Monday, 7 October 2024

අපේ අසල්වැසියා බ්‍රයන් - 5 - සිංගල් මෝල්ට් විස්කි


මෙතෙක් කතාව කියවන්න ඕනේ නම් මේ ලින්ක් වලට යන්න 

වැට ගහල කාලයක් ගියා .  ඒ කාලේ මගේ යහළු මිත්‍රයෝ අතරින් වැඩිපුරම හිටියේ සෝවියට් දේශයේ ඉඳල ලන්ඩන් ආපු අය. ලියන්න ගියොත් හෙන  ලිස්ට් එකක් .  මොස්කව් වල ,  ජෝර්ජියාවේ ට්බිලිසි කියන නගරයේ ,  යුක්‍රේනයේ කීව්, ල්වෝව්  වල හෙම ඉගෙන ගත්තු අය. ඒ අතරේ ඉනෙස් ගේ ප්‍රංශ යෙහෙලියක් හිටිය කොරීන් කියල එයා බැඳලා හිටියේ ඉම්තියාස් කියල ඉන්දියන් සම්භවයක් තරුණයෙක් .  නුරායි සහ බිල් කියන තුර්කි වලින් ආපු  කපල් එකයි .  ඉතින් යාලුවෝ එන හැම වෙලේම අපි බොන්න ගන්නේ වොඩ්කා. ගෙවත්තේ අපි තියාගෙන හිටිය ඔය ලන්ඩන් පබ් (බීම හල් ) වල තියනව වගේ ලී මේසයක් .    ඉම්තියාස් කැමැති පිම්ස් නම්බර් වන්  කියල බිමක් තියනව .  ඒක බොන්න ගන්නේ ටිකක රස්නේ  ගිම්හාන් කාලෙට.  පිම්ස් එකෙන් කෝප්පයක් දෙකක්  ජග්ගුවකට දාල එකට ලෙමනේඩ් දානවා .  ඊට එකතු කරනවා මින්ට් කොළ ,  කියුකම්බර් (පිපිඤ්ඤා වල එලියේ  පොත්ත. තව ඇපල්සින් කියන දොඩම් ගෙඩි පෙති කපල දානව .  මරු බීම එක .   ඉනෙස් සහ කොරින් වයින් තමා වැඩිපුර බීවේ. ඔය පින්තූරේ වමේ ඉන්නේ කොරීන් . කළු ඉරි ටී ෂර්ට් එක ඇඳන් ඉන්නේ  ඉනෙස් .  මව්තුමී ඉන්නේ ලා නිල්පාට දිග ගවුම ඇඳන්. දැන් ඔය කෑල්ල කඩල ගේ තව පිටිපස්සට අරන් තියෙන්නේ .   පින්තූරේ ගත්තේ ඉම්ටියාස් . 
 මම පින්තූරේ අයින් කළා .  ඒ ජාතියේ මේසයක ෆොටෝ එකක් හොයා ගත්ත .  



ඉතින් අපි පාටි දාන්න  හෝ නැත්නම් ඔය වගේ එකතු වෙන වෙලාවට බ්‍රයන් විස්කි වීදුරුවක් අරගෙන ඇවිත් වැටෙන්  එහා පැත්තට වෙලා කතා කරනවා. වැටට මායිම් කරලා  කෙටි බිත්තියකුත් තියනවා   එතන  ඉඳන් තමා කතාව.  දෙතුන් පාරක්ම  බ්‍රයන් ඇහුව මොකෝ උඹ විස්කි බොන්නේ නැත්තේ.   වොඩ්ක වලට වැඩිය අපේ ස්කොටිෂ් විස්කි හොඳයි නේ කියල . .  මම කීව වොඩ්ක බීවම ගඳක් එන්නේ නැහැ.  උදේට ඔලුව කැක්කුමත්  නැහැ කියල .  ඒ ගමන් මූ  කියනවා උඹ අපි වගේ ෂොට් එකක් දෙකක් ගහනඑකෙක්  නෙමේනේ.  බෝතල් පිටින්නේ බොන්නේ. මම දැක්කනේ යාලුවෝ එක්ක .  ඔහොම බොන්න හොඳ නැහැ කියල .එවෙලේ මම බ්‍රයන් ට කීව මම විස්කි බොන්නේ නැති හේතුව . 

ඒ දවස් වල මගේ එක අපාය සහාය මිත්‍රයෙක් තමා විතානගේ. මම ලියපු සෝවියට් ජිවිතයෙන් බිඳක් ලිපියේ එයා ගැන විස්තර තියනව .  විතානගේ එක්ක නිතර අපේ කාමරයට  ආව තව මිත්‍රයෙක් දැන් ලන්ඩන් වල  ප්‍රබල ජාජබ චරිතයක්. එනිසා නම ලියන්නේ නැහැ.  හොඳ නැහැනේ. දැන් බොන්නේ නැති හොඳ ළමයෙක් එයා.     ඉහින් ඔය විතානගේ කොහෙන්ද මන්ද ටීචර්ස් කියන විස්කි බෝතල් ටිකක් උස්සන් ආව දවසක්.  සෝවියට් දේශයේ අපට  වොඩ්කා හා බල්ගේරියන් රතු වයින් , සෝවියට් ෂැම්පේන්  ආදිය තමා තිබ්බේ , විස්කි වුනහම දුර්ලභ බිමක් නිසා අපි දෙතුන් දෙනෙක් බොන්න පටන් ගත්ත .  ටීචර්ස් බෝතල් ටික බලං ඉද්දි ඉවරයි. විතානගේ ට හෙම ලෙහෙසියන් වෙරි වෙන්නේ නැහැ .  ඉතින් මදි .  ගිහිල්ල ටැක්සි පාක් එකෙන් වැඩි ගානට හොරට විකුණන වොඩ්කා බෝතලේකුත් ගෙනාව කට්ටිය .  දැන් ඒකත් එලිවෙන යාමෙට   ඉවර කරලා නිදා ගත්ත. සෙනසුරාදා  හවස  ආයෙ බීවේ නැහැ .  ආ ඒ දවස් වල මම මහා ශිෂ්‍ය සංගමේ ලේකම් . ඉතින් ඉරිදා ඔන්න කට්ටියක් ආව අපේ රූම් එකට යම් යම්  වැඩ වලට . 

මගේ රූමා අජිත් පියරත්න හිටියද කියල මතක නැහැ .  උඩ තට්ටුවේ නෙරංජන් මුණසිංහ කියල තව යාළුවෙක්   හිටිය .   මට මතක විධිහට යුක්රේන් වල  සෆරෝශීයා  නගරයේ (ඔව්,  අර මේ කාලේ  යුධ පෙරමුණේ තියෙන එක )   ඉගෙන ගත්  ශ්‍යාමලී කොට්ටහච්චි  නංගි  හිටිය. එයා  දැන් ගාල්ලේ රෝහලක වෛද්‍යවරියක් ලෙස වැඩ කරනවා .   ලලනි රාමනායක නංගි  ඇවිත් හිටියේ උකරයිනයේ පල්තාවා  නගරයේ සිට. පළමුවෙනි අවුරුද්ද ඉවර කලහම එයාට යන්න   දාල තිබ්බේ මට මතක විධිහට සයිබීරියාවේ ඉර්කුට්ස්ක් නගරයට .   එයා කෘෂිකර්මය ඉගෙන ගන්න ඇවිත් තිබ්බේ .  අවුරුද්දේ මාස හයක් හීතලේ තිබෙන ඒ නගරයට කෘෂිකර්ම ඉගෙන  ගන්න ආව  ශිෂ්‍යාවක් යවන්නේ  ඇයි කියන එක රුසියන්  අධ්‍යාපන අමාත්‍යංශයේ  රුසියානුවෝ ම තමා දන්නේ.   විතානගේ සහ තව දෙතුන් දෙනෙකුත් හිටිය.  නංගිලා කට්ටියත් එක්ක උයල දැන් අපි බත් කනවා .  මෙන්න මම කන  ගමන්  දඩොරියන් ගාල සිහිය නැතිව ඇදන්  වැටිලා. (සද්දේ ඇවිත් නැහැ. එහෙම තමා මට කිව්වේ . )   හැබැයි බත් පිඟාන හැලුවේ නැහැලු ඔන්න .   

අපරාදේ කියන්න බැහැ  හදිසි අනතුරු සේවයෙන් ටක් ගාලා ඇවිත් තියනව .  මට මතක විධිහට ගිහින් දාල තියෙන්නේ   මොස්කව් වල බෙලරුස්කයා වල තියන  බෝට්කින් කියන රෝහලට. බඩේ තියෙන බීම  ටික අරන් දාල  සේලයින් හෙම දුන්නට පස්සේ මම ඉතින් නැගිටලා ඉන්නව . දැන් ඔය ලංකාවේ  පාර්ලිමේන්තු වෛද්‍යවරිය වන රසිකා  කරුණාරත්න ඒ දවස් වල ඉගෙන ගත්තේ  මොස්කව් සෙකන්ඩ් මෙඩිකල් යුනි එකේ. මට මතකයි   එයා ආව බලන්න තව දෙතුන් දෙනෙක් එක්ක. වෙන කවුද ආවේ කියන්න මතක නැහැ .  මගේ රූමා වන අජිත් පියරත්න සහ ඩ තට්ටුවේ හිටිය  නෙරංජන් මුණසිංහ ආවද කොහෙද .  මාව බලන්න නෙමේ .  රුසියන් නර්ස් ල බලන්න.   අර අපාය සහාය  කොල්ලෝ ටික නම් පැත්ත පලාතේ ආවේ නැහැ .   රෝහල නම් කියන්න දෙයක් නැහැ,  අපූරුයි.  පිරිසිදුයි .  ලස්සන රුසියන් හෙදි නංගිලා නිතර ඇවිත් සේලයින් චෙක් කරනවා. උදේට දවල්ට කෑම ට කැඳ ගෙනත් දෙනවා .  ඉතින් කිසිම පාළුවක් තිබ්බේ නැහැ .   හවස් වෙන කොට කන්ඩත් දුන්න.  
හවස ආව වෝඩ් බලන දොස්තර .  හොඳ උස මහත රුසියානුවා . ඇවිත් ඇඳේ  පැත්තකින් වාඩි වුනා.

"මේ අහපන් පොඩි එකා. උඹ බොන්ඩ පුළුවන් ප්‍රමාණයක් නෙමේ බීලා තියෙන්නේ. මතක තියා ගනින් මෙන්න මෙහෙම. බොනකොට හොඳට කාපන්. කන්න බැරිනම්  පුළුවන් තරම් වතුර බීපන්.  අනෙක්  වැදගත්ම දේ තමා ,  මතක තියා ගනිං උඹ බීම  කලවම් කරන්ඩ එපා .
 දුඹුරුපාට බීම දුඹුරුපාට බිම  එක්ක විතරයි. විස්කි බොනවා නම් බියර් කලින් බීවට කමක් නැහැ,  ඊට පස්සේ විස්කි බීපන් .  නැත්නම් බියර්  බිලා පස්සේ වොඩ්කා බීපන්.  කමක් නෑ. හැබැයි වොඩ්ක බීල විස්කි බොන්ඩ එපා. විස්කි බිලා වොඩ්ක  බොන්ඩ එපා. සුදු පාට බීමක් එක්ක දුඹුරු පාට බීම කලවන්  කරන්න එපා ගොයියෝ ."

 මේක තමයි මට ලැබුණු හොඳම අවවාදය .
   
 එතකොට කොක්ටේල් වල මොකද වෙන්නේ. සීන් එක මෙහෙමයි . එතන දාන්නේ 35% හෝ 40% මිලි ලීටර් 50 කට් ග්ලාස් එකකට පුරවලානේ.  ජාති දෙකිනම දානවා .  ඊට පස්සේ  ලෙමනේඩ් හෝ තව බීම එකක් දාල ,  අයිස් දාල  තනුක කරනවා. අනික එක පාර නෙවෙයි කොක්ටේල්  බොන්නේ ටික ටික. අපේ ඉතින් එහෙම පුරුද්දක් තිබ්බේ නැහැනේ .  ඊට  පස්සේ නම් මම ඒක පිලි පැද්ද. ඒ කියන්නේ විස්කි කටේ තිබ්බේ නැහැ එදා ඉඳන් .  වොඩ්කා තමා . 

බ්‍රයන් කිව්වා "හරි,  උඹ කැමති හොඳ වොඩ්කා එකකටනේ .  ඒක ක්ලියර් ඩ්‍රින්ක්  එකක්  තමා" .  කියල මට කතා කළා ගේ ඇතුලට .  ගෙවත්තේ ඉඳල ගේ පිටි පස්සේ කුස්සියෙන් ඇතුල ගිය හැකි.  මෙන්න සාලෙට පොඩ්ඩක් වෙන්න ලඟින් මෙයාගේ බෝතල් කබඩ් එක .  මිනිහ ගත්ත බෝතල් හතර පහක් .  එක එක විච්ඡුර්ණ විධිහට හදපුව .  වැඩිපුරම  ස්කොච් සිංගල් මෝල්ට් සහ සිංගල් ග්‍රේන් විස්කි .  බෝතල් ඇරලා එකින් එක නහයට ඇල්ලුවා .  හැබැයි බොන්න දුන්නේ දෙකකින් විතරයි .  
"මේවා ගණන් යකෝ .  මම හැම වෙලාම බොන්නේ නැහැ .  මේ ලාභ එක තමා බොන්නේ .  පොරගේ ලාභ විස්කි එක තමා ජැක් ඩැනියෙල් හරි ජොනි වෝකර් එක හරි .  මම මේ බ්ලෙන්ඩඩ් (කලවම් )  විස්කි බීවට ඉඳල හිටලා මයිකලුයි මායි මේවා බොනවා .  උඹටත් කතා කරන්නම් . " බ්‍රයන් කිව්වා .  
මම ඇහුව ගාන ඇරෙන්න මොකද්ද විශේෂත්වය කියල . 

එතකොට තමා දැන ගත්තේ එක වීට් ජාතියකින් විතරක් හදල එකම බැරල් එකක පරණ කරපුව කියල .  පරණ වෙන්න එන්න  තමා විස්කි හොඳ .  වයින් වගේ තමා.   බ්ලෙන්ඩඩ් එක එච්චර පරණ නැහැ. අනික කලවම් කරපුව කියල.
  
බ්‍රයන් තව කතාවක් කීව . කබඩ් එක ඇරලා තේ ජාති ගොඩක් පෙන්නුවා . 
ලංකාවේ ඔරේන්ජ් පිකෝ එක, මිල අධික  චීන තේ ජාති .  ඇසෑම් තේ .  මෑන් කියනව , සිංගල් මෝල්ට් වගේ තමා එක එක තේ ජාතිත් කියල .  මම නම් ඉතින්  එකම තේ ජාතිය තමා වැඩි පුර බීවේ. ලිප්ටන් හ‍රි ටෙට්ලි හරි .   ඉනෙස් හර්බල් (බෙහෙත්) තේ කි ල කැමොමයිල් කියන  තේ ජාතිය බොනවා. ඒක ඇත්තටම බඩේ අමාරුවට හොඳයි .   ඉඳල හිටල ජැස්මින් තේ බොනවා අපි. චීන අවන්හල් වලින් පුරුදු වෙලා .   බ්‍රයන් කියල තමා ඊට පස්සේ ලංකාවට ගියහම අර හොඳ තේ ජාති වලින් අරන් එන්න පටන් ගත්තේ . 

හැබැයි සිංගල් මෝල්ට් විස්කි බොන්න පටන් ගන්න තව කාලයක් ගියා. දැන්නම් ඉතින් වැඩිපුරම ඒව  තමා. ඒත් ඉතින් බොන්නේ කලාතුරකින් තමා .  අර ඉවාන් පව්ලුෂා ඇවිල්ල කනමදය වගේ බොන්න ගත්තහම මමත් ටිකක් බොනවා.  
  
-අජිත් 07/10/2024


      

Saturday, 28 September 2024

විදුලිබල සභාපති , ගල් අඟුරු බලාගාර හා පරිසරය රැකීම


වර්තමාන AKD ආණ්ඩුව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ලෙස  ආචාර්ය තිලක් සියඹලාපිටිය පත් කරපු එකට මම ෆේස් බුක්හි  සුභ පැතුවා. මම දැක්කා විරෝධතා කිහිපයක් ඇවිත් තියෙනවා ඒකට.  එකක් මේ සභාපතිතුමා ට  "විදුලි මාෆියා" කියා බොහෝ අය කියන පෞද්ගලික කම්පනියක් තියෙනවා කියන එක .  ඒක හොයන කොට දැනගත් දෙයක් තමා  ඔහු විදුලිබල මණ්ඩලයෙන් අයින් වෙලා ඒ සමාගම පිහිට වූ බව. ශ්‍රී ලංකාව  සම්පුර්ණ සමාජවාදී රජයක් තිබ්බ රටක් නෙමේ.  ඕන කෙනෙකුට පෞද්ගලික කම්පැනියක්  පිහිටුවන්න  පුලුවන්.   නමුත් එම ආයතනයේ වැඩ කරන  ගමන් පෞද්ගලික කම්පැනි පිහිටුවනවා නම් ඒක සදාචාර විරෝධියි (unethical).   එංගලන්තයේ වුනත් ඒක කරන්න දෙන්නේ නැහැ සබ්ජෙක්ට් එක එකම නම්.  ඒක හැබැයි අපි අත්සන් කරන ගිවිසුමේ ම එහෙම සඳහන් කරලා තියෙනවා . ලකේ එහෙම නැතිව ඇති. මොකද ලංකාවේ හුඟක් ඉංජිනේරුවෝ ඒක කරනවා .  දොස්තරලා පෞද්ගලික ව බෙහෙත් දෙනවා වගේ .  මම හිතනවා නව රජය මේක හොයල බලල පත්වීම දෙන්න ඇති කියල .  
  
මම මෙතන වඩාත් කතා කරන්න හදන්නේ පරිසර වේදීන් විරෝධය දක්වනවා කියල,  අතීතයේ දී ආචාර්ය සියඹලාපිටිය ගල්  අඟුරු බලාගාරයක් පිහිටුවන්න උනන්දු කළා කියන කාරණාව සමග .  එහෙම තාප බලාගාර හදන්න එපා කියන්නේ  දේශගුණ  විපර්යාස පිළිබඳව  සැලකිල්ලට අරන්. 

මේ අය දන්නවද දන්නේ නැහැ මහා බ්‍රිතාන්‍යයේ අවසාන ගල් අඟුරු තාප විදුලි බලාගාරය වැහුවේ කොයි අවුරුද්දේද කියල?   2024 දී .  මේ අවුරුද්දේ තමා,  ගල් අඟුරු වලින් විදුලිය නිපදවපු රැට්ක්ලිෆ් වල තිබ්බ  අවසාන විදුලි බලාගාරය වැහුවේ .  එතාකොට මේ ගොල්ලෝ මේ දේශගුණ ,  කාල ගුණ විපර්යාස වලට මුහුණ දෙන්න, කාබන් ෆුට්ප්රින්ට් එක අඩු කරන්න කටයුතු කරන්න නීති සම්මත කලේ මොන අවුරුද්දේද? 2008 දී .   කාබන් ෆුට්ප්රින්ට් කියන්නේ අප කරන දේ වලින් කොපමණ  ග්‍රීන්හවුස් ගෑස් (හරිතාගාර වායු) නැත්නම් කාබන් ඩයොක්සයිඩ් සහ මීතේන් වගේ වායූන් නිපදවනවද   කියන එක. මේව වැඩි  වුණාම  , හානිකර දේශගුණ / කාලගුණ විපර්යස වෙන්න පුළුවන්.  කාබන් ෆුට්ප්රින්ට් වැඩිමඇමෙරිකා එක්සත් ජනපදයේ පුද්ගලයෙක් ගේ මේ ගාන  ටොන් 16. ලෝකයේ අනිකුත් සාමාන්‍ය   අගය ටොන් 4 ක් පමණයි .  ඒ කියන්නේ වැඩියෙන්ම බලශක්තිය  පරිභෝජනය කරන රටක් වන ඇමෙරිකා  එක්සත් ජනපදය තමා ඉස්සෙල්ලම ඔය සීමා කිරීම් කරන්න ඕනේ පරිසර දූෂණය අවම කරගන්න .   කරන්නේ  නැත්තෙත් එයාලමයි . ඇමෙරිකාවට පස්සේ ඉන්නේ චීනය,  රුසියාව,  බ්‍රිතාන්‍යය ,  යුරෝපිය රටවල්   හා ජපානය. ලෝකයේ දියුණුම රටවල් .   
 
වරක් ඇමෙරිකා  එක්සත් ජනපදය ලංකාවේ සිංහරාජ වනාන්තරය  මිලට ගන්න හැදුව. මොකද  අර මම කියපු ඒ ගොල්ලන්ගේ  කාබන් ෆුට් ප්‍රින්ට් එක හෙවත් කෙටියෙන් කියනවනම් පරිසර දුෂණය අඩු කර ගන්න. ඒ කියන්නේ සිංහරාජ ය කපන්න කොටන්න  නෙමේ .  ඒකේ ඉඩම්  ප්‍රමාණය වැඩි කරල ඇමෙරිකාවට කුලියට ගන්න ඩොලර් බිලියන් ගානකට. ඒකෙන් එයාලට පෙන්වනන පුළුවන් ඒ ගොල්ලන්ගේ පරිසර දූෂණය අඩුයි කියල (කියෝටෝ ගිවිසුමට අනුව) දැන් මේකට කියන්නේ එමිෂන් ට්‍රේඩින් කියල .  ලිපියේ අන්තිමට ඒක දාන්නම් අවශ්‍ය අයට බලන්න .  

ඒ කියන්නේ  ඉතින් තමන්ගේ රටේ සශ්‍රිකත්වය එහෙම්ම තියාගන්න  පුළුවන් . 

අනිකුත් දියුණු රටවල් මොකද්ද කරන්නේ .  ඒ ගොල්ල උත්සාහ  කරනවා  අප්‍රිකාවේ හා ආසියාවේ දුප්පත් රටවල් වලින් මේ තත්වය සමනය  කර ගන්න .  ඒ රටවල ෆොසිල ඉන්ධන භාවිතාව අඩු කරන්න  කියල උපදෙස් දෙනවා .  ගල් අඟුරු බලාගාර වගේ දේ හදල බල ශක්ති අවශ්‍යතා සපුරා ගන්න යනකොට ඒවා අවහිර කිරීම වගේ දේ කරනවා. කොහොමද   කරන්නේ?  එක්කෝ ඒ රටවලට යම් ආධාර සපයල අර ඉදි කිරීම්  නැවැත්වීමට බල කරනවා  අමතර කොන්දේසි  වශයෙන් දෙන ආධාර වලට.   නැත්නම් NGO හෙවත් විදේශ ආධාර ලබන සංවිධාන පිහිටුවල ඒවාට ආධාර දීලා දේශීය ඒජන්ත ලා  මගින් විරෝධය පෑම කරනවා .  ඒක කෙලින්ම පෙනෙන දෙයක් නෙමේ. අපට පේන්නේ මේ ඒජන්තල හෙන ප්‍රගතිශීලි වගේ තම තමන් ගේ රටේ වන සම්පත රැක  ගන්න ,  බලාගාර ඉදි කිරීම් ආදියට  විරුද්ධ වෙනකොට .   එතකොට මේ දියුණු රටවල් වලට ඔවුන්ගේ බලශක්ති විභවයන් තව දුරටත් පවත්වා ගෙන යන්න පුළුවන් වෙන්නේ . 

ඒවා ගැන පලවූ ලිපි කිහිපයක් . 

මෙතැන දැඩි අසාධාරණයක් වෙනවා  කියල පෙනෙන්නේ නැත්ද තෙවන ලෝකයෙ රටවල  ජනතාවට?  පෞද්ගලිකව ගත්තොත් මම ජිවත් වන්නේ එංගලන්තයේ නිසා ඒක මට හොඳයි. අපට හොඳයි. පෙට්‍රල් බොන 4x4  ලොකු වාහන තියාගෙන, පැය 24 විදුලිය තියාගෙන, වායු සමීකරණ දාගෙන  ආතල් එකේ ජිවත් වෙන්න පුළුවන් .  ඒ වෙනුවට අර කොහේ හරි දුප්පත් රටක එවුන් බලාගාර මුකුත් හදන්නේ නැතිව, ලයිට් කපාගෙන, වායු සමීකරණ දාන්නේ නැතිව, ෆෑන් දාන්නේ නැතිව තැම්බී  ගෙන,  ඉන්න පුළුවන්  දුක් විඳගෙන. මට අවුලක් නැහැ නේද ඒක.  මම දියුණුයි කියන රටකනේ  ඉන්නේ. නමුත් සදාචාරාත්මක වශයෙන් ඒක හරිද?       

මේක හරියට අර එංගලන්තේ ගන්න පුළුවන් සැප ඔක්කොම අරගෙන, වසරකට නිවාඩුවක් දෙකක් ගිහින් ,  ළමයින්ට උගන්වාගෙන , ලංකාවට ගිහිල්ල අත දිග ඇරලා වියදම් කරල හෙම එන ගමන් කියුබන්,  උතුරු කොරියන් පන්නයේ රටක් හදන්න කියල උපදෙස් දෙනවා වගේ. මට ඔය දෙකේම  වෙනසක් පේන්නේ නැහැ.

එතකොට ගල් අඟුරු වලින් විදුලිය උපදවන තාප බලාගාර සාමාන්‍යයෙන් අවුරුදු 30 පමණයි ජිවිත කාලය දැනට.  මේක පස්සේ වැඩිවෙයි.   ඉතා උසට චිම්නිය හැදුවහම (අපි සෝවියට් දේශයේ ඉන්න කොට අසූ ගන්න වල , ඒ කාලෙම එහෙම කළා), හා හරිතාගාර වායු අඩු කිරීමේ ක්‍රම  භාවිතා කලහම පරිසර දුෂණය අවම කර ගත්ත හැකියි.  සම්පුර්ණයෙන් නවත්වා ගන්න බැහැ.  නමුත් ව්‍යාපාර සහ ජනතාවට අවශ්‍ය විදුලියෙන් කොටසක් හරි දෙන්න පුළුවන් විදුලි හිඟය මැඩ පවත්වා ගන්න . 

දැන් කාට හරි තර්ක කරන්න පුළුවන් නැහැ අපි සූර්ය පැනල පිහිටුවනවා කියල .  මගේ ගෙදරත් තියනව ගහල .  විදුලය නිපදවල එංගලන්තේ  ග්‍රිඩ් එකටත් දෙනවා. මේ ලිපියේ තියනව ලියල .     ඩීසල් බලාගාර මාෆියාවට   මුහුණ දීම හා සමාජවාදී නිවාස . මේ ලිපිය ලීවේ අවුරුදු දහයකට කලින් .  සියඹලාපිටිය මහත්මයව මතක් කරලා  තියෙනවා ඒ ලිපියේ .  ඒ කෑල්ලත්  පහලට අමුනන්නම්. අවුරුදු දහයකට පස්සේ  ඒ මහතාම CEB සභාපති වෙලා. ඉවාන් පව්ලුෂා බ්ලොගය ලියන ප්‍රගීත් මට කීවා මොරටුවේ MSc එක කරන කොට ලංකාවේ විදුලිය බෙදා හැරීම, අනාගත උත්පාදන අවශ්‍යතා ගැන දේශන ගොඩක් කළා .  ඔක්කොම වගේ තවම මතකයි කියල . 

දැන් සූර්ය පැනල වුනත් 100% ප්‍රශ්න නැති ඒවා නෙමේ .  අපේ නිවසේ සවිකළ පැනල් ජර්මන් ඒවා .  අවුරුදු 25 ගැරන්ටි තියනව 100% ධාරිතාවට .  අවුරුදු 40 වෙනකන් භාවිතා කරන්න පුළුවන්ලු 70%-90%. ඊට පස්සේ  කොහෙද ඒවා දාන්නේ අපි .  අර ව්‍යාපාරිකයෙක් අල්ලලා නැවකට පටවල තුන්වෙනි ලෝකේ  රටකට හොරෙන්  යවනවද? චිනේ හදන ලාභ පැනල සමහරක ගැරන්ටිය අවුරුදු10. මැලේ ඒවා 15. ඒවා කොහෙද රිසයිකල් කරන්නේ . අනික තමා ලස්සන ඉඩම් වල , ගොවි බිම් වල පවා ඉවක් බවක් නැතිව සුර්ය පැනෙල් බලාගාර පිහිටුවීම .  ජර්මනියේ පරිසරයේ සුන්දරත්වය , ජෛව විවිධත්වය , වගා  බිම් රැක ගැනීම වගේ දේ සලකල මුඩු  බිම් වල විතරයි දැන් හදන්න  දෙන්නේ.   ඇයි හැම වහලකම ,  උස බිල්ඩිමකම  හදන්නේ නැත්තේ. සුර්ය පැනෙල් බලගාරත්  අවශ්‍යයි තමා .  නමුත් පරිසරයට ප්‍රශ්න ඇති වෙන එක වලක්වා ගන්න බැහැ .
නමුත් ගල් අඟුරු බාල නිසා දැනට හදල අවුරුද 30 කින් අයින් කලර දාන්න පුළුවන් ඒ එනකොට න්‍යෂ්ටික  බලාගාරයක්  හා වෙනත් පුනර්ජනිය බලශක්ති ප්‍රභවයන් හඳුන්වා දෙන්න පුළුවන්.  න්‍යෂ්ටික බලාගාර වල එන බල ශක්තිය පිරිසිදුයි .  පරිසර දූෂණය අවමයි .  නමුත් අනතුරු දායක තැන් තියනව. සලකා බලන්න පුළුවන් . 
 
තමන්ට  සීමා පනවා ගන්න තරම් ශක්තිමත් රටක් නෙමේ නේ තියෙන්නේ . 

මේ සඳහා මේ දත්ත ,  බලපෑම්, පරිසරය ඔක්කොම කල්පනා කරල තමා හොඳ බලශක්ති පොලිසි එකක් හදන්න වෙන්නේ .  ඒකට හුඟක් සුදුසු අය ඉන්නව .  ඔය එක්කෙනෙක් . 

හරි ලිපියේ ප්‍රධාන  කොටස ඉවරයි.   එංගලන්තේ ගල් අඟුරු භාවිතය   පටන් ගත්තේ 1760 ගණන් වල,  වොට් ගේ වාෂ්ප එන්ජිමත් එක්ක,  කාර්මික විප්ලවයෙන් තමා  රට දියුණු කර ගත්තේ. ඒ දියුණුවට ගල් අඟුරු ලොකු සාධකයක් .  අවුරුදු  කීයක් බ්‍රිතාන්‍යය ගල් අඟුරු පාවිච්චි කලාද රට හොඳටම දියුණු වෙනකම් .  දෙසීයක්  විතර.  2013 තමා බලශක්ති ඇක්ට් එක ගෙනාවේ . 

එතකොට අවුරුදු 142 ක් ගිහින් සම්පුරණයෙන් නවත්වන්න .  තැචර් 1980 වැඩ වර්ජනය කල ගල් අඟුරු ආකාර කම්කරුවන් සේවය අත හැර ගියා  සේ සලකල අස්  කල නිසා තමා ඕක වේගවත් වුනේ .  නැත්නම් තවමත් ගල් අඟුරු පාවිච්චිය තියෙයි .   
     

මම පරිසර වේදීන්ට විරුද්ධ නැහැ .  පහුගියද අයිස්ලන්තයට ගිය වෙලේ ග්ලැසියර ඉක්මනින් දියවෙන පින්තූර දැම්මා. අපි හරිතාගාර වායු අඩු කරන්න ඕනේ . පාරිභෝජනය වැඩි එක්සත් ජනපදයේ සිට චීනය දක්වා .  ඊට පස්සේ දුප්පත් රටවලට .  නමුත් ඉට කලින් ඒ රටවල බලශක්ති භාවිතය කළමනා කරගන්න ඒ ගොල්ලට ඉඩ දෙන්න .   

චීනය විසින් කුඩා න්‍යෂ්ටික බලාගාර සාර්ථක ලෙස නිපදවනවා කියල මේ ලිපියේ තිබෙනවා . 

පසු සටහන් : 
 
   අර තමන්ගේ හරිත වායු වැඩේ ශේප් කරගන්න  කරන වෙළඳාම - එමිෂන් ට්‍රේඩින්. ඒ ගැන පහල ලිපිය.

රටවල් දියුණු වෙන හැටි :  බුද්ධික විජයවර්ධන විසින් එවන ලදී . 





Greenhouse gas emissions a new commodity

Parties with commitments under the Kyoto Protocol (Annex B Parties) have accepted targets for limiting or reducing emissions. These targets are expressed as levels of allowed emissions, or assigned amounts,at over the 2008-2012 commitment period. The allowed emissions are divided into assigned amount units (AAUs).

Emissions trading, as set out in Article 17 of the Kyoto Protocol, allows countries that have emission units to spare - emissions permitted them but not "used" - to sell this excess capacity to countries that are over their targets.

Thus, a new commodity was created in the form of emission reductions or removals. Since carbon dioxide is the principal greenhouse gas, people speak simply of trading in carbon. Carbon is now tracked and traded like any other commodity. This is known as the "carbon market.

Environmental NGOs In The Global South: Saviors Of Humanity Or Predatory Special Interests?

In 2015, the Indian government under Prime Minister Narendra Modi cancelled the foreign funding of an estimated 10,000 non-governmental organizations (NGOs) for “not complying with tax codes”. The ban on Greenpeace India provoked much furore in the Western press (here and here). The Western mainstream media cast the actions of the government as reflecting the BJP party’s “intolerant nationalism”. Yet it did little to counter the country’s Intelligence Bureau’s charges that Greenpeace was a threat to national economic security, leading protests against nuclear and coal power plants, mining projects and GM foods. According to the Bureau’s report, Greenpeace alone was leading a “massive effort to take down India’s coal-fired power plant and coal mining activity.” According to Reuters that had seen an excerpt of the report, the cancellation, disruption or delay to various development projects had clipped gross domestic product growth by 2 to 3 percent a year.

- අජිත් ධර්මකීර්ති 29/09/2024

මේ තියෙන්නේ 2015 දී  මා ලිපියේ ලියූ සියඹලාපිටිය මහතා සම්බන්ධ කොටසයි .  සෝවියට් දේශයේ ඉගෙන ගන්න අපට CEB පුහුණුව සඳහා උදව් කලේ ආචාර්ය නිමල් විජයින්දු මහතාය . ඔහු දැන් වෙසෙන්නේ ඕස්ට්‍රේලියාවේය.
//දැන් ඉතින් මාතෘකාවට යමු.  මම  විදුලි ඉංජිනේරු උපාධිය සෝවියට් ක්‍රමයට අනුව අවසන් අවුරුදු දෙකේ ස්පෙෂලයිස් (විශේෂ?) කලේ තාප විදුලි බලාගාර සම්බන්ධවය. මා උපාධිය ලබා ගත්තේ  1991 දීය. ලංකා විදුලි බල මණ්ඩලයේ ආචාර්ය සියඹලාපිටිය මහතා ඉතාමත් කරුණාවෙන් මා හට  ත්‍රිකුණාමලයේ සෑදීමට යන ගල් අඟුරු බලාගාරයේ විස්තර ලබා දුනි. මා සැලසුම් කල මෙගාවොට් 2 x 150 බලාගාරයක් සඳහා වන තීසිසය  හා ප්‍රොජෙක්ට් එක නිම කලේ ඒ අනුවය. එහිදී විදුලි බල මණ්ඩලයේ generation planning (විදුලි බල උත්පාදන සැලසුම් අංශය ) අංශයේ සැලසුම් එතුමා පැහැදිලි කර දුන් අතර මට පෙනී ගියේ ලංකාවේ විදුලි ඉංජිනේරුවන් රටේ අවශ්‍යතාවයන්ට අනුව අවශ්‍ය විදුලි බලය අනාගතයේ නිපදවීම සඳහා ඉතා හොඳින් සැලසුම් කර තිබු බවයි. ගල් අඟුරු යොදා ගන්නා තාප විදුලි බලාගාර පිහිටුවීම ත් එම සැලසුමටම අයත් විය. 

නමුත් යුද්ධය හා දේශපාලන ඇඟිලි ගැසීම් නිසා මේවා සාක්ෂාත් කර ගැනීමට ඉංජිනේරුවන්ට හැකියාවක් තිබුනේ නැත. යුද්ධය අවසානයේ මහින්ද රාජපක්ෂ රජය විසින් ගල් අඟුරු බලාගාරය සාදා නිම කලත් 1995-96 සාදා  නිම කිරීමට තුබූ එය  අවුරුදු විස්සකට පසු (දැන් 2015)  පසුවී සෑදීමේ එතරම් තේරුමක්ද නැත. වෙනත් පරිසර හිතකාමී විදුලි ව්‍යපෘති 2015 වනවිට ඇති කිරීමට සැලසුම්  කල විදුලි ඉංජිනේරුවන්ගේ  සැලසුම් සියල්ල වතුරේය. ලංකාවේ සිදුවන්නේ සැලසුම් වලට වැඩ කිරීමක් නොවේ .   කොමිස්, චන්ද සහ ප්‍රශ්නයට පිළිතුර වෙනුවට මුක්කු ගැසීමට කරන වැඩ නිසා,  පාඩු පිට දුවන විදුලි බල මණ්ඩලයක් හා මිල අධික විදුලිය නිෂ්පාදනයක් රටට උරුම වී තිබේ.//  .   

Wednesday, 18 September 2024

නොලියා බැරි නිසා ලියමි



ගිය සැරේ තිබ්බ 2019 ජනාධිපතිවරණය වෙලාවේ රැල්ල තිබ්බේ ගෝඨාභය රාජපක්ෂ (ගෝ.රා)මහතාට .  සිංහල - බෞද්ධ කියන ඡන්ද වැඩි  හරියක් එයාට ලැබුනේ.  ඡන්දෙට කලින් මගේ යහළුවෝ ,  ඥාතියෝ එක්ක කතා   කරන කොට මම  කිව්වේ මම ලංකාවේ ඉන්නවනම් කීයටවත් ගෝඨාභය මහත්මයාට  ඡන්දේ දෙන්නේ නැහැ කියල. සමහර අයට ඒක මතක ඇති . 
 ඒකට හේතු හැටියට මම කීවේ ගෝඨාභය සහ වියත් මග බොළඳ වැඩියි කියල. අර කන්ටේනර් මහාචාර්ය තුමා ඇතුළු  වියත්මගේ බොහෝ අයටත් ගෝ.රා ටත්  සම්ප්‍රදායික දැනුම තිබ්බට රටක් පාලනයේ කිරීමේ දේශපාලනික දැනුම, නුවණැති බව,  කට්ට කම, දේශපාලන උගුල් වලට නොවැටී සිටීමේ හැකියාව හෙම තිබ්බේ නැහැ .  මම කිවේ එයා කොළඹ හොඳට පිරිසිදු කරලා හැදුව වෙන්න පුළුවන් .  නමුත් නියම දේශපාලන නායකයා වුනේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ.  මහින්ද රාජපක්ෂ ඒ පැත්තෙන් ගෝඨා ට වැඩිය දක්ෂයි කියල .  අනික ගේ මහින්ද ගේ කට්ටිය ගෝඨා ට හිතන විධිහට කරන්න දෙන්නේ නැහැ කියල. ඒක ඒ විධිහටම වුනා .  

එතකොට යහළුවෝ දෙතුන් දෙනෙක් ඇහුව ඇයි සජිත් ට සහයෝගය දෙන්නේ නැත්තේ කියල . ලංකාවේ ප්‍රසිද්ධ නමක් තියෙන යහළුවෙකුත් ඒ අතර හිටිය .   මට සජිත් ට සහයෝගය දෙන්න හිතිලා නැහැ කවදාවත් . එකක්  සජිත් සම්ප්‍රදායික දේශපාලනය ඉස්සරහට ගෙනියන කෙනෙක්.  එරාන් වික්‍රමරත්න සහ හර්ෂ ද සිල්වා ඇරුනහම හුඟක් සජිත්  ළඟ ඉන්න දේශපාලකයෝ  එහෙම ඉන්නේ එක්කෝ  එයාගේ ළඟ මුදල් තියෙන නිසා  ඡන්ද වලට වියදම් කරන්න . නැත්නම්  එයාල හිතනවා ඇති  තමන්ට ඕන විධිහට නම්මා  ගන්න හැකියාව තියනව කියල ආර්යාවෝ තිදෙනා හරහා. 
සජිත්  ප්‍රේමදාස  මහතා  වරක් කියල තිබුන චෛත්‍ය දහදාහක්  ද කොහෙද හදනව කියල. ලංකාවට එපමණ චෛත්‍ය ගාණක් වැඩක් නැහැ. ඒ වගේ කතා  එයාගේ ගැලරියට හොඳයි.   ඊළඟට ගම් උදාව ඉදිරියට ගෙනියන්න  තමයි එයාගේ  අදහස.  ඒ දවස් වල ගම් උදාව සාර්ථක උනත් දැන් ඒක වැඩකට  නැති සංකල්පයක්. ඒ කාලේ හදපු උදා ගම්වල ඇතැම් ප්‍රජා ශාලා , පුස්තකාල ආදිය  අද ජරාවාස වෙලා, නටබුන් වෙලා.  ගම් උදා වලට භාවිතා කරන්න  අවශ්‍ය  තරම් ඉඩම් දැන් නැහැ . ඊට වඩා  හොඳා තට්ටු නිවාස සංකීර්ණ  හදන එක.  ඉඩ ඉතුරු වෙනවා .       
එතකොට මට  දෙතුන් දෙනෙක් කීව, එහෙම නම්  අපට ඡන්දේ දෙන්න කෙනෙක් නැහැනේ කියල.   මම ඇහුවා 'ඇයි අනුර කුමාර ඉන්නේ. ප්‍රොටෙස්ට් වෝට් එකක් (හෙවත් විරෝධතා ඡන්දයක් ) හැටියට එයාට දෙන්න .  එයාලගේ විපක්ෂයේ හැසිරීම සජිත්ට වඩා හොඳයි නේද කියලත් ඇහුව . 

ප්‍රොටෙස්ට් වෝට් හෙවත් විරෝධතාවය  පෙන්වීමට ඡන්දය දැමීම , බ්‍රිතාන්‍යයේ හා යුරෝපයේ මැතිවරණ වල සිදුවන දෙයක්.

මතකද ජෙරෙමි කෝබින් .  එයා බ්‍රිතාන්‍ය මැතිවරණයකදී කම්කරු පක්ෂයට වැඩිම ඡන්ද ගාණක් අරන් දීපු  නායකයා.  නමුත් සමානුපාතික නොව ආසන ඡන්ද ක්‍රමය නිසා චන්ද ඉතා අඩු ගණන් තියන ආසන දිනා ගැනීම හරහා  නැවත කොන්සර්වට්ව් පක්ෂය බලයට එනවා.  නමුත් ඔහුට ලැබුණු අති විශාල චන්ද සංඛ්‍යාවෙන් ලොකු බලපෑමක් වුනා .  
උදහරණයකට ගත්තොත් බ්‍රිතාන්‍යයේ පෞද්ගලිකරණය කරන ලද දුම්රිය සේවා අන්තිම පහත්  තත්වෙක තිබ්බේ.  සමාගම් අතිවිශාල ලාභයක් ලැබුවේ යුරෝපයේ මිල අධිකම දුම්රිය ප්‍රවේශ පත් එංගලන්තයේ නිසා.  නමුත් දුම්රිය මැදිරි  පරණ, අබලන් ඒවා. දුම්රිය වෙලාවට එන්නේ නැහැ .  බ්‍රිතාන්‍යයේ කියල කියන්න ලැජ්ජයි.  සමහර ඒවා කොපමණ අපිරිසිදු ද කියනවනම් මකුනොත් හිටිය.  ජර්මනිය,  ප්‍රංශය, ඉතාලියේ හෙම දුම්රිය සේවා බලන්න ලස්සනයි.  ටිකට් වල ගාන අඩුයි .  වෙලාවට එනවා. වැඩි  ආදායම් අර ගත්තට මේ සමාගම් මුදල් යෙදෙව්වේ නැහැ.  දුම්රිය ස්ථානත් අබලන්.  කුඩු ගහන අයගේ සිරින්ජ පවා තිබුන පදික වේදිකා වල. කෝබින් තර්ජනය කළා එයා බලයට අවොත් ඔක්කොම නැවත ජනසතු කරනවා කියල.   
මිනිස්සු කෝබින් ගාව වට වුනා . මාස  දෙකයි ගියේ බය වෙච්චි දුම්රිය සමාගම්  මුදල් ආයෝජනය කරන්න පටන් ගත්ත.   අපේ දුම්රිය ස්ථානයට ඔෆිස් එකේ වැඩට කෙනෙක් ආව. බොහොමයක් ඒවා අලුත්වැඩියා වුනා. ඉඳගන්න අළුත්  බංකු දාල,වේදිකා අලුත්වැඩියා කරලා .  කිරි ටොයියෝ වගේ අලුත්  දුම්රිය එන්ජින් සහ මැදිරි ආව.  කෝබින් චන්දෙ පැරදුනාට මිනිස්සු දිනුව .  කොන්සර්වේටිව් ආණ්ඩුවටම සමාගම් හතරක් ජනසතු කරන්න වුනා. 

තව උදාහරණයක් ගත්තොත් ජර්මනියේ තුරින්ගියා ප්‍රදේශයේ අන්ත දක්ෂිණාංශික පක්ෂයක් දිනනවා ඊයේ පෙරේද.  ඒ ගොල්ලෝ සංක්‍රමණික විරෝධීයි .  ඒ අතරේ සේරා වගෙනෙක්ට් කියන ඇති වාමාංශික කාන්තාවගේ පක්ෂයත්  දිනනවා සමහර පැතිවල.  සංක්‍රමණිකයන් එන ප්‍රශ්නයේ  පැතිකඩ කිහිපයක් තිබෙනවා.  එන්න දෙන එක හොඳ වුනත් පළාතේ ජිවත් වන මිනිසුන්ගේ ජීවන මට්ටමට දැඩි බලපෑමක් එනව.  නිවස වල ගණන් වැඩිවීම.  නිදහස් සෞඛ්‍ය සේවාවල ඉඩ නොමැති වීම.  පාසැල් පිරි  ඉතිරි යාම වගේ ප්‍රශ්න ඔඩු දුවල බ්‍රිතාන්‍යයෙත්.  ජර්මන් රජය මේ ඡන්ද ප්‍රතිපල වලට බය වෙච්චි පාර සංක්‍රමණිකයන්ට එන්න අමාරු වෙන්න දේශ සීමා වහනව ඊයේ පෙරේදා. ආර්ථිකය ගොඩ නංවන්න කතා කරනවා .    
ඒවා තමයි විරෝධතාවය පෙන්වන්න  දෙන ඡන්ද .  නමුත් අවාසනාවකට වගේ ලංකාවේ හැට නම  ලක්ෂයක් වැඩි චන්ද දුන්න ගෝඨාටම   විරෝධතා ඡන්ද නොදී .  අවුරුදු දෙකකට පස්සේ ඒ ගොල්ලන්ටම  විරෝධතාවයක් කැඳවන්න උනා . 

මේ පාර ලංකාවේ ජනාධිපති මැතිවරණය 2019 ටත් වැඩිය උණුසුම්.  බලවත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සාමූහිකයක් ඡන්දය ඉල්ලනවා. සම්ප්‍රදායික , දේශපාලන පවුල්  සහ නව ලිබරල් ප්‍රවාහයන්ට විරුද්ධව.  ග්‍රීසියේ සිරසා වගේ සමාජ ප්‍රජාතන්ත්‍ර වාදී ප්‍රවාහයේ දැඩි වාමාංශයකුත් ඉන්නව ,  සමාජවාදීනුත්  ඉන්නව .  මධ්‍යස්ත කොටසකුත් ඉන්නව .   
දැඩි වාමාංශික කොටස් 70-77 කාලේ වගේ නිෂ්පාදන ආර්ථිකයක් ගේන්න කතා කරනවා .  ඒ කාලේ පොඩි ළමයෙක් හැටියට මමත් පෝලිම් හෙම දැකල තියෙනවා .  අද සෝවියට් දේශයක් නැති නිසා නිකන් හම්බවුන කම්හල් හෙම ලැබෙන්නේ නැති වෙයි .  
නායකත්වය නම් බොහෝ විට කතා කරන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පන්නයේ රාජ්‍ය ක්‍රමයක් ගැන.
 
ඉතින් එයාල දිනන්නත් පුළුවන්.  යාන්තමට පරදින්නත් පුළුවන්.  නමුත් ඒ දෙසට ඇදී  ගිය ප්‍රවාහය විසින් දැනටමත් ශ්‍රී ලංකාවේ බල දේශපාලනයේ පදනම් දෙදරවලා තියෙන්නේ .  ඒ නිසා දෙකෙන් මොක වුනත් ශ්‍රී ලංකාවට  හොඳක් වෙනවා  කියල මට විශ්වාසයක් තියනවා . මොකද මේ වැනි ප්‍රවාහයන්  ගේ  බලපෑමට දැඩි දක්ෂිනාංශය පවා ප්‍රගතිශීලි වෙන්න උත්සාහ කරනව .  නැතිනම් පැවැත්මක් නැහැ .  
මගේ යාලුවෝ සෑහෙන ප්‍රමාණයක් නම් පවතින ලිබරල් එහෙත්  තරමක් ප්‍රගතිශීලි වීමට වුනු රජයට තමා සහයෝගය දෙන්නේ, රට දැඩි ආර්ථික අගාධයකින් බේරා ගත්ත කියල . නමුත් ඉතා පැහැදිලි  බහුතරයක් නව දේශපාලන ප්‍රවාහයට ඉතාම උද්‍යෝගයකින් සහයෝගය දෙනවා. ඉතා ටික දෙනෙක් සම්ප්‍රදායික දේශපාලනයට සහය දෙනවා .  

මම 2014 දී මෙහෙම ලිපියක් ලීවා බ්ලොග් එකේ .  දක්ෂිනාංශයෙන් සමාජවාදයක්  පැතීම හා මාක්ස්වාදී රනිල්  කියල .  ඒ ලිපියෙන් මම අදහස් කලේ වැඩි කල් යන්නට  පෙර දක්ෂිණාංශික දේශපාලකයන්ට ප්‍රගතිශීලි වෙන්න බල කරන තත්වයක් එනව කියල ලාභාංශ අඩු වෙනකොට.  ආර්ථික ප්‍රශ්න එනකොට.  අවුරුදු 8 කට පස්සේ ඒක වුනා .   

මම, පිටරට හොඳින් ජීවත්වෙන ගමන් ලංකාව සවුත්තු වෙලා ආර්ථිකය වැටෙනකන් බලාගෙන ඉඳල නැහැ කවදාවත්,  ඊළඟ අරගලය හොයන්න.  ඉන්නෙත් නැහැ.  මොකද අපට හැම වෙලේම අවශ්‍ය වුනේ ලංකාවට හොඳක් වෙනවා දකින්න ,  සීග්‍රයෙන් දියුණු වෙනවා දකින්න .  එසේ වේවා කියල ප්‍රර්ථනා කරනවා සැප්තැම්බර් 21න්  පස්සෙත්.   

'දකුණ  නැගෙනහිර බටහිර උතුරද  එක කොඩියේ සෙවනේ 
එකම දැයක් වී මහා බලයක් වී පෙරටමු යාම ලංකා'




කොළඹ ගමයා - 19/09/2024

Saturday, 14 September 2024

මාක්ස් ගෙන් ආපු තියරි ටික ඉතා කෙටියෙන්



මේ පෝස්ට් එක කලින් ලියපු පෝස්ට් එකට අදාලයි.

මාක්ස් ගෙන් ආපු තියරි ටික ඉතා කෙටියෙන්- 

මේ ලිපිය මම ප්‍රතිචාර වශයෙන් බ්ලොග් ලිපියට දාපු එකක්.  බ්ලොග් ලියන පැතුම් හේරත් මල්ලි  කිව්වා මේකට පෝස්ට් එකක් හැදුවොත් හොඳයි කියලා. ඉතින්  මේ බුකියට ගැලපෙන්නෙ හදපු පෝස්ට් එක.


මාක්ස් ගොයියාගේ ප්‍රාග්ධනය පොතේ සහ ලියපු ලිපි වල උදාහරණ සහිතව සමාජ පරිණාමය දක්වල තියෙන්නේ මෙහෙමයි (ඉතා කෙටියෙන් ) .

ගෝත්‍රික සමාජය (ආදී කොමියුනිස්ට්වාදී සමාජය ) -ගෝත්‍රික යුද්ධ තුලින් , වහල් සමාජය බිහිවීම - ස්පාටකස් ගේ කාලේ වගේ වහල් විප්ලව ඇති වෙනවා.වෙළඳාම වැඩි දියුණු වෙනවා  - වැඩ වසම් සමාජය ක් ගොඩ නැගෙනවා. - රජුන් හා රදළයන් පාලනය කරන  -වහල් සහ ප්‍රවේණි දාස ක්‍රම තවම තියෙනවා ලෝකේ. ඊට පස්සේ ශ්‍රමයට ඇති බාධක මග හරින්න  ධනේෂ්වර විප්ලව ඇති වෙනව- වහල් , වැඩ වසම් සේවයන් වලට එරෙහිව ධනවාදය නැගී සිටීම - ධනවාදය බිහි වෙනවා - ධනවාදය විසින් නිර්ධන පන්තිය සූරා කෑම නිසා ඔවුන් විප්ලව කිරීම . - කොමියුනිස්ට් වාදය බිහිවෙනවා.  . ඕක තමා මාක්ස් කිව්වේ කෙටියෙන් . පැරිස් කොමියුනය පිලිබන්ඩ්උදාහරණ අරගෙන මාක්ස් කිව ප්‍රචණ්ඩ විප්ලවයක්, අරගලයක් තුලින් කොමියුනිස්ට් වාදය බිහි වෙනව කියල. එය කරන්නේ නිර්ධන පන්තිය. එහි ගාමක බලවේගය කම්කරු පන්තිය කියල මාක්ස් කිව්වා. 

මාක්ස්වාදය කියල කියන්නේ ඒකට. (ඉතා කෙටියෙන්).


 නමුත්  දියුණු ධනවාදී රටවල විප්ලවය  වුනේ නැහැ . ධනවාදය ඊට වැඩිය නුවණැති නිසා . උන් මාක්ස් කියෙව්වා . වෙනස් කරන්නේ කොහොමද  කියල  හොයා ගත්ත . කම්කරුවන් ට වැඩි පඩි දෙන්න ගත්ත.

ඒකට ලෙනින් අලුත් තියරියක් ගේනවා - ධනවාදය - එහි දියුණුම අවිධිය  අධිරජ්‍යවාදය කියල  - බ්‍රිතාන්‍ය , රුසියාව, ඔස්ට්‍රො හන්ගේරියාව, , ජර්මනිය (පෘසියානු අධිරාජ්‍යය )  වගේ රටවල් . එයට එරෙහිව සමාජවාදී විප්ලවය සිදු විය යුතුයි. සිදු කරන්න කියල සමාජවාදය පිහිටුවීමට - සමාජවාදය තුලින් කොමියුනිස්ට්වාදයට යන්න පුළුවන් කියල . සමාජවාදය තමයි අතරමැදි අවධිය. 


මාක්ස් ලෙනින්වාදය කියන්නේ ඒකට.


 ලෙනින් ගේ තියරියට අනුව තමා කියන්නේ තවම කොමියුනිස්ට් වාදී සමාජ බිහි වෙලා නැහැ කියල  

හැබැයි ලෙනින් ගේ තියරිය සාර්ථක වුනා රටක් බිහි කරන්න .

සෝවියට් දේශයේ සමාජවාදය පිහිටෙව්වේ 1917 නොවැම්බර්. .1917 පෙබරවාරි විප්ලවය තමයි කම්කරුවෝ, සොල්දාදුවෝ, ශිෂ්‍යයෝ සහ ගොවියෝ එකට කරපු විප්ලවය.  ඔක්තෝම්බර් මාසේ හෙවත් (නොවැම්බර් 07) ලෙනින්, ට්‍රොට්ස්කි, ස්ටාලින් ඇතුළු බොල්ෂෙවික් පක්ෂය   බලය අල්ල ගත්තා ආයුධ සන්නද්ධ කුමන්ත්‍රණයක් හරහා.

හැබැයි ලෙනින් සහ ට්‍රොට්ස්කිට තේරුනා මාක්ස් කියන විධිහේ ධනවාදී විප්ලව බ්‍රිතාන්‍යය, හංගේරියාව , ජර්මනියේ වෙන්නේ  නැහැ කියල. ඉතින් ට්‍රොට්ස්කි හරහා රතු හමුදාව යවල රුසියාව වටේ රුසියන් අධිරාජ්‍යයට අයත්ව තිබු රටවල් නැවත අල්ල ගෙන සෝවියට් රාජ්‍යය  පිහිටෙව්වා.  ඊට පස්සේ ලෙනින් නව ආර්ථික පිළිවෙත කියල එකක් ගේනවා. (ටිකක් නිදහස් ආර්ථිකය වගේ) මිනිසුන්ට පෞද්ගලික බිස්නස් කරන්න පුළුවන්. ගොවියන්ට තමන්ගේ ඉඩම් තියාගෙන  වගා කරන්න පුළුවන්. සෝවියට් රාජ්‍යයේ ආර්ථිකය දියුණු වුනා.  මේකට ස්ටාලින් විරුද්ධව හිටියේ. 


ඊට පස්සේ ලෙනින් මැරුණා 1924 අග. - ස්ටාලින් අලුත් තියරියක් ගේනවා . තනි රටක සමාජවාදය පිහිටුවන්න පුළුවන් කියල . ට්‍රොට්ස්කි, කාමනෙව් වගේ අය විරුද්ධ වුනා. . ලෝක සමාජවාදී විප්ලවය සිදුවිය යුතුයි. ලෝකයේ හැම තැනම නොනවතින විප්ලවයක් දියත් වෙනවා කියල ට්‍රොට්ස්කි කීව. මාක්ස් කිව්වා වගේ  ලෝකයේ දියුණු ධනවාදී රටවල සමාජවාදී විප්ලව  සිදුවිය යුතුයි කියල . ඔන්න ඕකට  තමා ට්‍රොට්ස්කි වාදය කියල කියන්නේ.

ඒ මාක්ස්-ලෙනින්- ට්‍රොට්ස්කි වාදය. 


තනි  රටක බලයෙන් සමාජවාදය පිහිටුවීම, බලයෙන් සමුහ ගොවිපල සෑදීම , සියලු ව්‍යාපාර බලෙන් ජනසතු කිරීම වගේ දේ ස්ටාලින් ක්‍රියාත්මක කළා.

ස්ටාලින් තමන්ගේ මතයට විරුද්ධ සියල්ලම මරල දානවා . ට්‍රොට්ස්කි ඇතුළු .. ඔය විරුද්ධ වාදීන් සමග සාකච්ඡා කරල වාද කරල තමන්ගේ පැත්තට හරවා ගන්න ලෙනින් ගේ ක්‍රමය වෙනුවට විරුද්ධවාදීන් භෞතිකව ඉවත් කිරීම හඳුන්වා දුන්නේ ස්ටාලින්. 

මේක මාක්ස්-ලෙනින්- ස්ටාලින්වාදය.


ලංකාවේ සමසමාජ පක්ෂය දෙකට බෙදෙනවා ට්‍රොට්ස්කි පිල හා, ශ්‍රී ලංකා  කොම්යුනිස්ට් පක්ෂ - ස්ටාලින් පිල වශයෙන්.  ඊට පස්සේ ආපු සෝවියට් පාලනය  හිතනවා හැට ගණන්වල සෝවියට් දේශයේදී  කොමියුනිස්ට්වාදී සමාජය සාක්ෂාත් වුනා  කියල . විජේවීර සහ (දැන් ටිල්වින් අයියා විශ්වාස කරන්නේ ) විශ්වාස කලේ හැටේ සහ හැත්තෑවේ දශකයේ සෝවියට් යුගය තමා ස්වර්ණමය එක කියල. 

 

ෆැසිස්ට් වාදය ආවේ 1934 පස්සේ ජර්මනියේ . ඒකට ජාතික සමාජවාදය කියලත් කියනව . වෙළඳාම්  කරන්න පුළුවන් ආණ්ඩුව කියන විධිහට . නාසි පක්ෂයට සල්ලි දුන්නේ නැත්නම් වෙළඳාම් බැහැ. ව්‍යාපාර කොල්ල කාලා පක්ෂේ එවුන්ට දෙනවා රන් කරන්න. හැබැයි රට දියුණුයි , තමන්ගේ ජාතිය උසස් . අනිත් ජාතින් පහත්. යුදෙව්වෝ ඇතුළු අනිත් පහත් ජාතින් ඉවත් කරන්න ඕනේ ලෝකෙන් වගේ කියපු කරපු දර්ශනයක්. රටේම මෝටර් වේ හෙවත් අධිවේගී මාර්ග පද්ධතිය හැදුවේත්  ඔවුන්. අන්තිමට සෝවියට් දේශය ඇමෙරිකාව සහ මිත්‍ර ජාතින් ඔවුන් පරාජය කළා .


ඉතින් ඊට පස්සේ එනවා මාඕ ලොක්ක . එයා කියනව නැහැ . වැඩ වසම් සමාජයෙන් කෙලින්ම සමාජවාදයට එන්න පුළුවන් කියල . ඒ කියන්නේ පොර අර එයාගේ මහා චීන පා ගමන එනකොට දකිනවා වැඩ වසම් (පනස් ගණන් වල) චීනය . උන් අර පොඩි ෆාමසි එකකට ගහල කලා දාන්නේ ඒවා ධනවාදී කියල .මාඕ ඊට පස්සේ සංස්කෘතික විප්ලවය ගේනවා. බුද්ධිමතුන්, (ගුරුවරුන්, ශිෂ්‍යයන් , සිවිල් සේවකයන්) ගමට දක්කන,මිලියන් ගාණක් මැරෙනවා. 

මේක මාක්ස් - ලෙනින් - මාඕ වාදය.


 වැඩවසම්/ධනවාදී සමාජ කෙලින්ම සමාජවාදයට ගන්න පුළුවන් කියන එක. . ඒ තියරියට අනුව තමා ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය දෙකට බෙදෙන්නේ . විජේවීර යන්නේ මාඕගේ  තියරිය පැත්තට . මොකද එයා  හිතනව සිරිමවෝ වගේ රදල පවුල් පාලනය කරන්නේ වැඩ වසම් රටක් කියල. ඒ කාලේ ලංකාව අනුව බැලුවහම ලොකු වැරැද්දකුත් නැහැ ඒ අදහසේ.  (සිරිමා චන්දෙන් බලයට  ආවේ කියන එක අමතක වෙලා හැබැයි ) . 

‘71 කැරැල්ල  මාක්ස් කියපු කම්කරුවෝ කරපු විප්ලවයක් හෝ ජනතා අරගලයක්  නෙමේ. ඒක සුළු ධනේශ්වර කියන ශිෂ්‍යයෝ සහ ගොවියෝ ගහපු  කැරැල්ලක්. 


ඔන්න ඔය අස්සේ පොල්පොට් කියල ප්‍රංශයේ බාගෙට ඉගෙන ගෙන ආපු කාම්බෝජ වෛද්‍ය ශිෂ්‍යයෙකුට හිතෙනවා එයා මාඕ ටත් එහා යනව කියල . මාක්ස් කීවේ මුලික ගෝත්‍රික සමාජය කොමියුනිස්ට් වාදී ලක්ෂණ තිබ්බ කියලනේ . ගෝත්‍රික මූලික කොමියුනිස්ට් සමාජය පිහිටුවලා එතැන ඉඳන් කෙලින්ම සමාජවාදයට යනවා කියල එය ගේනවා තියරියක් . කාම්බෝජයේ 0 වසර පටන් ගන්නේ එහෙම. එයාලා අර උගත්තු, සිසුවෝ , ළමයි නගර වලින් ඔක්කොම ගම් වලට පිටුවහල් කරනවා , ඉස්කෝල තහනම් කරලා, විශ්ව විද්‍යාල වහල , විරෝධය පාන මිනිස්සු මරල හදන්න තැත් කනව හදන්න මුලික කොමියුනිස්ට් සමාජයක් . ඒක පොල්පොට් වාදය.


දැන් මහජන  චිනේ තියෙන්නේ ඩෙන් ෂියා ඌ පිං පිහිටවපු කොමියුනිස්ට් පක්ෂය කියන විධිහට වෙළඳම් , ව්‍යාපාර  කලේ නැත්නම් කරන්න බැහැ කියන පන්නයේ කොමියුනිස්ට් පක්ෂය පාලනය කරන ධනවාදී ක්‍රමයක්. . හැබැයි චිනේ දියුණුයි . ජාතික සමාජවාදය මතක් වෙනවද / එහනම් ඔයා හරි . නමුත් ඔවුන් අනිත් ජාතින් මරන්නේ නැහැ . අර උර්ගු මුස්ලිම් වරුන්ට කොනහනවා ඇරෙන්න . රුසියාවේ  - සමාජවාදය අවසන් වුනේ 1991 . රුසියාව ඔටෝක්‍රටික් හෙවත් තනි පුද්ගලයෙකු පාලනය කරන අර්ධ ධනවාදී රටක් . 

උතුරු කොරියාව කොමියුනිස්ට් පක්ෂයක් විසින් පාලනය කරන මාඕ වාදී ( ඒකාධිපතිවාදී )   රටක්.


 එංගලන්තේ මනෝරාජික සමාජවාදීන් මාක්ස් ගේ මුලික තියරිය විශ්වාස කරනවා . ඒ කියන්නේ ආර්ථිකය පරිණාමය වුනු විධිහ . හැබැයි ප්‍රචණ්ඩ විප්ලවයකින්/අරගලයකින්  ධනවාදය වෙනස් කරන්න පුළුවන් කියල විශ්වාස කරන්නේ නැහැ . ධනවාදයේ දියුණුවෙන් ඉබේම කොමියුනිස්ට් වාදී සමාජයක් හැදෙනවා කියල තමා විශ්වාස කරන්නේ . ඒ අතර අතුරු මාර්ගයක් හැටියට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ (ස්වීඩනයේ වගේ ) බිහි වෙනවා කියල තමා හිතන්නේ .


මම හිතන්නේ  ලංකාවේ වගේ රටක ධනවාදය නිවැරදිව පිහිටුවන්න ඕනේ කියල.. නැත්නම් අවම වශයෙන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස දියුණු කල යුතුයි කියල.  ඉතින් තේරීම  මම හිතන්නේ වඩා හොඳ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී  ක්‍රියා මාර්ගය ඉදිරිපත් කරන්නේ කවුද කියල හොයල බලල  එයාට ඡන්දේ දෙන එක.

 

#පෙරටුගාමී සමාජවාදී ටිපර් පාක් කරන්නට අවසර තිබේ


Tuesday, 10 September 2024

පදක්කම් දෙකක කතාවක්

                                                    


මගේ ෆේස්බුක් ගිණුමේ ඉන්න යාළුවෝ යෙහෙළියෝ බොහෝ දුරට දකින්න ඇති අපි පහුගිය සුමනේ උස්බෙකිස්ථානයේ සංචාරයක දීල  හිටිය කියල. අපි එහි අගනුවර වන  ටෂ්කෙන්ට් නගරයෙන් පටන් අරගෙන උග්‍රේන්ජ් , ඛිවා , බුඛරා සහ සමර්කන්ඩ් යන පුරාතන චීනය සහ යුරෝපයත් මධ්‍යම ආසියාවත් සම්බන්ධ කරන සුප්‍රසිද්ධ  සිල්ක් ගෙනගිය ගමන් මගේ තිබුන පෞරාණික නගර බලන්න ගියා .  ඒ වගේම හැමෝම දන්නවත් ඇති උස්බෙකිස්ථානය කියන්නේ පරණ සෝවියට් දේශයේ කොටසක් ව තිබුණු සමුහාණ්ඩුවක් කියල .  


මේ පදක්කම් දෙක මම ගත්තේ බුඛාරා නගරය බසාර් එකෙක් එහෙම නැත්නම් පුරාතන ඔටු කැරවන් කරුවන් නතරවුණු වෙළඳම් පොළක ඇන්ටික් කඩේක තිබිල .   ඒවායේ පෞරාණික වටිනාකමටත් වඩා මට දුක හිතුන නිසා කීවොත් නිවැරදියි. මුල් පදක්කමේ ඉන්නේ ලෙනින් .  ලෙනින් ගේ අවුරුදු 100 ජන්ම දිනය වෙනුවෙන් කිසියම් වෘත්තිකකුට ප්‍රදානය කරපු පදක්කමක් .  1870-1970 කියල ගහල තියනවා .   දෙවෙඉ පින්තූරේ පදක්කමේ අනිත් පැත්ත . උඩ කොටසේ  ලියල තියෙන්නේ රුසියානු භාෂාවෙන් " සා දොබ්ලෙස්ත්නි තෘඩ් " -අධිෂ්ඨානශීලී (හෝ නිර්භීත) ශ්‍රමය වෙනුවෙන් . " කියල .   යට තියෙන්නේ ලෙනින් ගේ සිය වැනි ජන්ම දිනය වෙනුවෙන් කියල .  මේ ජුබිලි පදක්කම සාමාන්‍යයෙන් දීල තියෙන්නේ  ජේෂ්ඨ කම්කරුවෙකුට ,  විද්‍යාඥයෙකුට, ප්‍රසිද්ධ කලාකරුවෙකුට, ආර්ථිකය පිළිබඳ  ඔස්තාර් කෙනෙකුට, හොඳ  ගොවියෙකුට වගේ. උද රතු පාට රිබන් එකත් වැදගත් .  විකිපෙඩිය එකේ විස්තරේ වැඩිදුර බලන්න පුළුවන් .   මේ පදක්කම ලැබූ අය අතර රාවුල් කැස්ත්‍රෝ, සංගීතඥ විචිස්ලාව් රස්ටොපොවිච්, නොබෙල් ත්‍යාගලාභී භෞතික  විද්‍යාඥ ඇලෙක්සැන්ඩර් ප්‍රොහරෝව් හෙම ඉන්නවා.

උඩ  ස්ටාලින් ගේ මුහුණ තියෙන පදක්කම සෝවියට් උස්බෙක් ජෙනරල් කෙනෙක් ගේ. එයාගේ ඇඳුම කියල මේ පහල තියෙන තරු හතරේ ජෙනරාල් කෙනෙක් ගේ ඇඳුමත් මට විකුණන්න හැදුව .  නමුත් ඒක ගේන්න බැරි නිසා ගත්තේ නැහැ . පදක්කමේ මුහුණ  පැත්තේ ලියල  තියෙන්නේ රුසියානු භාෂාවෙන් " නාශ දියෙලා ප්‍රාවොයේ මී පබ්යෙදිලි - අපේ කාර්යය නිරවද්‍යයි, අපි ජයග්‍රහණය කළෙමු ".  එතකොට අනිත් පැත්තේ තියෙන්නේ "ශ්‍රේෂ්ඨ පිතෘ භුමිය මුදා ගැනීමේ සටන 1941-1945 , ජයග්‍රහණය වෙනුවෙන් ජර්මනිය පරදා " කියල.  මේ පදක්කම් දෙක තවම සුද්ධ කලේ නැහැ. ගත්ත විතරනේ .  මේ පදක්කම ලබපු ප්‍රසිද්ධ කෙනෙක් තමා ඇමරිකානු ජෝසප් බේර්ල් කියන යුධ භටය .  ඔහු ඇමෙරිකන් පැරචුට් රෙජිමේන්තුවක සටන් කරද්දී ජර්මන් හමුදාවට අහු වෙනවා 1944 දී .යුධ  හිරගෙදරින්  පැනල ගිහින් සෝවියට් යුධ ටැංකි කණ්ඩායමකට එකතු වෙලා රතු හමුදාව එක්ක සටන් කරනවා .  හමුදා  දෙකටම සටන් කරපු එකම යුධ භටයා වීමේ ගෞරවයත් ඔහුට අයිතියි .  අනිත් ප්‍රසිද්ධ කෙනා ප්‍රංශ ජෙනරාල් කෙනෙකු වන පියෙර්  පූජා (Pierre Pouyade) ගේ . ඔහුත් 1943 සෝවියට් දේශයේ සටන් කල කෙනෙක් ජර්මන් හමුදා වලට විරුද්ධව .  



  
මේ පදක්කම් ඕන තරම් තියනව එංගලන්තේ ඊබේ එකේ විකුනන්න දාල. නමුත් මම මේක උස්බෙකිස්තානයේ බුඛාර නගරයෙන්ම  ගත්තේ නියම පදක්කම් දෙකක්ම  වෙන්න පුළුවන් නිසා .  හොර ඒවා ලංකාවේ රුපියල් දෙකක් වගේ - නිකන් පෙත්තක් වගේ බර අඩුයි .  මේ පදක්කම් දෙක මිලිමීටර 3-4ක් විතර ඝනකම තියන ග්‍රෑම් තිහක් විතර බර ඒවා .  ඒ නිසා ඔරිජිනල් කියල කිව්ව හැකි . 
ලෙනින් ල ස්ටාලින් ගේ මුණවලට වඩා දුක හිතෙන දේ තමයි මේවා විකුණපු අය ගැන .  සෝවියට් දේශය වෙනුවෙන් දහඩිය හෙලපු අය ගේ හෝ දෙවන ලෝක යුද්ධයේ මරණය පෙනි පෙනී සටන් කල අයගේ හෝ වටිනාකමක් දැන් නැහැ. එක එක්තරා විධිහක ඛේදවාචකයක්.නමුත් ඒක තමයි ඉතිහාසයේ හැටි . 
   ඔවුන්ගේ දරු මුණුපුරන් මේ පදක්කම් කුණු කොල්ලෙට විකුණලා දානවා . පවුලේ ගෞරවය සඳහාවත් ටිය ගැනීමේ පලක් නැහැ. ඉතිං  අන්තිමට මේ පෞරාණික දේ  බ්‍රිතාන්‍යයේ හෝ බටහිර රටක නතර වෙන්නේ අපි වගේ ඒවා එකතු කරන අය ගාව. නැතිනම් බටහිර කෞතුකාගාරයක .  

බොහෝ විට හුඟක් අය කොල්ල කාගෙන ගියා , හොරකම් කළා කියල කෑ ගැහුවත් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ  තියෙන බොහොමයක් දේ මේ වගේ විකුණපු ඒවා.  යුධ අවස්ථාවක මිත්‍ර පාර්ශව විසින් භාර කරන පෞරාණික වස්තූන් නුත් තිබෙනවා .   බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඒවා සුරැකිව තිබෙනවා .  හමුදාවෙන් උස්සගෙන ආපුව විතරක් එයාල ආපහු දෙනවා බොහෝ විට.  කොහේ හරි රැකිලා තියනවා කියන්නේ ඒ ඉතිහාසය මැකෙන්නේ නැහැ කියන එකයි .  

මේ පදක්කම් ගැන නෙමේ මගේ ප්‍රශ්නය  , තමන් දහඩිය හෙලපු ශ්‍රමය වැය කරලා ගොඩ නගපු රට , ෆැසිස්ට් වාදයෙන් බේරා  ගැනීමට දිවි පරදුවට තබා සටන් කල රට අනාගතයේ කඩා වැටෙන්නට නියමිත බව දැන සිටියේ  නම් ඔවුන් එසේ කරයිද ?  

- අජිත් 11/09/2024   







Tuesday, 27 August 2024

විදේශීය ඇසින් ශ්‍රී ලංකාව - ලී ක්වාන් යූ


මේ ලිපිය පළවී තිබුනේ මහාචාර්ය සුචරිත ගම්ලත් විසින්   ලියන ලද සති සිතුමිණි පොතේය.  විදේශීය ඇසින් ශ්‍රී  ලංකාව යන මැයෙන් පරිවර්තිත මෙය  වර්තමානයට ඇති  වැදගත්කම සලකා පල කරමි. පොත මුද්‍රණය කර ඇත්තේ සරසවි ප්‍රකාශකයන්ය. ලී ක්වාන් යූ කියන සැම දෙයටම මමද එකඟ නොවෙමි . ඔහු බොහෝ දුරට ඒකාධිපති 
පාලකයෙක් විය .  නමුත් ඔහු ගේ මේ අදහස් වටනේය. අවි බලයෙන් ජාතික ප්‍රශ්නය විස්නාදිය නොහැකි යයි ඔහු පවසා තිබේ .   ශ්‍රී ලංකාව  "ත්‍රස්තවාදී ප්‍රශ්නය" විසඳන ලදී . ඒ සඳහා ශ්‍රී ලංකාවට බොහෝ සේ ණය වන්නට සිදුවිය. ජාතික ප්‍රශ්නය විසඳා ඇතිද කියා කිව නොහැකිය .     



 විදේශීය ඇසින් ශ්‍රී  ලංකාව 
**********************************************************

සති අන්තයේදී සුවිසල් පොතක් කියවන්ට ලැබිණ. එය  ඉතා රුචි වඩවයි. ස්වයං ලිඛිත  චරිතාපදානයෙකි.  කතුවරයා සිංගප්පූරුවේ අගමැතිව සිටි ලී කුවාන් යූ මහතාය.  පල කර තිබෙන්නේ දෙදාහක් වර්ෂයේය.


එහි  ශ්‍රී ලංකාව ගැන  තිබෙන කොටස  පහත දක්වමි.


“මා පළමු වරට ශ්‍රී ලංකාවට ගියේ 1956 දීය. ඒ  ලන්ඩනයට යන අතර මගය. මා  නතර වූයේ ගාලු මුවදොර හෝටලයේය.  බ්‍රිතාන්‍ය  යුගයෙන් පැවත එන ඔවුන්ගේ ප්‍රමුඛ හෝටලයයි. එය  මුහුදට මුහුණ ලා පිහිටා ඇත.  මම කොළඹ නගරය වටා ඇවිද්දෙමි. රජයේ ගොඩනැගිලි සිත් කාවාදී. ඒ බොහෝ ගොඩනැගිලිවල සෙල් මුවා මුහුනත්ය. ඒවාට  යුද්ධයෙන් හානි පැමිණ නැත. මවුන්ට් බැටන් සාමී තම අග්නිදිග ආසියා ආඥා ස්ථානය මහනුවර පිහිටුවාගෙන සිටි හෙයින් ශ්‍රී ලංකාවට සිංගප්පූරුවට වඩා සම්පත්ද යටිතල පහසුකම් ද ලැබී තිබිණ.


ඒ අවුරුද්දේම අලුතින් බිහි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක සලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක මැතිවරණයෙන් ජය ලැබ ආගමැති ධුරයට පත්විය. 


සිංහලය  රාජ්‍ය භාෂාව බවට ද බුද්ධාගම රාජ්‍ය ආගම බවට ද පත් කිරීමට ඔහු පිළිණ දී තිබිණ.  ඔහු දුඹුරු පැහැති සමෙන් යුත් හොඳ මහත්මයෙක් විය. ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලත් ඔහු උපතින් ක්‍රිස්තියානියෙකි. ජාතිවාදියෙකු වීමට අදිටන් කළ ඔහු බුද්ධාගමට හැරී සිංහල භාෂාව සඳහා උද්ඝෝෂණය කරන වීරයකු බවට පත්ව සිටියේය. ශ්‍රී  ලංකාව බිඳ වැටීමේ ආරම්භය එය විය.


ඒ කාලයේ සිංගප්පූරුවේ අගමැතිලිම් යූ හෝක් f රාත්‍රී බොහෝජනය සඳහා මට ආරාධනා කළේ ය.  ඒ එහිදී බණ්ඩාරනායක හමුවීමටය.  සුපිළිසන්ව හැඳ පැළඳ සිටි රමණීය බසින් බිණූ සුරු බුහුටි කුඩා කය ඇති බණ්ඩාරනායක ශ්‍රී ලංකාව වඩාත් ජාතිවාදී සමාජයක් බවට පත්කිරීම සඳහා ලත් මැතිවරණ ජන වරමින් උද්දාමයට පත්ව සිටියේය. ඒ වරම  ඉංග්‍රීසි උගත් බමුණු කුලයට දැක්වූ ප්‍රතිචාරයක් විය.  මේ දේශපාලන ප්‍රභූ පැලැන්තිය බලයට උරුමය ලැබ බ්‍රිතාන්‍යයන් අනුව හැඩ ගැසී සිටියේය. ඔවුන්ගේ ජීවන ක්‍රමය ද ඉංග්‍රීසි පන්නයට හැඩ ගැසීි තිබිණ. බණ්ඩාරනායකට පෙර අගමැතිව සිටි ශ්‍රීමත් ජෝන් කොතලාවල සැමදා උදයේ අසුන් අරා සංචාරය කළේය.


දැන් සිංහලය රාජ්‍ය භාෂාව වී පැවතියෙන් යාපනයේ දෙමළ ජනයාට හා අන්‍ය සුළු ජාතීන්ට අවාසියක් සිදුවී තිබීම නිසා හෝ ජාතික ආගම ලෙස බුද්ධාගම උසස් තත්ත්වයට පත්වීමෙන් හටගත් හින්දු දෙමළ ජනයාගේ ද මුස්ලිම් මුවර් ජනයාගේද ඕලන්දක්කාරයන්ගෙන් ගෙන් පැවත එන ක්‍රිස්තියානි  ලන්සින් ගේද අපහසුතාවය නිසා හෝ බණ්ඩාරනායකට හිත් හමාරුවක් ඇති වී තිබුණු බවක් පෙනෙන්නට නොතිබුණි. ඔහු ඔක්ස්ෆඩ්  ශිෂ්‍ය සංගමයේ සභාපති ධුරය දරා තිබිණ. ඔහු කතා කළේ තමා  තවමත් ඔක්ස්ෆඩ් විවාද සංගමයේ සිටින කලක මෙනි. එයින් තුන් වසරකට පසු බෞද්ධ භික්‍ෂුවක විසින් ඔහු ඝාතනය කරන විට මම පුදුමයට පත් නොවීමි. බුද්ධාගම රාජ්‍ය  ආගම කිරීමෙහිලා රටේ ප්‍රගතියේ ඉබි ගමනින් අතෘප්තියට පත් භික්ෂුවක එය කිරීම උත්ප්‍රාසයකැයි මම සිතුවෙමි.


ඊට පසුව පැවැත් වූ මැතිවරණයේදී ඔහුගේ වැන්දඹු සිරිමාවෝ බණ්ඩාරනායකානුකම්ප ඡන්දයෙන් අගමැති ධුරයට පත්වූවාය. එතරම් ජීව ශක්තතාවයෙන් අඩු නමුදු  ඇය බොහෝ තද සිත් ඇති නායිකාවක බව ඔප්පු විය.එක්දාස් නමසිය හැත්තෑ වේ ලංකාවේදි මට හමුවන විට ඇය නොබැඳි දෘෂ්ටිවාදය ඇදහූ අධිෂ්ඨානශීලී ස්ත්‍රියක් වූවාය. දකුණු වියට්නාමයෙන් ලාඕසයෙන් හා කාම්බෝජයෙන් ඇමෙරිකානු හමුදාව ඉවත් කිරීම ද ඉන්දියානු සාගරය මහ බලගැටුම්වලින් නිදහස් න්‍යෂ්ටික අවිහළ  කලාපයක් කිරීමද ශ්‍රී ලංකාවට අභිමත විය.


තරුණයකු වශයෙන් මම මගේ ඊට වෙනස් විදේශ ප්‍රතිපත්ටි  අරමුණු ඉවසිලිවන්තව පහදාලීමි. කාම්බෝජයට ලාවෝසයට හා තායිලන්තයට තර්ජනයක් වෙමින් වියට්නාමය කොමිනිස්ට්වරුන් අතට පත් වුවහොත් සිංගප්පූරුවට එය අති දරුණු තර්ජනයක් වනු ඇත. ත්‍රස්තවාදය මැලේසියාවට පැතිරෙනු ඇත. සිංගප්පූරුවට බරපතල ප්‍රතිවිපාක ගෙන දීමට නියමිත හෙයින් අපට මේ උදාර දෘෂ්ටිවාදයට දායක විය නොහැකිය. මේ කලාපයේ අනික් මහා බලවතුන් වූ චීනය හා ජපානය යථාකාලයෙහි තම නාවුක  බලය ව්‍යාප්ත කරනු ඇත. එහෙයින් පංච මහා බල ආරක්ෂක ගිවිසුම සමග ඉදිරියට යෑම අවශ්‍ය බව සිංගප්පූරුවට පෙනී ගියේය.


තම බෑනා වූ ෆේලික්ස් ඩයස් බණ්ඩාරනායක ඇගේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ විශේෂඥයා විය.  දීප්තිමත් වුවත් කැඹුරක් නැති, තම භූගෝලීය හා ඓතිහාසික වාසනාව නිසා ලංකාවට ආරක්ෂාව නමැති ආශීර්වාදය ලැබී ඇතැයි ඇදහූ ඔහු  ඒ නිසා එය ආරක්ෂාවට වියදම් කරන්නේ තම අයවැයෙන් දෙකයි දශම පහක් පමණකැයි කීය. 1980 ගණන්වලදී යාපනයේ දෙමළ කැරැල්ල කුඩු කිරීම සඳහා රටේ අයැවැයෙන්  භාගයකටත් වඩා වියදම් කෙරුණු වට ඔහු කුමක් කීවේදැ යි මම නොදනිමි.


ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයේ ආදර්ශ පොදු පොදු  රාජ්‍ය මණ්ඩලීය රට විය. එය නිදහස සඳහා සැළකිළිවන්තව සූදානම් කොට තිබිණ. යුද්ධයෙන් පසු එය මිලියන දහයකට බොහෝ අඩු ජනගහනයකින් යුත් මධ්‍යම ප්‍රමාණයේ රටක් විය. එහි සාපේක්ෂ වශයෙන් ප්‍රමිතිගත අධ්‍යාපනයක් පැවතිණ. එහි ඉංග්‍රීසියෙන් උගන්වන කොළඹ හා මහනුවර විශ්ව විද්‍යාල දෙකකි. බෙහෙවින්ම දේශීය පරිපාලන සේවාවකි. 1930 ගණන්වලදී පළාත් පාලන මැතිවරණවලින් ඇරඹුණු නියෝජිත ආණ්ඩු පාලනයේ අත්දැකීම ය.එක්දාස්  නමසිය හතලිස් අටේ දී නිදහස ලබන විට එය නිදහස කරා ආනුක්‍රමික විකාශනයේ සම්භාව්‍ය ආකෘතිය විය.


අහෝ! ඒ සියල්ල වැඩ කර නැත. අවුරුදු ගණනක් තිස්සේ ආ ගිය ගමන්වලදී මා දුටුවේ බලාපොරොත්තු තැබිය හැකි රටක් නාස්තිවී යන සැටිය. එකාට එක චන්දයයි යන  මූලික ප්‍රශ්නයක් විසඳුයේ නැත. ඉංග්‍රීසිය හැර පියා සිංහලය රාජ්‍ය භාෂාව කිරීමෙන් අවාසියට ගොදුරු වූ මිලියන දෙකක් වූ යාපනයේ දෙමළුන් නිතරම ඡන්ද බලයෙන් වැඩලීමට මිලියන අටක් වූ සිංහල බහුතරයට ඕනෑම විටක හැකි විය. පෙර රාජ්‍යාගමක් නොවීය. සිංහලයෝ බුද්ධාගම ජාතික ආගම බවට පත් කර ගත්හ.


1966 දී ලන්ඩනයේ සිට පෙරළා යන ගමන් මම අගමැති ඩඩ්ලි සේනානායක හමුවීමට කොළඹට ගියෙමි.. ඔහු මුදු මොළොක්, එන සැටියක් පිළිගන්නා,  ඉරණමට ඉදිරියේ සිටින වැඩිහිටි මිනිසෙක් විය. එකල පැවති කොළඹ රාජකීය ගොල්ෆ් පිටියෙහි අනවසර පැල්පත් ද එළුවන් හා හරකුන් ද ගැන  ඔහු සමාව අයැදියේය.  ප්‍රජාතන්ත්‍රවාදය හා මැතිවරණ නිසා එය  නො වැළැක්විය හැකි යැයි ඔහු කීවේය. නගර මධ්‍යයෙහි මේ හරිතබර විවර ඉඩ තබා ගැනීම යුක්ති යුක්ත කිරීමට ඔහුට බැරි විය. ඔහු මා ඔවුන්ගේ සුන්දර කඳුකර නගරය වන නුවරඑළියට දුම්රියෙන් යැවීය. නිදහසින් පසු සිදුව තිබුණු දෑ ගැන එය ඉතාමත් හොඳම  පාඩම විය. දුම්රියේ බොජුන් රියේ ආහාර විෂ සහිත විය. කුකුළු මස් දූෂණය  වී ගඳ ගසයි. වහාම විවේකාගාරයට ගිය මට කෑ සියල්ල වමනය  ගියේය. මේ නිසා මම බේරුණෙමි.


නුවරඑළියේ දී මා නතර වී සිටියේ පෙර බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයන්ගේ කඳු නිවාසයේය. එය ජරාවාස වී තිබිණ. ඉංග්‍රීසි වන සරණක් මෙන් දිස් වූ  උයන අතීතයෙහි සෙව්වන්දි  මලින් පුරවා (තවමත් ඒවා ටිකක් තිබිණ) හොඳින් නඩත්තු කරන්න ඇත. මුහුදු මට්ටමෙන් අඩි 5000ක් පමණ උසින් පිහිටි එය පියකරු සිහිලස දනවයි. පෙර කළ සුන්දරව පැවති එම  පිහිටියෙහි මම ගෝල්ෆ් කෙළියෙමි. කොළඹ පිටිය මෙන්ම එයද පැල්පත්, එළුවන් හා ගවයන් විසින් ආක්‍රමණය කොට තිබිණ.


රාත්‍රී ආහාර මේසේදී ධනවත් හා දුක්බර පෙනුමක් සහිත වැඩිහිටි සිංහලයෙක් මැතිවරණ පවත්නා  හෙයින් සිදුවී තිබුණු දේ අනිවාර්ය බව පහදා දුන්නේය. සිංහලයන්ට අධිපති වර්ගය වීමට වුවමනා විය. තේ හා පොල් වගාවල කළමනාකාර තනතුරු බ්‍රිතාන්‍යයන්ගෙන්ද ජ්‍යෙෂ්ඨ සිවිල් නිලධාරි තනතුරු  දෙමළුන්ගෙන්ද තමන්ටම ලබා ගැනීමට සිංහලයන්ට වුවමනා විය. මේ ආදිය නිසා ඔවුන්ට සිංහලය රාජ්‍ය භාෂාව  කිරීමේ ශෝකාන්තය හරහා ගමන් කිරීමට සිදු විය. ඔවුන්ට මේ හේතු කොට බරපතල පාඩු විඳින්නට සිදුවිය. සියල්ලම සිංහලට හා දෙමළට  පරිවර්තන කරන්නට සිදුවිය. එය හිමින් සිදු වන,  කවරදාවත් ඉවර කළ නොහැකි දෙයක්ය. බහුතරයට සිංහලෙන්ද යාපනයේ  දෙමළුන්ට දෙමළෙන් ද ලන්සින්ට ඉංග්‍රීසියෙන්ද වශයෙන් භාෂා තුනකින් ඉගැන්වීමට විශ්ව විද්‍යාල වලට සිදුවිය. මහනුවර විශ්ව විද්‍යාලයේදී වෙනස් භාෂා තුනකින් උගත් ඉංජිනේරුවන් එක් පාලමක් ඉදිකිරීමට සහභාගී වන්නේ කෙසේදැයි මම උපකුලපති ගෙන්  ඇසීමි. බර්ගර්ජාතිකයෙකු ඔහු කේම්බ්‍රිජ්  විශ්වවිද්‍යාල කරපටියක් පැළඳ සිටියේය. ඔහුට ආචාර්ය උපාධියක් තිබෙන බව මම එයින් හඳුනාගතිමි. “මහතාණනි,  එය ඇමැතිවරුන් පිළිතුරු දිය යුතු දේශපාලන ප්‍රශ්නයක්” ඔහු කීය. පොත්පත් ගැන මම විමසීමි. මූලික පාඨ ග්‍රන්ථ සිංහලයට හා දෙමළුවට පරිවර්තන කොට ඇති බවත් ඒවා මුද්‍රණය වන විට නිතරම මුල් පොත් වල නව සංස්කරණ තුන හතරක් පළ වී හමාර බවත් කියමින් ඔහු පිළිතුරු දුන්නේය. 


 තේ වාතු  යායවල් ශෝකජනක තත්ත්වයක විය. බ්‍රිතාන්‍යවතු අධිකාරීවරුන් වෙනුවට පත්කොට සිටි දේශීයයෝ බ්‍රිතාන්‍යයන් තරම් හොඳ නොවූහ. තද විනයක්  නොවූ හෙයින් තේ දළු නෙලන්නියෝ දළු පමණක් නොව තේ වලට හොඳ නැති මෝරපු කොළද නෙළූහ. පොල් වතු වලටද නරක කාලයක් ලබා තිබිණ. ඒ සියල්ල රට පාලනය කරන්නේ කෙසේදැයි ඉගෙන ගැනීම සඳහා මිනිසුන්ට ගෙවන්නට සිදුවූ වන්දිය යයි  ඒ තලතුනා සිංහලයා කීය. 1978 දී ඔස්ට්‍රේලියාවේ පැවති සමුළුවක දී අලුතින් තේරී පත් වූ අගමැති ජූනියර් රිචඩ්ජයවර්ධන හමුවන තෙක්ම මා අවුරුදු ගණනකින් ලංකාවට ගොස් තිබුණේ නැත. 1972 දී අගමැති සිරිමා  බණ්ඩාරනායක රටේ සිලෝන් යන නම ශ්‍රී ලංකා යයි වෙනස්කොට එය  ජනරජයක් බවට පත්කොට තිබිණ. මේ වෙනසින්  රටේ ධනය නම් වැඩි නොවීය. එහි තේ තාමත් විකුණනු ලබන්නේ “සිලෝන් ටී”  යනුවෙනි.


සොලමන් ඩයස් මණ්ඩාරනායක  මෙන්ම කිතුනුවකුව උපන් ජයවර්ධන ද ජනතාව සමග අනන්‍ය වීම සඳහා ජාතිවාදය වැළඳ ගත්තෙකි. වර්ෂ සත්තෑවක්  වන තම ජීවිත කාලයේ දී ඔහු දේශපාලනය තුළ නැගී ද බැස ද තිබිණ. වැඩිහරියක් බැස තිබිණ.  පහත දැමුණු  ඉලක්ක පිළිගැනීම මගින් ඔහු ප්‍රඥාවන්ත වී සිටියේය. ඔහුට ශ්‍රී ලංකාව බංකොලොත් කිරීමට හේතු වූ සමාජවාදී ප්‍රතිපත්ති වලින් බැහැරවීමට වුවමනා විය. සිඩ්නි නුවරදී මා හමුවිමෙන් පසු ඔහු සිංගප්පුරුවට  ආවේය. ඒ ලංකාව දියුණු කිරීමට අප සහභාගි කරවා ගැනීම පිණිස යයි ඔහු කීවේය. ඔහුගේ ප්‍රායෝගික ප්‍රවේශය මගේ සිත් ගත්තේය. එහෙයින් 1978 දී මම ලංකාවට ගොස් ඒමට කැමති වීමි. යාපනයේ  දෙමළ ජනයාට ස්වෛරීත්වය දෙමැයි ඔහු කීය.  දෙමළ ජනය  කෙරෙහි සිංහලයන් පවත්වන පරමාධිපත්‍යය ඉවත් කිරීමට ඔහුට නොහැකි  බව මට වටහා ගත නොහැකි විය. මේ පරමාධිපත්‍යය 1983 දී සිවිල් යුද්ධය  අවුලවා සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක්  පිළිබඳ බලාපොරොත්තු පරම්පරා ගණනාවකට නොවේ නම් බොහෝ වර්ෂ   ගණනාවකට වනසා දැම්මේය.


ඔහු තුළ ඇතැම් දුබලතා විය ඔහුට ගුවන් සේවයක් අරඹන්නට උවමනා විය. එය ප්‍රග තියේ සංකේතයක් හෙයිනි. සිංගප්පූරු ගුවන් සේවය හොඳ ශ්‍රී ලාංකික කපිතාන් වරයකු සේවයේ යොදවා තිබිණ. මා ඔහු මුදා හරිත් ඇයි ජයවර්ධන විමසීය. සත්තකින්ම මට එය කළ හැකිය. එහත් ගුවන් සේවා පයිලට්වරයෙක් ගුවන් සේවාවක් පාලනය කිරීමට කෙසේ නම් සමත් වේදැයි මම ඇසීමි. ඔහුට සිංගප්පූරු ගුවන් සේවයේ උදව් අවශ්‍ය විය. අපි උදව් කළෙමු.  මම ඔහුට මෙසේ අවවාද කළෙමි. ගුවන් සේවයක් පිහිටවීම ඔබගේ ප්‍රමුඛතාවය නොවිය යුතුය. ගුවනත්  කිරීම සඳහා කුසලතා පූර්ණ හා හොඳ පරිපාලකයන් බොහෝ දෙනෙකුගේ සේවය අවශ්‍ය වේ. මේ මොහොතේ ඔබට එවැන්නන් අවශ්‍ය වන්නේ වාරි කර්මාන්තය,  කෘෂිකර්මය,  නිවාස සැපයුම,  කර්මාන්ත සංවර්ධනය හා වෙනත් බොහෝ ව්‍යාපෘති සඳහාය. ගුවන් සේවයක් යනු  බොරු අලංකරණයකි. සංවර්ධනය වන ශ්‍රී ලංකාවට එහි දැවැන්ත වටිනාකමක් නැත.


එහෙත් ඔහු තරයේම ඉල්ලා සිටියේය. එහායින් අපි සය මසකින් එය ගුවනත් කිරීමට උදව් කළෙමු; මාස දෙකේ සිට තුන තෙක් කාල පරිච්ඡේද්‍ය සඳහා සිංගප්පූරු ගුවන් සේවයේ  සේවකයන් අසූ දෙනෙකුන් මුදාහළෙමු; ලොව පුරා සිටින අපේ වෙළඳ නියෝජිතයන මගින් උදව් කළෙමු.විදේශ වල කාර්යාල පිහිටුවා දුනිමු; පුහුණු මධ්‍යස්ථාන  සංවර්ධනය කර දුනිමු. මේ ආදී නොයෙක් දෑ කර දුනිමු. එහෙත් මනා සිහි බුද්ධියෙන් යුතු මුඳුන්  කළමනාකරණයක් නොවීය. මේ නව ගුවන් සේවයේ සභාපති බවට පත් වූ  යට කී පයිලට් තැන අපගේ උපදෙස් නොතකා පාවිච්චි කළ පරණ ගුවන් යානා දෙකක් මිලදී ගැනීමට තීරණය කළ කල්හි තවදුරටත් උපකාර නොකිරීමට තීරණය කළෙමු .තම ධාරිතාව පස් ගුණයකින් ව්‍යාප්ත කිරීම, සෘණාත්මක මුදල් ගලනය,  පුහුණු සේවක මණ්ඩල ඌනතාව, විශ්වාසය තැබිය නොහැකි ගුවන් ගමන්, අඩුකම යන මේ ගැටලු වලට මුහුණපා සිටි මේ ගුවන් සේවය අසාර්ථක වීමටම නියමිත විය.  එසේම එය අසාර්ථක විය.


ශ්‍රී ලංකා පාලකයන් තම රට සිංගප්පූරුව අනුව සකසා ගනිම්හ යි  කියනු ඇසීම අපට බොරු වර්ණාවක් විය. සිංගප්පූරු ආකාරයේ ප්‍රදේශ බලපත්‍ර ක්‍රමයක් සකසම්හ යි ඔවුහු කීහ. කොළඹ නගරයට එන වාහන අඩු කිරීමට. එහත් එය කෙරුනේ නැත. එක්දාස් නමසිය අසූ දෙකේ දී ඔවුහු  අපේ ක්‍රමය අනුව නිවාස සැපයීම් ක්‍රමයක් ඇරඹූහ. එහත්  ඊට ඇති තරම් මුදල් නොයොදවන ලදී. සිංගප්පූරුවට වඩා යන්තම් කුඩා  නිදහස් වෙළද කලාපයක් පිහිටවූහ. දෙමළ කොටින් නොවුහූ නම් එය වැඩ කරන්ට ඉඩ තිබිණි. ඔවුන්ගේ ත්‍රස්තවාදී උපක්‍රමවලින් බියපත් වූ ආයෝජකයෝ ගියහා; නො ආහ.


ජයවර්ධන කළ ලොකුම වරද නම් වියළි කලාපයේ සකස් කළ ඉඩම් බෙදා දුන් ආකාරයයි. විදේශ ආධාර ලැබ ඔහු වැව් පදනම් කොට ගත් කඳුවල තෙත් පෙදෙසින් ගෙන ආ ජලය රැඳවිය හැකි පැරණි ජල සම්පාදන ක්‍රමයක් යළි පණ  ගැන්වීය. අවාසනාවට ඔහු එසේ සකස් කළ ඉඩම් සිංහලයන්ට දුන්නේය.  ඓතිහාසිකව  මේ වියළි කලාපයේ ගොවියන්ව සිටි දෙමළුන්ට නොදුන්නේය. අත්හැර දමන ලැබ මිරිකී ගිය ඔවූහු දෙමළ කොටි ව්‍යාපාරය ශක්තිමත් කළහ. ජයවර්ධනගේ පෞද්ගලික ලේකම් තනතුර දැරූ දෙමළ ජාතිකයා ජයවර්ධන කළ දේ තීරණාත්මක වැරැද්දක් බව මට කීවේය. ඉන්පසු වූ ඇති වූ සිවිල්  යුද්ධය පනස් දහසක් මරා දැමීය. ඊටත් වඩා හදිසි අනතුරු ඇති කළේය. බොහෝ නායකයන් ඝාතනය කළේය. පසළොස් වසකටද වඩා ගත වී ඇත. එය අඩුවන බවක් දක්නට නැත.



වෙහෙස පත් වූවකු ලෙස ජයවර්ධන 1988 දී විශ්‍රාම ගියේය. ඔහුට කිසිම විසඳුමක් නොවීය. ඔහුගේ අනු ප්‍රාප්තික රණසිංහ ප්‍රේමදාස  සිංහලෝත්තමවාදියෙක් විය. ඉන්දීය හමුදා පිටත් කිරීමට ඔහුට උවමනා විය.එය බුද්ධිමත් නොවිය. ඔවුහු ශ්‍රී ලංකාව සඳහා ජුගුප්සාජනක කටයුත්තක් කර දෙමින් සිටියෝය. ඉන්දියානු හමුදා පිටත්ව ගිය කල්හි ඔහු වඩාත් නරක තත්ත්වයකට පත් විය. ඔහු  දෙමළ කොටින් සමඟ සාකච්ඡා කිරීමට තැත් කළේය. එය අසාර්ථක විය. ඔහු ඔවුන්ට ප්‍රමාණවත් ඉඩක් දීමට කැමති නොවීය. ජනාධිපති වීමෙන් පසුව ඔහු කීප වරක් සිංගප්පූරුවේදී හමුවීමි. යුද්ධයා අවි බලයෙන් නැවැත්විය නොහැකි බව ඔහුට ඔප්පු කිරීමට මම තැත් කළෙමි. යාපනයේ දෙමළුන්ටත් අවශ්‍ය ලෝකයාටත් යහපත් වන්නේ දේශපාලන විසඳුමකි. . එවිට දෙමළ නිදහස් ව්‍යාපාරයේ මධ්‍යස්ථ ව්‍යවස්ථාවාදී න් කොටසට එය ප්‍රතික්‍ෂේප කල නොහැකිය. ඔහුගේ අරමුණ විය යුත්තේ මැතිවරණ මගින් තමන්ව පාලනය කර ගැනීමට දෙමළුන්ට නිදහස දීම මගින් ත්‍රරස්තවාදීන්ට මහජන සහයෝගය අහිමි කිරීම යයි මම තර්ක කළෙමි. තමාට ඔවුන් වනසාලිය හැකි යැයි ඔහු විශ්වාස කළේය. 1991 හා 1992 ඔහු දෙමළුන්ට එරෙහි ප්‍රධාන සටන් සඳහා ශ්‍රී ලංකා හමුදාව යැවීය.ඔවුහු  සාර්ථක නොවූහා. 1993 මැයි දින  පෙළපාලියකදී මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් වීදි පෙළපාළියක් මගින් ඔහුට කිට්ටු කළේය. ඔහු හා තවත් බොහෝ දෙනා මියගියහ.


ඔහුගේ අනු ප්‍රාප්තික චන්ද්‍රිකා කුමාරතුංග සාකච්ඡාව හා යුද්ධය යන දෙකම කළාය. ඇය  යාපන අර්ධද්වීපය යළි අල්ල ගත් නමුත් දෙමළ  කොටින් නොවැනසුවාය.  සටන් කෙරීගෙන යයි. ඉංග්‍රීසි භාෂාවට “Serendipity සෙරෙන්ඩිපිටි - ස්වර්ණදීපිකත්වය” යන පදය ගෙන  දුන් “Serendip සෙරෙන්ඩිප් - ස්වර්ණදීපය” යන පැරැණි නමින් යුතු රට දැන් යුද්ධයේ,  දුක් විඳීමේ,  ශෝකයේ හා බලාපොරොත්තු රහිත බවේ  සංකේතයක් වී තිබීම ශෝක ජනකය.


ලී ක්වාන් යූ මහතා කියන සැම දෙයටම  මම එකඟ නොවෙමි. එහෙත් ඔහු කියන දැයින් එකක් පැහැදිලිය. කොම්ප්‍රදෝරු  ධනපති පංතීන්ට පසුගාමී රටවල ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ කර්තව්‍යයන් ඉටුකළ නොහැකිය.


-පින්තූරය විකිපීඩියා අඩවියෙනි .
- ලිපිය පි . 59-66 - සති සිතුමිණි 3 - මහාචාර්ය සුචරිත ගම්ලත් - සරසවි ප්‍රකාශකයෝ 2013 

//කොම්ප්‍රදෝරු  ධනපති පංතීන්ට පසුගාමී රටවල ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ කර්තව්‍යයන් ඉටුකළ නොහැකිය.// ඒ සඳහා ප්‍රගතිශීලි ධනවාදයක් තිබිය යුතුය .