මා විසින් 2014 ඔක්තෝබර් මාසයේ (මහින්ද රජයේ අවසන් සමයේ ) ලියු ලිපිය මෙයයි.
නිර්මාල් එන්න මල් පිපී දැයි බලන්න. විමුක්ති දේශපාලනයේ විභවය සොයා . මේ ලිපිය ජනරළ පුවත්පතේ සහ ත්‍රිමාණ වෙබ් අඩවියේ පළවුණි. එදා රාමචන්ද්‍ර ගේ අඩවියේ, නිර්මාල්, ජවිපෙ සිංහල ජාතිකවාදය සමග උපාය මාර්ගික සන්ධානයකට යන බවට චෝදනා කළ අතර නිර්මාල් එය ප්‍රතික්ෂේප කළේය. සුමිත් චාමින්ද නිවැරදි ලෙස කීවේ
නිර්මාල් දේවසිරි මහතා සහයෝගය දෙන මේ පොදු අපේක්ෂක ව්‍යාපාරය තුල ඇත්තේ දක්ෂිණාංශික විභවයක් බවයි. නිර්මාල් එයද ප්‍රතික්ෂේප කළේය. නිර්මාල්ට ඇත්තටම අමතක වෙන තරමක්.
නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා හිටපු ගමන් අමුතු කතා කියයි. එයට ඇත්තම හේතුව ඔහුට කාලයකට කලින් ඉහත දී තමන් විසින්ම කරන ප්‍රකාශ හිටි හැටියේ අමතක වීමයි. වයසට යනවිට වෙන අමතකවිමක් වන්නටද බැරිය. පසුගිය දවසක ගෝඨාභය රාජපක්ෂ මහතා 2020 එන්නේ නම් හොඳ බව නිර්මාල් රන්ජිත් පවසා ඇත. මා කීවේ ගෝඨාභය මහතා කොතරම් හොඳ හෝ නරක වුවත් ඔහුට ජනාධිපති වීමට අවකාශයක් ඔහුගේ පැත්තෙන් නොලැබෙන බවයි. ගිය වසරේ (2016) දෙසැම්බරයේ මා ලිවූ
ගෝඨා හෝ මා හෝ ගංගා හෝ ලිපිය බලන්න.
සිනහවට කරුණ නම් නිර්මාල් කියන දෙයෙහි වැදගත්කමක් ඇති බවත් මා කියන දේවල් කුඩු කෑ එකාගේ කතා බවත් (රාජිත සේනාරත්න සමග නෙළුම් යායේදී එක වේදිකාවේ සම්මාන දීම සඳහා සිටි නිසා) කලක් පෙසපෙට සම්බන්ධව සිටි (හෝ තවමත් සිටින) මිතුරන් පිරිසක් බුකියේ අවලාද නැගීමයි.
ගෝල්ෆේස් පිටියේ මහින්ද රාජෝත්තමයාණන් බැහැ දැකීමට පැමිණ සිටි ලක්ෂයකට අධික මහා සෙනග දැක වයර් මාරුවුනු නිර්මාල් දේවසිරි තවත් කතාවක් කියා තිබේ. ඒ මෙසේය. මෙය උපුටා ගත්තේ නිර්මාල්ගේ ෆේස්බුක් බිත්තියෙනි.
//ගොල්ෆේස් රැළියේ දේශපාලන ඇගවීම ඉතා පැහැදිළිය. එනම් තව දුරටත් ආණ්ඩුවට පැවැතීමට සිංහල-බෞද්ධ ජනයා අතර දේශපාලන සුජාතභාවයක් නොමැති බවයි. ජාතික මට්ටමේ තීරණාත්මක මැතිවරණයකින් ජය ගැනීම ගැන සිතීමටවත් නම් රනිල්-මෛත්‍රී සංධානයක් තවත් ශක්තිමත් වී දෙමළ මුස්ලිම් පක්ෂ වල සහය ඊට මුළුමනින්ම ලබා ගැනීම අවශ්‍ය වේ. ඒ මගින් වුනත් ඊට බහුතරයක් ඡන්ද ප්‍රමාණයක් ගැනීමට ඇති හැකියාව බෙහෙවින් අඩුය. මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා, හොර ඡන්ද දමීම් (දැන් එවැනි දේ පහසු නැතත්) මගින් ජය ගත්තත් එය ක්ෂණික් දේශපාලන අර්බුදයකට පාර කපනු ඇත. එය සාමකාමීව රාජපක්ෂවරු නැවත බලයට පැමිණීමට වඩා බරපතල තත්වයක් වනු ඇත. කෙසේ වෙතත් මේ තත්වය තුළ රාජපක්ෂ ව්‍යාපෘතියට පිටතින් වූ විකල්පයක් දකුණ තුළ ගොඩ නැංවීම යන්න දැනට කිසිසෙත්ම හැකි දෙයක් නොවේ. ප්‍රංශයේ මෙන් ල පෙන් ට විරුද්ධව මැක්රොන් ජයග්‍රහණය කරවීම වැනි ක්‍රියාමාර්ගයක් කිසිසේත්ම දීර්ඝකාලීන වශයෙන් ප්‍රෙයා්ජනවත් වන්නක් බව නොපෙනේ//
නිර්මාල් එදා 2014දී තර්ක කලේ ප්‍රමාණය ගුණය වීම ගැනය. නිර්මාල් ගෝල්ෆේස් පිටියේ ජන සංඛ්‍යාව අනුව අරගලයක ගුණාත්මක භාවය වැඩි වේ යයි සිතන්නේද ඒ මත පිහිටා විය යුතුය. එදා නම් මා ඔහු සමග එකඟ වීමි. ඒ සෝභිත හිමිගේ ව්‍යාපාරය සම්බන්ධවය. එහිදී මා වාමාංශය හෝ පොදු විපක්ෂය ගතයුතු ක්‍රියා මාර්ගය අවධි කිහිපයකින් යුක්ත වන බවට යෝජනා කලෙමි. පහත පින්තුරය උපුටා ගත්තේ මගේ 2014 ලිපියෙනි.
කාලය y අක්ෂයේත් අරගල සහභාගිත්වයේ ප්‍රමාණාත්මක වැඩි වීම X අක්ෂයේත් පෙන්වා ඇත.
මෙහිදී වාමාංශික පක්ෂ මුල් තැනට එනු වෙනුවට සිදුවූයේ ජවිපෙ විසින් ගුණාත්මක සහයෝගයක් පොදු විපක්ෂ අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන ට ලබා දීමයි. මේ අනුව සුමිත් චාමින්ද හා ජවිපෙන් තොර වම කියූ ආකාරයටම දක්ෂිණාංශික විභවයක් සහිත මෛත්‍රී-රනිල් ආණ්ඩුව බිහි විය. පෙසප ඉදිරි ක්‍රියා මාර්ගය ගත්තේ මහින්ද මහතා (රජු) බැලීමට එන සිංහල ජනතාව දෙස බලාය. කුමාර් ගුණරත්නම් ජවිපෙට මෙන්ම පොදු අපේක්ෂකයාට විරුද්ධ වීමට ලංකාවට දෙසැම්බර් 31 දා ගියේ මේ අනුවය. කොටින්ම සුමිත් චාමින්ද කෙසේ කීවත් ඔහු සහ පෙසපේ ඇතුළු ජවිපෙට එරෙහි වම සිතුවේ දිනන්නේ නැවතත් මහින්ද මහතා බවය. නමුත් ජවිපෙ නායකත්වය තත්වය නිවැරදිව ග්‍රහණය කළේය.
මා කිවේ මැතිවරණය ජය ගැනීමෙන් පසු සමාජ ප්රජාතන්ත්රවාදී රජයක් පිහිටුවිය හැකි බවය. කෙසේ හෝ දක්ෂිණාංශික විභවයක් සහිත රජයක් පිහිටවූ පසුව හෝ ජවිපෙ හා ජවිපෙට විරුද්ධ වමට කළ යුතුව තිබුනේ පොදු වාමාංශික අරගල මධ්‍යස්ථානයක් තුලින් සාධාරණ ප්රතිවිරෝධයක් දිගින් දිගටම ගෙන යාමය. මේ ප්‍රති විරෝධය හරහා එන සටන රජය සමාජ ප්රජාතන්ත්රවාදී මාර්ගයකට ගැනීමට මෙන්ම වඩා ජනතා හිතවාදී රාජ්‍ය පාලනයකට හා බෙදීම් අඩු සමාජයකට, සුළු ජාතීන් ගේ අයිතීන් හා ආරක්ෂාව රකින සමාජයක් දක්වා ගෙන යාමට යොදා ගත හැකිව තිබුණි. නමුත් සිදු වූයේ රාජ්‍ය බලය, හමුදාව හා පොලිසිය හරහා හිමි කරගත් ප්‍රයෝගික වශයෙන් දුර්වල, ආධුනික ඇමතිවරුන්ගෙන් යුත් රජයක් බිහි වීමය. ඔවුන් රජය ගෙනයන්නේ FCID නම් පොලිස් මූල්‍ය අපරාධ අංශය නිසා යන චෝදනාව සාධාරණය වන්නේ මෙහිදීය.
ගෝල්ෆේස් පිටියේ සෙනග කොපමණ සිටියාද යන්න ප්‍රශ්නයක් නම් එය ගණනය කළ හැකිය.
එය අක්කර 12 ක් හෙවත් හෙක්ටයාර 5 කි. එනම් වර්ග මීටර 50000 කි. සෙනග පාරේද සිටියහ. පාර මීටර 500 පමණ දිග මීටර 15 පමණ පළල එකකි. ඒ අනුව ගාලු පාර වර්ග මීටර 7500කි යයි අනුමාන කරමු. වර්ග මීටරයකට පෙරලෙන්නේ නැතිව සිටිය හැකි මිනිසුන් ප්‍රමාණය 3 කි.
මෙය බලන්න. ඒ අනුව දල වශයෙන් ජනතාව 57500*3=1,72 500. (එක් ලක්ෂ හැත්තෑ දෙදාහක්) පමණ සිටින්නට ඇත. අක්කර 3 පමණ වන ගැටඹේ මේ අනුව සිටින්නට ඇත්තේ 36000 පමණ විය හැක. අවට මාවත් හා එළියේ සිටි පිරිසත් අනුව පොලිසිය දුන් 58000 ගැන එකඟ විය හැකිය. කැම්බෙල් පිටියේ විශාලත්වය නොදන්නා අතර එහි එහි 70000-80000 පමණ සිටියා යයි පොලිසිය කියයි. ජවිපෙ රැලියට 10,000 පමණ සිටියා යයිද කියති. ටී එන් ඒ හා රාජිත ගේ වෙනම පැවැත්වූ යාපන රැලි , තොන්ඩමන්ගේ, කඳුරට ජනතා පක්ෂයේ සහ කුඩා වෘත්තීය කණ්ඩායම් වල මැයි රැලි වල සෙනග 20,000 පමණ යයි අනුමාන කොට ගත හැකිය. (රූපවාහිනී වාර්තා හා පුවත් පත් වාර්තා පින්තුර ඇසුරෙන්) මේ සියල්ල ගණනය කල විට 166,000 (එක ලක්ෂ හැට හය දහසක්) පමණ වේ. රජයක් අවුරුදු දෙක සමරන සමයේ මෙය බලාපොරොත්තු විය හැකි සංඛ්‍යාවකි.
මේ අනුව පවතින රජයට බැරි මරගාතේ හෝ යන්තම් රැඳී සිටින්නට හැකි ජනතාවක් තවම සිටී. එසේම මහින්ද මහතා 2005 දී ජය ගත්තේ ප්රභාකරන් යාපන ඡන්ද වැළැක්වූ නිසා බවද නොරහසකි. ඔහු 2010 ජය ගන්නා විට යුද්ධය ජය ගෙන සිටි අතර බොහෝ එජාප පාක්ෂිකයන් ගේ ඡන්ද සහ පාවෙන ඡන්ද ද ඔහුට ලැබුණි. නැවත මහින්ද රජයක් ගෙන ඒමට නම් ඔවුන් ශ්‍රී ලංකාවේ සුළු ජාතිකයන් ගේ චන්ද මෙන්ම එජාප පාවෙන චන්දද ලබා ගත යුතු වේ.
ඒ නිසා නිර්මාල් රන්ජිත් දේවසිරි කියන ආණ්ඩුවට සිංහල බෞද්ධ ජනතාව අතර සුජාත භාවයක් නොමැති වීම විහිළුවකි. එහෙම එකක් මේ ආණ්ඩුවට කොහොමත් තිබ්බේ නැත. එහෙමේ දෙයක් තිබුණා නම් තිබ්බේ රාජපක්ෂ මහතා ප්රමුඛ ශ්‍රී ලනිපයට, හෙළ උරුමයට හා යම් තරමකට ජවිපෙට පමණය. හෙළ උරුමය දෙකඩ වී එක පැත්තක් ඒකාබද්ධේද අනිත් පැත්ත රජයේද සිටී.
මේ අනුව නිර්මාල් කියන පරිදි ගෝඨාභය රාජපක්ෂ මහතා නොව, බැසිල් රාජපක්ෂ මහතාගේ දේශපාලන ඩීල් මත ඊළඟ ආණ්ඩුව ලෙස ඒකාබද්ධ විපක්ෂය පත්වීමේ ප්‍රවණතාවය වැඩිය. ගෝල්ෆේස් පිටියේ ගෝඨාභය මහතා නොව මහින්ද - බැසිල්-විමල් ත්‍රිත්වයේ වැදගත්කම වඩාත් ඉස්මතු වී පෙනුණු බව මගේ හැඟීමයි.
දැන් කල්පනා කල යුත්තේ අද පැවැත්වෙන සයිටම් විරෝධී වර්ජනය වැදගත් වන්නේ කෙසේ ද යන්නය?
සයිටම් පිලිබඳ මධස්ථ සිතින් යනුවෙන් ලියූ ලිපියේද සඳහන් පරිදි මා නම් පෙනී සිටින්නේ සයිටම් විශ්ව විද්‍යාලය වසා දැමීමට නොවේ. සමස්ත අධ්‍යපන ප්රතිපත්තියම වෙනස් කිරීම සඳහාය. ටියුෂන් කඩ හා ගුරුවරුන් හවසට ටියුෂන් දීම තහනම් කළ යුතුය. පහේ ශිෂ්‍යත්වය නැති කළ යුතුය. රජයේ මුදල් වැඩි ප්‍රමාණයක් ග්‍රාමීය පාසල් වලට ආයෝජනය කර දිස්ත්‍රික් ක්‍රමයට විශ්ව විද්‍යාල වලට සිසුන් ගැනීමද නතර කළ යුතුය.
වර්ජන කරන්නට වෙන ඕනෑ තරම් හොඳ හේතු තිබේ.
බැඳුම් කර ප්‍රශ්නයට පිළිතුරක් ලබා දිය යුතුය.
ඉහල යන ජිවන වියදම පහත හෙළිය යුතුය.
ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට මෙන්ම රජයේ සේවකයන්ට ද දෙන වාහන පර්මිට් නතර කළ යුතුය. ඔවුන් ලංකාවේ අනිත් වැසියන් සමග මහා ලොකු ගෞරවණිය ස්ථානයක නැත.
ඔවුන්ට මෙහි සඳහන් අධික මිල සහිත වාහන ගෙන්විය යුතු නැත.
විදුලි බලය හා ගෑස් මිල පහත හෙලීමට කටයුතු කල යුතුය. (ස්වභාවික ක්‍රම ආදියෙන් )
කුණු ප්‍රශ්නයට වහා විසඳුමක් දිය යුතුය.
සුළු ජාතීන්ගේ ප්‍රශ්නයට ඉක්මන් විසඳුමක් දිය යුතුය.
අධ්‍යාපනයට මුදල් වැය කිරීම වැඩි කර ගුරුවරුන්ට වැඩි පඩියක් දිය යුතුය.
රෝහල් පද්ධතිය වැඩි දියුණු කර සියලුම සුව සේවකයන්ට වැඩි පඩි දිය යුතුය.
මෙන්න මේවා වර්ජනය කරන්නට හේතුය. ආණ්ඩු පෙරලෙන්නේ ඒවාටය. අර "නිර්මාල් එන්න මල් පිපී දැයි බලන්න " ලිපියේ පාවෙන හැඟවුම් කාරක හෙවත් අරගල සඳහා වියදමක් නැති සටන් පාඨ මේවාය. නැතිව තවත් බමුණු කුලයක් බවට පත්ව සිටින එක්තරා සංගමයකට සහය පිණිස අන්තරේ කඩේ යැවීම නොවේ.
දීප්ති කුමාර ගුණරත්න සහ ඔහුගේ පෙරටුගාමී පක්ෂය මෙහිදී සිට ගන්නේ වාමාංශය පැත්තේය. ඔහු පවසන්නේ සුළු ජාතික ප්‍රශ්නයට විසඳුමක් දීම මෙන්ම සමස්ත ධනවාදී ක්‍රමයටම විරෝධයක් ගොනු කළ යුතුය කියාය. එසේම ඔහු පීඑම්සී (රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය) ට විරෝධය පළකර පසුව හිංසාවට පෙරලී රාජ්‍ය යන්ත්‍රයේ දැඩි මර්දනයට ලක්වුණු ජවිපෙ හිංසාවාදී ව්‍යාපාරයේ සිටියේ නැතැයි සිතමි. අජිත් පැරකුම් ජයසිංහ, දීප්ති කියන්නේ විකාර යයි සලකන අයෙකි. නමුත් අජිත් පැරකුම් ඉහත කී ව්‍යාපාරයේ සිට සිරගතව හිංසන විඳ එලියට පැමිණි අයෙකි. කුමාර් ගුණරත්නම් ද එලෙසමය. මේ තිදෙනා ගෙන් වාමාංශයේ නව දේශපාලනය පිලිබඳ වඩා සිත් ගන්නා සුළු තර්ක ඉදිරිපත් කරන්නේ දීප්තිය කුමාර ගුණරත්නය.
අජිත් පැරකුම් සිටින්නේ සමාජ ප්රජාතන්ත්රවාදය අගයන ස්ථාවරයකය. මේ අනුව අජිත් පැරකුම් ලංකාවේ වාමාංශය මුලට කරන පහරදීම ගණන් ගත යුත්තේ ඔහුගේ අත්දැකීම් අනුව සලකාය. ඒ වැරදුන අත්දැකීම් සමුහය පිළිබඳ යන්තම් හෝ ස්වයං විවේචනයකට ගියේ පෙසප පමණය. ඒත් කාඩ් හංගා ගෙනය. එනිසා අපට අජිත් පැරකුම් වැන්නන් ගේ අත්දැකිම් වැදගත්ය.
කුමාර් ගුණරත්න මහතා අනුගමනය කරන්නේ විජේවීර මහතා ජවිපෙ හා අන්තරය අසූ ගණන්වල මෙහෙයවූ ආකාරයම යයි මට සිතේ. තරමක් දුරට වෙනස් වුවද ජවිපෙ දැන් හදිසියේම අනුගමනය කරන්නට යන්නේද එයම බව ඔවුන් ගේ ප්‍රකාශ වලින් පෙනී යයි. නමුත් අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ බලය රැඳී ඇත්තේ කුමාර් හා නාගමුව ප්රමුඛ පෙසප මතය.
නිර්මාල් ප්රමුඛ විශ්ව විද්‍යාල සංගමය 6% අධ්‍යාපනය ප්රමුඛ කොට ඉල්ලීම් කිහිපයක් වටා අරගලයක් මෙහෙයවුහ. පෙළපාලියක්ද ගිය අතර සිසුන් දෙදෙනෙකු හදිසි අනතුරකින් මිය ගියේය. ඉන්පසු නිර්මාල්ලා ප්රමුඛ විරෝධතාවයේ නයුවන් රජය (එස් බී ) සමග සාකච්චාවකින් පසු එය නැවැත්විය. සමහර විට අ ර සිසුන් දෙදෙනා ගේ මරණයත් සමග තත්වය වෙනස් වන්නට ඇත. සමහර විට දැන් කල යුත්තේද එවැනි ඉල්ලීම් කිහිපයක් වටා සිදුවන උද්ඝෝෂණය. සයිටම් ප්රශ්නය හැමෝටම බලපාන එකක් නොවේ. මේ වෛද්‍ය සංගමයම සම සෞඛ්‍ය ප්රශ්නයේදී එම සේවකයන්ගේ පැත්ත ගත්තේ නැත.
අර්නෙස්ටෝ ලක්ලාව් ගේ "
ඔන් පොපියුලිස්ට් රීසන් " හි සාර් රජයට එරෙහි ඉල්ලීම් (demand) කිහිපයක් වටා රජයට එරෙහි අරගල පැන නගින බව පෙන්වා දෙයි. නමුත් ප්‍රධාන විරුද්ධවාදියා සාර් රජයයි. ඒ නිසා ඒ හෙජමොනික පිඩක රජය අර අරගල සම්බන්ධ කරයි. මෙම ඉල්ලීම් ලක්ලව් හඳුන්වන්නේ "පාවෙන හැඟවුම්කාරක -floating signifiers " ලෙසය. මා මේ පිළිබඳ ලිපියක් මෙහි
2014 මැයි මස ලියා තිබේ. මේ අරගල දාමයේ එකක් අනිකුත් අරගල වලින් (පහත පින්තුරයේ ඇති දාමය) එලියට පැමිණ වඩා ඉදිරියට යයි.
මෙය පාවෙන නොහොත් හිස් හැඟවුම්කාරකය වේ. මේ මොඩලය රඳා පවතින්නේ එකිනෙකට ප්රතිවිරෝධී කාණ්ඩ ද්විත්වයක පෙරමුණක් තුලය. (
dichotomic frontier) . මෙය නැති තැන තුල්‍යාත්මක සම්බන්ධතා බිඳවැටී ඉහත කී හැම ඉල්ලීමක්ම දියවී යයි. සීයට හයේ අරගලයේ සිට අද පවතින සයිටම් අරගලය දක්වා සිදු වන්නේ මෙයයි. වෙනත් ඉල්ලීම් දියවී යාමයි.
මේ තත්වය නොවැටහෙන වාමාංශික පක්ෂ ඇමිබාවන් සේ බෙදෙමින් යයි. තමන්ගේ අත්දැකීම් තුලින් එය වටහා ගන්නා අජිත් පැරකුම් සමාජ ප්රජාතන්ත්ර වාදයට පක්ෂව පවතින රජයට කිසියම් පක්ෂපාති බවක් දක්වමින් වම විවේචනය කරයි. දීප්ති එහා අන්තයේ සිට වමට අවශ්‍ය න්‍යාය හුදෙකලාව නිර්මාණය කිරීමට තතනයි. දෙදෙනාම පවතින තත්වය තුල වික්ෂිප්ත වන්නේ තමන් මේ රැල්ලට විරුද්ධවාදීන් වන්නේ මන්දැයි සිතමින් විය හැක.
ෆොන්සේකා භූමිකාව වැදගත් වන්නේ මෙහිය. මෛත්‍රී රනිල් ආණ්ඩුව බලයට පත් වූයේ ඉහත කී පරිදි වඩා සමාජ ප්රජාතන්ත්රවාදී රජයක් අවශ්‍ය වූ කල්හිය. කවුරු මොනවා කීවත් සුළු ජාතීන් සහ පාවෙන චන්ද ලංකාවේ එවකට තිබූ යුවරජුන් හා පළාත් රජුන්ගේ නීතියක් නොමැති පාලනය අනුමැත කලේ නැත. බහුතර ජනතාව මහින්ද මහතා ගෙනයන සංවර්ධනයට, අධි වේගී මාර්ග වලට කැමති වුවත්, ගෝඨාභය මහතාගේ නගර සංවර්ධනය අගය කළත්, මහින්ද අතේ ඇති පාලනය ගිලිහී පළාත් සභාවල මැරෑටියන් පවා පොලිසියට අණදෙන තත්වයට පත්වීම හෙවත් ඒ රාජපක්ෂකරණය රිස්සුවේ නැත.
මෛත්‍රී ෆොන්සේකා ගෙන එම තුල ඇත්තේ ඒ රාජපක්ෂකරණය මය. "මෙන්න අපටත් ගෝඨා වගේ උඹලා භය කරන්න බිල්ලෙක් ඉන්නවා" යන ආශාව එළියට දැමීමකි. "අපේ බිල්ලා ට බයවෙන්න" කියා මෛත්‍රී - රනිල් කියයි. මහත්වරුනි ඔබලාට කරන්න තියෙන්නේ ඔබලා අර හොරකම් කළා යයි චෝදනා කළ අය අල්ලා දඬුවම් දී පෙන්වීමය. නැත්නම් ඔබලා කියා ඇත්තේ බොරුය. ඊළඟට මහින්ද මහතා ගෙන ගිය සංවර්ධනය දිගටම ගෙන යාමය. රටේ රැකියා ඇති වන්නේ එලෙසය. හැකිනම් බඩු මිල අඩු කිරීම කෙසේ වෙතත් නාස්තිය හා දුෂණය අඩු කිරීමෙන් ජනප්‍රියත්වය ලබා ගත හැකිය. ඔබලා ගේ නොහැකියාව වහ ගන්නට ෆොන්සේකා ඉදිරියට දැමීමෙන් ඔබලා කරන්නේ හරාකිරි ක්‍රමයට සිය දිවි නසා ගැනිමක්ය.
ජවිපෙ කුමාර් ගුණරත්නම් ගේ පෙසපේ අනුගමනය කරමින් සයිටම් හරහා වෛද්‍ය සංගමය හා අන්තරය පසු පස යාමෙන් කරන්නේද හරාකිරි ක්‍රමයට සිය දිවි නසා ගැනිමක්ය. විජේවීර මෙය හොඳට අසූව දශකයේ හොඳින් අත් හදා බලා තිබේ. එනිසා මාර්ගය විවෘතය. ජපන් සමුරායි අත්දැකීම් කිහිපයක් නැවතත් රට වැසියාට බලා ගත හැකි වනු ඇත.
කොටින්ම නිර්මාල් දේවසිරි හා ඔහුගේ අනුගාමිකයන් ගේ අලුත් සටන් පාඨය වන ගෝඨාභය 2020 හා සිංහල බෞද්ධ ජනතාව ගේ සුජාත භාවය හරහා මල් නෙලන්නට යන අතර ආණ්ඩුව ෆොන්සේකා හරහා මල් නෙලන්නට යයි.
මේ ආකාරයට නම් 2020 දී මහින්ද රාජපක්ෂ මහතා නම් කරන පොල්පිත්තක් වුවත් රටේ ජනාධිපති වනු ඇත.
මාතෘකාවට අදාළ මගේ ලිපි:
අනිකුත් මූලාශ්‍ර:
ගෝල්ෆේස්
Crowd Safety and Risk Analysis
ප.ලි.: එක්තර මහත්මයෙකු මා එංගලන්තයේ සිට වාමාංශය අත හැර ඇත්දැයි විමසමින් යයි. මා සිටින්නේ පොල්කට්ටෙන් එපිටය. එනම් වාමාංශය තුල හෝ දක්ෂිනාංශය තුල නොවේ. වඩා හොඳින් පෙනෙන්නේ එවිටය. මා ලක්ලාව් ගැන හෝ මාක්ස් ගැන හෝ මැකියාවෙලි ගැන හෝ ජිජැක් ගැන හෝ ලෙනින් ගැන හෝ ට්‍රොට්ස්කි ගැන හෝ කියවන්නේ ඔවුන්ගේ යයි පවසමින් අදාල දේශපාලනයේ නිරත අය නිතර quote කරන නිසාය. මූලාශ්‍රයට ම ගොස් කරුණු සොයා බැලීම මගේ සිරිතකි.
මේ අනුව නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා ගහන්නේ ද ගේමකි. හෙවත් සූදුවකි. නමුත් ඔට්ටුව පැරදුනොත් වෙන විනාශය බරපතලය.