Wednesday 29 July 2020

පර්රිප්පු කෑම

කොවිඩ් 19 නිසා අපි දෙන්නම ගෙදර ඉඳන් වැඩ කරන්නේ. ඉනෙස් උදේට විතරක් වැඩ කරන නිසා එයාට දවල්ට උයන්න් වෙලාව තියනව. ඉතින් මට තමයි අවුරුදු නැත්නම් නත්තල්. ඔෆිස් එකේ වගේ මයික්‍රෝවේව් එකේ රත් කරලා ඊට කලින් දවසේ උයපුව කන්න ඕනේ  නැහැ. උදේට කැඳ හදල දෙනවා. ලංකාවේ වගේ කොළ කැඳ හරි සව්  හරි සිමොලිනා වගේ දේ. දවල්ටත් වෙන වෙනම  ඒවා. යූටියුබ් පර්යේෂණත් යනවා.

අද හැදුවේ මුං පියලි වලින් පරිප්පු. මේ පහල තියෙන්නේ පැකට් එක. මුං ඩාල් චිල්කා කියන්නේ.

පරිප්පු කියනකොට මගේ යාළුවෙක් මතක් වුනා . මෑන් ඒවාට   කීවේ පර්රිප්පු කියල.  ඒ දස්වල ගෙවල් පැත්තේ කොල්ලෝ මට කීවේ රෝයල් පරිප්පුවා කියල. මං වගේ රෝයල් පරිප්පුවෝ කිහිප දෙනෙක්ම හිටි නිසා අවුලක් වුනේ නැහැ. බිග්  මැච් වලදී හැබැයි  තෝරා පරිප්පු කියා කෑ  ගහනවා කියල මට ඇහිලා තියෙන්නේ.

    මේ ලිපිය ඇත්තටම ලියන්න හිතුනේ මෙන්න මේ ලිපිය කියවපු නිසා. ඉන්දියාවෙන් කෑ පරිප්පු.ලියල තියෙන්නේ චන්දිම ගෝමෙස් මහතා තමන්ගේ බ්ලොග් එකේ. පරිප්පු වර්ග සහ නිර්මාංශික ඉන්දියානු කෑම  ගැන තියෙන සටහනක්. මම මගේ මවත් රැගෙන  බෞද්ධ  සිද්ධස්ථාන  වැඳ ගැනීමේ සංචාරයකට 2006 දී  ගිය නිසා මේ රසවත් ඉන්දියනු කෑම වේල් ගැන හොඳ අදහසක්  තියනවා.

මම මගේ  බ්ලොගයෙම කලින් තැනක ලියල තියෙන කතාවක් තමා අවුරුදු විසි  ගණනකට පස්සේ මම කිරි තේ එකක් බීවේ ඉන්දියාවේදී කියන එක . ඒ කාලෙත්  මට කිරි බොන්න බැරි බව දැනගත්තු බෞද්ධ ස්වාමින් වහන්සේ කෙනෙක් ඉන්දියාවේ කිරි ආහාර කන්න සහ තේ බීල බලන්න කියල මට අනුසාශන කරපු නිසා. ඉතින් අම්මත් එක්ක හොඳ  ආපන ශාලාවකට ගිහින් නිර්මාංශික ආහාර වේලක්, යෝගට්, අරව මේවා එක්ක කාල කිරි තේ එකකුත් බිව්වා. ඒ ගමනේදී තමා දැනගත්තේ මට යුරෝපේ කිරි තමා අරහං කියල. (අර ලැක්ටෝස් ප්‍රශ්නෙත් එක්කම )

ඉතින් චන්දිම ගෝමෙස් ගේ ලියුම කියවල බැලුවට පස්සේ මට හිතුන හුඟක් දවසකින් පරිප්පුවක් කෑවේ නැහැ නේද කියල. ඉනෙස් නුත් හුඟක් කැමැතියි පරිප්පු කන්න. 
අපි මුණ ගැහුණු දවස්වල මම එක දවසක් කුකුළු මස්, බත් සහ පරිප්පු ඉව්ව. සෝවියට් දේශයේදී අපරාදේ කියන්න බැහැ වඩුගේ අයිය කියන සීනියර් උන්නැහ තමයි  මසුයි, මාළු මිරිස් (මේ කියන්නේ පෙපර් )  උයන්න ඉගැන්නුවේ.  මේ වඩුගේ අයිය කියන්නේ සුනන්ද දේශප්‍රිය මහත්මයාගේ නෑදෑයෙක්.  ඇත්තටම අපට හිටියේ  රත්තරන් සීනියර් උන් ටිකක්.  මම දන්නෙත් අර දෙක උයන්න විතරයි ඒ දවස් වල. 

කතාව වෙන පැත්තකට යනවා වගේ. 

දැන් ඉතින් එයා ඒ කියන්නේ    ඉනෙස් ඔය මම ඉව්ව දවසේ පරිප්පු ටික පිඟානකට බෙදාගෙන කාල ඉවර කළා. මම බැලුවා මේ මොකක්ද වුනේ කියල. එයාහිතුවේ ඒ සුප් කියලලු. මගේ පරිප්පු ඉවිල්ල  හිතා ගත්ත හැකිනේ.  
 අපේ අම්ම ලන්ඩන් ආපු දවස් වල ඉනේස්ට පරිප්පු උයන්න ඉගැන්වූවා. කහ විතරයි දාන්නේ . තෙම්පරාදු කරන්නේ මෙහෙම . ඔන්න ඔය වගේ. මෙයා අම්මට කියනවා මේ අජිත් උයන්නේ එකම විධිහටනේ. තුනපහයි මිරිසුයි ලුනුයි එකට දාල බලා ඒකට මස් දානවා. පරිප්පු හදන්නෙත් එහමයි. වෙන ඕන එකක් හදන්නෙත් එහමයි. මම කිව්වා මම දන්නේ කොහොමද ඉතින්, වඩුගේ අයියා කියල දුන්නේ එහමයි. මාත් එක්ක හිටි අනිත් අජිත් (ලොකු අජිත්)  ඉව්වෙත් එහෙමයි.   

පරිප්පු හදන එක මට තහනම් වුනා ඊට පස්සේ.

මේක මතක් වුනේ චන්දිම ගෝමෙස් කියල තිබ්බ එකම පරිප්පුව  ඉන්දියාවේ වෙන වෙන ප්‍රාන්ත වල වෙන වෙනම විධි වලට  උයන්නේ, ඒ හැම එකක්ම හරිම රසවත්  කියල. 
ඒ අතර පරිප්පු වගේ කෑම (pulses) කොපමන සෞඛ්‍ය ය සම්පන්නද  කියලත් ලියල තියනවා. ලිපිය බලන්න,
ඉතින් මම ඉනේස්ට ඕක කිව්වා. මෙයා කීව අපි ළඟ මුං පියලි පරිප්පු වගයක් තිබ්බ . උයන්නම් කියල.
යූ  ටියුබ් එක බලාගෙන හැදුව විතරක් නෙමේ  ඒකෙ කියල තියන විධිහට උඩට කොත්තමල්ලි කොළත් දාල කෑම වේල දුන්න.
ෆේස් බුක් එකේ දාන්න ඉතින් මම උයන්නේ නැති නිසා ඉනෙස් ගේ කෑම පින්තූර තමා දාන්න වෙන්නේ. බලාගෙන ගියහම ලංකාවේ පිරිමි අපට වැඩිය උයනවා  කියල තමා පේන්නේ ෆෙස්බුකේ තියෙන නානාප්‍රකාර උයන්නන් ගේ සංගම් බැලුවහම. ලංකාව ගොඩක් වෙනස් වෙලා නේද?  


 

14 comments:

  1. අජිත්,
    අපි කොච්චරට පරිප්පු කෑමේ රුසියෝද කියනවා නම්, පරිප්පු ලෝලීන්ද කියනවා නම් ඔයාගේ පෝස්ටුව කියවන අතරේ ගෝමස් මහත්තයාගේ අඩවියට ගිහින් ඒක කියවලා, මගේ පරිප්පු වගතුගත් ලියලයි, ආයෙම ඔබතුමාගේ දිහාව බැලුවේ!

    ඔයා පරිප්පු උයනවා වගේ තමයි, ඉක්මනට උයාගන්න ඕනේ වුණාම, මාත් තියෙන ඔක්කොම ජාති එක්ක පරිප්පුත් දාලා එකක් හදනවා. හොඳේ තමා එකම කරිය දෙවතාවක් හදන්න බැරිවීම! කොහොමද මගේ (පිම්ම නෙවෙයි) කුකරි?

    ලබන සතියේ සිරි ලංකාවේ අපට නම් ලොකු පරිප්පුවක් කන්න වෙයි වගේ... අපේ අගමැතිතුමා කියලා තියෙනවා, 'උදෙන්ම ඡන්දේ දාන්න- හවස් වෙද්දී මොනවා වෙයිද දන්නෑ' කියලා.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ පරිප්පු වගතුග බලන්න තවම ආවේ නැහැ. වැඩ. ඔයාගේ කුකරි හොඳයි නේ. එදා අපි කෑවේ . ලබන සතියේ කන්න වෙන පරිප්පුවට මෙන්න උදෙන්ම සුභ පැතුම්

      Delete
    2. පරිප්පු කතාව තේරිච්ච එකම භවතා

      Delete
  2. මුං පරිප්පු කහ පාට එක වේලෙන්න ඉව්වහම මමත් ඔය ඉනෙස් කරල තියන දේම කරනවා.

    ReplyDelete
    Replies
    1. යූ බටෙන් ගත්තද , ඉනෙස් යූ බටෙන් බලල තමා හැදුවේ. ඉන්දියන් රෙසිපියක්

      Delete
  3. පරිප්පු තනිකරම උයන්නේ නැතිව, නිවිති, සාරණ, ස්පැනිච් , ගෝවා, කෝලිෆ්ලවර්, බ්‍රොකලායි, පතෝල වගේ එළවළුවක් සමග උයලා ට්‍රයි කරලා බලන්න.
    පුංචියට, සැරට, පරිප්පු මිරිසට තම්බලා, තෙල් ටිකක් යහමින් දාලා තෙම්පරාදු කරලා, ඒ පිටටම බිත්තර ටිකක් කඩලා දාලා කලවම් කරලා බලන්න.
    මොනවා හරි ප්‍රශ්නයක් උනොත් මගේ පස්සේ පන්නන්නේ නැතිව ඉමෝඩියම් එකක් බොන්න.

    ReplyDelete
    Replies
    1. ඉනෙස් සාමාන්‍යයෙන් ස්පිනච් දානවා , අනිත් ඒවා කියන්නම් බිත්තර නම් දාලම නැහැ , මිරිසට අපේ ගෙදර කනවා අඩුයි. අපේ අම්මා උගන්නල තියෙන්නේ මිරිස් දාන්නේ නැහැ කියල. මිරිස් දාල පරිප්පු හදන්න මටම උයන්න වෙනවා

      Delete
    2. කොළ ජාතියක් හරි පආතොල වගේ ජාතියක් හරි දානවා නං, මම එව්වා දාන්නේ පරිප්පුව උයලා බාන්න ඔන්න මෙන්න කියලයි. රම්පෙ-කරපින්චත් එක්ක. ඊට පස්සේ කරිය නිවෙනකල් පියනකින් වහන්නෙත් නෑ. ඔයාලත් එහෙමද කරන්නේ?

      Delete
  4. කෑමෙන් හොද කෑම ඉල්ලාගෙන කෑම
    නෑමෙන් හොද නෑම ඇදගෙන කුණු නෑම
    දීමෙන් හොද දීම හිස ලේ දන් දීම
    බීමෙන් හොද බීම පරිප්පු හොදි බීම

    ReplyDelete
    Replies
    1. හේ හේ බීලම නැහැ , පරිප්පු ගැන ලීවේ ඇයි කියල කාටත් තේරිලා නැහැ

      Delete
  5. හදන්න කවුරුත් පරිප්පු
    රස ගුණ පිරි නම් දරාපු
    වැරදුන විට වී කුලප්පු
    අප හා නොමවෙන් ඔරොප්පු

    ReplyDelete
    Replies
    1. රසවත් කවියක් ඇනෝ

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .