Friday 18 June 2021

බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට ගිය දෙවෙනි චාරිකාව

පෙර කථාව:  

 කෝවිඩ් ව්‍යසනය ආරම්භ වී යන්තන් අවසන් වුනේ යයි අපට සිතුනු  වසර දෙදහස් විස්සේ නොවැම්බරයේ දිනෙක,  මම බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට ගොස් එලියට ඒමට නොහැකිව හිරව සිටියදී අති උත්තම රාවණා නරේන්ද්‍රයන් හමුවූ බව ඔබට මතකයේ ඇති.  මතකයේ  නැත්නම් මේ යොමුවෙන් කියවාගෙන මොළේ කුරුවල් කරගත හැකිය.   

රාවණා උදව් කිරීමට ඇසූ විට ඒ දිනයේ මම සම්පුර්ණ සත්‍යය ම මෙසේ පැවසුවෙමි. 
--
"අපෝ අවශ්‍ය  නැහැ දේවයාණන් වහන්ස. අපට රාවණා  පරපුරෙන් පැවත එන නෑ යකුන් බොහෝයි . ඒ අතරින් පවිත්‍රා දේවියන් වැනි සේනාධිනායිකාවන් සිටිති. සුදු එලියා වැනි සේනාධිනායකයන් සිටිති. ඔවුන් රාවණා මහිමයෙන් විශ්ව ශක්තීන් උපදවා රට රකිති. රාවණාවබෝධයෙන් යුත් රහතුන් දඬු මොණරකොප්ටරයෙන් ගොස් රට පුරා රාවණා ජලය ඉස ආශීර්වාද කරති.   රට වැසියෝ මොන ප්‍රශ්න පැමිණියත් නොබියවම ඉතා සතුටින්  කල් ගෙවති. " . --

+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
වර්තමාන කථාව:

මේ පාර හම්බවුනොත් මොනවා කියන්නද කියල හිත හිත තමයි ගියේ. මොකද අර මතුරපු  ජලය  ඉහල, පිරිත් පැන් වැස්සුවත් වැඩක් වුනේ නැහැ නොවැ. හිනා වෙන්නත් බැහැ නේ  නෑ යක්කුන්ටම නේ කෙළ වෙලා තියෙන්නේ. අඬන්නත් බැහැ හිනා යන නිසා. 

මේ පාර නන්දන කියල යක් පරපුරේ කොන්සවේටිව් සමාජවාදී නෑයෙක් එක්ක තමා මියුසියම් එකට ගියේ. බ්ලොග් ලියන කට්ටකාඩුවේ ලොකු මල්ලිගේ අවාසනාවට අර හොයන්න කියපු අත් පිටපත තිබ්බේ නැහැ. ආසියානු කොටසත් වහලා. ඔය රාවණා කට්ටිය හොල්මන් කරන එක තේරිලද දන්නෙත් නැහැ.

ඉතින් නන්දන ගොයියට ඕන වුන නිසා  ගියා මිසරයේ පාරාවෝ පිළිම ආදිය බලන්න. පස්සේ මට හිතුන  කොලොම්පුරේ ලියාගෙන යන  හෝර්ස් ගේ දරුවාගේ කතාවේ අර ශාප දෙන යක්ෂ බඳුන වගේ ඒවා තියනවද දන්නේ නැහැ. ඒකත් හොයල  බලන්න ඕනේ කියල.. මේ තියෙන්නේ දැක්ක බඳුනක් තමයි.

ඔන්න ඊට පස්සේ තමයි මෙන්න මේ ශීලා ලිපිය දැක්කේ.  ඕවට කියන්නේ ස්ටෙලා  කියලද කොහෙද.   පුරාණ  මිසර අකුරු වගයක් තියෙනව නේද. ඒ අකුරු වලට  කියන්නේ හයිරග්ලිෆ්ස්  Hieroglyphs වගේ දිව උළුක් වෙන වචනයක්. මේක කියව ගන්න ගූගල් කාරය ගේ උදව්ව ගන්න   හිතන කොටම වගේ  කවුද ෂේප් එකේ ස්ස් ගෑව පැත්තක ඉඳන්. ඉස්සෙල්ල බලනකොට පාරාවෝ කෙනෙක් ගේ මමියක් පිටි පස්සේ හැංගිලා මෑන්  හිටියේ. ඊට පස්සේ නන්දනය එහා මෙහා වෙනකන් ඉඳල ආව මගේ ළඟට. සද්දන්ත මේ මනුස්සය දැකල පුරුදු කෙනෙක් වගේ.


බලනකොට මේ රාවණා නේ වෙස් වළාගෙන.

"දේවයන් වහන්ස මේ  මොකෝ මේ කලිසමක් ඇඳලා සන්ග්ලාස් දාල කෝවිඩ් මුකවාඩමකුත් බැඳන්? නොපෙනී ඉන්න පුළුවන් කම  තියෙද්දී. කෝ හිස් දහයයි අත් දහයයි " මං ඇහුවා.

"හිස් ටිකයි අත් ටිකයි අර වහපු කෑල්ලේ තියල ආවේ. තමුන්නැහේ  අද එනවා කියල මට ඔත්තුවක් ආව . මේ මිනිස්සු ඉන්න තැනක  වෙන හම්බවෙන්න විධිහක් වත්නැ හැනේ" රාවණාත් ගානක් නැතිව කීව. 

"ඒකනේ හරියට විස්තර කතා කරන්නත් විධිහක් නැහැ තමයි"

"හරි කතා කරන්න පස්සේ හම්බ වෙමු කෝ. ඔය තැනැත්තා අද මේ හරියට එනවා කියල අපට හරියටම ලංකා ඔත්තු සේවයෙන්ම කීව. එනිසා මම ශිලා ලිපිය ගැන කියලා යන්න ආවේ.  අපි ඒ කාලේ මිසරයටත් ආව කියල පෙන්නන්න  "

"අම්මට සිරි එහෙත් ගියාද , දඬු මොණරෙන් උඩින්ද  ගියේ"

"නැතිව වෙන කොහොම යන්නද මනුස්සයෝ? තමන්ගේ ෆීල්ඩ් එකේ නොවෙන දේවල් ගැන කතා කරන්නේ නැතිව ඉන්නවා. ෆේස්බුක් පොලිසියෙන් හිරේ දම්ම ගන්නේ නැතිව. මම ඉතින් ඒ කාලේ ක්ලියෝපැට්ර  නංගා බලන්නත් එනවනේ මාර්ක් ඇන්ටනි ට හොරෙන් "

"එහෙමත් සීන් එකක්ද? අපි ඕව දන්නේ නැහැනේ. කොහෙද ඉතිහාස කාරයෝ ඕව ලියන්නේ නැහැනේ. දැන් එතකොට මොකක්ද අර පෙන්වන්න හැදුවේ"

"ඔය තියෙන  ශිලා  ලිපියේ බලන්න එක්කෙනෙක් නටනවා. එක්කෙනෙක් පෙන්වනවා අතින් ඩ්‍රම් එක. "


"ඉතින්"

"ඕකේ තියෙන්නේ අවුරුදු 2070 කට පස්සේ අපේ ඉතාමත් වංශවත් හඬින් මධුර ගී ගයන රූමත්  උමාරියා සිංහවංශ  දියණිය  අපි දෙන්න අර  විල ළඟ මාක්  ඇන්ටනියට හොරෙන් දාපු  ලව් සීන් එක ගැන "මන්ද පමා" කියල සින්දුවක් කියනවා කියලනේ. ක්ලියෝ මම එනකන් තමයි බලන් හිටියේ." 

"සීරියස්ලි, එතකොට  අර පිටිපස්සේ ඉන්නේ කවුද "

"ඒ අර සුප්‍රසිද්ධ භාතිය ජයකොඩි ළමයනේ "

"හරි හරි ඒ දෙන්නනේ සින්දුවට සම්බන්ධ නේද, " 

මට ඒ වුනාට අවුරුදු ගණන් පොඩ්ඩක් අවුල් වගේ.

එනිසා  පොඩ්ඩක් බයෙන් බයෙන් ඇහැව්වා "දේවයන් වහන්ස අපේ ඉතිහාස කට්ටිය කියන්නේ  ඔබතුමා රජකලේ  අවුරුදු පන්දහකට විතර කලින් කියලනේ. වයස බැලුවහම  හරියට  ගැලපෙන්නේ නැහැ වගේ. අනික  දැන් මේ පහළ තියන විස්තරයේ තියෙන්නේ හොරයි, චූටියි ගේ සොහොනින් ආපු එකක් කියල. ඒ ගොල්ලා තමයි අමුන් මහා දෙවොලේ ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පීන්"

"ඔය ළමයට මම කිව්වා නේද ෆීල්ඩ් එකට අදාල නැති දේ ගැන කතා කරන්න එපා කියල. ඕව ඔය අධිරාජ්‍යවාදීන් හොරෙන් ගෙනල්ල ඉතිහාසය විකෘති කරලා ලියපුව. ඔය දෙවොල හැදුවෙත් අපි තමයි. ලංකා පුරයෙන් තමයි ශිල්පීන් අරන් ගියේ. ඔය යට මොකද්ද ලජබටකිව් කියල ගහල තියෙන්නේ. මේකට කිසිම සම්බන්ධයක් නැහැනේ." 



"හරි මට තේරුණා. තව මුකුත් ලියල නැත්ද මේකෙ දේවයන් වහන්ස . මේ දවස් වල කෝවිඩ් නිසා ලංකාවට පොඩි තර්ජනයක් තියනවා. විදේශීය සංචිත අඩු නිසා පිටරටින් මුකුත් ගෙන්වන්නේ නැතිව වවාගෙන කන්න හදන්නේ"

"ලංකාවේ නායකයෝ  කොහොමත් වවාගෙන කන්න දක්ෂයි නේද? විභිෂණය මට කළෙත් ඕකනේ. සහෝදරයෝ කොච්චර ලං වුනත් පරිස්සමින් ඉන්න ඕනේ. නැතිනම් දඬු මොණරෙට ගහන තෙල් ටිකට හරි කෙළියි.  මොන දේ වුනත් දඬු මොනර ප්‍රමාණයක් ණයකට  හරි අරගෙන මගේ යක් ජනතාව රැක බලා ගන්න  රාජ්‍ය සභාවේ එවුන් ටික රැක ගන්න ඕනේ. "

රාවණා දිව දෙකින් කතාකරන්නේ දැයි මට සැකයක් ඇතිවුණි. 

" එකනම්දැ  වෙන්නේ නැහැ දේවයන්න් වහන්ස. මේ දවස් වල ගංවතුර නිසා සරොම් කැහිපොට ගහගෙන තල රාත්තල ගානේ නෑ යකුන්ට බෙදන් යනවා සභාවේ සමහරු.  මුකුත් උපදෙසක් වත් දෙන්න බැරිද දේවයන් වහන්ස මොකද කරන්නේ කියල "

"මම මොකටද ඒක කරන්නේ අර වාරකන් කාලේ මැරෙන මාළු කන  එගොඩහේවා යකයි, සර්ව ලෝක විශාරද  දේපැණියා  යකයි ඒවා කරනවනේ.  ඔහොම ගිහිල්ල ඕක ගිලා බැස්සහම චීන මස්සිනාලට කියල වැලි වලින් තව එකක් ගොඩ දාල දෙන්නම් "

"මේ මේ දේවයන් වහන්ස "

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

රාවණා නරිදු  පහල පින්තූරයේ තියෙන පූජකවරයෙක් ගේ විශාල  මමියක් අස්සෙන් නොපෙනී ගියේය.

 


 "මොකද බං කෞතුකාගාරේ අස්සේ කෑ ගහන්නේ "

නන්දනයාගේ හඬින් යන්තම් සමාන්තර විශ්වයෙන් මේ පැත්තට පැන ගතිමි.   


19 comments:

  1. //මුකුත් උපදෙසක් වත් දෙන්න බැරිද දේවයන් වහන්ස මොකද කරන්නේ කියල "//

    රාවණා රජ්ජුරුවන්ගෙන් ගෙන් උපදෙස් ගන්න තරමට නොදැනුවත් අය ලංකාවේ නැහැ.

    රාවණා ගේ දඬුමොනරේ aerodynamics ගැන උපදෙස් දෙන්න අපේ සෞඛ්‍ය වෘත්තීය සමිති නිලධාරීන්ට පුළුවන්.

    රාවණා මරණයෙන් නැගිටුවන්න අවශ්‍ය උපදෙස් දෙන්න, අපේ ජීවන වියදම් කැබිනට් අනු කමිටුව ට පුළුවන්.

    සීතා එක්ක කලයුත්තේ මොකක්ද, නොකලයුත්තේ මොකක්ද කියලා උපදෙස් දෙන්න අපේ ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීමේ කාර්ය සාධක බලකායට පුළුවන්.

    රාමා එක්ක ෆයිට් කරන්න අවශ්‍ය warfare tactics දෙන්න අපේ කොරෝනා මර්ධන කමිටුවට පුළුවන්.

    ලාංකිකයන්ගේ දැනුම අවතක්සේරු කරන එක ගැන මගේ විරෝධය!

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න මහත්මයා , තනිකරම රාවණා ගේ වැරැද්ද

      Delete
  2. ඊයේ මහ රෑ මැදියමේ එකපාරටම හයේ හතරේ සද්දන්ත පොරක් ප්‍රාතිර්භූත උනා අමුතු හැඩයේ තොප්පියක් ඔලුවේ දාගෙන. ඇදුම් කැඩුම් එහෙම පොඩ්ඩක් විතර හුරුයි වාගේ පෙනුනා. බැලින් නම් පාරාවෝ දෙවි කෙනෙක් නොවැ. දන්නවානේ මේ දවස්වල බ්ලොග් වලට බැස්ස හෝරස් දෙවියා. එන්න එයා තමයි. මමත් පොඩ්ඩක් විතර හොල්මන් වෙලාගියා. නෑ නෑ බය වුනේ නෑ. මහසෝනටවත් බය නැති හෙළ යක්ඛ අපිව බයකොරන්න පිටරැටි උන්දැලට බෑ. මිනිහා මොන මොනවාද කියන්න ගත්තා මොලෝ සම්මයක් තේරුනේ නෑ. ගුගල් ට්‍රාන්ස්ලේට් පිහිටෙන් ඔන්න කියපුවා අපේ බාසාවට හරෝගත්තා නොවැ.
    "එම්බා ලක් යක්ඛ පුත තෝගේ මිත්‍ර ලන්ඩන් නගරවාසී කොළඹගමයා ලන්ඩන් කටුගේ මාගේ භුමිය පොටෝ කෑලි අල්ලලා අපවිත්‍ර කරලා තියේනවා ඒකට පොඩි වොනින් එකක් දෙන්නයි මා සපැමිණියේ.'
    "අනේ හෝරස් දෙවියනි මේ කොළොම්පුර ගැත්තා ඔය ගැන හාංකවිසියක් දන්නේ නෑ. එතුමා මේ දවස් වල කට්ටකාඩු ලොකු මළයට රාවණ දේවෝත්මයා ගැන හොයනවා නොවැ."
    "ඔය රාවණයා අපේ දේශයට අර මොකක්ද උඩින් යන යන්තරේන ඇවිල්ලා වැඩ පෙන්නුවාට පස්සේ ගෑණු ටික වසි උනා. තෙල් ටිකක් ගාගන්න පොල්ටිකක් ගාගන්න අන්තංපුරයට ගැණියෙක් ගෙන්න ගන්න බෑ. අපේ ක්ලියෝපැට්රාවත් මිනිහා සෙට් කරගත්තා නොවැ.බලන්යනකොට ලංකාවේ උන් හරිම සල්ලාලයෝ."
    "අනේ මං අහිංසකයෙක් විතරයි. ඔය රාවණා ගැන හෙව්වේ නෑ."
    "උඹලා හිතං හිටියට ඉන්දියන් කාරයෝ කෙරුවා කියලා ඔය රාවණාට කෙලෙව්වෙත් අපිතමා. අපේ සාපේ බලපාලා මිනිහා හොදම එකෙන් කෙලෝ ගත්තා ඉන්දියන් සීතාට පෙරන්න ගිහිල්ලා.
    ඔය රාවණා දැනුත් මියුසියම් අස්සේ රිංගන්නේ අපේ ක්ලියෝගේ මමිය හොයන්නයි. උඹේ යාලුවාට කියපං ඒ වැඩ කරලා සාපේ රිටන් එක වැදගන්න එපා කියලා."
    එතුමා මගේ අතට දුන්නා පාරාවෝ අක්ෂර වලින් ලියපු පැපිරස් කොලයක් එකේ තිබුක දේ ඉංගිරිසියට හරවලා දැම්මේ. කොලේ බලලා ඉවර වෙලා බැලින්නම් හොරස් ගොයියා අතුරුදහන් වෙලා.

    "As for a Ceylonese man who shall enter and took Photos of my sons... impure... there will be judgment... an end shall be made for him... I shall seize his neck like a bird... I shall cast the fear of myself into him".

    අනේ කොළඹගමයා මහත්තයෝ මහින්ද මාත්තියාගේ රාජ කේන්දර ගෙයියා ලවා කේනදරේ චෙක් කොරගෙන තෙල් සාත්තුවත් සාන්ති කරුමයක් එහෙම කොරගත්තොතින් හොඳයි නේ පාරාවෙන්ගෙන් කාලා පත්තු බදිනවාට වඩා.

    ReplyDelete
    Replies
    1. මේකනම් සීරියස් කොමෙන්ට් එකක්. අර සෑම් පෙරේරා මැතිතුමා සඳහන් කරපු අනු කමිටුවක් වත් කන්ටැක් කරලා දෙන්න බැරිද බෙල්ල බේරා ගන්න. කොලොම්පුරේ අඩියක් ගහල නිදා ගත්ත නම් මේ අනවශ්‍ය හීන පේන්නේ නැහැනේ.

      Delete
    2. මේ සංචරණ සීමා හින්දා අඩියක් ගහපු කාලයක් මතක නෑ.දත කට මැදන් බලන් හිටිය ඔන් ලයින් ක්‍රමයට ගෙදරටම බඩු බාන සීන් එකටත් කෙලලා ඇරිය නොවැ. හරි ඊලග පාර හෝරස් ආපුවාම බැරල් එකන් උනු උනුවේ බාපු වෙල් පැන්ටා පාරක් පොවලා සේප් එකක් දාගන්නම්.

      Delete
  3. අජිත් මැතිඳ, ලිව්වාසේ වුණු හරිය
    යළිත් වතාවක් ලියන්න වෙන හැඩය
    'නියමයි අජිත් ලියලා තියෙනා විදිය'
    කීවා රාවණා යළි එන පණිවිඩය

    ReplyDelete
    Replies
    1. නිදිගේ කවිකම් දැන් දැන් හරි ඉහලය
      යලිත් වතාවක් ලියන්නට මට නම් බැරිය
      කොලොම් මාව බය කරලා ඇති සැටිය
      රාවණා පැමිණියොත් හැංගෙමි අද හෙටම

      Delete
  4. මේ සමාන්තර විශ්ව කතන්දර සැට් එක නං නියමයි අප්පා. හෙහ්, හෙහ් "හොරයි, සූටියි". මේක මූණු පොතේ තිබුනෙ:

    රාජ්‍ය සභාවට දඞුමොණර

    ReplyDelete
    Replies
    1. මූනු පොතේ හොරයි සූටියි නම් දන්නේ නැහැ. ඔය ස්ටෙලා එකේ තියෙන්නේ අමුන් දෙවොල හැදුවේ හොර් සහ සහ සුටි කියල. බලන්නකෝ. හේ හේ, යොමුවට ස්තූතියි . ෆුට්බෝල් බලලම ඒකට එන්නම්.

      Delete
    2. එළනේ ඒක . බකුසු ද නිර්මාතෘ , බුලියේ ෂෙයාර් කරන්නද

      Delete
    3. අපොයි, මම ගදපු එකක් නෙමෙයි. බුකියෙ තිබ්බෙ, නිර්මාතෘ කව්ද දන්නෙ නෑ. "වාහනයක් තියනවා. ගන්නවැයි?" කියල තමා තිබ්බෙ😂

      Delete
    4. හේ හේ ඒකත් මරු

      Delete
  5. කමෙන්ට්ස් ටිකත් ලැබිලා පෝස්ට් එකට නොදෙවෙනිව. 'සර්ව ලෝක විශාරද දේපැණියා'කිව්වෙ කාටද අර පීඑච්ඩී එක ගැන විවිද කතන්දර තියෙන Dr. Powderpillද. අය්යෝ උමාරියා වීරවංශ නෙවෙයි සිංහවංශ.

    ReplyDelete
    Replies
    1. දේපැණියා ප්‍රසිද්ධ එක්කෙනෙක් නෙම්යිද අර අහවල් සංගමේ , උමාරියා ගැන ලියනකොට විරවංශ ලමයව මතක් වුනා. ඕක මොකක්ද මම කාලයක් හිතන් හිටියේ භාතිය සන්තුෂ් කියන්නේ එක්කෙනෙක්ය , ජයකොඩි කියන්නේ අනිත් කෙනාට කියල.

      Delete
    2. ආ.. දැන් තේරුනා. මම හිතුවා අර පැනියක් මුලින් ප්‍රොමෝට් කරලා පස්සෙ නැහැයි කියපු කෙනා කියලා.

      'මම කාලයක් හිතන් හිටියේ භාතිය සන්තුෂ් කියන්නේ එක්කෙනෙක්ය' හපොයි!! උමාරා සහ උමාරියා දෙන්නෙක් කියලා දන්නවද.

      Delete
  6. එතකොට ඊජිප්තුව පැත්තෙත් නෑ යකුන් ඉන්න පුලුවන් නේ 🤔🙂

    ReplyDelete
    Replies
    1. හැබෑටම ඇත්තනේ. හේ හේ අපි ටුවර් එකක් ලෑස්ති කරමු නෑ යකුන් බලන්න් යන්න මේ දුක කරදර ඉවර වුනාට පස්සේ

      Delete
  7. දැන් තව දුරටත් බලාගෙන ඉන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. මේ එක හාදයෙක් හිතලු ලියලා, තව තව හාදයි තව තව හිතලු ලියලා, ඔහෙලැයි අඹ ගෙඩියේ ඉන්න කලවම්මු හිතාගෙන ඇති මං නැගිටලා ඇවිත් අඹ ගෙඩිය බේර ගනියි කියලා. ඒවා මේ සම්මජ්ජාතියේ වෙන වැඩ නෙමෙයි.

    ඇරත් අර මොකුන්ද මං නැගිටිනකම් බලාගෙන ඉන්නේ? අතනින් මෙතනින් අටවගත්ත රූපපෙට්ටි නාලිකා වලට යකෙක් ගහපු සරමක් බැනියමක් ඇඳගෙන ආවා ම, කිනිතුල්ලෝ පවා හැංගිලා ඉන්න රැවුල් කෙටි වවාගෙන හිටිය ම, මහා බරසාරෙට පැරණි පොත් වල කොටස් උපුටලා දැක්වූව ම උන්දැලා රාවණාට ඔහොම මෙහෙම ලඟ නෑ කමක් ඇති එවුන් වෙනවා කියලා හිතාගෙන ඇති. ඔය අඹ ගෙඩියේ එකෙක් නැහැ මගේ ‌ලේ ඇති. උඹලා දන්න ඉතිහාසේ මුලින් ම විජයගෙන් ලෙය වෙනස් වුණා, ඊට පස්සේ කියලා ම ලඟ පාත රටෙන් කීයක් නම් ආක්‍රමණ ද? එවුන් ඇවිල්ලා 'අනේ මේ රාවණාගේ ලේ ඇති මිනිස්සු' කියලා, ලෙය වෙනස් කරන්න හොඳ නැහැ කියලා ගියා කියලද ඔය කවලම්මු හිතාගෙන ඉන්නේ? අන්න අර මොකක්ද එකක් තියෙනවා නේද තම තමුන්ගේ මුතුන් මිත්තන් පැවතෙන්නේ කොයි දිසාවෙන් ද කියලා, ලේ බලලා හොයා ගන්න එකක්. රාවණා දර්ශනය වෙලා, රට බේරාගන්න රාවණා නැගිටිනවා කියලා තමුන්නට කිව්වැයි කියලා බොහොම බැරෑරුමට රූප පෙට්ටියේ නෙයියාඩගං නටන එවුන්නේ ලේ ටිකක් ඇන්න පරීක්සා කරලා බලපියව්! ඔ්කුන් වැඩි හරියක් ගාව තියෙන්නේ යූරෝපීය ජාන!

    1505ට වෙනකනුත් හරි ඊට පස්සේ ගෙවුණු අවුරුදු 500ත් හරි! පරංගි, ලංසි, සුද්දෝ ඇවිත් මේක මිස්ර කරපු කෙරිල්ලට උඹලට කුවේණිටවත් හරි හමනකට නෑ කමක් කියා ගන්න ඉඩක් තියලා නැහැ. ඔන්න තත්ත්වේ!

    දැන් ඔය මට නෑ කම් කියන එකාලාට උවමනා මං නැගිටලා, සුද්ද ලේ තියෙන උන් වගේ උන් ව ඉතිරි කරගෙන අනිත් උන් ව සුන්නද්දූලි කරලා, නෑ කම් කියන උන් එක්ක 'අපි යක්කු බොඥව්' කියලා ගර්ජනා කරන්නනේ. හැබැයි ඉතිං උඹලාට උවමනා නම් මං නැගිටින්නං. නැගිට්ට ගමන් කරන්නේ කල්ලතෝනි, කවලම්මු සේරම ටික සුන්නද්දූලි කරන එක තමයි. මං මේ ඔය අඹ ගෙඩියේ දැන් ඉන්න උන්දැලාට අනුකම්පාවෙන් නැගිටින්නේ නැතුං ඉන්නේ. මොකද මං නැගිට්ටොත් ඔය රටේ එකෙක්වත් ඉතිරි වෙන්නේ නැහැ.

    ************************

    රාවණා රජතුමාට බොහොම කේන්ති ගිහින්. ඊයේ පෙරේදා, ඇස්ට්‍රා සෙනිකා නෞකාව ගිණි අරං වෙච්චි නස්පැත්තියේ ප්‍රමාණේ එතුමාගේ දෑහින්ම දැකගන්ට මහා රාවණා කොටුවට ගොඩ බැහැපු වෙලාවේ, එතැන් ඉඳන් පරවියෙක්ගේ කකුලේ ගැටගහලා ඔං ඔය පණිවුඩේ එවලා තිබුණා.

    ReplyDelete
    Replies
    1. මේක වෙන්න බැහැ. රාවණා පණිවිඩ එවන්නේ අපට විතරයි . ඔය මොන යක්ඛ ගෝත්‍රයේද කියල ඉස්සෙල්ල දැනුන් දෙන්ට. ඊට පස්සේ මේ පණිවිඩේ හරිද බලන්න ඔය තැනැත්තිගේ පිසිආර් පරීක්ෂණයක් කරලා ජාන හොයල ඩී එන් ඒ එකත් බලල ඊට පස්සේ බලමු මේ පණිවිඩේ පිළිගන්නවද කියල.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .