Tuesday 5 February 2019

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (46) - ස්වේතා



ප්‍රියාන් මුහුණ දුන්නේ බරපතල ප්‍රශ්නයකටය. ගිහාන් ට විස්තරය පැවසීමට එක අතකින් ඔහුට නොහැකිය. ඒ ඔහුගේ මිත්‍රත්වය නිසාය. නමුත් ගිහාන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් සිටී. ඒ නිසා නොකියා බැරිය. නිලන්තට කතා කර විස්තරය කීමට සිතූ මුත් ගිහාන් ට කලින් නිලන්තට කීම නොමනාය. නිලන්ත පිළිබඳව ඔහු දනිතත් ඔවුන් අතර එතරම් දැඩි මිත්‍රකමක් නැත. ඔහු ගිහාන්ගේ අඹ යහළුවා මිස ප්‍රියාන් සමග දැඩි මිත්‍රත්වයක් නැත.  ශ්‍රී ලංකාවට ගිය විටෙක ඔහුගේ නිවසේ දුරකථන අංකය ලැබුනමුත් ඔහු එම නිවසින්  පිටවී ගොස්ය.

හදිසියේම විශාඛා ගේ පාසල් මිතුරියක් තමන්ගේ ද මිතුරියක් බව ඔහුට සිහිවිය. හදිසියක් යයි කියා ඇයට ඇමතූ  ඔහු විශාඛා හා නිලන්ත ගේ නිවසේ දුරකථන අංකය ලබා ගත්තේය.

නිලන්ත දිගින් දිගටම ප්‍රියාන් ගෙන යම් විස්තරයක් ලබා ගන්නට තැත් කළේය.

"මචන් මම ගිහාන්ට කතා කරනවා කිව්වේ හවස හයට විතර. උඹට බැරිද රෑ හතට අටට විතර එහෙ යන්න. වෙන විස්තරයක් කියන එක හරි නැහැ. පුලුවන්නම් පලයන් ඌ වෙනුවෙන්. "

"මචන් මම ගිහාට ඕන දෙයක් කරනවා. ඒත් උඹ අපට කිව්වනම් හරි. අපි ඌ කියල වෙනසක් නැහැ බං, ඌ මගේ එක කුස උපන්  සහෝදරයෙක්  වගේ . මොකක් කියලද මම යන්නේ "

"උඹල යාළුවොනේ හේතුවක් නැතිව යන්න බැරිද?"

"මම වටලප්පන් හදල දෙන්නම්. ගිහා පෙරේතයනේ ඒවාට. තෝසේ ටිකකුත් හදන්නම් අම්ම එක්ක. ඔයාට යන්න බැරිනම් කෑම ටිකක් හදාන  ආව කියල දෙන්නම යමු. අම්ම දරුව  බලා ගනීනේ. "
විශාඛා කීවාය. ඒ අදහසට ප්‍රියාන් ද, නිලන්තද එකඟ වුනි.

*************************************************
ගිහාන් ට ඇති මුදල් ප්‍රශ්න ගැනත් ඔහුගේ සොයුරියගේ විවාහය සංවිධානය කිරීම,  දෙදෙනාට එකට සිටින්නට තැනක් සොයා ගැනීම ආදිය ගිහාන් මුහුණ දෙන අනිකුත්  ප්‍රශ්න ගැනත් තාන්යාට අවබෝධයක් තිබුණි. ඇය දන්ත වෛද්‍යවරියක ලෙස උපාධිය අවසන් කළා වුවත් එක්වරම රැකියාවක් සොයා ගැනීමට ශ්‍රී ලංකාවේ ඉතා අසීරු බව ගිහාන් පවසා තිබුණි. ඒ තමන්  පිටරටක උපාධිය ලත් නිසාය.එසේම කසාද බැඳ වීසා ලබා ගන්නා තුරු රැකියා කිරීමටද නොහැකිය. ගිහාන් ඉංජිනේරුවකු  වුවද ඔහු දැනට ලබන වැටුප  සාපේක්ෂව ඉතා අඩු බවද ඇය දත්තාය. ඒ පඩිය ඩොලර් වලට පෙරලා ගණන් ගැනීමෙනි.

ඇය තමන්ට ලැබුන පත්වීමට රොස්ටොව් ගියේ නැත. සෝවියට් දේශය බිඳ වැටුණු පසු රුසියාවේ ඒ පත්වීම් හරියට සිදු කෙරුණේද නැත. හැමෝම සිටියේ වික්ෂිප්ත බවකිනි . හිටපු බලධාරීන් සහ බොහෝ කන්තක්ති හෙවත් "සම්බන්ධකම්" තිබූ අය හදිසියේ  "බිස්නස්" කාරයන් වී සිටියහ.  නගරවල තිබූ සුපර්මාකට්, ගබඩා ආදී දේපොළ කුණු කොල්ලෙට විකිණී ගියේය. ඒවා ගත් අය ඉතා අමුතු පෙනුමැති තමන් බිස්නස් මෑන් ලා යන අමුතු නමින් හඳුන්වා ගත් නවතම  ධනපතියන් ලෙස හැසුරුණු   කොටසක් විය. සම්ප්‍රදායික ධනපතියන්ට වඩා ඔවුන් දිස්වුනේ මංකොල්ලකරුවන් රැසක් පරිදිය.

අල්ලසක් නොදී කිසිදු දෙයක් කර ගැනීමට නොහැකි තත්වයක් උදාවුනි.
ගිහාන් ඉතිරි කර ඇය සන්තකයේ තබා ගිය  ඩොලර් කිහිපය අල්ලසක් ලෙස වියදම් කළ ඈ  මොස්කව් වල පොලික්ලිනිකා නමින් හඳුන්වන රෝහලක  පත්වීමක් ලබා ගත්තාය . ඒවායේ වැටුපද ලැබෙන්නේ පමා වෙලාය . ඒ වැටුපද ඉතා සොච්චමකි. ඒ දිනවල් රූබල් වලට කිවේ දිර්වෙයාන්නිකි කියාය. ඒ කියන්නේ ලී පතුරු යන අදහසිනි. ලී  පතුරු තරමට රූබල් වල වටිනාකමක් නැත.

තම සොයුරිය සමග තාවකාලිකව වාසයට ගිය තාන්යා මුදල් වියදම් කලේ ඉතා සකසුරුවමිනි. ගිහාන් ගේ යහළුවකු වූ ප්‍රියාන් මොස්කව් වල හිටි දවස් වල ශ්‍රී ලංකාවේ සිට රැගෙන ආ එම රටේ නිෂ්පාදිත  පියකරු කබා (ජැකට්) කිසියම් ප්‍රමාණයක් විකිණීමට දී තිබුණි. එය ලැබුනේ වැලන් නම් ප්‍රියාන් ගේම තවත් යහළුවෙකු හරහාය. ඇයට එවැනි දේ  නුහුරු වුවද යෙහෙළියන් කිහිප දෙනෙකුට දී ඒවා විකුණා  කිසියම් මුදලක් උපයා ගත්තාය.  දැන් ඔහුගේ ඒ යහළුවන් කිසිවෙකු මොස්කව් වල නැත. ඇයට දැනුනේ දැඩි අසරණ බවකි. ශ්‍රී ලංකාවට යෑමට ගුවන් ගමන් බලපත්‍රය ගැනීමට සමහරවිට ඒ මුදල සෑහෙන මුත් කිසියම් මුදල් ප්‍රමාණයක් අත නැතිව යාමට ඇය අකැමැති වූවාය . තම දෙමාපියන් ගිහාන්ට කැමති බවත් ඇය ශ්‍රී ලංකාවට යෑමට සූදානම් වීම  ගැන ඔවුන්ගේ විරුද්ධත්වයක් නැති බවට ඇති දැනීමත් ඇයට සහනයක් ගෙන දුනි.

නමුත් ගිහාන් ගෙන් ලිපියක්වත්  ආරංචියක් නැත. පසුගිය  කාලයේ දුන් දුරකථන ඇමතුම් වලින් විශාඛා සම්බන්ධ ප්‍රශ්න තිබූ බවත්,  ඔහුගේ නැගණිය සහ මවත්  විදේශීය ගැහැණියක සමග විවාහ වීම පිළිබඳව දරන  ආකල්පය  එතරම් ඔවුන්ගේ පැත්තට නොවන බවත්   ඇය දැන  සිටියාය.  එනිසා වෙනත් නිවසක මිස ගිහාන් ගේ නිවසේ  ජිවත් විය නොහැකිය. ගිහාන් අඩුම ගණනේ ඇයව එංගලන්තයට වත් රැගෙන ගියා නම්.......
 වැල්යුති හෙවත් හාඩ් කරන්සි හෙවත් පවුම් උපයා ගත හැක්කේ එහි රැකියාවක් කිරීමෙනි. ඇගේ සිතේ  මුල් වරට ගිහාන් කෙරෙහි කෝපයක්  උපන්නේය.  තවමත් ලංකාවට කතා කිරීමට ප්‍රධාන දුරකථන මධ්‍යස්ථානයකට යා යුතුය. ඒවා ඇත්තේ ගොර්කාව්ස්කයා වීදියේ  හෝ අර්බත්ස්කයා  වලය.  පසුගිය සති කිහිපයේම ඇය සැම  විටම නොවරදවා ගොස් දුරකතනයෙන් කතා කලත් ගිහාන් දුරකථනය ගත්තේ නැත.

ඔහු ලංකාවේ තරුණියක  සමග විවාහ වෙන්නට සිතා නිහඬ වෙනවා වත්ද? එසේ වීමට නොහැකිය. ඔහු තමන් ට දැඩි ලෙස ආදරය කළ බව පමණක්  ඇය දනී. එසේ සිතීම ගැන තමන් කෙරෙහිම කෝපයක් ඇගේ සිතේ නැගුණි.
හොඳම දේ මුදල් ටිකක් කෙසේ හෝ සොයාගෙන ශ්‍රී ලංකාවට යාම යයි ඇයට සිතුනි. ගිහාන් ගේ ලිපිනය ඇය සතුව තිබේ. දැන් රුසියානුවන් ට මුදල් තිබේ නම් වීසා ලබා ගත හැකිනම් ඕනෑම රටකට යා හැකිය.  ගිහාන් සොයා ශ්‍රී ලංකාවට යාම හැර වෙනත්  විසඳුමක් ගැන සිතීමට ඇය අපොහොසත් වූවාය.

 එකම කාමරයේ ඈ සමග සිටි යෙහෙළියක වන ඉන්ගා ඇයට ආරංචියක් දුනි. ඒ ස්වේතා ගැනය. ස්වේතා දැන් " ට්‍රාවල්  ඒජන්සි " යන ඉංග්‍රීසි නමින් හඳුන්වන කුඩා සමාගමක් පිහිටුවා විදේශිකයන්ට රුසියාව  පෙන්වීමට මෙන්ම රුසියානුන්ට පිටරට පෙන්වීමට ගෙනයන බව ඉන්ගා කීවාය. එවැනි දේ පෙර තිබුනේ නැත. ඇය රැකියාවට බොහෝ කතුන් බඳවා ගන්නා බවද නොයෙකුත් බටහිර පන්නයේ වෙළඳම් කරන   "බීස් නාස්  වුමන්" බවද තව දුරට පැවසූ ඉන්ගා තන්යාට දුරකථන නොම්මරය දුන්නාය. මේ     ට්‍රාවල්  ඒජන්සි යනු  විදේශ සංචාර සංවිධානය කරන සමාගමක් බව තාන්යා පසුව දැන ගත්තාය. "බීස් නාස්  වුමන්" යනු වෙළඳම් කරන කාන්තාවය.

ස්වේතා ඒ කාලේ  සිටියේ ඔවුන්ගේම කොරිඩෝරයේ ඈත කාමරයකය. රූමත් තරුණියක වූ ඇයට පිරිමි මිතුරන් බොහොමයක් විය. ඒ  අය අතර වෙළඳාම ට මෙන්ම කුඩා මාෆියා වැඩට ප්‍රසිද්ධ සෝවියට් සමුහාණ්ඩු වල  චෙචෙන්, අර්මේනියන් , ගෘසියන් මිතුරන්ද විය.   සෝවියට් කාලයේ ඇය නේවාසිකාගාරයේ නොයෙකුත් කාන්තා සුවඳ විලවුන්, ක්‍රීම්  වර්ග , ඩෙනිම් මෙන්ම කාන්තා යට ඇඳුම් ද විකුණා මුදල් සෙව්වාය . ඇය පැළඳුවේ බටහිර ඇඳුම් ආයිත්තන්ය. ස්වේතා ගෙන් තාන්යා ද ඇඳුමක් දෙකක් මිලදී ගෙන තිබේ. වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ස්වේතා බීස් නාස් වුමන් ය.

අර්බත්ස්කයා පෙදෙසේම ඒජන්සිය  පිහිටා  තිබීම නිසා තැන සොයා ගැනීමට දැඩි අපහසුවක් වූයේ නැත.

තාන්යා දුටු  ස්වේතා තමන් සිටි වායු සමීකරණය කළ කාමරයෙන් පිටතට  පැමිණ තාන්යා වැළඳගෙන සිරිත් පරිදි මුහුණ දෙපැත්තට හාදු දෙකක් දී පිළි ගත්තාය.

තමන් පත්වී සිටි තත්වය සැකෙවින් විස්තර කළ තාන්යා ගිහාන් ගැන වැඩි විස්තර  නොකියා කිසියම් මුදලක් සොයා ගැනීමට කාන්තාවන්  භාවිතා කරන  භාණ්ඩ විකිණීමක් වැනි හවහක  සුළු වේලාවක් කළ හැකි රැකියාවක් තාවකාලිකව සොයා ගැනීමට උපකාර ඉල්ලා සිටියාය.
මහා හඬින් සිනහා සුනු ස්වේතා තමන් තව දුරටත් සුවඳ කුප්පි විකුණන ස්වේතා නොවන බව අවඥාවෙන් පැවසුවාය.  ඇගේ ඒජන්සියට යුරෝපීයයන් හා විශේෂයෙන් ඇමෙරිකානුවන් එන බවත් ඔවුන්ට මොස්කව් පෙන්වීම සඳහා යන්නේ නම් දිනකට ඩොලර් විසි පහක් පමණ දිය හැකි බවත්ය.  එසේ මුදල් ඉතිරි කිරීමට නම් මාස කිහිපයක් වත් රැකියාව කළ යුතු බව තාන්යාට සිතුණි. නමුත් තම වෛද්‍ය රැකියාවට යා යුතු නිසා එසේ කල නොහැකි බව ඈ  ස්වේතාට පැවසුවාය. ඇය මුදල් සොයන්නේ ශ්‍රී ලංකාවට යෑමට බවද පැහැදිලි කළාය.

තාන්යා දෙස හොඳින් බැලූ ස්වේතා මදක් නොසිතාම කළේ කිසියම් විධිහක අයුතු යෝජනාවකි.

"අවශ්‍ය නම් එම සංචාරකයන් ගෙන් සමහරු රැය පවා ගත කිරීමට කැමති විය හැකියි. ඩොලර් සීයක් දෙසීයක් නිකම්ම හෙව්ව හැකි. එහෙම කරන අය ඉන්නවා " ස්වේතා කීවේ ඇඟට පතට නොදැනීය.

" උඹ දන්නවනේ ස්වේත්ලානා  මම ලංකාවට යන්නේ පෙම්වතා හම්බවෙන්න. අපි එහෙදි බඳිනවා. එනිසා කීයටවත් එහෙම  සල්ලි හොයන්න මට ඕනේ නැහැ." තාන්යා දැඩි ලෙසින් පිළිතුරු දුන්නාය.
ස්වේතා හෝ ස්වෙතච්කා  යනු නම කෙටි කර ආදරයට කියනා ආකාරයයි. ස්වෙත්ලානා යනු  දීර්ඝ නාමයයි. වඩා නිත්‍යානුකුල බව හැඟවීමට හෝ යහළුවන් හෝ දෙමාපියන් අවවාදයක් දෙනවිට තදින් කියන බව ඇඟවීමට  රුසියානුන්  මුළු නමම  භාවිතා කරති.

ඒ අතරේ ටයි එකක් දමා වටිනා කබායක් හැඳි  කොණ්ඩය කළු ආර්මේනියානු හෝ ගෘසියානු ජාතිකයෙකුට  සම කළ හැකි මැදිවියේ මිනිසෙක්  පැමිණියේය.

"එරික් කොහොමද, ප්‍රීවියත්,  ප්‍රීවියත්  ? ස්වේතා ඔහුව උණුසුම් ලෙස පිළි ගත්තාය?

"මේ එරික් ඇවිතිස්යාන් , මේ තාන්යා. තාන්යා එරික් මට ගොඩක් බිස්නස් අරන් එන කෙනෙක්  " ස්වේතා එකිනෙකා  හඳුන්වා දුන්නාය. එරික් යටැසින් තාන්යා  දෙස බල හැඳ සිටි වටිනා අව් කන්නාඩි  යුගල ගැලෙව්වේය.

"තාන්යා රස්සාවක් හොයනවා. ඔයා අරන් එන සංචාරකයින්ට මොස්කව් පෙන්වන්න කියල කිව්ව මම . හැබැයි එයාට ඉක්මනට සල්ලි ඕනෙලු ලංකාවට යන්න."

"කවද්ද යන්නේ ශ්‍රී ලංකාවට " එරික් ඇසීය.

"ළඟදීම යන්න කියල ඉන්නේ සල්ලි ටිකක් මදි " තාන්යා පිළිතරු දුන්නාය.

එරික් ඈ දෙස දෙතුන් වරක් බැලුවේය. ඔහු බලන්නේ තමන්ගේ සිරුර දෙස බව වටහාගත් තාන්යා මහත් අපහසුතාවයකට  පත් වුවාය. රතුවූ මුහුණින් නැගිටි තාන්යා ස්වේතා ට සමුදී එතනින් ඉවතට යන්නට සුදානමින්ය.

"ඔයා මොඩලීරවනිය (මොඩෙලින් රුසියානු බසින්)   කරලා තියනවද " ඔහු වහා ඇසීය.
තාන්යා ට ඔහු ඇසූ දෙය තේරුනේ නැත.

"මේකි ඕව දන්නේ නැහැ එරික් ". මහා හඬින් සිනාසී කියූ ස්වේතා

"ඔහොම ඉඳ ගනින් " පසින් බලෙන්ම වාගේ  තාන්යා උරහිසින් තදින් අල්වා  වාඩි කර ඇයද ඒ අසල මේසයේ වාඩි වූයේ ඇගේ  දිග කකුලක් තාන්යා හිඳ  සිටි පුටුවේ ඇන්දට තබමිනි. ස්වේතා හැඳ සිටියේ ලෙවයිස් ඩෙනිම් සායකි . ඇය හිඳ  ගත්තේ රතු පාට යට ඇඳුමද මදක් පෙනෙනා ලෙසය. තාන්යා ජනේලයෙන් පිටත බැලුවාය.

"තාන්කා මේ අහපන්.  උඹට මුකුත් කරන්න දෙයක් නැහැ වැඩිය, අපි උඹට ඇඳුම් දෙනවා. උඹට  තියෙන්නේ ඒ ඇඳුම්  ඇඳගෙන ඒවා බලන්න එන මිනිස්සු ඉස්සරහ එහාට මෙහාට ඇවිදින්න. ඇත්තටම එරික් ට තේරුණා උඹේ ඇඟ හොඳයි කියල. අල ගිලින අපේ සමහර අනිත් කෙල්ලන්ට  වගේ උඹට තඩි කකුල් නැහැ. ඉස්සරහත්  ගානට තියනවා. පස්සත් ලස්සනයි. මොකද කියන්නේ. " ස්වේතා තාන්යා ගේ උරහිසට අතක් තබා ලෙන්ගතු ලෙසින් කීවාය.

"වෙන නරක වැඩ කරන්න නැහැනේ . රෑට මිනිස්සු එක්ක යන්න  හෙම නම් මට බැහැ . මම අහල තියනවා එහෙම ඒවා වෙනවා කියල. " තාන්යා ඇසුවේ අවිහිංසක ලෙසිනි.

"උඹ නම් මෝඩ ගෑණියෙක්. මෙහෙ දැන් සල්ලි තියන රුසියන් කොල්ලෝ ඕන තරම් ඉන්නවා. ඔය විදේශිකයෝ නැතුවට. මම උඹට එකෙක් හොයල දෙන්නම්. "

"මට එපා. උඹට ගොඩක් ස්තූතියි. මම  යනවා" තාන්යා නැගිටින්නට තැත් කළාය.

"මෙහෙ එක දවසක් මොඩලීරවනිය  කලොත් ඩොලර් සීයක් විතර දෙන්න පුළුවන්. හැබැයි ඩුබායි කියන මැද පෙරදිග රටේ එකක් තියනවා ළඟදීම. සති දෙකක කාලෙකට. එහේ  මොඩලීරවනිය කලොත් ඔයාට ඩොලර් දෙදාහක් දෙන්නම්. තව ගැහැණු ළමයි ගොඩක් යනව. ඔයා ඇත්තටම ලස්සන නිසා කියන්නේ. අපි ගිවිසුමක් අත්සන් කරලා ගෙනියන්නේ. හොර කරන්නේ නැහැ. ගමන් වියදම්, කෑම වියදම්,  හෝටල් වියදම් ඔක්කොම දෙනවා. අනික ඒ රටේ ඉඳල ලංකාව කියන රටට හුඟක් ළඟයි. පැය දෙකක්වත් නැත්ද කොහෙද? මෙහෙ එන්නේ නැතුවම එහෙට යන්නත් පුළුවන් ඔයාට " එරික් කීවේය.

ලංකාව යන නම ඇසුනු වහාම නැගිටමින් සිටි තාන්යා ට ඉබේම ඉන්දවිනි.

ස්වේතා තාන්යා ගේ වෙනස් වීම සැණෙකින් නිරීක්ෂණය කළාය.
"තාන්කා, මගේ කෙල්ලේ, උඹ නියම රුසියන් දියමන්තියක් නේ. උඹල වගේ උන් ඕනේ අපට. හැබැයි උඹ ටිකක් වැඩිමල්. අපට ඉන්න කෙල්ලෝ  උඹටත් වඩා හුඟක් ලාබාලයි. නමුත් මගේ නේවාසිකාගාරේම හිටි කෙල්ලනේ උඹ. මම උඹව එක්ක යන්නම්. මාත් යනවා. පාස්පෝර්ට් එක අරන් වරෙන් මම ඩුබායි වලටයි, ලංකාව කියන රටටයි  වීසා ගහල දෙන්නම්. "

"ඔයා පාස්පෝර්ට් එක අරන් එන්න. හෙටම. අපි ගිවිසුම් අත්සන් කරනවා ඉදිරි දින දෙක තුනේ. ඩොලර් පන්සීයක් අත්තිකාරම් දෙන්නම්. " එරික් ඉතා කරුණාවෙන් මෙන් කීය.

තම ලාච්චුව විවෘත කළ ස්වේතා ඉන් ඩොලර් සියයක් ගෙන තාන්යා අත තැබුවාය.

"උඹ දිරිවෙයාන්කා වගේ ඔය ගම්වල අඳින ගවුමක් නේ ඇඳන් ඉන්නේ. මේක අරගෙන හොඳ ඇඳුමක්  දෙකක් ගනින්. ඉතුරු ඒවා අපි දෙන්නම් " (දිරිවෙයාන්කා යනු ලී පතුරක් හෙවත් කිසිම කමකට නැති යන අර්ථය දෙන වදනකි)

ඔවුන්ගේ හදිසි කරුණාවට තාන්යා වශී වූවාය. හදිසියේම අවශ්‍ය කරන මුදල් සොයා ගැනීමටද ලංකාවට යාමටද මාර්ගයක් පෑදී තිබේ. ඇයට ස්වේතා ගේ දුරකථන අංකය දුන් ඉන්ගා ටද සිතින් ස්තූති කළාය.

තාන්යා ගේ වැඩිමහල් සොයුරිය ලේනා ට මේ චාරිකාව එතරම් සිතට ඇල්ලුවේ නැත. ඇය එයට දැඩි ලෙස විරුද්ධ වූවාය. තම නැගණිය නොදන්නා රටකට යාම අනතුරුදායක බවට ඇය තර්ක කළාය.

"ගිහාන් ට ඕනේ නම් ඌ එන්න ඕනේ මෙහෙ. මෝඩ කොල්ල. උඹ යන්නේ මොකටද? උඹ ආලයෙන් පිස්සු වැටිලා ඉන්න මෝඩ කෙල්ලක් " ලේනා කෑ ගෑවාය.

නමුත් ලේනා ගේ පෙම්වතා වලොද්යා මෙන්න  ඔවුන්ගේ පියා  වන ඇලෙක්සෙයි ද මව අක්සානා ද ගත්තේ තාන්යා ගේ පැත්තය.

" ඔන්නොහෙ රට රටවල් බලල ලංකාවට  ගිහින් ගිහාන් හමු වුන දෙන් . එක පාරට බඳින්න එපා. එහෙ ලංකාව බලල, ජිවත් වෙන්න පුලුවන්ද බලල  එන්න මෙහෙට ආපහු. ගිහාන්ට කියන්න මෙහෙදී  බඳින්න කියල. ඔයාට ස්වේතා විශ්වාසයි නේ ".

ස්වේතා අවිශ්වාස කිරීමට තාන්යා ට හේතුවක් නොතිබිණි. ඇය ගේ  සිත අරක් ගෙන   තිබුණේ සති දෙකකින් ලංකාවට යෑමට ලැබෙන අවස්ථාව  ගැනය.

මව ගේ අවසාන යෝජනාව සම්මත වුනි.

මොස්කව් ශේර්මිතෝවා ගුවන් තොටුපලේදී සොයුරියන් දෙදෙනාම බොහෝ වෙලා එකිනෙකා  වැළඳගෙන  කඳුලක් පිස ගත්තෝය. ඔවුන් දෙදෙනා මෙසේ වෙන්වී එක සොහොයුරියක්  වෙනම රටකට ගොස් නැත.

ගුවන් යානයේදී තාන්යා ගේ මුළු සිත පුරා වූයේ ගිහාන් ගැන සිතිවිලිය.

"සති දෙකයිනේ. ඊට පස්සේ ගිහානුෂ්කව   හම්බවෙනවා. එයා  ආසයි මම එයාව බදාගෙන   එයාගේ බෙල්ල ගාවට තොල තියා හොරෙන් වගේ හාදුවක් දෙන එකට". ඇයට නොදැනීම සිනාවක් මුවග  නැගුණි.

ඇගේ යාබද අසුනේ සිටි යන්තම් වයස  දහ අටක් වන ක්සේන්යා තාන්යා ගේ මුවෙහි නැගුණු  මදහස දැක සිනාවක් පෑවා ය. තාන්යා ජනේලයෙන් එළිය බැලුවාය . ගුවන් යානය මොස්කව් නුවරින්  ඉහල අහසට නැගෙයි.

කුමක්දෝ හේතුවක් නිසා ඇයට මොස්කව් නුවර කිහිප දිනකට  හෝ හැරයාම පිළිබඳව දැඩි ශෝකයක්  දැනුණි.

~~~~~~~මතු සම්බන්ධයි
-පින්තූරය අන්තර්ජාලයෙනි. 



13 comments:

  1. ඔබගේ ඊලග පොත විදිහට මේ කතාව ප‍්‍රකාශයට පත් කරමු. මේක කියවද්දි ඔරුවල බන්දුගේ පස්අවුරුද්ද කතාව මතක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. ප්‍රකාශකයෙක් හොයල දෙනවැයි :)

      Delete
  2. 80 දශකයේ පාසල් කොල්ලන්ට කියවා සුරත්සුවයෙන් ස්වයන්වින්දනය කරගන්න ආකාරයට ලියලා තිබුනත් මිලේනියම් දශකයත් පසුකර ස්මාට් ෆෝන් වලින් ආතල් ගන්න එවුන්ට, මේවා ශ්‍රීලන්කන් එකේ ෆර්ස්ට් කාල්ස් යන උත්තමයෝ කන කජුවලටත් වඩා අජුවට ලියනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔයාගේ ආතල් එක කඩා ගන්නේ නැතිව වෙන මොකක් හරි කියවන්න

      Delete
  3. 80 දශකයේ පාසල් කොල්ලන්ට කියවා සුරත්සුවයෙන් ස්වයන්වින්දනය කරගන්න ආකාරයට ලියලා තිබුනත් මිලේනියම් දශකයත් පසුකර ස්මාට් ෆෝන් වලින් ආතල් ගන්න එවුන්ට, මේවා ශ්‍රීලන්කන් එකේ ෆර්ස්ට් කාල්ස් යන උත්තමයෝ කන කජුවලටත් වඩා අජුවට ලියනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔයාගේ ආතල් එක කඩා ගන්නේ නැතිව වෙන මොකක් හරි කියවන්න

      Delete
  4. එල... දිගටම ඉතිරි ටිකත් ලියමු..

    ReplyDelete
    Replies
    1. ඉතිරි ටික ලියන්න එපා කිව්වනේ ගෑණු ළමෙක්

      Delete
  5. කවුද ඔය ගෑණු ළමයා? එහෙම කොහොමද එයා එපා කියන්නේ?? එව්වයින් වැඩක් නෑ ඊගාව කොටස මේ සතියෙම ලියමු ඈ.....

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .