Sunday 2 July 2017

මෛත්‍රී - රනිල්! ඉතිහාසයට යනවාද - ඉතිහාසයේ කුණු බක්කියට යනවාද

ඩී එස් - චඡායාරුප  තුප්පහි බ්ලොග් අඩවියෙනි 
ශ්‍රී ලංකාවට නිදහස් ලැබුනේ 1948 දී යයි අපි උගත්තෙමු. ශ්‍රී ලංකාවට සැබෑ නිදහස ලැබුනේ අවසන් අධිරාජ්‍යවාදී යදම් බිඳ දමා 1972 ව්‍යවස්ථාව සම්මත කර ගැනීමෙන් පසුව යයිද ඉන්පසු  උගත්තෙමු. කෙසේ වුවද ශ්‍රී ලංකාව  අදටත් නිදහස සමරන්නේ පෙබරවාරි 4 දාය. ඒ 1948 වසර ට සම්බන්ධවය.  එසේම සුද්දා  හෙවත් ඉංග්‍රීසින් රට දමා යනවිට හොඳ සමබර ණය නැති ආර්ථිකයක් මෙන්ම ජන වාර්ගික ප්‍රශ්නයක් ද ඉතිරිකර ගිය බවද අප උගත්තෙමු.

එදා සිට ශ්‍රී ලංකාව  පාලනය කරන ලද නායකයන් ගෙන් බොහොමයක් ඉතිහාසගත වී තිබෙන්නේ නොයෙකුත්  හේතූන් වලටය.

ඩී ඇස් සේනානායක (1883-1952) මහතා ගල්ඔය ජනපද ව්‍යාපාරය ආරම්භ කළේය. ඔහුට "ජාතියේ  පියා " යයි නමක් ද   පට බැඳී තිබේ. බ්‍රිතාන්‍යයන් මගින් සිංහල ඉඩම් බලහත්කාරයෙන් අයත් කරගෙන  සිංහලයාට කඳුරට හා නැගෙනහිර  කරන ලද දැඩි අසාධාරණයන්ට පිළිතුරක් ලෙස නව ජනාවාස පිහිටුවා, ඉඩම් ලබාදී  කුඩා විදුලි බලාගාරයක් ද සාදා රටේ කෘෂිකර්මාන්තය නගා සිටුවීම ට  හොඳ පදනමක් දැමීමට මේ ව්‍යාපාරය සමත්  විය.  යාපනයේ  දෙමළ දේශපාලකයන් සිංහල කොලනිස්ට් නමින් හැඳින්වූයේ මේ සිංහල ජනතාවය. මෙම තුප්පහි නමැති බ්ලොග් අඩවියේ මේ පිලිබඳ ඉතා හොඳ විස්තරයක් (ඉංග්‍රීසියෙන්) තිබේ.
(මෙම බ්ලොග් අඩවිය හොඳම ඉංග්‍රීසි බ්ලොග් අඩවිය ලෙස සම්මානයක් සඳහාද නිර්දේශ කළෙමි .)

එම බ්ලොග් අඩවියේ සඳහන් අන්දමට කිසිම රටකින් ණයක්  නොගෙන දේශීය ඉංජිනේරුවන් යොදවා දේශීය දැනුමින් මුළු වාරිමාර්ග ව්‍යාපාරයම නිමවන ලදී. එසේම සිංහලවාදී නායකයකු වුවත්  කිසිම දෙමළ  ජාතිකයකුට අසාධාරණයක් වීමටද ඩී එස් ඉඩ නොතැබුවේය.

ලංකාවට ඩොමිනියන් තත්වය  ලබා ගැනීමටද මුලික වුනු ඔහු  ඉඩම් සංවර්ධන පනත ද ගෙන ආවේය. බොහෝ දෙනා  ඔහුගේ වරදකට දකින්නේ ඉංග්‍රීසින්  විසින් වතුකරයට අලුතින්  ගෙනා  මිලියන භාගයක්  පමණ වූ දෙමළ කම්කරුවන්ගේ  පුරවැසි භාවය අහෝසි කිරීමය. ශ්‍රී ලංකා ඉතිහාසයේ ඔහුගේ නම ලියා තැබීමට ඔහු සමත් විය.

යටත් විජිත සමයේ හමුදාවේ සේවය කල සර් ජෝන් කොතලාවල (1895-1980) එවකට පැවති 1953 හර්තාලයේදී ඩඩ්ලි සේනානායක මහතාගේ ඉල්ලා අස්වීම නිසා හදිසියේ අගමැති පදවියට පත්විය. ජනාධිපති ජේ අර ජයවර්ධන මහතා විසින් ඔහු ලංකා හමුදාවේ ප්‍රථම ජෙනරාල් වරයා ලෙස අභාවප්ප්‍රාප්ත වීමට සුළු කලකට පෙර පත් කරන ලදී.  කොතලාවල මහතා ඔහුගේ කඳවල  වලව්ව රජයට (හමුදාවට) පරිත්‍යාග කළේය.

ඩී ඇස් ගේ වැඩිමහල් පුතා ඩඩ්ලි සේනානායක (1911-1973) මුලින්  1952 හා  1960  වසර වල අගමැති පදවියේ සුළු කලක් සිටි අතර  1965-70 දක්වා අගමැති වරයා ලෙස රට පාලනය කළේය. ඔහු ආර්ථිකය සමබරව තබා ගැනීමට කටයුතු කලා මිස ඉතිහාසයට යාමට තරම් වැදගත් දෙයක් කලා යයි කොහේවත් ලියවී නැත. මුල් අගමැති පදවිය හිමි වුයේද "තාත්තාගෙන් පුතාට" ගිය උරුමයක් වශයෙනි.

"සිංහල පමණක් " රාජ්‍ය භාෂාව කිරීමේ ප්‍රධාන සටන් පාඨයද සහිතව බලයට පත්වූ එස් ඩබ්. ආර් ඩී බණ්ඩාරනායක මහතා (1899 -1959)  ඒ පොරොන්දු වූ ලෙසටම සිංහලය රාජ්‍ය භාෂාව කළේය. එතෙක් සිංහලයාට වැසි තිබුණු රාජ්‍ය පරිපාලන  සේවයේ දොරවල් මෙනිසා ඔවුනට විවෘත වුන අතර සිංහල  සිසුන් ගේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ට ඉන් තල්ලුවක් ලැබුණි. විද්‍යෝදය හා විද්‍යා;ලංකාරය පිරිවෙන්  විශ්ව විද්‍යාල  බවට පත්වුනි. එසේම එතෙක් සුළු වශයෙන් ඉදිරියට එමින් තිබූ ජන වාර්ගික ප්‍රශ්නය "භාෂා ප්‍රශ්නය " මත වඩාත් දරුණු වීමද සිදු වුයේ මේ සමයේය. දෙමළ ජනතාවට  විරුද්ධ ප්‍රථම  ජන සංහාරය සිදු වුයේ ඔහුගේ පාලන සමය තුළදීය (1958). මෙහිදී යාපනය දෙමළ ජාතිවාදීන් විසින්  දකුණේ සිංහලයන්ට ප්‍රථමවරට පහර දෙන ලදී.

බ්‍රිතාන්‍යයන් යටතේ තිබූ කටුනායක හා ත්‍රිකුණාමල කඳවුරු ලංකා රජයට  යටතට පවරා  ගත් බණ්ඩාරනායක මහතා  කිසිඳු බල කඳවුරකට නොබැඳි කටයුතු කිරීමේ විදේශ ප්‍රතිපත්තියෙහි  පුරෝගාමියා විය. එසේම   සෝවියට් දේශය හා චීනය සමග ප්‍රථම වතාවට තානාපති සබඳතා ඇරඹුණේද  මේ සමයේය. බණ්ඩාරනායක මහතාගේ සමයේ කම්කරුවන්ට බලපාන  නීති සමුහයක්ද ක්‍රියාත්මක කරන ලදී. ශ්‍රී ලංකාවේ බහුතර සිංහල ජනතාව අතර සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන බලවේග ප්‍රථම වරට එක් කල බැවින්ද ඔහු ඉතිහාසගත වෙයි.
ලෝකයේ ප්‍රථම අගමැතිනිය ගේ දිවුරුම් දීම 

බණ්ඩාරනායක මහතා ගෙන් පසු ඔහුගේ වැන්දඹු බිරිඳ සිරිමාවෝ බණ්ඩාරනායක(1916-2000) මැතිනිය බලයට පත් වූයේ බණ්ඩාරනායක මහතා මෙන්ම වාමාංශික පක්ෂ වල පිහිටෙනි. බණ්ඩාරනායක මහතාට කළ නොහැකිව තිබු තෙල් කොම්පැනි ජනසතු කළේ  බණ්ඩාරනායක මැතිනියයි. 1960 සිට 1965 දක්වා හා 1970 සිට 1977 දක්වා ශ්‍රී ලංකාව  පාලනය කළ ඇයගේ කාලයතුල  තේ වතු  ජනසතු කිරීම හා විශාල වතු හිමියන්ගේ වතු ජනසතු කිරීමද  (පසුව ඒවා නෑදෑයින් හා හෙන්චයියන්ට  දී විනාශ කිරීම ද ඇතුළුව) සිදු කෙරුණි.

තරුණයන්ගේ කැරැල්ලක් 1971 දී මැඩ පැවැත්වීමටද බණ්ඩාරනායක මහත්මියට සිදු විය.

ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීම 1972  වූ නව ව්‍යවස්ථාවෙන් සිදු වූ අතර විශ්ව විද්‍යාල සිසුන් ඇතුලත් කර ගැනීම සඳහාවූ මතභේදාත්මක "දිස්ත්‍රික් පදනම් ක්‍රමය"  ඇරඹුණේ ද ඇගේ පාලන සමය තුලය. හාල් පොලු, මිරිස් පොලු ආදිය දමා ආහාර  සලාකයට දී ලාභ ඉන්දීය සාරි ලංකාවට  ගෙන්වමින් වාමාංශික මුදල් ඇමති ඇන්  ඇම්   පෙරේරා මහතා ලංකාවේ බාහිර විදේශ ණය සෑහෙන  ප්‍රමාණයකින්  අඩු කළේය. රාජ්‍ය මැණික් සංස්ථාව , දැව  සංස්ථාව ආදී සංස්ථා බොහොමයක් පිහිටවූයේද මේ කාලයේය.  සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය 1976 දී නොබැඳි සමුළුවේ සභාපතිනිය වශයෙන් ශ්‍ර ලංකාවේ නොබැඳි සමුළුවද පැවැත්වූවාය. එහෙත් අසාර්ථක වූ ආර්ථික ප්‍රතිපත්ති නිසා විවෘත ආර්ථිකයක් ගෙන ඒමට පොරොන්දු වූ ජේ ආර් ජයවර්ධන මහතා ගේ පක්ෂයට  පරාජය වුවද සිරිමාවෝ බණ්ඩාරනායක ලෝකයේ ප්‍රථම අගමැතිනිය වශයෙන්ද ඉතිහාසයට එක් වූවාය.

ජේ ආර් ජයවර්ධන (1906-1996) මහතා 1965 එජාප රජයේ රාජ්‍ය ඇමති පදවිය දැරූ සමයේ  ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට අඩිතාලම දැමුවේය. හයෙන් පහක ආසන සංඛ්‍යාවක් සහිතව 1977 දී  බලයට පත්වූ ජයවර්ධන මහතා ශ්‍රී ලංකාවේ එවකට පැවති  ව්‍යවස්ථාව සහමුලින්ම වෙනස් කරමින් නව ව්‍යවස්ථාවක් සම්මත කරගෙන ප්‍රථම අධි බලැති  විධායක ජනාධිපතිවරයා වශයෙන් පත්විය. එයට ප්‍රථම 1977 මැතිවරණයෙන් පසු  තවත් වතාවක් දෙමළ  ජනතාවට මෙන්ම ශ්‍රී ලනිප පාක්ෂික යන්ටද ප්‍රහාරයන් ට මුහුණු දීමට සිදු වුනි.
වික්ටෝරියා  වේල්ල 

එතෙක් පැවති  අර්ධ සමාජවාදී සංවෘත ආර්ථිකය මුලුමනින්ම විවෘත කරමින්, එම රජයේ  ආර්ථික ප්‍රතිපත්තීන් සහමුලින්ම වෙනස් කරමින් ලිබරල් ධනවාදී ආර්ථිකයක්  ස්ථාපිත කිරීමට  ජේ ආර් කටයුතු කළේය. එසේම ඔහුගේ පාලනයේ මුල් වසර කිහිපය තුල ශ්‍රී ලංකාව විශාල වෙනස් කමකට භාජනය විය. එසේම තමා  යටතේ සිටි ඇමතිවරුන් ගෙන් දක්ෂයන් හඳුනා කටයුතු කිරීමට ඔහුට හැකි විය. 1964 වැනි ඈත කාලයක යෝජනා වුවද 1978 දී ගාමිණී දිසානායක මහවැලි ඇමතිව සිටියදී දියත් කල මහවැලි යෝජනා ක්‍රමය , ලලිත් ඇතුලත් මුදලි ගේ මහපොළ ශිෂ්‍යත්ව (බුද්ධිමය දේපළ පනතේ නිර්මාතෘ ඔහුය) ,හා ප්‍රේමදාස මහතාගේ ගම්උදාව  ව්‍යාපාරය මගින් නිවාස  තනා  දීමද මේ කාලයේදී ඇරඹිණි.

ජාතික ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් දිස්ත්‍රික් සංවර්ධන  සභා 1979 දී පිහිටවුවත් යාපනය මහජන පුස්තකාලය වටිනා  පොත් පත් සමගින් ගිනි තබා විනාශ කරන ලදී.

එසේම නිදහස් වෙළඳ කලාප පිහිටුවා සම්ප්‍රදායික අපනයන භාණ්ඩ වන තේ, පොල්, රබර් වලට අමතරව නිමි ඇඳුම් අපනයනය ආරම්භ කළේ  ජයවර්ධන සමයේය. එම වෙළඳ කලාප ශ්‍රමිකයන් මෙන්ම මැද  පෙරදිගට ශ්‍රමිකයන් යැවීමද මගින් ශ්‍රී ලංකාවේ කම්කරු ව්‍යාපාරයට ප්‍රබල බලපෑමක් එල්ල කිරීමට  ඔහුට හැකි විය. සම්ප්‍රදායික වම සංවිධානය කළ  1980 වැඩ  වර්ජනයට සහභාගී වූ සියල්ල ගෙදර යැවූ  ජයවර්ධන මහතා 1982 ජනමත විචාරණයක් පවත්වා එතරම් ප්‍රජාතන්ත්‍රවාදී නොවන ලෙසකින් නැවත බලයට පත් වුනි.

ඇමෙරිකානු හිතවාදියකු වන ජයවර්ධන මහතා ලලිත් ඇතුලත්මුදලි විසින් ඊශ්‍රායලය සමග  සම්බන්ධතා ඇරඹීම ගැන විරෝධයක් පළ  නොකළේය. මේ තත්වය සෝවියට් හිතවාදී ඉන්දීය  රජය රිස්සුවේ නැත. තමිල්නාඩුව හරහා ඉන්දියාව දෙමළ  කැරලිකරුවන්ට ආධාර සැපයූ  ඉන්දීය රජය  ලංකාව  අස්ථාවර කිරීමට මාන බැලීය. දෙමළ  කැරලිකරුවන් හමුදා භටයින් පිරිසක් මරා   දැමීම හරහා ඇවිලුණු 1983 ජාතිවාදී ප්‍රහාරය දරුණුම  දෙමළ  ජන සංහාරය ලෙස ඉතිහාස ගතවුණු  අතර බොහෝ දෙමළ  ජාතිකයින් බටහිරට පලා යාම   සමග ප්‍රබල දෙමළ  ඩයස්පෝරාවක් බිහි වීමේ අඩිතාලම වැටුණි. එසේම ජනතා විමුක්ති පෙරමුණ හේතු විරහිතව තහනම් කිරම මගින් දකුණේ කැරැල්ලක් නිර්මාණය වීමේ වටපිටාව ද ජයවර්ධන මහතා නිර්මාණය කර දුනි.
 ජේ ආර් - රජීව් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීම

කොටි සංවිධානය වඩමාරච්චි යේදී සහමුලින් පරාජය කිරීමට  ඔන්න මෙන්න තිබියදී ඉන්දීය මැදිහත්වීමක් සිදුවුණු අතර 1987 දී ඉන්දු ලංකා ගිවිසුම ජේ ආර්  සහ රජීව් ගාන්ධි අත්සන් කළහ. ශ්‍රී ලංකාවේ බලය විමධ්‍ය ගත කිරීමට ප්‍රාදේශීය සභා පිහිට වුනේ මේ ගිවිසුමට අනුවය.

එසේ වුවත්  උතුරේ කැරලිකාරී තත්වය වර්ධනය වුනු අතර ප්‍රජාතන්ත්‍රවාදය ට පිටුපෑමේ  ප්‍රතිපලයක් ලෙස දකුණේ කැරැල්ලක්ද  වර්ධනය විය. පක්ෂ නායකත්වය ප්‍රේමදාස මහතාට පවරා ජයවර්ධන මහතා පාලනයෙන්  සමු ගති. නමුත් ඉතිහාසයේ ලියවෙන ප්‍රබල වෙනස් කම් රාශියක් ඔහුගේ පාලන සමය තුල සිදු වුනි.

උතුරේ හා දකුණේ  කැරලි දෙකක් සමග රටේ පාලනය භාර ගත් ආර් ර ප්‍රේමදාස මහතා දකුණේ කැරැල්ල දරුණු ලෙස මර්දනය කළේය. එසේ කලේ තාවකාලිකව උතුර සමග මායාකාරී සාමයක ට එළඹෙමින් ය. මේ බව වටහා ගත් දෙමළ  ත්‍රස්තවාදීන් දකුණේ කැරැල්ලේ  මර්දනය නිම වීමත් සමග1991 දී  ප්‍රේමදාස මහතා ඝාතනය කළහ. ගම්  උදාව  වැඩ පිළිවෙළ  ( හා රේඩියෝ සිලෝන් ආයතනය 1967 සංස්ථාවක් කිරීම)  මගින් ප්‍රේමදාස ජනාධිපති වරයාද ඉතිහාසයට එක්  වෙයි.

ඉන්පසු බලයට පත්වූයේ  සංකාන්ත්‍රී ජනාධිපති වූ ඩී බී විජේතුන්ගය.

ජනාධිපති විජේතුංග ගෙන් පසු 1994 දී  බලයට පත්වූයේ චන්ද්‍රික බණ්ඩාරනායක කුමාරතුංගය. සාමයේ නායිකාව ලෙස බලයට පත් වුවද නැවත කොටි සංවිධානය සමග වූ  යාපනය බේරා   ගැනීමේ යුද්ධයට මුහුණ දීමට ඇයට  සිදු වුනි.  ත්‍රස්තවාදී ප්‍රහාරයකින් ඇසක් ද අහිමි වුනු ඇයගේ පාලන සමය තුල  රටේ දකුණු පළාතට මද විරාමයක්  ලැබුනද ශ්‍රී ලංකාවේ සැලකිය යුතු වෙනසක් ඇති කිරීමට ජනධිපතිනි  චන්ද්‍රිකා කුමාරතුංග අසමත් වූවාය.

චන්ද්‍රිකා  ගේ පාලනයෙන් පසු ශ්‍රී ලංකාව පාලනය කළේ ජනාධිපති බවට 2005 දී පත්වූ  මහින්ද රාජපක්ෂ මහතාය. උතුරේ චන්ද වර්ජනයක කිරීම ට ත්‍රස්තවාදීන් ට අල්ලස් දී  තම ප්‍රතිවාදියා පරදු බවට චෝදනා ඇති ඒ මහතා  ජනාධිපති බවට පත් වූ පසු,  රටේ කොටසක සිවිල් පාලනයක්ද නීති විරෝධිව පවත්වා ගෙන ගිය එම කැරලි කරුවන්ම  දරුණු සිවිල් යුද්ධයක් දියත් කොට පරාජය කළේය. එම යුද්ධයේදී බොහෝ සිවිල් ජනතාව හමුදා අතින් මිය ගිය බවටද, මානව හිමිකම් උල්ලංඝනය කළ  බවටද ඔහුට චෝදනා එල්ල වී තිබේ.

යුද්ධය අවසන් කිරීමෙන් පසු රටේ මාර්ග පද්ධතියට අධිවේගී මාර්ගයක් එක්  වූයේද  මාර්ග හොඳින් පිළිසකර වූයේද  ඔහුගේ පාලන සමය තුලය.  පුර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක නොවන වරායක්  හා නව ගුවන් තොටුපලක් ද හම්බන්තොට ප්‍රදේශයේ ඉදි කිරීමට ඔහු මූලික වුනි.  චීනය විසින් නොයෙකුත් ව්‍යපෘති සඳහා ණය  මුදල් ලබා දුන් අතර ආර්ථිකයේ සැලකිය යුතු වර්ධනයක්ද විය. නමුත් නොයෙකුත් අල්ලස් හා දුෂණ චෝදනා වලට මෙන්ම මානව හිමිකම් කඩ කිරීමේ චෝදනා වලටද මුහුණ දුන් ද ඔහුගේ රජය ඊළඟ මැතිවරණයෙන් පරාජයට පත් විය. එසේ වුවත් ශ්‍රී ලංකා ඉතිහාසයේ තම නම් ප්‍රබලව  සනිටුහන් කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට හැකි විය.

මේ අනුව නිදහසින් පසු ලංකා ඉතිහාසයේ රාජ්‍ය පාලනයේ ප්‍රබල වෙනස් කම් කල නායකයන් හැටියට හඳුනා ගත හැක්කේ ඩී  ඇස්  සේනානායක, සිරිමාවෝ බණ්ඩාරනායක , ජේ ආර්  ජයවර්ධන සහ මහින්ද රාජපක්ෂය.

මෛත්‍රී - රනිල් සභාග ආණ්ඩුව පත්වී වසර දෙකහමාරක් ගත වී තිබේ.  ඉන්දියාවෙන් ගෙන්වූ රථ යොදා දියත් කළ හදිසි අනතුරු සේවය හැරෙන්නට මේ රජය මගින් කළ  ප්‍රබල වෙනස් කම් කිසිවක් මම නොදනිමි.   අපක්ෂපාතිව කටයුතු කිරීම සඳහා ස්වාධීන  කොමිසම් පත් කිරීමත්, තොරතුරු දැන  ගැනීමේ පනත  සම්මත කිරීමත් මහා ජනතාවට දැනෙන වෙනස් කම් නොවේ.

පසුගිය වසර දෙකක කාලය තුල දෙවරක් ගංවතුරෙන් දකුණ පීඩා විඳි අතර, අග නගරයේ කුණු කන්දක් කඩා වැටී බොහෝ දෙනෙකු  මිය ගියහ.  කොළඹ නගරය හා අවට ප්‍රදේශ කැලි  කසළ  වලින් ගහණ වී තිබේ. ඩෙංගු උවදුර  රට පුරා  පැතිර යයි. විශ්ව විද්‍යාල සිසුන් අධ්‍යාපනය බේරා  ගැනීමේ සටනකය. රට සැබවින්ම පාලනය වන්නේද යන්න ගැන ජනතාව  තුල ඇත්තේ කුකුසකි.

රජයට ගං  වතුර උවදුර වළක්වා ලීම සඳහා දිගු කාලීන  පියවරක් ගත හැකිය. කැළණි ගඟ හැරවීම වැනි යෝජනා ක්‍රමයක් පටන් ගත හැකිය. එය තවත් උමා  ඔය  ව්‍යාපෘතියකට වඩා  සියලු පාරසරික දත්ත පිරික්සා  බලා නිරවද්‍ය ලෙස ආරම්භ කළ  යුතු ව්‍යාපෘතියකි.

කුණු කසල බැහැර කිරීම සඳහා  දීර්ඝ හා ඵලදායි ක්‍රමයක් ක්‍රියාත්මක කළ  හැකිය.

ඩෙංගු මර්දනය සඳහා මුළු රටම මධ්‍යගත කර ජාතික වැඩ පිළිවෙලක් මගින් ජනතාව ඩෙංගු උවදුරින් බේරා  ගැනීම සඳහා කටයුතු කළ  හැකිය.

අවම වශයෙන් සුද්දා  විසින්  ඉදි කර ගිය දුම්රිය මාර්ග පද්ධතිය  ත්‍රිකුණාමලයට හෝ මාතරින් එහාට ඉදි කර දියුණු කළ  හැකිය.


නැතිනම් මුකුත් නොකර ඔහේ රට යන්නට ඉඩ දී  2020 දී එන ඕනෑම රූකඩයකට  රට භාරදී ඉතිහාසයේ කුණු බක්කියට යා  හැකිය.



මුලාශ්‍ර:
තුප්පහි  බ්ලොග් අඩවිය 

Sri Lanka's biggest river basin development project




45 comments:

  1. තා යන්න දෙයක් නෑ... අමුම අමු ගොබ්බයෝ දෙන්නෙක්... එච්චරයි... එතරම්ම සරළයි... කෝ එනවය කිව්ව ආයෝජකයෝ.. කොන්දක් නැති නායකයෝ ඉන්න රටවල මිනිස්සු ආයෝජනය කරන්න එන්නේ නෑ... මුන් දෙන්නා හැමදාම නානවා

    ReplyDelete
    Replies
    1. කණගාටුදායක තත්වය කියන්නේ බලාපොරොත්තුවෙන් චන්දෙ දුන්න මිනිස්සුන් වත් අනාථ කිරීමනේ. ඉදිරි අවුරුද්ද ඇතුළත වත් රට පාලනය කරන්න හිතා ගනීද ඔහේම ඉඳියිද මන්ද

      Delete
    2. මුන්ට කිසි පැවත්මක් නෑ... ආයෝජකයෝ එන්නේ නෑ.. ඉදිරි අවුරුදු දෙක වෙනකොට සිම්බාබ්වේ තත්වයටම ඒවී...

      Delete
  2. අජිත්,

    මේවයි වෙමින් පවතින්නේ

    මේ බලපන් https://www.youtube.com/watch?v=OeKPoxNGeD4

    "විගණන පනත සිරවූයේ කොතනද ? "

    මෙක දිනෙන් දින කල් දමන්නේ ගරු රනිල් විකුණන සිංහ තුමා, බැරිවෙලාවකවත් මේ බලතල ක්‍රියාත්මක උනොත් අර්ජුන මගෙන්ද්‍රන්ගේ බෑනාගේ කොම්පෙනේයත් විගණනය කරන්න ලැබෙන නිසා දවස ගානේ සංසෝදන ගෙන එමෙන් මේක කල්දානවා.

    ජනතාව ජනාධිපතිගෙන් අහන්නේ
    කෝ තොගේ මදුවලිගය ? කියලයි

    ReplyDelete
    Replies
    1. ලින්ක් එකට ස්තූතියි. මේක මගේ පුද්ගලික අදහසක් පමණයි. වැරදි වෙන්න පුළුවන්. මේකේ කතා කරන්නෙත් අර බැඳුම්කර කතාව නේද? මම හිතුවේ ඒකට විමසුමක් දැන් යනවා කියල. අර අර්ජුන මහේන්ද්‍රන් හෙම සාක්කි දෙන්න එනවා තිබ්බේ මාධ්‍ය වල.

      Delete
    2. අජිත්,

      මෙහෙමයි විගණන පනත මගින් (පුද්ගලික වියාපරයක් රජයට අලාබ කරලා තියනවනම් අදාළ ආයතනය විගණනය කිරීමට මෙමෙගින් බලය ලැබෙනවා, දැනට තියන නිතිය අනුව පුද්ගලික වියාපාරය ක්‍රියාකළ හැටි සොයන්න රජයට බෑ ) එකියන්නේ අර්ජුන මහේන්ද්‍රන් ගේ බෑනාගේ වියාපාර ගැනත් සොයාගැනීමට පහසුකම් මෙමගින් ලැබෙනවා.

      නමුත් මුලිකම දේ එක නෙමෙයි මෙමගින් තමයි නිලදාරින්ට මේ ආයතන පරික්ෂා කිරීමට නිසි බලය ලැබෙන්නේ, ඕනෑම සැලකියයුතු වංචාවක් විමර්ශනයට උවමනා සියලු බලය ලැබෙන්නේ මෙමගින්, තව විදියකින් කිව්වොත් ඔබලා කෑගහපු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට උවමනා දත් ටික ලැබෙන්නේ මෙමගින් දැනට තියෙන්නේ ලොම්බ විතරයි හපන්න බෑ. විකුණන සිංහ තුමා දිනෙන් දින දත් දැමීම ප්‍රමාද කරනවා.

      Delete
    3. //ඔබලා කෑගහපු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට උවමනා දත් ටික ලැබෙන්නේ // ඒ කිවේ ? මාව කොහාට දාලද කතා කරන්නේ කියල කල්පනා කළේ :)

      Delete
    4. ඔබ විතරක් නෙමෙයි මේ ලියන මමත් යහපාලනයට චන්දය දුන්නේ රටේ පුරවැසියෙක් ලෙස සොරෙක් නොවී ගවුරවනිය ලෙස ජිවත් වෙන්නේ, එහෙම වෙන්න නම් මුලින්ම රටේ පාලකය සොරුන් නොවියයුතුයි, රටේ පාලකයන් සොරුන් නොවෙන්නේ සොරකමට නිසි දඩුවන් ලැබෙනවානම්, සොරකමට නිසි දඩුවන් ලේබෙන්නේ සොරකම ඔප්පු කරන්න පුලුවන්නම් පමණයි, විගණන පනත (Audit Bill) එකෙන් කරන්නේ සොරකම් ඇල්ලීමට උපක්‍රම යෙදීමයි.
      http://www.ceylontoday.lk/print20170101CT20170331.php?id=14116

      Delete
    5. මට ලංකාවේ චන්ද දාන්න බැහැනේ. කවදාවත් දාල නැහැ. විගනනා පනත හොඳ එකක්. පොඩ්ඩක් ඒක ගැන හොයා බලා ලිපියක් ලිව්වා නම් හොඳයි.

      Delete
  3. බත් දුන් පියා ඩඩ්ලි නේද ? ඩී.එස් කියන්නෙ ජාතියෙ පියා.
    මෑත ඉතිහාසෙ බිහිවෙච්ච රූකඩම පාලකයො දෙන්න තමයි දැන් ඉන්නෙ. රූකඩයො කියනවට වඩා හොඳයි සොකරි කිව්වනම්. මුන් දෙන්නට රට පාලනය කරන්න ඉස්සෙල්ලා තමන්ගෙ පක්ෂෙ ඉන්න හාල්පාරුවන්ට නායකත්වය දෙන්න පුළුවන් වෙන්න ඕනෙ. උන් ගොඩක් දෙනෙක් ඉන්නෙ මහින්ද ගෝඨා බැසිල් එක්ක යටින් ඩීල් දාගෙන. බලන්න 2020 හදන ආණ්ඩුවෙ, මේ ඉන්න ඇමතියො කී දෙනෙක් ඉඳියිද කියලා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. නිවැරදි කලා.
      //බලන්න 2020 හදන ආණ්ඩුවෙ, මේ ඉන්න ඇමතියො කී දෙනෙක් ඉඳියිද කියලා// ඕක තමයි වෙන්නේ. හරියට හරි. බලන් ඉඳල ඉඳල බැරිම තැන ලිව්වේ. සල්ලි දෙන්න රටවල් එනවා ටිකක් පණ ඇතිව වැඩ කරනවා නම්. ඒ කතාව හරි.

      Delete
  4. Replies
    1. ස්තූතියි. ප්‍රභාත් නුත් කිව්වා. හැදුවා ඒක. බත් දුන් පියා කියන්නේ " නිකන් කන්න පුරුදු කරපු එක" නේද

      Delete
    2. අජිත්,

      ජාතියේ පියා බත් දුන් පියා සහ පිංපියා ලෙස අපේ ජාතියට පියවරුන්ගෙන් අඩුවක් නෑ

      Delete
    3. "ගම්පියා " ලත් ඉන්නවනේ. :)

      Delete
    4. මහින්ද ලොක්ක "පිං පියා" පට්ටම ගැන හිතලද කොහෙද "අප්පච්චි" පට්ටම ගත්ත කොහොමද සිගිති මොලේ

      Delete
    5. වෙන්නත් ඇති. සාමාන්‍යයෙන් මම බලන්නේ හැම නායකයෙක්ම කරපු හොඳ. හැමෝගෙම අතින් වැරදි වෙනවා. අපි පෘතග්ජන මිනිස්සුනේ. හොඳ වැඩි නම් එයා සාර්ථකයි. මොකක් හරි කරන මිනිහෙකුට තමා වැරදි වෙන්නෙත්. මුකුත් නොකර හිටියම වැරදි වෙන්නෙත් නැහැ. මුකුත් වෙන්නෙත් නැහැ.

      Delete
  5. හිටංට නිදහස් පක්ශයේ සභාපතිකම ජීවිතේ තියනකම්ම දරන්න පුලුවන් විදිහට පක්ශ ව්‍යවස්තාව වෙනස්කරන්න ඕනේ . රනිල්ව ආපහු මොන්ටිසෝරි යවලා රටේ මිනිස්සු තාම කන්නේ බත් කියලා උගන්නන්න ඕනේ. ලංකාව වෙන රටකට විකුනන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. //ලංකාව වෙන රටකට විකුනන්න ඕනේ.// කවුරුත් ගන්න එකක් නැති වෙයි? :) ඇමෙරිකාව සිංහරාජ අඩවිය ඉල්ලුව. එතකොට චීනෙට කොටසක් තියනවා ඉන්දියවට් තියනවා. කලබල වෙන්න එපා.

      Delete
  6. මට දේශපාලනය අරහං කලේ මේ ආන්ඩුව තමයි. මෙයාලා අල්ලුපු එක හොරෙක්වත් නෑ. FCID එකට ගිහිල්ලා ඇවිල්ලා විමල්ලා නාමල්ලා කියන ලොකු ජඩකතා අහනකොට ඇත්තටම මුං උන් එක්ක ඩිල් දාගෙන අපිව රවට්ටන්න FCID හදලා තියෙන්නේ කියලා. තොරුමොරු යන්න ඇරලා අන්තිමේදි තාම රිමාන්ඩ් එකේ ඉන්නේ ඇප දෙන්න බැරිවුන ඇවන්ගාඩ් කැප්ටන් විතරයි. කැකිල්ලේ තින්දු.

    ReplyDelete
    Replies
    1. /ඇත්තටම මුං උන් එක්ක ඩිල් දාගෙන// එහෙම එකක් තමා මටත් හිතෙන්නේ.

      Delete
  7. මෛත්‍රී - රනිල්! ඉතිහාසයට යනවාද - ඉතිහාසයේ කුණු බක්කියට යනවාද ////////

    එතකොට ඔවුන් බලයට ගෙන්න හදපු නෙලුම් යායත් ඒ ගොඩම යනවා ද අජිත් අපොයි සල්ලි

    ReplyDelete
    Replies
    1. //එතකොට ඔවුන් බලයට ගෙන්න හදපු නෙලුම් යායත් // ඔහෙටත් අර අහවල් බ්ලොගේ මෑන් වගේ මඥන් ද මන්ද. නෙළුම් යාය කියල කොලමක්/සෙටින්ග් එකක් ලංකා නිව්ස් වෙබ් එක තිබ්බේ මහින්ද ගේ කාලේ . සම්මාන පටන් ගත්තේ 2015 මාර්තු. වෙබ් අඩවිය පටන් ගත්තේ ඊටත් පස්සේ. 2016 ද කොහෙද. නෙළුම් යායෙන් කාවහරි බලයට ගේන්න පුලුවන්නම් එහෙනම් බලමු 2020 දී වත්.

      Delete
    2. මේ "ඔහෙටත්" කියන වචනය ඔබතුමා යනුවෙන් වෙනස් විය යුතුයි. සමහර අය ඔහේ කියන සිංහල වචනයට කැමති නැහැ කියල ආරංචි වුණා. විශේෂයෙන්ම ඔබතුමා.

      Delete
  8. නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා නිදහස් පක්ෂයේ සභාපති තනතුර භාර ගත්තු එක තමයි වැරැද්ද උන පළමු වැනි තැන.ඊට පස්සේ එයා රට වෙනුවට පක්ෂය වෙනුවෙන් වැඩ කරන්න ගත්තා.රනිල්ගේ තියෙන උද්දච්චකම අනික.දැන් දෙන්නම ඉන්නේ මුරුංගා ගහේ මුදුනේ.රටට තමයි කෙල වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. //නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා නිදහස් පක්ෂයේ සභාපති තනතුර භාර ගත්තු එක තමයි වැරැද්ද උන පළමු වැනි තැන.// මමත් හිතන්නේ ඒක තමයි උනේ. එතකොට එකම ආණ්ඩුව ඇතුලේ බල අරගල දෙකක්. පක්ෂ දෙකකින්.

      Delete
    2. මනෝගෙ අදහසට එකඟයි.

      Delete
  9. http://niwahal.com/?p=1558

    ReplyDelete
    Replies
    1. හොඳ බ්ලොග් එකක් වගේ. ස්තූතියි. කියවලා බලන්න ඕනේ.

      Delete
  10. ඔහේ කියන සිංහල වචනයට කැමති නැහැ කියල ආරංචි වුණා. විශේෂයෙන්ම ඔබතුමා.//////
    අප්පා... කවුද අප්පා., ඔයාට ඔය ආරංචි දුන්නේ .....ප්‍රයිවට් ඊමෙල් වලින්ද ලියාලා එව්වේ අහවල් යායේ කට්ටියද අප්පා... ඔයා හරි ස්මාර්ට් හැන්සම් පොරක්නේ

    කොළ කඩ කඩ බොරුවට දෙනවා
    ඔ.. අපි ගහ හොඳ හැටි අඳුනනවා
    අපිට බොරු චාටු එපා ....අජියෝ

    ReplyDelete
    Replies
    1. කොළඹ ගමයානෙනි;
      කමකට නැති තර්ක වලට උත්තර බඳින්නට ඔබගේ වටිනා කාලය වැය නොකර ඔබ විසින් අතර මග නවතා දමා ඇති වටිනා ලිපි දෙකක් වන
      1. ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ සහ
      2. භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි
      යන ලිපි වල ඉතිරි කොටස් ලිවීමට ඒ කාලය යොදවන්න. එම ලිපි වල ඊලග කොටස කියවීමට අපි මාස 6 කටත් වැඩි කාලයක් බලා සිටියා. අප බ්ලොග් පාඨකයන් පමණක් වන නිසා මේ ඉල්ලීම ඇනෝ දමන බව සලකන්න.

      Delete
    2. අනෝ බොහොම ස්තූතියි. රවියගේ ලෙඩේ වැළඳී ගෙන එනවද මන්ද මටත්. වහාම පටන් ගන්න පොරොන්දු වෙනවා.

      Delete
    3. Anonymous5 July 2017 at 06:24/////////////

      ආ ඔයා කියන නිසාම ලෝටස් අජියාදැන් එක ලියයි .
      එතකොට අතිවෙන වෙනස සැපද ? ඔයාට.
      දෙල් කඳ පොලේ කිරිඅලුවා හදලා තියන පැණි මොවද කියලා හොයන්නේ නැතිව ඉන්න .

      Delete
    4. ඇනෝ - අපිනම් අහුවෙයි ඕවට

      Delete
  11. අජිත්ගේ ලිපිය ඉතා සංයමයෙන් ලියවී ඇති බව පෙනෙනවා.
    ඇත්තටම දැන් රට පාලනයක් නැතුව නිදැල්ලෙ යන සරුංගලයක් වගේ ඔහෙ පාවෙවී වරින් වර කූරියා ගසමින් ඉබාගාතේ යනවදෝ!

    ReplyDelete
    Replies
    1. ගුණසිංහ මහතාට ඒක තේරුණා නම් හොඳයි. උඩ පැනල කෑ ගහනවට වැඩිය කියන්න තියෙන දේ කිව්වහම් ඉවරයිනේ.
      //ඇත්තටම දැන් රට පාලනයක් නැතුව නිදැල්ලෙ යන සරුංගලයක් වගේ ඔහෙ පාවෙවී වරින් වර කූරියා ගසමින් // හොඳ උදාහරණයක් නේ. :D

      Delete
  12. යහපත් රටක් ගැන අපේක්ෂාවන් බිඳ වැටීමේ අප්‍රමාණ දුක අප්‍රමාණව දැනෙනවා. ආණ්ඩුව පත්වෙලා මාස තුනක් විතර යද්දි මම මෙහෙම කවියක් ලිව්වා. අයියට මතක ඇති.

    http://tharurasi.blogspot.com/2015/06/blog-post_19.html

    ReplyDelete
    Replies
    1. //යහපත් රටක් ගැන අපේක්ෂාවන් බිඳ වැටීමේ අප්‍රමාණ දුක අප්‍රමාණව දැනෙනවා.// මේක මේ මිනිසුන්ට තේරෙන්නේ නැති එකනේ පුදුමේ. මේ කවියට යන් බැහැනේ.ගුගලයා පොස්ට් එක නැතැයි කියනවා

      Delete
  13. ශ්‍රී ලංකාවේ සැලකිය යුතු වෙනසක් ඇති කිරීමට ජනධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග අසමත් වූවාය./////// agree

    ReplyDelete
    Replies
    1. ඒ අවුරුදු 5 හා ඔහේ ගියා වගේ නේද? මුකුත් උනේ නැත්තෙත් නැහැ. චන්ද්‍රකා යාපනේ අල්ල ගන්න දුන්නේ නැහැ කොහොමහරි තිය ගත්තා . ඇහැක් නැති වුණා. ඉතින් එච්චරයි. ව්‍ය්වස්ත්ව වෙනස් කරන්න හැදුව දුන්නේ නැහැ. පරිවාස ආණ්ඩුවක් හැදුව. සුනාමි සමත මණ්ඩලේ හදන්න බැරිව ගියා. පණ මදි. දැනුත් ඒ වගේම තමයි මට පේන්නේ නම්.

      Delete
  14. කිසි වෙනසක් නොවීම තමයි මේ ආණ්ඩුවෙන් කරන එකම දේ.. අඩුම තරමේ කලින් කරපු දේවල් වත් හරියට මේන්ටේන් කරන්නේ නැති එක ගැනයි දුක.

    ReplyDelete
    Replies
    1. පැතුම් ඕකම තමයි ලංකාවට ගිය වෙලෙත් කතා කරන හැම කෙනෙක් මත කියන්නේ. කොටින්ම යුඇන්පී එකට චන්දය දුන් යහළුවොත් කියන්නේ ඕක. අර චන්ද්‍රිකාගේ කාලේ වගේ රට ඔහේ යනවලු. පාලනයක් තියනවා. පොඩි පොඩි වැඩ කෙරෙනවා. නමුත් දැනෙන්න යමක් වෙන්නේ නැහැ. ප්‍රශං විසදන්න උනන්දුවක් නැහැ වගේ කතා තමා ඇහෙන්නේ.

      Delete
  15. ප්‍රේමදාස ජනාධිපතිවරයා ගැන ලියවිලා තියෙනවා මදි වගේ කියලා මට හිතෙනවා අජිත්. ඔහු කරපු දෙවල් ටිකයි තමයි. නමුත් ඔහු ශ්‍රී ලාංකීය දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරපු පුද්ගලයෙක්. සාම්ප්‍රදායික, සම්මත පිළිගත් රාජ්‍ය පාළන ක්‍රමයෙන් පිටපැනපු පලමු රාජ්‍ය නායකයා ඔහුයි. මහින්ද රාජපක්ෂ දෙවනියා. ඔවුන් දෙදෙනාම ඒ හිතුවක්කාරී පාලන රටාවෙන් රටට, මිනිස්සුන්ට දැනෙන වෙනස්කම් කලා.

    ඒවගේම ඔවුන්ගේ විනාශයට හේතු උනෙත් ඒ කරුණුමයි

    ReplyDelete
    Replies
    1. අසංග සාමාන්‍යයෙන් මේ පැත්තේ එනේ කෙනෙක් නොවෙයි නේද? :) ආවට ස්තූතියි. //නමුත් ඔහු ශ්‍රී ලාංකීය දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරපු පුද්ගලයෙක්.// ඔවුන් හිතුවක්කාරී කියන්නේ ජනාධිපති පදවියේ බලතල ඒ අයුරින්ම වගේ භාවිතා කලා . නමුත් ප්‍රේමදාස මහතාගේ පැරනොයිඩ් ගතියක් ආව නේද. අර ස්ටාලින් වගේ හැමෝම සැක කරන. අනික එහෙම බැලුවොත් බණ්ඩාරනායක මහතාත් , ප්‍රේමදාස මහතා වගේම වැඩ කොටසක් කරලා තියනවා. නමුත් සමස්තයක් වශයෙන් ගත්තොත් අසාර්ථක නැත්ද?

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .