Saturday 28 September 2019

"ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " - විචාර 3 -ගෙවුනු සතියේ සොඳුරු සහ අතිශය සුන්දර දවසක - පද්මිණී මාතරගේ

ගෙවුනු සතියේ සොඳුරු සහ අතිශය සුන්දර දවසක ,සැන්දෑවක ,මිහිර හිතට එක් කලේ කොළඹ ගමයා (අජිත් ධර්ම ) ගේ ප්‍රථම ප්‍රේමය ඔබ නෙවේ නිසයි.

රුසියානු සංස්කෘතික කේන්ද්‍රයේදි තිබුනු ඒ පොත් දොරට වැඩුම සුවිශේෂී අංග කීපයක් නිසාම වඩාත් රසවත් හෝරාවක් වුනා කියලයි මට හිතෙන්නේ.

ලන්ඩනයේ ජීවත් වෙන, පරිගණක  මෘදුකාංග ඉංජිනේරුවරයෙක් වෙන අජිත් තුල මේතරම් සුන්දර සාහිත්‍යවේදියෙක් ඉන්නේ කොහොමද කියලා මට හිතා ගන්න බැරි වුනා. කොළඹ ගමයා බ්ලොග් එක ඒ දවස්වල ආසවෙන් කියෙව්වට ඒක ලියපු අජිත්ව මම මුලින්ම දැක්කේ මීට අවුරුදු කීපයකට කලින් ,විපුලි ලංකාවට ඇවිත් , සුන්දර රාත්‍රියක , රෑ පින්නේ ..මීගමුවේ කෝටේජ් එකක එළිමහනේ අපි හැමෝම වෙනුවෙන් තිබ්බ උත්සවයකදී යි. ඒ කතා ගොඩාක් දිගයි. .. ආදරණීයයි ... ඒක එහෙමයි .

කොහොම වුනත් පහුගිය දවසක රුසියානු සංස්කෘතික කේන්ද්‍රයේදි අපි නැවත හමුවුනා. අපි කිව්වට අජිත්, මම , වසන්ති , ප්‍රියා, සිසිර යාපා ඇතුලු තව බොහෝ දෙනා ඒ හමුව ඇතුලේ හිටියා. අජිත්ගේ වැඩේ වුණාට මගේ යාලුවොත් කීප දෙනෙක්ම ඇවිත් හිටියේ, මට වගේම අජිත්ගේ කොළඹ ගමයට පෙම් බැන්ද අය නිසයි . ඇත්තටම ඒක අතිශය සොදුරු සැන්දෑවක්.

මීට කළින් දවසක අපේ සිසිර යාපා ෆ්බී එකට ලියල තිබුණා වගේම සෝවියට් සමූහාණ්ඩුව ගැන මටත් තියෙන්නේත් අතීත කාමයක්. ඒ අතීත කාමය නිසාම කොහේ කොතැනක පොත් සම්බන්ධ වැඩක් තිබුනොත් තාමත් රුසියානු පොත් සෙවීමේ ,පොත් ගැනීමේ ආශාව නැති වෙලා නෑ.

මගේ ලෝකේ අදටත් ආදරෙන් ඉන්න චරිත අතර පාවෙල් කොර්චාගින්, සෂෙන්කා, සුන්දර නතාෂා,ආල්කා, දුයිෂෙන්, අල්තිනායි,ඉසෙර්ගිල් මැහැල්ල මේ හැමෝම තාමත් මා එක්ක ජීවත් වෙනවා කියලයි මට හිතෙන්නේ .

විප්ලවයේ කැඩපත කියලා ලෙනින් කිව්ව ටෝලස්ටෝයි වගේම මැක්සිම් ගෝර්කි, දොස්තයෙව්ස්කි තව ගොඩාක් දෙනාත් ඒ හිතේම බොහෝම ආදරෙන් ඉන්නවා .

සෝවියට් දේශයේ සමාජවාදී කඳවුර බිඳ වැටීම, ස්ටාලින්ගේ පාලනය වගේම විප්ලවීය ජනතා අරගලත්,සැබෑ මිනිසෙකු ගේ කතාවක්, ගුරු ගීතය,වානේ පන්නරය ලැබු හැටි මේ වගේ පත පොත ඒවායේ ජීවමාන චරිතත් මගෙ හිතේ තාමත් ජීවත් වෙනවා කියලා මට වැඩියෙන්ම දැනුනේ අජිත්ගෙ පොත් වැඩෙත් එක්ක ගතකල ඒ සොදුරු හෝරා කිහිපය නිසයි .

මගේ රුසියානු ප්‍රේමය කොයි තරම් ආදරණීය විදියට හිතේ තාමත් තියෙනවාද කියලා තේරුනේ අජිත් පොත එළිදැක්වීම සංවිධානය කරලා තිබුනු විදියටයි. උත්සවය මෙහෙය වූයේ චූලා අයියා . චූලානන්ද සමරසේකර ලියු කියූ කවි කෙටිකතා විචාර විග්‍රහ ආසවෙන් කියෙව්වට ලස්සනට උත්සවයක් මෙහෙයවනවා දැක්කම හිත සතුටින් පිරුණා .

ආචාර්ය සුනිල් සිරිවර්ධනගේ කවි කෙටිකතා කියවා තිබුනා . ඔහු ගැන ලක්බිම පත්තරේට මම ලිපි ලියලා තිබුනා . ඒත් ඔහු මේ තරම් ම්හිරට, අතිශය හැඟීම්බරව ගිටාරයක් වයමින් රුසියානු ගීතයක් ගායනා කරනවා දැක්කේ මුල්ම වතාවටයි. ඒ ගී හඬත් එක්ක මගේ හිත ස්ටෙප්ස් තණ බිම පුරා දිව ගියා. දොන් නදිය දිගේ පාවුණා. බීරියොසා ගස් අතරින් වගේ රිබීන කුරුල්ලන්ගේ පියාපත් අතරින් දිවගියා.

චන්ද්‍රගුප්ත තේනුවර ඔවුන් රුසියාවේ ගතකල ජීවිතේ ගැන කියද්දී , දෑස් පියාගෙන අහන් උන්නේ,ඒ ආදරණීය සුන්දර පරිසරය හිතින් මවා ගෙන. රුසියානු නර්තනයන්, රුසියානු ගීත මේ සියල්ලම කියන්න බැරි තරම් මිහිරක් හිතට ගෙනාවා.

ඒ සොඳුරු හෝරාවේ මිහිරෙන් සියල්ලන් ඒකාත්මික කරන්න ඔයා ගත් වෙහෙසට ගොඩාක් ස්තූතියි ආදරණීය අජිත්..

ඉතින්..අජිත්ගේ එහෙම නැත්නම් ආදරණීය "කොළඹ ගමයාගෙ "ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ කෘතිය ,මගේ රුසියානු සාහිත්‍යයට තියෙන අසීමිත ප්‍රේමයත් එක්ක මිහිරට රසවින්දා. ආදරය, දේශපාලනය , ශෘංගාරය මේ සියල්ල ගිහාන් තාන්‍යා ආදර කතාව තුල සනිටුහන් වෙලා තිබුනා. එක හුස්මට කියවන්න පුලුවන් රසවත් පොතක්. පිටු 360 ක් පුරා මේ ආදර කතාව එක්ක නිලධාරිවාදය , ඔත්තු සේවා..මේ සියල්ල අපූරුවට පෙළ ගස්වා තිබුන.පොත හුඟාක් ලස්සනයි .

පොතේ පිටකවරය ගැන ඔයාගේ මිතුරු මිතුරියන් විවිධ දේ ලියා තිබුනා . එහි පාඨක ආකර්ශනය සම්බන්ධයෙන් ගැටලු තියෙන බවයි බොහෝ දෙනා පෙන්වා දී තිබුනේ. ඒත් මම ඒ ගැන කිසිවක්ම කියන්නේ නෑ. මේ පොත කරද්දී මුහුණ දෙන්න වුනු කටුක දේ අප්‍රමාණයි කියලා මට හිතෙන්නේ . ඒක අජිත්ටත් දැනුනද කියන එක සැකයි. ඒත් මගේ නම් හිත රිදුනා. හිත සැලුනා.

ලන්ඩන් සහ කටුනායක ඉදල එහාට මෙහාට කාලයක් තිස්සේ ගිය දුරකථන සංවාද, මෙසෙන්ජර් මගින් හුවමාරු වුනු පණිවිඩ අප්‍රමාණයි . සිත් රිදවීම් මෙන්ම ඒකපාර්ශ්විය තරහවීම් 😃😃😃අප්‍රමාණයි. තරහ වෙන්න දෙන්නෙක් නැති වීම කොච්චර අඩුවක් ද කියලා මට හිතුනා .

අත්පිටපත නොකියවාම එය සීනිබෝල පොතක් කියල ප්‍රතික්ෂේප කරපු, තමන් මහ දැවන්ත ප්‍රකාශකයින් කියල අධිතක්සේරුවක සිටි ඇතම් ප්‍රකාශකයින් නිසා ඇතිවුනු සිත් රිදවිම් මේ සියල්ල මැද අජිත් මේ පොත කිරීම ගැන , ඒඅභියෝගයට ඉතාම සැහැල්ලු වෙන් මුහුණ දීම ගැන අප්‍රමාණ සතුටක් මට තියෙනවා .ඉතින් පොතටම එහෙම වෙද්දී පොතේ පිටකවරය ගැන මම මුකුත්ම කියන්නේ නෑ.

මම පොතක් කරන්නේ නෑ කියල ලවක්දෙවක් නැතිව බණින  මිත්‍ර නඩේ ලොක්කි තමයි වසන්ති. වෙලාවකට ආදරණීය යාලුවෙක් නොකිව යුතු දේත් ඒ අතර තිබුනා . පොත් මාතෘකාව නිසාම තරහ වුනු වාරත් අනන්තයි.

ඊලගට කවි පොතක් හරි කරන්නකෝ පද්මි කියල ඇවිටිලි කරන්නේ සුජි. එයා කැම්පස් යනකාලේ ඉදන් බොහෝම සෙනෙහසින් කරන ඉල්ලීමක් ඒක. දැන් දරු 3 දෙනෙකු ගෙ අම්මා කෙනෙක්. ඊ ලගට සුනේත්‍රා .ලක්බ්මේ ඉදිද්දි වගේම දැන් ස්විස්ටර්ලන්තයේ ඉදල වචන 100ක් කතා කලොත් 95 ක් ම පොත ගැන ඒ හැරුනම සිසිර ,ගයාන් මල්ලි.. විමුක්ති මල්ලී ඔය විදියට පරපුරක්ම ඉන්නවා. ලිස්ට් එක තව ගොඩාක් දිගයි. ඒ හැරුනම පොත් කතන්දරේදි අමතක කරන්නම බැරි අනික් චරිතය ආදරණීය ප්‍රියා නංගී ..දැනුත් කතා කලේ ඒ ගැන .

ඉතින් තවමත් පොතක් ලිව්වේ නෑ . ප්‍රකාශන ගැටලුව බොහෝම කටුක නිසා මම දිගින් දිගටම අත් හැරලා තියෙනවා . ඒක අතුරු කතාවක් .

අජිත් මේ සියල්ලටම නොසැලී මුහුණ දෙමින් සුන්දර කතාවක් අපිට තිළිණ කරලා තියෙනවා. ඒ ධෛර්යයට මම ගරු කරනවා .

ඔයා අතින් තව තවත් අරුත්බර සුන්දර නිර්මාණ බිහිවේවා !!!

-පද්මිණී මාතරගේ

"ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " - විචාර සටහන් 1 - බුද්ධිකා එරන්දි ජයසිංහ,   බෝධිනී සමරතුංග, කොලොම්පුරේ අසංග 

"ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " -විචාර 2 - සිසිර යාපා 

10 comments:

  1. අජිත් මට හරිම කනගාටුයි මේ උත්සවේට එන්න බැරිවීම ගැන. මම කරන්න හිතාගෙනම හිටපු දෙයක්. නමුත් බලාපොරොත්තු නොවිච්ච විදියට ගෙදර තුන්දෙනෙකුට ඩෙංගු හැදුනා මම ලංකාවේ හිටපු ටිකට. ඔබේ පොත එලි දක්වන දිනයෙදී මගේ මස්සිනා හිටියේ ICU එකේ. කොළඹ හිටියත් උත්සවට එන්න තරම් විවේකයක් ලැබුනේ නැහැ. අඩුම තරමේ පොත් ප්‍රදර්ශනේ තියා පොත් කඩයකටවත් යන්න තරම් ඉස්පාසුවක් නොලබිච්ච නිවාඩුවක්...

    කොහොම වුනත් මේ සටහන් කියවද්දී හිතෙනව උත්සවය අපුරුවට තියෙන්න ඇති කියල. පොතක් කෙසේ හෝ ගෙන්වා ගන්න උත්සාහ දරන්නම්.

    ReplyDelete
    Replies
    1. ඔබේ මස්සිනාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා. .ඔබ ඒ වෙනුවෙන් කාලය මිඩංගු කිරීම අත්‍යවශ්‍ය දෙයක්. කවුරු කීවත් ගස්ලබු කොළ යුෂ වලට ප්ලටල් කවුන්ට් එක වැඩි වෙනවා. විද්‍යාත්මකව හොයා බලා නැති වුනත් එහෙම කරලා සනීප වුනු කෙනෙක් දන්නවා. ඔබට හැකිනම් එන අයෙක් බව දන්නවා පැතුම් . ඒකෙ අවුලක් නැහැ. වැඩේ හොඳට ගියා.

      Delete
  2. මේ නෝනා සහ අර වසන්ති නානා.. සොරි.. නෝනා හිටියේ මම හිටපු තැනම ඉස්සරහ.. පත්තර වලට ලියන ටීවී වල කතා කරන ලොකු නෝනා මහත්තැන් ල නිසා මම ඉතින් කතා කරන්න ගියේ නෑ.. :)))

    ReplyDelete
    Replies
    1. බොරුව තමයි . ඔය එයාලා කතා කරනකම්ම බලන් හිටිය නේද අහංකාර කමට

      Delete
  3. උත්සවයට එන්න බැරිවීම ගැන කණගාටුයි. ඉංජිනේරුවෙකු තුළ මෙතරම් දක්ෂ සාහිත්‍යකරුවෙකු සිටීම ගැන ගොඩක් සතුටුයි. ඔබේ ඉදිරි සාහිත්‍ය කටයුතු සියල්ල සාර්ථක වෙන්න සුබ පතනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉරංග මල්ලි.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .