Friday 10 January 2020

මේ හඬ පටය හැර තවත් හඬ පට තිබේද ස්වාමීනි

හඬපට පිළිබඳව සැලකිල්ලක් නොදක්වා සිටියේ ඒවායේ ඇත්තේ ජුගුප්සාජනක කතා යයි සිතාය . එක අතකට අනුන්ගේ ඕපදූප අසා පලක් නැති අතර අනිත් අතට රන්ජන් වැනි අයෙකු මෙය හිතාමතාම කර ඇති දෙයකි යයි ද සිතෙන නිසාය. එජාපයේ සිටියදී ඔහුට වුනු කෙනෙහිලිකම් මැද  පසුගිය  යහපාලන රජයේ වැදගත් ආයතන වන අධිකරණය සහ පොලිසිය මෙහෙයවූ සැඟවුණු නායකයා මොහුද යයි සිතෙන තරමට ඔහු ගේ ක්‍රියා කලාපය විශ්මය ජනක ලෙස දූෂිත බවට අදහස් පළවේ. මට නම්  පෙනෙන්නේ මුළු මහත් සමාජය පුරාම ඉහ වහා  ඇති වංචා, දූෂණ, පාවා දීම්  සහ දේශපාලන බලවතුන් ඇතුළු රටේ ඉහල යයි සම්මත පිරිසකගේ පිරිහීම මේවායින් පෙන්නුම් කරන බවයි.

දැනට හෙළිවී ඇති බොහෝ හඬපට යුඇන්පී නායකයන්ගේ සහ අධිකරණ විනිසුරන් ගේද නළු නිලියන් ගේද වස්ත්‍ර ගලවා දමන ඒවාය. ඇත්තම් පවසනවානම් මේ හඬ පටවලින් මතු වන්නේ  ශ්‍රී ලාංකික සමාජයේම එක්තරා  පැතිකඩකි. එකිනෙකාට මඩ ගසා  ගැනීම වෙනුවට මේවායින් එළිවන කරුණු ගැන පියවරක්  පසුපසට ගෙන විමසා  බැලිය යුතුය. රන්ජන් හා හිරුණිකා අතර හඬ පටයේ ඔවුන් එක්තරා ආර්යාවක් ගැන කතා කරති.

එම ආර්යා ප්‍රකාශය ගැන අපි බුකියේ සරදම් පෝස්ටු හුවමාරු කර ගත්තේ නැත්ද?  මම නම් ඒවාට ඇති තරම් සිනා සුනෙමි. යුඇන්පීයට සාමාන්‍යයෙන් පක්ෂ මිතුරන් පවා ඒවා හුවමාරු කරගනු දුටිමි.

ශිරන්ති රාජපක්ෂ, මෛත්‍රී වික්‍රමසිංහ එසේ අනවශ්‍ය කතා නොකියන බවට රන්ජන්  හා හිරුණිකා දෙදෙනාම එකඟ වෙති. මට මෙතනට හිටපු ජනාධිපති සිරිසේන ආර්යාවද එක් කළ හැකිය. ජේ ආර් ජයවර්ධන ආර්යාවද එක් කළ හැකිය. වර්තමාන ජනාධිපතිවරයාගේ ආර්යාව වතුර වීදුරුවක් ගෙන සාමාන්‍ය ගෘහණියක් හා මවක් මෙන් "තාත්තී දැන් එන්න " යයි කියන වීඩියෝවක් දුටිමි. ඇත්තටම එය දැක මටද යම් සුහදාත්මක හැඟීමක් පහල වුනි. මේ ආර්යාවන් සියල්ලන්ම පටි බේරාගෙන කට වරද්දානොගෙන සිටීම ගැන අපද අගය කළෙමු. පුතාණෝ ට වස්ත්‍රයක් ඇඳගෙන කඩේ යාමට හැකිදැයි ඇතැම් එජාපයට හිතවත් යහළුවන් කතා බහ කළ බව මම දනිමි. මේ සැබෑ තත්වය ම රන්ජන් හා හිරුණිකා ගේ  මුවින් පිට නොවූයේද?

මට ගෝටන් කෙනකු විසින් පහත රන්ජන් - ශෂී විරවංශ හඬපටය ඉන්බොක්ස් කර තිබුණි. ගෝටන් ලා යනුවෙන් මා අදහස් කරන්නේ වර්තමාන ජනාධිපති තුමාට  චන්දය දුන් සහ ඔවුන් පවසන පරිදි ඔහුට පමණක් සහය පල කරන අයටය . ඔවුන්ගේ විශ්වාසය නම් ගෝඨාභය මේ දූෂිත ක්‍රමයන් පිටු දකින ඒවා නිවැරදි කිරීමට යත්න දරන බවයි. එනිසා  ඇතැම් විට අගමැති මහින්ද මහතා හා ඔහුගේ ඇතැම් චක්ගෝල ඇමැතියන් පවා විවේචන කිරීමට ඔවුන් කැමැත්තක් දක්වති.

මේ හඬ පටය මා තෝරා ගත්තේ මෙන්න මේ නෙළුම් යාය සම්මාන උළෙල පිලිබඳ කතාවටය.  හෙන්රි වර්ණකුලසුරිය, ජවිපෙ වී රූපවාහිනිය මෙහෙයවූ  හිටපු ජවිපෙ සාමාජිකයෙකු හා නාවික හමුදා නිලධරයකු මෙන්ම කතුවරයෙකුද බ්ලොග් ලියන්නෙකුද වේ.  ඔහු රාජිත ඇමැති ට විරෝධය පෑමට එදා  උළෙලේදී නැගිට ගිය අයෙකි. ජවිපෙ ට ඒ කාලයේ සහය දුන් මංජුල සමරසේකර ද මේ විරෝධය ට එක්වූ අයෙකි.  මම කලේ ප්‍රධාන  බ්ලොග් සංවිධායක වශයෙන්  ත්‍යාග ප්‍රදානය කළ අමුත්තාට එනම් එදා මේ කියන  රාජිතට සහය වීමයි. මැතිවරණ කොමසාරිස් මහින්ද  දේශප්‍රිය මහතාද, උපුල් සන්නස්ගල මහතාද තවත් වියතුන්ද  සහභාගී වූ මුත් ප්‍රධාන විවේචනය එල්ල වූයේ මෙතනටය.එසේම  ලඟ දී  බ්ලොග් වලට ප්‍රතිචාර දක්වන්නෙකු ශුද්ධ සිංහලෙන් මට බැන වැදුනේ සම්මාන උළෙලට දේශපාලනය ගෙනාවා  යයි පවසමිනි.
ප්‍රශ්නය  වන්නේ ඒ මහතා බුකියේදී සම්පුර්ණයෙන් ම  එජාප විරෝධී කෙනෙකු ලෙස බොහෝ විට අන්තවාදීව හැසිරීම මා දැක තිබීමයි. 
 මා රාජිත පන පිටින් දැක්කේද එදා පමණි.

අද බ්ලොග් සම්මාන උළෙලක්  ක් පවත්වන්නේ නම් හා ගෝඨාභය ජනාධිපති තුමා හෝ වෙනයම් ඇමතිවරයෙක් සහභාගී වන්නේ නම් හා මා  එය සංවිධානය කරන්නේ නම් සහතික පත් දීමට උදව් වීමට වේදිකාවට යාම මට ප්‍රශ්නයක් නොවේ. පැමිණි කාර්යය එය මිස දේශපාලනය නොවන බැවිනි. කිසියම් පිරිසකට උදව් කිරීම සඳහා එංගලන්තයේදී කොන්සර්වටිව් හා කම්කරු පක්ෂ දෙකේම මන්ත්‍රීවරුන් හමුවී පුරුදු මට මගේ  දේශපාලනයට අදාල නොවන අය සමග කටයුතු කිරීම කවදාවත් ප්‍රශ්නයක්  කරගත්තේ නැත. එය ප්‍රශ්නයක්  කර ගැනීම මට පෙනෙන්නේ අන්තවාදී ක්‍රියාවක් ලෙසය.


ශෂී වීරසිංහ මෙහි කරන්නේද එයයි.  තම ස්වාමියාගේ ප්‍රශ්නයක් ඇය යහපාලන ඇමතිවරයෙකු සමග සුහදව විසඳා ගන්නවා  විය හැක. නමුත් ඇය කතා කරන්නේ "ප්‍රා " රාජිත සහ ඔහුගේ බිරිඳ සුජාතා ගැනය. ඒ කියන්නේ ඔවුන් ඇගේ හොඳ මිතුරන් විය හැකි බවය. විමල් විරවංශ මහතා පොහොට්ටුවේ මන්ම  ගෝඨාභය මහතා ජනාධිපතිකරවීමේ ව්‍යාපාරයේ ඉහල නයුවෙකි. එසේ නමුදු යම් කාර්යයන් කර ගැනීම සඳහා ඔහු ගේ එම සහජීවනය ප්‍රා රාජිත සමග තිබු බව පෙනේ.

එවිට අපේ දයාබර හෙන්රි මහතාට  මෙන්ම රාජිත  එදා පැමිණි හෙයින් සමහර අයටද  සිදුවූ අර මොකද්ද  මෙව්වා එකට ද,  ඒ  සිදුවූ "කැළලට" ද  අප සමග මරාගෙන මැරෙන වලියට පැමිණි මහත්වරුන්ට අපට කිව හැක්කේ කුමක්ද? ඔබලාගේ නායකයන් නටන්නේ හැංගි හොරා කියලාය.  මමනම් ඒ වැරැද්ද  නිහතමානීව පිළිගෙන සම්මාන උළෙල පැවැත්වීමෙන් ඉවත් වූයෙමි.

බුකියේදී මෙන්ම වෙනත් තැන්වලදීද අපේ ජවිපෙ මිතුරන්ගෙන් මා ඇසූ ප්‍රශ්නයක් වුයේ දයා පතිරණ ඝාතනයෙන් පසු ඝාතන රැල්ල  පටන් ගත්තා  නොවේද යනුවෙනි. ඒ වෙනුවට ඔවුන් ප්‍රා සංවිධානයෙන් කල බිහිසුනු ක්‍රියා  ගැන වමාරති . ඒවා සිදුවුයේ පසුවය. ඒ සඳහා කිසිවෙකුත් ප්‍රා කාරයන්ට සමාව දෙන්නට යයි කියන්නේ ද නැත. සමාව දෙන්නට ඔවුන් කිසිවෙකු සුදුසුද නැත. එතරම් තිරශ්චින ලෙස කටයුතු කල බවද ඇසින් දුටු සාක්ෂි තිබේ. එනමුදු ඒ ක්‍රියාදාමය පටන් ගත් අයට වගකීමෙන් මිදිය නොහැකිය.

මේ හඬ පටවල ඇතැම් සමාජවාදී වාමවාදී සගයන්ද  සිටින්නේ නම් මැනව යයි සිතේ. හේතුව නම්  ඔවුන්ගෙන් සමහරුද නටන්නේ දෙබිඩි නාටක බැවිනි.බොහෝ විට දේශනයකදී, තමන් ලියන කියන දෙයකදී අති ප්‍රගතිශීලි , අති මිත්‍රශීලි , අධි සුභාවික, පරිභෝජනවාදී නොවුන මොවුහු සැබෑ ජීවිතයේදී එයට හාත්  පසින්ම වෙනස් අය බව මට අත්දැකීමෙන් ම අවබෝධව ඇති නිසාය .


එනිසා තව තවත් එවැනි  හඬ පට එලියට ඒ නම් එය  හොඳය. මේ යන්නේ සාමාජිය මනෝ විශ්ලේෂණයකි.  මුළු දේශපාලන සංස්ථාවම කිසියම්  සෝදා  පළුවකට ලක්වන්නේ නම් වඩා හොඳය.

අවසාන වශයෙන් මුස්ලිම් තරුණයන් පිරිසක් "මධු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ " ගීතයේ වචන කුකුලන්ට ගීයක් ගයන මේ හඬ පටය අසා විනෝද වන්න.

මට තවම සැකයි මේ හඬ පට ආ වෙලාවේ      

       

යොමු:
රන්ජන් හිරුනිකා 
රන්ජන් ශෂී 

සම්මාන උළෙල - රාජිත - ප්‍රාජිත , හෙන්රිගේ දිව දෙකේ කතා සමග මංජුලගේ අපස්මාරය

21 comments:

  1. අජිත්, මම නම් නඩුකාරයෙක් නෙවෙයි. ඔය කවුරු කවුරුත් එක මල්ලේ ලුණු කන්නෝ වගෙයි.

    හැබැයි මට තියෙන ප්‍රශ්න නම්: පොලිසිය භාරයට ගත්තු හඬපට මෙහෙම මාධ්‍යවලට නිකුත් කරන්න හැකිද? මේවා නිකුත් වෙන්නේ කොහොමද? චෝදනාවක් ආවාම නඩු අහන්නත් කලින්ම වැරදිකාරයා වෙනවාද? මේවායේ කියවෙන දාහක් දේවල් ගැන පරීක්ෂණ කෙරෙනවාද- කොහොමද-කවදාද? ඒවා නිමවෙන තුරු එයාලට නොමිනේෂන් නොදී ඉන්නට පක්ෂ පෙළඹෙයිද?

    වැදගත්ම දේ .... මෙහෙම දේවල් අපේ පුරවස්සන්ට හා පුරවැස්සියන්ට කොච්චර දවසක් මතක හිටිනවාද?

    ReplyDelete
    Replies
    1. හැබැයි මට තියෙන ප්‍රශ්න නම්: පොලිසිය භාරයට ගත්තු හඬපට මෙහෙම මාධ්‍යවලට නිකුත් කරන්න හැකිද? නීතියෙන් නම් නොහැකිය.

      මේවා නිකුත් වෙන්නේ කොහොමද? ගෝටන් ලා කට්ටියක් රන්ජන් හා එක්ව බවමගේ හැඟීමයි
      චෝදනාවක් ආවාම නඩු අහන්නත් කලින්ම වැරදිකාරයා වෙනවාද? ලංකාවේ එහෙම වෙන්න ඇති

      මේවායේ කියවෙන දාහක් දේවල් ගැන පරීක්ෂණ කෙරෙනවාද- කොහොමද-කවදාද? ගෝට ගෙන් තමයි අහන්න ඕනේ

      ඒවා නිමවෙන තුරු එයාලට නොමිනේෂන් නොදී ඉන්නට පක්ෂ පෙළඹෙයිද? - ලකාවේ දේශපාලන පක්ෂ ???

      වැදගත්ම දේ .... මෙහෙම දේවල් අපේ පුරවස්සන්ට හා පුරවැස්සියන්ට කොච්චර දවසක් මතක හිටිනවාද? - හෙට අමතක වෙයි

      Delete
    2. කතාවේ හැටියට මෙම හඬ පට ඇතුළත් hard disk එකක් හෝ ඩීවීඩී එකක් මුලින් පොලිසියට ලැබී එය පොලිසියෙන් දේශපාලුවන්ට ලබා දී දේශපාලුවන් විසින් නේද රන්ජන් රාමනායකගේ ගෙදරට search warrant එකක් සමඟ පොලිසිය යැව්වෙ?

      digital sound track වල පිටපත් දහස් ගණනින් ඇති!

      Delete
    3. මටත් ඇවිත් තිබෙනවා. ඒවා දමන්න නීතිය පැත්තෙන් කොහොමද දන්නේ නැති නිසා නිහඬව ඉන්නවා.

      Delete
  2. අද බ්ලොග් සම්මාන උළෙලක් ක් පවත්වන්නේ නම් අපිට බජට් එක දෙන්න

    ReplyDelete
  3. එංගලන්තයේදී කොන්සර්වටිව් හා කම්කරු පක්ෂ දෙකේම මන්ත්‍රීවරුන් හමුවී පුරුදු මට මගේ දේශපාලනයට අදාල නොවන අය සමග කටයුතු කිරීම ....////
    බොරුවක් විශාල ලෙස පවසන්න. එය නිරතුරුව පවසන විට ජනතාව විශ්වාස කරයි’’

    ReplyDelete
    Replies
    1. ඔයාට නම් මොකක් හරි ප්‍රශ්නයක් තියනවා මා එක්ක හරි බ්ලොගය එක්ක හරි. කලින් ලිපියේ මම අවසර නැතිව පල කරන්න තහනම් කියල දාපු එක කොපි කරලා මට දාල ඔයා හිතා තියෙන්නේ මම ගුණසේකර ගෙන් අවසර ගත්තේ නැහැ කියල.
      දැන් කියන්නේ මොකක්ද බලමු.
      //බොරුවක් විශාල ලෙස පවසන්න. එය නිරතුරුව පවසන විට ජනතාව විශ්වාස කරයි’’//
      කොන්සර්වටිව් මන්ත්‍රී Nick de Bois නික් සමග ප්‍රශ්න දෙක තුනක් කතා බස් කිරීමට ගොස් කිහිප වත්වක් ඇත්තෙමි. ඒ අපේ පැත්තේ වාහන නැවතීම්, කුණු දැමීම ආදී ප්‍රශ්න සඳහාය. එසේම ලේබර් පක්ෂයේ ජෝන් රයන් සමග බයිසිකල් මාර්ග ගැන, . නිවෙස් බෙදා දීමේදී සිදුවූ අසාධාරණයක් ආදිය ගැන කතා කිරමට ගොස් තිබේ. ඇය සමග වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුව නැරඹීමටද ගියෙමි. මට කම්කරු පක්ෂයේ සාමාජිකත්වය තිබේ. (ඉක්මනින්ම ඉවත් වීමට තීරණය කර ඇත )

      Delete
    2. මම බ්‍රිතාන්‍ය චිත්‍රපටි/ටීවී ඩ්‍රාමා දෙක තුනකම දැක තිබෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම තමන්ගේ ඡන්ද කොට්ඨාසවලට ගොස් ඡන්දදායකයින් හමුවෙන රැස්වීම්.

      පව් කියා හිතෙනවා නේද?

      Delete
    3. ඔව් ඉතින් , ඒ ගොල්ලන් ගේ සර්ජරි කියල එක්ක තිබෙනවා. ඕන කෙනකුට යන්න පුළුවන්. නික් නම් අපේ ගෙදරටත් ආව. දීර්ඝ සාකච්චාවකට. ලතින් ඇමෙරිකානු සම්භවයක් තිබෙන කෙනෙකුගේ ප්‍රශ්නයක් ගැන කතා කරන්න. පක්ෂ දේශපාලනයෙන් තොරව ඒ වගේ ප්‍රශ්න කතා කරන්න පුළුවන් එක මේ ධනවාදී ප්‍රජාතන්ත්‍රවාදයේ හොඳ ලක්ෂනයක්

      Delete
  4. Nidi/Ajith, Did you see what Uwnindu Kurukulasuriys said about the tapes? Someone inside had stolen and sold it to news channel, and news channel tip the police, and news channel has much more than police has.

    Think about it, police raid and leaking started almost same time. I do not think police is that efficient to copy so much of data and pass to news channel so fast.
    Wijebahu

    ReplyDelete
    Replies
    1. yes. One of his helpers who he fired from the job. (allegedly). I agree with you it's not Police. Lankacnews has them but they are issuing selectively. There are tapes about Mahindananda, Vajira abewardhene, padmini ranavaka , someone called Dasanayake etec. Whoever has them issuing them sparingly.

      Delete
  5. ගෝටන් යන නව වචනය නිපදවීම පිළිබඳව මගේ ස්තුතිය ඔබට පිරිනමමි. නමුත් මෙය උච්චාරණය කිරීම ගැටලු සහගත බව මගේ අදහසයි. සමහරවිට නිවැරදි අදහස දැක්වීමට නම් මෙය english භාෂාවෙන් ලියාන්නට වේවි.

    Gotans නේද?
    Pronounced as Go(r)tuns

    ReplyDelete
    Replies
    1. මගේ අදහස වුනේ ඉංග්‍රීසියෙන් gotans කියා ලිවීමටයි. නමුත් ලංකාවේ නාලන්දීය, රෝයලිස්ට්, ආනන්දියන්, මේරියන් වගේ ඒවා තිබෙන නිසා අවුලක් නැහැ කියා හිතෙනවා. ඔබ නිවැරදියි. ඇත්තටම මම පොස්ට් එකක් ලීවා ඉංග්‍රීසියෙන් දාන්න අමතක වුනා.
      මේ අයට සාමාන්‍ය වහරේ බයියා වචනය සුදුසු නැහැ. උගත් නූගත් හැමෝම ඉන්නවා. බොහෝ අය යහපාලන ආණ්ඩුවේ විතරක් නෙමේ ඊට කලින් ආණ්ඩුවේ දුෂිත අමාත්‍යවරුන්ටත් විරුද්ධයි.
      The Gotans- everyone who supports gota absolutely
      The Anagotans - anandiyans who support gota unconditionally
      The rogotans - Royalists who turned to gota unconditionally
      The nalgotans - Nalandians who support gota unconditionally
      The gothagotans - gothamiyans
      An Amerigotan - someone who lived in America and support gota
      An ausgotan - someone who lived in Australia and support gota
      The gamagotan - someone who lives in dote in Sri lanka and support gota
      these guys are different to bayiyans

      Delete
  6. වොව් වොව්. තව ඉටිං RusAntiGotans, AusAnaAntiGotans
    පික්සු නැහ්නන් සෝක් ඕයි

    ReplyDelete
  7. /බ්ලොග් වලට ප්‍රතිචාර දක්වන්නෙකු/ මේ යෙදුමට මගේ තදබල විරෝධය! බ්ලොග් ලියපු කියවපු ප්‍රතිචාර දක්වපු හැමෝම බ්ලොගර්ස් ලා මිසක් ඔහොම එක එක කැටගරි තිබ්බෙත් නෑ තියෙන්න ඕනිත් නෑ.. ඔයාට මේ ගැන එල්ලවෙන විවේචන දරා ගන්න අමාරු උන හේතුවට බ්ලොග් වලට බොක්කෙන් ලව් කරලා ඒවායේ කිසිම ලාබ ප්‍රයෝජනයක් නැතුව එල්ලිලා හිටපු අපේම ආදරණිය කොමෙන්ට්කරුවන්ට වෙන හැන්දකින් බෙදීම ගැන මගේ බලවත් විරෝධය! ඔයා තමයි ඒ පෝස්ට් එකේ මුලින් ඇදගෙන නෑවේ.. බ්ලොග් ගැන කතා කරපු එකෙක් ලියපු බ්ලොග් එකක් ගැන අහලා.. ගරු සරු නැති බ්ලොග් අවකාශ ප්‍රමෝට් කරපු ඔයා ඊට පස්සේ කුණුහබ්බ දෙකක් අහගත්තා කියල හිත රිදවාගන්න ඕනි නෑ.. එහෙම උනාම ඉවාන් ලියල තිබ්බ වගේ රාජිත ආවා කියල ඌයියා උන බ්ලොගාලගෙයි ඔයාගෙයි කිසි වෙනසක් නෑනේ.. (ෆේස්බුක් එකේ වලියේම එක්ස්ටෙන්ෂන් එකක් මේක!)

    ReplyDelete
    Replies
    1. බ්ලොග් වලට ප්‍රතිචාර දක්වන කෙනෙක් බ්ලොග් වලට ප්‍රතිචාර දක්වන්නෙක් මිසක් බ්ලොගර් කෙනෙක් නෙමෙයි. ඔයා බ්ලොගර් කෙනෙක් වෙන්නේ බ්ලොග් එකක් ලිව්වොත් විතරයි. දැන් මෙතැන ප්‍රශ්නේ පටන් ගත්තේ කොතනින්ද? සිනේත්‍රයි මාතලුන්යි දෙන්නම කියාගෙන ආව NGO සල්ලි NGO වලින් බ්ලොග් සම්මාන කලේ අරව මේවා .මම ඇහුව පෙන්වන්න කියල. ලංකානිව්ස්වෙබ් එක්ක තිබ්බ ප්‍රශ්නය ඔයත් දන්නවා මමත් දන්නවා . මම උත්තරයක් දුන්න NGO කතා බොරු එහෙම එකක් තිබ්බේ නැහැ කියල.මාතලන් වැදගත් විධිහට එතනින් නැවැත්තුව. සිනේත්‍ර දිගින් දිගටම එල්ලීගෙන ආව බ්ලොග් නැවතුනේ ලංකානිව්ස්වෙබ් එකත් එක්ක කොහෙන්ඩද ආපු මම සම්මාන උළෙල පටන් ගත්ත. දේශපාලකයෝ ගෙනාපු නිසා එයත් බ්ලොග් වලින් ගියේ ඒකයි . ඒ වෙලාවේ මම ඇහුව ඔයා ලිව්වා බ්ලොගේ මොකක්ද කියල. ඒක සාධාරණ ප්‍රශ්නයක්. බ්ලොග් වලින් ගියානම් බ්ලොග් එක මොකක්ද? මොකද මිනිස්සු ගියේ ඕක නිසාම නෙමෙයි. පෞද්ගලික හේතු, ලියවෙන්නේ නැති හේතු වගේ ඒවත් තියනවා. ඊට පස්සේ මෙයා කිව්ව්ව nනෑ මම කොමෙන්ට් කළා විතරයි කියල.කොමෙන්ට් කළා විතරනම් බ්ලොග් වලින් ගියා කියන්න බැහැනේ. එයා බුකියට ස්විච් වෙලා මට වරද පටවනවා බ්ලොග් වලට කෙලෙව්වා කියල. රෙද්ද තමයි. බ්ලොග් නැවතුනේ බුකිය නිසා. අනික සම්මාන දුන්නේ නැති වුනහම ඒක බලාගෙන ආපු අයත් නැවතුනා. ඇයි අර බ්ලොග් වසන්තය තියෙන්න. ඇයි කරන්නේ නැත්තේ. උන් දෙන්නටත් සල්ලි නැහැ මම හිතන්නේ දුමිය කියපු විධිහට .. නැත්නම් දේශපාලන අපේක්ෂකයා දිනලා නිසා අවශ්‍ය නැතිව ඇති. නැත්නම් නෙලුම් යාය සම්මාන උළෙල නැති නිසා අවශ්‍ය නැතිව ඇති කරන්න. ඒකට අගේන්ස්ට් එකට ආවේ කියල පෙනුනනේ.ඔය වගේ හේතු දාහක් තියාගෙන මගේ වැරැද්ද කියන්න එනවට මම විරුද්ධයි. මම කළා. අන්තිම එකේදී මටත් පොඩ්ඩක් අප්සෙට් ගියා. නැවැත්තුව. එච්චරයි ඔතන කතාව.

      Delete
    2. මම ඇත්තටම ස්තුති කළ යුතු කෙනෙක් ඉන්නවා. ඒ තමයි සරසා. සරසා ඇහුව "මම ඇයි මේක කරන්නේ. උඹට මෙච්චර අපි බනිද්දි උඹ වෙනුවෙන් කතා කරන්න කවුරුත් නැහැ නේද කියල. " මට ඒක නම් හිතට කා වැදුන. ඉයන් ජිවන ප්‍රා වගේ දෙන්නෙක් තුන් දෙනෙක් ඇරෙන්න කතා කරන්න කවුරුත් හිටියේ නැහැ නේද කියල. ඒකත් හේතුවක් තමං මම නතර කරපු. ඒකෙන් මට ගොඩක් හොඳ වුනා. වෙලාව ඉතිරි වුනා. සරසා කීව කතාව ඇත්ත . සිනේත්‍ර තනිකරම සපෝර්ට් කලේ ගෝඨාභයට නිසා එයාගේ ප්‍රතිචාර වල ඒ බලපෑම හොඳට තිබුන. එහෙම කෙනක් එක්ක තර්ක කරල වැඩක් නැහැ.

      Delete
    3. මෙතනට ඉවාන් පව්ලුෂා, අරුණ පෙරේරා දෙන්නත් දාන්න ඕනේ

      Delete
  8. බ්ලොග් සම්මාන උලෙල නැවතුන එක නම් ඉතාම දුකක්.. මාත් මඟ බලන් හිටියේ ඒකට ගිය අවුරුදු දෙකේදී සහභාගි වෙන්න.. හොඳ වැඩක වැරදි දකින අය කොහොමත් ඉන්නවනේ.. අපරාදේ ..

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .