Saturday 16 November 2019

කවුරු දිනුවත්

"ප්‍රථම  ප්‍රේමය ඔබ නොවේ " පොතේ දොරට වැඩුම  මෙන්ම ඊට කලින් පොතේ දොරට වැඩුමට ද බ්ලොග් උළෙල වලටද ආ යහළුවන් ගෙන සමහරක් යු ඇන් පී හිතවාදීන්ය . සමහරක් ශ්‍රීලනිප ය. සමහරු ගෝඨා වාදීන්ය. තවත් සමහරු ජේවීපී  හෙවත් ජෙප්පන්ය. මේ සියල්ලන්ම මිතුරු කම සලකා පැමිණියවුන් වෙති. ඒ නිසාම  මම ෆේස් බුක් දේශපාලනයේ යෙදෙන්නේ නැත. කාට ඡන්දය දෙන්නට දැයි කීමට මට නොහැකිය. එය මගේ වැඩක් නොවේ. එනිසාම එසේ කලේ නැත.

නමුත් මගේ සරල තර්කයක්ද තිබේ. පෞද්ගලිකව නම් ඕලෙවල් අසමත් අයෙකුට චන්දය දෙනවට වඩා  ලෙෆ්ටිනන්ට් කර්නල් කෙනෙකුට ඡන්දය දෙන්නට මම කැමතිය. ලෙෆ්ටිනන්ට් කර්නල් කෙනෙකුට වඩා ජෙනරාල් වරයෙකුට චන්දය දෙන්නට කැමතිය. ජෙනරාල් කෙනෙකුට වඩා විශ්ව විද්‍යාල උපාධි ලත් ඉන්ජිනේරුවෙකුට, වෛද්‍ය වරයෙකුට, දර්ශනවාදියෙකුට ගුරුතුමෙකුට, හෙදියකට ඡන්දය දෙන්නට කැමතිය. මේ හැමටම වඩා අසීරුවෙන් ඉගෙන රැකියාවක් කර  දරු මල්ලන් හදා වඩා සමාජයට දායාද කල ජීවිතය දත් පියෙකුට හෝ මවකට ඡන්දය දීමට කැමතිය.

පියානෝ ගහන ගිටාර් ගහන සොමියේ සිටින කලාකාමියෙකු සමග සින්දුවක් කියා හවසක් ගත කිරීමට කැමතිය. එහෙම කලාට  ඔහුට ඡන්දය දෙන්නට යන්නේ නැත.

මේ සරල තර්කය අතර වඩා අසීරු තර්ක තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය බේරා ගැනීම,  සිස්ටම්  චේන්ජ් කිරීම (සිස්ටම් චේන්ජ් කරන්නට කතා කරන බොහෝ අයගේ මතය එය වාහනයක ඔයිල් චේන්ජ් කිරම වැනි ලෙහෙසි වැඩකි යයි මට සිතේ. ගැරේජ් බාස් හොඳ නැත්නම්  ඔයිල් චේන්ජ් එක වුව හරියට කෙරෙන්නේ නැත),   නිවැරදි තැන සිට ගැනීම, ලංකාව ශ්‍රේෂ්ඨ රටක් කිරීම, ඇමෙරිකාවේ හෝ එංගලන්තයේ සිටිමින් අධිරාජ්‍යයන් පැරදවීම මේවා අතරින් මුල් තනක් ගැනී. බුකියේ අසීරු තර්ක කතා කරන්නේ නැත. ඒවා බ්ලොගයට සීමා කරමි.

කවුරු දිනුවත් ඔබලා  උපන් හා ජිවත් වන රට තව තවත් දියුණු කර ගන්න. ඒ සඳහා කටයුතු කිරීමට   දිනන්නා ට බල කරන්න.  

27 comments:

  1. //කවුරු දිනුවත් ඔබලා උපන් හා ජිවත් වන රට තව තවත් දියුණු කර ගන්න. ඒ සඳහා කටයුතු කිරීමට දිනන්නා ට බල කරන්න.//

    මෙන්න මේ වාක්‍යය දැක්කාම මට යමක් ලියන්න හිතුනා. ප්‍රායෝගිකව (ලංකාවේ)මෙවැනි දෙයක් සිදු වියහැකි ද ?? "පුද්ගලිකව අපට කිසිම උදව්වක් අවශ්‍ය නැහැ, රට වෙනුවෙන් මේ මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න" කියා ඉල්ලා සිටින පක්ෂ ක්‍රියාකාරීන් හෝ සාමාජිකයින් (චන්දදායකයින්) කී දෙනෙක් ලංකාවේ ඉන්නවාද ??
    දේශපාලකයින් රටට වැඩ කරනවා වෙනුවට තම බඩ වඩා ගැනීම ගැන කියැවුනත්, ඔවුනට චන්දය දී පාර්ලිමේන්තු යවන චන්දදායකයින් බහුතරයක් බලාපොරොත්තු වන්නේත් ඒ දේම (ලොක්කත් හොඳට කාලා, අපිටත් කටුවක් හරි දේවි කියන එක ) නේද ?

    වර්තමානයේ ලංකාවේ තියන මාධ්‍ය නිදහස, නීතියේ ආධිපත්‍යය රැකීම, මානව හිමිකම් රැකීම වැනි දේවල් මීට කලින් තිබුන රජයන්ට සාපේෂව ඉහල මට්ටමක පවතිනවා යැයි මම හිතනවා. නමුත් ඒ දේවල් රටේ යහපත වෙනුවෙන් යොදාගන්නේ කොතරම් කලාතුරකින්ද ? මාධ්‍ය නිදහස, නීතියේ අධිපත්‍යය, මානව හිමිකම් රැකීම වැනි දේවල් අවභාවිතා කිරීම දැන් සාමාන්‍ය දෙයක් වෙලා නේද ?

    කොයි මිකැනික් මීළඟ ජනපති උනත්, ඔබ කියූ ආකාරයට හොඳ "ඔයිල් චේන්ජ්" එකක් සිදු නොවිය හැකි බවයි මට හිතෙන්නේ. කිසිම ප්‍රතිඵලයක් තවමත් පිට වී නැති මේ මොහොතේ (ලංකා වේලාවෙන් පාන්දර 2.00 ) ඊට මම හිතන හේතුව ලියන්නම්.
    ගෝඨාභය මහතා දිනුවොත් ඔහු යම් තරමක අළුත් සිස්ටම් එකක් සඳහා යම් උත්සාහයක් හෝ ගනීවි යැයි මට හිතෙනවා. නමුත් ඒ සඳහා ඔහුට පාවිච්චි කිරීමට සිදුවන්නේ ටිකක් දරදඬු පාලනයකුයි. වර්තමානයේ තියන මාධ්‍ය/නීතිය/මානව හිමිකම් නිදහස හා ඔහු වටා සිටින යල් පැන ගිය අදහස් සහිත දූෂිත දේශපානඥයන් සමග ඒ දේවල් කරන්න පහසු වෙන්නේ නැහැ.
    සජිත් මහතා දිනුවොත් මේ යන ආකාරයටම මාධ්‍ය/නීතිය/මානව හිමිකම් වල විශාල වෙනසක් ඇති වේ යැයි මම හිතන්නේ නැහැ. Sanitary Pads නොමිලේ ලැබීම හැරුණු කොට රට දියුණු කිරීම වෙනුවෙන් ගන්නා ඉදිරි පියවරක් ගැන නම් මට හිතා ගන්න බැහැ .

    ReplyDelete
    Replies
    1. තවමත් අපේ රටේ ඉන්නා බහුතරයක් දෙනා ආත්මාර්ථය විනා රට ගැන ඉස්සෙල්ලා හිතන අය නෙවෙයි වගේනෙ.

      ඔන්නොහේ කන එකෙක් කාපුවාවේ, අපටත් ටිකක් දෙනවා නම් කාටවත් මොකෝ? කියලා තමයි හිතන්නේ.

      වැඩියත්ම වෙන්නේ වටේ ඉන්න එවුන් රජවෙන එකයි, උන්ට හිතෙන දෙයක් කරන්න වරම් ලැබෙන එකයි!

      Delete
    2. ශ්‍රී ලංකාව යනු ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටක්.
      සිංහලයෙක් එහෙම රටක්ගැන හිතීම අතාර්කික එකක්.

      Delete
    3. සෑම් ඔබේ ප්‍රතිචාරයට ඉතාමත් ස්තුතියි. ඔබ නිවැරදියි හුඟක් තැන්වල. දැන් ගෝඨාභය මහත්මයා දිනලා ඉන්නේ. ඔහුට සුභ පතන ගමන් මම හිඅත්න්නේ එක අතකට ඔහුට පුළුවන් මේ අවිනීත මිනිසුන් යම් පමණකට නාස් ලණු දාල හරි ගෙනියන්න. මීගමුවට බෝම්බ ගහල මදි කියන උන්දලා හෙම. ගෝඨාභය එතන නැහැ කියල මම හිතනවා. යුද්ධ කාලේ කරපු මර්දනය කරන්න වශය නැහැ කියල හිතමු. ඔහු ස්ටාලින් වගේ කිසියම් විධිහකින් කොළඹ හැදුව. ඒක ඉදිරියට අවොත් හොඳයි. එපමණයි. වැඩි බලාපොරොත්තු තියා ගන්න බැහැ,. සජිත් ගෙන් ලොකු දැක්මක් ආවේ නැහැ. ඔබ සමග එකඟයි .

      Delete
    4. //තවමත් අපේ රටේ ඉන්නා බහුතරයක් දෙනා ආත්මාර්ථය විනා රට ගැන ඉස්සෙල්ලා හිතන අය නෙවෙයි වගේනෙ.// නිදි මේක හැමතැනම තිබෙන දෙයක්. මොන විධිහකින් යමක් කරන්න හිතන් ආවත් ඒකටත් කෑ ගහන අය ඉන්නවා. ලංකාවේ කරන්න බැහැ පරාර්ථකාමී දේවල් ලෙහෙසියෙන් . එනිසා ගෝඨාබය වගේ කෙනෙක් දිනන එකෙන් හොඳක් වෙන්නත් පුළුවන්. මම හැම වෙලේම සුභ වාදීව හිතන කෙනක්.
      @අන්තෝනියෝ - තේරුනේ නැහැ. ලංකාවේ ඇන්ග්ලිකන් කට්ටිය 1% වඩා අඩුයි නේද?

      Delete
  2. කොළඹ ගමයා හිරු නොබසින අධිරාජ්‍යයේ සිටන්ම ඉතා පරෙස්සමින් ගෙනත් තිබූ ජොනි වෝකර් "නෙළුම් යාය" ම්මාන උළෙලට යන්නම ඕනා උන නිසා, බඩ වඩා ගැනීම ගැන කියැවුනත්ජොනි වෝකර් වලට වග කියන්න ගියේ, අජියාගේ හිත රිද්දන්න අකමැති හේතුව නිසා මිසක්ක, ඔය මළ ජරාවට අපේ ඇති කැමත්තක් නිසා නම් නෙමේය. ඒ බවට ගැන දන්නා ඕනා එකෙක් හොඳින්ම දන්නවාය.

    ReplyDelete
  3. මහත්මයා එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකයේද වැඩ කරන්නේ ?

    ReplyDelete
    Replies
    1. කවදාවත් කිසිම පක්ෂයකට වැඩ කරලා නැහැ. මාධ්‍ය වැඩ කරලත් නැහැ. බ්ලොග්කරන්නේ මට හිතෙන දේ ලියන්න.

      Delete
  4. ගොයිගම සිංහල බෞද්ධයෙක් ද? නැත්නං බත්ගම සිංහල බෞද්ධයෙක් ද?

    ReplyDelete
    Replies
    1. විදේශිකයෙක්

      Delete
    2. අජිත් එහෙනම් ඔබ අහවල් දෙයකටද ලංකාවේ දේශපාලනය ගැන උනන්දු වෙන්නේ

      Delete
    3. මම රටාවල් කිහිපයකම දේශපාලනය ගැන දැඩි සේ උනන්දු වෙනව. රුසියාව, ජර්මනිය, බ්‍රිතාන්‍යය උපන් රට වන ශ්‍රී ලංකාව. ඒ තර ලෝකයේ අනිත් රටවල් ගැනත් උනන්දුයි. ඒකෙ වැරැද්දක් තියනවද? ඔය කුල ප්‍රශ්නයට උත්තරය හැටියට විදේශිකයෙක් කීවේ ඒ වගේ ප්‍රශ්න වලට අකමැති නිසා.

      Delete
  5. ගෝඨා වටේ සිටින අය සමඟ එවැනි දෙයක් කලොත් ඔහු ඉතිහාස ගත වෙනවා. වීරවංශ, ගම්මන්පිල වැනි ඇමතිවරු ඉදිරියට පත් වේවි.පරන සුපුරුදු සෙල්ලම් හෙට සිට දකින්න පුළුවන් වෙයි. උතුරේ ජනයා විසින් 2015 සහ මෙවර චන්දය පාවිච්චි කල ආකාරය බලන්න.ඒ පණිවිඩය සුබ එකක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. සිංහල ජනයා විසින් 2015 සහ මෙවර චන්දය පාවිච්චි කල ආකාරය බලන්න.ඒ පණිවිඩය පට්ටම සුබ එකක්
      .

      Delete
    2. ගෝඨාභය රාජපක්ෂ මර්වින් ගේ පුතාට ගේමක් දුන්න ඕනෑවට වැඩිය උඩට යන්න හදල. මතකද? එනිස ගෝඨාභය ය එක්ක ලෙහෙසි වෙන්නේ නැහැ. මහින්ද වගේ. මහින්ද එක්ක ශේප් කර ගන්න පුළුවන් දේ ගෝඨාභය එකක් බැරි වෙයි.

      Delete
  6. අජිත් වගේ උදවිය ගෝටා එනවට අකමැති උනා. හැබැයි තියෙන උද්දච්ච කම හරි වෙන මොකක් හරි දෙයක් නිසා ගෝටාව පරාජය කිරීමේ හැකියාව තිබුන සජිත්ට සහය දුන්නේ නැහැ. වෙනින් දේවල කියමින් සිටියා. වඩා නරක දේ ඉවත් කිරීමේ අවස්ථාව දැන් අහිමිව ඉවරයි. යහපාලන රජය යටතේ තිබුන නිදහස නිසා ඔබ වැනි අය අධිතක්සේරැවෙන් සිටියා විය හැකියි. දැන් ඉතිං කරන්න දෙයක් නැහැ. 2025 වසර වෙන තෙක් ගෝටාභය ජනපති. ඒ වන තෙක් අගමැති මහින්ද රාජපක්ෂ විය හැකියි. වහල්ලු වගේ ඉමු ඉතිං, වෙන කරන්න දෙයක් නෑ. මොකද ජිවිතේ රැක ගන්න එපයි ලංකාවේ ඉන්න අපි මොනා කරන්නත්..

    ReplyDelete
    Replies
    1. මම ගෝඨා එනවට කැමති වුනෙත් නැහැ අකමැති වුනෙත් නැහැ. මම චන්ද්‍රගුප්ත තේනුවර ගේ ගෙදර කෑමට ගිය වෙලේ මාතලන් කිව්වා මාත් එක්ක ඩ්‍රින්ක් එකකට වත් හමුවෙන්නේ නැහැ කියල. මම කිව්වා ඒකට ප්‍රශ්නයක් නැහැ කියල. මාතලන් තවම මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ. ඒ වගේම තමා අනිත් අයත්. ගෝඨා එන එක වැරදි නම් ඒක වලක්වන්න කාට හරි ඕනේ නම් ඒ අවස්ථාව 2015 දී ලැබුන. රනිල් මොකද අකාලේ රවී , කිරි ඇල්ල හෙම මොකද කලේ? සජිත් ප්‍රේමදාස කිලී එක්ක රනිල්ට වලි දැම්ම. මෛත්‍රී ට තරහ යන්නත් හේතු තිබුන. මෛත්රිව රැවැට්ටුව නිසා. මම කියන්නේ නැහැ ඔහුගේ හැසිරීම පස්සේ හරි කියල.සජිත් ට කොහොමටවත් සහය දෙන්න මගේ එතරම් කැමැත්තක් තිබුනේ නැහැ. මට චම්පික රණවක ඊට වැඩිය හොඳයි. තාත්තා ජනාධිපති වුනා කියල පුතා ජනාධිපති වෙන්න අනිවාර්ය නැහැ. හැබැයි මට ටිකක් විතර කැමැත්ත ආවේ අර පෑඩ් කතා අරව මේවා නිසා. ඒ කියන්නේ මානුෂික නිදහස ගැන කතා කරානම් ගොන් කතා නොකිය සහය දෙන්න තිබුන. හැබැයි ඒවා එන්න තිබ්බේ කලින්. අනික් හේතුව ඇනෝ අපි මොකටද මොන අපේක්ෂකයෙකුට වත් කඩේ යන්නේ. එහෙම කඩේ ගියොත් කියයි මේ බ්ලොග් ලියන්නෙත් ඒ දෙන සල්ලි වලට කියල. ඒ කාඩ් එක වැදෙනවට මම කැමති නැහැ. නෙලුම් යායෙන් අයින් වෙන්න එක හේතුවකුත් ඒක. අන්තිමට ඒකට අටෑක් කරපු අයම වෙන අපේක්ෂකයන්ට කඩේ යනවා දැක්ක. ඕව ඔහොම තමයි. අනික අපි වගේ අලුක්කාල් සජිත්ට සහයෝගය දුන්න කියල මුකුත් වෙනස් වෙයිද? ඒත් නැහැ.

      Delete
    2. අපි මොකටද මොන අපේක්ෂකයෙකුට වත් කඩේ යන්නේ. එහෙම කඩේ ගියොත් කියයි මේ බ්ලොග් ලියන්නෙත් ඒ දෙන සල්ලි වලට කියල. ඒ කාඩ් එක වැදෙනවට මම කැමති නැහැ. නෙලුම් යායෙන් අයින් වෙන්න එක හේතුවකුත් ඒක. .......////පට්ට පල් අමූලික බොරුවක්

      Delete
    3. පට්ට පල් අමුලික බොරුවක් වෙන්නේ කොහොමද? එහෙම කතා කී දෙනෙක් කිව්වද? කොටින්ම මම හිතේ කැමැත්තෙ ආධාර කරපු තැන් වලදී පවා සමහරු හිතුවේ සල්ලි අරන් කියල කාගෙන් හරි. යාලුවෝ පවා. නෙලුම් යාය දේවලට ලංකානිව්ස්වෙබ් නෙලුම් යාය පදනම හරහා වියදම් කළ එක ඇත්ත. ඒකත් නිව්ස්වෙබ් එකේ මිසක් මගේ නෙමෙයි නේ. මම අක්වදවත් මේ බ්ලූග් එකේ කඩේ ගිහින් නැහැ. මට අවංකව හිතෙන දේ ලීවා මිසක්.

      Delete
  7. What's done is done. I voted for Gota, hoping he will do things differently. I lived in Singapore and most of current leaders came from military, including current PM.

    Lot of people written why SIN model will not work for us, then again our people are good at pointing out why it will not work. People looking for 'Wal Booru' freedom with not like Gota's style.

    Hope to see more stability in universities and workplaces, less gang violence in streets. And of course economic improvement and smaller and efficient govt with few military personnel appointed to the govt.

    North and East voting clearly show they hate Gota for killing their sun god. And the idea of getting minority to decide our President is smashed by Sinhala Buddhists, well done Sri Lanka.

    ReplyDelete
    Replies
    1. I think there will be some economic progress as businesses like stability. Also more buildings and roads would be built. I am not sure about the civil liberty.

      Delete
  8. නීතියට වෙට්ටු දාපු ගෝටාබය,දූශිතයො රැලක් වටේ තියාගෙන,රට ඉස්සරහට ගෙනියනව කියල හිතනවනම් ලොකු මුලාවක්.හෙට අනිද්ද වෙද්දි යුරෝ එක නම් ගොඩක් ඉහල යයි.තව ඉඩම් කෑල්ලක් අරන් දාල හිත හදා ගන්නව.

    ReplyDelete
    Replies
    1. අන්න ඒ වගේ වැදගත් වැඩක් කර ගන්න. ඉස්සරහටත් හොඳයි. ඉඩම් හැම වෙලේම ගණන් යනවා.

      Delete
  9. Ajith, Civil liberties are secondary when you are at the bottom of the pit. First people need to get basic necessities.
    Lot of people (from outside) criticise Singapore for lack of civil liberties, but for day to day people do not feel like that.

    Defamation is criminal in Singapore, do you think it's a must have civil liberty to defame people willy-nilly and get away with it?

    ReplyDelete
    Replies
    1. That's what we were saying about Soviet Union. When we were living there some people did not mind that. Some started velvet revolution with Gorbachev. Now they are regretting it. In Singapore people are living ok as they have higher living standards. I have been to Singapore twice. I suggest Sri Lank first needed to get that state. Improve the economy of the lower strata. That's where Mahinda failed.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .