ප්‍රවීණ මාධ්‍යවේදියකු හා ගත් කතුවරයකු වන ජයසිරි අලවත්ත විසින් මවිසින් රචිත "ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " කෘතියට විචාරයක් පල කර තිබේ.
ඒ ගැන නොව පොතේ සදහන් ගීත ගැන යමක් ලියමි. සෝවියට් දේශයේ සිටි කාලයේ ඒ ගීත බොහොමයක් ඇසුවේ රෙකොර්ඩ් ප්ලේයර් එකකිනි. විනිල් රෙකෝඩ් නමින් හඳුන්වන ගීත තැටි බොහොමයක් ඒ කාලයේ මා සතුව තිබුණි. මේ සියල්ල දැන් කෞතුක වස්තූන් මෙනි. මේවා මිලදී ගත්තේ 1988-1990 කාලය තුලදීය. සෝවියට් දේශය අද නැත. රෙකෝඩ් තැටි රුසියානු භාෂාවෙන් හැඳින්වූයේ ප්ලස්තින්කි යනුවෙනි. වසර තිහකට පමණ පසු මේ ලොක් ඩවුන් සමයේ ඒවා සොල්දරයෙන් බිමට බා ගතිමි.
වැලරි ලියෝන්තියෙව්, ලයිමා වයිකුල්යේ, ව්ලදිමීර් විසොට්ස්කි, සොෆියා රොතාරු හා ඇමෙරිකන් ජන ගී ගායිකා ජෝන් බඑස් ගේ ගීත තැටි ඒ අතර වේ. නිහඬව ඒවා ඇසීමට නැවතත් දැඩි ආශාවක් හිතේ පහල විය. පොතක් ලියනවා කියන්නේ හිතක් නිවෙනවා යයිද කීමට නොදනිමි.
ජයසිරි අලවත්ත ගේ ලිපිය පහල ඇත.
සෝවියට් රුසියාවේ නිරුවත හෙළි කරන ‘‘ප්‍රථම ප්‍රේමය ඔබ
නොවේ’’
‘‘නිරුවත’’ කියූ සැණින් කාන්තාවකට නම් සිහිපත් වන්නේ
පුරුෂ සිරුරේ නිරුවත යි. පුරුෂයකුට නම් සිහිපත් වන්නේ කාන්තා සිරුරේ නිරුවත යි. ඒ,
අනෙකාගේ නිරුවත් සිරුර කෙරෙහි දක්වන ආසක්තභාවය හේතුවෙනි; එය ‘‘සුන්දර’’ යැයි
සංකල්පයක් ගොඩනැගී ඇති බැවිනි. එහෙත් නිරුවත යනු කිසියම් පුද්ගලයකුගේ ශරිරයේ ආවරණය
කර ඇති කොටස පමණක් ම නොව්. එකී නිරුවත යනු: රටක, ජාතියක, ආගමක, කුලයක, දේශපාලන
පක්ෂයක හෝ පවුලක පවත්නා ලෝකයාට හෙළි නොකළ අභ්‍යන්තර තත්ත්ව ද විය හැකි ය. එකී
නිරුවත යනු සුන්දර යැයි සංකල්ප ගතව තිබෙන මිනිස් සිරුරක නිරුවත තරම් සුන්දර නොවේ.
එය: තිරස්චීන විය හැකකි ය; ම්ලේච්ඡ විය හැකි ය; අසුන්දර විය හැකි ය; විශ්වාස කළ
නොහැකි තරමට ජගුප්සා ජනක විය හැකි ය. එසේ නම් අපි එකී නිරුවත අනාවරණය කර නොබැලිය
යුතු ද...? නැත... සුන්දර යැයි සංකල්ප ගතකර ඇති මිනිස් සිරුරේ නිරුවත මෙන් ම යට කී
වර්ගවලට අයත් නිරුවත ආවරණය කර බැලිය යුතු ය. එය තමන්ට ආවරණය කළ නොහැකි නම් ආවරණය
කළ පුද්ගලයකුගේ නිර්මාණයක් තුළින් හෝ කියවා, විඳ දැක ගත යුතු ය.
එසේ කියවා, විඳ දැකගත හැකි නිරුවතක් ප්‍රදර්ශනය කෙරෙණ
කෘතියක් කියවා අවසන් කළෙමි. ඒ, අජිත් ධර්ම විසින් රචිත ‘‘ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ’’
නමැති කෘතිය යි.
කෘතියේ නම දුටු සැණින් හෝ කියවූ සැණින් මෙම කෘතිය හුදු
බොළඳ ආදර කතාවක් විය හැකියැයි සැක සිතේ. එය සාධාරණ ය. මන්ද පොතේ පිටකවරය නිර්මිත
වී තිබෙන්නේ ද එය වඩ වඩාත් තහවුරු වන ආකාරයෙනි. එමෙන් ම මෙම කෘතිය තුළ උත්තරිතර
යැයි සැලකෙන ආදර කතාවක් ද නැතවා නොවේ. එහෙත් මෙම කෘතිය තුළ මා කියවූයේ එකී
උත්තරීතර ආදර කතාව අභිභවා යන ජුගුප්සා ජනක දේශපාලන කතාන්දරයකි; වෙසෙසින් ම එදා
මෙදාතුර පැවති, (1917 වසරේ සිට 90 දශකයේ අවසන් භාගය දක්වා) ලෝ ප්‍රකට සෝවියට් දේශය හෙවත් සෝවියට් සමුහ
ආණ්ඩුව නමැති ලෝකයෙන් වසන් කළ, කුඩා පොද වැස්සකට වුව ද සේදි යා හැකි ලෙස සවු
කඩදාසිවලින් ආවරණය කළ සැකිල්ල පිළිබඳ කතාවකි; එහි නිරුවත පිළිබඳ අනාවරණයකි.
මෙම කෘතියට අනුව එකී රාජ්‍යය තුළ සාධනිය යමක් පැවතියේ
නම් ඒ තරුණ තරුණියන්ගේ ලිංගික නිදහස පමණි. එනම්. කිසියම් තරුණයකු හෝ තරුණියක නිත්‍යානුකුල
විවාහයකට එළඹෙනවාද නැද්ද යන්න සහ එසේ නිත්‍යානුකූල විවාහයකට එළඹීමට පෙර එකට ජීවත්
වනවාද නැද්ද යන්න තීරණය කිරීම එම යුවළ සතු ස්වයං තීරණයක් වීම පමණි. එමෙන් ම එසේ ජීවත්වන
යුවළකගේ ලිංගික එක්වීම හේතුවෙන් යම් ආකාරයකින් තරුණිය ගැබ් ගත්තේ නම් ගැබ විනාශ
කරනවා ද, යුවළ විවාහ වනවා ද එසේත් නැතිනම්
උපදින දරුවාගේ රැකවරණය ආණ්ඩුවට බාර කරනවාද නැද්ද යන්න තීරණය කිරීමේ අයිතිය
ද එම යුවළ සතුවීම ය. ඒ හැර අන් බොහෝ දෑ රජවාසලට හකුරු නිෂ්පාදනය කළ පුද්ගලයාගේ
ඇතුළාන්තය බඳු ය.
කතුවරයා මේ නිරුවත හෙළි කිරීම ආරම්භ කරන්නේ කෘතියේ
පෙරවදනේ දී ම ය.
‘‘මිනිසුන්ට අවශ්‍ය ඇඳුම් පැළඳුම් බටහිර මෙන් විච්චූර්ණ
නොවී ය. එවැනි ඇඳුම් අවශ්‍ය අය ඒවා මිලට ගත්තේ අප වැනි විදේශික ශිෂ්‍යයන්ගෙනි.
එසේම සන්ගීත තැටි බටහිර සිනමා කෘති හා බටහිර කෑම බීම ද, බටහිර සංගීත උපකරණ ද, එසේ
විදේශිකයන්ගෙන් මිලදී ගැනුණි. බොහෝ විට මේවා කෙරුනේ නේවාසිකාගාර තුළ, ටැක්සි තුළ,
මහපාරේ අඳුරු මුළුවල ය.
පිටුව VIII
මෙසේ ආරම්භ කරන එරටේ කුණු වී ඔජස් ගලන සමාජ ස්ථරය පිළිබඳ
අනාවරණය සමස්ත කෘතිය පුරාම විදාරණය කෙරේ. කතුවරයා ආරම්භයේ දී ම පවසන පරිදි ඔරුවල
බන්දු විසින් රචිත ‘‘පස් අවුරුද්ද’’ කෘතියේ අන්තර්ගතය අභිභවන තරමේ හෙළිදරව්වක් මෙම
කෘතියේ අන්තර්ගත ය. මගේ පුද්ගලික හැඟීම නම් පාඨක ප්‍රජාව ලෙස අප වැඩි අවධානය යොමු
කළ යුත්තේ ද, වඩ වඩාත් හැදෑරිය යුත්තේ ද ගිහාන්ගේ සහ තාන්යා ගේ ආදර කතන්දරය නොව
වර්ණ කඩතිරකින් මුවා කර තිබෙන සෝවිට් රුසියාවේ අදුරු, ජුගුප්සා ජනක දේශපාලන, සමාජ
සහ ආර්ථික පසුබිම බව ය.
කෘතියේ ප්‍රධාන චරිතය වන ගිහාන් හරහා කතුවරයා කෘතියට අත පොවා
ඇති ස්ථාන බහුල ය. එය සාමාන්‍ය තත්ත්වයක් වුව ද මෙම කෘතියේ එකී තත්ත්වය සීමාව
ඉක්මවා ගොස් ඇතැයි මට හැඟේ. එනමුදු එතුළින් යට සඳහන් කළ ආකාරයට සෝවියට් රුසියාවේ
ඍණාත්මක පාර්ශ්වය මෙන් ම ධනාත්මක පාර්ශ්වය ද ප්‍රකට කෙරෙන්නේ පාඨක ප්‍රජාව විස්මයට
පත් කරමිනි.
‘‘ගැහැනු ළමුන්ට දෑවැද්ද දීමක් කියා දෙයක් නැත. එයින්
ඔවුන් නිදහස්ය. කුලය බැලීම අවශ්‍යද නැත. මෙතන ඇත්තේ එක්තරා අන්දමකින් නිදහස්
ආදරයකි. තරුණයා හෝ තරුණිය බොහෝ විට තමන් කැමති කෙනෙකු සමඟ පෙම් සබඳතා පටන් ගනිති.
මේවා සමහර විට කෙළින්ම ලිංගික සම්බන්ධයෙන්ම අරඹති. එසේ නොවී මාස ගණන් දිගට යන
සබඳතා ද තිබේ. විවාහවලින් කෙළවර වන්නේ බොහෝ විට දරුවකු ඉපදෙන විටය. සෝවියට් නීතියට
අනුව දරුවකු ලැබෙන්නේ නම් විවාහ විය යුතු අතර පිරිමියා දරුවා තමන්ගේ නම් බාරගත
යුතුය. බොහෝ තරුණ තරුණියන් විශ්ව විද්‍යාල නේවාසිකාගාරවල එකට ජීවත්වීම සාමාන්‍ය
දෙයකි. එසේ නොමැති තරුණයකුට හෝ තරුණියකට සබඳතා කිහිපයක් එකවර පැවතීම ද සාමානය
දෙයකි. එනම් නිත්‍ය පෙම්වතෙකු හෝ පෙම්වතියක නැත්නම් නිදහස් ලිංගික සබඳතාවයන් ගෙන
යාම ගැන දෙමාපියන්වත් වෙන කවුරුන්වත් කිසිවක් කියන්නේ නැත. සමලිංගික සබඳතා සෝවියට්
දේශයේ තහනම්ව තිබුණි. එනිසා ගිහාන් එවැනි දේ තිබේදැයි නොදත්තේ ය.’’
පිටුව 18
මෙබඳු ඉදිරිපත්කිරීම් තුළින් ගම්‍ය වන කරුණු දෙකක්
සැලකිල්ලට ගත හැකි ය. එනම් කෘතියේ අන්තර්ගත කාලවකවානුවේ සෝවියට් රුසියාවේ පැවති සමාජ
පසුබිම යි. අනෙක් පසින් ගිහාන් සහ තාන්යාගේ ආදරය අන්දරය තුළ ඉදිරිපත් කෙරෙන සිදුවීම්
අභව්‍ය නොවන දෑ බව ඒත්තු ගැනීමට කතුවරයා ඉදිරිපත් කරන සාක්ෂි ය. එසේ නොවන්නට
‘‘මෙවැනි දෑ සිදුවිය හැකිද..?’’ යනුවෙන් ලාංකික පාඨක ප්‍රජාව ප්‍රශ්න කරනු
නොඅනුමාන ය.
සෝවියට් රුසියාවේ පැවති ස්ත්‍රී පුරුෂ ලිංගික නිදහස
පිළිබඳ කතුවරයා ඉදිරිපත් කරන තවත් නිදසුනක් වෙත අවධානය යොමු කරමු.
‘‘ලැට්ටා යනු ලතින් ඇමරිකානු සිසුවෙකි. ඔහුගේ විශේෂත්වය
ඔහුට වඩා වයසින් වැඩි කාන්තාවන් නිතර ඇසුරු කිරීම ය. ඇසූ විට කියන්නේ ඔය බොළඳ
කෙල්ලන්ට වඩා වැඩිමහලු කාන්තාවන් දෙන සැප වැඩි බවය. වරක් එකියක් ගිහාන්ගෙන් ඇගේ
යෙහෙලියක් ගැන කියා හඳුනාගැනීමට කැමතිදැයි විමසුවාය. ඔහු එය කාරුණිකව ප්‍රතික්ෂේප
කිරීම අනිත් සිසුන්ගේ උපහාසයට ලක්විණි. මේ අය දික්කසාද වුණු මැදිවියට එළඹෙන
කාන්තාවන්ය ළමයි බලාගැනීම මෙන්ම රැකියාවට යාමද එක සේ කරන ඔවුන්ට ශිෂ්‍යයකු සමඟ
යහළු වීම වඩා පහසුය. වැඩි බලපෑමක් නැතිවම තමන්ගේ ලිංගික අවශ්‍යතාවය ඉටු කරගෙන යා
හැකිය. සමහර වඩිමහලු කාන්තාවන් ලැට්ටා බලන්න එන විට හතරපස් දෙනෙකුට සෑහෙන්න
සුප් හෝ වෙනත් කෑමද රැගෙන එති. එදාට හොඳ
සුප් එකක් ලැට්ටාගේ ගානේ බිව්ව හැකිය නැතිනම් නිවසේ හදන ලද රස පිල්මේනි ටිකක් රහ
බැලිය හැකිය.’’
පිටු 29, 30
මෙතුළින් සෝවියට් රුසියාවේ කාන්තාවන් කෙතරම් ලිංගික
නිදහසක් බුක්ති විඳිනවාද යන්න සහ ශිෂ්‍යයන්ට තම ආශා සන්තර්පණය කරගැනීම සඳහා
ගණිකාවන්ගේ පහස පතා යාමට වුමනා නොමැති බව ගම්‍ය කෙරේ.
මෙම කෘතියේ කතුවරයා ගිහාන් සහ තාන්යාගේ ආදර අන්දරය ගලා
බස්නා දිය පහරට සෝවියට් රුසියාවේ දේශපාලන, ආර්ථික සහ සමාජ පසුබිමේ ඉතිහාසය සහ එවකට
පැවති තත්ත්වය ද විසිකර දමන්නේ මෙලෙසිනි.
‘‘ගිහාන් පසුව ඉගෙනගත් පරිදි කේජීබී විදුහලේ නම්
දෙර්ශින්ස්කි උසස් විද්‍යාතනයයි. ෆීලික්ස් දෙර්ශින්ස්කි යනු පසුව
කොමියුනිස්ට්වාදියෙකු වූ පෝලන්තයේ උසස් පවුලක සිටුවරයෙකි. නොවැම්බර් හත් වැනිදා
සිදු වූ එහෙත් රුසියානු කැලැන්ඩරයට අනුව ඔක්තෝබර් මාසයේ සිදු වූ විප්ලවයේ නායකයා
වූ ලෙනින් විප්ලවය ආරක්ෂා කිරිම සඳහා ප්‍රති විප්ලවය එරෙහිව කටයුතු කිරීමට හදිසි
කමිටුවක් නිර්මාණය කර එය බාර දුන්නේ ෆිලික්ස්ටය.’’
පිටුව 59
මෙවන් අවස්ථා මෙම කෘතියේ බහුලව අන්තර්ගත කර ඇත. මා යට
සදහන් කළ පරිදි ‘‘ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ’’ කෘතිය හුදු ආදර කතාවක් නොවන්නේ මෙබඳු
කරුණු හේතුවෙනි.
ලංකාවේ වමේ ව්‍යාපාරයේ ආරම්භකයෝ ද, ඉක්බිති බිහි වූ නව
යැයි කියා ගන්නා වාමාංශිකයෝ ද සෝවියට් රුසියාවේ පැවති ලිංගික නිදහස සපුරා ම ආවරණය
කළේ ය. නමුත් එරට පැවති ලිංගික නිදහස පිළිබඳ කතුවරයා මෙබඳු අනාවරණයක යෙදෙන්නේ
ලාංකීය වම්මුන්ගේ ඊනියා සංස්කෘතික බැමි පුපුරුවා හරිමිනි.
‘‘... වනය අවසන් වන තැන වූ පයින් යායක් මැද්දෙන් ගමන් කළ
ඔවුහු එළිමහන් වෙරළකට පිවිසුනහ. එහිදී දුටු දෙයින් ගිහාන්ගේ ඇස් උඩ ගියේ ය.
එහි මිනිස්සු සහ ගැහැනුන් සමුහයක් අව්ව තපිමින් සිටියේ ඇඟේ
නූල් පටක් වත් නැතිවය. මෙවැනි තැන් තිබෙන බව ඔහු අසා තිබුණේ බටහිර යුරෝපයේ,
එංගලන්තයේ හා ඇමරිකාවේ පමණය. සෝවියට් දේශයේ එවැනි ‘‘නිදහස්’’ මිනිස්සු සිටින බවක්
ඔහු දැන සිටියේ නැත. සෝවියට් දේශය තද නීති ඇති කොමියුනිස්ට් රටක් බව සෑම විටකම
සිසුන්ගේ සිත්වල තිබුණි.’’
පිටුව 90
මිනිසාගේ ප්‍රයෝජනය සඳහා හෝ ධනේශ්වරයේ අවශ්‍යතාව සඳහා
තාක්ෂණික නව නිපැයුම් සොයාගැනේ. එබදු තාක්ෂණයට පවා වංචා කිරීමට අවශ්‍ය උපක්‍රම
සොයාගන්නේ ද මිනිසා ම ය. එවන් විකල්ප ක්‍රමෝපා භාවිතා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී
ලාංකිකයෝ ද ප්‍රමුඛස්ථානයක් උසුලති. හැත්තෑව දශකයේ තිබූ ලංකා ගමනා ගමන මංඩලයට අයත්
කොන්දොස්තරවරු අතට පත් කළ ප්‍රවේශපත් නිකුත් කරන යන්ත්‍රයෙන් වංචා කළ ලාංකීය පුද්ගලයකු
ඇමරිකාවට රැගෙන ගිය බවට එකල පුවතක් පළවුණි. රුසියාවේ ශිෂ්‍යත්වයක් ලබා එහි ගොස්
නොමිලේ ඉගෙනගන්නා ශ්‍රී ලාංකික ශිෂ්‍ය ප්‍රජාව ද ලන්ඩනයේ දී අපූරු තාක්ෂණික
වංචාවක් කළ බව මෙම කෘතියේ අන්තර්ගත ය.
‘‘... ලංකාවට ‘නොමිලයේ’ කතා කරන ක්‍රමයක් ගිහාන්ට දැකගත
හැකි විය. ලංකාවට කතා කිරීමට මිනිත්තුවකට පවුමක්වත් වැයවේ. එය තරමක මුදලකි.
ලන්ඩනයේ පළමු සීමාවේ (Zone 01)
මෙට්රෝ දුම්රිය සේවාව පවුම් පහකටත් අඩුය. එනිසා දුරකතනයෙන් කතා කිරීම සාපේක්ෂව
වියදම් වැඩිය. ඔවුන් කරන්නේ එකවර පවුම් තුන හතරක් දුරකතන කුටියේ ඇති දුරකතනයට දැමීමයි.
ඉන් පසු අනිත් පැත්තෙන් රිසිවරය ඔසවනවාත් සමඟම වානේ වැනි කූරකින් මුදල් දමන
තැනනින් යට කුහරයට ඇන්න යුතුය. එවිට දැමූ මුදල් නැවත ලැබෙන අතර ඒවා නැවත නැවත
දමමින් කතා කළ හැකිය.’’
පිටුව 143
කතුවරයා මේ සියල්ල පවසන්නේ ආදර අන්දරයක් පවසාගෙන යන
අතරතුර ය. මා බොහෝ විට අහුලා ගත්තේ මෙවන් අවස්ථා ය. එය ඇතැම් පාඨකයකුට හෝ පාඨකාවකට
නොවැදගත් විය හැකි ය. එවන් පාඨක ප්‍රජාවට කියවා රස විඳිය හැකි ආදරය අන්දරයෙන්
මෙබඳු කොටස් වෙන් කරගන්නට මට අවැසි විය. මගේ විමසුමට බඳුන් වන්නේ ද එකී අනුභූති ය.
සෝවියට් දේශයට නොගිය ද බොහෝ ලාංකික පාඨක ප්‍ර ජාවෝ
‘‘දොන් නදිය ගලා බසී’’ කෘති මාලාව කියවා ඇති බව විශ්වාස ය. ඒ ‘‘දොන් නදිය’’ සියැසින්
දුටු කතුවරයා එය මෙලෙස සඳහන් කරයි.
‘‘දොන් නදිය අසබඩ පිහිටා ඇති රොස්ටොව් නගරය මිලියනයක්
පමණ මිනිසුන් සිටින විශාල නගරයකි. එය පහසුව සඳහා ප්‍රධාන ප්‍රදේශ අටකට බෙදා තිබේ.
වරශිලොව්ස්කි, කිරෝව්ස්කි, ලෙනින්ස්කි, පෙදෙස් හඳුන්වා තිබෙන්නේ ඔක්තෝබර් විප්ලවයට
සම්බන්ධ වූ නායකයන්ගේ නමිනි. පියේර්වමයිස්කි යනු මැයි පළමුවෙනිදා සමරන්නට යෙදුනු
නමයි. සවියෙට්ස්කි නම සෝවියට් සභා ද, ඔක්ත්යාබර්ස්කි රතු ඔක්තෝබරය සිහිවන්නට ද
යොදා තිබේ.’’
පිටුව 153
මෙම කොටස කියවු සැණින් මට සිහිපත් වූයේ අපේ රටේ මං මාවත්
නම් කිරීමේ දි කෙතරම් සරල ලෙස එය කරනවා ද යන්න ය. එනම් අපේ රටේ මාවතකට තමන්ගේ නම
ඇතුළත් කරගැනීමට නම්, මහා ගත් කතුවරයකු හෝ කතුවරියකු විය යුතු නැත. මහා
විප්ලවවාදියකු හෝ විප්ලවවාදිනියක විය යුතු නැත. කළ යුතු ඉතා වැදගත් ම කටයුත්ත
වන්නේ මහරජාණෝට ප්‍රශස්ති ගීයක් ගැයිම පමණි.
ගිහාන් ඇතුළු පිරිස නිවාඩු සමයේ ලන්ඩනය බලා පිටත් වන්නේ
වැඩිපුර මුදලක් සොයාගැනීමේ අටියෙනි. නමුදු සමාජවාදී යැයි ලේබල් කරගත් සමාජ ක්‍රමයක්
පැවති සෝවිට් රුසියාවේ මිනිස්සු සිය ජීවිකාව පවත්වාගෙන ගියේ කෙතරම් අසීරුවෙන් ද
යන්න ගිහාන්ගේ පෙම්වතිය වන තාන්යා සිය නිවාඩු සමය ගත කළ ආකාරයෙන් මනාව පැහැදිලි
වේ.
{‘‘මම ගියා කුබාන්වල අල ගලවන්න. කුස්නදාර් පැත්තේ.
නැත්නම් මට සල්ලි කොහෙන්ද, මේ.’’} ඇය අවිහිංසක ලෙස පවසා දෑත පෙන්වූවාය.පෙර
සුමුදුවට තිබූ ඒ දෑතේ නිය ගෙවී කැඩී තිබුණි. සමහර තැන් ලේ එනතුරු ඉරී ඇති බව
පෙනුණි. ඇතැම් නිය කොනක කුබානයේ කළු පස තවමත් රැඳි තිබුණි.’’
පිටුව 156
තමන් විඳි කටුකත්වය තව දුරටත් පවසන තාන්යා...
‘‘මම ගියේ මගේ ඉස්කෝලේ යාළුවා තනාෂින්කා හා එයාගේ
පෙම්වතා සිරියෝෂා එක්ක. මම කීව මට සල්ලි ටිකක් හොයාගන්න ඕනේ කියල. මගේ ශීත කාලෙට
අඳින සපත්තු දෙක එයාලට විකුණන්න කියල ගියේ. එයාල කීව අල ගලවන්න යමු කියල. පරක්කු
වෙල එහෙ ගිය නිසා අපට නිදාගන්න වුනේ ගොවිපළේ ඉස්කෝලෙ පංති කාමරයක. හැබැයි හැමදාම
කිරි නම් ලැබුනා නොමිලේ බොන්න’’
පිටුව 158
කාන්තාවක් සහ පිරිමියකු අතර පවත්නා ලිංගික සබඳතා අතර
නීතියෙන් ම තහනම් කර ඇති ලිංගික සබඳතා ද පවතී. නීතිමය පාර්ශ්වයෙන් මෙය හඳුන්වන්නේ ව්‍යභිචාරය යනුවෙනි. නමුදු මෙබඳු
ලිංගික සබඳතා පවත්වන කාන්තාවෝ සහ පිරිමි ලෝකය පුරා ම වෙසෙති. සෝවියට් රුසියාවට ද
එය වෙනසක් නොමැති බව ‘‘ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ’’ කෘතියේ 188 සහ 189 පිටු කෙරෙහි
අවධානය යොමු කළ විට දැකගත හැකි ය.
‘‘ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ’’ කෘතියේ එක් තැනෙක ‘‘රුසියන්
ගැහැනු ලෙහෙසියෙන් අඬන්නේ නැහැ මල්ලි’’ යනුවෙන් සඳහන් වේ. එය වැඩිදුරටත් මෙසේ
පැහැදිලි කරයි.
‘‘ඉතිහාසය පුරාම ඉස්සෙල්ලම ජෙන්ගිස් ඛාන් ගේ හමුදාවෙන්
බැටකාල, ඊට පස්සේ තවත් නොයෙකුත් ආක්‍රමණවලින් බැටකාල, රුසියන් අධිරාජ්‍ය
පිහිටුවන්න පිරිමි යුද්ධෙට ගියහම ළමයි එක්ක ගම් බිම් බේරාගෙන ගොවි බිම්වල දාඩිය
වගුරවල, විප්ලව කාලෙ බැට කාල ඉන්නේ උන්. පළමුවෙනි හා දෙවෙනි ලෝක යුද්ධ දෙකෙන්ම
වැඩියේම බැට කෑවෙත් ඔය ගැහැනු. ඔය හැම කාලෙම කුසගින්නෙ ඉඳල, ඒ මුළු දුක් කන්දරාවම
විඳගෙන දරාගෙන පන්නරය ගත්ත ගෑණු. මුන් ලේසියෙන් අඬන්නෙ නැහැ. මුන්ගේ හිත් හෙන
තදයි.’’
පිටුව 192
මේ කොටස ලංකාවට ගළපා බලන්න. අතීතයේ සිට පැවති විදේශ ආක්‍රමණවල සිට 1818
පැවති කැරැල්ල දක්වා ද, 71 වසරේ පැවති තරුණ නැගිටීමේ දී ද, 87-89 යුගයේ දී ද, තිස්
වසරක් පුරා පැවති යුද්ධයේ දී ද මිය ගියේ පුරුෂයෝ නොවෙති ද...? ඔවුන්ගේ වියෝවෙන් වඩ
වඩාත් අසරණ වූයේ එසේ මිය ගිය පුරුෂයන්ගේ යැපෙන්නෝ වූ කාන්තාවෝ නොවෙති ද...? ලොව
කොතැනක කවදා යුද්ධයක් පැවතිය ද වඩ වඩාත් පීඩාවට පත්වන්නෝ කාන්තාවෝ ම නොවෙති ද...?
සාහිත්‍ය කෘතියක් කියවීමේ දී එහි යටිළෙහි අන්තර්ගත මෙවන් ව්‍යසන කෙරෙහි අපි අවධානය
යොමු කළ යුතු නොවන්නෙමුද...?
සමස්ත සෝවියට් රුසියාවේ සමාජ, දේශපාලන සහ ආර්ථික පසුබිමේ
පැතිකඩක් විදාරණය කෙරෙන ‘‘ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ’’ කෘතිය අවසානයේ ගොර්බචව්ගේ ප්‍රතිසංස්කරණවාදයෙන්
ඉක්බිති එරට මුහුණ පෑ ඛේදවාචකය ද මැනවින් ප්‍රකට කර ඇත. එබැවින් මගේ පුද්ගලික
යෝජනාව වන්නේ ‘‘ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ’’ කෘතිය ආදර කතාවක් ලෙස කියවන අතර ම එහි
යටි පෙළෙහි දක්නට ලැබෙන අඳුරු අගාධය දෙස ද අවධානය යොමු කරන ලෙස ය.
කෘතියේ නම සහ කවරය වෙනස් (සෝවියට් රුසියාවේ ඇතුළු වත ප්‍රදර්ශනය
කෙරෙන) ආකාරයකින් නිමවූයේ නම් මෙම කෘතිය කෙරෙහි පාඨක ප්‍රජාවගේ අවධානය මීට වඩා
යොමු කරගතහැකිව තිබුණා ය යන්න මගේ පුද්ගලික නිගමනය යි.
ජයසිරි අලවත්ත
Jayasiri Alawatta
2020/05/16