Monday 24 May 2021

එංගලන්තේ එන්නත් පෝලිම


මීට කලින් ලිව්ව කෝවිඩ් කතාවලට දැන් තුන්වෙනි රැල්ලකුත් එකතුවෙලා.  මේක මේ එන්නත් පෝලිම් ගැන අහපු කතාවක්. කීවේ යාළුවෙක් උනාට නම ගම විස්තර දාන්න එපා කීව නිසා එයාව  ඇම්ඩා කලා.
 
ඔන්න ඇම්ඩා  කෝවිඩ්එ න්නතක් ගහගන්න පුලුවන්ද බලන්න වෙබ් අඩවියක ලිපිනය දාපු එයාගේ ගම පැත්තේ මධ්‍යස්ථානයකට ගිහින්. පෝලිම තියෙනවලු කිලෝ මීටරයක් විතර දුරට. පන් මල්ලක එළවලු ටිකක්  දාගත්ත මැදිවියේ අක්ක කෙනෙක්,  වයසක අම්ම කෙනෙක් එක්ක හිටියාලු පෝලිමේ අන්තිම කොනේ. ඔන්න ඇම්ඩා හිට ගත්තලු ඒ  පිටි පස්සේ.  ඒත් ඉතින් මගේ යාළු ඇම්ඩා ට එක තැන ඉන්න පුළුවන් එකෙක් නෙමේ. ඇම්ඩා ගේ පිටි පස්සෙන් අන්කල් කෙනක් ඇවිත් හිට ගත්තම,  අන්කල්ටයි අක්කටයි දෙන්නටම එයාගෙ පෝලිමේ තැන තියා  ගන්න කියලා ඇම්ඩා ගියාලු ඉස්සරහට,  පෝලිමේ මුල හොයාගෙන   නර්ස් නංගිලා දිහත් බලල එන්න හිතාගෙන.

මෙන්න බොලේ පෝලිමේ ඉස්සරහ තවත් පෝලිමක් යනවලු අනිත් පැත්තට.  ඇම්ඩා ටිකක් ඉස්සරහ හිටපු ලස්සන ඇන්ටි කෙනක් ගෙන් ඇහුවලු මොකද්ද මේ අනිත් පෝලිම කියල. ආ "ඒ මේ නෑදෑයන්ගේ යාලුවන්ගේ සපෝටර් ලගේ පෝලිම" නේ කියල. ඇම්ඩා ඇහුවලු ඇන්ටිගෙන්. "ඉතින් මේ ඒකත් තියෙනවනේ කිලෝ මීටර් භාගයක් විතර" කියල.
 
"ඒකනේ අනේ , හොඳ වෙලාවට අපේ දුව මේ අවුරුද්දේ මෙඩිකල් තේරුණා. මිට පස්සේ අපට පෝලිමේ ඉන්න ඕනේ නැහැ" . කියල තොල් දෙකත් උළුක්කු කරලා ඇන්ටි කියපි.

ඉතින් ඇම්ඩා ෆෝන් එක පීර පීර හෙව්වලු  කවුද ඉන්නේ දන්නා අඳුනන සවුක්කිය සේවකයෙක්,  දේශපාලකයෙක් කියල. හොඳ  වෙලාවට මතක් වුනාලු  ඇම්ඩා ගේ කොල්ල බඳින්න ඉන්න කෙල්ලගේ අම්මගේ නංගි ගේ බාල කොලූ පී එච් අයි මහත්තෙයක් කියල. ඇම්ඩා කෝල් එක ගන්න හදන කොටම මෙන්න අර  "නෑදෑයන්ගේ යාලුවන්ගේ සපෝටර් ලගේ " පෝලිම ළඟ හෙන කලබලයක් ලු.  ඒ ගමන ඇම්ඩා කෝල් කිරිල්ල පැත්තකට  දාල ඒක බලන්න ගියාලු. කෙහෙවලු පටලවාගෙන කලිසම් බෙල්ට් කඩාගෙන යනවලු දාර වලියක්. වලියක් කොතනද ඇම්ඩා එතන කියාගෙන ඇම්ඩාත් දැන් එන්ටර් වෙන්නලු යන්නේ. කාගේ හරි වලියක් නේ කියල.  ඔන්න එතකොට පොලිසියත්  ආවලු එතනට.

කවුද බූරුවෙක් පොලිසියට කතා කරලා නේ කියල හිතින්  බැන බැන ඇම්ඩා පාර අද්දර ගැට්ටක් උඩට නැග්ගලු වලිය බලන්න. ඒ ගමන පොලිසියේ ඇත්තොත් ගැට්ට උඩටම නැගල හරි බරි ගැහිලා වලිය බලනවලු. හොල්මන් වෙච්ච පාර ඇම්ඩා ගේ පොලිසි බයත් නැතුව ගිහින් ළඟම  ඉන්න රාළහාමි ගෙන් ඇහුවලු බයාදු ලීලාවක් දාල  
"මේ  රාළහාමි දෙකක් ඇදල දෙන්නැද්ද මුන්ට මව්කිරි මතක් වෙන්න. මෙහම රණ්ඩු  කරනවද නේද " 

රාළහාමිත් පුදුමෙට වගේ ඇම්ඩා එක්ක කතා කෙරුවලු.
"මොන පිස්සුඩ ඕයි අපට කියල තියෙන්නේ බලාගෙන ඉඳල පොලොසියට ගිහින් වාර්තාවක් ලියන්න විතරයි. හොඳට එන්නත් දුන්න කියල, ඕවට අත දාන්න ගිහින් කන්දකාඩු , කිලිනොච්චි පැත්තේ කොරෝනා ඩියුටි දැම්මොත් හෙම "

ඇම්ඩා ත් ඇරියේ නෑලු , "ඉතින්  මේ වලිය රාළහාමි තදයි වගේනේ  "

රාළහාමිට ඒ පාර තදවෙලා කීවලු 
"තමුසේ දන්නවද ඒ නිත්‍යානුකුලව බැණ අඬගහ ගන්නේ කවුද කියල. දිස්ත්‍රික් මන්ත්‍රී ගේ සපෝටර් තුමයි, එම් ඕ එච් ගේ අක්කගේ මහත්තයයි , පලස්සබා මන්ත්‍රීගේ බාප්පයි,  දිස්ත්‍රික්ගේ හොස්පිටල් එකේ අධ්‍යක්ෂක  ගේ   අයියයි ආ තව නර්ස් නෝනගේ අක්කගේ  දුවයි. ඒ ගොල්ලෝ ඔය සාකච්ඡා කරනවා කවුද වඩා සම්භාවනීය, කවුද ඉස්සෙලම එන්නත  විද ගන්නේ කියල. මේවා අපට අයිති වැඩ නෙමේ විසඳන්න. අර පෝලිමේ ඉස්සරහම පාර දෙණිය මහත්තයාගේ සංගමේ ප්‍රබල  නියෝජිතයෙක් ඉන්නවා. එයාගේ පවුලේ විසි දෙනාට ගැහුවට පස්සේ එයා ඕක විසඳයි කියල.  "

එහෙම කියල පොලිසිය අකුලාගෙන ගිහින්.  මගේ යාළුව හෙවත් අන්වර්ථ නාමයෙන්  පෙනී හිටින ඇම්ඩා  මේ නහින දෙහින කාලේ මොන එන්නත්ද කියල ඇළ ගාව ගෙදර කසිප්පු වීරේ ගෙන් කසිප්පු වඩියක් අරන් වයිරස් යන්න කටත් හෝදගෙන,  ධම්මික පැණි කුප්පියකුත් වැඩි ගාණට අරන් කුරුඳු සිගැරට්ටුවකුත් පත්තු කරගෙන ගෙදර   ඇවිත්.  

ඉතින් ඔන්න  මේ විස්තර  ලීවම සමහර නංගිලා බනිනවා පිටරට වලට ගිහින් තමන්ගේ රට සවුත්තු කරනවා කියල. එහෙම එකකට නම් නෙමේ ලිව්වේ. 

මමත් ඉතින් ලංකාවේ හිටිය පසුගිය මාසේ,  මේ අධිරාජ්‍යවාදී සුද්දන්ගේ ජරා කම කියන්නේ ජීපී ගේ  - ඒ කියන්නේ අපේ දොස්තර  -  සේවයෙන් මට මෙසේජ් දෙකක්ම එවල දෙවෙනි එන්නත ගහ ගන්න එන්න කියල. අපි දුඹුරු  හින්දද  මන්ද ඇස්ට්‍රා සෙනෙකා එක දෙන්න තමයි එන්න කියන්නේ.  බලනකොට වයිෆ් ටත් ඒකමනේ . මාව බැන්ද හින්ද වෙන්න ඇති කියල හිත හදා ගත්ත.

ලංකාවෙන්  ආවට පස්සේ එතනත් වර්ණභේදය. බෝඩර් එකේදී ප්‍රශ්නම දෙකක් ඇහුව. පීසීආර් එක කලාද? කෝ මොබයිල් එකේ ඊමේල් එක පෙන්නන්න කියල. යන්න කිව්වා. ඊට පස්සේ ඉතින්  අධිරාජවාදී සුද්දෝ දවස් දහ හතරක්ම මට ගෙදරින් එළියට යන්න එපා කිව්වා. පීසීආර් දෙකකුත් කරන්න වුනා. අර ඉන්දියන් කාරයෝ වගේ හොර එකක් හදා ගෙන  දෙන්නවත් වෙලාවක් නැහැ.  

ඒ නිවාස  අඩස්සියේ ඉඳල ඊට පස්සේ ජීපී සේවයට  කෝල් කලහම විනාඩි දහ අටක්ම ඉන්න  උනා දුරකතනයේ ෆෝන්  එකේ එල්ලිලා. අනිවාර්යයෙන්ම දන්නවා ඇති මේ ආසියානු එකෙක් තමයි කියල. ඒක තමයි එච්චර  වෙලා ගත්තේ. ඊටත්  පස්සේ දවස් තුනක්ම ගත්ත දෙවෙනි එන්නතට අපොයින්මන්ට් එකක් දෙන්න. මගේ නම බලල තේරෙන්න ඇති ආසියාතිකයෙක් කියල. තනිකරම සුදු ජාතිවාදය. මගේ ජීපි සහ ඒකෙ වැඩ කරන අයනම් ටැමිල් හැබැයි. නමුත් සුද්දන්ට නේ වැඩ කරන්නේ.
 
ඔන්න ඉතින් ඉරිදා දවසේ එන්නත ගහගන්න ගියා. පලවෙනි එක ගහල තියෙද්දිත් පෝලිමේ ඉන්න කීවනේ . කළු තරුණියෝ දෙන්නෙක්  තමා  එතන පිළිගැනීමේ  නිලධාරිනියන්. සුද්දන්ට කත් අදින නිසා මට පෝලිමේ පිටි  පස්සටම යන්න කීව . එකසිය පනහක් විතර හිටිය පෝලිමේ. මාව සුද්දන්ගේ පිටි පස්සටම දැම්ම. මගේ ඉස්සරහ හිටියේ  ස්පාඤ්ඤ ගෑනියක් හැබැයි. පෝලිමේ පිටි පස්සට ඊට පස්සේ ටික ටික සුද්දෝ, කළු අය එහෙම එකතු වෙන්න ගත්ත. ඔත්තු බලන්නද මන්ද. පැය භාගයක් ම පෝලිමේ හිටිය මාත්. හරි පිළිවෙලට පෝලිම ගියා. කොහෙන්වත් පනින්න විධිහක් නැහැ. සුද්දන්ට පුලුවන්ද වැඩක් කරන්න හරියට.

ඇතුලට යන තැන කළු  අප්‍රිකානු සම්භවයක් තියෙන සුද්දන්ට කත් අදින එකෙක්  තමා හිටියේ. නැත්නම් ඌට ඕන තරම් පුළුවන්නේ මාව පෝලිමෙන් පිටට අරගෙන එන්නත කලින්ම ගහල යවන්න. කළේ නෑ. 

ඉතින් පෝ ලිමේ ඉඳල අධිරාජ්‍යවාදී එන්නත ගහ ගත්ත. බ්ලඩ් ක්ලොට් හැදෙන්නේ නැත්ද කියල ඇහුවම කියනව අවුරුදු 30ට පහළ අයට විතරලු එහෙම  හැදෙනවා කියන්නේ. බොරුවක්ද කොහෙද?
එන්නත ගැහුවෙත් කළු දොස්තර  ගැහැණු ලමයෙකුයි සයිප්‍රස් වල හෙද නංගි කෙනෙකුයි.  මේ අධිරාජ්‍යවාදී සුද්දෝ  තවම මේ මිනිසුන්ව හූර කනවනේ.

සයිප්‍රස් නංගි ගෙන් ඇහුවා ඇයි මෙහෙ ඉන්නේ කියල. එහෙ ජොබ් නැහැලු. ඒත් ඉතින් මෙහෙ ඇවිත් එන්නත් ගගහ  මෙහෙ සුද්දට කඹුරනවට වැඩිය  තමන්ගේ රටේ හිටියනම් මොකද මං අහන්නේ? (මං ගැන අහන්න ඔට්ටු  නෑ)

ඔන්න ඉතින් එන්නත  ගහගෙන ආව  ගිය සුමානේ . තවම නම් මුකුත් නැහැ. මට ලෙඩ වුනොත් හෙම සුද්දට එරෙහිව නඩුවක් දාන්න වන්දි ඉල්ලලා. 

 මේ ලිපිය චීන වාමාංශික නෝනලා මහත්තයල පොෂ් ඉංග්‍රීසියෙන් බුකියේ ලියන එකට විරුද්ධ නිසා සිංහලෙන්ම ලියල දැම්ම. 

19 comments:

  1. මහ ජරා රටකනෙ ඕගොල්ලො ඉන්නෙ, අජිත්. අනිත් එක ලන්කාවෙ ඔය රැලි ආවෙ සම්පූර්නයෙන්ම ඔය ඇම්ඩා වගේ මිනිස්සු නිසා තැන් තැන් වල ඇවිදින්න ගිහිල්ලා. පව් ලන්කාවෙ ආන්ඩුව ඒ වගේ මිනිස්සු ආම් බාන් කරන්න වෙච්ච.

    ReplyDelete
    Replies
    1. ඒකනේ ලෝටස් මොනවා කරන්නද ඔන්නොහෙ දමල ගහල එන්න තමයි වෙලා තියෙන්නේ , ඔව් ඔව් ඇම්ඩා ලා තමා බෝ කලේ , ආණ්ඩුවට පවේ පව්

      Delete
  2. ඔන්න අමුතු ඇටේ සංචරණ සීමා ලිහිල්කරලා ගෙවල් වලට අත්‍යාවශය භාන්ඩ ගන්න ඉඩහැරලා. ඇම්ඩාත් ගියාලු බඩුගන්න මෙන්න බොලේ ලගම කඩේ වහලා. බැලින්නම් එකත් සුපර්මාකට් පෝලිමේ. හැමෝම බඩුගෙනියන්න ඇවිල්ලා තිබුනේ බරකරත්ත අත්කරත්ත රේසර් රෝද හයි කරපු ලෑලි කරත්ත වලින්. මාද්දපොරකාස තුමා කිව්වානේ කාර්බාර් වලින් ඇවිල්ලා තදබදේ වැඩිවෙලා කෙරෝනා වැඩිවෙයි කියලා. බරකරත්ත නොතිබ්බ ඇම්ඩා මාද්දයපොරකාසගේ කීමට අනුගතවෙලා ගෙදරට බඩු අතින් කටින් එල්ලන් විතරක් මදිව අංගජාතෙත් එල්ලගෙන ගියා.

    ReplyDelete
    Replies
    1. ඇම්ඩා ලයින් එකක් යයි වගේ. අංග ජාතේ තිබ්බ නිසා හොඳට ගියා , ක්ලිටරිය විතරක් තියෙන අයට තමා ප්‍රශ්නේ

      Delete
  3. මේ ලිපිය ලියලා තියෙන්නේ ඇත්තටම අජිත්ව සුද්දෝ කොන් කරලද, නැත්තං උත්ප්‍රාසයට ලියපු එකක්ද?

    ReplyDelete
    Replies
    1. ඔය විධිහටනේ සමහර ලංකාවේ අය එංගලන්තේ ගැන හිතන් ඉන්නේ ඇනෝ , හේ හේ කියවන කෙනා තෝරලා බේරලා කියව ගන්න ඕනේ හේ හේ

      Delete
  4. Replies
    1. ඔය Pra Jay උතුමාණන්ගෙ Heh, හ්ම්.., +++ කියන්නෙ WW2 German Enigma code වගේ කෝඩඩ් මැසේජ් එකක්.

      කෝවිඩ් ඇම්ඩා කතාව නියමයි. තව අතුරු කතා ලියවෙයිද කියල බලා ඉන්නවා😊

      Delete
    2. ඒ කියන්නේ අපට කෝඩ් බ්‍රේකර්ස් ල ටිකක් කුලියට ගන්න වෙයි වගේ.
      ස්තූතියි , අතුරු කතා ආවොත් තමයි ඉතින්.

      Delete
  5. තව ටිකක් කල් ලංකාවේ හිටියා නම් නව කතාවක් ම ලියන්න තිබ්බා එන්නත් පෝලිම් ගැන. ඒවා පැණි පෝලිමට දෙවැනි නෑ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ. ඔය අහපු ටික

      Delete
  6. වටින් ගොඩින් ඇවිත් කරකවල ඇත්ත කිව්වට තුති .හැමෝම බයේ කට අරින් නෑ .

    ReplyDelete
    Replies
    1. කවුරු හරි කියන්නත් එපැයි නේද , ස්තූතියි

      Delete
  7. නිල නොලත් ආරංචි
    ලැබෙන මුත් බෝ සෙයින්
    කියන්නට තහනම්ය
    කී හෙයින්, කනෙන් ඇද
    මොකුත් නොකියා සිටිමි.
    (චක්‍ර ලේඛත් ඇවිත්!)

    අජිත්ලට හොඳ වැඩේ
    ඉන්නෙ සුද්දගෙ රටේ
    මෙහෙ නම් හරි ෂෝක්
    'බට රලු' වෙලා නෑ

    ReplyDelete
    Replies
    1. ඔයාලටත් තහනම්ද
      බට රළු කතාව නම්
      තේරුනේ නම් නෑ
      තේරුණා වගේ ඉන්නම්

      Delete
    2. පද පෙරළි!
      පුල කච්චන්නා වගේ ....

      Delete
  8. අමුතු ඇටේ අපිට තියෙන එකම විනෝදේ ....

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .