Saturday 20 May 2017

පරිසරයට හිතකර නිවාඩුවක් 3 - බැටළු නෑම්බියන් ගෙන් ලෑමින් - lambing

මුල් ලිපිය දර පෝරණුව 
දෙවන ලිපිය - පරිසරයට හිතකර නිවාඩුවක් 2 -ක්‍රිස් හා ලීසා විදුලිය ගන්නා හැටි

මේ කොටසේ වීඩියෝව  සමහර අයට බැලීමට  අපහසුතාවයක් ඇතිවිය හැකියි. එනිසා ඒ ගැන සමාවෙන්න. ඉංග්‍රීසියෙන් ලෑමින් (ඇමෙරිකන් ව්‍යවහාරය ලෑම්බින්  lambing) කියන්නේ බැටළු ධේනුවන් ගෙන් පැටව් ලැබෙන කාලයට ගොවියන් යොදන වචනය.  අපි මේ නිවාඩුවට ගිය කාලය තමා පුංචි බැටළු පැටවුන් ඉපැදෙන කාලය . ඉතින් ගොවියන් රෑ නිදි මරාගෙන බැටළු ධේනුවට උදව් වෙනවා පැටවා හෝ පැටවුන් බිහි කරන්න.   ඊළඟ දිනයේ ක්‍රිස් සහ ගොවි බිරිඳ ලීසා අපට අඬ ගැහුවා ඒක බලන්න.

එක අතකින් මේක වැදගත්. එංගලන්තයේ ක්‍රමයට දියණියන් දෙදෙනාට  පශු වෛද්‍ය විද්‍යාව හෙම හදාරන්න අවශ්‍ය නම් ඔවුන් විශ්ව විද්‍යාලයට අයැදුම් කරන්න කලින් ගොවිපළක සතුන් නඩත්තු කරන හැටි හැදෑරිය යුතුයි. මෙයට මුදල් ලැබෙන්නේ නැහැ. ඉඳුම් හිටුම් ගොවිපලේ ලැබෙනවා.මම ලීසා ගෙන් ඇහුවම ඇය කීවා දියණියන්ට අවශ්‍ය නම් එසේ  ඉඩ සලසා හැකි බව. නමුත්  දියණියන් එම විෂය හදාරන්න කැමති නැහැ . ගොවිපලේ ජීවිතය අමාරු බව කියන ඔවුන් වෙනත් විෂයන්  හදාරන්නයි වඩා කැමති . මම ඔවුන්ට කීවේ ගොවිප[අලවලට නිතර ඒම අවශ්‍ය නොවන බව. නමුත් ඔවුන් සතුන්ට කැමති වුනත් එවැනි රැකියාවක් ගැන එතරම් උනන්දුවක් තිබුනේ නැහැ.

ක්‍රිස් එදා පාන්දර  තුනට පමණ බැටළු පැටව්   තුන් දෙනෙකුට උපදින්න බැටළු  මාතෘ සායන  වැඩ කරලා තිබ්බ. උදේ මහන්සි වුනත් ප්‍රීතියෙන් හිටියේ. ලීසා ළමයින් තුන් දෙනෙකුත් හදන ගමන් මේ ගොවිපලේ වැඩ කරන්නේ. මුළු දවස පුරා මත ඒ දෙන්න වැඩ. ඒ අතින් අපේ ජිවිත කොතරම් ලෙහෙසිද කියල හිතෙනවා.
කඳු මුදුන හා අනිත් බාර්න් එක 
පැත්තක ඇත්තේ ගොවි නිවස 
අසළින් ගලන   දොළ 
 පසු ගිය ලිපි දෙකට නොදැම්ම පින්තුර දෙක තුනක් දානව ගොවිපල අවට.
















පහත  වීඩියෝ වල තියෙන්නේ බැටළුවෝ පැටවුන් බිහි කරන හැටි සහ ක්‍රිස් උදව් කරන හැටි. පැටවෙක් ඉපදුනහම ක්‍රිස් සහ ලීසා උන්ට ප්‍රතිශක්තිකරණ එන්නත් දෙනවා. ඊට අමතරව අයඩින් වලින් තුවාල තෙමනව. බෙහෙත් පිරුණු බාල්දියක් කෑම දෙනවා ලෙඩ හැදෙන්නේ නැතිවෙන්න. ඒ සත්ව ගාල ඉතා උණුසුමින් තබනවා.


ක්‍රිස් උපතට උදව් කරන ආකාරය 

මෙහිදී පෙනෙනවා ඇති මෙය ලෙහෙඉ කාර්යයක් නොවන බව. මේ කාලය පුරාවට දවසට බැටළු ධේනුවන් හතර දෙනෙක් වත් විවිධ වෙලාවට පැටවුන් ප්‍රසූත  කරනවා. ඒ හැම අවස්ථාවකම ඔවුන් ළඟ සිටිය යුතුයි. රාත්‍රියටත්  නින්දක් නැහැ.

ඉපදී මිනිත්තුවකට පමණ පසු 

ඉපදී මිනිත්තුවකට පමණ පසු 

ඉපදුනු ගමන් පැය කිහිපයකට පසු පැටවා මව සමග 
බැටළු ධේනුවන් සාමාන්‍යයෙන් පිරිමි බැටළුවකු සමග එක්වීමට දෙන්නේ සරත් සෘතුවේ අවසානය හා ශීත සෘතුවේ එළැඹීම සමගයි. පැටවා පිළිසිඳ මාස  හයක කාලයකින් පමණ උපදිනවා. ඉතින් ගොවියන් දන්නවා ඊස්ටර් එක එහෙම  නැත්නම් මාර්තු අප්‍රේල් කාලය තුල උපදිනවා කියල. හැම අවුරුද්දකම එහෙමයි. අප්‍රේල් කාලයේ තමා නැවත තණකොළ හොඳට වැවෙන්න පටන් ගන්නේ. එළදෙනුන් හා ගවයන් මෙන් නොව බැටළුවන් ට   බොහෝ විට දෙන්නේ තණකොළ. මේ පැටව් (නැත්නම් lamb)  මාස  9 කින් පමණ මස් පිණිස විකුණනවා. ලෑම්බ් මස් කියා සුපර් මාකට් වල විකුණන්නේ මේ මාස නමයේ පැටවුන්ගේ මස්. එතකොට මට්න් (mutton) කියන්නේ  හොඳට වැඩුණු බැටලුවකුගේ මස්. (ලංකව වැනි රටවල මට්න් කියන්නේ එළු මස් වලට) . බැටළුවෙක් ජිවිත කාලය අවුරුදු  10-12 පමණ වෙනවා. (ඒ අනුව අවුරුද්දක් බැටළුවෙක් මිනිස් වර්ෂ 6 ක වගේ වයස ) ක්‍රිස් හා ලීසා ගේ ගොවිපලේ බැටළු පැටවුන් 100-150 පමණ උපදිනවා මේ කාලයතුල. ඒ දෙදෙනාට වැඩ අධිකම කාලයක් තමා මේ.

(සමහර කරුණු දැන ගත්තේ ක්‍රිස් සහ ලීසා ගෙන්)

Thursday 18 May 2017

පරිසරයට හිතකර නිවාඩුවක් 2 -ක්‍රිස් හා ලීසා විදුලිය ගන්නා හැටි

මුල් ලිපිය දර පෝරණුව 

ගොවි මහතාගේ බිරිඳ වන එලිසබෙත් හෙවත් ලිස් මගේ බිරිඳට ඔවුන් විදුලිය සපයා ගන්නේ ජලයෙන් බව කියා තිබුණි. සරෝජ්  අපේ ගොවි  මහතා වන ක්‍රිස් ගෙන් ඒ බව විමසුවේය. ක්‍රිස් ගේ දර උදුන නරඹමින් සිටින අපට එතැන ගලා යන දොළින් එහා පැත්තේ කුඩා මඩුවක් දක්නට ලැබිණි. එය පෙන්වමින් ක්‍රිස් කීවේ ඒ ඔහුගේ ජල විදුලි බලාගාරය බවයි. මගේ දියණියන් ද  ඇතුළු සියල්ලෝම ක්‍රිස් විහිළුවක් කරන්නේ යැයි සිතා සිනාසුනු නමුත් මාත් සරෝජ් නුත් ක්‍රිස් අමතා එය පෙන්වන මෙන්  ඉල්ලා සිටියෙමු. සරෝජ් ලේඛනයට හා ජන මාධ්‍ය වලට ඇති ඇල්ම නිසා බිබීසියේ රැකියාව කලත් ඔහුත්මා මොස්කව් වල  ඉගෙනුම ලැබූ අයුරෙන්ම සෝවියට් උකරයිනයේ  කීව් නගරයේ අවසන් කලේද  විදුලි ඉංජිනේරු උපාධියකි. එනිසා විදුලි උත්පාදන ක්‍රම ගැන අප දෙදෙනාගේම සෑහෙන උනන්දුවක් තිබේ.
කුඩා මඩුව කුමක්ද 
බංගලාව හා ගොවි නිවස අසලින්  දොළ පහරක් ගොවිපල මැදින් ගලා යයි.  එහි එතරම් වතුර නැත. සාමාන්‍යයෙන් අප දැක ඇත්තේ මිල් හෙවත් මෝලක් ක්‍රියා කරන ආකාරයයි. බැම්මක් බැඳ වතුර එකතු කර එය විශාල දැති රෝදයක් හරහා යවමින් මෝලවල්  ක්‍රියාත්මක කලද ඉන් විදුලිය නිපදවීම අපහසුය. එසේම මේ දොළේ  එතරම් වතුරද නැත.
දොළ පහර උද කුඩා කඳු මුදු නේ ජාල උල්පත තිබේ  
පෙල්ටන් ටර්බයින් එකක් 
  ක්‍රිස් ගේ ජල විදුලිය නිපදවීමේ ක්‍රමය අප දුටුවේ මඩුවට ගිය පසුය. ඔහුගේ එම දොළ අසල කුඩා කන්දක් තිබේ. එහි මුදුනේ වතුර උල්පතක් තිබේ. ඔහු කළේ එම වතුර උල්පතට බටයක් දමා ජලය පහලට ගැනීමයි. එම drop එක හෙවත් බෑවුම මීටර 40 කි. (අඩි 120 පමණ )  කුඩා (mini) ජල ටර්බයිනයක් කරකැවීමට එය ප්‍රමාණවත්ය. පෙල්ටන් හා නෞටිලස් මෙවැනි  මිනි ටර්බයින් ය. (තලබමනය)
මෙවැනි පද්ධතියක් ක්‍රියාත්මක වන ආකාරය 
ඔබට ඉහත පින්තුරයෙන් මෙවැනි පද්ධතියක් ක්‍රියාත්මක වන ආකාරය දැනගත හැකිය. ඉහළ උස බිමක ඇති වතුර  පයිප්පයක් මගින් පහළට ගෙන එනු ලැබේ. ඉන් ටර්බයිනය කරකැවෙන අතර යාන්ත්‍රික ශක්තිය විදුලි බලය ලෙස ජෙනරේටරයෙන් පරිවර්තනය කෙරේ. ඉන්පසු කුඩා ට්‍රාන්ස්ෆොර්මරයක් මගින් එය ග්‍රිඩ් එකට සම්බන්ධ කිරමට  අවශ්‍ය විදුලි පරිපථයේ වෝල්ටේජ්එකේ අගයට  "ස්ටෙප් අප්" කරනු ලැබේ. 
ටර්බයින් එක ඇත්තේ සිමෙන්තියෙන් සෑදු රඳවනය තුලය.
නිල් පැහැයට තිබෙන්නේ විදුලිය නිපදවන ජෙනරේටරයයි.  
ක්‍රිස් මිනි ජෙනරේටරය සමග 
ජෙනරේටරය අසල විදුලිය නිපදවන ප්‍රමාණය දැන  ගැනීමට මීටර පුවරුවක් සවි කර ඇත.
මිටර පුවරුව 
මින් පෙන්වන්නේ මුළු පද්ධතියමය.

උත්පාදනය වන විදුලිය ප්‍රමාණය 
උත්පාදනය වන විදුලිය ප්‍රමාණය මිනිත්තු 15 ඇතුළත 
මෙම පද්ධතිය අප සිටින විට කිලෝවොට් දෙකක පමණ විදුලියක් මිනිත්තු 12 පමණ වේලාවකදී නිපදවීය. ක්‍රිස් ට අවශ්‍ය  ලෙස තලබමනයට යන ජල ප්‍රමාණය අඩු වැඩි කළ හැකිය.  ජල ප්‍රමාණය උපරිම අවස්ථාවේ උත්පාදනය වන විදුලි බලය පැයකට කිලෝ වොට් පැය 5 - 6 පමණ වේ. එය පහක් ලෙස ගතහොත් පැය  24 කට මෙම පද්ධතිය මගින් කිලෝ වොට් පැය 120 ක පමණ විදුලිය නිපද වේ. මාසයකට මෙය කිලෝ වොට් පැය 720 පමණ වේ. එංගලන්තයේ නිවසක සාමාන්‍ය පරිභෝජනය කිලෝ වොට් පැය 380- 400  පමණ වන නිසා මෙය ගොවිපලට ප්‍රමාණවත් බව සිතිය හැකිය.

 ක්‍රිස් පවසන අන්දමට වතුර වැඩි ශීත  සමයේ පද්ධතිය  පුර්ණ ධාරිතාවයෙන්  විදුලිය නිපදවයි.  වතුර අඩු ග්‍රීෂ්ම සමයේ (වේල්සයේ මේ කාලයටත් වැස්ස ඇති නිසා ලංකාවේ  වැසි නැති කාලය සමග සැසඳිය නොහැකිය.) අඩු කිලෝවොට් ගණනක් නිපදවයි. ඒ කාලයට ගොවිපලට ප්‍රධාන පද්ධතියෙන් (main grid) විදුලිය සැපයේ.

ක්‍රිස් පැවසූ අන්දමට පවුම් 8000 පමණ ආයෝජනයක් ඔහු කළ  අතර මුළු මුදලම වසර තුනකින් පියවා ගෙන ඇත. දැන් තනිකරම මේ පද්ධතියෙන් ලැබෙන්නේ ලාභයකි. භාවිතා නොවන විදුලියෙන්  ඒකකයක් පැන්ස   70 ගානේ ප්‍රධාන පද්ධතියට විකුණන නිසා අමතර අදායමක් ද  ලැබේ.  ඒ විදුලි බිල 90% පමණ අඩු  වීමෙන් ලැබෙන ලාභයට අමතරවය.

ටර්බයිනයෙන් ඉවත වන ජලය  අසල ඇති දොළට යොමු කෙරේ.

ක්‍රිස් පැවසූ අන්දමට දර උදුන වැඩිපුර පාවිච්චි වන්නේ ශීත  කාලයට පමණක් වන නිසා එහි වියදම (ආයෝජනය ) පියවා ගන්නට වසර 4-5 ක් ගතවී තිබේ. ඒ ඔවුන් ඉවීමට ගෑස්‌  පාවිච්චි කරන නිසාය.  කෙසේ වුවද දැන් ආයෝජනයන් දෙකම පියවා ඇති නිසා ඔහු උපයන්නේ ලාභයකි. එසේත් නැතිනම් බල ශක්ති පාවිච්චියට ඔහු ගෙවන්නේ අවම අගයකි. මා  දැනගත් පරිදි ක්‍රිස් ගෙන් පසු එම පළාතේ ගොවිපලවල් දහයක් පමණ මේ කුඩා විදුලි උත්පදන් යන්ත්‍ර සවි කරගෙන් තිබේ. ගොවිපලවල් දෙක තුන එකතුව මධ්‍යම ප්‍රමාණයේ ජල  විදුලි බලාගාරයක්ද පිහිටුවා අවට නිවෙස්  වලටද විදුලිය දෙන බව ඔහු පැවසීය.   තමන්ගේ දිරියෙන් කල්පනා කර කටයුතු කරන මේ ගොවි මහතුන්  හිමිදිරි  පාන්දර සිට නැගිට දවස පුරා මහන්සි වී වැඩ කරති.

මෙහිදී මට මතක්වූ කතාවක් නම් ලෙනින් හා රුසියන් විප්ලවය ගැනය. රුසියන් විප්ලවයෙන් පසු ලෙනින් හා බෝල්ෂෙවික් ආණ්ඩුව ප්‍රවේණි ගොවීන්ට ඉඩම් බෙදා දුන්හ. විශාල ඉඩම් යායවල් වල ගොවි ජනපද පිහිටවූහ. ලෙනින් කීවා යයි පොත් වල තිබෙන්නේ  මේ ගොවීන් ස්වේච්ඡාවෙන් එකතුවී විශාල ගොවිපලවල් පිහිටවනු ඇත යන්නය. එසේ එකතුවී වැඩ කරීමෙන් ඔවුන්ගේ ගොවි නිෂ්පාදනද දියුණු වී සමුහ ගොවිපළවල් බිහිවනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.

ලෙනින් මිය ගිය පසු සෝවියට් දේශයේ බලයට පත්වූ ස්ටාලින් රතු හමුදා ලවා  සියළු ගොවීන් බලහත්කාරයෙන් සමුහ ගොවිපළ වලට ගාල් කරන ලදී. එයට එරෙහි වුවන්ට වෙඩි තබා මරා  දමන ලදී.  උක්රයිනයේ එක්දාස් නමසිය විසි ගණන්වල සාගතයක් ඇතිවී මිලියන් ගණනක්  මිය ගියේ ඒ හේතුව නිසා යයි කියනු ලැබේ.

සෝවියට් දේශයේ අවසාන කාලයේ මේ සමුහ ගොවිපලවල නිෂ්පාදන අඩුත් නොවී වැඩිත් නොවී තිබුණි. එනම් පස් අවුරදු  සැලැස්මවල් අඩුවට හදා තිබුණි. නිෂ්පාදන ධාරිතාව එකම තැනක තිබුණි. ඒවායේ වැඩ කල වැඩි හරියක් ගොවි මැනේජර් ලා  පලදාව පස්ස දොරෙන් පන්නා පෞද්ගලික මාකට් එකේ විකුණා තිබුණි. නැතිනම් තම තමන්ගේ පාවිච්චියට  ගෙන තිබුණි.

ඊළඟට - බැටළු නෑම්බියන් ගේ ලෑම්බින්





Tuesday 16 May 2017

පරිසරයට හිතකර නිවාඩුවක් - දර පෝරණුව

ගොවිපළේ බංගලාව (මුලදී බාන් එකක්)
මේ දවස්වල හැමෝම පරිසර හිතකාමී වෙලාය. ට්‍රම්ප් ලොක්කා පරාස දූෂණය කියා එකක් නැතැයිද විද්‍යාඥයන් බොරු කියන්නේ යයිද පැවසූ පසු නව ප්‍රංශ ජනාධිපතිවරයා කාලගුණ විද්‍යාඥයන් ඇතුළු එම ක්ෂේත්‍රයේ ප්‍රබලයන්ට ප්‍රංශයට පැමිණ රැකියා  කරන ලෙස ආරාධනාවක්  ද කළේය. බ්‍රිතාන්‍යයේ දැන් කලක සිට වඩා පරිසර හිතකාමී ප්‍රදේශ හා ස්ථාන වලට නිවාඩු යෑමේ සිරිත බෝවී තිබේ.   අපේ නිවසේ 2015 මුල් කාලයේ හිරු එළියෙන් විදුලි බලය ලබා ගැනීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් පසු පරිසර හිතකාමී ප්‍රදේශ වල නිවාඩු යෑමේ අදහස අපේ සිත් වලද තිබුණි.

සාමාන්‍යයෙන් අපි වසරකට වරක් වේල්සයේ හෝ  එංගලන්තයේ ලේක් දිස්ත්‍රික්කය,  පීක් දිස්ත්‍රික්කය හෝ ස්කොට්ලන්තය වැනි කඳු සහිත පෙදෙස් වල සංචාරයට යන්නෙමු. ඒ වසර විස්සක පමණ සිට එන පුරුද්දකි. ඒ මමත් බිරිඳත් දෙදෙනාම ඇවිදීමට (hiking) බොහෝ කැමැත්තක් දක්වන හෙයිනි.

ඉතින් සාමාන්‍යයෙන් අපි වේල්සයේ ස්නොව්දෝනියා ජාතික වනෝද්‍යානය පැත්තට යන නමුත් මෙවර ගියේ බ්‍රෙකන් බීකන් නමැති පළාතටය.  මේ පළාත්  දෙකම ලංකාවේ නුවර එලිය, ඇල්ල, දියතලාව, හෝර්ටන් තැන්න,  බදුල්ල වැනි පෙදෙස් සේ සුන්දරය. අපි නැවතුනේ "ද බීස්ට් " නම් ගොවිපලකය. බීස්ට් කියන්නේ කුළු හරකුන්ටය. මේ පැත්තේ ඒ කාලයේ එවැනි හරක් රංචු සිටි නිසා එම නම ලැබී ඇතැයි ගොවිපල අයත් ක්‍රිස් නමැති ගොවි මහතා පැවසීය. මේ ගොවිපළ තිබෙනෙන් බ්‍රේකන් බීකන් ජාතික වනෝද්‍යානය ආසන්නයේ ය නගරයට යාබදවය.

අප නැවතුනේ මේ ගොවිපලේ බාර්න් කොන්වර්ශන්(barn conversion)  එකක් කළ  බංගලාවකය. බාර්න් යනු ඇත්තෙන්ම  වී, තිරිගු , පිදුරු වැනි ගොවිපලේ අස්වැන්න හා නොයෙකුත් ආම්පන්න ගබඩා කරන විශාල ශාලා වැනි  ඒවාය. ඉන් කුඩා ප්‍රමාණයේ ඒවා  බංගලා වලට හරවා  සංචාරකයන්ට නවාතැන් දීමෙන් ගොවිපල අයිතිකරුවන් අමතර ආදායමක් උපයා ගනී.

මේ තියෙන්නේ බංගලාවක් කරන ලද බාන් එකය 
මගේ මිතුරු සරෝජ් සහ ඔහුගේ පවුලත් අපේ පවුලත් ද  සමග ලංකාවෙන්  රැගෙන ආ අරක්කු  බෝතලයකුත්, වයින් බෝතල් කිහිපයකුත් කජු බැදුම් හා බැදපු රටකජු සමග අපි වේල්ස් ගියෙමු. උයන්නට අවශ්‍ය කෑමද රැගෙන ගියේ කුස්සියකුත් තිබෙන හෙයිනි.
ඇතුළත සුව පහසුවට නිමවා තිබේ 

මේ බාන් එක ඇතුලේ තිබු විසිත්ත කාමරයට අපේ නිවෙස් වල ඒ කාලයේ තිබූ දර වලින් උණුසුම සපයන පෝරණුවක් තිබුණි. පහත ඇත්තේ එයයි.
නිවසේ ඇතුළත ඇති උදුන  

අපේ සිත් ගත්තේ මේ නිවසට මෙන්ම අනිත් ගොඩනැගිලි දෙකටද  (ගොවි මහතා ගේ නිවස ද ඇතුළුව) හා අසල තිබූ විශාල බාර්න් එකටද නෑමට උණු වතුර හා කාමර රත් කිරීමට තාපවිකිරක හරහා  යන උණුවතුර සපයන විශාල දර පෝරණුවයි. (Wood Burner)
ක්‍රිස් හා ඔහුගේ දර පෝරණුව

දර පෝරණුව වටේ වතුර යාම සඳහා පයිප්ප පද්ධතියක්  සවිකර තිබේ. ඒ රත්වන වතුර ඉන්පසු යැවෙන්නේ තාප හුවමාරු පද්ධතියටයි. (heat exchanger)
තාප හුවමාරු පධතිය 
මෙයට අවශ්‍ය දර තමන්ගේ අක්කර 18 පමණ වන ගොවිපලෙන්ම සපයා ගන්නා බව ක්‍රිස් පැවසීය. දීර්ඝ ශීත සමයේ නිවෙස් තුනම ඉතා හොඳින් උණුසුම් ව පවත්වා ගත හැකි බවද ඔහු කිවේය. අප සිටි දිනවල කාමර ඉතා හොඳට උණුසුම්ව පැවති අතර උණු වතුරද අඩුවක් නොමැතිව ලැබුණ බැවින් ඔහු කීවේ  ඇත්තකි.

එකතු කරන ලද දැවීමට ගන්නා දර 
මේ පොරනුවෙන් පිටවන් කාබන් ඩයොක්සයිඩ් නිසා ඇතිවන පරිසර දූෂණය හා දර නාස්තිය ගැන අපි ක්‍රිස් ගෙන් විමසුවෙමු.  ක්‍රිස් ට අනුව දර මෙන්ම වෙනත් අපද්‍රව්‍යද  දහනය කරන අතර බොහෝ දර අවට මුකලානෙන් මෙන්ම ඉවත් කරන ලද ඒවාද නිසා ඒවා අපතේ යාම වැළකේ. එංගලන්තයේ ගෑස් බොයිලර් වලින්ද කාබන් ඩයොක්සයිඩ් හා සමහර විටෙක කාබන් මොනොක්සයිඩ් වායුවද පිටවන් නිසා මෙය අවම බවද ඔහුගේ අදහස විය. එසේම  ඔහුගේ ගෑස් බිලද ඉතා අඩුය . (කෑම ඉවීමට පමණක් භාවිතා වේ. )

- ඊළඟට - ක්‍රිස් විදුලිය සපයා ගන්නා ආකාරය

Thursday 11 May 2017

දහයෙන් එහාට

පහේ පන්තියේදී
හතේ පන්තියයි අටේ පන්තියයි 
අටේ පන්තියෙන් නමයට 
නමයේ පන්තිය - නමය නරකද 

නමය පන්තියේ අවසන කාලයේ මම "ළමා සාහිත්‍ය හවුල "  නම් සංගමයක ලේකම් වරයා වුනෙමි. අපේ පැත්තේ තවත් ළමුන් පිරිසක් සමග ශීල ව්‍යාපාර, පොත් ප්‍රදර්ශන, කුඩා සඟරාවක් රෝනියෝ කර පළ කිරීම ආදිය කරන ලදී. කේ ජයතිලක වැනි කතුවරුන් ගෙන්වා කතා පැවැත්වීම, ජාත්‍යන්තර ළමා දින සැමරීම ආදිය ද කරන ලදී. මේවා කළේ  ධම්මදේශ අම්බලම්පිටිය නම් ගුරු මහතෙකුගේ අනුශාසකත්වයෙනි.

මේ සමාජ වැඩ නිසා මගේ ඉගෙනීම මදක් අඩාල විය. එනිසා දහයේ පන්තිය වශයෙන් ලැබුනේ එක දෙක තුන නොව ඉහල අංකයක් සහිත එකකි. ඉන් හොඳක් ද සිදුවිය. මගේ පියා  මට සමාජ වැඩ කොතෙක් තිබුනත් ඉගෙනීම් හරියට කළ යුතු යයි කියා අවවාදයක් දීමයි. සාමාන්‍යයෙන් ඔහු එවැන්නක් කළේ කලාතුරකිනි. නමුත් එම අවවාදය නිසා මා කළේ සමාජ සේවා වැඩ අඩුකර නැවතත් ඉගෙනීමට කාලය වැය කිරීමයි. අපගේ  පන්ති භාර ගුරුතුමිය ඉතා කරුණාවන්ත කාන්තාවක් වූවාය. පන්තියේ දඟ කාරයන් වැඩිවූ හෙයින් ඇයට තත්වය පාලනය මදක් අපහසු වුවද ඇය කර හැරියේ නැත. බාස්කට් බෝල් ගහන කට්ටිය කිහිප දෙනෙක් නිතර දබර කර ගත්හ.

ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැන උගන්නා සංගමයක අනුශාසක වරිය වූ නිසා අප කිහිප දෙනෙක් එයටත් එක් වුනෙමු. අපොස සාමාන්‍ය  පෙළින් සියලුම විෂයන්ට විශිෂ්ඨ සම්මාන (D) සහිතව සමත් වුනත් ඉහත ලිපි වල සඳහන් ගුරුතුමාගේ විෂය ට මට සම්මානයක් පමණක් තිබුණි.   එයට හේතුව මට එම විෂය එපා වීම දැයි අදටත් සිතේ.

උසස් පෙළ පන්තිය තිබුනේ පිහිනුම් තටාකය අසලය.  ඒ දවස් වල බිෂොප් විද්‍යාලයෙන් පිහිනීමට  එන ගැහැණු ළමුන් බැලීමට උදේ දහයට පමණ ඒ පැත්තේ ඇති ජනේල අසල  සිසුන් ප්‍රමාණය වැඩි වේ. ප්‍රීතිමත් අවධියක් වූ මේ කාලයේ මම කලේ වැරැද්දක් දැයි තවමත් නොදන්නා මුත්  ටියුෂන් නොගොස් අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ කරන්නට තීරණය කළෙමි. මෙහිදී සාමාන්‍ය පෙළ  හොඳ ප්‍රතිඵල තිබු පන්තියේ අනිකුත් බොහෝ සිසුන්  ටියුෂන් යන බව දැන  ගතිමි. ඇතැමුන් යූස්ටස් හා කෙමිස්ට්‍රි නානා හෙවත් මිසිස් නානායක්කාර වැනි විද්‍යාලයේ ප්‍රසිද්ධ ගුරුවරුන් ගෙන් ටියුෂන් ගත්හ.  මිසිස් නානායක්කාර ඉතා හොඳ දක්ෂ ගුරුවරියක් වූවාය. සමහරු බණ්ඩාර ගාවට ගියහ. අන්තිමේදී මමද බණ්ඩාරගේ රෝයල් ඉන්ස්ටිට්යුට් එකේ රිවිෂන් පන්තියක විභාගයට  මාස 4 ක් තිබියදී ගෙවල් පැත්තේ යහළුවන් ගිය නිසා ගියෙමි. එහි ටියුට් ලෙස  පරණ ගණන් සෑදු කොළ තොගයක් ලැබුණි.

මගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල හොඳ නිසා අපේ නිවස අවට වෙනත් දෙමාපියන් විසින් තම දරුවන්ට උගන්වන්නට කියා ඉල්ලීම් කර තිබුණි. එම නිසා කිහිප දෙනෙකුට ගණිතය  හා විද්‍යාව උගන්වා මුදලක් උපයා ගතිමි.

අපොස උසස් පෙළ ට මා ලැබූ ලකුණු වලින් මට කොළඹ ඉංජිනේරු පීඨයට යාමට ලකුණු මදි විය. නමුත් කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික හා රසායන විද්‍යාව ඉගෙනීමට තේරී තිබුණි. ඒ කාලයේ වෛද්‍යවරයකු වීමට කොළඹින්  අඩු ලකුණු ලැබූ සියල්ලෝම තෙවැනි වතාවටත් අපොස උසස් පෙළ කර වෛද්‍ය උපාධිය ගැනීමටම උත්සාහ කළහ. එසේ කර පසුව බැරිම තැන රසායන විද්‍යාව සමහ භෞතික විද්‍යාව හෝ බයෝ (බයෝ සයන්ස්) හැදෑරීම  සඳහා කොළඹ විශ්ව විද්‍යාලයට  ගිය මගේ මිතුරන් දෙදෙනෙකුම  අද උසස් යයි සම්මත රැකියා කරති.

මම ඉංජිනේරු උපාධියක් ලබා ගැනීමට 1984 දී සෝවියට් දේශයට ගියෙමි. සෝවියට් දේශයේ ප්‍රකට සමාජවාදය යටතේ ඉන්ජිනේරුව හා වෛද්‍යවරයා යනු තවත්  රැකියා දෙකක් පමණක් බව තේරුම් ගතිමි. ලංකාවේ ලකුණු සම්මතය අනුව මොරටුව ට යන සිසුන් පසුව  ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු, විදුලි ඉංජිනේරු, යාන්ත්‍රික ඉංජිනේරු, රසායන විද්‍යා ඉංජිනේරු වශයෙන් තෝරා ගන්නා අතර වෛද්‍ය විද්‍යාලයට තේරුනේ නැතිනම්  වෛද්‍ය, පශු වෛද්‍ය, දන්ත වෛද්‍ය , කෘෂි කාර්මික ආදී පීඨ වලට  තෝරා ගනී. හොඳින් සාමාන්‍ය පෙළ සමත් නම් බොහෝවිට විද්‍යා විෂයන් හැදෑරීම ලංකාවේ  සිරිත වේ. ආර්ථික විද්‍යා විෂයන් හා කලා විෂයන් වලට යන්නේ අඩු ප්‍රතිඵල වලිනි. (එසේ නොවන අයද අතලොස්සක් සිටියහ.)

සමාජවාදී  සෝවියට් දේශයේ භෞතික  විද්‍යාව, රසායන විද්‍යාව, ගණිතය, ආර්ථික විද්‍යාව, දර්ශන වාදය ආදියට මුලික තැනක් ලැබී තිබුණි. මේ අනුව මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ ලොමොනොසොව් මණ්ඩපයේ මේ විෂයයන් සඳහා මුල් තැන දී තිබුණි. විද්‍යාඥයන් බිහි කරන විද්‍යා ඇකඩමි වලට තෝරා ගත්තේ මේවායිනි. මිට අමතරව ඉංජිනේරු හා වෛද්‍ය පීඨ වලද පර්යේෂණ සඳහා ඉඩකඩ සලසා තිබුණි.

මා  පසුව ජිවත් වන එංගලන්තයේ මෙන්ම මා  දන්නා පරිදි ජර්මනියේ ත් වෛද්‍ය විද්‍යාව හා සමහර ඉංජිනේරු විෂයන් හැදෑරීමට තරමක් වැඩි ලකුණු අවශ්‍ය වේ.  එයට හේතුව ඒවාට ඉල්ලුම් කරන සිසුන් සංඛ්‍යාව තරමට විශ්ව විද්‍යාල වල ඉඩ නොමැති වීමයි. එසේ නොමැතිව ඇතුළු වීමට  වැඩි ලකුණු තිබ්බේ නැතිනම් ලෙඩුන් මැරෙන නිසා වැනි හේතුවකින් නොවේ.  ජර්මනියේ එසේ තෝරා නොගෙන එහෙත් සුදුසුකම් ඇති සිසුන් සඳහා එකම එක පෞද්ගලික විශ්ව විද්‍යාලයක් (Witten-Herdecke) තිබේ. (අනිත් ඒවා නොමිලේය). යුරෝපයේ හා ලෝකයේ අන් රටවල වෛද්‍ය විද්‍යාල වලට ඇතුලත් වීමට අවශ්‍ය සුදුසුකම් මෙහි දැක්වේ.

ඕනෑම විශ්ව විද්‍යාලයක පැවැත්මට ප්‍රමිතියක් අවශ්‍ය වේ. එම ඉගැන්වීමේ ප්‍රමිතීන් අනුගමනය කරන්නේ නැත්නම් එම උපාධියට පිලි ගැනීමක් නැත. එසේම වැඩියෙන් ලකුණු ලැබෙන තැනැත්තාට ස්ථානයක් ලැබීමේ ක්‍රමයද සාධාරණය. එදා සෝවියට් දේශය හෝ අද  ෆින්ලන්තය වැනි රටවල අවශ්‍ය තරම් විශ්ව විද්‍යාල වල ඉඩ තිබූ හා තිබෙන හෙයින්  ප්‍රශ්නයක් පැන නැගුනේ  ද නැත.

දැන් මා පහේ පන්තියේ ඉගෙනීමේ ලබා ගැනීමේ සිට මේ කතා පෙළ ලීවේ කිසියම්  හේතු කිහිපයක් ඇතිවය.   මට ගුරුවරයකු දිනෙක  තේරුමක් නැතිව ගැසූ නිසා හෝ රාජකීය විද්‍යාලය වෙනුවෙන් තරඟයකට සහභාගී වී දිනූ බව ලියන්නට නොවේ. මා අපව  විවේචනය කරන බොහෝ අය මෙන්ම තවත් එක ශිෂ්‍යයකු ලෙස සිටි බවත්,  අසාධාරණ කම් කොතැන සිටියත් සිදුවෙන බවත් ඒවා මැඩ පවත්වාගෙන ඉගෙනීම කළ යුතු බවත්  කියන්නටය.

හේතු වලින්  පළමුවැන්න නම් පහේ  ශිෂ්‍යත්ව සමත් වූ පසු  කොළඹ හෝ වෙනත් නගරවල හොඳ විද්‍යාල ලබාදී ඉන්පසු එම ශිෂ්‍යත්ව ලාභී සිසුන්ම අපොස උසස් පෙළ විභාගයේදී ගත් ලකුණු වලට වඩා අඩු ලකුණු ගත් සිසුන් විශ්ව විද්‍යාලයට එම ප්‍රදේශ වලින්ම විශ්ව විද්‍යාල වලට තෝරා ගැනීමේ අසාධාරණයයි. (කවුදෝ දැන් මෙය මෙසේ නොවේ යයි ප්‍රතිචාරයක දමා තිබුණි) මා කතා කරන්නේ 1984 තත්වය ගැනය. දැන් දිස්ත්‍රික් ක්‍රමය වඩා සාධාරණ දැයි නොදනිමි.

මෙහිදී මා හිතවත් වෛද්‍යවරයෙක් මෙවැනි කතාවක්  කීවේය. දක්ෂයා නම් කොහේ වුනත් වැඩි ලකුණු ලබා ගතයුතු බවත් ඔහු දන්නා අයෙක් දුෂ්කර පළාතක A 3 ක් හෝ හතරක් ලබා වෛද්‍ය විද්‍යාලයට පැමිණි බවත්ය. මේ ගැන විවාදයක් නැති මුත් මේ කතාවේ කිසියම් අසාධාරණයක් ගැබ්ව පවතී. අප ඈත පළාත් වල විදුහල් වල පළමු පන්තියේ  සිට පළවෙනියා  වෙමින් පැමිණ ඉන්පසු හොඳ පාසැලකට  ගිය විගස එතැන උගන්නා   සියල්ලෝම  ශිෂ්‍යත්ව සමත් වූවන් වන බැවින් අර පළවෙනියා  වීම ඉබේම මග හැරේ. එක වගේ දක්ෂ හැමෝටම පළවෙනියා  විය නොහැකිය. ඉන්පසු විශ්ව විද්‍යාලයට යාමට  සුදුකම් ලැබුවත් පිට පළාතක තමන්ට වඩා අඩු ලකුණු සහිත කෙනෙකුට ඒ තැන ලැබෙන විට එහි දී අනිවාර්යයෙන්ම අසාධාරණයක් සිදුවේ. මෙහිදී දිස්ත්‍රික් ක්‍රමයට අඩු ලකුණු වලින් එන සිසුවා  ගැන තරහක් නැත. ඇත්තේ රාජ්‍ය අධ්‍යාපන ප්‍රතිපත්තිය ගැන කළකිරීමකි. "උඹලා  ශිෂ්‍යත්වේ පාස් වෙලා ගියා නම් හොඳම ලකුණු ගනිල්ලා" වැනි දෙයක් ඉහත  වෛද්‍යවරයාගේ ප්‍රකාශයේ ගැබ්ව පවතී. නමුදු එය විශ්ව විද්‍යාලයකට ඇතුළු වීමට අනිවාර්ය අවශ්‍යතාවයක්  නොවේ.

දෙවැනි කාරණය  නම් කොළඹ ඇති  පහසුකම් අඩු පාසල් වල සිටින දරුවන්ට යන කළ දසාව කුමක්ද යන්නය. මේවා රාජකීය , ආනන්ද, නාලන්ද, විශාඛා, දේවී බාලිකා වැනි පාසල් සමග තරඟ කළ යුතුද? මා පහේ පන්තියේ (ඉහත ලිපිය බලන්න) උගත් ශාන්ත මයිකල් (එහි  ගුරුතුමෙක් හැකිතාක් උත්සාහ කර  මේ විද්‍යාලයෙන් මට පිටව යන්නැයි අවවාද කළේය ) , කොම්පඤඤ විදියේ සිරි සාරි පුත්ත මෙන්ම, දෙහිවල, රත්මලාන පැතිවල කොටහේනේ මෙන්ම තවත්  තවත් කොළඹ ප්‍රදේශ වල  පහසුකම් නැති ගුරුවරු නැති කුඩා පාසල් විශාල  ප්‍රමාණයක් තිබේ. මේවායේ සමහර ළමයි පමණක් ටියුෂන් කඩ වලට යති. යාපනය, නුවර වැනි නගරවල  ද තත්වය මෙයයි. දිස්ත්‍රික් ක්‍රමයට පහසුකම් අඩු ගම්වල ළමයින්ට දෙන වරප්‍රසාදය මේ කුඩා පාසැල්  වල උගන්නා සිසුන්ට ලැබෙන්නේ නැත. කොළඹ හැම දෙයක්ම සුපිරි නැත.

තුන්වැනි කාරණය නම්  සමාජ ජාල වල තර්ක කරන ඇතැම් තමන් සමාජවාදීන් ලෙස හා  නිදහස් අධ්‍යාපනයට පක්ෂ වුවන් ලෙස හඳුන්වා ගන්නා අය අප විභාග සමත් නොවී වෙනත් රටවලට ගොස් මෙසේ සෝවියට් දේශය ගැන,  නිදහස් අධ්‍යාපනය ගැන විවේචන  කරන බවට කරන චෝදනාවයි. මගේම  අත්දැකීම් තුලින් මට  පැහැදිලි කරන්නට  අවශ්‍ය වන්නේ ලංකාවේ  විශ්ව විද්‍යාල වලට යාමට වරම් ලැබුවත් ලංකාවේ පිළිගත් තත්ව  අනුව හා දෙමාපිය බල කිරීම මත  ඉන් සෑහීමකට පත් නොවී සිසුන් වෙනත් රටවල ඉංජිනේරු, වෛද්‍ය උපාධි ගැනීමට නික්ම යන බවයි. මා වැනි එසේ කල බොහෝ දෙනෙක් සිටි. ඊට අමතරව ඒ හේතුව නිසාම ලංකාවේ පෞද්ගලික අධ්‍යාපන ආයතන වලට (ඉංජිනේරු වෘත්තීන්, ගණකාධිකරණය වැනි)  හා විවෘත විශ්ව විද්‍යාලයට ඇතුල් වන සිසුන්  පිරිසද බොහෝය. ඒ කිසිවෙක් ඉගෙනීමේ දුර්වලයෝ නොවෙති. එකෙකු දෙන්නෙකු සිටීමට ඉඩ ඇති මුත් එවැනි අය බොහෝ විට මගදී පාඨමාලා හැර යති.

ඉතින් සමාජවාදී රටවල එවැනි වෙනස් කමක් නැත්නම් වැඩිම ලකුණු ප්‍රමාණක් ගත්  සිසුන් පමණක් මිස,  උසස් පෙළ සමත්ව විශ්ව විද්‍යාලයකට යාමට සුදුසුකම් ඇති අයට එසේ ඉගෙනීමට ඉඩ දිය නොහැකි යයි තර්ක කරන්නේ කෙසේද? අපොස උසස් පෙළ සමත්වන අයගෙන් 20% ඇතුලට යද්දී  ඉතිරි විභාගය සමත් අයට කරන්නේ කුමක්ද? සයිටම් එකට යන්නේ ඉන් 1%-2% පමණය. ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය නිසාම වැඩිදුර ඉගෙන උසස් පෙළ සමත් වන  සිසු පිරිස අති විශාල නිසා මානුෂික වශයෙන් විසඳිය යුතු ප්‍රශ්නයක් මෙතැන නැත්ද?

ශ්‍රී ලංකාවේ ඇති  නිදහස් අධ්‍යපනය නිසා හා මධ්‍යම පන්තික සමාජ ස්තරයට පිවිසෙන්නට හෝ තිබෙන ස්ථානය රැක ගන්නට  සිංහල, දෙමළ මුස්ලිම් ජනවර්ග තුනේම දෙමාපියෝ තම දරුවන්ට හොඳ ඉගෙනීමක් ලබා දීමට  දැඩි වෙහෙසක් ගනිති. එසේ කරන්නේ දුප්පත් පොහොසත් භේදයක් නැතිවය.

බටහිර රටවල වෙසෙන අපේ ශ්‍රී ලාංකිකයන්  දරුවන් යවන්නේ තිබෙන හොඳම  පාසල් වලටය. හතරේ පන්තියේ සිට  ටියුෂන් යවා ග්‍රමර් විදුහල් හෝ හොඳ පෞද්ගලික විදුහලකට දමා ගනිති. මේ කිසිවෙක් කළු ජාතිකයන් ගේ හෝ දේශපාලන අනාථයින් ගේ ළමුන් වැඩිපුර උගන්නා  පාසල් වලට  තම ළමයින් ඇතුලත් කරන්නේ නැත. (ඒ පාසල් ටේබල් එකේ පහලය) ඉන්පසු ණය වී හෝ හොඳම විශ්ව විද්‍යාලයටද  යවති. මට කිසි ඉරිසියාවක් නැත. එහෙත් මේ අය අතර අර සමාජවාදී ජවිපෙ, පෙසප හා අනිකුත් දේශපාලන පක්ෂ වලට අයත් දෙමාපියන්ද සිටී. ඔවුන් හා සයිටම් ළමයින් ගේ දෙමාපියන් අතර වෙනස කුමක්ද?  මේ වාමාංශික දෙමාපියන් එසේ කරනේ තම දරුවන්ද අර උගත් සමාජ ස්තරයට ඇතුළත් කිරීමට නොවේද? බටහිර රටවල සිටින මේ අයට සමහර විට ණයවී දරුවන් අධ්‍යාපනයට යොමු කරන ලංකාවේ දෙමාපියන්ට වඩා මුදල් ඇත.

ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය අතිශයින් තරඟකාරී එකකි. බොහෝ දරුවන් ට උගන්වන්නේ ආත්මාර්ථකාමී වීමටය. අර හතේ පන්තියේ සිද්ධියේදී මෙන් සමාජ අධ්‍යයන පොත පෙන්වන්නට වත් මැලිවෙන සිසුන්ය සිටින්නේ.

දැනට වසර දහයකට පමණ පෙර එංගලන්තයේ සුදු ජාතිකයන් පෞද්ගලික ටියුෂන් දුන්නේ දුර්වල සිසුන්ට පමණි. ග්‍රමර් විදුහල් වල විභාග වලට පෙනී සිට සහජ දක්ෂතා ඇති සිසුන් පමණක් තේරුනි. ඉන්දියානු, චීන,  ශ්‍රී ලාංකික දෙමාපියන් මේ තත්වය සහමුලින්ම වෙනස් කළහ.  දෙකේ පන්තියේ සිට තම දරුවන් ටියුෂන් යවා මේ පාසල් වලට දරුවන් දමා ගනී. (දෙමළ ජාතිකයන් අතර මේ තරගය ඉතා දරුණුය. දරුවා බැරි වෙලාවත් අසමත් වුනොත් දවස් ගාණක් නොකා නොබී වැළපෙති. -ඇසින් දුටු  සිදුවීමක් තිබේ).

අපේ දරුවන් ගේ ජ්‍යෙෂ්ඨ පන්ති සඳහා විදුහල් සෙවීමේදී අප නිවෙසට නුදුරු  බානට් නගරයේ උසස් කාන්තා විද්‍යාලයක් බලන්නට ගියෙමු. එහි කලින් වසරේ එක පන්තියක සිසුන් සියල්ලම පාහේ  දෙමළ වූ අතර එක අයෙක් සිංහල හා දෙතුන් දෙනෙක් චීන විය. ඒ පැත්තේ දෙමළ ජාතිකයන් වැඩිපුර නොසිටින නිසා දෙමළ  සිසුවියක ගෙන් මා ඇසූ කල දැනගත්තේ ඇය කාරයකින් ඒමට පැය  දෙකක් පමණ ගතවන දුරක සිට එන බවය. (හැතැප්ම 120 පමණ)  මෙම විදුහලේ සීමිත දුර සීමාවට ඇතුලත් වීමට දෙමාපියන් මොකක් හෝ බොරුවක් කරන්නට  ඇත.

විශ්ව විද්‍යාල වලට යන සුදු ඉංග්‍රීසි ජාතික සිසුන් මේ පැති  වලින් ඒම අඩු වීමත් ඉංග්‍රීසි ජාතිකයන් දරුවන් ටියුෂන් යැවීම ප්‍රතික්ෂේප කිරීමත් නිසා අමාරු ඉංග්‍රීසි භාෂා විභාගයක්  පැවත්වීමට මෙම විදුහල් දැන් කටයුතු කර තිබේ.  ඉන් ආසියානු සිසුන් ඇතුලත් වීම අඩුකර සම තුලිතතාවට පත් කිරීම ඔවුන්ගේ අභිප්‍රායයි. නමුත් ඉංග්‍රීසි භාෂා විභාගය සඳහාද හතු පිපෙන්නාක් මෙන් ටියුෂන් කඩ ඇතිවී තිබේ. දැන් මෙහිද එකම තරඟයකි. එනිසාම කොන්සර්වටිව් රජය තවත් ග්‍රමර් විදුහල් පිහිට වීමට යෝජනා කර තිබේ.

ඊළඟ ප්‍රශ්නය නම් මේ ආසියාතික සිසුන් බොහොමයක් වෛද්‍ය හා ඉංජිනේරු විෂයන් තෝරා ගන්නා නිසා මේ  විදුහල් වල අනිකුත් විෂයන් (ඉංග්‍රීසි සාහිත්‍ය, ඉතිහාසය , භූගෝලය වැනි  ) වලට  බරපතල බලපෑමක් එල්ල වීමයි. විශ්ව විද්‍යාල පවා මේ තත්වය ගැන කණගාටුව පළ කර තිබේ. මගේ බිරිඳ උගන්වන ග්‍රමර් විදුහලේ පසුගිය වසර තුනට සිසුන් තිදෙනෙකු සියදිවි නසාගෙන තිබේ. තිදෙනාම ආසියානු සම්භවයකින් යුත් අයය.  ඒවා පුවත්පත් වලට නිකුත් කිරීම වළකා ලීමට  විදුහල් පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ. මගේ බිරිඳ පවසන්නේ නිවෙස්  වලින් එල්ලවූ බලපෑම් මත මේ සියදිවි නසා ගැනීම් සිදුව තිබෙන බවයි. තමන් උගත් අය නොවන නිසා තම දරුවන් ටියුෂන් යවන බව බොහෝ ආසියාතික දෙමාපියන් පවසති. නමුත් එංගලන්තයේ උගැන්වීම් පහත වැටී ඇත්නම් එසේ වී ඇත්තේද ගුරුවරු හිඟයක් ඇතිවී තිබෙන්නේද  හැමෝම ඉංජිනේරු වෛද්‍ය වෘත්තීන්  සඳහා පුහුණු වීමට යාම නිසා විය නොහැකිද? (මේ තත්වයට වෙනත් හේතුද තිබේ.)

සමහර වෙලාවට ලංකාවේ සමාජවාදීන් කියන විකාර නොව සෝවියට් දේශයේ තිබූ ක්‍රමය හෝ ෆින්ලන්තයේ තිබෙන ක්‍රමය වඩා හොඳ යයි මට සිතේ.  කිසිම වෘත්තියකට හෝ පාඨමාලාවකට අමුතු තැනක් නැත. පාසල් නම් කර ඇත්තේ අංක වලින් පමණි.  දුන්න පාසලට යා යුතුය. විභාග ඇත්තේ ඉගෙනීමේ තත්වය බලන්නටය. ලංකාවේ අධ්‍යපන ප්‍රතිපත්තියම වෙනස් විය යුතු යයි ම කියන්නේ එනිසාය.

(මේ ලිපි පෙළ මෙතනින් සමාප්තය.)




Friday 5 May 2017

නිර්මාල් එන්න ෆොන්සේකා සමග මල් නෙලන්න

මා විසින් 2014 ඔක්තෝබර්  මාසයේ (මහින්ද රජයේ අවසන් සමයේ ) ලියු ලිපිය මෙයයි. නිර්මාල් එන්න මල් පිපී දැයි බලන්න. විමුක්ති දේශපාලනයේ විභවය සොයා . මේ ලිපිය ජනරළ පුවත්පතේ සහ ත්‍රිමාණ වෙබ් අඩවියේ  පළවුණි. එදා  රාමචන්ද්‍ර ගේ අඩවියේ, නිර්මාල්, ජවිපෙ සිංහල ජාතිකවාදය සමග උපාය මාර්ගික සන්ධානයකට යන බවට චෝදනා කළ අතර නිර්මාල් එය ප්‍රතික්ෂේප කළේය.  සුමිත් චාමින්ද නිවැරදි ලෙස කීවේ  නිර්මාල් දේවසිරි මහතා සහයෝගය දෙන මේ පොදු අපේක්ෂක ව්‍යාපාරය තුල ඇත්තේ දක්ෂිණාංශික විභවයක් බවයි. නිර්මාල් එයද ප්‍රතික්ෂේප කළේය. නිර්මාල්ට   ඇත්තටම අමතක වෙන තරමක්.

නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා හිටපු ගමන් අමුතු කතා කියයි. එයට ඇත්තම හේතුව ඔහුට කාලයකට කලින් ඉහත දී තමන් විසින්ම කරන ප්‍රකාශ හිටි හැටියේ අමතක වීමයි. වයසට යනවිට වෙන අමතකවිමක් වන්නටද  බැරිය.  පසුගිය දවසක ගෝඨාභය රාජපක්ෂ මහතා  2020 එන්නේ නම් හොඳ බව නිර්මාල් රන්ජිත් පවසා ඇත. මා කීවේ ගෝඨාභය මහතා කොතරම් හොඳ  හෝ නරක වුවත් ඔහුට ජනාධිපති  වීමට අවකාශයක් ඔහුගේ පැත්තෙන් නොලැබෙන බවයි. ගිය වසරේ (2016) දෙසැම්බරයේ මා ලිවූ  ගෝඨා හෝ මා හෝ ගංගා හෝ ලිපිය බලන්න.

සිනහවට කරුණ නම් නිර්මාල් කියන දෙයෙහි වැදගත්කමක් ඇති බවත් මා   කියන දේවල් කුඩු කෑ එකාගේ කතා බවත් (රාජිත සේනාරත්න සමග නෙළුම් යායේදී එක වේදිකාවේ  සම්මාන දීම සඳහා සිටි නිසා)  කලක් පෙසපෙට සම්බන්ධව සිටි (හෝ තවමත් සිටින) මිතුරන් පිරිසක් බුකියේ අවලාද නැගීමයි.

ගෝල්ෆේස් පිටියේ මහින්ද රාජෝත්තමයාණන්  බැහැ දැකීමට පැමිණ සිටි ලක්ෂයකට අධික මහා සෙනග දැක වයර් මාරුවුනු නිර්මාල් දේවසිරි තවත් කතාවක් කියා තිබේ. ඒ මෙසේය. මෙය උපුටා ගත්තේ නිර්මාල්ගේ ෆේස්බුක් බිත්තියෙනි.
//ගොල්ෆේස් රැළියේ දේශපාලන ඇගවීම ඉතා පැහැදිළිය. එනම් තව දුරටත් ආණ්ඩුවට පැවැතීමට සිංහල-බෞද්ධ ජනයා අතර දේශපාලන සුජාතභාවයක් නොමැති බවයි. ජාතික මට්ටමේ තීරණාත්මක මැතිවරණයකින් ජය ගැනීම ගැන සිතීමටවත් නම් රනිල්-මෛත්‍රී සංධානයක් තවත් ශක්තිමත් වී දෙමළ මුස්ලිම් පක්ෂ වල සහය ඊට මුළුමනින්ම ලබා ගැනීම අවශ්‍ය වේ. ඒ මගින් වුනත් ඊට බහුතරයක් ඡන්ද ප්‍රමාණයක් ගැනීමට ඇති හැකියාව බෙහෙවින් අඩුය. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා, හොර ඡන්ද දමීම් (දැන් එවැනි දේ පහසු නැතත්) මගින් ජය ගත්තත් එය ක්ෂණික් දේශපාලන අර්බුදයකට පාර කපනු ඇත. එය සාමකාමීව රාජපක්ෂවරු නැවත බලයට පැමිණීමට වඩා බරපතල තත්වයක් වනු ඇත. කෙසේ වෙතත් මේ තත්වය තුළ රාජපක්ෂ ව්‍යාපෘතියට පිටතින් වූ විකල්පයක් දකුණ තුළ ගොඩ නැංවීම යන්න දැනට කිසිසෙත්ම හැකි දෙයක් නොවේ. ප්‍රංශයේ මෙන් ල පෙන් ට විරුද්ධව මැක්‍රොන් ජයග්‍රහණය කරවීම වැනි ක්‍රියාමාර්ගයක් කිසිසේත්ම දීර්ඝකාලීන වශයෙන් ප්‍රෙයා්ජනවත් වන්නක් බව නොපෙනේ//

නිර්මාල් එදා 2014දී  තර්ක කලේ ප්‍රමාණය ගුණය වීම ගැනය. නිර්මාල් ගෝල්ෆේස් පිටියේ ජන සංඛ්‍යාව අනුව අරගලයක  ගුණාත්මක භාවය වැඩි වේ යයි සිතන්නේද ඒ මත පිහිටා  විය යුතුය. එදා නම් මා ඔහු සමග එකඟ වීමි. ඒ සෝභිත හිමිගේ ව්‍යාපාරය සම්බන්ධවය. එහිදී මා වාමාංශය හෝ පොදු විපක්ෂය ගතයුතු ක්‍රියා මාර්ගය අවධි කිහිපයකින් යුක්ත වන බවට  යෝජනා කලෙමි. පහත පින්තුරය උපුටා ගත්තේ මගේ 2014 ලිපියෙනි.

කාලය y අක්ෂයේත්  අරගල සහභාගිත්වයේ ප්‍රමාණාත්මක වැඩි වීම X අක්ෂයේත් පෙන්වා ඇත. 



මෙහිදී වාමාංශික පක්ෂ මුල් තැනට එනු වෙනුවට සිදුවූයේ ජවිපෙ විසින් ගුණාත්මක සහයෝගයක් පොදු විපක්ෂ අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන ට ලබා දීමයි. මේ අනුව සුමිත් චාමින්ද හා ජවිපෙන් තොර වම කියූ ආකාරයටම දක්ෂිණාංශික විභවයක් සහිත මෛත්‍රී-රනිල් ආණ්ඩුව බිහි විය.  පෙසප ඉදිරි ක්‍රියා මාර්ගය ගත්තේ මහින්ද මහතා (රජු) බැලීමට  එන සිංහල  ජනතාව දෙස බලාය. කුමාර් ගුණරත්නම් ජවිපෙට මෙන්ම පොදු අපේක්ෂකයාට විරුද්ධ වීමට ලංකාවට දෙසැම්බර් 31 දා ගියේ මේ අනුවය. කොටින්ම සුමිත් චාමින්ද කෙසේ කීවත් ඔහු  සහ පෙසපේ ඇතුළු ජවිපෙට එරෙහි වම සිතුවේ දිනන්නේ නැවතත් මහින්ද මහතා බවය. නමුත් ජවිපෙ නායකත්වය තත්වය නිවැරදිව ග්‍රහණය කළේය.

මා කිවේ මැතිවරණය ජය ගැනීමෙන් පසු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රජයක් පිහිටුවිය හැකි බවය.  කෙසේ හෝ දක්ෂිණාංශික විභවයක් සහිත රජයක් පිහිටවූ පසුව හෝ  ජවිපෙ හා ජවිපෙට විරුද්ධ වමට කළ යුතුව තිබුනේ පොදු වාමාංශික අරගල මධ්‍යස්ථානයක් තුලින් සාධාරණ ප්‍රතිවිරෝධයක් දිගින් දිගටම ගෙන යාමය. මේ ප්‍රති විරෝධය හරහා එන සටන  රජය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයකට ගැනීමට මෙන්ම වඩා ජනතා හිතවාදී රාජ්‍ය පාලනයකට හා බෙදීම් අඩු සමාජයකට, සුළු  ජාතීන් ගේ අයිතීන් හා ආරක්ෂාව රකින සමාජයක් දක්වා ගෙන යාමට  යොදා ගත හැකිව තිබුණි. නමුත් සිදු වූයේ රාජ්‍ය බලය,  හමුදාව හා පොලිසිය හරහා හිමි කරගත්  ප්‍රයෝගික වශයෙන් දුර්වල, ආධුනික ඇමතිවරුන්ගෙන් යුත් රජයක් බිහි වීමය. ඔවුන් රජය ගෙනයන්නේ FCID නම් පොලිස් මූල්‍ය අපරාධ අංශය නිසා යන චෝදනාව සාධාරණය වන්නේ මෙහිදීය.

ගෝල්ෆේස් පිටියේ සෙනග කොපමණ සිටියාද යන්න  ප්‍රශ්නයක් නම් එය ගණනය කළ හැකිය. එය අක්කර 12 ක් හෙවත් හෙක්ටයාර 5 කි. එනම් වර්ග මීටර 50000 කි. සෙනග පාරේද සිටියහ. පාර  මීටර 500 පමණ දිග  මීටර 15 පමණ පළල එකකි. ඒ අනුව ගාලු පාර  වර්ග මීටර 7500කි යයි අනුමාන කරමු. වර්ග මීටරයකට පෙරලෙන්නේ නැතිව සිටිය හැකි මිනිසුන් ප්‍රමාණය 3 කි. මෙය බලන්න. ඒ අනුව දල වශයෙන් ජනතාව  57500*3=1,72 500. (එක් ලක්ෂ හැත්තෑ දෙදාහක්) පමණ සිටින්නට ඇත. අක්කර 3 පමණ  වන ගැටඹේ මේ අනුව සිටින්නට ඇත්තේ 36000 පමණ විය හැක.  අවට මාවත් හා එළියේ සිටි පිරිසත් අනුව පොලිසිය දුන් 58000 ගැන එකඟ විය හැකිය. කැම්බෙල් පිටියේ විශාලත්වය  නොදන්නා අතර එහි  එහි 70000-80000 පමණ සිටියා  යයි පොලිසිය කියයි. ජවිපෙ රැලියට 10,000 පමණ සිටියා යයිද කියති. ටී එන් ඒ හා  රාජිත ගේ වෙනම පැවැත්වූ යාපන රැලි , තොන්ඩමන්ගේ, කඳුරට ජනතා පක්ෂයේ සහ කුඩා වෘත්තීය කණ්ඩායම් වල මැයි  රැලි වල සෙනග 20,000 පමණ යයි අනුමාන කොට ගත හැකිය. (රූපවාහිනී වාර්තා හා පුවත් පත් වාර්තා පින්තුර ඇසුරෙන්)  මේ සියල්ල ගණනය කල විට 166,000 (එක ලක්ෂ හැට හය දහසක්) පමණ වේ. රජයක් අවුරුදු දෙක සමරන සමයේ මෙය බලාපොරොත්තු විය හැකි සංඛ්‍යාවකි.

මේ අනුව පවතින  රජයට බැරි මරගාතේ හෝ යන්තම් රැඳී සිටින්නට හැකි ජනතාවක් තවම  සිටී.  එසේම මහින්ද මහතා 2005 දී ජය ගත්තේ ප්‍රභාකරන් යාපන ඡන්ද වැළැක්වූ නිසා බවද  නොරහසකි. ඔහු 2010 ජය ගන්නා  විට යුද්ධය ජය ගෙන සිටි අතර බොහෝ එජාප පාක්ෂිකයන් ගේ ඡන්ද සහ පාවෙන ඡන්ද ද ඔහුට ලැබුණි. නැවත මහින්ද රජයක් ගෙන  ඒමට නම් ඔවුන් ශ්‍රී ලංකාවේ සුළු ජාතිකයන්  ගේ  චන්ද මෙන්ම එජාප පාවෙන චන්දද ලබා ගත   යුතු වේ.

ඒ නිසා නිර්මාල් රන්ජිත්  දේවසිරි කියන ආණ්ඩුවට සිංහල බෞද්ධ ජනතාව  අතර සුජාත භාවයක්  නොමැති වීම විහිළුවකි. එහෙම එකක් මේ ආණ්ඩුවට කොහොමත් තිබ්බේ නැත. එහෙමේ දෙයක් තිබුණා නම් තිබ්බේ  රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලනිපයට, හෙළ උරුමයට හා යම් තරමකට ජවිපෙට  පමණය. හෙළ උරුමය දෙකඩ වී එක පැත්තක් ඒකාබද්ධේද  අනිත් පැත්ත රජයේද සිටී.

මේ අනුව නිර්මාල් කියන පරිදි ගෝඨාභය රාජපක්ෂ මහතා නොව, බැසිල් රාජපක්ෂ මහතාගේ දේශපාලන ඩීල් මත ඊළඟ ආණ්ඩුව ලෙස ඒකාබද්ධ විපක්ෂය පත්වීමේ ප්‍රවණතාවය වැඩිය. ගෝල්ෆේස් පිටියේ ගෝඨාභය මහතා නොව මහින්ද - බැසිල්-විමල් ත්‍රිත්වයේ වැදගත්කම වඩාත් ඉස්මතු වී පෙනුණු බව මගේ හැඟීමයි.

දැන් කල්පනා කල යුත්තේ අද පැවැත්වෙන සයිටම් විරෝධී වර්ජනය   වැදගත් වන්නේ කෙසේ ද යන්නය? සයිටම් පිලිබඳ මධස්ථ සිතින්  යනුවෙන් ලියූ ලිපියේද සඳහන් පරිදි මා නම් පෙනී සිටින්නේ සයිටම් විශ්ව විද්‍යාලය වසා දැමීමට නොවේ. සමස්ත අධ්‍යපන ප්‍රතිපත්තියම වෙනස් කිරීම  සඳහාය.   ටියුෂන් කඩ හා ගුරුවරුන් හවසට  ටියුෂන් දීම තහනම් කළ යුතුය. පහේ ශිෂ්‍යත්වය නැති කළ යුතුය. රජයේ මුදල් වැඩි ප්‍රමාණයක් ග්‍රාමීය පාසල් වලට ආයෝජනය  කර දිස්ත්‍රික් ක්‍රමයට විශ්ව විද්‍යාල වලට සිසුන් ගැනීමද  නතර කළ යුතුය.

වර්ජන කරන්නට වෙන ඕනෑ තරම් හොඳ හේතු තිබේ.

බැඳුම්  කර ප්‍රශ්නයට පිළිතුරක් ලබා දිය යුතුය.
ඉහල යන ජිවන වියදම පහත හෙළිය යුතුය.
ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට මෙන්ම රජයේ සේවකයන්ට ද දෙන වාහන පර්මිට් නතර කළ යුතුය. ඔවුන් ලංකාවේ  අනිත් වැසියන් සමග මහා ලොකු ගෞරවණිය ස්ථානයක නැත. ඔවුන්ට මෙහි සඳහන් අධික මිල සහිත වාහන ගෙන්විය යුතු නැත.
විදුලි බලය හා ගෑස් මිල පහත හෙලීමට කටයුතු කල යුතුය. (ස්වභාවික ක්‍රම ආදියෙන් )
කුණු ප්‍රශ්නයට වහා විසඳුමක් දිය යුතුය.
සුළු ජාතීන්ගේ ප්‍රශ්නයට ඉක්මන් විසඳුමක් දිය යුතුය.
අධ්‍යාපනයට මුදල් වැය කිරීම  වැඩි කර ගුරුවරුන්ට වැඩි පඩියක්  දිය යුතුය.
රෝහල් පද්ධතිය වැඩි දියුණු කර සියලුම සුව සේවකයන්ට වැඩි පඩි දිය යුතුය.

මෙන්න මේවා වර්ජනය කරන්නට හේතුය. ආණ්ඩු පෙරලෙන්නේ ඒවාටය.  අර "නිර්මාල් එන්න මල් පිපී දැයි බලන්න " ලිපියේ පාවෙන  හැඟවුම් කාරක හෙවත් අරගල සඳහා වියදමක් නැති සටන් පාඨ මේවාය. නැතිව තවත්  බමුණු කුලයක් බවට පත්ව සිටින එක්තරා සංගමයකට සහය පිණිස අන්තරේ කඩේ යැවීම නොවේ.

දීප්ති කුමාර ගුණරත්න සහ ඔහුගේ පෙරටුගාමී පක්ෂය මෙහිදී සිට ගන්නේ වාමාංශය පැත්තේය. ඔහු පවසන්නේ සුළු ජාතික ප්‍රශ්නයට විසඳුමක් දීම මෙන්ම සමස්ත ධනවාදී ක්‍රමයටම විරෝධයක් ගොනු  කළ යුතුය කියාය. එසේම  ඔහු පීඑම්සී (රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය) ට විරෝධය පළකර පසුව හිංසාවට පෙරලී  රාජ්‍ය යන්ත්‍රයේ දැඩි මර්දනයට ලක්වුණු ජවිපෙ හිංසාවාදී ව්‍යාපාරයේ සිටියේ නැතැයි සිතමි. අජිත් පැරකුම් ජයසිංහ, දීප්ති කියන්නේ විකාර යයි සලකන අයෙකි. නමුත් අජිත් පැරකුම් ඉහත කී ව්‍යාපාරයේ සිට සිරගතව හිංසන විඳ එලියට පැමිණි අයෙකි. කුමාර් ගුණරත්නම් ද එලෙසමය. මේ තිදෙනා ගෙන් වාමාංශයේ නව දේශපාලනය පිලිබඳ වඩා  සිත් ගන්නා  සුළු තර්ක ඉදිරිපත් කරන්නේ දීප්තිය කුමාර ගුණරත්නය.

අජිත් පැරකුම් සිටින්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය අගයන ස්ථාවරයකය. මේ අනුව අජිත් පැරකුම් ලංකාවේ වාමාංශය මුලට කරන පහරදීම ගණන් ගත යුත්තේ ඔහුගේ අත්දැකීම් අනුව සලකාය. ඒ වැරදුන අත්දැකීම් සමුහය පිළිබඳ යන්තම් හෝ ස්වයං විවේචනයකට ගියේ පෙසප පමණය. ඒත් කාඩ් හංගා ගෙනය. එනිසා අපට අජිත් පැරකුම් වැන්නන් ගේ අත්දැකිම් වැදගත්ය.

කුමාර් ගුණරත්න මහතා අනුගමනය කරන්නේ විජේවීර මහතා ජවිපෙ හා අන්තරය අසූ ගණන්වල  මෙහෙයවූ ආකාරයම යයි මට සිතේ. තරමක් දුරට වෙනස් වුවද ජවිපෙ දැන් හදිසියේම අනුගමනය කරන්නට යන්නේද එයම බව ඔවුන් ගේ ප්‍රකාශ වලින් පෙනී යයි. නමුත් අන්තර් විශ්ව  විද්‍යාල බල මණ්ඩලයේ බලය රැඳී ඇත්තේ කුමාර් හා නාගමුව ප්‍රමුඛ පෙසප මතය.

නිර්මාල් ප්‍රමුඛ විශ්ව විද්‍යාල සංගමය 6% අධ්‍යාපනය ප්‍රමුඛ කොට ඉල්ලීම් කිහිපයක් වටා  අරගලයක් මෙහෙයවුහ. පෙළපාලියක්ද ගිය අතර සිසුන් දෙදෙනෙකු හදිසි අනතුරකින් මිය ගියේය. ඉන්පසු නිර්මාල්ලා ප්‍රමුඛ විරෝධතාවයේ නයුවන් රජය (එස් බී ) සමග සාකච්චාවකින් පසු එය නැවැත්විය. සමහර විට අ ර සිසුන් දෙදෙනා ගේ මරණයත් සමග තත්වය වෙනස් වන්නට ඇත. සමහර විට දැන් කල යුත්තේද එවැනි ඉල්ලීම් කිහිපයක් වටා සිදුවන උද්ඝෝෂණය. සයිටම් ප්‍රශ්නය හැමෝටම බලපාන එකක් නොවේ. මේ වෛද්‍ය සංගමයම සම සෞඛ්‍ය ප්‍රශ්නයේදී එම සේවකයන්ගේ පැත්ත ගත්තේ නැත.

අර්නෙස්ටෝ ලක්ලාව් ගේ "ඔන් පොපියුලිස්ට් රීසන් " හි සාර් රජයට එරෙහි ඉල්ලීම් (demand)  කිහිපයක් වටා රජයට එරෙහි අරගල පැන නගින බව පෙන්වා දෙයි. නමුත් ප්‍රධාන විරුද්ධවාදියා සාර් රජයයි. ඒ නිසා ඒ හෙජමොනික පිඩක රජය අර අරගල සම්බන්ධ කරයි. මෙම ඉල්ලීම් ලක්ලව් හඳුන්වන්නේ "පාවෙන හැඟවුම්කාරක -floating signifiers " ලෙසය. මා  මේ පිළිබඳ ලිපියක් මෙහි  2014 මැයි මස ලියා  තිබේ.  මේ අරගල දාමයේ එකක් අනිකුත් අරගල වලින් (පහත පින්තුරයේ ඇති දාමය) එලියට පැමිණ වඩා ඉදිරියට යයි.

මෙය පාවෙන නොහොත් හිස් හැඟවුම්කාරකය වේ. මේ මොඩලය රඳා පවතින්නේ   එකිනෙකට ප්‍රතිවිරෝධී කාණ්ඩ ද්විත්වයක පෙරමුණක් තුලය. (dichotomic frontier) . මෙය නැති තැන තුල්‍යාත්මක සම්බන්ධතා බිඳවැටී ඉහත කී  හැම ඉල්ලීමක්ම දියවී යයි. සීයට  හයේ අරගලයේ සිට අද පවතින සයිටම් අරගලය දක්වා සිදු වන්නේ මෙයයි. වෙනත් ඉල්ලීම් දියවී යාමයි.

මේ තත්වය නොවැටහෙන වාමාංශික පක්ෂ ඇමිබාවන් සේ බෙදෙමින් යයි. තමන්ගේ අත්දැකීම් තුලින් එය වටහා ගන්නා  අජිත් පැරකුම් සමාජ ප්‍රජාතන්ත්‍ර වාදයට  පක්ෂව පවතින රජයට කිසියම් පක්ෂපාති බවක් දක්වමින් වම විවේචනය කරයි. දීප්ති එහා අන්තයේ සිට වමට අවශ්‍ය න්‍යාය හුදෙකලාව නිර්මාණය කිරීමට තතනයි.   දෙදෙනාම පවතින තත්වය තුල වික්ෂිප්ත වන්නේ තමන් මේ රැල්ලට විරුද්ධවාදීන් වන්නේ මන්දැයි සිතමින් විය  හැක.

ෆොන්සේකා භූමිකාව වැදගත් වන්නේ මෙහිය. මෛත්‍රී රනිල් ආණ්ඩුව බලයට පත් වූයේ ඉහත කී පරිදි වඩා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රජයක් අවශ්‍ය  වූ කල්හිය. කවුරු මොනවා කීවත් සුළු ජාතීන් සහ පාවෙන චන්ද ලංකාවේ  එවකට තිබූ  යුවරජුන් හා පළාත් රජුන්ගේ නීතියක් නොමැති පාලනය අනුමැත කලේ නැත. බහුතර ජනතාව  මහින්ද මහතා ගෙනයන සංවර්ධනයට, අධි වේගී මාර්ග වලට කැමති වුවත්, ගෝඨාභය මහතාගේ නගර සංවර්ධනය අගය කළත්,  මහින්ද අතේ ඇති පාලනය ගිලිහී පළාත් සභාවල මැරෑටියන් පවා පොලිසියට අණදෙන තත්වයට පත්වීම හෙවත් ඒ රාජපක්ෂකරණය රිස්සුවේ නැත.

මෛත්‍රී ෆොන්සේකා ගෙන එම තුල ඇත්තේ ඒ රාජපක්ෂකරණය මය. "මෙන්න අපටත් ගෝඨා වගේ උඹලා භය කරන්න බිල්ලෙක් ඉන්නවා" යන ආශාව එළියට  දැමීමකි. "අපේ බිල්ලා ට  බයවෙන්න" කියා මෛත්‍රී - රනිල් කියයි. මහත්වරුනි ඔබලාට කරන්න තියෙන්නේ ඔබලා  අර හොරකම් කළා යයි  චෝදනා කළ අය අල්ලා  දඬුවම් දී පෙන්වීමය. නැත්නම් ඔබලා  කියා ඇත්තේ බොරුය. ඊළඟට මහින්ද මහතා ගෙන  ගිය සංවර්ධනය  දිගටම ගෙන යාමය. රටේ රැකියා ඇති වන්නේ එලෙසය. හැකිනම් බඩු  මිල අඩු කිරීම කෙසේ වෙතත් නාස්තිය හා දුෂණය අඩු කිරීමෙන් ජනප්‍රියත්වය ලබා ගත හැකිය.  ඔබලා ගේ නොහැකියාව වහ ගන්නට ෆොන්සේකා ඉදිරියට දැමීමෙන් ඔබලා  කරන්නේ හරාකිරි ක්‍රමයට සිය දිවි නසා ගැනිමක්ය.

ජවිපෙ කුමාර් ගුණරත්නම් ගේ පෙසපේ අනුගමනය කරමින්  සයිටම් හරහා වෛද්‍ය සංගමය හා අන්තරය පසු පස යාමෙන් කරන්නේද හරාකිරි ක්‍රමයට සිය දිවි නසා ගැනිමක්ය. විජේවීර මෙය හොඳට අසූව දශකයේ හොඳින් අත් හදා  බලා තිබේ.  එනිසා මාර්ගය විවෘතය. ජපන් සමුරායි අත්දැකීම් කිහිපයක් නැවතත් රට වැසියාට බලා ගත හැකි වනු ඇත.

කොටින්ම නිර්මාල් දේවසිරි හා ඔහුගේ අනුගාමිකයන් ගේ අලුත් සටන් පාඨය  වන ගෝඨාභය 2020  හා සිංහල බෞද්ධ ජනතාව ගේ  සුජාත  භාවය හරහා  මල් නෙලන්නට යන අතර ආණ්ඩුව ෆොන්සේකා හරහා මල් නෙලන්නට යයි.

මේ ආකාරයට නම් 2020 දී මහින්ද රාජපක්ෂ  මහතා නම් කරන පොල්පිත්තක් වුවත් රටේ ජනාධිපති වනු ඇත.

මාතෘකාවට අදාළ මගේ ලිපි:

නිර්මාල් එන්න මල් පිපී දැයි බලන්න - විමුක්ති දේශපාලනයේ විභවය සොයා

Laclau's Floating signifier, Gamow Peak and Intensity of Struggles



අනිකුත් මූලාශ්‍ර:
ගෝල්ෆේස් 
Crowd Safety and Risk Analysis 

ප.ලි.: එක්තර මහත්මයෙකු මා  එංගලන්තයේ සිට වාමාංශය අත හැර ඇත්දැයි විමසමින් යයි. මා සිටින්නේ පොල්කට්ටෙන් එපිටය. එනම්  වාමාංශය තුල හෝ දක්ෂිනාංශය තුල නොවේ. වඩා හොඳින් පෙනෙන්නේ එවිටය.  මා  ලක්ලාව් ගැන හෝ මාක්ස් ගැන හෝ මැකියාවෙලි  ගැන හෝ ජිජැක් ගැන හෝ ලෙනින් ගැන හෝ ට්‍රොට්ස්කි ගැන හෝ කියවන්නේ ඔවුන්ගේ යයි පවසමින් අදාල දේශපාලනයේ නිරත අය නිතර quote  කරන නිසාය. මූලාශ්‍රයට ම ගොස් කරුණු සොයා බැලීම මගේ සිරිතකි.


මේ අනුව නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා ගහන්නේ ද ගේමකි. හෙවත් සූදුවකි. නමුත් ඔට්ටුව පැරදුනොත් වෙන විනාශය බරපතලය.  

Saturday 29 April 2017

මේජර් ගුණරත්න හෙවත් ආදරණීය විචා ඔබට සුභ ගමන්

විචාරක තුමාගේ බ්ලොග් ලිපි කාලයක් තිස්සේ කියැවූ කෙනෙක් මම.  ඔහු බ්ලොග් ලෝකයේ සිටියේ 2011 ඉඳන්. හමුදාවේ අයගේ ලිපි කියවන්නේ මොකද කියල වරෙක කෙනෙක් මගෙන් ඇහුව. ඒ අර චෝදනා ආපු කාලෙක. පස්සේ මම විචාරක තුමාගේ බ්ලොගයයි කල්‍යාණ මිත්‍ර ගේ බ්ලොගයයි  ඔහුට හඳුන්වල දුන්න.  එක්කෙනෙක් හමුදාවේ හිටියේ . අනික් එක්කෙනා නේවි එකේ. කියවල එන්න කියල.

මේ තියෙන්නේ විච අන්තිමට වගේ ලියපු එකක්.

කාලෝ ෆොන්සේකා ගිනි පාගපු හැටි


හමුදාවේ ඉන්නෙත් උඹල අපි වගේ මිනිස්සු. හිතක් පපුවක් තියෙන. ඕන කෙනෙකුට විවේචනය කරන්න  පුළුවන්. ඒත් ඒ බූට් එක දාගන්න කම් ඒ රස්සාව ගැන තේරුම් ගන්න අමාරුයි. පඩි ගෙව්වත් උඹල අපි වගේ උන් යන්නැති රස්සාවකට හැමෝම පඩිය නිසා යනවා කියල හෑල්ලු කරන්න  එපා කියල මම ඔහුට කිව්වා. සමාජයේ නරක යැයි  සම්මත මිනිස්සු ඉන්නවා නම් එහෙම අය හමුදාවල නොවේ වෙන ඕනම  තැනක , ආයතනයක, සංස්ථාවක ඉන්න පුළුවන්.  ඒත් මුළු සමාජයක්ම එහෙම නරක කෙනක් ගෙන් හෝ දෙදෙනෙකු ගෙන් මනින්න බැහැ වගේ හමුදාවක් මනින්නත් එහෙම බැහැ.

මේ තුවක්කු ගැන ලියපු එකක්. 

මේජර් ගුණරත්න මහත්මයාගේ හමුදා ජීවිතය ගැන මම දන්නේ නැහැ. බ්ලොග්කරුවෙකු වශයෙන් තමා මා  ඔහුව හඳුනා ගත්තේ. ඔහුව මුහුණින් දැක හඳුනා ගත්තේ  2016 වසර නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙලේදී. වැඩි වෙලාවක් සතුටු සාමිචියේ යෙදෙන්න  බැරි වුණා. විචා, ඔමා නංගි ගාව ඉඳගෙන හැමෝටම විහිළු කර කර හිටිය. හමුදාවේ හිටිය කෙනෙක් වගේ නෙමේ බොහොම සෞම්‍ය ගති තියෙන විදුහල්පති කෙනෙක් වගේ.  එදත් හැබැයි වෙනත් මරණයකට යන්න  ඕන වෙලා හදිසියෙන් වගේ ආවේ කිව්වා.  හරිම ආසයි  හවස එකතු වෙලා කතා කරන්න. ඒත් ළඟම  ඥාතියෙක් නිසා යන්න වෙනවා කියල නිහතමානීව ඒ ගැන සමාව ඉල්ලුව. ඒ තමයි විචා. මම කිව්වා විචා මොහොතකට හරි සහභාගී වෙන්න ආපු එක ලොකු දෙයක් කියල.

අපිට වඩාත් ඉස්මතුවෙලා පෙනුනේ,  වයසට ගියහම ජිවිතේ ගැන කළ කිරිල හදිසියේම පන්සල පැත්තේ යන කෙනක් වෙනුවට ආගම දහම අදහන ගමන්  තරුණ තරුණියන් එක්ක හරි හරියට බ්ලොග් ලියපු හැටි. වාද කරපු හැටි. සමහරකුට බ්ලොග් එකක් අරින්න, ලියන්න කියා දුන් හැටි. සංචාරයකට ගියහම හොඳ පින්තුර ටිකක් අරන් ඒ ගැන ලියපු හැටි. හමුදාව පිලිබඳ අප නොදන්නා  තොරතුරු කිවූ හැටි. හමුදාවකට ජනතාවකට වඩා සමීප වෙන්න පුළුවන් නම් විචා වගේ අයගේ ක්‍රියා මාර්ගය තමා අනුගමනය කරන්න  ඕනේ.

විචා අසනීප වෙලා කියල මුලින්ම කිවේ ප්‍රා . බලන්න ගිහිල්ලත් තිබුන. අටමා, කල්‍යාණ, රුවන් චන්දිම සහ මම තීරණය කළා මෙවර නෙලුම් යාය විශේෂ සම්මානය පිදිය යුත්තේ ඔහුට කියල. ඒ බව දන්වන්න  ඔහුට දුරකතනයෙන්  කතා කළ වෙලේ විචා බොහොම හැඟුම්බර වුණා.  මටත් ඒ හැඟීම්බර බව දැනුනා.  අජිත් මට සතුටයි දුකයි දෙකම මේ අවස්ථාවේ එනවා. මට ලියන්න  අමාරුයි දැන්. ආයි කවද  ලියන්න වෙයිද දන්නේ නැහැ. සම්මාන උළෙලට කොහොම හරි එනවා කිව්වා. මට වාහනය පදවන්න අමාරුයි. කවුරු හරි හොයා ගන්නම් කියලත් කීවා. නමුත් එදා දවසේ විචාට සෑහෙන්න අමාරුයි. ඒ නිසා ඔහුට ඒමට හැකි වූයේ නැහැ.

ප්‍රා සහ ඉවාන්  ඔහුට ගිහින් සම්මානය භාර දීල තිබ්බ. ගුණරත්න මහත්මිය කියල තිබ්බ ඒ දවස්  කිහිපයම විචා  ඒ ගැන ගොඩක් සතුටින් හිටිය කියල. "සමහර විටක දවසට පැය දහ අටක් පරිගණකය සමග ඔට්ටු වේවි ලියපු ඒවාට කවුරුහරි අගය කරාවි කියල මම ඔයාල ට කිව්වා නේද කියල.  "
ඔබට ඒ අවසන් අවස්ථාවේ හරි එහෙම  සතුටක් දෙන්න ලැබීම ගැන අපට ගොඩක් සතුටුයි.  බොහෝ බ්ලොග් කරුවන් නොයෙකුත් උපකාර ආදිය කළ  බව දැන ගන්න ලැබුන.
ඇත්තටම එක දවසක් පමණක් ළඟින් දැක  කතා කරලා අනිත් හැම වෙලේම වර්චුවල් අවකාශයේ හමුවුනත් මේ මරණය මෙපමණ   දැනෙන්නේ ඇයි කියලත් හිතුන. බ්ලොග් ලෝකයේ තවත් එක් සොඳුරු මිනිසෙකුගේ  නික්ම යාමක් නිසා.

ආදරණිය  විචාරක තුමා - ඔබට නිවන් සුව.

-
ප.ලි:

දේශකයා මේ තොරතුරු ෆේස්බුක් හි පල කර තිබුණි . (ගස් ගෙන් රැගෙන)
සංවේගයෙන් දැනුම්දීමයි.
2011 දී බ්ලොග් ලොවට පිවිස, තමා සතු දැනුම සමාජයට මුදා හැරීමට කටයුතු කළ අප කව්රුත් දන්නා අයුරින් නම්, විචාරක, විචා, විචාමාමා (මම කියන්නෙ නාකිවිසේ) මහතා ඊයේ රාත්‍රි අභාවප්‍රාප්ත වූ අතර, ඒ මහතාගේ දේහය පිළීබඳ අවසන් කටයුතු 2017 මැයි 01 වැනිදා සවස 3.00ට කුරුණෑගල පොදු සුසානභූමියේදි සිදු කිරීමට නියමිතය. දේහය ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇත. සුභ ගමන් නාකිවිසේ මාමේ

අංක 100, දිද්දෙනිය වත්ත පළමු පියවර,
බෝයගනේ
වර්ඩ්ප්‍රෙස් අඩවිය හරහා බ්ලොග් වලට පිවිසි ඒ මහතා පසුව blogspot අඩවියක්ද පවත්වාගෙන යමින් එම අඩවි දෙකම යාවත්කාලීන කිරීමට කටයුතු කරන ලදි. බ්ලොග් ලොව වෙතරානුවා (Veteran) මේජර් ගුණරත්න මහතාණෙනි, ඔබට සුභ ගමන්..
තොරතුරු ලබාදීම සම්බන්ධව ගස් ගබ්බා මහතාට ස්තුතියි.
රුවන් ජයතුංග මෙය ලියා  තිබේ.


ඉන්දික කොඩිතුවක්කු මෙසේ සටහනක් තබා ඇත.

විචාරක යනු විශ්‍රාම යෑමෙන් පසුව බ්ලොග් ලියන්නට එකතු වූයෙකි. එහෙත් ඔහු සිතින් තරුණව, ඔහුගේ දරුවන් වයස් වූ බහුතරය හා සමව සතුටින් සහ ජවයෙන් යුතුව අන්තර්ජාලයට සිංහලෙන් දැණුම බෙදන්නට එක්විය.
අදටත් ඊමේල් මගින් අතින් අත යැවෙන පහත සඳහන් සබැඳියේ ඇති ගිනි අවි, උණ්ඩ ඈ හමුදාමය උපකරණ, නීති සහ භාවිතය ගැන වූ අති සාරගර්භ ලිපි වල නියම රචකයා ඔහු බව දන්නේ සිංහල බ්ලොග් පාඨකයන්ම අපමණි. කලක් අසනීපව සිටි විචාරක අද සවස නික්ම ගිය බව දැනගන්නට ලැබුනි.

බෝධිනී සමරතුංග 

good bye dearest blog friend, wicharaka...සුබ ගමන් විචාරකතුමනි.... ඔහු අප සමග ලියූ බ්ලොග්කරුවෙක්. මම අනිත්කොන බ්ලොග් එක ලියද්දී වෛද්‍ය රුවන් එම් ජයතුංග ලියූ සංග්‍රාමයට පසු පොත් ගැන කියා මගේ ලිවීමට බොහෝ දිරි දුන් කෙනෙකි. ඔහු ගේ නික්ම යෑම දුකකි....අමා මහ නිවනින් සැනසීම පතන්නෙමි....

අටමා ගෙන් :

මාම කියන්ඩද මචං කියන්ඩද අයියා කියන්ඩද සර් කියන්ඩද අක්කට ඉගැන්නුවට මට ඉගැන්නුවයැ අනික ඒකිත් නැති කොට සීයා කියලවත් කියන්ඩද එහෙම නමක් අපේ යාළුකමට තිබුනෙම නැනේ නාකියෝ ස්තුතියි උඹට වෙන මොකටවත් නෙමෙයි පැන්සොන් ජීවිතේ පන්සලටයි මරණාදාර සමිතියට අනුන්ගේ රෙද්ද අහක්වෙච්චා හොයන්ඩයි වැය නොකර හවසට මං ගෙදර ආවහම කියවන්ඩ දෙයක් ලියලා තිබ්බට

පහල ලියල තියෙන ප්‍රතිචාරය ෆේස්බුක් එකෙන් උපුටා ගත්තේ ඉන්දික ගෙන්.

Monday 24 April 2017

නමයේ පන්තිය - නමය නරකද


පහේ පන්තියේදී
හතේ පන්තියයි අටේ පන්තියයි 
අටේ පන්තියෙන් නමයට 

නමයේ පන්තියේ දෙවන භාගයේ  සිංහල සාහිත්‍ය සංගමයේ රැස්වීම්  වලට සහභාගී වුනෙමි. සිංහල  සංගමය (හෝ ඉතිහාස සංගමය)  විසින් පන්ති අතර ඉතිහාසය සම්බන්ධ ප්‍රශ්න වලින් සමන්විත තරඟයක් පවත්වන ලදී. මම එය දිනුවෙමි. මට සහතිකයක් වැනි යමක් ලැබුණා දැයි මතක නැත. නමුත් ඉතිහාස පොත් කියවීමෙන් ලැබූ දැනුමට වටිනාකමක් ලැබුන බවට හැඟීමක් තිබුණි.
 රාජකීය විදුහලේ රැස්වීම් පවත්වන ශාලාවට ඇතුළු වන තැන විශාල දැන්වීම් පුවරුවක් තිබේ. බොහෝ දැන්වීම් ඇත්තේ ඉංග්‍රීසියෙනි. ඒ අතරේ වටකුරු ලක්ෂණ සිංහල අකුරු වලින්  සිංහල සාහිත්‍ය සංගමයේ රැස්වීම් ගැන ලියැවුණු දැන්වීම් ද දුටුවෙමි. ඒවායේ අත්සන් කර තිබුනේ සමන් ආතාවුද හෙට්ටි යන නමකිනි.

සමන් අයියලා බොහෝ දේවල් සංවිධානය කිරීමට දක්ෂයන් විය. සමන් ආතාවුද හෙට්ටිට  ඒ දිනවලත් ගුවන් විදුලිය සමග  යම් සබඳතාවක් තිබුණි.  ඒ අතර ඔවුන් පාඨශාලාන්තර සාමාන්‍ය දැනීමේ තරඟයක්ද සංවිධානය කළහ. මෙයට සහභාගී වන රාජකීය කණ්ඩායම තෝරා ගැනීම සඳහා පුස්තකාලයේ ප්‍රශ්නපත්‍රයකට පිළිතුරු දීමට තිබුණි. මට වැඩිම ලකුණු තිබූ හෙයින් මම කණ්ඩායම් නායකයා වීමි. මේ කණ්ඩායමට සිටියේ මමත්, ප්‍රදීප් ජෙගනාදන් ( මහාචාර්යවරයෙකු වන  ප්‍රදීප් ජෙගනාදන් මේ දිනවල ඉන්දියාවේ ශිව් නාඩර් විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාය ලෙස රැකියාව කරයි.), මහේෂ් ත්‍රිමාන්න සහ ඒ ටි ඩී දාබරේය.

තරඟ පැවතියේ බේරේ වැව මැද පිහිටි සිඟිති උයනේය.

ජයග්‍රාහක පාසල් කණ්ඩායමට තිළිණ සහ ශූරතා පලිහ ප්‍රදානය කිරීමට පැමිණියේ එවකට අග්‍රාමාත්‍යවරයා වූ ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන  හේමා ප්‍රේමදාස මැතිනියයි. සමහර විට සිඟිති උයන ලැබුනේද එනිසා විය හැකිය.

සිඟිති උයන ආර් ප්‍රේමදාස මහතා විසින් ළමයින් සඳහා ක්‍රීඩා කිරීමටද හැකි උයනක් බවට පත් කිරීමට ප්‍රථම ලට්ට පට්ට හා කුණු ගොඩ ගසා  තිබූ තැනක් විය. එහි රාත්‍රියට ගණිකා  වෘත්තීය සුලභව කෙරුණු, ගංජා හා වෙනත්  මත්ද්‍රව්‍යද විකුණූ තිප්පලක්ද විය. ප්‍රේමදාස මහතා  මෙයට තිත තැබුවේ එය දරු පවුල් පිටින් ගොස් විනෝද විය හැකි උයනක් බවට පත් කිරීමෙනි. යාමට තිබුනේ ලණුවෙන්  අදින ලද බෝට්ටුවකිනි.  එකල කොළඹ නගරය  (විශේෂයෙන් මැද කොළඹ) අලංකාර කිරීමට ඔහූ බොහෝ දේවල් කළේය . ජරා ජිර්ණව තිබු පාරවල් වල වටරවුම් අලංකාර කිරීම, පදික වේදිකා සෑදීම , උයන් පිරිසිදු කිරීම ආදී බොහෝ දේ සිදු කරන ලදී.

බේරේ වැවේ ගංගාරාමයේ සීමා මාලකයද මේ දිනවල නිම කරන ලද්දේ ගංගාරාම පොඩි හාමුදුරුවන්ගේ උත්සාහය නිසාය. මේ නිසා  ඒ අවට ප්‍රදේශය සැන්දෑ කාලයේ පන්සල් යන ජනයාගෙන් හා සවස ඇවිදීමට යන අයගෙන් පිරි තිබුණි.

සමන් ආතාවුද හෙට්ටි සහ සිංහල  සාහිත්‍ය සංගමයේ  තවත් කිහිප දෙනෙක්ම අප කණ්ඩායම සමග තරඟය පවත්වන තැනට පැමිණියහ. මුල් වට කිහිපයම අපට පහසුවෙන් දිනිය හැකි විය. අවසන් පූර්ව තරඟය තිබුනේ විශාඛා විද්‍යාලය සමගය. අපට ඔවුන් ලෙහෙසියෙන් පරදවා අවසන් වටයට යාමට හැකි විය. දේවී බාලිකාව හෝ වෙනත් විදුහලක් පරදවා ආනන්ද විදුහල් කණ්ඩායමද   අවසන් වටයට අපේ කණ්ඩායම සමග තේරුණි. ආනන්ද කණ්ඩායමේ නායකයා ගේ නම අජිත් ගුණතිලක බවද මතකය.
ආචාර්ය ජෙගනාදන් හෙවත් ජෙගා ලඟදි කිව්  කරුණක් නම් එම තරඟාවලියේ අප විසින් පැරදවූ කාන්තා විද්‍යාල කණ්ඩායමේ (Ladies college ) ඔහුගේ ප්‍රියම්බිකාව වන මාලතී ද සිටි බවය. ඔවුන්ට මේ බව හෙළි  වුනේ  විවාහයට  පසුව කළ කතා බහකදී බව ඔහු පැවැසීය.

 තරඟයේදී වට තුනකින් අපට ආනන්ද විදුහල පැරදවිය හැකි විය. ආනන්ද කණ්ඩායම අසමත් වුනු ප්‍රශ්නයකට මම පිළිතුරු දුනිමි. ඒ "අසාහි ෂිම්බුන්" යනු කුමක්ද යන්නය . ඉතියෝපියානු යුද්ධය හා එරිත්‍රියාව ගැන ප්‍රශ්නයකට ජෙගා පිළිතුරු දුන්නේය. ශූරතා පළිහ හේමා ප්‍රමදාස මහත්මිය අපට ප්‍රදානය කරන ලදී.

අප ජයග්‍රහණය කළ ප්‍රීතියට  ත්‍රිමාන්න ගේ   පියා  විසින් මුළු බේරේ  වැව පුරා බෝට්ටු සංචාරයකට මුළු කණ්ඩායම ම රැගෙන ගියේය. ඉන්පසු රාජකීය විදුහලට ගොස් එවකට එහි සිටි විදුහල්පති තුමාට ජයග්‍රහණය ගැන පවසා ශූරතා පළිහ භාර දුනිමු.
මිහිර පුවත්පත 

පසුදා  මා පාසැල අවසන් ව නිවසට එද්දී අපේ නිවෙස් අසළ යහළු යෙහෙලියන් සමූහයක් මිහිර පත්‍රයක් අතැතිව කෑ ගසමින් සිටිනු දුටිමි. ඒ අපේ ඡායාරූපයක් මිහිර පුවත්පතේ දෙවෙනි පිටුවේ පළවී තිබූ නිසාය. උස කොල්ලන් තිදෙනෙකු අතර උසින් අඩු මම ශූරතා  පළිහ ද අතැතිව සිටින ඡායාරූපයකි.  එක දිනෙන් අපේ නිවෙස් අසල මම ජනප්‍රිය වී සිටියෙමි.

ඊළඟ වසරේ ප්‍රදීප් ජෙගනාදන් ශ්‍රී ලංකා රුපවාහිනියේ පාසැල් අතර ඉංග්‍රීසියෙන් පැවැත්වුණු සාමාන්‍ය ය දැනීමේ තරඟාවලියටද සහභාගී වුනි.

මගේ මව කළකට ඉහත "තරුණි" පුවත්පතට  කොස් ඇට වලින් පිටි හදා ඉඳි ආප්ප සාදා ගන්නා ක්‍රමය ලියා  තිබුනි. ඒ කලින් තිබූ ශ්‍රීලනිප ආණ්ඩුවේ වගා  සංග්‍රාමයට සහයටය.    එම ලිපියද සමග මෙම මිහිර  පත්‍රයේ පිටුවද මා සුරක්ෂිතව  තබාගෙන සිටි මුත් ඒවා දැන් නැත.

නමයේ සිටියදී බාල දක්ෂයකු ලෙස නොයෙකුත් කඳවුරු හා පාඨමාලා වලට සහභාගි  වුනෙමි. ඉන් එකක් නම් බාලදක්ෂ ව්‍යාපාරය හා තරුණ  සංගමය ක් විසින් සංවිධානය කල ඡායාරූප ශිල්පය  පිළිබඳ පාඨමාලාවයි. මෙහි ප්‍රධාන දේශකයා හා සංවිධායක සමන් අමරසිංහ නම් වූ  රාජකීය විදුහලේ ගුරුවරයෙකි. ඒ දිනවල මා ළඟ තිබුනේ පෙට්ටි කැමරා (box camera) නමින් හඳුන්වන සවි කරන ලද කාචයක් හා ෂටර් ස්පීඩ් තුනක් පමණක් ඇති පොඩි කැමරාවකි. සමන් අමරසිංහ මහතා අප මිගමු වෙරළට ඡායාරූප  ගැනීමට රැගෙන ගිය අතර හෑගොඩ නිවසටද රැගෙන ගොස් හෑගොඩ මහතා ලවා දේශනයක් ද කරවීය . පාඨමාලාව අවසානයේ අපේ ෆිල්ම් රෝලවල  කළු කාමරයක සාන්ද්‍රණ  වල දමා ඩිවලොප් කළ යුතු විය. එහිදී ආලෝකයට නිරාවරණය වීමෙන් මගේ පින්තුර විනාශ විය. නමුත් ප්‍රශ්න පත්‍රයේ වැඩිම ලකුණු තිබුනේ මටය. ප්‍රයෝගික පරීක්ෂණයේදී මට වුනු අකරතැබ්බය වටහා ගත්  සමන් අමරසිංහ  මහතා මා සමත් කළේය. සමන් අමරසිංහ මහතා තවමත් රාජකීය විදුහලේ සේවය කරන ඉතා ජනප්‍රිය ගුරුතුමෙකි.

සමන් ආතාවුද හෙට්ටි සහ ඔහුගේ සංචාර ගැන කෘතියක් 

සමන් අතාවුද හෙට්ටි  අයියා නැවත  හමුවන්නේ "ලන්දේසි දූපත" ළමා නාට්‍යය හරහාය. ඔහු රඟ පෑවේ ජිල් ජෝනා ට ද වන්දබෞනා ට ද යන්න මට මතක නැත.  අවුරුදු 38 කට පසු පසුගියදා දැන  හෝ නොදැන සහෘද කිවිඳියක හරහා රූපවාහිනියේ සංවාදයක යෙදෙන්නට ස්වාධීන රුපවාහිනියේ සභාපති සමන් අතාවුද හෙට්ටි මහතා අපට අවස්ථාවක්  ලබා දුන්නේය.

එසේම පාසලේ සහෝදර සිසුන් කණ්ඩායමකට තම දක්ෂතා  පෙන්වා තමන් උගත් විදුහලට ආඩම්බරයක් ලබා දීමට එම තරඟාවලිය සංවිධානය කල සමන් අයියා ප්‍රමුඛ සිංහල සාහිත්‍ය සංගමයට හැකිවිය.

ඔබලාට ස්තූතියි.




Saturday 22 April 2017

අටේ පන්තියෙන් නමයට

පින්තුරය අන්තර් ජලයෙනි (ලෝක ගෝලයක් හා සමාජ අධ්‍යනය)
පහේ පන්තියේදී 

හතේ පංතියයි අටේ පන්තියයි

අටේ පන්තියේ සමාජ අධ්‍යයනය විෂය ඉගැන්වූ  ගුරුතුමිය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොඳ ගුරුතුමියකි. ඇය එම විෂය පිලිබඳ අප තුල ඇල්මක් ඇති කිරීමට තරම් දක්ෂ ලෙස ඉගැන්වූවාය. ඇගේ පුත්‍රයාද අපේ පන්තියේ සිටි මුත් ඇය ඒ බවක් කිසි විටෙකත් හැඟවූයේ නැත. මා ඒ බව දැනගත්තේද  පසුව වෙනත් සිසුවකුගෙනි. ඔහු ශිෂ්‍යත්වය සමත්වී රාජකීය විදුහලට පැමිණි අයෙකි.

සමාජ අධ්‍යයනයට ක්ෂේත්‍ර පොතක් සැකසිය  යුතු අතර අප සැවොම වෙහෙස මහන්සිවී වී එය කළෙමු. සොයාගත් නොයෙකුත් විස්තර ලිවිම මෙන්ම පින්තූර ඇලවීමද නොයෙකුත් පාට වලින් විසිතුරු චිත්‍ර ඇඳීම් ද කළෙමු. දිනක් එක්තරා සිසුවකු ගේ ක්ෂේත්‍ර පොත ඉතා හොඳ බව කියා ගුරුතුමිය වර්ණනාවක් කළාය. මේ නිසා මාත් තවත් සිසුවකුත් එය බැලීමට ඉල්ලුවෙමි. ඔහු ක්ෂේත්‍ර පොත තමන් කිහිල්ලේ හිර කරගෙන වහා ගොස් තම බෑගයට දැම්මේය. අප අපගේ පොත් එකිනෙකා  අත යවමින් බලමින් සාකච්චා කලද අර සිසුවා මෙන් තවත් කිහිප දෙනෙකු තමන්ගේ පොත් වෙනත් අයට පෙන්වීම ප්‍රතික්ෂේප කළහ.  ඒ අනිත් අය තමන් ගේ දේ කොපි කරති යයි බියෙනි. ගුරුතුමියද  මදක් වික්ෂිප්තව සිටි බව පෙනුනි.

මේ සිසුවා  ඉගෙනීමේ දක්ෂයෙකු වූ අතර අර පසුගිය ලිපියේ සඳහන් කළ ත්‍යාග ප්‍රදානෝත්සවයේ වැඩිම  විෂයයන් සංඛ්‍යාවකට ත්‍යාගද ලැබූ අයෙකි. නමුත් පන්තියේ කිසිවෙකුට කිසිදා උදව්වක් කළ අයෙක් යයි නොසිතමි. පුද්ගලාර්ථවාදය (individualism) පිලිබඳ හොඳ පාඩමක්ද   ඉන් උගත්තෙමි.

නවය (1979) පන්තියේදී අර ගුරුතුමා වෙනත් විෂයක් ඉගැන්වීම සඳහා පැමිණියේය. මා පැමිණි ප්‍රදේශය දැන  සිටි නිසාදෝ වැඩි අවුලක් තිබ්බේ නැත. එම විෂය සඳහා ඇති අච්චු පොත විශාල නිසා,  නමය පන්තියේ සිටි අපගෙන් සමහරක් බෑග එල්ලා ගෙන පාසැල් යාම වෙනුවට සෝබනයට අතේ පොත් කිහිපයක් පමණක් රැගෙන යාමට පුරුදු වී සිටියෙමු.  එම නිසා විෂයට අදාල පොත නිවසේ තබා පැමිණීම පුරුද්දක් විය.

එහෙත් එක් දිනක් මමත් තවත් පන්ති සගයකු වූ ගම්පහ සිට එන යූ කේ ත් අච්චු පොත රැගෙන නොආ වරදට හසු වුනෙමු.  ගුරුතුමා කලේ අප දෙදෙනාව පන්තියෙන් එලියට දැමීමයි. වරද අපේ අතේ හෙයින් පහරක් කෑමට සුදානමින් සිටි මට එය  සැනසිල්ලක් විය. අප සිටියේ ක්‍රීඩා පිට්ටනියේ ඇති විශාල සියඹලා වැනි ගසක් අසල වූ පන්තියකය. එනිසා පන්තියෙන් එළියේ සිටීම ලොකු ප්‍රශ්නයක් වූයේ නැත.එකම ප්‍රශ්නය උප විදුහල්පති (කටයා මහතා) ලඟින් ගියොත් පමණය.

වාසනාවට එදා අප පසු කර යාමට පැමිණියේ රාජකීය විදුහලේ එවකට ක්‍රිකට් නායක මෙන්ම ප්‍රධාන ශිෂ්‍ය නායක ද  වූ රන්ජන් මඩුගල්ලය. (මඩුගල්ල ගේ උපන් දිනය අප්‍රේල් 22 ය)  මඩ්ඩා ලෙසින්ද හැඳින්වුනු  මඩුගල්ල 1979 රාජකීය ශාන්ත තෝමස් ශත සංවත්සරයට ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ක්‍රීඩා කරන නිසා මෙන්ම නිහතමානී ගතිය නිසාද ජනප්‍රියව සිටියේය.
   වරක් උප විදුහල්පති විසින් අප කෑ කෝ ගැසීම නිසා පුටු උඩ සිට ගෙන සිටීමට නියම කර ඉවත්ව ගියේය. එතනින් ගිය මඩුගල්ල අපට නැවත  හිඳ ගන්නට කියා විෂය වෙලාව අවසන් වනතුරු නොයෙකුත් දේ ගැන කතා කරමින් ඊළඟ ගුරුතුමා එනතුරු පන්තියේ සිටියේය. එනිසා ඔහු මගේත්  වීරයකු විය.

අප දුටු මඩුගල්ල අප එළියේ සිටින්නේ ඇයි දැයි විමසිය. විෂය පොත අමතක වීම නිසා යයි දැනගත් ඔහු "පොඩ්ඩක් ඉන්න " යයි කියා අසල තිබු ශිෂ්‍ය  නේවාසිකාගාරයට ගියේය. මද වෙලාවකින් පොත් දෙකකුත් රැගෙන පැමිණි ඔහු ඒවා රැගෙන පන්තිය තුලට යන ලෙස අපට දැන්වීය. ගුරුතුමා කෝප ගනිතැයි බියෙන් අප අදිමදි කරනු දුටු ඔහු දොර හැර පන්තිය තුලට හිස ඔබා ගුරුතුමා ඇමතීය. කතා කරන්නේ මඩුගල්ලය. ගුරුතුමාද මුවේ ඒ කොනේ සිට මෙහා කොන තෙක් විශාල හිනාවක් රඳවා ගෙන පැමිණ මඩුගල්ල සමග කතා කර අප දෙදෙනාට පන්තිය තුලට යන ලෙස සන් කළේය. ශිෂ්‍ය නායක කාමරයට පොත් දෙක නැවත දෙන ලෙස දන්වා  මඩු ගාල්ල ගුරුතුමා සමග වචන දෙක තුනක් කථා කර නික්ම ගියේය.  

 කාර්ය නියමයක් හෝ කිසියම් විෂයක් උගන්වන්නේ දැයි මා දැන  නොසිටි තවත් ගුරුවරයෙකුද මේ කාලයේ සිටියේය. විෂය භාර ගුරුවරයා නැති අවස්ථා වල  පන්තියකට කඩා වදින  මොහු කතා කලේ ඉංග්‍රීසියෙනි.  "ඔබේ නම කුමක්ද -what is your name  " කියා අසන විට "මගේ නම --"යනුවෙන් පටන් ගෙන මුළු නමම වාසගම්  ද සහිතව කිව යුතුය.  බැරි වෙලාවත් අමතක වී එක නමක් නම් දෙකක් හෝ කිවොත් හෝ  මගේ නම යනුවෙන් කියා පිළිතුර පටන් නොගත්තොත් කම්මුලට දැඩි පහරක් වදී. නම හරියට කියන තෙක්ම ඒ කම්මුල් පහර දීමටද ඔහු වග බලා ගනී.  අටේ පන්තියේදී පහර කෑ නිසා නමය පන්තියේදී නම හරියට පිළිවෙලට කියා ඔහුගෙන් බේරී සිටීමට හැකිවිය. නමුත් පන්තිය පළමුවෙනි පේලිය නිතරම කම්මුල් පහර කෑහ. ඒ ඔහු එන හදිසියට නම සහමුලින්ම කීම සිසුන්ට අමතක වෙන නිසා යයි සිතමි.

ඔහු ෆේස්බුක් හි සිටිනු මම හදිසියේ මෑතකදී දුටුවෙමි. ඔහුගේ පොස්ට් එකකට ප්‍රතිචාර දක්වන ඇතැම් පරණ සිසුන් එම  ගුරුවරයා  තමන් හදා නිවැරදි මගට ගත් බව කියනු දුටිමි.  ඔහු හැදුවේ මොකක්ද යන්න  මට අදටත් ප්‍රශ්නයකි.

අපොස උසස් පෙළ කරන සමයේ විදුහල්පති ගේ නෑදෑයෙකු යයි කිවූ ගණිත ගුරුවරයෙකු විය. මේ ගුරුතුමාට අපි අර "කම්මුලට ගසන මගේ නම  " ගැන විස්තරය පැවසුවෙමු. ඒ ගුරුතුමා අපට කිවේ මෙවැනි  කතාවකි. ඔය කියන ගුරුවරයා විශ්ව විද්‍යාලයට පැමිණියේ ඉතා ඈත ගමක  සිට බවත්  රාජකීය විද්‍යාලයට ඉගැන්වීමට පැමිණි ඉංග්‍රීසියෙන් කතා කිරීමට හා මේ අමුතු හැසිරීමට පෙළඹී ඇති බවත්  මුල පටන් කොළඹ  සිටි අයෙකු පරිද්දෙන් හැසිරෙන බවත්ය. මේ කතාවේ ඇත්තක් නොදනිමි.

මේ ගණිත ගුරුවරයා ගේද අමුතු පුරුද්දක් විය. ඔහුගේ විෂය තිබුනේ අන්තිමටය. තරුණ ගුරුවරයෙකු වූ ඔහුට පෙම්වතිය හමුවීමට කලින් යාමට අවශ්‍ය විය. මේ නිසා ඔහු දවල් 1.15 ට පමණ "ජනතාවට විමුක්තිය  අවශ්‍යද?  "යයි අසයි.අපි සියලු දෙනා  එක හඬින් ඔව් කියන්නෙමු. ඔහු කරන්නේ  ගෙන ආ පොත් දෙක තුනද  කිහිලිගන්නා ගෙන ආයුබෝවන් කියා පැන යාමයි.

ඉන්පසු බාස්කට් බෝල් පිට්ටනිය පැත්තේ තාප්පෙන් රීඩ් මාවතට, පාසැල අවසන් වීමට කලින් පැන තාවකාලික විමුක්තියක් ලබා ගැනීමට ඇතැම් නිර්භීත සිසුන්ට හැකිවිය.

- මතු සම්බන්ධයි

Thursday 20 April 2017

හතේ පන්තියයි අටේ පන්තියයි

පින්තූරය අන්තර්ජාලයෙනි 
පහේ පන්තියේ සිට හයේ පන්තියට ආ ගමන මේ ලිපියෙන් විස්තර කළෙමි. මේ දිනවල එක්තරා විද්‍යාලයකට "උපන්දා සිට" පැමිණි යයි කියන ඇතැමුන් බ්ලොග් කොමෙන්ට් වලත් බුකියේත් ඔජ දමන හෙයින් මේ ලිපි පෙළ දිගටම ලියන්නට සිතුවෙමි.   එවැනි මිනිසුන් මට කොතෙකුත් මුණ ගැසී ඇත. මා  සිතන්නේ කළ යුත්තේ තමන් උගත් විදුහලින් එළිය ගැනීම නොව උගත් විදුහලට ආඩම්බරක් වන ලෙස හැසිරීමයි.

 රාජකීයේ  හයේ පන්තිය ඉන්පසු සිදුවීමක් නැතිව ගලා ගිය අතර මට මතක මා පොත් රැගෙන ගිය විශාල සූට්කේස් එකයි. ඒ කාලේ "පොත් සුට්කේස්" ජනප්‍රිය අංගයක් විය. එය ඔසවා ගෙන බසයට නැගීම ඉතා අපහසුය.

 මේ හතේ  පන්තියට ගිය විටදී පන්ති  භාර ගුරුවරයා අප එකිනෙකා  කොහි සිට එන්නේ දැයි මුලදීම ඇසුවේය. කො.... සිට බව මම කීවෙමි. ඒ ගැන එතරම් එදින නොසිතුවෙමි.
 එම වසරේ සිල් සමාදන් වීමට ගංගාරාමයට යා යුතු විය. මම සීල ව්‍යාපාරයට සහභාගී නොවන බව ගුරුතුමාට දැන්වූයෙමි. එයට හේතුව වෙනත් පන්සලක සිල් ගැනීමට මගේ මව සැරසී සිටි නිසාය. ඔහු ගත් කටටම කිවේ "කො...එවුන් කවද සිල් ගත්ත  එවුන් ද කියායි".  මට ඔහුගේ කෝපය මහත් ප්‍රශ්නයක් වුනු අතර ඔහු ගේ වදන් ද මගේ සිත් ගත්තේ නැත.

අපේ පන්තියේ "මඩොල්දූව" චිත්‍රපටියේ උපාලි ගිනිවැල්ලගේ ළමා කාලය රඟ පෑ ළමා නළුවා ද එක්තරා ගත් කතුවරයෙකු ගේ පුතෙක් ද විය. අප මැනර්ස් හෝ එවැනි නමකින් බිත්ති සඟරාවක් කරන්නට කතා කරගත් බවද මතකය. එච් ජි වෙල්ස් ආදීන්ගේ ගේ නවකතා පරිවර්තන කියවූයේද මේ කාලයේ බව මතකය. සාමාන්‍යයෙන් හතේ පන්තිය හයේ පන්තියටත් වඩා ප්‍රියජනක වූයේ අප පාසැලට පුරුදු වී සිට නිසා විය යුතුය.  එසේම මට තවත්  යහළුවෙකු සිටි අතර ඔහු පන්තියේ රෙකොර්ඩ් මොනිටර් විය. ඔහුගේ කාර්යය පන්තියේ ළමයින් ගේ නම් ආදිය ඇතුලත් රෙකොර්ඩ් පොත තබා ගැනීමය.

වරක් අප සියල්ල වෙනත් විෂයක් සඳහා සභාගි වීමට  පන්තියෙන්   එලියට දිව  ගියෙමු. අප සිටියේ දඟලමින් හා දුවමිනි. කිසියම් හේතුවකින් ඉහත කි මගේ වඩා යහළු  සිසුවෙකු අත  තිබූ වතුර බෝතලය මගේ අතේ වැදී රෙකොර්ඩ් පොතට වැටුණි. එසේ වූයේ රෙකොර්ඩ් මොනිටර් මගේ පිටුපසින් තල්ලු කරමින් පැමිණි හෙයිනි. මගේ අතේ එය වැදුනේ අහම්බයෙනි.  නමුත් රෙකොර්ඩ් පොතේ පිටු කිහිපයක් බොඳ වී තිබුණි.

රෙකොර්ඩ් මොනිටර් අප දෙදෙනාට චෝදනා කළ අතර මා පැවැසුවේ ඔහු තල්ලු කල නිසා බෝතලය මගේ අතේ වැදුන බවත් අනිත් සිසුවා  තදින් බෝතලය අල්ලා ගෙන සිටියේ නම් එය ඉහිරෙන්නට ඉඩ නොතිබූ බවත්ය. ඔහු ජලය පානය කරන්නට මූඩිය ඇර තිබූ බැවින් රෙකොර්ඩ් මොනිටර් ඕනෑ කමින් මා  තල්ලු කලේ ඔහුගේ ඇඟේ වදින්නට බවත් පැවසුවෙමි .

ඉහත කී  පන්ති භාර ගුරුතුමා  මිනිත්තු කිහිපයකට පසු රෙකොර්ඩ් මොනිටර් ගෙන් පොත ගැනීමට පැමිණියේය. වතුර ඉසුණු රෙකොර්ඩ් පොත  දුටු ඔහු එය වූයේ කෙසේ දැයි ඇසුවේය. රෙකොර්ඩ් මොනිටර් මා පෙන්වමින් මා වතුර හැලූ බව පැවසීය. මගෙන් නිදහසට කරුණක් නොඅසාම ඔහු මට මිනිත්තු කිහිපයක්ම  තඩි බෑවේය. තඩි බාන අතර "කො .. සිට එන එවුන් " යන්න ඔහුගේ මුවින් නැවත පිට විය. මගේ කෝපය ඉහවහා ගොස් තිබුනද මා  නිහඬව ඒ පහරවල් විඳ  දරා  ගතිමි. හදිසියේම මට මතක් වූයේ අර ලුණුගල මාධ්‍ය මහා විදුහලේ පහර කෑ ශිෂ්‍යයාය. ඒ මොහොතේ මම එතනට පත්වී සිටි මුත් මේ ගුරුවරයා ට ඒ ජය නොදීමට මා තීරණය කළේද ඒ මොහොතේය. නිවසේ කිසිවකුට මම මේ සිද්දිය ගැන නොකීමි. නමුත් එම වසර අවසන් වන තුරුත් ඉන් පසුවත් අර සිසුවා  සමග මම වචනයක් වත් කථා කළේ නැත.

ඉන් වසරකට පසු අටේ පන්තියේදී  ඔහු අපේ පන්ති භාර ගුරුවරයා නොවුවත් සීල ව්‍යාපාරයේ සිටියේය. එහි තවත් ගුරුවරයකුද සිටි අතර මේ වැඩි මහලු ගුරුවරයා කරුණාවන්ත අයෙකු ලෙස මා  දැන සිටියෙමි. විදුහල්පති කාර්යාලය අසල නිතර ගැවසුන ඔහු පන්තියකට ඉගැන්වූයේ දැයි නොදනිමි. ඔහු සැම විටම හැඳ සිටියේ තද දුඹුරු කලිසමක් හා ක්‍රීම් පැහැති අත් කොට කමිසයකි.

ඔහු මගෙන් මා  කොහි සිට එන්නේද ආදී විස්තර රැසක් ඇසුවේය. මා එන පෙදෙස "කො..." කි පසු ඔහු හාර හාරා මා පාසැල් ඒමට බසය ගන්නා තැනද  නිවැරදි ලෙසම ජිවත් වන තැන ද විමසුවේය. ඉන්පසු ඔහු කීවේ ම එන්නේ "කො..." සිට නොවන බවත් ජනප්‍රිය සිනමා හලක් අසල සිට බවත්ය. ඒ පෙදෙසේ නම පටන් ගන්නේ  ද "කො..යන්නෙනි " නමුත් මින්පසු එතැන සිට එන බව කියන ලෙස මට අවවාදයක් ද දුන්නේය.  නම් ලිස්ට් එක ගනිද්දී ඔහු මා එන තැන ගැන අර අනිත් ගුරුවරයා ටද කී අතර ඔහු කීයේ "ආ කො ..." අයත් සිල්  ගන්න ඇවිල්ල ඉන්නේ කියාය. නමුත් මෙහිදී ඔහු අර දෙවැනියට කී පෙදෙසේ නම සිනාමුසුව භාවිතා කළේය.    

අපි අටේ පන්තියේදී (1978 වසර) එවකට ශ්‍රී ලංකාවේ  ප්‍රථම ජනාධිපති වරයා ලෙස පත් වූ ජේ ආර් ජයවර්ධන මහතා රාජකීය විද්‍යාලයට පැමිණියේය. ඒ වසරේ පැවති වසරේ ත්‍යාග ප්‍රදානෝත්සවයට ද ඔහු පැමිණියේය. මටද එක් විෂයකට පමණක් ත්‍යාගයක් විය. අපේ පවුලේ පියා හා මව දැඩි  ශ්‍රීලනිප පාක්ෂිකයන් වූ නිසා මගේ පක්ෂපාතිත්වය තිබුනේ ද මැතිනි ටය.    නමුත් රටේ ජනාධිපති තුමාගෙන් ත්‍යාගය ගැනීමට මා යා යුතු බව පියාගේ අදහස විය. ඔහු ත්‍යාගය දෙන්නේ මගේ දක්ෂතාවය ඇගයීමටය. මේ නිසා විදුහලේ ටයි පටියක්ද මිලදී ගෙන උත්සවයට දෙමාපියන් සමග ගියෙමි. මට ත්‍යාගය ලැබුනේද මට ඒ විෂයට වැඩිම ලකුණු තිබුණු නිසාය.ඒ අර මට තඩි බෑ ගුරුවරයා ඉගැන්වූ විෂයකටය. මා මෙන්ම අනිත් සිසුන්ද ත්‍යාගය ගන්නා විට ඡායා රූපයක් ගැනීමට මුදල් දී තිබුණි. කැමරාකරු අසල අර ගුරුවරයාද වේදිකාවට යාමට සිසුන් මෙහෙයවන්නන් අතර සිටියේය. කෙසේ හෝ වේවා  පසුව අනිත් සියළුම ළමයින්ගේ ඡායාරුප ලැබුනද ජේ ආර් ජයවර්ධන මහතා අතින් ත්‍යාගය ගන්නා මගේ ඡායාරූපය තිබුනේ නැත.

රාජකීය ප්‍රයිමරියේ (මුල් අවුරුද්දේ සිට රාජකීය විදුහලට එන සිසුන්)  ශිෂ්‍යත්වයෙන් සමත්වී හා රාජකීය විදුහලේ විභාගයෙන් සමත්වී එන සිසුන් සමග එකතු කළේ මට මතක විධිහට මේ වසරේය. අප අට සිංහල  එක (8S1)  , අට සිංහල තුන වැනි පන්ති වලද ඔවුන් අට සිංහල දෙක , අට  සිංහල හතර වැනි ඉරට්ටේ නොම්මර සහිත පන්ති වලද වූහ . මොවුන් හැතැප්ම දෙකේ සීමාවට අසුවන අයයි. සජිත් ප්‍රේමදාස මහතා ද කෙසේ හෝ මේ සීමාවට ඇතුළුව ප්‍රයිමරියේ සිට පැමිණ තිබුණි. ඒ දිනවල ජනක්, සමන් වැනි සිසුන් මේ ප්‍රයිමරියෙන් පැමිණි සිසුන් සමග දබර ඇති කර ගෙන එකිනෙකාට ගුටි දී ගත්හ.

ඉන්පසු දවසක මා දැන  ගත්තේ කුරුඳුවත්තෙන් හැතැප්ම 15 -20 ඈතින් වෙසෙන අර ගුරුතුමා ගේ පුත්‍රයාද රාජකීය විදුහලේ උගන්නා බවය. මේ අර කොමෙන්ට් කරුවන්ට අනුව රාජකීය විදුහලේ උරුමඃකාර පොල්මඃකාරයන්ය. මට කිසිම විද්‍යාලයකට බැඳී සිටීමේ අවශ්‍යතාවයක් නැත. සෝවියට් දේශයේ ඉගෙනීමට පැමිණි එක සිසුවෙක් "ඔබ ආවේ කොහෙන්ද" යයි ජ්‍යෙෂ්ඨ සිසුන් ඇසු විට "මා රෝයල් එකෙන්" යයි පැවසිය. සිසුන් ඇසුවේ ඔහු පැමිණි ගම් පළාත ගැනය. ඉන්පසු එදා සිට ඔහු රෝයල් එකේ .......විය. වෙනත් වසරක තවකෙකු ඔහු  ආනන්දයෙන් යැයි පැවසීය. ඔහු ආනන්ද ..... විය. මේ විදුහල් භේදය විහිළුවක් හැටියට සියල්ලෝම සැළකුහ .

සිසුවෙකු එන පළාත අනුව ඔහු ගැන තීරණය කරන ගුරුවරු සීල ව්‍යාපාර වලටද සහභාගී වෙති.  බුදු හිමියන් පතිරූප දේශ වාසේච යනුවෙන් හොඳ පළාතක ජීවත්වීම  මංගල කරුණකැයි පැවසුවේ මේ නිසා විය හැකිය. නැතිනම් හේතුවක් නැතිවම සමහර ගුරුන් ගෙන් ගුටිකන්නට පවා සිදු විය හැකිය.