Sunday 19 September 2021

මගේ පළමු සහ අන්තිම රොටිය

අද උදේ මට රොටී කෑමේ සිතක් පහල විය. එහෙම අදහස් ඉඳහිට  මේ පිස්සු ඔළුවට එන්නේය. දෙමළ කඩේ frozen (අධි ශීතකරණ කරන ලද) රොටි පහේ පැකට්ටුවේ ගණන  පවුම් 3 සිට හයයි පනහ දක්වා වැඩිවී ඇත. ඒ කියන්නේ එක රොටියක් පවුම් 1.30  හෙවත් ලංකාවේ දැන් රේට් එකට රුපියල්ම 385 කි. ඒ රොටියේ විෂ්කම්භය සෙන්ටි මීටර් ම පහකි.  කවුරුත් නොදන්නවා උනාට අපේ නිවසේ රොටි, තෝසේ , ඉඳි ආප්ප , ආප්ප  මෙන්ම පරිප්පු හදන්නේද අනිකුත් කරි වර්ග හදන්නේද මගේ ජර්මන්  ජාතික බිරිඳ වන ඉනේස්ය.  ඉනෙස්  ඉඳියප්ප හදන්නේ සාමාන්‍ය විධිහට නොවේ. ඉනෙස්  හදන්නේ ඉඳියප්ප කෝච්චිය. ඒ ගැන වෙනම දවසක කිව යුතුය.

ඊයේ පෙරේදා  යමුනා ගේ පනස් වැනි උපන්දිනයේ දී කවිකාර සුරංගගේ පියම්බිකාව  වන රමණි ආප්ප හදද්දී, ඉනේස්ද ආප්ප ආදිය හදන බව කී  විට ඔවුන් එය විශ්වාස කලේ නැත, අන්තිමේදී තමන් ආප්ප හදන්නේ කෙසේද, පරිප්පු හදන්නේ කෙසේද යන්න ගැන ඉනේස්ම විස්තර කළාය.

 රුසියාවේදී මට චිකන් කරිය උයන්නට ඉගැන්වූ ලොකු වඩ්ඩා නමැති සොඳුරු සීනියර් අයියා කී පරිදි අතට අහුවෙන තුනපහ, මිරිස්, කහ, ගම්මිරිස් ආදිය ඔක්කොම එකට දමා ළඟ තියෙන සෝස් ඔක්කොමද දමා හදන කරිය  ඉනෙස් මුලදී කෑවත් අපේ අම්මා ලන්ඩන් පැමිණි වෙලේ උයන දෙස හොඳින් බලා සිටි ඇයට මගේ මෝල් කම අතටම හසුවුනේය. මම හැම කරියටම එකම දේවල් දමන බව කී ඇය සිංහල හෝ දෙමල කෑම උයන්නේ ඒ ලෙස නොවන බව කියා මා කුස්සියෙන් එලෙව්වාය. ඇය පරිප්පු උයන්නට උගත්තේ එහෙමය.
මේ ලඟදි තවත් යහළුවෙකු වන ටෙක්ලා ඉනෙස් ගේ පරිප්පු රස බව කීවාය. තිස්ස ජනනායක අනුගාමිකයෙකු වන ටෙක්ලා ඒ කිව්වේ ඇත්තට ද බොරුවටද කියා මට ෂුවර් නැත. අම්මා  මෙන්ම ඉනේස්ද පරිප්පු වලට තුනපහ දමන්නේ නැත.  මම උයන පරිප්පු කෑවා නම් ටෙක්ලා ලඟත් නොහිට  දුවනු ඇත.  ඒකට චිකන් එකට මෙන් ළඟ තිබෙන අඩුවැඩිය සියල්ල දමා අඩුපාඩුවට කිරිද දමා එන පරිප්පුවට අන්තිමට පෙරී පෙරී සෝස්, චෛනිස් ස්වීට් චිලි සෝස් හා අඳුරු සෝයා සෝස් (dark soya sause හරිය) දමන බැවිනි.

ඉතින් මට රොටී  ඕනේ කිව් නිසා ඉනෙස් නැගිට ගියත් කොහෙන්දෝ පැමිණි කෝල් එකක් නිසා ඇයට පැය භාගයක් පමණ කතා කර රොටිය  අමතක වී ඇය වැඩට ගොස් ඇත. ඒ දවස් වල රොටිය බබා කියා බ්ලොග් එකක් තිබුන බව මතක් වී හොයා බැලුවත් ඒකෙ රොටි ගැන ඇර අනිත් දේවල් ගැන ලියා තිබේ.  ඉනෙස් රොටි හදන්නට පිටි ජාති දෙකක් මැන සලාද බඳුනට දමා ගොස් තිබුනු නිසා මම එයට උණු වතුර ටිකක් දමා බැලුවෙමි. ඉන්පසු අනන විට අතේ ඇලෙන්නට වූ නිසා සෝයා කිරි දැමුවෙමි. හරි ගියේ නැත. ඉන්පසු පිළිවෙලින් ඕට් කිරිද ඉන්පසු නැවතත් උණු කල වතුරද දැමුවෙමි, ඒ ගමන තලප මෙන් පිටි ගුලියක් හදා ගත හැකිවිය. ඒත් හොඳටම  ඇලෙයි. 

අත හෝදාගෙන ඔලිව් තෙල් බෝතලෙයන් හැඳි දෙක තුනක් හලා ඉන්පසු අතේද ඔලිව් තෙල් ගා ගතිමි. 
ඒත් මේ ආච්චිගේ වස්ත්‍රයේ පිටි ගුලිය අතෙහි ඇලෙන්නේමය. කොටින්ම  රොටියක් රවුම් කර හදාගන්නට බැරිය. තෙල් දමා ඒ උඩට පිටි දැම්මත් ගුලිය අතෙහිම ඇලෙයි. අම්මා රොටී හදනවිට බලා නොසිටීමේ පාපය ගෙවන්නේ දැන්ය. 
 
අන්තිමට මම සාමාන්‍යයෙන් දවල් දොළහ  දොළහ වෙනකන් නිදා ගන්න පොඩි දුව ඇහැරුවෙමි. ඇය මව ගෙන් මේවා ඉගෙන ගන්නා බව දන්නා හෙයිනි.  දුව නිදිමතේම පටන් ගත්තේම "ෆොර් ගෝඩ්සේක් ඩෑඩ් " කියාගෙනය, "දෙවියන්ට ඔප්පු වෙච්චාවේ තාත්තේ , පිටි, පිටි, තියෙනවනේ ලෑල්ල උඩට දාන්න " කියා අනිත්  පැත්ත හැරී නිදා ගත්තාය.

මේ මොන මගුලක්ද?  පිටි වලින් හදන රොටි වලට ආයෙත් පිටි දමන්නේ මොකටද කියා කල්පනා කෙරුවෙමි. ඇලෙන්නේ නැති වෙන්න පිටි දැම්මහම ඒකත් රොටියටම නේ යන්නේ. මොන විකාරයක්ද? කොහොමත් පොඩ්ඩි බොරු  කියන්නේ නැත. ට්‍රයි කර බැලිය යුතුය.

  මස් කපන ලෑල්ලට පිටි හලා අත් දෙකේද පිටි හලා ගත්තෙමි. යන්තමින් අතේ ඇලෙන එක නතර වුනේය. අර රොටී  රවුමට හදන්නේ කොහොමද කියා මට නම්  හිතා ගන්නට බැරිය. ඒවා  හැදුනේ විවිධාකාර ලෙසටය.
පළමුවෙනි එක රවුම් කර ගන්නට කොහෙත්ම බැරි විය. ඒක වැරදියට ගහපු චපාතියක් වගේය. නැත්නම් පැතලි වී වැටුණු උල්කාවක් දැයි කියාත් හිතුනි.


සෙන්ටි මීටර් දහයකට වඩා පැත්තක් දිග එකක් හැදුනි. මට ඒක පෙනුනේ ඔස්ට්‍රේලියාව වගේය

ඊළඟ රොටිය හැදුනේ හඳේ හාවා වගේය. හඳේ හාවා රවුම් වුනේම නැත. ඔන්නොහේ  තාච්චියට  දැමුවෙමි. 

ඊළඟ රොටිය ඇමිබාවක් අන්වීක්ෂයෙන් බලන විට වගේය. මේක රවුමට නොව එලිප්සයක් වගේ යයිද සිතු නිසා සමහරවිට ග්‍රහ ලෝකයක බලපෑමක් වෙන්නටද පුලුවුන. ළඟදීම හඳහන බලා ගන්නට හෝඩුවාවක් වත්ද? පෘතුවියේ  එළිප්සයාකර ගමනට සමාන වගේ යයිද සිතුනි.

අන්තිම රොටිය කෙලින්ම සෙනසුරුගේ බැල්ම වැටී රවුම් වෙන්නට ගොස්  එලිප්සයක් විය. අවංකවම කියනවනම් විශ්වයේ cosmic microwave background - CMB  (හෙවත් විශ්වීය මයික්‍රෝවේව් පසුතලය??) එහෙම නැත්නම් විකිරණ බලය විසිරී  තිබෙන ආකාරය පිලිබඳ ප්ලෑන්ක් චන්ද්‍රිකාවෙන් ගත්ත  පින්තුරයත් මේ වගේමය.

මේ තියෙන්නේ ඒ CMB පින්තූරයයි .


පින්තූරය : Planck Maps the Microwave Background


විශ්වයේ විකිරණ බැක්ග්‍රවුන්ඩ් රොටියෙන් පසු මම වැඩේ නතර කෙළෙමි. හුටා ය. ඇඳුම්  පුරාත් මූණෙත් අත් දෙකේත්, බිමත්  හැම තැනම පිටිය. ඒ ටික සුද්ද කල වෙන ඇඳුමක් ද ඇන්ද පසු මට රොටී හදන්නට පැයකටත් වඩා ගතවී ඇත.  ඒ නිසා මේ හදන  අන්තිම රොටී හැදීම යයි මම නාථ දෙවිඳුන්ට අන්තිම විශ්ව රොටිය පුදා  සපථ  කලෙමි.



41 comments:

  1. හෙහ්, හෙහ් මේක ලියලා තියන විදිහ මරු.😂

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ලිස්සන්නේ නැතිව කියවලා , එළ

      Delete
  2. ඕකට නාත දෙයියොන්ට ඇපීල් කරන්න ඕනෙ නෑ. හැල රකුස් අගහරු රාවණා තාස්සනේ තියෙද්දි

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි , ඒ වුනාට ඕල්ටර්නේටින් එලෙක්ට්‍රික් තියරි වලටත් යන්න එපැයි . හරිද කිව්වා

      Delete
  3. අජිත් ධර්ම මහතාගේ ඉදිරි දැක්ම කෙබඳුදැයි සිතීම චෙස් ඇදීමක් බඳුය. සූක්ෂ්ම සිතා බැලිය යුත්තකි. ඔහු බොහෝ විට අතපොවනුයේ අමුතු ආරයකටය. සිංහල බ්ලොග් එහෙම් පිටින්ම කනපිට ගසා එය ඉබාගාතේ යන ලියවිල්ලක් බවට පත් කිරීම මොහුගේ වෑයම බව පෙනේ. සෝවියට් සංගමයෙන් පටන් ගෙන, ලන්ඩනය දක්වා ගොස් දැන් ඔස්ට්‍රේලියාව වාගේ පෙනන පොල් රොටියක නතර වී ඇත්තේ එබැවිනි. ඇතැම් විට ඔහු මෙතෙක් ඔහුට අත තැබීමට නොහැකි වූ ඔස්ට්‍රේලියානු සිංහල බ්ලොග්කරුවන් පාලනයට ඉදිරියේදී සුදානම් බවට ඉගි කෙරෙන යමක්ද මෙහි සදහන්ව තිබිය හැක.

    ඉදිරියේදී බ්ලොග් ලිවිම පාලනය කිරීම සංගම් විසින් කරනු වෙනුවට ඒවා කුඩා කල්ලිවල එකතුවකින් සැදුම්ලත් ක්ලබ් මට්ටමට වැටෙනු ඇත. ඒ කිසිවකට ඇඟිලි නොගැසීමට නෙළුම්යාය වග බලාගනු ඇත. නීත්‍යනුකූලවම ඉන් මගහැරීමට නෙළුම් යාය පදනමට සහ ලංකා නිවුස් වෙබ් වෙත සිදුවනු ඇත. එසේ නම් පදනමක් කුමකටද? අජිත් ධර්ම මහතා, සහ බ්ලොග් ලියන්නන් කුමකටද යන පැනය අජිත්ගෙන් පසු එන අයට මෙන්ම බ්ලොග් කරුවන්ටදද මතුවනු ඇත. අද සිංහල බ්ලොග් නෙළුම් යයෙන් ගිලිහී ගොස් ඇති අයුරින්ම අනෙක් ලේඛකයන්ද ඉදිරියේදී කිහිපදෙනකුගේ කුඩා ව්‍යාපාර බවට පත්වනු ඇත. දැනටත් පදනමේ සොයා බැලීමක් නොමැතිකමින් බ්ලොග් සංගම් අයාලේ යමින් තිබේ.

    අජිත් ධර්ම මහතා, කුඩා චිත්‍ර අමතක කරමින් ලොකු චිත්‍ර දෙස පමණක් බලන්නට යැයි පැවැසූවේ එබැවිනි. ඒ කතාවේ නොබලන්නට යැයි කී පොඩි චිත්‍ර අතර නෙළුම් යාය පදනමට බැරවූ දහස් ගණනක මුදල් අන්තරස්දහන වූ බැව් කී කතාව ද ඇත්තේ ය. එය බ්ලොග් සම්මාන වේදිකාවේ උණුසුම් මාතෘකාවක් වූයේ ය. අජිත් ධර්ම මහතාට එම චිත්‍රය පොඩි වූවාට, මෙරට සිංහල බ්ලොග් පාඨකයන්ට මෙන්ම සහ බ්ලොග් ගැන නොදන්නා අයට ද එය පොඩිවූයේ නැත. එබැවින් ම, ඒ කතාව අජිත් ධර්ම මහතාට එතරම් හිතකර වූයේ නැත.

    සිංහල බ්ලොග් ගතහොත් එය තනිකරම රැකියාවක් නැති කිහිපදෙනකුන් ලැගුම් හලක් වී ඇත. ඒ අයගේ කුස පුරවන ව්‍යාපාරය වී ඇත්තේ බ්ලොග් සම්මාන තරග සංවිධානය කිරීමය. මේ අය බ්ලොග් තරග සංවිධානය කරනුයේ බ්ලොග් කලාවේ අභිවෘද්ධියට නොව තම බඩගෝස්තරවාදය වෙනුවෙනි. මේ සියලූ තත්ත්වයන් තව බොහෝ සංගම්වලට පොදුය. එහෙත් එවැනි දෑ කෙරෙහි අඩු සැලකිල්ලක් දක්වන අජිත් ධර්ම මහා හයියෙන් පුප්පනුයේ සිංහල බ්ලොග්කරුවන්ටය.

    ReplyDelete
    Replies
    1. හේ හේ නාථ දෙවියන් ගැන ලීව පමණින ඔබතුමා කලබල වෙන්න එපා. මම විශ්වාස කරනවද කවුද දන්නේ. ක්වන්ටම් රහස් වලට අනුව නාථ දෙවියන් ඉන්න බහ කියල තර්ක කරන්න පුලුවන්ද බෑනේ බෑනේ . නෙලුම් යායෙන් ගිහිලාල් හුඟක් කල් නිසා ඒ ගැන කතා කරන එකත් දැන්නම් නිෂ්පලයි. එක ගැන හොයන්න බැදුම්කර හොයන කට්ටියටම නැත්නම් න් කබ්රාල ගොයියටම භාර දුන්නම හරි. මටනම් නාථ දෙයියන්ගේ පිහිටෙන් රැකියාවක් දැනට තියෙනවා

      Delete
  4. රොටි මිශ්‍රණය ලෑල්ලේ තුනී කරලා, dough circle cutter එකක් පාවිච්චි කරලා රවුම් කපා ගත්තා නම් රස නැතත් බියුයූටිෆුල්ල් කියලා වත් කියන්න තිබුනා.

    අර ඔස්ට්‍රේලියාව වගේ කියන රොටිය මට නම් පේන්නේ ටොලමි ගේ ටැප්රෝබානා වගේ.

    ReplyDelete
    Replies
    1. ඕක ලෑල්ලේ තුනී කරගන්න බැරුවනේ දැඟලුවේ . අතෙයි කටෙයි හැම තැනම ඇලෙන්න ගත්තනේ. අඩේ තැප්‍රෝබේන් වගේ තමා

      Delete
  5. හැක්... ඒක මරු වැඩේ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ . මෙහෙමෙ ඒවත් වෙනවා

      Delete
  6. ලෝහ තැටියක පොල් රොටී හදනකොට ඔය ඇබැද්දිය වෙනවා.
    මැටි කබලක් තමයි වැඩේට හරියන්නේ.
    ඔය රටේ කැන්දකොල හරි එයට විකල්පයක් හරි තියෙනවද?

    ReplyDelete
    Replies
    1. නැහැනේ . එහෙමත් එකක්ද , මැටි කබල් ලංකාවෙන් තමයි ගෙන්න ගන්න වෙන්නේ

      Delete
    2. ලෝහ තැටිය ඉක්මනට රත්වීම සහ ඉක්මනට නිවිම මෙයට හේතුවක් විය හැකියි.
      මටත් ලෝහ තැටියක වැඩේ අමාරුයි.
      ඔය රටේ මැටි ඇතිලියක් හොයා ගන්න නැද්ද.

      අවන් එකකින් පොල් රොටී හදන්න පුළුවන්ද කියලා ටෙස් කරලා බලන්න.
      මයික්‍රොෙව්ව් එකකින් කෙහොම වෙයිද දන්නේ නෑ.
      අවන් එකෙන් උළුඳු වඩේ නම් ලස්සනට හදන්න පුළුවන්.

      Delete
    3. ඇතිලි වල රොටි හදන්න බැහැනේ. ඇතිළිය රවුම් නේ. අවන් වැඩේ නම් හොඳ අදහසක්. ට්‍රයි කරල බලන්න් වටිනවා. උළුඳු වඩේ ? ඒකනම් හෙන අමාරුයි වගේ. කඩේ තියනවා ගන්න. ශේප් වෙලා හිටියැකි

      Delete
  7. සිංහල කෑම, දෙමළ කෑම වගේ වචන පාවිච්චිය නම් එච්චර හොඳ පුරුද්දක් නෙමෙයි.

    එක යූ ටියුබ් චැනල් එකක යාපනේ ක්‍රමයට කකුළු හොදි හදන හැටි.
    එන යාපනේ මෝඩ කොල්ලෙක් හෙන පොර ටෝකක් කොමෛන්එකක් හැටියට දාලා තිබ්බා.
    මම කිව්වා, ඕක මලයාලම් කෑම වට්ටෝරුවක් කියලා, ඊට පස්සේ මලයාලි කකුළු හොද්ද හදන විදියේ මලයාලි බාශාවෙන්ම යන වීඩියෝ එකක් ඌට පෙන්නුවා.

    අවිහින්සාවාදී ලෙස දෙමෙල්ලුන්ට පහරදෙන්නේ එහෙමයි.

    ReplyDelete
    Replies
    1. මම එහෙම එකක් ලියල තිබ්බද? හැබැයි අපේ කෑම සිංහල හෝ දෙමල ඒවා හුඟක් කේරල හා මැලේ කෑම වලට සමානයි

      Delete
  8. රොටිය ගැන කියවන්න ආව. මතක් උනේ, අපේ අම්මයි තාත්තයි, කලින් දා රෑට ගේන පාන් ගෙඩි එක හමාරෙන් කොටසක් උදේට අපට කන්න දීලා ඉස්කෝලෙ යවනව. උදේ දහයට විතර තාත්තා රොටි පුච්චනව. අම්මයි තාත්තයි රොටි කාලා, මටත් පංගුව තියල තියනව. පස්සෙ දවල්ට බත් උයලා, අපි ඉස්කෝලෙ ගිහිං ආවම අපට බත් දෙනව. ඒ දෙන්න කෑව කියනව. අපිත් දන්නැති කාලෙ ඒකට රැවටෙනව.

    තාත්ත හදන රොටියෙ රස මතක් වුණා. ඒකට පොල්වලට අමතරව අමුමිරිස්, රතුළූණු, කරපිංච එහෙමත් දානව, ඉතිං නිකම්ම කන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අම්මල තාත්තල අපි වෙනුවෙන් කරපු කරන දේවලට සමහර වෙලාවට හිතෙනවා සැලකුව මදි , සලකනවා මදි කියල නේද

      Delete
    2. ඇත්ත. සැලකුවා මදි

      Delete
  9. නිකමට කියන්නේ.... කොහොල්ලෑ බබාට ගැහුවා වගේ වෙන්නේ රොටිය අනද්දී වතුර වැඩි වුණාම. පොඩි දුව කිව්වා හරි අජිත්, එතකොට පිටි ඉස්මින් තමා රොටිය වඩන්න ඕනි!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් , අර රසික සුරියආරච්චි යූ බැටේ දාල තිබ්බ වීඩියෝ වෙත් ඒක සුළු කරුනක මම නිරීක්ෂණය කරලා නැහැ

      Delete
  10. යන ප්‍රවනතාවෙ හැටියට නාථ දෙවියොත් ඇවිත් කමෙන්ට් කරයිද දන්නෑ?

    ReplyDelete
    Replies
    1. බය වෙන්න එපා. මේක ඔයාගේ බ්ලොග් එක වගේ දෙවිවරු ද්‍රකියානි ලා එන්නේ නැටි එකක් හේ හේ

      Delete
    2. දේවයන් වහන්ස ගැත්තා ට සමා වුව මැනව , හිතුවෙම නෑ

      Delete
    3. ඔබතුමා ගහගත්තෙ, සයිනොෆාම් ද ස්පුට්නික්ද දෙයියනේ?

      Delete
    4. ෆයිසර් වෙන්න බැරිද , ඇස්ට්‍රා සෙනෙක ගැහුවනම්දෙයියිඕ බ්‍රිටිෂ් , සයිනෝ ගෞවනම් දෙයියිඕ පෝට්ටුවේ

      Delete
    5. අනේ මංදා, ගහපු එක මුල හරිය ටිකක් කුණුහරපෙකුත් වගේ, අගට ස' කෑල්ලකුත් තිබුණා.

      Delete
    6. ha ha ෆයි 'ස' වෙන්නැති

      Delete
  11. රොටි වලට පොල් දැම්මද?
    මුලින් වතුර ටික ටික දාල අනා ගන්න ඕනේ,, වතුර වැඩිවෙලා වගෙයි පෙන්නේ....

    ReplyDelete
    Replies
    1. ඩෙසිකෙටඩ් කොකනට් එක දැම්ම , ඊට පස්සේ උණු වතුර, සෝයා කිරි, ඔලිව් තෙල් ඔක්කොමත් දැම්මා. මොනවා හරි වැඩි වෙලා ඇලෙන්නම ගත්තා

      Delete
  12. ලොකු සර්, රොටියෙ රවුම ගන්ඩ නං පොඩි ප්‍රැක්ටිස් එකක් තියෙන්ඩ ඕනැ. එතකං ඕකට rustic flat bread කියල නමක්.
    දෙමළ කඩේ හෝ ෂුවර් එකටම මලයාලි කඩේ ෆ්‍රෙෂ් ග්‍රේටඩ් කොකනට් ඇති. පොඩ්ඩක් හොයල බලන්ඩ රොටියට මරු ඈ . මලයාලින්ට පොල් බෝම අවශ්‍ය ජාතියක්නේ. ඊයක් දන්නවනං මගේ කොන්ටිටීස් එවන්ඩත් ඇහැක්. කොස්මික් රොටිය අවසාන රොටිය කරගන්ඩ එපා. ඔව්ව වටිනා ජාතික ආහාර නේ ලොකු සර් !

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. හැට්ටර් සර් අත් ගුනේ නැහැ කියල තේරුනා නොවැ. හැමෝම කියනව. ෆ්‍රෙෂ් ග්‍රේටඩ් කොකනට්- මේකනම් හොඳ අදහසක්,.// ඊයක් දන්නවනං මගේ කොන්ටිටීස් එවන්ඩත් ඇහැක්.// තේරුනේ නැහැ . මේකනම් දුප්පතාගේ, ශිෂ්‍යයාගේ ආහාරය වගේ නේද? වැඩිය මුකුත් ඕනේ නැහැනේ හදා ගන්න

      Delete
  13. කෝ? විශ්ව රොටිය මට පූජා කළා කිව්වට ඒකත් අජිත් කෑව නේද?

    ReplyDelete
    Replies
    1. දේවයන් වහන්ස මම අර ද්‍රකියා අතේනේ එව්වේ. එකත් එකටම මගදීම කොටා බාන්න ඇති. එහෙමට පුතයා

      Delete
    2. ඔන්න අද හාමිනේ චීන රොටී හැදුව. එළවලු දාලා . තදට එන්නේ නැහැ එළවලු දැම්මම

      Delete
  14. මේක කියවන්නෙ දෙවනා පාර‍ට ඕං.. හැක්

    ReplyDelete
    Replies
    1. පලවෙනි පාර ලිස්සල ගියා නේද - බකුසු ස්ටයිල්

      Delete
  15. රොටී හැදීම කලාවක් බ්‍රෝ. මේ අන්තිම වාරය කරගන්න එපා.

    මේවා Love රොටී- මෙන්න සාදන හැටී!
    https://youtu.be/Ez1tRm3DOvw

    :-)



    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් මම නෙම ඉතින් හාමිනේ හදයි

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .