Saturday 16 July 2016

ජිජැක් සමග පැයක්

රයින් ගඟේ සුරූපිනියෝ 
"මේ ජනමත විචාරණයේදී බ්‍රිතාන්‍ය වැසියන්ට තිබුනේ නරක තේරීම් දෙකකින් වඩා සුදුසු  නරක තේරීමට චන්දය දෙන්නටය. එහෙත්  ඔවුන් ගෙන් බහුතරය චන්දය භාවිතා කලේ වඩාත්ම  නරක තේරීම සඳහාය. " ස්ලාවොයි ජිජැක් මෙසේ පැවසුවේ  රාජකීය උත්සව ශාලාවේ පසුගිය ජුනි මස අග සිට පැවති  "බලයේ  බලය Power of  Power " මැයින් වූ වැඩ සටහන් මාලාවක ප්‍රධාන ආරාධිත දේශනය කරමිනි.

 රිචර්ඩ් වැග්නර් නමැති ජර්මන් ජාතික සංගීතඥයාගේ නිබෙලුන්ගන් ගේ  මුද්ද (ring cycle - Der Ring des Nibelungen)  නැමති ඔපෙරා හතර වේදිකාගත කිරීමෙන් මෙය ඇරඹුණි. ජූලි 2 වන  සෙනසුරාදා  ස්ලවේනියානු දර්ශනවාදියකු වන ස්ලාවොයි ජිජැක්  "බලය සහ පාවාදීම " යන මැයෙන් කළ ප්‍රධාන දේශනයට සහභාගී වුනෙමි.

ජිජැක් ඉහත කතාව පැහැදිලි කිරීමට තවත් උපහැරණයක් භාවිතා කළේය. ඒ හිටපු  සෝවියට් නායකයෙකු වූ ස්ටාලින්ගේ කියමනකි. "මිනිසුන් ඡන්දයක් තිබේ යයි දැනගැනීම පමණක් ප්‍රමාණවත්ය. ඡන්දය දමන්නා කිසිවක්  තීරණය කරන්නේ නැත. සියල්ල තීරණය කරන්නේ ඡන්ද ගණන් කරන්නාය. "

රිචර්ඩ් වැග්නර් යනු ජර්මානු නාසි ආඥා දායක හිට්ලර් විසින් ප්‍රශංසා කරන ලද සංගිතඥයෙකි. ඔහුගේ නිර්මාණ නාසි ජර්මනියේ  භාවිතා වුනු නිසාම බොහෝ යුදෙව් ජාතිකයන් මෙන්ම ඊශ්‍රායල යද ඔහු ගේ ඔපෙරාවන් වර්ජනය කළහ. වැග්නර් ජිවත්ව සිටියේ නාසි ව්‍යාපාරය පටන් ගැනීමට බොහෝ කලකට පෙර වුවද හිට්ලර් විසින් ඔහුගේ සංගීතය හා ඇතැම් යුදෙව් විරෝධී අදහස් නාසිවාදී අදහස් පැතිරවීම සඳහා  උපයෝගී කරගත් බවට චෝදනා තිබේ.

ජිජැක් මෙහිදී  නිබෙලුන්ගේ මුද්ද සම්බන්ධ කතාව සැකෙවින් ඉදිරිපත් කළේය. මේ ඇත්තෙන්ම  ඩස් රයින්ගෝල්ඩ්, ඩී වැල්කිරී, සිග්ෆ්‍රිඩ් හා ගොටර්දමරුන්  යනුවෙන් හඳුන්වන ඔපෙරා හතරකි.

දෙවියන්ගේ රජු වන වෝටන් නිබෙලුන්ගෙන් නම් ගෝත්‍රයේ කුදු මිනිසෙකු වන  ඇල්බරික් සතු  මැජික් මුද්ද සොරකම් කරයි. ඇල්බරික් මුදුව සාදන්නේ රයින් මේඩන් හෙවත් රයින්  ගඟේ සුරූපිනියන් ගෙන් සොරාගත් රත්රන් වලිනි. මැජික් මුද්ද සතු තැනැත්තාට  මුළු ලොවම පාලනය කිරීමට බලය (power) ලැබේ.  (බලය කාටත් වැදගත්ය) නමුත් ෆෆ්නර් සහ ෆසොල්ට් නමැති යෝධයන් දෙදෙනා දෙවියන්ගේ වල්හාල්ලා නමැති දෙවොල සාදා දීම වෙනුවෙන් කුලිය ලෙස වෝටන් ගෙන් මුදුව තමන්ට  දෙන ලෙස බල කරයි. නැතහොත් රත්රන් ඇපල් ලබාදෙන දෙවඟන ෆ්‍රෙයා (Freia) පැහැරගන්නා බවට තර්ජනය කරයි. ආලයට, තාරුණ්‍යයට හා සුන්දරත්වයටද අධිපති දෙවඟන වන ෆ්‍රෙයා වොටන්ගේ බිරිඳ වන විවාහයට අධිපති ෆ්‍රිකා දෙවඟන ගේ සොයුරියයි. එනිසා ඇය බේරා  ගැනීමට වෝටන් ට මුදුව දීමට සිදුවේ.  (බලය සඳහා හුවමාරුව )

වෝටන් ගේ පුතා සිග්මුන්ඩ් හා ඔහුගේ ම සොයුරිය වන  සිග්ලින්ඩ් ගේ පුතා වන්නේ සිග්ෆ්‍රිඩ් ය.  එම සම්බන්ධය අයත් වන්නේ වෙනත් ජනකතාවකටය.  සිග්ලින්ඩ් විවාහ වන ගේටිෂ් රජු වන සිගියෙර් ට ඇය අකමැතිය. එම රජු සිග්ලින්ඩ් ගේ පියා සහ සහෝදරයන් මරා  දමයි. ඇය සිග්මුන්ඩ් පමණක් මරණයෙන් බේරා ගැනීමට  සමත් වන්නීය. සිග්ලින්ඩ් ඇගේ පුතුන් කැළයේ සැඟවී  සිටින සිග්මුන් ට යවන අතර ඔහු ඔවුන් මරා දමයි. (බලය හා ජීවිතය පිළිබඳ ආශාව නෑදෑ කමද යට කර දමයි) මන්ත්‍රකාරියක සේ වෙස්වලා ගන්නා සින්ග්ලින්ඩ් තම සොයුරා  වන සිග්මන්ඩ් සමග ලිංගිකව හැසිරේ . සිග්ෆ්‍රිඩ් වීරයා  උපදින්නේ එලෙසය.  පසුව තම ක්‍රියාව හෙළි දරව් කරන ඇය තම සැමියා වන සිගියෙර් රජු  ගේ චිතකයට පැන දිවි නසා ගනී.

 සිග්ෆ්‍රිඩ් දරුණු මකරෙකු මරා උගේ ලෙයින් තම සිරුර නහවන්නේ කිසිදු සටනකින් ඔහුව  මරා දැමීමට සතුරන්ට නොහැකි වනු පරිදිය. නමුත් ගසක කොළයක් වැටීම නිසා ඔහුගේ ඇලපතේ කොටසක් මකර ලේ වලින් නැහැවෙන්නේ නැත.  (බලය පිලිබඳ අරගලයේදී නොදැනීම සිදුවන වැරදීම පසු කලෙක මාරාන්තික විය හැකිය. ) සිෆ්රිඩ් විසින් යෝධයන් දෙදෙන මරා මුදුව වෝටන්ට යලි  ලබා දෙයි.

සිග්ෆ්‍රිඩ් ට ගුන්තර් නමැති රජුගේ සොහොයුරිය ක්‍රිම්හිල්ඩ් විවාහ කර ගැනීමට අවශ්‍ය වෙයි. ගුන්තර් ට අයිස්ලන්තයේ බලවත් රැජින වන වැල්කිරේ බ්රුන්හිල්ඩ් විවාහ කරගැනීමට සිග්ෆ්රිඩ් ගේ සහය පතයි. ඇය ඉතා බල සම්පන්න කාන්තාවකි. එනිසා නොපෙනී යා හැකි බලයක් ඇති සිෆ්රිඩ් ගුන්තර් රජු සඳහා ඇයව මෙල්ල කරයි. බ්රුන්හිල්ඩ් යටත් කර ගන්නා  සිග්ෆ්රිඩ් ඇගේ මුදුව හා මේඛලාව සොරා ගෙන තම බිරිඳට දෙයි. මෙසේ නොයෙකුත් කූට උපක්‍රම මධ්‍යයේ ගුන්තර් රජු හා බ්රුන්හිල්ඩ්ව අතර විවාහය සිදුවෙයි.

පසුව මේ කූට උපක්‍රම වටහා ගන්නා රැජින ගුන්තර් ඇතුළු සියල්ලෝම මරා දමයි. සිග්ෆ්රිඩ් ගේ යහළු හැගෙන්  සිග්ෆ්රිඩ් ගේ ඇලපතේ රහස දැන ඔහු පාවා  දෙයි. මේ හැගෙන්  ඇල්බරික් ගේ පුත්‍රයාය. සිග්ෆ්‍රිඩ් මරා දැමෙන අතර  ඔහුගේ බිරිඳ ක්‍රිම්හිල්ඩ් සිග්ෆ්රිඩ් මරා  දැමූ පලිය ගන්නේ හැගෙන් වද  මරා දමමිනි.

මේ බල අරගලය අවසන් වන්නේ දෙවියන් සහ ඔවුන්ගේ දෙවොලද ඇතුළු සියල්ලෝම විනාශ වී යාමෙනි.

ජෙරෙමි කෝබින් යුරෝපය පිලිබඳ බැලුවේ සුභවාදී ආකල්පයකින් නොවේ. එහෙත් බහු ජාතික සමාගම් වල බලය බ්‍රිතාන්‍යයේ බිඳ  දැමෙන්නේ යුරෝපා සංගමයේ කම්කරු නීති නිසා බව කෝබින් පිළි  ගනී.  එසේම සමස්තයක් වශයෙන් ගත් කළ බ්‍රිතාන්‍යයේ බල අරගලය තුල ඇති දක්ෂිණාංශික බලවේග ඉදිරියට ඒම හොඳ දෙයක් නොවේ.

එනිසා ජිජැක් ගේ මතයට අනුව යුරෝපා සංගමයෙන් ඉවත්ව යාමට චන්දය දීමෙන් අති දක්ෂිණාංශික බලවේග වලට නව පණක් යුරෝපය පුරා  ලබා දී තිබේ. මේ නිසා ඉදිරි බල අරගලයන් මේ හැම තැනකම ඉතා තියුණු විය හැකිය. බ්රුටස් මෙන් පිටු පසින් පිහියෙන් ඇනීම්ද  සිදු විය හැකිය.

බොරිස් ජොන්සන් අගමැති සටනින් ඉවත් කිරීම, බ්‍රිතාන්‍ය අගමැති අපේක්ෂක  තෙරේසා මේ  ට ඉඩදී ඇන්ජෙලා ලෙඩ්සන් ඉවත් වීම තුලින් ජන මාධ්‍ය හා අති  දක්ෂිනාංශය ජයගෙන තිබෙන බව පැහැදිලිය. මේ ජනමාධ්‍ය හා කම්කරු පක්ෂයේ බ්ලෙයාර් වාදී මන්ත්‍රීවරු කම්කරු පක්ෂයේ වඩා වාමවාදී නායකයා එළවිමටද  සටන් වැද  තිබේ.  බ්‍රිතාන්‍යය එක්සත් රටක් ලෙස තව දුරටත් පවතීද යන්න ද අවිනිශ්චිතය.

අද ජූලි  12 දා ලැබුණු ප්‍රවෘත්තියකට අනුව කොන්සර්වටිව් දක්ෂිනාංශයේ  තෙරේසා  මේ බ්‍රිතාන්‍ය අගමැතිනිය වනු ඇත.  කම්කරු පක්ෂයේ නායකත්වය සඳහා ඇන්ජෙලා ඊගල් සමග චන්දයකට මුහුණ දීමට කෝබින්ට සිදු වී තිබේ.

ජිජැක් ගේ අදහසට අනුව සියල්ල විනාශයකින් කෙළවර විය නොහැකිය. ප්‍රතිවිරෝධී බලවේගයන් සහිත බල අරගලයක් විසින් නිර්මාණය  වන්නේ කුමක්ද යන්න වඩා  බලවත් බලය විසින් තීරණය කරනු ඇත.

මේ අනුව ජිජැක් වැග්නර් ගේ ඔපෙරාව අනුසාරයෙන් ඉදිරිපත් කළ  බල අරගලය එකිනෙකා  විනාශ කරමින් ඇදී  යන ආකාරය අපට මේ දේශපාලන වේදිකාවේ සැබවින්ම  නැරඹිය හැකිය.

ශ්‍රී ලංකාවේ වන්නේත් මෙයම නොවේද?

 මෙය 16/07/2016 සත්හඬ පුවත්පතේ යුරෝපියානුවාගේ කොළම යටතේ පළ වූවකි.)


මූලාශ්‍ර:
http://www.jewishvirtuallibrary.org/jsource/anti-semitism/Wagner.html
https://en.wikipedia.org/wiki/Rhinemaidens
http://www.classicfm.com/composers/wagner/guides/wagner-ring-cycle-where-start/

15 comments:

  1. පරණ රෝම යුද කතාවක් කියෙව්වා වගේ.. අර 'සිංහභාහු' සීන් එක විතරද මන්දා හරියට තේරුනේ.. හැක්. බලය ගාවිච්චි තැන අලකලංචි කියලනම් කියතැකී.. ෂිට්.

    ReplyDelete
    Replies
    1. බලය නැති තැනට බලයා වත් එන්නේ නැත.

      Delete
  2. ඔවුවා අතෑරලා දාන්න බොස්... 15% VAT එක වීරවන්ස උසාවියට ගිය නිසා නැවතුනා නේ හිටන්!

    ReplyDelete
    Replies
    1. තාවකාලිකවනේ හිටන්.

      Delete
  3. ජිජැක් මොකෙක්ද බං... අපේ රාජපක්ෂ පවුලේ අය ඔයිට වඩා ලස්සන සුරංගනා කතා කියනවා... අනික ඒවා ඔය ජිජැක්ගේ ඒවා වගේ පච නෙමෙයි...

    ඕන් එකමත් එක රටක ඩේසී කියලා ආච්චි කෙනෙක් ඉන්නවලු.. මෙහේ නෙමෙයි හොඳේ.. එකමත් එක රටේ.. දවසක් මේ ආච්චි දෙවියන් අදහ අදහා ඉන්නකොට එක පාරටම දොරට තට්ටු කරනවා ඇහෙනවල්ලු.. ඇදහිල්ල පැත්තකින් තියපු අච්චි දොර ඇරල බැලින්නම්. කව්දෝ කෑරියෙක් කුණු මල්ලක් ගේ දොරකඩින් තියලා මාරු වෙලාලූ... අනුන්ගේ කුණු අවුස්සන එක බ්ලොග් කාරයෝ කියන විශේෂවූ සත්ත කොඨ්ඨාෂය ළඟ පව තියෙන උදාර ගතියක් නිසා.. ඩේසි ආච්චි කෝකටත් කියලා මල්ල ඇවුස්සවා ලූ. උඹ කිව්ව්ට විස්සාස කොරන්නේ නෑ මයෙ පුතේ මල්ලෙන් එකක් තනිකර මැණික් ලූ. ඉතින් එයා මේක මිහිඳු කියලා එයාගේ බෑණා කෙනෙක් වන පින්වන්ත පුතෙකුට කිව්වලූ. ඒ යකා රත්නපුරේ ඉන්න පියදාස මුදලාලිට කෝල් කරලා අමු තිත්ත කුණුහබ්බෙන් බැන්නලු. ගොනෝ ඒ වගේ දෙයක් තියලා යනවා නම් අරලිය ගස් තියෙන වත්තේ දොර ගාව තියලා යන්න බැරි ඇයි කියලා. පියදාසයා ගත් කටට කිව්වලු.. එහෙම තිබ්බොත් හැමිනිලා තියෙයිය. ඔතනට එන කම්බා හොරු ඕකට ගේම දෙයිය කියලා. අම්මපා ඒකත් අත්ත කියලා අරයා ඩේසි නැන්දට කිව්වලු ඔන්න අම්මේ සද්ද බද්ද නැතිව ඕක ගේ ඇතුලෙන් තියලා තියන්න පස්සේ මක්ක හරි කරමුය කියලා...

    ඉතින් කතාව ඔය විදියට ගොඩාක් දුර යනවා.. තවත් කතාවක් තියෙනවා.. පෝර උරේක ගෙනත් අලි පැටියෙක් පන්සලකට දාලා ගිය.. ඒක මීට වඩා ලස්සනයි පුතේ.. උඹට නින්ද එන්නේ නැති වෙලාවක් කියහන්.. මම ඇවිල්ලා කියලා යන්නන්..

    ReplyDelete
    Replies
    1. ඔය ඩේසි කතාව මාත් ඇහැව්වා. ජිජැක් මේ කිව්වේ ජන කතාවක් බං. පොර හදපු එකක් නෙවේ. බලය ගන්නට නම් පච කිවිය යුතුය.

      Delete
  4. //"මිනිසුන් ඡන්දයක් තිබේ යයි දැනගැනීම පමණක් ප්‍රමාණවත්ය. ඡන්දය දමන්නා කිසිවක් තීරණය කරන්නේ නැත. සියල්ල තීරණය කරන්නේ ඡන්ද ගණන් කරන්නාය. //

    යහපාලකයින් දින්නෙ ඔහොමලු. බොරු නං සාර තුමාගෙන් අහන්න

    ReplyDelete
    Replies
    1. කොහොමින් හරි බලේට ඇවිල්ලා ආන්ඩුවක් නැතිගානට බුල කෙලින එකම මදිද මන්දා

      Delete
    2. චන්ද ගණන් ක්‍රම මහින්ද මාමිට අඩුවුණේ කොහොමද කියලලු සරසා පුතා තවම කල්පනා කරන්නේ.

      Delete
  5. කවදහරි අඩුගණනෙ ඉතා ප්‍රසිද්ධ sagas හරි (English translations) සම්පූර්ණයෙන් කියවන්නෙ ඉන්නෙ.

    (Norse ones preferred because they maybe the originals on which the German ones were based.)

    ReplyDelete
    Replies
    1. නොර්ස් ඒවා ලස්සනයි. අර ෆිල්ම් එක බැලුවද? තෝර්, වල්හල්ලා රයිසින්ග් හෙම.

      Delete
    2. https://en.wikipedia.org/wiki/Category:Films_based_on_Norse_mythology

      Delete
  6. පොහ්..........යක්කු, මකරු, වීරයෝ, කතා කවදත් ලස්සනයි. ඒ වගේමයි, මිනිස් යක්කු අපිව කන එක කොයි සමාජයේත් වෙන බව මෙයින් පැහැදිළි වෙනවා.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .