Thursday, 10 September 2020

ලේක් දිස්ත්‍රික්කයේ උසම දිය ඇල්ල ස්කේල් ෆෝස්





මා සිතන ආකාරයට නොයෙකුත් වනපෙත් බේරා ගැනීමට හෝ සොබා දහම රැකීමට දහස් ගණන් ෆේස්බුක් පෝස්ට් දැමීමෙන් කිසිදු පලක් නැත. ඒ වෙනුවට කළ යුත්තේ මිනිසුන්ට සොබා දහමේ සුන්දරත්වය පෙන්වීම පමණි. සොබා දහමේ සුන්දරත්වය දන්නා , එය විඳින තැනැත්තා හා  ඒ සමග සහජීවනයෙන් ජිවත්වන තැනැත්තා  එය විනාශ කරන්නට කටයුතු නොකරයි.   

අපි අගෝස්තු 27 වන දින කොකර්මූත් හි පිහිටි ස්කේල් ෆෝස්  දිය ඇල්ල නැරඹීමට ගියෙමු. මේ නමේ  ෆෝස් හෙවත් "බලය" යන යෙදුම පැමිණ ඇත්තේ  නොර්ස් භාෂාවේ දිය ඇල්ලට භාවිතා කරන වචනයෙනි 
මෙය  අඩි 170 ක් පමණ උස (මීටර 51.8 ක් පමණ) වන අතර එය ආරම්භ වන්නේ ස්කේල් බෙක් ඇළෙන් ය. එය ඇති ගමන් මාර්ගයේ හැතැප්ම 4 ක පමණ දුරක් ඇවිදීමට අපට පැය දෙක  හමාරක් ක් පමණ ගත වුනි.
එය දුටු මට  ශ්‍රී ලංකාවේ දුන්හිඳ  දිය ඇල්ල නැරඹීමට කුඩා කාලයේ  ගිය බව  මතකයට නැගුණි. හැත්තෑ ගණන්වල පළමු වරට ගිය ඒ ගමන  මදක් දුෂ්කර එකක් විය.  දෙවන වතාවට දුන්හිඳ බැලීමට ගියේ 2000 දීය.  ඒ ගමන් මාර්ගය වඩා පහසුය. දුන්හිඳ වෙතින් එන ජල පහරේ බලය එදා  මා විස්මිත කළේය. 
සැබෑ ස්කේල් ෆෝස් එක ඇත්තටම ඇත්තේ දුන්හිඳ , නයගරා, වික්ටෝරියා වැනි දිය ඇලි වලය.දුන්හිඳ ස්කෙල් ෆෝස් එකට වඩා  මීටර් 10 පමණ  උසය.
  ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල මීටර් 260 ක් උස බඹරකන්ද වන අතර එය මේ දිය ඇල්ලට  වඩා 5 ගුණයකින් උසය. බඹරකන්ද දිය ඇල්ල  මුලින්ම සොයා ගත්තේද හැත්තෑ ගණන් වල යයි සිතමි. එයට හේතුව එවකට අප ලුණුගල සිටියදී මගේ පියා පැමිණ කී දෙයක් හේතුවෙනි. භූ විද්‍යාඥ කණ්ඩායමකට ආරක්ෂාව දීමට හා පාර කියා දීමට  ගිය පිරිස අතරේ පැත්තකින්  සිටි ඔහුටද එය බැලීමට යාමට අවස්ථාවක් උදාවී තිබුණි.  එය දියලුමට වඩා උස හා පළලින් යුතු දිය ඇල්ලක් බවත් වැසි කාලයට අති භයානක ලෙස අවට ගස් කොළන් වලටත් උඩින් දියකඳ  ඇද හැලෙන බවත් ඔහු පැවසූ බව මට මතකය.
එසේම  මට මතක විධිහට ලංකාවේ උසම දිය ඇල්ල ලෙස අප දැන  සිටියේ දියලුමයි. බඹර  කන්ද උසින් ලෝකයේ 299 වෙනි ස්ථානයට ඇති දිය ඇල්ලයි.

ෆේස්බුක් බිත්ති වල  නිතර නිතර  චීන ජාතිකයන් අසීරු කඳු තරණය කරමින් තමන් සිටින ගං  වලින් නගරයට එන පින්තුර හා වීඩියෝ හුවමාරු වේ. නමුත් අපට ඉදිරියෙන් ගිය චීන ජාතික  පවුලක් මදක් දුර ගොස් මඩ හා වතුර පිරි මාර්ගයේ අසිරිය දැක ආපසු හැරී ගියහ.

අපට මුලදී මග වැරදුනු මුත් පසුව බැටළුවන් කඳු නගින මාවතක් සොයා කන්ද උඩට නගින්නට පටන් ගත්තෙමු. ඇල්ල නරඹා ආපසු එන සුදු ජාතික තරුණියක  සමග සිටි දකුණු ආසියාතිකයෙකු ඈත සිටම අත වනමින් අපට මග පෙන්වීය.   

ස්කේල් ෆෝස්  ඇල්ල අසලදී අප රැගෙන ගිය සැන්ඩ්විච් කා හවස් වනවිට නැවත පල්ලම් බැස්සෙමු. දරුවන් දෙදෙනා දිය අල්ල දැකීමෙන් ලැබූ ප්‍රීතිය දැකීමෙන් මගේ මහන්සියද අතුරුදහන් විය. 

මට වඩාත් සිත් ගත්  කරුණ නම් ගමනේදී හමුවුණු සියලු දෙනාම  පාහේ කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් ඈත් වී ගමන් කළද ආචාර සමාචාර කිරීමට උත්සුක වීමයි.  දෙතුන් විටෙකදීම අප හා කතාවට  එක්වීමටද ඔවුහු  උනන්දු වූහ.
මේ ස්කේල් ෆෝස් දිය ඇල්ල දක්වා ඇති ගමන් මාර්ගය ඉතා දර්ශනීය එකකි. අවට  කඳු සහ නිම්නය පහළ විල චමත්කාර චිත්‍රයක් සිතේ මැවීමට සමත් වේ.  නන්දා  මාලනී මහත්මිය ගයන ගලන ගඟකි ජිවිතේ ගීතයේ මතක් වුනේ ඇයිද යන්න නොදනිමි. සමහරවිට පහල නිම්නයට  ගලා යන ගඟ නිසා විය හැකිය. 




























Sunday, 6 September 2020

කෝවිඩ් අභියෝගය - ග්‍රේට් ලැන්ඩෙල් කඳු තරණය -ලැන්ඩෙල් පයික් සහ පවේ ආර්ක්



පසු ගිය ලිපියේ  සඳහන් කරපු අත් දැකීමෙන් පස්සේ අගෝස්තු 26 බදාදා මමත් බිරිඳත් දියණියන් දෙදෙනාත් අපේ මුල්ම කඳු තරණයට  ලැහැස්ති වුනා. 
අපේ අභියෝහය වුනේ ග්‍රේට් ලැන්ඩෙල්.

මේ ගමනට කඳු මුදුන් කිහිපයක් අහුවෙනවා. පවේ ආර්ක් , හැරිසන්  ස්ටික්ල්, තෝන් ක්‍රැග් සහ පික්ල් ඔෆ් ස්ටික්ල් කියන ඒවා.    ඒ වගේම පවේ ආර්ක් කියන කොටසට ගියහම මුදුනේ  ඉතා දර්ශනීය ස්වභාවික වැවක් තිබෙනවා.




මේ කඳු එතරම් උස ඒවා නොවේ. ලැන්ඩෙල් පයික් එක මීටර් 736  (අඩි 2415) පමණ වෙන්නේ.  පවේ ආර්ක්  , හැරිසන් ස්ටිකල් පහු කරලා පහත තැනිතලාවට බහින්න පැය පහක් හයක් පමණ යනවා. මුළු දුර කිලෝ මීටර 12ක්. මේ දොලහේ දී මීටර සීයේ , මීටර 150 පමණ ඉතා තද බෑවුම් කිහිපයක් හමු වෙනවා. මේවායේ උඩට නගින්න ටිකක් අමාරුයි. මහගිරි දඹට වඩා අමාරුයි කියලයි මම හිතන්නේ. මොකද වැටක් හෙම නැති නිසා. 



මේ ගමන පුරාවට පියකරු දොළ පහරක්  ගලාගෙන එනවා පහලට. මේ දොළ පහරේ එක තැනක එය පසු කරන්න ඕනේ ලොකු ගල් ගොඩවල් උඩින් පැන ගෙන ගිහින්, . එතැන වතුර  තදින් පහලට වැටෙන තැනක්. පය ලිස්සුවොත් පහලට වැටෙනවා.




උඩ තිබෙන වැවෙන් තමා  මේ දොළ පටන් ගන්නේ. 

අපට සම්පුර්නයෙන්ම වගේ පැය හයහමාරක් ගියා මොකද මම ටිකක් හිමින් පහලට බැස්සේ. 
හැබැයි කඳු මුදුනේ සිට ඉතා දර්ශනීය ලෙස පහල තිබෙන මිටියාවත පෙනෙනවා. 








Friday, 4 September 2020

සිංහරාජය , හිටපු ජනාධිපති සහ ලංකාගම මායිම


සිංහරාජය ගැන  කතා කල බොහෝ අය නොදන්නා කාරණාවක් වගේ මේක.හෙරිටේජ් සයිට් එකක් වශයෙන් නම් කරන්න 1988 යුනෙස්කෝව සමග ගිවිසුම ගහද්දි  , සිංහරාජයට අයත් වනාන්තර  ප්‍රමාණය හෙක්ටෙයාර් 8864 (අක්කර 21903). කුරුඳු වගාව නිසා ගාල්ල පැත්තෙන් තර්ජනයක් එල්ල වෙලා තිබුනේ. එතකොට  ලොකු ගෙවල් /හෝටල් හදන කට්ටිය ලී ගන්න නිසා හොරෙන් ලී කැපීම කරන එක නවත්වන්න වෙලා තිබුනේ. ඉතින් ගිය යහපාලන ආණ්ඩුව (ඔව් ඒක  තමයි ) ඕක හෙක්ටයාර් 36000 දක්වා වැඩිකළා අවට වනාන්තර පවා අරගෙන. (මුළු අක්කර ගණන  88960) . හැබයි  ඕක වසර 2000 ඉඳන් එන ප්ලෑන් එකක්. ඕකට අත්සන් කලේ හැමෝම බුකියේ බනින හිනාවෙන මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා. ඔව් එයා තමයි.


දැන් මේ අලුතෙන් එකතුවෙන වනාන්තර පැති මෙන්න  මේවා.අයගම, දෙල්ගොඩ, දෙල්ලෑව, දෙල්මිල්ල-යටගම්පිටිය, දියදාව, කොබහදුකන්ද, හඳපනැල්ල, ගොන්ගල හා පරාගල . එතකොට ඔය පරාගල  කියන හරිය ලංකාගම , නෙළුව දෙකම පහු කරලා  පහලට වෙන්නදතියෙන්නේ? දන්න කෙනක් ඉන්නවද? ගූගල් මැප් එකේ තිබෙන්නේ  එහෙම.එහෙම නම්   ඔය අළුත් මායිමට තමා කපන පාර අහුවෙන්නේ නේද ?
 අනික ලංකාගම විතරක් නෙමේ ගොඩක් ගම්  ඔය මායිමට අහුවෙනාවා නේද?
 
ලංකාගම අහුවෙලා තියෙන්නේ  ඔය වැඩිකරපු කොටසට නම්  ඒ මිනිස්සුන්ට බැනල වැඩකුත් නැහැ. හිටපු ජනාධිපතිට බැනල වැඩකුත් නැහැ. මුළු ලෝකයාම ගැන හිතල එතුමා ගත්ත විශිෂ්ඨ පියවරක් නේ ඒක .
මම නම් දැක්කේ නැහැ එක පරිසරවේදියෙක් වත් හොඳයි කියනව ඔය වැඩේට ඒ දවස්වල. 

මේ ලිපියේ සුරන්ජන් ප්‍රනාන්දු කියල බොටනිස්ට් කෙනෙක් කියනව මෙහෙම.

//Suranjan said villagers living close to Sinharaja need a sustainable management plan that would support the conservation aim of creating corridors to link the forests, to prevent fragmentation.// 

මම මගේ ලිපියේ කිව්වෙත් ඕක. සම්පුර්නයෙන්ම වැඩිවන කොටස පවත්වාගෙන යන්නේ කොහොමද කියන එකට ප්ලෑන් එකක් අවශ්‍යයි. මිනිසුනුත් ඒවල  ජිවත් වෙන්න ඕනේ.ඒවලට  යන පාරවල් නුත් හොඳට  හැදෙන්න ඕනේ. සිංහරාජය පැත්තට ලොකු කම්බිවැටක් වත් ගහන්න ලී හොරුන්ට යන්න බැරිවෙන්න. වනජීවී එකෙන් මුරකරු  රස්සා දුන්නත් කමක් නැහැ.   
මට තියෙන  ප්‍රශ්නේ ඔය හදනවයි කියන හෝටලේ තියෙන්නේ මොන හරියේද කියන එක විතරයි. .මායිමක නම් ඉතින් කියන්න දෙයක් නැහැ.. මායිමේ නෙමේනම්  සිංහරාජය ඇතුලේ නම් තමා ප්‍රශ්නය.  ඒ මැප් එක මම තවම දැක්කේ නැහැ. රවින්ද්‍ර කාරියවසම් කියන විධිහටත්  පාරම නෙමෙයි ප්‍රශ්නේ. පාර හැදුවට මට නම් කමක් නැහැ. වෙනත් ව්‍යාපාරයක් තියන්වාද  ඒ  පිටුපස කියන එක. ඒක කොහොමද සිංහරාජයට බලපාන්නේ 
කියන එක. 
මැප් ගත්තේ ගූගල් එකෙන්.

මෙන්න ලිපිය ලියල තියෙන්නේ මාලක රොඩ්රිගෝ මහතා 2019 දෙසැම්බර් 17. 
ගිට්හබ් 

Wednesday, 2 September 2020

ගම කෑ ලුණුගල හා ලේක් දිස්ත්‍රික්කය සමග ලංකාගම


පහුගිය සතියේ මම, බිරිඳ සහ දරු දෙදෙනා ලේක් දිස්ත්‍රික්කයේ සංචාරයක යෙදුන. කඳු නගින්නට කැමති නිසා අපි සමහර වෙලාවට  ජර්මනියේ තුරින්ගියා වනයට හෝ , ලේක් දිස්ත්‍රික්කය. පීක් දිස්ත්‍රික්කය යන පැතිවලට වසරකට දෙකකට වරක් හෝ යනවා. මේ දිනවල කොවිඩ් වසංගතය නිසා පමා වී වුනත් නැවත යන්න ලැබුනේ අගෝස්තු අග සතියේ. 
අපි තරණය කර කඳු දෙක ගැන විස්තර ඊළඟ ලිපියෙන් කියන්නම්.



මම කියන්න යන්නේ බ්‍රිතාන්‍යය සහ යුරෝපයේ අනිත් රටවල ගම්මාන හා සුළු නගර අවට පරිසරය රකින ආකාරය ගැන. මේවා ඇත්තටම කරන්නේ ඒ පැතිවල ජිවත් වන මිනිස්සු. ප්‍රාදේශීය පාලනය සමග එකතු වෙලා. මේකෙන් අදහස් වෙන්නේ නැහැ ඒවා දියුණු නැති, මිනිසුන්ට වැඩක් පලක්  කර ගන්න බැරි පාරවල් නැති ගම් කියල. හොඳට පාරවල් හදල අවශ්‍ය කරන සැප පහසුකම් දීල ඒ වගේම ගමේ පැරණි ශ්‍රී විභූතියක් තිබ්බ නම් ඒකත්  රැකගෙන, ගමේ ලස්සන රැකගෙන ජිවත් වෙන්නේ. ඉතින් අපි සංචාර වලට යනකොට ඒ තැන්වල පින්තූර ගන්න කැමතියි. උඩ තියෙන්නේ අපි නැවතුන තෝන්වෙයිට් හි  පින්තුරය කිහිපයක් හා කුඩා නගරයක ලස්සන රැකගෙන තිබෙන හැටි. ඒ අය තමන්ගේ නිවාස  අසල කොපමණ පිළිවෙලකට ලස්සනට තබාගෙන තියනවද?

මගේ  "ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ" නවකතාවේ සෝවියට් කතාවට සමාන්තරව යන  ශ්‍රී ලංකාවේ කතාවකුත් තිබෙන බව කියැවූ අය දන්නවා  ඇති. හතලිස් හතර වන පරිච්ඡේදයේ මුල හරියේ කියැවෙන්නේ  ලුණුගල ග්‍රාමය ගැන "ලුණුගල මැදින් ගලනා ගඟ මනහරය" කියල.  හැබැයි මම ලුණුගල ගියා පොත ලියන්න කලින් තව පාරක් බලන්න. අපි  2016 රුසියාවට ගියෙත් ඒ නිසාමයි. ලුණුගල නගරයේ  අවට තිබුණ ලස්සන දැන්  නැහැ.

ඒ විනාශය පටන් ගත්තේ 1975 අග විතර කුඹුකන් ඔය දෙපැත්තේ මැණික් හම්බ වෙලා මැණික් හොයන්න වලවල් හාරන්න ගත්තට පස්සේ. පස්සේ පැවති  රජයන් ඔක්කොගෙන්ම පැලැස්තර පාරවල් හැදිලා. යුඇන්පී , ශ්‍රී ලංකා කියල වෙනසක් නැහැ. මම යනකොටත් බිබිල පැත්තට පාර හදනවා තවම. අධ්‍යාපන අධ්‍යක්ෂක වරයෙකු වන සි බී වනසිංහ මහත්මය එයාගේ ෆේස්බුක් වෝලයේ  පින්තූර දෙකක් දාල තිබ්බ ලුණුගල නගර මධ්‍යය වැස්ස වැහැල  මඩ  වෙලා. අවුරුදු පහක් තිස්සේ එහෙමලු. පහල තිබෙන්නේ ඒ පින්තූරේ .

මට අර නවකතාවේ ලිව්ව ටික ආපහු අකුලා ගන්න හිතුන. පස්සේ ඒත් කල්පනා කරා ඒ මම ඒ කාලේ දැකපු ගම/නගරය  මිසක් දැන් තියෙන එක නෙමේ  කියල. කුඹුකන් ඔය දෙපැත්ත පාලම ගාව විනාශ කරලා තියන හැටි දක්කම් ඇත්තටම දුක හිතුනා. විද්‍යාලයට යන පාර දෙපත්තෙත් ගොඩක් ගෙවල් හැදිලා.


ප්‍රශ්නේ මේකයි. ලංකාවේ හුඟක් අය ගෙවතු වගාව හරියට කරන්නේ නැහැ. කරන අය ඉන්නවා. බ්ලොග් ලියන නලින් දිල්රුක්ෂ වගේ අය. එයාගේ යූටියුබ් නාලිකාවට ගිහින් බලන්න. දැන් කොවිඩ් ප්‍රශ්නය නිසා  හුඟක් අය වගා කරන්න පටන් අරන්. ඒත් මම දුටුව දේ තමයි තමන්ගේ ගෙවත්ත වත් අවට පරිසරය වත් හරියට තියා ගන්නේ නැති කම. මේක ඕන ගමක , ඕන සුළු නගරයක දකින්න තියන තත්වයක්.

හුඟක් අය ප්‍රංශයේ, බ්‍රිතාන්‍යයේ වගේ රටවල හොඳ පාරවල්, හොඳ නිවාස  තියාගෙන සිංහ රාජය බේරා  ගන්න ලංකාගමට බනින එක මට තේරෙනවා අඩුයි. ඒ අයගේ ලංකාවේ ගෙවල් වල තත්වය කොහොමද මම දන්නේ නැහැ. ඒ සමහරු  ලංකාවට සල්ලි යවල හදපු  මහා පතාක ගෙවල් වලට ලී , වැලි කොහෙන්ද ගත්තේ කියල දන්නවද? අර තනමල් විල නාටකයේ කොල්ලෝ ගාණක් හොයා ගන්න වැලි ගොඩ දාල ගහන ගේම ගැන හිතුවොත් ? ඔය තත්ව දෙකක් නේද?

ලංකාගමට පාරක් විතරක් නෙමේ බලන්න ඕනේ පාර හදන ගමන් වෙන පැත්තකින් වනය ඒ හා සමාන කොටසකින් වර්ධනය කරන එක ගැන. ගමේ සුන්දරත්වය රැක ගන්න විධිහට පරිසර වේදීන් , රජය හා ගමේ මිනිස්සු එක්වෙලා ප්ලෑන් එකක් ගහන එක. 
ඕක ලංකාගම විතරක් නෙමේ මුළු ලංකාවේම වෙන්න  ඕන දෙයක්. ලුණුගල වගේ ලස්සන පරිසරයවල් තියෙන ගම් , නගර බේරාගෙන සංවර්ධනය කරන්නේ කොහොමද කියල ජාතික වැඩ පිළිවෙලක් පරිසරවේදීන් , විද්‍යාඥයන්  හා රජය එක්ව හදන්න ඕනේ. 
බ්‍රිතාන්‍යයේ, ජර්මනියේ  ස්ථානවල සුන්දරත්වය රැකගෙන තියෙන්නේ එහෙම., ඒවායේ උනත් සියයට සියක් හරි ගිහිල්ල නැහැ තමයි. නමුත් ලේක් දිස්ත්‍රික්කයට හෙම ගියහම තේරෙනවා කොපමණ  ලස්සනද කියල.

මේ පාරවල් හැදිල්ල, ඉස්සෝ වගාව ආදිය කරලා  රස්සා දෙන ගමන් වෙනත් පැති  වලින් හරි වන ගහණය  වැඩි කරන්න ඕනේ. ගෙවල් වල වතු ලස්සනට තියා ගන්න හැටි මිනිසුන්ට කියා දෙන්න ඕනේ. දෙතුන් පැත්තේම  පණ්ඩිතයන්ට ඒදන්ඩේ යන්න උගන්වන්න ඕනේ.


මේක අතුරු කතාවක්.

ගිය අඟහරුවාදා අපි ගියේ ලේක් දිස්ත්‍රික්කයේ කෙස්වික් අසල තර්ල්මියර් කියන වැව බලන්න. වැව හදලා තියෙනෙන් වික්ටෝරියානු යුගයේ. ඒ දවස් වල නැගීගෙන ආපු  කර්මාන්ත සංවර්ධන වල උදව්වට . වැව වටේ ගිහින් අපහු මහා පාරට දාන්න යද්දී දැක්කේ පාර අඩි  එකහමාරක් විතර වෙන්න යට වෙලා. ඊට කලින් අඩි කාලක ප්‍රමාණයක් යට වෙලා තිබුන තැනක් පහු කරන ආවත් මෙතනින් යන්න බැහැ . මගේ කාරෙකේ යට කොටස ගොඩක් පහතින් තියෙන්නේ. පිටි පස්සෙන් 4x4 ටැංකියක් ආවත් එයත් හරවාගෙන ගියා ආපහු. මට හිතුනේ බ්ලොග් ලියන රංගන  කණ්ඩම්බි ගේ වාහනයට නම් මෙතනින් යන්න පුළුවන් වෙයි කියල. අපි ආපහු  හරවාගෙන ආපු පාරේම ගියා  තව පැය තුන් කාලක් විතර. හොඳටම වැස්ස. පාරට වතුර දානවා. මහා පාරට දැම්මම තමා වෙන රියදුරු මහතෙක් කීවේ ඒ පාරේ යන එක හොඳ නැහැ මේ දවස් වල . නාය යාම් වුනා ගිය අවුරුද්දේ කියල. එතකොට තමා අපට තේරුනේ පාරේ නැවතිලා බලන තැන් (view points) වහල තිබ්බේ ඇයි කියල. යන්තන් බේරුනා,




Sunday, 23 August 2020

ගිලෙන්න යන මිනිහාට තණ පතක් දෙන්න

පුංචි කාලේ වතුරට පැන්න ඒවා මතකයේ  තියෙන්නේ ලුණුගල දී කුඹුකන් ඔයට පැනලා නෑව හැටි ගැන. ඊට පස්සේ ඒ ලෙවල් කරලා ඉවර වෙලා රක්වානේ හිටි රවින්ද්‍ර ප්‍රසාද් ගේ නිවසට ගිය වෙලේ අපි එහා තිබ්බ ලස්සන  කන්දකට ඇවිදින්න ගියා. එතන අලංකාර  දිය ඇල්ලක් තිබිල ඒකෙ නෑවා.

සෝවියට් දේශයේදී නම් මොස්කව් වල වැවක දෙහෙක , ගඟක හෙම නාල තියෙනව. ජෝරිජියන් සෝවියට් සමුහාණ්ඩුවේ සුහුමි කියන පැත්තට ගිය වෙලේ  ලස්සන විලක් දැකල ඒකෙත් බැහැල නෑව.     එංගලන්තේ නම් එහෙම  තැනක් හොයන්න අමාරුයි. සමහර වෙලාවට අවසරයක් දෙන්නත් නැහැ  නාන්න. 

අපේ සරෝජ් පතිරන සහෝදරයා පික්නික් එකකට යන්න කතා කරා. කොවිඩ් 19 නිසා යාළුවෝ ගොඩකට ගෙදරකට සෙට් වෙන්න බැහැ. ඉතින් අපි කට්ටිය අනිල්, සරෝජ්, සුමුදු, විපුල හෙම භාර්යාවෝ පිරි වරාගෙන ෆුට්ස් ක්‍රේ මිඩොව්ස්  (Foots Cray Meadows) කියන පැත්තට ගියා. පොඩි එවුන් ටික වතුරේ බැහැල හිටිය.

සරෝජ් අපිටත් නාන්න තුවා එහම අරන් එන්න කීවට  සරෝජ් ට අමතක වෙලා (හෙවත් අමතක කරවලා) ඉතින් අන්තිමට  මම විතරයි ඉතුරු වුනේ. 

කොවිඩ් 19 නිසා මේ රටේ පබ්ලික් පිහිනුම් තටාක ඔක්කොම වහල. මම මාසෙකට දෙපාරක් වත් සාමාන්‍යයෙන් පිහිනන්න යන කෙනෙක්. ඉතින් වතුර ටික දැක්කම නොබැහ ඉන්න බැරි වුනා. 

මොනව කරන්නද ආපු එකේ බැහැල නෑව හිතේ හැටියට.
 පින්තූර ගත්තේ විපුල ලියනගම සහ සුමුදු වික්‍රමාරච්චි 

  





Monday, 17 August 2020

අග්ගෝ හමස්මී පොලිටික්ස........අරුණ පෙරේරා


ඇත්තම කියනවා නම් මම මැටි වැඩ වලට කැමැතියි. සමහර වෙලාවට කරන්නෙත් මැටි වදනේ. සම්මාන උළෙලවල් ඕගනයිස් කරනවා වගේ ඒවා. තවමත් සමහර බූරුවෝ ඒක අල්ලලා එන් ජී ඕ වලින් මට ආපු සල්ලි ගැන,කියනවනේ.  
ලුණුගල ඉන්න කාලේ පොඩි දොළක් තිබුනා. සුදු වැලි පාර පහල. දැන් නැහැ ඒක . ඒ හරියේ මැටි තිබුනා. මම ඒවා ගෙනත් ගෙදර එක එක දේවල් හදනවා. 
අනික මැටි භාණ්ඩ හැදීම ඇත්තටම කලාවක්. හදල පිටරට යවන්න උනත් පුළුවන්.

මේ පහල ලියා ඇත්තේ මගේ අදහසක්ම  නොවේ. නමුත් එකඟ වෙන්න පුළුවන්. කලක් බ්ලොග් ලෝකයේ වැජඹී සිටි "අවුල් වෙන්නට පෙර " බ්ලොගය ලියූ අරුණ පෙරේරා සහෝදරයා ගේ සටහනකි. ඔහුගේ අවසරය ඇතිව මෙහි පළ කරමි.

අග්ගෝ හමස්මී පොලිටික්ස........

 මෙයින් කියවෙන්නේ දේශපාලනයෙන් ලොව පහලවු ශ්‍රේෂ්ඨයා මම වෙමි යන්නය. එසේ සිතනා කෙනෙක් සිටීනම් එය ක්‍රියාවෙන් ඔප්පුකර සිටිය යුතුවේ. එහෙම එවුන් නැත. මට මෙය ලියන්නට හිතුනේ සමගි ජන බලවේගයේ(සජිත් ජලනි බලවේගය යැයි කීමට මම ඉක්මන් නොවෙමි )පශ්චාත් මැතිවරන හැසිරීම දෙස බලා සිටීමෙන් පසුවය. ලපටි පක්ශයක් ලෙස සජිත්ලා නරකම නැත. ඔවුන් ආසන 54ක් ලබා ප්‍රධාන විපක්ෂය ලස පත්වී සිටී. ඉන් පහලොවකට ආසන්න ප්‍රමානයක් සහෝදර දෙමල-මුස්ලිම් ධාරාව නියෝජනය කරනා පක්ෂවලින්වේ. එය පිරිසිදු ප්‍රජාතන්ත්‍රවාදයේ නිවැරදි ලක්ශනයක් යැයි මම සිතමි.
                                සජබය ලපටි දේශපාලන පක්ෂයක් යැයි කීවේ කරුණු දෙකක් නිසාවෙන්වේ. එකක් නම් එය  ආරම්භ කර ඉතාමත් කෙටි කාලයක් වීමය. අනික එහි සිටින්නේ අහුනොවෙන්නට ගේමක් ගසාගන්නටවත් බැරි, කටට එනදේ ඒ අයුරින්ම දෙසා බානා මයික් කටා පන්නයේ, ෆුට්නෝට් අත දරුවන් බැවින්ය. පොහොට්ටුවන් වැනි අංක එකේ සුදු කරපටි චෞර රාජයින් අතරේ මොවුන් ලපටියන් හැර අන් කවරේද.. ශවර් එක තියෙද්දි ,බාල්දියෙන් නාගන්නා මොඩ්ල් එකේ බුවාලාය.

                           ඇසළ පෝයට කැළණි යන්නාසේ සුදු හැඳගත් පොහොට්ටුවෝ 
 පෝලිම් ගැසී සැදෑ සිතින් දියවන්නාවට වඩිමින් සිටී. සුදු හැඳගත් මේ උපාසක භ්‍රන්තයන්ගෙන් බොහෝ දෙනා සියළු දුශ්චරිතයෙන් කෙළ පැමිණි අශ්ඨාංග අශීලයෙන් ගොජ දමන අපතයන් බව නොදන්නේ අපේම රටේ සිල්වත් ඡන්ද දායකයින්ම නිසා ඒ පිලිබඳ පුන පුනා කීම අවැසි නොවේ. ඔවුන් දැන් තේරී පත්වී හමාරය. බොහොමයක් අපතයෝ ඇමතිවරුන්ය. සම හරක් චෞරයෝ රාජ්‍ය ඇමතියෝය. හොඳ මිනිසුන්ද නැත්තේ නොවේ.  එලොවටත් ,මෙලොවටත් නැති ගන්ධබ්බයෝ රොත්තක් කැබිනෙට්ටුවෙන් විසිවී ගොස්ය. කෙසේ හෝ වේවා අපට දැන් නීත්‍යානුකූල රජයක් පත්වී ඇත. ඒ අපෙ රජයයි. උන් අපේ ආණ්ඩුවයි.

                       මට නම් මේ පත්වූ සම හරක් ඇමති පරාණ පිලිබඳ මහ ලොකු විශ්වාසයක් නැත. ඇත්තේම නැතැයි කීවත් වරදක් නැත . නමුත් ඔවුන් වෙත පවරා ඇති අමාත්‍යාංශ සහ එහි වගකීම් සහ විශයන් පිලිබඳ යම්තාක් දුරට පැහැදීමක් සහ අවබෝධයක් තිබේ. ලිපිය දීර්ඝ වන නිසා මේ පිලිබඳව ඉදිරියේදී පැහැදිලි කරගැනීමට උත්සාහ කරමි. ඒ කෙසේ වෙතත් වගකිව යුතු විපක්ශයක් ලෙස මේ ලපටියෝ මේ කිසිවක් දෙස විචක්ශනශීලි ඇසින් සහ මනසින් නොබලා වචන විසිකිරීමට පටන්ගෙන තිබේ. මෙය පැහැදිලි ඊරිසියාව දැයි ලපටි හරීන්ලාගේ හැසිරීමෙන් සිතාගන්නට සිදුවේ. අප කතා කල යුත්තේ අමාත්‍යාංශ විශය පථය පිලිබඳව මිස එහි නාමකරණය පිලිබඳව නොවේ. බල්ලාට සුනඛයා කීවත් දඩෝරියා කීවත් සරළ නාමකරණයේදී ඌ බල්ලාම වේ. අප සැලකිය යුතුවන්නේ ඒ බල්ලා සතු රාජකාරිය ,වගකීම සහ ඌගේ සුභ සාධනය ගැන පමනි. පැණියා වුනත් හනි (Honey) වුනත් බල්ලා බල්ලාමය. මේවා වටහා ගැනීම ලපටියන් සතු වගකීමවේ. එය වටහා ගතහොත් කතිරෙ ගැසු නොගැසු කාටත් ප්‍රයෝජනවත් වේ. අමාත්‍යාංශ පිලිබඳ පසුව කතා කරමු.
                                                                                        අරුණ පෙරේරා...A.N.Perera

Saturday, 15 August 2020

යුරි විස්බර් ගේ මීලයා මයා ගීතය Милая моя - මගේ පරණ ගිටාරය සමග

"ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ" පොතේ තව පිටපත් දෙසීයක් වත් ඉතිරි වෙලා තියනවලු. පොත් තිහ හතළිහක් ලන්ඩන් වලට ගෙනාවට කොවිඩ් 19 නිසා හමුවීමක් වත් සංවිධානය කරන්න බැරිවුනා. හදිසියේ හම්බවෙන හිතවතුන්ට තමා පොත් දුන්නේ.

ඒ අතරේ වරක් චේස් ෆාර්ම් රෝහලට ලේ දෙන්න ගියා මාස හයේ චෙකප් එකට. ඒ වෙලේ ලේ ගත්ත ප්ලේබොටොමිස්ට් බලන කොට ලංකාවේ මහත්මියක් ප්‍රභා ඕපාත කියල. සිංහල පොත් කියවන්න ගොඩක් කැමැතියි කියල දැනගත්තා ඒ අතරේ. ඉතින් එයා සියමා පොතයි ප්‍රථම ප්‍රේමයයි දෙකම ගත්ත. එහෙම තමා  ඉතින් ලන්ඩන් වල විකුනුනේ.  එය කෝල් කරලම කීව පොත් දෙකටම කැමතියි කියල.

පොතේ එකතැනක මේ ගීතය ගැන ලියල  තියනවා. මම හුඟක් කැමති ගීතයක්. 
මේක මට කියල දුන්නේ අපේ විශ්ව විද්‍යාලයේ අපේ කණ්ඩායමේ හිටි ලූදා. මේ පින්තුරේ ඉන්නේ එයා සහ මගේ කණ්ඩායමේම  හිටපු යාළුවෙක් වන කාම්බෝජ ජාතික එන්ග්. ගිය අවුරුද්දේ එයාව හම්බ වෙන්නත් ගියා කාම්බෝජයට.  

පොත ලංකාවේ එලි දක්වන දවසේ මේ ගීතය ලස්සනට ගායනා කලේ ආචාර්ය සුනිල්  විජේසිරිවර්ධන. ඒ ගායනය මෙතන තියනවා යු ටියුබ් එකේ මගේ චැනලයේ.  


ගීතයේ සිංහල තේරුම:

අපේ හැම හමුවීමක්ම අහෝ, විනිශ්චයකින්,  වෙන්වීමක්ය
රන් පැහැ පයින් ගස අසල දොළ නිහඬව සොවින් බරව  ගලයි
කඳවුරු භුමියේ ඇවිලුණු ගිනි මැලයේ  පුලිඟු අළු වලින් වැසී ඇත
හැම දෙයක්ම අවසානය - වෙන්වන  මොහොත එළඹ ඇත

රුසියානු බසින්
ව්සියෙම් නාශිම් ස්ත්රෙචම් - රස්ලුකි උවි සුශ්දෙනි
තිහ් ඉ පෙචලෙන් රුචෙයි උ යන්තර්නෙය් සොස්නි
පෙප්ලෝම් න්යේස්මෙල්නීම් පදෙර්නුලිස් උග්ලි කස්ත්‍රා
වොත් ඉ අකන්චිලස් ව්ස්යෝ රස්තවත්සා පරා


ගීතයේ සමූහ ගායනා  කොටස (කෝරස් එක හෙවත් දෙතුන් වරක් කියවෙන කොටසේ)  අදහස මෙවැන්නකි.

"මගේ දයාබරිය මේ වනයේ පුංචි හිරු
කොහේද කුමන  දෙසකද  ද ඔබ මා  හමු වූයේ"

(මීලයා මයියා සොල්නෙච්ක ලෙස්නොයේ
ග්ද්යේ ව් කකිහ් ක්‍රයාහ් ව්ස්ත්ර්තිල්ස්ය සම්නෝයු )



කුඩාරමේ තටු හකුළුවා ඇත එහි දවස නිමාවී 
ගුවන් යානය තටු විහිදුවා රාත්‍රිය සොයන්නාට පියඹා යන්නට  
 රෝදයට ඇති  අඩ ඉවත් කෙරෙයි සෙමින් 
මේ කම්මැලි ඈනුම අප අතර පරතරය වැඩි කරයි 

වචන මට එපා ,, එපා මා සන්සුන් කරන්න 
පයින් ගස් අසල තිබෙන පුංචි  නදිය හොයන්න ඉඩ දෙන්න  
මේ අඟුරු නැවත  දිලිසෙයිද තුමානය මැද්දෙන් 
මගේ දයාබරිය මා එනතුරු ගිනිගොඩ ළඟ හිඳිද නැවතත් 

 
මට ගිටාරයක් මුලින්ම හම්බ වුනේ පද් එකේ එහෙම නැත්නම් පළමු වසරේ මොස්කව් වල මාදි කියන විශ්ව විද්‍යාලේ ඉන්න කොට. මගේ උපන් දිනයට ඒ තෑග්ග දුන්නේ ප්‍රභා ගුණවර්ධන, ජානක ලියනගම සහ උපාලි හේවගේ කියන ජ්‍යෙෂ්ඨයෝ  තුන් දෙනා . හැබැයි මට එතරම් ගිටාර් ගහන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ.

ඊට පස්සේ මම මෙයි එකට (විදුලි හා බලශක්ති තාක්ෂනය  පිලිබඳ විශ්ව විද්‍යාලය) ඇතුළු වුනහම  ඒකෙ හිටිය   හේමාලි  කරුණානායක හා මාලා (අක්කලා) කියල සීනියර්  දෙන්නෙක් එක්ක ගිටාර් ගහන්න ඉගෙන ගන්න ගියා රුසියානු ගුරුතුමෙක් ගෙන්. ඒ නෝට්ස් නම් තවම මා ළඟ තිබෙනවා.  

එළිමහනේ  ගිනි මැලයක් ගහගෙන වරක් දෙකක් ඉඳල තියනවා දන්නා රුසියානු යහළුවන් එක්ක. ඒ වගේ වෙලාවක ගිටාර් ගැහුවේ ලූදා හා ස්වේතා.  ඒ වගේම  පන්තියේ උන් එක්ක කාමරේ පාටියක් දාන කොටත්  ගිටාර් එක  ගැහුවේ ලූදා. එයා තමා  මට රුසියානු සින්දු කිහිපයක්ම ගහන්න කියල දුන්නේ.

සෝවියට් දේශයේ ඒ කාලේ ඉගෙන ගත්ත ලංකාවේ  සිසුන් අතරින් හොඳටම  ලස්සනට ගිටාර් එක  ගැහුවේ පල්තාවා කියන නගරයේ මුල් අවුරුද්දේ ඉගෙන ගත්ත ජගත් ජයවික්‍රම. ජගත් ඊට පස්සේ කීව් නගරයේ උගත්තේ. මම ශිෂ්‍ය සංගමයේ ලේකම් වුනු අවධියේ මොස්කව්  ගිටාර් ගහල සින්දු කීව සංගමඅය සංවිධානය කල කලා උත්සවයේදී.  එයා  දැන් ලංකාවේ ජීවත්  වෙන්නේ ඔහුගේ රුසියානු බිරිඳ සමග බව මුහුණු පොතින් දැක්ක. ඔහු  තවම ගිටාරය වයන   සංගීතයට ලැදි හදවතක්  ඇත්තෙක්

ඉතින් මම වැඩිය පාටි අරවල මේවල ගිටාර් ගහල නැහැ. ගිටාර්  හොඳට ප්ලේ කරන රුපියල්   අතරේ අලුක්කාල් ගහන්නේ මොකටද කියලා හිතල. ඉතින්  හුඟක්  පෞද්ගලිකව තමයි ගිටාරය අතට අරගෙන ගැහුවේ.  ඒත් මේ කෝවිඩ් කාලේ ආපහු ගිටාරය අතට අරගෙන් සින්දු කියන්න ගත්ත. පාළුව යන්නත් එකක්.


  මේ තියන්නේ ඒ සින්දුවේ  මගේ වර්ෂන් එක .