Thursday, 10 April 2025

රාණි නොවන රාණි සමග





'රාණි' චිත්‍රපටය නැරැඹීමට ගියේ ඒ කාලයේ යූඇන්පී පවුලක හැදී වැඩුණු පසුව ම දන්නා ප්‍රගතිශීලී ලෙස සිතන පතන කෙනෙකු සමගය .  චිත්‍රපටය නරඹා එද්දී ඒ ගැන අදහස විමසුවෙමි .  "ඇත්තටම හොඳයි. මම නොදැන හිටිය දෙයක් " . මට දැනුනේ ඉතා කලාත්මක චිත්‍රපටයක් නැරඹීමෙන් පසුව ඇතිවන  හෘදයංගම හැඟීමකි .  මම ඒ චිත්‍රපටය නැරඹීමට ගියේ ඉන්පසු හඬා වැළපෙන්නට නොවේ .  නමුත් මට පෙනුනේ බොහෝ අය චිත්‍රපටය නරඹා ඇත්තේ පූර්ව විනිශ්චයකින් බවය.  

 පසුගිය වසරේ දිනෙක මම ගාමිණී මුතුකුමාරණ සොයුරාගේ ඇරයුමින් වාර්තා චිත්‍රපටයක් නැරඹීමට ගියෙමි .  එය අධ්‍යක්ෂණය කර තිබුනේ ආචාර්ය උදාන් ප්‍රනාන්දුය .  නැගෙනහිර ටිමෝරය ඉන්දුනීසියාවෙන් මිදීමේ නිදහස් සටන වෙනුවෙන් කරන ලද ඒ වාර්තා චිත්‍රපටය නැරඹීමට ඒ රටේ ඇමති කෙනෙකු හෝ  හමුදා ලොක්කෙකු පැමිණි අතර එය පෙන්වා  අවසානයේ  ෆ්‍රෙඩි ගමගේ සහෝදරයා ට,  නැගෙනහිර ටිමෝරයේ නිදහස උදෙසා වෙහෙසෙමින්,   ශ්‍රී ලංකාව තුලද  බොහෝ උද්ඝෝෂණ ව්‍යාපාර  මෙහෙයවීම වෙනුවෙන් සම්මානයක්ද  පිරී නමන  ලදී. චිත්‍රපටයේ ඇත්තේ උදාන් විසින් නැගෙනහිර ටිමෝරයේ පදිංචි  නොයෙකුත්  ශ්‍රී ලාංකිකයන් / සිංහලයන් සමග සම්මුඛ සාකච්චා කරන අයුරු සහ පොදුවේ ඔවුන්ගේ එහි ජීවිතය ගැන කරන කථනයකි.   ඔවුන් සියල්ලෝම පාහේ එහි පැමිණ ඇත්තේ "නිකන්" ජොලියටය. ඔවුන් කියූ පරිදි, ඔවුන්ට  ලංකාවේ කිසිම  ප්‍රශ්නයක් නැතිව හොඳින් දිවි ගෙවන්නට පුළුවන්කම තිබියදීත්,   ගරිල්ලා යුද්ධයක් තිබෙන ආර්ථිකය ගාටමින් ඇදෙන ටිමෝරයට පැමිණ  පදිංචි වී බිස්නස්  එකක් කරගෙන ආවාහ විවාහ  වී ජීවත් වෙති . 

මේ මොන විකාර චිත්‍රපටයක් දැයි මම ගාමිණී ට කීවෙමි.  නමුත් එක ප්‍රේක්ෂිකාවක් චිත්‍රපටය අවසානයේ පැවසුවේ "කවුරු මොනවා කීවත් අපේ රාජපක්ෂ ජනාධිපති තුමා යුද්ධය අවසන් කර රටට සාමය ගෙනා බවකි".  ඇය එසේ කීවේ  ඇයිදැයි මම කල්පනා කෙරුවෙමි. චිත්‍රපටයේ කිසිවෙකු එවැන්නක් ගැන , ලංකාවේ ජන වාර්ගික යුද්ධයක් තිබූ බවක් වත් සඳහන් කරනු මට මතක නැත.
    
පසුගිය දවසක ජනාධිපතිවරණයට පෙර  මට හදිසියේම ආචාර්ය උදාන් ප්‍රනාන්දු හා මහාචාර්ය නිර්මාල් දේවසිරි අතර පොඩි ෆේස්බුක් සංවාදයක්  දුටුවෙමි.  උදාන් ප්‍රනාන්දු, නිර්මාල්  දේවසිරි ජාතික ජන බලවේගයට සහය දීම ගැන ප්‍රශ්නකරන්නේ  ජවිපෙ එම යුදයට මුලිකව රාජපක්ෂලාට දුන් සහයෝගය සිහිපත්  කරමිනි.  හදිසියේම මට වැටහුනේ උදාන් චිත්‍රපටියේ කලේ අලියා කාමරයේ සිටිද්දී  බිත්ති ගැන කතා කල බවය.  එයින් ඔහු සිංහලයන්ගේ දෙබිඩි පිළිවෙත උලුප්පා පෙන්වුයේය. අර කාන්තාව අරවැනි ප්‍රශ්නයක් ඇසුවේද එහෙයිනි. මට මුලින් ඇතිවූ කෝපය වෙනුවට උදාන් ගේ තර්කොව්ස්කි නිමේෂය ගැන පැහැදීමක් ඇතිවිය.  

රාණි චිත්‍රපටය පිලිබඳ විචාර හා විවේචන බොහොමයක් කියවූයෙමි. තර්කොව්ස්කි ගේ ස්ටෝකර් Stalker පිළිබඳ අමුතුම අන්දමේ විකාර විචාරයක් කල මලින්ත විතානගේ ගේ සිට (එයට පිළිතුරක් මේ බ්ලොග් ලිපියේ ලියා ඇත තර්කොව්ස්කි ගේ ස්ටෝකර් ) ලංකා ඊනිව්ස් සිනමා විචාරක අජිත් ගලප්පත්ති දක්වා අමුතුම අන්දමේ පුරුෂෝත්තම වාදී සිනමා විචාරයන් කර ඇත .  

ගලප්පත්ති හඳගම ගැන  ලියන්නේ මෙසේය .  -  " ලයනල් වෙන්ඩ්ට් හෙළුවැල්ලෙන් වැල්ලේ දුවවන ඔහු පැබ්ලෝ නෙරුදා ස්ත්‍රී දූෂකයකු ලෙස දක්වමින් සක්කිලි ගැහැණියක හඹා දුවවා සිය පරාම විකාරය ප්‍රදර්ශනය කළේය.ඒ සඳහා එම චරිතයට වඩා යෝධ චරිත, ප්‍රේමදාස වැනි ජනාධිපතිවරු, මංගල, මහින්ද වැනි ඇමතිවරු, රිචඩ් වැනි ලෝප්‍රකට මාධ්‍යවේදීන්, ප්‍රේමකීර්ති වැනි කවීන්, නිර්මලා වැනි බිරින්දෑවරු, රොනී වැනි පොලිස් ලොක්කන් තුට්ටු දෙකට දමා අපහාසාත්මකව නිරූපනය කරන්නට සිනමාකරුවකුට සිදුවිය හැක. -ලංකා ඊ  නිව්ස් " පැබ්ලෝ නෙරුදා විප්ලවවාදී කවියෙකු ලෙස අප ඔහුට කැමති බව සැබෑය . නමුත් නෙරුදා තමන් විසින්ම පිළිගත් දුෂණය ගැන හඳගම වැරදි කරුවෙකු වන්නේ කෙසේද ?  මෙහිදී ගලප්පත්ති ගේ පුරුෂෝත්තම වාදය මැනවින් ප්‍රදර්ශනය වේ .  

එසේම පොෂ්  අක්කලා හඬන විට ගලප්පත්ති ලේන්සුව දෙයි .  "ඇය නළලත මත තැබුවේ ස්වර්ණා තබන ස්ටිකර් පොට්ටු නොව පව්ඩර් පොට්ටුය. ඇය තම නිවසෙහි මත්පැන් තබාගෙන සිටියේ නැත. ඇය සිය මෙහෙකරුවන්ද සමග මත්පැන් පානය කළ බේබදු කාන්තාවක නොවේ."  ඒ ලියූ කාන්තාව මනෝරාණි දැන  සිටියේ එසේ විය හැකිය .  නමුත් පුතා පැහැර  ගත් රාණි නමැති මව කෙසේ ක්‍රියා කරන්නේ දැයි ඒ ලියන කාන්තාව හෝ ගලප්පත්ති දන්නේ කෙසේද?
  
මෙහි පුරුෂෝත්තමවාදී කතාව නම් විස්කි උගුරක් බොන ගැහැණිය හෝ සිගරට්ටුවක් උරණ ගැහැණිය අවඥාවේ හෙලා කතා කිරීමයි .  ඇය පටන් ගනිද්දී යල් පැන ගිය කාන්තාවක් වන්නට ඇත .  එහෙත් මව්වරුන්ගේ පෙරමුණකට නායකත්වය දුන්  කාන්තාවක් ඊට වඩා දැඩි අයෙකි .  ගලප්පත්තිට  මෙන්ම අනෙකුත් විචාරකයන්ට අවශ්‍ය වී ඇත්තේ  සියුමැලි ,  සුකොමල ,  ලාලිනියක වූ මනෝරාණිය.තම පුත්‍රයා රාජ්‍යයට සම්බන්ධ වුවන්  විසින් පැහැරගෙන ගොස් මරා දමන ලද්දාවූ   රාණි නොවේ .  

ලංකාවේදී මට ආචාර්ය සිසිර කුමාර බණ්ඩාරගම විසින් පරිවර්තනය කරන ලද අන්ද්‍රෙයි තර්කොව්ස්කි නම් විශිෂ්ට සිනමාකරුගේ දේශන අඩංගු පොතක් හමුවුණි .  සතුටට කරුණ නම් එහි පුර්විකාව ලියා ඇත්තේ හඳගම වීමය .  තර්කොව්ස්කි ගේ ඔහු වඩාත්ම කැමති චිත්‍රපටය "කැඩපත" බව  (රුසියන්  සෙර්කලා) කියා මෙසේ ලියයි. 
"චිත්‍රපටය නරඹන බොහෝ දෙනෙකුට, හඳුනා ගන්න ලැබෙන තවත් සුවිශේෂ ලක්ෂනයක් විය හැක්කේ ඒ රූප  රාමු එකක් පසු පස එකක් ගලාගෙන යන රිද්මය.  එය සංගීතානුකූල ගලා යමක් . " (පිටුව 15)
තවදුරටත් හඳගම මෙසේ ලියයි . "ඔහුගේ (තර්කොව්ස්කි)  චිත්‍රපට, මා කලින් සඳහන් කලාක් මෙන් එක් එක් නරඹන්නා තුල තම තමන්ගේ අත්දැකීම් හා කියවීම් වලට සාපේක්ෂව ස්වාධීනව අරුත් හා හැඟීම් මවන්නට සමත් ඒවා .  තමන් තුලම පවා ඒවා නරඹන වාරයක් පාසා වෙනත් හැඟීම් දැන්විය හැකි කෘතීන් .  චිත්‍රපට මෙන්ම චිත්‍රපට පිලිබඳ  කෙනෙකුගේ එක මොහොතක කියවීම පවා චලිතයක් . " හඳගම - පි .  16 

මා පොත  කියවූවේ ලංකාවේදී "රාණි"  බැලීමෙන් පසුවය. මට සිතෙන්නේ රාණි නිර්මාණය කරන ලද්දේද මෙලෙසම බවයි .  උදාන් ප්‍රනාන්දු ගේ වාර්තා චිත්‍රපටය මෙන්ම මෙහිද වඩාත් ඉස්මතුව පෙනෙන "කාමරයේ අලියා " හෙවත් රිචඩ් ගැන වැඩිපුර කතා කරන්නේ නැත .  සුමනා  විජේරත්න මෙන්ම තවත් එක අයෙකු ද රාණි ගේ චිත්‍රපටයේ  ඇය විස්කි බීම ගැනත්,  රාණි තවත්  කෙනෙකු සමග නාට්‍ය කළ හැටි ගැනත් ලියා තිබුණි .  ඒවා ලිවිම හොඳය .  ගලපත්ති ගේ  හා මලින්ත ගේ ප්‍රහාරද හොඳය .  ඉන් චිත්‍රපටයේ කතාව සම්පූර්ණ වෙයි . 

ඔවුන් දන්නා රාණි මෙහෙකරුවෙකුට විස්කි දී නැත .  ඒ ලියපු අයගේ උසස් සමාජ තත්වය පෙන්නුම් කරන්නට "මෙහෙකරුවා" යන්න උලුප්පා දක්වයි .  මෙහෙකරුවා  යන්න වර්තමාන සමාජයේ අනවශ්‍ය  ලෙස   කෙනෙකු පහත්  කරන්නට හා තමන් උසස් කරන්නට කරන යෙදුමකි . රාණි ගැන නොදන්නා වුවද ඈ ගැන කියවීමෙන් පසු  මට හැඟෙන්නේ රාණි යනු තමන්ට වැඩ කරන්නන් ට පහත් කර සලකන අයෙකු විය නොහැකි බවයි .  ඒ අනුව අත් උදව් කරු ,  තමන්ගේ "බට්ලර්" ට  විස්කි ටිකක් දෙන උසස්, කරුණාවන්ත කාන්තාවක් මගේ මනසේ සංකේතවත් වේ.   

    "කලාකරු යනු කව්ද යන්න පිලිබඳ තර්කොව්ස්කි වරක් මෙලෙස ප්‍රකාශ කළේය .  
-කලාකරු කියන්නේ ණය කාරයෙක්.  ඔහු නිතර උත්සාහ කරනවා තමාට ලැබී ඇති මේ දායාදය වෙනුවෙන් ඔහු විසින් ගෙවිය යුතු ණය ගෙවා දමන්න.  ඔහු දන්නවා - තමාට ලැබී තිබෙන මේ විශ්මයජනක දායාදය ලෝකයට, ලෝක වාසීන්ට දීමෙන් පමණයි ඔහුට මේ ණය ගෙවා නිම කළ හැක්කේ කියා.  ඒ නිසා,  කලාකරුවෙකුගේ විශිෂ්ඨත්වය මිනිය හැකි වන්නේ ඔහුගේ නිර්මාණ තුලින් නොවෙයි.  ඔහු ඒ නිර්මාණ එලි දැක්වීම සඳහා ගන්න උත්සාහය/වෑයම තුලින්.  ඒ නිසා කලාකරුවෙකු ගේ උසස් බව මනින මිනුම් දණ්ඩ විය යුත්තේ ඔහු කලාව නම් වූ උන්මාදයට කල කැප කිරීමයි. " පිටුව 40.  -අන්ද්‍රේයි තර්කොව්ස්කි - සිනමා දේශනා - පරිවර්තක -සිසිර කුමාර බණ්ඩාරගම  

තර්කොව්ස්කි තවත්  දේශනයක මෙසේ කියයි . "උසස් ගණයේ කල කෘතියක් කිසිවිටෙක තම ප්‍රේක්ෂකයා තුල කුමන ආකාරයක  ප්‍රතිචාරයක් ඇති කරනවාද යන්න පිළිබඳව සැළකිලිමත් වන්නේ නැහැ .  සමහර විචාරකයන් සිනමා නිර්මාණ ගැන කියන අභූත කතාමා  මවිතයට පත් කරනවා. මේ චිත්‍රපටය ජිවිතයට කිසිම සම්බන්ධයක් නැහැ .  චිත්‍රපටයේ කියන කතාව තේරුම් ගැනීමට අමාරුයි." 

කලකට ඉහත  මිය ගිය තර්කොව්ස්කි රාණි චිත්‍රපටය පිලිබඳ සමහර විචාරකයන් ගේ විචාර  ගැන අනාවැකි කියා ඇත . 

"කලා  නිර්මාණයක් තුලින් ඒ නිර්මාණයේ 'පරමාර්ථය '  නැතිනම් 'අර්ථය '  එළිදරව් නොවිය යුතුයි.  කලා  නිර්මාණයෙන්  නිර්මාණකරු අපේක්ෂා කලේ කුමක්ද යන්න ඉවත් විය යුතුයි.  වෙනත් වචන වලින් කියනවා නම් කලා නිර්මාණයේ පියවි සිහිය /ප්‍රකෘතිය ඒ නිර්මාණයෙන් ඉවත් වූ විට පමණයි, ඒ නිර්මාණයේ නියම ජිවය උපදින්නේ . " හෙලිදරව්  නොවන අර්ථය ගැන එසේ කියන  තර්කොව්ස්කි මෙසේද පවසයි.
 
"හොඳ කලා නිර්මාණයක් තුල ඇත්තේ තර්කානුකුල බව නොවෙයි .  එක එල්ලේ හඳුනා ගත නොහැකි,  අවබෝධ කර ගත නොහැකි හැඟීම් සමුදායක්.  කලාව යනු පියවිය හා මනස්කල්පිතය අතර සමතුලිතතාව සෙවීමේ ප්‍රයත්නයක් . " පිටු 68-69

මටනම් හඳගම "රාණි "  තුලින් ඒ සමතුලිතතාව හඳුනාගෙන ඇත.  ගලප්පත්ති කියන්නේ හඳගමට තමාගේ නිර්මාණය ගැන කතා කල නොහැකි බවයි .  නිර්මාණය කල පසු එය තමන්ට අයත් නොවන නිසාලු .  නිර්මාණය ඉදිරිපත් කල පසු එය අයිති ලෝකයට බව  සැබවිය . එහෙත් නිර්මාණකරුට ඒ ගැන කතා කරන්නට නොහැකිය කීම මුග්ධ කතාවකි.  තමන්ගේම නිර්මාණ විවෙච්නය කරන ග්‍රන්ථ හා නාට්‍යකරුවන් ඕනෑ තරම් සිටිති.  තර්කොව්ස්කිම තමන්ගේ චිත්‍රපට දේශනා වලදී උදාහරණයට ගනී . 
 
"සිනමාකරු ප්‍රේක්ෂකයාට වැටහෙන ආකාරයට කතා කියන්න උත්සහ කරනවා යනු ඔහු ප්‍රේක්ෂකයාගේ වුවමනා එපාකම්  සපුරාලන්න උත්සාහ කිරීමයි. ප්‍රේක්ෂකයා සතුටු කිරීමට උත්සහ කිරීමයි .  මෙය කලාකරුවෙකුගේ හෝ  කලා  නිර්මාණයක කාර්යයක් කියා මා  කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ .  එසේ සිතීම ලොකු රැවටිල්ලක් . " තර්කොව්ස්කි -  පි . 78 

 හඳගම ගේ ප්‍රශ්නය වී  ඇත්තේද මෙයයි .  ඔහු අතිශයින් කලාත්මක නිර්මාණයක් ඉදිරිපත් කල අතර ස්වර්ණා  මල්ලවාරච්චි සහ සෙසු නළු නිලියන් හැකි හැම පමණින් එයට දායක වී ඇත .  එය සකල දේශපාලන ප්‍රේක්ෂක සමුහයා සතුටු කරන්නට කල කළා නිර්මාණයක් නොවන බව විචාර හා සමාජ ජාල වැළපීම් මගින් පෙනී යයි . 

"ඉනි අවන්" ගැන විචාරයක් ලියන දීප්ති ගුණරත්න මෙසේ කියයි . 

"නමුත් 'අක්ෂරයට' පසු අශෝක හඳගම විසින්  තමන් එතෙක් සිනමාව තුල මහා අනෙකා වෙනුවෙන් රංග දක්වන ලද ආශාවේ මානය විපරිත ස්ථාවරයේ  සිට හිස්ටරික  ස්ථාවරයක් දක්වා විස්ථාපනය කරන  ලදී. මෙම විස්ථාපනය ආත්මීය කරුණකි .  එනිසාම එම හැරවුම මගින් ඔහු ආචාරාත්මක ක්‍රියාවක් කරයි.  එනම් විපරිත ආත්මමූලිකත්වයක සිට (විනෝදය  අනෙකට දීම )  හිස්ටෙරික ආත්මමුලිකත්වය කර විතැන් වීමයි .  මේ සඳහා ඉදිරිපත් කල හැකි බාහිර සියලු හේතුන් පසු ආවර්තිත  බව සිහි තබා ගත යුතුය .  මෙම ෆැන්ටසිකරණය නිසා අශෝක හඳගමගේ දේශපාලන ප්‍රේක්ෂක කැළ ඔහුට හිමි විය. ඔවුන්ගේ මුඛ්‍ය චෝදනාව වන්නේ ඔවුන්ගේ ෆැන්ටසි යථාර්තය හඳගම විසින් නොපෙන්වන බවයි .  එය ද්‍රෝහී ක්‍රියාවකි . " පිටුව 26  - 'මා  අබියස ඔබ නෙළුම නොවේ.  - දීප්ති කුමාර ගුණරත්න

එසේනම් සිදුවී ඇත්තේ හරිම අවාසනාවකි .  "රාණි චිත්‍රපටයෙන් ඉතිරිව සිටි දේශපාලන ප්‍රේක්ෂක කැලද හඳගමට එසේනම් අහිමි වී ඇත. ඔහු ද්‍රෝහියෙකු ලෙස සලකා  විචාර ලියවෙන්නේද , පවුලේ ය රිචඩ් ව තව  වරක් මැරූ ලෙස වැලපෙන්නේද එබැවිනි .  චිත්‍රපටය කලාත්මක නිර්මාණයක් මිස රිචඩ් ද සොයිස ගේ මරණය ගැන නන්දන විරරත්න ලියන ගවේෂණාත්මක ලිපියක් නොවේ .  මේ දේශපාලන ප්‍රේක්ෂක රැලට හසුව නොමැති යථාර්තය මෙයයි .  ඔවුන්  චිත්‍රපටය නරඹන්නට ගොස් ඇත්තේ පූර්ව  විනිශ්චයකිනි . ඇතැමෙක් ගොස්  ඇත්තේ එහි රිචඩ් හා තමන් කල නාට්‍ය ගැන ඇතැයි සිතාය .  ඇතැමෙක් සිතා  ඇත්තේ ඇය තමන්ට කල වෙද කමක් ගැන එහි ඇති කියාය .   ඇතැමෙක් දේවතාවියක ගේ කතාවක් බලාපොරොත්තු වී තිබේ .  ඉන්දියාවේ කාට හරි කීවා නම් එවැනි චිත්‍රපටයක් සාදා දෙනු ඇත .  ඇතැමෙකු බලාපොරොත්තු වී ඇත්තේ රිචඩ් ගේ ඝාතකයා හෙළි දරව් කරනු ඇතැයි කියාය .  

මා මිත්‍ර හිටපු මහාචාර්ය ප්‍රදීප්  ජෙගනාදන් මුහුණු පොතේ මට ලින්කුවක් දමා තිබුණි. ඒ ඔහු හා මා මිත්‍ර නන්දන වීරරත්න රාණි චිත්‍රපටය ගැන කළ කතා ගැනය .   මා ජෙගනාදන් දන්නේ රාජකීය විද්‍යාලයේ මට කලින් වසරේ  සිටි උගත් දක්ෂ සිසුවෙකු ලෙසය .  ඔහු හා මම සාමාන්‍ය  දැනීමේ තරඟ  කණ්ඩායමකට අයත්ව  සිටියෙමු .  සන්සුන් ජෙගනාදන් ශිෂ්‍යත්වයක් ලැබ ඇමෙරිකා  ගියේය. දුප්පත් මම සෝවියට් ශිෂ්‍යත්වයක් ලැබ රුසියාවට ගියෙමි.  ඇමෙරිකාවේදී ජෙගනාදන් බොන්නට ඇතැයි මට නොසිතේ .  රුසියාවේදී මට  නොබී බැරිවිය .  ඒ ගැන කවුරුත් දනිති.    නමුත් චිත්‍රපටයේ බොන බවක් නොපෙනුන විනීතව මෙන් හැසිරුණ (මටනම් එසේ නොපෙනුණි )  කණ්ඩායමක්  රිචඩ් පැහැර ගන්නට පැමිණි  බව ජෙගනාදන් කියයි .  එම කණ්ඩායම ඉන්පසු පෙන්වන්නේ ජීප් රථයේ හොඳට බොන බවත් ඉන්පසු ඔවුන්ම තීරණය කර රිචඩ් පැහැර ගැනීමට යන බවත් ජෙගනාදන් නිරික්ෂනය කරයි .  ඔහුට අනුව මෙහි ඇත්තේ පරස්පර විරෝධතාවයකි .  විනීත පැහැරගන්නන් හා බීමත් කණ්ඩායම.
  
ජෙගනාදන් මිතුර, ඔබ හොඳට   බිව් අයෙකු ලෙස මට නොපෙනුණි .  එනිසා මට එය වැටහේ .  අදටද  වොඩ්කා හෝ විස්කි බෝතලයකින් බාගයක් බී මට තවම කෙලින් සිට ගන්නට පුළුවන්ය .  එසේම එසේ බී  වාහන පදවන අයද මම දනිමි .  මා එයට සහමුලින්ම විරුද්ද නිසා එසේ නොකරමි.  ඔබට කලින් කතාව කල නන්දන වීරරත්න  ගෙන් ඇසුවා නම් කියා දෙනු ඇත .  ආරක්ෂක අංශයේ අය බීවාට ඒ ගැන සඟවමින් ඔවුන් ක්‍රියා කරන බවට බොහෝ අය සාක්ෂි දෙනු ඇත .  ඔවුන් සරම් උස්සාගෙන හොරු අල්ලන්න යන්නේ නැත .  බීමත්ව නම් යති .  එනිසා ඔබේ තර්කය බොල් පදනමක් නැති එකකි.
 
ලන්ඩනයේදී අප බියර් එකක් බොන්නට හමුවූ අවස්ථාවක මහාචාර්ය ජෙගනාදන් ඔහු පලකල පර්යේෂණ පත්‍රිකාවක්  ගැන කීවා මතකය .  බෞද්ධාගම අවිහිංසක  ආගමක් නොවන බවය ඒ .  ඒ ගැන ලියන්නට සිතා  සිටි මුත් මට එය අතපසු වුනි .  ඔබ තර්ක කලේ ගලබොඩ අත්තේ ඥානසාර දබර ඇඟිල්ල  දිගු කර තර්ජනය කරන බවත් බුදුන් වහන්සේද එසේ ඇඟිල්ල ඉදිරියට දිගු කල බවත්ය .  බුදුන් වහන්සේ ගේ හස්ත මුද්‍රා හැර වෙනත් තනි ඇඟිල්ලකින් කරන තර්ජනයක් මම නොදනිමි .  එසේම බුදුන් වහන්සේ යක්ෂයන්  දමනය කිරීම ප්‍රචණ්ඩත්වයක් (violence) ලෙස ඔහු දකී. බුදුන් ලංකාවට වැඩියාද කිය  නොදන්නා නිසා මා ඒ ගැන ප්‍රශ්න නොකරමි.
 බෞද්ධාගම ප්‍රචණ්ඩ නොවූ නිසා  බංගලි දේශය , පකිස්ථානය ,  මැලේසියාව,  ඇෆ්ගනිස්ථානය ,  ඉන්දුනීසියාව අද බෞද්ධ රටවල් නොවේ යයි තර්කයක් ද ඇත .    එහෙත් මානව විද්‍යා මහාචාර්යවරයෙකු ලෙස එවැනි පත්‍රිකාවක් ඔහුට එවැනි අදහසක් ගොනු කිරීමට හා පල කිරීමට  පූර්ණ නිදහසක් ඇත .  හඳගමට තමන්ට අවශ්‍ය ආකාරයට "රාණි " නිර්මාණය  කරගන්නා සේය.

ජෙගනාදන් ගේ මෙන්ම බොහෝ අයගේ තවත් තර්කයක් නම් චිත්‍රපටයේ රිචඩ් ගේ ඝාතකයා හෙළි දරව් නොකරන බවයි .  එසේම පොලිස් කණ්ඩායම ජීප් රථයේ  බොන අතරේ එම තීරණය කණ්ඩායම  ගත් බවයි .  ජෙගනාදන් ,  ඔබ හොඳ  මාෆියා චිත්‍රපටයක්  නරඹන්න.  මාරියෝ ෆුසෝ ගේ "ගෝඩ් ෆාදර්", ඩොනි බ්රැස්කෝ  මෙන්ම  නෙට් ෆ්ලික්ස් හි ඕනා තරම් මාෆියා චිත්‍රපට  ඇත .  කිසිම මාෆියා බොස් කෙනෙකු හෝ දේශපාලකයෙකු කෙනෙකු මරන්නට කෙලින් අණ  දෙන්නේ නැත .  ඒ වෙනුවට "අරයා මා දිහා අමුතු විධිහට  බැලුව . ""දැක්කද  අරූ හැසිරිච්ච විධිහ "  "අරූ අපට උගන්වන්න එන්නේ " "අපිව  නැති කරන්න  කලින් නැති වෙන්න ඕනේ අය ඉන්නව "  වගේ හැඟවුමක් දෙනු මිස කෙලින් කියා තමන්ව කොටු වෙන්නට ඉඩ හරින්නේ නැත.  ඇමෙරිකානු එෆ් බී අයි ආයතනයට ඇමෙරිකාවේ ඉතාලියානු මාෆියාවේ බොස් ලා හරි හැටි කොටු කරගන්නට අවුරුදු දහයකට වඩා ගියේ එබැවිනි .  මෑත කාලයේ එක්තර දේශපාලකයෙකු " ගහලා දාන්න " කියනු යයි මා අසා තිබේ.  

"ලොක්ක අරූ ට කැමති නැහැ නේද " කියා චිත්‍රපටයේ කියනවා  ඇසුනේ නැත්ද?  ඒ ඔවුන්ට දී තිබූ අණයි. පාතාලයන් සේ, ඝාතන  කණ්ඩායම් සේ වැඩ කල අයට ඒ හොඳටම  ඇතිය . 

එසේම රිචඩ් ද සොයිසා  ගේ ඝාතනයට වග කියන කවුරුන්  හෝ  නීති මාර්ගයෙන් සොයා නැති තත්වයක් තුල චිත්‍රපටයට ඇඟිල්ල දිගු කළ නොහැකිය .  නන්දන වීරරත්න ටතම කතාවේදී පවසන්නේ රිචඩ් ගැන සොයන්නට හා කියන්නට අවශ්‍ය නම් වෙනත් චිත්‍රපටයක් අකරණ ලෙසය .  ඒ කතාව වඩාත් සාධාරණ එකකි . 

රඟපෑම් ගැන කියනවානම් ස්වර්ණා මල්ලව "රාණි" ගැන  නොදැන සිටියා නම් වඩා හොඳය .  සිනමා නිර්මාණයේ තම නිර්මාණය කරන චරිතයේ සියලු තොරතුරු නළුවා හෝ නිළිය දනී  නම් ඇයට ඒ චරිතය නිසි ආකාරයට ගොඩනැඟිය නොහැකි යයි  තර්කොව්ස්කි පවසයි.    බොහෝ විචාර වලට අනුව ස්වර්ණා "රාණි " ගැන දන්නේ නැත .  එහෙනම් ඒ හොඳය .  ඇගෙන් චිත්‍රපටයට සාධාරණය ඉටුවී ඇත .  එම චිත්‍රපටයේ මැවෙන්නේ ඔබ දන්නා රාණි නොව මව්වරුන්ගේ පෙරමුණේ රාණිය. තම දරුවා බලෙන් පැහැරගෙන ගිය,  දවා  හලුවී තැන නොදන්නා දහසකුත් එකක්,  සිංහල , දෙමළ ,  මුස්ලිම් මව්වරුන්ගේ එකියකි . 

එසේම කිසියම් පිටපතක් ලියන සැමියකු පැහැර ගැනීමක් පෙන්වයි .  ඔහුගේ බිරිඳ රාණි හමුවීමට පැමිණ ඇය හා පෙරමුණටද එක්වෙයි /  මේ කියවෙන්නේ ලක්ෂමන් පෙරේරා ගැනද ?  අහවල් නාට්‍යය ගැනද?

හඳගම චිත්‍රපටයේ අසල්වැසියන් එන වෙලාව මතකද .  "රාණි " ඔවුන ගේ  සහය ප්‍රතික්ෂේප කරන්නේ "රිචඩ්   පැහැරගත් වෙලාවේ ඔබල කොහෙද හිටියේ " යයි අසමිනි .  රිචඩ් ගේ දැන් කෑ ගසන නෑදෑ පරම්පරාවද එසේ සිටින්නට ඇත .  තනිව සිටි ඇයට අරමුණක් දුන්නේ මංගල හා මහින්දය. ඒ වංචාකාරී ලෙස ඇයව යොදාගෙන චන්ද්‍රිකා රජ කරන්නටය .  ඒ ගැන පෙන්වීම වරදක්ද?  සිදු වුනේ එය නොවේද? "රාණි" හි   පෙන්වන්නේ මව්වරුන්ගේ පෙරමුණේ සටන් වැදුණු මව්වරුන්ගෙන් එකියක් මිස පොෂ්  පන්තයේ වෛද්‍යවරියක් ගැන නොවේ . 

හඳගමගේ මේ විශිෂ්ට කලාත්මක නිර්මාණය දෙවන වර නරඹන්නට  ලන්ඩනයට ගෙන එනු ඇතැයි  සිතමි .  ස්තුතියි අශෝක හඳගම . 

- කොළඹ ගමයා -10/04/2025
තර්කොව්ස්කි ගේ කැඩපත 



වධහිංසා කිරීමේ කලාව ! | ප්‍රදීප් ජෙගනාදන් දේශනය - යූටියුබ් 


සිනමාවක් නොවන විචාරයක්. - නන්දන වීරරත්න 




මුලාශ්‍ර -අන්ද්‍රේයි තර්කොව්ස්කි සිනමා දේශනා - පරිවර්තනය - සිසිර කුමාර බණ්ඩාරගම 
මා අබියස ඔබ නෙළුම නොවේ - ඉනි අවන් -  දීප්ති කුමාර ගුණරත්න 
ජලයෙන් යටවූ ලින්ච් ගේ ලෝකය - පුෂ්පජිත් නිරෝෂණ ජයසිංහ 

මගේ අනෙකුත් චිත්‍රපට විචාර ලිපි:





60 comments:

  1. හඳගම චිත්‍රපටියක් කරා. එකේ නම රාණි . හඳයා, ස්වර්ණා හැමෝම කිව්වෙත්, ප්‍රචාරක පටිවල තිබ්බෙත් චිත්‍රපටය රිචර්ඩ් සොයිසාගේ අම්මා ගැන කියලා. රාණි ගැන දන්නා අය කියනවා එකේ ඉන්නේ රාණි නෙමයි කියලා . අජිත් ධර්ම කියනවා හඳයා හට පුර්ණ අයිතියක් තියනවලු තමන්ගේ හිතේ ඉන්න රාණි ප්‍රේක්ෂකයාට පෙන්නන්ඩ. එහෙමනම් මොන මළ ඉලව්වකටද ඕකට ""රාණි"" කියල නම දාලා මනෝරානිව බලන්ඩ එන්ඩ කියල ප්‍රචාරය කරේ. ""මෑණි"" වගේ නමක් දාලා මනොරාණි විකුණගෙන කන්නේ නැතුව හෙමිහිට චිත්‍රපටිය ප්‍රදර්ශනය කරානම් කැමති අය බලයි. කැමති අය මනෝරානි ගේ හැඩය දකියි. අනිත් අය මේක මනක්කල්පිතයක් කියල හිතහදාගනියි. ඕකට මහලොකු චිත්‍රපටි විචාර කලාවක් ඕන වෙන්නේ නෑ. කොහොමත් හඳගම කියන්නෙම හෙන මාර්කටින් පොරක්

    ReplyDelete
    Replies
    1. ඇනෝ, සෑහෙන්න හොඳ තර්කයක්. රිචඩ් සහ මනෝරානි නම් නිසා තමයි මමත් මේ චිත්‍රපටිය ගැන උනන්දු වුනේ. ඒක එහෙම නම් ඒ චරිත හිතුන හැටියට වෙනස් කරන එක වැරදි තමයි.

      Delete
    2. විචාර කලාවක් ඕන වෙන්නේ නැහැ කියල ලියන්න කලින් අඩුම ගානේ ලිපිය කියෙව්වද ? චිත්‍රපටය බැලුවද ? නැහැනේ නේද ? රාණි , හෝ මනෝරානි කීවත් චිත්‍රපටය හදල තියෙන්නේ එයාට තමා . හැබැයි ඔයාලගේ ඔලුවේ ඉන්න පොෂ් රාණි නෙමෙයි . ඒකයි මම කියන්න්වේ . මව්වරුන්ගේ පෙරමුණේ හිටි තැලුණු කාන්තාව . එයා නියෝජනය කරපු ස්තරය . අර ඊයේ පෙරේද වැලිකඩ පොලිසියෙන් ගහල මැරුණු සමලිංගික කියන දරුවට මානසික ව්‍යාධියක් ටිහිබ්බ කියල පොලිසිය කියනවා . ඒ අම්ම මේ රාණි චිත්‍රපටයේ රාණි තමයි . මනෝරානි ත් මේ අම්ම තමයි . ඒ අම්මලා ඔක්කොටම හරියන ශ්‍රේෂ්ඨ චිත්‍රපටයක් තමා මේක . ඒක මම බය නැතිව කියනවා .

      Delete
    3. ඉගෙන ගන්න කැමතිනම් ඔය මම දාල තියෙන තර්කොව්ස්කි ගේ මිරර් චිත්රපටය බලන්න . ඊට පස්සේ මේක බලන්න . https://www.youtube.com/watch?v=YjAGuaZICyU - ඊට පස්සේ කැමතිනම් ආයේ බලන්න . සාමාන්‍යයෙන් ඒවා කියවල බලන්න ඕනේ . ඔපෙරාවක් හැමෝටම අහන්න බැහැනේ . සමහර චිත්‍රපටිත් ඒ වගේ.

      Delete
  2. චිත්‍රපටිය බැලුවෙ නෑ, ඒ නිසා වැඩි යමක් කියන්න අමාරුයි. බලන්න අදහසකුත් නෑ.

    අපි හැමෝම බොහෝ දේවල් දකින්නෙ, අපේම පාට කණ්නාඩි තුලින් බව නං දන්නවා. ඒ වගේම අපි හිතාගෙන ඉන්නවා අපේ කණ්නාඩි වල පාට නෑ කියල කියලයි මට හිතෙන්නෙ. හඳගමගෙ චිත්‍රපටය එක එක්කෙනාට වෙනස් විදිහට පේන්නෙ ඒ නිසා වෙන්නත් ඇහැකි.🤔

    ReplyDelete
    Replies
    1. බස්සා ට සාමාන්‍යයෙන් තර්කානුකුලව යමක් තේරුම් ගන්න පුළුවන් කෙනෙක් නිසා මේ වගේ චිත්‍රපටි මග හරින්න එපා බලන්න .

      Delete
    2. මට ඔබ කියන සමහර දේ, ඉයන් කිව්ව දේ සහ ඇනෝගෙ තර්කය, ඔය ඔක්කොම ඒව වල ගතයුත්තක් තියනව කියල හිතෙනව. ඒක තර්කානුකුලයි කියල හිතෙනවද?😮🤔

      Delete
    3. Post එකයි comments ටිකයි කියවගෙන එද්දී හිතිච්ච ප්‍රධානම දේ බස්සා මහත්තයත් ලියලා.
      //අපි හැමෝම බොහෝ දේවල් දකින්නෙ, අපේම පාට කණ්නාඩි තුලින් බව නං දන්නවා. ඒ වගේම අපි හිතාගෙන ඉන්නවා අපේ කණ්නාඩි වල පාට නෑ කියල කියලයි මට හිතෙන්නෙ. හඳගමගෙ චිත්‍රපටය එක එක්කෙනාට වෙනස් විදිහට පේන්නෙ ඒ නිසා වෙන්නත් ඇහැකි.//

      ඒත් එක්කම මට හිතුණු දේවල් දෙක-තුනක් මේ.

      චිත්‍රපට හැදීම ඉතා වියදම් අධික නිර්මාණාත්මක දෙයක් නේද?
      ලංකාවේ එහෙම වැඩක් කිරීමම කොච්චර අභියෝගාත්මකද?
      ඕනෑම නිර්මාණකරුවෙක් තමන්ට රිසි පරිදි යම් නිර්මාණයක් කළාට පස්සේ එය ජනගත කිරීමේදී (මාර්කටින් කිරීමේදී) නොයක් ක්‍රමෝපායයන් යොදා ගැනීම නුසුදුසුද?
      අපි යමක් විවේචනයට- විචාරයට බඳුන් කරන්නේ (අවිඤ්ඤාණිකවම හෝ) එය ගැන සැලකිලිමත් වන නිසා නේද?

      Delete
    4. ස්තුතියි නිදි සහ බස්සා . තර්කානුකුලව බලන්න කිවේ ප්‍රතිචාර දිහා . චිත්‍රපටිය තර්කානු කුලව බලන්න පුළුවන් කියල හිතන්නේ නැහැ . ඒක කලාත්මක ශ්‍රේෂ්ඨ චිත්‍රපටයක් . මේ වගේ ඒවා ලංකාවේ හදන අධ්‍යක්ෂක වරු ඉන්න බව දැන ගැනීම මාර සතුටක් මටනම් . ලංකාවේ අය තමන්ගේ අයට ගෞරවය නොදෙන ප්‍රශ්නයකුත් තිබෙනවා .

      Delete
    5. //අපි යමක් විවේචනයට- විචාරයට බඳුන් කරන්නේ (අවිඤ්ඤාණිකවම හෝ) එය ගැන සැලකිලිමත් වන නිසා නේද?// ඒක හරි . මේ යන සංවාදය හොඳයි

      Delete
  3. මම රිචර්ඩ් ඩි සොයිසාට කැමතිව හිටපු කෙනෙක්. ඒ නිසා ඔහුට වූ සිදුවීම ගැන දුකයි. ඒත් එම සිදුවීමට යම්කිසි හේතුවක් තිබුණා කියා මම හිතනවා. මම වගේම අනික් අයත් ප්‍රේමදාස /රන්ජන් විජේරත්න ගැන ඇති කැමැත්ත හෝ අකමැත්ත පදනම්ව විවිධ මතවල් ඉන්නවා. ඒ අය බලාපොරොත්තු වෙන්නේ තමන් දරන මතය සනාථ කරන දෙයක්. එහෙම නොවුනම ඒ ගැන විවේචනය කරනවා. ඒ නිසා මෙවන් සිදුවීම් ගැන චිත්‍රපට කිරීම හැමෝම සනසන්න බැරි දෙයක්. එම නිසා මගේ අදහස නිර්මානශීලී කලා කරුවන් එවන් කථාවල් වාර්ථාමය චිත්‍රපට කරුවන්ට කරන්න දෙන එක තමා වඩා සුදුසු කියලයි

    ReplyDelete
    Replies
    1. රිචර්ඩ් අතුරුදහන් වෙන කාලෙ තිබ්බෙ "ඩර්ටි" යුද්දයක්. මිනිස් ඝාතන වෙච්ච ආකාරය ගැන බොහෝ අය හිටියෙ කණස්සල්ලෙන්. JVP එක හරියි කියනව නෙමෙයි මේ. ඒ කාලෙ මහින්ද පවා ජිනීවා යන්න ලෑස්තිවෙලා උන්නා, ඒත් මහින්දව මැරුවෙ නෑනෙ? රිචර්ඩුත් එහෙම වෙන්න ඇති. ඔහු මාධයවේදියෙක්, මේ ගැන වාර්තා වීඩියෝවක් කරමින් හිටිය කියල තමයි කියන්නෙ. ආණ්ඩුව දුන්නෙ දඩුවමක් සහ වෝර්නින් එකක්. ඒක කොහොමවත් සදාචාරාත්මක් නං නෑ.

      Delete
    2. ඉයන් ලක්ෂමන් පෙරේරා කියල මාධ්‍ය කලාකරුවෙක් 'මේ කවුද මොනවාද කරන්නේ ' කියල නාට්‍යයක් ලිව . ඒක ලීක් වෙලා . ලක්ෂ්මන් ඉස්සුවා . අද වෙනතුරු කවුරුත් කතා කලේ නැහැ . චිත්‍රපටයේ රාණි හමු වෙන්න එන්නේ ඒ මරපු / උස්සපු ලක්ෂ්මන් ගේ බිරිඳ . කතාව දන්නා අය දන්නවා . ඔය ලියන විචාර කරුවෝ ඒ ගැන කතා කලේම නැහැ . ඒක තමා උන්ගේ කුහක කම . රිචඩ් වඩා පොෂ් නිසා සහ පිටරටට සම්බන්ධ නිසා කතා කරනවා . පිටපත මරන්න කලින් රිචඩ් ට දීල තිබුන තමා කියන්නේ . රිචඩ් මුරණ්ඩු කමට නාට්‍යය කරන්න හිතන් ඉන්න ති . අනික එයාගේ අම්මට තිබ්බ කනෙක්ෂන් නිසා උස්ස්සයි කියල හිතුවේ නැහැ . චිත්‍රපටයේ මේ සිද්දියට සෑහෙන තැනක් දෙනවා . හේතුව රිචඩ් ගේ මරණයට ඒක සම්බන්ධ නිසා

      Delete
    3. බස්සා මහින්ද ගැන දැනගෙන ඉඳල නැහැ . එක පැත්තකින් ජෙප්පන් ට උදව්වට ජිනීවා යන්න හිටියේ . අනිත් පැත්තෙන් කිහිප එන් , තංගල්ල පැත්තේ නායකයෝ පොලිසියට අල්ලල දීලා තියෙන්නේ එයා කියල කියනවා . නීතිඥ විජේදාස ලියන ආරච්චි , විජිත රණවිර හෙම . පෙනිච්ච තරම් සුදු නැහැ . නාට්‍ය පිටපත හා වෙරිටස් රේඩියෝ එකට නිව්ස් දීම තමා අසන්නම් හේතුව .

      Delete
    4. ඔප්පු කරන්න බැරි නිසා මේක කියන එක හරි නොවෙන්න පුළුවන්. එහෙත් ඒ කාලේ මම දැනගත්ත දේ අනුව ඔහුට ජේ වී පී සමඟ සම්බන්ධයක් තිබුණා. ඔහු විදේශීය පුවත් සමාගම් වලට පුවත් සපයන දේශීය නියෝජිතයෙකුව සිටියා. ඒ සඳහා ඔහු ජේ වී පී සම්බන්ධතා තබාගන්න ඇති කියලයි මම හිතන්නේ. ඔය "මේ කවුද? මොනවද කරන්නේ? " නාට්‍ය නිසා රිචඩ්ව මැරුවා කියන එක ප්‍රවාදයක් පමණයි කියලයි මම හිතන්නේ. නාට්‍යයක් පමණක් නම් එය තහනම් කරන්න වගේ දේවල් කරන්න තිබුණා. අනික ජේවීපී ක්‍රියාවලට ඒ විදිහටම උත්තර දුන් අය කරන් දේවල් සමහර විට ප්‍රේමදාස දැනගෙන හිටියෙ නැහැ. උදාහරණයකට විජේවීර අත් අඩංගුවට අරගෙන මරනකම් ප්‍රේමදාස දන්නෙ නැහැ කියලයි මම දන්නෙ.

      Delete
    5. JVP පොලිටිබියුරෝ නායකයො ගැන මගේ මනාපයක් නෑ. මම මහින්දට අකමැති වුනත්, එයා එහෙම කලා නං මම ඒකට වරදක් කියන්නෙත් නෑ. මම කම්පා වෙන්නෙ, බුරුතු පිටින් පිච්චිච්ච ෆුට් සෝල්ජර්ස්ලා ගැන, කේලම් නිසා ටයර් එකේ ගිය අහින්සකයො ගැන, බුරුතු පිටින් වදකාගාර වල බාවලා දූෂණය කරලා මරලා දාපු කෙල්ලො ගැන. රිචඩ් සහ ඔය කියන ලක්ෂ්මන් වීරයො වෙන්නෙ ඒ නිසයි.

      Delete
    6. හරි රිචඩ්ට, ජේ වී පී සමඟ සම්බන්ධයක් තිබුණාම යැයි කියමුකො. ඉයන් කියන්නෙ ඒ නිසා ආණ්ඩුව නඩු නැතුව රිචඩ්ව අතුරුදහන් කරපු එක හරියි කියලද? ඒ වගේම අපි අමතක කරන්න නරකයි රිචඩ් මාධයවේදියෙක් බව. ජේ වී පී සමඟ සම්බන්ධ විතරක් නෙමෙයි, තනතුරුත් දරපු සිරිසේන කුරේගෙ මස්සිනා තවත් අය බේරෙන්නත්, රිචඩ්ට එහෙම වීමෙත් ලොජික් එක මොකක්ද?

      පුෂ්ප කුමාරගෙ අහිංසක කම ගැන නං කතා නොකර ඉමු නේද? බොක්කෙ දඩමස් , හක්කෙ බුදුරැස්. රංජන් විජේරත්න නං කෙලින්ම කලේ ගහලයගෙ පාට් එක. අපි මේ කතා කරන්නෙ, මේ සංහාරයට එකසේ වග කිව යුතු JVP පොලිටිබියුරෝ නායකයො ගැන එහෙම නෙමෙයි ඈ?

      Delete
    7. // ලක්ෂ්මන් ඉස්සුවා . අද වෙනතුරු කවුරුත් කතා කලේ නැහැ ....ඒක තමා උන්ගේ කුහක කම . රිචඩ් වඩා පොෂ් නිසා සහ පිටරටට සම්බන්ධ නිසා කතා කරනවා //
      රිචඩ් ඉහල පන්තියේ අයෙක්. හොඳ සමාජ තත්ත්වයක්, ඉහල ජීවන රටාවක් තිබ්බ කෙනෙක්. ඒ පන්තියේ අනිත් අය වගේම, මේ ව්‍යසනය නොදැක්කා වගේ ඉන්න තිබ්බා. දැන් හඳගම වුනත් සිත්තර පටිය හැදුවෙ ලක්ෂ්මන් ගැන නෙමෙයි නෙව? පොෂ් නිසා තමයි, මාත් රිචඩ් ගැන කතා කරනවා. කුහකද මන්දා? IDK 🤔😁

      Delete
    8. /දැන් හඳගම වුනත් සිත්තර පටිය හැදුවෙ ලක්ෂ්මන් ගැන නෙමෙයි නෙව? // දැන් ඔයාල ඇතුළු අනිත් හැමෝම බනින්නේ රිචඩ් ගැනවත් මනෝරානි ගැනවත් නෙමෙයි මේ චිත්‍රපටිය හදල තියෙන්නේ කියලනේ . එකක් කියන්නකෝ . 😀

      Delete
    9. රිචඩ් ට ජවිපෙ සම්බන්ධය තිබ්බේ මාධ්‍ය නිසා . නමුත් ඔහු දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට සම්බන්ධ නැහැ . ඒක තමා සන්නද්ධ අංශය ඒකෙ හැමෝම වගේ මැරුව ආණ්ඩුවෙන් සහ ප්‍රා එකෙන් . ජවිපෙ සම්බන්ධය නිසා මරනවනම් එයා යන්නේ 88, 89 කාලේ. එයා ඉස්සුවේ 1990 මේවා ඉවර වෙන්න ලං වෙලා . නිහාල් සිල්වා කියන නාට්‍කාරය යූ ඇන් පී (සාජන්ට් නල්ලතම්බි ) . එයාවත් මැරුව චෙක් පොන් එකකදී . හේමා ප්‍රේමදාස ගැන කැත කතාවක් කීව කියල . විජිත ගුණරත්න නාට්‍යයක් කළා විවේචනය කරපු එකක් . ලංකාවටම නෙමෙයි . . මට මතක නැහැ නම . එයාට තර්ජනය කළා . එයා පැන්න ස්වීඩන් . තවම එහෙ ඉන්නේ . මගේ යාළුවෙක් . ලක්ෂ්මන් මරපු එක තම අර පෙන්වන්නේ . ඔයාල චිත්‍රපටය බලල නැති නිසා කියල වැඩක් නැහැ . අන්ධයට පාර කියනව වගේ මේක .

      Delete
    10. අප්සෙට් ගහන්න එපා ලොක්කා, බැන්නෙ නෑනෙ? හඳයා ගැන පොඩ්ඩක් අවුල්, රිචඩ්ගෙයි මනෝරානිගෙයි නම් දාලා මාකට් කල නිසා. ඒත් ඒ වගේම හඳයට ස්තූතියි මේ අමතක වෙච්ච අතීතය ආයෙ කතිකාවට ගෙනාවට. අජිත්ටත් ස්තූතියි, මේච්චර අපි නොදන්න විස්තර කිව්වට. 🙏

      Delete
    11. //රිචඩ්ගෙයි මනෝරානිගෙයි නම් දාලා මාකට් කල නිසා// බසු අන්ධයට පාර කියනවා වගේ ඒත් . ඔය විචාරකයෝ , ඉයන් , ජෙගනාදන් (ජෙගා නම් බලල ) සහ රානි ව ලඟින් දන්නා අයගේ ප්‍රශ්නය එයාලගේ ඔලුවේ ඉන්න රානි නොහිටිය එක . ජෙප්පන්ගේ සහ පෙරටු ගැමි සමාජවාදීන් ගේ ප්‍රශ්නේ (ඒ අයත් විවේචනය කරන නිසා ) එයාලගේ ඔලුවේ හිටිය 'ජවිපෙ රිචඩ් ' නැති එක . දැන් අවංක ඇත්ත තමා ඉයන් කීව වගේ රිචඩ් ජවිපෙ සම්බන්ධයක් තියන් හිටි කෙනෙක් මිසක් ජවිපෙ නෙමේ . එයාව මරන්න හේතුවක් නැහැ ආණ්ඩුවට . ඒකයි ඇත්ත . ඕක මුන් පිලි ගන්න කැමති නැහැ . මටනං හේතුව අ " ලොක්කා අකමැති කියල කීව එක / " ඒ දවස් වල (දැන් වුනත් ) ලොක්ක අකැමතියි කිවම හොඳටම ඇති . ඒක තම නිතිය . සාටකේ වුනත් වැඩ කලේ එහෙම . ඔය තිත්ත ඇත්ත දිරවගන්න බැහැ කට්ටියට

      Delete
  4. මම රිචර්ඩ් ඩි සොයිසාට කැමතිව හිටපු කෙනෙක්. ඒ නිසා ඔහුට වූ සිදුවීම ගැන දුකයි. ඒත් එම සිදුවීමට යම්කිසි හේතුවක් තිබුණා කියා මම හිතනවා. මම වගේම අනික් අයත් ප්‍රේමදාස /රන්ජන් විජේරත්න ගැන ඇති කැමැත්ත හෝ අකමැත්ත පදනම්ව විවිධ මතවල් ඉන්නවා. ඒ අය බලාපොරොත්තු වෙන්නේ තමන් දරන මතය සනාථ කරන දෙයක්. එහෙම නොවුනම ඒ ගැන විවේචනය කරනවා. ඒ නිසා මෙවන් සිදුවීම් ගැන චිත්‍රපට කිරීම හැමෝම සනසන්න බැරි දෙයක්. එම නිසා මගේ අදහස නිර්මානශීලී කලා කරුවන් එවන් කථාවල් වාර්ථාමය චිත්‍රපට කරුවන්ට කරන්න දෙන එක තමා වඩා සුදුසු කියලයි

    ReplyDelete
  5. Jagath Pathirana10 April 2025 at 21:20

    මම දෙමළ චරිත තියෙන චිත්‍රපටි බලන්න කැමති නෑ.
    හේතුව අපේ කලාකාරයන්ට “සුන්දර දෙමලා“ ෆැන්ටසිය කඩාගෙන යන්න තරම් කොන්ද පන නෑ. ඒ නිසාම ඒ වගේ චිත්‍රපටි වෙලඳ දැන්වීම් වගේ.
    මොනවා වුනත් අශෝක හඳගම නම් එතනින් එලියට පැනලා වගේ.

    රාණි චිත්‍රපටියට බනින අයට වෙලා තියෙන්නේ “සුන්දර දෙමලා“ ෆැන්ටසිය දෙදරනකොට ඇතිවන අසහනය දැනීම.

    මේක බලන්න වටිනවා කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් . දෙමල අම්මල සහන සිංහල අම්මලා එකට දාල තියෙන්නේ . ඒක දිරවන්නේ නැති කට්ටයක් ඉන්නවා කියන එකත් හරි

      Delete
    2. Jagath Pathirana11 April 2025 at 01:02

      ඒ්ක නෙමෙයි අදහස් කලේ.
      නලලේ තිලකයක් තින, කොන්ඩේ පිච්ච මල් ගහන ගැහැණියක් විස්කි බොනවා, සිගරැට් උරනවා දකිනකොට ඒ්ක ගොඩක් අයට දරාගන්න අමාරුයි.
      ඒයට හේතුව සිංහලයන්ට පොඩි කාලේ ඉඳන් පුරුදු කරවලා තියෙනවා. දෙමළ මධ්‍යම පාන්තිකයා සිංහලයට වඩා උසස් කෙනෙක්ය කියන දුර්මතය.
      පන්සලක ලොකු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවන්ට ප

      Delete
    3. Jagath Pathirana11 April 2025 at 01:03

      දරුශණයක් දැක්කාම ඒච්චර ගැටලුවක් ඇතිවන්නේ නෑ. අපිට පුරුදු කරවලා තියෙන්නේ හාමුදුරුවන්ට බනින්න.

      Delete
    4. සෑහෙන කාලෙකට පස්සේ ජගත් මට එකඟ වෙන්න පුළුවන් තර්කයක් දාල

      Delete
    5. //නලලේ තිලකයක් තින, කොන්ඩේ පිච්ච මල් ගහන ගැහැණියක් විස්කි බොනවා, සිගරැට් උරනවා දකිනකොට ඒ්ක ගොඩක් අයට දරාගන්න අමාරුයි// මට පැලෙන්න හිනා යන්නේ ඕන ඕකට . එයා එහෙම හිටියද පුතා මැරුණට පස්සේ විස්කි බීවේ නැහැයි කියන්න පුලුවන්ද ? ලලිත් ව සිහි කරල ස්වයං වින්දයනක් කරා කීවොත් එහෙම වුනේ නැහැ කියන්න පුලුවන්ද

      Delete
  6. සාමාන්‍යයෙන් historical fiction පොත් හා මූවීස් කරන්නෙ හොඳට රිසර්ච් කරලා නේද?
    එහෙම නැතුව කියලා historical fantasy කියල genre එකකුත් තියනවා, ඒවා ඉතිහාසයෙන් පොඩි බලපෑමක් ඇතුව ෆැන්ටසි

    ReplyDelete
    Replies
    1. මම බලපු හොදම හිස්ටොරිකල් ෆැන්ටසිය තමා ගේම් ඔෆ් ත්‍රෝන්ස්. තව ඔය හිස්ටොරිකල් ෆික්ශන්ස් නම් ගනනාවක් තියෙනවා. බලලා තියේද "එනිමි ඇට් ද ගේට්ස්" කියන චිත්‍රපටිය. ඒක බැළුවාම රුසියාව ගැන පට්ට මොරාල් එකක් ආවේ මුලින්ම. පස්සේ හොයන කොට දැන ගත්තේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතේ වැසිලි කියන්නේ රුසියානුවෙක් නෙවෙයි ෆින්ලන්ඩ් කාරයෙක් කියලා. මිනිහා ඇත්තටම ෆින්ලන්ඩ් රුසියන් යුද්ධෙදි රුසියාවට හෙන ඇණයක් වෙච්ච ස්නයිපරයෙක්.
      චිත්‍රපටිය හදපු කෙනා චරිතෙ අරගෙන දෙවෙනි ලෝක යුද්ධෙට සම්භන්ධ කරලා ෆින්ලන්ඩ් කාරයාව රුසියන් කාරයෙක්වත් කරලාලු. එහෙම බැළුවාම ඒ මනුස්සයාටත් කරලා තියෙන්නේ අසාධාරණයක්. හැබැයි චිත්‍රපටිය හදපු කෙනා චරිතේ නම වෙනස් කරලා අරගෙන තියෙන්නේ. කෙලින්ම කියන්න බෑ මේ අහවලා කියලා.

      Delete
    2. ප්‍රා ජේ බැලුවෙත් නැහැනේ . ඔයාල ඔක්කොම විචාර කියවල හොන්ඩ අනහ කියනව ඒකෙ මනොර්නි ගැන තියනව . සෑහෙන දුරට . අනික පොතකින් කරපු එකක් නෙමේ . මේ දේශපාලන බඩ ගොස්තර වාදීන්ට ඕන තනිකර දේශපාලන ෆිලම් එකක් . ඕකයි ප්‍රශ්නේ .

      Delete
    3. මේක 'රාණි' ගැන නෙවෙයි. ලංකාවේ සිනමාහල්වල දර්ශන පැවැත්වෙන හැටි ගැනයි.
      ඉස්සර වගේ නෙවෙයි, දැන් සිනමා ශාලාවල එකම දවසේ එක එක වෙලාවල්වල චිත්‍රපට තුනක් හෝ හතරක් පෙන්වනවා. උදේ දහයට එකක්. දෙකට එකක්. හතරට එකක්. හතට එකක් වගේ. අපට බලන්න ඕනි ෆිල්ම් එක දවල් දෙකට නං තියෙන්නෙ... දෙකේ ෂෝ එකටම යන්නයි වෙන්නේ! No choice!!

      Delete
    4. දේශපාලන බඩ ගොස්තර වාදීන්? 😮☹️🤣
      අනේ එහෙම කියන්න එපා සෑර්. අපි කාගෙන් කියලා ඉල්ලගෙන කන්නද? අපි හම්බ කරල, අපි කනවා. ඒ කාලෙ වෙච්ච නැස්පත්තිය ගැන, අහිංසකයො ගැන තාම පපුව කකියනවා. එච්චරයි.

      අපි ඔන්නොහෙ ඕව අමතක අකරලා, පැල් කයියක් කියගෙන පරණ විදිහට ඉමු.

      Delete
    5. ඔයයිට ප්‍රා ජේට කියපු එකක් නෙමේ අප්පා . මේක දේශපාලන චිත්‍රපටයකට වඩා කලාත්මක එකක් .

      Delete
  7. ගේරා බෝයි12 April 2025 at 17:15

    මම කලින් දාපු කොමෙන්ට් එක වැටිලා නෑ. අජිත් අයියා පොඩ්ඩක් ඒක බලන්න.

    ReplyDelete
    Replies
    1. හෑ කෝ ස්පෑම් එකේ නැහැනේ

      Delete
    2. Geraboy has left a new comment on your post 'රාණි නොවන රාණි සමග ':

      මම බලපු හොදම හිස්ටොරිකල් ෆැන්ටසිය තමා ගේම් ඔෆ් ත්‍රෝන්ස්. තව ඔය හිස්ටොරිකල් ෆික්ශන්ස් නම් ගනනාවක් තියෙනවා. බලලා තියේද "එනිමි ඇට් ද ගේට්ස්" කියන චිත්‍රපටිය. ඒක බැළුවාම රුසියාව ගැන පට්ට මොරාල් එකක් ආවේ මුලින්ම. පස්සේ හොයන කොට දැන ගත්තේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතේ වැසිලි කියන්නේ රුසියානුවෙක් නෙවෙයි ෆින්ලන්ඩ් කාරයෙක් කියලා. මිනිහා ඇත්තටම ෆින්ලන්ඩ් රුසියන් යුද්ධෙදි රුසියාවට හෙන ඇණයක් වෙච්ච ස්නයිපරයෙක්.
      චිත්‍රපටිය හදපු කෙනා චරිතෙ අරගෙන දෙවෙනි ලෝක යුද්ධෙට සම්භන්ධ කරලා ෆින්ලන්ඩ් කාරයාව රුසියන් කාරයෙක්වත් කරලාලු. එහෙම බැළුවාම ඒ මනුස්සයාටත් කරලා තියෙන්නේ අසාධාරණයක්. හැබැයි චිත්‍රපටිය හදපු කෙනා චරිතේ නම වෙනස් කරලා අරගෙන තියෙන්නේ. කෙලින්ම කියන්න බෑ මේ අහවලා කියලා.

      Delete
    3. ඔන්න හොයා ගත්ත . මේකේ ඉයල තියන බොරු වලට ගූගල් කරයටම ලැජ්ජා හිතිලා ස්පෑම් එකටත් දාල බ්ලොග් කොමෙන්ට් වලිනුත් අයින් කරලද කොහෙද හේ හේ 😀

      Delete
    4. /මම බලපු හොදම හිස්ටොරිකල් ෆැන්ටසිය තමා ගේම් ඔෆ් ත්‍රෝන්ස්// මේකේ ඉන්එන වැඩි තරමක් මිතිකල් කැරක්ටර්ස් නේ . ගිනි පිඹින මකරෝ , (රාවනා කතාව වගේ ඉතිහාසමය වශයෙන් ඔප්පු කරන්න බැරි කෑලි ගොඩක් තියනව ) , මැරිලා නැගිටින මිනිස්සු ආදී වශයෙන් . නමුත් පුරාතන එංගලන්තේ සහ යුරෝපයේ රජ පවුල් අතර යුද්ධ ඔය වගේ තමා . තමන්ගේ ම නංගි එක්ක බුදියාගන්න එක කොමන් . (ලැනිස්ටර් ෆැමිලි එක . )ලංකාවෙත් රජ පවුල් වල තිබ්බද කොහෙද ? කුරුණෑගල පැත්තේ මස්සිනාල නෑනා ල තවම බඳින්නේ . එංගලන්තේ රෝස යුද්ධය කියල එකක් තිබුන . නමුත් හිස්ටරිකල් දත්ත ඇකියුරේට් නැහැ . ඒවා අරගෙන කතාවක් ගොඩ නැගල . /"One of the reasons why the fantastical elements can seem ambiguous is because characters themselves question how real they are. When Tyrion Lannister first visits the Wall, he puts white walkers in the category of made-up creatures such as “grumkins and snarks”. How different is his reaction several seasons later when he sees Daenerys’s dragons and when Jon and his men capture a wight from the white walkers’ army of the living dead.

      "In the TV series viewers see these creatures in the flesh, rather than initially hearing only reports about them, as happens in the books. This means we often find ourselves in the strange situation where we think that characters in a fantasy story are fools for not realising that dragons, reanimated corpses, and the mythical children of the forest are real.

      "That the world of GoT feels so real is partly because the story is rooted in realistic-seeming accounts of political scheming and chaotic battles. And, as Martin himself happily admits in interviews, many of the characters and events he writes about are lifted straight from – mostly medieval – Western European history, mixed in with accounts of the Mongol empire.//https://www.york.ac.uk/news-and-events/features/2019/game-of-thrones-fictional-history-pure-fantasy/

      Delete
    5. /පස්සේ හොයන කොට දැන ගත්තේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතේ වැසිලි කියන්නේ රුසියානුවෙක් නෙවෙයි ෆින්ලන්ඩ් කාරයෙක් කියලා. මිනිහා ඇත්තටම ෆින්ලන්ඩ් රුසියන් යුද්ධෙදි රුසියාවට හෙන ඇණයක් වෙච්ච ස්නයිපරයෙක්.// පට්ට බොරුවක් නේ මේක . කොහෙන්ද හොයා ගත්තේ . ප්ප්‍රධාන චරිතේ පොතකටත් නගල තියනවා . වසිලි සයිට්සෙව් . හොඳ රුසියන් කොල්ලෙක් - පොර ගැන වෙනම ෆිල්ම් එකක් රුසියාවේදී බැලුව .//Vasily Grigoryevich Zaitsev (Russian: Васи́лий Григо́рьевич За́йцев, IPA: [vɐˈsʲilʲɪj ɡrʲɪˈɡorʲjɪvʲɪdʑ ˈzajtsɨf]; 23 March 1915 – 15 December 1991) was a Soviet sniper who served in World War II.

      Between 22 September 1942 and 19 October 1942, he killed 40 enemy soldiers.[1] Between 10 October 1942 and 17 December 1942, during the Battle of Stalingrad, he killed 225 enemy soldiers.[2]

      Zaitsev became a celebrated figure during the war and later a Hero of the Soviet Union, and he remains lauded for his skills as a sniper. His life and military career have been the subject of several books and films: his exploits, as detailed in William Craig's 1973 book Enemy at the Gates: The Battle for Stalingrad, served as the story for the 2001 film Enemy at the Gates, with Jude Law portraying Zaitsev. He is also featured in David L. Robbins's 1999 historical novel War of the Rats.

      Delete
    6. Zaitsev was born in Yeleninskoye, Orenburg Governorate in a Russian peasant family and grew up in the Ural Mountains, where he learned marksmanship by hunting deer and wolves with his grandfather and older brother.[3][4] He brought home his first trophy at the age of 12, a wolf that he killed with a single shot from his first gun (given to him by his grandfather), a single-shot 20-gauge shotgun.

      In 1930, Zaitsev graduated from construction college in the city of Magnitogorsk, where he received the speciality of fitter. He also studied accounting.

      From 1937, Zaitsev served in the Pacific Fleet, where he was clerk of the artillery department. After studying at military school, he was appointed head of the finance department of the Pacific Fleet in Transfiguration Bay.

      Delete
    7. Enemy at the Gates: The Battle for Stalingrad is a book written by William Craig and published in 1973 by Reader's Digest Press and in 1974 by Penguin Publishing. The 2001 film Enemy at the Gates utilized the book's title and used it as one of its sources, but was not a direct adaptation of the work.[1][2]

      Reception
      The Slavic Review panned Enemy at the Gates, calling it "rambling and exaggerated" and negatively comparing Craig to former Nazi propagandist and author Paul Carell.[3] In contrast, The Washington Post was more favorable and drew favorable comparisons to Cornelius Ryan.[4]

      Delete
    8. මම සෝවියට් දේශයට යන්න කලින් රෝයල් එකේ ඉන්න කලේ බ්‍රිටිෂ් කවුන්සිල්, සහ සෝවියට් සංස්කෘතික මන්දිරයට නිතර යනවා. දෙවන ලෝකේ යුද්ධේ ගැන රටවල් දෙක කතා දෙකක් කියන්නේ කියල මට තේරිලා තිබ්බ. පස්සේ රුසියාවට ගියහම රුසියානු භාහ්ස්වෙන් තියන් ෆිල්ම්, පොත්, පැත්ත කියවන කොට හරි චිත්‍රය ඇඳ ගත්තේ. අපේ වයිෆ් නම් දන්නවා. මේ රටවල බ්‍රිතාන්‍යයේ සුද්දෝ හෙම හුඟක් මුලදී හිතන් හිටියේ එංගලන්තේ සහ ඇමෙරිකාව යුද්ධේ දිනුව කියල. ඒක භාගයක් හරි. යුද්ධේ මුල් කාලේ ඇමෙරිකාව දෙපැත්තටම ආයුධ වික්ක. ජර්මනියටත් එක්ක. (හිට්ලර්) එයාල බලන් හිටිය කවුද දිනන්නේ කියල. සුද්ද ගැන ලොකු අමාරුවක් ඇමෙරිකාවට තිබ්බේ නැහැ. ඇමෙරිකාව බ්‍රිතාන්‍යයට විරුද්ධව සටන් කරලනේ නිදහස දිනා ගත්තේ. ස්ටලින්ග්‍රඩ් සටනේදී (වොල්ගොග්රඩ් පරණ නම) හිට්ලර් පැරදිලා , මොස්කව් අල්ල ගන්න බැරි වුනාට පස්සේ තමා ඇමෙරිකාව ඇත්තටම සටනට ආවේ. ඉතින් ඇමෙරිකව සහ බ්‍රිතාන්යම නෙමේ දෙවන ලෝක යුද්ධේ තනිකරම දුන්නේ. දෙවන ලෝක යුද්ධේ ස්ටලින්ග්‍රාඩ් , ලෙනින්ග්‍රඩ් , කුර්ස්ක් වගේ ස්ටැන් වලින් තමා හැරවුම් ලක්ෂයන් ආවේ. ඊට පස්සේ නොමැන්ඩි ගොඩ බැසීම. ඔය ඔක්කොම තමා. නමුත් බටහිර හැම වෙලේම සෝවියට් කතාව කියන්නේ නැහැ. පහුගිය අවුරුදු 25 ඇතුලත තමා ඒවා වැඩිපුරම එලියට ආවේ.

      කුර්ස්ක් ප්‍රධාන සටන - 1943 - සෝවියට්
      The Battle of Stalingrad[Note 8] (17 July 1942 – 2 February 1943 - සෝවියට්
      ලේනින්ග්‍රඩ් - 1941 to 1944 - සෝවියට්
      මැද පෙරදිග - ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍ය දිනුව - 1942-1944
      ජපානය - ඇමෙරිකාව දිනුව
      The Normandy landings - 1944 ජුනි 6 - ඇමරිකාව , බ්‍රිතාන්‍යය සහ බටහිර

      Delete
    9. ගේරා බෝයි16 April 2025 at 12:21

      "හිස්ටරිකල් දත්ත ඇකියුරේට් නැහැ . ඒවා අරගෙන කතාවක් ගොඩ නැගල"

      ඒක තමයි ඒක ෆැන්ටසියක් කිව්වේ. හැබැයි කතාවේ තියෙන ගොඩක් සිදුවීම් වලට සමාන සිදුවීම් ලෝකේ වෙලා තියෙනවා. ඔය කිලෝමීටර් ගානක් දුරට කුරුසිපත් කරපුවා, ටාගේරියන් කුමාරයාගේ ඔලුවට උණු කරපු රත්තරන් වක් කිරීම වගේ ගොඩක් දේවල් වලට සමාන ඉතිහාසගත සිදුවීම් වෙලා තියෙනවා.

      අනික ඔය මැරිලා නැගිටන මිනිස්සු කියලා අරන් තියෙන්නේ නාසි කාරයින්ව. ඒ හරියට කනෙක්ට් වෙලා තියෙන්නේ දෙවෙනි ලෝක යුද්ධ කාලේ වගේ කොටසක්. උතුරෙන් එන නෝදර්නර්ස්ලා තමා රුස්සෝ. මන් හිතන්නේ ටාගේරියන්ගේ මකරු තමා න්‍යශ්ටික අවි.

      ෆැන්ටසියක් නිසා ඉතිහාස සිදුවීමුයි පරිකල්පන සිදුවීමුයි එකතු කරලා ලියලා තියෙන්නේ. ඒකයි ෆැන්ටසි ශනාරේ උනත් හිස්ටොරිකල් පැත්තත් යම් ලෙවල් එකකට ටච් කරලා ලියලා තියෙනවා කිව්වේ.

      Delete
    10. ගේරා බෝයි16 April 2025 at 12:27

      ඔය එනිමි ඇට් ද ගේට් එකේ කතාව මම ඉස්සර වෙබ් එකකින් කියෙව්වේ. ඉස්සර වෙබ් සයිට් එකක් තිබ්බා රොර්.එල්කේ. කියලා. ඒකට ලියපු ලිපියක තමා තිබ්බේ. මම ලිපිය හම්බ උනොත් ආයි දාන්නම්. ඒ ලිපියේ තමා තිබ්බේ වැසිලි කියන්නේ ෆින්ලන්ඩ් කාරයෙක් කියලා.

      Delete
    11. ඔව් ඒක හරි . සමාන සිදුවීම් වෙලා තියනව . නවකතාවල වගේ තමා . ඕනෑම ඇත්ත සිද්ධියක් වුනත් කතාවකට , චිත්‍රපටයකට ගත්තට පස්සේ ඒක ප්‍රබන්ධයක් වෙනවා . මේ චිත්‍රපටය හිස්ටරිකල් සිදුවීම් කිහිපයක් අරගෙන ප්‍රබන්ධයක් හදල තියනව . ඒකෙ හැම සත්‍යම තියෙන්න අනිවාර්ය නැහැ .

      Delete
    12. අපොයි ඔය රෝර් එක වෙලාවකට පච ගෝනි පිටින් දන්නේ . මම මුල් කාලේ බුවා . පස්සේ අත ඇරලා දැම්ම . වසිලි ෆින්ලදං කාරයෙක් නෙමේ . ඒක ක්‍රේග් නමැති ඉතිහාසඥය ලියු පොතෙත් තියනව . දැන් ඔය යුක්රේන් අයියල ඉතිහාසය විකෘති කරන්නේ රුස්සෝ මුකුත් කලේ නැහැ කියන්න . ඒ වගේ තමා . ඉස්සර නොබෙල් තෑග්ග දුනේ ඇමෙරිකන් සහ බටහිර යුරෝපේ අයට විතරයි විද්‍යාවට හෙම . ඉන්දියන් අයට රුසියන් අයට ලැබුනේ නැහැ . ඒවා හි බයස් . දැන් තත්වය හොඳයි ටිකක .

      Delete
  8. "පූර්ව විනිශ්චය" ඔන්න ඕක තමයි ප්‍රශ්නෙ.
    මම චිත්තරපටිය බැලුවෙත් නෑ. තර්කොව්ස්කි ගේ ස්ටෝකර් බලලා තියේ. නිදහස් වෙලාවක ඒ පොස්ටුව කියවන්නම්!

    ලංකාවේ දැන් ඉන්න ගොඩක් විචාරකයො කල්ලි. තමන්ගේ කෙනෙක් මොකක් හරි කරොත් එයාගෙ පිට කහන්න වගෙ ඒ නිර්මාණවල හොඳ කියනව. අනිත් අයගෙ ඒවායෙ වැරදි කියනව.

    ඔය 'රාණි' ෆිලුම රාණි ගැන නෙමේ තියෙන්නෙ කියද්දී මතක් වෙන්නෙ Once Upon a Time in Hollywood (2019) එකේ ටරන්ටිනෝ Bruce Leeගේ චරිතෙට කරපු වැඩේ. ඒක මට අනුවනං චාටර් වැඩක්! බෘස් දන්නා තරමින් කාගෙන්වත් ගුටිකාල පැරදිලා නෑ. එහෙම තියෙද්දීත් දෙකයි පනහේ විදිහට ෆිල්ම් එකේ බෘස්ව පෙන්නලා තියෙන්නෙ. බෘස් කියන්නෙ දාර්ශනිකව මාර්ෂල් ආර්ට් ගැන කතා කරන්න... මාස්මීඩියා එකට හිටි එකම චරිතය. මේවා ethicස් පුරස්න.

    ReplyDelete
    Replies
    1. තර්කොව්ස්කි ගේ ස්ටෝකර් ගැන ඔය රාණි ගැන ලියොඋ කෙනෙක් ලියල තිබ්බ සම්පුරනයෙන්ම වරද්ද ගෙන. කල්ලි කතාව නම් හරිම තත . තමන්ගේ එවුන්ගේ පිට කහන කලාව ලංකාවේ හරියට තියනවා . මේ බ්ලොග් එක එහෙම නැහැ , (බ්ලොග් කාරයෙක් පොතක් ලිවොත් ඇරෙන්න- හා හා ) ටරන්ටිනෝ එතන ලී ව පැරද්දුවේ නැහැ නේද . ඩ්‍රෝ කරලා තියෙන්නේ බ්‍රැඩ් පිට් බැනපු නිසාලු . - Fun fact: In the movie, their fight ends in a draw, as it is interrupted, but originally Quentin wanted Cliff to win the fight. He changed this when Brad Pitt told him, “Its Bruce Lee man!”. - මෙතැන මේක දාල තියෙන්නේ සාමාන්‍යයෙන් ලී ෆෑන්ස් ලව අද්දගන්න කියලලු . (මාකටින් )

      Delete
    2. නමියා , තව කතාවක් ක්යන්න් ඕනේ . ටරන්ටිනෝ ගේ මම කැමතිම ෆිල්ම් එක (දෙකක් ) කිල් බිල් වොලියුම් 1 සහ 2 . ඒකෙ උමා තර්මන් කහ පාට ට්‍රැක් සූට් එකක් ඇඳන් ඉන්නේ ඇයි කියල දන්නවද ? බෘස් ලී සිහිපත් වෙන්න , ගෞරවයක් වශයෙන් . ටරන්ටිනෝ එහෙම කරලත් තියනවා .

      Delete
  9. මමත් මේක බැලුවා දැන් සති කීපයකට ඉස්සෙල්ලා ඔසීවලදි. මටනම් සොයිසා කොලුකාරයෙක්ද, හඳගම මේක විකෘති කලාද, ඇත්තටම මැරුවෙ ප්‍රේමදාසද එහෙම නැත්නම් අර පොලිස්කාරයගෙ ඕනෙකමටද කියලා අදාල නෑ, මොකද ඒවා මම දන්නෙ නෑ. ඒත් මට එකපාරටම හිතුනෙ අපරාධෙ කියලා, මොකද මේ වගේ ලංකාවම කතාකරන හිට් වෙන චිත්‍රපටියක්, ඒකෙ තියෙන සිනෙමැටික් ගතිය සම්පූර්ණයෙන්ම විනාශ කරලා, නිකන්ම නිකන් වාර්තා ටෙලි නාට්‍යක් කරලා තියෙන එක ගැන. මේක පටන් ගන්න තිබුණෙ සොයිසව අල්ලගෙන යන දර්ශනයෙන්, ඊට පස්සෙ වධ දෙන හැටි, ඉතාම ලොමු ගැහැ දැන්වෙන විධියට හදන්න තිබ්බා. ශූටින් එකේදි යම් උත්සාහයක් දරලා තියෙනවා, ඒත් සංස්කරණය කරපු එකා, ඒක සම්පූර්ණයෙන්ම කාල දාලා. එහෙට මෙහෙට කපලා, තැන් තැන්වලින් එක එක කෑලි රිංගවලා, මුලම දාන්න ඕනෙ කෑල්ල, අන්තිමටමදාල, හෙන අපරාධයක්. කොටිනම කියනවානම්, එඩිට් කරපු එකා පිස්සු හුත්තෙක්, පුරුදුවෙන එකෙක්ද, එහෙම නැත්නම් බීපු වෙලාවක කරපු වැඩක්ද කියලා හිතෙනවා. මම දැකපු හොඳම චිත්‍රපටියක් තමයි ස්පිල්බර්ගෙ "Saving Private Ryan ", ඒක 1999 Academy Awards එකේදි,Best Director, Best Film Editing, Best Cinematography, Best Sound Mixing, Best Sound Editing වගේ සම්මාන 5ක්ම දිනා ගන්නවා. ඒ වගේ එකක් පටන් ගැම්මෙ තමයි ගතිය තියෙන්නෙ. අඩුම ගානෙ මේවා හදන එවුන් Cinematography කියන්නෙ මොකක්ද කියලවත් ඉගෙන ගන්න ඕනෙ. මිනිස්සු ගෙදර ඉඳන් TV එකේ බලන්නෙ නැතුව, සිනමා ශාලාවකට ගිහින් බලන්නෙ ඇයි කියල මුන්ට නොතේරෙන එක අපේ කරුමයක්.

    ReplyDelete
    Replies
    1. රොබට් , හඳගමගේ වෙන මොන චිත්‍රපටද බලල තියෙන්නේ . තව ගොඩක් ඒවා හදල තියනව . මම යට ලින්ක් දාල තියනව සමහර ඒවල. සේවින් ප්‍රයිවෙට් රයන් වගේ ඒවා ලංකාවේ හදන්න තවම බජට් එකක් නැහැ . සීමිත මුදල් ප්‍රමානයක් එක්ක නේ හදන්නේ . හඳගම අපට ඉන්න විශිෂ්ට අධ්‍යක්ෂකවරයෙක් . සිනමා වල නිෂ්පාදනයේ විවිධ ශානර තියනවා . මේක තර්කොව්ස්කි පන්නයේ එකක . ඔයා ටර්කොව්ස්කි ගේ ඒවා බැලුවොත් ඔය වගේම බැනිල්ලක් බනියි https://www.youtube.com/watch?v=ak6rI-j07QU

      Delete
    2. https://www.youtube.com/watch?v=Q3hBLv-HLEc

      Delete
  10. https://www.youtube.com/watch?v=DWrtHaKMlRw

    ReplyDelete
  11. nithyananda withana14 April 2025 at 12:08

    රිචර්ඩ් ඩි සොයිසා සමන් පියසිරි ප්‍රනාන්දුට උදව් කළා ඩී .එම්. ආනන්ද සමග සම්බන්දතා පැවැත්වූවා.ඔහු පෘතුගාලයට ගියානම් භීෂණ සමයේ තොරතුරු ජාත්‍යන්තරගත වෙනවා.මෙය බීමතින් ගත් තීරණයක් නොව සැලසුම් සහගත එකකි.

    ReplyDelete
    Replies
    1. //රිචර්ඩ් ඩි සොයිසා සමන් පියසිරි ප්‍රනාන්දුට//මේකට සාක්ෂි නැහැනේ . සමන් කියන්නේ කිර්ති විජේබාහු ට . එයා හැංගිලා හිටියේ . ඩී එම් ආනන්ද අහු වෙලා වධ දීල මැරුවේ . මහින්ද රාජපක්ෂත් යන්න හැදුවනේ සාක්ෂි අරන් . එහෙනම් එයාවත් මරන්න එපැයි. භීෂණ සමයේ තොරතුරු බ්‍රිතාන්‍ය තානාපති ග්ලාඩ්ස්ටන් සහ නීතිඥ ප්‍රින්ස් ගුණසේකර ජාත්‍යන්තරයට ඒ වෙනකොටත් දීල ඉවරයි . රිචඩ් ළඟ වැඩි තොරතුරු තියෙන්න ඇති රුපවාහිනිනිවෙදකයෙක් නිසා .

      Delete
    2. //මෙය බීමතින් ගත් තීරණයක් නොව සැලසුම් සහගත එකකි.// මේකට මම පිළිතුරක් දීල තියෙනේවනේ ලිපියේ . මහත්මයා ලිපිය කියෙව්වා නම් තේරෙයි ආචාර්ය ප්‍රදීප් ජෙගනාදන් තමා එහෙම කියන්න උත්සාහා කරන්නේ. චිත්‍රපටියට හරියට බලපු කෙනාට තේරෙන්න ඕනේ එහෙම එකක් චිත්‍රපටියේ කියන්නේ නැහැ කියල . බීල තමා හුඟක් නිලධාරීන් සහ පාතාල සාමාජිකයන් ගිහින් තියෙන්නේ ඕවට . ආණ්ඩුවෙන් නිකන් බෝතල් කෝටා දීල තිබෙනවා. නමුත් මම ලියල තියෙන්නේ ලංකාවේ තිබ්බේ පහුගිය කාලයක් වෙනකන් එක්තරා ආකාරයක මාෆියා ක්‍රමයේ පාලනයක් . ඒකෙදි හුඟක් දේශපාලන නායකයෝ ක්‍රියා කලේ මාෆියා බොස් ල වගේ . හොඳම උදාහරණය සාටකේ . ඔය කවුරුත් කෙලින් අණක් දෙන්නේ නැහැ , තමන් කැමති නැති බව අඟවනව විතරයි . චිත්‍රපටියේ ඒක හොඳට පැහැදිලිව පෙන්වනවා , ලොක්කා අකැමැතියි කියන එක . ලොක්කා කවුද කියන්න අපි දන්නේ නැහැ . නමුත් ලොක්ක අනුමැතිය (රිචඩ් ට අකමැති බව ) දීල තිබෙනවා . හැබැයි සැලසුම් සහගතව කලාද නැත්ද කියන්න සාක්ෂි නැහැනේ . එකම හේතුව පෘතුගාලයට යාම වැළැක්වීම තමා එහෙම උනොත් . මගේ අදහස නාට්‍යය තමා ප්‍රධාන හේතුව කියල. ලංකාවේ පාලකයෝ ඒ කාලේ පිටරටවල් මොනාද කියන්නේ කියල ගණන් ගත්තේ නැහැ . (මෑතකදී මහින්ද රාජපක්ෂ වුනත්, මතකනේ ) . ලක්ෂ්මන් ව ඒ වන විටත් උස්සල තිබ්බේ . රිචඩ් ගේ ළඟ තියන පිටපත් ගන්න ඇවිත් , ඉස්සුවා කියල මම හිතන්නේ . අනික සිද්ධ වෙච්ච හැම මරනයක්ම් ප්‍රේමදාස දැන හිටින්න විදිහක් නැහැ . විජේවීර තමන්ගේ කට්ටිය කරපු හැම මරනයක්ම දන්නවා කියල මම හිතන්නේ නැහැ . කිර්ති විජේබාහු තනියම අණදුන් බවක් මම අහල තියනවා .

      Delete
  12. මට නම් අජිත් මහත්මයා gay twink, femboy සහ shemale porn movies තරම් වෙන කිසි එකක් හොඳ නෑ..

    ReplyDelete
    Replies
    1. හෙන ඉරිසියාවක් එනවද ලිපියට , යන සාකච්චා වලට හෙම , නැත්නම් මේ සීරියස් කියන කතාවක්ද හැම වෙලේම . ඔය කියන මිනිස් ලිංගික වර්ග තුන එකිනෙකින් වෙනස් වෙන්නේ කොහොමද ? ඔක්කොම පිරිමිනේ . මේක දකක්ද . අද එංගලන්තේ උපන්න විධිහට විතරයි ගැහැණු පිරිමි හැටියට තීරණය වෙන්නේ . https://www.theguardian.com/society/2025/apr/16/critics-of-trans-rights-win-uk-supreme-court-case-over-definition-of-woman

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .