Monday 23 February 2015

වීරවංශ ගේ දියණිය හා කුගන් ගේ දියණිය .......

විරවංශ මහතාගේ දියණිය තම මව වැළඳ ගෙන හඬන  අයුරු අප ඔහුගේ වෙබ් අඩවියෙන් දුටුවෙමි. දියණියන් සිටින පියකු වශයෙන් මට දැඩි කණගාටුවක් දැනුණි. දියණියකට මවකගේ උණුසුම අවශ්‍යය.

වීරවංශ හා ඔහුගේ ජාතිවාදී ලොට්ට අකමැති සුද්දාගේ රටේ මවට දරුවන් සිටීනම් බොහෝ විට සානුකම්පිත කරුණක් වශයෙන් සලකා අධිකරණය ලිහිල් දඬුවම් ලබා දෙයි. සුළු වරදක් ලෙස මට සිතෙන ගමන් බලපත්‍ර වරදට සමහරවිට ලිහිල් දඩයක් ගෙවීම ප්‍රමාණවත් යයි සිතේ. එහෙත් මෙම බලපත්‍ර යොදවාගෙන ඇත්තේ බැංකු වලින් අයථා ලෙස මුදල් ලබා ගැනීමට නම් උගත් විනිශ්චයකාරවරු සුදුසු දඬුවම් තීරණය කරනවා ඇත.
ඒ කෙසේ වුවත් ඔහුත් ඔහුගේ වෙබ් අඩවියත් කුගන්ගේ දියණියගේ කඳුළු ගැන කතා කරනවා මා  දැක නැත. ඇය  තම පියා,  සොයමින්, විරෝධතාවල මහා දවල් කැකෑරෙන අව්වේ වේලි වේලි සිටිනවා දුටිමි. වීරවංශ ගේ  දියණියට  මෙන් සැප වාහනයකට නැගී මව බැලීමට යාමටත්  වීරවංශ ගේ  බිරිඳට මෙන් සැප රෝහලක නැවතී සිටීමටත්,  නොව දුප්පත් නිවසක දිවි ගෙවා ගැනීමට දඟලන ගමන් කුගන්ගේ බිරිඳත් දියණියත් ඔහු වෙනුවෙන් හඬ හඬා ඇවිදිති.
කුගන්ගේ දියණිය 
එසේම තම පියාණන්ට  වූ දෙයක් සොයමින් අවුරුදු ගණනක් ඇවිදින තවත් පුතුන් දෙදෙනෙකු සිටි. ඒ මාධ්‍යවේදි එක්නැළිගොඩ ගේ පුතුන් දෙදෙනායි. ඔවුන් ගැන විරවංශ මහතා කතා කරනවා මම දැක නැත.
එක්නැලිගොඩ පුතුන්

අනිත් හඬන දියණිය  ජෙයකුමරිගේ දියණියයි. පරිවාස භාරයේ සිටින ඇයට තම මව බැලීමට වත් වරම් නැත. පියා  හා සහෝදරයන් තිදෙනෙක් අහිමි ඇයට මවත් අහිමි කල යුතුද?

තව දරුවන් බොහෝ ගණනක් ගැන ලිවිය හැකිය. යුද්ධයෙන් අනාථ  වුනු සෙබළුන්ගේ දරුවන් මෙන්ම දෙමල ජාතිකයන්ගේ ද දරුවන් බොහොමයක් සිටිති. ඒ ඛේදවාචකය  තවමත් නිම වී නැත. එහෙත් විරවංශ මහතාට එය වගේ වගක් නැත. ඔහු තවමත් කියන්නේ මේ තියෙන්නේ අපායට ඉන්ටවල් එකක් කියාය. 
විරවංශ මහතාණෙනි,
කුමාර් මහත්තයලා හා රෝහිත භාෂනලා  සමග පක්ෂයක් ගොඩ නැගු කාලයේ තිබු සංවේදී හිතේ  දශමයක් වත් ඉතිරිවී නැත්ද?  ඔබේ දරුවාගේ වේදනාව අපේ හදවතට දැනේ. ඔබටද දැනේ.එහෙත් අපට දැනෙන මේ අනාථ වී ඇති අනිකුත් දරුවන්ගේ වේදනාව ඔබට නොදැනේ. 
තවමත් ඉදිරියට ගන්නට යත්න දරන ඔබේ වෛරී දේශපාලනය නිසා හඬන්නේ  ඔබේ දියණිය පමණක්ද?


30 comments:

  1. අපරාධයට සරිලන දඬුවමක් ලැබිය යුතුයි.

    මෙවැන් හයි ප්‍රොෆයිල් කේස්න නිකං ලුහුටලා යැවීම ලොකුම වරදක්. මොකද ඒකෙන් සමාජයට වෙන බලපෑම වඬැඩි නිසා.

    නීති හදන පාර්ලිමේන්තුකාරයින් ගේ පවුල්වල අය නීති කඩන ඬිට නොදැනුවත්කම කියා කියන්න කිසිසේත් ම බෑ!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. නමුත් එහෙම නම් වැඩි වරද ඇත්තේ විමල් විරවංශ අතේ.

      Delete
  2. මේක කියනකොටම දෙරනෙ පුවත්පත් කියවනව. මේ සීග්‍රතාවයම ඇයි කුඩුකාරයො අල්ලන්න නැත්තෙ කියල අහනව. කුඩු දිමිය අල්ලන්න කෝදුරුතෙල් හත්පට්ටයක් ඕනලු. දාහක් නීති ප්‍රශ්නලු. ජනතාවට ඕන හොරු කුඩුකාරයො අල්ලන්න. ඒකත් දේශපාලන පලිගැනීම් විදියට කරනවනම් ජනතාව තිබ්බ බලාපොරොත්තු ඉවරෙට ඉවරයි.
    විමල් ල කියන්නෙ සුදු චරිත නොවෙයි.ප්‍රෝඩාව සෝබනේම ම තමයි. ඒත් තෝරු මෝරු එලියෙ ඉන්නකොට හාල්මැස්සො ගන්න එක යි වෙන්නෙ
    කුඩුකාරයො ප්‍රදාන පක්ෂ දෙකම අල්ලගෙන ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන දේ අත්තක් ඇති කියල මටත් වැටහිලා තිබෙන්නේ.

      Delete
  3. මේ රටේ මිනිස්සුන්ට තියන ප්‍රශ්නෙ විමල්ගෙ ගෑනිගෙ වයස නොවෙයි.කුඩුකාරයො හොරු. එක කුඩුකාරයෙකුගෙ අයිය යූඇන්පී එකෙන් ඉල්ලන්නලු යන්නෙ. පුත්තලමෙ එතනෝල් කාරය යූඇන්පී එකට එන්නලු යන්නෙ.මේකයි යහපාලනේ
    වෙලේ සුදා ඔක්කොගෙම නම් එලිකලාට ඒ අය අත් අඩංගුවට ගන්න බැරිලු. කෝදුරු තෙල් හත් පට්ටයක් ඕනලු
    එක හොරෙක් අල්ලන්නෙ නෑ . ඔක්කොටම ඇමතිකම් දෙනව එච්චරයි

    ReplyDelete
    Replies
    1. ගිය සැරේ වුනෙත් ඒකනේ නේද.

      Delete
  4. මම මේ ක්‍රියාව හෙලා දකිනවා.. මේවා රනිල් කියනවා වගේම සක්කිලි වැඩ..

    මම ළිපියක් ලියනවා..

    ReplyDelete
    Replies
    1. මොන ක්‍රියාවද?

      Delete
    2. වීරවංශ බිරිඳ අත් අඩංගුවට ගැනීම...

      Delete
  5. අපේ ළමයි ළමයි නොවේද? උන්ට පල්ලම් බැහැල බැහැල පොඩි කන්දක් හම්බුනාම ඔච්චර අමාරුයි..අපි හැමදාම කඳු බඩ ගානව.. අපේ ළමයිනුත් දවස ගානේ අඬනව.. අඩුගානේ උන්ට ලඟ ඉඳගෙනවත් අඬන්න නෑ.. ඒකත් ෆෝන් එකෙන්.. තුරුල් කරං ලඟ හිටියොත් හෙට ඉඳන් බඩගින්නේ.

    ReplyDelete
    Replies
    1. කල්‍යාණ මිත්‍ර, කොච්චර අතතද ඒ ? ඔය වගේ තැනක ඉඳල විරවංශ මහත්මය උඩට ගියාම පල්ලහ අමතක වුණා වගේ නේද ?

      Delete
  6. මේවා මාධ්‍ය මගින් විශේෂ ප්‍රචාරයන් දී උලුප්පා දැක්විය යුතු නොවේ. දෙමාපියන්ගේ වැරදි වලට දරුවන් පළි බවක් මම එයින් අදහස් නොකරමි.

    ReplyDelete
    Replies
    1. ලංකාසිනිව්ස් එකෙන් කලේ ඒකනේ.

      Delete
  7. අජිත් අය්ය කියනව වගේ ළමයි කාගෙත් ළමයි... ප්‍රශ්නෙ තියෙන්නෙ වීරවංශට තරං අනික් අයට කෑගහන්න කෑගහල තමන්නෙ පැත්තට අවධානය ගන්න නොහැකි කම... ඒ අතින් අපේ රටේ මාධ්‍යත් කුහකයි කියන්න පුලුවං... කූගන් ල ජෙයකුමාර්ල ගැන මේ රටේ මාධය වලින් කතා කරේ කවද්ද එහෙව් එකේ එයාලගෙ දරුවො ගැන බලයිද...
    අනික වීරවංශගෙ බිරින්දෑ කියන තරම් වැරැද්දක් කරල නං ඒකට සුදුසු දඩුවමක් දෙන්න ඕන... ඒකටි කදුළු මාකට් කරල හරියන්නෑ...
    අනික් ප්‍රශ්නෙ තමා මෙච්චර කම්බ හොරු ඉද්දි මුන්ට ඇයි මේ වීරයගෙ ගෑණිම මුන්ට පෙන්නෙ කියන එක....

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නෙ තියෙන්නෙ වීරවංශට තරං අනික් අයට කෑගහන්න කෑගහල තමන්නෙ පැත්තට අවධානය ගන්න නොහැකි කම..++++++++++++++++++++++++++++++++++++++++++++++
      අනික් ප්‍රශ්නෙ තමා මෙච්චර කම්බ හොරු ඉද්දි මුන්ට ඇයි මේ වීරයගෙ ගෑණිම මුන්ට පෙන්නෙ කියන එක ++++++++++++++++++++++++++++++++++++++++

      විමලය කියන්නෙ සුදු චරිතයක් නොවෙයි. වංචනිකයෙක් සෝබනකාරයෙක් .වංචනික වැඩ ජේවීපී කරන කාලෙ ඉදන්ම තිබුන.
      හැබැයි විමලය ලොකු හොරෙක්වත් දරුණු අපරාධකාරයෙක්වත් නොවෙයි. ඔහු මිනීමරුවෙක් නොවෙයි. මම හිතන්නෙ නෑ ඔහුගෙ අත්වල ලේ තැවරිල තියනව කියල. අද මිනීමරුවන් හොරකම් ඇල්ලීම ගැන කතා කරනව, පිරිසිදු පාලනයක් ගැන කතා කරනවා.
      විමලය යුද්ධ කාලෙ රටට විශාල සේවයක් කළා රට යුධ මානසිකත්වයක පිහිටුවන්න. ඒක යුධ ජයග්‍රහනයට හේතු වුනා.
      විමල්ට වෛරකරන පිරිසක් රටේ ඉන්නව. ඒ පසුගිය සංදාන ආණ්ඩුවට විරුද්ධ අය.ඔවුන්ගෙ වෛරය හුදු දේශපාලනික වූවක්. පටු පක්ශ දේශපාලනයට බැර කළ හැකියි.
      ඔය වැරැද්දට අල්ලනවනම් අයිඩෙන්ටිකාඩ් ඔෆිස් එක පැත්තෙ රවුමක් දැම්මනම් සීයක් විතර අල්ලගන්න පුළුවන්.

      Delete
    2. මහේෂ් ගේ කතාව මම පිලිගන්නවා. මමත් වෙබ්සයිට් කියවන නිසා තමා දන්නේ. පත්තර කියවනවානම් ඉතින් දැන ගන්න වෙන්නේ බොහොම ටිකයි.
      හැම වැරැද්දම වැරැද්දක්. දඬුවම හැබැයි "කාගේද" යන්නමත තමා තීරණය වෙන්නේ.

      Delete
  8. ඕක දැක්කහම මටත් මතක්වුනේ ජෙයකුමාරිගේ දුවවයි.මිනිස්සු ඔක්කොම එක සමානයි කියනදේ පිළිගන්නකම් මහා කාළකන්නි අත්දැකීම් විඳගන්න විතරයි අපිට වෙලා තියෙන්නේ.අපි ඔක්කොම ලස්සන ,වැදගත් රටක වැරදිකාලෙක ඉපදුණ අවාසනාවන්තයෝ ටිකක්.සිරාවටම මේක ඩිස්නිලන්තයක්

    ReplyDelete
    Replies
    1. එක තමා මන් කලින් ලිපියේ ලියුවේ දිස්න්ලන්තයක් ගැන. මිනිස්සු ඉන්නේ ලොකු හීනෙක ගැලිල. ජෙයකුමරිගේ අම්ම අර LTTE කාරයට ඉඳ දීලා වැරැද්දක් කරන්නත් ඇති . අපි දන්නේ නැහැ. ඒත් එහෙම කරලා තියනවනම් ඔප්පු කරන්න ඇද ඇද ඉන්නේ නැතුව. ඒ ළමයත් පව්නේ.

      Delete
  9. තමුන්ට කෙළවුනාමයි හැමෝටම ඇස් ඇරෙන්නේ. මගේ තියරිය අනුව නම් වැරද්දක් කල එකාට දඬුවම් ලැබෙන්න ඕන. ඒවායින් නිදහස් වෙන්න දරුවන්ගෙ කඳුළු මාකට් කරන එවුං අමුම අමු කුහකයෝ.

    ReplyDelete
    Replies
    1. මෙතන එහෙම එකක් තමා වෙලා තියෙන්නේ. ඒකයි මම ඇහුවේ අනිත් ළමයින්ගේ කඳුළු දැක්කේ නැත්ද කියල? නමුත් කොච්චර වුනත් මටත් දැක්කම දුක හිතුණා. මටත් දුවල ඉන්න නිසා වෙන්න පුළුවන්. ඒ අපේ හැටිනේ. සතුරාට වුනත් වරදක් වෙනවා දකින්න කැමති නැති සිංහල කමට මොකද වුනේ.

      Delete
  10. පුද්ගලයාව දැනගෙන හිටියට මට මේ බ්ලොගේ මිස්වෙලා තිබුනෙ.අජිත් බ්ලොගක් ලියනව කියල මම ඇත්තටම දැනගෙන හිටියෙ නෑ.මාතලන්ගේ ලිපියක දැකලයි කියෙව්වෙ.ඔන්න රෝලෙ එල්ලගත්තා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.

      Delete
    2. හෙලප කඩේ කියල බ්ලොගක් තියනවද?

      Delete
    3. මේ තියෙන්නේ හැලප.
      http://helapakade.blogspot.com/

      Delete
  11. සාධාරණ නඩු විහාගයකින් පසු වරදකරු වුණොත් උපරිම දඩුවම් දියයුතුයි.ඒ තුලින් හොඳ පුර්වාදර්ශයක් දෙන්න පුළුවන් බලය තියාගෙන වැරදි කෙරුවොත් ඒවාට වන්දි ගෙවන්න වෙනවාමයි කියලා.

    ReplyDelete
    Replies
    1. ඒක හරි. ඒකෙ විවාදයක් නැහැ. මට සාමන්‍යයෙන් ඕන කෙනෙක් ගැන කණගාටුයි හිරේ යනකොට. සතුරෙකුට වුනත්. මට ඇමෙරිකාවේ හෙම ඔය මරණිය දණ්ඩනය දීලා ඉන්න මිනිස්සු හෙම දැක්කම හිතට හරි අමාරුයි. හැම මනුස්ස්යෙක්ගෙම කිසියම් හොඳක් තියනවා කියල විශ්වාස කරන කෙනෙක් මම.

      Delete
    2. අජිත් මමත් ඔබ වගේම තමයි.

      Delete
    3. මම කෙනෙකුට අනුකම්පා නොකළානම් ඒ ප්‍රභාකරන්, හිට්ලර් වගෙ අයට විතරයි. ඒකටත් හේතුව ඔවුන් කළ අපරාධයි. නමුත් වෙනත් කිසිම කොටියෙක් හෝ සටන්කරුවෙක් ගැන වෛරයක් නැහැ. යුද්ධයට පක්ෂවුනේ එය ඒ අවස්ථාවේ කළ යුතුව තිබුන හොදම දේ නිසයි. දෙවන ලෝක යුද්ධයේදී හිට්ලර් පැරදවීම මෙන්.
      නමුත් සමහරු යුද්ධයට එරෙහිව සිට ඊනියා සාමයක , ප්‍රේමයක නාමයෙන් කොටින්ගේ ජය ප්‍රාර්ථනා කළා. අපිත් කොන්ඩෙ බැදපු චීන්නු නෙමෙයි.

      Delete
    4. බොහොම සතුටුයි දැන ගන්න ලැබීම ගැන. අපි දෙන්නෙක් එහෙනම්.

      Delete
    5. සමහර අය වරදවා තේරුම් ගත්ත LTTE එක අරන් ගියේ විමුක්ති අරගලයක් බව. දෙමළ ජාතියේ පීඩනය ඔවුන් පෙරලුවේ ජාතිවාදයට. සිංහල හා දෙමල ජාතිවාදයන් දෙක දෙපැත්තෙන්ම පෝෂණය වුණා

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .