Thursday 16 January 2020

කාම්බෝජ සංචාරය 1 - සංචාරක විධායක මාර්ගෝපදේශක නිලධාරී

අහස්  ගව්වෙන් එහා ලෝකය බ්ලොගය කරන සහෘදයා අනුරුද්ධ වැලිගමගේ නිතර කියන කතාවක් තමයි කාම්බෝජ සංචාරය ගැන ලියන්න කියල. මීට  කලින් ලංකාවේ  ගිය වෙලාවක දඹුල්ලේ ගයිඩ් මහතෙකු ගැන මෙතැන ලීවා. මේ දවස් වල බුකියේ සඳහන් වෙන සංචාරක  ක්ෂේත්‍රයේ නව තනතුරු කිහිපයක් නිසා සංචාරක මාර්ගෝපදේශකයන් ගෙන්ම කතාව පටන් ගන්න හිතුව. හැබැයි නිකම්ම ටුවරිස්ට් ගයිඩ් හරි සංචාරක මාර්ගෝපදේශකයෙක් කිව්වහම තරහ යයිද දන්නේ නැහැ.. ප්‍රතිචාර දක්වන්නෙක් වගේ  ලියන්න බෑ බෑ වගේ. හිත රිදෙයි ද දන්නේ නැහැනේ. ඒ නිසා මම ඒ අයව හඳුන්වන්නම් සංචාරක විධායක මාර්ගෝපදේශක නිලධාරීන්  කියල.

පින්තූරයේ ඉන්නේ මම කාම්බෝජයේ දී හයර් කරපු එහෙම නැත්නම් වෙන් කරගත් සංචාරක මාර්ගෝපදේශක මහතා. මෙයා ගේ දවසේ මිල ඇමෙරිකන් ඩොලර් 35 විතර. ඒ ගානේ වරදක් නැහැ මොකද මෙයා සෑහෙන්න උගත් කෙනෙක්. ඉතාමත් හොඳට ඉංග්‍රීසි භාෂාවෙන් ඉතිහාසය ඇතුළු වෙනත් අවශ්‍ය  දේවල් විස්තර කරල දෙන්න ඔහුට හැකියාව  තිබෙනවා.


මම දුටුව දේ තමයි හැමෝටම මේ මාර්ගෝපදේශක  කාර්යය කරන්න කාම්බෝජ රජය ඉඩ දෙන්නේ නැතිබව. මේ මාර්ගෝපදේශකයන් ට   දීල තිබෙනවා යුනිෆෝර්ම් එකක්. ඇත්තටම ඒක කහ කමිසයක්. මාර්ගෝපදේශකයන  හැමෝම අඳින්න ඕනේ ඒක . ඒ සමගම ඔවුන්ට බලපත්‍රයකුත්   නිකුත් කරනවා. සංචාරක මාර්ගෝපදේශක  හැඳුනුම් පතකුත් එල්ල ගන්න ඕනේ. ඒක  තියෙන අය ට තමයි නිත්‍යානුකූල ලෙස ඒ කාර්යයේ  යෙදෙන්න පුළුවන්. සංචාරකයන්ටත් ඔවුන්ව දැක්ක ගමන් හඳුනා ගන්න ලෙහෙසියි. 

ලංකාවේ මෙහෙම තියනවද දන්නේ නැහැ. අපිට එක පාරක් මාතර  වෙහෙරෙහේන  විහාරයේදී බලෙන් ගයිඩ් මහත්මයෙක් ඇඟට ගොඩ වුනා. අපේ පස්සෙන්ම  ඇවිත් බැරි බැරියා ජර්මන් සහ ඉංග්‍රීසියෙන් විස්තර කියල (අපි අයින් වෙලා එපා කියල  ගියත්) අන්තිමට විශාල මුදලකුත් ඉල්ලුව. ඒ වගේ දේවල් වැළකෙනවා බලපත්‍ර නිකුත් කලොත් අයි ඩී එකක් එක්ක.



කාම්බෝජයේ  සංචාරක ත්‍රී වීල කියන්නේ විශාල ඉඩ කඩක් තිබෙන ඒවා. මෝටර් සයිකලයකට  කරත්ත කෑල්ලක්  ගහල හදල තියෙන්නේ. සුව පහසුයි. හතර වටේම හොඳට බලාගෙන ගිය හැකියි . කාම්බෝජ ගයිඩ් මහත්මයයි මේ අපූරු ත්‍රී වීලයේ රියදුරු මහත්මයයි එක්ක කෑමට ගිය වෙලේ මට දැන ගන්න ලැබුනේ සංචාරකයෙක් අරන් එනවා නම් ඔවුන්ට නොමිලේ කෑම දෙන බව.  නමුත් මම ගයිඩ් මහත්මයට අරාධනා කලා මාත් එක්කම කෑම ගන්න කියල මම ගෙවන නිසා. එක ආපනශාලාවකදී පමණක් ඔවුන් ඒකට ඉඩ දෙන්න බැහැ  කිව. (පින්තුරයේ තියෙන්නේ ඒක). හේතුව ජපාන සංචාරකයන් කණ්ඩායමක් ඉන්නවා කියල. අනික මාර්ගෝපදේශකයන්ට වෙනම  තැනක් සූදානම් කරලා තියනවා කියල කෑමට . මම කිව්වා බැහැ ,  එහෙම නම් මම යනවා කියල. ඒ ගමන ඔවුන් කැමති වුනා ගයිඩ් මහත්මයටත් මාත් එක්කම කෑම ගන්න දෙන්න.

මේ ගයිඩ් මහතා ටිම්, පොල්පොට් ගේ පාලන කාලයේදී ගමකට යවල තියනවා අනිත් අය වගේම. පොල්පොට් ට අනුව නව අධ්‍යාපනය දෙන්න හෙවත් ගොවිතැන්  කරන්න. එහෙදි  බඩගින්නේ ඉඳල සෑහෙන්න දුකක් විඳලා  තිබෙනවා කන්න නැතිව. ළමයි හුඟක් එක ගොන්නට පොඩි ගම ගෙවල් හා ශාලාවල ගොනු කරලා. කැඳ කෝප්ප දෙකයි දවසටම. වැඩ කලේ නැත්නම් ගහනවා කෙවිටකින්. සමහරු  මීයෝ , හූනෝ පවා බඩගින්නට කාල. ගුරුතුමෙක් වන ඔහුගේ පියා මරා දමා  තිබෙනවා  ඒ කාලෙම. මව සහ සොයුරිය  බඩ ගින්නෙම මිය ගිහින්. ඉතින් ඔහුට කෑම වේලයන්   කිහිපයක් අරන් දෙන්නට හැකිවීම  සහ එකට හිඳගෙන  කතා බහ කරමින්  කෑම ගන්නට හැකිවීම මට ගෞරවයක් කියල මම ඔහුට කිව්වේ.

ඊළඟ  කතාව මම නිතර කියන එකක්. ලංකාවේ  පින්නවල බලන්න  රුපියල් 5000 පමණ, සීගිරියට 6000 , අනුරාධපුරයට 15000 වගේම  අලි හැම වෙලේම නැති වස්ගමුවටත් 5000 වගේ ගෙවන්න ඕනේ. ලංකාවේ  සංචරක ව්‍යාපාරය ඒ මුදල් වලින් නගාසිටවීමට හැකි  නම් ඒ ගණන් වල අවුලක් නැහැ. නමුත්  එහෙම දෙයක් පෙනෙන්න නැහැ.  සංචාරක පහසුකම් හොඳ තත්වයේ නැහැ.

දැන් කාම්බෝජයේ  අංකර්  වත්  (Angkor Wat ) විහාර හා දේවාල සංකීර්ණය පුරාණ  ලෝකයේ පුදුම හතෙන් එකක්.  අති විශාල ඉඩ ප්‍රමාණයක් තුල  පැතිරිලා තිබෙන නිසා එක දවසකින් බලල ඉවර කරන්න අපහසුයි. එය නැරඹීමට  දවසකට ඩොලර් 37 ගන්නවා. ඒ කියන්නේ රුපියල් 6700ක්   විතර.  දවස් දෙකක් නම් ඩොලර් 60, තුනක්  නම් 72යි.. ගාන අඩුවෙනවා. ඒ ගානෙ  ඇත්තටම වරදක් නැහැ. එපමණට බලන්න පුළුවන් දේවල් තිබෙනවා. අතීත ගෘහ  නිර්මාණ ශිල්පයෙහි විස්මිත  සමත්කම්,  ඉතිහාසය සම්බන්ධව උගත හැකි රසවත් සහ  වැදගත් කරුණු රාශියක් තිබෙනවා. ඒ වගේම පරිසරයේ සුන්දරත්වය ගත්තමත් ඒ  මිලේ වරදක් නැහැ. ඒ වගේම සංචාරකයන්ට සැලකීම සහ පහසුකම් අතිනුත් හොඳයි.



අනිත් කරුණ තමයි රා නිෂ්පාදනයට ඉඩ දීම . කාම්බෝජයේ රා පෙරලා කෝප්ප වල දාල ඩොලර් එකකට සංචාරකයන්ට විකුනනවා. එතනින් අදායම් මාර්ගයකුත් හැදිලා තිබෙනවා. නන්දන වීරරත්න සහෝදරයා කියල තිබෙනවා දැක්ක  ආචාර්ය ඇන් ඇම් පෙරේරා රා මදින්න බලපත්‍ර දෙන්න හැදුවය, නමුත් යූ ඇන් පී සිරි ලංකා මන්ත්‍රී රොත්ත   විරුද්ධ වුනාය කියල ආගමික, ශිලාචාර හේතූන් මත . වයින් විකුනන්න පුලුවන්නම්, ඔවුන්ට  විස්කි බොන්න පුලුවන්නම්  රා මැදලා  විකුනන්න දුන්නම හෙණ ගහනවද ? නව ආණ්ඩුව ඒ වගේ දෙයක් ඇති කලොත් නව අදායම්  මාර්ගයකුත් හැදෙයි.

භාතිය හා සන්තුෂ් කියන්නේ මම කැමති ගායක කණ්ඩායමක්. ඔවුන් අසර්බයිජාන් ද කොහෙද ගිහින් දිනුව  කාලේ ඉඳන්ම තමයි  මම ඔවුන් ගේ  ගීත අහන්නේ. , සිරි සඟබෝ මාලිගාවේ වගේ  නව පර්යේෂණාත්මක ගීත වගේම උමාරියා එක්ක කියන ගීතත් නියමයි.  ඔවුන් නවතම දේ අත්හදා බැලීමට අමුත්තන්  නොවෙයි . එනිසා ඔවුන් සංචාරක  ප්‍රවර්ධන අධ්‍යක්ෂකවරු වරු වීම ගැන සතුටුයි. .

එසේම "අහංකාර නගරේ " කියන ගීතය රස වින්ද එයට  සාද වලදී නටපු කෙනෙක් ලෙස  ප්‍රසිද්ධ ගායකයෙකු හා සමාජ ජලා ක්‍රියාකාරික ඉරාජ් සම්බන්ධව නොයෙකුත් කතා කීවත් ඔහුත්  දක්ෂතාවන් ඇති අයෙක්  බව පිලි ගන්න ඕනේ.

