Friday 10 July 2020

බැවේරියාවට වෙඩිම ගන්න ගිය කොල්ලෙක් සහ පිරිසක්

තණමල්විල කොල්ලෙක් ගැන ලියන කොට හිතුන මේකත් ලියන්න. අපි ජර්මන් නෑදෑයන් සඳහා කරපු විවාහයේ උත්සවය ගන්න ගිය හැටි. ඒක තිබ්බේ ජර්මනියේ ශ්මිඩෆෙල්ඩ් කියන  පුංචි නගරයේ. අපි ලන්ඩන් වලින්  සුදු පාට ෆෝර්ඩ් ට්‍රාන්සිට් වෑන් එකක් කුලියට ගත්ත . මම හිතන්නේ අට  දෙනෙකුට විතර  තමයි යන්න පුළුවන්. අපිම තමයි ඩ්‍රයිව් කරන්නේ. මගේ අතීසාර යාළු මිත්තරයෝ  කිහිප දෙනෙක් තමා ආවේ යන්න  අපිත් එක්ක. ක්‍රිස් තමා වාහනේ වැඩි හරියක් යුරෝපය තුල පදවන්න  එකඟ වුනේ. කොහොමත්  යුරෝපයේ වාහනය පැදවීමට වඩාත් හැකියාව ඇත්තේ ක්‍රිස්ට  සහ ඉනෙස් ට කියල අපි පිලි ගත්ත.

එතකොට ක්‍රිස් ගේ හතරවෙනි හෝ  පස්වෙනි වයිෆ් විල්මත් ආව. ක්‍රිසා ට දැන් ඉන්නේ අට වෙනි හෝ  නම වෙනි  වයිෆ් නිසා මට නොම්මරේ හරියට මතක නැහැ කී  වෙනියද කියල. විල්මා ගුවතමලා කියන ලතින් අමෙරිකානු රටින් පැමිණි ලස්සන කෙල්ලක්.

එතකොට පොඩිකාලේ ඉඳන් මගේ යාළුවෙක් වන නීල් , එයාගේ පිය බිරිඳ ආශා , ඒ ගොල්ලන්ගේ දුව, පුංචි ලස්සන පොඩිත්ති සඳලිත් ගමනට එකතු වුනා  .   ආශා ව මම ඊට කලිනුත්  දන්නවා . ආශා  ඉගෙන ගත්තේ සෝවියට් දේශයේ මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ නිසා. ආව අනිත් යාළුවා තමා සුමුදු , එයා ඉගෙන ගත්තෙත් සෝවියට් දේශයේම ට්බිලිසි වල. (ජෝර්ජියාවේ).

මම ඩෝවර් වෙනකන් වාහනේ අරන් ගියාට පස්සේ වාහනේ දැම්ම ඉංග්‍රීසි ඕඩය තරණය කරණ  පී ඇන්ඩ් ඕ ස්ටෙනා ලයින්  නැවට. නැව  ඕස්ටෙන්ඩ් වල නැංගුරම දැම්මම   බෙල්ජියම් හරහා ජර්මනියට  යන එක තමා අපේ ප්ලෑන් එක. 

යුරෝපේ හරහා නැව, සොරි වෑන් එක ගෙනියන කාර්යය භාරව හිටියේ කලින් කිව්ව විධිහට ක්‍රිස්ට සහ ඉනෙස්ට  (මගේ බිරිඳ). ඉඳහිට මමත් නීලුත්  ඉදිරිපත් වුනා පැය කිහිපය බැගින් වාහනය  පදවන්න. ප්‍රධාන රියදුරු මහත්මයාට සහ මහත්මියට නිවාඩු දෙන්නත් එපැයි. ලන්ඩන් ඉඳන්  ඩෝවර් වලට පැය එකහමාරක් දෙකක් විතර යනවා , නැවේ ගමන  මම හිතන්නේ පැය හයක් විතර . එතන ඉඳන්  තව පැය දහයක් විතර එක දිගට වාහනය  පැදෙව්වොත් ජර්මනියට යන්න පුලුවන්.  අපේ ගමන් මාර්ගය වැටිලා තිබුනේ  බෙල්ජියමේ අග නගරය වන බ්‍රසල්ස් හරහා ජර්මනියේ කොලෝන් නගරයටත් එතනින් තුරින්ගියා කියන ජර්මනියේ මධ්‍ය ප්‍රදේශයටත්   යන්න.   

අපේ ගමනාන්තය වුනු  ශ්මිඩෆෙල්ඩ් කියන නගරයේ බර්ග් ස්ටුටන් හවුස් කියන පුංචි  හෝටලය. ඒකෙ තමා  විවාහ මංගල්‍යය පැවැත්වූවේ. මේ හෝටලයට සාමාන්‍යයෙන් එන්නේ ස්කි කරන්න යන අය. අපේ කට්ටියට සහ ජර්මන් නෑදෑයන්ට (මම හිතන්නේ පනහක් පනස් පහක් විතර හිටියා) . හැමෝටම එදා රෑ ඉන්න  රාත්‍රී කාමර බුක් කරලා තිබ්බේ නැන්දම්මායි, මාමණ්ඩියි.  රෑ වෙනකන් කාල බීල , විශේෂයෙන් බීල කවුරුත් යන්නේ නැති නිසා පටියකදී එහම කාමර වෙන් කර ගන්න එක ජර්මනියේ සිරිතක්. 



මුලින්  කතා කරගත්ත විධිහට බෙල්ජියම් වලදී ක්‍රිස් තමා වාහනය අතට ගත්තේ. 

ඉතින් ඩී ජේ ක්‍රිස් වෑන් එකේ සීට් එක උඩ ඉඳ ගත්තද නැත්නම් උඩ  පාවෙනවද කියල අපට සුවර් එකක් තිබ්බේ  නැහැ. ක්‍රිස් ට ලෝකයේ වටිනා පැළෑටියක් ගැන ආචාර්ය උපාධියක් තියනවා. ඔස්ට්‍රේලියාවට ඉංජිනියරින් කරන්න ගිහින් පස්සේ ලන්ඩන් වලට කෘෂිකර්මය ඉගෙන ගන්න ඇවිත් දැන් ලන්ඩන් නයිට් ක්ලබ් වල මෙගා ඩී ජේ කෙනෙක්. බොහොම ප්‍රසිද්ධයි. පැළෑටි ගැන කිව්වහම ක්‍රිස් ගේ ස්පෙෂලිටි එක තමයි වල් පැලෑටි.  
 
වෑන් එක  මෝටර් වේ එකකින් අරගෙන ඊළඟ එකට දැම්ම ක්‍රිස්. මේ මෝටර් වේ එකෙන් අනිකට දාන්න පොඩි හරස් පාරවල් තිබෙන බව යුරෝපයේ ඉන්න අය නම් දන්නවා ඇති. වෑන්  එක දාල ක්‍රිස් යනවා ආතල් එකේ. එක පාරටම මට පෙනුන තව වාහනයක් ඉස්සරහට  එනවා. මම හිටියේ හරි පැත්තේ ඒ කියන්නේ වම් පැත්තේ ඉඳගෙන. ක්‍රිස් දකුණු පැත්තේ විල් එක කරකවනවා ගානක් නැතිව.

මං කිව්ව්ව ක්‍රිස්ට - "මචං අර කාරෙක වැරදි පැත්තෙන් එන්නේ මොකද බං " 
"ඔව් බං ඌ සූස්තියක්වත් වත් ගහලද කොහෙද ? අනික මේ බෙල්ජියම් උන් හරියට බොන එවුන්නේ බන් "
ක්‍රිසා කියනවා.
තත්පරයක් ගියේ නැහැ මට හරි සිහිය ආව, වෙඩිම ගන්න යන ගමන්නේ. 
මම  කෑ ගැහුවා. 

"යකෝ ක්‍රිසා  අපි යන්නේ වැරදි පැත්තේ , හරවපන් හරවපන්. අනිත් පාරට දාපන් යකෝ....ව් "

ක්‍රිස් ගේ අටවැනි බිරිඳ, වැරදුනා හතරවැනි බිරිඳ විල්මා කතෝලික ආගම හොඳට අදහන  කෙල්ලක්. විල්මා කතිරේ ගහගෙන ඔරොසන්  කියවනවා. යදිනවා. මුළු වෑන් එකම කෑ  ගහනවා.

"හරි බං හරි " ඕකට කෑ ගහන්න ඕනෙද කියල ක්‍රිසා අර කාරෙකට මීටර් පහක් විතර තියල අනිත් පැත්තට දැම්ම.

බෙල්ජියම් කාරෙකේ හිටිය කපල් එකක්.   උනුත් වගේ වගක් නැතිව හැමදාම සිද්ධ වෙන දෙයක් වගේ ඔහේ ගියා. කාරෙක ස්ලෝ කලෙත් නැහැ, සුද්දෙක්, ඇමෙරිකන් කාරයෙක් වගේ ඔලුව එලියට දාල කෑ  ගැහුවෙත් නැහැ.    ලංකාවේ එකෙක් වගේ හෝන් එක ගහගෙන පරම්පරාව මතක් කලෙත් නැහැ. අපි තීරණය කළා උන් හොඳටම බීල ඉන්න ඇති කියල මේ මහා දවල්.

අපි මග විවේක ගන්න ස්ථානයක නවත්වලා තේකක් හෙම බිව්වා. ඉනෙස් හෙමින් සිරුවේ රියදුරු අසුනට නැග්ගා. නීල්  මැප් එක අරගෙන මාර්ගෝපදේශක කාර්යය භාර ගත්ත. ඒ දවස් වල ඔය ගුගල් මැප් නැහැ. ගාමින් ද කොහෙද කියල මැප් රීඩර් එකක් තිබ්බ වැඩ කලේ නැහැ. මායි ක්‍රිසයි පොඩ්ඩක් පිටි පස්සට ගිහිල්ල ඇල වුනා. 

හැබැයි ගමනේ අන්තිම හරියේ, මම හිතන්නේ කොලොන් වලින් පස්සේ ක්‍රිස් ආයි ඩ්‍රයිවින් කළා.ඒ වයසේදීම  හෘදයාබාධ හදා ගන්න ඕනේ නැති නිසා මම පස්සට වෙලාම හිටිය ඉතින්.

ඔන්න ගියා කියමුකෝ එතනට කරදරයක් නැතිව. 

වෙඩින් එක ගැන විස්තරේ පස්සේ කියන්නම්. පින්තූර තියනවනේ. පුංචි සඳලි අපිත් එක්ක රෑ වනතුරුත් නැටුව. 

එනකොට අපි ආවේ ඇම්ස්ටර්ඩැම්විල හරහා. ඒ පැත්තේ මල් පිපිලා. මම කිව්වේ ටියුලිප් මල්. අපි ඒවා බලන්නත් ගියා කියුකොන්හොෆ් වලට. ක්‍රිස් නම් හැම මල් ජාතියක්ම බලන්න ගියා. ඒ නගරයේ මල් විකුනනවා සල්ලි මාරු කරන තැන් වලත්. මල් කඩවල විතරක් නෙමේ. සමහර ආපනශාලා වල මල් පොකුරු එක්ක කේක් පවා විකුනනවා. හවස් වෙනකොට අපි කන්න ගියා හොඳ  ආපනශාලාවකට අම්ස්ටල් නදියේ  බෝට්ටු සංචාරයකත් යෙදිලා. 

ක්‍රිසා  හිනාවෙනවා. සුමුදුව , නීල් හෙම  ගල් ගැහිලා බලන් ඉන්නවා.  මම නම් පැනිරහ  විතරයි කෑවේ. අනිත් කට්ටිය නම් කෑවද කොහෙද.  ඊට පස්සේ ආශා ගියා පුන්චිත්ති සඳලි එක්ක හෝටලේට  නිදා ගන්න.

අපි ඉතින් ඔය  සැක්ස් මියුසියම් පැත්තට ගිහිල්ල ඒකත් බලල , ඒ පැත්තේ  රවුමක් දාලා රතු එලිය තියෙන පැත්තේ කැටයම් දාපු ලස්සන ජනේල බල බලා ගඟ  අයිනෙන් රවුමක්  දාල එනකොට ගල් ගැහිලා බයවෙලා හිටිය කට්ටිය යථා තත්වයට ඇවිත්.

ආපහු  එනකොට ඩෝවර් වලින් වෑන් එක නැවෙන් එලියට ගත්තේ මම. මොන හේතුවකටද මන්ද මම රිවස් කළා එලියට ගන්න කලින්. නැවේ  අර වාහන හසුරුවන දෙන්නෙක් උඩ පැනල අත වනන කොට දැක්කේ තව පොඩ්ඩෙන් වෑන් එක ඉංග්‍රීස් ඕඩයේ හෝදන්න දානවා කියල. 

කොහොම හරි දැන් ඉමිග්රේෂන් එකටත් ආවා. වීසා බලන තැන. වෑන් එකෙන් බහින්න ඕනේ නැහැ. මෙන්න ක්‍රිසා පොලිතින් බෑග් එකක් ගුලි කරලා ඩ්‍රයිවින් සිට් එක යට ගහනවා. 
මම ක්‍රිසා ට කෑ ගැහුවා.
" යකෝ ඕක විසි කරපන්. පිස්සුද මෙච්චර දුර ගෙනාවේ  මුහුදට විසි කරන්නේ නැතිව. "

 ඒ වෙලාවෙම වීසා නිලධාරියා වීදුරුවට තට්ටු කරලා පාස්පෝර්ට් ඉල්ලුව. 

  මම දුන්න පාස්පෝර්ට් ටික.  පිටි පස්ස බැලුවහම  වෑන් එක ඇතුලේ ජනතාවගේ මූණු අලුත් බිත්තියක්  කපරාරු කෙරුව වගේ පැතලි වෙලා. සුදුමැලි වෙලා. ගමන් මහන්සියට.

අර නිලධාරියා හිනා වෙලා පාස්පෝට් ටික දිලා යන්න කිව්වා.

මගක් දුර ගිහිල්ල  ක්‍රිසා ගුලි කරපු  පොලිතින් බෑග් එක අරගෙන කියනවා 
"මේකේ මුකුත් නැහැ බන් "

ඕන්  ඔහොමයි ජර්මනියේ වෙඩිම අරන් ආවේ. වසර විස්සකට කළින්. 

   පින්තූර පොඩ්ඩක් අප්සෙට්. ඇල්බම් එකෙන් මොබයිල් එකට ගත්ත නිසා.

පින්තූරේ  මැද ඉන්නේ නීල්,  වම් පැත්තේ ඉනෙස් සහ මම දකුනු පැත්තේ ක්‍රිස් සහ විල්මා හොටෙල් එකේදී 



ආශා සමග සඳලි ඉනෙස් ඉඳගෙන 
 

වම් පැත්තේ සිටින්නේ විල්මා සහ ක්‍රිස් , දකුණේ ක්‍රිස්ටොෆ් ඉනෙස් ගේ මාමගේ පුතෙක් 
ඇම්ස්ටර්ඩම් හි බෝට්ටු චාරිකාව 
 
 

16 comments:

  1. මං හිතන්නේ ක්‍රිස් ට ආචාර්ය උපාධිය තියෙන්නේ Cannabis sativa පැලෑටිය ගැන විතරක්ද කොහෙද?? මේ පැළෑටියේ නම විතරක් අපේ P. H. E. නෝනිස් මහත්තයගෙන් 1976-79 අතර කාලේ ඉගෙන ගත්ත දේවල් වලින් තවමත් මතකයේ ඉතුරු වෙලා තියනවා.
    අජිත් කියන විදියට වමෙන් පදවන රටවලට ගිහිල්ලා දකුණෙන් පදවන අය පිස්සු කෙලිනවා වගේම තමයි ඒකේ අනිත් පැත්තත්.
    ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ජර්මන් කාන්තාවක්, ජර්මනියේ නිවාඩුවක් ගත කරලා ගුවන් තොටුපොළේ සිට ගෙදර යන ගමනේදී පාරේ වැරදි පැත්තට දාලා මියගිය සිද්ධියක් දැන් වසර ගණනාවකට පෙර බැලරාට් නම් නගරය ආසන්නයේ සිදු උනා.
    මමත් සති දෙකක නිවාඩුවක් වමෙන් පැදෙව්වා. කොහොම හරි පන බේරාගෙන ආපහු ආවත්, සිග්නල් වෙනුවට වයිපර් දාන ලෙඩේ හොඳ වෙන්න දින කිහිපයක් ගියා.
    ක්‍රිස් වගේ අයගේ තියන එක හොඳක් හැටියට මම දකින්නේ මොන දේ උනත් "කලබල නොවීමයි".

    ReplyDelete
    Replies
    1. ඒ ඉගෙන ගත්ත දේවල් ලියන්න අපටත් දැන ගන්න .ක්‍රිස් තවම ලිපිය බලල නැහැ . මාව මරයිද දන්නේ නැහැ. සාමාන්‍යයෙන් බ්ලොග් කියවන එකෙක් නෙමේ . ඇත්තටම සිග්නල් වෙනුවට වයිපර් දාන එකේ වෙන්නේ එහෙන් කර එකෙක් කුලියට ගත්තම . අපට නිතර වෙන දෙයක්. ඔව්, ක්‍රිස් ඒ අතින් ග්‍රේට් . කිසිම දෙකට කිසි කලබලයක් නැහැ. සුපර් කූල්

      Delete
  2. හරිම ලස්සන මතකයක් . පහුගිය අවුරුද්දේ අපි ජර්මනිය, නෙදර්ලන්තය සහ බෙල්ජියම හරහා ඉංග්‍රීසි ඕඩය හරහා ආපු ගමනේ තැන් මතක් වෙනවා. රුසියන් කථාව වගේම මේ මතක එකතු කරලා තව නවකතාවක් ලියාවි කියල හිතනවා.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ස්තූතියි අනුරුද්ධ , අර ටෙලි නාට්‍යය බලද්දී මතකයට ආ දේ

      Delete
    3. ඔබේ ඒ මතකයන් ඉදිරිපත් කිරීම අගෙයි. හැමෝටම ජීවන ගමනේ මතක තිබුණත් කියවන කෙනාට රසවත් විදිහට ලියන්න පුළුවන් අය අඩුයි. තණමල්විල කොල්ලා ප්‍රංශයේ ඉදන් අතීතයට ආවා වගේ එංගලන්තයේ ඉදන් එක එක රටවලදී ඔබ ලද මතක ඉදිරියේදී ඒ වගේ සටහන් වලට ගොනු කරාවි කියල හිතනවා. ඒ සටහන් කියවන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා.

      Delete
  3. සරල වෙඩිමක් වගේ

    ReplyDelete
    Replies
    1. අපි කොහොමත් සරල මිනිස්සු නේ. හිටං වගේ නෙමේ . මේ දෙවෙනි වෙඩිම . ලංකාවෙත් එකක් තිබ්බ

      Delete
  4. ආශා ෆේස්බුක් එකට දැමූ කොමෙන්ටුව //Asha Sooriyabandara තණමල්විල නොවුණු ලංකාවේ කොල්ලගේ ජර්මන් මගුලට ගිය ගමනේ සොදුරු මතක සටහන් ගැන මටත් මතකය අවදි කරන්න හිතුනා. අපේ එවුන් උදේ පාන්දර වැඩකට අල්ල ගැන අමාරු වුනාට කට්ටයම පාන්දරින් අජිත්ලගේ ගේ දරට රැස් වෙලා වෙලාවට ගමන පිටත් වුනා මොකද මෙහෙ නැව් අපි එනතුරු නොහිට වෙලාවට යාත්‍රා කරන නිසා. සදලිට අවරුදු එකහමාරක් නිසා කිරි බෝතල් කෑම බීම සේරම පටවන ඉස්සලම අපි මෙච්චර ඈත් ගමනක් ගියේ. නමුත් අපට කරදරයක් නැහැ අනිත් අය අපරාදේ කියන්න බැහැ කෙල්ලව වඩාගෙන යනව බලාගන්නවා.
    මෙහෙ දකුණු පැත්තෙන් වාහන පදවපු පුරුද්දට ක්‍රිසා අද්වේගී මාර්ගය වැරදි පැත්තෙන් කඩාගෙන එලවනවා. දෙය්යෝ බුදුන් සිහිවෙලා අජිත් බෙරිහන්දුන්නේ සීට් එකෙන් නැගිටලා වෑන් එක ඇතුලේ හිටගෙන. හැප්පෙන්න ඔන්න මෙන්න තියල
    ක්‍රිසා කනේ වැලි ගෑ වෙන්න කපලා අන්ත පැත්තට දා ගත්තා. ඉනෙස්ලගේ අම්මලා අපිට හැම දේම ලස්ස්ති කරලා තිබ්බා. මගුල් ගේත් හරිම සුන්දරයි . බොරු සෝබන නැහැ මගුල උන්ට ඕනේ විදියට ආක්‍රමණය කරන පොටෝගෆෙර්ලා නැහැ. කෑම බීම දිගටම ගලාගෙන එනවා කට්ටියම අජිත්ට රැග දෙන ගේම් කරනවා නටනවා හරිම විනෝදමත්. මට යන්තම් මතක හැට්යට එක ගේම් එකක කණ්ඩායම් දෙකක අයට ගැහැණු යට ඇදුමකුත් පිරිමි යට ඇදුමකුත් හොයන්න තුබුන කවුරුහරි ඉනේස්ස්ගේ නෑ වෙන ගැහැණු ළමයෙක් අත දාලා ඇදුම් ගලවන්නේ බ්‍රා එකක් ගලවල දුන්නා. පිරිමි යට ඇදුම සැපයුවේ මට මතක හැටියට අපේ
    ක්‍රිස්. (වැරදියි නම් නිවැරදි කරන්න, අජිත්) .//

    ReplyDelete
  5. ටියුලිප් මල් තිබෙන කියුකොන්හොෆ් https://keukenhof.nl/en/

    ReplyDelete
  6. Use a mobile phone app such as office lens or google lens for better images of your photos.

    ReplyDelete
    Replies
    1. Thanks for the suggestion.. My camera phone is quite good. It's Iphone XR. The problem is a different one. My wife would not allow me to remove the polythene like cover from the photo album. So the light is reflecting from that polythene cover. These photos are old. They are n this old album. So I doubt that sort of app would do this.

      Delete
  7. Replies
    1. ස්තුතියි ගරු මහත්මයා

      Delete
  8. A friend with weed is a friend indeed !

    ReplyDelete
    Replies
    1. You should meet Chris. he is planning to come to SL in October.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .