Wednesday 26 September 2018

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (44) - ලුණුගල මැදින් ගලනා ගඟ මනහරය

පූර්ව කොටස : ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (42) - නැහැ , ඒ ඔහුගේ පියා නොවේ
ලුණුගල 
පට්ටිපොළ කෝරළයේ සුන්දර ලුණුගල ග්‍රාමය පිහිටා ඇත්තේ බදුල්ලෙන් පස්සර පසුකොට බිබිලට යන A5 මාර්ගයේය. ලුණුගල ග්‍රාමය වටා කඳු වළල්ලක් එය වටකරමින්   ඇදී යන්නේ ජර්මනියේ  සිට  ගාමිෂ් නගරය පසු කර මහා ඇල්ප්ස් කඳුකරය  බලා යන විට ඇති කඳු වළල්ල මෙනි. ලුණුගල ගම වටා දර්ශනීය තේ වතු යායක්ම  දක්නට ලැබේ. අඩාවත්ත, හොෆ්ටන් ගෘප් එස්ටේට්, පාර්ක් වත්ත සහ මඩොල්සිම වතු එයින් සමහරක්ය. ලුණුගල ජිවත් වන සිංහල ජනතාව  ගෙන් අඩක් පමණ  ගොවිතැන් කර ජීවත් වෙන අයයි.  කුඩා ලියදි එකින් එක පියකරුව පඩි පෙළක් සේ දිස් වෙන කුඹුරු  යායවල් A5 මාර්ගයේ බිබිලට යනවිට  වම් පසින් දිස් වේ. ගම්මිරිස් හා කුරුදු වගාවද ලුණුගල පළාතේ දක්නට ලැබේ.

මහා මාර්ගය හා අඩාවත්තට යන පාර අතර ඇත්තේ ලුණුගල පොලිසියයි. අඩාවත්ත පැත්තට යන පාරේ වතු දෙමළ  ජනතාව ඔවුන්ගේ දුගී ලයින් කාමර වල දිවි ගෙවනු දක්නට ලැබේ.  ලැයිම් ඉදිරිපිටින් යන කෙනෙකුට මයියොක්කා ගාලවල්  බොහොමයක් නෙත ගැටෙනු ඇත. දහවලට මේවායේ ජිවත් වෙන දිළිඳු දෙමළ දරුවන් කන්නේ තැම්බූ මයියොක්කා දළු සමග බත්ය.

ලුණුගල ටවුම පසුකර බිබිල දෙසට යන විට දකුණු  අත පැත්තේ  පන්සල පාර පිහිටා තිබේ. පාර  අවසන් වන්නේ අති  පුරාණ විහාරයක් වූ  ශ්‍රී ලෝනගිරි පුරාණ රජ මහා විහාරයටය. ඒ පාරේ ම ලුණුගල මධ්‍ය මහා විද්‍යාලයද පිහිටා  තිබේ. බසයක් නොයන ඒ මාවතේ  සතියේ දිනවල හිමිදිරි උදයේ  සුදු ඇඳගත් ළමුන් මධ්‍ය මහා විද්‍යාලයට යනු කෙනෙකුට පෙනේ. උදයේ ඇති සීතල  නිසාම,  තුරු ලතා අතරින් පාරට වැටෙන අළුයම හිරු ගේ  රැස් දහර විඳින්නට  පාරේ තැනින් තැනට පනිමින් ළමෝ එක පෙළට ගමන් කරති.

අඩාවත්ත පාර අසලින් ජනතාපුර මාවත පිහිටා තිබේ.  ඒ අසලම  ඇති කුඩා සුදු වැලි පාර දෙපස දන්, හිඹුටු, බෝවිටියා ආදී පලතුරු වලින් පිරුණු තරමක කැලෑ ප්‍රදේශයකි.

පළාතේ ජිවත් වන වතුවල වැඩ කරන  දෙමළ ජනතාව වැඳුම් පිදුම් කරන කදිරේෂන් කෝවිල   කුඩා ටවුමේ පිහිටා ඇත. ලුණුගල ග්‍රාමයේ තුබූ නිසංසලත්වය ඉඳහිට බිඳී ගියේ රජ මහා විහාරයේ පෙරහැර දවසට හා කෝවිලේ වේල් කරත්තය රදම් යන දවසටය.

කේයස් නමින් හැඳින්වූ සාගර පලන්සූරිය  කවියාගේ    "කටුරොද   ගම්මානය " යන මැයින්  කවි පෙළක් එදවස පාසැල් වල සිංහල විෂයට  ඉගැන්වුනි. එහි එක පේළියක "එගම මැදින් ගලනා ගඟ මනහරය " යනුවෙන් යෙදුමක් තිබේ. සමහර විට ඒ යෙදුම යොදන්නට ඇත්තේ ලුණුගල සඳහා දැයි සිතෙන තරමට ලුණුගල මැදින් කුඹුක්කන් ඔය කොමලිය සුරතල් ලෙස ගලා යන්නීය. ඉහල කඳුවල දැඩි වැසි වසිනා සමයන් හි මේ පියකරු ගංගාව  උතුරා පිටාර  ගලයි. ඒ දිනවලට නම්  ලුණුගල පොලිසිය ඉදිරි පස ඇති වෙල් යායද යටවේ. ජනතා පුර පැත්තෙන් ඇදී එන කුඹුක්කන් ඔය විහාර මාවතට හැරෙන තැනට මදක් පහළට හැරී අත වනාගෙන ටවුම අසලින් පහළට ගලා යයි. ඒ නිසා ටවුමට යන්නට ලොකු පාළමක් ද ඇත.

ඉහත කී වෙල් යායත් ජනතා පුර පැත්තේ සිට ඇදී එන කුඹුක්කන් ඔයත් හමුවී එකිනෙකා සිප ගනිමින් ඇදී යන තීරුවේ දිය නෑමට ඒ පෙදෙසේ වෙසෙන බොහෝ ජනයා එක් රැස් වෙති. ඒ හරිය එතරම් ගැඹුර නැත්තේ ගඟ ඉතා පළල් බැවිනි.  විශාල කුඹුක්කන් ගස්  වැවී ඇති ඒ දෙපස ඉතා සිසිලක් දැනේ.

මේ සුන්දරත්වයත් ලුණුගල ග්‍රාමයේ නිසංසලත්වයත් සදහටම බිඳී ගියේ එකදාස් නමසිය  හැත්තෑවේ මැද හරියේය. ඒ ඉහත කී කුඹුක්කන් ඔය දෙපස ප්‍රදේශයේ මැණික් හමු වීමෙනි.

"නිලන්ත ගේ තාත්තා ගේ වාසගමත් වික්‍රමරත්න. මම එයට කතා කලේ විකී කියල.  ඔය මගේ දැන් මිනිහා වික්‍රමරත්න  ඒ දවස් වල අපේ ගේ පැත්තේ දැවටෙනවා . හරි හමන් රස්සාවක් නැහැ. මගේ කලින් කසාදේ විකී තමයි එහෙ මෙහෙ එක්කගෙන ගියේ මෙයාව එයාගේ වැඩ වලට. බදුල්ල ප්‍රදේශයේ  ටිකක්  පස්සර පැත්තට වෙන්න  අපට ඉඩ කඩම් වගයක් තිබ්බනේ  පුතේ.  ඒවා බලන්න මේ දෙන්නා ගිහින් තිබුනා. විකීයි මේ වික්‍රමරත්නයි. ඊට පස්සේ මේ ගොල්ල ඔය මඩොල්සිම පැත්තෙත්  ගියාලු. එහම්ම තව තේ වතු වගයකුත් බලන්න ගියාලු. ඒවා බලන්න ගිය වෙලේ අර ලුණුගල කියන ගම පැත්තේ මැණික් හම්බවෙන ආරංචියක් ගෙනත් තියනව ඔය වික්‍රමරත්න. විකී ගිහින් තියනවා මෙයා එක්ක ඔය කියන මැණික් හම්බවෙන තැන් බලන්න. ඔය වෙල් යායක් හෙම තියෙන තැනක තමා මැණික් හම්බ වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඒ දිගටම වළවල් හාරාගෙන මැණික් ගරනවලු. මුලදී  පොලිසියෙන් මැණික් ගරපු  අය අල්ලලා. පස්සේ  පොලිසියේ අයත් මැණික් ගරන්න උදව් කළාලු. විකී,  වික්‍රමරත්න එක්ක ගිහින් පස්සේ ආයේ හවස් වෙලා වගේ ආයෙත් ගිහිල්ලලු ඒ පැත්තට. ඕක කිව්වෙත් වික්‍රමරත්නම  තමයි. විකී උඩහ පැත්තට හවස් වෙලා ගිය වෙලේ මැණික් ඉල්ලම් ගන්න හාරපු   වලක වැටිලා තිබෙනවා. ඔළුව ඒ ළඟ ගලක වැදිලා හුඟක් ලේ ගිහින්. එතනම හුස්ම ටික ගිහින්. දවල් වෙලා ඒ පැත්තේ ගිය කෙනක් දැකලා පොලිසියට කියල  "

නිලන්ත ගේ මව මදක් නැවතී දිග සුසුමක් හෙළා ළය සැහැල්ලු කර ගත්තාය.

"මමත් පස්සේ එතනට ගියා. මට හිතා ගන්න අමාරු වුනා විකී  එහෙම ගියා කියල. කාටවත් නොකිය"

"එතකොට   වික්‍රමරත්න මොකද කලේ එයාගේ මුල් නම වින්ස්ටන් නේද? ඔය ඇත්ත නමමද?" ගිහාන් විචාළේය.

"ඔව් වින්ස්ටන් ඩැනියෙල්. වින්ස්ටන්  රා වගයක් හම්බ වෙලා බීවලු. පාලම පහු කරලා ටවුමට යනකොට දකුණු පැත්තේ තැබෑරුම ක් තියනවා, එතනිං. ඊට පස්සේ ලුණුගල  රෙස්ට් හවුසියේ දීත් පොලිසියේ කවුද එක්ක  බීල, රෑ වෙලා නිසා  නිදා ගන්න ගියාලු"

"ඇන්ටි එතැනදී සැක හිතුනේ නැත්ද? එයා එක්ක ආපු නිලන්තගේ හැබෑම තාත්තා රෑ ආවේ නැති වුනහම මිනිහ නිදා ගන්න ගියේ පොඩ්ඩක් වත් හොයල බලන්නේ නැතිව " ගිහාන් නැවතත් විචාලේ ඔහුට ඒ සිද්දිය වටහා ගැනීමට අසීරු වූ හෙයිනි.

"ගිහාන් පුතේ මම ඒක එයාගෙන් ඇහුවා. වින්ස්ටන් කීව නරුම කතාවක් , ආ මම හිතුවේ ඔය ලැයිම් පැත්තේ චීත්තයක් අස්සේ රින්ගන්න යන්න ඇති කියල . එනිසා එයා නිදා ගන්න ගියා බලාන ඉඳල කියල. ඔන්න ඔහොම. එතැන හිටි මිනිස්සු හිනා වුනා. පොලිසිය වුනත් කීවේ මැණිකක් ගන්න බලන්න   හවස යන්නැති. පස්සේ කුඹුකන් ඔය පැත්තේ ඇවිදින්න ගිහින් පය ලිස්සන්න ඇති කියල. මට සැක තිබුනත් මොනවා කරන්නද ? ළපටි දරුවෙක් එක්ක තරුණ අම්ම කෙනෙක්. මාව මුකුත් නොදන්න කෙනෙක් හැටියට තමයි හැමෝම සැලකුවේ." ඇගේ පැරණි ස්වාමි පුරුෂයා විකී මතක් වීමෙන්දෝ ඇගේ නෙතින් කඳුලක් ගලා යනු ගිහාන් දිටීය.

"ඇන්ටි" ගිහාන් ඇගේ අතක් අල්ලා ගත්තේය.

විශාඛා අනිත් පසින් "අම්මේ " කියා නැන්දණියගේ උරහිස සෙමින් පිරි මැද්දාය.

"විකී එහෙම නරක කෙනෙක් නෙමයි දුවේ. අපි දෙන්න හුඟක් ආදරෙන් හිටියේ. බැන්දේ විවාහ යෝජනාවකින් වුනාට අපි ආශ්‍රය කළා කාලයක්. මම මාස ගාණක පොඩි දරුවෙක්  එක්ක තනි වුනාම නෑදෑයෝ කිව්වා ඉඩ කඩම් දේපළ බලා ගන්න කෙනෙක් නැහැ. ළමයට තාත්ත කෙනෙක් ඕනේ. වින්ස්ටන් වික්‍රමරත්න ව  බඳින්න කියල. මට කොහෙත්ම ඕනේ වුනේ නැහැ. කැමැත්තක් තිබුනෙම නැහැ. වින්ස්ටන් හෙමින් සීරුවේ කට්ටියම එයාගේ පැත්තට හරවගෙන. විකී හිටියත් එයා තමා හැමදේම බලා ගත්තේ කරේ කියල ලොකු රඟපෑමක් කලා.  අන්තිමේදී විකී ගේ අම්මයි මගේ අප්පච්චියි දෙන්නම බල කලා.  විකී ගේ තාත්තා නැති වෙලානේ  එතකොට. මාමලා තමයි බැලුවේ පවුල ගැන. එයාලා වින්ස්ටන්ට කැමතියි, ඒගොල්ලන් ගේත් නෑදෑයෙක් වෙන නිසා. අම්මලා කීවේ මිනිහ මැරිච්ච කණවැන්දුම් ගෑණියක් කවුද භාර ගන්නේ. වින්ස්ටන් ඒකවත් බලන්නේ නැතිව උඹව භාර ගන්න එක උඹේ පෙර පිනක් කියල. කවුරුත් කල්පනා කළේ නැහැ ඉඩකඩම් වතුපිටි අයිති මට. වින්ස්ටන් එන්නේ ඒවල තණ්හාවට කියල. මට වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ. මං කියන දේ කවුරුත් ඇහුවේ නැහැ. වින්ස්ටන්ට මාව කසාද බැඳලා දුන්න "

"මේක නිලන්තට කියන්න  ඕනෙමයි නැන්දේ " ගිහාන් තව දුරටත් ඇන්ටි කියා ඇමතුවේ නැත. නැන්දේ යන ඇමතීමෙහි වඩා ළගන්නා සුළු ස්වභාවයක්ද සමීප භාවයක් ද ඔහුට දැනුනි.

"තවත් නිලන්ත ගෙන් හංගගෙන ඉඳල වැඩක් නැහැ අම්මේ. එයාට එන්න කියල අම්මා විස්තරේ කියන්න. වික්‍රමරත්න ව  හිරේ දාන එක තමයි දැන් කරන්න තියෙන්නේ. මට මොනවා වුනත්. මම කියන්නේ ඌ මිනිමරුවෙක් වගේම ස්ත්‍රී දූෂකයෙක්. නිලන්තගේ තාත්තා මරලා තල්ලු කරන්න ඇති. නැත්නම් තල්ලු කරන්න ඇති දෝනාවට වැටෙන්න. අම්මගේ වැඩිහිටියෝ උගේ කට්ටකමට  අහු වෙච්ච  එකනේ පුදුමේ." විශාඛා සිටියේ දැඩි කෝපයකින් තැවෙමිනි.

"නැන්දා , මම කෝල් එකක් ගන්නවා නිලන්තට. නැන්දා කියන්න එයාට එන්න කියල ලංකාවට වහාම. මම කියන්නම් කාරණාව හුඟක් වැදගත් එකක් කියල" ගිහාන් දුරකථන ඇමතුමක් ගත්තේය.

තමන්ගේ මව මෙන්ම තාවකාලිකව අත්හැර ගිය බිරිඳද ගිහාන්ගේ නිවසේ සිටීමත් ගිහාන් විසින් වක්‍රාකාරයෙන් ඔහු ගේ පැමිණීම වැදගත් බවත් හෙළිදරව් කිරීමකට සූදානම්  බවත් පැවසීම නිසා දින දෙකක් තුල නිලන්ත ශ්‍රී ලංකාවට පැමිණියේය.

ඊලඟ සති කිහිපය ඔවුන්ට ඉතා කාර්ය බහුල එකක් විය. ගිහාන්ද තම මිතුරාට ප්‍රශ්න කිහිපයක්ම විසඳා ගැනීමට උදව් කළේය. ඒ අස්සේ හිතේ මුල්ලක සැඟවී සිටිමින්  තාන්යා එබිකම් කළාය.  ඇගෙන් දුරකථන ඇමතුමක් හෝ ලියුමක් නොලැබීමේ සංකාවෙන් ඔහු පෙළුණේය.

නිලන්තගේ මව් පාර්ශ්වයේ නෑදෑයකු වන උසස් පොලිස් නිලධාරියෙකු ගේ ද උදව්වෙන් වින්ස්ටන් වික්‍රමරත්න නිවසින් එළවා දැමීමට නිලන්තට හැකිවිය. රන්ජනී උසාවි ගෙනයන බවට තර්ජනය කර වින්ස්ටන් ලියාගත් ඉඩම් කීපයක් ද නැවත ලබා ගත් නිලන්ත ඉන් එකක්  රන්ජනී ට ලියා දුන්නේ විශාල මුදලක් ද දරුවා වෙනුවෙන් බැංකුවේ තැන්පත් කරමිනි.  වින්ස්ටන්ට එරෙහිව නඩු යාමට  ළඟම නෑදෑයින් මෙන්ම නිලන්තද විරුද්ධ විය. ඔහු කෙසේ හෝ විශාඛා කැමති කරවා ගත්තේ පුවත්පත් ආදියේ  විස්තර පලවුව හොත් ඇතිවිය හැකි තත්වය ගැන පැහැදිලි කරමිනි. ඒ වෙනුවට කිහිප දෙනෙකු සමග ගොස්  වින්ස්ටන් ව සුමානයක් රෝහල් ගත වීමට තරම් රළු කිරීමට නිලන්තත් මාමා කෙනෙකුත් වග බලා ගත්හ .    වින්ස්ටන්ට වෙනත් අනියම් බිරිඳක් හා දරුවෙක් මොණරාගල පැත්තේ  සිටින බව ඔවුන් දැන  ගත්තේද  වින්සන් පලා යන්නට පෙර ඔවුන් බලා ගන්නා ලෙස නිලන්ත ඉදිරියේ  බැගෑපත් වූ බැවිනි.

සියල්ල සතුටුදායක ලෙස නිමාවූයේ නිලන්තගේ  මහ ගෙදර විකුණා නිලන්තගේ මව නිලන්ත, විශාඛා  හා මුණුපුරා   සමග ජිවත් වීමට පැමිණීමත් සමගය.

මවට ඉන්දියාවේ බෞද්ධ  සිද්ධස්ථාන වන පුදා  ගැනීමට නිලන්ත විසින් සැලසුම්  කල සංචාරයට යාමට පෙර සමු ගැන්මට ඔහු  ගිහාන් හමුවීමට පැමිණියේය. නිලන්ත, විශාඛා හා ගිහාන් සමග  ඊටත් කලින් ලුණුගල ප්‍රදේශයට ගොස් තම පියා මියගිය ස්ථානයද මිහිදන් කළ ස්ථානයද  දැක බලා ගත්තේය. ඔහුගේ මව කිසියම් සොහොන් කොතක මල් පොකුරක්  තැන්පත් කරනවා නිලන්තට  යාන්තමට මතකයේ තිබුණි. වින්ස්ටන් ඉන්පසු ඒ සොහොන් කොතට යාම නිලන්තගේ මවට තහනම් කොට තිබුණි.

"දැන් මොකද වෙන්නේ තාන්යා කවද්ද එන්නේ? මේ ප්‍රශ්න  නිසා උඹෙන් අහන්න බැරි වුනා"

"මාස කීපයක ඉඳන් ලියුමක්  නැහැ. කෝල් එකක් දුන්නෙත් නැහැ. මම තානිච්කා ගේ අම්මලාගේ ගෙදරට කතා කළා . එහෙන් ගන්නෙත්  නැහැ. ගෙදරින් ගිහිල්ලද දන්නේ නැහැ. තාත්තා ගේ රස්සාව අවිනිශ්චිත කතාවකුත්  ලියලා තිබ්බ. මම සල්ලි යැව්වේ නැහැනේ ටිකට් එක අරන් එන්න මෙහෙ. ඒකටත් ටිකක් අමනාපෙන් වගේ එයා හිටියේ.   මංගල්ලෙට අරවට මේවට වියදම් වුනු නිසා අතේ සල්ලිත් නැහැ, අනික එයා එනවනම් කීයක්  හරි අතේ තියෙන්නත් ඕනේ."

"ඉතින් බං හයියෝ උඹ වගේ එකෙක්. මගෙන් ඉල්ලුව නම් නොදී ඉන්නවද" නිලන්ත ගිහාන් ගේ පිටට වැරෙන් පහරක් ගැසුවේය.

"උඹටත්  කරදර නේ බන් ඒ දවස් වල? උඹේ ගෙදර ප්‍රශ්න  හෙම නිසා මම ඉල්ලන්න හිතුවේ නැහැ"

"කමක් නැහැ. මම දැන් දෙන්නම් ඉන්දියාව ට ගෙනියන්න ගත්ත සල්ලි මෙතන තියනව උඹ තාන්යාට යවපන්. දෙන දවසක දීපන්. නැත් නම් දෙන්න ඕනෙත් නැහැ. මට  බෑන්ක් එකෙන්  හෙට සල්ලි ගන්න පුළුවන්. තාන්යා ආවහම  අපි කට්ටියම  කොහේ හරි යමු ලංකාව පෙන්නන්නත් එක්ක. මට නිකන් මැවිලා පේනවා, විශාඛා යි , තාන්යා යි උඹව  මැදි  කරගෙන උඹ නිකන් හඳ වගේ මැද දිලිසි දිලිසි. වටේ තරු දෙක එක්ක  යන හැටියි, මං අහිංසකයා  පොඩි එකා එක්ක බෑග් ටික කරේ එල්ලන් යන හැටි."

"ඒ මොකක්ද බං ඒ කතාවේ තේරුම මම හඳ  වගේ උන් තරු වගේ, පිස්සුද උඹට"

"ඇයි බං පරණ  පෙම්වතියයි අලුත් පෙම්වතියයි"

"ඉතින් බලපන් මම විශාඛා ට ආදරේ මගේ නංගිට වගේ කට කැඩිච්ච කතා කියන්න එපා බං"

"ගිහාන්, මම දන්නවා. අපි දෙන්නම ආදරේ කලා. උඹ ලකි වුනා ඉස්සෙල්ල. මට හරිගියා ඊට පස්සේ. ගිහාන්...." නිලන්ත මදක් කල් ගත්තේ ඊලඟ වදන් පෙළ කියා ගැනීමට නොහැකිව මෙනි.

"මම උඹට ස්තූති කලේ නැහැ උඹ කළ උදව් වල ට. උඹ මගෙයි විශාඛා ගෙයි කසාදෙට ආශීර්වාද කළා විතරක් නෙමෙයි ඒ කසාදේ බේරලත්  දුන්න. මගේ පුතාගේ අනාගතෙත් බේරුනා. උඹ මගේ හොඳම යාළුවා විතරක් නෙමේ බන්. උඹ මගේ එක බඩවැල කඩන් ආපු සහෝදරයා වගේ. " නිලන්ත හැඟීම් බරව ගිහාන් වැළඳ ගත්තේය.

ගිහාන් ටද ඔහුගේ උගුර සිරවෙන්නාක් මෙන් දැනුනි.

"නිලා මට සතුටුයි මචං. ගොඩක්ම. අර උඹ කිව්වා  වගේ  තාන්යා ආවම, අපි ඔක්කොම  කොහේ හරි ඇවිදින්න යමු. මට හිතුනා උඹල දෙන්න මට ඉන්නවා නේද කියල කවුරු නැතත්. උඹ කොහොමත් තාන්යා ව කොයි කාලේ ඉඳන්ද දන්නේ. මට යාළුවෙක් ඉන්නවා ප්‍රියාන් කියල. උඹත් දන්නවා. ඌ ලන්ඩන් ගිහින් ඉන්නේ. මම අහල බලන්න ඉන්නේ  මොස්කව් වල කන්ටැක්ට් තියනවද කියල. උගෙත් කෙල්ල එහෙනේ. "

"අර මොස්කව් ඉඳන් බිස්නස් කරන සෙට් එකක් ඉන්නවා නේද තවම. උන්ගෙ එකෙක් ගෙන්  ඇහුවොත් "

"මම කැමති නැහැ  බං. ඒ දවස් වලත් වැඩි සම්බන්ධයක් තිබ්බේ නැහැනේ. බැරිම වුනොත් කොහොම හරි ටිකට් එකක් හදාන යනවා. මොකක් හරි හේතුවක් නැතිව තාන්යා සද්ද නැතිව  ඉන්නේ නැහැ. මම ලන්ඩන් ඉන්න කාලේ සමූහ ගොවිපලක අල ගලවන්න ගිහින් හිටියා. දැන් එයාට රස්සාවකුත් ලැබෙන්න කල් හරි. එහෙම ගියාද දන්නේ නැහැ"

"උඹ කියපන්කො මොකද වෙන්නේ කියල කතා කරලා බලල. විශාඛා උඹව මතක් කරන්න කිව්වා. මෙන්න අම්මයි විශාඛයි දෙන්නම කෑම වගයක් උයල. උඹට දවස් ගානක්  තියාගෙන කන්න. මාළු ඇඹුල් තියල්, සම්බෝල, හාල් මැස්සෝ බැදල.කරවිල බැදලා. වම්බටු  තෙල් දාල. යකෝ මටවත් මෙහෙම හදන්නේ නැහැ. තවත් මොනවද රස කැවිලි වගේකුත් තියෙනවා. උඹ උඹලගේ මහා  ගෙදර යන්නෙත් නැතිව තනිවම උයන් කනවා කියල ඒ ගොල්ල දුක් වෙනව."

"ඒ ගොල්ලෝ එහෙම තමයි දුක් වෙන්න ගත්තම. ඒත් ඉතින් මට  රුසියාවේ ඉන්න කොට උයාගෙන කාල පුරුදු  නේ මචන්. උඹල එහෙනං හොඳින් ගිහින් වරෙල්ල."

නිලන්ත නැවතත්   තදින් වැළඳ ගත් ගිහාන් ඔහුට සමු දුන්නේ තම යහළුවාගේත් ආදරණීය යෙහෙලියගේත්  අවුල් වී විනාශ වන්නට ගිය විවාහයත්, ජිවිතත් ඒ අවදානමෙන් බේරීම ගැන වූ උපන් හෘදයන්ගම සතුටකිනි.

ලිපියක් නැතිව දුරකථන ඇමතුමක් නැතිව අතුරුදන්ව සිටින තාන්යා සොයා ගත යුතුව තිබේ. මුලින්ම එදා හවසම ප්‍රියාන් ට කතා කර උදව් ඉල්ලීමට ඔහු සිතා ගත්තේය.

~~~~~මතු සම්බන්ධයි

පින්තූරය උපුටා ගත් වෙබ් අඩවිය.

35 comments:

  1. //එහි එක පේළියක "එගම මැදින් ගලනා ගඟ මනහරය " යනුවෙන් යෙදුමක් තිබේ. සමහර විට ඒ යෙදුම යොදන්නට ඇත්තේ ලුණුගල සඳහා දැයි සිතෙන තරමට ලුණුගල මැදින් කුඹුක්කන් ඔය කොමලිය සුරතල් ලෙස ගලා යන්නීය. //
    කේයස් ඔය කවි පංතියෙන් නිරූපණය කරන්නට ඇත්තේ ඔහු කුඩා කල ජීවත් වූ කලල්ඇල්ල ගම. මේ ගම තියෙන්නේ රත්නපුරේ මාදම්පේ කිට්ටුවයි. ගඟ ඇන්දාන ගඟ. නමුත්, ලුණුගල වගේම තවත් ලංකාවේ ගම් ගණනාවක් ඒ කාලයේ ඔය වගේ තමයි.

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇතී.// ලුණුගල සඳහා දැයි සිතෙන තරමට// කියාල ලිව්වේ ඒකයි. මම පොඩි කාලේ හිතුවේ කේයස් ලියන්න ඇත්තේ ලුණුගල ගැන වෙන්න ඇති කියල. ස්තුතියි

      Delete
    2. කේයස් ගේ සුදෝ සුදු ටෙලි නාට්‍යයකට නැගුවේ අපේ ගමේ දී....

      Delete
    3. ඒ කොහෙද ? මාදම්පේ කියල නගර දෙකක් තියනවා නේද? එකක් කුරුනෑගල. /ඒ කාලයේ ඔය වගේ තමයි// දැන් කොහොම වෙනස් වෙලාද කියල හිතා ගන්නත් අමාරුයි

      Delete
    4. නෑ නෑ මාදම්පේ නෙවෙයි මේ කෑගල්ලේ. කේයස් ඇත්තටම මෙහෙ හිටියෙ නෑ. ටෙලියට පසුතල විදිහට යොදාගත්තා විතරයි

      Delete
  2. ගොඩමඩ දෙකම සරුසාරය පලබරය
    කටුරොද ගම්මාන තරමක පිටිසරය
    ඒ ගම මැදින් ගලනා ගඟ මනහරය
    කඩමණ්ඩිය පිහිටියේ ගම කෙළවරය

    ReplyDelete
    Replies
    1. ඔව් මේක තමයි කවිය. තව දිගට තියනවා මේක. ස්තුතියි

      Delete
    2. මට මතක හැටියට මේක කේයස්ගෙ "සුදෝ සුදු" කවි පංතියේ මුල්ම කවිය. කලල්ඇල්ලේ ආනන්ද සාගර හාමුදුරුවෝ තම නමේ මුල් ඉංග්‍රීසි අකුරු තුන KAS භාවිතා කරන්න පටන් ගත්තා. එය (Keyas) කේයස් ලෙස අපූරුවට ගැලපුනා.

      Delete
    3. අර උඩ කලල්ඇල්ල කියල එකොන් කිව්වේ ඒකනේ මම හිතන්නේ. මට ඔය කලල් ඇල්ලේ ආනන්ද සාගර කතාව දැන් මතකයි.

      Delete
    4. හොයා ගත්තා https://en.wikipedia.org/wiki/Sagara_Palansuriya

      Delete
    5. ස්තුතියි ඇනෝ . "සුදෝ සුදු "
      https://www.youtube.com/watch?v=fI1FswGd1Bk

      Delete
  3. "ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ" කියවන්න ගත්තේ කොටස් තිහකටත් වැඩියෙන් අජිත් අයියා දාලා තිබ්බාට පස්සේ.ඊට පස්සේ මුල සිට මේ දක්වා ඔක්කොම ටික කියෙව්වා.අර රසික කියන "ආගන්තුක චමත්කාරයත්" එක්ක.

    මේකේ මුල් හරිය කියවනකොට මතක් වුනේ මට නිශ්ශංක විජේමාන්න ගේ "තරා මගේ දෙව්දුව" එකෙත් ඔය මඩොල්සිම, ලුණුගල,පස්සර පැත්ත ගැන කියවෙනවානේ.
    එච්චර පරිසර වර්ණනාවක් කතාවට ආවේ අජිත් අයියාගේ පරණ මතක නොරටක ඉඳන් ලියනකොට වැඩියෙන් දැනෙනවා වගේ නිසාද ?

    ReplyDelete
    Replies
    1. "තාරා මගේ දෙව්දුව " නම් කියවලා නැහැ. අඬ හඳ තනි තරුව පොත නම් කියෙව්වා. ඒකත් හොඳ පොතක්. මේ පාර පුළුවන් වුනොත් හමුවෙන්න ඉඩ තියනවා තාරා පොතත් ගණන් බලන්න ඕනේ. ලුණුගල ගැන තියනවා නම්. නිශ්ශංක මහතා ඉන්නේ මහියංගනේ කියල ආරංචියක් ආවා,. පරණ මතකයන් කිව්වහම ඉතින් අවුරුදු 40 ක් වගේ. ලුනුගල නිකන් ඔය ජර්මනියේ, ඉතාලිය පැත්තේ වගේ වෙලාවකට.

      Delete
    2. තව එකක් , මම ලුණුගල වගේ තැන් හොයා යනවා නිතරම. ජර්මනියේ ගාමිෂ් පර්ටෙන්කශෙන් වල පැත්තක් ටිකක් ඒ වගේ. බිරින්දෑගේ ගෙවල් පැත්ත ට ලඟයි. පර්ට්නක් ගඟ මැදින් යනවා.

      https://en.wikipedia.org/wiki/Garmisch-Partenkirchen

      https://en.wikipedia.org/wiki/Partnach



      අනිත් තැන ඉතාලියේ වෙරෝනා නගරය ටිකක් විතර ඒවගේ.


      තුන්වන තැන තියෙන්නේ වේල්ස් (බ්‍රිතාන්‍යයේ) CWM ක්වීම් , ග්වෙන්ට් පළාතේ
      https://www.alamy.com/stock-photo-welsh-farms-in-isolated-glaciated-valley-of-cwm-cynllwyd-cambrian-13067042.html

      https://www.walesdirectory.co.uk/Towns/Cwm_Blaenau_Gwent.htm

      Delete
  4. මේ සති අන්තය මඩොල්සිම කන්දක ගත කරල තමා ආවෙ

    ReplyDelete
    Replies
    1. ලස්සන පළාත. නියමයි

      Delete
  5. Mulin kiyawanakota poddak awul wuna.. Meeka Lunugala gana wartha lipiyak da kiyala.
    Eth sathutui... mage gama Passara Lunugala para pena dura Monaragala Pare (Road).
    Great nowel. Mekath apahu edit karala waradi than hadala publish karamu next year. Sammanayak Suwar...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. මගේ පරණ මතකයකින් ලිව්වේ. කතාවට අදාල වෙන නිසා. හැබැයි ලුනුගල ඉන්න යාලුවෙකුට යැව්වා බලන්න මගේ ජියෝග්‍රෆි පැත්ත හරිද කියල අහලා. එයා කිව්වා හරියට හරි මතකය නිවැරදියි කියල.

      Delete
    2. චන්දන මහත්මයා දන්නා සංචාරක නිකේතන හෙම තියනවද පස්සර , මම මේ මාසේ අග එන්න හිතන් ඉන්නවා? තිබේනම් ලින්ක් එකක් හෝ නොම්මරයක් දාන්න ස්තුතියි

      Delete
    3. සමා වෙන්න මේක දැක්කේ නෑ .පස්සර ගිහින් ආවා නේද නිවාඩු නිකේතන බොහොම අඩුයි ඇල්ල හරිය තමයි ගොඩක් තියෙන්නෙ. හරිම කණගාටුයි ප්‍රාදේශීය පාලනයන් කිසි වැඩක් කරන්නේ නෑ .පස්සර හොඳ සංචාරක පුරවරයක් කරන්න පුළුවන්

      Delete
  6. මම යාපාමව නැවතිලා ඉඳල තියනව. ගිය සුමානෙ බුත්තල සිට මොණරාගල පැත්තට යනකොට මතක්වුනා. ඔය පලාතෙ මැණික් ගැරීම පටන් ගත්තෙ ඔක්කම්පිටියෙන් නේද?


    //රෝහල් ගත වීමට තරම් රළු කිරීමට//

    ඔතනට හරියන ඉන්ග්‍රීසි වචනෙ "roughed up" වුනාට සිංහලෙන් "රළු කිරීම" ඒතරම් ගැලපෙන්නෙ නෑ. "පහරදීම" හෝ හරියටම නම් "දෙක තුනක් ඇනීම" තමයි

    ReplyDelete
    Replies
    1. ඒකනම් හරියට දන්නේ නැහැ ප්‍රාජේ. ඔක්කම්පිටිය තියෙන්නේ බුත්තල පැත්තේ

      රළු කළා කියල නැත්නම් එහෙම එකක් හදමු

      Delete
  7. කතාවට එච්චර ඉන්ටරස්ටින් නැති නිසා කියෙව්වේ නැති උනත් ලුණුගල වර්ණනාව හොදටම තිබුනා. (මේක බලන්න ආවෙත් ඒක නිසාමයි) හැක්

    ReplyDelete
    Replies
    1. //කතාවට එච්චර ඉන්ටරස්ටින් නැති නිසා// එන්ඩ එපා පැත්ත පළාතේ
      //ලුණුගල වර්ණනාව හොදටම තිබුනා// එහම්ත් එකක්ද? හේ හේ එහෙනම් එන්ඩකෝ . ආයිත් ලියවෙයි

      Delete
  8. මේ කියවෙන අඩාවත්ත කිට්ටුව පලමක් තියනවද? කොග්ගල නිලමේ පොතෙ කියවෙනවා අඩාවත්ත කිට්ටුව බිබිලෙ පාරෙ තියන රෙකුලසි පාලම කියල තැනක් ගැන

    ReplyDelete
    Replies
    1. වරුනි, මම දන්නේ නැහැ coincidence එකක්ද , කවුරුහරි ඔයාට කීවද මේක මගෙන් අහන්න කියල. මගේ කතාවේ ඔය රෙකුලාසි පාලම ගැන කොටසක් තියනවා. මගේ ළමාවියේ මතකයක් සමග පාලම මේ කතාවට සම්බන්ධවෙන තැනක් තියෙනවා. "හිතුවක්කාරී" පොත ලියපු ගුණරත්න අයිය (ලුනුගල ඉන්න) එක්ක මම කතා කරණ කොට ඔය පාලම කතාවට සම්බන්ධ වෙන තැනත් කීව. එතකොට එයා ඒ ගැන ලියපු තැනක් ගැන කීව මතකයි නමුත් නමක් කිවේ නැහැ. දැන් නම හොයා ගත්ත . ඔයාට පුලුවන්ද මට ඒ පිටුව ගැන කියන්න. මොකද මම කැමති නැහැ වෙන පොතකින් ලියවිලා තියෙන දෙයක් ගැන කියන්න. මගේ මතකය වෙනස් එකක් නිසා. මම ලියන මේ කතාවයි පාලමයි අතර සම්බන්ධයක් තිබෙන නිසා ඒ ලියවිලා තියෙන කොටස ගැන දැන ගන්න එක වැදගත්. නැත්නම් මට චෝදනා ඒවි කොපි කළා කියල කාගේ හරි එකක්. ඒ පොත කොහෙද හොයා ගන්න තියෙන්නේ .

      Delete
    2. පාලම තියෙන්නේ බිබිල හා ලුණුගල අතර පාරේ . පාර අලුතින් හදන ආරංචියක් ආව. පාර හදන කොටස එතැනට යන්න කලින් මට එතනට යන්න අවශ්‍යතාවයක් තියනව. ඒ නිසා තකහනියක්ම ලංකාවට එන ගමන් යන්න ඉන්නේ එතනට . එතැන් ලොකු බෙන්ඩ් එකක් තියනවා. ටිකක් දරුණුයි ඒක. හෙළ ටිකක් පහලට වෙන්න තියෙන්නේ. බිබිලෙන් එනකොට පාලමේ කන්ද පැත්තට වෙන්න ලොකු පර්වතයක් (ගලක් ) තියනව පොළොවින් මතුවෙලා. ඒවා දැන් තියනවද දන්නේ නැහැ.

      Delete
  9. අජිත් මහත්මයා, මේක coincidence එකක් තමය්. මම මෙ දවස් වල කොග්ගල නිලමේ පොත් දෙක නැවත කියවමින් ඉන්නෙ. පලමු පොත කියවද්දි එකේ තියන තැන් google map එකෙන් බලමින් කියෙව්වෙ. එතකොටය් අඩාවත්ත ගැන සදන හම්බවුනෙ.
    මගෙ ලග පොත් දෙකෙම PDF තියනව. ඔබට ලබ දිය හැකිය්.
    කොග්ගල නිලමෙ පලමු පොතෙ 40 වෙනි පිටුවෙ අඩාවත්ත ගෙන සදහන් වෙන්නෙ. මෙ පොත් දෙක ලුනුගල කෙන්ද්‍ර කරගෙන ලියවිල තිබෙන්නෙ
    එකෙ විදියට කුඹුක්කන් ඔය හරහ වෙටිල තියන පාලමද රෙකුලසි පාලම?
    google map:
    https://www.google.com/maps/dir/Lunugala/Adawatte+Rd/@7.0470361,81.1938256,15z/data=!3m1!4b1!4m14!4m13!1m5!1m1!1s0x3ae4f50905009915:0x9bab2ff67d463531!2m2!1d81.2016737!2d7.0403676!1m5!1m1!1s0x3ae4f4fde7da186f:0x569def61d31d6c67!2m2!1d81.2010428!2d7.0536622!3e0

    ReplyDelete
    Replies
    1. අඩාවත්ත තියෙන්නේ ඔය මම කිව්වා A5 පාරේ බිබිල පැත්තට යනකොට . කුඹුක්කන් ඔය හරහා වැටිලා තියන පාලම හරහා ලුණුගල නගරයට යන්නේ. මම කියන පාලමයි රෙකුලාසි පාලමයි එකම කියල කිව්වේ ගුණරත්න අයියා . එයා ඉන්නේ අඩාවත්තේ . මම කියන පාලම ඔයා දාල තියන පාලම (මැප් එකේ ) නෙමේ. මේ දෙක දෙකක. මේ පාලමත් හුඟක් ලොකුයි මට මතක විධිහට.

      Delete
    2. pdf ඉල්ලන එකනම් හරි නැහැ. කතුවරයාගේ පොත් විකිනෙන්නේ නැහැ නොව. හැබැයි මුද්‍රණයේ නැත්නම් pdf එක බලන්න පුළුවන්. මම ඊමේල් ලිපින කොමෙන්ට් වල දාන්න කැමති නැහැ. වෙන විධිහක තියනවද දෙන්න ඒක

      Delete
    3. මම මේලක් දැම්මා

      Delete
    4. පොත එව්වාට ස්තූතියි. මම කියෙව්වා පොත එතනට වෙනකන්. ඒ පාලම තමයි. මේක තියෙන්නේ අඩාවත්ත පාරට හැරෙන තැන පහු කරලා ගියහම. ඔය පොතේ තියනව වගේ හොල්මන් කතා මමත් අහල තියනවා. පොතේ ලොකු ගල ගැනත් කියවෙනවා. එතන උමගක් තිබ්බද කියල නම් මතක නැහැ. හැබැයි ඒ හරියේ උමං සහ ලෙනවල් තියනවා.

      Delete
  10. Varuni,
    Meeka dakkama kiyawanna hithuna
    Ewannoka matath

    kkchandana@gmail.com

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .