සැන්ටොරීනි යන නම හැදී ඇත්තේ සෙන්ට් අයිරින් යන ඉතාලියානු ශාන්තුවරියගේ නමින් බව කියැවේ. එහි මුල් ග්‍රීක් නම ස්ට්රොගිලි ය, ක්‍රිස්තු පූර්ව 16-17 සියවසේදී (අවුරුදු 3600 කට ඉහත) මිනෝවන් පිපිරිම නමින් හැඳින්වෙන මහා භුමිකම්පාවකින් හා ඉනික්බිතිව ඇතිවූ අඩි 600 පමණ උස සුනාමියෙන් මේ දූපත හා එහි ජනාවාස සහමුලින්ම විනාශ වී ගොස් සැන්ටොරීනි, නියා කමේනි, පලායා කමේනි, අස්ප්රොනිසි සහ ක්‍රිස්ටියානා නමින් දුපත් පහක් නිර්මාණය වුනි.භූමිකම්පාවේ විශාලත්වය නිසාම කිලෝමීටර 20-40 අතර විශ්කම්භයක් සහිත ආවාටයක් ඇතිවී එය මුහුදු වතුරෙන් පිරි ගියේය. පින්තූරයේ පෙනෙන්නේ එයයි. මේ අති විශාල වතුර පිරි ආවාටය කල්දේරා නමින් හැදින්වේ. මෙය ඇත්තටම මුහුදු වතුර පිරුණු විශාල කල්දේරමකි. මේ පෙදෙසේ ගිනිකඳු පිපිරීම් ආරම්භ වී ඇත්තේ වසර මිලියන් දෙකකට පමණ ඉහත සිටය. ආවාටයේ මැද ඇති දුපතේ තවමත් නිද්‍රාශීලි ගිනි කන්දක් පවතී. ඒ ගැන ඉදිරියේ දී ලිපියක් ලියමි.
එසේම මෙහි මුලින් ජනාවාස ඉදිකළ මිනෝවන් වරුන් සහමුලින්ම වැනසී ගොස් ඇත්තේ මේ භුමි කම්පාව නිසාය. මිනොවන් වරුන්ගේ අතීත ශ්‍රී විභූතිය හා ඔවුන්ගේ මාලිගා පිහිටි අක්‍රොටිරි හා නොසස් ජනාවාස බැලීමට අපි ගියෙමු. ඒ පිළිබඳවද ඉදිරියේදී ලියන්නට සිතා සිටිමි. විනාශ වී ගිය ඇට්ලන්ටිස් නගරයද මිනෝවන් වරුන්ගේ බවට විශ්වාසයක් පවතී. ඒ සඳහා සාක්ෂි ද තිබේ. ඒවාද ඉදිරියේදී සඳහන් කරමි.
ඉන්පසු මෙහි පදිංචියට පැමිණි ෆිනිශියන් වරු එයට කලිස්ටි යන නම තැබුහ. ක්‍රි.පූ. 9 වන ශතවර්ෂයේ (අවුරුදු 2920 කට ප්‍රථම) එය ආක්‍රමණය කල ස්පර්ටා හි ඩෝරියන් වරු එයට ඔවුන්ගේ සෙනෙවියා වන තෙරාස් ගේ නම තැබුහ, තවමත් මේ දූපතේ කොටසක් තේරා නමින් හැඳින්වේ. හතරවන සියවසේ කුරුස යුද්ධය සමයේ එය අත්පත් කරගත් ක්‍රිස්තියානි යුධකාමින් එය සැන්ටා අයිරිනි නමින් හැඳින්වූයේ එනමින් පල්ලියක් පෙරිස්සා පෙදෙසේ තිබු නිසා බව කියවේ,
අප ගමන් කල නැව සැන්ටොරීනි කරා ලඟා වෙනු පහත පින්තූර වල ඇත. ඉහත කි දූපත් ද පසුබිමින් පෙනේ.
සැන්ටොරීනි වලට පැමිණි පසු අපි නවාතැනට යාමට ටැක්සියක් ගත්තෙමු. අපව රැගෙන ගිය කුලී රථයේ රියදුරු මහතා පැවසුවේ බස් ඇත්තේ ඉතා කලාතුරකින් බැවින් අපට බොහෝ තැන්වලට යාම අපහසු බවය. එය ඇත්තකි. ඔහු භාගයක් දුර අප රැගෙන ගොස් තිබුනත් ආපසු හරවා ගෙන පැමිණ රථයක් කුලියට ගන්නට අවවාද කොට ඒ සඳහා අපට උදව්ද කළේය. ඔහු අප රැගෙන ගියේ ඉහත පින්තූරයේ ඇති තොටුපලේ සිට කඳු මුදුනේ භාගයක් පමණ දුරය. අය කළ මුදල් කුලී රථය ගැනීමට සඳහා නැවත ලබා දුන්නේය. අප වැනි සංචාරකයන්ගෙන් ගසා කෑමට ඔහුට හැකියාව තිබුනද ඔහු එසේ නොකළේය.
ඉතින් මුලින්ම අප කලේ නවාතැනට ගොස් බඩු මුට්ටු තබා ස්ටව්රෝස් පල්ලිය බලා යෑමය. එහි මුදුනේ සිට පහල කල්දේරම හොඳින් නැරඹිය හැකිය. පල්ලිය ඇත්තේ අපි නැවතී සිටි ෆීරා පෙදෙසේ සිට මිනිත්තු 30 පමණ එහා ඇති OIA අයා පෙදෙසේය.
අපි එහි වාහනය නතර කල විට දුටුවේ බුරුවන් මගින් කන්ද උඩට ගිය හැකි බවය. ඇත්තටම එය අසීරු නැග්මකි. මහන්සි වී සිටි අප කලේ එතන සිටි තැනැත්තා ගෙන් ඒ ගැන විමසිමයි. උන් බුරුවන් නොව කොටළුවන් (mule) බව කි ඔහු කිසියම් මුදලකට අපව උඩට රැගෙන ගියේය. පනස් ගණන්වල සිට හැත්තෑ ගණන් දක්වා සංචාරකයන් ගමන් ගොස් ඇත්තේ බුරුවන් හා කොටළුවන් මතිනි. ගමන් පටන් ගැනීමට ප්‍රථම ඔහු තම බිරිඳට කතා කොට ඔහු විසින්ම සාදන ලද වයින් ලිකියුර් බොන්නට දුන්නේ ඇය විසින් මිදී වලින් සාදන ලද ජෑම් වර්ගයක්ද කෑමට දෙමිනි.
කොටළුවන් ඉතා පහසුවෙන් ගමන් කළද එය ලෙහෙසි ගමනක් නොවන බව අපට තේරුම් ගියේ ප්රපාතය අයිනෙන් ගමන් කරන විට පයක් ලිස්සුවොත් අප නවතින්නේ මුහුදේ බැවිනි. හැබැයි ඊට කලින් බෙල්ල බේරා ගැනීමටද නොහැකි වනු ඇත. නමුත් පහල ආවාටය සහිත දර්ශනය ඇති සුන්දර එකකි. මේ සමග ඇති යුටියුබ් විඩියෝවෙන් එය නැරඹීය හැකිය.
බසල්ට්
බොහෝ පිරිස් මේ කන්ද නගින්නේ එහි සිට පහලට කල්දේරාව මනරම් ලෙස නරමිය හැකි නිසාම පමණක් නොවේ. බැස යන හිරුගේ චමත්කාරය ඉතා දර්ශනීය ලෙස නැරඹිය හැකි නිසාත්ය. නැවක් හිරු දෙසට යන දර්ශනය මට පෙනුනේ ඉමක් නොපෙනෙන තෙරක් නොපෙනෙන ගමනාන්තයකට යන ලෙසකි.
කන්ද පහලට අප පැමිණියේ කොටළුවන් මතින් නොව පයින්ය. ඒ සඳහා පැය භාගයකට වඩා ගත වුනත් වඩා හොඳින් ආවාට දසුන් නරඹන්නට හැකිවිය. එසේම ගිනි කන්ද පිපිරුණු පසු බිහිවූ ලාවා කොටස් හා බසල්ට් පාෂාණ ද වසර 3500 කට පසුත් එහි වේ. මා අල්ලාගෙන සිටින බිත්තිය එවන් බසල්ට් පාෂාණ වලින් සැදුනකි.
ආපසු කන්ද බසින් එද්දී පල්ලියේ පූජකතුමාද අපට මුණ ගැසුණි. නැවතී අප සමග කතා බහ කල ඔහු ඔහු අපේ නිවාඩුවට ආශීර්වාදයක් දීමටද අමතක නොකළේය.
ප.ලි - අංක තුන යටතේ ලිවීමට නියමිත් බෙසෝ දූපත් ගමන් පසුව ලිවීමට තබා ගතිමි.
මුල් ලිපි