Friday 31 July 2020

නමේ පන්තියේ තරඟය - නැවත ලැබුණු පින්තූර


මේ කතාව නමයේ පන්තියේ කතාවක් ලෙස මගේ  බ්ලොග් අඩවියේ  2017 අප්‍රේල් 24 දා පල විය.

ලිපිය: නමයේ පන්තිය - නමය නරකද

අප දිනු තරඟාවලිය ගැන මිහිර පත්‍රයේ 1979 දී පළ කල පුවතට  අදාල කොටස එම තරඟවලට සහභාගී වූ මහේෂ ත්‍රිමාන්න ට නිවසේ පොත් ගුල අස්  කිරීමේදී ඊයේ හදිසියේ ඇස ගැටී තිබුණි. ඔහු අද එය මට ෆේස්බුක් හරහා එවීය. මේ පින්තුරය ගැන මා  ඒ දිනවල  ලැජ්ජාවට පත්ව සිටියේ එතැන සිටි උසින් කුඩාම සිසුවා මා බැවිනි. මගේ උස ගැන මට දැන් ලැජ්ජාවක් නැත,


ඒ ලැජ්ජාව මට නැතිවුනේ සෝවියට් දේශයේදීය. සෝවියට් දේශයේදී කලාතුරකින් හැරෙන්නට කිසිවකුත් මට උස සම්බන්ධයෙන් විහිළුවක්  කර නැත.  කිසිම  කරුණකදී උස ප්‍රශ්නක් වීද නැත. 

මගේ දකුණු පස මහේෂ ත්‍රිමාන්නත් කෙලවරේ ටී ඒ ඩී දාබරේ සහ වමේ කලවරේ ප්‍රදීප් ජෙගනාදන් ද වෙති.

 

නමයේ පන්තියේ දෙවන භාගයේ  සිංහල සාහිත්‍ය සංගමයේ රැස්වීම්  වලට සහභාගී වුනෙමි. සිංහල  සංගමය (හෝ ඉතිහාස සංගමය)  විසින් පන්ති අතර ඉතිහාසය සම්බන්ධ ප්‍රශ්න වලින් සමන්විත තරඟයක් පවත්වන ලදී. මම එය දිනුවෙමි. මට සහතිකයක් වැනි යමක් ලැබුණා දැයි මතක නැත. නමුත් ඉතිහාස පොත් කියවීමෙන් ලැබූ දැනුමට වටිනාකමක් ලැබුන බවට හැඟීමක් තිබුණි.

 රාජකීය විදුහලේ රැස්වීම් පවත්වන ශාලාවට ඇතුළු වන තැන විශාල දැන්වීම් පුවරුවක් තිබේ. බොහෝ දැන්වීම් ඇත්තේ ඉංග්‍රීසියෙනි. ඒ අතරේ වටකුරු ලක්ෂණ සිංහල අකුරු වලින්  සිංහල සාහිත්‍ය සංගමයේ රැස්වීම් ගැන ලියැවුණු දැන්වීම් ද දුටුවෙමි. ඒවායේ අත්සන් කර තිබුනේ සමන් ආතාවුද හෙට්ටි යන නමකිනි.

සමන් අයියලා බොහෝ දේවල් සංවිධානය කිරීමට දක්ෂයන් විය. සමන් ආතාවුද හෙට්ටිට  ඒ දිනවලත් ගුවන් විදුලිය සමග  යම් සබඳතාවක් තිබුණි.  ඒ අතර ඔවුන් පාඨශාලාන්තර සාමාන්‍ය දැනීමේ තරඟයක්ද සංවිධානය කළහ. මෙයට සහභාගී වන රාජකීය කණ්ඩායම තෝරා ගැනීම සඳහා පුස්තකාලයේ ප්‍රශ්නපත්‍රයකට පිළිතුරු දීමට තිබුණි. මට වැඩිම ලකුණු තිබූ හෙයින් මම කණ්ඩායම් නායකයා වීමි. මේ කණ්ඩායමට සිටියේ මමත්, ප්‍රදීප් ජෙගනාදන් ( මහාචාර්යවරයෙකු වන  ප්‍රදීප් ජෙගනාදන් මේ දිනවල ඉන්දියාවේ ශිව් නාඩර් විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාය ලෙස රැකියාව කරයි.), මහේෂ් ත්‍රිමාන්න සහ ඒ ටි ඩී දාබරේය. ඉතිරි සාමාජිකයාගේ නම මතක නැත.

තරඟ පැවතියේ බේරේ වැව මැද පිහිටි සිඟිති උයනේය.

සමන් ආතාවුද හෙට්ටි සහ සිංහල  සාහිත්‍ය සංගමයේ  තවත් කිහිප දෙනෙක්ම අප කණ්ඩායම සමග තරඟය පවත්වන තැනට පැමිණියහ. මුල් වට කිහිපයම අපට පහසුවෙන් දිනිය හැකි විය. අවසන් පූර්ව තරඟය තිබුනේ විශාඛා විද්‍යාලය සමගය. අපට ඔවුන් ලෙහෙසියෙන් පරදවා අවසන් වටයට යාමට හැකි විය. දේවී බාලිකාව හෝ වෙනත් විදුහලක් පරදවා ආනන්ද විදුහල් කණ්ඩායමද   අවසන් වටයට අපේ කණ්ඩායම සමග තේරුණි. ආනන්ද කණ්ඩායමේ නායකයා ගේ නම අජිත් ගුණතිලක බවද මතකය.

ආචාර්ය ජෙගනාදන් හෙවත් ජෙගා ලඟදි කිව්  කරුණක් නම් එම තරඟාවලියේ අප විසින් පැරදවූ කාන්තා විද්‍යාල කණ්ඩායමේ (Ladies college ) ඔහුගේ ප්‍රියම්බිකාව වන මාලතී ද සිටි බවය. ඔවුන්ට මේ බව හෙළි  වුනේ  විවාහයට  පසුව කළ කතා බහකදී බව ඔහු පැවැසීය.

 තරඟයේදී වට තුනකින් අපට ආනන්ද විදුහල පැරදවිය හැකි විය. ආනන්ද කණ්ඩායම අසමත් වුනු ප්‍රශ්නයකට මම පිළිතුරු දුනිමි. ඒ "අසාහි ෂිම්බුන්" යනු කුමක්ද යන්නය . ඉතියෝපියානු යුද්ධය හා එරිත්‍රියාව ගැන ප්‍රශ්නයකට ජෙගා පිළිතුරු දුන්නේය. ශූරතා පළිහ හේමා ප්‍රමදාස මහත්මිය අපට ප්‍රදානය කරන ලදී.

අප ජයග්‍රහණය කළ ප්‍රීතියට  ත්‍රිමාන්න ගේ   පියා  විසින් මුළු බේරේ  වැව පුරා බෝට්ටු සංචාරයකට මුළු කණ්ඩායම ම රැගෙන ගියේය. ඉන්පසු රාජකීය විදුහලට ගොස් එවකට එහි සිටි විදුහල්පති තුමාට ජයග්‍රහණය ගැන පවසා ශූරතා පළිහ භාර දුනිමු.

පසුදා  මා පාසැල අවසන් ව නිවසට එද්දී අපේ නිවෙස් අසළ යහළු යෙහෙලියන් සමූහයක් මිහිර පත්‍රයක් අතැතිව කෑ ගසමින් සිටිනු දුටිමි. ඒ අපේ ඡායාරූපයක් මිහිර පුවත්පතේ දෙවෙනි පිටුවේ පළවී තිබූ නිසාය. උස කොල්ලන් තිදෙනෙකු අතර උසින් අඩු මම ශූරතා  පළිහ ද අතැතිව සිටින ඡායාරූපයකි.  එදින  අපේ නිවෙස් අසල මම මදක් ජනප්‍රිය වී සිටියෙමි.

ඊළඟ වසරේ ප්‍රදීප් ජෙගනාදන් ශ්‍රී ලංකා රුපවාහිනියේ පාසැල් අතර ඉංග්‍රීසියෙන් පැවැත්වුණු සාමාන්‍ය ය දැනීමේ තරඟාවලියටද සහභාගී වුනි.

සමන් අතාවුද හෙට්ටි  අයියා නැවත  හමුවන්නේ "ලන්දේසි දූපත" ළමා නාට්‍යය හරහාය. ඔහු රඟ පෑවේ ජිල් ජෝනා ට ද වන්දබෞනා ට ද යන්න මට මතක නැත.  අවුරුදු 38 කට පසු පසුගියදා දැන  හෝ නොදැන සහෘද කිවිඳියක හරහා රූපවාහිනියේ සංවාදයක යෙදෙන්නට ස්වාධීන රුපවාහිනියේ සභාපති සමන් අතාවුද හෙට්ටි මහතා අපට අවස්ථාවක්  ලබා දුන්නේය.

එසේම පාසලේ සහෝදර සිසුන් කණ්ඩායමකට තම දක්ෂතා  පෙන්වා තමන් උගත් විදුහලට ආඩම්බරයක් ලබා දීමට එම තරඟාවලිය සංවිධානය කල සමන් අයියා ප්‍රමුඛ සිංහල සාහිත්‍ය සංගමයට හැකිවිය.

ඔබලාට ස්තූතියි.

9 comments:

  1. මිටිකම ගැන ලජ්ජා වෙන්නෝනියැ, මිට්ටා කට්ටයා කියලනේ කියන්නේ- මාත් මිට්ටෙක්!

    ReplyDelete
    Replies
    1. මිට්ටා කට්ටය කියල අනන්ත අහල තියනවා. මගේ බිරිඳ එක්ක ගිය වෙලාවක යාළුවන්ට පාටියක් දුන්න. එකෙක් ඕක කිව්වා. හොම්බට දෙකක් දෙන්න හිතුන හේ හේ

      Delete
  2. සුබ පැතුම්....

    ReplyDelete
    Replies
    1. වසර 41 පමාවී ලැබුනද සුභ පැතුම සුභ පැතුම මය. ස්තූතියි

      Delete
  3. No comment, in the interests of PCness.

    ReplyDelete
  4. අයි ඩී කේ ධර්මකීර්ති? යකෝ මන් හිතුවේ ගුණතිලකත් එක්ක නම පැටලිලා කියල නෝමන් පලිහවඩන ට. අයි ඩි කේ කියුවම කෝ අජිත් කෑල්ලක්?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඕක ඒ දවස් වල අර පිපෙට් අයියල කියල ජාතියක් ඉන්නේ. ඒ ගොල්ලෝ දුන්න නම්වල හැටි කියලා. එයා කියල තියෙන්නේ නෝමන් පලිහවඩන ට හරිනම දුන්නේ. නායකයෝ දෙන්නම අජිත් නිසා එයාට වැරදීමක් වෙලා කියල හිතල අතින් දාල කියල. අපේ තාත්ත මිහිර පත්තරේට කතා කරාම කිව්වලු පොඩි වැරදීමක් දැන් හදන්න බැහැ . කොහොමත් ෆොටෝ එක තියනවනේ කියල. ඔයාටත් කියන්න තියෙන්නේ ඉතින් ෆොටෝ එකෙන් අඳුර ගන්න බැරිනම් මම වෙන්න බැහැ, හේ හේ . වෙන කවුරුහරි වෙන්න ඇති. නැත්නම් ආනන්දේ වගේ කොලිජියක් පරදින්නේ කොහොමද නේද? හේ හේ

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .