Monday 8 January 2018

ඉරානය, කූඹියෝ හා වමේ නොවන වම සමග ශාක්‍යා

කුඹීයෝ 
එපිසෝඩ් ම 39කට පස්සේ මුකුත් ලිව්වේ නැත්නම් හිතට මදිකමක් වගේ. වමේ පැත්තෙන් හොඳ විචාරයක් කියෙව්වා ළඟදී . ඒක  ලියල තිබ්බේ අක්ෂය බ්ලොග් අඩවියට නජිත් ඉන්දික විසින්. මෙතනින් යන්න පුළුවන්. ඔහු කියන විධිහට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩත් කුඹියෝ ගැන කතා කරලා තියනවා. ඒකනම් දැක්කේ නැහැ. නජිත් ඉන්දිකගේ විචාරය හුඟක්ම නිවැරදියි  වම පැත්තෙන් ගත්තොත්.  ඒ කියන්නේ ජෙහාන් සහ ප්‍රියන්තගේ ග්‍රාමීය මූලයන් ගැන , සහ එම තරුණයන් ගෙන් සමහරක් රැඩිකල් වුනේ කොහොමද සහ වර්තමාන ලිබරල්වාදී සමාජය තුල වමේ පක්ෂ වල දියාරු වීමක් ඇත්තේ ඇයිද යන්න ගැන.
"ජෙහාන් සහ ප්‍රියන්ත දෙපොලම ග්‍රාමීය මූලයක් සහිත තරුණ චරිත. පලමුවැන්නා නාගරික ජීවිතයේ ඇතැම් සූක්ෂමතා අවශෝෂණය කරගැනීම නිසා 'ස්මාට්' තත්වයට පත්වූ අයෙක් වන අතර දෙවැන්නා සතුව එම සූක්ෂමතා නැහැ. ජෙහාන් ගතකරන ජීවිතය නරුමයි. තමුන් ගේම්කාරයෙක් බව ඔහු දන්නවා. ඒ ගැන ඔහු ආඩම්බරයි. සතුටුයි. " (උපුටා ගැනීම අවසන්)

හැබැයි ඔහුත් හීනියට වගේ පොඩි චෝදනාවක්  කරනවා වෘත්තීය සමිති ගැන නිර්මාණකරු දක්වන අපහාසාත්මක නැමියාව සහ ශාක්‍යා නම් ව්‍යාපාරිකයා  උත්කර්ෂයට නැංවීම ගැන. මෙන්න මෙතන.
"කූඹියෝ නාටකය තුල ශාක්‍යා හෝල්ඩිංස් මෝඩ විධිහට උත්කර්ෂයට නංවා තිබෙන හැටි, වෘත්තීය සමිති හා කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් වැඩ කිරීම කලු පාටින් පින්තාරු කරලා තිබෙන හැටි සහ ඒවා නරුමවාදී වෙලද දෘෂ්ටිවාදය සමග සම්බන්ධ විධිහ ආදී දේවල් මේ සටහන තුල සාකච්ඡා කලේ නැහැ." (උපුටා ගැනීම අවසන්)

මම ෆේස්බුක් එක දැක්ක තවත් වමේ කෙනෙක් ප්‍රබල ලෙස විවේචනයක් ඉදිරිපත් කරල තියනවා. වමේ පක්ෂයක් අල්ලාගෙන මඩ ගැහීමක් හැටියට තමා ඔහු මේ රූපවාහිනී නාටකය දැකල තියෙන්නේ. ඒ අතරේම ඔහු කියනව කුඹියෝ නිර්මාණකරු, නිර්මාණකරණය ගැන  විතරක් නෙමේ  ලෝකය ගැනවත්  හරියට නොදන්නා දුබලයෙක් කියල. මම පිළිතුරක් ලියන්න හදන්නේ අන්න ඒකට.

මුලින්ම පටන් ගමු අර රෝහින්ගියා ගේම් එකෙන්. (සවුදි අත දැමීම සහ මගේ ලිපිය ) . හැමෝම දන්නවා බුරුම හමුදාව සහ බුරුම අන්තවාදීන් පොඩි හරි හේතුවක් දුන්නොත් රෝහින්ගියා වරුන්ට ගහනවා  මරනවා කියල. ඒක අනිවාර්යයෙන්ම වැරදියි. උන්ව හෙළා දකින්න ඕනේ. ඒකෙ දෙකක් නැහැ. හැබැයි ඒ ක්‍රියාවලියම වෙන ගේම් කාරයෙක් (මෙතනදී සවුදිය) භාවිතා කරනවා තමන්ගේ දේශපාලන සර්වයිවල් එකට. එතැනදී රෝහින්ගියාවේ අහිංසක මිනිස්සු මැරෙන එක උන්ට ප්‍රශ්නයක් නෙමේ. රෝහින්ගියා ප්‍රශ්නේ විසඳන්න පුළුවන් බුරුමයට පීඩනය එල්ල කරලා. රෝහින්ගියා වරුන්ට ඒ ප්‍රදේශවල පාලනයට බලතල බෙදා දීල. මොකදබුරුමයේ අවුන් සුකී පත් කලේ එහෙම කරලා නෙමෙයිද?

දැන් ඉරානේ වෙන්නේ මොකක්ද? අවංකවම කියනවා නම් ඉරානය කියන්නේ මම කැමතිම රටක් නෙමේ. ඒ රටේ මිනිස්සු හුඟක් නිදහසට කැමති, ඉතා  දීර්ඝ ඉතිහාසයක් ඇති, විද්‍යාව, කලාව සංස්කෘතිය ආදියෙන් ඉතාමත්  ඉදිරියෙන් හිටි ජාතියක්. දැඩි ඒක පාක්ෂික ආගමික රාජ්‍ය ක්‍රමයක් නිසා ඔවුන් පීඩාවට පත්වෙලා කියලත් කිව්ව හැකියි.
  ස්වීඩනයේ ඉපදුනු, මගේ බිරිඳගේ යෙහෙලියක් (ඉරාන දෙමාපියන්) ඉරාන පරිගණක ඉංජිනේරුවෙක් බැඳලා ලන්ඩනයේ  හිටිය. ඔවුන් ඉරානයට ගිය වෙලාවේ ඔහුගේ අත අල්ලාගෙන පාරේ යද්දී අත් අඩංගුවට පත්වෙලා. ඊට පස්සේ ඔලුව වහගෙන හිටියේ නැහැ කියලත් චෝදනා කරලා අවුරුදු ගාණකට හිරේ යන්න ඉඳිද්දී බොහොම අමාරුවෙන් බේරිලා ඇවිත්. ඔවුන් අපට කිව්වේ, අමුත්තෙක් නිවසට එනවා නම්, නිවස තුලදී  පවා සැමියා හා අනිත් පිරිමින් වෙනමත් ඇය, ඔහුගේ  මව හා අනිත් ගැහැනුන් සමග වෙනමත්  සිටිය යුතුයි ලු.ඔවුන්  දැන් නෙදර්ලන්තයේ සතුටින් ජිවත් වෙනවා.

ඉතින් ඒ වගේ  රජයක්, පාලනයක් පෙරලන්න පෙළපාලි ඇතිවෙනවා තමයි. නමුත් ඒවා නිකන් ඇති වෙන්නේ නැහැ. ජෙහාන්ලා දෙතුන් දෙනෙක් ඉන්නවා ඕව අවුස්සන්න. උදව්ව එන්නේ  ඊශ්‍රායලයෙන් හෝ  අමෙරිකාවෙන් බවත් රහසක් නෙමෙයි. ඉතින් ඒ  වගේ උද්ඝෝෂණ වලදී මිනිස්සු මැරෙනවා. සමහර වෙලාවට වැඩේ පත්තු කරන ජෙහාන්ල  එහෙම අපේක්ෂා කරන්නේ නැති වුනත්. ඔතන තව කට්ටිය ඉන්නවා මිනියක් දෙකක් බාවන්න බලාගෙන. ඕකයි  ඇත්ත.
මයිඩන් චතුරශ්‍රයේ උද්ඝෝෂණ 

දැන් උක්රයිනයේ කීව් නගරයේ පුටින් ට පක්ෂ යනුකෝවිච් කියන චන්දයෙන් පත් වෙච්ච අගමැති එලවන්න  මයිඩන් කියන චතුරශ්‍රයේ  2014 දී ඇතිවුන  කලබල මතකද? ජෙහාන් ල දෙතුන් දෙනෙක්ම ක්‍රියාත්මක වුනානේ. ඉන් යුරෝපියන්  ජෙහාන්ලට ඕන වුනේ දිගටම උද්ඝෝෂණ ගෙනියන්න. නමුත් ජර්මන්, ඇමෙරිකන් ජෙහාන්ලා කට්ටියක් ඉන් එහා ගියා. අවට තට්ටු නිවෙස්  වල ඉඳන් කවුරු හරි උද්ඝෝෂකයන්ට වෙඩි  තිබ්බ. යනුකොවිච් ගේ පොලිසිය අනිත් පැත්තට වෙඩි තිබ්බා . උද්ඝෝෂකයෝ 100 විතර මැරිලා යනුකොවිච් ට යන්න  වුනා. නමුත් අද දන්නවා  අර 100 ට වෙඩි තිබ්බේ  යනුකෝවිච් අණ   කරලා,  පොලිසිය හෝ හමුදාව නෙමේ කියල.  නමුත් වැඩේ වුනානේ.

ඔහොම බැලුවොත් එක්තරා දූපතක  රජ්ජුරුවන් වහන්සේ ට හාල්පාරු ඇමති මණ්ඩලේ කුත් රටේ ප්‍රදේශ පාලනය කරන ගොබ්බයො රැසකුත් හිටිය මතකද. වංචාව දූෂණය පිරිච්ච තට්ටුවක්. ඕනෑම ජෙහාන් කෙනකුට අල්ලගන්න පුළුවන් කට්ටියක්. ඒ ජෙහාන් ලත් දැනන් හිටිය අර ෆැසිස්ට් බුරුම හමුදාව වගේම පොඩි තල්ලුවක් දුන්නොත් මිනිහෙක් මරන්න, වෙන ජාතියකට සබ්බුව දෙන්න, ගෙවල් කඩන්න හැකි පිරිසක්  මේ අතර ඉන්නවා කියල. ජෙහාන් ල වැඩේ හොඳට කළා. රජ්ජුරුවෝ ගෙදර ගියා. රජ්ජුරුවෝ කියලත් සර්ව සාධාරණව හිටියේ නැහැ නොවැ. ජෙහාන්ලට බනින්නත් බැහැ.

ඊළඟට බලමුකෝ ප්‍රධාන වමේ පක්ෂයක් ගැන. ඒක දෙකට කැඩිච්ච වෙලාවේ, දෙකට තුනට  කඩන්නයි, ඊටත් පස්සේ කැඩිච්ච  කට්ටිය සම්මේලන තියන කොට ප්‍රධාන නළුවෝ, නිළියෝ උස්සන්නයි, උස්සල හංගන්නයි  ජෙහන්ලා අතර මැදි  වුනාද නැත්ද කියල කවුද දන්නේ?

ඊටත් පස්සේ ඒ ප්‍රධාන නළුවා ජිවිතේ බේරාගෙන ගිහින් ආපහු  මැතිවරණයක් ලංවෙන කොට ආයේ තමන් ගේ  රටට එන්නත් අර ජෙහාන් කෙනෙක් ම උදව්  කළාද නැත්ද කවුද දන්නේ?

එංගලන්තයේ පෙන්නුවා ඇමෙරිකන් TV සීරීස් එකක්. හොලිවුඩ් එකේ ලිංගික හිංසා කරන, ගැහැණු මරණ , අපචාර කරන අය  බේරා ගෙන ශේප් කරන්න ගේම් දෙන අයිරිෂ් පවුලක ජෙහාන් කෙනෙක් ගැන. රේ ඩොනවන්. අන්තිමට  තමන් ගැනම කළකිරෙන  රේ ඩොනවන් සිය දිවී හානි කර ගන්නව. දැන් කවුරු හරි කියනවනම් ඒක සම්පුර්ණයෙන්ම  ප්‍රබන්ධයක් කියල හාවේ වෙන්ෂ්ටයින් ගැන පොඩ්ඩක්  කියවන්න. ඔය ජෙහාන් ල තමන් ගැනම කළකිරෙන වෙලාවලුත් තියනවා. එතකොට ළඟම ඉන්න අයත් ඇදගෙන තමයි ප්‍රපාතයට වැටෙන්නේ.

ඉතින් අර වමේ මල්ලි,  කුඹියෝ රුපවාහිනී නාට්‍යයේ නිර්මාණකරු ලෝකය ගැන දන්නේ නැහැ කියන කොට මට හිතෙනව කවුද මෙතන  ඇත්තට ම ලෝකය ගැන දන්නේ නැත්තේ කියල. අනික ඔය ගේම් ගහන්නේ වමේ පක්ෂ කියල පෙන්නුම් කරගෙන ඉන්න පක්ෂ විතරක් නෙමෙයි නේ. හැමෝම  ගහන ඒවනෙ. අනික ශාක්‍යා එකේ ෆැන්ටස්ටික් බුම්බස්ටික් අයිතිකාරයන්ට  වුනත් ගේම් දෙක තුනක් ගහගන්නේ  නැතිව ඔතනට  එන්නේ නැහැ. එන්නත් බැහැ.

නජිත්  ඉන්දිකට මතකද දන්නේ නැහැ 1980 වැඩ වර්ජනය. ඒ කාලේ ප්‍රගතිශීලිම විප්ලවකාරිම පක්ෂයේ නායකයා උපදෙස් දුන්න කියනවනේ කම්හල්, වැඩපල, ඔෆිස් වල තම පක්ෂයේ කියල අනික් අය දන්නවා නම් විතරක් ස්ට්‍රයික් කරන්න. නැත්නම් රස්සාව බේරාගෙන ඉන්න කියල. මොකද අරගොල්ලෝ එලියට දැම්ම ගමන්  අලුතින් එන ප්‍රියන්ත මහ උල්පතගම ආදී නවකයන්ට   මග පෙන්වල වෘත්තීය සමිති හදන්න වෙන්නේ රැකියා බේරාගෙන ඉතිරි වෙන තමන්ගේ කට්ටිය නිසා. ඒක එහෙමම  වුනානේ. නැත්ද මම අහන්නේ? කී  දෙනෙකුට රස්සා නැති වුනාද?

අනික ඉන්දික මහතා අපි දැක්කේ අන්තරේ දේශපාලන රැලි වලදිනේ. අන්තරේ වුනත් එතුමාට ඕනෑ විධිහට මෙහෙයවන්න බැහැනේ.මුලික කමිටුව ඇරුනහම  ඒ කාලේ ඉඳන්ම පක්ෂයක් දෙකක් සහ ජෙහාන් ල කිහිප දෙනෙක්  අතරමැදිව හිටියනේ. නැත්ද? ඒවා එහෙම තමයි හැම තැනම.

දැන් දියුණුයි කියන රටක් වන බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂය හෙම වෘත්තීය සමිති වලට සහයෝගය දෙනවා සාමාන්‍යයෙන්. මේ ලඟදී  ටියුබ් රියදුරන් වර්ජනයක් කලා. හේතුව අස් කරනව කියල නෝටිස් එකක් රියදුරෙකුට දුන් නිසා. රියැදුර කලින් දවසේ හොඳටම බීල වැඩට ඇවිත් වැඩ කරන තැන නිදාගෙන. කම්කරු පක්ෂයට වුනත් පුලුවන්ද ඔය වගේ වර්ජනයකට උදව් කරන්න. නමුත් ඒ ගොල්ල කට පියාගෙන හිටියේ. වෘත්තීය සමිති වල බලය ඒ වගේ. අවශ්‍ය දේටයි එපා දේටයි  ඔක්කොටම වර්ජනය යොදා ගත්තම ඒවත් මිනිස්සු අතරේ අප්‍රසාදයට පත්වෙනවා නේද?  ඔය වගේ දේවල් පෙන්වා දෙන එක ඒ අරගල වලට විරුද්ධ වීමම නෙමෙයි. මිනිසුන්ව දැනුවත් කිරීමක්.

හරි දේට කෑ ගහපන්. බොරු දේට තමන්ගේ පැත්තේ වුනත් විරුද්ධ  වෙයන්. මං හිතන්නේ ඒක  තමයි පණිවිඩය.

කුඹියෝ නිර්මාණයත්  එය ඉදිරිපත් කරන නළු නිළියනුත් ඉතාමත්ම දක්ෂයි. රඟපෑම් විශිෂ්ඨයි. සෑහෙන කාලෙකට පස්සේ සිංහල භාෂාවෙන්  නාට්‍යයක් බලන්න පිටරට අපටත් අවස්ථාවක් දුන්නට ඇත්තටම ස්තුතියි.

"කුඹියෝ", "සහෝදරයා" සහ "පැරිසියට යන පාර" රස විඳින ගමන්.


ප.ලි.- කූඹීයෝ ගැන තවත් සටහනක් : කුඹී කෑම , සහෝදර පෙම සහ අනිත් එක



30 comments:

  1. පුබුදු ජයගොඩ ගේ කතාව මං ඇහැව්වා. ඒ සම්මන්ත්‍රණය තිබුණේ දෙසැඟ්බර් 20 දා ජාතික චිත්‍රපට සංස්ථාවේ කුඩා කාමරයකයි. පොරගේ කතා විලාශය සහ අදහස් මා සිත් ගත්තා.
    පොර කී මගේ මතකයේ රුඳුණු මූලික කාරණය තමයි, වාමාංශික ව්‍යාපාරය ජෙහාන්ලා හයර් කරලා වෘත්තීය සමිති හදන්නේ නැති බව. නමුත්, නිර්මාණයක් ලෙස එලෙස පෙන්නීමේ ලොකු වරදක් ඔහු දකින බවක් කීවේ නෑ.

    ReplyDelete
    Replies
    1. පුබුදු ජයගොඩ හෙවත් ලසිත මහත්තය දන්නා තරම වෙන්න ඇති. හැත්තෑ ගණන් වල අග භාගයේ වෙන්න ඕනේ. රත්මලානේ තිබ්බ හෙන්ට්ලි ගාමන්ට් කියල කොම්පැනියක්. ඔය කටුනායක ඇඳුම මහන ගාමන්ට් කොම්පැණි එන්න හුඟකට කලින්. දැන් තියෙනවද දන්නේ නැහැ. ඒකෙ ස්ට්‍රයික් එකක් කලා. පිටින් ගේමක් දීල කෙල්ලෝ ටික එලියට ඇද්දේ. පක්ෂය සමසමාජ සහ කොමියුන්ස්ට් පක්ෂ ඒකාබද්ධ කල එක්සත් වංශික පෙරමුණ වගේ නමක් තියෙන එකක්. වාසුදේව නායක්කාර, තව කාන්තා ලීඩර් කෙනක් (විවියන් වෙන්න ඕනේ) , වික්‍රමබාහු තමා හිටියේ ස්ටර්යික් එක ඉස්සරහ

      මම පොඩි කොල්ලා ඒ කාලේ. නමුත් ගේම් එක ගැන දන්නවා.. ස්ට්‍රයික් කළ කෙනෙක් පවුලේ හිටි නිසා.
      හෙන්ට්ලි එක අයිති වෙලා තිබ්බේ යුඑන්පි එකට සම්බන්ධ චොක්සි ලට සහ හෙන්ට්ලි ජෝසප් කියල කෙනෙකුට. රුසියාවට, ස්වීඩනයට ඇමෙරිකාවට ඇඳුම් යවපු කම්පැනි එකක්. මම දන්නා විධිහට ටොයිලට් යන්න වෙලාව තිබ්බ. දවල්ට කෑම එක දුන්න. ඔන්න ඔහොම.
      ඊට පස්සේ ආපු කටුනායක ගාමන්ට් වල ඊට අන්ත විධිහට සේවකයන්ට සැලකුවේ.

      Delete
  2. අර යුක්‍රෙන් වල වගේ තත්ත්වයක් නේද කටුනායක වෙඩි තැබීමේදි අනෙත් . පොලිස්යේ නි. පොලිස්පත් රවි විජේගුණරත්නට කොහේවත් ඉන්න එකෙක් ගලකින් ගැහැවා. පොලීසිය වෙඩිතිබ්ා. අහක හිටලු රොෂෙන් චානක වෙඩි කාල ක්ම්කරු වීරයෙක් වෙලා ස්වර්ගස්ථ අනා. පෙන්ෂන් එක අකුලා ගත්තා. හරියට ෆෙඩිරික් ‍ෆෝසයිත්ගේ Negotiator කථාව වගේ.

    ReplyDelete
    Replies
    1. උදාර ස්තූතියි ආවට. සමහර දේවල් විශ්ලේෂණය කරන්න ඕන බොහොම සියුම්ව තමා . ඔය කියන සිද්ධිය හැරියට් දන්නේ නැහැ. (තවම) දන ගත්ත දවසක ලියන්නම්.

      Delete
  3. මං ටීවී බලන්නේ එන්ටර්ටේන්මන්ට් සඳහායි. වඩා බැලෙන්නේ මං ඉන්ටරෙස්ටෙඩ් දේවල් ගැන තියන ඒවායි.
    රටේ සමාජය හා දේසපාලනය නිවුස් වලින් බලන නිසා නාට්‍යවලිනුත් බලන්න ආසා නෑ. සමාජයේ, දේශපාලනයේ, පවුල්වල තියන යථාර්තය ආයිත් ටෙලිඩ්‍රාමා විදිහටත් බලන්න ආස නැති එක අමුතු ආකල්පයක් අජිත්?
    පරණ ටෙලිඩ්‍රාමා එක දිගට පෙන්නනකොට බලනවා සමහරවිට පරණ දේවල්(පාරවල්, බිල්ඩින්, තාක්ෂණය, විලාසිතා ) බලන්න පුලුවන් නිසා.

    ඇත්තෙන්ම ටීවී චැනල් වලට වඩා බැලෙන්නේ ඩීවීඩී movies.

    කූඹියෝත් මට ගුරු ගීතය,Gone with the wind, To kill a Mokingbird වගේ. ඒගැන හුඟක් අහලා හා කියවලා තියනවා ඒත් කෘතිය බලලා / කියවලා නෑ.

    වයිකිං ( සහ ලාස්ට් කිංඩම් ) ඊලඟ සීරීස් එක එනකම් ඇඟිලි ගනිමින්. ..:-DD

    ReplyDelete
    Replies
    1. //මං ටීවී බලන්නේ එන්ටර්ටේන්මන්ට් සඳහායි. // දැන් ප්‍රා තුමා හිතන්නේ අපි ටීවී බලන්නේ විභාග පාස් කරන්න කියලද?

      //වඩා බැලෙන්නේ මං ඉන්ටරෙස්ටෙඩ් දේවල් ගැන තියන ඒවායි. //මාත් එහෙමයි
      //රටේ සමාජය හා දේසපාලනය නිවුස් වලින් බලන නිසා නාට්‍යවලිනුත් බලන්න ආසා නෑ.//
      එක්කෝ ප්‍රා නිව්ස් කියන්නේ මොනවාද කියල දන්නේ නැහැ. නැත්නම් නිව්ස් සහ ඩ්‍රාමා පටලවාගෙන. නිව්ස් වල දෙන්නේ ඒ ඒ නිව්ස් ආයතන වලට වියදම් කරන කෙනාගේ මතවාදය නැත්නම් එයාගේ ඉදිරි දේශපාලන හෝ ව්‍යාපාරික බලාපොරොත්තුවලට හරියන ඒවා. රුසියානුනිව්ස් පුටින් ගේ ප්‍රතිරුපය නංවන්න මිනිසුන්ගේ ඔලු හදද්දී තරම් ට පක්ෂ ඒවා ඒ ව්ධිහට් ලියද්දි ට්‍රම්පට විපක්ෂ ඒවා ඒ විධිහට මිනිසුන්ගේ ඔලු හදන්න යනවා. මේ නාට්‍ය සමහර ඒවා බලන්න බැරි තරම් බොළඳයි හෝ අප්පිරියයි. කුඹියෝ එකේ හෝ පැරිසියට යන පාර එකේ දේශපාලන දේශනා නැහැ. නිව්ස් නැහැ. ඒ වෙනුවට සියුම්ව සමනය මිනිස්සු මව ගෙන ඉන්න ලෝක සුනු විසුනු කරනවා සත්‍යමය fantasy එකකින්..
      //සමාජයේ, දේශපාලනයේ, පවුල්වල තියන යථාර්තය ආයිත් ටෙලිඩ්‍රාමා විදිහටත් බලන්න ආස නැති එක අමුතු ආකල්පයක් අජිත්? // ඔය නාට්‍ය යථාර්තයම වෙනෙන් කොහොමද ප්‍රදීප් ඒවා නිර්මාණ. ඒවා පරණ කතා එත් යථාර්තය් හෙවත් අද සිද්දිඅ වෙන දේද අතීතයේ සිදුවුණු දේද? එහෙම නම් ඉතිහාස කතාවක්නේ.


      //කූඹියෝත් මට ගුරු ගීතය,Gone with the wind, To kill a Mokingbird වගේ. ඒගැන හුඟක් අහලා හා කියවලා තියනවා ඒත් කෘතිය බලලා / කියවලා නෑ. // කූඹියෝත් සහ ගුරු ගීතය අහසයි පොළොවයි වගේ. ඒ තරම් වෙනස්. මේ වාක්‍ය යේම තේරුමක් නැහැ. තරහ වෙන්න එපා.

      //වයිකිං ( සහ ලාස්ට් කිංඩම් ) ඊලඟ සීරීස් එක එනකම් ඇඟිලි ගනිමින්. // මම ගේම් ඔෆ් ත්රෝන්ස් ෆෑන් කෙනෙක්. ඒ වගේම හරි ප්-ඔටර්, ලාස්ට් කින්ඩොම් නොවරදවාම බලපු කෙනෙක්. ඒවාට මාර ආසයි . උසස් තත්වයේ නිර්මාණ. එතකොට මැක්මාෆියා අලුතෙන් යන මාරයි. කුඹියෝ ඒ වගේ ලජ්ජා නැතිව ලංකාවේ ගහපු අර තත්වයේ උසස් නිර්මාණයක් කියල කැත නැතිව කියන්න පුළුවන් එකක්.

      Delete
    2. දැන් ඉතින් ලාස්ට් කින්ඩොම බලන්නම වෙනවනේ :)

      Delete
    3. //කූඹියෝත් සහ ගුරු ගීතය අහසයි පොළොවයි වගේ. ඒ තරම් වෙනස්. මේ වාක්‍ය යේම තේරුමක් නැහැ. තරහ වෙන්න එපා. //

      ඒ දෙකම බලලා/ කියවලා නෑ. එනිසා සංසන්දනයක් මං කලේ නෑ . මං කිව්වෙ කූඹියෝ හා ගුරුගීතය ෆේමස් දේවල් නිසා මං හුඟක් ඒ ගැන අහලා/ කියවා තිබෙනවා ඒත් කෘතිය බලලා/ කියවලා නෑ.
      It's the same for me with "Gone with the wind" and To kill a mockingbird" - famous works. I have read so much ABOUT them but haven't READ them. Got it?

      Delete
  4. Replies
    1. ස්තුතියි ඉයන්. හොඳ බ්ලොග් එකක්. එල්ල ගන්න.

      Delete
  5. මාව කොන් වෙන තවත් පොස්ට් එකක්.. කුඹියෝ බලල නෑ ෆෙන්.. :/

    ReplyDelete
    Replies
    1. We should form a club. Will be very exclusive.

      Delete
    2. හයියෝ තරු නංගි ගේ පොත කියවල නැහැ. කුඹියෝ බලල නැහැ. කමීයෝ මේ මොකද වෙලා තියෙන්නේ. ඔය ලව් ස්ටෝරි අත ඇරලා මිනිහෙක් වෙයන්. ඔහොමත් ඉබාගාතේ යනවයි.

      Delete
  6. ජෙහාන්ල ගැන නියම අයිඩියාවක් එනවා බ්ලැක් ලිස්ට් ටීවී සීරීස් එක බලනකොට.. යටින් යන ගේම් ඔක්කොම එලියට දානවා කැත නැතුවම.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. තවම නොබලපු එකක්. FBI කාරයාගේ කතාව නේද? ස්තූතියි ඔත්තුවට

      Delete
    2. ඩවුන්ලෝඩ් කලා. හොඳයි මේ සිරිස් එක

      Delete
  7. මේ ගෙවෙනුයේ ශ්‍රී ලංකා ඉතිහාසයේ විකාර සහගතම කාල පරිච්ෙඡ්දයකි. තම තමන්ගේ නම් ලකුණු කර ගන්නට වලි කන දේශපාලන පරිපාලන යාන්ත‍්‍රණයක් ඇරුණු කොට කිසිවක්ම සිදුවන ලකුණු වුව නොපෙනේ.

    මහබැංකුව යනු මෙරට ආර්ථිකයේ මුදුන් මල්කඩය. සියලූ මුල්‍ය ආයතන පණ ගැහෙනුයේ එහි ජීවයෙනි. එය සුදුමැලිව මියැදෙන්නට සැරසෙන විට ආර්ථිකය ගිලිහී වැටෙනුයේ වියලි කොළ මෙනි.

    සමස්ත ශ්‍රීලංකාවේ සාර්ථකත්වය පෙනෙන මිනුම් දණ්ඩ නම් රටේ ජනයාගේ මිලට ගැනීමේ හැකියාවය. වෙළඳපොළ යනු ආර්ථිකයේ වෙනම සංස්කෘතියකි. මහා සංස්කෘතියකි. මේ සංස්කෘතිය ගොඩ නැගීම කෙළින් හෝ සිට ගැනීමට නොහැකි මහල්ලන්ට කළ හැකි නොවේ. එයට අලූත් ලේ අවැසිය. දුෂිත එජාප නායකයන්ගේ සංගමයක් බවට අද රටේ ආර්ථිකය සංගමය පත්ව ඇත. එය හුදු එජාප ආයතනයක් මෙනි.

    ශ්‍රී ලංකා ආර්ථිකයේ දීප්තිමත්ම යුගය 2005-2015 ය. අධික වේගී මාර්ග, වරාය, ගුවන්තොටුපල ඉදිවුයේ තරඟයට මෙනි. ඒ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පරිපාලනය යටතේය. 2015 න් පසු එම තරුවල නිවී යෑමත් සමග රටම අදුරු විය. ඉන්පසු පුංචි තාරකා මතු වුවද ඒවා කනාමැදිරි එළි මෙන් විය. අන්ධකාරයේ ඒවා කැපී පෙනුණ මුත් ලොකු ආලෝකයක් නොවීය.

    එම කාරනා නොසලකා අන්ත දක්ෂිණාංශික අගමැති රනිල්ට කඩේ යන අජිත් ධර්ම වැන්නවුන් නොසලකා හරින්නේ ලංකා භුම්යේ සංස්කෘතියයි. අජිත් ධර්මට 2015 පාලනය නිසා, බැංකු ගිණුමට මාස්පතා මුදල් බැරවෙන බව සැබෑවක් වුවත් රටේ අති බහුතර ජනයා ජිවත් වන්නේ දුක්බිතවය. සමාජවාදී සෝවියට් සංගමයේ අනුග්‍රහය යටතේ අධයාපනය ලබා ධනපති පන්තියට කඩේ යන අජිත් ධර්මට නොතේරෙන සත්‍යය එයයි..

    ReplyDelete
    Replies
    1. මචං ඇනෝ ඔය මාස්පතා සල්ලි දාන එකවුන්ට් එකේ නොම්මර හෙම දන්නවයි? දන්නවනම් එවහන්කෝ. මමත් ගානක් අරගෙන ඔයාටත් කොමිසන් එකක් දෙන්නම්. මේ දවස් හාඩප් වෙලා ඉන්නේ බ්‍රෝ.

      Delete
  8. ///////ඒ කියන්නේ ජෙහාන් සහ ප්‍රියන්තගේ ග්‍රාමීය මූලයන් ගැන , සහ එම තරුණයන් ගෙන් සමහරක් රැඩිකල් වුනේ කොහොමද////////////

    මෙතන මරු අජිත්. මේ රැඩිකල් වීම මගේ කාලේ ඇත්ත සාමජේ මහා අමුතු විදිහට වුනා. මගේ කාලෙදි,නගරයට ආ ග්‍රාමිය තරුනයා, නගරෙන් බොහෝ දේ උකහා ගත්තා. ඒ ලබා ගත් දේ ඔහු හෝ ඇය ගමට අරන් ගියා. ඔහු හෝ ඇය අඩුම ගානේ තමන්ගේ පවුලේ එකෙක්වත් අධ්‍යාපනිකව හෝ සමාජීය වශයෙන් ගොඩ දමා ගත්තා. මම නගරේ එකෙක්. මමත් පවුලේ අය හෝ ගොඩ දැම්මේ, ඒ නාගරික කටුකත්වයේ රස හොඳින් විඳිමින්. ජෙහාන්ලා, ප්‍රියන්තලා ග්‍රාමීය පරිසරයකින් ඒමත්, නගරය තුල සර්වවයි වීමත් මාර ටැලන්ට් එකක් බං. උඹට එහෙම එවුන් හමුවෙලා ඇති. මේක හොඳ ඕපනින් එකක්. සහෝදරය ගැන දැන්ම නොලියා හිටියානම් හොඳයි අජියා. ඒ තුල වෙනත් කවියක් ලියවෙනවා අපි කාටවත් හොරා. රස විඳපන්. පස්සේ ලියපන්.

    මම මේ පෝස්ට් එකට ආසයි. හෙමින් හෙමින් සංවාද කරමු. මේවා ගැන ලිවිය යුතුමයි. ඒවා තමයි අපිට ඉතුරු කරලා යන්න පුලුවන් හොඳ යුතුකම්.

    ReplyDelete
    Replies
    1. අරුණ කාලෙකට පස්සේ. සතුටුයි මේ පැත්තේ ආවට. මම හිතුව පාර වැරදිලා වත්ද කියල. හි හි.
      // මගේ කාලෙදි,නගරයට ආ ග්‍රාමිය තරුනයා, නගරෙන් බොහෝ දේ උකහා ගත්තා. ඒ ලබා ගත් දේ ඔහු හෝ ඇය ගමට අරන් ගියා. ඔහු හෝ ඇය අඩුම ගානේ තමන්ගේ පවුලේ එකෙක්වත් අධ්‍යාපනිකව හෝ සමාජීය වශයෙන් ගොඩ දමා ගත්තා.//
      මමත් ඕක දුටු දෙයක් . නගරයට ආවේ ඉගෙන ගණන් හෝ මුදල් හොයන්න. දෙතුන් දෙනෙක් කසාද බැහැල බින්න බැහැල නගරේ හිටිය. අනිත අය ගමට ගියා . පවුල ගොඩ දාගන්න. හරියට හරි.

      // මම නගරේ එකෙක්. මමත් පවුලේ අය හෝ ගොඩ දැම්මේ, ඒ නාගරික කටුකත්වයේ රස හොඳින් විඳිමින්. ජෙහාන්ලා, ප්‍රියන්තලා ග්‍රාමීය පරිසරයකින් ඒමත්, නගරය තුල සර්වවයි වීමත් මාර ටැලන්ට් එකක් බං. උඹට එහෙම එවුන් හමුවෙලා ඇති. මේක හොඳ ඕපනින් එකක්. // මම පොඩි කාලේ ගමෙන් කොලමබට ආවේ . ඊට පස්සේ කරකවල අත හැරිය වගේ ගමේ බොළඳකම සුන්දරත්වය එක්ක කොල්ලුපිටියේ , කොම්පඤඤ විදියේ වීදි වල ගොරහැඩි කම් එක්ක ගැටුණා බං. ඩප්පි කියන වචනේ, ගල් කියන වචනේ ඉගෙන ගත්තේ ඒ ඉස්කෝලෙදි. ඊට පස්සේ රෝයල් එක ආයේ වෙනම ලෙවල් එකක්. අපිත් සර්වයිව් වුනේ නේහ් උඹල එක්කම.

      //සහෝදරය ගැන දැන්ම නොලියා හිටියානම් හොඳයි අජියා. ඒ තුල වෙනත් කවියක් ලියවෙනවා අපි කාටවත් හොරා. රස විඳපන්. පස්සේ ලියපන්.// ලියල නැහැ. ඒකට තවම කල් තියනවා. ඒක ඇත්ත. පනින්න හොඳ නැහැ.

      //මම මේ පෝස්ට් එකට ආසයි. හෙමින් හෙමින් සංවාද කරමු. මේවා ගැන ලිවිය යුතුමයි. ඒවා තමයි අපිට ඉතුරු කරලා යන්න පුලුවන් හොඳ යුතුකම්.//බොහොම ස්තූතියි.ආපහු එන පාර මතක තියා ගනින්.

      Delete
  9. මම කියන්න හැදුව අනිත් දේ තමයි අජියා, දැන් මොකද වෙන්නේ බොහෝ දෙනෙක් නගරෙට ඇවිත්, නගරෙම ඉඳන් ආපු ගම කනවා. මේවා විකෘති වෙලා.

    ReplyDelete
    Replies
    1. එතැන දැන් මෙහෙම එකක් නේ තියෙන්නේ. ගමයි නගරයයි අතර සීමාව අඩුවේගෙන යන්නේ. කාලෙකට කලින් අපි ගම යනුවෙන් හඳුන්වපු එන්ටයිටිය වෙනුවට තියෙනෙන් අපේ ෆැන්ටසියක් විතරයි. අර නගරයේ හිටපු එවුන් ගම කෙලින්ම නගරයේ අච්චුවක් කරන්න හදනවා. මොකද එතකොට ගමට ගියත් අර පහසුකම් වගේම අර ගේම් දීමත් ඒ විධිහටම් කරන්න පුළුවන් නිසා. මම ලංකාවට ගිය වතාවක හදිසියේ ලස්සන ගමක ට ගියා . බස් එකක් වත් යන්නේ නැහැ. නමුත් හෝටලයක් හදල තියනවා. නතර වෙලා ඉන්න පුළුවන්. ලස්සන තැන. නමුත් නතර වෙන්න එන්නේ ටුවරිස්ට් ලා නෙමේ. නගරයේ ගේම් දෙන සෙට් එක. ඉතුරු ටික කියන්න ඕනේ නැහැනේ.

      Delete
    2. මම ලියපු දේ ගැලපුනාද මන්ද

      Delete
    3. ලියන දේවල් ඒ මොහොත අනුව ලියපන්. කියන දේවල් ඒ තත්වය මත කියපන්. කිසි දෙයක් සීරියස් ගන්න එපා. අපි උඹලා ට්‍රම්ප්ලා, පූටින්ලා නෙමේ. අපි නිකම්ම නිකම් නිදහස් චින්තකයෝ. එහෙමත් නැත්නම් ස්ක්‍රීන් වීරයෝ. මේවා ටයිම් පාසින් විකාර විතරයි අජිත්. සැබෑ මිනිහා ඇත්ත සමාජේ ක්‍රියාශීලියි. අපි සයිබර් වීරයෝ. මේවා විකෘති තත්වයන්.

      Delete
  10. ඉරානෙ ගැන අජිත් ලියපු දේවල් එක්ක තමයි මේ දේවල් මට ලියන්න හිතුනෙ.ඉරානෙදි කාන්තාවන්ගෙ නිදහස අහිමි වෙලා කියන්නෙ ඉරානෙ ඉන්න ලිබරල් ගැහනු සහ මිනිස්සු,ඒ අය ඉහල අධ්‍යාපනයක් ලබපු නිතර පත පොත කියවන බාහිර දැනුම ලබන අය,අති බහුතරයක් වන සාමාන්‍ය ඉරාන ගැහනුන් හා මිනිසුන්ට ඒක නිදහස අහිමි වීමක් නොවෙයි.ඒ ගැහනුන්ට මුහුනු වහගෙන යාම ස්වභාවිකදෙයක්.ලංකාවෙ ඉන්න වාමාංශික යාලුවෙක් මෙහේ ඉන්න මුස්ලිම් කෙල්ලෙක් එක්ක යාලු උනා. දෙපැත්තෙම විරෝධය මැද කසාද බැන්දා.කාන්තා නිදහස අගය කල මිතුරා කෙල්ලගේ පර්දාව ගැලව්වා,ඩෙනිම් ජීන්ස් අන්දෙව්වා.දැන ගන්න ලැබුනු විදියට වසරකටත් අඩු කාලයකදි කෙල්ල මුස්ලිම් කොල්ලෙක් එක්ක පැනල ගිහින් දැන් මූන වහගෙන යනවා.මම නම් හිතන්නෙ මුන් මේකට ආසයි.

    ReplyDelete
    Replies
    1. //ඉරානෙ ගැන අජිත් ලියපු දේවල් එක්ක තමයි මේ දේවල් මට ලියන්න හිතුනෙ.ඉරානෙදි කාන්තාවන්ගෙ නිදහස අහිමි වෙලා කියන්නෙ ඉරානෙ ඉන්න ලිබරල් ගැහනු සහ මිනිස්සු,ඒ අය ඉහල අධ්‍යාපනයක් ලබපු නිතර පත පොත කියවන බාහිර දැනුම ලබන අය,අති බහුතරයක් වන සාමාන්‍ය ඉරාන ගැහනුන් හා මිනිසුන්ට ඒක නිදහස අහිමි වීමක් නොවෙයි.ඒ ගැහනුන්ට මුහුනු වහගෙන යාම ස්වභාවිකදෙයක්.//
      එක පැත්තකින් ඔබ හරි. ඉරානයේ ලිබරල් ගැහැණු හා පිරිමි කියන්නේ නාගරික අයට වෙන්න ඕනේ. ඒක ඇත්ත. නමුත් ෂා රජුගේ කාලේ ගැහැනුන්ට මුහුණු වසාගෙන යාමේ අවශ්‍යතයවක් තිබ්බේ නැහැ.

      Delete
    2. //ලංකාවෙ ඉන්න වාමාංශික යාලුවෙක් මෙහේ ඉන්න මුස්ලිම් කෙල්ලෙක් එක්ක යාලු උනා. දෙපැත්තෙම විරෝධය මැද කසාද බැන්දා.කාන්තා නිදහස අගය කල මිතුරා කෙල්ලගේ පර්දාව ගැලව්වා,ඩෙනිම් ජීන්ස් අන්දෙව්වා.දැන ගන්න ලැබුනු විදියට වසරකටත් අඩු කාලයකදි කෙල්ල මුස්ලිම් කොල්ලෙක් එක්ක පැනල ගිහින් දැන් මූන වහගෙන යනවා.මම නම් හිතන්නෙ මුන් මේකට ආසයි.//
      මෙහෙමයි එහෙම සාමාන්‍යකරණ කරන්න අමාරුයි. එංගලන්තේ ඉන්නවා තමන්ගේ කැමැත්තෙන් මූන වහගෙන යන අය. ඒ අතරේ එතනින් පැනල යන් බලන අයත් සෑහෙන පිරිසක් ඉන්නවා. දැන් ඔය මම කියන කතාවේ උනත් ඊයේ පෙරේද ඉරාන රජයට පක්ෂවත් තව දහස් ගනනක් පෙළපාලි වල ගියා. මගේ මුලික අදහස එම පෙළපාලි ඉබේ ඇතිවූ ඒවා නොවන බව . හොන්ඩ අන්රක නෙමේ. දැන් ගඩාෆි මැරුණ එකෙන් හොඳක් වෙනවට වැඩ නරකක් වුනේ අන්තිමට.

      Delete
  11. කෝ මගේ කොමෙන්ට් එක අජිත් ධර්ම මහත්මයා ?

    ReplyDelete
  12. මේ ලිපිය මම කියවන්නෙ දෙවන වතාවට. කොමෙන්ටුත් එකතුවන විට තවත් සාරවත්ව තේරුම් යනවා

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .