Saturday 31 October 2020

කොරෝනා හැදුනු පසු මොන බෙහෙත් ද ගන්නේ -ආයුර්වේද එපාද

 


මම මීට ප්‍රථමයෙන්  ලිපියක් පලකළා කොරෝනා හැදුන  රෝගියකුගේ සටහනක් කියල එකක්. ඒ හැදුණේ අරුණ පෙරේරා සහෝදරයාට  (ලන්ඩන්). අරුණ ගෙන් මම ඇහුව ලංකාවේ ඔය කියන ආයුර්වේද බෙහෙත් භාවිතා කලාද කියල. අපි හැමදාම භාවිතා කරන බෙහෙත් වර්ග ඔහුත් භාවිතා කරල තිබෙනවා. 

අද වෙනකොට ලන්ඩනයේ මම දන්නා පස් දෙනෙක් ම නොඑන ගමන් ගිහින් කෝවිඩ් 19 වෛරසය නිසා. ඒ වගේම කොරෝනා අපේ නිවසත් ආක්‍රමණය කළා. මගේ බිරිඳට හැදුනා.  ඇය රැකියාව කරන විදුහලින් හැදෙන්නට ඇතිය කියා තමයි අපි හිතන්නේ. ගොඩක් සිසුන් මීටර දෙකේ සීමාව තියා  ගන්නේ නැහැ. ඒ වගේම මාස්ක් දාගන්නේ කිව්වොත් විතරයි.  

මමත් බිරිඳත්   සාමාන්‍යයෙන් දවසට කිලෝ මීටර 5-10 ඇවිදින දෙන්නෙක් ව්‍යායාමයට. ඒ වගේම එයා කඳු නගින්න හෙමත් දක්ෂයි. නිරෝගී කියල කියත හැකි අතුරු අබාධ නැති සෑහෙන්න ශක්තිමත් කෙනෙක් කියල එයා අඳුරන අය උනත් දන්නවා.

හිටපු ගමන් කලන්තේ වගේ කිව්වා. නිදිමත ගතියක් එනවා කිව්වා. ඇඟට හුඟක් මහන්සියිලු. ඇඳට වැටුන ගිහින්. සාමාන්‍යයෙන් මොහොතක් නිකන් ඉන්නේ නැති ක්‍රියාශීලි කෙනක් වන එයා  එහෙම වුනහම අමුත්තක් දැනෙනවා. 

ඊට පස්සේ අපි ලඟම තියෙන සෙන්ටර් එකෙන් කෝවිඩ්  ටෙස්ට් එක කළා. පොසිටිව්. 

ඒ අස්සේ මම සුපර්මාකට් ගිහින් සති දෙකකට විතර අවශ්‍ය කෑම බීම ගෙනාව. දවස් 14 ක නිරෝධායනයක් නේ.

 එයා ආව ගමන් ඇඳට වැටුන . දවස් දෙකක් ගියා නැගිටින්න. 

  අපේ දූලා  පොඩි කාලේ පැරසිටිමෝල් (ළමයින්ට දෙන්නේ කැල්පොල් වැනි අඩු මාත්‍රාවක් ඇති බෙහෙත) නියුරෆෙන් හෙම දෙනවට බිරිඳ විරුද්ධ වුණා . එනිසා අපි ඒ බෙහෙත් දුන්නේ නිවාඩු ගිය වෙලේක අසනීපයක් වුනොත් හෝ ඉතාමත් හදිසියකදී පමණයි.

හුඟක් වෙලාවට ලංකාවේ තේ කියල අපි දුවලට දුන්නේ කොත්තමල්ලි. මේ පර්යේෂණ ලිපිවල  කොත්තමල්ලි  බඩේ ඇති  අම්ලකාරී ගතියට භාවිතා කළ හැකි බව කියනවා.   එසේම ප්‍රතිජිවකයක් වශයෙනුත්. මගේ ළමයින්ට දින කිහිපයක් දෙනකොට ඔවුන් සෙම් ප්‍රතිශ්‍යා  ඉබේම සනීප වෙනවා. කොහොමත් වයිරස් රෝග ඉබේ සනීප වෙන ඒවනේ. සමහර විට කොත්තමල්ලි වලින් උදව්වක් ඇති.

  මගේ බිරිඳ බඩේ අමාරුවට මට වගේම එයාලටත් කැමමයිල් තේ දුන්නා. නැත්නම් මාදුරු (caraway seed ) තම්බා දුන්න. කැස්සට තවත් ජර්මන් තේ වර්ග කිහිපයක්  තිබුන. 


 අපේ පස් පංගුව (පත්පාඩගම් , වෙනිවල්ටගැට  ආදී ) වැනි පැකට් එකක් ජර්මන් ෆාමසි එකකින් ගෙනත් තිබ්බ. මේ නිසා මම ඇහුවා කොහොමද මේවා ගැන දන්නේ කියල. එතකොට තමා දැන ගත්තේ ජර්මන් දොස්තරවරුන් විසින් මේ අනිත් ප්‍රතිකාර විධි ගැනත්  රෝගියාව දැනුවත් කළ යුතුයි කියල.


එනිසා අදත් අපි සමහන්, කොත්තමල්ලි, සහ පස්පංගුව මුලික සෙම් ප්‍රතිශ්‍යාවක් හෝ උණක් හැදුනොත්  භාවිතා කරනව. කරවිල කනවා සීනි අඩුවෙන්න. කරපිංචා මැල්ලුම හදනව කොලෙස්ටරෝල් බහින්න. 

ඒ දවස් වල පැපොල වගේ ලෙඩ හැදුනම කොහොඹ කොළත් ගෙවල් වල තියනවා නේද. හොයල බලන්න, ඒකත් හොඳ ඖෂධයක්.

එම අතරතුර බටහිර බෙහෙතුත් ගන්නවා. මොකද ඒවා ඉක්මනින් ප්‍රතිඵල ගෙන දෙන නිසා. විද්‍යාවේ දියුණුව අපි හෙලා දකින්නේ නැහැ. නමුත් ආයුර්වේද බෙහෙත් දන්නා පරිදි භාවිතා කරනවා.

මම දැන් මේ ටික ලිව්වේ හුඟක් අය ආයුර්වේද බෙහත් ගන්න එක ගැන හිනාවෙන නිසා. තමන්ට කෝවිඩ් 19 වෛරසය වැළඳුනොත් තමන් කොහොමද ක්‍රියා කරන්නේ  කියල පොඩ්ඩක් හිතන්න මුලින්ම. අර සරදමට හිනාවුනු   බෙහත් හොරෙන් ගන්නවද ? නැත්නම් රෝහලට ගෙනියනකන් ඉන්නවද? ලංකාවෙත් දැන් රෝහල් වල ඉඩ නැති නිසා ආශ්‍රිතයන් ගෙනියන්නේ නැහැ. හෙට අනිද්දට අමාරු නැති රෝගීන්  ගෙනියන එකකුත් නැහැ.

එංගලන්තේ නම් හොඳටම අමාරු වුනොත් විතරයි ගෙනියන්නේ.  ඒ නිසා දන්න බෙහෙත් (හැම එකම නෙමේ) භාවිතා කරන්න වෙනවා.

මම කෙළේ මුලින්ම මුළු ගෙදරම හොඳට පිරිසිදු කරපු එක. බැක්ටීරියා නාශක  වැඩක් නැති නිසා වයිරස් නාශක කියල කියන ක්ලීනින් ප්‍රඩක්ට් එකක්  තමා භාවිතා කළේ. බ්ලීච් හෙමත් භාවිතා කළා . ඩෙටෝල් එක්ක.  මේකට මෙහෙ කියන්නේ deep cleaning කියල. පොළොව හෙම හොඳට මෝප් කරනවා විෂබීජ නාශක දාල. 

බිරිඳට  උණු වතුර දුන්න බොන්න ෆ්ලාස්ක් එකකට දාල. ඒකට ඉඟුරු කෑල්ලක් තලලා දාල දෙන්න කියල එයාම ඉල්ලුව. මි පැණිත් දැම්ම.එයාගේ උගුරට හොඳයි කිව්ව නිසා. මේකෙන් වයිරසය මැරෙන්නේ නැති වෙයි. නමුත් කන්න බොන්න එනිසා පහසුයි.දුම් අල්ලන ඒවා ගැන  මම  දන්නේ නැහැ. එනිසා ඒවා කලේ නැහැ.

දුවලට නාසය හිර වුනහම වතුර උණු කරලා සිද්ධාලේප ටිකක් දාල කාමරෙන් තිබ්බහම නාසය බුරුල් වෙලා හුස්ම ගන්න පුළුවන්  කියල අත්දැකීමෙන්   දන්නා  නිසා ඒකත්  කළා.

ලක් පේයාව, සංස්ථා පේයාව, සමහන් - ඔය තුනම වරින් වර දුන්න. ඉනෙස් කොහොමත් ඒවා බොන්න කැමතියි.  පුළුවන්තරම් පලතුරු කන්න දුන්නා. පලතුරු යුෂ බොන්න  දුන්න. මි පැණි ගාලා ටෝස්ට් කරපු පාන් දුන්න. මී පැණි හුඟක් හොඳ ඖෂධයක්  නිසා. 




කෑම රස දැනුනේ නැහැ එයාට.

එක දවසක් කරවිල හොඳට තුනපහ  දාල හදල දුන්න. ඒකෙ රහ දැනුන. ඒ කියන්නේ හොඳ වේගන වෙනවා. 

දවස් හතකින් විතර හොඳයි.

අපට පාන් ඉවර වුනා. අපේ මිත්‍රයෙක් වන ටයෙක්වොන්දෝ මාස්ටර් දුෂාන්ත පෙරේරා පාන් ටික ගෙනල්ල දුන්න ඉඟුරු හා ලෙමන් එක්ක. ස්තූතියි දුෂාන්ත. ඇවිත් එළියෙන් තියල ගියා. ඒ වගේ යාලුවෝ ඉන්න එක ලොකු දෙයක්. කියල තියෙන එක හොඳයි කාට  හරි.

මොකද්ද ඉඟුරු කතාව. අපි කොහොමත් ඉඟුරු දාල කහට තේ බොන කට්ටිය. සාමාන්‍යයෙන් පොඩි කන්දක්  නගින්න යනකොට, කිලෝමීටර ගාණක් ඇවිදින්න යනකොට ඉඟුරු දාපු තේ ගෙනියන එක මගේ පුරුද්දක්. 

ඉඟුරු දුන්නේ වමනේ යන එක වලක්වන්න.

මොකද මේ ලෙඩේට සමහර අයට වමනේ යනවා.

ඉතින් තේ කහට ඉඟුරු දාල ලෙමන් දාල හදල දුන්න නිතරම.

මේ හැම වෙලේම අපි මීටර දෙකේ දුර තියා ගත්ත. 

 ඒ වගේම කියන්න ඕනේ මාර්තු මාසෙට කලින් ඉඳන් අපි විටමින් D ගත්ත.

තව එකක්. ජර්මන් වෛද්‍යවරුන් ගේ නිර්දේශයක් තමයි පුළුවන් තරම් පිරිසිදු වාතාශ්‍රය රෝගියාගේ කාමරේ ඇති කරන්න කියන එක. අපි කාමරේ ජනේලේ වැහුවේම නැහැ. සිතල එයාට ඔරොත්තු දෙනවා. අවශ්‍ය නම් පොරොව ගන්න පුළුවන්. නැත්නම් heatin දාන්න පුළුවන් ජනේලේ ඇරලා. මුළු ගෙදරමත් ජනෙල හුඟක් වෙලාවට ඇරිය . වාතයේ වෛරස් සාන්ද්‍රණයක් පැතිරිලා තියෙනවනම් ඒක අඩු වෙනවා. 

එයාට ට දැන් හොඳයි. මට කියන්න බැහැ  ඔය පේයාව ගත්ත නිසා හොඳ වුනා, කොත්තමල්ලි නිසා හොඳ වුනා කියල. උණු වතුර නිසා වයිරසේ මැරුණා කියල.  නමුත් ඒ දේවලින් කිසියම් සහනයක් ලැබෙනවා කියල දැන් දන්නවා අත්දැකීම නිසාම.  

රෝහලට ගෙනියන්න බැහැ  අමාරුම නැත්නම්. අපිට අපි විතරයි. උඩ  පනින්නේ හිනා වෙන්නේ නැතිව තමන් දන්නා විධිහට බේරෙන්නයි තියෙන්නේ. අපි අද පොඩ්ඩක් ඇවිද්ද. එයාට  තවම අමාරුයි ඉස්සර වගේ ඇවිදින්න. කිලෝ මීටර් දෙකයි ඇවිද්දේ. 

මම ගිහින් PCR ටෙස්ට් එක කලා . මට නෙගටිව්. හේතුව ඉතින් සෑහෙන්න පරිස්සම් වුන නිසා වෙන්න ඇති.

The Amazing and Mighty Ginger

11 Proven Health Benefits of Ginger

coriander-coriandrum-sativum-research

8 Surprising Health Benefits of Coriander

Effects of Different Levels of Coriander (Coriandrum sativum) Seed Powder and Extract on Serum Biochemical Parameters, Microbiota, and Immunity in Broiler Chicks

23 comments:

  1. අපි ලෝක බෝලේ අනිත් පැත්තේ නිසා පහුගිය දවස්වල සීත කාලය.උගුර රිදෙන්න අරං ආසාධනය වෙන එක මට හැදෙනවා එතකොට. මේ ගමන එහෙම හැදුනොත් දොස්තර ලඟට යන්න බෑ. මොකද ඒක කොරෝනා වල එක රෝග ලක්ෂණ යක් නිසා. ටෙන් පවුන්ඩ් පොමියෙක් හෙවත් සුද්දෙක් කියල දුන්න අත් බෙහෙතක් පාවිච්චි කරලා බැලුවා . හොඳටම හොඳයි. උනු වතුරට ඇපල් සයිඩර් විනාකිරි තේ හැන්දක් සහ මී පැණි තේ හැන්දක් දාලා කලවම් කරල බොනවා. ඉනෙස්ට ඉක්මනට යථා තත්ත්වයට පත් වෙන්නට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක අපිත් කරනවා, ඕක හොඳ අත් බෙහෙතක්. මේකට නම් කලේ නැහැ. හෘදයාබාධ හදුනා අයටත් හොඳයි කියනවා.

      Delete
  2. ඇයට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා.
    දුරබැහැර බටහිර රටක ඉක්මණින් බටහිර බෙහෙත් ලබාගන්න පුලුවන්කම තියෙද්දිත් ආයුර්වේද බෙහෙත් පාවිච්චිය ගැන පුදුම උනා විතරක් නොවෙයි ඒක ඉතා හොද වැඩක්. ඔය ආයුර්වේද බෙහෙත් එහේ විකුනන්න තියේනවාද? ලංකාවේ ඕනෑ තරම් ගන්න තිබුනත් මිනිස්සුන්ගේ පාවිච්චිය අඩුයි ඉක්මන් සුවය හොයාගෙන වන්ෂොට් දොස්තරලා ළගට යනවා. මමත් ඔය සංස්ථා පේයාව පාවිච්චි කරනවා. ඒක ගොඩාක් හොදයි.

    ReplyDelete
    Replies
    1. //ඉක්මණින් බටහිර බෙහෙත් ලබාගන්න පුලුවන්කම// මොනවගේ බෙහතක්ද ගන්න පුළුවන් මේකට? මේ වයිරස් ලෙඩේට තවම බෙහෙත් නැහැනේ. අන්තිම අමාරුවුනොත් රෝහලට ගෙනිච්චම දෙන ඒවා තියනවා. ඒවා ගන්න බැහැ ප්‍රේස්ක්රිප්ෂන් නැතිව. ආයුර්වේද බෙහෙත් විකුනන්න තිබෙනවා දෙමල කඩවල

      Delete
  3. මේ විස්තර ලිව්වාට බොහොම ස්තූතියි. මං හිතන්නෙ නෑ, මෙතන හිනාවෙන්න කිසිම දෙයක් ලියවිලා තියනවා කියලා. තේ කහට, මීපැණි, ලෙමන් සහ ඉඟුරු පානය සෙම්ප්‍රතිශාවට සහනයක් දෙන බව අත්දැකීමෙන් දන්නවා.

    ReplyDelete
    Replies
    1. ඒවා වලින් සුව වුනාද දන්නේ නැහැ. වෙන මුකුත් නැහැනේ. ඕක තමයි ඉතුරු වෙලා තියෙන්නේ කරන්න.හිනා වෙනවනේ කට්ටිය බුකියේ.

      Delete
  4. මේ විස්තර ලිව්වාට බොහොම ස්තූතියි. මං හිතන්නෙ නෑ, මෙතන හිනාවෙන්න කිසිම දෙයක් ලියවිලා තියනවා කියලා. තේ කහට, මීපැණි, ලෙමන් සහ ඉඟුරු පානය සෙම්ප්‍රතිශාවට සහනයක් දෙන බව අත්දැකීමෙන් දන්නවා.

    -බස්සා-

    ReplyDelete
  5. අපි යම් යම් දේවල් වලට හිනා උනාට අපේ ඇඟවල් සමහර ලෙඩ වලට, සමහර ඖෂධ වලට කොහොම ප්‍රතිචාර දක්වනවද කියල අපි තාම හරියට දන්නෙ නෑ මම හිතන්නෙ.

    ඔය සිංහල බෙහෙත් ජාති ගොඩක් ඒව පාවිච්චියෙන් හානියක් වෙන්නෙ නැති හින්ද ඒව පාවිච්චි කරනවනං නරකක් වෙන එකක් නෑ කොහොමටවත්.

    ReplyDelete
    Replies
    1. ගත්තට නරකක් නැති නිසා හොඳක් වෙනවා කියල හිතාගෙන ගමු. ලෙඩේ ටිකක් අමාරු එකක් ඇඟට

      Delete
  6. ලංකාවේ පැරණි සිංහල වෙදකමේ තිබුන බොහොමයක් දේවල් ඉතාම මෑත කාල වලදී බටහිර වෙදකම් සඳහා භාවිතා කරනවා.

    Vaporizer එකක් එහෙම නැතිනම් Nebuliser එකක් කියලා හයි ෆයි විදියට හැඳින්වෙන යන්තර එන්න කලින්, සරම ඔලුවට උඩින් දාගෙන කොත්තමල්ලි දුම් අල්ලපු එකෙන් කෙරෙන්නෙත් ඒ කාර්යයම නේද?.

    තෙල් සාත්තුව කියලා, බෙහෙත් තෙල් ගාලා රත් වෙනකම් තවන, අතගාන එක අපේ වෙද්දු කලේ Physiotherapy කියන වචනේ හැදෙන්නත් ඉස්සෙල්ලයි.

    ඉංග්‍රීසි වෙදකමේ හැටියට Eczema සහ Asthma අතර තියන සම්බන්ධය හොයාගෙන තවම වසර විස්සක් විසිපහක් වත් නැති උනාට, අපේ රටේ වෙද්දු පමණක් නොවෙයි, වැඩිහිටි සීයලා ආච්චිලා පවා පරම්පරා ගණනක් තිස්සේ දැනගෙන හිටියා දද හෝ හමේ කැසීම් ( Eczema) හොඳ කලොත් ඕක පීනසට (Asthma) එනවා කියන එක.

    අර කවුද මන්දා ටියුෂන් කාරයෙක් පෙනිසිලින් හොයාගත්තේ දුටුගැමුණු රජතුමා කියලා මෝඩ ජෝක් එකක් දැම්මාට, සිංහල වෙදකමේදී පැසවපු තුවාල වලට පෙනිසිලින් වැඩී ඇතැයි සැක කල හැකි මාධ්‍ය සහිත ප්‍රතිකාර කර තිබෙනවා. ඒවා පරණ කැවුම් හෝ වෙනත් පිටි/පැණි ආහාර විය හැකි උනත්, පසුකාලීනව (පෘතුගීසීන්ගේ 1505 ආක්‍රමණයෙන් පසුව විය යුතුයි) පැසවපු තුවාල වලට "පරණ" පාං කෑල්ලක් බැඳ තැබීමත් සිදු උනා.

    අද කාලේ බොහොම පොෂ් විදියට භාවිතා කරන aloe vera කියන්නේ නිකම්ම නිකං කැලේට වැවෙන, ගම්වල ගැහැණු හම පියකරු වෙන්න ඇඟේ ගාපු කෝමාරිකා වලට නේද??

    කොහොම උනත්, ඉනෙස් ට ඉක්මන් සුවය පතනවා. ඔබටත් දරු දෙදෙනාටත් මේ ලෙඩෙන් ගැලවී ඉන්න ලැබේවා කියලත් පතනවා.

    ReplyDelete
  7. //ලංකාවේ පැරණි සිංහල වෙදකමේ තිබුන බොහොමයක් දේවල් ඉතාම මෑත කාල වලදී බටහිර වෙදකම් සඳහා භාවිතා කරනවා.// ඔව්. කරවිල ටැබ්ලට්,කහ ටැබ්ලට් විකුණන්න තියෙන්නේ , ගංජා තෙලුත් දැන් තියනවා.

    //Vaporizer එකක් එහෙම නැතිනම් Nebuliser එකක් කියලා හයි ෆයි විදියට හැඳින්වෙන යන්තර එන්න කලින්, සරම ඔලුවට උඩින් දාගෙන කොත්තමල්ලි දුම් අල්ලපු එකෙන් කෙරෙන්නෙත් ඒ කාර්යයම නේද?// ඔව් නේ ඉතින්
    ඇයි කරදමුංගු පේස්ට් එක දතේ කැක්කුමට
    //අද කාලේ බොහොම පොෂ් විදියට භාවිතා කරන aloe vera කියන්නේ නිකම්ම නිකං කැලේට වැවෙන, ගම්වල ගැහැණු හම පියකරු වෙන්න ඇඟේ ගාපු කෝමාරිකා වලට නේද??// ඔව්. හැබැයි ඒක අරගෙන තියෙන්නෙම ගැහැණු පාවිච්චි කරනවා දැකල. බටහිර කම්පැනි වලින් ස්කවුට් ලා යවනව ඔය බෙහෙත් සහ රූප ලාවන්ය දේ හොයාගෙන ගෙනත් පර්යේෂණ කරන්න.. මේක ගොඩක් අය දන්නැති දෙයක්.

    ReplyDelete
  8. ජර්මනියේ නැද්ද ඒ රටට ආවේනික වෙදකම් ක්‍රමයක්?

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ආයුර්වේදය තියනවා වගේ හර්බල් මෙඩිසින් සිස්ටම් එකක් තියනවනේ. නතුරලොගී වගේ එකක් කියන්නේ. මෙගේ බිරිඳ එකක් ඇවිදින්න යනකොට මට අත දික්කරල කියනවා මේ පැලේ මල් වලින් හදන තේ එක මෙන්න මේ ලෙඩේට හොඳයි වගේ කතා. මාත් දැන් ඒ නිසාම දන්නවා. ජෑම් හදන්න දන්නවා වගේ තමා. හිට්ලර් ගේ කාලේ නාසි නිලධාරින් ඒ සම්ප්‍රදයික බෙහෙත් වලට වෙනම නිලධරයන් පත් කරලා තිබිලතියනවා. මට නම මතක නැහැ. බටහිර වෙදකමත් ජර්මනිය ඇතුළු යුරෝපයේ දියුණු වුන එකක්නේ. ජර්මන් අය ඒකට කියන්නේ ක්වික් ෆික්ස් කියල. හර්බල් ක්‍රමය දීර්ඝ කාලීන ලෙඩේ හැදෙන්න හේතුව හොයන එකක් කියල කියන්නේ. ජමන් දොස්තරලට ඒ බෙහෙත් ගැන අවබෝධයක් දෙනව මම දන්න විධිහට.

      Delete
  9. අජිත් මහත්තයා, ගිලෙන්නට යන මිනිසා පිදුරු ගහේ එල්ලීම වුවත් අනුමත කල හැකියි. එම නිසා, මේ වෙිලාවෙි වඩා සුදුසු දේ හෝමියෝපති ද ඇලෝපතියද  කියා සිතමින් සිටිනවාට වඩා සුදුසු යැයි සිතෙන වෛද්‍ය කර්මයකින් වෛරසය පාලනය කරන එක තමයි හොඳ. මගේ අද්දැකීමට අනුව (දැනුමට අනුව නොවෙි) ඇලෝපති වෛද්‍ය ක්‍රමය හැර අන් බොහොමයක් වෛද්‍ය ක්‍රම pseudoscientific. එහෙත් කුකල් බෙට්ටක් දී මිනිස් හෝ කවර ජීවිතයක් හෝ බේරා ගත හැකි නම් එය නොවේද අගනාම දෙය? ඔබ කලේත් ඒ දෙයයි.

    කාලෝ ෆොන්සේකා මහතා එක්තරා මහජන දේශනයකදී කියා සිටියේ, "..අපි දෙන බෙහෙත්වලින් රෝගීන් ගෙදර යාම හෝ ස්වර්ගයට යාමේ සම්භාවිතය 50% .." කියාය. ඔහු නොකියා කීවේ ඇලෝපති වෛද්‍ය ක්‍රමයේ ඔවුන් දන්නේ 50% කියාද?නමුත් අපට පෙනෙන ලෙසටම සුවය ලබා ගෙදර යන රෝගීන්ගේ ප්‍රමාණය 50% වඩා වැඩියි.

    ඔබේ බිරිඳට වෛරසය පහර දීමට පෙර, ඔබ ඉදිරිපත් කල තොරතුරුවලට අනුව ඈ ඉතා නිරෝගී සහ ක්‍රියාශීලී  කාන්තාවක් නිසා, ඇයගේ ප්‍රතිශක්තිකරණය ඉතා ඉහල අගයක තියෙන්නට ඇති. ඇයට එල්ලවූ කෝවිඩ් 19 ප්‍රහාරයෙන් පසුව ඊට විවෙිකය, ඉහල පාරිසරික සහ මානව ස්වස්ථතාවය, සහ සංකූලතාවයන් අවම කිරීමට ඔබ  යෙදූ උපක්‍රම ඈඳූ කල වෛරසය (වම) සහ ඇයගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ (දකුණ) අතර සමතුලිතතා අගය 1 වඩා වැඩි අගයක් ලබා ගන්නට ඇති.

    අවසාන විග්‍රහයේදී ජීවය යනු භෞතික සාධකවල සමුච්චයක්  නිසා හෞතික සමීකරණ, පරිගණක ලේඛන  සහ ගණිතය යොදා මිස මෙි වෛරසයට ප්‍රතිකර්මයක් සොයා ගත නොහැකි බව තමයි මට හිතෙන්නේ. එන්නතක් හදන්න වෙන්නේ Wallace Hume Carothers  විසින් nylon හොයා ගත්ත විධියට තමයි. නැත්නමි මේක මහා කාලය නාස්ති වීමක්.

    කෝවිඩ් මරණ සංඛාව මිලියනය පසු කල විටවත් මුලු ලෝකයේම ජාතික රාජ්‍යයයන් තම ජාතික කොඩි අඩ කුඹ කොට, ජාත්‍යන්තර සහයෝගීතාවයකින් යුතුව මේ මහත් මානව ව්‍යාසනයෙන් ගැලවීමට සහයෝගීතාවයෙන් වැඩ නොකරන තාක් තව මිලියනයක් මිය ගියත් ධනේශ්වරයට ඉන් වැඩක් නැත.

    කෝවිඩ් යනු ධන උල්පතකි. සහයෝගීතාවය ධන ඒකරාශීයට විරුද්ධය.

    ඔබේ බිරිඳට පශ්චාත් කෝවිඩ් සංකූලතා අවම වෙිවා!
    ඔබ සහ දරුවන් දෙදෙනා වෛරස් ප්‍රහාරයෙන් ගැලවේවා!
    මේ ව්‍යාසනය හමුවේ හෝ ලෝකය සහයෝගීතාවයේ එකම යායක් වේවා!

    CP-C

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහ එකඟයි ඔබේ අදහස් වලට. එන්නතක් සෙවීම තමා කල යුත්තේ. මේක වයිරස රෝගයක් නිසා ඉක්මනින් කරන්න බැහැ. ඔය උඩ දාල තියෙන යොමු බැලුවද. කොත්තමල්ලි, ගින්ගේර් ආදිය ගැන විද්‍යාත්මක පර්ය්ෂණ යනවා. ඒවා හොඳ බව බොහෝ අය පිලි ගන්නවා දැන් බටහිර නේද. අනික මේ පෝස්ට් එක ලියන්න හේතු කිහිපයක් තිබෙනවා. එකක් තමයි වෛරසය හැදුන මිනිසුන්ට ලංකාවේ සලකන ආකාරය. සමහර අය හංගනවා. විකාර කරනවා. පොලිසිය හමුදාව යනව අපරාධ කාරයෝ අල්ලන්න වගේ. ඉතින් මම බිරිඳ ගෙනුත් අහලා තමයි ලීවේ. දරුණු බෝවෙන සෙම් ප්‍රතිශ්යාවක් හැටියට සලකන්න. අපරාධයක් හැටියට නෙමේ කියන්න. අනික මිනිස්සු බය වෙලා ඉන්නේ හොඳටම. ඇමෙරිකාවේ තත්වය වත් එංගලන්තයේ තත්වය වත් නෙමේ. මේ රටවල අපි ගණන් ගන්නවා අඩුයි නේ. අනුකම්පා කරන්න ඕනේ වෙලාවක සරදම්කාරී විවේචනයෙන් වැඩක් නැහැ.හැකි තරම් එක ගෙදර වුනත් නොහැදී බේරෙන්න පුළුවන් කියන එකත් මට කියන්න ඕන වුනා

      Delete
    2. මම මෙතැනදී බටහිර වෙදකම් එපා කියන එක නෙමේ කියල තියෙන්නේ. බ්‍රිතාන්‍යයේ කොරෝන හැදුන කියලා රෝහලට ගෙනි යන්නේ නැහැනේ. එනිසා ආපේ පාරම්පරික වෙදකම් භාවිතා කරන එකේ අවුලක් නැහැ කියන්න. ඉඟුරු, කොත්තමල්ලි වැනි දේ ගැන වෛද්‍ය පර්යේෂණ සිදු කරලා ඒවා හොඳයි කියල තහවුරු කරලා තියෙන්නේ.

      Delete
  10. ඔබේ බිරිඳට ඉක්මන් සුවය ලැබේවා කියාත් ඒ වගේම පවුලේ අනෙක් අයට ආසාදනය නොවේවා කියාත් පතනවා. මේ විස්තරය ලිවීම වටිනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි එකොනොමැට්ස් . බිරිඳට දැන් හොඳයි. ඕනෑවට වඩා බය වෙන්න එපා කියන අදහසත් මට දෙන්න ඕනෑකම තිබුන. මොකද හරිම පීඩාකාරී වාතාවරණයක්ති ලංකාවේ තිබෙන නිසා.

      Delete
  11. අපෙ ආදරණීය සහෝදරියට පූර්ණ සුවය ඉක්මණින් ලැබේවා. මට මතක හැටියට හිපොක්‍රටීස් කළෙත් ඔයිට සමාන ප්‍රතිකාර ක්‍රමයක්. විශේෂයෙන් ජනෙල් ඇර වාතාශ්‍රය සැපයීම, ලිහිල් වීමට ඉඩ සැළසීම වගේ දේවල්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වැම්පි මල්ලි. ඔව් , වාතාශ්‍රය ලබාදීම ඉතාමත් වැදගත්

      Delete
  12. හරිම වටිනවා මේ සටහන්.ගතයුතු දෑ බොහෝයි.ඇයට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමි.

    ReplyDelete
  13. අපේ ගෙදරත් අම්මා ගොඩක් වෙලාවට සතියකට සැරයක් වත් වෙනිවැල්ගැට එහෙම තම්බලා බොන්න දෙනවා. ලෙඩක් තිබුණත් නැතත්. ඒක ගොඩක් හොඳයි කියලා හිතෙනවා ප්‍රතිශක්තිකරණයට. දැන් සමහර අයට මේවා වැදගත් නොවුනට ඉස්සර මිනිස්සු ලෙඩ සනීප කර ගත්තෙ මේ ආයුර්වේද බෙහෙත් වලින් තමයි.අයියගේ බිරිඳට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .