Monday 3 January 2022

ගොවියා, ධීවරයා හා කම්කරුවා

සුභ නත්තලක්ද ලිපියට ලැබුණු මේ  ප්‍රතිචාරය ඇත්තටම මා බලා පොරොත්තු වී හිටි එකක් යයි මට සිතේ. එනිසා මේ ප්‍රතිචාරයට ලිපියක්ම ලියමි.  මම පවුලේ කන බොන පින්තුර පමණක් නොව පවුලේ පින්තූරද දමන්නේ ෆේස්බුක් හි ක්ලෝස් ෆ්‍රෙන්ඩ්ස්  (අඹ යාලු)  කියා හදාගත් ගෘප් එකකටය. "පන්දාහට ආසන්න  මිතුරු" (මම අකමැති  කිහිප දෙනෙකු විටින් විට  අයින් කරමින් මේ ගණන  4953 ට සීමා කර ගනිමින් සිටිමි)  කැලක් සිටින නිසාත් ඒ බොහෝ අය පෞද්ගලිකව නොදන්නා නිසාත් පවුලේ පින්තූර හා විස්තර පෙනෙන්නේ අර කණ්ඩායමට පමණය.  හැබැයි ඉඳහිට මම මේ "ළඟ යහළු" ) ගෘප් එක වෙනුවට සම්පූර්ණ හාරදාහට වැඩි කට්ටියටම පෙනෙන ලෙසද පෝස්ට් දමමි. හැබැයි මම පබ්ලික් (ලෝකෙටම පෙනෙන - අර ලෝක ගෝලය සහිත) එකට පෙනෙන පෝස්ට් දමන්නේ ඉතා කලාතුරකිනි. නමුත්  බ්ලොග් අඩවියේ ලියූ කතාවක්  නිසා එය "පබ්ලික්" කලෙමි. 

දැන් අපි මේ ගොවි ධිවර කම්කරු කතාව දෙස බලමු. මේ මහතාට රිදී ඇත්තේ මෙවර නත්තල ඉහත කී ජන කොටස් අසීරු ලෙස ගත කරන නිසාය. ඔහු කියන්නේ  මා ඔවුන්ට පින්තූර විස්තර දමා කෝචොක් කරන බවයි. 
ඉතා කෙටියෙන් කිව යුත්තේ මා වැනි අය රැකියාවක් කරමින් උපයන මුදලින් පවුලට නෑදෑයින්ට උදව් ද කරමින් ජීවිතය  ගෙවන බවයි, .ඒ මුදල් කාගෙවත් නොවේ.  මේ කියන්නා මේ තැත්  කරන්නේ පිටරට සිටිනා වුන් කෙරෙහි වෛරය පතුරුවන්නට නොවේද . සැබවින්ම   ගොවියා,  ධීවරයා හා කම්කරුවා  තම විරෝධය පෑ යුත්තේ කාටද? 

පළමු කොට ඔවුන් විරෝධය  පෑ යුත්තේ හැම මැතිවරණයක් දීම ආගම් භේදය හා ජාති භේදය අවුස්සා චන්දය හොරකම් කරන උන්ට එරෙහිවය. මේ ලිපියේ කියන්නේ ආගමික භේද නොසලකන ලෙසටය. මේ තැනැත්තාට එයට රිදී තිබේ.

දෙවනුව ඔවුන් විරෝධය පෑ යුත්තේ ඔවුන්ගේ බදු මුදල් සොරකම් කර සැප විදින, ඔවුන්ව  වසර හැත්තෑවක් තිස්සේ මුලා කළ දේශපාලකයන්ටය. මොන පක්ෂයේ වුවද උන් බලයට පැමිණි වහාම කරන්නේ කොන්ත්‍රාත්තු වලින්, යෝජනා ක්‍රම වලින්, ව්‍යාපාර වලින්, සංස්ථා වලින්  නැත්නම් කෙලින්ම හෝ ජනතා මුදල් සොරා කෑමය. එසේම බදු විරහිතව සැප වාහන ගෙන්වාගැනීම, රට රටවල සංචාරයේ යෑම, තම දරුවන් බටහිර රටවල් උගෙනීමට යැවීම මේ සියල්ල මහජන මුදලින් කරති. ඒවා බුකියේද දමති. 

තෙවනුව විරෝධය පෑව යුත්තේ මේ ඉහත කී සියල්ලට තවමත් කඩේ යන උන්ටය. ඒ අයටද  මේ දමන ලිපි දිරවන්නේ නැත. 

දැන් මම කලපනා කලේ මෙය ලියන්නට ඇත්තේ කවුරුද කියාය.

ජවිපෙ සපෝටර් කෙනෙක් නම් විය  නොහැකිය. එහෙම හැඟවෙන්නට ලියා තිබේ. රසල් බණ්ඩාරවත්ත ගේ සිට බොහෝ ජවිපෙට  එළිපිට සහය දක්වන්නන් හැසිරෙන්නේ පෙර පරිදි නොවේ. ඔවුන් කුමන රටේ සිටියද කන බොන දෑ , සහභාගිවන වන සාද ගැන හෝ පදින වාහනය  ගැන විස්තර සඟවන්නේ නැත. එහි වරදක් මම නොදකිමි. ඒ කියන්නේ "අලුත් සපත්තු දාගෙන එන සිසුවකු ධනපතියකු කිරීමේ  සිට පොඩි කඩ කාරයන් ධනපතියන් ලෙස දඬුවම් කිරීමේ මානසිකත්වයක්  " තිබූ ජවිපෙ සහෝදරයන් ඒ තත්වයට පෙරලීම අපි  අගය  කල යුතුය.🙂

පෙරෙට්ටන්  හෙවත් අපේ හිතවත් පෙරටුගාමී සමාජවාදී සපෝටර් ලා ගැන මට ඇත්තේ 50/50 විචිකිච්චාවකි. ඔවුන් ගෙන් සමහරු හෙටානිද්දාට  බ්‍රිතාන්‍යයේ සිටිමින්ම එහි  ධනවාදය අර්බුදය නිසා හිටි අඩියේ කඩා වැටීමක් සිදු වෙන්නේ යයි සිතා සිහින දකින්නෝ වෙති. එනිසා තමන් ලන්ඩනයේ වෙසෙන සුපිරි ජීවිතය ලංකාවට හෙළි කිරීමට නොහැකිය.  එනමුත් නත්තල ආගමික භේදයකින් සැමරීමට කරන ආරාධනාවට ඔවුන් විරුද්ධ වේ යයි සිතීමද අපහසුය.  අනික ඔවුන් විසින්ද නොයෙකුත් සාද සංවිධනය කරන හෙයින් ජර්මන් කෑමක් ගැන කීමේ අරුමයක් ඔවුන් දකින්නට ඉඩක් ද නැත. ලංකාවේ පෙරටුගාමී පාක්ෂිකයන් තවම සිටින්නේ විජේවීර සිහිනයේ නිසා ඔවුන්ගෙන් කෙනක් වීමට ඇති හැකියාව නිසා 50% සම්භාවිතාවක් තිබේ. 😉

සමබිම  පක්ෂයේ හෙවත් දීප්ති ගේ අනුගාමිකයෙකු ලිව්වා යයි සැකයක් ද තිබේ. රත්මලානේ සිට වුවද ගොවියා,  ධීවරයා හා කම්කරුවා ගැන ඔවුන්ට හදිසි කැක්කුමක් ඇති විය හැකිය. නමුත් ඔවුන්ට  බොහෝ විට ෆේස්බුක් මඩ බලකායක් ලෙස නමක් වැටී ඇති නිසා බ්ලොගයට ඒ යැයි කිව නොහැකිය. ඔවුන් කරන්නේ හැකි තරම් ෆේස්බුක් වලට යන්නන් ඉන් එළවීමට තැත් කිරීම යයි මට සිතේ. එය හොඳ වැඩකි. ෆෙස්බුක් එක තරම්මරට වැසියන් ගේ  වෙලාව නාස්ති කිරීමට පොළඹවන ඇපක්  රටකට හොඳක්  විය නොහැකිය.
හැබැයි ත්‍රිමාණ සඟරාවේ පල කර තිබූ මේ දැන්වීම සහිත ලිපිය බැලූ  විට "  සුභ නත්තලක් කීවාට දීප්ති සහෝදරයා අමනාප වූවා වත්ද කියා සිතුනි.  



අන්තිමේ දී මා තීරණය  කලේ මේ කොමෙන්ටුව දමන්නට වන්නේ අතිශයින්ම පක්ෂවාදී පොහොට්ටු වංශිකයකු විය යුතු යයි කියාය.  අපේ හිත මිතුරන් හා ඥාතීන් ඒ කාලේ පොහොට්ටුවට සහයෝගය දුන්නද දැන් කතා කරන විට කියන්නේ "අපෝ මතක් කරන්න එපා " කියාය. ඔවුන්ට "සිරිමා පෝලිම්" දැන් ඇති වෙලාය. ඒ මදිවට පෙට්‍රල් ආයෙත් ගණන් ගිහින්ය. එළවලු එංගලන්තයට වඩා ගණන්ය.  අංක එක ගෝල් ෆේස් ග්‍රීන් එකට යන අයද සජිත් ගේ නෝනාගේ අලුත් කොණ්ඩ සාප්පුවට ගොස් ඉන්පසු ක්‍රැබ් කඩේ , ඕෂන්, සැෆයර් , බීච් බාර් , බැරකුඩා ආදී සෙනග පිරුණු තැන වලට යන සෙනග ඇරුණු කොට රටේ ඉතිරි ජනතාව යන අවන්හල්  ගෑස් නැති නිසා වසා ඇති බැවින්ද පොහොට්ටු වන්ශිකයාට ජුවල් ගොස් තිබේ.

මම අඬන්නේ ගොවියා,  ධීවරයා හා කම්කරුවා  තවමත් ඉවසන් සිටින නිසාය.  මට මා ගැනම එනිස පව් කියා හිතේ. 

ගොවියා, ධීවරයා, කම්කරුවා මෙවර නත්තල ඉතාම දුෂ්කරතා මැද ගෙවා දමද්දී අජිත් කීර්ති මහතා ලන්ඩනයට වී සංගීත නාටක බලමින්, කේක් කමින්, මාළු සැමන් කමින්, නොයෙකුත් රහ තියෙන මත්පැන් ලිකුඅර් liquor වර්ග හා කෝපි බොමින්, වයන් බොමින් සිටි.

ඒ අතරතුරේ ඒවායේ පින්තුරද දමමින් අන් යට කොචොක් කරයි. මෙවැනි ආත්මාර්ථකාමී, නින්දිත, අශික්කිත ආකාරයට හැසිරිය හැකි වෙනක් අයෙක් වේ නම් ඒ අජිත් කීර්ති මහතාම විය යුතුය.

මෙවැනි දෑ වලින් ඔහු බලාපොරොත්තු වන්නේ කුමක්ද? අනෙකාගේ වේදනාව නොතේරීම නොව, නොදන්නවා වගේ සිටීමය.

මේවා දමා අජිත් මහතා සිතනවා ඇත්තේ ගොවියා, ධීවරයා, කම්කරුවා පව් කියා විය යුතුය. ඒත් අපට කීමට ඇත්තේ අජිත් පව් කියාය.

**************************************

16 comments:

  1. සුබ නව වසරක්, අජිත්!

    ඔතැන දේශපාලනයෙන් ඔබ්බට ගිය සංස්කෘතික ප්‍රශ්නයකුත් තියෙනවා නේද? මගේ අදහස පරිදි අජිත් ඔය විස්තර කරන කෑම වේල ඒ තරම්ම සුඛෝපභෝගී නැති, ජර්මනිය වගේ රටක ගොවියෙකුට, ධීවරයෙකුට, කම්කරුවෙකුට අමාරුවක් නැතිව කන්න පුළුවන් සාමාන්‍ය කෑම වේලක්. සමහර විට ලොකු ධනවතෙක් වුනත් ඔයිට වඩා ගොඩක් දේවල් කෑමට එකතු කර ගන්න එකක් නැහැ. එය වෙනම කරුණක්. ඇතැම් විට අජිත්ගේ කෑම වේල සම්බන්ධව මම වැරදි වෙන්න පුළුවන්. හැබැයි ඔය කෑම වලට කිට්ටුවෙන් යන කෑම වේලක් හදාගන්න මට ඇමරිකාවේදී විශාල මුදලක් වැය වන්නේ නැහැ. සොසේජස්, බ්‍රසල්ස් ස්ප්‍රවුට්, හතු වගේ දේවල් වලට සාපේක්ෂව ඉන්දියන් කඩේකින් බඩු අරගෙන සම්බෝලයක්, බතක්, පොළොස් ඇඹුලක් හදාගන්න වැඩි වියදමක් යනවා. ගෙදර උයාගෙන කනවානම් බටහිර රටකදී සම්ප්‍රදායික බටහිර කෑම කන්න යන වියදම ලංකාවේ කෑම කන්න යන වියදමට වඩා අඩුයි.

    අනෙක් පැත්තෙන් අජිත් ලංකාවට ගිහින් ලංකාවේ ගොවියෙකුට, ධීවරයෙකුට, කම්කරුවෙකුට ඔය අජිත්ගේ කෑම වේල හදල දුන්නොත් ඒ කී දෙනෙක් එයින් සතුටු වෙයිද? ඒ තියා, අඩු වශයෙන් මම දන්නා ලංකාවෙන් පැමිණි සංක්‍රමණිකයන්ගෙන් බහුතරය මේ වගේ කෑමක් කාලා සතුටු වෙන්නේ නැහැ. ඔය කෑම කාලා අන්තිමට බත් නැද්ද කියලා හොයනවා. ලංකාවෙන් පැමිණි සංක්‍රමනික පවුල් වල ගොඩක් අය බොහෝ විට ෆේස්බුක් දමන්නේ ලංකාවේ කෑමක් හදපු හෝ හමු වූ වෙලාවටයි. සමහර වෙලාවට හැම්, සොසේජස් වලට වඩා සුඛෝපභෝගී වෙන්නේ පොල් සම්බෝල. ඔය සුඛෝපභෝගී කෑම කියන කතාවම සාපේක්ෂ සංස්කෘතික අදහසක්.

    අජිත්ගේ කෑම මේසය සුඛෝපභෝගී වෙන්නේම ලංකාවේ ගොවීන්ට, ධීවරයන්ට, කම්කරුවන්ට හෝ සාමාන්‍ය ලාංකිකයන්ට නෙමෙයි. ලංකාවේ ජීවත් වෙමින් මනසින් බටහිර රටක ජීවත් වන එක්තරා පිරිසකට. ඇමරිකාවට හා බටහිර රටවලට පළු යන්න බනින්නේත්, පුළුවන්කමක් තිබේනම් හැකි වහාම බටහිර රටකට පැනගන්න සිහින දැක්කත් එයට අවස්ථාවක් නැති නිසා හෝ ඒ අවදානම ගන්න තරම් ධෛර්යයක් නැති නිසා ලංකාවේ හිටියත් මොන විදිහෙන් හෝ තමන්ගේ දරුවන් හෝ බටහිර රටකට එවන්න දඟලන්නෙත් ඔය කාණ්ඩයේ අය. අජිත්ගේ කෑම "අහිමි වී" තිබෙන්නේ ඒ පිරිසටයි. ලංකාවේ ගොවීන්ට, ධීවරයන්ට, කම්කරුවන්ට හෝ සාමාන්‍ය මිනිස්සු බහුතරයකට අජිත්ගේ කෑම "අහිමි වී" නැහැ. ඔවුන්ට ගොඩක් වෙලාවට තියෙන්නේ පොල් රොටියක් රවුම් කර ගන්න බැරුව අජිත් වගේ කෙනෙක් විඳින දුක ගැන අනුකම්පාවක්. අජිත් ලංකාවට ගියොත් ඒ අය සතුටින් අජිත්ට කෑම වේලක් දෙයි. "එංගලන්තේදී ඕවා කන්න හම්බ වෙන්නේ නෑනේ!" කියලත් කියයි.

    ReplyDelete
    Replies
    1. එකොන් , ඔබ ඉතාමත් නිවැරදියි. කලින් දවසේ මාළු කෑල්ලක් කන්නෙත්, දහවල සාමාන්‍ය කෑම වේලක් කන්නෙත් හම්බල් බව පෙන්වන්න කියලයි මගේ අදහස. ඒකයි මම ලීවේ ජර්මනියේදී නම් අපි හොඳ අවන්හලකට යන බව.ඇත්තම කියනවනම් ඔබ කියනව වගේ ජර්මනියේ ඕන කෙනකුට ගත හැකි අහර වේලක් ඕක. //ඔය කෑම කාලා අන්තිමට බත් නැද්ද කියලා හොයනවා// මේකනම් ඇත්ත. අපට ඕක ඕන තරම් වෙලා තියෙන නිසා හැම පාටියක දීම අපි බතුත් උයනවාෂුවර් වෙන්න. //අජිත් ලංකාවට ගියොත් ඒ අය සතුටින් අජිත්ට කෑම වේලක් දෙයි. "එංගලන්තේදී ඕවා කන්න හම්බ වෙන්නේ නෑනේ!" කියලත් කියයි.// මේකත් සම්පුර්ණ ඇත්ත . මට නිතර වෙන දෙයක්. හම්බ වෙන්නේ නැහැනේ කියල සාමාන්‍ය විධිහට හදපු කෑම වේලක් දෙනවා.
      මම හරිම කැමැතියි ඒකට.
      //දැක්කත් එයට අවස්ථාවක් නැති නිසා හෝ ඒ අවදානම ගන්න තරම් ධෛර්යයක් නැති නිසා ලංකාවේ හිටියත් මොන විදිහෙන් හෝ තමන්ගේ දරුවන් හෝ බටහිර රටකට එවන්න දඟලන්නෙත් ඔය කාණ්ඩයේ අය// ඔව්. එහෙම කිහිප දෙනෙක්ම මම දැක්ක පිටරට වල ඉන්න අයට දොස් කියනව. ඒ අතරේ මට මෙසේජ් එවනවා එන්න පුළුවන් ක්‍රමයක්ගැන අහල.
      ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි.

      Delete
  2. ගල්- මල්, හොඳ නරක, පැසසුම් අවමන්ද
    එවති පාඨකයො කියවා වෙහෙස විඳ
    එහෙම කරන්නත් කාලය ගත නොවෙද
    නොවටින කෙනෙකුහට එහෙමත් කරාවිද?

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත නිදි. ඒ විවේචනය ගැන මගේ තරහක් නැහැ. පොඩි විසංයෝජනයක් කළා විතරයි.

      Delete
  3. Replies
    1. හ්ම් (දේශපාලනයේ මැද පිළිවෙත)

      Delete
    2. ඕකෙන්ම නිවන් වුනත් ගිහෑකි. බුදුහාමදුරුවො තමයි කිව්වෙ.

      Delete
    3. අස්ථානයේ කටපොජ්ජ මන්ද කොරන්ට ගෙහුං වරිග පොජ්ජ නහගන්නෙ නැති කොම තමා ඒ හ්ම්.. එක - අජිත්, බස්පා

      Delete
    4. @බැස්සා - හැබෑ නේන්නම්
      @නමිය -හා හා 😀, බස්සා දන්නවා ලිස්සා යන්න

      Delete
  4. පිට්සා කමින් පෙප්සි බොමින් යන ගමනේ අජිත් ධර්මට සමාජවාදය වුවද හමුවිය හැක.

    ReplyDelete
    Replies
    1. සෝවියට් දේශයේ 1986 දීත් පිට්සා හල් තිබුනා. ජිවිතේට පළමුවෙනි පාරට පිට්සා කෑවේත් එහෙදි. පෙප්සි කෝලා ආවේත් ඒ කාලෙමයි. හැත්තෑවේ අග. සෝවියට් තක්කාලි පේස්ට් දීල පෙප්සි ගත්ත. යුධ නැව් පවා දීලා තියනවා.

      Delete
  5. අපිියෝවට නෑ.. ⁣ඕවාපිට නෑ.
    හුම්

    ReplyDelete
    Replies
    1. මොනවටද ඔයා නැත්තේ හ්ම්

      Delete
  6. මොනව කියන්නද කියල කල්පනාකලේ. ගැලපෙන එක 'හ්ම්ම් & ++++++' තමයි. ඒත් ඉතිං ඒක හැමදාම දැම්මාම අජිත්ට එපාවෙන නිසා වෙන මොනවහරි කියන්න ඕනෙ කියල හිතුවාම හිතට ආවෙ අජිත් ඕනෑම ඇනෝ කෙනෙක්ට පිලිතුරු දෙනවනෙ කියල.
    ඒක අනවශ්‍යයි කියල මට හිතුනත් (මම ඉතිං "හ්ම්ම්" ජාතියෙ, ගියපාර චන්දෙ දෙන්නවත් නොගිය කෙනෙක්නෙ ) බ්ලොගර්කෙනෙක් වශයෙන් අජිත් එසේ කිරීම අගය කලයුතු දෙයක්

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .