Sunday, 31 December 2023

අයිස්ලන්ත සංචාරය - 1




අප  අයිස්ලන්තයට ගියේ 2023 ,  ජුලි 24 වෙනිදාය. කෙෆ්ලවික් ගුවන් තොටුපලින් අපි ටැක්සියක හෝටලයට ගියෙමු. මම අයිස්ලන්තය ගැන දැන සිටියේ බොහෝ ගිනි කඳු සහිත දූපතක් බවය. එසේම බ්යෝක් Björk Guðmundsdóttir ගායිකාවද  එම රටෙන්  නිසාය. වරක් අයිස්ලන්ත ගිනි කන්දක පුපුරා යුරෝපයේ අහස දුමින් වැසී ගියේය. ඒ දිනවල ලංකාවේ සිටි අප ලන්ඩනයට ඒමට නොහැකිව සුමාන  දෙකක් මීගමුවේ රෝස්  ගාඩ්න් නමැති හෝට ලයකට වී   සිටියෙමු.  

ශ්‍රී ලංකාවට ගුවන් යානයක් ලඟා වෙද්දී අපට පෙනෙන ප්‍රධාන දසුනක් නම් හරිත වර්ණයෙන් බැබලෙන දුපත සහ නිල් පහන් දිලෙන  මුහුදය. කටුනායකට ලඟා වන විට ගස් කොලන්ද පොල් රුප්පාවද නෙත පිනවයි. අයිස් ලන්තයේ ගුවන් තොටුපලින් රෙක්‍යවික් නගරයට යන මාර්ගයේ ගස් වැල්  නැත. තිබෙන්නේ අළු පැහැති  බිමකි. අළු -පස  ගිනි කඳු වලින් පිටවූ ලාවා සහ අළු  වලින් සැදුනු ඒවාය.  

නගරයට පිවිසෙන විට මා දුටු තවත් දෙයක් වූයේ පාර  දෙපස ගොඩ නැගිලි වල ඇති කිසියම්  ඒකාකාරී බවකි. ඔවුන් ලස්සන ට වඩා ඒවායේ කල් පැවැත්ම ගැන සැලකිලිමත් වන බව මට සිතේ. එසේම බොහොමයක් ගොඩ නැගිලි අළු පැහැයෙන්  තිබීම සිතට කිසියම් අසතුටක් ගෙන දෙයි. .  

උදේ පාන්දර ගමන නිසා රෙක්යාවික් නගරයේ අප නතර වෙන හෝටලයට  යන විට හතර දෙනාම  සිටියේ හොඳටම මහන්සි වීය. ජර්මනියේ සිට  ඉනෙස් ගේ දෙමව්පියන් (මගේ මාමණ්ඩිය හා නැන්දණිය), ඉනෙස් ගේ සොයුරිය කැතරින් හෙවත් මගේ නෑනා සහ ඇගේ පුතුන් දෙදෙනා හා සැමියා වන අන්ද්රියාස් ද  එනතුරු අප හෝටලයේ බලා සිටියෙමු. හෝටලයේ උයන්නට කුස්සියක්ද විවේක  ගැනීමට පොඩි  ශාලාවක්ද තිබුණි. මගේ බිරිඳ ඉනෙස් තේ සාදා ගෙන පැමිණියාය. ඇය උයන්නට ගෙනා නොයෙකුත් කෑම කාමරයේ පසෙක ඇසිරුවාය. ඇය ත් මගේ නෑනාත් ඒවා සියල්ල සූදානම් කරගෙන තිබුණි. මෙයට හේතුව අයිස්ලන්තයේ කෑම ඉතා මිල අධික වීමය. මෙහි එලෝලුවක් හදා ගන්නට සුදුසු බිමක් නැත. අල සහ තක්කාලි තරමක් දුරට හැදෙන මුත් මුළු ජනතාවකටම සපයන්නට ඒ මදිය. බැටළු මස් හා මාළු මෙහි මිල අඩුම ආහාර ලෙස සැලකේ. නමුත් ඒවායේ මිලද එංගලන්තයේ මිල මෙන් දෙගුණයකි. 

උදාහරණයකට කියන්නේ නම බැදපු මාළුවෙක් හා චිප්ස් ලන්ඩනයේ රුපියල්  2400-3000 අතර වේ. අයිස්ලන්තයේ එය රුපියල් 6000-8000 අතර වේ.   (මම පසු දින අතරමගදී දියණියන්ට හැම්බර්ගර් දෙකක් අරන් දුන්නෙමි. එංගලන්තයේ ඒවා පවුම් 5 - රුපියල් 2000- පමණ වන නමුත් අයිස්ලන්තයේ බර්ගර් එකක් රුපියල් 7200 පමණය.) අපි ඉවීමට අවශ්‍ය බඩු ගත්තේ ඒ අසල පෝලන්ත කඩයකිනි. ඒවායේ කෑම වල මිල සාපේක්ෂව අඩුවිය. 

හෝටලයේ කළමනාකරු අපට බොහෝ දේ විස්තර කල අතර අයිස්ලන්තයේ මුළු ජනගහනය ලක්ෂ තුනහමාරක් , ලක්ෂ හතරත් අතර ප්‍රමානයක් යයි කීවිට අප මවිත වීමු. ඊට වඩා ජනකායක් අප නිරීක්ෂණය කළ බැවිනි. ඒ අයිස්ලන්තයට වරකට එන මිලියන් දෙකක් පමණ වූ සංචාරක ප්‍රජාව නිසා බව ඔහු පැවසිය. එසේම ඔහු පැවසුවේ හැම අයිස්ලන්ත ජාතිකයන් පස් දෙනෙකුගෙන්ම එක අයෙකු ඔහුගේ නෑදෑයෙකු විය හැකි බවය. ඔවුන්ට තම තමන් නෑදෑයන් දැයි සොයා ගැනීමට ෆෝන් ඇප් එකක් තිබේ. එයට හේතුව දෙදෙනෙකු තර ආදර සම්බන්ධයක් ඇති කර ගැනීමේදී ඥාති  ප්‍රශ්නයක් ඇති නොවීමටය. 
 

රෙක්‍යවික් අගනුවර මුළු ජනගහනය එක් ලක්ෂ විසි තුන් දහසකි. නගරය ඇත්තේ අත්ලාන්තික සාගරය අසලය. නගරයේ මුහුදට ආසන්න එක තැනක ධීවරයන් වෙනුවෙන් ස්මාරකයක් පිහිටුවා ඇත (උඩ පින්තූරය) . ඒ මුහුදු ගිය ධීවරයන් ගෙන් බොහෝ අයෙකු මුහුදේ රළු බව හේතුවෙන් ඒ අසල ගල් පරවල බෝට්ටු වැදී විනාශ වීමෙන් මිය යාම නිසාය.




අයිස්ලන්තයේ දුම්රිය මාර්ගයක් නැත. එනිසා එහි ඇති එකම දුම්රිය එන්ජිම ළමයින්ට සෙල්ලම් කරන්නට හැදූ  එකකි. 

අයිස්ලන්තයේ අශ්වයන් ඉතා කුඩාය. උන් ඇත්තටම  පෝනින් මිස් අශ්වයන් කියා කිව නොහැකි මුත් එසේ කියා අයිස්ලන්ත ජාතිකයන් තරහා කර ගන්නට යෑම අනවශ්‍ය දෙයකි. 




  අයිස්ලන්තයට පැමිණි මුල්ම ජාතිකයන් නොර්විජියානුවන්ය. එනිසා ඔවුන්ගේ මුල් භාෂාව  නෝර්ස් ය. නමුත් මෙහිදී අමුතු දෙයක් සිදුවී තිබේ. අයිස්ලන්ත ජාතිකයන්ගේ නෝර්ස් බස ඉතා පැරණිය.  මෙය හරියට සිංහලයන් අවුරුදු 1300 කට කලින් පුස්කොල පොත් හෝ ශිලා ලිපි වල සිංහල භාෂාව කතා කරන්නක් මෙනි. නොර්වේ  රටේ නෝර්වේජියානු භාෂාව කාලයත්ලු සමග නවීකරණයට ලක්ව  තිබේ. පැරැණි  නොර්වේ භාෂාව කතා කළද අයිස්ලන්තය බොහෝ කාලයක් ඩෙන්මාර්කයට යටත්ව පාලනය  වුනි. එනිසා  ඔවුන්ට ඩේනිෂ් භාෂාවද යම් තරමකට වැටහේ.   
අයිස්ලන්තය අත්ලාන්තික් සාගරයේ මැද ඇති දූපතකි. එනිසා මාළු බොහෝ තිබුනද ඒවා මිල ධිකය. හේතුව නම්  අයිස්ලන්තයේ සියලුම ධීවරයන් වැඩ කරන්නේ තනි සමාගමක් යටතේ නිසාය. සමාගම  ඔවුන්ගේ බෝට්ටු මිලදී ගන්නට කලින් ධීවරයන් තමන්ම  මුහුදු ගොස් ගෙනා මාළු ලාභයට වික්කහ. නමුත් ඔවුන්ට කිසිදු ආරක්ෂාවක් තිබුනේ නැත. රක්ෂණ ආවරණයක් තිබුනේ නැත. සමාගම මේ සියල්ල ලබා දුන් නමුත් මාළු මිල තීරණය කරන්නේ ඔවුන්ය.

ශ්‍රී ලාංකිකයන් කැමැති වන සුවිශේෂී කරුණක් මෙහි තිබේ. අනික් යුරෝපීය ජාතිකයන් මෙන් නොව අයිස්ලන්ත  ජාතිකයන් කරෝල කති. ඔය උඩ තිබෙන පින්තූරයේ ඇත්තේ  අයිස්ලන්ත කරෝල පැකට්  එකකි. ඒවා උන් කන්නේ නිකම්මය. හරියට පොටෙටෝ ක්‍රිස්ප් කන ලෙසටය. වේලාපු කරෝල කෑලි උන්ගේ ස්නැක් එකකි. මේ පහල පින්තූරයේ ඇත්තේ අයිස්ලන්ත කරෝල වතුරේ දමා  පොඟවා ගෙන එයින් මවිසින් හැදූ  කරෝල කරියකි. (මේ කරිය හදන හැටි දැන ගත්තේ ඉවාන් පව්ලුෂා අපේ නිවසට පැමිණ කරෝල හදපු  හැටි බලන් ඉඳලාය. ඉවනායා ඒක දන්නේ නැති නිසා කියන්නට  එපාය.) 

ආදරණිය බ්ලොග් පාඨක සමුහයාටද, මගේ සහෝදර බ්ලොග් රචක  රචිකාවියන්ටද සිතූ පැතුම්  සඵල වන, අමාරුකම් දුෂ්කරතා මධ්‍යයේ වුව ජිවන ඔරුව පැද යන්නට යෝධ ශක්තිය සවිය බලය ලැබෙන වාසනාවන්ත සුබ නව වසරක් වේවා. 2024 


--අජිත් ධ. 31/12/2023 




Wednesday, 20 December 2023

ඉගෙන ගත් දේ අපතේ යනවද

මේක ලියවෙන්න හැට්ටර් තුමාගේ ලිපිය කියවනකොට මතක් වුනු සිදුවීමක් දෙකක් නිසා. හැට්ටර් ගේ ලිපිය මෙතන.  අපේ ලොකු දුව සාමාන්‍ය පෙළ කරන කොට මුල් වාර විභාගේ භෞතික විද්‍යාවට ලකුණු හොඳටම අඩුයි. ගණන් සාමාන්‍ය මට්ටමේ. ඉතින් ඉනෙස් (බිරින්දෑ) ගෝරනාඩුවක් දැම්ම "මේ හලෝ ඔය බ්ලොග් ලියන එක නවත්තල ළමයට උගන්වනවා" කියල . මට පුලුවන්නම් ඔයාට කිය කියා ඉන්නේ නෑනේ  කියලත් කිව්වා.  මම ඉතින් වැඩේ භාර ගත්ත. ඔය අතරේ අපෙ යෙහෙළියක වන ඉන්දු ගේ  දුව අයුමිණිත්  එකතු වුනා ක්ලාස් එකට .
එයා හොඳ ගායිකාවක් මේ තියෙන්නේ එයාගේ  සින්දු.   

හැබැයි වැඩේ කියන්නේ මගේ දුවයි අයුමිණි දුවයි  දෙන්නම  අහනව මේව ඉගෙන ගෙන ඇති පලේ මොකක්ද? අපි කවදාවත් යූස් කරනවද මේ ඉගෙන ගන්න ඒවා කියල. මම කීව "ඉගෙන ගන්න  ඕන දෙයක ප්‍රයෝජනයක් තියනවා "කියල. මේ කතාව කිව්වේ එයාලට. වුනේ මට. 

අවුරුදුම එකොළහකට  කලින් දුවල දෙන්න ප්‍රයිමරියේ ඉගෙන ගන්න කාලේ මේක වුනේ. මම උදේට ඒ දෙන්නව  ප්‍රාථමිකේට ගිහින්  බස්සලා වැඩට යනවා. එතන කෙලින්ම  මහා පාරට දාන්න බැහැ . ට්‍රැෆික් වැඩියි . ආ අමතක වුනා කියන්න, ඒ කාලේ මට තිබ්බේ හොන්ඩ සිවික් එකක්. නියම කාරෙක. කිසිම කරදරයක් දුන්නේ නැති වාහනයක්. එන්ෆිල්ඩ් වල ගණකාධිකාරිවරයෙක් වන අජිත් ජයකොඩි අයිය තමා සර්විස් හෙම කලේ. ඒක එයාගේ අතිකාල රැකියාව.  එයාගෙන් ඇහුව හැකි ඒ ගැන.
  
 හරස් පාරවල් දෙකකට හැරෙව්වම   තමයි මහා පාර  වන Hertford පාර ට දාන්න වෙන්නේ. ඉ මොකද පාසැල ළඟ පාරේ වාහන පිරිලා. ස්කෝලේ ළඟින් ඇවිත් හරස් පාරට දාන්න යන කාර් පෝලිමේ ඉන්න වෙන්ව ටික වෙලාවක්.  එදා මට ඉස්සරහින් Audi A4 එකක් තිබ්බේ. මම හිටියේ පෝලිමේ දෙවෙනියට. අවුඩි එකට පස්සේ මට පාරට දාන්න පුළුවන්.. මම පිටි පස්සට වෙලා  ටිකක් ඈතින් ඉන්නව. අවුඩිය ඉස්සරහට යනවා. පොඩ්ඩක් බ්රේක් කරනවා. ටිකක් පස්සට එන්න බලනවා. ආයෙත් බ්‍රේක් කරනවා. ආයේ මහා පාරට වමට හරවන්න වගේ ඉඳල යන්නේ නැහැ. එක විකාරයයි. ගෑණු කෙනෙක් හිටියේ වාහනේ. ටික වෙලාවකින් මෙයා යනව වගේ පෙනුන. මම කාරෙක ඉස්සරහට දැම්ම. යන්තන් වැදුන. ටිකක්  සද්දෙට හැබැයි. ලොකු ඩැමේජ් එකක් දෙකටම නැහැ.  මම එළියට බැහැල කතා කළා. ඉස්සරහ අවුඩි යේ රියදුරු  මධ්‍යධරණී පැත්තේ පෙනුමක් තියෙන කාන්තාවක්.  බලනකොට  ග්‍රීක සයිප්‍රස් එක්කෙනෙක්. මරියා චරලම්බස් නමට. පැද්දී පැද්දී  ඇවිල්ල මට කියනවා.
" අනේ මොකද වුනේ ඩාලින් , ඔයා මාව හැප්පුව  නේද? අවුලක් නෑ , ගණන් ගන්න එපා , ඔයාට ඉන්ෂුරවන්ස් තියෙනවනේ. NCD (No claims discount ) තියෙනවනේ. (කලින් ක්ලෙම් කරලා නැත්නම් ලැබෙන ඩිස්කවුන්ට් එක)  අපි රක්ෂණ කම්පැනි වල නොම්මර හුවමාරු කරගමු.

මට එකපාරටම ඇල්ලුවේ නැහැ කතාව. ඉස්සල්ල ඩැමේජ් බලල, ෆොටෝ ටිකක් ගහල හෙම නේ පටන් ගන්න ඕනේ කතාව. මම කීව ඔයාට මුකුත් හානියක් වෙලා නැහැනේ. මම පවුම් 150 ක් දෙන්නම් වැඩේ ක්ලෝස් කරමු කියල. මමනේ පිටි පස්සෙන් ගිහින් හැප්පුවේ . කොහොමත් වරද මගේ වගේනේ. එහෙම හිතල කීවේ. 
ගෑනි කියන්න ගත්ත "හප්පෝ මේ වැදිලා මෙහෙන් යට ගිහිල්ල. අරහෙන් ගිහිල්ල." මම කිවා ඕව කලින් වෙලා වගේ පේන්නේ . 

මේ මගේ හොන්ඩ සිවික්  එකේ ඉස්සරහා පැත්ත 

 මම කීව මම අඳුරන ගරාජ් එකක් තියෙනවා. ගාන අහල කියන්නම් කියල. එදාම හවස කෝල් කරල කීව පවුම් 400 ට අලුත්ම බෆර් එකක් දාල දෙන්නම් කියල. ගෑණි එපා කිව්වා. මෙන්න සුමානෙකින් ඉන්ෂුරන්ස් එකෙන් කියනව එයාලාට  පවුම් 1800 ගෙවන්න වෙනවලු ඇක්සිඩන්ට් එකට. මම කිව්වා මම ඇක්සෙප්ට් කරන්නේ නැහැ ලයබිලිටි එක කියල. උන් කියනවා  "ඔයා තමා පිටි පස්සෙන් ගිහින් හප්පලා තියෙන්නේ. ඒ නිසා අපි මේක ගෙවනවා කියල. " මම කීව මගේ විරෝධය මත ගෙවන්නේ කියල ලියා ගන්න කියල. 

පින්තුරේ තියෙන්නේ එයාගේ අවුඩි කේ  හැපුණු පැත්ත (මොන මගුලක් වත් වෙලා නැති):

ඊට මාසෙකට පස්සේ මෙන්න තව ලියමනක් එනවා ගෑණි "ශරීර හානි " සිදුවුනා කියල වන්දි ඉල්ලනවලු රක්ෂණ සමාගමෙන්. මම කීව මම ඒක කන්ටෙස්ට් කරනවා එහෙම වුනේ නැහැ කියල. සාමාන්‍යයෙන්  පිටි පස්සෙන් ගිහින් හැපුනම ම "whiplash injury" එකක් වුනා කියල මෙහෙ රක්ෂණ සමාගම් වලින් පවුම් 5000 විතර ගෙවනවා. බෙල්ල හෙලවිලා ආසාදන යක් වුනා කියල.  ඕකට යන්තම් හැපුනත් රෝහලට ගිහින් පෙන්නලා දොස්තර ලියමනක් ගත්තම ඇති. එනිසා හැමෝම ඉල්ලන්න ගත්ත. එනිසාම අපේ රක්ෂණ වාරිකත් ඉහල යන්න ගත්ත. මේක ලොකු ප්‍රශ්නයක් නිසා රක්ෂණ සමාගම් සැකයකින් හිටියේ. 

නමුත් මගේ විරුද්ධත්වය මත උන් ඒකත් දෙන්න ලැහැස්ති වුණාම උන් තව ලියුමක් එව්වා. ගෑණි ඉල්ලනවලු පවුම් 15000ක්. ඔන්න රක්ෂණ සමාගමට පත්තු වුනා. මගෙන් ඇහුව අපි පරික්ෂ කරන්න ටීම් එකක් එවනව. කැමතිද අහල. මම කිව්වා හා කියල. පරීක්ෂා කරන්න ආපු  ඉන්ජිනේරුව පිලි ගත්ත ඩැමේජ් එක minimal. යන්තමට වැදිලා තියෙන්නේ කියල. දැන් ඔන්න නඩුව  යනව. මං වෙනුවෙන් ඒ ගොල්ලෝ නොමිලේ පෙනී හිටින්නේ.  රක්ෂණ කාරයන්ටත් තේරිලා මෙතැන මොකක්හ රි අවුලක් තියනව කියල. නමුත් උන්ට ඔප්පු කර ගන්න බැහැ. 
නඩුව අවුරුද්දක් විතර ඇදෙන කොට නීතිඥවරිය හෙලන් එව්වා නඩුවේ විස්තර.
" අජිත් අපට මේක ගෙවන්න  වෙනවා. මරියා ගේ නීතිඥ සමගම  විශේෂන්ඥයෝ (එක්ස්පට් expert) කෙනෙක් සහ වෛද්‍ය විශේෂඥයන් දෙදෙනෙකු ගෙනුත්  වාර්තා අරගෙන" කියල එයා ලිව්වා මට.

එක වෛද්‍ය විශේෂඥයෙක්  ඉන්දියන් සම්භවයක් තියෙන කෙනෙක්. අනිත් එක්කෙනා පකිස්ථානු. එක්කෙනෙක් කියනව උකුල පැත්තට ඉන්ජරියක් වෙලාලු. අනික් එක්කෙන කියනවා  බෙල්ල හෙල්ලිලා හරි අමාරුයි ලු. බෙහෙතුත් දෙනවලු.
ඊළඟ විශේෂන්ඥ වාර්තාව ඉංජිනේරුවා ගෙන්. එයාට BSc එකක් තියනව සහ මේ වගේ හැල හැප්පීම් කිහිපයකට ගිහින් තියනවා කියලත් ලියල තියනවා. ඊට පස්සේ එයා  නිව්ටන් ගේ පළමු නියමය , දෙවන නියමය  සහ තුන්වන නියමය පැහැදිලි කරලා, අවුඩි එකේ සහ හොන්ඩ එක බර සඳහන් කරලා මගේ අවසන් වේගය පැයට හැතැප්ම පහක්  කියල නිගමනයකුත් අරගෙන.  ඒ වැදීමේ වේගය අනුව මරියා ඉස්සරහට විසි වෙලා බෙල්ල හෙලවෙන්න හොන්දටම  ඉඩ තියනවා කියලත් ලියල. ඔන්න මම ඒවා ටික දැම්ම යට. ඒ වේගයට අනුව ඉම්පැක්ට් ෆෝර්ස් හෙවත් ඝට්ටනයේ බලය කිලෝ නිව්ටන් 17ක් ලු. 

කාල වරෙන්කො. නීතිඥ සමාගමේ හෙලන් කියනව. 
"අජිත් මොකද කරන්නේ අපට මේවා පිලි ගන්න වෙනවා නේද" කියල. මම කිව්වා මට දවසක් දෙන්න. මම ගණනය කරලා කියන්නම් කියල. 
නිව්ටන්ගේ නියමයන් නේද මල්ලි , කියල  හිත හිත තමා  එදා වැඩ ඉවර වෙලා ගෙදර ගියේ.  මම ඉන්ජිනේරුව ලියල තියෙන ඒවා හොඳින් කියෙව්ව. එයා බලය (force) එකේ වටිනාකම ලියල තියෙන විධිහ, අවුඩි එකේ සහ හොන්ඩ එකේ බර. හෑ , අවුඩි එකේ  බර වැඩියි නේ .මෙයා  කොහොමද මගේ වේගය නිර්ණය කලේ. 



මමත් අර විධිහටම ලිව්වා. පටන් ගත්තේ මගේ අධ්‍යපන සුදුකම් වලින්. මේවා මම සීවි එකේ විතරක් ලියන ඒවා වුනත් මෙතනදී ලියන්න එපාය. මට තියෙන උපාධි ටික ලිව්වා.  එතකොට ෆෙලොව්ශිප් එකකුත් තියනව  කියල  දැම්ම. නමේ අගට තියෙන ටයිටල් ටිකත් දැම්මා ඉතින්. ටිකක් බර වෙන්න. 

මම ඇහුව, මම කැමතියි දැන ගන්න මේ පර්යේෂක තැන ඉම්පැක්ට් ෆෝර්ස් එක (කාර් එක  වැදුණු බලය) කිලෝ නිව්ටන් ම 12.7 ක් වෙන්න ගණනය කලේ කොහොමද කියල.  කරුණාකරලා එයාගේ ගණනය කිරීම් එවන්න කියලත් ඉල්ලුව.  
මොකද මමත් ගණනය කළා.

චලිතය පිළිබඳ නිව්ට ගේ දෙවන නියමයට අනුව බලය F = m (ස්කන්ධය) X a (ත්වරණය) ඒ කියන්නේ වස්තුවක ත්වරණය එයට යොදන බලයට සමානුපාතිකව වැඩිවෙනවා කියන එක. එතකොට මොමෙන්ටම් කියලා කියන්නේ ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය.(  m x v) 

 එතකොට ත්වරණය a (Acceleration) කියන්නේ අවසන් ප්‍රවේගය අඩු කිරීම  මුලික ප්‍රවේගය වැයවුණු  කාලයෙන් බෙදීමට  (V2-V1)/t

ඉම්පැක්ට් ෆෝර්ස් එක එතකොට වෙන්නේ ස්කන්ධය වැඩි කිරීම  ප්‍රවේගයේ ඇතිවූ වෙනස බෙදීම එයට ගතවුණු කාලය.  F=m x (V2-V1)/t

මූලික ප්‍රවේගය එයා කියන විධිහට පැයට හැතැප්ම  තුන නම් ඒ කියන්නේ තත්පරයට මීටර් 1.33 ක් 
-->3* 1.6 = 4.8 Km per hour = 4.8*1000/3600 = 1.33 meters per second (ms-1)
මෙතැන් 1.6 කියන්නේ හැතප්මකට  කිලෝ මීටර් ගාන , දාහෙන් වැඩි කලේ මීටර් වෙන්නේ. 3600 කියන්නේ පැයට තත්පර ගණන.

දෙවෙනි ප්‍රවේගය පැයට හැතැප්ම පහ නම් අර විධිහටම හෙව්වම ඒක වෙන්නේ 2,22
 5*1.6 =8 kmph = 8*1000/3600 = 2.22 ms-1

එයා  කියන්නේ හැප්පුනේ මිනිත්තු එකත්  දෙකත් අතර කියල, අපි ගමු වැඩි අගය වන මිනිත්තු දෙක. එතකොට acceleration  හෙවත් ත්වරණය වෙන්නේ  0.0074 (තත්පර වර්ගයට මීටර්)

a = (V2 - V1) / t = 2.22-1.33/120 = 0.0074 ms-2

දැන් ගණනය කරමු බලය. 

හොන්ඩ  එකේ බර කිලෝ ග්‍රෑම්  1100

F= ma= 1190*0.0074 = 8.8478 N (newton) =0.0088KN කිලෝ නිව්ටන් වලින් 0.001 වගේ වෙන්නේ. 

 එතකොටගනිමු ඉම්පැක්ට් ටයිම් එක මිනිත්තුවයි කියල. 

ත්වරණය  a = (V2 - V1) / t = 2.22-1.33/60 = 0.0148 ms-2

බලය F= ma = 1190*0.0148=17.65 Newton.=0.017KN

හොන්ඩ එකට  කීයටවත් කිලෝ නිව්ටන් 17 ක බලයක් යොයොදන්න බැහැ 

මේ ත්වරණයම  සලකල බැලුවොත් අවුඩි එකට බර 1640 kg  නිසා එනවා නිව්ටන් 12 ක බලයක්. කෙටියෙන්  කියනවනම් අවුඩි එකේ බරින් යොදන ප්‍රතිවිරුද්ධ බලය වැඩියි. මම තර්ක කළා හොන්ඩ එකේ  ඉම්පැක්ට් එක අවුඩි එක තුල දිය වෙලා ගිහින් ඩ්‍රයිවර් ගාවට එනකොට මිනිමල් කියල. අඩුම වෙලා. ඒ කියන්නේ එයාගේ බෙල්ල ඔය විධිහට හෙල්ලෙන්න වත් උකුලපෙරලෙන්න විධිහකුත් නැහැ  කියල. හරිනම් මමයි ඉස්සරහට විසි වෙලා බෙල්ල නැමෙන්න ඕනේ. මට එහෙම වුනේ නැත්නම් එයාට වෙන්න විධිහක් නැහැ කියල. 

ඒ නිසා ඩිෆෙන්ස් (මම) එකෙන් ඉල්ලුව මරිය ගේ පරණ වෛද්‍ය වාර්තා දෙන්න. එයාට තියෙන ලෙඩ මොනවාද මිට කලින් ඇක්සිඩන්ට් වෙලා තියෙනවද , මිට කලින් වෙන ක්ලේම් (රක්ෂණ මුදල් ඉල්ලීම්)  තියනවද කියල. 


නීතිඥ හෙලන්ට අනිත් සමාගම එක්ක සාකච්චාවක් තිබ්බ. ඒකෙදි ඒ ගොල්ල කිව්වා අර පර්යේෂක ඉංජිනේරු මහතා  එයාගේ වාර්තාව ඉල්ලා අස් කර ගත්ත කියල. සුමානෙකින් දැන ගන්න ලැබුන  විශේෂන්ඥ වෛද්‍යවරු දෙන්නත් එයාලගේ පිටු දහයේ වාර්තා ඉල්ලා අස් කර ගත්ත කියල. නඩුව කොලැප්ස්ඩ්.

 ඒ වෙනකොට විශේෂන්ඥ දොස්තර හබිස් ගැන මම වෙන දෙයක් හොයාගෙන තිබ්බ. එයා ගැහැණු ළමයෙකුට කනට ගහල GMC (බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව) එයාව  සස්පෙන්ඩ් කරලා තිබ්බේ. මිනිහ ලියල තිබ්බෙත් හොර නමක්. හොසම් කියන නම  H Sam හැටියට.  එතකොට එයාගේ වාර්තාව කොහොමත් වැලිඩ් නැහැ. එතනට යන්න වුනේ නැහැ ඉතින්.

දුවලට භෞතික විද්‍යාවේ ඉගෙන ගන්න දේ  ප්‍රයෝජනයක් තියනවා " කියල දුන් උපදෙස මේ ආකාරයට ඔප්පු කිරීමට හැකිවීම ජයක්.

මගේ ලොකු  දුවයි අයුමිණි දුවයි විද්‍යා විෂයන් ඉහලින්ම සමත් වුනා හිතවතුනි. 

තව එක කතාවක්  මේ යටතේ තියනවා. ඒක පසුවට. 

(තට්ටයාගේ කොළම සංවිධානය කරන ශනිදා බ්ලොග් ලිවීමේ පස් අවුරුදු සැලැස්ම යටතේ කොළඹ ගමයා  විසින් ශනිදා සිට පැය 84 කට පසු ලියා පළ කරන ලදී.)

- අජිත් ධර්මකීර්ති 2023-12-20 

ප.ලි: පස්සේ කාලෙක ඔය නැගෙනහිර යුරෝපීය  සෙට් එක ගලන්න ගත්ත නේ එංගලන්තෙට. කාර් මහා පාරේ නවත්තල හප්පගෙන පවුම් 5000 ක්ලේම්  කරනවා. ඒ මදිවට දෙතුන් දෙනෙක් දාගෙන ගිහින් හප්පලා අර තමන්ගේ කාරෙකේ හිටි එවුන්ට whiplash ඉන්ජරි සල්ලි ඉල්ලනවා. ආණ්ඩුව අන්තිමට රක්ෂණ සමාගම් වලට  කීව අර අපි අහපු ප්‍රශ්න වගේ ඒවා අහල පිළිතුරු දෙන්න බැරිනම් පොලිසියට භාර දෙන්න කියලා. දැන් ටිකක් අඩුයි. 

Sunday, 10 December 2023

රුසියන් යුද්ධය සහ තවත් යුද්ධ හා සාමය



රුසියාව ගැන ආයෙත් ලියන්න පුළුවන් තත්වයක් ඇවිල්ල.  හේතුව පස්සේ කියන්නම්. නමුත් මේ වෙලාවේ ප්‍රවෘත්තියක් ලියන ආකාරයට මිසක් වෙන විධිහකට ලියන්න අදහසක් නැහැ. නමුත් ඉතා වැදගත් කතාවක් යහළුවෙක් ලියල තිබ්බ.. සාමය හදා ගන්න පුළුවන් යුද්ධයෙන් විතරයි කියල. උදාහරණයකට අරන් තිබ්බේ දෙවන ලෝක යුද්ධය. දෙවන ලෝක යුද්ධයේ හිට්ලර් ගේ හමුදා වලට යුද්ධයන් පිළිතුරු දීලා පරාජය කරලා සාමය උදාවුණු බව ඇත්ත. නමුත් එතැන ආක්‍රමණිකයාට එරෙහිව  තමන්ගේ ජිවිත හා තම උපන් දේශය  රැක  ගැනීමට ප්‍රති ප්‍රහාර දීමක් සිද්ධ වුනේ නේද?  සෝවියට් දේශය, යුරෝපය සහ බ්‍රිතාන්‍යය  ගත්තහම ඒක එහෙමයි. ලෝක සාමය සඳහා සටන් කලේ ඇමෙරිකා එක්සත් ජනපදය. ඒ අතරේ   වෙළඳාමත් ලස්සනට කර ගත්ත. ඒක යුද්ධයේ අතුරු පලයක් කියමු.

මම  නම් හිතන්නේ යුද්ධයක් ඇති වෙන්නේ සාමය බිඳී යාම නිසා. සාමය බිඳී යන්නේ නොයෙකුත් දේශපාලනික හෝ වෙනත් දූෂණ , වංචා වැනි හේතුන් නිසා. ඉතින් ඒ ප්‍රශ්න හරියට විසඳ ගත්තා නම් යුද්ධ ඇති වන්නේ නැහැ.
 
කවුරුත් නොදකින යුද්ධයක් ගැන කියමු ඉස්සෙල්ලම. අප්‍රිකාවේ සම්පත් සෑහෙන කාලයක් භාවිතා කරේ බටහිර යුරෝපය සහ ඇමෙරිකාව.  දැන් ඒක කරන්න බැහැ  චීනය එක්ක. චීනය භාවිත කරන්නේ ණය දීමේ ක්‍රමය. රුසියාව පුටින් යටතේ ඒකට බැස්ස. ඒ කුලී හමුදා දාලා. ප්‍රිගොෂින් යටතේ. ඒ කුලී හමුදා  අද  සටන් කරනවා ප්‍රංශ කුලී  හමුදා වලට විරුද්ධව. ප්‍රංශ කට්ටිය සෑහෙන්න පැරදිලා ඉන්නේ. හිටි හැටියේ අප්‍රිකානු  රටවල රාජ්‍ය කුමන්ත්‍ර වෙන්නේ ඒ නිසා.  රුසියාව අල්ල ගන්න අප්‍රිකානු සම්පත් මෙහෙයවන්නේ චීන - රුසියානු සමාගම්.  ඉතින් ඒක තමා පෝලිමට යුරෝපීය රටවල් අප්‍රිකාවෙන් සමාව ඉල්ලන්න පටන් අරන් තියෙන්නේ. ලඟදි ජර්මනිය ටැන්සානියාවෙන් සමාව ඉල්ලුව.  තෙවැනි චාල්ස් රජතුමා කෙන්යාවෙන් සමාව ඉල්ලුව. 

ආ, කියන්න අමතක වුනා. අර මෑන් හෙලිකොප්ටරේ වැටුන එකෙන් මැරුණේ නැහැ කියලයි කියන්නේ. ඒ මැරුනේ වෙන එකෙක්ලු. මිනිහ අප්‍රිකානු රටවල සටන්  මෙහෙයවන බවයි ආරංචිය. 

උක්රයිනයේ වෙන්නේ මොකක්ද දැන්. අර මම කලින් කීවනේ උක්රයින හමුදා වලට ආපු ජර්මන් යුධ ටැංකි හෙම රුසියානු හමුදා අල්ල ගත්ත කියල. උක්රයින ප්‍රතිප්‍රහාර  සම්පුර්ණයෙන් අඩපණ වෙලා තියෙන්නේ. එහෙම වුනා කියල උක්රයිනය සම්පුර්ණයෙන් පැරදිලා නැහැ. නමුත් දිනලත් නැහැ. රුසියාව  අල්ල ගත්ත ප්‍රදේශ තවම තියනවා. හමුදා දෙකටම යුධ භටයන් හිඟ කම තදින්ම තියනවා. දෙරටේම සටන් කරන්න පුළුවන් තරුණ තරුණියන් පැනල යනවා වෙන රටවලට. ළඟදී මියගිය ශ්‍රී ලාංකික හමුදා භටයන් වගේ උක්රයින විදේශ විශේෂ බලකායේ වෙනත් රටවල වැසියන් උක්රයිනය  වෙනුවෙන් (මුදලට) සටන් කරනවා.  නමුත්  රුසියාවට තව අවුරුදු ගානක් මේ යුද්ධය ඇදගෙන යන්න පුළුවන්. 

යුරෝපය දමපු සම්බාධක වලින් රුසියානු ආර්ථිකයට යම් ප්‍රශ්න ඇති වුනත් ඒක බටහිර මාධ්‍ය කියනව වගේ  වැටිලා නැහැ. ඒක බොරු කතාවක්. යුරෝපීය   තවම හොරෙන් රුසියානු තෙල් සහ ගෑස් මිලදී  ගන්නවා.  ඒ නිසා සම්බාධක වලින් රුසියාවට නැත්තේ සමහර චීස් වර්ග, වටිනා සුවඳ විලවුන් වර්ග, ඇඳුම් පැළඳුම් වගේ දේ. ඒකෙන්  පාඩුවත් බටහිර සමාගම් වලටමයි. 

තවම අවසන් නොවූ මේ යුද්ධයෙන් දැනට දිනලා තියෙන්නේ  කවුද?  රුසියාව සහ ජර්මනිය ඩොලර් බිලියන්  නමයක තෙල් සහ ගෑස් නල මාර්ගයක් හැදුවනේ. උක්රයිනය මග හැරලා  ජර්මනියට හා ඒ පැත්තේ යුරෝපිය රටවල තෙල් සහ ගෑස් දෙන්න. ඒක උක්රයින ජාතිවාදී හමුදා කණ්ඩායමක් පුපුරුවා  හැරියා. එක්සත් ජනපදය හා බ්‍රිතාන්‍යය මේ නල මාර්ගයට කැමැත්තක් දැක්වුයේ නැහැ. ඒවාට හේතු ලෙස  මට හිතෙන විධිහට රුසියාව සහ ජර්මනිය  අතර සම්බන්ධතා වැඩි වීම. යුරෝපය රුසියන් ගෑස් මත රඳා පැවතීම. (ඇමෙරිකාවේ ශේල් ගෑස් සමාගම්  වලට පාඩුයි. Shale gas) . ජර්මනිය වඩා බලවත් වීම. (යුරෝපයේ පළමුවැන් සහ දෙවන ලෝක  යුද්ධ දෙකක්ම   ඇති කලේ ජර්මනිය නිසා ඒ බිය සාධාරණ යයි හිතමු) . ඉතින් ඇමෙරිකා එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය දිනුම්.

තව කොටසක් ලියන්න අමතක වුනා. සෝවියට් දේශය බිඳ වැටීමේ ආරම්භය  සනිටුහන් කලේ චෙ-ර්නොබිල් පුපුරා යාම. මම තව දුරටත් විශ්වාස කරන්නේ නැහැ රිඇක්ටරයේ ප්‍රශ්නයක් නිසා ඒක වුනු බව. ඒ රිඇක්ටර් ප්‍රශ්නය පසුව හොයා ගත්තත් චෙර්නෝබිල් - සැඟවිය නොහුණු සත්‍යය 3 ලිපි පෙලේ තවමත් එවැනි පළමු බලාගාරයක්  රුසියාවේ ක්‍රියාත්මකව තිබෙන්නේ ඇයි කියන ප්‍රශ්නය  මම ඇහුව.  උක්රයින  ජාතිවාදීන් ගෙන් අයෙකු රිඇක්ටරය තුල පීඩනය වැඩි  කීරීමත් අනිත් ක්‍රියාකරුවන් එය මුලින්  ගණන් නොගැනීමත් එයට හේතු වුනා කියල සහ  කේජිබි එකට වැරදුනේ ඇමෙරිකානු රහස් ඔත්තු සේවය පස්සේ යාම නිසා කියල මම හිතන්නේ. ඔවුන්ගේ (අමෙරිකනුන් ගේ)  කිසිදු සම්බන්ධයක් එයට නැති බවයි මගේ අදහස.  

සෙලෙන්ස්කි අවුරුද්දකට කලින් රුසියාව සමග සාම ගිවිසුමකට යන්න ඔන්න  මෙන්න හිටියේ. ඒක නැවැත්තුවේ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ගිහිල්ල. පුටින් කියන්නේ යුධ අපරාධකරුවෙක් කියන මතය ඉදිරියට දාල. ඒ නිසා, කීයටවත් සම ගිවිසුමකට යන්න එපා බොරිස් තමා කියල තියෙන්නේ.

නමුත් අද  තත්වය වෙනස්. රුසියානු  භටයන් උඋක්රයින  සිවිල් වැසියන් ඝාතනය කල බව ඇත්ත. ඔවුන් උක්රයින කාන්තාවන්, කෙල්ලන්, දරුවන් මෙන්ම පිරිමින් පවා දූෂණ කළ බවත් ඇත්ත. රුසියාව උක්රයින්  නගර වලට බෝම්බ හෙලන බවත් ඇත්ත.    

කාන්තාවන් දුෂණය කිරීම ඊශ්‍රායල භටයන් නොකලාට ගාසා තීරයට  ඊශ්‍රායල හමුදා බෝම්බ දාලා  සාමාන්‍ය මිනිසුන් සහ ළමයින් මැරෙන එක ඇත්ත. ඒත් ඉතින් බටහිරට බැහැ නෙතන්යාහු යුධ අපරාධකරුවෙකු කරන්න.  මොකද ශ්‍රී ලංකාව  වගේ රටවල් විතරක් නෙමේ රුසියාවේ පුටින් නුත් ඔප්පු කරලා තියනව ත්‍රස්තවාදීන් ඉන්න තැන  මොකා  හිටියත්, මොකා මැරුණත්  බෝම්බ දාල ගෙවල් පොඩි කරලා , ඉන්න තැනින් එලවල ඒක දිනන්න පුළුවන් කියල.

හ-මාස් කියන ත්‍රස්තවාදී සංවිධානයත් සිවිල් වැසියන් මැරුව ලඟදි. ගැහැණු දුෂණය කරල මරල දැම්ම. ඔවුනුත් යුධ අපරාධ කරලා තියනවා. මෙතැනදී වාමාංශිකයන්ට සහ මුස්ලිම් රටවලට හා-මාස් යුධ පරාධ කරුවන්  නෙමේ. බටහිරට හා ඇතැම් දක්ෂිණාංශිකයන්ට ඊශ්‍රායලය යුධ අපරාධ කරුවන් නෙමේ.  

අනූ ගණන්වල පුටින් අනතෝලි සොබ්චාක්  කියන ඉතා ලිබරල් පිටර්ස්බර්ග් නගරයේ නගරාධිපතිගේ සහායක. මේ  කියන්නේ විප්ලවය වුනු පෙට්‍රොග්රාදය හෙවත් ලෙනින්ග්‍රාදය ගැන.  පුටින් තෙල් වෙනුවට බටහිරින්  කෑම අරන් මිනිසුන්ට වික්ක, කෑම ප්‍රශ්නේ විසඳන්න. ඒ ගමන්ම මත්ද්‍රව්‍ය කාරයන් මරල සල්ලි අරගෙන තමන්ගේ කෙජිබි යාළුවන්ට දුන්න බිස්නස් කරන්න. තමන්ගේම පරණ කේජිබි යාලුවන්ගේ නෙට්වර්ක් එකක් හදා ගත්ත. පුටීන්ට  භාෂා තුනක් හොඳට  පුළුවන්. ජර්මන්, රුසියන් සහ ඉංග්‍රීසි.  ඒවා භාවිතා කරලා පිටරටින් එන වෙළඳ නියෝජිතයෝ එක්ක සම්බන්ධකම් හදා ගත්ත. සොබ්චාක් රුසියානු ජනාධිපති චන්දෙට ඇවිත් දිනයි කියල බයට යෙල්ට්සින් පූටින් ලව්වා සොබ්චාක් පරාජය කළා. පූටින් ක්‍රෙම්ලින් යන්න මග පාද ගත්තේ එහෙම. 
එතැනදී ලුතිනන් කර්නල් කෙනෙක් වුනත් පරණ කෙජිබි එකේ හෙවත්  අලුත් රුසියන්  රහස් ඔත්තු සේවය වන එෆ් එස් බී එකේ ප්‍රධානියා වුනා. 

අනූවේ දශකයේ අවසන් කාලේ යෙල්ට්සින් ට කෙළවෙන්න ලඟයි, අසනීපයි. එම්ටීබි බැංකුවෙන්  ක්‍රෙඩිට් කාඩ් ලැබිල  යෙල්ට්සින් ගේ දුව තාන්යා, ස්වාමියා සහ යෙල්ට්සින් එව්වා  වියදම් කරලා.මිලියන් ගණන් වලින්.  පාර්ලිමේන්තුවෙන් දෝෂාභියෝගයක්  ඇවිත් විසිවෙන්න ඔන්න මෙන්න.කොමියුනිස්ට් පක්ෂයේ කැමැත්ත ඇති හිටපු කේජිබි  ප්‍රිමකොව් තමා ඊලඟට එන්න ඉන්නේ. යෙල්ට්සින් පවුල හිරේ යන්න ලඟයි.  යෙල්ට්සින් පූටින් අගමැති කළා. අගමැති පූටින් කව්රුත් දන්නේ නැති ඇපරච්චික් කෙනෙක්. (නිලධාරියෙක්) හිටි හැටියේ මොස්කව් වල බෝම්බ දෙක තුනක් පිපිරුණා. එක තැනක 119 මැරුන. ඒක කලේ චෙචෙන්  ත්‍රස්තවාදීන් කියල කිව්වේ. ඒක ගැන හොයපු පොලිස් පරීක්ෂකවරු හිටි හැටියේ මිය ගියා. පුටින් චිචෙන් අගනුවර වන ග්රෝස්නි ෆ්ලැට් කරා. පුටින් ජනාධිපතිවරණෙන් දිනුව.  යෙල්ට්සින් හිරේ යන්නේ නැතිව බේරුනා. 

ලංකාවේ වාමාංශිකයෝ  කිව්වේ ත්‍රස්ත වාදීන්ට ෆ්ලැට් වෙන්න ගහන්න කියල. (මෙතැනදී වාමාංශිකයෝ කොටසක් යුද්ධයට විරුද්ධ වූ බවත් මතක තියා ගන්න ඕනේ)  ඒකෙදි අති විශාල ප්‍රමාණයක් සාමාන්‍ය මිනිස්සු  මැරුණා. ස්ත්‍රී දුෂණ සිද්ධ වුනා. නමුත් යුද්ධේ දිනුව. යුධ අපරාධ  චෝදනා එල්ල වුනත් ඒවා කවදාවත්  ක්‍රියාත්මක වෙන ඒවා නෙමේ. මොකද  යුධ අපරාධ  පිටිපස්සේ  ඉන්දියාව කියන බලවත් රටත් ඉන්න නිසා. 

ඉතින් මේ යුධ අපරාධ සහ යුද්ධය හා සාමය කියන ඒවා හරිම සාපේක්ෂයි. උක්රයිනය මේ යුද්දෙන් ඇත්තටම පැරදිලා, බටහිරට අම්බානක ආයුධ ගන්න ගිහින් ණය වෙලා ඉන්නේ. ඇමෙරිකාවට සහ යුරෝපයට තවත් ආයුධ දෙන්න විධිහක් නැහැ. සල්ලි දෙන එකත් අමාරුයි. ඊශ්‍රායල හමාස් යුද්ධෙත් එක පැත්තකින්. එනිසා උක්රයිනයට  සාම සාකච්චා සඳහා යන්න වෙනවා. රටෙන් කොටසක් ක්‍රිමියාවද ඇතුළුව නැති වෙයි. හැබැයි ඉතිරි කොටස යුරෝපා සංගමයට යයි.  අපට මේ යුද්ධේ ගැන දැන් ඕනෙනම් ලියන්නත් පුලුවන්.  දොරකඩගහ මූකලන් යායේ බසු ජ්‍යෙෂ්ඨ කලමනාකර මහතා පූටින් ව බ්ලාස්   කරල දැම්මට අන්තිමට වෙලා තියෙන්නේ සෙලෙන්ස්කි බ්ලාස් වෙන්න යන එක.  

ලෝකය හැර දමා යන්න -Leave the World Behind කියල චිත්‍රපටයක් නෙට්ෆ්ලික්ස් එකේ යනව. පුලුවන්නම් බලන්න. ජුලියා රොබට්ස් එහෙම ඉන්නවා. 

දේශපාලන කුමන්ත්‍රණ සිද්ධ වෙන්න  කලින් පොඩි පොඩි ටෙස්ට් එනවා. හිටි හැටියේ ලයිට් යනවා.  අන්තර්ජාල සම්බන්ධතා බිඳ වැටෙනවා. හැකරුන් විශාල කම්පැනි වලට රජයේ ආයතන වලට පහර දීලා සම්බන්ධතා බිඳලා අකර්මන්‍ය කරනවා. විදුලි බලාගාර අඩපන කරනවා . දුෂමාන ආරංචි පතුරවනවා. අර ජන වර්ගය, මේ ජන වර්ගය ත්‍රස්ත්‍රවාදී ක්‍රියා කරනව කියල පත්‍රිකා එනවා. බෝම්බ එක දෙක පුපුරනවා. මිනිස්සු එකිනෙකා, තම අසල්වාසීන් , මිතුරන් අවිශ්වාස  කරනවා. මඑකිනෙකා මරා ගන්නවා. . ඊට පස්සේ තමා ඇත්ත කුමන්ත්‍රණය එලියට එන්නේ. එතකොට ඉතින් රටේ ආර්ථිකය වැටිලා ඉවරයි. එහාකොට මිනිස්සු කියනවා වෙන දෙන්න  කෙනක් නැහැනේ අනේ. එයාට විතරයි දෙන්න තියෙන්නේ කියල.   



පරණ ලිපි: