Thursday 5 January 2017

වජිර යාපා ගේ කොමෙන්ටුවට "මං තුමා" ඇවිස්සෙයි

වජිර යාපා නමැති ජවිපෙට හිතවත් සහෝදරයෙකු දැන  හෝ නොදැන කොමෙන්ටුවකින් මට මඩ පහරක් ගසා  තිබුණි. ඒ දැක තවත් "මං තුමෙකුට" හා ඇනෝ කෙනෙකුට  ජොලියක් පහළවී තිබේ. "මං තුමාගේ" ජොලිය කඩන එක පවක් වුනත් පිළිතුරක් දීම යුතුකමක් යයි සිතමි.

("මං තුමා ලා " - යනු තමන්ට තුමා කියා ගන්නා හීනමානයෙන් පෙළෙන්නන්  රැසකි. මොවුන් බොහෝවිට තම තමන්ම  මංතුමා ඔබතුමා  යනුවෙන් පිට කසා  ගනිති. වෙන කවුරුත් නොකියන නිසා විය යුතුය. )

මා බුකියට දැම්මේ මේ කොමෙන්ටුවයි.

//සුනිල් මාධව ප්‍රේමතිලක. අද මළකඳක් වගෙයි. මමත් කාලයක් සත්‍යවාදියෙකුගේ දිනපොතින් මත වී හිටිය. හැබැයි හොඳ වෙලාවට 1984 කාලයේ සුචරිත ගම්ලත් වැනි අයගේ දේශන වලට යෑම පොත් කියවීම තුල ජවිපෙ දේශපාලනයේ වැරැද්ද මුලින්ම හඳුනා ගත්ත. පසුව 84 සෝවියට් දේශයට යාමට ඉල්ලුම් පත්‍ර දැම්මෙත් විජේවීර ගේ අදහස් ඇත්තද නලින් ද සිල්වා ඒ දවස් වල ලියු "සමාජවාදී පන්තිය ගැන "ඇත්තද කියල හොයන්න බව මට මතකයි. // Ajith Dharma
වජිර යාපා ගේ පිළිතුර: මෙයත් වර්තමානයේ ඉදන් අතීතය ගලපන්න හදන එකයි කරන්නේ .යන එන මං නැතුව හිටපු ''නිකම්මු'' සෝවියට් ආධාර වලින් ජිවිතේ හදාගෙන ''සමහරු'' වුනා ,බරපතල ටෝක්ස් දෙන එක රුසියාවට ගිය බොහෝ අය කරනවා .කොමියුනිස්ට් රුසියාවේ රූබල් 90 වෙන් ජිවත් වෙලා .ඒකෙන් ටිකට් අරං ලංකාවට ආගිය අතීතය දැන් අමතකයි .ඒකෙන් ගානක් ලංකාවට යවනවා දැන් අමතකයි.අද මෙයලා කොහේද ලෙනින් විප්ලවය නොකලා නම්.හරියට මෙයාගේ අම්මගේ තාත්තාගේ වියදමින් සෝවියට් දේශයට ගියා වගේ දැන් කතාව .මෙතන රුසියන් භාෂාවෙන් කොටන අනිත් අයටත් මේ කතාව අදාලයි.අඩු ගානේ අවුරුද්දකට සැරයක් පැවති සෝවියට් දේශයට ස්තුතියි කියලා සමරන්න ,මං පොර සංකල්පේ පැත්තක තියලා .ලැජ්ජයි

මුලින්ම මම ලියුවේ මොකක්ද කියල පැහැදිලි කරන්නම්.

///සුනිල් මාධව ප්‍රේමතිලක. අද මළකඳක් වගෙයි. මමත් කාලයක් සත්‍යවාදියෙකුගේ දිනපොතින් මත්  වී හිටිය.// සත්‍යවාදියෙකුගේ දිනපොත ලිව්වේ පහු කාලෙක වගෙයි මට මතක. මම ඒකට  හුඟක් කැමැත්තෙන් හිටි කාලයක් තිබුන. හැබැයි ඔහු ටිකක් හැඟීම්බරයි කියලත් හිතිච්ච වාර අනන්තයි. "දිවයිනේ" ඔහු ගේ පිටුව ටත් මම කැමතියි. හැම දෙයක්ම කියවනවා. දවසක් ඔහු කැමරාවක් නැතිය කියලත්,  තියනවා නම් හොඳ පින්තුර ටිකක් දාන්න පුළුවන් කියලත් ලිව්වා. මම මගේ ඒ දිනවල තිබ්බ සෙනිත් කැමරාවත් අරන් ඒක  දෙන්න ගියා  මම හිතන්නේ  බ්ලූමැන්ඩල්  පාරේ කාර්යාලයට. එතන හිටි කවුරු හරි ඕනෑවට එපාවට වගේ කතා කලේ. එයා හිටියේ  නැහැ කීව. මම ආපහු  හැරිලා ආව. තවම දුකයි ඒ ගැන. හැබැයි මම අද මළකඳක් වගෙයි කියල ලීවේ, එයා ගැන බුකියේ මහා වාදයක්  ගියා මොකක්ද සමරුවක් ගැන. අපි දන්නා කතුවරයෙක් හා බ්ලොග් කරුවෙක් වුන හෙන්රි වර්ණකුලසූරිය මහතාත්  පැටලිලා හිටිය.  ඉතින් මට හිතුන මේ මනුස්සය දැන් මැරිලා වගේ ඉන්නේ කියල. අර ජීවය මුකුත් නැහැ. පහු කලෙක පොඩ්ඩක් ජාතිවාදය  පැත්තටත් ඇදිල හිටිය කියල සමහරු කියනවා. මට ඇත්තටම ආපු හැඟීම ඒක.

// හැබැයි හොඳ වෙලාවට 1984 කාලයේ සුචරිත ගම්ලත් වැනි අයගේ දේශන වලට යෑම පොත් කියවීම තුල ජවිපෙ දේශපලනයේ වැරැද්ද මුලින්ම හඳුනා ගත්ත. පසුව 84 සෝවියට් දේශයට යාමට ඉල්ලුම් පත්‍ර දැම්මෙත් විජේවීර ගේ අදහස් ඇත්තද නලින් ද සිල්වා ඒ දවස් වල ලියු "සමාජවාදී පන්තිය ගැන "ඇත්තද කියල හොයන්න බව මට මතකයි//

මා අපොස උසස් පෙළ පළමු වරට කළේ 1983 දී  රාජකීය විදුහලේ 12MS1 පංතියේය. මා කලේ ගණිත විෂයන්ය.  මට මොරටුවට යාමට ලකුණු මදිවුනි. මේ නිසා නැවත දෙවන වර කරන ලෙස ගෙදරින් හා යහළුවන් ගෙන් බලපෑම් තිබුණි. නමුත් මම ඒ දිනවල දේශපාලනයට ආශා කලෙමි. මුලින්ම "මව්බිම සුරකිමු" කියා සිරිල් මැතිව් මහතා  සම්බන්ධ දෙමළු හෙළා  දැකීමේ ව්‍යපාරයකටත් පසුව ජවිපෙ හිතවාදී ව්‍යාපාරයකටත්  සහයෝගය දුනිමි.  රාත්‍රී කාලයේ ජවිපෙ පෝස්ටර්  වගයක්ද ඇලෙව්වා  මතකය. බොහෝ රුසියානු පොත්පත් හා සෝවියට් පොත් ද කියෙව්වෙමි. මා  කුඩා කාලයේ සෝවියට් ළමා පොත් බොහොමයක් තාත්තා අපට කියවීමට ගෙනත් දුනි. නන්දා  මාලිණි ගේ ජාතිවාදී ගීත ගැන සුචරිත ගම්ලත් මහතාගේ ලිපියක් කියෙව්වේද මේ කාලයේය. ඉන්පසු ඔහුගේ දේශනා අසන්නට ගියෙමි. 

අපගේ යහළුවා  වන නන්දන වීරරත්න සහෝදරයා මහජන පුස්තකාලයේ සංවිධානය කල" නිර්මාණ සංවාද කුලකයේ" චිත්‍රපට විචාර වලටද සහභාගී වුනෙමි.  දවසක මැයි පළවෙනිදා ජවිපෙ පෙළපාලිය නරඹමින් සිටියදී තාත්තාට මා හසුවිය. ඔහුගේ ප්‍රධානියෙකුට ආයාචනය කර එර්නස්ට් ඇන්ඩ්  යන්ග් සමාගමේ ප්‍රධානියකු හමුවීමට පියා මා රැගෙන ගියේය. ඔහු මට බ්‍රිස්ටල් විදියේ ගොඩ නැගිල්ලක පවත්වන එම ආයතනයට ගණකාධිවරුන් ගන්නා  විභාගයට පෙනී සිටීමට නියම කළේය. මම එය සමත් වීමි.  

අපොස උසස් පෙළ ප්‍රතිපල වලින් මොරටු යාමට මදි වුනත් කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව කිරීමට  අවස්‌ථාව ලැබුණි. ඒ අතරේ  මොරටුවේ  තාක්ෂණ විද්‍යා පාඨමාලාවටද (NDT) තේරුණි. 

මම නිතරම සෝවියට් සංස්කෘතික මන්දිරයේ  නොමිලේ පෙන්වන චිත්‍රපට  නැරඹීමට පුරුදුව සිටියෙමි.  නව සම සමාජ පක්ෂයේ "කම්කරු විත්ති" නිති පතා  කියවූ නිසා එහි සාමාජිකයෙකු වන චන්ද්‍රජිත් විතානගේ මා  සමග මිතුරු වුනි.  අප දෙදෙනා බොහෝ විට සෝවියට් සංස්කෘතික මන්දිරයේ චෙස් ඇදීමටත් රුසියානු පරිවර්තන පොත් රැගෙන ඒමටත් ගියෙමු. ඇමෙරිකානු සෙන්ටර් එකට වරක් දෙවරක් ගියමුත් එය මගේ හිතට ඇල්ලුවේ නැත. එහි සිටි ඔලුව උදුම්මා ගත්  "මන්තුමා" වැනි විසුළු කොල්ලෙකු නිසා බව නම් මතකය. 

සෝවියට් සංස්කෘතික මන්දිරයේද මෙවැනිම පිරිසක් සිටි අතර ඔවුන් අපට අකමැති බවත් වෙනත් අය එහි එනවාට  අකුල් හෙලන බවත් මට වැටහුණි. හේතුව සොයා ගත්තේ චන්දනය. ඔහු කිවේ මේ අය සෝවියට් ශිෂ්‍යත්ව බලා පොරොත්තුවෙන් එහි සිටින බවයි. අලුතින් අය එනවාට එතන කිසියම් ඉරිසියාවක් තිබුණි. මා  සෝවියට් ශිෂ්‍යත්ව ගැන දැන  ගත්තේ එදාය. වැඩිදුර විපරම් කිරීමේදී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමින් ඒවා ගැසට් කරන බව දැන  ගතිමි. පත්‍රයේ පලවූ පසු අයදුම් කළෙමි. කිසියම් හේතුවකට මමද සිලෙක්ට් වී තිබුණි.

දැන් ප්‍රශ්නය වුනේ තෝරා  ගන්නේ කුමක්ද යන්නය. අර ගණකාධිකාරී ආයතනයේ ප්‍රධානී මහතා කිවේ මට තිබෙන්නේ සෑම දිනකම වරුවක් ඉගෙන ගැනීමත් වරුවක් වැඩ කිරීමත්  බවය. මට රුපියල් 350 පඩියක් ද  ලැබේ, අවුරුදු තුනක ඉගෙනිමකින් පසු රුපියල් 15000 මාසික පඩියක් සමග රැකියාව ලැබෙන අතර සමහර විට රථයක්ද ලැබෙනු ඇතැයි කිවේය. (එය ඒ දවස් වල හොඳ පඩියකි)  මගේ ලකුණු  ඉතා හොඳ බවද තවත්  රාජකීයයන් එහි සිටින බවද කීවේය. මා  එයට නොගියේ අරුම පුදුම හේතුවකටය. එනම් එහි ටයි දමා ගෙන වැඩ කිරිල්ල මට ඇල්ලුවේ නැත.

ඉන්පසු යන්නේ කොහිද කියා කොලයක එක එක ඔප්ශන් එකේ  වාසි අවාසි   ලියුවෙමි. මා දන්නා පරිදි මගේ සහෝදරිය මේ කොලය සුරක්ෂිතව තබා ගෙන තිබේ. ආචාර්ය නලින් ද සිල්වා මහතාගේ ලිපි පෙළක් දිවයින පුවත් පතේ ගියේ මේ කාලයේය.  එහිදී සෝවියට් දේශය පාලනය කරන්නේ  නිලධාරීන් ගෙන් යුත් "සමාජවාදී පන්තියක් " බව ට අදහසක් ඔහු ගෙනාවේය. විජේවීර මහතාගේ පොත් හා ලිපි මෙන්ම ඔරුවල බන්දු  ගේ පොත් ("සෝවියට් සිර මැදිරියේ සිට" වැනි ) දෑ කියවා  සිටි මට මේ තර්කය ඉමහත් කුහුල දනවන්නක්  විය. අපනාසියෙව්  ගේ දයලේක්තික භෞතික විද්‍යාව ගැන වූ පොත්ද මා  සතුව තිබුණු අතර ඒවායේ ලියූ අදෝ සංසාරයක් මට තේරුනේ නැත.  අන්තිමේදී මා  කොලයේ ලියුවේ සෝවියට් දේශයේ "සමාජවාදී පන්තිය " පන්තියක්ද යන්න  සෙවීම වැදගත් බවයි. ලයනල් බෝපගේ මහතා ජවිපෙන් අයින් වුනේ මේ කාලයේ බවද මට මතකය.

 ආචාර්ය දයාන් ජයතිලක මහතා කල දේශනා වලටද ගියෙමි. ඔහුගේ දේශනා බොහෝ තිබුනේ ගර්ල් ගයිඩ් මුලස්ථානයේ වන අතර ඒවා වූයේ  "ලතින් ඇමෙරිකානු විප්ලවය" ගැනය. "ශ්‍රී ලංකා ගාඩියන්" ද නිතර කියවුයෙමි. 

ජවිපෙ දේශපාලනයට  සම්බන්ධ වීමට සිතා  සිටි මම එය ප්‍රතික්ෂේප කලේද මේ කාලයේය. ඒවාට බලපෑවේ එසේ කියවූ ප්‍රකාශන හා ගිය දේශන බව සිතමි. නමුත් ඒකාලේ ජවිපෙ  සිටි සමහරු තවම මිතුරන්ය.  

එනිසා මා තෝරා ගත්තේ සෝවියට් දේශයට යන්නටය. මෙය පොර කතාවක් නොව ඇත්තකි. 

//හරියට මෙයාගේ අම්මගේ තාත්තාගේ වියදමින් සෝවියට් දේශයට ගියා වගේ දැන් කතාව .//
සෝවියට් දේශයට යන්නට ටිකට් වියදම ලංකා රජය දෙන්නේ නැත. එනිසා ඒ වියදම් දැරුවේ  මගේ පියා ය. අනිත් ළමයින්ට ද එසේය.  ටිකට් එක රුපියල් 17000 බවද මට මතකය.  1984 දී එය අපට ලොකු මුදලකි.

//කොමියුනිස්ට් රුසියාවේ රූබල් 90 වෙන් ජිවත් වෙලා.ඒකෙන් ටිකට් අරං ලංකාවට ආගිය අතීතය දැන් අමතකයි//
 මෙයද වැරදි නොදන්නා  කතාවකි. හෙවත් බොරුවකි.  රුබල් 90න්  ඉතිරි කරගත් මුදලින් අපි ලන්ඩනයට ගියෙමු. එහේ තාවකාලික රැකියාවක්  කර හෝ ලන්ඩන් හෝ බර්ලින් වලින් රැගත් ඇඳුම් ආදිය  (ඩෙනිම් ) ගෙන රුසියාවට පැමිණ ඒවා විකුණා  ලබා ගත්  මුදලින් ටිකට් රැගෙන ලංකාවට ගියෙමු. වජිර මහතා ගේ සහෝදරයා කීව් නගරයේ උගත් අතර ඒ විස්තර ඔහු දන්නවා  ඇත. අමිහිරි වුවද  සත්‍යය එයයි. 

//ඒකෙන් ගානක් ලංකාවට යවනවා දැන් අමතකයි.// 
ලංකාවට මා මුදලක් යැව්වා නම් යැව්වේ එංගලන්තයේ රැකියාව කර උපයා ගත් මුදල්ය. අනිත් අයද එසේය. නැත්නම් බිස්නස් කර උපයා ගත් මුදල්ය. මේවා සියල්ල ඔප්පු කල හැකි දේවල්ය.  

//අද මෙයලා කොහේද ලෙනින් විප්ලවය නොකලා නම්// 
ලෙනින් විප්ලවය නොකලා නම් මම කොළඹ විශ්ව විද්‍යාලයේ ඉගෙන ගනු ඇත. එය අවසන් කර පශ්චාත් උපාධියක් කර හෝ නැතිව ගුරුවරයෙක් වී කොහේ හරි උගන්වනු ඇත. නැත්නම් ගණකාධිකාරවරයෙක් වී සිටිනු ඇත. 1988-89 තබා 1971 ද ලංකාවේ සිදු නොවනු ඇත. දයා  පතිරණ, විජේවීර,  නන්දන මාරසිංහ, විජය කුමාරතුංග මෙන්ම 60000 වැසියන්ද   අද ජිවතුන් අතර වනු ඇත. වජිර යාපා 1994 කීව් නොයනු ඇත. "මං තුමා"ට අපට මඩ ගහන්නට ලිපියක් ලියන්නට බැරි වනු ඇත.

අපට ප්‍රශ්නය ඇත්තේ ලෙනින් කළ විප්ලවය ගැන නොව ස්ටාලින් කළ ප්‍රති-විප්ලවය ගැනය .

නමුත් සෝවියට් දේශයේ ගතකල සොඳුරු අතීතය කිසිදා අමතක නොවේ. මා  ඒ ගැන බ්ලොග් ලිපි ලියන්නේද එබැවිනි. අවුරුද්දකට සැරයක් ජවිපෙ හා අනිත් අය  කරන විරු  සමරු සෝවියට් දේශය ගැන කරන්නට  මට අවශ්‍යතාවයක් නැත. ඒ වෙනුවට ඒ රටේ තිබු සෞභාග්‍යය මෙන්ම කාලකන්නි කම ගැනද  ලියමි.


 ප.ලි. 
මං තුමාගේ බ්ලොගයේ අපොස උසස්  පෙළ ගැන ප්‍රශ්න කර ඇති  බැවින් මෙසේද ලියමි. සෝවියට් දේශයේදී විදුලි ඉංජිනේරු උපාධිය අවසන් කලෙමි.  මා  වරලත් (chartered) පරිගණක ඉංජිනේරුවෙක් වෙමි. වසර  තුනකට පෙර රසල් ගෘප් හි විශ්ව විද්‍යාලයක් වන  ක්වින් මේරි හි අභ්‍යවකාශ භෞතික විද්‍යාව (astrophysics) පිළිබඳ ශාස්ත්‍රපති  උපාධියක් මෙරිට් එකක් සහිතව නිම කලෙමි. 

48 comments:

  1. ඕව ඒහැටි ගනන් ගන්න එපා බං.
    ඒ නෙවේ මෙදා පාර නෙලුම් සම්මාන උලෙළ කරනවැයි?

    ReplyDelete
    Replies
    1. නෙළුම් යාය කරනවානම් යම් වෙනස්කම් ටිකක් කරන්න පුළුවන් වෙන්න ඕන....
      වැඩේ හොඳයි. අනිවාර්යයෙන් කරන්න. අපේ සහායත් ඕනනම් දෙන්න පුලුවන්

      Delete
    2. උඩුව සහ ඇනෝ බොහොම ස්තූතියි . මේලක් දැම්මා.

      Delete
  2. බජට් එකයි එකේ ඔඩිට් එකයි දෙනවනම් අපි බොක්කෙන් සපෝර්ට්

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් මට දෙන්න බැරි දේනේ ඉල්ලන්නේ. දන්නා ටික ලිව්වා . ලංකාවට ආවොත්, හමුවෙනවනම් උපුලා ගාවට එක්කන් යන්නන්.

      Delete
  3. වෙලාවට ඩොක්ට රුවන් සෝවියට් දේශයේ ජිවත් වුන හැටි මුදල් ගැන ලියපු නිසා ටිකක් හොඳ වැටහීමක් ලැබුන.

    සල්ලි හම්බ කිරීමේ චේතනාවෙන්ම පමණක් මේ දවස්වල අද්‍යාපනය ලබන පිරිසෙන් අජිත් අයියා ඔබ හදාරා ඇති විවිද විෂයන් ගැන සන්තෝස වෙමි. හැම මිනිහටම බැහැ රටවල් කිහිපයකට ගොස් අද්‍යාපනය හැදෑරීමත් ඒ වගේම ඒහා සමානවත් රටවල් කිහිපයකට ගොස් රැකියා කර අද්‍යාපනයට මුදල් සෙවීම.

    👊🏽

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ටිලාන්. ඔබ ගේ උත්සාහයන්ද දැක්කා. සුබ පැතුම්.

      Delete
  4. අජිත් ධර්ම කියන්නේ ධනපති එජාපයේ හිතවතෙක්. අන්ත දක්ෂිණාංශික රනිල් අගමැතිගේ චක්‍ ගෝලයෙක්. අගමැතිගේ ධනපතියන් සතුටු කරන්න ගන්නා හැම තීරණයක්‌ම අජිත් සාධාරණය කරමින් ඉන්නේ ඒකයි.

    සෝවියට් රුසියාවෙන් අධ්‍යාපනය ලබන්න අජිත්ව එහෙ යැව්වෙත් දක්ෂිණාංශික බලවේග තමයි. ඒකයි අජිත් ධර්ම ධනපති එජාපයට කඩේ යන්නේ. අජිත්ට ලංකාවට යන්න එන්න මුදල් ලබා දුන්නේ ධනපති එජාපයෙන්. ධනපතියන්ගේ කොන්ත්‍රාත්තු ඉටු කරන අජිත් ධර්ම වැන්නවුන්ට අපගේ අප්‍රසාදය.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා. ඔච්චර ලියලත් විශ්වාස කරන්නේ නැත්නම් ඉතින් එහෙමං හිතා ගන්න.

      Delete
    2. අනික ධනවාදය හරි ලංකාවේ හරියට දියුණු වෙනවා නම් මම කැමතියි.

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. නිවැරදි කලා . ස්තූතියි.

      Delete
  6. අජිත්, ලෙනින් විප්ලවය කලත් නොකලත් ඔබ නම් සඳහන් කල මිනිසුන්ද ඇතුළු 60000 ගේ පමණ ජිවිත 87-89 භීෂණ යුගයේදී වලපල්ලට ගියේ JR විසින් 83 ජුලි කලබල වලට ජවිපෙ බොරුවට පටලවලා උන්ට කැලෑ වදින්න සැලැස්සුව නිසා බවයි මගේ හැඟීම. විජේවීර 82 ජනාධිපති වරණයටත් ඉල්ලපු මිනිහා. ඒකෙන් පෙන්නුවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට රිංගගන්න විජේවීරට තිබුණ කැමැත්ත. එහෙම උනානම් එංගලන්තෙන්, රුසියාවෙන් සහ චීනෙන් සමාජවාදය ගෙනාපු එන් එම්, කොල්වින්, පිලිප් එස්.ඒ. වික්‍රමසිංහ, ශන්මුගදාසන් වගේ වයසට යනකම්ම ජිවත් වෙලා රටටත් යමක් කරලා මැරිලා යාවි. ඔය වාසුදේව තාමත් ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. විජේවීරට තිබුනෙ විප්ලව උන. ජනාධිපතිවරනෙට ඉල්ලුවෙ බොරුවට.
      ලෙනින් විප්ලවය නොකලනම් ඔය හැමෝම ජීවතුන් අතර. බස් කර්මාන්තශාලා ට්‍රාන්ස්පෝමර.ගිනිගන්නෙත් නෑ.
      විජේවීර අද හිටියනම් තව පරම්පරාවක් කනත්තට දක්කන්නෙ නැතිවෙයි කියල කියන්නත් අමාරුයි

      Delete
    2. විජේවීරට තිබුනෙ විප්ලව උන. ජනාධිපතිවරනෙට ඉල්ලුවෙ බොරුවට.
      ලෙනින් විප්ලවය නොකලනම් ඔය හැමෝම ජීවතුන් අතර. බස් කර්මාන්තශාලා ට්‍රාන්ස්පෝමර.ගිනිගන්නෙත් නෑ.
      විජේවීර අද හිටියනම් තව පරම්පරාවක් කනත්තට දක්කන්නෙ නැතිවෙයි කියල කියන්නත් අමාරුයි

      Delete
    3. //JR විසින් 83 ජුලි කලබල වලට ජවිපෙ බොරුවට පටලවලා උන්ට කැලෑ වදින්න සැලැස්සුව නිසා බවයි මගේ හැඟීම// එකඟයි.

      Delete
    4. ලෙනින්ගේ විප්ලවය පහර ගත්තේ ස්ටාලින්. මේවා ගැන අනිවාර්යයෙන්ම නැවත ලියන්න වෙනවා.

      Delete
    5. පැහැර ගත්තේ යනුවෙන් ලියවෙන්න ඕනේ.

      Delete
  7. අභ්‍යවකාශ භෞතික විද්‍යාව

    අර අපේ ලොකු අප්පච්චිගේ පොඩි කොලුවා ...චිචියා ..ඔව් ඔව් රෝහිත ..තමා උටත් තියනවා කියුවේ ඔය උපාදියක් නේද

    ReplyDelete
    Replies
    1. අනේ මල්ලියේ මම බොහොම අමාරුවෙන් ඉගෙන ගත්තේ. ලෙඩත් වුණා මගදී.

      Delete
  8. සිසුන්ට මසකට රූබල් 90 ලැබුනද මේ මුදල් ලංකාවට යැවිය නොහැකි විය​. ඒ මන් ද යත් එකල කොපෙක් 65 ක් ඇමරිකන් ඩොලර් එකක් වූවත් ඒ මිලට කිසිම බැංකුවක ඩොලර් තිබුනේ නැත​. එසේම පිටින් ඩොලර් මිලදී ගැනීම ක්‍රිමිනල් වර්ගයේ අපරාධයක් විය​. මේ නිසා සෝවියට් දේශයේ සිට සිසුන් රූබල් ලංකාවට එව්වා කියා මම නොසිතමි. නමුත් වූයේ එහි අනෙක් පැත්තය​. සිසුන් ග්‍රීෂ්ම නිවාඩුවට එංගලන්තයට හෝ බටහිර ජර්මනියට යන විට ලංකාවේ තම ගෙවල් වලින් ඔවුන් මුදල් ගෙන්වා ගත්හ. මම භාෂා වසර අවසන් කොට ග්‍රීෂ්ම සමයේ එංගලන්තයේ වෙසෙන මගේ ඟාතීන් ගේ නිවෙසට යන විට මගේ මව මට මුදල් ස්ටර්ලිං පවුම් වලින් එවා තිබුනාය​. මේ මුදල් සෝවියට් බැංකු හරහා එව්වේ නම් ඒ මුදල් මට ලැබෙනුයේ කොල තොගයක් පුරවා ඉතා දීර්ඝ කාලයකට පසුවය​. මේ සෝවියට් බැංකු ක්‍රම වල තිබූ එක් ප්‍රධාන දුර්වලතාවකි.

    ReplyDelete
    Replies
    1. එතන වජිර නොදන්නා දේ බොහොමයක් දනනවා වගේ ලියල තියෙන්නේ. එයා කීව් ආවේ සෝවියට් දේශය වැටුනට පස්සේ. එයාගේ අයියා කුමාර යාපා තමා හිටියේ එහේ කලින් ඉඳන් . විසා බිස්නස් කළේ ඔහුයි. මම නම් එංගලන්තේ ඇවිත් වැඩ කලා. ඒවා ලියන් ලැජ්ජාවක් නැහැ. මගේ දෙමාපියන් දුප්පත්.

      Delete
  9. බලාගෙන ගියාම මට උපදෙස් දෙන අජිත්ලත් ඒ වගේම තමයි.

    අජිත්ලට උනත් මේවා තේරෙන එක බොහොම හොඳයි...

    අපේ රටේ කතා කරන්නේ මත්තුරුකාව නෙමෙයි. ඕවා කරන්නෙත් උගත් කියන උන්මයි. ඒකයි මම කියන්නේ මේ රටේ බුද්ධිමත් උන් නෑ කියලා..

    ReplyDelete
  10. ස රසා හා අජිත් දෙන්නම මගේ හිතවතුන්...

    උන් දෙන්නම එක වගේ කියලත් මම දන්නවා..

    හොඳම දේ උඹලා දෙන්නා වෙලාවක හම්බ වෙන එක..

    මේවා අනවශ්‍ය දේවල්.. දෙන්නම් බ්ලොග් ලියහල්ලා..

    තමන්ගේ මට්ටම් තට්ටමේ එල්ල ගනිල්ලා...

    දන් බොහෝ දෙනෙක් ඉයන් දෙයියා ළඟ පොරොන්දු උනා නේද පෞද්ගලික මඩ ගැසීම වලට යන්නේ නෑ කියලා..

    මේක අපේ ගෝත්‍රික ගතියේ ලක්ෂනයක්..

    අපි කොහොමද බං උඹලට උගත්තු කියන්නේ...

    ReplyDelete
    Replies
    1. එතකොට මහත්තයා ගිහිං රාජ්,කකා, සිරා, ඉකොනොමැට්ටා එක්ක අඩව් අල්ලව්වේ, එව්වා හොදයි.

      Delete
    2. මට ඇරියම මම අරිනවා... ඔය උඩ කියලා තියෙන්නේ...

      එහෙම නැතිව කාටවත් මඩ ගහලත් නෑ ගහන්නෙත් නෑ...

      Delete
    3. දැන් මචන් මම මඩක් ගැහුවද නැත්නම් මට මඩක් ගහපු වජිර යාපාට හා පොදුවේ අපට මඩක් ගහපු සරසා ට පිළිතුරු ලිපියක් බැන්දද? ඔය අරුං පෙරේරා උගත්තු ගැන කටහ්වකුත් කියල තියෙන්නේ. ඒවා මඩ. අපි කරන්නේ ගහපු මඩට සංයමයෙන් පිළිතුරු දෙන එක. මම උඹට කීවෙත් ඒක කරන්න. මෙතන මම කාටවත් කුණුහරපෙන් බැනල නැහැ. මම කිසියම් කොමෙන්ටුවක් ඒ විධිහට ලියන්න හේතු ලිව්වා විතරයි. මඩ ගහන්නේ සරසා නොවේද ?

      Delete
    4. මගේ අදහස මම කිව්වා එච්චරයි... අපිට බන කියන්න ආවට උඹලත් එච්චරම තමයි...

      Delete
  11. /*.... නව සම සමාජ පක්ෂයේ "කම්කරු විත්ති" නිති පතා කියවූ නිසා....*/

    මෙහෙම පත්තරයක් තිබුණා ද? නැතිනම් අමතක වීමක් හෝ ටැපලීමක් හෝ ද?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. //මෙහෙම පත්තරයක් තිබුණා ද?//
      තිබුණ හලෝ, ඔහේ නොදන්නව උනාට එහෙම එකක් තිබුණ.

      Delete
    3. ඔව් තිබුණා. හොඳ පුවත්පතක් ඒ කාලේ. නසසප තහනම් කාලෙත් ගැහුවා.

      Delete
    4. මා දැක ඇත්තේ "හරය" පමණයි. එය නසසප පුවත්පත කියායි අප සිතාගෙන සිටියේ.

      ඒ දිනවල සුචරිත ගම්ලත් නිතරම "හරය" පුවත්පතට බැණ වදිනවා. එවැනි එක තැන සිටි නසසපට සම්බන්ධ අයෙකු "හරය" නනසප පුවත්පත නොවන බව කියූ පසු එතැන පොඩිවලියක් ගිහින් සභාව විසුරුවා හරින්න වුණා!

      සුචරිත ගම්ලත් එකල සිටි විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ පුවත්පත වුනේ "කම්කරු මාවත"!

      Delete
    5. මම කම්කරු මාවතත් අර ගත්තා දේශනා වලට ගියහම.

      Delete
  12. වැදගත් තොරතුරු රැසක්ම.
    ලෙනින් විප්ලවය නොකලානම් කියන කොටසට මා වඩා කැමතියි. එහෙමනම් 60000මැරෙන්නෙත් නෑ. බස් ට්‍රාන්ස්පෝමර ගිනිගන්නෙත් නෑ.

    ධනවාදයට වඩා සමාජවාදය හොද බවට වාදයක් නෑ. නමුත් ලෙනින්ල විප්ලවය නොකලනමි සමාජවාදයෙ අනාගතයට වඩා හොදයි.

    සමාජවාදයට යා යුත්තෙ ලෝකයක් විදියට. සර්ව ව්‍යාපී අරගලයක්. අරගලයක් කිවුවට මිනීමරන දේපල විනාශකරන එකක් නෙමෙයි.
    එක එක හීනමානකාරයන්ට පරපීඩාකාමුකයන්ට සිත් සේ අපරාධකරන්නට ඉඩ ලැබෙන තැනක් නෙමෙයි.
    සමාජවාදයෙ පෙරගමන්කරුවා මිනීමරුවා නොව බුද්ධිමතායි

    ReplyDelete
    Replies
    1. මේක කොමෙන්ට් එකකින් නොව ලිපියකින් පිළිතුරු දිය යුතු ප්‍රතිචාරයකි. ලෙනින් සමහර විට විප්ලවය නොකලා නම් කියල දැන් පුටින් නුත් කියනව. මම කියන්නේ ස්ටාලින් විප්ලවය කණ පිට ගැසූ බවයි.

      Delete
  13. වැදගත් තොරතුරු රැසක්ම.
    ලෙනින් විප්ලවය නොකලානම් කියන කොටසට මා වඩා කැමතියි. එහෙමනම් 60000මැරෙන්නෙත් නෑ. බස් ට්‍රාන්ස්පෝමර ගිනිගන්නෙත් නෑ.

    ධනවාදයට වඩා සමාජවාදය හොද බවට වාදයක් නෑ. නමුත් ලෙනින්ල විප්ලවය නොකලනමි සමාජවාදයෙ අනාගතයට වඩා හොදයි.

    සමාජවාදයට යා යුත්තෙ ලෝකයක් විදියට. සර්ව ව්‍යාපී අරගලයක්. අරගලයක් කිවුවට මිනීමරන දේපල විනාශකරන එකක් නෙමෙයි.
    එක එක හීනමානකාරයන්ට පරපීඩාකාමුකයන්ට සිත් සේ අපරාධකරන්නට ඉඩ ලැබෙන තැනක් නෙමෙයි.
    සමාජවාදයෙ පෙරගමන්කරුවා මිනීමරුවා නොව බුද්ධිමතායි

    ReplyDelete
  14. මේ මචන්, වෙලාවක සෝවීයට් දේශයේ බඩු ගහපු හැටි ගැනත් ලියනවද?

    ReplyDelete
    Replies
    1. වැල පත්තරයක් බලන්න....

      Delete
    2. ඒවයෙ සෝවියට් කතා නැහැනෙව, තියෙන්නෙ ලංකාවෙ පුරුදු විගඩම් හරි ඉංගිරිස් වැලක අනුවාදයක්, අපිට ඕනෙ සෝවියට් රස කතා

      Delete
  15. යම් කිසි රටකින් හෝ විශ්ව විද්‍යාලයකින් නොමිලේ හෝ මුදලට උපාධියක් ලත් පමනින් එම රටට හෝ විශ්ව විද්‍යාලයට පක්ෂපාතී විය යුතු වන්නේ ඇයි දැයි වැටහෙන්නේ නැහැ. 1980 ගණන් වල මේරටේ විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීමට නොහැකි වූ අයට තිබුණේ වෙන අවස්ථා සුළුප්‍රමාණයක් පමණයි. ඒවායින් එකක් රුසියානු ශිෂ්‍යත්ව.

    උසස් අධ්‍යාපන ආයතනයකින් ලබාගන්නේ මූලික දැනීමක් පමණයි යන්න මඟේ හැඟීමයි. එයට හේතුව එකම ආයතනයකින් එකම වසරේ උපාධි ලබාගත් දෙදෙනෙකුගේ හැකියාවන් සහ දක්ෂතා අතර වෙනසක් තිබීමට හැකිවීම. තමන් පොත පතින් ලබා ගත් දැනීම තමන්ගේ ඥාණ ශක්තිය මෙහෙයවා වැඩිදියුණු කිරීම සහ ප්‍රායෝගික යොදාගැනීම් වලින් ලබා ගන්නා අත්දැකීම් වලින් පුද්ගලයෙකු හැකියාව සහ දක්ෂතාව ලබා ගන්නා බව තමයි මම සිතන්නේ. පුද්ගලයෙකුගේ වෘත්තීය සාර්ථකත්වය බලපවතින්නේ එම හැකියාව සහ දක්ෂතාව මත මිස ලබා ගත් උපාධිය මතම නොවේ. උපාධිය රැකියාවක් ලබා ගැනීමට දොර විවෘත කිරීමට සමත් වුණත් එම රැකියාවේ ඔහු/ ඇයගේ සාර්ථකත්වය රඳාපවතින්නේ උපාධි සහතිකය මත නොවේ.

    මෙම කරුණු සහ විශ්ව විද්‍යාලයකින් කලයුත්තේ ගැත්තන් බිහිකිරීම නොව නිදහස් චින්තකයින් බිහිකිරීම යැයි ඇති මගේ විශ්වාසය සමඟ රටකට හෝ විශ්වවිද්‍යාලයකට පක්ෂපාතී වීම අවශ්‍යතාවයක් ලෙස මට නම් නොහැඟේ.

    ReplyDelete
    Replies
    1. යුද්දේ දිනු නිසා ඉන්පසු වෙන ඕනෑම වදකාට් එහෙයි කිවිය යුතුය. 1989 මර්දනයට මුහුණ දී මිය ගිය නිසා එය විවේචනය කිරීම කුහක කමකි. සෝවියට් ජනටහ්වගේ බදු මුදලින් ඉගෙනගත් නිසා සෝවියට් ක්‍රමය ගැන විවේචනයක් ඉදිරිපත් කිරීම වැරදිය. ප්‍රශ්නය මේ මඩ පාර එසේ නොකර වීමය. ඉතින් නිදහසේ සංවාද කරන්නේ කෙසේද?
      //මෙම කරුණු සහ විශ්ව විද්‍යාලයකින් කලයුත්තේ ගැත්තන් බිහිකිරීම නොව නිදහස් චින්තකයින් බිහිකිරීම යැයි ඇති මගේ විශ්වාසය සමඟ රටකට හෝ විශ්වවිද්‍යාලයකට පක්ෂපාතී වීම අවශ්‍යතාවයක් ලෙස මට නම් නොහැඟේ.// ඇත්ත.

      Delete
    2. Ian and Ajith +++++++++++

      Many students who are sons and daughters of government servants in Sri Lanka used to come to Australia on a certain scholarship scheme (can't remember the name of the scholarship but only children of govt.servants are entitled to it). They continue to stay here, enjoying all benefits here and at the same time claiming that nothing like SL and that they will go back at the earliest opportunity (but never go back). It is typical SL behaviour. No biggie.

      Delete
    3. නැවත නිවැරදි ලෙස:
      යුද්දේ දිනු නිසා ඉන්පසු කරන වෙන ඕනෑම ජරා වැඩකට එහෙයි කිවිය යුතුය. 1989 මර්දනයට මුහුණ දී මිය ගිය නිසා එය විවේචනය කිරීම කුහක කමකි. සෝවියට් ජනතාවගේ බදු මුදලින් ඉගෙනගත් නිසා සෝවියට් ක්‍රමය ගැන විවේචනයක් ඉදිරිපත් කිරීම වැරදිය. ඉතින් නිදහසේ සංවාද කරන්නේ කෙසේද?

      Delete
  16. ගැත්තන් බිහිකිරීම නොව නිදහස් චින්තකයින් බිහිකිරීම //// +++++++++

    ReplyDelete
  17. අජිත් මගේ නම සදහන් කරල තිබුනු නිසාම නෙවෙයි මේ වචන ලියන්නෙ. එදා ශ්‍රි ලන්කාවේ කොමියුනිස්ට් පක්ශය කරගෙන ගිය ප්‍රතිගාමි දේශපාලනය අද ලන්කාවේ කරමින් ඉන්නේ ශ්‍රි ලන්කාවෙ ජනතා විමුක්ති පෙරමුන. ඒ බව ලන්කා දෙශපාලනය තුලින් පැහැදිලියි. එබවට හොදම උදාහරනය ජවිපෙ ලන්කාවෙ වෙනත් අනුරාගිකයන්( එල්ජීබීටීකිවු) ව්‍යපාරය වෙනුවෙන් දක්වන මාරාන්තික විරොධයයි. එහි ප්‍රකාශකයෙකු වන නලින්ද ජයතිස්සට කන්දීමෙන් මෙ බව අපුරුවට තෙරුම් ගත හැකියි.

    ReplyDelete
    Replies
    1. LGBT එක ගැන නලින්ද ජයතිස්ස කීව ඒවාට නම් මට හිනා ගියා . දොස්තර කෙනෙක් නේද. ජවිපෙ තවම ඉන්නේ 20 වෙනි ශත වර්ෂයේ.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .