Wednesday 22 September 2021

බ්ලොග් කියන්නේ ..


 
දැන් අපි නැවතත් බ්ලොග්කරණයට යොමු වෙමින් පවතිනවා. ෆේස්බුක් එකේ "යාළුවෝ" වැඩියි. පන්දාහට ලංවුනත් ලියන දෙයක් කී  දෙනෙක් කියවනවද  කියලවත්  හොයා ගන්න බැහැ.  හැමෝම ලයික් දාන්නේ නැහැනේ. නිකන් තියෙන ලයික් දාන්න, ෂෙයාර් කොරාන්න කොමෙන්ට් කොරාන්න කියල අපි උම්මා දෙන්න යන්නේ නැහැනේ. ඒ නිසා මම තවම බ්ලොග් එක ලියාගෙන  යනවා. 😏

අහස්  ගව්ව බ්ලොගය කරන ඒ වගේම රූපන කියන රූපවාහිනි නාලිකාවත්  මෙහෙයවන අනුරුද්ධ වැලිගමගේ සොයුරා  ඇහුවා බ්ලොග් ගැන කතා කරන්න පුළුවන්ද කියල තිලකසිත බ්ලොගය  ලියන තිලකසිරි ඒකනායක සමග. ඒ වැඩ සටහන සෙනසුරාදා ප්‍රචාරය වෙන්න නියමිතයි. මම මේ ලියන්න යන්නේ සාකච්චාවේදී  නොකීව කාරණාවක් ගැන.

මේ ලඟදි දැන ගන්න ලැබුන "මගේ කීචි" බ්ලොගය ලියපු මල්ලි  ලෝකයට සමු දී නික්ම ගිහින් කියල. අමිල ඔබට සුභ ගමන්.  ඔහු වලල්ලාවිට පාසැලට බ්ලොග් මිතුරන් ගෙන්  ආධාර රැගෙන  හරහා විදුලිය දෙන්න කටයුතු කළා.   එවැනි සමාජ සත්කාර  හුඟක් කරපු කෙනෙක්.

ඒ නිසාම ඉහත සාකච්චාවේදී මට අනුරුද්ධට මතක් කරලා දෙන්න බැරිවුණ දෙයක් තමයි අප කළ ඒ සමාජ වැඩ. සුමිත් කලනසිරි, ප්‍රසන්න, දිමුතු  (කටුස්සා ) ආදීන් වතුකරයේ පාසැලකට උදව් කරපු හැටි. ඉන්දික සහ අනෙත් අයගේ දායකත්වයෙන් සුමිත් කලනසිරි ඇතුළු පිරිස මොණරාගල  පාසැලකට වතුර දීපු හැටි. විදානේ, සුරංග ලියනගේ තවත් බ්ලොග් කරුවන් සමග   බදුල්ලේ,   රත්නපුරයේ සහ තවත් පාසැල් කිහිපයකට ම එවැනි උදව් කරපු හැටි. ඒවා කට්ටිය එකතුවෙලා බොහොම කැමැත්තෙන් කරපු වැඩ. මුදලින් දායක වුනු බොහෝ  අය ඉන්නවා. රසික සුරියආරච්චි, ලුඩ් ෆෙර්නාන්දු , ඉවාන් පව්ලුෂා, පැතුම් හේරත්, ඉන්දික , මෙත්මලි, පෙමාස් ගුණසිංහ මහතාගේ බ්ලොගයේ අය , රත්නපුරේ කැටපත් පවුරේ අය සහ   මමත් දායක වුනා,

අපි පෞද්ගලික මුදලින් (කොටින්ම අපේ සාක්කුවෙන්) රුපියල් දහසක මුදලක මාසෙකට වරක් හොඳම බ්ලොගයට දුන්න සම්මානයක්  වශයෙන්.  කැමති දෙයක් ඒකෙන් කරන්න. ඩේටා කාඩ් එක්ක ගන්න. අහේතුවකට  පැමිණි විරෝධයක්  නිසා ඒක නැවතුනා.  අද ආණ්ඩුව කෝවිඩ් ආධාර කියල දෙන්නෙත් රුපියල් දෙදාහක්. මට මතකයි එකට එකතු වෙලා බ්ලොග් එකක් ලියපු  කණ්ඩායමක් ඒ මුදලට තව මුදලක් එකතු කරල උසස්  පෙළ  පොත් කිහිපයක් සිසුවෙකුට අරන් දුන්න. ඉතින් ඒවගේ සොඳුරු වැඩත්අ පි කළා. 

ඒ නිසා ඒ කාලය ගැන  කිසිම දුකක් හිතේ නැහැ. සෑහෙන්න කාලය , ශ්‍රමය , ධනය වැය වුනා තමයි. කණගාටුවක් නැහැ සතුටක් මිසක්. ඉතින් අපි තවම බ්ලොග් ලියමින් සිටිනවා. මම 2013 බ්ලොග් ලියන්න පටන් ගන්නකොට බ්ලොග් කරුවෝ, බ්ලොග් කාරියෝ සහ වෙබ් එකට ලියන අය හුඟක් හිටිය.  කොටස් වශයෙන් පළවෙන  නවකතා ගියා සිංහල වෙබ් අඩවි වල. බෝධිනී සමරතුංග ඒ වල ලීව කෙනෙක්.  මට MSN ගෘප් එකක් තිබුන අනූ ගනන් වල අග භාගයේ ඉඳල. ගූගල් ගෘප් එකක් තිබුණ මම ඇඩ්මින් වෙලා  හිටිය. ඒවල  අපි ලීව . ඒ බ්ලොග් වලට කලින්.  අනිත්කොනේ බෝධිනී , ඇටමැස්සා,  කකා හෙවත් කතන්දර කාරයා (රසික), මාතලන්, අජිත් පැරකුම් ජයසිංහ, අරුණි ශපීරෝ, දිනිති දීපිකා සහ නම් අමතක වුනු බොහෝ අයගේ බ්ලොග් වල මම රසිකයෙක් වෙලා හිටිය.  අජිත් කුමාරගේ බ්ලොග් සින්ඩිය හා අටම්පහුව සින්ඩියත් මතක් කරන්න ඕනේ. ඉතින් ඒ හැමෝටම ස්තූතියි. මටනම් මම ප්‍රවීණයෙක් කියල හිතෙන්නේ නැහැ. බ්ලොගය ට තවම ගොඩ වැදිලා තියෙන්නේ හාර  ලක්ෂයකට ටිකක් වැඩි වෙන්න පිරිසක්. ඉතින් අපි තවම ලියනවා. ලියන්න තියෙන දේවල් තවම ඉවර නැහැ. ගොඩ වැදිලා යන්න එන්න.  


19 comments:

  1. රූපනෙ වැඩසටහන ගැන අනුරුද්ධ කමෙන්ට් එකක කියා තිබුණා. හොඳ වැඩක්.

    ඔබ දක්වා ඇති සමහර සමාජ සත්කාරක වැඩසටහන්වලට මා ද දායක වුණා. නමුත් ඒවා blog ලිවීම සහ සහ ප්‍රතිචාර දැක්වීම නිසා එකතු වුණු පිරිසක් අතරින් පැන නැගුණු සාමාන්‍ය දෙයක් මිස කෙලින්ම බ්ලොග්වලට සම්බන්ධ කරන්න, බ්ලොග් ලිවීමේ අතුරුඵලයක් ලෙස හඳුන්වන්න බැහැ.

    බ්ලොග්වල මාරයා වුණේ ෆේස්බුක් එකයි.

    මම නම් මේ දිනවල බ්ලොග් වලිනුත් ඉහත අතීතයට ගොස් "සිසිල" නමින් සඟරාවක් කරනවා. පරණ තාක්ෂණය වන ඊමේල්වලින් බෙදාහරින්නේ.

    පිටපත් අවශ්‍ය අය මට දන්වන්න.

    ReplyDelete
    Replies
    1. මම ලියල නැහැ බ්ලොග් නිසා ඒකවුනා කියල. මම කොහොමත් චැරිටි එකක් හරහා එවැනි උපකාර කරන කෙනෙක්. ඔබ උදව් කළා . ඒ වගේම තව අය හිටියා ලුඩ් ප්‍රනාන්දු සහ වෙනත් අය . මමත් මුදල් දුන්න. නමුත් හැමෝවම මතක් කලේ නැහැ. සංවිධානය කරලා එතනට ගිය අයවයි මතක් කලේ

      Delete
  2. අජිත් ඔබේ සටහනට බොහොම ස්තුතියි. ඇත්තටම කතා කරන්න තවත් බොහෝ දේ තිබුණා. ඒ සංවාදය හරිම වැදගත්. ප්‍රයෝගික දුෂ්කරතා හින්ද අජිත් සහ තිලකව පමණක් ප්‍රවීණ බ්ලොග් රචකයින්ගේ නියෝජනයක් වෙනුවෙන් වැඩසටහනට සම්බන්ධ කරගත්තත් බ්ලොග් අඩවි 60කට වැඩි ගණනක යොමු සහ බොහෝ තොරතුරු එයට ගොනු කරන්නට අප උත්සාහ කලා. සෙනසුරාදා කැනඩා වේලාවෙන් උදෑසන 10 පමණ වනවිට වැඩසටහන වෙබ් ගත වූ පසුව එය දිගටම අන්තර්ජාලයේ රැදෙනවා. ඔබට නිවාඩු පාඩු වෙලාවක එය බලල ප්‍රතිචාරය ලියන්න පුළුවන්.

    අමිලගේ වියෝව වෙනුවෙන් කණගාටුව පලකරනවා.

    ReplyDelete
  3. මතක් කරලා දෙන්න බැරිවුණ දෙයක් තමයි අප කළ ඒ සමාජ වැඩ. සුමිත් කලනසිරි, ප්‍රසන්න, දිමුතු (කටුස්සා ) ආදීන් වතුකරයේ පාසැලකට උදව් කරපු හැටි......//////

    ඇහ්..... සම්මාදං......මාදන් ........කො බජට්....... නො බජට්.....

    ReplyDelete
    Replies
    1. සමාජ වැඩ වලින් අපි හම්බ කලේ නැහැ. අපේ අතින් වියදම් වුනා මිසක්. රසික, මම , ලුඩ් ප්‍රනාන්දු , ඉන්දික, සුමිත්, ඉවාන්, පෙමස් ගුණසිංහ, විදානේ, කැලුම්, ඇතුළු බොහෝ දෙනෙක් දායක වුනා. සම්මන උළෙලේ සංවිධාකයන් හා මෙය පටලවා කතා කරන්න එපා. කරපු අයටත් හිතට වේදනා එයි.

      Delete
  4. කියෙව්වා. වෙලාවකට හිතෙනව අපි මේ මියයන දේකට හුස්ම දෙන්න ට්‍රයි කරනව කියල. ඒත් අඩුමගානෙ ආත්ම තෘප්තියට සහ අනාගතයේ වෙතන් මාධ්‍යයකින් පළ කිරීම සඳහා ලිවීම දිගටම කරනව.

    ෆේස්බුක් එකේ මේ ලිපියට තට්ටයා මහතා දාල තියෙන කමෙන්ට් එක හරිම ඇත්ත.

    ReplyDelete
    Replies
    1. තට්ට කමෙන්ට් එකට ලින්ක් එක දියං

      Delete
    2. මට නම් එහෙම හිතෙන්නේ නැහැ. අපි කතා කලේ පැරණ බ්ලොග් ගැන වුනත් ෆේස්බුක් එකට වඩා මේ දේ රැකෙනවා. මෙතන කොපි රයිට් අයිතියක් තියෙනවම. මගේ හිතට එපා වෙනකන් මම ලියනවා. එච්චරයි, මම කැමැති නිසානේ මම ලියන්නේ

      Delete
    3. බස්, මේං මෙතන තියෙන්නෙ. කමෙන්ට් එකට ලිංක් කරන්න තේරෙන්නෑ.

      අජිත් තුමා,
      ඇත්ත. එකඟයි. මෙතන සංරක්ෂණයක් වෙනව. හොයාගන්න ලේසියි. කැමති නිසා ලියනව.

      Delete
  5. මං බ්ලොග් කියවන්න ආසයි.එකොනොමැට්ටා,කොළගමයා,මාතලන්,රසිකලොජි
    නිතර යන එන තැන්.කොමෙන්ටුවක් දාන්න හිතෙන දේකට එහෙමත් කරනවා.හිතගිය බ්ලොග් එකක් තමයි "ගුරුවරියකගේ මතකය"

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබට. ඒ බ්ලොග් එක දන්නේ නැහැ. ලින්ක් එකක් දෙන්න

      Delete
  6. Guruwariyakageimathakaya.blogspot.com

    ReplyDelete
    Replies
    1. ස්තුතියි , මගේ එකට එල්ල ගන්නම්. පුලුවන්නම් මේකටත් ලින්ක් එකක් දෙන්න

      Delete
  7. අජිත් අය්යගෙ සටහන දැක්කට පස්සෙ වෙන්ට ඕන. අනිත් කොණ ආයෙත් ඇවිලෙනව පේනව.
    😃😃😃

    ReplyDelete
    Replies
    1. හොඳයි. මාත් ගිහින් බැලුව

      Delete
  8. Blogs ලිවිම ගැන තරමක 'උදාසීන' බවක් ඇතිවෙලා තිබුණේ. ඉහළ කොමෙන්ටුවක ඩ්‍රකී (Draki) කියා තිබෙන ආකාරයට "වෙලාවකට හිතෙනව අපි මේ මියයන දේකට හුස්ම දෙන්න ට්‍රයි කරනව කියල." වගේ හැඟීමකුත් එනවා. ඒ උනත් නැවත ලියා බලමු 'නව පණක්' ලැබෙයිද කියා.

    ReplyDelete
  9. රූපණ වැඩසටහන බැලුවා. ඊට ඔබගේත් තිලකසිත ලියන සොයුරාගේත් දායකත්වය අගය කළ යුතුයි. මමත් වසර කීපයක ඉඳන් බ්ලොග් කීපයක්ම පවත්වාගෙන ගිහින් තිබෙනවා. දැන් දැන් බ්ලොග් ලියවිල්ල අඩු වුණත් මේක අත් හරින්න හිතෙන්නෙත් නැහැ. ආයෙත් බ්ලොග් පුනරුදයක් ඇතිවුණොත් නම් අගෙයි!

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .