එලිසබෙත් රැජින ඉංග්‍රීසි ජාතික වන්නේ එංගලන්තයේ ඉපදීම නිසා පමණකි. එංගලන්තයේ වෙනත් ජාතිකයන්ට ඉපදුනු ළමයින්ට බ්‍රිතාන්‍ය ජාතිකත්වය අහිමි කරන්නට තැචර් සැරසුණු වෙලේ රැජින එයට විරුද්ධ වූයේ ද එනිසා වන්නට ඇත. (අග්‍රාමාත්‍ය මාග්‍රට් තැචර් රැජිනගේ විරෝධය නොතකා එය සම්මත කර ගත්තාය) රැජිනගේ පවුල මූලික වශයෙන් පැවත එන්නේ සැක්සන් කොබර්ග් ගොතා යනුවෙන් හැඳින්වෙන ජර්මනියේ කොබර්ග් නගරය තම රාජ්‍ය ආසනය කරගත් රජ පවුලෙනි. රැජින ගේ මුත්තා වන, ඒ රජ පවුලේ ඇල්බට් කුමාරයා කසාද බැන්දේ, පසුව ශ්‍රී ලංකාව පාලනය කල වික්ටෝරියා රැජිනය. වික්ටෝරියා රැජිනගේ මව සැක්සන් කොබර්ග් ගොතා පවුලේ මුල් ඩියුක් වන පළමුවන එර්නස්ට් ගේ සහෝදරියය..(ජර්මන්) ඇල්බට් එනිසා වික්ටෝරියා ගේ මස්සිනාය. මේ දෙදෙනාගේ පුතා හත්වැනි එඩ්වර්ඩ්ය. ඔහුගේ පුතා පස්වැනි ජෝර්ජ් ය. පස්වැනි ජෝර්ජ් ගේ පුතා හයවැනි ජෝර්ජ් වන අතර හයවැනි ජෝර්ජ් ගේ දියණිය දෙවැනි එලිසබත් රැජිනය. පස්වැනි ජෝර්ජ් රජ පවුලේ වාසගම කෝබර්ග් වෙනුවට වින්ඩ්සර් නමින් වෙනස් කලේ පළමු ලෝක යුද්ධය නිසාය.
රුසියාවේ මහා රැජිණිය වූ කැතරින් ද ජර්මන්ය. ඇය වික්ටෝරියා රැජිනට නෑ කමින් මිත්තනිය වන්නීය. මේ දෙදෙනාම ලෝකයේ සාර්ථක මෙන්ම දරුණුම අධිරාජ්‍යයන් දෙකක් ගොඩ නැගීමට දායක වුවෝ වෙති. මේ දෙදෙනාම නාමික රැජින පදවියෙන් එහා ගොස් රටවල් පාලනය කළහ.
බ්‍රිතාන්‍ය රජ පවුලට රුසියානු සම්බන්ධය
මේ පිළිබඳව ලියන්නට ඉල්ලීමක් ලැබුණු නිසා කරුණු දෙක තුනක් ලිවීමට ස්තුවෙමි. කලින් ලියූ කොටසේ රුසියාවේ කැතරින් මහා රැජිණිය සහ බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජින නෑ සබඳකම පැහැදිලි කලෙමි. මේ තවත් පැත්තකි. හැමෝම දන්නා පරිදි රුසියානු විප්ලවයෙන් පසු බොල්ෂෙවික් වරු රුසියානු රජ පවුල මරා දැමූහ. ගැටලුවක් ලෙස තිබෙන්නේ ලෙනින් ඒ සඳහා නියෝග දුන්නාද නැත්ද යන්නය. මේ ගැන ඇසීමේදී දහසකුත් එකක් වැඩ අතර (ලෙනින් මුළු රුසියාවටම විදුලිය ලබා දීමේ සාකච්ඡාවල නිරතව සිටියේ යයි කියන ලැබේ) ලෙනින් ලියා දුන් තුණ්ඩුවේ තිබී ඇත්තේ "මේ ප්රශ්නය නිමා කරන්න ඕනේ , ඉක්මනින් " වැනි දෙයකි. එහි අදහස සමහර විට ඉක්මන් විසඳුමක් සෙවිය යුතුය යන්න විය හැක. නමුත් රොමානොව්ලා රඳවාගෙන සිටි යෙකතරින්බර්ග් නගරයේ බොල්ෂෙවික් නායකයන් මෙය ක්‍රිප්ටික් නැත්නම් රහස් පණිවිඩයක් යනුවෙන් වටහා ගෙන රොමානොව්ලා මරා දැමීමට අණ දුන්හ. (දුක් විඳි සාමාන්‍ය ජනතාව රොමානොව් ලාගේ රුධිරය ඉල්ලා සිටි බවටත් රොමානොව් ලා නැවත බලයට පැමිණීමේ හැකියාවක් තිබූ බවටත් ඔවුන් පසු ලෙනින් ට හා ට්‍රොට්ස්කි ට පැහැදිලි කර තිබුණි.) එසේම සමහර බොල්ෂෙවික් නායකයන් ලෙනින් ජර්මනියේ කයිසර් ගෙන් මුදල් ලබා ගැනීම නිසා ඔහු පිළිබඳ අවිශ්වාසයක් ද ඇතැම් නායකයන් ඇති කරගෙන තිබුණි. මේ ගැන ජෙහාන් ලෙනින් යනුවෙන් ලිපියක් මම 2018 දී ලියා තිබේ. )
මේ රොමානොව්ලා යෙකතරින්බර්ග් නගරයට යැව්වේ කෙරෙන්ස්කි ගේ ආණ්ඩුවය. බ්‍රිතාන්‍ය කිරුළ සමග නැදෑකම් තිබෙන්නේ මෙසේය. රුසියානු අධිරාජ්‍යයේ අවසන් අධිරාජයා වන නිකොලස් II ගේ බිසව, අලෙක්සන්ද්‍රා ෆියෝදොරෝව්නා අධිරාජිණිය, ජර්මන් සම්භවයක් ඇත්තියකි. . ඇගේ මුල් නම ඇලික්ස් කුමරිය වන අතර ඇය හෙස -රයින් ප්‍රදේශයේ ආදිපාද වරයාගේ දියණියයි. ඇලික්ස් කුමරියගේ පියා ජර්මන්ය. ඇගේ මව ඉංග්‍රීසි රජ පවුලේ ඇලිස් කුමරියයි. ඇලිස් කුමරිය වික්ටෝරියා මහා රැජිනගේ හා ඇගේ සැමියා ජර්මනියේ ඇල්බට් (සැක්සන් කොබර්ග් ගෝතා) ගේ තෙවන දියණියයි. මේ අනුව සාර් නිකොලස් ගේ දූවරුන් හා ඔටුන්න හිමි කුමරා ඇලෙක්සෙයි නිකොලායෙවිච් , දෙවන එලිසබත් රැජිනගේ සීයා පස්වැනි ජෝර්ජ්ගේ ලේ නෑයන්ය.
දෙවැනි නිකොලස් අධිරාජයාගේ මව ඩෙන්මාර්ක කුමරියකි. පියා රුසියාවේ තෙවන ඇලෙක්සැන්ඩර් ය. මේ සම්බන්ධය දෙවන ඇලෙක්සන්ඩර්, පළමුවැනි නිකොලස්, පළමු වන පෝල් හා තෙවන පීටර් දක්වා දිවයයි. තුන්වැනි පීටර් ජර්මන්ය. ඔහුගේ බිසව රුසියාවේ කැතරින් මහා රැජිණිය තෙවැනි පීටර් බලයෙන් පහකර රුසියානු අධිරාජ්‍යයයේ බලය අල්ලා ගත්තාය. මා කලින් කී පරිදි ඇය හා වික්ටෝරියා රැජිනියද නෑදෑයන්ය.
මේ නිසා රුසියානු රජ පවුල හා එංගලන්ත රජ පවුල ඉතාමත් සමීපය. නමුත් රුසියානු පෙබරවාරි විප්ලවයෙන් බලයෙන් පහ වුනු නිකලස් අධිරාජයා ඇතුළු පවුලට එංගලන්තයට යන ලෙස කෙරෙන්ස්කි රජය අවසර දුන් මුත් ඔවුන් පැමිණියේ නැත. ලෙනින් ගේ රජයද මේ අවසරය එලෙසින්ම දුන්හ. නමුත් පස්වන ජෝර්ජ් රජු ගෙන් එංගලන්තයට පැමිණීමට ඔවුනට අවසරයක් ලැබී තිබුනේ නැත. තවත් රජ පවුලකට වියදම් කිරීමට බ්‍රිතාන්‍ය රජය අකමැති වීම නිසා විය හැකිය. මේ නිසා රොමානොව් ලගේ රුධිරය, බොල්ෂෙවික් වරුන් ගේ පමණක් නොව බ්‍රිතාන්‍ය රජයේ දෑත් වලද තැවරී තිබේ.
1991 දී ගොඩ ගන්නා ලද රොමානොව් පවුලේ සිරුරු රුසියානු ජනාධිපති ව්ලදිමීර් පූටින් ගේ අණින් පීටර් සහ පෝල් පල්ලියේ ගෞරවණිය ලෙස තැන්පත් කර තිබේ. තමන්ට එලිසබත් රැජිනගේ අවමගුලට ඒමට ඉඩ නොදීම ගැන ලිස් ගේ රජයට විරෝධය පල කරමින් සාර් පූටින් සද්දයක් දැම්මේද මේ නිසා විය හැකිය.
ඔවුන්ගේ පැරැණි නෑදෑයන්ගේ සොහොන්ද එම පල්ලියේ තිබේ. මේ අප 2016 රුසියාවේ පිටර්ස්බර්ග් නගරයට ගිය විට ගත් ඡායාරූප කිහිපයකි. මේ සොහොන් සහිත පල්ලිය පිහිටා ඇත්තේ ට්සාර්ස්කොයේ සෙලෝ හෙවත්සාර් ලාගේ ගමේය.
-අජිත් ධර්මකීර්ති
ප.ලි: මම මේවා ලියන්නේ මම ඉතිහාස තොරුතුරු වලට කැමති නිසාය. මා රාජාණ්ඩු වාදියකු ද නොවේ. සමුහාණ්ඩුවාදීන් ටිපර් විය යුතු නැත. .