ඔවුන්ට ලංකා සංචාරක කර්මාන්තයේ  ඇති ප්‍රශ්න දෙස නව මානයකින් බලා දේශීය සහ විදේශීය සංචාරක ව්‍යාපාරය තව නගා  සිටුවීමට  හැකිවේය  කියන සුභවාදී  ආකල්පයකින්  බලන්න කැමතියි.
යොමු (ලින්ක්ස් ) බලන්න නම්  බ්ලොගයට යන්න වෙයි.
දඹුල්ලේ ගයිඩ් 


33 comments:

  1. අපේ සංචාරක මාර්ගෝපදේශක සේවවවේ ඇති දුබලකම ඔබේ ලිපියෙන් කදිමට පෙන්වා දෙනවා. විදේශිය පමණක් නොව දේශිය සංචාරකයන්පවා නොමග යවමින් විස්තර කර හිතූමතේ කෙරෙන මග පෙන්වීම් බහුල බවත් එක්කො නැත්තටම නැති බවත් නිතරම පෙනී යනවා. පසුගිය ජුනි මස මිතුරු පිරිසක් සමග ගිය ඉසුරුමුණි සංචාරයේදී ඇතිවුන අවේගයන් විද දරාගත්තෙ බොහෙම ආමරුවෙන්.
    කාම්බෝජ සංචාරක උපදේශක සේවාව හා සසදන විට ඔවුන් කෙතරම් උසස් ගැනක සිටීද යන්න කදිමට පැහැදිලි වෙනවා.
    නව වෙනස් කම් හමුවේ මේ අහිතකර ස්වභාවයට ඉතා ඉක්මන් විසඳුම් ලැබේවායි පතන්නට ඔබ සමග මමද එක්වෙමි. (කාලයකට පෙර සබරගමුව සරසවියේ හා වෙනත් සරසවි වලින්ද සංචාරක කර්මාන්තයට අදාල අධ්‍යයන පාඨමාලා සම්පුර්ණ කළ තරුණ උපාධිධාරී ධාරීන් විශාල පිරිසක් ඇති බව අනුමාන කරම්)

    ReplyDelete
    Replies
    1. මේ හිතු මතේ ඉතිහාසය විකෘති කරමින් කරන මනස්ගාත කියන කට්ටිය හරියට ඉන්නවා. .කණගාටුදායකයි . ඔබේ ඉසුරුමුණි සඳහනක් කරන්න. වැදගත්වේවි. උපාධිධාරීන් ට රැකියා දුන්නොත් හොඳයි උපදේශක සේවාවක් වශයෙන්. ප්‍රතිචාරයට ස්තූතියි

      Delete
  2. අජිත්
    ඇන්කෝ වට් වලට ටිකට් දෙන තැනයි ,එතන තියෙන පහසුකම් වලට සමාන පහසුකම් සංචාරකයින් ට දෙන තැනක් ලංකාවේ තියෙනවද?

    ReplyDelete
    Replies
    1. ඇන්කෝ වට් වලට වීසා ගන්න පුලුවන් ආණ්ඩුවේ වීසා දෙන තැනින්. e visa පිට සමාගම් වලට යන්නේ නැතිව. මෙතන. ටිකට් ගන්නත් පුළුවන් මෙතැනින්ම.
      ලංකාවට ඒ පහසුකම ගෝඨාභය හිටි කාලෙම ලැබුන. 2009 පස්සේ. ඒ කියන්නේ දැනුත් ගත හැකි e visa . ඒක හොඳ දෙයක්. ලංකාවේ තැන වලට ටිකට් ගන්න නම් එතනටම යන්න ඕනේ. නැත්නම් තමන් ගේ ටුවර් එක බුක් කරපු ඒජන්සියෙන්. අපි වගේ ඒජන්සි නැතිව යන් අයට ඉතින් විධිහක් නැහැ. https://evisa.gov.kh/

      Delete
    2. කාම්බෝජයේ වීසා සහ අන්කෝ වට් ටිකට් https://evisa.gov.kh/

      Delete
    3. අජිත් මම අදහස් කළේ වීසා ලබා ගැනීම නෙමෙයි. ඇන්කෝ වට් වලට බලන්න යන අයට එතනදී ටිකට් ලබාගන්න ස්ථානය සහ පහසුකම් පිළිබඳව.කිසිම කෙනෙකුට රස්තියාදු වෙන්නෙ නැතුව ඉතාම පහසුවෙන් ටිකට් ලබාගන්න ලොකු බිල්ඩින් එකක් හදලා තියෙනවා වායුසමීකරණය කරලා ඔබ දකින්න ඇති. ඇතුල්වීමේ ටිකට් එකට ෆොටෝ එකක් අරන් ටිකට් එක දෙන්න විනාඩියක්වත් යන්නෙ නෑ. පෝලිමේ වැඩිමඋනොත් විනාඩි පහක් දහයක් තමයි ඉන්න වෙන්නේ. ticket counter ෑහෙන ප්‍රමාණයක් ඇරල තියෙනවා. අන්න ඒ වගේ සේවයක් ලංකාවේ කිසිම තැනක තියෙනවද? මට මතකයි ඔබ ලියල තිබුණා ඔබේ බිරිඳත් සමග සීගිරිය ද කොහෙද ගිහිල්ලා දැකපු අත්දැකීමක්.

      Delete
    4. සීගිරියේ එහෙම තැනක් තියනවා. ඇතුලේ කවුන්ටර් තියනවා. එතනට ගිහින් තමා ටිකට් ගන්න ඕනේ. කවුන්ටර් ගොඩක් නැහැ මට මතක විධිහට. ඒත් තියෙන ගාන ඇති කලබල නැති දවසක නම්. . පෝලිමේ ඉන්න ඕනේ ටික වෙලාවක්. ඒකෙ නම් අවුලක් නැහැ. වැසිකිලි ආදිය ගැන තමා ප්‍රශ්නය. ඒවායේ වැඩට කට්ටිය හිටියත් මේන්ටනන්ස් එක එපමන හොඳ නැහැ. අනික තමා සංචාරක ටිකට් ගත්ත අයව වෙනම තැනකින් අරන් යනවා උඩට ගිහින් අනිත් පෝලිමට එකතු වෙන්න. එහෙම මාර්ගයක් දීල තියෙන්නේ. ඒ පෝලිමේ අනිත් පැත්තේ එන්නේ දේශීය සංචාරකයෝ. එතැන සිකියුරිටි කවුරුත් නැහැ. ඉතින් දේශීය සංචාරකයෝ හිතන්නේ සුද්දෝ සහ අනිකුත් විදේශිකයන් පෝලිම පනිනවා කියල. සමහරු ගහන්ඩත් එනවා. මගේ දුවව තල්ලු කරපු පාර එයා ඇදැන් වැටුනා.ඒක තරහෙන් කලේ කියල දන්නේ බැනපු නිසා. (ඔය පර සුද්දන්ට පනින්න දෙන්න එපා කියල කියනවා මටම ඇහුනා) හැමෝම පර සුද්දෝ (ඉංග්‍රීසින්) නෙමේනේ. ජර්මන්, ඇමෙරිකන්, යුරෝපිය හැමෝම එනවා. මම ඊට පස්සේ ගියේ සාමාන්‍ය දේශීය සංචාරකයන් යන පෝලිමේ හැමතැනම. තව දෙයක් තමයි අපිට ඡායා රූප ගන්න දුන්නේ නැහැ සමහර එහෙම තහනම් නැති තැනත්. තාප්පේ අයිනෙන් යනකොට . (තහනම් තැන් වල ගහල තිබ්බ ෆොටෝ ගහන්න එපා කියල සාධාරණයි චිත්‍ර නාස්ති වෙන නිසා. අර සිගිරි යුවතියන් හෙම) නමුත් ආරක්ෂක නිලධාරීන් දේශීය අයට ගන්න දුන්නා . (වැඩිපුරම ගැහැණු ළමයි ඇහුවම)

      Delete
  3. අජිත් බොහොම ස්තුතියි විස්තර ලිව්වට. මම වැඩියෙන්ම කැමති අන්තර්ජාලයෙන් හොයාගන්න බැරි ප්‍රායෝගික කාරණා ලියනවාට. රොහාන් ඩිරෙක්ස් ගේ සංචාරය වැඩසටහනේ යන නුපුරුදු තැන් වගේ වගේ කාම්බෝජය කියන්නේ ගොඩක් ජනප්‍රිය ලැයිස්තුවෙන් පිට තැන් ගැන ලියපු එක ගොඩාක් වටිනවා. මගේ බකට් ලිස්ට් එකට තවත් ඒවා එකතු වෙනවා වගේ.

    ReplyDelete
    Replies
    1. මම හිතනවා ඔබ නම් අනිවාර්යයෙන්ම යා යුතු තැනක් කියල. රේඩියෝ එකකුත් කරන නිසා. අන්කොර් වට් ගැන ලියන්නේ ඊළඟට. ලස්සන තැන වලට අමතරව පොල්පොට් ගේ තැන් වලට යන්නත් අමතක කරන්න එපා.

      Delete
  4. අනුන්ට චරිත සහතික ලියපු එකාගෙ චරිත සහතිකේ අන්තිම බෑඩ්

    ReplyDelete
  5. දේශපාලනය පැත්තක තියල ඔබ සදහන් කරලා තියෙන කරුණු ගැන ලංකාවේ බලධාරීන් ක්‍රියා කරනවා නම් හොදයි. මේක ලිව්වාම මට අනික් අය සමහර විට පිටරට වලට ආ වඩනවා කියන්න පුළුවන්. ඒත් මම සංචාරය කල රටවල වගේම කැනඩාවේත් පුංචි වැදගත් කමක් තියෙන තැනක් ක්‍රමානුකුලව සංවර්ධනය කරලා මාකට් කරන විදිහ දැක්කම ලංකාව සංචාරක ආකර්ශනය තියෙන කොච්චර දේවල් වලින් පෝසත් ද කියල හිතෙනවා. මට හිතෙන්නෙ ඒ ආශ්‍රිතව ලංකාවෙන් විශාල පිරිසකට රැකියා දෙන්න පුළුවන් කියලයි. හැබැයි අජිත් කියල තියෙන විදිහට ආචාර ධර්ම ඇතුළු ගොඩක් දේ හදන්න වේවි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ඒ වගේ දියුණු කරන්න පුළුවන් හුඟක් තැන් ලංකාවේ තිබෙනවා.

      Delete
  6. ඔවාට තිබ්බේ කාම්බෝජේ නැවතිල රා ඩිංගක් පෙරන් පාඩු වේ ඉන්න

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ. බැනුම් අහන්නේ නැතිව. රා වඩියක් බීගෙන හිටිය හැකි :) හේ හේ

      Delete
  7. Not worth the ticket cost
    Review of Sigiriya The Ancient Rock Fortress
    Reviewed 18 August 2016
    No doubt it is very scenic and beautiful place but surely not worth the ticket cost ( 30 USD for foreigners, 15 USD for SAARC). The ticket cost for locals is just Rs 60. I am from India and I feel in India we have places better than this which we can visit free of cost. Otherwise it provide beautiful view from top. Lot of stairs to climb and people who are afraid of height will find it difficult to climb as stairs near top provides drop down view of valley with heavy winds blowing whole day. Place is not friendly to old people and they should avoid it. Dont plan to visit in noon time as it will be very hot. Lot of shops are there near parking lot where you can purchase Lankan souvenirs. Indian man's idea: Not everybody says this surely. https://www.tripadvisor.co.uk/ShowUserReviews-g304141-d4782530-r406924992-Sigiriya_The_Ancient_Rock_Fortress-Sigiriya_Central_Province.html

    ReplyDelete
  8. කෙටියෙන්ම කිව්වොත් සාමාන්‍යයෙන් ලංකාවට පැමිණෙන ධනවත් විදේශ සංචාරකයන්ට ලංකාවේ හොද පහසුකම් ලැබෙනවා. අඩු මුදලට පැමිණෙන සංචාරකයන්ට තමයි මේ වගේ දේවල් සිදු වන්නේ. මොනා උනත් පහුගිය ආණ්ඩුවේ වගේම මේ ආණ්ඩුවේත් නිල නොවන ප්‍රතිපත්තිය තමයි ධනවත් සංචාරකයක් ස්වල්පයක් ගෙන්වා ගැනීම මිසක්, හිගන විදෙස් සංචාරකයන් තොග පිටින් ගෙන්වා ගැනීම නොවීම.

    ReplyDelete
    Replies
    1. නමුත් ඉන්දියානු ටුවරිස්ට් ලා සහ චයිනිස් දෙගොල්ලම එනවා. දැන් අපි කිව්වේ නැහැ ගණන් වැඩිම කියල මේ ඉන්දියානුවා වගේ. අපේ අදහස ඒ ගානට සරිලන පහසුකම් දෙන්න කියන එක. අනික සාමාන්‍ය මධ්‍යම පන්තික ජර්මන් , බ්‍රිතාන්‍ය ටුවරිස්ට් ල සිගිරිය, අනුරාධපුර බලල දළඳා මාලිගාවට ගිහිලා තේ ෆැක්ටරියක් බලල ඊට පස්සේ තමා හෝටල් වලට යන්නේ. අපි හිටිය හෝටල් දවසට රුපියල් 8000 -13000 දක්වා. ඒවා හොඳයි. හොඳට සලකනවා. අඩුපාඩු නැහැ. අපි දන්නා ජර්මන් පවුලක් ඉන්නව හැම අවුරුද්දෙම ලංකාවට එනවා. ඔවුන් තමන් දන්න ලංකාවේ කට්ට්ටියක් හදාගෙන ඉන්නව. ඒ තැන් වලට විතරයි යන්නේ එනිසා අවුලක් නැහැ ඒ අයට . දැන් ඒ පවුලේ දුවල පුතාල බැඳලා ඒ ගොල්ලත් එන්නේ ලංකාවට.එහෙමත් තියනවා. අපි කියන්නේ ඔය ලනක්වේ බලන්න තියෙන තැන් න තව ටිකක් හොඳට හදල පාලනය කරන්න හොඳට. එපමණයි. හොඳ ලස්සන රටක්. වෙන රටවල් වල තරමටම ඊටත් වැඩි පෞරාණික නටබුන්, වෙරළ, කඳු , ගංගා , හිනාවෙන මිනිස්සු , තව පොඩ්ඩයි කරන්න තියෙන්නේ.

      Delete
  9. දැන් දැන් සංචාරකයන් ගසා කනවා වෙනුවට ක්‍රමවත්ව ඔවුන් තෘප්තිමත් කෙරෙන බවකුයි පෙනෙන්නේ. හැබැයි 100%ක් නෙවෙයි. මට හිතෙන්නේ වැඩියත්ම ගසා කන්නේ රාජ්‍ය ආයතන හා දෙපාර්තමේන්තු. ඒකත් විදේශිකයන්ගෙන්.

    මම දන්නා තරමට නම් ටුවර් ගයිඩ්ලාටත් බලපත් දෙනවා. නැතිව එහෙම රාජකාරි කරන අයට තහනමක් තියෙනවාද කියලා නම් අපැහැදිලියි!

    ReplyDelete
    Replies
    1. මම දන්නේ නැහැ බලපත් දෙනවද කියල. ජිවන ගෙන් අහන්න ඕනේ. දැන් එපමණ ම නරක නැතිව ඇති , මිනිස්සු දැනුවත් වේගන යනවා.

      Delete
  10. සිංහරාජය බලන්න යන්න දේශීය සංචාරකයන් හට මගපෙන්වන්නෙක් සඳහා එක් දිය ඇල්ලක් සදහා රුපියල් 1500ක් ගෙවන්න වෙනවා දිය ඇලි ගනනට මුදල් ගෙවන්න වෙන්නේ ඒ මං පෙතේ දිය ඇලි හතරක් පමණ තිබෙන නිසා අපිට එහෙමනං විදේශිකයන්ට කොහොම ගානක් ගන්නවා ඇත්ද?

    ReplyDelete
    Replies
    1. දිනුක මල්ලි ඔය ප්‍රශ්නය තිබෙනවා තමයි. අපිව වස්ගමු එක්ක යන ජීප් එකට 5000 හෝ 6000 ගෙව්වා. බලන්න ටිකට් එකට 5000 ගානේ අපේ හිටි 4 ට 20000 හරි 25000 ඔක්කොම. හරි පවුම් 110 ලොකු ගානක් නෙමේ කියමු පෙරලුවම. (මේ සීගිරියෙන් පස්සේ). අතේ මාරු කරපු රුපියල් ඉවරයි. අතේ තිබුනේ 1000. ඊට පස්සේ අපි රුපියල් 1000 රියදුරු මහතාට ටිප් එක දුන්න එක මදි කියල අපට කෑ ගැහැව්වා. පවුම් 5 ක ටිප් එකක් පැය දෙකක ගමනකට ද මදිද

      Delete
    2. වස්ගමුවේ වරුවකට ජීප් එකකට උපරිමය 5,000/යි. එහෙමත් දීලා ටිප් එකටත් දාහක් මදි කියල කෑගැහුවද?
      විල්පත්තුවේ (බස් එකකින් ගිය වෙලාවේ) පහුවදා ජීප් අරන් යනකල් (හිතවත්)ගයිඩ් කෙනෙක් එක්ක- අවසර පතකුත් අරගෙන වනෝද්‍යානය ඇතුලේ ටිකක් ගියා. මෙන්න බොලේ හම්බවෙන හම්බවෙන ජීප්වල ඉන්න අය අර ගයිඩ්ට පාට් දානවා, හින්ට් ගහනවා. හැබැයි, ඒ විල්පත්තුවෙදී විතරයි.

      Delete
    3. ඔව් බන් පොඩ්ඩක් ඇද්දා පොර .

      Delete
    4. බස් එකකින් වනෝද්‍යානයේ යන එක සියලු දෙනාටම කරදරයක් ඒ නිසා එහෙම දෙයක් නැවත කරන්න කලින් පොඩ්ඩක් හිතන්න

      Delete
    5. වස්ගමුවෙ ඩ්‍රයිවර්ලට ටිප් දෙන එක ජනප්‍රිය පුරුද්දක් නෙමෙයි අනික වරුවක ගමනකට වාහනේට 3000ක් වගේ ගන්නේ.

      Delete
    6. අපි බස් එකකින් වනෝද්‍යානයට ගියේ නැහැ. ජීප් එකකින් ගියේ. මේ ඒකට ගත්ත ගාන

      Delete
    7. අපිව එක්කන් ගියේ හවස. ඉතින් පැයක කාලයකට 5000 ගත්ත. මාත් එක්ක මගේ ජර්මන් බිරිඳ, දරුවන් දෙදෙනා සහ තවත් බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනෙක් හිටිය. බ්‍රිතානය් දෙදෙනා ජීප් එකට මුදල් දුන්න අපිත් එක්කම. (මම භාගයයි අනිත් දෙන්න 1/4 ගානේ ) ඊට පස්සේ ටිප් එකට තමයි වලිය ඇදුනේ. මිනිහ අපි හතර දෙනෙක්ගෙන් වෙනම ටිප් ඉල්ලුව.

      Delete
  11. Trying to comment in ur English blog, without success so far.

    ReplyDelete
  12. දැනට ස්ථානීය සංචාරක මාර්ගෝපදේශක බලපත් හා පළාත් මාර්ගෝපදේශක බලපත් අදාල පළාත් සබා මගින් පුහුණුවකින් පසුව ලබා දෙනවා.ලංකාවම ආවරණය වන සංචාරක මාර්ගෝපදේශක බලපත් ලබා ගැනීමට ඉතාමත් හොඳ පුහුණුවකින් පසුව පුළුවන් .එම බලපත් ලාභීන් හදුනා ගැනීමේ බලපත් පැලදගෙන ඉන්නේ

    ReplyDelete
    Replies
    1. ඉතා හොඳයි . මම දැනගෙන හිටියේ නැහැ.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .