Sunday 1 March 2015

අව්ජිත් රෝයි ගේ ඝාතනය හා රයිෆ් බධාවී ගේ සිර දඬුවම හෙළා දකිමු

අව්ජිත් රෝයි,  ඔහුගේ බිරිඳ සමග බංග්ලාදේශයේ ඩකා නගරයේ ඇවිද යමින් සිටියදී මුස්ලිම් අන්තවාදීන් දෙදෙනෙකු විසින් මරා දමන ලදී. මේ පිළිබඳව බොහෝ දෙනා ලියා  ඇති බවට සැකයක් නැත.  මෙහිදී මට ඇතිවන ප්‍රශ්නය නම් අපි බොහෝ දුරට රටක සිටින සුළු ජාතියක් වශයෙන් හෝ සුලුතරයකගේ ආගමක් අපහසුතාවයකට පත් නොකරන්න යයි සිතා ඒ පිළිබඳව හඬක් නොනැගීමයි. මෙය තව දුරටත් නිවැරදි නොවේ.
අපි ඕනෑම අන්තවාදයකට විරුද්ධ නම් මුස්ලිම් අන්තවාදයට විරුද්ධ නොවී සිටීමේ තේරුමක් නැත. අව්ජිත් රෝයි අදේවවාදියෙකු වශයෙන් තමන්ගේ අදහස් නිර්භයව පල කළේය. බ්ලෝග ලෝකයේ දැවැන්තයකු වූ ඔහු මරා දැමීම බ්ලොග් ලෝකයේ නිදහස් අදහස් ප්‍රකාශනයට  එල්ල කල දැඩි ප්‍රහාරයකි. කිසිම  පැකිලීමකින් තොරව එය හෙළා  දැකීමටත් අපරාධකරුවන්ට දඬුවම් දීමටත් බංග්ලාදේශ රජයට බල කල යුතුය.
බුරුමයේ බෞද්ධ අන්තවාදින් විසින් මුස්ලිම් වරුන්ට කල පහරදීම් අප  හෙළා දුටුවෙමු. ශ්‍රී ලංකා වේ අලුත්ගම දී අහිංසක මුස්ලිමුන්ට කල පහරදීම් හෙළා දුටුවෙමු.
එසේ වතුදු මුස්ලිම් අන්තවාදීන්ගේ මේ නවතම සාහසික ක්‍රියාව පිළිබඳව බංග්ලාදේශයේ නිදහස අගයන ජනතාව  හැරෙන්නට අනිකුත් රටවල මුස්ලිම් ජනතාව මෙන්ම බොහෝ වාමාන්ශිකයන්ගේ  දැඩි නිහඬබවද කන් බිහිරි කරවන සුළුය.  අප මේවාට විරුද්ධව හඬ නොනැගුවොත්  එවිට එතනට එන්නේ, ඒ තැන ගන්නේ ෆැසිස්ට් වරුය. යුරෝපයේ විශේෂයන්ම ජර්මනියේ, ප්‍රංශයේ, එංගලන්තයේ සිදුවෙමින් පවතින්නේ එයයි. එංගලන්තයේ  මන්ත්‍රී ජෝර්ජ් ගැලොවේ වමේ සිටිමින් අන්තවාදී මිනීමැරුම් හෙළා  නොදැකීමෙන් අනියම් සහයක් දෙන්නේ  ෆැසිස්ට් වරුන්ටය.
රයිෆ් බඩවි බ්ලෝග් කරුවා අත් අඩංගුවට ගෙන ඒක පාක්ෂික නඩු විභාගයකින් වරද කරු කලේ සවුදි අධිකරණයයි. ඔහුට කස පහර 50ක්  සෑම  සිකුරාදාවකම දීමට නියම කල අතර එය දැන් ක්‍රියාවට නැංවේ. ඔහුට මරණීය දණ්ඩනය නියමකිරීමේ අවදානමක්ද තිබේ.
ඉතාමත්ම මර්දනකාරී මිනිස් අයිතිවාසිකම් සීමිත සවුදි අරාබියට රැකවරණ සලසන්නේ ඇමෙරිකා  එක්සත් ජනපදයයි.  බ්‍රිතාන්‍යය ද මෙහිදී නිහඬව සිටි. නමුත් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය හා අනෙකුත් අදේවවාදී හා මානුෂික අයිතීන් (humanists) පිළිබඳ සංවිධාන මේ ස්ථාවරය විවේචනය කරමින් බඩවි නිදහස් කරන ලෙසත් සවුදි අරාබියේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය හෙළ දකින ලෙසත් උද්ඝෝෂණ කරයි. සවුදි අරාබිය මෑතකදී සියලුම අදේවවාදීන් ත්‍රස්තවාදීන් ලෙස නම් කර පනතක් සම්මත කර ගත්හ. තමන්ගේ කාම සුඛල්ලිකානු යෝගී දිවි පැවතුම්  සුරක්ෂිත කර ගැනීමටත්, තෙල් සල්ලි වලින් සවුදි ඒකාධිපති වැඩවසම් රාජාණ්ඩු ක්‍රමය රැක  ගැනීමටත්, සවුදී රජ කල්ලිය හා තෙල් ධනවතුන් මිනිසුන් මඩිමින් නිදහස සිමා කරමින් අත්තනෝමතික පාලනයක් ගෙන යයි. එසේම අයිඑස් අයිඑස්  නැමති අන්ත අමානුෂික ත්‍රස්ත කල්ලියට හා උන්ගේ මිනීමරු ඉස්ලාමීය කැලිපෙට් රජයට මුදලින් ආධාර කරන්නේ සවුදි ධනවතුන් බව හෙළි වී තිබේ.
මේ සියල්ලට එරෙහිව නිදහස බුද්ධිමතුන් හා  බ්ලොග් කරුවන් එකාවන්ව උද්ඝෝෂණය කල යුතුය.  තම තමන්ගේ රජයන් ලවා  සවුදි රජයට විරෝධය පෑම් කල යුතුය.
අව්ජිත් රෝයි ගේ ඝාතනය    හෙළා  දකිමු !
රයිෆ් බඩවි ගේ සිර දඬුවම හෙළා  දකිමු !
අව්ජිත් රෝයි බ්ලොග් අඩවිය : 
රයිෆ් බඩවි බ්ලොග් අඩවිය 
ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ විරෝධය 

22 comments:

  1. අයිසිස් කාරයින්ගෙ නෙමෙයි ලෝකෙ කොහේ මුස්ලිම් අන්තවාදයේ කෘර ක්‍රියාවන්ට කිසිම තැනකදි මුස්ලිමුන් කටක් අරිනවද?

    ආගම් නාමයෙන් සිදුවන සියලුම මිලේච්ඡ ඝාතන හෙලා දකිමු!

    ReplyDelete
    Replies
    1. මගේ යාලුවෝ දෙන්නෙක් (මුස්ලිම්) ඉන්නවා. උන් දෙන්න නම් මේවට විරුද්ධව හඬක් නගනවා තනියම FB එකේ හෙම. හැබැයි උන් දෙන්නව අනිත් මුස්ලිම් යාලුවෝ කපල දානවා. හේතුව එකමුතුකම නැති කිරීමලු. ගොඩක් මුස්ලිම් අය බයයි විරුද්ධව කතා කරන්න.

      Delete
  2. අව්ජිත් රෝයි නෙමෙයි අපිටත් ඒ තර්ජනයම අදටත් තියෙනවා..

    ඒත් මැරෙන්නේ එක පාරයි.. අනික කවදා හෝ කොහොමත් මැරෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔය මහත්තයට නම් තර්ජනයක් තියෙන බව පේනවා. නිදහසේ කතා කරන ඕන කෙනෙකුට ඒ තර්ජනය තියෙනව.

      Delete
  3. මොනම රටක මොනම අන්තවාදයකට හෝ කොන්දේසි විරහිතව විරුද්ධ වෙමු.අපේ රටෙත් ආගමික අන්තවාදය හිස ඔසවමින් තිබේ.

    ReplyDelete
    Replies
    1. මම ඕනෑම අන්තවාදයකට විරුද්ධයි.

      Delete
  4. මුස්ලිම් අන්තවාදය.. ලයිසන් ත්‍රස්තවාදීන් ගැන ලිවීමට තිබෙන කොන්දට ආචාරය.
    නියපොත්තෙන් කඩන්න තියනදේ නොකඩා නියපොත්තේ කුණු හොයන ශ්‍රී ලංකා ප්‍රබුද්ධිකයාට පොරොවෙන් වත් කපන්න බැරි මුස්ලිම් අන්තවාදයට බිලිවෙන්න තියෙන කාලය නම් වේගෙන් අඩුවෙන බවක් පෙනෙනවා.

    ReplyDelete
    Replies
    1. හැම අන්තවාදයකටම විරුද්ධ වෙනවා වගේ මේකටත් විරුද්ධයි.

      Delete
  5. අව්ජිත් රෝයි ගේ ඝාතනය හෙළා දකිමු ! X 2
    රයිෆ් බඩවි ගේ සිර දඬුවම හෙළා දකිමු ! X 2

    ReplyDelete
  6. බ්ලොග් කරුවන්ගේ අනාගතේ භයානකයි වගේ ... මේ බ්ලොග් කරුවන්ගේ බ්ලොග් අඩවි මොනවාද ?

    ReplyDelete
    Replies
    1. https://raifbadawi.wordpress.com/
      https://www.amnesty.org.uk/actions/saudi-arabia-free-raif-badawi-flogged-blogger
      mukto-mona.com/wordpress/?author=8

      Delete
  7. ඕනෑම අන්දමේ අන්තවාදයකට කොන්දේසි විරහිතව විරුද්ධ වෙමි.

    ReplyDelete
  8. සෞදියෙ තියෙනව ආගමික පොළිසියක් "මුතව්වො" කියල ජාතියක් මෙහෙයවන. ඒ අය තමා ඔය හැම අන්තවාදී කටයුත්තක් ගැනම රජයට උපදෙස් දෙන්නෙ. හැබැයි උන්දැලත් අපේ සමහර සාධුලට හපන්.

    කණගාටුව, මේව එන්න එන්න වැඩි වෙනව මිස දියුණු වෙන ලෝකෙ එක්ක අඩු වෙන්නෙ නැති එක!

    අජිත් ඔය Raif Badawi කියන නම ශබ්ධ වෙන්නෙ "රයීෆ් බධාවි" කියල.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ඔය ආගමික පොලිසිය ඉස්සෙල්ලම තහනම් කරන්න ඕනේ.
      https://www.howtopronounce.com/badawi/
      බධාවි නම් Badhawi වෙන්න ඕනේ. ඉංග්‍රීසියෙන් උච්චරනය වෙන්නේ බැඩවි කියල. ඒකයි මන් සිංහලෙන් බඩවි කියල ලීවේ.

      Delete
    2. අජිත්, බධාවි කියන්නෙ අරාබියෙ ප්‍රසිද්ධ සුලභ නමක්. ඒක අරාබීන් කියන විදිහයි මම කිව්වෙ. ඉංග්‍රීසියෙන් අරාබි වචන අති බහුතරය හරියට ලියන්න බෑ ( සිංහල වගෙම තමයි ).

      දැන් ඔය වචනෙ හරියට අරාබි වර නැගීම ගත්තොත් ලියන්න වෙන්නෙ "බැහ්ද්ධාවී". ඔය "හ්" ශබ්ධය උගුරෙන් එන්නෙ (අපි අහමද් කියන එක ඒ අය කියන්නෙ "ඇහ්මද්" කියල ).

      BTW, No offense just sharing :)

      Delete
    3. අරාබීන් එහෙම කියනවනම් හරි වෙන්න ඕනේ. offense එකක් ගන්නේ නැහැ එහම එකක් කීවට .

      Delete
    4. අජිත්, අවංකවම සන්තෝසයි මම කිව්ව දේ සතුටින් බාරගත්තු එකට. මේ ක්ලිප් එකේ ඉන්නව බීබීසී එකේ සෙයිනබ් බධාවි.

      ( ඔබේ වටින ලිපියෙහි මාතෘකාවෙන් පිට ගෙනිච්චට සමවෙන්න )

      https://www.youtube.com/watch?v=iRB7BztPapg

      Delete
    5. සෙයිනබ් ගේ නම එහෙම කියනවා කියල දැනගත්තේ අද. වැරැද්දක් පෙන්වා දීම ඕන වෙලාවක සතුටෙන් භාර ගන්නවා.

      Delete
  9. අන්තවාදය හෙලාදකිමු.. මොකා කලත් අන්තවාදය අන්තවාදයමයි.වෙනස සිංහල අන්තවාදයට සිංහලයෝ විරුද්ධ වෙනවා. ඒත් මුස්ලිමුන්??

    ReplyDelete
    Replies
    1. සමහර අය විරුද්ධයි. හැමෝම නොවේ. ඔවුන්ගේ ආගමට විරුද්ධ වීමක් වෙයි කියල වෙන්නැති. කතා කරලම තමා හදා ගන්න වෙන්නේ.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .