Saturday 27 April 2019

ජනාධිපති සිරිසේන සිරකරුවෙක්ද - පල්ලියේ ඛේදවාචකය හා රෝහණ විජේවීරගේ පුනරාගමනය

කොච්චිකඩේ දේවස්ථානය 
ශ්‍රී ලංකාවේ පසුගිය පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර මාලාවෙන් මියගිය සංඛ්‍යාව දෙසිය පණහ ඉක්මවා ගොස්ය. නොයෙකුත් වාද විවාද බහුල මේ අවධියේ මෛත්‍රීට හා රනිල්ට දෝෂාරෝපණය කරන්නන්ද හතර පස් ගුණයකින් වැඩිවී තිබේ. මේ ලිපිය ඔවුන් ඒ අපවාද වලින් බේරා ගැනීමේ ප්‍රයත්නයක් නොවේ.

බටහිර මාධ්‍ය බොහොමයක ප්‍රධාන සිරස්තලය වූයේද මේ සිද්ධීන් මාලාවයි. මගේ සිතේ  නැගුනු ප්‍රශ්නයක් නම් මේ ප්‍රහාරය බටහිර මාධ්‍ය කියන පරිදි ක්‍රිස්තියානියට එරෙහි යුද්ධයක් ද?  එසේ නොමැති නම් බෞද්ධ රාජ්‍යයකට එරෙහිව  යුද්ධ ප්‍රකාශ කිරීමක්ද? බෞද්ධයන්ට එරෙහිව නම්  ප්‍රසිද්ධ  පන්සලකට ප්‍රහාරයක් එල්ල නොවූ යේ  මන්ද ?

මා 2018 අප්‍රේල් 02 දා ලියූ මේ ලිපිය ( සෝවියට් විවාහ ගැන නොවේ - 5)
 අවසන් කළේ අල්ලාහු අක්බර් කියාය.  ශ්‍රී ලංකාවේ දේශපාලන බල තුලනය වෙනස් කිරීමට කිසියම් රටක් අන්තවාදය උපයෝගී කරගනු ඇත යන අනතුරු ඇඟවීම කළේ ඒ ලිපියෙන්ය.

 රජය:
අගමැති  රනිල් ආරක්ෂක රැස්වීම් වලට කැඳවා නැත්තේ ජනාධිපති තුමාය. නියෝජ්‍ය ආරක්ෂක ඇමති රුවන් ජයවර්ධන ද ආරක්ෂක රැස්වීම් වල සිටියේ නැත? එසේ කියා ඔවුන්ට මේ වගකීමෙන් බේරිය හැකිද? පිළිතුර නැත යන්නය. ආරක්ෂක හමුවලට නොකැඳවීම පමණක් නොව නීතිය  හා සාමය අමාත්‍යංශය  ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා මහතාට භාර නොදීම පිළිබඳවද අගමැතිවරයා ක්‍රියා කලේ ඇල්මැරුණු ස්වභාවයකිනි.  ඒ ඇයි?

පොලිසිය භාරව  සිටින්නේ ජනාධිපතිය.  නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ප්‍රභූ ආරක්ෂක අංශ වලට ප්‍රහාරය පිළිබඳව අනතුරු ඇඟවීම් කර ලිපියක් යවා තිබේ. එසේනම්  මෙම අනතරු ඇඟවීම අගමැතිට යවන්නට එපා යයි කිවේ කවුද? ඔහුට (අගමැතිට)  සැබවින්ම එය නොලැබුනාද? ඇමති හරීන් ප්‍රනාන්දු ඇත්තටම දැන ගත්තේ පියාගෙන්ද? නැත්නම් අර ලිපියෙන්ද? ඔහුගේ බොළඳ ප්‍රකාශය ඇමතිවරයෙකුට නොවටිනා එකක් බව වෙනම කරුණකි.

අනිකුත් ඇමතිවරුන් පුවත්පත් සාකච්චාවේදී සිනහ වෙමින් සිටියේ රටේ  ආරක්ෂාව භාරව සිටි ප්‍රධානියා ජනාධිපතිවරයා වූ  නිසා "කෙළ  වුණා නේද ඔහෙට " යන හැඟීමෙන් ද?

අර ගිය වසරේ ලියූ මුල් ලිපියේ මා කිවේ මුස්ලිම් රටවල්ද මේ සමීකරණයට එක්වෙන බවය. නැගෙනහිර දිගින් දිගටම වහබිවාදය ව්‍යාප්ත වෙමින් සිදු වූයේ එයයි. ඒ සඳහා මූලික අඩිතාලම දැමුවේ සෞදි  අරාබියට ශිෂ්‍යත්ව ලැබ එහි ඉගෙනුම ලබා පැමිණි අයයි.  ඊට අමතරව සෞදි  මුදල්ද නොයෙකුත් ව්‍යපෘති වලට යයි කියමින් නැගෙනහිරට ගලා එන්නට විය. මුස්ලිම් ඡන්ද නැති කර ගැනීමට නොහැකි නිසා රනිල් පාර්ශ්වය මෙන්ම මහින්ද පාර්ශ්වයද  නිහඬව සිටි බව රහසක් නොවේ.

රාජපක්ෂ කණ්ඩායම:
ගෝඨාවාදී කණ්ඩායම අගමැති රනිල් සහ කැබිනට්ටුවට විරුද්ධව හඬ නගනු පෙනේ. මහින්ද සහ  ගෝඨාභය රාජපක්ෂ මහත්වරු සමග තව්හිඩ් ජමාල් සම්බන්ධය පිළිබඳවද ප්‍රබල හෙළි දරව්වක් තිබේ.
ගෝඨාභය මහතා ආරක්ෂක ලේකම්ව සිටි අවධියේ තව්හිත් ජමාඩ් හි ලේකම් වරයා බුද්ධි අංශයේ ඔත්තුකරුවකුව සිටි බවට චෝදනාවක් පවතී. එසේම එම කණ්ඩායම මහින්ද මහතා සමග සිටියදී ගත් ඡායා රූපයක් ද ඇත. එසේම ජනතා  විමුක්ති පෙරමුණේ නාම  යෝජනා මාලාවක එක බෝම්බ කරුවෙකුගේ පියා සිටී. චෝදනා කෙසේ වුවත් ජවිපෙ නායකත්වය මේ තැනැත්තා මුස්ලිම් ජාතිවාදයට සම්බන්ධ බවට දැන සිටි බවට සාක්ෂි නොමැත. ඒ බව බොහෝ විට පවසන්නේ (බුකියේ) ගෝඨා වාදීන් ය.  මට සිතෙන විධිහට ඒ මහින්ද - හා ගෝඨා ට එල්ලවන අපවාදයෙන් මිදීමට විය හැකිය. එසේම එම  මුස්ලිම් සංවිධාන සමග සම්බන්ධ ඇමතිවරු යුඇන්පී කැබිනෙට්ටුවේ සිටින බවට චෝදනා ඇත.

මේ පටන් ගත්තේ ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානින් ට එරෙහිව ලෝක ශුද්ධ යුද්ධයේ එක ජවනිකාවක්ද ? බටහිර හා පෙරදිග (east and west ) ශිෂ්ටාචාරයන් හි ගැටීමක්ද? බොහෝ අය ඔබට අවබෝධ කරවන්නට හදන්නේ එයයි. ශ්‍රී ලංකාව පෙරදිග රටකි. ශ්‍රී ලංකාවේ  සිංහල  බෞද්ධ ශිෂ්ඨාචාරය පිලිබඳ බොහෝ කියැවීම් තිබේ. බොහෝ කතෝලික ප්‍රගතිශීලින් මෙන්ම සිංහල වාමාංශික හා ලිබරල්වාදී (බෞද්ධ විය හැකිය) අය මේ "සිංහල බෞද්ධ" දැක්මට නිරන්තරයෙන් සමාජ මාධ්‍ය, රූපවාහිනී පුවත්පත් මගින් විවේචන කරනු දැකිය හැකිය. සිංහල බෞද්ධයා කොඩිය ඔසවාගෙන යන මහා සොහොන්  බලකාය ඇතුළු අනිකුත් ජාතිවාදී සංවිධාන වලට   මුස්ලිම් සහ කතෝලික ජන වර්ග දෙකම  සමග ඇරියස් තිබේ. එනිසා අර ශිෂ්ටාචාර සමග ගැටීමේ බටහිර මතය ඉවත දැමිය හැකිය. ක්‍රිස්තියානි - ඉස්ලාම් ගැටීම ලංකාවේ පෙන්වන්නට ඔවුන්ට අවශ්‍යතාවයක් තිබෙන්නෙට නොහැකිය.

ප්‍රහාර පිළිබඳ මූලික චෝදනාව එල්ල වන්නේ ජාතික තව්හිත් ජමාත් නැමති කුඩා ත්‍රස්තවාදී සංවිධානයටය.  නමුත් අර අහම්බෙන්  නියෝජ්‍ය පොලිස්පතිවරයා  යැවූ ලියුම ඇරෙන්නට ඔවුන් මෙයට සම්බන්ධ  වෙන්නේ මැරුණු මුහුණු වලින්ය. ඒ කියන්නේ මොවුන් පහර දෙන බව, මේ කුඩා කණ්ඩායම පහර දෙන බව පොලිසිය, ආරක්ෂක ලේකම්, විපක්ෂ නායක ආදීන් දැන  සිට ඇත. ඒ කියන්නේ ජනාධිපතිද දැන  සිටීමට අවකාශය වැඩිය. නමුත් කුඩා කණ්ඩායමක් පැමිණ  රතිඤ්ඤා දෙක තුනක් පුපුරා යාවි යයි ඔවුන් සිතා  ඇති බව හිටපු ආරක්ෂක  ලේකම්වරයා  ගේ කතාවකින් හෙළි විය.

නමුත් මෙය කාලයක් මුළුල්ලේ ඉතා සූක්ෂමව සැලසුම් කර ඉතා නිවැරදි ලෙස එල්ල කළ ප්‍රහාරයකි.   දෙදෙනෙක්  ව්‍යාපාර හිමි ධනවතෙකුගේ පුතුන්ය. අවශ්‍ය ලොජිස්ටික් හා රහස්‍ය තොරතුරු සඳහා විසි කරන්නට මුදල් තිබී ඇත. ඒ ඇරෙන්නට කිසියම් දේශපාලන හා පාතාල ප්‍රබලයන්  කිහිප දෙනෙකුගේ හා විදේශ රහස් සංවිධානයක ආධාර ලැබී නැතැයි කිව හැකිද? මොවුන්ට මෙතරම් ප්‍රබල ප්‍රහාරයක්  කරන්නට අවශ්‍ය දත්ත හා සැලසුම්  සපයා ගැනීම ලෙහෙසි පහසු කරුණක් නොවේ.  නැත. ඒවා සපයා තිබේ. ඒ කවුද?

දැන් මා මේ ලිපිය ඉන්දියාව සමග නැගිටිමු  ලියුවේ 2018 පෙබරවාරි වලය. එහි ජේ ආර් ගේ ඇමෙරිකානු හිතැති රජය පෙරලීමට ද්‍රවිඩ කණ්ඩායම් වලට ආරක්ෂක හෙවනක් තමිල්නාඩුවේ සැපයුවේ ඉන්දියාවේ ඉන්දිරා  බව සඳහන් කළෙමි. ජේ ආර් හා යුඇන්පී එකට විරුද්ධ නිසා සිරිමා- මහින්ද ඉන්දියාවේ මේ අශුද්ධ ගේමට  වැඩිය විරුද්ධ වුයේ නැත. විරුද්ධ වුයේ ජවිපෙ හා ජාතික චින්තන කණ්ඩායම පමනි. ඉන්පසු වූයේ කුමක්දැයි අපි දනිමු.  සිවිල් යුද්ධය ජය ගැනීමට මහින්ද රජයට ඉන්දියාව  දැඩි ලෙස උදව් කල බවද දැන් අපි දනිමු.  ඒ තමන් කිරි පොවා දැඩි කල ප්‍රභාකරන් මහතාම  ඔවුන්ට දෂ්ඨ  කළ හෙයිනි.

පශ්චාත් යුද සමයේ  දැඩි ලෙස චීනයට ඇදෙන මහින්ද රජය  නවත්වන්නට මුස්ලිම් ප්‍රශ්නයක්ද දඩමීමා කරගෙන එම රජය පෙරලීමට පිටුපසින් සහය වූ විදේශ බලවේගය කුමක්ද  යන්නද දැන් අපි දන්නෙමු. ඒ කියන්නේ බොදු බල සේනාව නිර්මාණය වූයේ කෙසේද යන්න දෑස් වැසුනු ජාතිවාදී පිස්සන්ට  ඇරෙන්නට අන් අයට රහසක් නොවේ.

ඇඩම් ගැරී ගේ මේ ලිපිය බලන්න." කිසියම් බලවත් විදේශ රටක් ඇටවූ උගුලක ශ්‍රී ලංකා රජය වැටුණාද" 
ඔහු කියන අන්දමට ලංකාවේ මුස්ලිම් ජනගහනය 8% කි. මේ කුඩා ජනගහනයෙන් වැඩි හරියක් සිංහල බෞද්ධ අන්තවාදී කණ්ඩායම් වලින්  සුළු ප්‍රශ්න තිබුනද සිංහල  බෞද්ධයන් සමග සාමයෙන්  වෙසෙති.  එනිසා හෝටල් ගණනාවක් සම්බන්ධ කර මෙවැනි ප්‍රහාරයක් ලොජිස්ටිකලි එල්ල කිරමට මෙවැනි කුඩා ජනගහණයකට නොහැකිය. එයට විදේශ බලවේගයක් හෝ විදේශ රහස් ඔත්තු සේවයක සහය ලැබී නැති යයි කිව හැකිද?

වඩාත් වැදගත් ලිපියක් ඇත්තේ මෙහිය. රනිල් වික්‍රමසිංහ රජය නිදාගෙන සිට නැත. ගිය දෙසැම්බරයේ සිට යුදෙව් හත්සල්ලා එකමුතුව (United Hatzallah ) සහ ඇමෙරිකානු යුදෙව් කමිටුව ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ කර ඇත්තේ  කුමක්ද? එය විශාල ත්‍රස්ත ප්‍රහාර වලට මුහුණ දීමට කණ්ඩායම් කිහිපයක් පුහුණු කර ඇත. යොමුවට යන්න. 

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා  රටේ අගමැතිව  බලයෙන් පහ කලේ ගිය ඔක්තෝබරයේය. එක හේතුවක් වූයේ ඔහු ඝාතනය කිරීමට ඉන්දීය කුමන්ත්‍රණයක් ඇති බව පවසමිනි. ඔහු  පසුව ඉන්දීය අගමැති මෝදි අමතා එසේ නොකී බව පැවසුවේය.  ඉන්දීය - ඇමෙරිකානු ටිකට්ටුවෙන් බලයට පැමිණි ජනාධිපති වරයා හිටු කියා චීනයට කඩේ යන්නට පටන් ගත්තේ පසු කාලයකදීය. චීන වරාය  නගරය තව දුරටත් සිහිනයක් නොවේ. රනිල් රජයේ ගැලවුම්කරුවා වී ඇත්තේද චීනයමය. පසුගිය කාලයේ අත්සන් කල ගිවිසුම් දෙස  බලන්න.

ජනාධිපති කෙරෙහිද  බිජිං බලපෑම උත්සන්න වූ බව දිල්ලියට රහසක් නොවේ.

 ශ්‍රී ලංකාවේ ආර්ථිකය අසූ  ගණන්වල ඇමෙරිකාව දෙසට හැරීම "භාග සමාජවාදී " ඉන්දිරාගේ ඉන්දියාව නොඉවසුවාක් මෙන්ම මහින්ද සහ  සිරිසේන  කොමියුනිස්ට් චීනා ගේ  පැත්තට හැරීමද ඔවුන් ඉවසන්නේ නැත. සිරිමාවෝ වැනි මාඕ , චෞ එන් ලායි හා ඉන්දිරා  සමග ජාම බේරාගෙන  එකසේ කටයුතු කළ නායිකාවක් ලංකාවට  දැන් නැත. එසේ නම් ඉන්දියාව කළ යුත්තේ කුමක්ද?

ඇඩම් ගැරී ට අනුව යුද්ධය අවසන් වී වසර දහයක් පමණ ගතවී ඇති නිසා ලංකාවේ  ආරක්ෂණ යාන්ත්‍රණය ලිහිල්  වී ඇත. එය ස්වභාවික දෙයකි.  ලංකාවේ දේශපාලන භුමියේ වීරයා  වීමට ඉස්ලාමෆෝබියාව දහම කරගත් මෝදී ගේ ඉන්දියාව කළ යුත්තේ කුමක්ද?

රනිල් වික්‍රමසිංහ කෙතරම් ඉන්දීය වාදියෙකු වුවද ඔහුද චීනයේ සිල්ක් මාවත  යෝජනා ක්‍රමයට සහය දක්වන්නෙකි. එනිසා සිඝ්‍රයෙන් වර්ධනය වන  චීන සිල්ක් මාර්ග ව්‍යාපෘතිය හා චීන සම්බන්ධකම් වලට දඬුවම් පැමිණවීමට ඉන්දියාවට හා ඇමෙරිකා එක්සත් ජනපදයට වුවමනා නම් සංචාරක ව්‍යාපාරයට පහර දීම ගන්නේ මුල් තැනකි. ලංකාවේ කොන්ද කැඩීම ට එය ප්‍රමාණවත්ය.

පසුගිය කාලවල ඉන්දියාවේ සිදුවූ ජිහාඩි ප්‍රහාර  වල පිටුපස පකිස්ථානුවන් සිටියා  යයි කීවද වඩා ලඟින් සොයා බැලීමේදී හෙළිවන්නේ ඔවුන්ට පකිස්ථානයේ කතා කරන උර්දු භාෂාව පවා  කතා කිරීමට නොහැකි බවයි.  මේ මුසොල්මානුවන් ආගමික අන්තවාදීන් බව සැබෑය. නමුත් ඔවුන් හසුරුවන්නේ පිටරට අයිසිස් සංවිධානය යයි බොහෝ අය සිතති. නමුත් බොහෝ විට ඔවුන් හසුරුවන්නේ වෙනත් සංවිධානයක් විසිනි. සිරියාවේ එවැනි "වෙනත් අය " හසුරුවන සංවිධාන බොහෝය.

ඉන්දීය  හා ඊශ්‍රයල සංවිධාන ලංකාවේ කරන්නේ කුමක්ද? ඔවුන් විශාල ත්‍රස්ත පහර දීමකට මුහුණ දීමට 2018 දෙසැම්බරයේ මිනිසුන් පුහුණු කෙරුවේ ඇයි ? එසේම අප්‍රේල් හතර වැනිදා ඉන්දියානු ඔත්තු සේවා ප්‍රහාරයක් ගැන දැනුම් දී තිබුන බව දැන් හෙළිවී ඇත. මේවා පල්ලි වලට නොකීවේ ඇයි? කුඩා මුස්ලිම් ජනගහනයකින් මතුවූ කුඩා කණ්ඩායමක් ඔවුන් වැනිම වූ  කුඩා කතෝලික  ජනගහනයකට පහර දෙන්නේ ඇයි? ඔවුන්ට ඉන් ලැබෙන දේ කුමක්ද? සමහර විට ලෝක ප්‍රසිද්ධිය පමණි.  සිංහල  හා දෙමල ජනතාවගේ කෝපය මිස මුස්ලිම් ජනයාට ලැබෙන දෙයක් නැත.

දැන් මෙන්න මේ ලිපිය බලන්න. වෛද්‍ය ෆෞස්ට් යනු ජර්මන් කතාවක එන චරිතයකි. ඔහු යක්ෂයා සමග ගිවිසුමකට යන්නේ ලෝකයේ තිබෙන සියලුම දැනුම හා විනෝදය ලැබීමේ වාසි තකාය.  ලිපියේ මාතෘකාව ෆෞස්ට් මෙන් ශ්‍රී ලංකාවද  යක්ෂයා  සමග සම්බන්ධයකට ගිය බවකි.  මෙහි සඳහන්  යක්ෂයා  පකිස්ථානය සහ එහි රහස් ඔත්තු සංවිධානය වන ISI එකය (Inter-Services Intelligence). ඉන්දියාව ප්‍රතික්ෂේප  කල පසු LTTE සමග යුද්ධයේදී යුද උපකරණ ලංකාවට  වික්කේ චීනය සහ පකිස්ථානය බව ජෙනරාල් ෆොන්සේකා කියා ඇත. මේ නිසාම කඩි මුඩියේ LTTEය  අවසන් කිරීමට සහය දීමට ඉන්දියාවද තීරණය කළාය. ඇමෙරිකානු සහ ඉන්දීය රහස් ඔත්තු සේවා LTTE නෞකා ගැන ඔත්තු දුන්නේ එලෙසය. (ගෝඨාභය  මහතා ගෙන් අහන්න)

LTTE පරාජය කල පසු ලංකාවේ හිඩැස පිරවූයේ ඉන්දියාව නොව චීනය සහ පකිස්ථානය බව මේ ලිපියේ කියයි. එසේම 1971 පක් - බංග්ලා යුද්ධයේදී සිරිමාවෝ රජය පකිස්ථානයට ගුවන් හා ඉන්ධන පහසුකම් දීම ගැන මේ ලිපියේ කතා කරන්නේ අති  මහත් ද්වේෂයකිනි.   ඊට අමතරව ඉස්ලාමික ප්‍රහාර සහ ඉස්ලාමික අන්තවාදය  ශ්‍රී ලංකාවේ පතුරුවන්නේ පකිස්ථාන රහස් ඔත්තු සේවය  ISI බවට මෙහි කෙලින්ම චෝදනා කරයි.  මෙහි තරමක සත්‍යතාවයක් නැත්තේම නොවේ. සෝවියට් හමුදා ඇෆ්ඝන් මුජහදීන් සමග කළ  සටනේදී ඇමෙරිකානු - සෞදි ආධාර මුජහදීන් ගරිල්ලන්ට ලැබුනේ මේ අයිඑස්අයි හරහාය. ඔවුන්ට සෞදි සම්බන්ධයක් තිබේ. නමුත් අල්  කයිඩා ප්‍රධානි ඔසාමා බින් ලාඩන් මරු දුටුවේ  පකිස්ථානයේය.මේ නිසා  සෞදිය තවත් අයි එස් අයි කෙරෙහි එතරම් විශ්වාසය තබන්නේ යයි කිව නොහැකිය. ඔවුන්ට කෙලින්ම එහි වහබිවාදය ඉගෙනීමට  එන ශ්‍රී ලාංකික මුස්ලිම් තරුණ තරුණියන් සිටී.  මේ නිසා පකිස්ථානය ශ්‍රී ලංකාවේ  උතුරු නැගෙනහිර ඉස්ලාමික අන්තවාදීන් පුහුණු කර දකුණු ඉන්දියාවට පහර එල්ල කිරීමට සැරසෙන බවට එන චෝදනාව බිඳ වැටේ. පකිස්ථානය සමග  ශ්‍රී ලංකාවේ ඇති සුහද යුධ සම්බන්ධතාවය ඉන්දියාවේ රුස්සන්නේ නැත.
බෝම්බ කරුවන් යයි කියන ඡායාරුපය 

ඒ අතරම වසර 2016 සත්හඬ පුවත්පතේ පළවූ ප්‍රවෘත්තියක් සමාජ ජාල වල සැරි සරයි ඒ තව්හිඩ් ජමාත් සංවිධානයේ සාමාජිකයන්ට   බුද්ධි අංශය යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටි අවධියේ මුදල් ගෙවූ බවයි. මේ ලිපිය බලන්න.
මෙහි ඇත්ත නැත්ත කෙසේ වුවත් මේ පිළිබඳව විරෝධයක් පෑමට මට නොහැකිය. ආරක්ෂක ලේකම් වශයෙන් බුද්ධි තොරතුරු සපයා ගන්නට එවැන්නක් කිරීම වරදක් ලෙස දැකිය නොහැකිය. එවැනි දෑ ඕනෑ  තරම් ඇමෙරිකන්, රුසියන්, බ්‍රිතාන්‍ය ආරක්ෂක ජාලයන් කරති.  ප්‍රශ්නය වන්නේ ඔහු එම ජාලය  දැන් භාවිතා කළේද යන්නයි. ඔහුට චෝදනා කරන අය ඔහු එසේ කළ බවට සාක්ෂි සැපයිය යුතුය.

මේ ලිපියේ ටැමිල් ගාඩියන් වෙබ් අඩවිය ගැන සඳහනක් එයි. පකිස්ථානය සමග ඇති සම්බන්ධතාවයට ඉන්දියාව එදා විරුද්ධ නොවුනේ ශ්‍රී ලංකාව හරහා LTTE සංවිධානය පරාජය වනු දැකීම ඉන්දියාවේ අභිප්‍රාය වූ නිසාය. නමුත් 2003 දෙසැම්බර් මස පකිස්ථාන  ජෙනරාල් ඛාන් ගේ ශ්‍රී ලංකා ගමන ඉන්දියාව අනුමත කළේ නැත. එයට හේතුව ඉන්දියාවට විරුද්ධ ජිහාඩ් යුද්ධයේ සැපයුම් කරුවක ඔහු බවට ඉන්දියාවේ සිතීමයි. දැන් මේ ටැමිල් ගාඩියන් එකේ කර්තෘවරයා ම බිබීසී සේවයට කිවූ කතාවක් අන්තර්ජාලයේ සැරිසරයි. ඒ සිංහල බෞද්ධ අන්තවාදය මේ ප්‍රහාරයට හේතුව බව ඔහු පුන පුනා පැවසීමයි. එම ප්‍රක්ෂයට විරුද්ධව පෙත්සමක්ද මේ දිනවල අන්තර්ජාලයේ  සැරිසරයි.   මතක තබා ගන්න බිබිසී දකුණු ආසියානු සේවයේ රැකියා කරන්නන් බොහොමයක් දකුණු ඉන්දීය ජාතිකයන්ය. ඔහු කිවූ දෙයෙහි සම්පූර්ණ වැරැද්දක් නැත්තේ සිංහල බෞද්ධ අන්තවාදයේ පැවැත්ම  බොරුවක් නොවන නිසාය. නමුත් මේ සිද්ධියේ බෝම්බ පිපිරුනේ සිංහල බෞද්ධ ස්ථාන වල නොව කතෝලික පල්ලි  හා සංචාරක හෝටල් වලය. චීන ආයෝජනයක් වූ ෂන්ග්‍රි- ලා ද එකකි. ඉන්දියානු  සම්භවයක් ඇති ටාජ් සමුද්‍රා හෝටලයට ගහන්නට පැමිණි ත්‍රස්තවාදියා අනිත්ම මොහොතේ හැරී ගොස් තමන්ම බෝම්බ පුපුරුවාගෙන අහිංසක පෙම්වතුන් දෙදෙනෙක්ද මරාගෙන මැරුණේය.
ටැමිල් ගාඩියන් කර්තෘ වුවමනාවෙන්ම හෝ ඔහුට ලැබුණු උපදෙසකට අනුව මෙවැනි ප්‍රකාශයක් කළාද? හේතුව මේ කරන්නේ සිංහල බෞද්ධයන් යි හඳුන්වා ගන්නා  කණ්ඩායම් ඕනෑ කමින්  ඇවිස්සීමක් හෙයිනි.

රකේෂ් ක්‍රිෂ්ණන් ගේ ලිපියේ අවසාන කොටස බලන්න.  ඔහු කියන්නේ   ශ්‍රී ලංකාව මේ ව්‍යාකුල තත්වයේ සිටීමට ඉන්දියාව වගකිව යුතු බවය. "ශ්‍රී ලංකාවේ දෙමළ  ඊලාම් රාජ්‍යයක් නොසැදීමෙන් ඉන්දියාවට සැමවිටම අවනත වෙමින්  කටයුතු කළ ශ්‍රී ලංකා දෙමළ  ජනතාවට  ඉන්දියාව  කලේ මහත් අසාධාරණයකි.  කාශ්මීර මිනිසුන්ට වඩා මේ දෙමළ ජනතාව ඉන්දියාවට ආදරය  කරති. ශ්‍රී ලංකාව පකිස්ථාන ඔත්තු සේවය  අයිඑස්අයි තුරුලේ තබාගෙන නළවයි. 
සිංහල නායකත්වයට මතක් කර දිය යුත්තේ ශ්‍රී ලංකාව ඇත්තේ ඉන්දියාවේ පිටුපස (backyard) බවය. පකිස්ථානය ඇත්තේ ශ්‍රී ලංකාවට  සැතපුම් දහස් ගනණක් ඈත්වය.දේශීය ගිනි නිවන්නට ජලය ඈත රටවලින් ගෙන ඒමට කොළඹට නොහැකිය. " මේ මුළු ලිපියම පාහේ  තර්ජනයකි.

සිරිසේන ජනාධිපතිගේ ඩිලෙම්මාව 

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඔහුට මරණ තර්ජනයක් ඇතැයිද එය රෝ
(ඉන්දියානු රහස් ඔත්තු සංවිධානය) එකෙන් විය හැකි යයිද නාමල් නමැති විහිළුකාරයෙකු ලවා  ප්‍රකාශයක් කෙරෙව්වේය. එය තව දුරටත් විහිළුවක් යයි මට සිතිය නොහැකිය. ඔහු එළඹෙන අන්තරාය දැන දැනම සිංගප්පූරුව ට  වී සිටියේ ඇයිදැයි මට දැන් සිතා  ගත හැකිය. ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා මහතාට දිගින් දිගටම නීතිය හා සාමය ආරක්ෂක අමාත්යංශය සමග භාර  නොදෙන්නේ ජනාධිපතිට ඔහුගේ ඇති පෞද්ගලික වෛරයකට වඩා විශාල රටකට ෆොන්සේකා අවශ්‍ය නැති වීම විය නොහැකිද? ෆොන්සේකා මහතා යුද්ධය අවසන් කාලයේ සිටියේ චීනයේය. ඔහු චීනයට  හා පකිස්ථානයට වඩා හිතවත් බවට ඉන්දියාව සිතන්නේ යයි කිව නොහැකිද?

එසේ නම් රනිල් වික්‍රමසිංහ මහතා වැනි ඉන්දියාවට  විරුද්ධ නොවූ ඉන්දීය උදව්වෙන් පත්වුවෙකු ෆොන්සේකා මහතා  පත් කිරීමට ඉල්ලන නේ ඇයි? බොහෝවිට රටෙන් හා එජාපයේ අනිකුත් අයගෙන් ලැබෙන බලපෑම නිසා විය හැකිය. එසේම ඔහු ෆොන්සේකා මහතා ආරක්ෂා අමාත්‍යංශයට යැවීමට පහුගිය කාලයේදි එතරම් උනන්දු වූවා යයි මට නොසිතේ. අගමැති කම රැක ගැනීමට සටන් කළත් නීතිය  හා සාමය රකිම ගැන ඔහු සටන් කළේ නැත.

රනිල් වික්‍රමසිංහ සේද මාවත  ව්‍යාපෘතියට මෙන්ම වරාය නගරයටද විරුද්ධ නැත. එනිසා  ඉන්දියාවට  තව දුරටත් අනවශ්‍ය  අවලංගු කාසියකි.  ඇමරිකා එක්සත් ජනපදය තමන්ගේ පැත්තේ තබා ගැනීමට ඇමෙරිකාව පනවන ඕනෑම කොන්දේසියකට යටත් වීමට  රනිල් වික්‍රමසිංහට සිදුවේ. එනිසා ඇමෙරිකාවද දිනුම්ය.

මා  2018 පෙබරවාරි මාසයේ ලියු ලිපියේ සඳහන්  කළේ සිංහල බෞද්ධ නායකයකු චන්දයෙන් පත් කිරීමට ශ්‍රී  ලංකාවේ  ප්‍රශ්න ඇති කළ යුතු බවයි. මා කීවේ මෙයයි.
"එවැනි රටකට නැගෙනහිර පැත්තේ මුස්ලිම් වරුන් සමග හෝ උතුරේ ඉතිරිවී සිටින දෙමල කණ්ඩායම් සමග සම්බන්ධතා  ඇති කර ගත හැකිය. විදේශයේ විශේෂයෙන්ම  එංගලන්තයේ හා කැනඩාවේ සිටින විසිරුන එල්ටීටීඊ කණ්ඩායම් සමග මුදල් මත  සම්බන්ධතා ගොඩ නගා  ගත හැකිය. බෝම්බයක් දෙකක් පිපිරවීම , පොඩි ප්‍රශ්නයක් ඇති කර සිංහල පෙදෙස් කුපිත කිරීම කළ හැකිය. සිංහල සංවිධාන කිහිපයකට  මුදල් පොම්ප කල හැකිය. සමහර විට පසුගියදා දිගන හා අම්පාර ප්‍රදේශයේ සිදුවුයේ ට්‍රයල් රන් එකක් විය හැකිය. මුදල් විසි කරන ප්‍රමාණය අනුව ලංකාවේ  "ප්‍රශ්න" හා "අරගල" ඇති කල හැකි බව පසුගිය කාලයේ සිදුවූ යම් යම් සිදුවීම් වලින් පැහැදිලි වේ"


ඔවුන් නැගෙනහිරින් ශ්‍රී ලංකාව අවුළුවා තිබේ, නමුත් තෝරා  ගන්නා සිංහල බෞද්ධ නායකයා කවුද? මට පෙනෙන විධිහට  එදා කිවූ පරිදි බැසිල් රාජපක්ෂ සමීකරණයේ තව දුරටත් නැත. මට සිහි වන්නේ තිදෙනෙකි. මුල් දෙදෙනා  ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ  අමාත්‍ය චම්පික රණවකය.  නෝර්වීජියානු ආධාර සමග ඉන්දියානු කුමන්ත්‍රණයකින් නිපදවුණු බොදු බල සේනාවට හසුවී තම සහෝදරයාගේ පරාජයට මග කැපුවේ ගෝඨාභය රාජපක්ෂය. දැන් ඔහු තමන්ගේම සංවිධාන සමග ජනාධිපති සටනට එළි බැස ඇත. ඉන්දියානු භක්තිමතකු ලෙස මා සිතන රාජිත සේනාරත්න මහතා චම්පික  රණවක ජනාධිපති අපේක්ෂක ලෙස තෝරා ගන්නවාට  අකමැති බව ඔහු විසින් දුන් සම්මුඛ සාකච්ඡාවකින් පැහැදිලි විය. නමුත් රාජිත ජාතිවාදී පැත්තේ කවදාවත් සිටියේ නැත. එනිසාම ඉන්දියාවට ඔහු තෝරා ගැනීමටද  නොහැකිය.  තුන් වැන්නා වන්නේ ජනාධිපති සිරිසේනමය. අයිසිස් යයි කියන ත්‍රස්තවාදීන් ට නිදැල්ලේ සිටීමට ඉඩ හැර ඉන්පසු ඔවුන් පරදවා  ජාතික නායකයෙකු ලෙස කරලියට  ආවොත් ඔහු දිනනවා සිකුරුය. ඉන්දියානු දාදුව  මේ තිදෙනා  වටා කැරකෙනවා ඇත යන්න මගේ හැඟීමයි.

කවුරු මොනවා කීවත් ඊළඟ ජනාධිපති වන්නේද ඉන්දියාව කමැති නායකයාය. විමල් වීරවංශ මහතා මොනවා කීවත් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති  බලතල නැති කිරීමේ නව ව්‍යවස්ථාවට සහයෝගය දෙන්නේ ඒ නිසා විය හැකිය. පාර්ලිමේන්තුවට වග කියන අගමැතිවරයෙකු  ශ්‍රී ලංකාවට  වඩා හිතකරය.

අසාර්ථක විප්ලවයක් (1971) හා නරෝද්නික් වාදී මරණීය ව්‍යාපාරයක් (1988-1989) මෙහෙයවූ රෝහණ විජේවීර මහතා ගේ පන්ති පහෙන් එක පන්තියක් වූයේ ඉන්දියානු ව්‍යප්තවාදයයි. ඔහුට එය නම් කරන්නට තිබුනේ "ඉන්දියානු අත පෙවීම් " කියාය.


Sri Lankan Authorities May Have Fallen Into a Trap Set by a Foreign Power

How Israel helped Sri Lanka prepare for mega-attacks

Israeli emergency responders share expertise in India, Sri Lanka

Sri Lanka's Faustian bargain with Pakistan: Exit LTTE, enter ISI

සෝවියට් විවාහ ගැන නොවේ - 5

ජාතික තව්හිත් ජමාල් සංවිධානයේ සාමාජිකයින්ට බුද්ධි අංශ ලැයිස්තු වලින් ගෝඨාභය පඩි ගෙවූ හැටි හෙළිවේ




28 comments:

  1. පාර්ලිමේන්තුවට වග කියන අගමැතිවරයෙකු ශ්‍රී ලංකාවට වඩා හිතකරය.
    den penawane

    ReplyDelete
    Replies
    1. දැන් ඉන්නේ ජනාධිපති පත් කරන ජනාධිපති අස් කරන භාග සොම්බි අගමැතිවරයෙක් නේ . මම කියන්නේ පූර්ණ විධායක බලැති ව්‍යවස්ථාදායකයට පමණක් වග කියන අග්‍රාමාත්‍ය වරයෙක් ගැන. එහෙම නැත්නම් ඇමෙරිකා එක්සත් ජනපදයේ වගේ ජනාධිපතිව චෙක් කරන සෙනෙට් එකකුයි කොන්ග්‍රස් එකකුයි තියෙන්න ඕනේ.

      Delete
    2. Jagath Pathirana29 April 2019 at 06:16

      ශ්‍රී ලංකාව යනු ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටක්. මම සිංහලයෙක් එමනිසා මම මේ රටට ආදරේ නෑ (කොහොමත් මම ආදරේ ගෑණුන්ට විතරයි්) රටට කෙසේ වෙතත් සිංහල ජාතියේ අභිලාශයන්ට වැඩියෙන්ම ගැලපෙන ඕනෑම ආණ්ඩු ක්‍රමයකට මම කැමතියි.

      Delete
  2. බෞද්ධ මිනිස්සු කුලප්පු කරන්න ඕනි නං දේවස්ථාන වලට බෝම්බ ගහලා වැඩක් නෑනි, තව දවස් කීපයකින් එන වෙසක් උස්සවේ අල්ලලා බෝම්බ ගහන්න තිබ්බනි. එතකොට මීට වඩා අඩු හානියක් කරලා, මීට වඩා ලොකු අවධානයක් රටේ ගන්න තිබ්බා.

    දැන් ඔබවැනි බටහිර රටවල ඉන්නා අය මේ ගැන ලොකුවට කතා කරන්නේ විදෙස් මාධ්‍ය මේක ලොකුවට ආවරණය කරන නිසා. හැබැයි බෞද්ධ මිනිසුන් අතරේ මේ වගේ දෙයකදී තියෙන්න පුළුවන් තරමේ කිසිම ආවේගයක් නැහැ. සෝෂල්මීඩියා වල රගන හුජ්ජා කොල්ලෝ ලොරි ටෝක්ස් දුන්නට වැඩිහිටි බෞද්ධයන් අතරේ එහෙම කතාබහක් නෑ.

    මේ කණ්ඩායම අවුරුදු ගානක් තිස්සේ සුදානම් වෙමින් ඉදලා තියෙන්නේ. බෝම්බකරුවන් රැසක් ඔස්ට්‍රේලියාව, එංගලන්තයේ අධ්‍යාපනය ලබපු අය 2005-2012 අතරේ. ඒ කාලේ මේ රටවල් වල ඉගෙනුම ලබපු මුස්ලිම්වරු අතරේ ඒ අයට වෙන අසාධාරණ වලට විරුද්ධව නැගී ඉන්න ඕනි කියලා කතාබහ උන කාලේ. ඒ අනුව මෙවැනි පිරිස් බොහෝ රටවල කණ්ඩායම් පිහිටුවාගෙන, විශාල ත්‍රස්‌ත කණ්ඩායම් සමග සම්බන්ධතත්වයත් තබාගෙන ඉදලා තියෙනවා.

    ඒ අනුව කලින් කලට විවිද රටවල ප්‍රභාර දියත් කරනවා. ලංකාවෙත් එහෙම සුදානම්ව ඉදලා තියෙනවා. කයිස්චර්ච් ප්‍රභාරය නිසා මේක ඉක්මන් කරන්න ඇති.

    ඉන්දියාවේ මොදී ජන්දය නිසා පුළුවන් තරම් ජාතිවාදය අවුස්සමින් යන්නේ. ඒකයි ලංකාවේ සිදුවීම උනාම මෝදිට සහය දෙන මාධ්‍ය මෙච්චර මේ ගැන කතාකරේ, පකිස්ථානයේ ඉදලා ප්‍රහාරකයන් ආවා කියලත් කිව්වේ. මොදී ජන්ද රැස්වීමක පපුවට අත්දෙක ගහලා කිව්වනි එයාව ආයේ බලයට ගෙනාවම ලංකාවේ මේ උනා වගේ මුස්ලිම් ප්‍රභාර දියත් වෙන්න ඉඩ තියන්නේ නෑ කියලා. ඔව්ව ජන්ද ප්‍රකාශ විතරයි.

    ReplyDelete
    Replies
    1. //බෞද්ධ මිනිස්සු කුලප්පු කරන්න ඕනි නං දේවස්ථාන වලට බෝම්බ ගහලා වැඩක් නෑනි, තව දවස් කීපයකින් එන වෙසක් උස්සවේ අල්ලලා බෝම්බ ගහන්න තිබ්බනි. එතකොට මීට වඩා අඩු හානියක් කරලා, මීට වඩා ලොකු අවධානයක් රටේ ගන්න තිබ්බා.// අපෝ නැහැ ඔය කුලප්පු වෙලා ඉන්නේ හොඳට බෞද්දයන්ට ගහන එක අවාසියි කියල පේන්නේ නැත්ද

      Delete
    2. //ඉන්දියාවේ මොදී ජන්දය නිසා පුළුවන් තරම් ජාතිවාදය අවුස්සමින් යන්නේ. ඒකයි ලංකාවේ සිදුවීම උනාම මෝදිට සහය දෙන මාධ්‍ය මෙච්චර මේ ගැන කතාකරේ, පකිස්ථානයේ ඉදලා ප්‍රහාරකයන් ආවා කියලත් කිව්වේ. මොදී ජන්ද රැස්වීමක පපුවට අත්දෙක ගහලා කිව්වනි එයාව ආයේ බලයට ගෙනාවම ලංකාවේ මේ උනා වගේ මුස්ලිම් ප්‍රභාර දියත් වෙන්න ඉඩ තියන්නේ නෑ කියලා. ඔව්ව ජන්ද ප්‍රකාශ විතරයි.// ඔබතුමා කියන්නේ ඉන්දියාව ඇඟිලි ගහන්නේ නැහැ කියලද? එහෙමනම් කමක් නැහැ, මම බයේ හිටියේ

      Delete
  3. මාත කැපුවත් කොල මානසිකත්වයේ සිටි අපිටත් දැන් තේරෙනව ගෝඨාභය ඇර වෙන කෙනෙක් රටේ නායකත්වයට සුදුසු නැතිබව... අනිවාර්යයෙන්ම දැන් අපේ රට ජාතිය ආගම වෙනුවෙන් ගෝඨාභය සමගයි... ඒත් පචවංස බූරුව, වාසූ #කා, එස් එම් චන්ද්‍රසේන, රෝහිත අබේගුණවර්ධන මාල හොරා, අලුත්ගමගේ වගේ කම්බ හොරු නැතිව පිරිසිදු ගමනක් ආවොත් සියලු සිංහල මිනිස්සු ගෝඨාභයව දිනවාවි... ගෝඨාභය ගැන විශාල පැහැදීමක් තිබුනත් ඉහත හොරු හින්ද මධ්‍යස්ථ මතදාරීන්ට පැකීලීමක් තියෙනව... සරත් පොන්සේකාට සුදුසු ස්ථානයක් ලබාදී අපේ රට බේරා දෙන්න සුදුසු එකම විකල්පය වන්නේ ගෝඨාභය පමණක් බව හිතන්න පුළුවන්....

    ReplyDelete
    Replies
    1. //ගෝඨාභය ගැන විශාල පැහැදීමක් තිබුනත් ඉහත හොරු හින්ද මධ්‍යස්ථ මතදාරීන්ට පැකීලීමක් තියෙනව... // එහෙම එකක් තිබෙන බව නම් දැන් පෙනී යනවා

      Delete
  4. අන්ත දක්ෂිණාංශික ධනපති රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ලගම හිතවතෙක් වන අජිත් ධර්ම මහතා එකල ශ්‍රී ලංකාවේ බුද්ධි අංශය ගැන පලකෙරු ලිපි අපට මතකය. එකල ඔහු කරේ ඒවායේ ක්‍රියාකාරීත්වයන් විවේචනය කරමින් ලිපි ලිවීමය. කොටුවේ දුම්රියපළේදී සිදුවූ දෙයක් ගැන ඔහු ලියු ලිපිය අපට මතකය.

    අජිත් ධර්ම මහතා තවමත් උත්සහ දරන්නේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට සුදු හුණු ගෑමටයි. අපගේ ළමා ළපටින් ගැන කැක්කුමක් නැද්ද අජිත් මහත්මයා? ඇයි මේ තරම් අකාරුණික? අප ඔබතුමාට කෙරු වරද කුමක්ද? අපගේ ළමා ළපටින් අප සමග බෝම්බ වැදී මියයනවිට,අපගේ අවසාන හුස්ම හෙළනා විට හදවතින් නැගෙන වේදනාව ඔබට සතුටක්ද අජිත් මහත්මයා?

    ReplyDelete
    Replies
    1. බුද්ධි අංශ වල සමහරු දේශපාලන විරුද්ධවාදීන් මැඩ පවත්වන්න මිසක් ත්‍රස්තවාදීන් මැඩ පවත්වන්න ගත්තේ නැති තත්වයක් නේ තිබුනේ. නැත්ද? මාධ්‍යවේදීන්ට ගහන ඒවායේ පටන් රතුපස්වල දක්වා . මේ ලිපියේ රනිල වික්‍රමසිංහට සුදු හුණු ගෑමක් මට නමේ පේන්නේ නැහැ. හැබැයි ඉතින් මමනේ ලිව්වේ . ඔයාට එහෙම හිතෙනවනම් මොනවා කරන්නද

      Delete
  5. කිර්තීත් දැන් අඟහරු (Mars) ලෝකේ ගඩොල් (Bricks) කපන එකේ,
    මචං ධර්මෙ උඹට දිවයින ආරක්ෂක කොලම කරන්න බැරි ද බං ?

    ReplyDelete
    Replies
    1. මේවා බොරුයි කියල ඔප්පු කරපන් බන්ඒ ඇති

      Delete
  6. කිර්තීත් දැන් අඟහරු (Mars) ලෝකේ ගඩොල් (Bricks) කපන එකේ,
    මචං ධර්මෙ උඹට දිවයින ආරක්ෂක කොලම කරන්න බැරි ද බං ?

    ReplyDelete
    Replies
    1. මේවා බොරුයි කියල ඔප්පු කරපන් බන්ඒ ඇති

      Delete
  7. Just like all media, even Ajith is connecting this extremist attack to everything/everyone else (from B'nayaka, Some, Ganasara, MS, MR, Gota, JVP, Buddha, Jesus and Allah) Also expresses and justify Green/Blue/Red partisan views.

    In a democracy, all politicos need to work with people of all religions/races. No point trying to link current past politicos working or not working with Muslims for this terror attack.

    This is nothing but a colossal intelligence failure of the current MS+Ranil administration (full stop) No point talking about anything else. Not acted on last minutes information is one thing, bigger problem is not knowing anything about these terrorists at all.

    Weak leadership and infighting of MS+Ranil created havoc in economy first and national security now. Let's say Ganasara was not taken seriously, but to ignore foreign intelligence reports.

    Let's hope people will depose this weak leadership combination altogether.

    Joke of the day is, Ranil said I am not in the loop, then reporter ask, as a PM what loop are you in? I think the answer is none.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. /Joke of the day is, Ranil said I am not in the loop, then reporter ask, as a PM what loop are you in? I think the answer is none. // I like this joke. I am quite happy to accept what you are saying true backed by some strong evidence. To be honest, I am pro-India than Pro-China. I don't like Chinese encroachment of countries from Asia to Africa with their loans and thus breaking their backbone. New Chinese colonialism. I was supporting Pro-Indian policies most of the time and I wanted Tamils in SL to have an autonomy or more self governance. However, if India has gone this far that would be the breaking of the Camel's back. I wrote/partially translated these articles in a faint hope that someone would come and prove me wrong. At least.

      Delete
  8. අජිත් අයියා මේ අවසාන ජයරුපයට යොදා තිබෙන බෝම්බකරු හසුරුවන්නා කියන රතු කමිසකරු ප්‍රහාරකයා හා සම්බන්ධ අයෙක් නොවන බව රුපවාහිනියේ පෙනි සිටිමින් ඔහු පැවසුවා.පල්ලියේ සිටින විට ඔහුට දුරකථන ඇමතුමක් ආ බවත් ඒ ඇමතුමට පිළිතුරු දීමට ඔහු පල්ලියෙන් ඒලියට ආ බවත් දුරකතනයේ අනෙක් පස් සිටියේ පල්ලියේ පුජකවරයෙක් බවත් ඔහු පැවසුවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි . එයාව අයින් කරමු.

      Delete
  9. බටහිර පකිස්ථානය හා නැගෙනහිර පකිස්ථානය යුද්ධ කරන කාලයේම මේ රටේ විප්ලවයක් පටන් ගන්නට රෝහණ විජේවීරට උපදෙස් දුන්නේ කව්ද? නැවතත් ඊලාම් යුද්ධය පවතින විට ද ඔහු ඒ දෙයම කළේ කාගේ උපදෙස් පිටද? ඔහු මවිබිමට වඩා විදේශයකට ආදරය කළාවත් ද?

    ReplyDelete
    Replies
    1. මේක කියවනකොට මට මතක් වුනේ. ඒ යුද්ධේ කාලේම ලංකාව පකිස්ථානයට ඉන්ධන ගහන්න දෙද්දී වුනත් ඉන්දියාව කැරැල්ල මැඩ පවත්වන්න හමුදා කාණ්ඩයක් එවල තිබ්බ නැවකුත් එක්ක. ඒ දවස් වල කතාවක් ගිය අර ජි අයි ඩී එක්ක කට්ටිය ඇමෙරිකානු තානාපති කාර්යාලේට බෝම්බ ගහන්න ගියේ කුමන්ත්‍රණයකට කියල. ඒ කියන්නේ ජවිපෙ ඇතුලේ සීඅයි ඒ එකට වැඩ කරණ කට්ටිය හිටිය කියල.එතකොට ඉන්දියාව ඇමෙරිකාව හතුරෝ.
      ඊලම් යුද්ධය තියනකොට ආයිත් පටන් ගත්ත . ඒ නිදහස් අධ්‍යාපනය බේරගන්න එක පැත්තකින්. අනික ඉන්දියානු හමුදාවට එරෙහිව. එහෙම කිව්වට සංහාරයෙන් පස්සේ පැනල ගිය එක්කෙනා පක්ෂේ නායකයා උනා. එයා සිරිසේන කුරේගේ උදව්වෙන් පැනල ගිය ඉන්දියාවට. නමුත් පැනලා යන්න ඇත්තටම උදව් කලේ එය ඔත්තු දුන්න කට්ටිය හෙවත් රෝ එකමලු. එය ඊට පස්සේ ඒ පක්ෂෙම නායකයා වෙලා යුධයට සහය පල කළා ආණ්ඩුවත් එක්ක. ඉන්දියානු ස්ථාවරයත් එකමයි.

      Delete
  10. උබ ලියලා..හුග කාලෙකින්...බුකිය වහපු එකමයි හොද බලපන් මම ආයමත් බ්ලොග් වල

    ReplyDelete
    Replies
    1. කා ගැනද කිව්වේ. මම නම් දිගටම ලිව්ව

      Delete
  11. muslim ayata puslim warun kiyana eka nawaththanna

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් ලියවිලා තියනවද

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .