Monday 19 September 2016

භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි - දෙවන කොටස

මුල් ලිපිය:
භෞතිකවාදයෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal)  මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ  හැටි  -1 


මගේ මව අපේ පළමු දරුවා බැලීමට පමණි අවස්ථාවේ පවුලේ අය ගාල්ලේ සාස්තර කියන තැනකට  ගිය බව කීවාය. එතන විශේෂත්වය වන්නේ මළවුන් ගෙන්වන බව කී ඈ  සොයුරියකගේ දැඩි ඉල්ලීමට එහි ගිය බවද  කීවාය. මා ඒවා විශ්වාස නොකරන නිසා ඇය මට එය කලින් කියා තිබුනේ නැත. එහිදී මගේ පියා කතා කරන කට හඬින්ම කතා කළ තැනැත්තා  "ලොකු පුතා කොහිද "යැයි ඇසු බවත්  ඔහු ආවේ නැහැ නේද යයි ඇසූ  බවත් ඇය කීවාය. මා මළගමට පැමිණි බව ඈ විසින් පැවසූ බවත් එවෙලේ සියල්ලන්ම හඬන්නට පටන් ගැනීම නිසා එතනින් ඉවත්ව ආ බවත් කීවාය. ඒ වෙලේ ඒවා බොරු විය හැකි බවත් කවුරුන් හෝ දැනසිටි දෙයක් කීවා විය හැකි බවත් මා ඇයට පැවසුවෙමි.

මා එසේ කීවද එවැන්නක් ගැන රුසියාවේ සිටියදී අසා තිබු බවක් මට සිහිවිය.  මෙවැනි හැකියාවන් තිබූ අය කේජිබී  එක මගින් අත්අඩංගුවට ගෙන පර්යේෂණ කිරීම  සඳහා විද්‍යාඥයන්ට භාර දී තිබුණි. සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු නිදහස් වූ  මෙවැනි අය ගැන නිරතුරුව රූපවාහිනිය මගින්  පෙන්වන ලදී.  සිතේ බලය හා මොළයේ ක්‍රියාවලිය අතර සම්බන්ධය ගැන සෝවියට් දේශයේ ආරක්ෂක අංශ නිතර පර්යේෂණ කළහ. කෙතරම් භෞතිකවාදී ලෙස ක්‍රියා කළද සෝවියට් දේශයේ විද්‍යාඥයන් හා ආරක්ෂක අංශ ඒවා මගහැර තිබුනේ නැත.

ඒ කාලයේ 2001 දී පමණ ගූගල් තිබුනේ  නැති අතර මම සෝවියට් උපාධි අවසන් කළ අය සඳහා  MSN සමූහයක් (ගෘප් එකක්) පවත්වාගෙන ගියෙමි.  එමගින් අනිකුත් සමුහයන් ගැන ද අවශ්‍ය නම් සොයා බැලිය හැකි විය. මෙයින් එකක් මගේ ඇස ගැටුණු අතර එය "වේලයෙන් පසු පස" (behind the veil ) නම් මළවුන් සමග කතා  කරන අයගෙන් සමන්විත අන්තර්ජාලයේ කටයුතු කරන කණ්ඩායමක් විය. එහි නිර්මාතෘ අන්තර්ජාල නම වන  ලවුලන් (Loullen) නමින් හැඳින්වූ කැනේඩියානු කාන්තාවකි. ඇගේ  නියම නම ජැමී විල්සන් හල් වන අතර ඇය මගේ ෆේස් බුක් හි යහළුවෙකු බව සමහර අය දැක ඇති.  එදා 2001දී  හඳුනාගත් ජැමි හා  මම අදත් හොඳ  මිතුරන්ය.

එම කණ්ඩායම තෝරා ගැනීමේ අනිත් හේතුව වූයේ ඔවුන් මුදල් අය නොකිරීමයි. මුදල් අය කරන අයට ඒ නිසාම මොනවා හෝ කීමට සිදුවෙයි. ඒ අනුව ඕනෑම බොරුවක් කිරීමටද අවකාශය ඇත.

එහි මළවුන් සමග කතා කරන අයට කියන්නේ මාධ්‍ය (medium) කියාය. මවගේ ඉහත සඳහන්  කතාව මෙන්ම පියා ගේ හදිසි අභාවයෙන් ඇතිවූ ශෝකය මත ඔහු හා සම්බන්ධ වන්නට ඇත්නම් හොඳය යන අනියත ආශාවක්  මට ඇතිවුනි. එයට හේතුව සමහරවිට මගේ දැඩි ශෝකය තාර්කික බව අභිබවා යාම විය හැක. එහි සාමාජිකයකු වී දෙතුන් දිනකින් මගේ වාරය එළඹුණේ ලවුලෙන් විසින් මා ඇමතීම නිසාය. එම්එස්එන් කණ්ඩායම් කතා කරන අන්තර ජාල චැට් රූම් තිබේ. එදා එහි ඇමෙරිකන් කාන්තාවන් වන ඩොන්නා , රූත් සහ ඕස්ට්‍රේලියන් මහතෙකු වන W ද සිටියහ.

ලවුලෙන් කිවේ කිසියම් වයස එතරම් වැඩි නොවන අයෙකු මට කතා කිරීමට බලා සිටින බවයි. ඔහු හමුදාව වැනි ආයතනයක සේවය කරන අයෙකු ලෙස හා තවත් විස්තර පැවසිනි.  මගේ සිතේ ඇති සැක සහිත භාවය නිසා මේ කරුණු වලට මා කෙලින් පිළිතුරු දුන්නේ නැත. ලවුලෙන් මදක් කෝපයට පත්ව ඇය කිසියම් නිවැරදි දෙයක් කියන්නේ මා ඔව් යයි පිළිතුරු දිය යුතු බව කීවාය. එහිදී මා ඇයට පැහැදිලි කළේ මා මේවා එතරම් විශ්වාස නොකරන බවත්, නමුත් ඕනෑම දෙයක් සොයා බැලීමේ අදහසින් පැමිණි බවත් ඇය කියන තොරතුරු වලින් සමහර ඒවා කෙනෙකුට තර්කානුකුලව සිතා කිව හැකි බවත්ය.

ලවුලෙන් ගේ මා වඩාත්ම ගරු කරන ගතිය මා  දුටුවේ එහිදීය. මා සමග වාද කර හෝ තමන් කරන දේ නිවැරදි යයි කීම වෙනුවට ඇය මට අවශ්‍ය ලෙස කටයුතු කිරමට එකඟ වුනාය . ඇය මෙය කරන්නේ විනෝදයට නිසා එහි ප්‍රශ්නයක් නැති බව පැවසුවාය. ඉන්පසු ඇය කියන  දේ වලින් මට  විද්‍යානුකුලව හෝ තර්කානුකූලව පිළිතුරු සෙවීමට නොහැකි දේ මෙසේය.

එක සාක්ෂියක්?

ඇය පැවසුවේ එහි (ඈ ඉදිරියේ) පෙනී සිටින තැනැත්තා  ජිවත්ව සිටියේ මා සිටින තැනින් හැතැප්ම හයදාහක පමණ දුරින් බවය. (ලන්ඩනය හා කොළඹ අතර දුර කිලෝමීටර 8000 පමණ වේ, හැතැප්ම 5000 පමණ.) මා ලන්ඩනයේ ජිවත්වන බව ඇය දැන  සිටියාය. සාමාජිකයකු වන විට එම විස්තර ඉදිරිපත් කළ යුතුය. මගේ පියා  මිය ගියේ ශ්‍රී ලංකාවේ බව පිළිගතිමි. ඇය එවැනි රටක් ගැන දැන සිටියේ වත් නැත. (රටවල් ගැන ඇගේ දැනුම ඉතා අඩුබව පසුව දැන ගතිමි) ඉන්පසු ඔහුගේ නමේ මුල අකුර ඇය නිවැරදි ලෙස කීවාය. මගේ මව ඔහු නිතර සිහි කරන බව කීවාය. එනිසා ඔහු තමන් යන තැන පමා කරමින් සිටින බවද පැවසුවාය.

මේ මිඩියම් වරියන්ගේ අදහසට අනුව මියගිය පසු එක්තරා ආලෝකයක් දෙසට ඔවුන් යා යුතුය. ඔවුන් බොහෝ විට තමන් කරා එන මියගිය ආත්මයට එසේ යන ලෙස උපදෙස් දෙන බවද කීවාය.

ඊළඟට ඇය කී දෙයින් මා  වඩාත් විමතියට පත්වීමි. ඔබට දරුවෙකු සිටීද කියා ප්‍රශ්නයක් ඇසීමට පෙර මට දුවක් සිටින  බව ඇය පැවසීමෙනි.

මගේ ලොකු දුවගේ නහය ඔහුගේ වගේ යයි කියමින් "මගේ පියා"  සිනාසෙන බව ඇය කීවාය.  ඔබ දුවක් කියා දන්නේ කොහොමද යයි මම ඇසුවෙමි. තමන් එහෙම දෙයක් දන්නේ නැති බවත් මගේ පියා හඟවන්නේ එලෙස බවත් කී ඇය එය එසේ දැයි ඇසුවාය. මා එසේ යයි පැවසුවෙමි.

නැවත  ටික වෙලාවකින් ඈ කී දෙයින්  මගේ විමතිය දෙගුණ විය. මේ කියන දිනය මට මතක තිබීම එයට හේතුවයි.
"ඔබේ පියා කියන්නේ එසේ කිව්වේ ඔබේ මව බවයි. ඇය සිනාසුන නිසා ඔහුත් සිනාසෙන බවයි. " ලවුලන් කීවාය.

ලන්ඩනයට පැමිණි දවසේ සිට මගේ මව සිටියේ දුකිනි. පියා සමග ආ යුතු ගමනක් ඇය තනිව ආ බව ඇය නිතර සිහි කළාය. මගේ පියා  හා මව එකිනෙකා  කෙරෙහි ඉතා ආදරයෙන් සිටි, කිසි දිනෙක එකිනෙකාට බැන නොවැදී සිටි යුවලකි.

මගේ බිරිඳ තම දෙමව්පියන් සමග විසිත්ත කාමරයේ සිටියදී මා මව සමග නිදන කාමරයේ අළුත උපන් දියණිය සමග සිටියෙමු.  දුව දෙස බලා "ඔයාගේ දූගේ නහය තාත්තාගේ වගේ" යයි කියමින් මව සිනාසුණාය, ඇය අදහස් කළේ මගේ  පියා ය. ලන්ඩනයට ආ දවසේ සිට  ඈ පළමුවරට සතුටෙන් සිනාසුනේ එදාය.

මම ලවුලන්  නිවැරදි බව එවේලේ පිලි ගතිමි. ඇය මේ විස්තර  කියන්නේ කිසියම් ක්‍රමයකින් මා සිතන දේවල් දැන ගෙනදැයි ඇසුවෙමි.  මා එවේලේ එම සිදුවීම ගැන සිතුවා දැයි ඇය පෙරලා ඇසුවාය. එසේ කළේ නැති බව පිලි ගතිමි. මගේ පියා එදා කාමරයේ සිටියාද යයි විමසුවෙමි. ඔහු සිටින්නට ඇත්දැයි ඇය නොදන්නා බවත් නමුත් ඔවුන් සිහි කරන විට ඔවුන් එතැනට ආ හැකි  බවත් ඇය පැවසුවාය .

ලවුලෙන් හෙවත් ජැමි විල්සන් හල් හා මා අතර අවුරුදු ගණනක මිතුරුකම පටන්ගත්තේ එලෙසය.

ඉන්පසු මම නිතර එම අන්තර්ජාලයේ එම චැට් රූම් එකේ ලවුලන් හා රූත් මළවුන්ගෙන් ලැබෙන විස්තර අනිකුත් සාමාජිකයන්ට කියනු බලා සිටියෙමි.

දෙවන සාක්ෂිය ඊළඟ ලිපියෙන්.

මතු සම්බන්ධයි.

(මා තවමත් භෞතිකවාදියෙකු බව සිතමි. එහෙත් මා නොදන්නා දේවල් ගැන සෙවීම කවදාවත් අත් හැර නැත.  එනිසා පුර්ව-විනිශ්චයකින් තොරව ලිපි පෙළ කියවන්න. මේ ලිපියේ සඳහන්  ලවුලන් හෙවත් ජැමී මගේ
යෙහෙළියක වන අතර ෆේස්බුක් හි ඇගෙන් ප්‍රශ්න  ඇසීමෙන් වලකින ලෙස ඉල්ලා සිටිමි. මා ලියන දෙයෙහි හරි වැරැද්ද ඇයට මතක නම් ඇගෙන් ඇසීය හැකිය. මා මේ ලිපිය ලියන බවට ඇයට දන්වා තිබේ.
එහෙත් මළවුන් සමග කථා කිරීමට ඇයට යෝජනා නොකරන්න. ඇය දැන් එයින්  ඉවත් වී සිටී . එයට හේතුව මේ ලිපි පෙලේම ඉදිරියේදී ලියවෙනු ඇත)

76 comments:

  1. උඹ මේ දේ ලියන එක හොඳයි.. මේ පිලිබඳ මගේ අත්දැකිම් බොහෝමයි. ඒත් ෆෝන් එකෙන් ලියන්න බෑ. පස්සෙ දවසක මේ ගැන ලියන්නම්. අර මම කියපු වැඩ සටහන බැලුවද?

    ඒකේ කතා කලේ අපි වගෙ හාල් පාරුවො නෙමෙයි. ලංකාවට කීර්තියක් ගෙනෙන ජාත්ංතරව වැජඹෙන විද්වතුන්.

    ReplyDelete
    Replies
    1. බැලුවේ නැහැ . තවම් හෙව්වේ නැහැ ඒක . අද ට්‍රයි එකක් දෙන්නම්.

      Delete
  2. /* මියගිය පසු එක්තරා ආලෝකයක් දෙසට ඔවුන් යා යුතුය. */

    දැන් මේ කතාව අප අසා ඇති නිසාමත් අපේ NDE එකක එයම අපට පෙනෙන්න පුලුවනි නේද?

    ReplyDelete
    Replies
    1. NDE එකේදී එහෙම දෙයක් පෙනෙනවා කියල මම හුඟක් තැන්වල කියවල තිබෙනවා. මං ඒ ගැනත් බොහෝ විට මේ එක්කම ලියනවා.

      Delete
    2. යොමුව දැම්මාට ස්තූතියි. මේ ලිපි පෙළට මෙවැනි කිහිපයක් එකතු කිරීමේ අදහස් තිබුණා . ටිකක් වැට පැන්නට කමක් නැහැ.

      Delete
  3. රාජ් මහත්මයා හෝ ඔහුගේ බ්ලොග් යොමුවෙන් පැමිණි මහතාට- මා අනිත් අයට පහරදී ලියන කොමෙන්ට් පළ කරන්නේ නැති බව කරුණාවෙන් සලකන්න.

    ReplyDelete
    Replies
    1. අතේ මාට්ටුද හිටන්?

      Delete
    2. රාජ් මහත්මයා කිසි විටෙකත් ඇනෝ නොදමයි. කිසිවෙකුට පහරදීමට ඇති නම් ප්‍රොෆයිලයෙන්ම පැමිණීමද රාජ් මහත්මයාට සුළු දෙයකි.(රාජ් මහතාට, මිතුරන්/ගෝලයන් නැත) එහෙත් රාජ් මහත්මයාගේ බ්ලොගය හරහා පැමිණෙන්නන් පාලනය කිරීමට රාජ් මහතාට නොහැකි බවත් කාරුණිකව දන්වමි. රාජ් මහතා සතියේ දිනවල දිවා කාලයේ පැමිණෙන LGN අන්තර්ජාල සම්බන්ධතාවය බොහෝ රාජ්‍ය ආයතනවල අන්තර්ජාල මාධ්‍ය ලෙස භාවිතා කරන බවද වැඩිදුරටත් දන්වමි.

      Delete
    3. //රාජ් මහත්මයා හෝ // කියා ලිව්වේ ඒ නිසාය. ඔබ නොවේ නම් ස්තූතියි. පැමිණ තිබුනේ iphone බ්‍රව්සරයකිනි. කෙසේ හෝ වේවා මට අවශ්‍ය මගේ බ්ලොගයේ අනිත් බ්ලොග් කරුවන්ට අපහාස කිරීමට නොහැකි බවට පණිවිඩය දීමටය..

      Delete
    4. //රාජ් මහත්මයා හෝ//කියා කීම චෝදනාවක්. මා එය සලකන්නෙ අපහාසයක් විදියට. වරදකරුවාට දැනුම්දීම පමණක් අවශ්‍ය නම් මගේ ලින්ක් එක ඔස්සේ පැමිණි බව කීම ප්‍රමාණවත්.

      Delete
    5. හරියටම ඔබ කියා මා කියා නැත. හෝ යන වචනයේ තේරුම එයයි. ඔබට හිත රිදීමක් සිදුවුණා නම් සමාවෙන්න.

      Delete
  4. අපේ තාත්තගේ හදිසි වියෝවෙන් පස්සේ අපේ අම්මත් ඔය වගේ තැන් වලට ගියා. එහෙම ගියේ තාත්තා මරණින් පස්සේ හොඳ තැනක ඉන්නවද කියන දේ දැන ගන්න. හැබැයි අම්මා ගිහින් ඇවිත් කිව්වේ බොරුවක් කරන තැනක් ඕවා පස්සේ ගිහින් වැඩක් නෑ අපි පුළුවන් විදියට පිං දහම් කරලා තාත්තට පිං දෙමු කියල.. තාත්ත කොහේ ඉන්නවද වගේ දේවල් ඊට පස්සේ අපි හොයන්න ගියේ නෑ..

    මට තාත්තාගේ මිනිය ඉස්පිරිතාලේ තිබුණු විදුරු ජනෙලෙකින් මුලින් ම දකින කොට දැක්කේ හිනා වෙලා ඉන්නවා වගේ.. ඇත්තටම මිනිය ළඟට දකිද්දී තිබුනෙත් ලාවට හිනා වෙච්ච ගතියක්..

    මමත් තව කරනු ටිකක් පැහැදිලි කරගෙන පස්සේ වෙලාවක එකක් ලියන්නම්...

    ReplyDelete
    Replies
    1. මේ ලිපි පෙළ තවම අවසන් නැහැ. හුඟක් බොරු කියන අය ඉන්නවා. මුදල් ගන්න ඕනෑවට.

      Delete
  5. මේ ගෑණු මනුස්සයාගේ සමහර කීම් සරලව පැහැදිලි කළ හැකි වෙන්නත් පුළුවන්.

    අජිත් දැකීමෙන් හෝ කතා කිරීමෙන් දකුණු ඉන්දියානු කියල ෆිගර් අවුට් කර ගත්ත නම්, හැතැම්ම 5000ක් කියන එක හොඳ එඩියුකෙටඩ් ගෙස් එකක්.

    අනික ළමයෙක් ඉන්නවා කියල කොහොම හරි ගෙස් කර ගත්ත නම් (ඔය සාස්තර වැඩ කරන උන් educated guesses වල professional ලා) ළමයි 1/2/3 වෙන්න සමාන සම්භාවිතාවක් නම් තියෙන්නේ, දුවෙක් නොඉන්න තියෙන්නේ තුනෙන් එකකටත් අඩු සම්භාවිතාවක්. එකට දෙකක චාන්ස් එකකින් බෙට් කරන්න පුළුවන් දුවෙක් ඉන්නවා කියල.

    මේවට තර්ක කරලා ලොකු පලක් නැති නිසා නොලියමි. (මටත් ඔහොම කියපු එක්ස්ප්ලේන් කරන්න කොහොමවත්ම බැරි දේවල් තියනවා. මම තාම හිතන්නේ කොහෙද කැච් එක කියල.)


    ReplyDelete
    Replies
    1. මෙය මා හැම වෙලේම කල්පනා කරන දෙයක් සහ ඇය සමග වාද කළ අදහසක්. //අජිත් දැකීමෙන් හෝ කතා කිරීමෙන් දකුණු ඉන්දියානු කියල ෆිගර් අවුට් කර ගත්ත නම්, හැතැම්ම 5000ක් කියන එක හොඳ එඩියුකෙටඩ් ගෙස් එකක්.// ඔබ 2001-2002 කාලයේ තිබූ MSN group ගැන දන්නවා නම් එසේ කිරීමට හැකියාවක් නැති බව කිව යුතුයි. අපි හැමෝම යන්නේ සැබෑ නමින් නොවෙයි. මගේ onscreen නම ඉංග්‍රීසි එකක් . ලවුලෙන් කියන්නේ ජැමිගේ onscreen නම. ඇය කැනඩාවේ කියල දැනගත්තේ පස්සේ, මම ලංකාවේ කියල ඇය දැනගත්තේ පස්සේ.

      //අනික ළමයෙක් ඉන්නවා කියල කොහොම හරි ගෙස් කර ගත්ත නම් (ඔය සාස්තර වැඩ කරන උන් educated guesses වල professional ලා) ළමයි 1/2/3 වෙන්න සමාන සම්භාවිතාවක් නම් තියෙන්නේ, දුවෙක් නොඉන්න තියෙන්නේ තුනෙන් එකකටත් අඩු සම්භාවිතාවක්. එකට දෙකක චාන්ස් එකකින් බෙට් කරන්න පුළුවන් දුවෙක් ඉන්නවා කියල.// මේකත් හරි. නමුත් මම බැඳලා වත් කියල කිව්වේ නැහැ. මේක වුනේ චැට් රූම් එකක . ඒ කියන්නේ කවුරුත් කතා කරන්නේ නැහැ. ටයිප් කරනවා විතරයි. එනිසා මුළු සාකච්චාවම මගේ ළඟ තිබුණා.

      Delete
    2. ඊළඟ ලිපියත් කියවන්න.

      Delete
    3. මම හිතුවේ අජිත් වොයිස් චැට් කරා කියලයි. වෙන වැරදි කොහොම උනත් MSN එකේ වොයිස් ඔය කාලෙත් ක්‍රිස්ටල් ක්ලියර් තිබුනා. එහෙම කරා නම් ඇක්සන්ට් එකෙන් කියන්න තිබුනා.

      එහෙම ම නැති උනත්, "passed out from uni", "different different", "I'm thinking that.." වගේ යෙදුම් වලිනුත් කතා කරන්නේ ඉන්දියන්/ශ්‍රී ලන්කන් එකෙක් එක්ක කියලා කියන්න බැරි ම නැහැ. මෙතන එහෙම උනා ද නැද්ද මම දන්නේ නැහැ.

      ලවුලේන් හිතා මතා වංචාවක් කළ බව මම හිතන්නේ නැහැ. නමුත් මිනිස්සු පුදුම විදියට තමන්ම රවට්ට ගන්නවා. (ආගම් අදහන otherwise rational උන් කියන්නේ ඔය "ආගමේ හොඳ ටික විතරක් ගන්නවා" වගේ කතා.) කතා කල දේ වලින් අජිත් ඉන්දියන් කාරයෙක් කියන එක එයාගේ සබ් කොන්ෂස් එකට ගිහින් තිබුන වෙන්න බැරි නැහැ.

      Delete
    4. කමෙන්ට් මොඩරේට් කිරීම හෙළා දකිමි! :-)

      Delete
    5. නැහැ වොයිස් චැට් කළේ නැහැ.
      //එහෙම ම නැති උනත්, "passed out from uni", "different different", "I'm thinking that.." වගේ යෙදුම් වලිනුත් කතා කරන්නේ ඉන්දියන්/ශ්‍රී ලන්කන් එකෙක් එක්ක කියලා කියන්න බැරි ම නැහැ. මෙතන එහෙම උනා ද නැද්ද මම දන්නේ නැහැ. // මේක හොඳ අදහසක්. නමුත් මම එංගලන්තයේ සෑහෙන කලක් ඉන්න කෙනෙක්. different දෙවරක් කීම නොවේ, no no - is this right no හෙම කියල නෝ කෑල්ල පාවිච්චි කරන එක වත් මම කරන්නේ නැහැ.
      මෙතැනදී මම වාද කළේ ඔබ මුලින් කි විධිහට. මම ලවුලෙන් ට කිවේ - පුතෙක් හෝ දුවෙක් කීමේ සම්භාවිතා 50% හෝ 1/2 කියල. නමුත් මගේ ප්‍රශ්නය වුනේ ඇය මුදලට මෙය නොකිරීම.

      Delete
    6. //කමෙන්ට් මොඩරේට් කිරීම හෙළා දකිමි! :-)// කණගාටුයි. බ්ලොගයේ අදහස් විවේචනය කරන හැම එකක්ම දානවා. නමුත් බ්ලොග්කරුවන්ට බැනගෙන හෝ මගේ පෞද්ගලික පවුලට අපහාස කරන දේ පළ කරන්නේ නැහැ. එසේ කරන නිසා මෙය දමන්නට වෙලා තිබෙනවා. අනික කොමෙන්ට් දැමීම පමා වෙන්නේ මා සිටින්නේ ලන්ඩනයේ නිසා.

      Delete
  6. අජිත් මේ ගැන විවෘත ලෙස බලා ලියනවා කියන විශ්වාසය තියෙන නිසා ඉතිරි කොටස් කියවන්න බලාගෙනයි ඉන්නේ. පූර්ව-විනිශ්චය මත සිට මේ වගේ දේවල් ලියන විටනම් කියවන්නවත් හිතෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. පූර්ව විනිශ්චය මටත් සිට කියවනං එපා කීවේ - මේ දෙපැත්තටම කැමති අය හා අකමැති අය සිටින නිසා. එවිට එක කොටසක් පමණක් කියවයි. මගේ අදහසක් තියනවා . ඒක අන්තිමට කියන්න ඉන්නේ.

      Delete
    2. බොහෝ විට මිනිසුන් කියවන්නේ තමන්ට කැමති හෝ තම අදහස් හා සමපාත වන දේ. ඉන් පිටත කියවන අය අඩුයි නේද? බ්ලොග් කියවන බොහෝ අය හැම අදහසක් ගැනම කියවනවා කියලයි මට කාලයක් හිතුනේ.

      Delete
    3. ඉතා කැමැත්තෙන් හා කුතුහලයෙන් කියවමි ඔබ කියන දේ ඇත්ත .මෙය දිගටම කියවන්න ආස හිතුණේ අපේ අදහස් හා සමපාත වන නිසා තමයි කියා මටත් හිතෙනවා

      Delete
    4. //බොහෝ විට මිනිසුන් කියවන්නේ තමන්ට කැමති හෝ තම අදහස් හා සමපාත වන දේ. ඉන් පිටත කියවන අය අඩුයි නේද?//මෙය මිනිසුන්ගේ ස්වභාවික පොදු දුර්වලතාවයක්. මෙය මටත් අදාළ බව දන්නා නිසාම මම මට පහසුවෙන් එකඟ නොවිය හැකි දේ විශේෂයෙන්ම කියවනවා. හැබැයි මගේ අදහස් සමඟ සමපාත වන හෝ නොවන භේදයක් නැතුව, කිසිම පදනමක් නැතුව තමන්ගේ මතයම තහවුරු කිරීම සඳහා අදහස් 'දමා ගසන' ලියවිලි වලට මම කැමති නැහැ.

      Delete
  7. very interesting Ajith. Looking forward to the next post.

    ReplyDelete
    Replies
    1. සමහරවිට බොහෝ අයගේ අදහස් විමර්ශනයකට ලක් කෙරේවි.

      Delete
  8. එකම විනෝද සාගරයකි!
    තැන්කූ අජ්ජෝ!

    ReplyDelete
    Replies
    1. සරසාට බයිට් සැපයීම අපේ ඒකායන පැතුමයි.

      Delete
    2. දේවාරූඩයෙන් දත් පුරවා දෙනු ලැබේ.

      Delete
    3. සරාස්ථානයේ

      Delete
    4. ස ර ස සාමි තුමා ( විල්ලියා සාමි ගේ ගෝල ) මැනික් හින්න

      Delete
    5. නාථ දෙවියෝ විස්වාස කරන සාමි කෙනෙක් නේද මේ?

      Delete
  9. මලවුන් සමග කතා කිරීම ,නාඩි වාක්‍ය සහ අධිමානසික බල වලින් කෙනෙකුට ලෙහෙසියෙන් ෆිගර් අවුට් කල නොහැකි දත්ත ලබා දෙනවා. මේව එඩියුකේටඩ් ගෙසස් ලෙස හෝ වෙනත් ක්‍රමයකින් ඔත්තුකරුවන් වැනි ලබාගත් දත්ත ලෙස සලකන්න බෑ. මා බැසගත් නිගමනය නම් විශ්වය තුල අතීතය හා අනාගතයට අදාල දත්ත තිබෙන බවයි. මේව කිසියම් ක්‍රමයකින් ලබාගත හැකියි.දීර්ඝ අනාගතයක් කියනව කියන්නෙ අර නිර්මානවාදී ආගම්වල වගෙ කලින් ප්ලෑන් කරපු දෙයක් වගෙ. ඇත්තටම කිසියම් පිටසක්වල දියුනු ජීවීන් විසින් ප්‍රෝග්‍රෑම් කරපු වැඩසටහනක් වෙන්නත් පුලුවන් අපේ ලෝකය.
    ඒ තරම් දාර්ශනික තැනකට නොගියත් එක දෙයක් පැහැදිලියි .මේ දත්ත ලබාගැනීමට යම් ක්‍රමයක් පාදා ගත හැකි බවයි. එය කිසිම ඇදහිල්ලකට අදානග්‍රාහීව යා යුතු නෑ. නිදහස්ව සොයාගත හැකියි.
    රතු ඉන්දියානුවන් අප්‍රිකානු යකැදුරන් සයිබීරියන් ශමන් වරුන් අපේ කට්ටඩියන් මේ හැමෝම ප්‍රගුන කලේ එකම ක්‍රමවේදයක් විය හැකියි.
    මාත් මේ ගැන පෝස්ට් එකක් දාන්නම්

    ReplyDelete
    Replies
    1. // ඇත්තටම කිසියම් පිටසක්වල දියුනු ජීවීන් විසින් ප්‍රෝග්‍රෑම් කරපු වැඩසටහනක් වෙන්නත් පුලුවන් අපේ ලෝකය. // ලිපි පෙළේ ඊළඟ කොටසේ මම මෙවැනි තිරනයකටත් එළඹෙනවා ඔබට දැකිය හැකියි.

      Delete
    2. ඒ කියන්නේ නලින් ද සිල්වාගෙ නාථ දෙවි කතාවත් සමහර විට ඇත්ත වෙන්න පුලුවන්ද? නාථ දෙවියො කියන්නේ පිටසක්වල ජීවියෙක් වත්ද..

      Delete
    3. මම පිට සක්වළ ජීවින් ඉන්නවයි කියල හිතන කෙනෙක්. විශ්වාසයට වඩා මට හිතෙන්නේ තර්කානුකුලව වෙන විධිහකට හිතන්න අමාරුයි කියල.

      Delete
    4. Perhaps we've never been visited by aliens because they have looked upon Earth and decided there's no sign of intelligent life.
      - Neil deGrasse Tyson

      Perhaps, as some wit remarked, the best proof that there is Intelligent Life in Outer Space is the fact it hasn't come here. Well, it can't hide forever - one day we will overhear it.
      -Arthur C. Clarke

      Delete
    5. අපි නම් "නාඩි වාක්ය" කියන්නේ නැහැ..හැබැයි චැනල් එක දාලා ඇතුලට ආපු එකාට "විනාඩි වාක්ය" කියලා විනාඩිය ගතවෙන්න කලින් ඌව එලියට දාලා ඊලඟ එකා ඇතුලට ගන්නවා...

      Delete
    6. සරසා ඇත්ත කියනව හිටපු ගමන්. ප්‍රා වගේ එවුන් ඉන්න කොට ඒලියන් ල එයිද?

      Delete
  10. බොහොම අවධානයෙන් කියවනවා මේ ලිපි පෙල.මොනම දේ උනත් අන්තයකට නොයා යුතුයි කියන මතයේ ඉන්න ගස්ලබ්බා විශ්වාසය ගැනත් දරන්නේ ඒ වගේම මතයක්. කොහොම උනත් උත්තර කීපයක දැඩි පිපාසයෙන් ඉන්න කාලයක් නිසා උත්තර ලැබෙන 'මාධ්‍ය' ගැන හෙවිල්ලෙන් ඉන්නෙ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඉදිරියට කියවමු. සෑම අදහසක්ම දැඩි විවේචනයකට ලක් කිරීමට ඉඩ දෙනවා.

      Delete
  11. මෙන්න මම කැමතිම මාතෘකාවක්!!!.
    ඊළඟ ලිපිය එනකන් බලන් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. මේ ලියාගෙන යන්නේ.

      Delete
  12. ඔය විදියෙ සාස්තර ගැන මට අදහසක් තියෙනවා. ඒ මොන විදියකින් හරි ඔය කතා කරන කෙනා ඔයාගෙ යටිහිත කියවනවා කියන එක​. මට ඉතා නිවැරදිව අනාවැකි කිව් පාරෙ සාස්තර කියපු මනුස්සයෙක් හමුවෙලා තියෙනවා. ඔහුට වැරද්දීමට ඔබට අවශ්‍යනම් කලයුත්තේ ඔහු කියන දෙය අසනබවක් පෙන්වා වෙනත් කල්පනාවක සිටීමයි.
    ඉදිරි ලිපිවලදි ඔබේ මලවුන් සම්බන්ද කරන්නිය ඔබ අසා ඇති නමුත් පිලිනොගත් හෝ ගනන් නොගත් දෙයක් කී බව හැර ඔබ කිසිදා නොදත් දෙයක් කියනු ඇතැයි නොසිතමි.
    එසේ වූවානම් ලොව බොහෝ වෙනස් තැනක් වනු ඇත​.
    ඊ ලඟට මෙය සත්‍යනම් බුදු දහමට වඩා තනි ආත්මවාදී ආගම් සත්‍ය වීමට ඉදක් ඇතිබවත් මගේ විශ්වාසයයි.

    ReplyDelete
    Replies
    1. // ඒ මොන විදියකින් හරි ඔය කතා කරන කෙනා ඔයාගෙ යටිහිත කියවනවා කියන එක​.// මුල් ලිපියේ මම ඇයට එසේ කියූ බව ඔබ දකින්නට ඇති. නමුත් මගේ හිතේ දුව ගැන නොතිබූ බව පැහැදිලිව කියමි. මා ඇයට කිවූ තව කරුනක වූයේ අලුත් උපන් දරුවෙකුගේ නැහැය හැඩරුව ගැන හැමෝම කතා කරන බවයි. ඇගේ පිළිතුර වූයේ මට ළමයෙක් සිටි බවවත් ඇය නොදන්නා බවයි. කණගාටුවට මෙන් ඇය කියන්නේ ඇත්ත බව මට පිලි ගන්නට සිදුවිය.

      Delete
    2. නෑ යටිසිත කියවීමක් නොවෙයි.ඒ කියන්නෙ එඩියුකේටඩ් ගෙසස් වලට. එහෙම කියන අයත් ඇති. ඒත් හරියටම කියන සාත්තර එහෙම එව්ව නෙමෙයි. අතිශයින් විශ්මයජනකයි.
      ඇනෝ කිව්ව වගේම මෙය සත්‍යනම් වැඩිවාසි වෙන්නෙ නිර්මානවාදී ආගම්වලටයි.
      නමුත් එතනත් ගැටළුවක් තියනවා.යම් සැලසුමකට අනුව ක්‍රියාකරනවා නම් අපගේ ක්‍රියාවලට තැනක් නෑ. අපි කරන වැරදි දේත් උත්තර බලවේගයක සැලසුම්. උත්තර බලවේගයට අවශ්‍ය නිසා අපි යහපත් දේ කරනව අපට ප්‍රතිලාභ ලැබෙනව . අපි නරක වැඩ කරන්නෙත් ඒවාට දඩුවම් ලබන්නෙත් උත්තර බලවේගයට අවශ්‍ය නිසයි.අපට ක්‍රියාකිරීමේ නිදහසක් තියනවනම් පූර්ව සැලැස්මක් තියෙන්න බෑනෙ.
      එහෙමනම් මම මේ කොමෙන්ට් එක දාන එකත් උත්තර බලවේගයක සැලැස්මක් වෙන්න ඕන.

      Delete
    3. //ඊ ලඟට මෙය සත්‍යනම් බුදු දහමට වඩා තනි ආත්මවාදී ආගම් සත්‍ය වීමට ඉදක් ඇතිබවත් මගේ විශ්වාසයයි.// මේ මිඩියම් වරියන් සියල්ල තමන් අදහන කතෝලික, ඇන්ග්ලිකන් ආදී ආගම් වලින් පිටට පැමිණි අයයි. ලෞලෙන් මැවුම්රකාර දෙවියකු විශ්වාස කරන්නේ නැත.

      Delete
  13. මම ඩේරික් ඇකෝරාගේ වැඩසටහන් නිතරම බලන කෙනෙක්. සමහ වෙලාවට හිතෙනවා බොරුද කියලාත්. ඒත් ලංකාවෙ වගේ දෙවියෝ භූතයෝ ගාවගන්නෙ නැතුව නියම පර්යේෂන මට්ටමෙන් වැඩසටහන කරන නිසා සමහර දේවල් වල පදනමක් තියෙනවා කියලා හිතෙනවා.
    http://derekacorah.com/

    ReplyDelete
    Replies
    1. ඇකොරගේ වැඩ සටහන් මුලින් බැලුවා. දැන් වැඩිය බලන්නේ නැහැ.

      Delete
  14. කුඩා කල දෙමාපියන්ගේ අභාශය මත වදෙන් බේරීමට පන්සිල් ගන්නා බුද්ධාගම් කාරයෙකු වූ මා පසුව විවිධාකාර බහුභූත දේවරූප වලට බෝ ගස් වලට භාරහාර වන, කිසිම හරයක් නති බුද්ධාගම හැරපියා මැවුම්කාර දේව වාදය ගැන හැදෑරුවෙමි. එයත් පිළිගත නොහැකියැයි හැඟුනු කල කොවුර්ගේ පොත් කියැවීමෙන් භෞතික වාදියෙකු වූයෙමි. එහි සීමා සහිත බව දුටු නිසා හා දහම නිවැරදිව සාකච්චා කරන මිතුරන්ගේ අභාශය නිසා තෙරුවන් සරණ ගියයෙකු වූවෙමි. එහෙත් භෞතික වාදයේ ආභාශය මා තුලත් තවම ඇති බවක් විටින් විට පෙනේ.
    එවන් වූ මට මෙවන් මාතෘකා ඉතා ම රසවත් නිසා වුවමනාවෙන්ම ඔබේ ලිපිය කියවමි. මේ ගැන වැඩි දුරටත් කියැවීමේ කැමැත්තෙන් ඉදිරි කොටස්ද බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි . සංවාදයක් ඇති කර ගන්නේ නම් හොඳයි. අර හැමෝම යුඇන්පී එකෙන් නතර වෙනවා කියල ඉයන් කියල තිබුනේ. කැරකිලා කැරකිලා හැමෝම බුද්ධගමෙන්ම නතර වෙනවා වත්ද?

      Delete
    2. ඔව් බුද්ධිමය සංවාදයකට මම බොහෝම කැමතියි.
      අපක්ශපාතීව පූර්ව නිගමන වලින් තොරව බුද්ධිමය විමර්ශනයක් කරන බොහෝ දෙනෙකු අවසානයේ බුදු දහම තුල නතරවීමක් දැකිය හැකියි කියල මමත් හිතනවා.
      මම බුද්ධාගමෙ කියලා කියන්න කැමති නැහැ.
      මොකද බුද්ධිමය සංවාදයකදී සෑම වචනයකටම දෙන අරුත තුල ඉතා පැහැදිලි නිර්වචනයක් තිබිය යුතුයි. එවිට සැවොම එකම අරුතකින් කරන කථා බහ ඉතාම පැහැදිලි හා නිරවුල්.
      බුද්ධාගම යනු සිංහල බෞද්ධ කියන ජන වර්ගයේ ආගමයි.
      බුදු දහම යනු ජාති ආගම්, විශ්ව සීමා අතික්‍රමනය කොට ඇති මහා දැනුම් සම්භාරයකියි මට සිතෙනවා.
      නයනේ - සිතුවිළි

      Delete
    3. බුදු දහම ගැනත් කතා කරමු. ලිපියේ මුඛ්‍ය අදහස පරනොමාල් සිද්ධීන් සොයා මා ගිය ගමන.

      Delete
  15. මේ හා සමාන මගේ අත්දැකීමක් මා හැසිරවූ අකාරය මෙහිදීම කීම වැදගත් යැයි සිතමි.
    මාගේ මව යම් තරමක බරපතල රෝගාතුරව සිටින විට මා හිතවත් ප්‍රකට (වත්මනෙහි ටී වී බණ ස්ටාර් කෙනෙක්) භික්ශුවක් හමුවට ගෙනගොස් ඇයට මගේ පියාගේ වියෝව හා ඇයගේ සෞඛ්‍ය තත්වය මානසික හසුරුවා ගැනීම ගැන උපදෙස් ලබා දුන්නෙමි. ඉන් කෙටි කලකට පසු මව ගේ අභාවයෙන් පසු දිනෙක මා මුණ ගැසුනු එම භික්ෂූන් වහන්සේ, මාගේ මව දැනට කොහි වෙත්දැයි සොයා බැලිය හැකි බවත්, උන් වහන්සේගේ තවත් හිතවත් මහත්තයෙකුගේ මව ගැන සොයා බැලූ බවත්, ඇය පහත් උපතක් ලබා ඇති නිසා ඇය යහපත් කිරීමට නොයෙකුත් දේ කල බවත් කීවා. මගේ මව යහපත් උපතක් ලබා ඇතිනම් එය දැන ගත හැකි බවත්, නො එසේනම් ඇය ගෙන්වා කතා කරවීමට පවා හැකි බවකුත් කීවා.
    මාගේ ක්ෂණික පිළිතුර වූයේ,
    ඇය මගේ මව ලෙසින් මේ දිවියේ මා නිසා අනේක දුක් විඳි බවත්, මගේ සෑම දුකක් කරදරයක්ම ඇයගේ දුකක් කොටගෙන ඇය දුක් විඳි බවත්, එයට හේතුව ඇයට දරුවෙකු ලෙස මා කෙරේ වූ බැඳීම බවත්ය. දැන් ඇය මා හැර ගෝස් ඇති විට, නැවත ඇය ගෙන්වා හෝ ඇය සොයා ගොස් කරදර කිරීමෙහි ඇති ඵලය කුමක්ද? එම නිසා මෙලොව මා සමග වූ බැඳීමෙන් මිදුනු ඇය, කුමක් හෝ ඇයගේ සසර ශක්තිය අනුව යම් භවයක් ලැබුවා නම්, තව දුරටත් මා හා බැඳීමෙන් දුකක් නොලබා සුවෙන් විසිය යුතුයැයි මා සිතනා බව මා උන් වහන්සේට කීවා.

    එදායින් පසු මා හා උන්වහන්සේගේ තිබූ සමීප බව හිතවත් කම බිඳ වැටුනා යැයි මා සිතමි.

    මලවුන් ගෙන්වීම කා කථා කිරීම ගැන මගේ අදටත් ප්‍රථිපත්තිය එදා ඒ භික්ෂුවට දුන් පිළිතුරමය.

    ReplyDelete
    Replies
    1. ඔය පහත උපත් කටහ්ව ගැන මගේ කතාවක් තියනවා ඒක ඊළඟ ලිපියේ.

      Delete
    2. ඔබේ ප්‍රවේශය නිවැරදි යයි මා සිතනවා.

      Delete
  16. ඉදිරි ලිපියත් වෙනකං බලාගන ඉන්නේ

    ReplyDelete
    Replies
    1. කලකට පස්සේ අටමා වැඩම කරලා ඉන්නේ. එහෙනම් ඉක්මනින්ම දාමු.

      Delete
  17. විය හැකිදේ බොහෝය. අජිත් ධර්මා මසායි ගෝත්‍රිකයෙක් නොවේ යයි 100% මට කිව නොහැක. 99.9999999....% කිව හැක. පිටසක්වලයෙක් ඔරිජිනල් අජිත් ගේ මනස මසායි කාරයෙකුට දමා රූපය illusion එකක් ලෙස අපිට පෙනෙන ලෙස සැකසුවා වෙන්නට පුලුවන. KGB / MI 6 / CIA විසින් මසායි ගෝත්‍රිකයෙක් මියුටේට් කර අජිත් ගේ මතකයන් ඇතුලු කලා වෙන්නටද පුලුවන. :-D එහෙත් මා අජිත් සමග කටයුතු කරන්නේ ශ්‍රීලාන්කික සම්භවයක් ඇති ලන්ඩනර් කෙනෙක් ලෙසය. ඒ මංද අජිත් මසායි වීමට ඇති සම්භාවිතාව නොසැලකියයුතු තරම් කුඩා නිසාය. අජිත් මසායි වීමට වඩා සම්භාවිතාවක් ඔහු තූර්කි වීමට ඇත. එහෙත් එයද ඒ මත කටයුතු කිරීමට තරම් නොවේ.

    මං ඔය කියපු විකාරවලින් අදහස් කලේ ඕනෙ මගුලක් වෙන්න පුලුවන්, නොවේ හෝ බොරුයි කියලා 100 % සහතික වෙන්න අපිට බෑ. ඒත් මොනවා හරි ගැන කටයුතු කිරීමට 50% විතර චාන්ස් එකක් තියෙන්න ඕනෙ , එහෙම නැත්නම් ලොතරැයියක් වගේ ට්‍රයි කරලා බලන්න පුලුවන්. සුපර් නැචුරල්/ අද්භූත/ ඉහල බලයක්/ නොපෙනෙන දේ/ ඔප්පු කල නොහැකි දේ ආදී දේ ගැන විස්වාසය මානසිකව ඉතා ප්‍රයෝජනවත් දෙයක්. මට තියන ප්‍රශ්නය විස්වාසය ඇති කර ගැනීමට ඇති නොහැකියාවය

    ReplyDelete
    Replies
    1. හෝව් හෝව් හෝ ඕ ව්, වැටත් පැනලා දුවගෙන දුවගෙන යනවා. මූව අල්ලගන්න තියන අමාරුවක්.

      Delete
    2. //සුපර් නැචුරල්/ අද්භූත/ ඉහල බලයක්/ නොපෙනෙන දේ/ ඔප්පු කල නොහැකි දේ ආදී දේ ගැන විස්වාසය මානසිකව ඉතා ප්‍රයෝජනවත් දෙයක්.// ඒ කොහොමද?

      Delete
    3. එවැනි දේ ගැන විස්වාස කල හැකි අයට මානසික සහනයක් හා ශක්තියක් ලැබෙනවා. ධනාත්මක චින්තන කාරයින්, මෝටිවේෂනල් තෙරපිකාරයින් , සයිකෝතෙරපිකාරයින් මානසික විද්යාත්මකව කරනදේට ටිකක් සමාන දෙයක් ශුද්ධ ජලය, පිරිත්නූල්, දෙහි මිරිස් හඳහන්, බෝධිපූජා, සාන්ත ජූඩ් බාර, ඩෑෂ් බෝඩ් එකේ පිලිම කුරුස බෝකොල මල්මාලා සාස්තර ආදියෙන් විස්වාසකරන්නන්ට ලැබෙනවා. මට සමහර වෙලාවට හිතෙනවා මටත් පුලුවන් නම් හොඳයි කියලා. ඒත් මට විස්වාස කරගන්න බෑනෙ. කවුද දන්නෙ තව වයසට යනකොට පුලුවන් වෙයිද මංද. දැනටනම් පොඩිකාලෙ තිබුන බාගෙට විස්වාසත් නැතිවෙලා.
      විස්වාසය ඇතිවුනොත් ....එතකොට අජිත් මසායි හරිය?

      Delete
    4. වැට පැනලා දුවනවා කිව්වේ ඒකනේ. එහෙම සහනයන් ලැබෙන නිසා තමා මිනිස්සු ඒවා කරන්නේ.
      විශ්වාසය ඇතිවුනොත් මම මසායි වෙන්නේ කොහොමද? අනික් උං වොරියර්ස් ලා මිසක් පේන කියන උං නෙමේ.
      The Maasai are a Nilotic group. They inhabit the African Great Lakes region. Nilotes speak Nilo-Saharan language, and came to Southeast Africa by way of South Sudan.[8] Most Nilotes in the area, including the Maasai, the Samburu and the Kalenjin, are pastoralists, and are famous for their fearsome reputations as warriors and cattle-rustlers.[8] As with the Bantu, the Maasai and other Nilotes in Eastern Africa have adopted many customs and practices from the neighboring Cushitic groups, including the age set system of social organization, circumcision, and vocabulary terms.[9][10]

      Origin, migration and assimilation[edit]

      Maasai man
      According to their own oral history, the Maasai originated from the lower Nile valley north of Lake Turkana (Northwest Kenya) and began migrating south around the 15th century, arriving in a long trunk of land stretching from what is now northern Kenya to what is now central Tanzania between the 17th and late 18th century. Many ethnic groups that had already formed settlements in the region were forcibly displaced by the incoming Maasai,[11] while other, mainly Southern Cushitic groups, were assimilated into Maasai society. The Nilotic ancestors of the Kalenjin and Samburu likewise absorbed some early Cushitic populations.[12]

      Delete
    5. ඔය ජාතියේ විස්වාස මට ඇති වුනොත් මට මිස්ටර් ධර්මාත් මසායි ගෝත්‍රිකයෙක් කියා විස්වාස කල හැකි බවයි කිව්වෙ. (Exaggeration )

      OK, if Masai aren't enough, be a Dinka from Sudan.

      Delete
    6. mr ප්‍රා ට උස වැඩි කම ප්‍රශ්නයක් වෙලා වගේ. ලබා උපන් හැටිනේ. ගණන් ගන්න එපා.

      Delete
  18. විශ්වාස කරන්නත් අමාරු කතාවක් උනත් මම කෙළින්ම මේ දේවල් බැහැර කරන්නෙ නෑ.ආර් කේ නාරායන්ගෙ ජීවිත කතාවෙ මෙහෙම දෙයක් කියෙව්වා මතකයි. මම නම් කවදාවත් ඔය අධි මානසික විද්‍යාව පස්සෙ ගියෙ නෑ.

    ReplyDelete
    Replies
    1. විශ්වාස කරන්න අමාරුනම් විශ්වාස නොකර ඉන්න එක තමා හොඳ හැලපේ. අර උඹ ඉන්ද්‍රට අතවත් තිබ්බේ නැහැ කියල මම විශ්වාස කරනවා වගේ. ඕවා පස්සේ යන අපි වගේ එවුනුත් ඉන්නවා. ඒකට කියන්නේ කුතුහලය කියල. හේ හේ

      Delete
  19. ඔබ වගකිමෙන් යුතුව ලියන බව තේරුම් ගතිමි. ලියන්න අජිත් මෙවැනි දෑ ගැන කුතුහලය කිසි දිනක සන්සිඳී නැහැ. බළන්ගොඩ ආනන්දමෛත්‍රෙය හිමියන් ගැන ලියවුන පොත් කියවීමෙන් නොව කීපවතාවක්ම ලඟින් හිඳ සවන්දෙන්නට මෙන්ම දකින්නට හැකි වූ දෑ නිසාත් කුතුහලය වැඩි වුනා මිස සන්සිඳී නැත.

    ReplyDelete
    Replies
    1. උන්වහන්සේ ගේ පොතක් දෙකක් මා ළඟ තිබෙනේව. ප්‍රේත, භූත ගැන කතා කරනවට වඩා ඉදිරියෙන් සිටිය නේද? මෙය ලියන්නේ වගකීමකින් තමා. මට මගේ මතයක් සනාථ කරන්න බොරු ලියන්නට අවශ්‍ය නැහැ. මෙහෙම ලියන කොට වෙනත් අදහසක් මතු වෙන්නත් පුළුවන්.

      Delete
  20. සමුද්‍රවෙත්තසිංහයන්ගෙ පොත් ආනන්දමෛත්‍රෙය හිමියන් මනුෂ්‍යයකු විදිහට දකින්න; ආශ්චර්යමත් වටිනා මනුෂ්‍යයකු ලෙස දකින්න උත්සාහ කරනවා. තව සමහරක් ඒ චරිතය අද්භුත තැනකට ගෙන ගිහින් තියනවා. ඔබ ළඟ සමුද්‍රගේ පොත් නැතිනම් ගෙන්වාගෙන හෝ කියවන ලෙස ඉල්ලමි. ඔබේ සිව්වන ලිපිය පැමිණ ඇද්දැයි නොඉසිල්ලෙන් පැමිණියෙමි

    ReplyDelete
  21. බොහොම සතුටුයි ඔබ ගොඩ නගාගෙන මතය කාලයට ආදර්ශයක් වගේම වැඩිදුරටත් ප්‍රචලිත කිරීම මුහුණත් පිටුවල දිස්වන්නේ නම් දූෂීත මනසවල් ඔබගේ ලිපි කියවන්න උත්සහ ගැනීම සැකයක් නැත.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .