Wednesday, 9 October 2019

කස ඇට දාපු අයිස් සරුවත් කතා 1


සරුවත්......
පොත් ප්‍රදර්ශනය බලන්න මෙදා සැරේ තරම් උනන්දු වුණු අවුරුද්දක් නැති තරම්. පොත් ගත්ත ප්‍රමානෙත් එතරම්. දවස් දෙකක්ම සම්පූර්ණයෙන්ම ඒ වෙනුවෙන් වෙන් කළා.

පොත් ගොඩ උස්සගෙන ඇවිදින එක තමයි අමාරුම වුණේ. පොත් ප්‍රදර්ශනේට ගිය එක දවසක් වෙන් වුණේ මගේ මිතුරිය වෙනුවෙන් (පද්මිනී මාතරගේ) ඒ එක්කම තවත් යාළුවෙක් එක් වුණා.
ඇවිදලා ඇවිදලා මහන්සි වුණ තැන පොත් මිටි එක්ක තවත් දුර යා ගන්න බැරිවුණා.
" අපි යමු මොනවා හරි බොන්න." යාළුවන්ගේ යෝජනාව වුණා. ලන්ඩනයේ ⁣වෙසෙන මගේ අනිත් මිත්‍රයා ( කලකට පෙර ලංකාවේ ) යෝජනා කළේ සරුවත් බොන්න යන්නයි.
"සරුවත් බොන්න." මම පුදුමෙන් ඇහුවා.
"ඔව්....මගේ ප්‍රියතම පානයක් සරුවත්. ඇයි?" ඔහු මගෙන් ප්‍රශ්ණ කළා.
"මමත් හරිම ආසයි සරුවත් වලට. " මම කිව්වා.
" එහෙනම් අපි යමු. මම උදේ පොත් ප්‍රදර්ශනේට එනකොට තැනක තියෙනවා දැක්කා." මට පුදුම හිතුණේ ලන්ඩනයේ අවුරුදු ගාණක් ජීවත් වුණු ඔහුට මට වගේ සරුවත් ආසාවක් ඇතිවුණේ කොහොමද කියලා. කොහොම හරි ඔහුගේ යෝජනාවට අනුව සරුවත් බොන්න තීරණය කළා.

ඊලඟට ඇතිවුණ ප්‍රශ්ණය තමයි කොහෙද සරුවත් කඩේ තියෙන්නේ? මගේ මිත්‍රයා ට ලංකාව නුහුරුයි වගේම පොත් ප්‍රදර්ශනේ විවිධ ඉසව් ගැනත් නිච්චියක් නැහැ. මගේ මිත්‍රයා කියන, කියන ඉසව් වලට ගිහින් සරුවත් කඩේ හෙව්වා.අවසානයේ අපි පොත් ප්‍රදර්ශනේ පුරා ඇවිදලා, අැවිදලා සෑහෙන පරිශ්‍රමයක් දරලා තැන හොයා ගත්තා.
අපිත් එක්ක සංඛ පොත් ප්‍රකාශන ආයතනයේ හිමිකරුත් එකතු වුණා.

ඔන්න ඉතින් අපි ක⁣ඩේ හොයා ගත්තා කියමුකෝ.
එතන පෝලිමක්. බලනකොට අපි වගේම සරුවත් වලට කැමති තව හුගාක් අය පොත් ප්‍රදර්ශනේට ඇවිත්නේ.

ටිකක් පෝලිම දිගයි. අපි පෝලිමේ ඉදන් අපේ වාරේ එනකන් බලන් හිටියා.
"අනේ මේ සරුවත් නෙවෙයි." සරුවත් එක දැකපු ගමන් මම කිව්වා.පද්මි කිව්වේ ඔය සරුවත් තමයි කියලා. ලන්ඩන් මිත්‍රයට නම් ඒකේ වගක් නෑ. මොකද රතු පාට බීම එකේ කස කසා ඇට දාලා තිබුණු නිසා ඔහු හිතුවේ ඒ තමයි සරුවත් කියලා. මොකද අවුරුදු ගාණකින් ඔහු ලංකාවේ සරුවත් බීලා තිබුණේ නෑ.
"හද්දා පිටිසර ගමක ඉපදුනු මට කියලා දෙන්න එනවද සරුවත් ගැන." මම මගේ සගයින්ට සරුවත් හදන නියම ක්‍රමය කියලා දුන්නේ ලඟ තිබුණු බංකුවක වාඩිවෙලා. ඒ එක්කම අපි අලුත් අත්හදා බැලීමකුත් කළා..ඒ තමයි බතල සමග සරුවත්.
නරකමත් නෑ කියලා හිතුණා කාලා ඉවරවුණාම.
මේ සටහන ලියන්න හිතුණේ අපිත් එක්ක සරුවත් බීලා ලන්ඩන් ගිය කොළඹ ගමයා (අජිත් ධර්මකීර්ති) ලන්ඩන් ගිහින් සරුවත් එක්ක තවත් මොනවද එකතු කරලා (?) බිව්වලු.
හැබැයි ඒ අමුතු ජාතියේ අලුත් බීම එක ගැන නම් අපි කියන්න දන්නෙ නෑ.
බතල බයිට් 

සරුවත් සෙල්ෆිය  

ලංකාවේ  සරුවත් 

වසන්ති නානායක්කාර
2019/10/08

ඒ බීම  ජාතිය තමා සරුවත් සමග ජින් පොඩ්ඩක් කලවම් කරන ලද  සරුවත් කොක්ටේල් එක.
ලන්ඩන් සරුවත් 

සරුවත් සමග ජින් 

Thursday, 3 October 2019

පරිවර්තනයක් වගේ ඒත් පරිවර්තනයක් නොවේ

H 197 කුටියේ 
මගේ ඥාති දියණියක් "ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " කියෙව්වලු එක හුස්මට (ඒ කියන්නේ දවස් දෙක තුනක් ගිහින් මිනිත්තුවට හුස්ම 16 විතර අරගෙන). හරි දුකයිලු. ඇයි දෙන්න අන්තිමට .......(ප්‍රකාශක මහත්මය කිව්ව එකම අහනව). මම කිව්වා හැම කතාවෙම එහෙම වෙන්නේ නැහැ කියල. පෙරේද කෝල් එකක් ආව ලංකාවෙන්. කතා කලේ ජානක. එයාගේ ආදරණිය බිරින්දෑ පොත කියෙව්වාලු එක හුස්මට. හරිම අසාවෙන්ලු කියෙව්වේ. පරිවර්තනයක් වගේ ලු. ජානක කියනවා වසර 30 ආපස්සට ගියා කියල. සෝවියට් කාලෙටබොහොම ස්තූතියි ජානක කෝල් එකට.

ඒක කිව්වහම මතක් වුනේ පාලිත සේනාරත්න හමුවෙලා කතා කළා මහින්ද සෙනරත් ගමගේ ගේ H 197 කුටිය ගාව. ඒකෙ මහින්ද කරපු පරිවර්තන ගොඩක් තිබුන. ඒ අතරම කුටියේ  රාදුගා , ප්‍රගති ප්‍රකාශක ලගේ පොත් දැදිගම  වී රුද්‍රිගු ගේ පරිවර්තන හෙම හුඟක් තිබුන.

 පාලිත මාව මහින්ද ගාවට යොමු කළා . මේ ඉන්නේ අර "ප්‍රථම ප්‍රේමය ලියපු කෙනා " කියල.
මහින්ද කියවමින් හිටි පොත (ජෙනරල් ගේ කතාව ) දිහා බලාගෙන ම ඇහුව.
"ආ හොඳයි කවුද ලීවේ "
මම කෙටියෙන් පිළිතුරු දුන්න "මම " කියල.
මහින්ද අහනව ආයිත්
" නෑ කවුද ලේඛකයා "
මම ආයිත් කියනව "මම තමා "

එතකොට තමා මහින්ද ඔලුව උස්සල බැලුවේ. උපැස් යුවල උඩටත් ගත්ත. ටිකක් වෙලා ගිහිල්ල කියනවා.
"ආ මේ පොල්කට්ටෙන් එපිටට " ලියපු කොළඹ ගමයා නේ කියල.

මම මහින්දව කවදාවත් දැකල තිබ්බේ නැහැ ඊට කලින්. මහින්ද දිගටම කියව ගෙන ගියා "කියුබාව සමාජවාදී ද " , "යුගොස්ලාවියානු කෙල්ලෝ තුන් දෙනා ගැන " ආදී ඒ පොතේ තිබූ ලිපි ගැන.
එයා හිතල තියෙන්නේ මම රුසියානු ලේඛකයෙක් ගේ පොතක් පරිවර්තනය කරලා කියල මේ පාර. ඒකෙ හේතුව මම පොතේ නම පිට කවරයේ රුසියානු භාෂාවෙනුත් ලියපු නිසා කියල මට හිතුනේ.

කොහොම වුනත් මාර සතුටක් දැනුන හිතට, අවුරුදු තුනකට කලින් ලියපු පොතක දේවල් මහින්ද සෙනරත් ගමගේ වගේ වගේ ප්‍රසිද්ධ පරිවර්තකයෙකු හා ලේඛකයෙකු ගෙන් අහන්න ලැබීම ගැන.(ඉහල පින්තුරය H කුටියෙන් )
එදා හැන්දෑව 

Saturday, 28 September 2019

"ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " - විචාර 3 -ගෙවුනු සතියේ සොඳුරු සහ අතිශය සුන්දර දවසක - පද්මිණී මාතරගේ

ගෙවුනු සතියේ සොඳුරු සහ අතිශය සුන්දර දවසක ,සැන්දෑවක ,මිහිර හිතට එක් කලේ කොළඹ ගමයා (අජිත් ධර්ම ) ගේ ප්‍රථම ප්‍රේමය ඔබ නෙවේ නිසයි.

රුසියානු සංස්කෘතික කේන්ද්‍රයේදි තිබුනු ඒ පොත් දොරට වැඩුම සුවිශේෂී අංග කීපයක් නිසාම වඩාත් රසවත් හෝරාවක් වුනා කියලයි මට හිතෙන්නේ.

ලන්ඩනයේ ජීවත් වෙන, පරිගණක  මෘදුකාංග ඉංජිනේරුවරයෙක් වෙන අජිත් තුල මේතරම් සුන්දර සාහිත්‍යවේදියෙක් ඉන්නේ කොහොමද කියලා මට හිතා ගන්න බැරි වුනා. කොළඹ ගමයා බ්ලොග් එක ඒ දවස්වල ආසවෙන් කියෙව්වට ඒක ලියපු අජිත්ව මම මුලින්ම දැක්කේ මීට අවුරුදු කීපයකට කලින් ,විපුලි ලංකාවට ඇවිත් , සුන්දර රාත්‍රියක , රෑ පින්නේ ..මීගමුවේ කෝටේජ් එකක එළිමහනේ අපි හැමෝම වෙනුවෙන් තිබ්බ උත්සවයකදී යි. ඒ කතා ගොඩාක් දිගයි. .. ආදරණීයයි ... ඒක එහෙමයි .

කොහොම වුනත් පහුගිය දවසක රුසියානු සංස්කෘතික කේන්ද්‍රයේදි අපි නැවත හමුවුනා. අපි කිව්වට අජිත්, මම , වසන්ති , ප්‍රියා, සිසිර යාපා ඇතුලු තව බොහෝ දෙනා ඒ හමුව ඇතුලේ හිටියා. අජිත්ගේ වැඩේ වුණාට මගේ යාලුවොත් කීප දෙනෙක්ම ඇවිත් හිටියේ, මට වගේම අජිත්ගේ කොළඹ ගමයට පෙම් බැන්ද අය නිසයි . ඇත්තටම ඒක අතිශය සොදුරු සැන්දෑවක්.

මීට කළින් දවසක අපේ සිසිර යාපා ෆ්බී එකට ලියල තිබුණා වගේම සෝවියට් සමූහාණ්ඩුව ගැන මටත් තියෙන්නේත් අතීත කාමයක්. ඒ අතීත කාමය නිසාම කොහේ කොතැනක පොත් සම්බන්ධ වැඩක් තිබුනොත් තාමත් රුසියානු පොත් සෙවීමේ ,පොත් ගැනීමේ ආශාව නැති වෙලා නෑ.

මගේ ලෝකේ අදටත් ආදරෙන් ඉන්න චරිත අතර පාවෙල් කොර්චාගින්, සෂෙන්කා, සුන්දර නතාෂා,ආල්කා, දුයිෂෙන්, අල්තිනායි,ඉසෙර්ගිල් මැහැල්ල මේ හැමෝම තාමත් මා එක්ක ජීවත් වෙනවා කියලයි මට හිතෙන්නේ .

විප්ලවයේ කැඩපත කියලා ලෙනින් කිව්ව ටෝලස්ටෝයි වගේම මැක්සිම් ගෝර්කි, දොස්තයෙව්ස්කි තව ගොඩාක් දෙනාත් ඒ හිතේම බොහෝම ආදරෙන් ඉන්නවා .

සෝවියට් දේශයේ සමාජවාදී කඳවුර බිඳ වැටීම, ස්ටාලින්ගේ පාලනය වගේම විප්ලවීය ජනතා අරගලත්,සැබෑ මිනිසෙකු ගේ කතාවක්, ගුරු ගීතය,වානේ පන්නරය ලැබු හැටි මේ වගේ පත පොත ඒවායේ ජීවමාන චරිතත් මගෙ හිතේ තාමත් ජීවත් වෙනවා කියලා මට වැඩියෙන්ම දැනුනේ අජිත්ගෙ පොත් වැඩෙත් එක්ක ගතකල ඒ සොදුරු හෝරා කිහිපය නිසයි .

මගේ රුසියානු ප්‍රේමය කොයි තරම් ආදරණීය විදියට හිතේ තාමත් තියෙනවාද කියලා තේරුනේ අජිත් පොත එළිදැක්වීම සංවිධානය කරලා තිබුනු විදියටයි. උත්සවය මෙහෙය වූයේ චූලා අයියා . චූලානන්ද සමරසේකර ලියු කියූ කවි කෙටිකතා විචාර විග්‍රහ ආසවෙන් කියෙව්වට ලස්සනට උත්සවයක් මෙහෙයවනවා දැක්කම හිත සතුටින් පිරුණා .

ආචාර්ය සුනිල් සිරිවර්ධනගේ කවි කෙටිකතා කියවා තිබුනා . ඔහු ගැන ලක්බිම පත්තරේට මම ලිපි ලියලා තිබුනා . ඒත් ඔහු මේ තරම් ම්හිරට, අතිශය හැඟීම්බරව ගිටාරයක් වයමින් රුසියානු ගීතයක් ගායනා කරනවා දැක්කේ මුල්ම වතාවටයි. ඒ ගී හඬත් එක්ක මගේ හිත ස්ටෙප්ස් තණ බිම පුරා දිව ගියා. දොන් නදිය දිගේ පාවුණා. බීරියොසා ගස් අතරින් වගේ රිබීන කුරුල්ලන්ගේ පියාපත් අතරින් දිවගියා.

චන්ද්‍රගුප්ත තේනුවර ඔවුන් රුසියාවේ ගතකල ජීවිතේ ගැන කියද්දී , දෑස් පියාගෙන අහන් උන්නේ,ඒ ආදරණීය සුන්දර පරිසරය හිතින් මවා ගෙන. රුසියානු නර්තනයන්, රුසියානු ගීත මේ සියල්ලම කියන්න බැරි තරම් මිහිරක් හිතට ගෙනාවා.

ඒ සොඳුරු හෝරාවේ මිහිරෙන් සියල්ලන් ඒකාත්මික කරන්න ඔයා ගත් වෙහෙසට ගොඩාක් ස්තූතියි ආදරණීය අජිත්..

ඉතින්..අජිත්ගේ එහෙම නැත්නම් ආදරණීය "කොළඹ ගමයාගෙ "ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ කෘතිය ,මගේ රුසියානු සාහිත්‍යයට තියෙන අසීමිත ප්‍රේමයත් එක්ක මිහිරට රසවින්දා. ආදරය, දේශපාලනය , ශෘංගාරය මේ සියල්ල ගිහාන් තාන්‍යා ආදර කතාව තුල සනිටුහන් වෙලා තිබුනා. එක හුස්මට කියවන්න පුලුවන් රසවත් පොතක්. පිටු 360 ක් පුරා මේ ආදර කතාව එක්ක නිලධාරිවාදය , ඔත්තු සේවා..මේ සියල්ල අපූරුවට පෙළ ගස්වා තිබුන.පොත හුඟාක් ලස්සනයි .

පොතේ පිටකවරය ගැන ඔයාගේ මිතුරු මිතුරියන් විවිධ දේ ලියා තිබුනා . එහි පාඨක ආකර්ශනය සම්බන්ධයෙන් ගැටලු තියෙන බවයි බොහෝ දෙනා පෙන්වා දී තිබුනේ. ඒත් මම ඒ ගැන කිසිවක්ම කියන්නේ නෑ. මේ පොත කරද්දී මුහුණ දෙන්න වුනු කටුක දේ අප්‍රමාණයි කියලා මට හිතෙන්නේ . ඒක අජිත්ටත් දැනුනද කියන එක සැකයි. ඒත් මගේ නම් හිත රිදුනා. හිත සැලුනා.

ලන්ඩන් සහ කටුනායක ඉදල එහාට මෙහාට කාලයක් තිස්සේ ගිය දුරකථන සංවාද, මෙසෙන්ජර් මගින් හුවමාරු වුනු පණිවිඩ අප්‍රමාණයි . සිත් රිදවීම් මෙන්ම ඒකපාර්ශ්විය තරහවීම් 😃😃😃අප්‍රමාණයි. තරහ වෙන්න දෙන්නෙක් නැති වීම කොච්චර අඩුවක් ද කියලා මට හිතුනා .

අත්පිටපත නොකියවාම එය සීනිබෝල පොතක් කියල ප්‍රතික්ෂේප කරපු, තමන් මහ දැවන්ත ප්‍රකාශකයින් කියල අධිතක්සේරුවක සිටි ඇතම් ප්‍රකාශකයින් නිසා ඇතිවුනු සිත් රිදවිම් මේ සියල්ල මැද අජිත් මේ පොත කිරීම ගැන , ඒඅභියෝගයට ඉතාම සැහැල්ලු වෙන් මුහුණ දීම ගැන අප්‍රමාණ සතුටක් මට තියෙනවා .ඉතින් පොතටම එහෙම වෙද්දී පොතේ පිටකවරය ගැන මම මුකුත්ම කියන්නේ නෑ.

මම පොතක් කරන්නේ නෑ කියල ලවක්දෙවක් නැතිව බණින  මිත්‍ර නඩේ ලොක්කි තමයි වසන්ති. වෙලාවකට ආදරණීය යාලුවෙක් නොකිව යුතු දේත් ඒ අතර තිබුනා . පොත් මාතෘකාව නිසාම තරහ වුනු වාරත් අනන්තයි.

ඊලගට කවි පොතක් හරි කරන්නකෝ පද්මි කියල ඇවිටිලි කරන්නේ සුජි. එයා කැම්පස් යනකාලේ ඉදන් බොහෝම සෙනෙහසින් කරන ඉල්ලීමක් ඒක. දැන් දරු 3 දෙනෙකු ගෙ අම්මා කෙනෙක්. ඊ ලගට සුනේත්‍රා .ලක්බ්මේ ඉදිද්දි වගේම දැන් ස්විස්ටර්ලන්තයේ ඉදල වචන 100ක් කතා කලොත් 95 ක් ම පොත ගැන ඒ හැරුනම සිසිර ,ගයාන් මල්ලි.. විමුක්ති මල්ලී ඔය විදියට පරපුරක්ම ඉන්නවා. ලිස්ට් එක තව ගොඩාක් දිගයි. ඒ හැරුනම පොත් කතන්දරේදි අමතක කරන්නම බැරි අනික් චරිතය ආදරණීය ප්‍රියා නංගී ..දැනුත් කතා කලේ ඒ ගැන .

ඉතින් තවමත් පොතක් ලිව්වේ නෑ . ප්‍රකාශන ගැටලුව බොහෝම කටුක නිසා මම දිගින් දිගටම අත් හැරලා තියෙනවා . ඒක අතුරු කතාවක් .

අජිත් මේ සියල්ලටම නොසැලී මුහුණ දෙමින් සුන්දර කතාවක් අපිට තිළිණ කරලා තියෙනවා. ඒ ධෛර්යයට මම ගරු කරනවා .

ඔයා අතින් තව තවත් අරුත්බර සුන්දර නිර්මාණ බිහිවේවා !!!

-පද්මිණී මාතරගේ

"ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " - විචාර සටහන් 1 - බුද්ධිකා එරන්දි ජයසිංහ,   බෝධිනී සමරතුංග, කොලොම්පුරේ අසංග 

"ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " -විචාර 2 - සිසිර යාපා 

Friday, 27 September 2019

"ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " -විචාර 2 - සිසිර යාපා

මුල්  කවරය 


ධනවාදී වෙළඳ පොලේ සාර්ථකත්වය උදෙසා 

මෙහි සඳහන් කවරයේ කතාව සඳහා පැහැදිලි කිරීමක් වෙනත් බ්ලොග් ලිපියක කරමි. - අජිත්

සිසීර යාපා සහෝදරයාගේ සටහන-

පහුගිය දවසක අජිත් ධර්මකීර්තිගේ ' ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ' පොත ගත්තා. හුඟ කාලෙකට පස්සේ පොතක පෙරවදනින්ම කියවන්න ගත්තා. පටන් ගන්න කොටම ෆෲෆ් බලලා නැති එක අහුවුනා. ඒත් ඒ පෙරවදන සෝවියට් සමූහාණ්ඩුවට මගේ ඇති අතීතකාමය නිසා ආසාවෙන් කියෙව්වා. ඒ පෙරවදන USSR ඉදලා රුසියාව දක්වා පෙරළුණු ඉතිහාස කථාවේ සංක්ෂිප්ත සටහනක් නිසා පෙරේත කමින් කියෙව්වා.
අජිත්ගේ බස මටනම් බුහුටි බහක්. කියවන්න හිතෙන බසක්.
ඒ නිසාම මුලු පොතම එක හුස්මට කියවන්න පුළුවන් වුනා. ඒක යෞවන ආදරය, දේශපාලනය, ශෘංගාරය එකට තියෙන ලස්සන කතාවක්.
ගිහාන් සහ තාන්‍යා ආදර කතාව පිටු 360ක් පුරා ගලන්නේ ලෝක දේශපාලන මතකයන් එක්ක. කේජිබී ඔත්තු සේවය, පැරණි සෝවියට් සමූහාණ්ඩුවේ ප්‍රතිලාභ, නිලධාරිවාදයේ අනිටු ඵල. හැම දෙයක්ම අත්දැකීම් ඔස්සේ ලියවුණු රහැති පොතක්.
ඒත් ඒ රහ මැකෙන තැන් පොතේ බහුලයි. පළවෙනි දේ වැරදි අක්ෂර වින්‍යාශය. දෙක හොදින් සංස්කරණය නොකිරීම. ඒ දෙකම කළ යුත්තේ ලේඛකයා නෙමෙයි. ඒත් අපේ අය ඒ දෙකම හරියට කරගන්නේ නැහැ. මේ පොතෙත් එහෙමයි.


මම දැක්ක ලොකුම අවුල පොතේ කවරය.
ඒක පොතේ රහට ලංවෙන්නවත් බැරි දුප්පත් කවරයක්.

ලංකාවෙන් ගිහින් සෝවියට් දේශයේ ඉගෙන ගෙන, ජර්මන් තරුණියක් විවාහ කරගෙන, එක්සත් රාජධානියේ ජීවත්වෙන 'කොළඹ ගමයට' තමන්ගේ අලුත් පොතට ආකර්ෂණීය කවරයක් හදාගත්තේ නැති එක ලොකු වරදක්. මම හිතන්නේ පොතක කවරය තමයි පාඨක අපිව ඇදලා ගන්නේ. ඒක අනාකර්ශණීය නම් අලෙවිය අසමත්. ඒ අතින් අජිත්ගේම 'පොල්කට්ටෙන් එපිටට' පොතේ කවරය ලස්සනයි.
පොතේ දෙවන මුද්‍රණයක් කළොත් මේ කරුණු ටික ගොඩදාගත්තොත් මරු.

මේ අවුල් අතහැරලා පොත කියවන්න ගන්න. මොකද අජිත් ධර්මකීර්තිගේ 'ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ' එක්තරා විදිහක 'සමාජවාදී' රාෂ්ඨ පාලනයේ කතාව කියන සුන්දර නවකතාවක්.

~~~~~~~~~~සිසිර යාපා

"ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " - විචාර සටහන් 1 - බුද්ධිකා එරන්දි ජයසිංහ,   බෝධිනී සමරතුංග, කොලොම්පුරේ අසංග 

Thursday, 26 September 2019

"ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " - විචාර සටහන් 1 - බුද්ධිකා එරන්දි ජයසිංහ, බෝධිනී සමරතුංග, කොලොම්පුරේ අසංග





ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ!

කොළඹ ගමයා නොහොත් Ajith Dharmakeerthi මා කලක සිට බෙහෙවින් ප්‍රිය කල බ්ලොග් රචකයෙකි.
කලකට පසු සහෘද බ්ලොග්කරුවන් සමඟ අජිත් අයියාගේ "ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ" දොරට වැඩුමට සහභාගී වන්නට ලැබීම මහත් සතුටකි.

මේ එහි එන එක් පරිච්ඡේදයකින් කොටසකි.

[ තාන්‍යා ඇගේ නිල් පැහැති දෙනෙත් රවුම් කරමින් ඔහු දෙස බලා සිටියාය.
" ඔයත් මාව දාලා යයි. කලින් මට ඒක කමක් නැහැ කියලා හිතුනත් දැන් මට එහෙම හිතෙන්නේ නැහැ." ඇය කීවාය]

තවම පොත කියවා අවසන් නොකළ මුත් ප්‍රේමයේ සියුම් රිදීමක හැඟීමක් දැනෙන මේ සටහන ම පොත කියවන්නට මහත් උත්තේජයක් වූ බව නොකියාම බැරිය.

එන්න ඔබත් කියවන්න
"ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ"

ඔබට ආරාධනා කරන්න
මං
එරන්දී

--බුද්ධිකා එරන්දි ජයසිංහ

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


ඊයේ හවස අජිත් අයියගේ පොතට දුවගෙන ආවේ හසිනි භාග්‍යා නංගිගේ කවිපොතේ කතාව අහවර කරලා... නොසිතූ පරිදි මුලින්ම ඒ කවිපොත ගැන කතා කරන්නට ලැබීමත් මුල්ම කතාව ලැබීමත් නිසා randika එක්ක මට අජිත් අයියාගේ පොතට දුවගෙන එන්න හැකි වුණා.
රුසියාවේ ප්‍රේම කතාව ජනගත කළ සැඳෑවත් හරිම අපූරු උත්සවයක් !

සුනිල් විජේසිරිවර්ධන මහත්මයාගේ කතාව, චන්ද්‍රගුප්ත තේනුවර මහත්මයාගේ කතාව රුසියාවේ ඔවුන් ගත කළ කාලය ගැන එකල සිදුවීම් ගැන අපූර්වතම විචිත්‍රවත් රූප පෙළක් අප හමුවට ගෙන ආවා.
සෝවියට් සමූහාණ්ඩුව ගැන කතා අසා කියවා තිබුනාට එහි ඇවිද ගොස් ජීවත් වූ ඔවුන්ගේ කතා අහන්න ලැබීමත් මේ පොත දොරටවැඩුමට වටිනාකමක් එක් කළා.

චූලානන්ද සමරනායක මහතා බොහොම සීරුවට උත්සවය මෙහෙයවූයේ පමාවී ආරම්භ කළ ද හරි වෙලාවටත් කලින් උත්සවය අවසන් කරන්නට ඔහුගේ මෙහෙයවීම ඉවහල් වුණා කීවොත් නිවැරදියි.
අතරින් පතර පොත කියැවීමට තරු අක්කත් මමත් ඉවාන් පවුලුශාත් වේදිකාවට නැග්ගා.

රුසියානු නැටුම් අපව අමන්දානන්දයට පත් කළා.
අජිත් අයියා සහ අපි හැමෝම හමුවෙන්නේ බ්ලොග් නිසා. කොළඹ ගමයා ලෙස බ්ලොග් එක ලියූ අජිත් අයියා ලියූ පොල්කට්ටෙන් එපිටට සහ සියාමා පොත් එළි දක්වන අවස්ථාවේදීත් අපි මෙලෙසම පැමිණියා මතක ය.

මීට අවුරුදු 10 කට කලින් ලියන්නට යෙදුනු බ්ලොග් පිටු අතරේ ලියැලුණු සහෝදරත්වයට දැන් බොහොම කාලයක්.
උතුරු කොනේ ඉඳන් බ්ලොග් එක කීව මට මේ හැමෝම හමුවෙන්න ලැබුනේ කාලයකට පස්සේ. අපේ නිර්මාණ එළි දක්වන්න එකල බ්ලොග් අඩවි හොඳම වේදිකාව තනා දුන්නා කීවොත් නොවැරදියි.

මට අපි හැමෝගෙම පින්තූර ගන්න බැරි වුනාට. Buddhika Erandi Jayasinghe ගේ සොඳුරු කාචයට මේ හැම හමුවෙලා තිබුණා. Prasanna Mudunkotuwa ගේ කාච සටහන් ලැබෙන තුරු මෙලෙසින් අකුරු කරමි.

බෝධිනී සමරතුංග
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

එදිරිවීර සරච්චන්ද්‍ර ගේ මලගිය ඇත්තෝ හී දෙවොන්දාරෝ සං නොරිකා සං ගේ ප්‍රේම කතාව සේම ඔරුවල බන්දුගේ පස් අවුරුද්ද සේ අලුතින් ලියවෙන දේශ දීපාන්තර දෙකක දෙදෙනෙකුගේ ආත්මීය බැදීම අජිත් අයියාගේ ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ නවකතාව ජනගත කලා. ස්තුතියි අජිත් අයියේ ඔබේ පොතේ පිටු අතර මා නමත් රැදෙව්වාට.

අසංග රණසිංහ ආරච්චි (කොලොම්පුරේ)

Friday, 6 September 2019

විජිත ගුණරත්න ගේ ප්‍රථම ප්‍රේමය ගැන නොවේ

මුල් පිට කවරය 

බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ගේ "පරාරෝපණයේ විපාකය" (Alienation effect) සිද්ධාන්තය අනුගමනය කරමින් නාට්‍ය නිර්මාණයේ  යෙදෙන ප්‍රවීණ  නාට්‍යවේදියෙක්  හා සිනමා අධ්‍යක්ෂකවරයෙකු  වන විජිත ගුණරත්නයන් ට  "ප්‍රථම  ප්‍රේමය  ඔබ නොවේ " කෘතිය ගැන ලිවීම  සමහර විට  අපහසු කාර්යයක් වන්නට ඇත. නමුත් ඔහු එය කියවා ඇතැම් වෙනස් කම් පවා යෝජනා කර, දුරකතනයෙන් පැය ගණන් සාකච්ඡා කරමින් දුන් උපදෙස්  කෘතිය පරිපුර්ණ කිරීමට ඉමහත් සහයක්  වුනු බව මතක් කරමි. වෙළඳපොළ ට නිකුත්වන ප්‍රකාශනයක්  සමබර කර ගැනීමට ඒ අදහස් පිටුවහලක් වුනු බව නොකියා  බැරිය. මා එම සමබරතාවය ආරක්ෂා කර ගත්තාද යන්න නිර්ණය කිරීම ආදරණිය පාඨකයන්ට භාර කරන්නෙමි.


විජිත ගුණරත්නයන්  "ප්‍රථම ප්‍රේමය ඔබ  නොවේ " කෘතිය පිළිබඳව පළ කළ අදහස්. 

පසුගිය වකවාණු වලදී සෝවියට් රුසියාව  ගැන ලියවුනු ලිපි මෙන්ම, සිංහලට පරිවර්තනය කෙරුණු රුසියානු සාහිත්‍යය සමග ලෝක සාහිත්‍යය වෙත අපව යොමු කිරීමද කෙරුණ බව ඇත්තය. වර්තමානයේ වේගයෙන් ප්‍රචලිත වෙමින් තිබෙන බ්ලොග් ලේඛන රටාව නිර්මාණාත්මක ලෙස හසුරුවා ගනිමින්, සෝවියට් දේශයේ විශ්ව විද්‍යාල සිසුවෙක් ලෙස මෑත ඉතිහාසයේ කතුවරයා විසින් අත්විඳින ලද කරුණු කාරණා සංයමයෙන් තෝරා බේරා ගනිමින්, කරන විමර්ශනය සමග බොහොමයක් පරිවර්තන කෘතිවලින් කියවන්නට නොලැබුණ, නව මානයක් ඔහු විසින් මේ කෘතියෙන් විවර කර තිබේ.

චරිත මුහුණ දෙන විවිධ අත්දැකීම් සහ සංසිද්ධීන් එකින් එක වාර්තා කිරීම වෙනුවට අවස්ථානුකූලව තෝරාගත් සිද්ධි නාට්‍යමය ආකාරයකට ගලපාගනිමින් මතුවෙන අනුභූතිය එක්වරම වින්ද අදරා ගැනීමට ඉඩ නොදී , සිද්ධිය සහ සිදුවීම පසුපසම නොගොස්, ඒ අවස්ථා යලි යළිත් පරිසරය සමග ගලපා කල්පනා කළයුතු තැනට පාඨකයා යොමු කිරීමට ඔහු වෙර දරයි. කතුවරයා ගන්නා එම වෙහෙස අපතේ ගොස් නැත. සරල භාෂා විලාසය ඒ සඳහා හොඳ  අත්වැලක් සපයා තිබේ.


දූපත් මනසිකත්වයෙන් යුතු සම්ප්‍රදායික සංස්කෘතික රාමුව තුල සිරවුණ පුද්ගලයන් එයින් මිදෙන්නට ඉඩක් ලැබෙන පළමු තත්පරයේදීම එයට බාහිරව හැසිරෙන අතර, සමහර අය ඒ කාරිය සඳහා ආත්ම විශ්වාසය ගොඩ නගා ගැනීමට වැඩි කාලයක් ගනියි.   මෙම සත්‍යයට සමගාමීව අප අතපත නොගා සිටි සෝවියට් සමාජය සංස්කෘතියේ සීමාන්තික දෘෂ්ඨින් වල ඇති ධනාත්මක සහ සෘණාත්මක ලක්ෂණ විප්ලවයෙන් පසුව ඉතිරිවුණ පොදු දෙයක් ලෙස දකින කතුවරයා, විවිධ සංස්කෘතීන් අතර ඇති ගැටුම ඉදිරියට ගනිමින් ඒවා ලාංකීය සමාජය මත තබා, ස්වාධීනව ඒ ගැන යළි යළිත් සිතීමට අපට අනුබල දෙයි. යම් යම් සිද්ධීන් වලට චරිත දක්වන සම්බන්ධය සහ ප්‍රතික්‍රියා වල අනුපාතය අනුව සංකීර්ණතාවයන් ද විද්‍යාමාන වන බව අප වටහා ගත යුතුය. ඒවා සර්වකාලීන ලක්ෂණ නොවේ. සිද්ධි සහ අවස්ථාව විසින් යෝජනාකරන ගති ස්වභාවයන්ය.

ඒ ඒ චරිත සුසංවාදී වූ ද පරිපූර්ණ ජිවිත සොයා දිවි  අරගලයේ නිරත වූවෝ වෙති. එහෙත් ඔවුන් මුහුණ දෙන සමාජ යථාර්තය විසින්ම විටින් විට ඒ පැතුමට බාධා පමුණුවයි. ජීවිතය ඉදිරියට ඇදෙන්නේ ස්වභාවිකව පරිසරය විසින් යෝජනා කරනු ලබන මනුෂ්‍ය උවමනාවන් ගලපාගැනීමෙන් මිස, සම්ප්‍රදාය හෝ නීතියේ අනසකට යටත්වම නොවේ. ඒ අනුව සමාජය තුළින් උපුටා ගන්නා ලද වස්තු විෂය සහ තේමාව, ප්‍රබල සංස්කෘතික ගැටුමකට මුහුණ දෙමින් සිටි පුද්ගලයන්ගේ ජිවිත වල අධ්‍යාත්මය බිඳ, අධිෂ්ඨාන ශක්තිය හීන  කරවන අයුරු  අපට  මෙහිදී පැහැදිලිව දකින්නට තිබේ.

සම්මත සදාචාර සීමා  මායිම් වලින් පරිබාහිරව ප්‍රේමය, ලිංගිකත්වය සමග ජීවිතය නිදහසේ විඳ  ගැනීමේ අවශ්‍යතාවය සමග පොර බදන මානවයා   බේරා ගැනීමට වෙර දරන ප්‍රථම ප්‍රේමය කුමක්ද? "ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " සම්ප්‍රදායානුකූල නවකතා  ගොනුවට එකතු කිරීමට ඇතැමුන් අකමැති විය හැකි නමුත්, නවකතාවක් ලෙස රස විඳීමටද ද අපහසුවක් නැති බොහොමයක් ලක්ෂණ මුසු වුනු නිර්මාණයක්  ලෙස සැලකිය හැකිය.


සාර්ථක නිර්මාණයක් හැමවිටම නවතාවයකින් යුතු රටාවක්ද නිපදවා ගන්නා බව ඇත්තය. නමුත් අප අමතක නොකළ යුත්තේ රටාව පමණක් නොව අන්තර්ගතය ද නිර්මාණයේ පරිපූර්ණ වීමෙහි ලා වැදගත් කාර්යයක් ඉටු කරන බවය. මේ දෙකරුණම සමබර කර ගනිමින් නිර්මාණ කරණයේ යෙදීම පහසු නොවේ. අජිත් ධර්මකීර්ති සිය කෘතියේදී එම සමබරතාවය  රැක  ගැනීමට වෙහෙසෙයි.  සමාජ දේශපාලන  සහ සංස්කෘතික  වශයෙන්  සමකාලීන  ජිවිතයේ ලැබූ අත්දැකීම් මතින්, වස්තු විෂය සහ තේමාව උපුටා ඉදිරිපත් කිරීම සහ නිරීක්ෂණය මත  පදනම් කරගත් සමීප සත්‍යය ප්‍රවේශමින් ගොණු කර ගැනීමටද ඔහු සමත් වෙන අයුරු අගය කළ යුතුය.


- විජිත ගුණරත්න
ස්වීඩන්

 .
මතක් කිරීමක්:

අජිත් ධර්ම විසින් රචිත 

"ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ"

ты не моя первая любовь

කෘතිය එළි දැක්වීම

රුසියානු සංස්කෘතික කේන්ද්‍රයේදී

2019 සැප්තැම්බර් 21

සවස 3.30 ට

සුනිල් විජේසිරිවර්ධනයන් ගෙන්  හැඳින්වීමක්  සමග 

චන්ද්‍රගුප්ත තේනුවරයන් ගේ මොස්කව් මතකයන්

මෙහෙයවීම 

චූලානන්ද සමරනායක විසින් 

රුසියානු සහ සිංහල ගීත කිහිපයක් සහ රුසියානු නැටුමක්ද සමගින්



නො 10 ඉන්ඩිපෙන්ඩන්ට් මාවත කොළඹ 7

Sunday, 1 September 2019

ස්වතන්ත්‍ර නිර්මාණ

සමහර ප්‍රකාශක නෝනලා, මහත්තුරු කියනව මේ ස්වතන්ත්‍ර නිර්මාණ නිකන් අත්දැකීම් වගේනේ. වැඩක් නැහැ කියල.
(ඒ කියන්නේ  අපට ලියන්න බැහැ. හැබැයි ඉතින් අපේ  සමහර යාළුවොත් එහෙමයි කියන්නේ . ඒ ගොල්ලන්ට අනුව සම්භාව්‍ය කට්ටියට විතරයි ලියන්න පුළුවන්)
මම මේ නිකමට අහන්නේ නිකොලායි ඔස්ත්‍රෝව්ස්කි "වානේ පන්නරය ලැබූ හැටි " එකේ ලියල තියෙන්නේ  එයාගේ මිත්තණියගේ වස්ත්‍රයෙන් තේ සමොවාර් එක අල්ලපු හැටිද කියල. මිත්තණියගේ වස්ත්‍රය තමයි ඉතින්.

"වසර 1932 දී "තරුණ ආරක්ෂකයා " සඟරාව "වානේ පන්නරය ලැබූ හැටි " කොටස් වශයෙන් පල කිරීමට පටන් ගති. මෙම නවකතාව සෝවියට් සිවිල් යුධ සමයේ ජීවත්වූ පාවෙල් කොර්චාගින් නමැති තරුණ විප්ලවවාදියෙකු වටා ගෙතුනකි. විචාරකයන් විශ්වාස කරන්නේ නවකතාවට පදනම් ව ඇත්තේ   ඔස්ට්‍රොව්ස්කි ගේ ජීවිතය  හා අත්දැකීම් බවයි.  

In April 1932 “Molodaya Gvardia” magazine began to publish “How the Steel was Tempered.” The novel is about a young revolutionary named Pavel Korchagin who supports the Soviets during the Civil War. Critics believe that the plot of the novel is based on Ostrovsky’s own life and experience.

මතක තියා ගන්න සැප්තැම්බර් 21 හවස 3.0 ට (3.00 ට විතර එන්න) රුසියානු සංස්කෘතික කේන්ද්‍රයේදී හමුවෙන්න.

ප.ලි
"ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " කර්තෘගේ අත්දැකීමක් නොවේ.  එය ඔබගේ අත්දැකීමක් වීමට හොඳ සම්භාවිතාවක් තිබිය හැකිය.

https://russiapedia.rt.com/prominent-russians/literature/nikolay-ostrovsky/

Thursday, 29 August 2019

ජර්මනියේ කඳු මුදුනේ කැලෑ හෝටලය (නැගෙනහිර ජර්මනිය)


මේ ලඟදි  නෑදෑයින් දෙපළක ගේ විවාහ සංවත්සරයකට  ගියා ජර්මනියට. ඒ ගොල්ලෝ උත්සවය සැමරුවේ ඒ කාලයේ නැගෙනහිර ජර්මනිය හෙවත් ජර්මන් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය ලෙස හැඳින්වූ රටේ (දැන් ජර්මන් සමුහාණ්ඩුවේ ) හෝටලයක. වල්ඩ්හොටෙල් බෙර්ගොෆ් කියන එකේ. ඒක තේරුම  කඳු මුදුනේ කැලෑවේ(වල්ඩ්)  හෝටලය  කියන එක. තුරින්ගියා වනය අසල ලුයිසේන්තාල් නගරයේ අක්කර ගණනක්  පුරා විහිදී ඇති හෝටලයක්.

මම  මීට කලිනුත්  නැගෙනහිර ජර්මනිය ගැන ලිපි පේලියක්ම ලිව්වා. ඒවා පහල ඇති. සෝවියට් දේශයේ ජීවත්වුණු ශිෂ්‍යයෝ හුඟක් අය දන්නේ තමන් දුම්රියෙන් පහුකරගෙන ගිය පෙදෙසයි නැගෙනහිර බර්ලිනයයි ගැන  විතරයි. මොකද බටහිරට යන්න නැගෙනහිර බර්ලිනයේදී  දුම්රියෙන් බහින්න වෙන  නිසා.  ඉතින් හුඟක් වෙලාවට මේ රට ගැන තීරණය කරලා ලියන්න ඇත්තේ ඒ දැකපු දේ අනුව වෙන්න පුළුවන්.

අපේ නෑදෑයින් දෙපල අන්ද්‍රියාස් සහ ඔහුගේ බිරිඳ ගීසේලා ගේ 20 වන විවාහ සංවත්සරය මේ හෝටලයේ තමයි ගත්තේ. සාමාන්‍යයෙන් අපි ඔක්කොම එදා අළුයම  වෙනකන්ම  මේ උත්සවය සමරන නිසා නතර වුනෙත් හෝටලයේමයි.

විශේෂත්වය මේකයි. මම නිකමට අන්ද්‍රියාස් ගෙන් ඇහුව මේ හෝටලේ අලුතෙන් හදපු එකක්ද කියල. මොකද මම උදේම සෞනා එකට ගියා ගිනි තපින්න. (ඇඟට හොඳයි). පිහිනුම් තටාකයේ  පීනුවා, උදේ කෑම එකත් නියමයි බුෆේ ක්‍රමයට.  එයා කීව නෑ  මේ පරණ හෝටලයක් අළුත් අයිතිකාරයෝ කියල.

කුතුහලය නිසා මම පොඩ්ඩක්  හොයල බැලුව.  කතාව ඇත්ත.  නැගෙනහිර ජර්මන් රට බටහිරට එකතු වුනු මුල් අවුරුදු කිහිපයේ නැගෙනහිර ජර්මන් රජයට අයත්ව තිබූ මේ හෝටලය වසා දැමුනා. ජරා ජීර්ණ වෙමින් තිබුණු හෝටලය සමාගමක් විසින් මිලදීගෙන පරණ තුබුණු අන්දමටම ගොඩ නැගුවා.
 මෙහි භුමියේ නොයෙකුත් විනෝදාත්මක ක්‍රියාකාරකම් තිබෙනවා එන අයට කරන්න. ඒ කියන්නේ කඳු නැගීම, බෝට්ටු පැදීම් වැනි දේ.

ඒ කියන්නේ මේ නැවත ප්‍රතිසංස්කරණය කරලා තියෙන්නේ පරණ හෝටලයමයි. නැගෙනහිර ජර්මනියේ මේ වගේ හොඳ හෝටල් තිබුණා කියන එක තමයි දැන් නිගමනය. බලන කොට එහෙම ඒවා කිහිපයක්ම තිබිල තියෙනවා. එතකොට කවුද ඒවාට ගියේ. මම හිතුවේ කොමියුනිස්ට් පක්ෂයේ , ස්ටාසි එකේ උසස් නිලධරයන් වෙන්න ඇති  කියල. එහෙමනේ සාමන්‍යයෙන් වෙන්නේ.

නැහැ මේ හෝටලේට නම්  එවල තියෙන්නේ තමන් වැඩ කරන තැන්වල වැඩිම තරු ගාන හම්බ වෙච්ච අය හෙවත් හොඳම වැඩ කරුවා හෝ ඊළඟට ඉන්න කෙනා. හොඳම  ඉන්ජිනේරුව, හොඳම කම්කරුවා ඔන්න ඔය  වගේ. (ඒ ගොල්ලෝ කොහොමද තේරුවේ කියන එක දන්නේ නැහැ දැනට. පස්සේ හොයල කියන්නම්)

එතකොට තමන්ගේ පවුල පිටින්ම මේවාට  එන්න දුන්නලු. කෑම බීම  ඔක්කොම  නොමිලේ. එතකොට මේ ගිනි තපින සෞනා එක, පිහිනුම් තටාකය, මසාජ් කරන තැන් අනිත් එළි  මහන්  ක්‍රීඩා ඔක්කොමත් ඇතුළුව. ඒ ඔක්කොම නොමිලේ.

අම්මට සිරි, ඉතින් මම කිව්වා මගේ බිරිඳගේ නෑදෑයට ,
"ඉතින් කොච්චර හොඳද? එහෙමෙ තියෙද්දිනෙ ඔයාල මේ තිබ්බ සමාජවාදෙට බනින්නේ , ස්ටාසි එකෙන් විතරනේ  ප්‍රශ්නෙ තිබ්බේ කියල "
මිනිහ කියපි:
"ඔව් ඉතින්, නොමිලේ නම් තමයි, ඒත්  මේ හෝටලේට එන්න අවුරුදු හතක් පෝලිමේ ඉන්න ඕනේනේ "

ඉතින් සමාජවාදේට කෙළවුණ එක අහන්නත් දෙයක්ද?

දැන්  ජර්මනියේ නැගෙනහිර පැත්තේ සමාජවාදේ ඉවරවෙලා අවුරුදු 20 කටත් වැඩියි. හෝටලේ තවම  තියනවා. සල්ලි දීල බුක් කරලා ඕන කෙනකුට ඇවිල්ල විනෝද වෙලා යන්න පුළුවන්.

සමානාත්මතාවය සල්ලි වලට ගන්න පුලුවන්ද?

ඔය වෙලාවේදී තමයි මට කල්පනා වුනේ සමාජවාදී රටවල හිටපු ගොඩක් අය ඒ  කියන්නේ රුසියානුවෝ, නැගනහිර ජර්මන් ජාතිකයෝ, යුක්රේනියන් වරු සහ මෙකී  නොකී ජාතින් නිවාඩු යනකොට එළිමහනේ ඉන්න තමයි වඩා කැමති. කැලෑවක් හෝ වෙරළක් අයිනේ කුඩාරමක් ගහගෙන කඳු නගින්න, ගිනි තපින්න වගේ මුදල් අඩුවෙන්ම  වියදම් වෙන ක්‍රම වලින් නිවාඩුව ගත කරන්න තමා හදන්නේ. සමහරවිට ඕව පුරුදු වෙන්න ඇත්තේ අර වගේ පෝලිමේ ඉන්න ඕන නිසා වෙන්නැති නොමිලේ දෙන එකට .
හෝටලය ඉදිරිපස 

හෝටලයේ පිළිගැනීමේ කාර්යාලය 

ඇතුලේ පිහිනුම් තටාකය 
මේ පින්තුරය මම ගත්තේ 

සෞනා එක (උණුසුම් කාමරය)

Thursday, 22 August 2019

ප්‍රථම ප්‍රේමයේ ප්‍රශ්න - ты не моя первая любовь


අමාරුම කාලයක් ගත වුනේ. ප්‍රකාශක මහත්වරුන්ට මහත්මියන්ට  කෝල් කළා , මෙසේජ් යැව්වා. බලාපොරොත්තුව හිටියා. සමහර බ්ලොග් යාළුවොත් උදව් කරන්න බැලුව. හරිගියේ නැහැ. ඒත් මම බලාපොරොත්තුව අත හැරියේ නැහැ.
කාටවත් කිව්වේ නැති වුනාට ෆේස්බුක් ගිනුමත් බ්ලැක්ලිස්ට් වෙලා තිබුන. ඉවෙන්ට් එක හදන්න පමා වුනේ  ඒකයි.

හැබැයි අන්තිමට වගේ, මගේ අතින් වියදම් කරලා කර්තෘ ප්‍රකාශනයක් ලෙස  මුද්‍රණය කරන්න සියල්ල ලැහැස්ති කරලා තියෙද්දී ගැලවුම්කරුවෙක් පැමිණියා.  දැන් ඉතින්  මුද්‍රණයට ලැහැස්තියි.

ඔය අස්සේ හම්බ වුනා මෙන්න මේ පින්තුරේ. මට මතක විධිහට   ඇණයා  තමා මේක කිව්වේ.  මම කතාවේ මුල්ම හරියේ එක පරිච්ඡේදයක ලියල තිබුන  කතාවේ කතා නායකයා ගිහාන් නොම්මර 108 තාන්යා ගේ කාමරයට ගිය හැටි. එතැන එදා රෑ ඉන්න කොට අනිත් කෙල්ලෝ  තුන්දෙනා දුහුල් රාත්‍රී ඇඳුම් ඇඳන් හිටිය. ගිහාන්ට යට ඇඳුමත් පෙනෙන්න තරම් කියල.

ඉතින් ඕකට වැටුණු කොමෙන්ටුව තමයි , ඔය රුසියන් කෙල්ලෝ අඳින්නේ කිලිටු හලාත් එකක් කියන එක. ඉතින් ඔන්න පියෙර්ව මයෙස්කය පැත්තේ විශ්ව විද්‍යාල නේවාසිකාගාරෙක හිටපු සිසුවියෝ  තුන් දෙනෙක්  තමා මේ ඉන්නේ. ඔය දකුණු පැත්තේ කෙලවරේ ඉන්න  එක්කෙනා ඇඳන් ඉන්නේ ඔය හලාත් කියන එක. (රතු පාට ), නිකන් ඇඟට උඩින් දාන ඕවර්කෝට් කෝට් එකක්.

දකුණු පැත්තේ රතුපාට ඇඳුම හලාත් එකක් 

කියන්න සන්තෝසයි මේ තුන් දෙනාම හොඳින් ජිවත් වෙනවා මොස්කව් වල.  කසාද බැඳලා . දරු මල්ලෝ හෙම ඉන්නවා.

ඉතින් දවසත් ලැහැස්තියි. සැප්තැම්බර්  21 සෙනසුරාදා සවස 3.30ට. පුලුවන්නම් සවස 3.00 ට විතර ඇවිල්ල  අසුන් ගන්න. ගීත ගායනා , නැටුම් සහ පොඩි කතා දෙකක් විතරයි ඔන්න.

කතා කරන්න එන්නේ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර. දෙන්නම ඉගෙනුම  ලැබුවේ සෝවියට් දේශයේ. සුනිල්  මට ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙක් හැටියට. තේනු සමකාලීන.

නිපුන ප්‍රනාන්දු, දිලිනි කාරියකරවන ගෙන් ගී දෙක තුනකුත් බලාපොරොත්තු වුනහැකි.

පොත කලින් මිලදී ගන්නවා නම් වට්ටමකුත් ලැබෙනවලු.

රුසියානු සංස්කෘතික කේන්ද්‍රයේදී
නො 10 ඉන්ඩිපෙන්ඩන්ට් මාවත කොළඹ 7 
No:10 Independence Ave, Colombo 00700, Sri Lanka

පොත ගන්න පුළුවන්ලු මෙන්න මේ කුටියෙන්.

Wednesday, 14 August 2019

චෙර්නෝබිල් - සැඟවිය නොහුණු සත්‍යය 3

පෙර ලිපි:

චෙර්නෝබිල් - සැඟවිය  නොහුණු සත්‍යය 3

චෙර්නොබිල් න්‍යෂ්ටික විදුලි බලාගාරයේ හතරවන රිඇක්ටරයේ වාරික නඩත්තුව (routine maintenance) හෙවත් දෝෂ සෙවීමේ නෛතික වැඩ නැවැත්වීම යෙදී තිබුනේ 1986 අප්‍රේල් 25 දාටය.  කලින් ලිපියට ලැබුන ප්‍රතිචාරයක තාප හුවමාරු මධ්‍යස්ථානය (heat exchanger)   ගැන පවසා තිබුණි. මතක තබා ගත යුත්තේ මෙහි ජල වාෂ්ප කෙලින්ම ටර්බයිනයට ගමන් කරන බවය. heat exchanger  වෙනස්කම මෙවැනිරිඇක්ටර සඳහා පසුව පැමිණි  අලුත්වැඩියාවකි.  ඕනෑම විදුලි බලාගාරයක බලාගාරයේ යන්ත්‍ර සුත්‍ර ක්‍රියා කරවීම ආදී වැඩ සඳහා තමන් උපදවන විදුලියෙන්ම ක්‍රියා කරන  වෙනම විදුලි සැපයුමක් තිබේ. (supply) මේ විදුලි සැපයුම හදිසියේ හෝ ක්‍රියා විරහිත වුවහොත් විදුලි බලය සැපයීම සඳහා වෙනම  ඩීසල් ජෙනරේටර් තිබේ. මෙය සාමාන්‍ය ක්‍රියා පිළිවෙතයි.

සාමාන්‍යයෙන් විදුලි ජෙනරේටරයක් නැවැත්වීම සඳහා අනුමත කරන ලද ක්‍රියා පටිපාටියක්  තිබේ. මෙය පැහැදිලිව ලියා බලාගාර අධ්‍යක්ෂක හෝ ප්‍රධාන  ඉංජිනේරු තැන අත්සන යොදා ඉන්පසු ඒ  අනුව ක්‍රියා කලයුතුය, චෙර්නොබිල් යනු විශාල ධාරිතාවයක්  ඇති බලාගාරයකි, හතරවන රිඇක්ටරයෙන් පමණක් විදුලි මෙගාවොට් 500 (MWe) ටර්බයින්  දෙකකට වාෂ්ප සපයයි.  එමනිසා  එම රිඇක්ටරයෙන් විදුලි මෙගාවොට් 1000 හා තාප 3200 මෙගාවොට් තාප බලයක්  නිපදවීමට පුළුවන. (නවත්වන තුරුම  එහි විදුලි හා තාප බල නිෂ්පාදන අගයන් වූයේ ඒවාය.මෙහිදී විදුලි මෙගාවොට් (MWe) හා තාප මෙගාවොට් (MWt) අතර වෙනස හඳුනා ගැනීම වැදගත්ය. විදුලි ධාරිතාව යන බලාගාරය නිපදවන විදුලියයි. තාප ධාරිතාව යනු එම විදුලි ධාරිතාව නිපදවීමට අවශ්‍ය  තාප ශක්තියයි.(heat energy ))

අප්‍රේල් 25 වනදා මෙම සාමාන්‍ය රිඇක්ටරය නැවතීමේ සැලසුම් කරන ලද ක්‍රියා පිළිවෙතට  සමගාමීව වෙනත් පරීක්ෂණයක් කිරීමටද තීරණය කරන ලදී.   එනම් ප්‍රධාන විදුලිය කපා හැරීමකදී නැවතී යන  ටර්බයින් හරහා කෙතරම් දුරට ප්‍රධාන ජල පොම්පාගාරයට   විදුලි සැපයුම සිදුවේ ද යන්න සොයා බැලීමයි. ජල පොම්පාගාරය මගින් ශීතල ජලය රිඇක්ටරයට යවන අතර එය අත්‍යවශ්‍ය දෙයකි. මෙම පරීක්ෂණය මීට  කලින් අවුරුද්දේ චෙර්නෝබිල් බලාගාරයේ කරන ලද මුත් ඉන් ලැබුණු දත්ත ගැන සෑහීමකට පත්වීමට ඉංජිනේරුවන්ට නොහැකි වුනි. එයට හේතුව වූයේ ටර්බයින් වලින් එන විදුලි බලය අවශ්‍ය දත්ත ගැනීමට ප්‍රථම ඉක්මනින්ම අවසන් වීමයි. මේ නිසා නව වෝල්ටේජ් රෙගියුලේටර වල (වෝල්ටීයතාවය හසුරුවන පාලකය)  සැලසුම් පරීක්ෂාවද සිදු කිරීමට තීරණය විය. මීට අමතරව විදුලිය සපයන  අතිරේක ඩීසල් ජෙනරේටර ක්‍රියාත්මක වීමට කොපමණ කාලයක් ගතවේද යන්නද සොයා බැලීමට නියමිතව තිබුණි.  රිඇක්ටරය නවතන කාලයේ මෙයද කිරීමට අධ්‍යක්ෂකවරු අනුමැතිය දෙන ලදී.

 චෙර්නෝබල බලාගාරයේ ඇතිකර  තිබූ   දේශපාලන තනතුරු වලින් ඉහලින්ම සිටියේ නියෝජ්‍ය අධ්‍යක්ෂක සෙර්ගෙයි පරශින් ය. ඔහු අදත් ජිවතුන් අතර සිටී . රිඇක්ටරයේ දෝෂ සහගත බව ගැන ප්‍රධාන වශයෙන් චෝදනා කරන එක අයෙක්ද ඔහුය. ඔහුට බලාගාරයේ වැඩ පිලිබඳ ප්‍රමාණවත් දැනුමක් තිබෙන්නට හැකි මුත් ඔහු ඉංජිනේරුවකු හෝ  න්‍යෂ්ටික  විද්‍යාඥයකුද නොවේ. 

   සෙර්ගෙයි පරශින් මේ සැලසුම් කළ අමතර පරීක්ෂණය ගැන දැන  සිටියේය.  

දැන් ඔය කියන රිඇක්ටරයේ දෝෂය සහ වැරැද්ද සමග සැබෑ වැරැද්දද විමසා බලමු.  මේ කියන දෙවන පරික්ෂාව සිදු කිරීම සඳහා දහවලේ සිටි ඉංජිනේරුවන් කළ කී දෑ පිලිබඳ නිසි වාර්තාවක්  හවස වැඩට වාර්තා කළ  ඉංජිනේරුවන් හා සහායක නිලධාරීන්ට භාරදී තිබුනේ නැත. එසේම මේ පරික්ෂාව  සිදු කරන ඉංජිනේරු / කාර්ය නියාමක  කණ්ඩායම හා රිඇක්ටරයේ ක්‍රියාකාරීත්වය (operation)  හා  ආරක්ෂණ  ක්‍රියාමාර්ග (safety procedure) භාරව සිටි කණ්ඩායම අතර සම්බන්ධතාවයක් තිබීද නැත. රිඇක්ටරයේ නැවතීමේ ක්‍රියාවලිය හා  තමන් ගේ පරීක්ෂණය අතර සම්බන්ධයක් නැතැයිද කිසිදු බාධාවක් නැතැයිද  අමතර විදුලි බල සැපයුම පිලිබඳ පරීක්ෂණය මෙහෙයවන ඉංජිනේරුවන් සිතුවේ ඇයි?

දැන් මේ සැලසුම් කල පරීක්ෂණ න්‍යායපත්‍රයට අනුව රිඇක්ටර කුහරයේ හදිසි ශීතකරන පද්ධතිය  (emergency core cooling system- ECCS) නැවැත්විය යුතුය. මින් කරන්නේ හදිසි අවස්ථාවක කුහරයට ශිතල ජලය සැපයීමයි. ඉන්පසු සිදුවූ දේ කුමක් වුවත් මෙය අනුමත ආරක්ෂක ක්‍රියාවලියයෙන් බැහැර යාමකි.

රිඇක්ටරය නවතා දැමීමේ ක්‍රියාදාමය යන අතරතුර එය මුළු ධාරිතාවයෙන් භාගයක් පමණක් නිපදවමින් තිබුණි. මෙහිදී කීව් නගරයේ ස්ථානගතව සිටින ප්‍රධාන විදුලි සැපයුම් බෙදාහැරීමේ නිලධරයා (electrical  load dispatcher)  තව දුරටත්  විදුලි නිෂ්පාදන අඩු කිරීමට අවසර නුදුන්නේය. ඒ ප්‍රධාන ජාලයට (main grid)  විදුලිය අවශ්‍යව තිබූ බැවිනි.  

එය එසේ තිබියදීම (භාග ධාරිතාවයෙන් වැඩ කරද්දීම) අර ඉහත කී
පරීක්ෂණය ක්‍රියාත්මක කරන කණ්ඩායම තම න්‍යාය පත්‍රයට අනුව යමින් විසින් කුහර ශීතකරණ පද්ධතිය  ECC  වසා දැමුණි.  අප්‍රේල් 25 රාත්‍රි එකොළහට පමණ ප්‍රධාන විදුලි ජාල නියාමක (grid controller) රිඇක්ටරයේ බලය (reduction of power) අඩු කිරීමේ ක්‍රියාවලිය නැවත  පටන් ගැනීමට අවසර දුනි.

චිත්‍රපටයේ සඳහන් නොවන කාරණාවක් වූයේ මෙයයි. මෙම පරික්ෂාව සඳහා තාප මෙගාවොට් 1000 (MWt) බලයකට රිඇක්ටරය තබා ගත යුතුය. මේ රිඇක්ටරය නවතා  දැමීමට ප්‍රථම තබා ගත යුතු තත්වයකි. කෙසේ හෝ වේවා මෙහෙයුම් දෝෂයකින් මේ තාප බලය තාප මෙගාවොට් 30 (MWt) දක්වා පහත වැටුණි.
දැන් මේ මෙහෙයුම් දෝෂය කුමක්දැයි කිසිවෙක් කොහෙවත් කියන්නේ නැත. චිත්‍රපටයේනම්  එදා ඒ අවස්ථාවේ සිටි නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරු අනතෝලි දියතලොව් තාප බලය පහලට දැමීමට අණදුන් බවක් පෙන්වයි. එසේ කීමට කිසිදු සාක්ෂියක් නැත. පාලක යෂ්ටි (control rods)  පහලට දැමීමට අණ දුන්නේ නම් ඔහුය. (එය ඔහු පසුව පිලි ගත්තේය ) 

මෙතැනදී මම කලින්  ලිපියේ සඳහන් කල ධනාත්මක රික්තක සන්ගුණකය (positive void coefficient ) වැදගත් වන්නේ මේ සංගුණකය මෙවැනි අවස්ථාවකදී  බලාත්කාරී සාධකය වන නිසාය.

අපි නැවතත් මෙය මතක් කර ගන්නවා නම්  බලය වැඩි වන විට හෝ එන ජල ප්‍රමාණය අඩු වන විට ජල වාෂ්ප නිෂ්පාදනය වැඩිවේ. සාමාන්‍යයෙන් වැඩි ජලය මගින් අවශෝෂණය කරන ලබන නියුට්‍රෝන් මෙහිදී නිදහස් වී  ප්‍රතික්‍රියාව වැඩි කිරීමට දායක වේ. අනිත් පැත්තට බලය හා ඉන්ධන (මෙහිදී යුරේනියම්) උෂ්ණත්වය වැඩි වන විට නියුට්‍රෝන් දහරාවේ  (flux) ප්‍රමාණය අඩුවේ. මෙය සෘණාත්මක ඉන්ධන සංගුණකය   (negative fuel coefficient) නමින් හැඳින්වේ.  නමුත් නිෂ්පාදිත බලය (power output) අඩු වන විට  ධනාත්මක රික්තක සන්ගුණකය බලාත්කාරී වී රිඇක්ටරය අස්ථාවර වේ. මෙසේ අස්ථාවර වූ වහාම ඉතා වැඩි බලයක් හදිසියේ නිපදවීම වැනි දෙයක් සිදුවීමේ  සම්භාවිතාව අතිශයින් වැඩිවේ. 
අප නැවත දාම ක්‍රියාවලියට යමු. දැන් නියුට්‍රෝන අවශෝෂණය වනවා වෙනුවට ප්‍රතික්‍රියාව වැඩිවීමේ අවදානමක් මතුවේ. 

දැන් මම ඔබලාට ඉතාමත් පරිස්සමින් කලයුතු නිරීක්ෂණයක් කියන්නම්. මයික්‍රෝවේව් අවන්  එකක්  තිබේනම් කිරි වීදුරුවක් නටන උෂ්ණත්වයට  එනතුරු රත් කරන්න. බීමට  පෙර එය මදක් නිවිය යුතු බව ඔබ දන්නෙහිද? විකිරණයෙන් රත් කරන විට වතුරු බුබුළු ඉවත් විය යුතුය. නමුත් කිරි ප්‍රෝටීන ඛණ්ඩනය වීමේදී කිසියම් ස්තරයක් (foam) වතුරු බුබුළු වටා බැඳේ. තවත් තාපය  වැඩිවන විට මේවා  තවත් ප්‍රසාරණය වේ.
 සාස්පානක  ළිපේ උණු   කිරීමේදී බිත්ති වල බැඳෙන ජල වාෂ්ප  මෙන් නොව  කිරි බුබුළු තාපය වැඩිවන විට පුපුරා යයි.

 ඊළඟ ලිපිය කියවීමේදී මෙය මතක තබා ගන්න.

ඉතිරි කොටසින් පිපිරිම ගැන කතා කරමු.


~~~මතු සම්බන්ධයි ~~~~~~~

Tuesday, 13 August 2019

දයාබර චූටි දුවට

දයාබර චූටි දුවට 

ගොඩක් කල් ගිහින් 
ඔයා  ලෝකෙට ඇවිල්ල 2003 දී 
ඔයා  ආවෙම ලොකු සටනක්  දීල 
ඔයාගේ අම්මට ලේසි වුනේ නැහැ 

නමුත් එදායින් පස්සේ සතුට විතරයි 
අම්ම එක්ක ඔයා බලා හදා ගන්නකොට 
පහුගිය සොළොස් වස තුල 
නුවණැත්තී  මෘදු සිතැත්තී 
සතුටු පිරුණු මංජුසාවක් - ඔබ 

ඉක්මනින්ම ඔබ මේ කැදැල්ල 
හැර යාවි 
මම ගියා වගේම කාලෙකට ඉහත 
නමුත් මතක තියා ගන්න 

හදවතක් තිබේවි හැමදාම 
දකින්න ඔබේ වත 
අසන්න ඔබේ හඬ 
විඳින්න ඔබේ සිනහව 

සුභ උපන් දිනයක් චූටි දුව 

-තාත්තා 


Thursday, 1 August 2019

චෙර්නෝබිල් - සැඟවිය නොහුණු සත්‍යය 2

විකිපෙඩියා 
චෙර්නෝබිල් - සැඟවිය නොහුණු සත්‍යය 1

ලිපි පෙළේ මේ කොටස මදක් නීරස විය හැකිය.

චෙර්නොබිල් ගැන කතා කිරීමේදී න්‍යෂ්ටික විදුලි බලාගාර ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි සොයා බැලීම වටී. න්‍යෂ්ටික ප්‍රතික්‍රියා දෙවර්ගයක් අප දනිමු. ඒ  න්‍යෂ්ටික විඛණ්ඩනය (nuclear fission ) සහ න්‍යෂ්ටික විලයනයයි (nuclear fusion). මෙහිදී අපට වැදගත් වන න්‍යෂ්ටික විඛන්ඩණයේ දී අධික වේගයෙන් එන නියුට්‍රෝනයක් වැදීමෙන් පරමාණුවේ න්‍යෂ්ටිය දෙකට බෙදේ. මෙහිදී එම බෙදෙන න්‍යෂ්ටිය තවත් නියුට්‍රෝන් දෙකක් හෝ තුනක් නිකුත් කරයි, එය තවත් න්‍යෂ්ටි වල ගැටේ. දිගින් දිගටම සිදුවන මෙය දාම ප්‍රතික්‍රියාව (chain reaction) ලෙස හැඳින්වේ.

මෙහිදී ශක්තිය ගැමා විකිරණ (gamma radiation) වශයෙන්ද නියුට්‍රෝන හා න්‍යෂ්ටියේ ගැබ්ව තිබු චාලක ශක්තිය වශයෙන්ද විශාල බල ශක්තියක් (energy) මුදා හැරේ. න්‍යෂ්ටික බලාගාරයක ප්‍රේරිත නියුට්‍රෝනයක් ( induced neutron) මගින් මේ න්‍යෂ්ටික විඛණ්ඩනය ආරම්භ කළ හැකිය. මේවාට යොදා ගන්නේ විඛන්ඩණ කළ හැකි අයිසෝටොප්ය. එනම් එකම වර්ගයේ පරමාණුවේ න්‍යෂ්ටියේ    නියුට්‍රෝන ප්‍රමාණය  වෙනස් මුලද්‍රව්‍යයන් ය.යුරේනියම් 233,  යුරේනියම් 235, යුරේනියම් 238, ප්ලූටෝනියම් 239 මේවාට උදාහරණයන් ලෙස ගත හැකිය. ප්ලූටෝනියම් 239 න්‍යෂ්ටික ආයුධ සඳහා භාවිතා කෙරෙන න්‍යෂ්ටික ඉන්ධන වර්ගයයි. (nuclear fuel  - weapons grade ) 
දැන් අපි විමසා බැලිය යුත්තේ දොල්ෂෙල් සහ අනිකුත් සෝවියට් විද්‍යාඥයන් හා ඉංජිනේරුවන් නිපදවූ RBMK රිඇක්ටරය ගැනය.

මීට ප්‍රථම අපි අර දාම ප්‍රතික්‍රියාපෙලට නැවතත් යමු.  අපි යුරේනියම් පරමාණුවක්  නියුට්‍රෝනයක් යවා බින්දා යයී සිතමු. එවිට එයින් පිටවන නියුට්‍රෝන තවත් පරමාණු දෙක තුනක වදිනු ඇත. එසේම එය තවත් ඒවා වල වදිනු ඇත. අපට මෙම ක්‍රියාදාමය අපට අවශ්‍ය පමණට පාලනය කර ගත යුතුය. එයට හේතුව මින් අතිමහත් තාපයක්  හා එවැනිම විශාල බල  ශක්තියක් නිපදවෙන නිසා ඕනෑවට වඩා නිපදවෙන ශක්තිය අනවශ්‍ය සහ අනතුරුදායක බැවිනි.

එමනිසා මෙසේ එලියට පනින නියුට්‍රෝන් ගණන සීමා කරන්නේ කෙසේද? දැන් කාලයේ නම් බෝරෝන් යෂ්ටි  (කූර -rod ) භාවිතා කෙරේ.  නිකොලයි දොලේෂල් ලෝකයේ ප්‍රථම න්‍යෂ්ටික බලාගාරයට යෙදෙව්වේ සාම පරමාණුව යන මේ RBMK ප්‍රතික්‍රියාකාරකයේ මුල්ම ප්‍රොටොටයිප් එක බව කීවෙමි.  ඔහුගේ ප්‍රථම රිඇක්ටර ග්‍රැපයිට් වලින් පාලනය කළ  ඒවාය. (graphite moderated )

රසායන විද්‍යාව හදාරන  අය  ග්‍රැපයිට් යනු කුමක්දැයි දනිති. ඒ කාබන් පරමාණු ෂඩශ්‍රාකාර ලෙස එකිනෙකට බැඳුනු ව්‍යුහයකි. ග්‍රැපයිට් නියාමකයෙන් ස්වභාවික යුරේනියම් (un-enriched uranium) න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව සඳහා භාවිතා කිරීමට  ඉඩ සලසයි. මෙම යුරේනියම් වල U -235 ඇත්තේ 0.711%කි,. ඉතිරිය U -238 අයිසොටොප් ය. (අයිසොටොප් - වෙනස් නියුට්‍රෝන ප්‍රමාණයක් ඇති එකම මුලද්‍රව්‍ය යේ පරමාණු) තද ජල නියාමක (heavy water moderator) සහ   ග්‍රැපයිට් නියාමක  දෙවර්ගයම මෙම යුරේනියම් භාවිතාව සඳහා නිර්මාණය වූ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක (රිඇක්ටර්) යන්ය. (මින්පසු රිඇක්ටර් වශයෙන් හඳුන්වමු)

මේ යුරේනියම් භාවිතාව ලෝකයේ රහසක්ව පැවති  අතර දෙවන ලෝක යුද්ධයේ අග භාගයේ  ඇමෙරිකානු න්‍යෂ්ටික බෝම්බය නිපදවූ මැන්හැටන් යෝජනාක්‍රමයේ දී (Manhattan project ) මේ ස්වභාවික යුරේනියම් හැඳින්වූයේ ටුබලෝයි නමැති රහස්‍ය නාමයෙනි.

රිඇක්ටරයේ මැද (core ) ඇත්තේ ඉන්ධන යෂ්ටි (කූරු  - fuel rods ), නියාමක යෂ්ටි (control rod ) සහ අධි පීඩක ජලයයි. දැන් අර දාම ක්‍රියාදාමයේදී නිපදවන නියුට්‍රෝන් වල වේගය මෙම ජල පරමාණු සමග ගැටීමෙන් බාල වේ. එම නිසා  එම ක්‍රියාවලිය පාලනය කිරීමට  පුළුවන. ඒ අනුව  ජලය ක්‍රියා කරන්නේ නියාමකයක් (moderator ) ලෙසටය. මෙය අත්‍යවශ්‍ය වන්නේ යුරේනියම් U -235  නියුට්‍රෝන් වල වේගය පාලනය කළ යුතු බැවිනි.

දැන් මැද ඇති නියාමක යෂ්ටි (control rod ) කරන්නේ කුමක්ද? ඒවායින් කරන්නේ මධ්‍යයේ ඇති නියුට්‍රෝන් අතිරික්තය  අවශෝෂණය කර ගැනීමයි. මෙයින් දාම ක්‍රියාදාමයේ යෙදෙන නියුටෝන් ප්‍රමාණය පාලනය කරනු ලැබේ. මෙය ඉතා වැදගත් කාරණාවකි. මෙසේ පාලනය නොකළහොත් දාම ක්‍රියාදාමය වේගවත්ව අනවශ්‍ය බල හා තාප ශක්තියක් , එනම් පාලනය කල නොහෙන ශක්තියක් නිපදවෙනු ඇත. එසේම මෙම නියාමක යෂ්ටි  පහතට එවන දුර ප්‍රමාණයක් තිබේ. එම දුර ප්‍රමාණය පාලනය මගින් ද නියුට්‍රෝන් අවශෝෂණය පාලනය කරනු ලැබේ. මෙයද වැදගත් කරුණකි.

ඉන්ධන යෂ්ටි (  fuel rods ) අධික තාප ශක්තියකට බඳුන්වී ඒවායේ උෂ්ණත්වය  ඉතා අධික ලෙස ඉහල යයි. එමනිසා ජලය මෙහිදී ශීතකයක්(coolant) ලෙස ක්‍රියා කරයි. ජල අංශුවල චාලක ශක්තිය අධික ලෙස ඉහල  යන අතර රත්වූ ජලය හා වාෂ්ප පයිප්ප හරහා  තාප  හුවමාරුවට (heat exchanger) යවනු ලැබේ. (මේ සාමාන්‍යයෙන් දැන් සිදුවන ක්‍රියාවලියයි ) එම වාෂ්ප වලින් කරකවන  ටර්බයිනයෙන් ජෙනේරෙටරය හරහා විදුලිය උත්පාදනය කෙරේ.

මේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවෙන් නිපදවන ගැමා විකිරණ පිටතට යාම නැවැත්වීමට නම් ඊයම් බිත්ති හා ඉන් පිටත ඝන   කොන්ක්‍රීට් බිත්ති වලින් ප්‍රතික්‍රියාකාරකය වැසිය  යුතුය.

මේ සියල්ල මේ ලෙසටම චෙර්නොබිල් බලාගාරයේ සිදුවිය.  එහි කොන්ක්‍රීට්  බිත්ති ද ඉතා ඝනකම් ඒවා විය.

දෙලෙෂල් ගේ RBMK රිඇක්ටරයේ ග්‍රපයිට් යෂ්ටි වලින් කලේ කුමක්ද යන්න දැන් පැහැදිලිය. ඒවායේ කාර්යභාරය වූයේ භෞතික විද්‍යානුකූලව අතිරික්ත නියුට්‍රෝන් අවශෝෂණය කර දාම ප්‍රතික්‍රියාව පාලනය කිරීමටය. එසේම ඒවා පහලට දමන දුරෙහිද නියතයක් තිබුණි. ඒ දුරට වඩා ඒවා පහල දැමිය නොහැකිය.  අනික ඒවා පහලට ගෙන ආ යුත්තේද ඉතා සෙමිනි. (නූතන බෝරෝන් කූරු වල මෙම තත්වය නොමැත)

දැන් මේ රිඇක්ටර් ම තිබෙන තවත් න්‍යෂ්ටික බලාගාර සෝවියට් දේශයේ දහ හතක්  තිබුණි. ඒවා පිපිරුනේ නැත.

 මෙම රිඇක්ටර් වල ග්‍රපැයිට් යෂ්ටි නියාමක නියමිත දුරට වඩා පහලට දැමුවොත් නියුට්‍රෝන් අවශෝෂණය කරනු වෙනුවට කාබන් වල අතිරික්ත නියුට්‍රොන්ද දාම ක්‍රියාවලියට (chain reaction )එක් කරනු ලබයි.   ඉන් දහස් ගුණයකින් වැඩිවන දාම  ක්‍රියාවලියෙන් නිපදවෙන බල  ශක්තිය සිය දහස් ගුණයකින් වැඩිවන අතර ප්‍රතිඵලය භයානක න්‍යෂ්ටික පිපිරිමකි.

HBO චිත්‍රපට දාමයේ  පළමුවන මවාපෑම ඇත්තේ මෙතැනය. ඒ මේ කරුණ සඳහන් විද්‍යාත්මක ලිපි ඉවත් කර ඇති බවය. අධ්‍යක්ෂකවරුන්ගේ මනහ්කල්පිත චරිතය වන බෙලරුසියාවේ න්‍යෂ්ටික විද්‍යාඥවරිය (උලනා ඛෝමික් ) ඒවා ගැනීමට ගියවිට කේජිබියෙන් දෙන්නේ කොළ ඉවත් කරන ලද ලිපි ගොනු හා සටහන්ය. මෙය අසත්‍යයකි. එවැනි තැනැත්තියක් ද සිටියේ නැත. ප්‍රබන්ධය හා සත්‍යය   මුසුවුනු කතාවකට  එවැනි චරිතයක් ගොඩ නගා ඇත්තේ සිද්ධියේදී ඉදිරිපත්වූ සියලුම න්‍යෂ්ටික විද්‍යාඥයන්ට ගෞරව කිරීමට බව අධ්‍යක්ෂක වරු පවසති. එසේනම් කොළ ඉවත් කර ඇතැයි පෙන්වන්නේ ඇයි? බොහෝවිට ඒ අති- නාට්‍යකරණය (dramatisation )  සඳහා විය හැක.

ඇත්ත වශයෙන්ම සිදුවූයේ කුමක්දැයි සෙව්වේ පර්යේෂණාත්මක මාධ්‍යවේදිනියන්  වූ ලුබෝව් කවලෙස්කයා හා ස්වෙත්ලානා ඇලෙක්සියෙවිච්ය. (වෙන වෙනම) උලනා බෝමික් වනාහී  මවන ලද චරිතයකි.

අද වුනත් (ඉරානය බලන්න ) යුධ නිෂ්පාදන ප්ලූටෝනියම් සඳහා කටයුතු කෙරෙන්නේ රහස්‍ ලෙසිනි. ඇමෙරිකාවේ, බ්‍රිතාන්‍යයේ හෝ ප්‍රංශයේද එය එලෙසමය. (න්‍යෂ්ටික බලවතුන්) මා කලින් කියූ පරිදි න්‍යෂ්ටික නිෂ්පාදන පිළිබඳව සෑම රටක්ම අනුගමනය කළේ ආරක්ෂනකාරී ප්‍රතිපත්තියකි.

 ග්‍රපයිට් තුඩු පහතට පැමිණියහොත් වෙන ප්‍රශ්නය සැලසුමේ දෝෂයක් ලෙස (design flaw ) බටහිර න්‍යෂ්ටික බලාගාර නිෂ්පාදකයන් හඳුන්වති. ඔවුන් කියන්නේ මෙම රිඇක්ටරයේ ධනාත්මක රික්තක සන්ගුණකයක්  තිබෙන බවයි. (positive void coefficient ) . එනම් සිදුවන්නේ ජල වාෂ්ප වැඩි වනවිට  න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව අඩුවනවා  වෙනුවට (සෘණාත්මක අගය) එය වැඩිවී  රිඇක්ටරයේ උණුසුම අධිකවී ප්‍රතික්‍රියාව තවත් වැඩිවීමයි.

දොලේෂල් සහ න්‍යෂ්ටික භෞතික  විද්‍යාඥයන් (nuclear physicists  )  මේ කරුණු දැන සිටියහ. ඔවුන් AZ - 5 නම් ස්විච් බටනයක් ඇතුලත් කලේ රිඇක්ටරයට බලය කපා හැරීමටය. එසේම කිසිම අවස්ථාවක  ග්‍රපයිට් යෂ්ටි උවමනාවට වඩා පහතට දැමීම තහනම් කර තිබුණි.

න්‍යෂ්ටික බලාගාර ගොඩනැංවීම ඉතා වියදම් සහගත  දෙයකි. ගොඩනැගූ පසු එයින් ලබන විදුලිය ඉතා ලාභ වන අතර කාබන් ඩයොක්සයිඩ් වැනි වායුන් නිපදවන්නේද නැත. එනිසා වැලරි ලේගසොව් නමැති විද්‍යාඥයා චිත්‍රපටයේ කියන්නේ ද සත්‍යයකි. මේ රිඇක්ටර් භාවිතා කරන ලද්දේ ඒවා වඩා ලාභ නිසාය.

දැන් චෙර්නොබිල් ඉංජිනේරුවන් කළ පරීක්ෂණය කුමක්ද යයි විමසා බලමු.(station test)

මතු සම්බන්ධයි.

-https://en.wikipedia.org/wiki/Nikolay_Dollezhal
පින්තූරය:
By doe-oakridge - Nuclear Reactor Uranium Pile, Public Domain, 


Thursday, 18 July 2019

තේනු ගෙන් චිත්‍ර ප්‍රදර්ශනයක්



මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා සංවිධානය කරණ  චිත්‍ර  ප්‍රදර්ශනයන් දෙකක් ජූලි 23 දා සවස 5.00 ට ලයනල් වෙන්ඩ්ට් හිදී හා සවස 6.00 ට සස්කියා ප්‍රනාන්දු  කලායතනයේදී ද  ආරම්භ වේ. මේ චිත්‍ර ප්‍රදර්ශන පිළිවෙලින්  ජුලි  31  දින දක්වා අගෝස්තු 13 දින උදය 10.00 සිට සවස  7 දක්වා  පැවැත්වේ.

තේනු වෙනුවෙන් චිත්‍ර ප්‍රදර්ශනය හැකිනම් නරඹන ලෙස පාඨක ඔබට ආරාධනය කරමි.



Professor Chandraguptha Thenuwara                                            
Department of History and Art Theory
Faculty of Visual Art                                          
University of the Visual and Performing Arts     
46, Horton Place                                               
Colombo-7                                                           

Director: IQAU, University of Visual and Performing Arts                                               


Founder: Vibhavi Academy of Fine Arts

Monday, 15 July 2019

චෙර්නෝබිල් - සැඟවිය නොහුණු සත්‍යය 1

ලෝකයේ ප්‍රථම න්‍යෂ්ටික විදුලි බලාගාරය ඔර්බින්ස්ක් 1 සෝවියට් දේශය 
මා  සෝවියට් දේශයේ ඉගෙනුමට ගියේ 1984 වසරේ අගෝස්තුවලය.  එවකට එහි ජනාධිපති හා කොමියුනිස්ට් පක්ෂ ලේකම් වූයේ කොන්ස්ටන්ටින් චෙර්නෙන්කෝ ය.  ඔහුට  පසුව පත්වුනු ගොර්බචොව් නොයෙකුත් ප්‍රතිසංස්කරණ ඇති කිරීම  ඇරඹීය.

 විදුලි ඉංජිනේරු විද්‍යාව හැදෑරීමට මොස්කව් විදුලි හා බලශක්ති තාක්ෂණික විශ්ව විද්‍යාලයට අප ඇතුළු වුනේ 1985 සැප්තැම්බර් මාසයේය. මගේ විෂය ධාරාව හැඳින්වුණේ  විදුලි බලශක්ති  බලාගාර යන නමිනි (Electrical Power  Stations). නමුත්  එයට න්‍යෂ්ටික බලාගාර ඇතුළු වූයේ නැත. න්‍යෂ්ටික බලාගාර හා ඒවායේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක (nuclear reactors ) ගැන ඉගැන්වූයේද ඉතා යන්තමිනි. නමුත් අප විශ්ව විද්‍යාලයේ න්‍යෂ්ටික බලාගාර සඳහා වෙනම දෙපාර්තමේන්තුවක් තිබූ අතර කියුබානුවන් හා නැගෙනහිර ජර්මානුන් හැරුණු විට අනිත් විදේශික ශිෂ්‍යයන්ට එය විවෘත වූයේද නැත. කියුබානුවන් ට උගන්වන ලද්දේ සෝවියට් දේශය විසින් න්‍යෂ්ටික විදුලි බලාගාරයක් කියුබාවේ තැනීමට    සැලසුම් කර තිබු බැවිනි.

න්‍යෂ්ටික විද්‍යාව ගැන වැඩිදුරටත් ඉගැන්වූයේ අප විශ්වවිද්‍යාලයට යාබද එකක් වූ බෞමන්ස්කයා විශ්ව විද්‍යාලයේය. එය සම්පුර්ණයෙන්ම විදෙස් සිසුන්ට තහනම් වූ එකක් විය.  මරියා ෆෙදරෝව්නා අධිරාජිනිය ගේ නියමයෙන් එය විශ්ව විද්‍යාලයක් කරන  ලද්දේ වසර 1826 දීය. එය ප්‍රථම රුසියානු තාක්ෂණික විශ්ව විද්‍යාලයයි. මෙහි ඉගැන්වූ අධ්‍යාපන ක්‍රමය වූයේ ප්‍රබල න්‍යායික දැනුම සමග එවැනිම ප්‍රයෝගික දැනුමද ඉතා ගැඹුරින් ලබා දීමයි. රුසියානු ක්‍රමය ලෙස හැඳින්වූ මේ ඉගෙනීමේ ක්‍රමය කොතරම් අගය කරන ලද්දේද යත් මහාචාර්ය  ජෝන් රැන්කල් විසින් ඇමෙරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණික විද්‍යා ආයතනයටද (MIT) මේ ක්‍රමය හඳුන්වා දෙන ලදී. (විකිපෙඩියා )
 මෙම විශ්ව විද්‍යාලය විප්ලවවාදියෙකු වන බෞමන් ගේ නමින් හඳුන්වන ලද්දේ සෝවියට් කාලයේදීය.

මේ විශ්ව විද්‍යාලය කතාවට සම්බන්ධ වන්නේ එහි න්‍යෂ්ටික භෞතික  විද්‍යාව  ගැඹුරු ලෙස ඉගැන්වූ නිසාම නොවේ. එහි උගත් පසුව  ප්‍රසිද්ධියට පත්වුණු විද්‍යාඥයන් අතර සිටි න්‍යෂ්ටික භෞතික  විද්‍යාඥ නිකොලායි දොලෙෂල් නිසාය. ලෝකයේ ප්‍රථම න්‍යෂ්ටික විදුලි බලාගාරය වන රුසියානු සමුහාණ්ඩුවේ ඔබ්නින්ස්ක් න්‍යෂ්ටික විදුලි බලාගාරය 1954 දී ගොඩ නගන්නට මුලික වූයේ දොලෙෂල්ය.

එසේම ප්‍රධාන විදුලි පද්ධතියට න්‍යෂ්ටික බලයෙන් නිපදවු විදුලිය සම්බන්ධ කළේද , න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක සිවිල් භාවිතාවට  ගැනීම  සඳහා කාර්මික නිෂ්පාදනයට මුල පිරුනේද මෙහිය. වසර 1959 දී විදුලිය දීම නැවත්වුවද 2002 දක්වා පර්යේෂණාත්මක බලාගාරයක් වශයෙන් එය ක්‍රියාත්මක වුනි.  මෙහි භාවිතා වූ  ප්‍රතික්‍රියාකරකය AM 1 හෙවත් ඇටම් මිර්නි (සාමයේ  පරමාණුව) 1 ලෙස හැඳින්වුණි. මෙය චෙර්නෝබලයේ ඉදි කෙරුණු  RBMK ප්‍රතික්‍රියාකාරකයේ මුල් සැලසුමයි. (prototype) දෙවැන්නේ  ලෙසම මෙහි නියුට්‍රෝන සීමා කරන ග්‍රපයිට් තුඩ හා ජල- ශීත  පද්ධතිය (Water cooling system) ක්‍රියාත්මක වුනි.

මා ඉහත හැඳින්වූ  ප්‍රසිද්ධ බෞමන් විද්‍යායතනයේ උගත්  නිකලොයි ඇන්තනොවිච් දොලෙෂල් කාර්මික ඉංජිනේරුවකු පමණක් නොව සෝවියට් න්‍යෂ්ටික බෝම්බ නිපදවීමේ ක්‍රියාවලියේ පුරෝගාමියෙකු මෙන්ම ප්‍රථම ප්ලූටෝනියම් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක නිපදවීමේ ප්‍රධාන ඉංජිනේරුවා ද විය.

එසේම ඔහු න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන සඳහාද සැලසුම් සකස් කළේය.

ඔහු විසින් ප්‍රධානත්වය දරන ලද ආයතනය විසින් 1957 දී සිවිල් භාවිතය හා යුධායුධ සඳහා භාවිතාවන ප්ලූටෝනියම්  (weapons-grade plutonium) සඳහා බලාගාරයක් පිහිටවූ අතර 1965 දී බෙලොයර්ස්ක් න්‍යෂ්ටික විදුලි බලාගාරය පිහිටුවන ලදී. මෙම ආයතනයෙන් VVER (water-water energetic reactor (WWER))  හා RBMK (Russian: Реактор Большой Мощности Канальный, РБМК; Reaktor Bolshoy Moshchnosti Kanalnyy, “High Power Channel-type Reactor”) න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක නිපදවීම ආරම්භ කරන ලද්දේ ඉන් පසුවය,

මේවා සියල්ල ඉතා හොඳ තත්වයේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක  විය.

එසේ නම් චෙර්නොබිල් හි  සිදුවූයේ කුමක්ද? මෑතකදී පෙන්වූ HBO රූපවාහිනි වෘත්තාන්තයේ පෙන්වූ සියල්ල නිවැරදිද? සෝවියට් ජනතාවගේ කැප කිරීම් නියම ලෙසින් පෙන්වූයේද?

ඊළඟ ලිපියෙන් ඒ සියල්ල සාකච්ඡා කිරීමට  බලා  පොරොත්තු වෙමි.

මුලාශ්‍ර : ඔර්බින්ස්ක් ලෝකයේ න්‍යෂ්ටික විදුලි ප්‍රථම බලාගාරය 
බෞමන්ස්කයා විශ්ව විද්‍යාලය