝ තුනක්  පමණ අප මෙන් ඉදිරියට යන වාහන වලට තිබේ .එසේ හරවන පැත්තේ සිට තවත් මං තීරුවක්  විරුද්ධ දිශාවට එයි.  (අප දිසාවට) ඔය පින්තුරයේ ඇති සිල්වර් පැහැති  කාරය යන්නේ එම පාරේ එසේ වාහන තමන් ඉදිරියට එන දිශාවටය. එංගලන්තයේ නම් මම මෙවැනි දෙයක් විහිළුවට වත් කරන්නේ නැත. මේ රියැදුරා  තමන් ඉදිරියට එන වාහන ගැන තැකීමක් නැතිවම  එම මාර්ගය පාවිච්චි කරයි. ප්‍රශ්නය එය නොවේ. ඔහු අනුගමනය කරමින් තවත් කිහිප දෙනක්ද එයම කිරීමයි.

ජේසන් බෝන් මෙන්ම ජේමිස් බන්ඩලා සොයා ගැනීමෙන් පසු අප දැක්කේ අමුතුම අන්දමේ යු ටර්න් වගයකි. මේ පැත්තෙන් පැමිණ අනිත් පැත්තට යාම හෝ මේ පැත්තේ සිට රිවර්ස් යු ටර්න් එකක් ගෙන  අනිත් පැත්තට යාම  වෙනුවට රියදුරෙකු කෙලින්ම වාහන එන පැත්තට  තම පසුපස හරවා ඉන්පසු  අංශක 360 කරකවා අනිත් පැත්තට යාමක් දුටිමි.  එසේම තවත් අයෙක් යන ගමන්ම ඉස්සරහ මාර්ගය අවහිර කොට අංශක අනුවකින් කපා අනිත් පැත්තට ගොස්  තවත් දෙවරක් කර කැවීමෙන් එම  පැත්තටම  වහනය පැදවිය. වාසනාවකට අනතුරක් සිදු වුනේ නැත. මේවට කිව යුත්තේ XYZ ටර්න් කියාය.



 යන්තමට හෝ අපට සිනාවක් ගියේ මේ කාරය දැකීමෙනි. තරුණියක් විසින් ඉතා සෙමින් ධාවනය කළ  කාරයේ පිටු පස වම් පැත්තේ "ප්ලේ බෝයි  " සඟරාවේ සලකුණ තිබුණි.

කිසිවකු අපට පිටුපසින් තදින් හැප්පවිමේ ආශාවෙන් යුතුව ධාවනය කරන අයුරු ද අත් වින්දෙමු.

පෞද්ගලික බස් රථ අඩුවක් ඉරිදා තිබුණු අතර සමහරු ඉතා කෙටි ධාවන මාර්ග පවත්වා ගැනීමෙන් පමණක් සැනසුනහ.  නමුත් ඒ පෞද්ගලික බස් රථ අනිත් වාහන පසු කර ගියේ වමෙන් දකුණට දැමීමෙනි. වෙනත් වාහන  වල අඩුවක්  නොදුටුවෙමු.

අවසානයේදී කටුනායකට පැමිණි පසු අප දෙදෙනාගේ තීරණය වුයේ රවීගේ මොන වැරදි තිබුනත් දඩ වැඩි කිරීම නම් හොඳ වැඩක් බවය. දුප්පත් අයට මෙන්ම මධ්‍යම පාන්තිකයන්ට   මේ දඩය ගෙවන්නට නොහැකි නම් වමින් ඉස්සර කිරීම නොකළ යුතුය. පොලෝසිය  හෝ වෙනත් අය හොර නොකරන්නට ඩෑෂ් කෑම් සවි කරීම වටී.

මෙවැනි  රියැදුරන්  බලෙන් ආණ්ඩු කිරිම රජයකට කල නොහැක්කකි.  දඩ වැඩි කර නීති කඩ කිරීමේ අවස්ථා අහිමි කිරීමෙන්  ඔවුන් නිකන්ම මෙම නීති වලට අනුකූල වී රථ ධාවනය  කිරීමට ඉගෙන ගනු ඇත. නැත්නම් හැමෝටම අබ සරණය.

- කොළඹ ගමයා 

31 comments:

  1. ඔන්න අන්ත දක්ෂිණාංශික එක්සත් ජාතික පක්ෂයට රෙදි නැතුව කඩේ යන අජිත් ධර්මගේ බළලා මල්ලෙන් එලියට පැන්න විදිය. ලජ්ජා නැද්ද මේ වගේ දුප්පතුන්ට බදු ගහන අන්ත දක්ෂිණාංශික ධනපති රනිල් වික්‍රමසිංහ අගමැතිගේ ආණ්ඩුවට කඩේ යන්නේ? අජිත්ට මුදල් ලැබෙන්නේ එක්සත් ජාතික පක්ෂයෙන්. ඒකයි මේ බදු වැඩි කරපු එක හොදයි කියන්නේ. ලංකාව යන්න එන්න ටිකට්ස් දුන්නෙත් ධනපති අගමැතිගේ අනුග්‍රහය යටතේද දන්නෑ. ලජ්ජා වෙනවා අජිත් දුප්පතුන් බදු බරින් මිරිකී ඉන්නකොට ඒවා හොදයි කියන එක ගැන.

    ReplyDelete
    Replies
    1. මෙතන කොහෙවත් බදු වැඩි කරපු එක හොඳයි කියල නැහැ. දඩ වැඩි කරපු එක හොඳයි කියල තියෙන්නේ. දඩ හැමෝටම ගෙවන්න අනිවාර්ය නැහැනේ. වැරදි කරපු අය විතරයි. දඩ සහ බදු අතර වෙනස හඳුනා ගන්න. බදු ගැන පසුව ලියන්නම්. කෝණය අත හැරලා බලන්න. ලංකාවට ආවේ ඥාතියෙකුට හැදුනු හෘදයාබාධයක් නිසා. ඉතින් රනිල් මහත්මයා ඒවා දන්නවා කියල හිතන්න නම් අමාරුයි.

      Delete
  2. "ඉතින් අපේ දේවල් අපි විනාශ කළහම මොකද? ඇමතිවරු සැප විඳින්නෙත් අපෙ මුදලින්නේ. මම නම් බස් වල යන්නේ නැහැ." එකෙක් කියයි////// fools

    ReplyDelete
    Replies
    1. :) අපේ මුදල් අපිට. ඔහෙලට මොකද අපේ මුදල් වලින් අපි ඕන දෙයක් කලහම. -------හේ හේ

      Delete
  3. වාහන පදවන අයත් මාර්ගය පාවිච්චි කරන පදිකයනුත් මාර්ග විනයක් දන්නේම නෑ. පාර මාරුවෙන්න තියෙන මාර්ග සංඥා වල කොලපාට ලයිට් වැටෙන කොට කවුරුත් පාර මාරුවෙන්නේ නැතිව ඉදලා රතුපාට වැටුන විටම පාර පනින ගොන් හැත්තක් ඉන්න රටක් මේක.
    ඉස්සර මේ රටේ නිතිය වෙනස් කලේ දෙශපාලුවෝන්ට ඔ්නේ විදිහටයි නේ. දැන් බස් ඩයිවර්ලාට ඔනේ විදිහටත් රටේ නිති වෙනස් කරන්න පුළුවන් වෙච්චි එකත් හොදයි.

    මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු කියන මේ ගීතය ජාතික ගීය ලෙසින් වෙනස් කලොත් නරකද?

    ReplyDelete
    Replies
    1. හැමෝටම ඕනේ විධිහට නීති වෙනස් කරන්න නඩුවක් නොමැතිව පාලනය ඔය හැම ගෘප් එකටම භාර දුන්නම හරි.

      Delete
  4. හිටන් දඩේ අකුල ගන්නවා.... රටට හොඳ කිසිම දෙයක් කරන්න දෙන්නේ නෑ..

    ඔය දඩ ගහනවා කිව්වා විතරයි රෝඩ් මැනර්ස් ඉබේම හරි ගියා... අන්තුරු අඩු බව ඇක්සිඩන්ට් වෝඩ් එක පවා තහවුරු කලා...

    මෙහෙම හාල්පාරුවෝ එක්ක රටක් කරනවට වඩා ඝෝඨලා වගේ මිනිස්සු ඕන කියන එක අද යූ ඇන් පී කාරයත් කියනවා...

    ReplyDelete
    Replies
    1. මේ ගෝඨා ගේ රැල්ලට නම් මොකක් හරි ලියන්නම වෙනවා. මේක දඩ මිසක් බදු නෙමේ කියන එකවත් තේරෙන්නේ නැහැනේ කට්ටියට. අපිට වැරදි කරන්න නීතියෙන් ඉඩ දෙන්න කියල ඉල්ලන්නේ.

      Delete
  5. /ඕව අපේ නෙමේ. ආණ්ඩුවේ. ඔය ජහපාලන ආණ්ඩුවේ ඒවා කැඩුවට කමක් නැහැ." තවකෙක් කියයි/ ටීන් කාලේ මගේ මතය වුනෙත් මේකමයි, මම සාපෙට පාඩම් කරන්න රංචු ගැහෙන කාලේ රෑ හොර ගමනක් ගිය සීටිබීයකට ගල් ගහලා වීදුරු කුඩු කරලත් තියනවා, අපේ ජනතාවගෙන් අති බහුතරය ඊරිසියාවෙන් සහ වෛරයෙන් සිත් පුරවාගත් අය, ඒ කුරුවල් වූ සිත් වෙනස් කරන්න දායකත්වයක් ආගමෙන්, පාසලෙන් හෝ සමාජයෙන් ලැබෙන්නේ නෑ, ඇත්තටම ඒ තැන් වලින් ඊරිසියාව සහ වෛරය දැඩි කරනවා, නමුත් කුඩා කල සිට මෙත් සිත් ඇතියවුන් වෙනස් කරන්න ඒ කිසිවෙකුට බෑ.

    මාර්ග නීති ක්‍රියාත්මක කරවන්නට එම අනෙකාට වෛර කිරීමේ ගුණයෙන් වැඩක් ගන්න පුළුවන්, ඒ කියන්නේ වෙනකෙකු වරදක් කරනු දුටු ගමන් රිපෝට් කරන්න / දඩුවම් කිරීමට දායක විය හැකි ක්‍රමයක් සියළු දෙනාටම සලසා දීම, අපි හොඳ පෙස්සම් කාරයෝ. ප්‍රේමදාස යුගයේ ගම්වල සාර්ථකව ක්‍රියාත්මක වූ කාන්තා කුඩා කණ්ඩායම් ණය ක්‍රමය සාර්තක වුනේ කෙනෙකු ණය නොගෙවා අත පසු කරනවා නම් සොයා බලා චෝදනා කිරීමේ හැකියාව වගේම ඒ ණය ගෙවන්න මොකද කරන්න ඕන කියල උපදෙස් දෙන්න, බලපෑම් කරන්න, උදව් කරන්න කණ්ඩායමේ අනෙක් අයට හැකියාව තිබූ නිසයි, දැණටත් ගොඩක් මරණාධාර සමිති ඉතා දියුණු වී ඇත්තෙත් අතපසුවීමක් / වැරද්දක් කරන කෙනාට චෝදනා කරන්න, ඒවා නිවැරදි කරන්න දායකත්වයක් දෙන්න ඉඩ ඒවායේ තියන නිසායි.

    තුන්වන පාර්ෂවයක ඩෑෂ් බෝඩ් කැමරා කැප්චර් නීත්‍යානුකූල සාක්ෂි බවට පිළි අරගෙන එලෙස වරදකරුවන් කරන ලද වීඩියෝ සහ දඩය මීඩියා වලට දුන්න නම් වැඩේ ගොඩ රිපෝට් කරන්න කොමියුනිටි සයිට් ඉබේම හැදෙයි.

    ReplyDelete
    Replies
    1. ඇණයා කියල තිබෙන ක්‍රමය නම් හොඳයි. //තුන්වන පාර්ෂවයක ඩෑෂ් බෝඩ් කැමරා කැප්චර් නීත්‍යානුකූල සාක්ෂි බවට පිළි අරගෙන එලෙස වරදකරුවන් කරන ලද වීඩියෝ සහ දඩය මීඩියා වලට දුන්න නම් වැඩේ ගොඩ රිපෝට් කරන්න කොමියුනිටි සයිට් ඉබේම හැදෙයි.// එංගලන්තේ වුනත් ඩෑෂ් බෝඩ් කැමරා වරදවල් පත්තරේ දැම්මම පොලිසිය ගිහින් අල්ලනවනෙ.

      Delete
  6. ගෝත්‍රික සමාජයකට යහපාලනයක් ගැලපෙන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. ශ්‍රී ලංකා සමාජයට මම එහමම කියන්න කැමති නැහැ. අපිත් ආවේ එහෙන්නේ. කොපමණ අමාරු වුනත් පැහැදිලි කිරීම් මගින්ම තමා මිනිසුන්ව දිනා ගන්න වෙන්නේ.

      Delete
  7. මේ ආණ්ඩුව යටතේ සිද්ද වෙච්ච හොඳයි කියන්න පුළුවන් එකම වැඩේ ඔය දඩ වැඩි කිරීම තමයි මට නම් හිතෙන්නේ.. එකත් අකුලා ගත්තොත් නම් ඉතින් අබ සරණම තමයි.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත. මාධ්‍ය නිදහස ටත් කෙලවෙයි වගේනේ ළඟදීම.

      Delete
  8. සර්පයා ඇල්ලිය යුත්තේ හරි තැනිනි.

    උපුටාගැනීම:-
    උදාහරණයක් වශයෙන් මහාමාර්ගයේ කරන මූලික වැරැුදි කිහිපයකට දඩ මුදල රුපියල් 25,000ක් කළ විට මහ පාරේ පොලිස් බලය අත්තනෝමතික වීම රනිල් වික‍්‍රමසිංහට අහෝසි කළ නොහැකිය. මෙම දඩ නියම කිරීම කරන්නේ මහජනයාගේ ජීවිත බේරන්න යැයි කීම ළාමක කතාවකි. එය හරියට කුඩා ළමයින් තට්ටු නිවාසවලින් බිමට වැටෙන නිසා තට්ටු නිවාස ඉදි නොකළ යුතුය වැනි මෝඩ නිගමනයකි. 80 දශකයේ දී Honda මෝටර් බයිසිකල් ගෙන්වීම නිසා තරුණ ජීවිත විශාල සංඛ්‍යාවක් අහිමි විය. නමුත්Honda ගෙන්වීම නැවැත්වූයේ නැත. නූතනත්වය සමඟ හදිසි අනතුරු ඒම අනිවාර්යය. 220ක වේගයෙන් යා හැකි BMW, Benz, Audi යනාදී රථවාහන ලංකාවට ගෙන්වන්නේ වේගයෙන් ගමන් කිරීමටය. රවී කරුණානායකට ඇමැති මුක්තිය යටතේ තමන්ගේ මොන්ටෙරෝ ජීප් රථය 100ට මහපාරේ යන්න පුළුවන් නම් අනෙක් පුරවැසියන්ට එය කිරීමට බැරි ඇයි? ඒ අය වාහන පැදවීමට බැරි බබාලාද? අපි රවීට මෙසේ කිව යුතුය. ”රවී මහත්තයෝ තමන්ගේ ඇමැති රාජකාරිය හරියට කරන්න. රටක ආර්ථිකය දියුණු කරන්න සදාචාරය ගේන්න එපා. අපේ ජීවිතවල වටිනාකම හොයන්න අපේ පවුල්වල කට්ටිය ඉන්නවා.”
    -ත්‍රිමාන

    ReplyDelete
    Replies
    1. /රටක ආර්ථිකය දියුණු කරන්න සදාචාරය ගේන්න එපා./ ආර්ථික දියුණුව නිසා සාදාචාරය නැති වෙනවා කියා එය ත්‍රිමානයෝ හැමදාම ඇඩූ කඳුලෙන්නේ.

      /අපේ ජීවිතවල වටිනාකම හොයන්න අපේ පවුල්වල කට්ටිය ඉන්නවා.” / උන් වටිනාකම ගැන දන්නවා උනාට එතැනම නොමලොත් බේත් කරන්න වෙන්නේ පොදු අරමුදල් වලින්නේ.

      Delete
    2. රවී කරන්නේ සදාචාරය ආරක්ෂා කිරීමක් නොවේ. ඔය අදහස සාවද්‍යය. ඔහු කරන්නේ අය වැය හිඟය පියවා ගැනීමය. සත්‍යය නම් ලංකාවේ වාහන ධාවනය කිරීම අපහසුය. මොන රජයක් වුවත් ඔය ප්‍රශ්නයට පිළිතුරු දිය යුතුය. එය ආර්ථිකය හා බැඳී ඇති බැවිනි.
      // ”රවී මහත්තයෝ තමන්ගේ ඇමැති රාජකාරිය හරියට කරන්න.// ඕක රවිට පමණක් නොව සියලු ඇමතිවරුන්ට පොදුය. ඔවුන් නොකරන්නේම ඔවුන්ගේ රාජකාරියයි.

      Delete
  9. මෙහාට ඇවිත් යනකොට එක රැයක් අපට වෙන කෙරුවනන් නේද හොඳ?

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් බිසි වැඩි වුනානේ. බොහොමත්ම කණගාටුයි එන්න බැරිවීම ගැන.

      Delete
  10. අජිත් අයියා,මේ රථවාහන දඩ වැඩිවීමේ කතාන්දරයේ දෙපැත්තක්ම තියෙනවා.ලංකාවේ රියදුරන්ගේ වගේම පදිකයන් තුලත් තිබෙන අපරික්ෂාකාරී බව නිසා මේවගේ ඉහළ දඩ පැනවීමෙන් ඒ වැනි තත්වයන්ගේ යම්කිසි පාලනයක් ඇති කරන්න පුළුවන්.නමුත් රිය අනතුරු වෙන්නේ හැමවිටම චේතනාන්විතව නොවන නිසා මේ දඩයේ වැඩි බව බලපානවා.අපි දකිනවා ඇතැම් විට සුළු දඩ මුදලක් ගෙවා ගන්න බැරිව රිමාන්ඩ් වෙන අයව.ඒ වැනි තත්වයක් තුල විශාල දඩ පැනවීමෙන් සමහරවිට දඩ ගෙවා ගත නොහැකිව බන්ධනාගාර ගත වෙන පිරිස වැඩි වුනොත් එකත් තවත් සමාජ,ආර්ථික ප්‍රශ්න වලට මුල පිරීමක් වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. විහිළු තර්කයක්, සුළු දඩ මුදලක් ගෙවාගන්න බැරිව රිමාන්ඩ් වෙන අය කවුද කියා වත් අවබෝධයක් නැති හැඩයි, ඒ අය නෑදෑ,යාළු මිත්‍රාදීන්ට ඉතාම බරක් / හිරිහැරයක් වූ මිනිස්සු. එක් වරක් නොව වාර කීපයක්ම එකම වරද කර ඇති නිසා කවුරුත් ඇප/දඬ ගෙවා ගත නොහැකි අය. පාරේ වෙට්ටු දාන්නේ එයාල නෙවෙයිනේ, අජිත් විස්තර කර ඇති කවුරුවත් ඒ වගේ දුප්පත් අය කියා හිතනවද?

      Delete
    2. අර වාහනයේ පාරේ වැරදි පැත්තෙන් ගිය කෙනාට දඩය ගෙවනං බැරි වෙලා හිරේ යනවා නම් එක ඔහුගේ වැරැද්ද. ලංකාවේ දදේ ගෙවන්න බැරිව හිරේ යන වෙනත් දුප්පත් මිනිස්සු ඕන තරම් ඉන්නවා. මමත් ඔය දදේ ගෙවල කෙනෙක් නිදහස් කරලා තියනවා. අසරණ අම්මල ගෙවල් කුලිය හෝ තවත් පොඩි දෙයක් ගෙවා ගන්න බැරිව හිරේ යනවා. ඒ මිනිසුන් වෙනුවෙන් කවුරුවත් වර්ජන කරපු බවක් මම දැකල නැහැ.

      Delete
    3. //විහිළු තර්කයක්, සුළු දඩ මුදලක් ගෙවාගන්න බැරිව රිමාන්ඩ් වෙන අය කවුද කියා වත් අවබෝධයක් නැති හැඩයි, ඒ අය නෑදෑ,යාළු මිත්‍රාදීන්ට ඉතාම බරක් / හිරිහැරයක් වූ මිනිස්සු.//
      ආ ඒ මිනිස්සු හිර කලාට අවුලක් නෑ නේ?

      Delete
    4. ඇණයා,

      දඩ මුදල් ඇමතිලාට හිතෙන හිතෙන විදියට අඩු වැඩි කරන්න බැහැ.ඔය විදියට පොඩි හොරු තමයි දවසක මහා හොරු වෙන්නේ කියලා හිතලා පොල් ගෙඩියක් හොරකම් කරන.කෝච්චියේ ටිකට් නැතුව ගිය උන්ව අල්ලලා ලක්ෂ ගණන් දඩ ගහන්න එහෙමත් නීති ගෙනේවි.මේ රියදුරන්ගේ ඉල්ලීම් සාධාරණයි කියලා මම කියන්නේ නැහැ.නමුත් වරදකට දඬුවමක් නියම කරන කොට ඒ වරදේ ස්භාවය අනුවයි ඒ දඩුවම් නියම විය යුත්තේ.

      Delete
    5. //කෝච්චියේ ටිකට් නැතුව ගිය උන්ව අල්ලලා ලක්ෂ ගණන් දඩ ගහන්න එහෙමත් නීති ගෙනේවි// මේ තර්කයට කිසිම පදනමක් නැහැ. මේ වරදේ ස්වභාවය මොකක කියල ද මනෝජ් හිතන්නේ. මම කටුනායකට එන පය දෙකට 15 විතර මාර්ග නීති කැඩීම් දුටුවා . සමහර ඒවා අනතුරකට ඔන්න මෙන්න වුනත් මිනිස්සු ගණන් ගන්නේ නැහැ. එක විතරක් නෙමේ පස්සේ ලංකාවේ රියදුරන් තමන් මෙන්න මේ විධිහට අනතුරුදායක විධිහට එලෙව්ව කියල තව උජාරුවෙන් කටමැත දොඩවන වනේ. සුළු දඩ මුදලක් ගෙවා ගන්න බැරිව සිර ගත වෙන දුප්පත් මිනිස්සු සඳහා විප්ලව කරන්න ඉදිරිපත් වෙනවා මම කවදාවත් දැකල නැහැ.
      රාජ් පන්ති සටන තියෙන්නේ ඔතන නොවේ. මිනිස්සු හිර කරනවා කොයි රටෙත්. ඔය කැස්ත්‍රෝ පවා කට්ටියක් හිරේ දැම්මේ. මෙතන වැරැද්ද නිතරම කරන අනුන් අනතුරේ හෙලන කට්ටියක් ඉන්නවා. ඒ අය පොඩි දඩ මුදල ගණන් ගන්නේ නැහැ. පොඩි දඬුවමක් ගණන් ගන්නේ නැහැ. එංගලන්තේ වගේ රටක ඉඳල සුමානෙකට ලංකාවට අවහම ඒ වෙනස් ඉතා දැඩි ලෙස පෙනෙනවා. අපි මෙහෙ හුඟක් සංයම ලෙස වාහන පදවන්නේ. ඉදිරියට යන අයට ඉඩ දීල හෙම. මම හිටිය සෝවියට් දේශයේ මාර්ග නීති ඉතාම තදට තමා තිබුනේ. වැරදි තැනින් පාර පැන්නත් දඩ ගැහුවා. මිනිසුන්ගේ පඩියෙන් 5% විතර.

      Delete
    6. දුප්පත් කෙනෙක් මිනියක් මැරුවොත් ඉහලම දඬුවම වන මරණ දඬුවම නියම කරන එක වැරදිද? මරණ දඬුවම දිය යුත්තේ පොහොසතුන්ට පමනද? මෙතන ප්‍රශ්නය වන්නේ අර ත්‍රිමාණ කියා ඇති පරිදි ඇමතිවරු සැපසේ ගමන් කිරීම හා ඔවුන් කකුළුවාගේ වැඩය කිරීම. ඇමතිවරු නවත්වන්නැ බලයත් පොලිසියට දිය යුතුයි. අන්න එකට සටන් කරමු. පොහොසතුන්ට නිතිය බලපාන විධිහට,

      Delete
  11. ගලක් ගසා බස් වනසා පෙර භව තුටු වූ හන්දා
    පවක් ලෙසට මෙහි එනවිට බස් ගැටළුව දකියි සදා
    හඬක් නැතුව ඇවිත් ගිහින් පහුගිය දවසක සඳුදා
    මතක් වුණොත් යළි එනවිට දන්වා ආවොතින් හොඳා........

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. එහ් ගිය භවයේදී මම ගලකුත් ගැසුවා ද
      ඒ ගැහුවේ අසුන් යෙදු රජු ගෙනයන රථයකටද ?
      දුමින්දගේ කවිකම පරයා නැගෙන
      තව කිවිඳෙක් බ්ලොග් ලොව ඉන්නවද

      Delete
  12. The one thing that unites all human beings, regardless of age, gender, religion or ethnic background, is that we all believe we are above-average drivers.

    Dave Barry

    ReplyDelete
  13. "ඉතින් අපේ දේවල් අපි විනාශ කළහම මොකද?"

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .