Wednesday 9 October 2019

කස ඇට දාපු අයිස් සරුවත් කතා 2

කස ඇට දාපු අයිස් සරුවත් කතා 1


මගේ දයාබර මිතුරිය වසන්තිගේ සරුවත් දොලදුක එක්ක මට අතීත සුන්දර මතක සටහන් ගණනාවක් මතක් වෙනවා. 2008 දී විතර තමයි මම මුලින්ම ඉන්දියාවට මාධ්‍ය කටයුත්තකට ගියේ. ස්වර්ණාවාහිනියේ නදීක මල්ලි (නදීක කරුණානායක )ටීඑන්එල් ගයාන් මල්ලි තව ටීවී චැනල් කීපයක මාධ්‍ය සහෝදරයෝ හිටියා.හැමෝගෙම එකම සහෝදරිය මමයි.

ලංකාවේ සරුවත් වගේම ඉන්දියාවේ චෙන්නායි තව තැන් ගණනාවකයි ඉතාම ජයට විකිණෙන පානය වුනේ අඩියක් විතර උස ලොකු වීදුරුවක් පිරෙන්න කට කපලා දෙන දෙළුම් ඩ්‍රින්ක් එක. අපේ කට්ටිය ඇවිදපු හැම තැනකදීම තලු මර මරා මේ දෙළුම් ඩ්‍රින්ක් එක ගහල අරින්න අමතක කලේ නෑ. මටත් ඒක රසවිදින්න ලොකු ආසාවක් තිබුනා. ඒත් ආසාවටවත් බිදක් වත් කටේ තිබ්බේ නැත්තේ නදීක මල්ලිගේ අණසක හින්දයි.මැස්සෝ පිරිල ඉතිරුනු , දෙලුම් බීම හදන කඩමැස්ස දිහා විතරක් නෙමෙයි ඒවා හදන මනුස්සයාගේ ඇදුම ඒකේ පාට ,ඇදුමේ කාල වකවානුව පවා නදීකගෙ විශෙශ්ෂ අවධානයට ලක් වුණා. නදීකගේ අණසක නිසා මට දෙලුම් බිඳක් තොලගාන්න ලැබුනේ නෑ .ඒ හින්දම නදීක අනික් අයගෙන් අහපු බැනුමුත් කෙලවරක් නෑ .නදීක බොහෝ සහෝදර සෙනෙහසින් මාව එහෙදි බලාගත්තේ කෑමට බීමට පවා සීමාමායිම් පනවලයි.ඇත්තටම කෑමබීම වලදි ඒ තරම් පිරිසිදුකම ගැන සැලකිල්ලක් දක්වපු චරිතයක් මට මුණ ගැසිලත් නෑ. ඉතින් ඒක වෙනම කතාවක්.

ඊටත් කාලෙකට පස්සේ මම ඉන්දියාවට යන්නේ වසන්තිත්, තවත් මාධ්‍යවේදීන් කීපදෙනෙක් එක්කයි. ඒත් මාධ්‍ය කටයුත්තකට . එග්මෝර් දුම්රිය පොලේ විතරක් නෙමෙයි චෙන්නායි ,ටීනගර් වගේ අපි ආගිය හැමතැනකදීම වසන්ති හෙව්ව බීමක් තිබුනා ඒ තමයි සරුවත් . මහ වැස්සේ ,තෙතබරියම් වුනු වීදී දිගේ දෙපස තියෙන කඩවල්වල සරුවත් තිබුනේ නැත්තේ වසන්තිගේ අවාසනාවට වඩා මගේ වාසනාවකට කියලා මට හිතුනේ .

ආයේ කාලෙකදි අපි දෙන්නා යාපනේ ඇතුලු උතුරේ තැන් කීපයකට ගියේ බිම් බෝම්බ ඉවත් කිරිම, එහි ජනජීවිතය ගැන අධ්‍යානයක් කරන්න. එහෙදිත් වසන්ති ගේ සරුවත් දොලදුක උපන්නා .අපි ඇවිදින හැමතැනකදීම වසන්ති ගේ ඇස්දෙක සතුටින් හෙව්වේ සරුවත් කියලා මම දැනන් උන්නා . දෙයියන්ගේ නාමෙට සරුවත් හම්බුවෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කලා. කොහොම හරි මේ සරුවත් දොලදුක ආරංචි වුන බූ ඔය කෑම්ප් එකේ හමුදා නිලධාරියෙක් වසන්තිට විතරක් නෙමෙයි මටත් සරුවත් බෝතලයක් ලැබෙන්න සලස්වලා තිබුනා .

මේ ගමන පොත් සල්පිලේදි ආයෙත් සරුවත් කතාවක් ඇදිලා ආවේ, ලන්ඩනයේ හිටපු කොළඹ ගමයා අජිත් නිසයි. ලන්ඩනයේ විතරක් නෙමෙයි රුසියාවෙත් අවුරුදු ගානක් ජීවත් වුනු , ජින්, විස්කි බ්‍රැන්ඩි වොඩ්කා රහබලපු අජිත්ට කස ඇට දාපු අයිස් සරුවත් බොන්න බොහෝම ප්‍රේමනීය ආසාවක් ඉපදිලා. පොත් සල්පිල පුරා අතින් කටින් පොත් එල්ලගෙන මහ වෙහෙසකින් මගේ පොතුත් උස්සගෙන ආපු වසන්තිගේ ඇස් දෙක තරු දෙකක් වගේ දිදුළනවා . පාට පාට ,මේ සරුවත් බොන්න මගේ හිත නම් පැකිලුනා .ඉතින් වසන්ති කිව්වා වගේම උණුම උනු බතල පොල් ලුණුමිරිස් එක්ක බතල පිගානක් හිස්කරල සරුවත් බිව්වා ඒ ගැලපීම නම් මට හිතා ගන්න බෑ. හරියට බෝල්ට් ඇණයි අයිස් ක්‍රීම්‍ වගෙ. නොගැලපෙන දහසක් අතරේ ගැලපෙන දේවල් හමු වෙන විදිය...

- පද්මිණි මාතරගේ 

15 comments:

  1. අපොයි සරුවත් බොන්න විඳල තියෙන දුකක්.

    ReplyDelete
    Replies
    1. කිසි දුකක් නැහැ. මේවා මේ psyops. ජනාධිපතිවරණ මඩ ගසා ගැනීම් , මරණ තර්ජන මග හැර සරල සුගම වැඩි තේරුමක් නැති මතකයන් සංසරණය කිරීම

      Delete
  2. ලංකාවෙත් සරුවත් ගැන තියෙන මතය එච්චර හොද නැහැ නේද ? අපි පොඩි කාලේ අම්මල අපිට ඕව බොන්න දුන්නේ නැහැ. මම මේ සැරේ අම්මත් එක්ක වාහනේ යද්දී එකක් බෝමුද කියල ඇහුවහමත් අම්ම කිව්වේ ඕවා බොන්න හොද නැහැ කියල. මමත් බීපු කාලයක් මතක නැහැ... හෙහ් හෙහ් ...

    ReplyDelete
    Replies
    1. අපට බොන්න දුන්නෙත් නැහැ ජරා වතුර කියල. ඒත් ඉතින් කල්පනා කරහන් මල්ලියේ රුපියල් පහක් විතර සාක්කුවේ තියන කාලේ සරුවත් එකක් අරගෙන ටික ටික බිබී පැයක් විතර එතැන "අරයා " එක්ක ඉන්න පුළුවන්. සරුවත් අයියලා මුකුත් කියනවද නැහැනේ නැහැනේ , පිටකොටුවේ තමා ඔය කඩ වැඩිපුර තිබුනේ. ඒත් නැත්නම් වඩේ එකයි ප්ලේන්ටියයි ගත්තම "අරය " එයාගේ වඩේ කොනහ කොනහ හිමින් කන ගමන් ඒකෙනුත් කෑල්ලක් දෙනවනේ. එහමනේ ඕවා වෙන්නේ

      Delete
    2. හෙහ් හෙහ් මට නම් අවංකවම සරුවත් මතක කියල නම් මෙලෝ දෙයක් නැහැ. මට සෙට් වෙච්ච "අරය" නම් සරුවත් තියා හෝටලේ හතර මායිමේ කුණු තිබ්බත් යන්නේ නැති ලෙවල් එකේ. දැන් නම් ටික ටික මගේ කුණු ගති වලට හුරු වෙලා ... හෙහ් හෙහ් ...

      Delete
  3. අක්කරේපත්තුවේ හිටියා සම්සුදීන් කියලා මගේ යාළුවෙක්. එයාගේ ගෙදර ගිය දවසක හොදම තණමල්විල වීඩ් පාරක් ඇදලා රූබර මුස්ලිම් ලඳක් සාදපු සරුවත් එකක් බිව්වා. දිව්‍යලෝකේ රහ.

    ‘මුලින්ම වතුර ළිපේ තියනවා. ඊළඟට ඒක නටාගෙන එනකොට සීනි දාලා හොඳට උකු වෙනකම් හැඳි ගානවා. ඊළඟට පැණිවල ප‍්‍රමාණයට බිත්තරයක් නැත්නම් දෙකක් කඩලා දානවා. ඊළඟට කලරින් දානවා. ඊළඟට නිවෙන්න තියලා බෝතල්වලට දාගන්නවා. කවුරු හරි සරුවත් ගන්න ආවාම මේකෙන් හැන්දක් දෙකක් වීදුරුවට දාලා අන්නාසි ටිකක් හීනියට කපලා දාලා ඒකට දොඩම් ගෙඩියක් දෙකක් මිරිකලා කසකසා ඇට ටිකක් දාලා අයිස් කැට දාලා හොඳට කලවම් කරලා දෙනවා. ඒකට තමයි සරුවත් කියන්නේ. මේක කොහෙන් ආවාද කියලා නම් අහන්න එපා. ඒවා මම දන්නේ නැහැ. සමහරුන්ට කිරි රස ඕනෑ කිව්වාම අපි මේකට ටින් කිරි හැන්දක් දෙකක් දානවා. එතකොට තවත් රසයි. අයිස් කැට නටන රතුපාට වතුර අර කෝප්පයෙන් මේ කෝප්පයට පනිනවා. හරියට ඉස්සර කිරි යාරයක් දානවා වගේ. කස කසා ඇට අයිස් කැට උඩ නළියනකොට මම රතුපාට සරුවත් සේරම ගුඩු ගුඩු ගාලා උගුරට හලා ගන්නවා.’

    ReplyDelete
    Replies
    1. බුදු සංතෝ ඇනෝ බොහොම ස්තූතියි මේ ප්‍රතිචාරයට . හදන හැටි හිතේ කිසි කහටක් නැතිව කියල දුන්නට. ගෙදර ගිහින් අන්නාසි කෑලි , දොඩම් දාල බලන්නම්

      Delete
    2. හදල බිල බලන්න හිතුන මටත් .... ස්තූතියි ඇනෝ

      Delete
  4. I do not get any stomach problems, thanks to Pita Kotuwa and K'Pitiya Saruwath and Ali Pera with ice cream. Aaaaa, good old days.

    However this story is so funny, I did not think girls going after this so called 'Kada Chooru'. I always thought girls eat/drink 'Kada Chooru' since we couldn't buy them fancy food at the time.

    ReplyDelete
    Replies
    1. Some girls do. If the boy friend does. In Sri Lanka there were limited choices those days unlike now.

      Delete
  5. ඉන්දියාවේ යන ගොඩක් අයට සරුවත් බිව්වත් නැතත් බඩ ලෙඩ වෙනවා. නදීක වගේම යහළුවෙක් මටත් 'කන්‍යා කුමාරි' කෝවිල ළඟදී දෙහි බීම බොන්න දුන්නේ නැහැ.

    මට හරිම පුදුම කරුණාසේන ජයලත් මහත්තයාගේ 'දමයන්තිට' කස ඇට දාපු සරුවත් බොන්න හැදුනු ආසාව කාටවත් මතක් නොවුණු එක ගැනයි. (මට තියෙන්නේ වැරදි මතකයක්වත්ද? ගොළු හදවතෙන්ම තමා හොයාගන්න වෙන්නේ.)

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවේදී නම් තේ ඇරෙන්නේ මම ත් වෙන මුකුත් බිව්වේ නැහැ. බයටම. ජයලත් ගේ කතාවෙන් තමයි ඕක ආවේ. නොලිව්වේ හැමෝම දනනවා කියල හිතල.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .