Thursday, 29 January 2026

පින්ලන්ත ගමන 4 - හැමේන්ලින්නා





මේ නගරය මා මුලින් හැඳින්වූයේ හමින්ලින්නා කියාය .  හෙමින් යන ලීනා යනුවෙන් මතක තබා ගැනීමට ලෙහෙසිය.  හමීන්ලිනා  ලෙස වර නැගිය  යුතු යයි යූටියුබ් වීඩියෝවක  තිබේ .  (Hämeenlinna )  මගේ සොයුරියගේ දියණිය පවනි ජිවත් වන්නේ ඒ නගරයේ නිසා ෆින්ලන්තයට පැමිණි තෙවැනි දිනයේ එනම් ගිය අවුරුද්දේ (2025) සැප්තැම්බර් නම වෙනිදා අපි දුම්රියෙන්  හැමේන්ලින්නා බලා ගියෙමු. කැන්ටා හැමේ   නම් පළාතේ අග නගරය වන  හැමේන්ලින්නා දකුණු ෆින්ලන්තයේ වනයවෙසි නම් විශාල විල  අසල පිහිටි නගරයකි.   ලින්නා යනු  බලකොටුව යන අර්ථය දේ යැයි කලින් ලීවෙමි .  හැමේ යනු  මේ නගරයේ තිබෙන මධ්‍යතන   යුගයට අයත් විශාල බලකොටුවයි . ලංකාවේ සමහරු නම් කුණුහරපයක් ලෙස මේ නම කියනවා ඇසුවෙමි.

දසයා මල්ලී මේ වීඩියෝව එවා තිබුණි .   එහි නගරාධිපතිවරයා කියන්නේ  හැමේන්ලින්නා කියාය . 

ෆින්ලන්තය 1809-197 දක්වා අයත්ව තිබුනේ රුසියානු අධිරාජ්‍යයට බව කලින් ලීවෙමි. රුසියානු විප්ලයෙන් 1918 දක්වා ෆින්ලන්ත සිවිල් යුද්ධය පැවැති  අතර හෙමෙන්ලිනා නගරය මුලින් සතු කරගත්තේ සෝවියට් රතු හමුදාවය .  නමුත් එම වසරේම  ජර්මන් හමුදා සහය ඇතිව සුදු හමුදා නගරය යටත් කර ගත්හ. දෙදාහකට අධික   බොහෝ රතු හමුදා භටයන් පොල්ටිනහෝ හමුදා බැරැක්කයේ තුල වූ දරුණු හා මර්දනකාරී සිර ගෙය තුල මියගියහ .     

(පහත  කොටස ගූගල් සෙවුම් මගින් ලබා ගතිමි . )
****************************************
හමීන්ලිනා සහ ෆින්ලන්ත ඉතිහාසය

පොල්ටිනහෝ බැරැක්ක (Poltinaho Barracks): හමීන්ලිනාහි පිහිටි මෙම සිර කඳවුර යුද්ධයෙන් පසු පැවති විශාලතම සහ වඩාත්ම කුප්‍රකට සිර කඳවුරුවලින් එකකි. ඓතිහාසික වාර්තා පෙන්වා දෙන්නේ සිරකරුවන් 2,500කට ආසන්න පිරිසක් එහිදී මියගිය බවයි. ඔවුන්ගෙන් බහුතරයක් මියගියේ සෘජුවම මරා දැමීම නිසා නොව, ස්පාඤ්ඤ උණ වැනි රෝගාබාධ සහ කුසගින්න හේතුවෙනි.

 වසර සියයකට පෙර මෙවැනි බිහිසුණු ඉතිහාසයක් තිබූ නගරයක්, අද වන විට මෙතරම් සාමකාමී නගරයක් බවට පත්ව තිබීම ඇත්තෙන්ම ප්‍රබල වෙනසකි.

රුසියානු යුගය කෙටියෙන් (1809–1917)

එය විදේශීය පාලනයකට යටත්ව තිබූ කාලයක් වුවද, නූතන ෆින්ලන්ත අනන්‍යතාවය ගොඩනැගුණේ ද මෙම කාලවකවානුවේදීය.

රුසියානු අධිරාජ්‍යයේ අනෙකුත් ප්‍රදේශ මෙන් නොව, ෆින්ලන්තය "මහා ආදිපාද රාජ්‍යයක්" (Grand Duchy) ලෙස පැවතුණි. මෙයින් අදහස් කළේ ඔවුන්ට තමන්ගේම නීති, ආගම සහ අවසානයේ තමන්ගේම මුදල් ඒකකයක් (මර්කා - markka) පවා පවත්වාගෙන යාමට අවසර තිබූ බවයි. ස්වීඩන් බලපෑමෙන් ඈත් කර රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයට සමීප කරවීම සඳහා, රුසියාව විසින් 1812 දී අගනුවර ටර්කු (Turku) සිට හෙල්සින්කි දක්වා මාරු කරන ලදී.

රුසියානු පාලනයේ අවසාන කාලයේදී (1899-1917), රුසියානු භාෂාව සහ නීති බලහත්කාරයෙන් පටවමින් ෆින්ලන්තය "රුසියානුකරණය" කිරීමට උත්සාහ කළහ. මෙය අවසානයේදී ඔවුන් 1917 දී ලෙනින් ගෙන් ලබාගත් නිදහස (ස්වයං නිර්ණන අයිතිය ) කෙරෙහි වූ දැඩි උනන්දුවට මග පෑදීය.

***************************************************

ෆින්ලන්තයේ දුම්රිය සුදු සහ කොළ පැහැතිය .  බොහෝ ඒවා සමහර  ජර්මන් දුම්රිය වලට සමාන වන අතර එලෙසම තට්ටු දෙකක් දැකිය හැකිය. අප හමීන්ලීනා යද්දී දුටු සුම්රිය ස්ථාන නැවතත් මා අතීතයට රැගෙන ගියේ සෝවියට් රුසියාවේ දැක පුරුදු දුම්රිය නැවතුම්පළවල් ලෙස මෙහි සමහර දුම්රිය ස්ථාන නිර්මාණය කර තිබීමය .
ෆින්ලන්ත රජයේ දුම්රිය සේවය (VR), පරිසර හිතකාමී වීමට ඔවුන් දක්වන කැපවීම සංකේතවත් කිරීම සඳහා මීට වසර 10කට පමණ පෙර ඔවුන්ගේ දුම්රියවල වර්ණ රටාව රතු සහ සුදු පැහැයේ සිට මෙම කොළ සහ සුදු පැහැයට වෙනස් කරන ලද බව දැන ගන්නට ලැබුණි . 

 ෆින්ලන්තයේ අප පසු කර ගිය ප්‍රදේශ භූගෝලීය වශයෙන් පැතලි,   රුසියාව හා පෝලන්තයට සමාන දේශ ගුණික ලක්ෂණ වලින් යුක්ත බවක් දුටුවෙමි. භූගෝලීය වශයෙන් ගත් කල, ෆින්ලන්තය පිහිටා ඇත්තේ රුසියාවේ සමහර කොටස්වලට සමාන වූ 'බෝල්ටික් පලිහ' (Baltic Shield) ලෙස හැඳින්වෙන භූ තැටිය මතය. එහි උස් කඳු වැටි නොමැති නිසා, රුසියාවේ වයඹ දෙසින් හෝ පෝලන්තයේ තැනිතලා ප්‍රදේශවල දැකිය හැකි විශාල, පැතලි, වනාන්තර සහ වැව්වලින් පිරුණු ස්වභාවික පෙනුම මෙහිදී ද දැකගත හැකිය.


දුම්රිය ගමනේ ඉතා කෙටි වීඩියෝ මගේ යූ ටියුබ් චැනලයේ දැකිය හැකිය. 


         
හෙමේ බලකොටුව පිහිටා ඇත්තේ වනයවෙසි විල අසලය .  ඒ අසලින් දුම්රියක් ගමන් කරන පියකරු වීඩියෝ ගන්නට මට හැකි විය .  

මේ නගරයේ ඉතිහාසය වයිකින් සමය දක්වා දිව යයි.  මේ බලකොටුව සාදා ඇත්තේ දහතුන්වන සියවසේ  බිර්ගර් යාල් නම් ස්වීඩනයේ සිටි ප්‍රාදේශීය පාලකයකු විසිනි .  එම පාලකයා ස්ටොක්හෝම් නගරය සැදුවේ යයිද මතයක් පවතී . . අප ගිය දවසේ බලකොටුව වසා තිබුණු හෙයින් එතුලට ගොස් බලන්නට හැකි වුනේ නැත .  අවට ගත් පින්තූර කිහිපයක් ස්ලයිඩ් එකට ඇතුළු කලෙමි . 

     

ඊලඟ දිනයේ අපි ෆින්ලන්තයේ මධ්‍යයේ පිහිටි ඕලු බලා ගියෙමු. ඒ ගැන වෙනම ලියන්නට සිතා සිටිමි .  ඕලු වලින් නැවත හෙමෙන්ලිනා පැමිණි පසු දවසේ අපි  අවුලන්කෝ නැමති නගරයෙන් මදක් එපිට කැලෑ බද ප්‍රදේශයේ ගත කළෙමු .  මෙය හමීන්ලිනාහි පිහිටි ඉතා ප්‍රසිද්ධ ස්වභාවික රක්ෂිතයකි. එය එහි ඇති සුන්දර "ඉංග්‍රීසි පන්නයේ" උද්‍යානය සහ නිරීක්ෂණ කුළුණු (lookout towers) නිසා බෙහෙවින් ප්‍රචලිතය.  ෆින්ලන්ත ගමක මල් පිපිණු වෘක්ෂ කිහිපයක පින්තූර ගත් මට පෙනුනේ ලංකාවේ ඒ කාලයේ තිබුණු අයුරින් තැනූ අම්බලමකි .  මෙහි ඇති විල මෙට්සාලම්පි හෙවත් කැලෑ විල නමින් හඳුන්වයි .  අම්බලම ඇති පෙදෙස රුසලක්සෝ නමින් හැඳින්වේ .  



ඉන්පසු අප ගියේ "අවුලන්ගොන් අළු" නමැති කන්දකටය .  වසර දහසකට පමණ පෙර මෙහි මුදුනේ සාදා ඇති බලකොටුව නිසා  සතුරන් ගේ ආක්‍රමණ කලින් දැන ගැනීමට හැකි විය .  එහි  ප්‍රදීපාගාරයක් වැනි වූ මීටර් 33 ක්  උස කුළුණක් සාදා ඇත .  පඩි පෙළවල් 215 පම තිබෙන එහි ඇතුලින් උද මුදුනටම යා හැකිය . එහි ඇතුළත සහ පහල වැවේ පින්තූරද කුළුණ ඇතුලේ ඡායාරුප කිහිපයක්ද  ස්ලයිඩ් එකෙන් බැලිය හැකිය . 
*******************************


කුලුනේ අනිත් පැත්තෙන් පහලට බසින විට විශාල වලස් පවුලක ප්‍රතිමාවක් තිබේ.  මේ ප්‍රදේශයේ වළසුන් කලින් ජිවත්ව සිටියත් මිනිසුන් ගේ ආගමනයත් සමග ඔවුන් අතුරුදහන් වී ගොස්ය. එම සුප්‍රකට ලෝකඩ ප්‍රතිමාව 1906 වසරේදී රොබට් ස්ටිගෙල් (Robert Stigell) නම් මූර්ති ශිල්පියා විසින් නිර්මාණය කරන ලද්දකි. එය අවුලන්කෝ හි ඡායාරූප ගැනීමට ඉතා ජනප්‍රිය ස්ථානයකි. දැනට නගර ආශ්‍රිතව වලසුන් දැකීම දුර්ලභ වුවද, ෆින්ලන්තයේ උතුරු සහ නැගෙනහිර දෙසට වන්නට පිහිටි ඝන වනාන්තරවල තවමත් විශාල වශයෙන් දුඹුරු වලසුන් ජීවත් වෙති.  කැලෑවේ නොයෙකුත් වර්ණවත් එහෙත් විෂ සහිත හතු වර්ග  දුටුවෙමු .  එසේම ෆින්ලන්තයේ ඉතා ලස්සන හතු වර්ග රාශියක් ඇත. සුරංගනා කතාවක දකින අයුරින් දිස්වන, තද රතු පැහැති 'ෆ්ලයි ඇගරික්' (Fly Agaric ) හතු වර්ගය මෙයට කදිම උදාහරණයකි. එය බැලීමට ඉතා අලංකාර වුවද ඇත්තෙන්ම විස සහිතය.





කුලුනේ පහලට බසින විට තිබුන පොඩි කැෆේ එකේ නැවතී අපි තේ බිව්වෙමු .  නිවසක සාදන ලද රසවත් මාදං වැනි පලතුරු  ජාතියක් දමා හැදු රසවත් කේක් කෑල්ලක රස වින්දේ අවට නිහැඬියාව ට එක් වෙමිනි . මේ දං ජාතිය බිල්බෙරි නමින් හඳුන්වන බව පසුව දැන ගතිමි.   යන්තම් පොද වැස්සක් වැටුණද ප්‍රදේශයේ ඇවිදීමට තරමක සෙනගක් සියහ . 

නැවත හෙල්සින්කි පැමිණීමට කලින් පවනි දුව අප විශේෂ ආපනශාලාවකට කැඳවා ගෙන ගියාය .  මාත් බිරිඳත් කලින් මාසයේ ජපානයේ කල සංචාරයෙන් පසු ජපන් ආහාර ගැන දක්වන දැඩි උනන්දුව දැන සිටි ඇය අප රැගෙන ගියේ අජිටෝ නමැති (Ajito & Sushi Ravintola) නමැති නගර මධ්‍යයේ තිබුණු ආපන ශාලාවටය .  එහි කෑම බෆේ (ප්‍රංශ - බුෆේ Buffet )  ක්‍රමයට  සකසා  තිබුණි .  සෑම ආහාර වර්ගයක්ම වාගේ ඉතා ප්‍රණීත ලෙස පිස හෝ නිමවා තිබුණි . සුෂී වර්ග සියල්ල ජපානයේ රසටම ඒ ආකාරයටම පිලියෙල කර තිබෙන බව ඒ සෑම වර්ගයකම රස බැලූ අපට දැනුනි .  








වැදගත්ම කාරණය නම් මෙහි සුෂි ශෙෆ් චමිල ජයසිංහ ශ්‍රී ලාංකික තරුණයෙකු බව දැන ගන්නට ලැබීමයි .  මා ඔහු සමග කතා කිරීමේදී දැන ගත්තේ සෑහෙන කාලයක් ජපානයේ ජීවත් වී ආහාර පිසීම ඉගෙන ගෙන එංගලන්තයේද කාලයක් ජීවත් වී දැන් ෆින්ලන්තයේ ජීවත්වෙන බවයි .  ඔහුටද සුභ පතා අපි එතනින් සතුටින් නික්මුනෙමු . 

ඔබ හමීන්ලීනා යන්නේ නම් මේ අවන්හලට ගොඩ වැදීමට අමතක නොකරන්න. මුදලට සරිලන ප්‍රණීත ජපන් සහ චීන කෑම වේලක් ඔබට ලැබෙනු ඇත . 

(ඊලඟ ලිපිය ඕලු නගරයේ දෙදිනක් )  

කොළඹ ගමයා -29/01/2026 

Tuesday, 20 January 2026

නිර්මාණ සංවාද කුලකය ,බ්‍රෙෂ්ට් සහ මාවෝගේ සංස්කෘතික විප්ලවය


පරණ මහජන පුස්තකාලය  තිබ්බේ විහාර මහා දේවි පාක් එකෙන් අනිත් පැත්තේ පාරේ එඩින්බරෝ චන්ද්‍රවංකයේ පිහිටි "සිරිනිවස" නම්  විශාල  ඉංග්‍රීසි පන්නයේ වලව්වකය .   එහි මුල් අයිතිකරු  මුඩ්ලියාර් චන්ද්‍රසේකරය.  මට මතක විධිහට එහි ඇතුල අඳුරුය .  (දැන් නගරාධිපතිගේ නිල නිවාසයය ) .    ඒ නිසා නව  මහජන  පුස්තකාලය හැදීම ගැන මම ඇතුළු සමහර යහළුවන් ඒ දිනවල  ජේ ආර් ජයවර්ධන මහතාට පින් දුන්නෙමු.  ජේ ආර් අලුත් සංස්කෘතික මිනිසෙක් හදන්නට යන්නේය.
  
නමුත් 1983 ජුලි කලබලය ඒ සියල්ල වෙනස් කළේය. මහාචාර්ය  සරත්චන්ද්‍ර කාණුවකට වැටුනේය . ජේ ආර් එදිරිවීර සරච්චන්ද්‍රට කුණු කාණුවට දමා පහර දෙන්නට සලස්වමින් සංස්කෘතිය කන්න දැයි ඇසූ කාලයේ අපි සංස්කෘතික මිනිසෙකු නිර්මාණය විය යුතු යයි ඇදහුවෙමු .   

 නවීන පුස්තකාලයේ කැන්ටිම ඇත්තේ පහත මාලයේ පිටි පස්සේ ය.  විහාරමහා දේවි උද්‍යානයට  මායිම් වෙන්නටය . නන්දන  වීරරත්න ජේ ආර් ආණ්ඩුව විසින් හැදූ දු නව මහජන පුස්තකාලයට එන්නේ සරම කැහැපට ගසාගෙනය. ඒ එනවිට වඩේ සහ ප්ලේන්ටිය (වෙන දේවල්  ගන්නට ඒ කාලයේ සල්ලි නැත ) බොන අය හෙමින් ඉවත් වෙති.  නැත්නම් ඒකට බලෙන් වග කියන්නේ නන්දනය.     

අසූ තුනෙන් පසු  දේශපාලන දේශන, කලා  විචාර  අසන්නට අපි බොහෝ තැන්වලට ගියෙමු .  නන්දනලා,   අනෝමා රාජකරුණා ,  සිරිමල් විජේසිංහ (මලා ), සුදත් රෝහණ  ආදීන් සමග නිර්මාණ සංවාද කුලකය හැදුවේ ඒ කාලයේය.  සඳරුවන් සේනාධිර (ලංකා ඊ නිව්ස් )   ආදීන්ද එහි සිටිය බව මලා හා නන්දන කීවත්  සඳරුවන් හෝ අනිත් අය ඒ කාලයේ මම හඳුනන්නේ නැත .  එසේම බොහෝ අයට තිබුනේ සැබෑ නම් නොවේ. මහාචාර්ය සුචරිත ගම්ලත් කලා විචාරයන් වලට පැමිනෙනු මට මතකය .  ඒ දිනවල  වල ඔහුගේ 'දෙඤ්ඤම් බැටේ ' කලා   විචාර දිවයින පුවත්පතේ  කියවන නිසා  ඔහු අප අතර ජනප්‍රිය චරිතයක් විය .  

මේ ඒ ගැන ලියවුනු බ්ලොග් සටහනකි . 
//සරසවියෙන් එළවා දැමුවද නිර්මාණ සංවාද කුලකය, කොළඹ කවය ආදී 80-90 දශකයන්හි තිබූ බුද්ධි පිපාසයෙන් පෙළුනු තරුණයන්ගේ සංවිධානයන් ට මග පෙන්වූ ගම්ලත් පඬිතුමා එම සංවිධාන වල සිටි තරුණයන්ගේ අසහාය ගුරුවරයෙකු විය. සරසවියෙන් එළවා දමා සිටියදී වුව තම දේශන සඳහා නුවර සිට කොළඹ පැමිණි ඔහු තම ගමන් වියදම් හැර කිසිදු මුදලක් ඒ වෙනුවෙන් අය නොකළ බව කිවහොත් අද සිටින බොහෝ දෙනෙකු විශ්වාස නොකරනු ඇත.

අන්තර්ජාලය නොතිබුණු ඒ කාලයේ මහජන පුස්තකාලයේ පොත පත ,  සෝවියට් සංස්කෘතික මන්දිරයේ පොත පත හා නොමිලයේ පෙන්වන සිනමා, බ්‍රිටිෂ් කවුන්සිලය ආදිය දැනුම සොයා ගිය තරුණ තරුණියන්ගේ කෙටි නවාතැන් විය . මර්වින්  සිල්වා කර්තෘ පදවියේ සිටි  ගාඩියන් සඟරාව හැකි විට ගත්තෙමු. නසසප වැනි  නොයෙකුත් පක්ෂ කාර්යාල වල පුවත්පත් ද දැනුම ලබා ගැනීමෙහිලා උපකාරී විය .   

කොම්පඤ්ඤ වීදිය  පැත්තේ සිට එන අපේ කණ්ඩායමට සෙට් වුනු තවත් මුස්ලිම් තරුණයන් දෙදෙනෙක් සිටියහ.  එක් අයකුගේ නම මොහමඩ් හෝ ෆස්ලිය . මුහුණ පුරා රැවුල වවාගෙන සිටි  ඔහු  කොම්පඤ්ඤ වීදිය පැත්තේ තට්ටු නිවාසයක සිට පැමිණි  බවට යන්තමට මතකයක් තිබේ .  ඔහු මගේ සිහියට එන්නේ ඉරානයේ විප්ලවය ගැන අපට කල තෙල බෙදීම නිසාය. කුලකයේ රැස්වීමක් හමාරවූ අවස්ථාවක හෝ දයාන් ජයතිලක ගේ ලතින් ඇමෙරිකානු විප්ලව ගැන ඒ  කාලයේ කල දේශනා අහවර වූ පසු ,  විහාරමහා දේවි උද්‍යානයේ දෙවන ලෝක යුද්ධ සැමරුම අසල  හෝ උද්‍යානයේ තාප්පයක් මත මේ කතා ඇසුවෙමු.  ඒ දවස් වලම අදේවවාදියෙකු වූ මට ඉරාන ආගමික විප්ලවය ඇල්ලුවේ නැත. ඒ  ෂා රජුට ඇති කැමැත්තකින් නොවේ .  නමුත් ෆස්ලි නම් ඒ පිළිබඳව මහත් උද්යෝගයකින් කතා කළේය.අපට  ඒ දිනවල ප්‍රශ්නයක් වූයේ ඔහු මේ සියලු විස්තර දන්නේ කෙසේද යන්නය? ඔහු ඉරාන ඔත්තුකරුවෙකු යයි කියාද සැක කෙරුවෙමු.  ජවිපෙ තහනමත් බොහෝ අය සැඟව වැඩ කිරීමත් නිසා හෝ වෙනයම් හේතූන් නිසා  නිර්මාණ සංවාද කුලකය  හදිසියේ නතරවුණු   අතර මම සෝවියට් ශිෂ්‍යත්වයක් ලැබ මොස්කව් වල ඉගෙනීමට ගියෙමි.

1987 ජුලි මාසයේ මම නිවාඩුවට ලංකාවට පැමිණ සිටියෙමි . ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව පිටකොටුවේ බෝ ගහ  අසල තිබු ජවිපෙ (දේ . ජ ව්‍යාපාරය )  හා ශ්‍රීලනිප සංවිධානය කල උද්ඝෝෂණය නැරඹීමට හා ඡායාරුප ගැනීමට මම ද ගියෙමි .මා ළඟ තිබුනේ රුසියාවෙන් ගත්  හොඳ සෙනිත් කැමරාවකි. පාරෙන් අනිත් පැත්තේ කොටුව දුම්රියපල  හා බස් නැවතුම් පල අසල උද්ඝෝෂන දරුණු වුනු අතර බසයක් හෝ තවත් යමකට ගිනි තබා තිබුණි .  මා ඡායාරුප ගන්නා විට පත්තරෙන් ද නැත්නම් ආණ්ඩුවෙන්ද  වැනි කණුකුනුවක් සමහරක් ගෙන්  ඇසුනි. මේ වෙලේ මා අසලට පැමිණි අයෙක් "ඔයා මෙතැන ඉන්න එපා.  අනතුරුදායකයි.  කැමරාවත්  රැගෙන යන්න " යයි කීවේය. .මා පැකිලෙනු දැක  මගේ අතින් අල්ලාගෙන වෙළඳපළවල් ඉදිරියෙන් කොටුව දුම්රිය පසුවන තෙක්  මා සමග පැමිණියේය .  මා සිතුවේ ඔහු පොලිසියෙන් කියාය .  ඔහුට ස්තූති කර කොම්පඤ්ඤ වීදිය පොලිසියේ ද කියා ඇසුවෙමි. ඔහු මා දෙස බලා 'ෆස්ලි බං (හෝ මචං)" වැන්නක් කියා ආපසු හැරී ගියේය. ඔහු ගැන මට හරියටම මතක් වුනේ ටිකක් දුර ඇවිද්ද පසුය . ඉරාන විප්ලවය ගැන ඔහුගේ අදහස වැරදි බව කියන්නට නොහැකි වීම ගැන කණගාටු වුනෙමි .  මොස්කව්  වල මගේ පන්තියේම ඉරාන ශිෂ්‍යාවක් සිටි අතර කුමෙයිනි පැමිණීමෙන් පසු විප්ලවයට සහය දුන් බොහෝ  වාමාංශිකයන් , නිදහස් මතධාරීන්  හා කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් සිර ගත කිරීම්  හා මරා දැමීම් කල බව ඈ  පැවසුවාය. ඈ ඇතුළු අනෙක් පිරිස දිවි ගලවාගෙන රුසියාවට පැන තිබුණි .   
***************************************************
රොහාන් පෙරේරා යනු කවුදැයි මා දන්නේ නැත. දීප්ති කුමාර ගුණරත්න ඒ කාලයේ සේල්ස් රෙප් කෙනෙකු බවත් සිනමාවට ලැදි බවත් කුලකයේ රැස්වීම් වලට ආ ගිය  බවත් නන්දන පැවසීය. රොහාන් පෙරේරා අසූ -අට අසූ නමය කාලය තුලදී කිසියම් මුදල් කොල්ලයකට සම්බන්ධ වූ බව අසන්නට  ලැබුණි. එසේම විවාහය වැනි යල් පැනගිය මත ඉවත දැමු බවද  වයසින් ලාබාල තරුණියන්  දෙදෙනෙකු සම්බන්ධයක් තිබු බවද අසා ඇත්තෙමි.  ස්ටාලින් මෙන් විවාහය පූජනිය ලෙස සලකන දීප්ති  සහ  ට්‍රොට්ස්කි  වැනි අයෙකු සේ හැසිරුණු රොහාන් කෙසේ පෑහුනා දැයි නොදනිමි.

එක්ස් කණ්ඩායමේ බොහෝ පොතපත මට ලැබී තිබුනේ අනිල් හරහාය .  කුලකයෙන් පසු තව බොහෝ වාද විවාද සංස්කෘතිය සහ කලාව පිළිබඳව යන්නට ඇතත් ඔවුන්ගේ පොත පත අනුව මේ සංස්කෘතික මිනිසා  නිර්මාණය කිරීමේ කාර්යභාරය සඳහා  පශ්චාත් නූතන වාදයේ  දැනුම්  සම්භාරයක් එක්ස් කණ්ඩායම විසින් ඉදිරිපත් කල බව සිතමි.  
ගිය වසරේ දීප්ති ගුණරත්න මහතා ඔහු ලියූ "X යනු කුමක්ද" පොත මට කියවීමට දුන්නේය .  ඒ සඳහා මට යමක් ලිවීමට අවශ්‍ය වුවත් මා  පෙරවදන  කියැවීමෙන් එහාට නොගියේ ඔහු නාමල් රාජපක්ෂ ඇතුළු පරාජිත විපක්ෂයට දේශනයක් කරනු දැකීමෙනි .  කිසිවෙක් ඔහු වාමාංශික විප්ලවාදියෙකු වශයෙන් එම පොතේ  හඳුන්වා දී තිබුණි .  විප්ලවවාදියෙකු පරාජිත දකුණ ගොඩ නැගීමට තැත්  කරන්නේ මොන විප්ලවවාදී න්‍යායකට අනුව දැයි මම නොදනිමි.  සමහර විට මහාචාර්ය  නිර්මාල් දේවසිරි ඇතුළු පිරිස රජයට සහය දෙන නිසා 'X ' කණ්ඩායම බිඳීමේ වේදනාවෙන් තවමත් ඔහු පරලව  සිටින  නිසා එසේ කරනවා විය හැකිය .  නමුත් ඒ අතීතය තුල  ගැලී සිටීම ඒ තුල ඔහු අවලංගු වී යනු ඇත.  වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දියත් කිරීමට  සමබිම පක්ෂයේ සහය අගය කරමි. ඔවුන් මෙපමන කල් දේශනා කලදේ ඔවුන්ම  විශ්වාස කරන්නේ නම්  දීප්තිලා ගේ  කණ්ඩායම  සිටිය යුත්තේ  වර්තමාන ජාතික  ජන බලවේග ආණ්ඩුවට සහය දෙන ස්ථාවරයක බව මගේ අදහසය. 

ලන්ඩනයේදී කලාව පිලිබඳ සංවාද ,  ග්‍රන්ථ විචාර ආදියට ට සහභාගි වුයෙමි.  බොහෝ ඒවා අගෝරා  නමැති කළා කවය විසින් සංවිධනය කරන ලද ඒවාය .  නමුත් කණගාටුදායක  කරුණ නම් පසු කලෙක එහි   මෙහෙයවීම කරන ලද්දේ දේශපාලන  පක්ෂයක් විසිනි .  එනිසා එයින් ඈත් වුනෙමි. බ්‍රිතාන්‍යයේ සිටින  ශ්‍රී ලංකා ඩයස්පෝරාව බොහෝ විට ලංකාවේ චිත්‍රපට ගෙන්වා ප්‍රදර්ශනය අතර ලංකාවේ ගායකයන් ගෙන්වා  සංගීත සංදර්ශනද පවත්වති .  නාට්‍ය පු හුණු වී පෙන්වති.  නමුත් සංවාදයන් කෙරෙන්නේ අඩුවෙනි .  බොහෝවිට පටු දේශපාලනය හා කුහකත්වය විසින්  සීමා පැනවී  තිබේ . 

විජිත ගුණරත්න මහතාගේ වලාපටලය චිත්‍රපටය  පෙන්වූ දවසේ නන්දන වීරරත්න පැවසුවේ සිනමා පටයේ සෞන්දර්යය නැතිවීම අඩුවක් බවයි .  මේ මා විසින් ලියු ලිපියේ කොටසකි .  
//
එපික් නාට්‍යය ක්‍රමයේ දී කියවෙන්නේ නාට්‍යය විසින් ප්‍රේක්ෂකයාට,   නාට්‍යයේ චරිත සමග භාවාත්මක ලෙස බැඳීමට  (තදාත්මිකව) අනුබල නොදිය යුතුය යන්නය. ඒ වෙනුවට තර්කාන්විත ස්වයං ප්‍රත්‍යාවේක්ෂණයක් හා වේදිකාවේ රංගනයන් කෙරෙහි විවේචණාත්මක දැක්මක්   ඇති කර ගැනීමට ප්‍රේක්ෂකයා සමත් විය යුතුය.

මෙහිදී විජිත ගුණරත්නයන්ගේ  අදහසට අනුව හෙන්රි ජයසේන වැනි ප්‍රතිභාපුර්ණ කලාකරුවන් වුවද කලේ බ්‍රෙෂ්ට් සෞන්දර්යාත්මක කිරීමයි. බ්‍රෙෂ්ට් ගේ නාට්‍යවල මෙය දැකිය නොහැකිය.  තවත් කෙටි චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන නන්දන වීරරත්න එදා පැවසුවේ කිසියම් අන්දමකින් සෞන්දර්ය රසයක් ඉස්මතු  නොවන තැන නීරස ගතියක් මතුවන බවයි. බ්ලොග් ලියන අරුණ පෙරේරා මහතාගේ අදහස වූයේ වළා පටල වාර්තාමය චිත්‍රපටයක් විනා  වැඩි යමක් නොවන බවයි.

වලා පටල චිත්‍රපටියක් මිස වේදිකා නාට්‍යයක් නොවේ. බ්‍රෙෂ්ට්ගේ "එපික්" ක්‍රමය ඒ ආකාරයෙන්ම ගොඩ නැංවීමක් සිනමාව තුල කිරීම අපහසුය. නමුත් නොකළ හැක්කක් නොවේ. චිත්‍රපටය නරඹන අතරතුර  "වලා පටල  "  යථාර්තවාදී (realism )  සිනමා කෘතියක ඉදිරිපත් කිරීමක්  බව සිතුණි. මෙහිදී යථාර්තය යනු ඔබ හා මා අද දවසේ අත්විදින යථාර්තය නොවිය හැකිය..//
  
ශ්‍රී ලංකාවේ කලාව සහ  සංස්කෘතිය සම්බන්ධ කතිකාව  ආරම්භ වී බොහෝ කල්ය. ඒ සඳහා මාඕ ගේ සංස්කෘතික  විප්ලවය පිලිබඳ අදහස උපයෝගී නොවූයේ මන්ද යන්න ලොකු රහසක් නොවේ .   මේ මා විසින්  ලියූ -සෝවියට් සාහිත්‍යය හා ලංකාවේ වම 4 - කොර්චාගින්,  බ්‍රෙෂ්ට් හා සාක්කිය - ලිපියේ  කොටසකි . 

//ස්ටාලින් තමන්ගේ" great purge" හෙවත් පක්ෂය හා රට "සුද්ධ කිරීම" ආරම්භ කලේ ලෙනින් ද මියගොස් වසරකට පසුය.  එසේම මාඕ තමන්ගේ සංස්කෘතික විප්ලවය දියත් කලේ බලය ලබාගෙන කාලයකට පසුවය. මේ දෙදෙනාම තමන්ගේ පැරණි විප්ලවකාරී සගයන් සහ උගතුන් (intelligencia)  විනාශ කළහ.  //

අප හැත්තෑව දශකයේ සිට දන්නේ කොමියුනිස්ට් පක්ෂයේ  ගුණදාස ලියනගේ ආදීන් දියත් කල 'සමාජ සත්තා යථාර්ථ වාදය ' ගැනය .  සෝවියට් දේශයෙන් ඇරඹුණු මේ ස්ථාවරය  වූයේ සිනමා, කළා,    පොත පත ආදී සෑම නිර්මාණයකම  සමාජ යථාර්තය හා පන්ති  අරගලය පිළිඹිබු විය යුතු බවය.  එය ඉතාම අසාර්ථක වූයේ නිර්මාණ ප්‍රචාරණවාදී  ස්වරූපයක් ගැනීම නිසාය. සෝවියට් ලේඛක  සමුළුව හා සිනමා සංගමය ආදී ආයතන වලින් නිර්මාණ මෙහෙයවීමම විහිළුවක් විය .   මේවා දෙස  මිහයිල්  බුල්ගාකොව්  වැනි ලේඛකයන්, ව්ලදිමිර්  විසෝස්කි වැනි ගායකයන්, තර්කොව්ස්කි  වැනි සිනමා අධ්‍යක්ෂකවරුන් උපහාසයෙන් බැලූ අතර, මේ නිර්මාණ ඒකාධිකාරයට විරුද්ධව තවත් අයගේ ග්‍රන්ථ  (සොල්ශේනිට්සින් වැනි )  රහසේ මුද්‍රණය කර පිටරට පටවන ලදී.   
   බ්‍රෙෂ්ට් ගේ නිසඳැසක්   "ඔටුන්නක බර බලාපල්ලා"   නමින් පරිවර්තන කොට  කතිකාව ඔන්ලයින් සඟරාවේ පලවී තිබේ .  හැකිනම් එය කියවන්න .  එසේම එම සඟරාවේම අලාන් ෆින්කල්ක්‍රෝත් (The Defeat of the Mind)   "මනසේ පරාජය" කෘතියේ කොටසක් "බහුසංස්කෘතික සමාජයක් කරා" යනුවෙන් පරිවර්තනය කර තිබේ . මෙහි සංස්කෘතික සාපේක්ෂතාවාදය ගැන සඳහන් තිබෙන අතර (පුද්ගලයකුගේ සංස්කෘතික චර්යාවන් මැනිය යුත්තේ ඔහුට හෝ  ඇයට අනන්‍යවූ සංස්කෘතිය සමග මිස  වෙනකක් සමග නොවේ යයයි සඳහන් වේ )  බහුසංස්කෘතික වාදය ගැන ලියා ඇත්තේ මෙසේය.

 //අනෙකාට අනෙකා වීමට නිදහස ලබා දෙන අතරම, බහුසංස්කෘතිකවාදීහු තම ජාතියේ අද්වීතියත්වය වෙත ආපසු පැමිණෙති; ඔවුහු අන් අය කරන්නාක් මෙන්, තම ජනයාගේ අද්විතීය ආත්මය දෙස බලති. ප්‍රංශය (සහ දිගුවක් ලෙස් යුරෝපය)එහි සංස්කෘතිය මගින් නිර්වචනය කරමින්, ඔවුන් සමාජය තුළ සංස්කෘතිය සතු කේන්ද්‍රීය ස්ථානය තවදුරටත් පිළි නොගනිති. ඔවුන් තම ජනයාට විශද ලක්ෂණ ඇති බව විස්තර කරති, නමුත් උග්‍ර අධිෂ්ඨානයෙන් යුතුව පෙන්නුම් කරන්නේ, ඔවුන් තමන් වෙනස්වන  ආකාර පිළිබඳ ඔවුන් ආඩම්බර වන්නේ කෙසේද යන්නයි.//
  
මා  ඉහත කී  අතීත විස්තරයක්  සඳහන් කරන ලද්දේ සුමනා විජේරත්න ගේ 'තිමිර විනිවිද මාඕ පොත පිළිබඳව ප්‍රවේශයක් ගැනීම සඳහාය.


මාඕ ගේ සංස්කෘතික විප්ලවය ගැන අනතර්ජාලයේ ඕනෑ  තරම් විස්තර ඇති හෙයින් ඒ ගැන කියන්නට වෙහෙස නොවෙමි . 
මේ ගාඩියන් පුවත් පතේ පලවූ ලිපියකි . 
මගේ අදහස නම් සංස්කෘතික  විප්ලවයක් අවශ්‍ය වූයේ මාඕවාදය ස්ථාපිත කිරීම සඳහා යන්නය .   

හැටේ සහ හැත්තෑව දශකයේ සාහිත්‍ය පිබිදීම ගැන පොතේ විස්තරයක් ඇතත් කොළඹ යුගයේ සාහිත්‍ය සංවාද සහ සරච්චන්ද්‍ර ගේ සිට නිව්ටන් ගුණසිංහ දක්වාත් අසූවේ  දශකයේ සංස්කෘතික පිබිදීම සහ අනූව දශකයේ සිට අද දක්වාත් සිදුවූ විපර්යසයන් සහ පුද්ගලයන් සුමනාට මග හැරුනේ ඇයි ? 

මගේ මූලික අදහස  වූයේ සුමනා විජේරත්න ශ්‍රී ලංකාවේ කලාව හා සංස්කෘතිය පිලිබඳ වාමාංශයේ කතිකාව මුළුමනින්ම බැහැර කර ඇති බවය.  මේ සංවාද බොහෝවිට කොළඹ  කේන්ද්‍ර කරගෙන  සිදුවූ නිසා වත්ද යයි සිතන්නට වීමි.  ඇය අනුරාධපුරයේ සිට පැමිණ  කොළඹ දෙස බලමින් කැනඩාවට කෙලින්ම පියාසර කෙරුවාක් වැනි හැඟීමක් මට ඇති වූයේ මන්ද? එසේම සෝවියට් දේශයේ සංස්කෘතික විප්ලවයෙන්  පසු කාලීනව නිමවූ පොත් පත් හා සිනමාව නීරස බවක් ගත් බවත් සීමා කිරීමට  එරෙහිව කලාකරුවන් සංවිධානය වූ අයුරුත් ඇයට නොපෙනුනේ මන්ද ?  මෙයට හේතුව ලෙස මට වැටහුනේ ඇය පශ්චාත් නුතනවාදය සහ බටහිර චින්තනය මුළුමනින්ම පසෙකලා පෙරදිග චින්තනය ඇසුරින්,  බුද්ධාගම ඇසුරින් සංස්කෘතික මිනිසෙකු  නිර්මාණය කිරීමට යෝජනා කරන බවය. 

අවසාන වශයෙන් සෝවියට් ප්‍රචාරකවාදී සිනමා පටයක් ඔබට බලන්නට යෝජනා කරමි .  මොස්ෆිල්ම් මගින් කරන ලද මේ සිනමා පටය 'කොමියුනිස්ට්' නමින් හැඳින්වේ .  අවංක කොමියුනිස්ට් වාදියෙකු පශ්චාත් විප්ලව සමයේ දිළිඳු සෝවියට් දේශය ගොඩ නැංවීමට ජීවිතය පුදන  අයුරු පෙන්වන කතාවකි .  ඉංග්‍රීසියෙන් සබ්ස් ඇත. චිත්‍රපටය  පොතට අදාල වෙන්නේ  කෙසේද යන්න  ඊලඟ ලිපියෙන් සාකච්චා  කරමු.
 


 
 
~ මතු සම්බන්ධයි 

මූලාශ්‍ර ලිපි : 

මහාචාර්ය සුචරිත ගම්ලත් ගුණ සමර - මහාචාර්ය කේ එන් ඕ ධර්මදාස 
  





- අජිත් ධර්ම 20/01/2026

Monday, 19 January 2026

යුද පිටියේ සවාරිය



පසුගිය සෙනසුරාදා ලන්ඩනයේ අගෝරා කලා කවය විසින් සංවිධානය කරන ලද සංස්කෘතික සැන්දෑවේ  දී ප්‍රවීන නාට්‍යවේදී විජිත ගුණරත්නයන් නිමැවූ "යුධ පිටියේ සවාරිය" වේදිකාගත කරන ලදී. විජිත ගුණරත්න "සාක්කි" නමින් නාට්‍යයක් අසූ ගණන් වල ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කර වේදිකා ගත කරන ලදුව, දේශපාලන තර්ජන ලැබ පසු කලෙක ස්වීඩනයේ පදිංචියට ගියේය. ඔහු විසින් ස්වීඩන් භාෂාවෙන් පළවූ ග්‍රන්ථ බොහොමයක් සිංහලට පරිවර්තනය කර ඇත. ඇරබල් මෙන්ම විජිතද ප්‍රතිභාපුර්ණ නාට්‍යකරුවෙකු පමණක් නොව ග්‍රන්ථ කතුවරයෙකු හා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු ද, තිර රචකයෙකු ද වෙයි.පියා තුලින් ස්පාඤඤ සිවිල් යුදයට පිවිසුණු ඇරබල් මෙන් විජිතද ශ්‍රී ලංකාවේ අශිලාචාර යුද දෙකක් අත් දුටුවෙකි.

"නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කරන බියකරු සිහිනයන්...මගේ ඇතුලාන්තයෙහි පිළිඹිබුව මගේ සිහිනයන් වලින් හෙළිදරව් කිරීමක් ....සිහිනය තමයි මගේ ඇරඹුම". විසිවන ශතවර්ෂයේ අධිතාත්වික කලා සම්ප්‍රදායේ (surrealism) පෙර ගමන් කරුවෙකු වන ෆර්නැන්ඩෝ ඇරබෙල් තමන්ගේ නාට්‍ය ගැන කීවේ එලෙසය. ඔහුගේ "යුධ පිටියට විනෝද චාරිකාවක් " Piquenique no Front නම් වූ නාට්‍යය අපට යුද්ධයේ නිරර්ථක බව අධිතාත්වික වූ  සිදුවීම් පෙළක් එකිනෙකට පතිත කරමින්  (juxtaposed) තියුණු ලෙස පහදයි.

"මාධ්‍යයන් මගින් උත්කර්ශණය කරන යුද්ධය මගින් අපේ සදාචාරය, අනිකා කෙරෙහි අපේ ඇති කරුණාව, දයාව, අනෙකා ආරක්ෂා කිරීම වැනි ගුණාංග ඉවත ලෑමට බල කරමින් අනිකාගේ ජීවිතය මෙන්ම දේපල ද විනාශ කිරීම සඳහා අපව  නිසඟයෙන් අනුබල දීමට පොළඹවන හැටි නිර්දය ලෙස "යුද චාරිකාවේ" පෙන්වයි. " (උපුටා ගත්තකි) යුදයක් නැති කාලයේදී සාමකාමී මිනිසුන් ලෙස රංගනය කරන අප යුද කාලයේදී මේ දේපල හා ජිවිත විනාශයට සහය දෙන්නේ කෙසේද? ඇරබෙල් පෙන්වන්නේ අප එකිනෙකා වටහා ගන්නා විට, හඳුනා ගන්නා විට ඉන් අපේ සමාජීය බැඳීම හා සහයෝගය ඇතිවී, එකිනෙකා කෙරෙහි අවිශ්වාසය, සැකය වෙනුවට ගෞරවයක් හා භක්තියක් ඇති වෙමින් යුදපිටිය විනෝද චාරිකාවක් බවට රූපාන්තරණය වන බවයි.

 ෆර්නැන්ඩෝ ඇරබල් ටෙරාන් ඉපදුනේ 1932 ස්පාඤඤ යේ මෙලිලා හිදීය. ඔහුගේ පියා ජනරාල් ෆ්රන්කෝ ගේ හමුදාව එරෙහිව සටන් වැදුණු රිපබ්ලිකන් වාදීන්ගේ හමුදාව සමග සිටි භටයෙකි. පසුව අත්අඩංගුවට පත්වී මරණ දණ්ඩනය නියම වන ඔහුගේ පියා උමතු රෝගියෙකු මෙන් රඟපා, උමතු රෝගීන්ගේ රෝහලකට තමන්ව යවා ගැනීමට සමත් වෙයි. එම රෝහලින් දැඩි ශීත සමයක දී පැන යන ඔහුව නැවත කිසිවෙකුට මුණ නොගැසෙයි.

මව සමග තනිවන ඇරබෙල් පසුව ප්‍රංශයට පදිංචියට යයි. ඔහු ගේ පියා ජනරාල් ෆ්රන්කෝ ගේ  හමුදා සමග සමූහාණ්ඩුව වෙනුවෙන් සටන් කල යුද්ධය සිවිල් යුද්ධයක් (හෙවත් අභ්‍යන්තර යුද්ධයක්) ලෙස මාධ්‍ය හා දේශපාලකයින් නම් කලත් ඇරබල් එය හැඳින් වූයේ "uncivil" අශිලාචාර යුද්ධයක් යනුවෙනි.

නාට්‍ය නිෂ්පාදකයෙක්, චිත්‍රපට තිර කතා රචකයෙක්, චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක්, ග්‍රන්ථ කතුවරයෙක් මෙන්ම කවියෙක් ද වන ෆර්නැන්ඩෝ ඇරබල් 1962 දී අලිහන්ද්රෝ ජරදොව්ස්කි සමග පැනික් ව්‍යාපාරය නමින් අධිතාත්වික (surrealism) කලා සම්ප්‍රදාය නැංවීමට සංවිධානයක් ගොඩ නගයි.



විජිත උපන් ශ්‍රී ලංකාවේ දකුණේ අත්විඳි එක යුදයක එක ම විශ්ව විද්‍යාල වල එක බත් පත බෙදන් කෑ එක දේශනාගාරයේ දේශනා ඇසූ සිසු සහෝදරවරු එකිනෙකා මරා ගත්හ. එලෙසම එකම පන්තියේ උන් දෙපැත්තට බෙදී එකිනෙකා මරා දැමුහ. එක රටේ ජාතීන්  දෙකක් එකම අලුත් අවුරුදු උළෙලක් එකම මාසයක  සමරමින් අවුරුදු තිහක් මුළුල්ලේ එකිනෙකා මරා ගත්හ.


යුද බිමේ හුදකලාව සිටින සපෝ නමැති යුද භටයා තමන් ගේ කම්මැලි කම යවා ගැන්මට කවුරුන් හෝ එවන මෙන් කපිතාන් ගෙයි යදියි. සෙබලෙක් නැත්නම් එළිච්චියක්  වුවත් කම් නැත. සටන් නැති යුද බිමක් අප ඉදිරියේ මැවෙයි. සොල්දාදුවෝ ඉන්නේ නිකම්ය. කම්මැලි කමේය. මේ අධිතාත්වික වූ  දර්ශනයෙන් පටන් ගන්නා නාට්‍යයේ - යුද බිමේ සිටින තමන්ගේ පුතා බැලීමට, සපෝ ගේ දෙමාපියන් යන්නේ විනෝද චාරිකාවකට ඇවැසි කෑම බීම, අකුලන පුටු, බිමට එළන ඇතිරිලි, කැමරා ආම්පන්න ආදිය  රැගෙනය. යුද බිම යනු විනෝද චාරිකාවකට  සුදුසු තැනක්ය යන්න හඟවන විරුද්ධාභ්‍යසය තුලින් අපට ඊළඟ ජවනිකාවක සපෝ ගේ මව තම සොල්දාදු පුතා මුහුණ සෝදා දත් මැද ඇත්දැයි සොයා බලයි. මාධ්‍ය මගින් උත්කර්ෂණයට නංවන යුද බිම අපට පෙන්නුම් කරන්නේ ගාම්භීර මහා වැදගත් යුද සිහිනයක හැසිරෙන සැපෝ ගේ දෙමාපියන් මගිනි.

සාපෝ විසින් ප්‍රතිවාදී භටයෙකු යුද සිරකරුවෙකු ලෙස අල්ලා ගනී. අල්ලා අත් පා බැඳ සිරයට ගෙන පසුව නිරුවත් කොට නීති විරෝධිව මරා දමනු ලබා වැතිර සිටින යුධ සිරකරුවන් සිරකාරියන් ගේ දසුනක් වෙනුව, මුලින් බිස්කට් කකා සිටින සිරභාරයට  ගත් ළමයෙකු පසුව මැරී සිටිනු පෙන්වන රූපවාහිනී  යථාර්තයක් වෙනුවට අපේ සොඳුරු සොල්දාදුවා සපෝ, තමන් ගේ හිරකරුට කුමක් කරන්නදැයි පියා ගෙන් විමසයි. කොමඩි ජවනිකාවක් මෙන් දිග හැරෙන ඊළඟ කොටසේ උපහාසාත්මක වදන් මේ අප සැබවින් සිහින දකින යුද්ධය දැයි අපෙන් විමසයි. අති සාර්ථක රංගනයක යෙදෙන "අම්මා " සිරකරුට පික්නික් මේසයට ආරාධනා කරන්නීය. මේ "සොඳුරු " යුද විනෝද චාරිකාවේ "හිරකරු " සමග සපෝ යෙදෙන සංවාදයේදී භටයන් දෙදෙනාම එක සමාන අදහස් ඇත්තවුන් මෙන්ම ඔවුන් ගේ ගේ ජෙනරාල් වරු දෙදෙනාටම කියා ඇත්තේ එකම දෙයක් බවත් දෙදෙනාම වටහා ගනී. දෙදෙනා දෙපැත්තේ සිට කරන්නේ හේතු විරහිත යුදයක් බව, සමාජයේ සාමාන්‍ය මිනිසුන් දෙදෙනෙකු වන එක සමාන සරල බලා පොරොත්තු තිබුණු මේ තරුණයන් දෙදෙනාත් දෙමාපිය යුවලත් වටහා ගනිති. මේ වැටහීම මත පරණ අශ්වාරෝහක භටයෙකු ද වන සපෝ ගේ පියා සාමයකට යෝජනා කරයි.

මේ අතර වාරයක ගුවන් යානා මගින් බෝම්බ හෙලයි. අපේ යුද භටයා හා හිරකාර යුද භටයා බංකරයේ සැඟවෙන අතරේ "ජනතාව" - සපෝ ගේ මව හා පියා වැටෙන බෝම්බ වලින් බේරීමට කුඩයක් ඉහළාගෙන අවට ඇවිමින් අතිශයින් අධිතාත්වික වූ රූප රාමු මවයි. ජනතාවට බෝම්බ වැස්ස යනු "භයංකර" දෙයක් නෙමේ. ඒවා වලින් මිනිසුන් "මැරෙන්නේ" නැත. රෝහල් වලට දැමු විට වහලවල් නිසා මුකුත් වෙන්නේ නැත. ඉනික්බිති රතු කුරුස භටයන් එන්නේ තුවාල කරුවන් හා  මරණයට පත් වූවන් සොයා ය. මේ සොඳුරු යුද්ධයේ මැරුණු අය නැත. අනිත් අයට බොහෝ උදව් කරන සාමකාමී ජනයා (සපෝ ගේ පියා හා මව ) මැරුණු අය හෝ තුවාල කරුවන් දුටුවොත් සොයා කතා කිරීමට කරුණාවෙන් පොරොන්දු වෙති. මියගිය හෝ තුවාල කරුවන් සොයා ගත නොහැකිව රතු කුරුස කරුවන් දුකින් නික්ම යති. රතු කුරුස ව්‍යාපාරයට යුරෝපයේ මුදල් ලැබෙන්නේ යුද්ධයක මැරෙන තරමට අනුව යයි ඔබ දන්නවාද?

උපහාසාත්මක අධිතාත්වික යුද්ධයක් පිලිබඳ මේ රංගනයේ අවසානය,  සැබෑ යුද්ධයේ බියකරු යථාර්තය අපේ හිස මතට අනුකම්පා විරහිතව මුදා හරියි. ගුවනින් හෙලන ඊළඟ බෝම්බ වර්ෂාවෙන් හා වෙඩි පහරින් සියල්ලෝම මිය යති.


අද දවසේ ඉස්ලාම් අන්තවාදීන් සිරියාවේ කරන දරුණු ක්‍රියා වැළැක්වීමට ඇමෙරිකානු හමුදා බෝම්බ දමයි. මාධ්‍ය වලට අනුව "ඉතා නිවැරදිව හෙලන "precision bombs" වන මේවා වලින් මිය යන්නේ ත්‍රස්තවාදීන් පමණකි. ත්‍රස්තවාදීන් හැදුවේ ද තවත් ජනාධිපතිවරයෙකු ඉවත් කරන්නය. එම ජනාධිපතිවරයා ආරක්ෂා කරන සිරියානු සෙබළුන් මෙන්ම ඔවුන්ට විරුද්ධව සටන් කරන කැරලි කරුවන් ද සිරියානුන්ය. රුසියාවේ පූටින් ද යුද්ධයට එළඹී තිබේ. ඔහුගේ ගුවන් යානා වලින් හෙලන බෝම්බ වලින් මිය යන්නේ ද ඉස්ලාමික අන්තවාදීන් පමණකි. ඉඳහිට ඇමෙරිකාව විසින් පූටින් ගේ හමුදා සිරියානු රෝහලකට ප්‍රහාරයක් එල්ල කල බවට චෝදනා කරයි.. ඒ අතරේ ඇමෙරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කරති.


අපට මාධ්‍ය වලින් දෙන්නේ ඔවුන්ට අවශ්‍ය යුද්ධය පමණකි. යුද්ධයේ සැබෑ ස්වරුපය වෙනුවට පෙන්වන යුද්ධය අරාබෙල් හා විජිත විසින් උත්ප්‍රාසාත්මකව පෙන්වන උන්ගේ  යුද්ධයයි. එක පැත්තක් දී සිටින්නේ ආගම වෙනුවෙන් ශුද්ධවූ යුද්ධයකය. ඒ පැත්තේ ජනයා දකින්නේ ආගමය. අනිත් පැත්තෙන් ශිෂ්ටාචාරය බේරා ගැනීමට හා ප්‍රජාතන්ත්‍රවාදය අපනයනනය කිරීමට සටන් වදිති. ඒ පැත්තේ ජනයා දකින්නේ ප්‍රජාතන්තවාදය හා නිදහස වෙනුවෙන් සටන් වදින්නන්ය. අප නරඹන්නෝ වෙමු.


ශ්‍රී ලංකාවේ සිදුවූ යුද්ධයේ වාර්තාකරුවන් හැසුරුනේ විනෝද චාරිකාවක් වාර්තා කරන අය මෙන් නොවේද? බෝම්බ වරුසාවක් හෙලද්දී එක පැත්තක් ඒවා වීඩියෝ කර තමන් ගේ වාර්තා පමණක් බලන බටහිර වෙසෙන ජනතාවට පෙන්වුහ. ඒ තමන්ගේ යුද භාණ්ඩාගාරය (war chest) වැඩි කර ගැනීමටය. බෝම්බයෙන් මියෙන අයගේ සිරුරු යෙදවුනේ ලැබෙන චැරිටි මුදල වැඩි කර ගැනීමටය. ඇතැම් අය මුදල් සඳහා පොත් ලිවූහ. අනිත් පැත්තේ වාර්තාකරණය මුළු ජනතාවක් ඇසපිය නොහෙලා රූපවාහිනයට නෙත් යොමු කරගෙන කඩල කමින්. චොකලට් කමින් නරඹන සෝප් ඔපෙරාවක් විය. සැබෑ යුද්ධයේ දෙපැත්තේම සොල්දාදුවන් ගේ කුඩු වුනු බංකර හා වැසියන්ගේ තැන තැන විසිරුණු  මළ  සිරුරු හා ශරීර  කැබලි වල වාර්තා ලැබුනේ පසුවය.

අද දවසේ යුද්ධය යනු රුපවාහිනිය හා අන්තර්ජාලයේත් රඟ දැක්වෙන "රියැලිටි ෂෝ "එකකි.


හෙමිංවේ සහ ගෙල්හොර්න් යනු ස්පාඤඤ යුධ වාර්තාකරණයේ යෙදුනු සුප්‍රසිද්ධ ගත් කතුවර අර්නස්ට් හෙමිංවේ හා වාර්තාකාරිනියක වන ගෙල්හොර්න් අතර සම්බන්ධය ගැන කියන චිත්‍රපටියකි. ගෙල්හොර්න්" බෝම්බ වැටීමේ බියකරු බව විසිත්ත කාමරයේ සිටින්නන් නොදනී" යනුවෙන් ලියන මොහොතේ ෆ්රන්කෝ ගේ ගුවන් යානා මැඩ්රිඩ් නගරයට බෝම්බ හෙලයි. හෙමිංවේ හා ගෙල්හොර්න් බෝම්බ වැටෙද්දී ජිවිත බේරා ගැනීම පසෙක ලා රමණයේ යෙදෙති. මේ අතිශයෝක්තියෙන් ඔප වැටුණු අධිතාත්වික රංගනය ම  අරබෙල්
ගේ  "යුද සවාරිය" තුලින් මතු කරන යථාර්තයම වෙයි.

විජිත ගුණරත්න  යුධ පිටියේ සවාරියක් නාට්‍යයේ රඟ දැක්වීමට තෝරා ගෙන තිබුනේ ඉතාලියේ ජිවත් වන රැකියා කරන ශ්‍රී ලංකික සහෘදයන් පිරිසකි. ප්‍රවීන වේදකා නළුවන් නොවුනත් ඔවුන් ප්‍රශංසනීය රංගනයක යෙදෙයි. විජිතගේ නාට්‍ය හැකියාවන් මනාව පිළිඹිබු කෙරුනේ ජනතාව අතරින් තෝරාගත් කිහිප දෙනෙකුට සම්මානනීය නාට්‍යයක් සාර්ථකව රඟ දක්වන්නට පුරුදු පුහුණු කිරීම තුලිනි.





Monday, 5 January 2026

ලෙනින් අද ජිවත්ව සිටියා නම් - ඔහු මෙසේ ලියනු ඇත



මම 1916 වසරට ආපසු ගොස් ලෙනින්ගේ කෘතියේ කී කරුණු නැවත සොයා බැලීමට සිතුවෙමි. ව්ලැඩිමීර් ඉලිච් ලෙනින් සිය 1916 දී ලියන ලද "අධිරාජ්‍යවාදය: ධනවාදයේ ඉහළම අවධිය" (Imperialism, the Highest Stage of Capitalism) යන කෘතියෙන් තර්ක කරන්නේ, අධිරාජ්‍යවාදය යනු නායකයින් විසින් තෝරා ගන්නා ලද හුදු "ප්‍රතිපත්තියක්" පමණක් නොව, එය ධනවාදයේ අත්‍යවශ්‍ය ආර්ථික අවධියක් බවයි.

ලෙනින්ගේ ඇසින් වර්තමාන ලෝකය විශ්ලේෂණය කිරීමට නම්, නූතන අධිරාජ්‍යවාදී බලවතෙකු නිර්වචනය කිරීම සඳහා ඔහු භාවිතා කළ ප්‍රධාන තත්ව පහ අප ප්‍රථමයෙන් විමසිය යුතුය.

1. ලෙනින්ගේ නූතන අධිරාජ්‍යවාදයේ තත්ව පහ 

ලෙනින්ට අනුව, රටක ආර්ථිකය මෙම තත්ත්වයන් පහට ළඟා වූ විට එම රට "අධිරාජ්‍යවාදී" බවට පත්වේ:

ඒකාධිකාරය (Monopoly): කුඩා ව්‍යාපාර දැවැන්ත සමාගම් (ඒකාධිකාරයන්) විසින් ගිල ගැනීම.

මූල්‍ය ප්‍රාග්ධනය (Finance Capital): බැංකු සහ කර්මාන්ත ඒකාබද්ධ වීම. "මූල්‍ය කතිපයාධිකාරියක්" (වෝල් ස්ට්‍රීට් වැනි) රට පාලනය කිරීම.

ප්‍රාග්ධනය අපනයනය කිරීම (Export of Capital): අනෙකුත් රටවල් පාලනය කිරීම සඳහා භාණ්ඩ (මෝටර් රථ, සෙල්ලම් බඩු) විකිණීම වෙනුවට "මුදල්" (ණය, ආයෝජන) අපනයනය කිරීම ආරම්භ කිරීම.

ගෝලීය කාටෙල් (Global Cartels): ජාත්‍යන්තර ඒකාධිකාරයන් (විශාල ටෙක් කම්පැනි ,  තෙල් කම්පැනි ආදිය ) ගෝලීය වෙළඳපොළ තමන් අතර බෙදා ගැනීම.

භූමිය බෙදා ගැනීම (Territorial Division): මහා බලවතුන් ලෝකය "කැබලිවලට බෙදා" අවසන් කිරීම; එතැන් සිට ඔවුන්ට එය "නැවත බෙදිය" හැක්කේ යුද්ධය හරහා පමණි.

ව්ලැඩිමීර් ලෙනින්, 1916 දී ප්‍රකාශයට පත් කරන ලද ඔහුගේ "අධිරාජ්‍යවාදය, ධනවාදයේ ඉහළම අවධිය" (Imperialism, the Highest Stage of Capitalism) නම් කෘතිය මගින් තර්ක කළේ, නූතන මූල්‍ය කේන්ද්‍රීය අධිරාජ්‍යවාදය යනු ආර්ථික පද්ධතියක් ලෙස ධනවාදයේ ඉහළම සහ අවසාන අවධිය මිස, අධිරාජ්‍යවාදය ඉතිහාසයේ අලුතින් ඇති වූ සංසිද්ධියක් නොවන බවයි. ඔහු මෙහිදී අර්ථ දැක්වූයේ ධනවාදයේ පසුකාලීන කාර්මික හා මූල්‍ය ව්‍යුහයන් සමඟ මූලික වශයෙන් බැඳී පවතින සුවිශේෂී නූතන අධිරාජ්‍යවාදී ස්වරූපයකි.

මාක්ස්-ලෙනින්වාදී රාමුවකට අනුව, පුරාණ සහ නූතන අධිරාජ්‍යවාදය අතර පවතින ප්‍රධාන වෙනස්කම් පහත පරිදි වේ:

පුරාණ අධිරාජ්‍යවාදය

මහා ඇලෙක්සැන්ඩර් සහ රෝම අධිරාජ්‍යය වැනි අවස්ථාවලදී දක්නට ලැබුණු මෙම ස්වරූපය ප්‍රධාන වශයෙන් මෙහෙයවනු ලැබුවේ භූමිය, සම්පත් (වහලුන් සහ කප්පම් වැනි) සහ මිලිටරි බලය සෘජුවම අත්පත් කර ගැනීම සඳහාය. එය රඳා පවතී වූයේ වැඩවසම්වාදය හෝ වහල් සේවය වැනි පූර්ව-ධනවාදී ආර්ථික ක්‍රම මතය.

නූතන (ධනවාදී) අධිරාජ්‍යවාදය

ලෙනින් තර්ක කළේ මෙය පරිණත කාර්මික ධනවාදයේ අත්‍යවශ්‍ය වර්ධනයක් බවත්, ඒකාධිකාරයන් සහ මූල්‍ය ප්‍රාග්ධනයේ ආධිපත්‍යය මෙහි ලක්ෂණයක් බවත්ය. එහි ප්‍රධාන ගාමක බලවේග වූයේ:

ප්‍රාග්ධනය අපනයනය කිරීම: හුදෙක් භාණ්ඩ අපනයනය කරනවා වෙනුවට, ධනවාදී රටවල් වැඩි ලාභයක් අපේක්ෂාවෙන් වෙනත් රටවලට ආයෝජන ප්‍රාග්ධනය අපනයනය කිරීමට පටන් ගත්හ.

ආර්ථිකමය වශයෙන් බෙදා වෙන් කිරීම: අමුද්‍රව්‍ය, වෙළඳපල සහ ආයෝජන අවස්ථා සඳහා ලොව පුරා ආර්ථික බලපෑම් ප්‍රදේශ බෙදා ගැනීමට මහා බලවතුන් තරඟ වැදුණු අතර, එය ගැටුම් කරා (උදා: පළමු ලෝක යුද්ධය) මෙහෙයවනු ලැබීය.

මූල්‍ය පාලනය: මෙහි අවධානය යොමු වූයේ සෘජු මහා පරිමාණ භූමි පාලනයට වඩා, ආයෝජන, ණය සහ ඒකාධිකාරයන් හරහා වෙනත් ජාතීන් මත ආර්ථික හා මූල්‍ය පාලනයක් ඇති කිරීම කෙරෙහිය.

2. 2026 වසරේදී ලෙනින් විසින් සිදු කළ හැකියයි මා සිතන  වත්මන් ගෝලීය සිදුවීම් පිළිබඳ විශ්ලේෂණය

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වෙනිසියුලාව

අරමුණ: ලොව විශාලතම තෙල් සංචිත පාලනය කිරීම සහ ඇමරිකාවේ "පසුපස මිදුලෙන්" අනෙකුත් බලවතුන් (චීනය/රුසියාව) ඉවත් කිරීම.

ලෙනින්වාදී දැක්ම: ලෙනින් මෙය දකිනු ඇත්තේ  "නැවත බෙදාගැනීමේ" සම්භාව්‍ය අවස්ථාවක් ලෙසයි. ඇමරිකාව පහර දෙන්නේ හුදෙක් ඒකාධිපතියෙකුට පමණක් නොවේ; එය තම ඒකාධිකාරයන් සඳහා "අමුද්‍රව්‍ය පදනම්" සුරක්ෂිත කර ගැනීමට උත්සාහ කරයි. මූල්‍ය කතිපයාධිකාරිය සිය සුවිශේෂී "බලපෑම් කලාපය" ප්‍රතිවාදීන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා හමුදාව භාවිතා කරන ආකාරය ඔහු මෙහිදී පෙන්වා දෙනු ඇත.

රුසියාව සහ යුක්රේනය

අරමුණ: භූමිය ව්‍යාප්ත කිරීම සහ නේටෝ (NATO) සංවිධානයට එරෙහිව "අතරමැදි කලාපයක්" පවත්වාගෙන යාම.

ලෙනින්වාදී දැක්ම: මෙය තරමක් සංකීර්ණ ය. රුසියාව "දුර්වල" ධනවාදී බලවතෙකු බව සමහරු තර්ක කළද, ලෙනින් බොහෝ විට අවධානය යොමු කරනු ඇත්තේ "මහා රුසියානු ස්වෝත්තමවාදය" සහ බලහත්කාරයෙන් භූමිය නැවත බෙදා ගැනීමේ උත්සාහය කෙරෙහි ය. ඔහු මෙම යුද්ධය දකින්නේ අධිරාජ්‍යවාදී කඳවුරු දෙකක් අතර ගැටුමක් ලෙසයි: එනම් තම "අසල්වැසි කලාපය" රඳවා ගැනීමට උත්සාහ කරන රුසියානු ප්‍රාග්ධනය සහ යුක්රේනයට සිය වෙළඳපොළ ව්‍යාප්ත කිරීමට උත්සාහ කරන බටහිර මූල්‍ය ප්‍රාග්ධනය (නේටෝ/යුරෝපා සංගමය) ට එරෙහි සටනක් ලෙසයි . 

චීනයේ ව්‍යාප්තවාදය

අරමුණ: "එක බෙල්ට් එකක් - එක මාවතක්" වැඩසටහන, යටිතල පහසුකම් ණය සහ දකුණු චීන මුහුදේ හිමිකම් පෑම.

ලෙනින්වාදී දැක්ම: ලෙනින්ගේ "ප්‍රාග්ධනය අපනයනය" පිළිබඳ පැහැදිලිම නූතන උදාහරණය චීනයයි. යටිතල පහසුකම් සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවලට බිලියන ගණනින් ණය දීමෙන් චීනය "ණය මත යැපීමක්" ඇති කරයි. ලෙනින් මෙය හඳුන්වනු ඇත්තේ "ණය-අධිරාජ්‍යවාදය" ලෙසයි.

ඉන්දියානු ව්‍යාප්තවාදය

අරමුණ: දකුණු ආසියාවේ කලාපීය ආධිපත්‍යය සහ චීනය සමඟ තරඟ කිරීම.

ලෙනින්වාදී දැක්ම: ලෙනින් බොහෝ විට ඉන්දියාව "උප-අධිරාජ්‍යවාදී" (sub-imperialist) බලවතෙකු හෝ "නැගී එන ඒකාධිකාරී බලවතෙකු" ලෙස වර්ගීකරණය කරනු ඇත. අදානි හෝ රිලයන්ස් වැනි ඉන්දියානු ඒකාධිකාරයන් තම ප්‍රාග්ධනය අපනයනය කිරීමට සහ සම්පත් සුරක්ෂිත කර ගැනීමට අසල්වැසි රටවල "බලපෑම් කලාප" සොයමින් සිටී.

3. එදා සහ අද

ලෙනින්ගේ 1916 විශ්ලේෂණය අදටත් අදාළ වුවද, ප්‍රධාන කරුණු දෙකක් සැලකිය යුතු ලෙස වෙනස් වී ඇත:

නොපෙනෙන දේශ සීමා: 1916 දී අධිරාජ්‍යවාදය යනු කොඩියක් සිටුවා රටක් අල්ලා ගැනීමයි (යටත් විජිතවාදය). අද එය බොහෝ විට නව යටත් විජිතවාදයයි (Neocolonialism) - රටක් නමට "ස්වාධීන" වුවද, එහි ආර්ථිකය විදේශීය බැංකු සහ සමාගම් සතු වේ.

බහුධ්‍රැවීයතාව: ලෙනින්ගේ කාලයේ බ්‍රිතාන්‍යය අවිවාදිත අදිරදවාදි රජු විය. අද අප දකින්නේ ඇමරිකාව, චීනය සහ රුසියාව දැනටමත් සම්පූර්ණයෙන්ම අත්පත් කරගෙන ඇති ලෝකයක් නැවත බෙදා ගැනීමට තරඟ කරන "අධිරාජ්‍යවාදයන්ගේ ගැටුමකි".

ලෝකය බෙදා අවසන් බැවින්, මෙම බලවතුන් එකිනෙකාගෙන් කොටස් උදුරා ගැනීමට අනිවාර්යයෙන්ම යුද්ධයට එළඹෙනු ඇතැයි ලෙනින් විශ්වාස කළේය. ඔහු අධිරාජ්‍යවාදය දුටුවේ "සමාජ විප්ලවයේ පූර්ව සන්ධ්‍යාව" ලෙසයි.

නමුත් නැවතත් බැලූ විට, ලෙනින්ගේ නිර්මාණයක් වූ සෝවියට් සංගමය පවා හුදෙක් ගෝලීය බලවතෙකු ලෙස පමණක් නොව, නැගෙනහිර යුරෝපය පාලනය කළ "සමාජවාදී අධිරාජ්‍යවාදී" රටක් ලෙසද හඳුන්වනු ලැබීය. තවද ඔහු පැවසූ 'සමාජ විප්ලවය' ඉක්මනින් සිදු නොවීය.

4. "සමාජ-අධිරාජ්‍යවාදය" (Social-Imperialism) පිළිබඳ සංකල්පය

"වචනයෙන් සමාජවාදී, ක්‍රියාවෙන් අධිරාජ්‍යවාදී" ලෙස අර්ථ දැක්වෙන "සමාජ-අධිරාජ්‍යවාදය" යන යෙදුම 1960 දශකයේ චීන-සෝවියට් ගැටුම අතරතුර මාඕ සේතුං විසින් ප්‍රචලිත කරන ලදී. 

මෙය වඩා පැහැදිලි කළහොත් : 

බලපෑම් කලාපයක් ලෙස නැගෙනහිර කලාපය: වෝර්සෝ ගිවිසුම හරහා සෝවියට් සංගමය නැගෙනහිර යුරෝපය සංවෘත වෙළඳපොළක් ලෙස සැලකීය.

හමුදා මැදිහත්වීම්: හංගේරියාව (1956) හෝ චෙකොස්ලොවැකියාව (1968) සෝවියට් ග්‍රහණයෙන් මිදීමට උත්සාහ කළ විට, තම "භූමි බෙදීම" රැක ගැනීමට සෝවියට් සංගමය හමුදා බලය භාවිතා කළේය.

එසේ නම්  "සමාජ විප්ලවය" සිදු නොවූයේ ඇයි?

හේතුව 1. "කම්කරු රදළ පැලැන්තිය" (Labor Aristocracy): අධිරාජ්‍යවාදී රටවල් තමන් සූරාකන රටවලින් ලබන අතිරික්ත ලාභය භාවිතා කර තම රටේ කම්කරු පන්තියට ඉහළ වැටුප් සහ පහසුකම් ලබා දී ඔවුන් "නිහඬ" කරන බව ලෙනින් පැවසීය. 

හේතුව 2 . මූල්‍ය පද්ධතියේ නම්‍යශීලී බව: IMF සහ ලෝක බැංකුව වැනි ආයතන හරහා ධනවාදය බිඳ වැටීම වළක්වා ගැනීමට ඔවුන් සමත් විය. 

හේතුව 3 . "අවිධිමත්" අධිරාජ්‍යය: අද අධිරාජ්‍යයන්ට රටක් පාලනය කිරීමට එය ආක්‍රමණය කිරීමට අවශ්‍ය නැත. ඔවුන් ණය උගුල් (Debt traps) භාවිතා කරයි. පෙනෙන සතුරෙකු (සොල්දාදුවන්) නොමැති නිසා සාම්ප්‍රදායික නිදහස් සටනක් සංවිධානය කිරීම දුෂ්කර වී ඇත.

 ලෙනින් නූතන අධිරාජ්‍යවාදය දුටුවේ අවසානයක් ලෙසයි. කෙසේ වෙතත්, ඉතිහාසය පෙන්වා දෙන්නේ එය "චක්‍රයක්" විය හැකි බවයි. එක් බලවතෙකු දුර්වල වන විට ලෝකය සමාජවාදය දෙසට ගමන් කරනවා වෙනුවට, නව අධිරාජ්‍යවාදීන් (චීනය හෝ ඉන්දියාව වැනි) ලෝකය නැවත බෙදා ගැනීමට ඉදිරිපත් වේ.

අප අද අත් දකින්නේ මෙම යථාර්ථයයි. මේ නිසා  ලෙනින්ට අනුව චීනයට හෝ  රුසියාවට  නිකලස් මදුරෝ  බේරා ගැනීමට සටන් කිරීමේ අවශ්‍යතාවයක් නැත .


සබැඳී ලිපිය - කියුබන් සහ ටෙනරිෆ් කතාවක් 

කොළඹ ගමයා - 05/01/2025  

ලෙනින් ගේ පොත මෙතනින් කියවිය හැකිය :  here: Imperialism, the Highest Stage of Capitalism