ඕස්ට්‍රේලියාවේ ජිවත් වන මගේ මිතුරෙකු වන ජ.......... මට ඊමේල් පණිවුඩයක් ඒවා තිබුණි. ඔහු සියාමා ගේ කතාව අන්තර්ජාලයේ දැක කියවූ බවත් එය ළගන්නා සුළු කතාවක් බවත් ඔහු එහි සඳහන් කර ඇත. එසේම එවැන්නක් මුලින් ලීවේ නැත්තේ ඇයිදැයි විමසා තිබුණි. මට කියන්නට ඇත්තේ හැම දෙයටම වෙලාවක් ඇති බවත් ඒ වේලාව එළඹුණේ මේ දිනවල දී බවත්ය.
ජමාත් - අල් - ඉස්ලාමි බංග්ලාදේශ අන්තවාදී පක්ෂයේ නායකයාට 2013 දී බංගලා දේශ රජය මගින් පිහිටුවන ලද අධිකරණය මගින්, ඔහු කරන ලද සාමුහික ඝාතන ස්ත්‍රී දුෂණ ආදියට වරදකරු කර මරණිය දණ්ඩනය පනවන ලදී. අන්තවාදය මැඩ පැවැත්වීමට බංග්ලාදේශ රජය ප්‍රශංසනීය උත්සාහයක් දරයි. අන්තවාදීන් නිසා විනාශ වුනු පවුල් හා ජිවිත බොහෝය. බ්ලොග් කරුවන් කිහිප දෙනෙකුද දිවි දුන් බංගලා දේශයේ අපේ සහෝදර සහෝදරියන් අන්තවාදයට එරෙහිව තීරණාත්මක සටනක් ගෙන යති. බංග්ලාදේශයේ මුස්ලිම් අන්තවාදය එම රටේ සාමකාමි ජනතාවට එරෙහිව ක්‍රියාත්මක වේ. එසේම එය එහි වෙසෙන බෞද්ධ සුළුතරයට එරෙහිවද ක්‍රියාත්මක වේ.
අනිකුත් රටවල මෙය එසේමය. වෙනස් වන්නේ ලේබලය පමණි. බුරුමයේ බෞද්ධ අන්තවාදය එහි වෙසෙන රෝහින්ගියා මුස්ලිම් වරුන්ට එරෙහිව ක්‍රියාත්මක වේ. ඉන්දියාවේ හින්දු අන්තවාදය මුස්ලිම් ජන කොටස් මෙන්ම අනිකුත් ප්‍රාන්තවල සුළු ජන කොටස් වලට එරෙහිව ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාවේ බෞද්ධ අන්තවාදය අලුත්ගම වැනි සිද්ධීන් වලදී මුස්ලිම්වරුන්ට එරෙහිව ක්‍රියාත්මක විය. දෙමළ බහුතරය වෙසෙන උතුරේ දෙමළ අන්තවාදය මුස්ලිම් වරුන් හා සිංහලයන්ට විරුද්ධව ක්‍රියාත්මක විය. එංගලන්තයේ, ජර්මනියේ හා විශේෂයෙන්ම නැගෙනහිර යුරෝපිය රටවල නාසි ලේබලය යටතේ අන්තවාදය ක්‍රියාත්මක වේ. ඇමෙරිකාවේ අන්තවාදය කෙනෙකුගේ ශරීර වර්ණයට එරෙහිව ක්‍රියාත්මක වන බව පෙනේ.
ලොව පුරා සමාජ ජාලා භාවිතා කරන්නවුන්, බ්ලොග් කරුවන්, සමාජ සංවිධාන මේවාට එරෙහිව සටන් කරති. මුළු ලෝකයේම මේ සටන් එක්විය යුතුය. සාධාරණ සමාජයක ජිවිත අයිතිය ඇතුව හිංසනයන්ට ලක් නොවී ජිවත් වීමට සෑම වැසියෙකුටම අයිතියක් ඇත්තේය.
ඕනෑම බ්ලොග් ලිපියක හෝ කලාත්මක ආකෘතියක පිළිඹිබු වන්නේ අපේ සිතුම් පැතුම් මෙන්ම අපේ හෝ වෙනත් අයෙකුගේ අත් දැකීම්ය. සමහර විට ඒවා මුළු මනින්ම මනඃකල්පිත ප්‍රබන්ධ විය හැක. සමහරවිට සත්‍ය අත් දැකීම් විය හැක. නමුත් ඒවා ලියන්නේ, ගයන්නේ, රඟන්නේ හෝ ප්‍රතිමාවක නිරූපණය කරන්නේ ජිවත් වන ලෝකය පදනම් කරගෙනය. අපට එයට වියුක්තව යා නොහැක. අප වෙනත් ග්‍රහලෝක ගැන විද්‍යාත්මක ප්‍රබන්ධයක් ලීවද එයට පාදක වන්නේද අපේ ලෝකයේ දැක්මම පමණි.
අන්තවාදය හැරුණු කොට මිනිස් අයිතිවාසිකම් සූරා කන කොටස් කීපයක් වෙති. මෙහිදී මම ශ්‍රමය සූරා කෑම පිලිබඳ කතිකාව උවමනාවෙන් මග හරිමි. ඒ ගැන මේ බ්ලොගයේ ඉහත ලිපි වල කතා කර තිබේ. මිනිසෙකුට හෝ ගැහැනියකට හෝ ළමයෙකුට තම උවමනාව පරිදි නිදහසේ ජිවත් වීමට, නිදහසේ ඉගෙනීමට, රැකියාවක් කිරීමට, සෙල්ලම් කිරීමට, සැන්දෑ සාදයක විනෝද වීමට හෝ උද්‍යානයක ගමන් කිරීමට ඉඩක් නොදෙන කොටස් ද අප අතර සිටිති. මේ අයද මිනිස් අයිතිවාසිකම් උදුරා ගන්නා ගොඩට දැමිය
යුතුය.
මිට දශකයකට පමණ ඉහතදී මම හෝටලයක තාවකාලිකව කළමණාකරුවෙකු ලෙස කටයුතු කෙළෙමි. මේ හොටෙල් සංකීරණයක් හිමි කාන්තාවක් යටතේය. ඉන් එකකට ලංකාවේ සිට රැකියාව කිරීමට විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් පැමිණියේය. ඔහු තමාව හැඳින් වුයේ මහාචාර්ය වරයෙකු ලෙසයි. ඔහුට තිබුනේ වසා දමා ඇති හෝටලය බලා ගැනීමටයි. (caretaker) ඔහුගේ සැබටිකල් ලීව් එක බවත් අවුරුද්දක් පමණ වැඩ කිරීමට හැකි බවත් ඒ කාලයට ලංකා රජයෙන්ද ගෙවන බවත් ඔහු මහත් ප්‍රීතියෙන් අපට කිවේය. "මට පඩි දෙකක් හම්බ වෙනවා. මම ආවේ ලන්ඩන් විශ්ව විද්‍යාලයේ කෝර්ස් එකක් කරන්න හදාගෙන. " ලෙසද අපට පැවසූ ඔහු තව දුරටත් කීවේ එය යහළුවෙකුගේ උදව්වෙන් සාදා ගත් බවත් කෝර්ස් එක බොරුවක් කර ෂේප් කර ගත හැකි බවත්ය. ලන්ඩන් විශ්ව විද්‍යාල වල එසේ කල හැකිදැයි මට කුකුසක්ද ඇති විය.
මට නැවතීමට කාමරයක් දී තිබුනේ මේ හෝටලයේ හෙයින් ඔහු හමුවීමට යාමට නිතර සිදු වුනි. පසුව මම කාමරය වෙනස් කර ගත්තෙමි. මට සැමන් ටින් එකක් කඩා ළුනූ කපා කෑලි මිරිස් සමග බැද උයන හැටි ඉගැන්වූයේ ඔහුය. ඒ නිසා මම බොහෝ විට එහි යන විට සැමන් ටින් එකක් රැගෙන යමි. මොහු පසුව මගේ යහලුවෙකුට පවසා තිබුනේ අජිත්ව අන්දලා හැමදාම දවස් ගාණක් සැමන් ගෙන්න ගෙන කෑවා යනුවෙනි. සැමන් ටින් එකක් එංගලන්තයේ මිල අධික නැත. නමුත් ඔහු මුදල් එකතු කරන්නේ එලෙස බවත් ඉතාම ලෝභයකු බවත් මගේ මිතුරා පසුව පැවසිය. ඔහු එය කිවූ විධිහට මට
තවමත් සිනා පහල වෙයි.
"මචන් පවුමක් ගූ ගොඩක වැටිලා තිබුනත් මූ දිවෙන් ගනියි". එයට හේතුව සේ මා පසුව දැන ගත්තේ මේ මිතුරා ගෙන් පවුම දෙක ණයට ගෙන කවදාවත් නැවත නොදීපු නිසාය.
මොහු ගැන මා කවදාවත් ලියන්නට හිතුවේ නැත. නමුත් ලියන්නට සිත් වුනේ මේ නිසයි. මා පසුගියදා ලංකාවට ගිය වේලේ සෝවියට් දේශයේ සිටි කල දැන හඳුනා ගෙන සිටි මිතුරකු වන පසන් කොඩිකාර සහෝදරයාගේ මළගමට ගියෙමි. එයට සහභාගී වූවන් අතර පසුව සිදුවූ සිදුවීමක් අන්තර්ජාලයේ පිළිරැව් දෙයි. මා සියාමා ගේ කතාව ලීවේ ඒ නිසාම නොවේ. සියාමා ගේ කතාව එයට එතරම් අදාළ නැත. එය ලිවිමට වෙනත් හේතූන් කිහිපයක්ද බල පෑවේය. ඉන් එකක් සිත නිදහස් කර ගැනීම විය හැකියි.
නමුත් මේ දිනවල ඉහත කී "මහාචාර්ය" වරයා සම්බන්ධ සිදුවීම් ද මතක් වී මට මහත් අපුලක් දැනුනි. අවුරුදු 20 කට ඉහත වඩා නිදහස්කාමී තරුණයෙකු වශයෙන් ඔහු කිවූ දෙය මම එතරම් තැකීමක් නොකෙළෙමි. නමුත් දැන් සිතෙන්නේ ඒ දින වලම ඔහුව හෙළිදරව් කළා නම් බොහෝ සිසුවියන් බේරා ගැනීමට හැකිව තිබුණු බවයි.
මට ඒ දිනවල පියකරු රුසියානු පෙම්වතියක සිටි අතර ඔහු සහ ඇතැම් මිතුරන් ඇය ගැන අසන ප්‍රශ්න වලට මමද නොපැකිල පිළිතුරු දුනිමි. මා එසේ කලේ මගේ තිබූ විවෘත භාවය නිසාද නැත්නම් එයින් මා සතුටක් ලැබීම නිසා දැයි නොදනිමි. නමුත් සමහර යහළුවන් ඊර්ෂ්‍යා කල බව නම් දනිමි. අපේ මිතුරන් කිහිප දෙනෙකුටද පෙම්වතියන් සිටි අතර මොහුට ඒ ගැන හීනමානයක් තිබෙන්නට ඇති බවට මොහුගේ ඇතැම් කතා වලින් හෙළිවිය. ඔහු තමන්ගේ විශ්ව විද්‍යාල ක්‍රියාකාරකම් ගැන කියන්නට පටන් ගත්තේ මින් පසුව යයි සිතමි.
ඔහු විසින් අපට පැවසූ බොහෝ ජුගුප්සාජනක දේ අතර සිසුවියනට ඔහු ලකුණු දෙන ක්‍රම පිළිබඳව පැවසීමයි. පියයුරු බැලීමට ඉඩ දීම සහ සම්භාහනය කිරීමට ඉඩ දීම විභාගය ගොඩ දා ගැනීමටය. ලකුණු හැටකට වැඩියෙන් දා ගැනීමට අවශ්‍ය නම් ඇතුලේ මොකක්දෝ කැපීමට ඉඩ දිය යුතුය. මෙය මට තේරුනේ නැත. ලංකාවේ විවාහ වීමට කන්‍යා භාවය තිබීම අවශ්‍යම නිසා තරුණියන් එවැනි දෙයකට අකැමැති වන බවත් ඔහු බොරු කියන බවත් මම කීවෙමි. ඔහු ඉන්පසු වත්ත පහල වෙලේ ....නම් කවිය ගායනා කල විට ඔහු කියන්නේ කුමක්ද යන්න අපට තේරුණි. අප සියල්ලෝම සිනාසුන බව නම් සහතිකය. ඔහු එතනින් නැවතුනේ නැත. ඔහු විසින් ක්ලාස් එකක් අරන් දීමට ශිෂ්‍යාවක රැගෙන තානායම් වලට ගිය හැටිත්, විභාග අවසන් වුනු පසු නොයෙකුත් තැන් වල ලකුණු බැලීමට එන්න යයි කියා සමහර සිසුවියන්ට ට මුඛ..... (fellatio) කිරීමට බල කල හැටිත් ඔහු අපට අනාවරණය කළේය. මේවා බලහත්කාරකම් නොවේ දැයි ප්‍රශ්න කල විට ඔහු කිවේ සමහර සිසුවියන් කැමැත්තෙන්ම එන බවත් සමහර අයට පෙම්වතුන් පවා සිටින බවත්ය. වැඩි හරිය තමන්ට භය බවයි.
එම තරුණියන් පොලිසියට යන්නේ නැත්දැයි අප ප්‍රශ්න කල විට "පොලිසියට කවුද යකෝ බය " යයි ඔහු ගෝරනාඩු කළේය. ඔහු කීවේ තමන් හිටපු ජනපති ප්‍රේමදාසගේ ගජයකු බවයි. ජනපතිට ලෝක දේශපාලනය ගැන පාඩම් කියා දී ලිපි ලියා දී ඇත්තේ මොහුලු. මේවා ඇත්ත දැයි මම නොදනිමි. ඉන්පසු පැවති රජයේ ඔහු එතරම් භූමිකාවක් රඟ නොපෑවද සිංහල අන්තවාදයට පක්ෂව ඔහුගේ ලිපි මම පුවත් පත් වල දුටුවෙමි. සිංහල ශිෂ්‍යාවන්ට හිර හැර කරන මොහු සිංහල ජාතිය බේරා ගන්නට පත්තර වලට ලිපි ලියන හැටි දැක මම පුදුම වුනෙමි. මේවා ලංකාවේ ප්‍රසිද්ධ සිහල ජාතික පුවත්පත්ය. හිටපු ජනාධිපති රාජපක්ෂ බලයට පත්වූ පසු ඒ මහතා ප්‍රසංශා කරමින් මොහු විසින් ලියු දාර ලිපි සිංහල පුවත් පත් වල දුටිමි. පසු කලෙක රාජපක්ෂ ජනාධිපතිවරයා රැවට්ටුවේද මෙවැන්නන් විය හැකිය.
වරක් ඔහු ලන්ඩනයේ ම ජිවත් වන තවත් තැනැත්තෙකු සමග හෝටල භෝජනාගාරයේ කතා කරමින් සිටියේය. අප ලඟින් ගිය විට ඔහු කීවේ ඔවුන් ලෝක දේශපාලනය ගැන වැදගත් ගැඹුරු සාකච්චාවක සිටින බවත් ඔවුනට බාධා නොකරන ලෙසත් ඔහු පසුව අපට කතා කිරීමට එන බවත්ය. එතනින් ඉවත්ව ගිය අපි බඩවල් බදාගෙන සිනාසුනෙමු.
නැවත හමුවූ විට ඔහු මට කියේ
"අජිත් ලාට අපි කතා කරන ගැඹුරු දේවල් තේරෙන්නේ නැහැනේ. ඒකයි මම අප ගාව ඉඳ ගන්න එපා කිවේ. මම විදෙස් කටයුතු පිලිබඳ , ලෝක දේශපාලනය ගැන විද්වතෙක්. ඔයාල අපි ඔය ජොලි ඒවා ගැන කතා කරමු. බඩු ගැන එහෙම."
මට මදක් සිනා ගියද කිසිවක් නොකීවෙමි.
ඉන් පසු දවසක අපි ඔහුට ලන්ඩනයේ සෙක්ස් කඩ ගැන කීවෙමු. ඈන් සමර්ස් වැනි ලිංගික කටයුතු සඳහා අවශ්‍ය දේ විකුණන කඩ සෝහෝ වල බහුලය. මේවා භාවිතා කරන ආකාර ගැන , ලිංගික තෘප්තිය තම සහකරු හෝ සහකාරිය සමග ලබා ගන්න ආකාරය (අන්තර්ජාලය ඒ දවස වල නැත) අපි ඔහුට පැහැදිලි කළෙමු. ඔහු ඉන්පසු ඒ ගැන පොතක් ලියා ලංකාවේ පල කිරීමට සුදානම් විය. මේවා ලංකාවේ නැති බවත් මිනිසුන් ඉතාමත් කැමැත්තෙන් මිලදී ගනු ඇති බවත් ඔහු අපට පැවසුවේය. ඔහු එවැන්නක් ලීවා දැයි නොදනිමි. ඒ ඔහු ලන්ඩනයේ සැබටිකල් කාලයේ කල පර්යේෂණාත්මක ගවේෂනයයි.
ඔහුගේ බිරිඳ එනවාය කියා ඔහු අපට හෝටලයට ඒම තහනම් කළේය. ඒ ඇයි දැයි ඇසූ විට ඔහු කිවේ, මගේ බිරිඳ රන් තැඹිලි ගෙඩියක් වගේ ඇහැට කණට පේන එකක් නිසා උඹල වගේ වල් කොල්ලන් වද්දා ගත නොහැකි බවය. අපි වල් කොල්ලන් වූයේ කෙසේදැයි ඇසූ විට, කසාද නොබැඳ පිටරට ගැහැණුන් සමග ජිවත් වන අප වල් කොල්ලන් බවත් ඔහු කසාද බැඳ ඇති උගත් මහාචාර්යවරයෙක් බවත්ය. සුන්දර ඔස්ට්‍රේලියානු කෙල්ලක සමග යහළුවී උදේ හවා ඇය සමග හාවෙකු මෙන් රති කෙලියේ යෙදුන මගේ තවත් මිතුරක් පැවසුවේ
"මචන් කසාද බැඳලා අහිංසක එවුන්ට බලහත්කාරකම් කරන මූට වඩා අපි වල් වුනේ කොහොමද? අපි නීතියක් කඩනවද " කියායි.
මම ඔහුට කිවේ ශ්‍රී ලංකාවේ මෙන්ම අනිකුත් රටවලද ගණිකා වෘත්තීය නීති ගත කිරීමෙන් මේ තත්වය සමනය කර ගත හැකි වේය කියායි. රජයට බදු වලින් ආදායමක්ද ලැබෙන අතර කෙනෙකුට ලිංගික අසහනයෙන් ජිවත් වීමටද තවත් අයෙකුගේ නිදහස උදුරා ගැනීමටද අවශ්‍ය නැත. එම වෘත්තියේ යෙදෙන අය සමහර යුරෝපිය රටවල එය කැමැත්තෙන්ම කරන නිසා සූරා කෑමට ඇති ඉඩකඩ අඩුය. නිදහස් වෛශ්‍යාවක් කරා මුදල් දී යන පුද්ගලයා බස් වල යන අසහනකාරයන් මෙන්ම තම තත්වය හා බලය අයුතු ලෙස ප්‍රයෝජන ගන්නා ඉහත කි එවුන්ට වඩා ශිෂ්ටාචාර අයෙක් බව මගේ හැඟීමයි.
දශකයක් හමාරක් ඇවෑමෙන් එක්තරා ජේෂ්ඨ ජනමාධ්‍යවේදියෙක් මා ඇමතුවේය. "මචන් මතකද අර ප්‍රොෆෙක් ගැන උඹ කිව්වා. ලිංගික අපයෝජන කරල මාක්ස් දෙන. මේ ගෑණු ළමයෙක් පොරට විරුද්ධව පැමිණිල්ලක් කරන්න යන්නේ. උඹට සාක්කි දෙන්න පුලුවන්ද ඌ කියපුව ගැන" ඒ සමයේ මම ඒ ඉල්ලීම කණගාටුවෙන් ප්‍රතික්ෂේප කලෙමි. මේකා අපට කිව් කතා සත්‍ය බව මට පැහැදිලි විය.
සියාමා ගේ කතාවේ දෙවන කොටසේ බංග්ලාදේශ විශ්ව විද්‍යාලයක වන සත්‍ය සිදුවිමක යූටියුබ් වීඩියෝව පල කලෙමි. එය දුටු ඉහත කී මාධ්‍යවේදියාම කීවේ මෙවැනි කතාවෙකි. ශ්‍රී ලංකාවේ සමහර සිසුවියන් තම කැමැත්තෙනුත් සමහරු බියෙනුත් තවමත් ඇතැම් මහාචාර්ය, උප කුලපති වරුන් ළඟට යන බවයි. එක්තරා නමක් සඳහන් කරමින්ම ඔහු පැවසුවේ කාර්යාල පිරිසිඳු කරන්නා එක්තරා ජන මාධ්‍ය වේදියෙකුට සිකුරාදා රැයක පිරිසිදු කිරීමට ගිය විට අහුලා ගත් ජංගි ටික පෙන්වූ බවයි. මම ඔහුගෙන් ඇසුවේ අන්තරේ කුමක් කරන්නේ ද යන්නයි. ඔහු කිවේ අන්තරේට ඕවා ගැන කතා කිරීමට වඩා වැදගත් වැඩ රාජකාරි හැමදාමත් තිබුන බවයි.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීම නැවත් වීමේ සිට ලංකාවේ සමජවාදී විප්ලවය සඳහා සූදානම් වීමත් පන්ති අරගලය කිරීමත් ඔවුන්ගේ මහා අභිප්රායන් අතර තිබුණි. සිසුන් ගැන තරමක් හෝ කතා කල දයා පතිරණ අකාලයේ "ප්රතිගාමියෙක්" වී මියෑදුණි.
ඔහුගේ ප්රතිගාමී අනුගාමිකයන්ට මගේ නම් කිසිම සහයෝගයක් නැත. නමුත් අන්තරේ ගැන මොනවා හෝ කිව්වොත් අපට මාක්ස්වාදී එපිස්ටමලොජිය උගන්වන්නට එන අය නම් බොහෝය. ඒ කාලේ ජවිපෙට අනුබද්ධ අන්තරය දැන් පෙරටුගාමී සමාජවාදීන්ට අනුබද්ධය. අන්තරේ මෙහෙයවූ බොහෝ අය දිවි දුන් අතර සමහර අය ඇමතිවරු මැතිවරු වුහ. සමහර අය ජනාධිපති අපේක්ෂකයන්ද විය. ඔවුන්ගේ පන්ති අරගලය හා පෞද්ගලික විද්‍යාල වලට එරෙහිව සිදු කරන අරගලය ගැන මගේ කහටක් නැත. ඒවායින් රජයේ බොහෝ ප්රතිගාමී දේවල් වැලකුණ බවද සැබෑය. එහෙත් කුමන හෝ හේතුවකින් තම ඇස් ඉදිරිපිට සිදුවන අසාධාරණයන් හා බලය අයුතු ලෙස පාවිච්චි කිරීම් පිළිබඳව ඔවුන් නිහඬ බව මගේ හැඟීමයි. මා වැරදි නම් නිවැරදි කරන්න. අරගල පටන් ගන්නේ තමන් සිටින තැන සිදුවන අසාධාරණයන්ට එරෙහි වීමෙන් මිස දේශපාලන නායකයන්ගේ න්‍යාය පත්‍ර වලට නොවේ.
මම ස්ත්‍රී වාදියෙකු නම් නොවේ. නමුත් මගේ නිහඬවීමත් අපරාධයක් බව මට වැටහුනේ සියාමා ගේ කතාවට පාදක වූ සිද්ධීන් කිහිපයක් දැන ගැනීමෙන් අනතුරුවය.