Sunday 11 October 2020

ලංකාවේ කොවිඩ් හා ලෝකයේ කෝවිඩ්

ලෝකයේ කොවිඩ් තත්වය


//මගේ යෝජනාව  නම් ශ්‍රී ලංකාව ඉන්දියාවට, මාල  දිවයින සහ බංගලා දේශයට දොර වැසිය  යුතු බවයි.  (සංචාරකයන්ට) දෙවන රැල්ල එන්නේ ඒ පැති වලිනි. ශ්‍රී ලංකා නාවික  හමුදාවේ සයුර යාත්‍රාව ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම  සඳහා යොදා ගත හැකිය. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ආදිය ඉක්මනින් ඇඳන් යොදා පිළියෙළ කළ හැකිය. එසේ නොමැති  නම් පන්සල් සහ පල්ලි වල ඇති ශාලා රජයට පවරා ගත යුතුය.   //මේ අදහස බොහෝ විට සැබෑ වී ඇත්තේ මේ දෙවන රැල්ලේ රෝගීන්ගේ ආසාදනයේ මූලය  ඉන්දියාවෙන් එන්නට ඇති සිතෙන බැවිනි.

එකම ප්‍රශ්නය මේ කොරෝනා රෝගීන් ලංකාවට පැමිණීම හෝ ඔවුන් මගින් තවත් අය අසාදිත වීමම නොවේ. 
එසේ අසාදිත වුවන්ට ශ්‍රී ලංකාවේ සමාජය සලකන ආකාරයයි. 

මෙන්න මේ " කොරෝනා වසංගතයට කළ යුත්තේ කුමක්ද? කුමක්ද ලෙනින්"  ලිපියේ මා ලීවේ ඉතාලියෙන් පැමිණි අය කොරෝනා වසංගත මර්දනයට එක්වෙන්නේ නැතිව සැඟවී සිටින්න "රෝගය වැළඳීම ම  අපරාධයක්  ලෙස සලකන නිසා බවයි. මා ඉල්ලා සිටියේ ඒ තත්වයෙන්  මිදෙන්න කියාය.  එම ලිපියේම ම ලීවේ එක්තරා ෆේස්බුක් සහ බ්ලොග් ලියන්නියක් මා එසේ කි බව විවේචනය කර අපහාස පොස්ටුවක් බුකියේ පල කල බවයි. එවැනි පිරිස් එදා  එසේ උන්මාදයෙන් හැසිරුනේ ඉදිරියට පැවැත්වීමට නියමිතව තිබූ  මැතිවරණය  නිසාය. අපට කෝවිඩ් ආසාදිතයන් වැඩිවෙන ගණන  හෝ මරණ සංඛ්‍යාව ගැන සැක පල කිරීම පවා ලිවිය නොහැකි තත්වයක් තිබුණි. බ්‍රිතාන්‍යයේ අදත් මරණ සංඛ්‍යාව ඉතා වැඩිය. ඒ ගැන විචේචනය කරන ලංකාවේ සහ ඕස්ට්‍රේලියාව අවනී රටවල් වෙසෙන සමහරු කල්පනා නොකරන කාරණයක් වන්නේ මේ රටේ රැකියා නොමැති අයට මෙන්ම  රැකියාවෙන් තාවකාලිකව ඉවත් කරන ලද අයට පවා වැටුප් තවමත් ගෙවන බවයි.   බ්‍රිතාන්‍යය ගැන සැලකීමේදී  ඇතැම් ස්ථුල මිනිසුන්, වෙනත් දීර්ඝ කාලින ලෙඩ රෝග ඇත්තන් මෙන්ම විටමින් D ඌනතාවයෙන් පෙළෙන්නන් ද ඉදිරි පෙල රැකියා කරන්නන්  (හෙදියන්, පිරිසිදු කරන්නන්,රියදුරන් ආදීන් ) අතර මරණ වැඩිවුනු බව නිරීක්ෂණය විය. 

දැන් ලංකාවේ  මැතිවරණය  ඉවරය. තුනෙන් දෙකඩ හරිය.ලංකාවේ ඇතැමුන්  තවමත් සිහි බුද්දියෙන් නොව  උන්මාදයෙන් මෙන් හැසිරෙන්නේ ඇයි? මා මිත්‍ර සිසිර යාපා  මවිබිම පුවත්පතේ ලිපියක් කියැවීමට කියා පණිවිඩයක් එවා  තිබුණි.  හදිසියේ කෝවිඩ් ධනාත්මක ලෙස හඳුනා ගත්  ප්‍රදීපිකා රත්නායක ට දිවුලපිටිය පොලිසියේ ඇතැමුන් බැණ වැදී  ඇත? ඒ නිලධාරීන් එසේ  හැසිරෙන්නේ මොලයේ තණකොළ වවා ඇති නිසාද?  ඇයට කෝවිඩ් වැළඳීම ඇගේ වරදක්ද? ලෙඩෙකුට බැණ වැදීමට පොලිසියට ඇති අයිතිය කුමක්ද?

ඒ විතරක්ම නොවේ? ඇතැමුන් ඒ මහත්මිය ගැන කිසියම් අපවාද රාශියක්ද ජනගත කර තිබේ. මේ මිනිසුන්ට ඇත්තටම අමු කැවිලාද?

අප ජිවත් වන  එන්ෆිල්ඩ් පෙදෙසේ දැනට 300 පමණ කෝව්ඩ් ආසාදිතයන් පිරිසක් ඇත. පොලිසියවත්  පුවත්පත් වත් අප කිසිවෙකුත් මෙලෙස නොහැසිරෙන්නෙමු.  රෝගයක් සැදුනු කෙනෙකුට උදව්  කරනවා මිස බැණ වැදීමේ සිරිතක් ඇති කරගත්තේ කොහෙන්ද? බුදු හාමුදුරුවන් එසේ හැසිරී තිබේද? 

ධාතුසේන නම් රජතුමෙක්  නයෙකුගේ ගෙඩියක් පලා සැත්කමක් කලා කියන්නෙත් ඔය රටේම නොවේද?
මා දුටු තවත් ප්‍රවෘත්තියක් පල කර තිබුනේ ලංකාදීප දිනපතා පුවත්පතේය. ඒ හාරසීයක් පමණ බ්‍රැන්ඩික්ස් සේවකයන් පොලිසියට භාර වීමට පැමිණ ඇති බවයි. පොලිසිය කියා  ඇත්තේ පැමිණියේ නැත්නම් ඔවුන්ගේ දේපල රාජසන්තක කරන බවය.  පොලිසියට  භාර වීමට මේ මිනිසුන් ලොකු අපරාධයක් කර නැත. ඔවුන් සැඟව සිටීම වරදක් බව සැබෑය. 
යුරෝපීය  රටවල  රෝගය වැළඳී සිටින්නන් නොව පිටරට සිට පැමිණ  රෝගය වැළඳී බව දැන  දැනත් නිරෝධායනය නොවී සිටින්නන් ට දඩයක් නියම කරති. ලංකාවේ පොලිසිය සැබවින්ම කල යුත්තේ රෝගය වැළඳුන බව දැනගෙන මෙරටට පැමිණ බ්‍රන්ඩික්ස් ආයතනයේ සිට නික්ම ගිය අයට (බොහෝවිට ඉන්දියාවේ සිට පමණ ඇති ) දඩයක් නියම කිරීමය. 
  බ්‍රිතාන්‍යය, යුරෝපීය  රටවල් සහ වියට්නාමය වැනි තත්වය මර්දනය කළ ඇති රටවල් නිවසේ සිට නිරෝධායනය වීමට හැකිය. එසේ නිවේදනය කර  එම අයගේ නිවෙස් තොරතුරු බ්‍රැන්ඩික්ස් සමාගමෙන් ලබාගත හැකිය. එසේ ලබාගෙන පොලිසියට රහසේ ගොස් ඒ අය සියල්ල  නිරෝධායනයට  ලක්කළ හැකිය. අඬබෙර ගසා  මිනිසුන් අපහාසයට ලක් කිරීම  කලයුතු දෙයක් නොව නොකළ යුතු දෙයකි.

මා මිත්‍ර සිරිමල් විජේසිංහ කියා තිබුනේ ඇමරිකානු ජනාධිපති  ඩොනල්ඩ්  ට්‍රම්ප් මෙන් රට ඇර තැබිය යුතු බවය. එනම් රෝගය වැළඳී මිය යන අය සිටියත් ඒ බව නොතකා ආර්ථිකය රැක ගත යුතු බවය. ට්‍රම්ප් ගේ මෙන්ම බ්‍රිතාන්‍යයේ බොරිස් ජොන්සන් ගේ ද එම ප්‍රතිපත්තිය අද තදින්  විවේචනයට  ලක්වේ. ස්වීඩනය ක්‍රියාත්මක කරන්නේද එම ප්‍රතිපත්තියමය. නමුත් ස්වීඩනයේ තත්වය සුවිශේෂී  එකකි. එහි සිටින්නේ මිලියන දහයක ජනතාවකි. විශාලත්වය වර්ග කිලෝමීටර හාර  ලක්ෂයකි. ලංකාවට වඩා  හය ගුණයක් විශාල එම  රටේ ජනගහනය ලංකාවෙන්  භාගයකි.  වර්ග කිලෝමිටර්යට මිනිසුන් 25කි. මේ ඉතා කුඩා අගයකි. එසේම බොහෝ මිනිසුන් සෞඛ්‍ය සම්පන්නව වෙසෙන නිසා එම රටට  ලොක් ඩවුන් කිරීමේ අවශ්‍යතාවයක් පැන නගින්නේ නැත.
රට හැර තබා බ්‍රසීලයේ දක්ෂිණාංශික ජනාධිපතිවරයා ද මියයන මිනිසුන් ගේ ගණන අධික වුවත් තවමත් ජනප්‍රියය. ඒ ඔහු සහනාධාර දීම නිසාය. මිනිසුන් සොයන්නේ  තමන්ගේ  හා දරුවන්ගේ කුස ගින්න නිවා ගැනීමේ ප්‍රශ්නයට පිළිතුරු මිස කෝවිඩ් වසංගතය පැතිරීම ගැන නොවේ.
 
 මා  සිතන්නේ ශ්‍රී ලංකාවේ දැනට කෙරෙන පරිදිය ප්‍රාදේශීය ලොක්  ඩවුන් කිරීම් පවත්වා ගැනීම අවශ්‍ය  බවය. හැබැයි මාර්තු මාසයේ සිටම මගේ අදහස වූයේ  රටටම ඇඳිරි නිතිය  පැනවීමේ අවශ්‍යතාවයක් නැති බවයි.  මිනිසුන්ට හැකි පමණ තම තමන්ගේ රැකියා  වලට යාමට ඉඩ සැලසිය යුතුය. ඒ නිසාම බ්‍රැන්ඩික්ස් මෙන්ම අනිකුත් සමාගම් රැකියා අවස්ථා ලබා දීම ගැන ඇත්තෙන්ම  සතුටු විය යුතුය.  අසනීපයට ප්‍රතිකාර ගැනීමට මුදල් සොයන, මහලු දෙමාපියන්ට මුදල් යවන, සහෝදර සහෝදරියන්ගේ අධ්‍යාපනය ට වියදම් කරන,  බෝඩිමේ ගාස්තුව පවා අමාරුවෙන් ගෙවන මේ ජනතාව රැකියා  විරහිත භාවයට පත් කිරීම  ඔවුන් කබලෙන් ලිපට දැමීමක් වන නිසාය. සිරිමල්  විජේසිංහ ගේ අදහසට යම් තාක් දුරට  මා  එකඟ වන්නේ ඒ ගැන සිතාය.

වරද ඇත්තේ  නිලධාරීන් අතය. ඔවුන් අසනීපයෙන් පෙළෙන්නවුන් ගේ  ඒ තත්වය නොතකා වැඩ ගත් බව හෙළිවී තිබේ.  පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ ද ඒ බව යූටියුබ් වීඩියෝවක පවසා ඇත. එසේම ඉන්දීය සම්බන්ධතාවයද ඔහු හෙළි කර තිබේ.    ප්‍රශ්න කල යුත්තේ නිලධාරීන් ගෙන්ය.   
 
 

පින්තුරය ගත්තේ මෙතැනිනි ;https://www.ecdc.europa.eu/en/geographical-distribution-2019-ncov-cases

24 comments:

  1. කියා ඇති බොහෝ දේ සමඟ එකඟයි.රෝගීන්ට අපරාධකාරයන්ට මෙන් සැලකීමේ කැත පුරුද්ද අද ඊයේ ඇති වූවක් නොවේ. මට මතක් වෙන්නෙ, වෙදකං කරන්න ගිහිල්ලා ඒඩ්ස් හැදිලා මැරුන දොස්තර නෝන( එහෙම කට ඇරලා කියන්න වටින සැබෑ වෙදදුරෙක්), එයාගෙම සහෝදර වෛද්‍යවරු සලකපු ආකාරය කනගාටුවෙන් කියපු හැටියි.

    මට ප්‍රොපයිල් එකෙන් කෙමෙන්ට් දාන්න බෑ.

    -බස්සා-

    ReplyDelete
    Replies
    1. ඒ කතාව මටත් මතකයි , ඔය වගේ මරණයට ලෙඩට දුකට බය වෙන මිනිස්සු ලෝක ප්‍රසිද්ධ ධර්මයක් තමා අදහන්නේ

      Delete
    2. කවුද බස්සෝ ඒ දොස්තර නෝන?

      Delete
  2. ලංකාවෙ ඔය බුද්දාගම කියන මොකක්දෝ අටමගලයක් අදහන මිනිස්සු බුද්ද දර්ශනය ගැන මෙලෝ හසරක් දන්නෙ නැති අමන වහල්ලු ටිකක්.කොරෝනාවලින් රට බේර ගත්තත් මුන්ගෙන් රට බේරගන්න එක ලේසි නැහැ.

    ReplyDelete
    Replies
    1. මම උඩින් කීවෙත් ඔය කතාව. දැන් වෙලා තියෙන්නේ ආයේ පාරක් ප්ට්‍රටින් බුදු දහම ගෙනියන්න තමා

      Delete
  3. බල්ලාගේ වැඩේ බූරුවා කරනවානම් ප්‍රථිපල භයානක වෙන්න පුළුවන්... මන් කිව්වෙ සෞඛය භාර අයගේ වැඩ පොලිසිය කරන එක ගැන...

    ReplyDelete
    Replies
    1. හරියට හරි. අයි ඩී එච් එක සෞඛ්‍ය නිලධාරීන් ඉතාමත් හොඳට කරුණාවෙන් සැලකුවා කියල ඒ කාන්තාව කියල තිබුනා

      Delete
  4. පොසිටිව් බහුතරය රෝගලක්ෂණ පෙන්නන්නෙ නෑනෙ. ඒ කියන්නෙ පොසිටිව් වුනාට අමාරුවක් නෑ. ඒත් ලංකාවෙ පොසිටිව් ඔක්කොම රෝහල් ගතකරනවා. කොයිතරම්කල් එහෙම කරන්න රෝහල් ධාරිතාවක් තියෙයිද දන්නෙ නෑ. ඊට පස්සෙ ඔහෙ කලා වගේ රෝගලක්ෂණ උත්සන්න වෙනවද බලලා රෝහලට ගෙනෙයන්න වෙයි නේද?

    ReplyDelete
    Replies
    1. මේක මේ දැන් දැම්මේ ෆේස් බුක් එකට. //දැන් අර සුමාන දෙක තුනකට කලින් මතකද ලෝකයේ කෝවිඩ් වසන්ගතයම හොඳටම පාලනය කරගෙන යන රටවල් ගැන කියල ලිස්ට් එකක් ආව . ඒකෙ මුලටම නවසීලන්තය , වියට්නාමය , සිංගප්පූරුව, ජර්මනිය වගේ රටවල් තිබ්බේ. ගොඩක් අය බුකියේ කෑ ගැහුවා ඇයි ලංකාව මුලටම නැත්තේ කියල. ලංකාවේ දෙවෙනි තැන කියල වෙන මොකක්ද ලිස්ට් එක්ක තිබුනලු. අර කී මුලින් ලිස්ට් එකේ රටවල් මුලට දැම්මේ කෝවිඩ් පාලනය කරපු නිසා විතරක් නෙමෙයි. රෝහල් ධාරිතාවය, හදිසියේ තත්වය අසීරු වුනොත් රටවල් මුහුණ දෙන්නේ කොහොමද, මොන වගේ ක්‍රියාමාර්ගද ඒ වෙනුවෙන් අර ගත්තේ වගේ දේවල් දිහත් බලල. ඒ අතින් නවසීලන්තය , ජර්මනිය හෙම ඉස්සරහින් ඉන්නේ. බ්‍රිතාන්‍යය නම් එපමණ හොඳට මේක පාලනය කලේ නැහැ. ඒක නම් මම පිලි ගන්නවා. ජොන්සන් ඇන ගත්ත. ඒත් ලක්ෂ 6ක් විතර ආසාදිතයෝ හිටියත් තවමත් ඉඩ තියනවා රෝහල් වල. නයිටින්ගේල් රෝහල් ටික තවම පිරිලත් නැහැ. ගෙදර ඉඳන් සනීප වෙන්න කියනවා. ඉන්දියාව ළඟ නිසා ලංකාවට අවදානම තිබියදී ඒ ගැන නොතකා හිටිය වගේ හිතෙන්නේ නැත්ද? දැන් කියවන්න මේ ලංකා සී නිව්ස් ලිපිය. රෝහල් වල ධාරිතාවය නැතිලු. ඇඳන් 1503 පිරිලා ඉවරයිලු. අසාදිතයෝ වැඩි වුනොත් ලංකාවට ගන්න පුළුවන් ආසන්නම විසඳුම වෙන්නේ නැවතත් රට පුරා ඇඳිරි නිතිය දැමීම. නැත්නම් රෝගීන් බ්‍රිතාන්‍යයේ වගේම ගෙවල් වලට සිමා කිරීම. ලංකාව අර මුලින් කී ලිස්ට් එකේ මුලට නොතිබීමට එක හේතුවකුත් ඒක වෙන්න බැරිද?//

      Delete
  5. ලෝකෙ ඉන්න ආත්මාර්ථය වැඩිම පිරිස් අතරට අපේ ජාතියත් ගොඩ ගහන්න වෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද , අහන දේවල් වලින් හිත දුකට පත්වීම විතරයි වෙන්නේ

      Delete
  6. අජිත් ධර්ම මහත්මයා, Netfilx හි දිග හැරෙන Babylon Berlin ගැන ඔබේ අදහස් සහ වෙනත් අදහස් රැගත් ලිපි මාලාවක් සැකසිය හැකිද? ජර්මන් ජනරජය ආරක්ෂා කිරීම සඳහා යුදෙව් ජාතිකයන්ගෙන් ලද පිටිවහල,කයිසාර්වරුුනැවත බලයට ගෙන එමට සෝවියට් දේශය තම භූමිය සහ සම්පත් වැය කල ආකාරය,WW1 පසුව ජර්මනිය තුල සිදුවූ සමාජ පෙරලිය ගැන අඩුපාඩු සහිතව වුවත් ⁣හොඳ විස්තරයක් එහි පෙන්වනවා. විචාරයක් සමඟ ඒ season ටික බලන්නට පුලුවන් නම් වඩාත් හොදයි.
    මේ යෝජනාව මම අන් අය වෙනුවෙන්ද ගෙන එන්නේ ඔබ ජර්මනිය සහ සෝවියට් දේශපාලනය ගැන ප්‍රාමාණිකයකු වන බවට සිතන නිසායි.
    ස්තුතියි.
    CP-C

    P/S
    ඒ වාගේම බ්‍රිතාන්‍යයේ ධනවාදය නැගී ඒම ගැන පෙන්වන razor blade පවුලක් වඩා ගෙතුන Peeky Blinders යනු තවත් එවන් විවරණයක් සැපයිය යුතු නාට්‍ය මාලාවක්. ඔබ බ්‍රිතාන්‍යයේ ජීවත් වන නිසා එය ගැනත් ලිවීමට ඔබට තොරතුරු සොයා ගත හැකි වේවි.

    ReplyDelete
    Replies
    1. ඔබට ස්තූතියි. මම ඒ ගැන ලිපියක් ලිව්වා. සීරිස් දෙකම මම බැලුව. ඔබට හැකිනම් ඩස් බූට් නුත් බලන්න
      බැබිලෝන් බර්ලින්

      Delete
    2. ලිපි මාලාවක් ලිවීමේ අදහස නම් හොඳයි. වෙලාව තමා හොයා ගන්න ඕනේ. සෝවියට් දේශයට කයිසාර් වරු හොඳ වීම අදහා ගත නොහැකි දෙයක් නේද? Peaky Blinders ගැන මතක් කලාට ස්තූතියි . තවම නම් ම්බල්වේ නැහැ.

      Delete
  7. Ajith, thank you very much for your prompt reply. But I have some questions for you.
    1. සෝවියට් දේශයේ ස්තාලින් තන්න්‍රය රාජාණ්ඩුවාදීන්ට උදව් කලේ කුමන අරමුණක් ඉටු කර ගැනීමටද? මෙය මට සමාන කල හැක්කේ 1971 කැරැල්ලේ දී ඊනියා මහජන චීනය, ඡායාවක් ලෙසට හෝ සෝවියට් ක්‍රමය වැරදියි- මාඕ නිවැරදීයි කියා සමගි පෙරමුණු ආණ්ඩුවට එරෙහිව කැරැල්ලක් දියත් කල ජවිපෙට එරෙහිව එය මර්ධනය කිරීමට සෝවියට් ගැති සිරිමාට උදව් කිරීමටය.මේ උදාහරණය මදක් ව්‍යාකූල විය හැකියි.

    විලහෙල්ම් කයිසාර්වරු නැවත බලයට ගෙන ඒමට ස්තාලින් විසින් ජර්මන් රාජාණ්ඩුවාදීන්ට ඇත්තටම ගුවන් හමුදාවක් නිර්මාණය කර දුන්නේද ?

    2. හිට්ලර් බලයට පැමිණීමට පෙර ජර්මනියේ රාජ්‍ය පරිපාලන තනතුරු ජුදෙව්වන් විසින් දැරුවේද?

    3. ඔබ පෙර ලිපියකදී සඳහන් කල පරිදි, SS භටයන් , ජුදෙව් දඩයමේ යන කල මේ ජුදෙව්වන් රැගෙන යන්නේ මරා දැමීමට බව බොහෝ ජර්මානුවන් දැන නොසිටි බව පවසයි. ඔබ එසේ කීමට සාක්ෂි සොයා ගත්තේ කොහොමද?

    CP-C

    Peeky Blinders හි දිග හැරෙන බ්‍රිතාන්‍ය ධනවාදයේ නැඟි සිටීම ගැන ලිපියක් පල කරන ලෙසට ඉකොනො හට ආරාධනා කරමු.


    ReplyDelete
    Replies
    1. //971 කැරැල්ලේ දී ඊනියා මහජන චීනය, ඡායාවක් ලෙසට හෝ සෝවියට් ක්‍රමය වැරදියි- මාඕ නිවැරදීයි කියා සමගි පෙරමුණු ආණ්ඩුවට එරෙහිව කැරැල්ලක් දියත් කල ජවිපෙට එරෙහිව එය මර්ධනය කිරීමට සෝවියට් ගැති සිරිමාට උදව් කිරීමටය//විජේවීර ගේ කැරැල්ල ඔල්පොට් ගේ කැරැල්ලට සමානයි , සෝවියට් දේශය නිවැරදියි. ජවිපෙ කියන්නේ වාමාංශ යේ ළඳරු වලිප්පුවක් කියල තමයි අපට කොමියුනිස්ට් ඉතිහාසය ඉඋගන්වපු ගුරුවරයා කීවේ. මම එයා එක්ක වාද කළා පොඩ්ඩක්. හැබැයි ඒ මනුස්සය මට පැහදිලි කළා හොඳට. ගිය අවුරුද්දේ කාම්බෝජයට ගිය වෙලේ ඔහු 1985 මට කිවූ හොඳ හැටි තේරුම් ගියා.

      Delete
    2. //විලහෙල්ම් කයිසාර්වරු නැවත බලයට ගෙන ඒමට ස්තාලින් විසින් ජර්මන් රාජාණ්ඩුවාදීන්ට ඇත්තටම ගුවන් හමුදාවක් නිර්මාණය කර දුන්නේද ?// මගේබිරිඳ කියන විධිහට නම් ඔව්. නමුත් මම කිසියම් පරිශීලනය අක්රමින් සිටිනවා. මේ නිසා පිලිතුරක් පස්සේ දවසක් දෙන්නම්

      Delete
    3. //2. හිට්ලර් බලයට පැමිණීමට පෙර ජර්මනියේ රාජ්‍ය පරිපාලන තනතුරු ජුදෙව්වන් විසින් දැරුවේද?// මා දන්නා පරිදි යුදෙව්වන් අත තුබුණේ වෙළඳ බලය, එනිසා ඇතිවූ මුදල් බලය සහ නවීන විද්‍යාවන් පිලිබඳ උගත්කමයි. ඒ හොඳටම ඇති නේද ? පරිපලන තනතුරු දැරුවාය කියන එක ගැන සාක්ෂි නැහැ නේද? මේකත් සොයා බැලිය යුතු දෙයක්. කෙලින්ම නැහැ කියන්න තරම් මම දන්නේ නැහැ.

      Delete
    4. //3. ඔබ පෙර ලිපියකදී සඳහන් කල පරිදි, SS භටයන් , ජුදෙව් දඩයමේ යන කල මේ ජුදෙව්වන් රැගෙන යන්නේ මරා දැමීමට බව බොහෝ ජර්මානුවන් දැන නොසිටි බව පවසයි. ඔබ එසේ කීමට සාක්ෂි සොයා ගත්තේ කොහොමද?// මේක මටත් කුතුහලයක් වූ නිසා. මගේ ජර්මන් බිරිඳ නොදැන සිටි බව මම දන්නේ මම ඇයට බොහෝ විස්තර කියන විටත්. මම 1995 ඇය හමුවන විට කෑම්ප් දෙකක් ගැන ඇය දැන සිටියත් හිට්ලර් වුනත් අධිවේගී මාර්ග සදා එක්තර සමාජවාදයක් ගෙන ආ බවයි ඇය දන්නේ. ඇගේ කිසියම් පහන් හැඟීමක් තිබ්බ.ඉන් පස්සේ ඉංග්‍රීසියෙන් ඒ පිලිබඳ බොහෝ පොත් කියව්වාට (ඇය දැනුත් කියවනවා ) පස්සේ වෙනස් වුනා. මගේ පළමුවෙනි BMW කරය ඇය ගන්නට ඉඩ දුන්නේ අවුරුදු 15 කට පසු. එම කම්පැනිය යුදෙව්වන් වහල් සේවයේ යොදා ගත්ත කියල. වන්දි මුදල් දුන් බවට දැන ගත්ට් පසු. ඇගේ පවුලේ පියා , මව, නංගි , ඔවුන් බැඳපු අය මාමලා , නැන්දලා BMW බෙන්ස් රථ ගන්නේ නැහැ සල්ලි තිබුනත්. ඔවුන් ගන්නේ ප්‍රංශ , කොරියන් සහ යුද්ධයට සම්බන්ධ නැති යයි හිතන ජපන් වාහන පමණයි. හේතුව මම දන ගත්තේ පස්සේ. ඔය හැමෝ එක්කම කතා කරද්දී ඇගේ සියා ආච්චි එක්ක කතා කරද්දී , විවාහ මංගල්‍ය , මරණ වලදී වයසක උදවිය සමග කතා කරද්දී ඒ බව මට තහවුරු වුනා. අපට අද ඉන්ටනෙට් තිබෙන නිසා ඕක තේරෙන්නේ නැහැ. 1940 යුද්ධ කාලේ ජර්මනියේ ගමක හිට්ලර් ගේ රේඩියෝ එක පමණයි තිබුනේ. නමුත් නගර වල වැසියන් සමහරක්, SS භටයන් සහ ඔවුන්ගේ පවුල්, බුකෙන්වල්ඩ් අවට වැසියන් දැන සිටියාය කියල ඔවුන් මට කියනවා. මට ඒක පිලි ගන්න පුළුවන්. හේතුව බොහෝ යුදෙව්වන් පවා දුම්රියට නගිද්දී මරන්නට ගෙන යනව කියා දැන සිටියේ නැහැ කියලයි මම දන්නේ . පෝලන්ත ගෙටෝවේ අය හොඳම උදාහරණයක්. සමහර ජර්මන් වැසියන් යුදෙව්වන් බේරා ගත් බව දන්නවනේ.එක පැත්තකින් විතරක් ප්‍රවෘත්ති ලැබීමේ භයානක කමට හොඳම උදාහරණය තමා හිට්ලර් ගේ ජර්මනිය. අනික උතුරු කොරියාව.

      Delete
    5. ස්ටාලින් සහ පොල්පොට් නුත් ඔය දේම කරානේ. මිනිස්සු වත් අහල පහල මිනිස්සු වත් දැනන් හිටියේ නැහැ මරන්න් ගෙන යන බව. හැඟීමක් තියෙන්න ඇති.

      Delete
  8. අජිත්,මේ විස්තර සැපයීම ගැන ඔබටත් ඔබේ බිරිඳටත් ස්තුතියි.

    බෝල්ශේව්ක්වරුන් විසින් සාර් රජ පවුල මෙන්ම රජ පවුලේ සුරතල් බල්ලාවද වෙඩි තබා මරා , මල සිරුරු වැලලු බිමට උඩින් රේල් පාරක් පවා දැමුවේ රජ පවුල ආයේ නොනැඟිටින පිණිසයි. මේ සාර්වරුන්ගේ ඇට කටු නැවත සොයා ගත්තේ 1992 විතර.
    සාර්වරුන් පොලොව යටට යවා කයිසාර්වරුන්ව යලි පොලොවෙන් නැඟිටවීමට ස්තාලින්ට අවශ්‍ය වූයේ ඇයි කියන එක මට ගැටලුවක්. මේ අයුරින් සිතන විට මූලධාර්මික ලෙස ට්‍රොට්ස්කිවාදීන් නිවැරදි යැයි සහ ජර්මන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය - රෝසා ලක්සම්බර්ග් , කාල් ලීබ්නේහ්ට් ආදීන් කෙතරම් නිවැරදිදැයි මට සිතේ.

    ලෙනින් කීවේ, දේශපාලන අර්බුදය සහ ඒ පසුපස ආර්ථික අර්බුදයක් එනවා කියලා. මේ අර්බුදවලට මේසය වටා හිඳගෙන සොයන පිලිතුරු නැහැ. මේ අර්බුද දෙක පෑහීමෙන් ඉපදෙන සර්පයා ෆැසිස්ට්වවාදයයි. එයින් ගැලවීමට ජර්මන් ජනතාවට ගෙවන්නට සිදුවූ මිල අපමණයි.

    ලංකාව තුලත් දැන් ඉපදීමට වෙර දරන්නේ එවන් ආකාරයක සර්පයෙක්ද? එහි මිල ගෙවීමට ලංකාවෙි ජනතාව සූදානම්ද?

    ReplyDelete
  9. //බෝල්ශේව්ක්වරුන් විසින් සාර් රජ පවුල මෙන්ම රජ පවුලේ සුරතල් බල්ලාවද වෙඩි තබා මරා , මල සිරුරු වැලලු බිමට උඩින් රේල් පාරක් පවා දැමුවේ රජ පවුල ආයේ නොනැඟිටින පිණිසයි. මේ සාර්වරුන්ගේ ඇට කටු නැවත සොයා ගත්තේ 1992 විතර.//මෙතැන තිබෙන ප්‍රශ්නේ තමයි ලෙනින් එහම් නියෝගයක් දුන්නේ නැහැ කියන එක. ඒක ඔප්පු වෙලත් නැහැ. ඔවුන් අධිකරණයට ගෙන ඒමට තිබියදී උරාල් සෝවියට් සභාව තමා මරා දමන්නේ.ක්‍රෙම්ලින් වලින් ආ නියෝගය වැරදියට තේරුම් අරන් හෝ ස්වෙර්ද්ලොව් ගේ කීමට. කයිසර් වරු තම ලෙනින් /ස්ටාලින්/ ට්‍රොට්ස්කි ප්රිසිර මුදල් දුන්නේ යුද්ධය නවත්වා විප්ලවය කිරීමට. ඔබ එය දන සිටියේ නැත්ද

    ReplyDelete
    Replies
    1. ට්‍රොට්ස්කි ඔය කියන තරම් බබෙක් නොවේ. ඔහු තමයි රතු හමුදාවේ නායක. විප්ලවයේ භාගෙකටත් වඩා හිට්යේ යුදෙව් නායකයෝ. ස්ටාලින් ඔව්නුට කැමති නැහැ. ස්වෙර්ද්ලොව් ස්ටාලින් ගේ සගයෙක්. රොමානොව් ලා මරා දැමීමට ඔහු නියෝග කළා කියන එක තමා පිලි ගැනීම. මරලා තමා ලෙනින් ට කියල තියෙන්නේ. ලෙනින් රෝසා ලක්සම්බර්ග් , කාල් ලීබ්නේහ්ට් ලගේ යාළුවෙක්. ලෙනින් ට මුළු පොලිටි බියුරෝ එකේම අනසක තිබ්බේ නැහැ. ඔහු පක්ෂ සහ නායකයන් ගොඩක් එකතු කරගෙන විප්ලව කලේ. ඔහු ආඥා දායකයෙක් නෙමයි ස්ටාලින් වගේ . ලංකාව - මධුෂ් - කොවිඩ් - මගේ අදහස- ලංකාවේ බහුතර ජනතාව තෝරා ගත් මාරගයේ යාමට ඉඩ දිය යුතුයි. නැත්නම් ඔවුන් කවදාවත් වටහා ගන්නේ නැහැ.

      Delete
  10. ජර්මන් කයිසර් ගේ ආණ්ඩුව ලෙනින් ඇතුළු බෝල්ෂෙවිකයන්ට මුලද දුන් බවට මේ ලිපියේ මම ලියා තිබෙනවා. ලෙනින් මුදල් ගත්තට ජර්මන් වරු සමග සමගි වුනේ නැහැ. ඔවුන් රුසියාව අස්ථාවර වෙයි කියල හිතාගෙන මුදල් දීල ලෙනින්ට රුසියවට් යන්න අවසර හදල දුන්නත් ලෙනින් කලේ ඒකත් විප්ලවයටම යොදවල රාජ්‍ය බලය අල්ල ගත්ත එක.
    ජෙහාන් ලෙනින්

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .